27 February 2013

ඇයි මම එහෙම ලිව්වේ...?



මම ලියපු ප්‍රජනන සෞඛ්‍ය ලිපි පෙළ කියවපු මගේ මිත්‍රයෙක් මට කියුවා "උඹ ලියලා තියෙන විදිහට කියවන එකාට හිතෙන්නේ සෙක්ස් තියෙන්නේ එන්ජෝයි කරන්ඩ මිසක් ළමයි හදන්ඩ නෙමෙයි කියලා." ඉතිං මම ඌට දීපු උත්තරේට තව ටිකක් අතිනුත් දාලා ඇත්තටම මම ඒ ලිපි පෙළ ලියන්ඩ හේතු වුනු සංසිද්දීන් සහ මගේ දැක්ම ටිකක් පැහැදිලි කරන්ඩයි හදන්නේ.සරත් අයියත් දවසක් කොමෙන්ට් එකක දාලා තිබ්බා කට්ටිය ලිංගිකත්වයට පෙළඹෙයිදෝ වගේ අදහසක් එන කොමෙන්ට් එකක්.ඒ කොමෙන්ට් එකට උත්තර දෙද්දිත් මම පොරොන්දු උනා ඒ ගැන මගේ අදහස වෙනම ලිපියක ලියනවා කියලා.

ප්‍රජනනය සහ ලිංගිකත්වය කියන්නේ දෙකක්ය කියලා මම මේ ලිපි පෙළ පටන් ගන්න කොටම කිව්වා.ප්‍රජනනය කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන ක්‍රියාවලියට.නමුත් ප්‍රජනනය කියන්නේ ලිංගිකත්වයේ එක් පැතිකඩක් විතරයි.මිනිස්සු අනිත් සත්තු වගේ නෙමෙයි.අවුරුද්ද පුරාම ලිංගිකව එක්වෙනවා.ඒ වගේම මිනිසාගේ උසස් බුද්ධිය නිසා අපේ සංවේදී ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන සංවේදනයන් තෘප්තිමත් කරගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.අපි කෑම කන්නේ අනිත් සත්තු වගේ නෙමෙයි.හොඳ රස තියෙන ඒවා තෝරලා.රස නැත්තං රස කර ගන්ඩ අපි කටයුතු කරනවා.අපේ ආඝ්‍රාන සංවේදනය වෙනුවෙන් සුවඳ විළවුන් පාවිච්චි කරනවා.සංගීතය කියන්නේ ශ්‍රවනය පිනවන්න නිපදවූ ක්‍රමයක්.මේ වගේම ලිංගික ක්‍රියාවත් වඩාත් තෘප්තිමත් දෙයක් කරගන්ඩ මිනිසුන් පෙළඹිලා ඉන්නවා.ලිංගික එක්වීම තෘප්තිමත් දෙයක් උනේ නැත්තං කවුරුත් ලිංගිකව එක් වෙන එකක් නෑනේ.ඒ නිසා පරිණාමයෙන් දැනට ඉන්න සත්තුන්ට ලිංගික ක්‍රියාව තෘප්තිමත් දෙයක් බවට පත් වෙලා තියෙනවා.මිනිස්සු වන අපි ඇඳුම් ඇඳීමෙන්, සුවඳ, රූප, ආදිය භාවිතයෙන් මේ ලිංගික ක්‍රියාව තවත් වර්ණවත් කරගෙන රසවත් කරගෙන ඉන්නවා.


මේ සම්බන්ධයෙන් එක එක අයට තම තමන්ගේ ආගම දහම අනුව එක එක මත ඇති.ඒ උනත් තමුන් ලිංගික සතුට ලබන එක වැරැද්දක් කියලා කවුරුවත් හිතන එකක් නෑනේ.අබ්‍රහ්මචාරී කවුරු හරි ඒක වැරැද්දක්ය කියලා දැක්කත් අනිත් අය ඒ තෘප්තිය ලබන එක වැරැද්දක් විදිහට දකියි කියලා මම හිතන්නේ නෑ.

මගේ මිත්‍රයා අහපු කරුණ එක්ක සෘජුවම සම්බන්ධ වෙන්නේ උපත් පාලනය කියන එකනේ.මේ ගැන මේ දවස්වල සමාජයේ හරියට කතා වෙනවා නොවැ.ගැහැනු ළමයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 13-14 වගේ වෙද්දි වැඩි වියට පත් වෙනවා.ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 55 විතර වෙද්දි තමයි ආර්ථවහරණය ඒ කියන්නේ ඔසප් වීම නවතින්නේ.එතකොට මේ ලිංගික සාඵල්‍යතාව ඇති අවුරුදු 40දි අවුරුද්දකට එක දරුවා ගානේ දරුවෝ 40ක් හැදීමේ සම්භාවිතාවක් තියෙනවනේ.ඒක අපි 10ට අඩු කරමුකෝ.එතකොට දෙන්නෙක් (සැමියා හා බිරිඳ ) දරුවො 10ක් හදනවා කියන්නේ ජන ගහනය පස්ගුණයකින් වැඩි කරන්ඩ දායක වෙනවා නේද?

ලංකාව කියන්නේ රබර්වලින් හැදිච්ච දෙයක් නෙමෙයිනේ.මිනිස්සු වැඩි වෙද්දි ඉඩම් වැඩි වෙන්ඩ.මේක කියවන ඔයාලා උනත් දැකලා තියෙන දෙයක් වෙන්ඩ ඇති ඉස්සර අපි පොඩි කාලේ (මට සාපේක්ෂව අවුරුදු 15කට විතර කළිං ) අපේ ගෙදර වත්තෙන් පැන්නම එක දිගටම තියෙන්නේ මහා විශාල ඉඩම්.බට තුවක්කු හදාගෙන ඒවට කිරිල්ල කඩන්ඩ, ඇඹුල් පේර එරමිණියා කඩන්ඩ පැය ගාණක් උනත් ඇවිදලා එන්ඩ තිබිච්ච මහා ලොකු වතු ඔක්කොම මේ වෙද්දි කෑලි කෑලිවලට කැඩිලා කම්බි වැටවල් ගහලා නේද?හැම පුංචි පර්චස් දහයේ පහළවේ ඉඩංවල කුකුල් කොටු වගේ බාගෙට සිමෙන්ති ගල්වලින් බැඳපු ගෙවල්.හැම එකේම හොටු පෙරාගත්තු කැහැටු පොඩි එවුන්.මේ ගොල්ලන්ට දෙන්ඩ රස්සා තියෙනවද?නොමිලේ උගන්නන්ඩ, සෞඛ්‍යයට වියදම් කරන්ඩ ආණ්ඩුවට සල්ලි තියෙනවද?

තමුන්ගේ ජාතිය වැඩි කරගන්ඩ කියලා හෝ ගාලා ළමයි හදන්ඩ කියන අය මේවට මොනවා හරි සැළැස්මක් හදලා තියෙනවද?දුප්පත් මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න, දුක හැමදේම අමතක කරන්නේ බීමෙන් සහ රමණයෙන්.ඒ මිනිස්සුන්ට උපත්පාලන ක්‍රම ගැන අවබෝධයක් නොදී උපත් පාලනය විජාතික කුමන්ත්‍රණයක් කියලා කිව්වම මොකද වෙන්නේ?.අනිත් එක ඔවුන්ව ජාතිවාදයෙන් වගේ දේකින් කුළප්පු කරන්ඩ හරි ලේසියි.හොඳට බලන්ඩ ඔය ළමයි හදන්ඩ කියලා වේදිකාවල මුර දෙන ඇත්තෝ ළමයි කීයද හදලා තියෙන්නේ කියලා.ඒක සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා ....කිසිම වෙනසක් නෑ.හොඳට සල්ලි තියෙන උගත් එවුන් ළමයි හදන්නේ උපරිම තුනයි.එහෙම කරලා අනිත් උන්ට කියනවා ජාතිය බේරගන්ඩ ළමයි හදන්ඩ කියලා.මේවා තමයි හොඳම ජෝක්.....


 දේවවාදී ආගම්වලින් මේ උපත්පාලනය ප්‍රතික්ෂේප කරනවනේ.එයාලා කියන විදිහට දේව ක්‍රමයට පිටින් යෑමක් තමයි උපත් පාලන ක්‍රම අනුගමනය කිරීම.ඒ උනාට 'කොයිටස් ඉන්ටරප්ටස්' හෙවත් ධාතු පිටවීමට පෙර ශිෂ්ණය පිටතට ගැනීම කුරාණයේ පවා සඳහන් වෙනවා කියලා තමයි අන්වර් මහත්මයා කියලා තිබ්බේ.අනිත් එක කැලැන්ඩර් ක්‍රමය හෙවත් ඔසප් චක්‍රයේ නිසරු කාලයේ ලිංගිකව එක්වීමත් මේ අය අනුගමනය කරන බව මම වාට්ටුවල සහ ක්ලිනික්වල හම්බ උනු අයගෙන අහගෙන තියෙනවා.කොන්ඩම් එකක් පාවිච්චි කිරීම දේව ක්‍රියාවට පිටින් යෑමක් උනාට ඔය උඩ කිව්ව ක්‍රම පාවිච්චි කරලා දෙවියන්ගේ කනෙන් රිංගන එක අවුලක් නෑ!!! මේවට මට හිනා හිනා......



සාමාන්‍යයෙන් පිරිමි ගැහැනු දෙගොල්ලොම අවුරුදු 15 විතර වෙනකොට ලිංගිකව පරිණත වෙනවා.ලිංගික හැඟීම් ඇතිවෙන්ඩ පටන් ගන්නවා.ඒත් දැන් තියෙන ආර්ථික ක්‍රමය යටතේ කට්ටියට බඳින්ඩ වෙන්නේ අඩුම තරමේ අවුරුදු 25වත් පැන්නට පස්සේ.ඒ කියන්නේ අවුරුදු දහයක් මේ තරුණ ඇත්තන්ගේ ඉවසීම පරීක්ෂා කරනවා.ඒ උනාට ඇත්තටම ඒ විදිහට ඒ අය ඉවසගෙන ඉන්නේ නෑනේ.සිදුහත් කුමාරයත් අවුරුදු 16 වෙනකොට බැන්දා නෙව.ඇයි මේ අපිට විතරක් තහංචි? බැන්දා නොබැන්දා කියලා ලිංගික ආශාවේ අඩු වැඩි වීමක් නෑනේ.ඒ නිසා මේ තරුණ ප්‍රජාව දංවැල් දාලා, තහංචි දාලා හිරකරගෙන ඉන්නවට වඩා තනි තීරණ ගන්ඩ හැකි වැඩිහිටියන් උනාට පස්සේ ඒ අයගේ ලිංගික නිදහස ලබා දුන්නයි කියලා මොකද වෙන්නේ? වැදගත් වෙන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්තන්න උපත් පාලන ක්‍රම ගැන හොඳ දැනුවත් කිරීමක් විතරයි නේද?ඒ වගේම නියම විදිහට ලිංගිකත්වය රසවිඳින්ඩ නියම ලිංගික දැනීමකුත් තිබුණොත් වඩාත් හොඳයි නේද?
masturbation-device_290x290.jpeg
වික්ටෝරියානු යුගයේ ස්වයං වින්දනයේ යෙදීම වැලැක්වීමට මේ උපකරණය ඇන්දුවාලු.....


අනියම් සම්බන්ධතා, ලිංගිකව සම්ප්‍රේශනය වන ආසාදන, අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ගබ්සාවන් වගේ ගැටළු බොහෝ දුරට අඩු කරගන්ඩ නිවැරදි ලිංගික දැනුමක් ලබා දීමෙන් පුළුවන් කියලයි මම විශ්වාස කරන්නේ.අනික දෙන්නෙක් අතරේ ඇති බැඳීම බොහොම ශක්තිමත් කරගන්ඩ සහ ජීවිතේ ගොඩක් ප්‍රශ්න අඩු කර ගන්ඩ හොඳ ලිංගික සතුටක් ලැබීම වැදගත් කියන එකට බොහෝ දෙනෙක් එකඟ වෙනවා නොඅනුමානයි.

අපේ කොලු පැටව් කෙලි පැටව් මෙව්වා එක තියෙන්නේ චූ කරන්ඩ විතරක් නෙමෙයි කියලා දැනගත්තට පස්සේ ඒ ගැන හොයන්ඩ කොච්චර උත්සාහ කළත් නිසි දැනුමක් ගෙදරින් හෝ පාසැලෙන් ලැබෙන්නේ නෑ නේද? ඉතිං මුන් යාළුවන්ගෙන් ලබා ගන්නා අක්‍රමවත් දැනුම නිසා විනාසයක් කරගෙන නවතින්ඩ තියෙන ඉඩ වැඩියි.සිංහලෙන් මේ ගැන නිසි දැනුමක් ලබා දෙන්ඩ මට හැකි විදිහට මම ගත්ත පුංචි උත්සාහයක් තමයි මේ ලිපි පෙළ.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++



කලිං ලිපියට දාන්ඩ තිබ්බ සින්දුවක් දාන්ඩ අමතක උනානේ.ඔන්න ඒක මේකේ දානවා.කට්ටිය බාගන්ඩ හොඳේ.

කෝච්චි බයිලා


26 February 2013

පුංචි අපේ ලොකු වාහනේ


කෝච්චියේ ඇති ආධාරක පොල්ලකි.බලන්න කී දෙනෙක් සහයෝගයෙන් එහි සේවය ලබනවද කියා....


කෝච්චිය කියන්නේ පොඩි මිනිහාගේ ලොකු වාහනේය.උදේ පාන්දරට මිනිස්සු ඇස්වල කබ කඩන්නේ කෝච්චියට නැග්ගාට පස්සේය.හවසට ෂර්ට් එකේ බොත්තං ගලවන්ඩ පටං ගන්නේ කෝච්චියෙන් බහින ගමන්ය.කෝච්චියේ ගමන කොච්චර කටුක උනත් මිනිස්සු කෝච්චියේ යන්ඩ ආසාය.හිරවෙලා තෙරපිලා, දාඩිය පෙරාගෙන උනත් හැමදාම යන එන එක කල්ලියේ ඇත්තෝ පුළු පුළුවන් හැටියට සෙට් වෙලා පච හැලීම, ජැක් ගැසීම මෙන්ම ඕමි ගැසීම ආදියෙන් යන එන ගමන තෘප්තිමත් කර ගැනීමට හුරු වී සිටිති.

කෝච්චියේ ගැන්සියක් යනු වෙනම සංස්කෘතියකි.වෙන වෙලාවට කොච්චර කුහක කුම්මැහි එකා උනත් කෝච්චියේදී ටිකක් වෙලා ඉඳගෙන ගියාට පසු කල්ලියේ වෙන එකෙක්ට ඉඳ ගැනීමට අසුන දෙන්නේය.පුංචි කෑමක් උනත් ගැන්සියම බෙදාගෙන කන්නෝය.චීන ජංගම දුරකතනයෙන් හැමෝටම ඇහෙන්න සින්දු දමාගෙන යන්නෝය.කොහෙන් හෝ ඇසූ , විහිළු කතාවක්, කේළමක් ආදිය රසකර කියමින් ගැන්සිය මෙන්ම ඇසෙන මානයේ සිටින හැමෝම සිනා සාගරයේ ගිල්වන්නෝය.කළිං දවසේ 'චංගුමී' බලන්ඩ බැරි වෙච්ච එවුන්ට සිද්ධ වෙච්ච දේ කියන්නෝය.


කෝච්චියේ හොර ලව් සිද්දි ද එමටය.අපේ රටේ මිනිස්සු කොහොමත් තනිව සිටින්නට කැමති නැත.එච්චරට සමාජශීලී ය.එනිසා කෝච්චියේදීවත් තනිවී ගමන් කරන්නට කැමති නැත.ඒ වගේම හැමෝගේම හදවත් ප්‍රේමයෙන් පිරිලා ඉතිරිච්ච ගමන්ය තිබෙන්නේ.ඒ ප්‍රේමයෙන් කොටසක් කෝච්චියේ යන එන මිතුරෙකුට හෝ මිතුරියකට පිරිනමන්නට සැබෑ ශ්‍රී ලාංකිකයා කිසි විටෙක පැකිලෙන්නේ නැත.මන්ද සිය සැමියාට හෝ බිරිඳට ද දීමට ඇති තරම් ප්‍රේමය තමා සතු බව ඔවුන්ට හොඳින්ම විශ්වාස නිසාය.කෝච්චියේ සෙනඟ පිරෙනවාට කවුරු අකමැති උවත් මේ පෙම් කුරුල්ලෝ නම් අකමැති නැත.පෙනහළු දිගහැරෙන්නට හුස්මක් ගන්නට නොහැකි තරමට දුම්රිය මැදිරිය තුළ පීඩනය වැඩි උවද ප්‍රේමාලිංගනයෙන් වෙලී මෙලොවින් ගව් දහස් ගණනක් ඈත වෙසෙන ඔවුන්ට ඒ ගැන වගක්වත් නැත.උදේට දෙමටගොඩට යනතුරුත් හවසට ගම්පහට එනතුරුත් ඔක්සිජන් බිඳක්වත් නොපතන මේ පෙම්වතුන්ව ජීවත් කරවන්නේ ඔවුන්ගේ පරම පිවිතුරු ප්‍රේමයයි.


ජැක් ගැසීම ජීවන වෘත්තිය කරගත්තාවා අංකල්ලා මෙන්ම ජැක් වැදීම දෛනික සිදුවීමක් වූ අක්කලාද කෝච්චියේ යති එති.ජැක් ගැසීමෙන් මිනිහෙක් තෘප්තිමත්වන ආකාරය මට කොහෙත්ම හිතාගත නොහැක.උදේ ජැක් ගැසීම කෙසේ වෙතත් ජුගුප්සාවක් නැතුව දහදිය ගඳ ඉවසමින් හැන්දෑවට ජැක් ගහන්නේ මොන කුණු පෙරේතයින්දැයි සිහිනෙන්වත් සිතා ගත නොහැක.සමහර වෙලාවට ඇන්ටිලා සෙනඟ තල්ලු කරගෙන පෙරළාගෙන ඇවිත් පිරිමියෙක්ගේ ඉස්සරහින් හිට ගනිති.ඉන්පසු කෝච්චිය ගැස්සෙන වාරයක් වාරයක් පාසා අර අසරණ පිරිමියා දවා හළු කරන බැල්මෙන් රවති, 'චුඃ' ගාති.අර අසරණයා සිය කටී පෙදෙස ඇන්ටීගේ පශ්චාත්භාගයේ ස්පර්ශ නොවන සේ තබා ගැනීමට පරිස්සම් විය යුතු අතරම ගැට කපන්නන්ගෙන් ගැටයද පරිස්සම් කර ගත යුතුය.

'ගැට කපන්නා' යන වදන බිහිවීම ගැන මා තුල අවිනිශ්චිත අදහසකි ඇත්තේ.එය මිනිසුන් ලේන්සුවේ ගැට ගසාගෙන ගිය මුදල් සොරකම් කිරීම නිසා උපන්නේද නැත්නම් ඇන්ටිලා හැට්ටේ අස්සේ සඟවාගෙන ගිය මුදල් හොරකම් කිරීම හා සම්බන්ධව බිහිවීද යන්න පැහැදිලි නැත.කෙසේ වෙතත් මුදල් පසුම්බි නැති වීම දැන් එතරම් බහුලව සිදු නොවේ.'මුදල් පසුම්බි' යන වදන ද ශබ්ධ කෝෂයෙන් ඉවත් කළ යුතුයැයි හොරුන් විසින් ළඟදීම යෝජනා කරනු නියතය.පසුම්බියේ ඇත්තේ සීසන් පත්‍රය,දින දර්ශන, බිල්පත්, බස් ටිකට්, බැංකු කාඩ්, හැඳුනුම් පත්, සහ රියැදුරු බලපත්‍ර ආදිය ය.මුදල් කියා ඇත්තේ දෛනික බස් ගාස්තුව සඳහා රුපියල් දහයක් හෝ විස්සක් පමණක්ය.කලකට පෙර ජංගම දුරකථන සොරකම් කිරීම සීඝ්‍රව ඉහළ ගියේය.නමුත් චීන දුරකථනවල ආගමනයත් සමඟ ඒවා සොරකම් කිරීමද පාඩු ලබන්නට වූ බැවින් ඒවා සොරකම් කිරීමද දැන් පහළ ගොස් ඇත.මේ දිනවල දුම්රියේ යන එන මගීන් වැඩියෙන් පරිස්සම් කරන්නේ එළවලු මල්ලය.


කෝච්චියේ යන එන ගමනේ විනෝදය රැක ගැනීම පිණිස සමහරු සින්දු කීමට පෙළැඹී සිටිති.රුපියල් දෙකේ කාසියක් ගෙන මැදිරියේ බිත්තිය‍ය සහ ජනේලයට තලමින් සිදු කරන සමූහ ගායනයේ ගායකින්ට වඩා සිටින්නේ කොහෙට හෝ තට්ටු කරමින් තාල වාදනය සපයන වාදන ශිල්පීන්ය.ඒ නිසා තරමක් දුරට ඇහෙන්නේ 'ටක්ක...ටකුටු....ටක්ක....ටකුටු...' යන තාල වාදනය මිස ගායනා කරන ගීතය නොවේ.මෙසේ කරන ගායනය ප්‍රජා සේවයක් මිස ආදායමක් උපයන්නේ නොවේ.දුම් රියේ ආදායමක් උපයන අදහසින් ගීත ගයන්නෝ ද සිටිති.සෙනඟ තරමක් අඩු වෙලාවට බොංගෝ එකක්ද රැගෙන එන මොවුන් සෑම විට 'හොරෙක් මංකොල්ල කාරයෙක්' නොවෙත්.එමෙන්ම සියල්ලෝම පාහේ සල්ලි හොයන්නේ 'ඔවුන්ට පුළුවන් හැටියකට සින්දුවක් දෙකක් කියලා'ය.ඒ වගේම හැමෝම 'උදේ ඉඳං හවස් වෙනකං කෝච්චි පෙට්ටියක් පෙට්ටියක් ගානේ නැගලා උගුර බැරැණ්ඩි වෙනකං' සින්දු කියති.සින්දු දෙකක් කියා අවසානයේදී ඔවුන් ඉල්ලන්නේ 'අතේ මිටේ තියෙනවනං කීයක් හරි' ය.ඒ වගේම 'හොරෙක් වංචාකාරයෙක්' යැයි නොපෙනෙනවා නම් ය.

එයිට වඩා අසරණ ගායකයෝද කෝච්චියේ සිටිති.අන්ධයින්, කුඩා ළදරුවන් සිටින සැමියා මිය ගිය මව්වරුන් ආදීන් කියන්නේ ද ශෝක ගීත හෝ කවි ය.

නෝනාවරුනි මහතුනි මට වෙන්ඩ සමා....
මම වඳිනවා ඔහෙලට මගෙ සිරස නමා......
උරුමය වෙන්ඩ තිබුණේ මේ දුකම තමා....
පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා.....

මේ කෝච්චියේ නිතර හමුවන කාන්තාවකි.උදරයේ පෙකණිය (බුරිය ) ආශ්‍රිතව ඇතිවී ඇති හර්නියා තත්ත්වය (රතු ඊතලය ) ආදායම් මාර්ගයක් කරගෙන ඇත.


ඉන්පසු එන්නේ රෝගය විකුණා ගන්නට බලන ඇත්තෝය.හර්නියා, බරවා, අතපය කොර වූවන් ආදී ලෙස වෛද්‍ය විද්‍යාවේ ඕනෑම ආකාරයක රෝගයක් සමඟ රෝගය සහතික කරන 'ඉංගිලිසි'යෙන් ලියූ රෝග නිශ්චය පතක් ද රැගෙන එන්නන් රෝහලේ සායනයකට නොයන්නේ මන්දැයි මටනම් තේරෙන්නේ නැත.'කිසිම වැඩක් පලක් කරගන්නට නොහැකි' අබ්බගාත ඇත්තෝ ධාවනය වෙන දුම් රියට නගින්නේ මහත් වූ ක්‍රියාශීලීත්වයකිනි.රෝගයට කොහෙත්ම අදාල නොවන රෝග නිශ්චය පතක් රැගෙන එන්නන්ද බොහෝ වෙත්.සමහර මඟීන් තමුන්ට රෝගය තේරෙන්නාක් මෙන් රෝග නිශචය පත දෙසද බලා මුදල් දෙති.ඉන්පසු මහත් අනුකම්පාවෙන් රෝගී යාචකයා දෙස බලා සිටිති.

තමුන්ට නාගෙන ඇඳ සිටින රෙද්ද හෝදා ගැනීමට මුදල් වැයවන එකම රට ලංකාව විය යුතුය.ලංකාවේ යාචකයාගේ ප්‍රධාන ලක්ෂණය ඉවසිය නොහැකි ගඳ ය.ලංකාවේ ඇති ගංගා එකසිය තුනේම මෙන්ම සිය ගණනක් වන වැව් හා ඇළ දොළ ළිං පොකුණු ආදියේ නෑම සහ රෙදි සේදීම සඳහා ප්‍රාදේශීය සභා හෝ පළාත් සභාවලින් මුදල් අය කරනවා විය යුතුය.නැතිනම් එසේ නෑම හා රෙදි සේදීම දඬුවම් ලැබිය හැකි වරදක් ද විය හැක.

කෝච්චියේ අනිකුත් සමාජ සම්බන්ධය ගොඩ නඟන්නේ වෙළෙන්දෝය.පහක් සීයයි කූල් නාරං වල සිට ඇපල්, දෙළුම්, තොප්පි, මැජික් බෝල, බෑග් මලු, නලා, පොත් පත් (කඩේ ගන්ඩ ගියොත් දෙසිය පණහයි...මම දෙන්නේ පහම සීයට.... ), ස්වීප් ටිකට් (ගියොත් විෂ්ෂයි ආවොත් කෝටියයි..අද අදිනවා සම්පත අදයි.....), වඩේ (ඉෂ්ෂෝ වඩේ වඩේ වඩේ වඩේ............දහයට පහයි පහක් දහයයි ඉෂ්ෂො වඩේ වඩේ වඩේ.........), කඩල, රටකජු (බෝල කඩල..ටේස් කඩල..කජි කඩල රටකජි.....), ආදී එකී නොකී සියල්ලම දුම්රියේ විකුණන්නෝය.හොඳට කැපෙන හයිය පිහි, පහේ කාසී චේන් වගේම දත් කැක්කුමට කණ් කැක්කුමට කල්ක චූර්ණ අරිශ්ඨ ආදියටද කෝච්චියේ හොඳ ඉල්ලුමක් ඇත.

මේ කිසිම මානව සම්බන්ධතාවකට රජය මැදිහත් වන්නේ නැත.මේ කිසිවක් වෙනස් නොකිරීමට රජය තීරණය කරගෙනද සිටී.ඒ සියල්ල ජනතාවාදී ආණ්ඩුවක යහපත් තීරණයන් වේ.මහ බැංකු වාර්ථා අනුව චීන ආර්ථික වර්ධන වේගයට කිට්ටු වේගයකින් සංවර්ධනය කරා ගමන් කරන අපේ රටේ ජනතාවගේ සමාජ සම්බන්ධතා ඒ අයුරින්ම රැක ගැනීමට රජය කටයුතු කිරීම මහත් කොට පැසසිය යුතුය.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


කෝච්චි සම්බන්ධ සින්දුවක් දාන්ඩ හිතාගෙන හිටියට අමතක උනා.පරක්කු වෙලා උනත් ඔන්න දැම්මා.පරක්කු වෙලා කියවන ඇත්තෙක් ඉන්නවනං ඔන්න බාගෙන අහන්ඩ හොඳේ...

කෝච්චි බයිලා


13 February 2013

උසස් පෙල කරන්නේ කොහොමද? 2



ළමයි මැටි සහ මීටර් වීම ගැන ඔන්න එහෙනං අද කියන්ඩයි යන්නේ.මේ ගැන මගේ මතයක් තියෙනවා.ඒක ඉතිං වැරදි වෙන්ඩ පුළුවං.කමක් නෑ ඔන්නොහේ කියන්නංකෝ.සමහර ළමයි පුංචි කාලේ ඉඳලා අනිත් ළමයින්ට වඩා බුද්ධිමත් තමයි.හැබැයි ඒකෙන් කියවෙන්නේ නෑ අනිත් එවුන් මැටි කියලා.මොකද මිනිස් මොළය කියන්නේ මහ පුදුම උපකරණයක් නේ.මේකත් නිකං කිඹුලා උදැල්ල වගේ තමයි.කපන්ඩ කපන්ඩ තමයි මුවහත් වෙන්නේ.අපේ මොළය අපි හරියකට වැඩක් ගන්නැතුව තිබ්බොත් ඒක නිකං මළකඩ කාපු පරණ ලොරියක් වගේ වෙනවා.ඕනේ වෙලාවට තල්ලු කරලා ස්ටාර්ට් කරගෙන හෙමිහිට පැද්දි පැද්දි තමයි වැඩ කරන්නේ. අපේ මොළයට හැකියාවක් තියෙනවා ඒකෙන් ගන්න වැඩේ අනුව අදාල කොටස වර්ධනය කර ගන්ඩ.මේක ගොඩක් සිද්ද වෙන්නේ පුංචි කාලෙදි.ඒකයි පුංචි කාලෙදි දේවල් පුරුදු කරන්ඩ ලේසි.

මම හිතන විදිහට පුංචි එකෙක් ඉපදෙනකොට උගේ මොළය නිකං හිස් කඩදාසියක් වගේ.ඊට පස්සේ ඌට ලැබෙන සංවේදනයන් එකින් එක උගේ මොළයේ සටහන් වෙන්ඩ ගන්නවා.අන්න ඒ දැනුම සහ අත්දැකීම් හරහා තමයි උගේ ජානවලින් තීරණය වෙච්ච බුද්ධිය වර්ධනය වෙනවද නැත්තං කෙළ වෙලා යනවද කියලා තීරණය වෙන්නේ.දැං අපිට පුරුදු කරලා තියෙන්නේ පීඩියා ප්‍රෝඩාව ටිකකුයි වන් ප්ලස්, ටූ ප්ලස්, ත්‍රී ප්ලස් සහ චණ්ඩි බන්ඩි තියේ නං පොඩි එකා ලොවෙත් වැඩ කාරයෙක් වෙනවා ශුවර් කියලනේ.අනේ ඉතිං කාට කියන්ඩද මේවා.මේවා දෙන එක මං කියන හින්දා නවත්තන්ඩ එපා ඕං.අන්තිමට ඔය කොම්පැණි කාරයෝ මට තමයි ගේම දෙන්නේ.ඒක හින්දා ඔය ඇඩ්වල දාන විදිහේ ඒවා දෙන්ඩ හැබැයි පොඩි එකාගේ මොළේ හැදෙන විදිහටත් මොනවා හරි මනසට ආහාර ටිකකුත් දෙන්ඩ.

අපේ අම්මලා දැං පුරුදුවෙලා ඉන්නේ එයාලා 'චංගුමී' බලනකං පොඩි එකාවත් ඒකටම පුරුදු කරගන්න එකනේ.ඇත්තටම පොඩි එවුන්ට ටීවීනං බලන්ඩ දෙන්ඩ එපා.පොඩි එකාගේ මොළය හොඳටම වැඩ කරන්නේ පොතක් කියවද්දි.මොකද ඌ පොතේ අකුරුවලින් කියවන දේ උගේ මනස ඇතුලේ මවා ගන්ඩ උත්සාහ කරනවනේ.අන්න ඒ පරිකල්පන ශක්තිය කියන එක ටීවී එක බැලුවම විනාශ වෙලා යනවා.මොකද ඒක බලලා මොන බම්බුවක් මවා ගන්ඩද?

අපොයි පැන්නනේ මාතෘකාවෙං පිටට.උ/පෙ කරන හැටි ගැන කියන්ඩ ගිහිල්ලා ළමයි හැදිල්ල ගැන නොවැ කියන්නේ මේ.


දැං ඔන්න නැවතත් සුපුරුදු වැඩසටහන ඈ....

ඔය අපේ කට්ටිය කියනවනේ දේවල් මතක තියාගන්ඩ අමාරුයි, මේක එකපාර තේරුම් ගන්ඩ අමාරුයි, වගේ චෝදනා.ඇත්තටම මේ දේවල් නැවත නැවත උත්සාහ කළාම තමයි මොළේ අදාල ප්‍රදේශ පොලිෂ් වෙලා, මළකඩ එහෙම කැඩිලා හොඳට වැඩ කරන්ඩ ගන්නේ.ඒ හින්දා මතක තියාගන්ඩ ඕනෙම මැට්ටෙක්ට පුළුවං ඇත්තටම උවමනාව තියෙනවා නං මීටරයක් වෙන්ඩ.එහෙම මීටරයක් උනාම තියෙන ආතල් එක ඔයාලා දන්නවද දන්නේ නෑ.මමනං ඒකෙ ආතල් එක හොඳටම අත්දැක්කා.මම පළවෙනි පාර උ/පෙ කරලා ඉස්කෝලෙට ගිහිල්ලා අපේ මැඩම්ට ප්‍රථිපලේ කිව්වම මම පාස් උනා කියලා මැඩම් විශ්වාස කළේ නෑ.ඇත්තටම මට උනත් ඒක විශ්වාස කරගන්ඩ බැරුවයි හිටියේ.ඒත් දෙවෙනි පාර උ/පෙ භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්තරේ ලියලා කෝච්චියේ ගෙදර එද්දි මගේ යාලුවෝ මගේ පේපර් එකේ මම ගහලා තියෙන උත්තර බල බල උංගෙ උත්තර මගේ ඒවයිං වෙනස් උනාම 'ශිඃ මගේ ඒකත් වැරදියිනේ බං' කියලා කියද්දි මට මම ගැන ආව අභිමානය සහ ආඩම්බරය ආයේ කියලා වැඩක් නෑ.මම උඩ ගිය පාර කෝච්චියේ උඩ ෆෑන් එකෙත් වදින්ඩයි ගියේ ඕං.

හරි පොර කතා විරාමය අවසන් නැවතත් පාඩමට යොමු වෙමු.

ඊළඟට අපි නිකං පොදුවේ කතා කරමුකෝ කට්ටිය ඒ ඒ විශය ධාරාවන් තෝරගන්න එක ගැන.ඔන්න මමනං උ/පෙ වලට කරන්ඩ ආසාවෙන් හිටියේ සිංහල, දේශපාලන විද්‍යාව, සහ තර්ක ශාස්ත්‍රය කියන විශයයන් තුන.කොහෙද ගෙදරින් දැම්මා බර බරේ.මේක ඉතිං ගොඩක් අයට සිද්ධ වෙන දෙයක්නේ.තමුං ඉගෙන ගන්න දේ ගැන තීරණයක් ගන්ඩ ළමයට අයිතියක් නෑ.රටේ රස්සා තියෙන හැටියට ඉතිං එහෙම වෙන එකෙත් වැරැද්දක් කියන්ඩ බෑ.කොහොම හරි වැදගත් වෙන්නේ තමුන් ඉගෙනගන්න විශයට කැමැත්තක් හදා ගන්න එක.ඒක හදාගන්නේ කොහොමද කියන එක තීරණය වෙන්නේ ඒ ඒ පුද්ගලයා මත.උදාහරණයක් විදිහට මට තියෙනවා දත්ත හෙවත් එක එක කරුණු දැනගැනීමේ තණ්හාවක්.ඒ  නිසා මම මගේ හිතට තේරුම් කළා 'මචං දිනුක උඹ ආර්ට් ඉගෙනගන්න හිතුවට දැං මේකනේ ඉගෙන ගන්ඩ උනේ.ඒ උනාට හිතපං උඹට මේ විශයයන් ටික ඉගෙන ගත්තොත් මුළු විශ්වයම අධ්‍යයනය කරන්ඩ අවශ්‍ය කරන පදනමක් වැටෙනවා.බලපං විශ්වයේ දේවල් ඔක්කොම ශක්තිය සහ පධාර්ථය කියලා බෙදන්ඩ පුළුවං.ආයේ පධාර්ථය සජීවී පධාර්ථය සහ අජීවී පධාර්ථය කියලා බෙදන්ඩ පුළුවං.ඉතිං භෞතික විද්‍යාවට උඹ 'ශක්තිය' ගැන ඉගෙන ගන්නවා.රසායන විද්‍යාවට උඹ 'අජීව පධාර්ථය ගැන ඉගෙන ගන්නවා.ජීව විද්‍යාවට 'සජීව පධාර්ථය' ගැන ඉගෙන ගන්නවා.හෙන සිරා වැඩක්නේ බං.'
ඔහොම හිතලා පළවෙනි පාර කළේ නැති උනාට දෙවෙනි පාරනං හරිම ආසාවෙන් වැඩේ කළා.ඒ වගේම ගොඩ ගියා.




ඒ කියන්නේ අපි විශය තෝරගන්නේ විශයට කැමැත්තෙන් නෙමෙයිනං අපි විශය ඉගෙනගන්ඩ උනන්දු වෙයිද? නෑනේ.ළමයෙක් කැම්පස් යන්ඩ ඕනේ හින්දා විශය ධාරාවක් ඉගෙන ගන්නවනං ඒ ළමයා විශයන් ටික දකින්නේ තමුන්ට කැම්පස් යන්ඩ බැරිවෙන විදිහට දාපු බාධකයක් විදිහටනේ.එතකොට විශයත් එක්ක තරහා යනවා මිසක් ඒක ආදරයෙං ඉගෙන ගන්නේ නෑනේ.ඒ නිසා වැදගත්ම දෙයක් තමයි ඉගෙන ගන්න විශයට කැමති වෙන්ඩ.ඒ කියන්නේ විශයට කැමති නිසා ඉගෙන ගන්නවා කියලා තමුන්ව රවට්ට ගන්ඩ.එතකොට ටික කාලයක් යද්දි 'ගොබෙල්ස් න්‍යාය' අනුව ඒක තමුන්ටම ප්‍රත්‍යක්ෂයක් වෙලා යනවා.

හරි අදට ඇති 'ලබන කොටස ඉතිරි සතියේ....'

08 February 2013

උසස් පෙල කරන්නේ කොහොමද?




මේ ලිපිය ගොඩක් අයට වැදගත් නැති වෙන්ඩ පුළුවං.ඒ උනත් මේ අදහස් ටික මගේ පුංචි ඔළු ගෙඩිය ඇතුලේ හිර කරං ඉන්නවට වඩා එකෙක් හරි ප්‍රයෝජනයක් ගත්තොත් වටින නිසා ඔන්නොහේ ලියලා දාන්ඩ හිතුවා.

උ/පෙ එහම නැත්තං අපේ රටේ වැදගත්ම අමාරුම විභාගෙ.මේක සමත් වෙන්ඩ සමහරු නොකන කට්ටක් නෑ.මේ ගැන මිනිස්සුංගේ තියෙන උනන්දුවේ තරම පේනවා දැං ටීවී එකේ දාන ටියුෂන් පන්ති ඇඩ් තොගේ දැක්කම.මම සමාජ විද්‍යාඥයෙක්වත් අධ්‍යාපනඥයෙක්වත් නෙමෙයි.ඒක නිසා 'විභාගය සමත්වෙන මඟ' කියලා ලොවෙත් ලිපියක් ලියන්ඩ මම දන්නේ නෑ.ඒත් දෙපාරක් උසස් පෙල කරලා ඊට පස්සේ ආතල් එකට ආයෙත් පාරක් කරපු එකෙක් විදිහට මම ලබපු අත්දැකීම් සහ මම ඉගෙන ගත්තු පාඩම් (විභාගය ගැන ) කට්ටිය එක්ක බෙදාගන්ඩ හිතුවා.

මම බ්ලොගේ පටන් ගත්තු කාලේ ගොඩක් බ්ලොග් ලෝකේ හිටියේ පශ්චාත් උ/පෙ කට්ටිය උනාට දැං සා/පෙ කරලා බ්ලොග් ලෝකේ කරක් ගහන ඇත්තොත් සෑහෙන්ඩ ඉන්න හින්දා ඒ අයට මේක වැදගත් වෙයි කියලා හිතනවා.හැබැයි වැඩේ කියන්නේ මම උ/පෙ කරන කාලෙත් අයියලා අක්කලා පන්තිවලදි ,කෝච්චියෙදි, බස් එකේදි පවා මේ විභාගේ කරගන්න හැටි ගැන උපදෙස් දුන්නට මමනං හැදුනේ නෑ.මගේම අත්දැකීම්වලින් තමයි මම පාඩං ඉගෙනගත්තේ.හැබැයි ඒකෙන් උනේ ජීවිතේ අවුරුද්දක් පස්සට ගිය එක.ඒ උනත් ඒ අවුරුද්ද නිකම්ම අපතේ ගිය එකක් නෙමෙයි.මම ගඩක් දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම ඇතිවෙන්ඩ ජීවිතේ ආතල් ගත්තා.හරි දැං පොර ටෝක් ඉවර කරලා ලියන්ඩ හදන එක ලියන්නංකෝ.

ඇත්තටම උසස් පෙල ඔය කියන තරං අමාරු විභාගයක් ද? කියන ප්‍රශ්නෙට මටනං කියන්ඩ තියෙන්නේ 'නෑ' කියලා තමයි.විභාගේ ප්‍රශ්නවල තියෙන්නේ එක්කෝ අපි දන්න දේවල්, එහෙම නැත්තං ටිකක් දන්න දේවල්, ඒත් නැත්තං නොදන්න දේවල්.

එතකොට ළමයි 'මීටර්' සහ 'මැටි' කියලා ජාති දෙකක් ඉන්නවද? ආයෙත් මගේ උත්තරේ වෙන්නේ 'නෑ' කියන එක තමයි.මන්ද බුද්ධිකව ඉපදෙන සහ මානසික රෝගී සමහරෙක් ඇරුනම අනිත් ළමයි බෙදන්ඩ වෙන්නේ 'කම්මැලි' සහ 'කම්මැලි නැති' කියන වර්ග දෙකට.මේ කරුණ මට ප්‍රත්‍යක්ෂ උනේ මමත් 'මැටි' කියන ගොඩට දාලා ලෝකයා සැළකුවා වගේම මාත් ඒක විශ්වාස කරපු කාලයක් තිබුණත් පස්සේ කම්මැලිකම පැත්තකට දාලා 'මීටර්' කියන ගොඩට එන්ඩ මට පුළුවං උනා වගේම දැං කැම්පස් එකේදී ආයෙමත් 'මැටි' කියන ගොඩට වැටිලා ඉන්නේ කම්මැලිකම හින්දා කියන එක හොඳින්ම අවබෝධ උන හින්දා.


හරි දැං අපි බලමු ඒ ඒ ළමයි ඇයි ඒ ඒ විශය ධාරාවන් තෝරගන්නේ කියලා.


  • බහුතරයක් අය ඒ ඒ විශය ධාරාවන්ට යොමු වෙන්නේ දෙමව්පියන්ගේ මග පෙන්වීම යටතේ.
  • සමහරු ඒ විශය ධාරාවෙන් යොමුවිය හැකි රැකියා අවස්ථාවල ආදායම, සමාජ තත්ත්වය ආදිය ගැන හිතලා යොමු වෙනවා.
  • තවත් කට්ටියක් ඒ විශය ධාරාවෙන් යොමුවෙන රැකියාවලට කැමති නිසා විශය ධාරාව තෝරගන්නවා.
  • සමහරු විශ්වවිද්‍යාල ජීවිතය ගැන අහලා විශ්වවිද්‍යාලයකට යෑමේ ආශාව නිසා පහසු විශය ධාරාවක් තෝරගන්නවා.
  • සාමාන්‍ය පෙල හොඳින් සමත්වෙන්න නොහැකි වුන නිසා කරන්නට දෙයක් නොමැති කමට කලා විශ ධාරාවට තේරෙණවා.
  • තවත් කට්ටියක් යාළුවෝ, නෑදෑයො හෝ අසල්වැසියෝ කරන නිසා ඒ ඒ විශය ධාරාව තෝරගන්නවා.
  • ඉතාම සුළුතරයක් ඒ ඒ විශයයන්ගේ උගන්වන කරුණුවලට ආසා නිසා ඒ විශය ධාරාව තෝර ගන්නවා.
දැං බලමු සාමාන්‍යයෙන් විභාගය අසමත් වෙන්ඩ බලපාන කරුණු ටිකක් මම දකින විදිහට.

  1.  දැනුම ප්‍රමාණවත් නොවීම.

  • මේක සිද්ධ වෙන්නේ ලංකාවේ ගොඩක් ඉස්කෝලවල ගුරුවරු හරියට උගන්නන්නැති නිසා.ඒ වගේම සල්ලි දීලා යන ටියුෂන් පන්තිවලත් වෙන වල්පල්වලට අවධානය දාලා විශය කරුණු ගොඩක් මගහරවගන්න නිසා.
  • සා/පෙ ඉවර උනාට පස්සේ ටියුෂන් යන්ඩ ගත්තම ගෙදරින් ලැබෙන නිදහසත් එක්ක රස්තියාදුවට පුරුදු උනාම ඒකෙන් ගැලවෙන්ඩ බැරි නිසා.
  • ලව් හුටපට පටං අරගෙන ඒක හරියට කළමනාකරණය කරගන්ඩ බැරුව යන නිසා.
  • ඉගෙනගන්න එක මහා බරක් කරගෙන පාඩම් කරන එක එපා කරවගන්න නිසා.
  • තමුන් අධ්‍යයන කටයුතු කළයුතු විදිහ වටහා නොගැනීම නිසා.
  • ජීවිතේ වටිනා කාලය ටීවී එක වැනි නොවැදගත් දේවල්වලට නාස්ති කර ගැනීම නිසා.

    2.  විභාගයට මුහුණ දියයුතු විදිහ නිසි ලෙස අවබෝධ කර නොගැනීම.

  • මෙයද ගුරුවරුන්ගේ නිසි මග පෙන්වීම නොමැති වීම නිසා සිදුවන විශාල හානියක්.
  • ළමයා විසින් ඇතිකරගත් විභාග භීතිකාවක් තුල හිරවීම.
  • කාල කළමනාකරණයේදී අසාර්ථක වීම.

හරි දැං මේ එක එක කරුණුවලට මගේ විග්‍රහයන් දෙන්ඩයි යන්නේ.

විභාගේ අමාරුද කියන එකට මම කිව්වනේ අමාරු නෑ කියලා.ගොඩක් විශය කරුණු තියෙන්නේ නිකම්ම මතක තියාගන්ඩනේ.මතක තියාගන්න ක්‍රම ගැන පස්සේ කතා කරමු.නමුත් සමහර දේවල් තියෙනවා තෙරුම් ගන්ඩ.අන්න ඒ වෙලාවට ගුරුවරයාගේ පැහැදිලි කිරීම අසාර්ථක වෙන්ඩ පුළුවං.මොකද ගුරුවරයා දෙයක් පැහැදිලි කරන්නේ ඒක ඔහු/ඇය තේරුම් ගත්ත විදිහටනේ.ඒක හැම ළමයෙකුටම තේරුම්ගන්ඩ අපහසු වෙන්ඩ පුළුවං.අනික ඉස්කෝලේ පන්තියෙදි හෝ ටියුෂන් පන්තියෙදි ගුරුවරයා 'තේරුණාද ?' කියලා අහපුවාම අපි හැමෝම 'ඔව්.....' කියලා කියනවා මිසක් 'නෑ තේරුණේ නෑ...ආයෙ කියන්ඩ' කියලා කියන්නෑනේ.හැබැයි ඇත්තටම ලැජ්ජාව පැත්තකින් තියලා එහෙම කියන්ඩ පුළුවන්නං හොඳයි.හැබැයි එයිට වඩා හොඳම ක්‍රමය තමයි ඒ විශය කරුණ අඩංගු පොතක් හොයාගෙන හෝ තමුන් ලියාගත්තු සටහන කියවලා 'ඇයි මේක මෙහෙම උනේ?' කියලා කල්පනා කරලා තමුන්ම තේරුම් ගන්ඩ උත්සාහ කරන එක.අනුන් මත යැපෙනවට වඩා ස්වාධීන වෙන එකේ මාර ආතල් එකක් තියෙනවා.අනිත් එක එහෙම ඉතාම පුංචි දෙයක් උනත් තමුන් පැය ගාණක් හිතලා කොහොම හරි තේරුම් ගත්තොත් ආයි අමතක නං වෙන්නේ නෑ.

බොහොමයක් විශය කරුණු දැනං ඉන්නවට වඩා අවබෝධ කරං ඉන්නවනං විභාගේ අමාරු වෙන්නේ නෑ.මොකද ඕනෙම දෙයකින් ගැටළු හදන්ඩ පුළුවන් සීමාවක් තියෙනවනේ.විශේෂයෙන් ඔය ගණන් හදන්ඩ තියෙන විශයයන්වල එහෙම.එතකොට අපි සංකල්පය දන්නවනං කිසි අවුලක් නැතුව පටස් ගාලා උත්තරේ දෙන්ඩ පුළුවං.

ඉතුරු කොටස පසුවට.........


02 February 2013

වැදගත් විශය 16 ( Sex Education in Sinhala )


ස්ථිර පවුල් සැලසුම් ක්‍රම



මේක එක්කෝ ස්ත්‍රියට හෝ පුරුෂයාට කර ගන්න පුළුවන්.


ස්ත්‍රියට සිදුකරන ස්ථිර උපත් පාලන ක්‍රමයට කියන්නේ ටියුබෙක්ටමි කියලා.අපි පාවිච්චි කරන්නේ LRT  හෙවත් Ligation and Resection of the Tubes කියන නම.

මේකෙදි සිද්ද වෙන්නේ ඩිම්බකෝෂවල ඉඳලා ගර්භාශයට ඩිම්බය රැගෙන එන පැලෝපීය නාල දෙකම කපලා කෙළවරට ගැටයක් දාන එක.ඒ මඟින් ඩිම්බය ගර්භාශයට එන එක වළක්වන එක හරහා සහ ශුක්‍රාණුවලට ඩිම්බය හමුවීම වැළැක්වීම හරහා උපත් පාලනය ලබා දෙනවා.

මේ ක්‍රමය ස්ථිර එකක්.ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි ක්‍රමයක්.බැහැ කිව්වට බැරිම නෑ.නමුත් නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරලා ශල්‍යකර්මයක් සිද්ධ කළාට එච්චර සාර්ථක නෑ.ඒ වගේම නැවත සම්බන්ධ කරන තැන පොඩි අවහිරතාවයක් තිබුනොත් තවත් ගැටළුවක් ඇතිවෙන්ඩ පුළුවන්.ශුක්‍රාණු කුඩා හින්දා ඒවට පොඩි අවහිරයෙන් රිංගලා ගිහිල්ලා පැලෝපීය නාළ කෙළවරේදී ඩිම්බය සංසේචනය කරන්ඩ පුළුවන් උනාට ඩිම්බය විශාල නිසා අවහිරයක් තියෙන තැනකින් එන්ඩ අපහසුයි.ඒවගේ වෙලාවට ගර්භාශයෙන් පිටත සිදුවෙන ගැබ් ගැනීම් හෙවත් ectopic pregnancy ඇති වෙන්ඩ අවධානමක් තියෙනවා.මේ තත්ත්වය දරුවට කොහොමත් බලපානවා වගේම අම්මගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්ඩ පුළුවන්.නමුත් මේ අවධානම් ඔක්කොම ඇතිවෙන්නේ නැවත පැලෝපීය නාළ සම්බන්ධ කරන්ඩ ගියොත් විතරයි.ඒ ඇරෙන්ඩ මේ ක්‍රමය නිසා හෝ ශල්‍යකර්මය නිසා මොනවත් බරපතල ආබාධ ඇතිවෙන්නේ නෑ.

නමුත් මේ ක්‍රමයේ වාසි තමයි තමන්ගේ පවුල සම්පූර්ණ කළාට පස්සේ තවත් දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ ක්‍රමය බොහොම ලාභදායී මෙන්ම විශ්වාසවන්ත පවුල් සැලසුම් ක්‍රමයක් වීම.මම දන්න විදිහට තවමත් ස්ථිර පවුල් සැලසුමකට යොමු වෙන කෙනෙකුට රජයෙන් රුපියල් 500ක් දෙනවා.

නමුත් මේ ක්‍රමය ස්ථිර එකක් නිසා ආවට ගියාට මේක වෛද්‍යවරු කරන්නේ නෑ.

  • කාන්තාව අවුරුදු 26ට වඩා වැඩි වෙන්ඩ ඕනේ.
  • අඩුම ගානේ දරුවො දෙන්නෙක්වත් ඉන්ඩ ඕනේ.
  • දෙවෙනි දරුවාට වයස අවුරුදු දෙකකට වඩා වැඩි වෙන්ඩත් ඕනේ.
  • ඒ වගේම ගෑනු කෙනාට මේ ගැන පහදලා දීලා ඇයගේ නිදහස් කැමැත්ත ලැබෙන්ඩ ඕනෙ වගේම 
  • ඇගේ සහකරුවාගේ කැමැත්තත් ලබාගන්න එක අනිවාර්යයි.


මෙය ඉතාකුඩා ශල්‍යකර්මයක් මඟින් සිද්ද කරන්නක්.ඒ සඳහා ක්‍රම තුනක් තියෙනවා.


  • එකක් තමයි සිසේරියන් සැත්කමකදී දරුවා බිහි කිරීමෙන් පසු ඒ අවස්ථාවේදී පැලෝපීය නාළ ගැට ගසා කපා වෙන් කිරීම.
  • අනිත් එක තමයි උදර බිත්තියේ කුඩා කැපුමක් හරහා සිදු කරන mini-laparotomy නම් ශල්‍යකර්මය.
  • උදර බිත්තිය කපන්නේ නැතුව කුඩා සිදුරු කීපයක් විද කැමරාවක් ඇතුළු කර ඒ ආධාරයෙන් කරන laparoscopy ක්‍රමය.



මෙහි මුලින් සඳහන් කළ ක්‍රමය හැර අනිත් දෙක ඉතාමත් සුළු ශල්‍යකර්ම.උදේට ඇවිත් ශල්‍යකර්මය කරගෙන හවස් වෙද්දි ගෙදර යන්ඩ පුළුවන්.

මේ ක්‍රමයෙන් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග සඳහා ආරක්ෂාවක් ලැබෙන්නේ නම් නෑ.ඒ වගේම මාසික ශුද්ධිය හෙවත් ඔසප් වීමටත් මෙයින් බලපෑමක් වෙන්නේ නෑ.





වාසෙක්ටමි හෙවත් පුරුෂයාට සිදු කරන ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයෙත් ටියුබෙක්ටමි ක්‍රමයේ වගේම වාසි තියෙනවා.ඒ වගේම මේ ක්‍රමයත් නැවත යථා තත්ත්වයට පත් කරන එක ලේසි නෑ වගේම එච්චර සාර්ථකත් නෑ.

මේකෙදි සිද්ධ කරන්නේ මේ කළිං ලිපියෙදි විස්තර කරපු ශුක්‍ර නාල කපලා ගැට ගහන එක.විනාඩි දහයක් විතර යන බොහොම පුංචි ශල්‍යකර්මයක් නිසා ඉස්පිරිතාලේ නවතින්ඩ ඕනෙත් නෑ.

මේක කරන්ඩත් LRT කරනවා වගේ දරුවො දෙන්නෙක්වත් ඉඳීම, දෙවෙනි දරුවා අවුරුදු දෙකට වඩා වැඩි වීම අවශ්‍යයි වගේම සහකාරියගේ වයස 26ට වඩා වැඩි වීම අවශ්‍ය වෙනවා.

මේක ගොඩක් හොඳ පවුල් සැලසුම් ක්‍රමයක් උනාට මේ ශල්‍යකර්මය කරපු ගමන් මේකේ ප්‍රථිපල ලැබෙන්නේ නෑ.ශුක්‍රාණු කියන්නේ ඩිම්බයක් වගේ එකක් දෙකක් හැදෙන දෙයක් නෙමෙයිනේ.මිලියන ගණන්වලින් හැදෙන නිසා මේ ශුක්‍ර නාළ මඟින් කැපුවට එයින් ඉහළ ඉතුරු වුනු ශුක්‍රාණු සම්පූර්ණයෙන් ඉවත් වෙලා යන්ඩ මාස තුනක්වත් යනවා.ඒ නිසා මාස තුනක් විතර යනකම් වෙනත් උපත්පාලන ක්‍රමයක් පාවිච්චි කරන්ඩ වෙනවා.ඒ වගේම මාස තුනකට පස්සේ ශුක්‍ර තරල පරීක්ෂාවක් (seminal fluid analysis) කරලා ශුක්‍රතරලය ශුක්‍රාණුවලින් තොර බව තහවුරු කරගන්ඩ සිද්ද වෙනවා.මේක එච්චර වියදමක් හෝ අපහසුවක් ඇති පරීක්ෂණයක් නෙමෙයි.කරන්ඩ තියෙන්නේ දවස් තුනක් සංසර්ගයේ යෙදීමෙන් සහ ස්වයං වින්දනයේ යෙදීමෙන් වැළකී ඉඳලා අදාල ලැබ් එකෙන් ලබා දෙන පුංචි භාජනයට ශුක්‍ර තරලය එකතු කරලා ලැබ් එකට ගිහින් දෙන එක.මේ ශුක්‍ර තරලය ලබා ගන්ඩ ඕනේ තනියෙන් මහන්සි වෙලා කියලා මතක් කරන්ඩ කැමතියි.

මේක කරපුවාම තමන්ගේ ලිංගික හැකියාව අඩුවෙයි කියලා බය වෙන්ඩ ඕනේ නෑ.එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මොකද වෘෂණවල හෝමෝන නිපදවීමට මේ ක්‍රමය කිසිම බාධාවක් කරන්නේ නැති නිසා.ඒ වගේම සුරාන්තයේදී ශුක්‍ර තරලය නිකුත් වීමත් සිද්ද වෙනවා.ඒක නවතින්නෙත් නෑ.එකම වෙනස මේ ශුක්‍ර තරලයේ ශුක්‍රාණු නැති වීම විතරයි.

ඒ වගේම මේ ක්‍රමයෙනුත් ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලටනම් ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.


ඔන්න ඉතිං උපත් පාලන ක්‍රම ගැනත් මම දන්න ටික ඉවරයි.ඊළඟට ටිකක් භයානක වගේම දැන ගැනීම ඉතාමත් වැදගත් 'ලිංගිකව සම්ප්‍රේශනය වන රෝග' ගැන කතා කරමු.හැබැයි ඉතිං මට වෙලාවක් ලැබෙන හැටියට තමයි ඈ.........


01 February 2013

උන්ට හොඳ නෑ....අපිට හොඳයි...!!!

   

            


අපිට මෙගා නාට්‍ය කලාව අඳුන්වා දුන්නේ සිරසය.ශාන්ති බලන්නට ගොස් දරු පවුල් මරාගත් හැටි අපි දැක්කෙමු.ගෑනු මුරණ්ඩු වී උයන එක නවත්වා වර්ජනය කරන්නට පටන් ගත් අතර මිනිස්සු වැඩි වැඩියෙන් බොන්නට පුරුදු වූවෝය.සිරසෙන් මුළින් ගෙන්වූයේ ඉන්දියාවේ තුට්ටු දෙකේ මෙගා නාට්‍යය.ඒවා මව් බසින් රස ගන්වා රන් දෙපැය කිය කියා පෙන්වන්නට විය.එයින් රටේ බුද්ධිමත් ජනතාවා අතර කැළඹීමක් ඇති උවද බහුතර මුග්ධ ජනයා ඒවා සාදරයෙන් පිළිගෙන සාලයේ රූප පෙට්ටිය දෙස බලාගත්වනම සිටින්නට හුරු වූවෝය.මෙය දැනගත් ලංකාවේ බොහොම ස්වල්ප වශයෙන් ඉන්නා හොරු නම් ජාතිය ගෙවල් බිඳීම සඳහා රන් දෙපැය යොදා ගන්නට වූහ.මෙකී අර්බුධයෙන් රට ගලවා ගැනීම උදෙසා බුද්ධිමත් ජනතාවගේ අප්‍රතිහත ධෛර්යය හමුවේ රජයට ක්‍රියාත්මක වීමට සිදු විය.

රජය නව නීතියක් හඳුන්වා දුන්නේය.පිට රටින් ආනයනය කොට පෙන්වන මෙගා සඳහා බද්දක් අය කරන්නට පටන් ගත්තේය.නමුත් සිරස වැඩේ අත ඇරියේ නැත.ඉන්දීය මෙගා පෙන්නන ගමන් තිරය යටින් 'මෙය ඔබේ රස වින්දනය උදෙසා බදු මුදල්ද ගෙවා ප්‍රදර්ශනය කෙරේ ' වගේ අදහසක් එන වැකියක් දමා අහිංසක වෘෂභ ජනයාගේ අනුකම්පාව දිනා ගත්තෝය.එකී ජනයාගේ වින්දනය උදෙසා සිරස කරන මෙහෙය ගැන කියමින් එකිනෙකා කඳුළු සැලූහ.

මේ සිදුවීම් සියල්ල වෙන්නට කළින් සිරස 'මන්දිරා බේඩි' හෙවත් 'ශාන්ති' අක්කාව මෙරටට ගෙන්වා එවකට අපේ රටේ ජනතාවගේ එකම අභිප්‍රාය වී තිබූ ඒ වීර කාන්තාව සියැසින් දැක ගැනීමේ භාග්‍ය‍ය අපේ රට වැසියන්ට ලබා දුන්නේය.එය අපේ රටේ ඉතිහාසයේ මං සළකුණක් ලෙස සටහන් වන්නේය.

ඉන්දියාවේ මෙගා ගැන කසු කුසුව කෙමෙන් කෙමෙන් පැතිර යද්දී සිරස ලාංකීය මෙගා කලාවේ පෙරලියක් කරමින් අමු අමුවේ ඉන්දීය මෙගා කොපි කරමින් අර්ථ විරහිත නාට්‍ය සම්ප්‍රදායක් ඇරඹීය.මෙය වටා රටේ ජනතාව එක් රොක් වද්දී රජයේ මාධ්‍ය මේ කුණු සම්ප්‍රධාය බිඳ හෙලීමට පෙරමුණ ගත් හ.සිරසේ ක්‍රියා විවේචනය කරමින් දවස ගානේ විද්වත් සාකච්ඡා පැවැත්වූහ.දේශීය නාට්‍ය සම්ප්‍රධාය රැක ගන්නේ කෙසේද? යන්න ගැන විද්වත් මත ඉදිරිපත් කළෝය.ඉන්පසු එකී පිඹුරුපත් ඔස්සේ යමින් දේශීය මෙගා නිර්මාණය කළෝය.අපේ නාට්‍ය කළාව, සංස්කෘතිය සහ සදාචාරය රැක ගත්තෝය.අපි ඔවුන්ට ගරු කළයුතු නොවෙමුද?

රජයේ මාධ්‍යවල ඒ අභීත පියවරයන්ගේ යෝධ සෙවණැළි යට දේශීය නිශ්පාදකයෝ රැකුණාහ.ප්‍රේක්ෂක රසාස්වාදනයේ පටුත්වය රැකුණි.

සිරසට බැණපු කෑ ගහපු එවුන් මේ මොන ලබ්බක්ද කරන්නේ?? අයිටීඑන් එකේ වැඩකට ඇති නාට්‍යයක් යනවද?ඉන්දියන් ඒවා විතරද චාටර්?කොරියන් ඒවා හොඳයිද?රූපවාහිනිය මේ හදන්ඩ හදන සංස්කෘතිය මොකක්ද?රජ්ජුරුවන්ට වැඳගෙන ඉන්න එක රජ්ජුරුවංව අපි මැරිලා හරි ආරක්ෂා කරන එක ගැන පෙන්නනවනං ඕනේ කුණු ගොඩක් හොඳයිද? ශාන්තිට බැණපු මුංම රෙදි ඇඳගෙන 'චංගූමී' ගැන පැයක දෙකක වාර්ථා වැඩසටහන් කරන්නේ කොහොමද?


රටේ බුද්ධිමත් උන්ට සිරසේ වැරැද්ද විතරද පේන්නේ? මේ ලබ්බ බලන එක සමහර ඉස්කෝලවල අනිවාර්ය කරලා කියලා කවුද කියනවා ඇහුනා.ඇත්තටම ඒ කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැති උනත් ඒක ඇත්තනං අපිට මේ මොකක්ද වෙන්නේ කියලා දුක හිතෙනවා.ගම්පහ පැත්තේ කොරියන් භාශා පන්තියක පෝස්ටරයක චංගුමීගේ පින්තූරයක් දාලාලු.ගම්පහ පන්ති එන කොල්ලෙක් තාප්පෙක තියෙන මේ පෝස්ටරයක චංගුමීගේ රූපෙ ඉරාගන්නවා මගේ මිත්‍රයෙක් දැකලා තියෙනවා.අනේ අපොයි!!!

ගෑනුංගේ කුණු පත්තරේක 'ඔබේ දියණියටත් චංගුමීගේ මෙන් ඇඳුමක් නිර්මාණය කර ගන්නේ කෙසේද?' කියලා ලිපියක් ගියාලු.ඒ ඔක්කොමත් හරි මේ දැන්වීම 'සිරිකිත' පත්තරේ අය දාලා තිබ්බේ ලංකාදීප පත්තරේ.




කට්ටිය පත්තරේ ඉවර වෙයි කියලා කළිං ඕඩර් කරලා තියෙනවා කියලයි ආරංචිය.පිස්සු පීකුදු බිස්කට්!!!!