18 July 2012

පොත් මගේ නෙත් වගේ






මට හරියට මතකයක් නැති උනාට මම කියවන්ඩ පටං ගද්දි ( ඒ කියන්නේ වාචාල කමට කියවන එක නෙමෙයි ) මට අවුරුදු තුනක් හෝ හතරක් කියලා තමයි කියන්නේ.මටත් යාන්තං මතකයක් තියෙනවා දිවයින පත්තරේ 'ප්‍රභාකරන්' කියන නම කියවනවා.'භා' අකුර ශබ්ද කරන හැටි කියලා දීලා මම බර කරලා 'බ්බ්බ්බ්භා' කියලා කියද්දී අක්කලා හිනා උනත් මට මතකයි.
පුංචි කාලේ මම හිටියේ අපේ මහම්මාගේ ගෙදර.මහම්මා උනාට අදටත් මම කියන්නේ අම්මා කියලා.ඉස්සෙල්ලම මම අම්මා කිව්වේ ඒ මහම්මගේ ලොකු දුවටලු.මම පුංචිම කාලෙදිත් උ\පෙ කරන වයසේ වගේ හිටපු අක්කලා දෙන්නත් ඒ වෙනකොටත් ඉගෙනගෙන ඉවර වෙලා හිටපු අයියත් පොත් පත්තර කියවනවා බලං ඉඳලා නිරායාසයෙන්ම මමත් කියවන්ඩ යොමු උනා මිසක් කවුරුවත් මාව බලෙන් යොමු කළේ නෑ.

මම හිතන්නේ ඒක තමයි ළමයෙක් කියවීමට යොමු කරවන්ඩ තියෙන හොඳම ක්‍රමය.බලෙං පොතක් දීලා කියවපං කිව්වට උං කියවන්ඩ පුරුදු වෙන්නේ නෑ.ඒක හොඳට විස්තර කරලා තියෙන්නේ මිණිවන් පී. තිලකරත්න මහත්මයාගේ 'පමා නොවී එමි අකුරට' පොතේ.කොහෙං හරි හොයාගෙන කියවන්ඩ වටින පොතක්.

අපේ මහම්මගේ ගෙදර තිබුණා චිත්‍රකතා පත්තර මිටියක්.පරණ පත්තර ගොඩක්.විසිකරන්ඩ කම්මැලි හින්දද කොහෙද කවරෙක දාලා තියලා තිබුණේ.මගේ වැඩේ ඔය ටික කියවන එක.වීර කතා, ප්‍රේම කතා විතරක් නෙමෙයි ගජමෑන්ගේ කතාත් ආයේ ආයේ කියවන එකමයි කළේ.පස්සෙ පස්සේ මහම්මා මටම කියලා පොඩි උංගේ පත්තර ගෙනත් දෙන්ඩ පටං ගත්තා.'පුංචි' පත්තරේ මිස්ට ෆොක්ස් නං තාම මතකයි.බින්දු පත්තරේද කොහෙද ගිය 'නිම්මි බබාගෙ කතාවත්' ආසාවෙං කියෙව්වා.

කතන්දර පොත් නම් වශයෙන් මතක නැතත් මගේ අක්කගේ සහ අයියගේ ඉස්කෝලෙ සිංහල අච්චු පොත් මම එයාලට කළිං කියෙව්වා.අපේ අක්කා උ\පෙ කරද්දි එයා සිංහල විශයට ඉගෙනගත්තු පොත් එයාටත් කළිං කීප පාරක්ම කියවීම මට පස්සෙ කාලෙක් වැදගත් වෙච්ච හැටි පස්සෙ දවසක කියන්නං.මම ශිෂ්‍යත්ව විභාගේ සමත් වෙලා ආනන්දෙට යන්ඩ ලැබිච්ච වෙලාවෙ අපේ තාත්තා මට ගෙනත් දුන්නේ ආර්. එල්. ස්පිට්ල් මහත්මයාගේ 'සුදු ගෝනා' සහ 'සුදු වැද්දා' කෘති දෙක***.

ආනන්දෙට යනකොට දවල්ට මොනවා හරි කන්ඩ, හදිස්සි වියදමකට ඕනෙ උනොත් ගන්ඩ කියලා දෙන සල්ලි එකතු කරලා මම කළේ පොත් ගන්න එක.මහ ගොඩක් සල්ලි තිබුනේ නැති උනත් ඒ වයසට කියවන පොත් එච්චර ගණන් නැති නිසා කොහොමත් සති දෙක තුනකට පාරක් පොතක් ගන්ඩ පුළුවං උනා.එදා පුරුදු වෙච්ච පුරුද්ද තාමත් එහෙම්මමයි.කෑම වියදම් කපා හැරලා පොත් ගත්ත සහ තාමත් ගන්න නිසා තමයි මේ සයිස් එකට ෆිගර් එක තියාගෙන ඉන්ඩ පුළුවං වෙලා තියෙන්නේ.


මම ඉස් ඉස්සෙල්ලම පිළිගත් රැකියාවක් විදිහට කළේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ වෙළඳ කුටියේ සහායකයෙක් ලෙස කටයුතු කරපු එක.දින දහයක් වගේ කෙටි කාලෙකින් සමාජය ගැන අළුත්ම අත්දැකීම් රැසක් ලබාගත්තු තැනක්.මේ ලිපියට අදාල කතාව මේක.

එක අම්මා කෙනෙක් අවුරුදු දොළහක දහතුනක පොඩි එකෙක්වත් ඇදගෙන ආවා අපේ පොත් කුටියට.'ටාර්සන්' පොතක් දැකපු පොඩි එකාගෙ සන්තෝසෙ ඉහවහා ගිහිල්ලා.මූ අම්මගේ අතින් ඇද ඇද පොත් ටික පෙන්නනවා.අර මෝඩ වාහෙ කියපි 'ඔව්වා බලනවද පොඩි ළමයි.මෙන්න මෙහෙ එනවා යන්ඩ'. අනේ අර පොඩි එකාගෙ මූණ බෙරි උනා.ඌවත් ඇදගෙන ගිහිං මේ ළඟදි සකෘදාගාමී වෙච්චි උත්තමයගේ මෙට්‍රික් ක්‍රමේට නිවං යන්ඩ කියලා දීපු බණ පොත් දෙකකුත් අරං ඒ අම්මණ්ඩි යන්ඩ ගියා.මාරයා කියන්නා වගේ 'හෆොයි ෂල්ලි'.

දවස් දහයක් ගෙදර සල්ලිවලිං කෝච්චියේ ගිහිං රෑ වෙලා එනකොට එක්කගෙන එන්ඩ අයියා ගම්පහට ඇවිත් ගෙදරිං මගේ රැකියාවට නොමඳ සහයක් දුන්නත්, වැටුපක් විදිහට ලැබුණු රුපියල් 5000න් 4948කම පොත් අරගෙන රුපියල් 50ක රීලෝඩ් එකක් දාලා ඉතුරු රුපියල් 2 හිඟන්නෙකුට දීලා ( ඒ දවස්වල මම හිඟන්නන්ට සල්ලි දෙනවා ඈ ) ගෙදර ආපු මට අපේ අම්මා මොකුත් කිව්වේ නෑ.මුවින් නොබැණ හිටියට හිතෙං මොනවා කිව්වද කියලා කවුද දන්නේ.

ඔන්න දැං තමයි මට කියන්ඩ ඕනෙ එක පටං ගන්නේ.පොත් සම්බන්ධව කතා කරද්දි මිනිස්සු වර්ග කීපයක් ඉන්නවා.පොත්වලට ආදරේ මිනිස්සු, පොත්වලට ආදරේ නැති මිනිස්සු, පොත් කියවන මිනිස්සු සහ පොත් නොකියවන මිනිස්සු කියලා ප්‍රධාන කුලක 4ක් දක්වන්න පුළුවන්.මේ ලක්ෂණ තනිවම මෙන්ම සම්මිශ්‍රවත් තියෙන අය ඉන්නවා.මම පොත් කියවන සහ පොත්වලට ආදරේ එකෙක්.ලයිබ්‍රියෙං පොතක් ගෙනාවත් ඒකේ පිටු අස්සේ තියෙන බත් ඇට, පරිප්පු ඇට, කෙස් කොට අයිං කරලා, පිටුවල කොන් නැමිච්චා දිග ඇරලා ඉරිච්ච පිටු අලවලා දූවිලි ගසලා තමයි ආපහු ගෙනිහින් දෙන්නෙ.

ප්‍රශ්නේ තියෙන්නේ පොත් කියවන ඒත් පොත්වලට ආදරේ නැති පිරිසක් ඉන්න එක.උංට උං කියෙව්වට පස්සේ ඒ පොතට හෙණ ගැහුවත් කමක් නෑ.ඔක්කොටමත් වඩා හානි දායක සහ මම මේ ලිපිය ලියන්ඩ හෙතු උන අය තමයි පොත් කියවන ඒත් පොත්වලට ආදරේ නැති සහ පොත්වලට ආදරේ පිරිසක් ඉන්න බවවත් නොදන්න පිරිසක් ඉන්න එක.උං තමයි කාගෙං හරි පොතක් කියවන්ඩ කියලා ගෙනිහිල්ලා ආපහු ගෙනත් නොදෙන අවලං ජන කොටස.මම ගත්තු පොත් ඔකොකොම තිබුණනං, මට ඒ ටික මගේ කාමරේට දාලා එළියේ පැදුරක් දාගෙන නිදාගන්ඩ වෙනවා තමයි.ඒ උනත් ඒ පොත්ටික මගේ ළඟ තිබ්බනං මම ඒ දේත් කරන්ඩ ඉඩ තිබ්බා.

දැනට මගේ ළඟ තියෙන පොත් ටික මම මාස දෙකකට විතර උඩදි ලැයිස්තු ගත කළා.දෙසිය ගාණයි ඉතුරු වෙලා තියෙන්නේ 'හෆොයි ෂල්ලි'.ඒ ලැයිස්තුව හදලා ගත වෙච්චි කාලය ඇතුලතත් පොත් කීපයක්ම අස්ථානගත වෙලා.


මගේ ඇබ්බැහියක් තියෙනවා ඒ තමයි මොකක් හරි හොඳ පොතක් හම්බ උනොත් සල්ලිවලට අරගෙන මගේම කරගන්න එක.ඒත් ඒක කරගෙන යන්ඩ හරි අමාරුයි මේ පොත් හොරු එක්ක.මම ආසම කරන පොතක් වෙන 'මොන්තක්‍රිස්තෝ සිටුවරයා' එකේ පළවෙනි වෙළුම මම තුන් පාරක් සල්ලිවලට ගත්තා.ආයෙමත් කියන්ඩ තියෙන්නේ 'හෆොයි ෂල්ලි'.

මගේ පොත් අරං ගිහිල්ලා තියාගෙන ඉන්න හොරුනේ, මංකොල්ලකරුවනේ, නොසන්ඩාල අවලං පාහර කුපාඩියනේ, ස්ත්‍රී දූෂකයිනේ, පුරාවස්තු කොල්ලකරුවනේ, දේශද්‍රෝහියනේ හොඳ හිතිං මගේ පොත් ටික ගෙනත් දීපියවු.තොපි මගේ පස්සෙං වැඳගෙන ඇවිත් මගෙ ළඟ අඬලා අඬලා පොත් අරං ගියාට පස්සෙ තොපෙං ඒවා ආපහු ගන්ඩ මම කී පාරක් අඬාගෙන ආවද තොපි ළඟට.ආයෙ මං උඹලට කියන්නේ නෑ.දැං ගෙදරදිම හදාගන්ඩ ලේසර් තුවක්කු තාක්ෂණේත් අපිට තියෙන හින්දා තොපිට බඩ යන්ඩ බේත් දීලා පු*වල් මහනවා හරිය.සුද්දංගේ ලැක්සටිව් පාවිච්චි නොකර සහිඳ ලුණු සමඟ සෙනෙහෙ කොළ එකට ගෙන පත අට එකට සිඳුවා පොවා තොපේ අධෝ මාර්ග පළමුව බොරුනූල් මැස්මෙන් මසා පසුව එම්බ්‍රොයිඩර් කර සදහටම මසා දැමීමට අපේ කලාපේ වැඩ කරන අක්කා කෙනෙකුට දෙනවා.

*** මේ පොත් දෙකද දැන් අස්ථානගතව ඇත.එකක් ප්‍රංශයටද සවාරියක් ගොස් නැවත පැමිණ මෙ පුංචි රටේදීම නැති විය.නැවත වරක් පොත් දෙකම මිලදී ගත් මුත් ඉන් 'සුදු වැද්දා' කෘතිය නැවතත් සොයා ගැනීමට නැත.


රූපේ ගත්තේ : snarkymamma.blogspot.com


10 comments:

  1. මමත් පොත් පෙරෙතියක්...

    මම අත් එකඟයි අර යටින් තියෙන අන්තිම කොටසටම...ඇයි අප්පා ගෙනිච්ච වුන් පොත් ගෙනත් දෙන් නැ අප්පා..මගෙත් පොත් සෙට් එකක්ම නැති වුනා ඔකෙන්..

    ReplyDelete
    Replies
    1. මරාගෙන කන්ඩ හිතෙන්නේ ඒ වගේ ඈයිංව.සාප කරන්ඩ, පොල් ගහන්ඩ, වූඩු මැජික් හරි කමක් නෑ කරලා පොත් හොරුන්ට දඬුවං කරන්ඩ.....

      Delete
  2. අපේ අම්මා වැඩ ඇරිලා එනකොට හැමසතියකම වගේ කැකුළු පත්තරේ චූටිතරු පත්තරේ එහෙමත් ගෙනත් දෙනවා !!!
    ඔය පත්තර කියෙව්වට පස්සේ බින්දු පත්තරේ කියෙව්වේ. මට තාමත් මතකයි ඔය පත්තරේ හැමදාම අත්වැඩක් කරන හැටි යනවා. මම් ඉට්ය්හින් ඉස්කෝලේ අත්වැඩ තියෙන දවස්වල ඔයින් එකක් හදන් යනවා. :)

    ReplyDelete
    Replies
    1. ඇත්තට බොලේ ඔය අත්වැඩ මමත් කෙරුවනේ.දැන්නෙව මතක් උනේ.

      Delete
  3. "රුපියල් 50ක රීලෝඩ් එකක් දාලා ඉතුරු රුපියල් 2 හිඟන්නෙකුට දීලා"
    රුපියල් පහක රට කජු ගොට්ටක් අම්මට ගෙනත් දුන්න නම් නරකයි උබට.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං කියන්නේ.මට ඔය වගේ යුතුකම් වැඩ හරියටවත් අමතක වෙනවා....

      Delete
  4. සුදු වැද්දා, සුදු ගෝනා පොත් දෙක ගන්න පුළුවන් තැනක් දන්නවනම් කියන්න පුළුවන්ද කරුණාකරලා? නිව්ටන් ගුණසේකර පරිවර්තනය කරන ඒවා නෙවේ, අර ඉස්සර ඉඳන් තියෙන ඒවා. ඒ.පී.ගුණරත්නගේ මට මතක හැටියට. මම ගොඩක්ම ආසා පොත් දෙකක්. කියවලා තියෙනවා වුණාට ගන්න හම්බුනේ නෑ. පොත් ප්‍රකාශකයෝ කවුද කියලා මතකද? ගොඩගේ ද, ගුණසේන ද, ලේක් හවුස් ද?

    ReplyDelete
    Replies
    1. ලේක් හවුස් අයගේ තමයි ඒ පරණ නිකුතුව තියෙන්නෙ.ගන්ඩ තියෙන තැනක්නං හරියට දන්නේ නෑ.ඒත් කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනයේ තියෙන්ඩ ඉඩ තියෙනවා.ලිබර්ටි එකෙත් ලේක් හවුස් කට්ටියගේ එකක් තියෙනවා.

      Delete
  5. පොත් කන්නෙක් වගේ :D

    ReplyDelete
    Replies
    1. අනිවා මචං.කුසට අහර නැතත්, මනසට අහර නැතුවනං ඉන්න බෑ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...