30 November 2013

ජේන් නගේ උඹේ මනාපේ කාටද දෙන්නේ?????






විභාගෙ හින්දා මොනවත් ලියන්ඩ බැරි උනා.ඒ වගේම කිය්වන එකත් නැත්තටම වගේ නැතිවෙලා ගිහිල්ලා.මක්කා කරන්ඩද? අන්තිම ජුන්ඩනේ.තව සතියකින් පස්සේ අමාරු වැඩ ටික ඉවරයි.මොනවා උනත් බ්ලොග පාලුවට යන්ඩ දෙන්ඩ බෑනේ.ඒක හින්දා ඔන්න පුංචි වීඩියෝ කෑල්ලක් දෙන්ඩයි හදන්නේ.

මේක මම සෑහෙන දවසක ඉඳං අප්ලෝඩ් කරන්ඩ ට්‍රයි කළත් මේ හච් කනෙක්ෂන් එකේ අවුලක් හින්දා බැරි උනා.ඔන්න අද නිකමට ට්‍රයි කරලා බැලුවම අප්ලෝඩ් උනා.ඒ නිසා මගේ සුවහසක් ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මම රංගනයෙන් දායක වෙච්චි නිර්මාණයක් තිළිණ කරන්ඩ ලැබුනා.කට්ටියම බලන්ඩ ඈ.කට ඇරගෙන බලන්ඩ එපා.බ්‍රේක් නැති මැස්සො යයි..(චූටි කාලෙ කරපු සිඟිති ජෝක් එකක් මතක් උනා...හඃ හඃ හා....)

අපේ ෆැකල්ටි එක ගත්තම ආයේ මොනවත් කියලා වැඩක් නෑ ඔය වල්පල් වැඩ තියෙනවා අවුරුද්ද පුරාම.එයින් එකක් තමයි දෙවෙනි වසරෙ ඉන්න කට්ටියට ලෑස්ති කරන්ඩ දෙන Faculty concert එහෙම නැත්තං FAC-CON කියන්නේ.ඒක ලෑස්ති කරද්දි බැච් එකේ උන්ට එකට වැඩ කරන හැටි, අනිත් උංව ශේප් කරගන්න හැටි, සංවිධානාත්මකව ක්‍රියා කිරීමේ හැකියාව, නායකත්වය, වගකීම්, වගේ එකී නොකී දේවල් ඉබේම පුරුදු වෙනවා.ඒවා මේ අර සති දෙකේ නායක්ත්ව ඩිප්ලෝමා වගේ නෙමෙයි, හරිම ප්‍රායෝගික දේවල්.

ඉතිං කොහොම හරි මේ කියන අපේ 2007 උසස් පෙළ කණ්ඩායම ලෑස්ති කරපු FAC-CON එක තිබ්බේ 2009 අවුරුද්දේ.අන්න ඒකට තාරකයි, මමයි, ජිත්තයි, ප්‍රසන්නයයි එකතු වෙලා කරපු පුංචි අයිටම් කෑල්ල තමයි මේ.

ඕකේ මම මොකාටද හිටියේ කියලා අහන්ඩ ඔට්ටු නෑ ඔන්න හරිය!!!




මහ ගොඩක් ඩේටා යන්නේ නෑ ආයිබොවන්ඩ.ලෝබ නැතුව බලන්ඩ ඈ... බලලා තැං තැංවල කිය කිය ගියාට කමක් නෑ ඕං....



11 November 2013

පාප්තුමා තලේබාන් ද මචං?


'ඒ මාර සීන් එක නේ බං වෙලා තියෙන්නේ...'
කොටා කඩාගෙන ආපු පාරට මම බත් එක අහක් කරේ නැත්තං ඌ නතර වෙන්නේ බිත්තරේ ගිලලා.ඒවා කොහෙද මාත් එක්ක.අපිත් ගියේ ඕල්කට් ඉස්කෝලෙකට තමයි.

'මොකක්ද මචං?'

මම බිත්තරේ කටේ දාලා ආපහු අරං පිඟානෙ පැත්තකිං තියලා ඇහුවා.අරූගේ මූණ ඇඹුල් උනා.

'මචං ඩිවයින් ප්ලෑන් එක ලීක් වෙලා..'

'මොන ප්ලෑන් එකද බං? උඹලා චෝගම් එක පටං ගන්න කොට එතන ඉස්සරහට ගිහිල්ලා වීදි නාට්‍යක් කරන්ඩ ගහපු ප්ලෑන් එකද?'

'නෑ බං ඩිවයින් ප්ලෑන වනාහී මෙකී සකල ලෝක වස්තුවත් අහස් තලයත් සූර්යයා, චන්ද්‍රයා ඇතුලු සියලු ආකාශ වස්තූන් මෙන්ම මිහිමත වාසය කරන්නා වූ සියළුම ජීවී අජීවී සංඝටකයන්ගේ අණුවේ පරමාණුවේ සිට නිර්මාණය කර ඇත්තා වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේ විසින් මවන ලද්දා වූද පසුව ජීවය පිඹින ලද්දා වූද මනුශ්‍ය වර්ගයාට නිදහස් චින්තනය පිරිනමා පසුව එයින්මැ මිනිසා ලෝකයත් වනසා ඌත් නැසී යෑම වළකනු වස් එකී එක් එක් මනුශ්‍යයා සහ සකල විශ්වයේම සිදුවිය යුතු ආකාරය ගැන එකලදීම ඇති කළා වූ දිව්‍යමය සැලැස්ම වේ...'

එක හුස්මට කිව්ව ඌ කසුනාගේ මාලු කෑල්ලට විද්දා.

'හුටා..කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ? ෂුවර් එකටම අපේ පොලීසියේ වැඩක් වෙන්ඩැති.දැක්කනේ අර අනුරාධපුරේ ඩයල් එකට වෙච්ච දේ.දවසක් යන්ඩ කළිං ඇල්ලුවා මොනවද නිකං බබා වගේ කිව්වේ ඔක්කොම මරපු විදිහ.'

'නෑ බං අපේ උන්ට මේ දවස්වල ඕවට වෙලාවක් නෑ.චෝගම්නේ මචං.චෝගම් නම් වූ දැවැන්ත වෛවර්ණ සාටකයෙන් රටේම ජනතාවගේ දෑස් වසා බඩට හුළං ගසා කුසගින්න අමතක කරවා ඇති මෙවන් වූ අවස්ථාවක අපේ පොලීසියට දෙයියංගේ දෙයක්වත් පේන්නේ නෑ.පේන්නේ සාටකේ විතරයි.'

'ඉතිං කොහෙන්ද ලීක් වෙලා තියෙන්නේ?'

'ඇමරිකාවේ එන් එස් ඒ එක පාප්තුමාගේ ෆෝන් එකත් ටැප් කරලා තිබ්බ කියලා අර ස්නොව්ඩන් කාරයා කියලා තියෙන්නේ.පාප් තුමා කියන්නේ මචං දෙවියන් වහන්සේ එක්ක සෘජු සම්බන්ධතා තියෙන කෙනා.මනුශ්‍ය සංහතියේ නියෝජිතයා.ඉතිං උන්නාන්සෙගේ ෆෝන් එක ටැප් කළා කියන්නේ ඩිවයින් ප්ලෑන දැං ඔබාමලා දන්නවා.'

'පාප්තුමා තලේබාන් ද මචං?'

'පිස්සුද මචං.පාප් තුමා තලේබාන් නෙමෙයි.මට ඒක ශුවර්.'

'උඹ කොහොමද ඒක ටක්කෙටම කියන්නේ?ඇමරිකන්කාරයෝ මේ අපේ උං වගේ නිකං ආවට ගියාට වැඩක් කරන්නෑ.'

'පාප්තුමාට රැවුලක් තියෙනවද? නෑනේ.ඉතිං කොහොමද තලේබාන් වෙන්නේ? මචං තලේබාන්කාරයොත් නිකං මේ දිවදෙකේ ඩයල් නෙමෙයි.උංගේ එකෙක් වෙන්ඩනං දිගට රැවුල තියෙන්ඩ ඕන.උන්ට තියෙනවා ප්‍රතිපත්ති.උන්ට චින්තනයක් තියෙනවා, දැක්මක් තියෙනවා.'


'ඒ මචං අද සම්බෝලෙට හොඳට උම්බලකඩ දාලා නේද?'
චාමරයා මගෙ පිඟානෙං ලොකු උම්බලකඩ කෑල්ලක් අරං කටේ දා ගත්තා.ෂිඃ ඌට කලිං මං දැක්කේ නෑනේ.

'මචං උම්බලකඩ වනාහී මේ දිනවල ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වන දෙයක්.අවුරුදු 75 - 80 ආච්චිලවම නේ රේප් කරන්නේ.'
කොටාත් උගේ බත් එක බෙදාගෙන ආවා.

'නෙද්දකිං බං.මළ අප්පිරියයි.කන වෙලාවට ජුගුස්සාජනක කතා කියන්නේ.'

'ඕකුංව මචං එල්ලන්ඩ ඕනෙ.කොහෙද මේ එල්ලුං ගහ ගේන්නෑනේ.'
කසුනා කිව්වේ හරියට උගේ එල්ලුං ගහ නැතිවෙලා වගේ.

'ඇයි මචං දැං එල්ලුං ගහ කොහෙද තියෙන්නේ?'

'ඕක හරියන ලබ්බක් නෙමෙයි.එල්ලුංගහට කඹේ ගේන්නේ ජර්මනියෙං.ඕක එක කඹයක් ගෙනල්ලා මේ ඉන්න ඔක්කොම හැත්ත එල්ලන්ඩ බෑ.ඉතිං කඹ ගේන ටෙන්ඩර් එකෙනුත් කොමිස් ගහලා අපේ ලොක්කො මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතෙනුයි, නාවල චන්ද්‍රා වෙත්තසිංහ මාවතෙනුයි ඉඩං අරගන්නවා.අනික මචං දැං ඕක ගෙනාවත් දැනට මරන්ඩ ඉන්න සෙට් එකේ හැටියට සෑහෙන දිග පෝළිමක් හැදෙනවා ශුවර්.එතකොට අර 'බයිපාස්' වලට දින දෙනවා වගේ මේ දවස්වල අල්ලලා මරන්ඩ තීරණේ කරන උංට එල්ලන්ඩ දින ලැබෙන්නේ තව අවුරුදු දහයකිං පහළවකිං විතර.වැඩක් නෑනේ.'

'ඉතිං බං ආණ්ඩුවට තියෙන්නේ ඔය කොහෙ හරි කැලෑ ඉඩමක් අරගෙන ගස් ටික කපලා උං බෙදාගෙන ලොකුවට 'ඇරීනා' එකක් හදන්ඩ.ඊට පස්සේ ඔය ඉන්න අපරාධකාරයෝ සෙට් එක දාලා ග්ලැඩියේටර් ලා වගේ උං උං මරාගන්ඩ කිව්වනං ටිකට් කඩලා සෑහෙන ගානක් හොයාගන්ඩ තිබ්බා.මිනිස්සු එහෙම මරාගන්න එක පව් නං හරි ආගමට සංස්කෘතියට පටහැනියි නං අපේ රටේ මිනිස්සුන්ට ඒක බලන එක තහනං කරලා විදෙස් සංචාරකයින්ට විතරක් විවෘත කරානං ඉවරයි.'


'අනේ උඹේ ටිකිරි මොළේ.ඇත්ත කියහං උඹත් හිටියද චින්තනේ පොත හදන මන්ඩලේ?'
චාමරයා මාව බදාගෙන ඉඹින්ඩයි ආවෙ.මම ටක් ගාලා නැගිට්ටා අයිස්ක්‍රීම් අන්තිම ටිකත් ඇඟිල්ලෙං හූරං කටේ දාගෙන.ලොවක් හමුවන රටක ලොවෙත් පුරවැසියෝ වෙන අපි අයිස්ක්‍රීම් ටික කන්නෙත් බත් කාපු පිඟානෙම දාගෙන අතිං.

'උඹ කොහෙද යන්නේ?'

'මගෙ බඩ ගුරු ගුරු ගානවා, මම යනවා සරීර් කෘත්‍ය කරන්ඩ'

'ඒයි උඹට ශුවර් නේද බඩේ වෙන අවුලක් නෑ කියලා? මචං මේක බඩ රිදෙනවා කියලා ඉස්පිරිතාලේ ගෙනිච්චම ළමයි වදන කාලයක් ඈ..'

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

කන්ඩ බොන්ඩ තිබිච්ච සල්ලි ටික ඉවර වෙච්ච හින්දා විභාගෙ පෙනි පෙනී ගෙදර දුවලා එන්ඩ ගියා.ගේ ළඟට යද්දි මගේ ඇස් ගෙඩි දෙක පැන්නා එළියට.

අම්මා ගහයි බැට් එකෙං කිව්වලු.ආච්චි දණිහෙං ජුන්ඩක් උඩට වෙන්ඩ රෙද්දත් ඇඳගෙන මිදුලේ එහේ මෙහේ යනවාය.

'ආච්චි මොකෝ මේ රූ රැජින තරඟෙටවත් යන්ඩද?'

'උඹ නිකං නක්කලේ නොදා ඉඳිං.අර ලෝකෙ හතර දිබ්බාගෙං ලොකු ලොක්කො ඇවිල්ලා මෙහේ මෙච්චර උස්සවයක් තියෙනවා.අපිත් වගකිවයුතු පුරවැසියෝ විදිහට ඒවට යන්නැතුව බෑනේ බොල.'

'ඉතිං මේ මොකද මේ ගිනි මද්දහනේ මිදුලේ එහේ මෙහේ ඇවිදින්නේ?'

'එහා ගෙදර කෙලීගෙං මං අහගත්තා කොහොමද ඒ වගේ වැදගත් තැංඔල ඇවිදින්නේ කියලා.මං මේ කැට්ටෝක් එක පුරුදු උනේ.ඒත් මේ හන්දි කැක්කුං එක්ක අමාරුයි බං.'

'ආච්චි කැට් වෝක් දාලා සුද්දන්ට මොකක් පෙන්නන්ඩද මෙන්න මේ ගෙට යං.'

'අනේ පලයං ඉරිසියාකාරයා. තෝ දන්නැති උනාට ඒ දවස්වල මම කෙල්ල කාලේ නාන්ඩ ළිඳට ගියාම ඔය සුද්දප්පුවලා, චන්දරේගේ මහ එකා එහෙම ළිඳ අයිනේ මූකලානේ හැංගිලා බලං හිටියේ.'

'හරි හරි ඒ ඒ කාලෙනෙ ආච්චි.දැං මේ නහින දෙහින කාලේ බණක් අහං ඉන්ඩ මෙන්න මේ ගෙට වෙලා.'

'අනේ තෝ පල ගෙට.මං මේ කරාඹු දෙකත් උගස් තියලා පන්දාහේ කොළ දෙකක් අරං ආවේ හැට්ටේ අස්සෙ පේන්ඩ ගහගෙන යන්ඩ.අර උත්තමයා කිව්වේ ඔය එන උංට අපි ගාව සල්ලි තියෙනවා කියලා පෙන්නන්ඩ තියෙන චෑන්ස් එකක්ය කියලා මේක.'

'හරි දැං ඔය සල්ලි ටික රන්ද ගන්ඩ පුළුවංද?'
මම ඇහුවේ කින්ඩියට.

'මම එහා ගෙදර කෙලීගෙං පුසබ්බා එකක් ඉල්ලගත්ත බොල.බලහංකෝ චාල්ස් කුමාරෝත්තමයගේ ඇස් ගෙඩි දෙක ලොවි ගෙඩි වගේ එළියට එන්නැද්ද කියලා'.

'ඔව් ඔව් චාල්ස් කාරයගේ විතරක් නෙමෙයි එන හැම එකාගෙම ඇස් ගෙඩි ලොවි ගෙඩි වගේ එළියට පනියි තමා...'
සීයා එක පාරට මැදට කඩං පැන්නාම දෙන්නා දෙමහල්ලංගේ ප්‍රශ්න ඒ අයටම විසඳ ගන්ඩ දී මම ගෙට පැනගත්තෙමි.



+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

ප.ලි.

මේ දවස්වල බ්ලොග් කියවන්ඩ වෙලා නැති බවත් එනිසා බ්ලොග්වල කොමෙන්ට් කරන්ඩ වෙන්නේ නැති බවත් මේ සියල්ල තව මාසයකි පමණ අවසන් වීමට නියමිත විභාගයෙන් පසු යථා තත්ත්වයට පැමිණීමට නියමිත බවත් ඉඳ හිට කම්මැලිකමට බ්ලොග් පෝස්ට් එකක් දෙකක් ලියන බවත් කරුණාවෙන් සළකා උක්ත සියළුම කරුණු වෙනුවෙන් කමාව අයදින බවත් දන්වා සිටිමි.

ප.ප.ලි

මාගේත් මාගේ ප්‍රියම්භිකාවගේත් අමරණීය, රමණීය, අති සුන්දර, විශ්වීය, පාරිශුද්ධ, මරණීය ප්‍රේම වෘතාන්තය අද දිනයේදී දස වර්ශ පූර්ණය ලබා ඇතත් මටත් ඇයටත් දෙදෙනාටම ඇති විභාග කටයුතු නිසා සහ චෝගම් නිසා ප්‍රේමය සැමරීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවූ බවත් ලබන වසරේ එකොළොස්වන වර්ශ පූර්ණය ඉහළින් සැමරීමටත් කටයුතු යොදා ඇත.

එතෙක් කියවා තලු මැරීමට මීට වසර දෙකකට පෙර පල කළ මාගේ ප්‍රේම කතාව නැවත විකාශය මෙන්න

වාසනාවට ඇත්ත කතාවක්




08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'