27 July 2012

අපි නොදන්න මෙගා සීන්




මෙගා නාට්‍ය සංස්කෘතියත් මට මතක හැටියට ඉස් ඉස්සෙල්ලම ලංකාවට අඳුන්වලා දුන්නේ 'සිරස' තමයි.මං හිතන්නේ එහෙම හා හා සහ පුරා කියලා එහෙම පෙන්නන්න පටන් ගත්තේ 'ශාන්ති'. අර නළලේ ඊතලයක් ගහගෙන හිටපු 'මන්දිරා බේඩි' ගැන මටනං මතකයි.
ඕක පෙන්නන්ඩ පටං අරගෙන චුයිංගම් වගේ ඇදෙන්ඩ පටං ගත්තම රටෙං බාගයක් මේකට වහ වැටෙද්දි සාමාන්‍යයෙන් වෙන විදිහට අනිත් බාගෙට මේක පෙන්නන්ඩ බැරි උනා.ඉතිං අපේ රටේ ඇත්තන්ට ගෙවල් ඇතුලේ රණ්ඩු වෙන්ඩ, වළං පොළවේ ගහන්ඩ, කෙස් වැටියෙං අල්ලගෙන කණට දෙකක් දෙන්ඩ වගේම උදේට උයන්නැතුව ඉන්ඩ, අනිකා අර අහවල් කාරිය කරන්ඩ එනකොට නිදි වගේ ඉන්ඩ, තේ එකක් ඉල්ලපුවාම ගස්සලා යන්ඩ තවත් හේතුවක් ඇති උනා.

'ඔෂීන්' පෙන්නුවේ මීට කළිංද පස්සේද කියලා මට එච්චර නිච්චි නෑ.ඒ කොහොම උනත් දිගට ඇදිච්ච ඔෂීන් එක්ක අපේ රටේ ඇත්තෝ එච්චර වෛර බැන්දෙ නෑ.ඉන්දියාව එක්ක රාවණා කාලේ ඉඳන් තිබ්බ තරහාව මෙගා නාට්‍ය මතිනුත් ගලාගෙන යන්ඩ ඇති.ජපානෙත් එක්ක ඉතිං අපි එච්චර අවුලක් නෑ නේ.

'ශාන්ති' ඉවර වෙලා මන්දිරා බේඩිව ලංකාවට ගෙනල්ලා ඉන්දියාවේ තුට්ටු දෙකේ නිළියක් ලංකාවේ වන්දනීය පූජනීය චරිතයක් කරලා සිරස නටපු නැටිල්ලත් ඒකට විසිල් ගගහා හුරේ දාපු අපේ ඈයොත් අපේ රටේ රසවින්දනයේ අළුත් පරිච්ඡේදයක් පටං ගත්තා කිව්වොත් නිවැරදියි.ඊට පස්සේ 'ප්‍රවීනා', 'චිත්ති' වගේ මහා වීර ගෑනු චරිත වටේට ගෙතිච්ච දිග කතන්දර පෝළිමේ රූපවාහිනියෙං ගෙදර සාලෙට හැලෙද්දි අපේ ඈයො ඇස් කන් දොට්ට දාගෙන මේක දිහා බලාගෙන ඉන්ඩ පටං ගත්තා.තමන්ට ජීවිතේදි ලබා ගන්ඩ බැරි අත්දැකීම් ටෙලිවිශන් එකෙන් බලාගෙන තාවකාලික සතුටක් විඳින්න තමයි අපේ මනස පුරුදු කරලා තියෙන්නේ.අපේ කාන්තා උදවියත් මේ අනුව යමින් මේ වීර කාන්තා චරිත රූප පෙට්ටිය ඇතුලේ පාන වික්‍රම බලලා හීනි තෘප්තියක් විඳින්ඩ පටං ගත්තා.

පුරුදු විදිහටම මේ මෙගා සංස්කෘතිය හඳුන්වලා දීපු සිරසට පලු යන්ඩ බැණ වැදුනට පස්සේ අනිත් නාලිකා ටිකත් හොරෙං හොරෙං වගේ පටං ගත්තා මෙගා පෙන්නන්ඩ.අපේ රටට මේ ඉන්දියානු ඒවා උචිත නෑ කියලා  අපේ රටේ ගෑනු පිරිමි ටික දම්මලා අර මොඩල් එකේම තුප්පහි නාට්‍ය තොග පිටින් අච්චු ගහන්ඩ ගත්තා.

කොහොම හරි මේ ජාතියේ මෙගා නාට්‍යවල අනිවාර්යයෙන් සිද්ද වෙන හැම එකටම පොදු එක සිද්දියක් තියෙනවා.ඒ තමයි නාට්‍යයේ ප්‍රධාන චරිතෙක ඔළුව වදිනවා කොහේ හරි.(ඇංගල් කීපෙකට මේක පෙන්නනවා, ස්ලෝ මෝෂන් පෙන්නනවා, යටින් භයානක සංගීතයක් දානවා.) ඊට පස්සේ මේ පුද්ගලයාට අතීතේ මතක නැතුව යනවා.ඊට පස්සේ වෙන කොහේ හරි ජීවත් වෙන්න පටං ගන්නවා.එහෙදි මේ පුද්ගලයට විරුද්ධ ලිංගිකයෙක් එක්ක ඇතිවෙන ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට දරුවෙකුත් ලැබෙනවා.ඔහොම කාලයක් යද්දි නාට්‍යයේ මොකක් හරි වැදගත් සිද්ධියක් වෙද්දි මේ පුද්ගලයාගේ ඔළුව අර අනතුර වෙද්දි වැදිච්චි විදිහටම ආයෙත් වදිනවා.ඔන්න එතකොට ආයෙ ඔක්කොම මතක් වෙනවා.

දැං මේ විදිහට ඔළුව කොහේ හරි වැදිලා අතීතය අමතක වීම සහ නැවත ඒ ආකාරයෙන්ම වැදුනාම ආයෙත් මතකය ඇතිවීම කියන සුලබ සිදුවීම කීප සැරයක්ම දැකපු ජාතියක් විදිහට මේ වැඩේ මෙහෙම ලිස්සල යන්ඩ දෙන්ඩ බෑ.


හිරුණිකා අක්කේ මම කියන්නේ අතාරින්ඩ එපා ලේසියෙන් ඕක.ඔය දුමින්ද අයියා එක්කෝ නයා අරින්නේ.එහෙම නැතුව ඇත්තටම මතකේ නැතිවෙලානං ටී56ක් අරගෙන ගිහිල්ලා කළිං වෙඩිල්ල වැදිච්ච විදිහට ඔළුවේ එතනටම තව එකක් තියන්ඩ.ශුවර් එකටම එනවා මතකේ.අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි, නිවාරණයි.නැත්තං ආයේ ඔය මතකේ එන්නේ අර නාට්‍යවල විදිහට අවුරුදු විස්සකිං, විසිපහකිං නැත්තං තිහකිං වගේ රවුං ගාණකිං.එච්චර ඉන්ඩ ඇහැක්යැ.

දුමින්ද අයියගේ ගෙදර ඈයින්ටත් මම මේ කියන්නේ.දැං ඔය මතකේ නැතිවෙලා ඉන්න වෙලේ කෙල්ලෙක් සෙට් කර ගත්තොත් එහෙම.අනික ඉන්නෙත් පිටරට.මොන සක්කරවට්ටමක් එල්ලගනීද කවුද දන්නේ.ඇනා අක්කි වගේ දේශීය සංස්කෘතිය දන්න විශාකාවක් නොවැ දුමින්ද අයියට හරි යන්නේ.අනික පස්සේ කාලෙක දුමින්ද අයියා බඳින ගෑනි ඔය තියෙන දේපල ටිකටත් වග කියන්න ආවොත් මොන දෙයියන්ට කියන්ඩද? අනේ ලංකාවෙං හතරෙං එකක් ඉතරම මේ කොහෙවත් ඉන්න පර දේසක්කාරියෙකුට අයිති වෙනවා කොහොමද අප්පා බලං ඉන්නේ.ඒක හින්දා හිරුණිකා අක්කා ඔය වැඩේ කළේ නැත්තං ඔය කට්ටියවත් ගිහිල්ලා තියන්ඩ.මොකෝ එක පතුරමට ලෝබ වෙන්ඩ එපා.අනික පුරුදු නැති එකක් යැ.අර හිරුණිකා අක්කා ඕක කරන්ඩ ගිහිල්ලා සියුමැලි අත්දෙක වෙවුලලා කොහෙට වදියිද දන්නෑ.

ඔබගේ ඉළක්කය සපුරා සාර්ථක වේවා!!!!



13 comments:

  1. ඉස්පිරිතාලේ හිටිය විතරලු නේද මතක ..?

    ReplyDelete
    Replies
    1. ඒකනෙව කියන්නේ පව් මේ අහිංසකයව සැක කරන්ඩනං එපා හොඳේ....

      Delete
  2. ඇත්තටම ඔය උතුමාට ආදරේ කොරන කවුරු හරි ඕක කරන්න වෙනව. ඔය මෙගා වලින් කියවෙන දේවල් සහතික ඇත්ත නිසා ඒකෙ වරදක් නෑ.

    මට සැකයි උඹව ජනාධිපති උපදේශක පොරක් කරයිද කියලා..

    ReplyDelete
    Replies
    1. ඈ බොලේ මම දැනටමත් උන්දැගේ නිළ නොවන උපදේශකයෙක් නොවැ.

      http://dinukajayakodi.blogspot.com/2011/06/blog-post_30.html

      Delete
  3. "අර නළලේ ඊතලයක් ගහගෙන හිටපු 'මන්දිරා බේඩි' ගැන මටනං මතකයි"

    ඇයි ඊට පස්සේ අපේ උන්දැලාත් ඒ විදිහට නළලේ ඊතල ගහන්න ගත්තා. ශාන්ති ඉවරවුණාට පස්සේ මන්දිරා බේඩි ඉන්න තව කතා එකක් හරි දෙකක් හරි සිරසේ ගියා වගේත් මතකයි

    ReplyDelete
    Replies
    1. අපේ ඈයින්ට ඉතිං කවුරු හරි පිටරටක ඉන්න එකෙක් කළොත් ඒක කොරන්ඩනෙව බලං ඉන්නේ.

      ගාන්ධි කිව්වා වගේ 'පිටිං එන හුළඟට එන්ඩ දොර ජනෙල් ඇර තබන්න නමුත් ගෙයි ඇති දේවල් ගහගෙන යන්ඩ ඉඩ නොදෙන්න' සංකල්පයක් අපිට නෑනෙ.එන හැම රෙද්දම ගන්නවා.අපේ ඔක්කොම විසික්කා කොරලා.

      Delete
  4. තඩි යකඩ පොල්ලකින් පොඩ්ඩක් අත ගෑවමත් හරි බං ටක් ගාලා මෙමරිය රිකෝල් වෙනවා! අපේ පොලිස් අංකල්ලා ඔය ආර්ට් එක හොඳට ප්‍රගුන කරලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. පොලිස් අංකල්ලා ඔය ප්‍රථිකර්මේ දෙන්නේ දුප්පත් ඈයින්ට නොමිලේ විතරනේ.

      කැලෙං ඇදං ආපු වලහා අඬ අඬා 'මම තමයි හාවා' කිව්ව කතාව මතක් උනා.

      Delete
  5. අනර්කෙලීව මතකයි ලූ නේ.. හික්ස් :)
    අනේ කාලේ වනේ වාසේ...
    ඕවා හොදයි චීනය වගේ රටවල් වලට. උන්දෑ හිතන් ඉන්නවද දන්නේ නෑ තමන්ගේ මවු රට චීනය කියලා. ඒක කියන්ඩ බෑ කොල්ලෝ.. !!!

    ReplyDelete
    Replies
    1. ඔය කතාව වෙනස් කරන්ඩ වෙනවා මධුරංග අයියා.දැං චීන්නුංව රවට්ටන්ඩ බෑ.උන්නේ දැං මුළු ලෝකෙම රවට්ටන්නේ.

      දැං කියන්ඩ වෙන්නේ ඕකා ගිහිං කියපං කොණ්ඩේ කපපු සිංහලයෙකුට කියලා.බොරුනං බලන්ඩ ඔය දුමියා ආයෙත් මෙහෙට ඇවිත් ඡන්දෙ ඉල්ලුවොත් අපේ උන්දැලා දෙන්නැද්ද කියලා.

      Delete
    2. අනිවාර්යෙන්ම ඡන්දෙත් දේවි... :)

      Delete
  6. එතකොට කොතන ඉඳන්ද මතක නැත්තේ දන්නේ නෑ නෙහ්.භාරතට බනින එක මතක ඇති .වෙඩි තියන හරිය .නෑ නෑ ඒටික තමා ඔය මතක නැත්තේ
    http://nonimiahasa.blogspot.com/2012/07/blog-post_28.html හැකි නම් බලන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න උඹේ කාටුන් එක බැලුවා බොලේ.උඹට කියලා පෝස්ට්වලට රූප අන්දවගන්ඩ බැරිවෙයිද ඈ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...