Showing posts with label චාරිකා. Show all posts
Showing posts with label චාරිකා. Show all posts

13 July 2013

ලෝකාන්තයට නොමග යෑම....

කොහොද අපේ ධනා නිකං නළුවා වගේ නේ....

අපි සබරගමුව කැම්පස් එකට එනකොට රෑ අටහමාරට විතර ඇති.ඒසී බස් එකක් උනත් ඒ මගුලෙත් අර කුණු බස් සින්දු දාලා තිබ්බා.මේ යක්කු නිකං මේ කතාබහ කර කර ඉන්න වචන ටිකක් රෙකෝර්ඩ් කරගෙන ඒකට චාටර් තනුවක් දාලා ගහනවා සින්දුවක්.ඊට පස්සේ ඒවා සීඩීවලට ගහලා බස් කාරයින්ට නොමිලේ බෙදලා දෙනවද කොහෙද. අසරණ මගී ජනතාව හෙම්බත්වෙනවා ඒ කුපාඩි සින්දු අහලා.කොහොම හරි ඔන්න කැම්පස් එක ගාව කඩේකිං රෑට කාලා හොස්ටල් එකට ගිහිං ඇඟපත හෝදගෙන නිදාගත්තා කියමුකෝ ඈ.

පහුවදා පාන්දරම නැගිටලා දතකට මැදගෙන (කළිං දවසේ බීපු නෙස්ටමෝල්ට් එකට පින් සිද්ද වෙන්ඩ ශරීර කෘත්‍ය කරන්ඩ උවමනාවක් උනේ නෑ.ඉමෝඩියම් පෙත්තක් ගැහුවනං ඒත් ගොඩම තමයි ) අපි ගමන යන්ඩ පිටත් උනා.කැම්පස් එක ගාවිං බස් එකකට නැගලා නන්පේරියල් වත්තට හැරෙන තැන හන්දියට ඇවිල්ලා නන්පේරියල් බස් එක එනකං බලාගෙන ඉන්නකොට අපිට නන්පේරියල් වත්තේ ඉස්කෝලේ විදුහල්පති මහත්තයා හම්බ වෙලා කතා කර කර හිටියා.ඒ ඉස්කෝලේ ළමයි 90ක් ඉගෙන ගන්නවලු.ඈත ඉඳං එන ළමයින්ට නවතින්ඩ හොස්ටල් එකක් හදන්ඩ ප්ලෑන් එකක් තියෙනවා කියලත් ඒ මහත්තයා අපිට කිව්වා.

ඔන්න පාන්දර 6.30 විතර වෙනකොට බස් එක ආවා.අපි සෙට් එක ඒ කිව්වේ මම හෙවත් මම, සිතුම් හෙවත් කුරුළෑවා, චිරාන් හෙවත් තට්ටයා, ධනා හෙවත් ධනා, පුලා හෙවත් ලාන්ස් සහ ශෂික හෙවත් කඩියා කියන වීරෝධාර තරුණයෝ හය දෙනා නැග්ගා බස් එකට.අපරාදේ කියන්ඩ බෑ නන්පේරියල් වත්තේ ඉස්කෝලේ ගාවට එනකං අපි හයදෙනා විතරයි බස් එකටම.ඉස්කෝලේ ගාවිං බස් එක නැවැත්තුවා.අපි හය දෙනා බැහැලා පයින් ගමන පටං ගත්තා.

ඔන්න මමත් ට්‍රයි කළා අපි ගිය පාරේ සිතියම දාන්ඩ.කොච්චර දුරට සාර්ථකද කියලනං දන්නේ නෑ.



View Larger Map
අපි ගිය පාර ඈ...

ඉස්කෝලේ පිහිටලා තිබ්බ තැනනං මරු.කියන්ඩ වචන නෑ.නිම්නයක් වගේ තැනක්.මෙහේ මිනිස්සුන්ටනං ඒක පුරුදු ඇති.ඒත් ගිණි කූටක අව්වේ දූවිලි කකා ඉස්කෝලේ ගිය අපිටනං ඒක සුරංගනා කතාවක සීන් එකක් වගෙයි පෙනුනේ.මම හොඳට බලං හිටියේ හිම කුමාරි වගේ කෑල්ලක් පන්තියකිං ඔළුව දායිද කියලා.ඒ උනාට දැකුම්කලු දෙමළ ගෑනු ළමයි ටිකක් විතරයි ඕං හිටියේ.

ඔය කඳු දෙක මැද්දේ පුංචියට පේන ගොඩනැගිල්ල තමයි ඉස්කෝලේ


මෙන්න හොඳ ළමයි උදේම ඉස්කෝලේ යනවා..

අපි එතන ඉඳං ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනකොට අපිට හම්බ උනා උස දිය ඇල්ලක්.ඒකත් බලලා ෆොටෝ ගහලා ආයෙමත් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනකොට (මේ කියන්නේ සෑහෙන දුරක් ඇවිදගෙන ගිහිල්ලා ඈ...) මම පුලාගෙන් ඇහුවා මචං අපි කන්නේ කොහෙදිද කියලා.මොකද පුලා තමයි අපේ නඩේ ගුරා.ඌ සබරගමුව කැම්පස් එකේ ඔය ඉඩං මණින්ඩ ඉගෙනගන්න කෝස් එකක් කරනවා.ඌ මේ ගමන දැං තුන් පාරක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඌ කියන්නේ.ඌ කිව්වේ තව පොඩ්ඩක් උඩහට ගිහිං කමු කියලා.ඔය විදිහට මම කීප සැරයක්ම ඇහුවත් පුලා කිව්වේ තව උඩහට ගිහිං කමු කියලා.මූ අපිට කන්ඩ ගෙනල්ලා තිබ්බේ පාං.ඔව් අර සුද්දංගේ කෑම ජාතිය අනේ.කොහොම හරි මම හිතුවේ මූ පාං ටික කඩේකිං කුළියට ගෙනල්ලා කියලා.අපිට කන්ඩ නොදී ආපහු කඩේට පාං ටික රිටර්න් කරන්ඩයි මූ හදන්නේ කියලා හිතලා උදේ කෑම අමතක කරලා හිත හදා ගන්න කොට අපි ආවා හුළං කපොල්ලක් වගේ තැනකට.එතන පට්ටම හුළං ඈ.මං වගේ බර අඩු කට්ටිය කෙළිංම ගුවන් ගත වෙන්ඩ උනත් ඉඩ තියෙනවා.අපි එතන අස්සක තිබ්බ තැනක ඉඳං පාං කන්ඩ සෙට් උනා.


පාං කන්ඩ ගෙනත් තිබ්බේ උම්බලකඩ සම්බෝල සහ තක්කලි සෝස්.මේ ජාති දෙක එකට අනලා ගත්තම පාං තුං කාලක් විතර ලේසියෙන් බඩට දා ගත්තෑකි.ඒ උනත් අපි වගේම තවත් හරක් තුන් දෙනෙකුත් අපිට සෙට් වෙච්ච හින්දා පාං උං එක්කත් බෙදා ගන්ඩ සිද්ද උනා.වැඩි වෙලා නාස්ති නොකර අපි ආයෙත් ගමන පටං ගත්තා.

වටපිටාවේ සොබා සිරිය බල බල අපි උඩට නැගලා නැගලා නැගලා අන්තිමට පරිපථ බංගලාවට හෙවත් සර්කිට් බංගලාවට ආවා.මේක කට්ටියට නිවාඩුවට ඇවිත් ඉඳලා යන්ඩ මරු තැන.දවසක් නවතින්ඩ දහ දෙනෙක්ට 12,500ක් කියලයි කිව්වේ.කනබොන දේවල් අරං ආවොත් උයාගන්ඩ පුළුවං.ඒ උනාට අපිට එච්චර සල්ලි නැති හින්දා සහ අපේ ගමනාන්තය තව දුර හින්දා අපි ආයේත් ගමන පටං ගත්තා.

මෙන්න ගිහිං නවතිනවනං මරු තැන...

මේ බංගලාවේ වත්ත සීමාවෙන් තමයි කැළේ පටං ගන්නේ.ඒ කැළේ මැද්දෙන් යන අඩි පාර දිගේ අපි ඒ කඳුකර තෙත් සදාහරිත වනාන්තරයට ඇතුල් උනා.ඒක නියම නොයිඳුල් කැළයක්.කැළේ ආතල් එක ගන්න අපිට වෙන ෆන් එකක් ගන්ඩ තියා එක එකාව බයිට් කරගන්ඩත් අමතක වෙලා ගියා.කැළේ මැද්දෙං පීරගෙන අර පුංචි අඩි පාර දිගේ මඩේ ලිස්ස ලිස්ස අපි අපේ චාරිකාව දිගටම ගියා.අතර මග පොඩ්ඩක් පමා උනේ මගේ ළඟයි පුලා ළඟයි කැමරා දෙකක් තිබ්බ හින්දා.පුලාගේ කැමරාවනං පට්ටයි.මගේ එකත් එච්චරම අවුලක් නෑ.ඒක මේ ට්‍රිප් එක යන්ඩ අපේ මාමගෙන් ඉල්ලගෙන ආවෙ.






ගස්වල රැඳිලා බේරෙනෙ වතුරවලින් මුළු ඇඟම නෑවිලා කකුල්වල ඇඟිලි අස්සෙන් මඩ චිරි චිරි ගාලා පනිද්දි අපි හෙන හෙළක් අයිනට ආවා.එතන ඉඳං හෙළ අයින දිගේ ලෝකාන්තය කියලා ලෝකයා හඳුන්වන තැනට එනකං එනකොට අපේ හොඳ පණ ගිහිං.ලෝකාන්තය අයිනෙත් ඉඳං ෆොටෝ ගහලා අපි ඉක්මනටම ආයෙත් ගමන පිටත් උනා.අපේ අරමුණ උනේ හැකි ඉක්මනින් හෝර්ටන් තැන්නේ ප්‍රවිශ්ඨය ගාවට එන්ඩ.


හෝර්ටන් තැන්න හරහා එන ගමනේ සැරින් සැරේ ඇද හැලිච්ච පොද වැස්සට තෙමිච්ච එක ඇරෙන්ඩ කියන්ඩ තරං වැදගත් දෙයකට සිද්ද උනේ සුද්දෙක් උගේ පවුලයි තරුණ දෝණියැන්දයි එක්ක එන ගමන් තිබ්බ  දිය පාරක් හරහා පන්නවා ගන්ඩ ධනා සද්භාවයෙන් ඉදිරිපත් වෙච්ච එක තමයි.හැබැයි ධනාගේ බලාපොරොත්තු සුන් කරවමින් සුද්දා ධනාට උගේ දුවගේ අහලකටවත් එන්ඩ දුන්නේ නෑ.අතරමග තිබ්බ බක්කරේගේ ඇල්ල හෙවත් බේකර්ගේ ඇල්ල බලන්ඩත් අපි අමතක කළේ නෑ.ඒකේ ෆොටෝ ගහන්ඩ ට්‍රයි කළත් ලෙන්ස් එකේ වතුර බින්දු රැඳිලා ෆොටෝ එක පොඩ්ඩක් චාටර් උනා.


හෝර්ටන් තැන්නේ ප්‍රවිශ්ඨය ගාවට එනකොට අපේ හෘදය වස්තු 'ලබ්-බක් ලබ්-බක්' ගාලා හයියෙන් ගැහෙන්ඩ ගත්තේ කවුරුහරි අපේ ටිකට් චෙක් කළොත් බඩු මාට්ටු වෙන හින්දාය.කැළේ පාරෙන් ගමන් කිරීමට තහනම් බවත් අහු උනොත් දඩය 12,000ක් බවත් අපි දැන සිටිය නමුත් අපේ රටේ ඉබේ හැදිච්ච සොබාව සෞන්දර්ය බලන්ඩ යන්ඩ කොහෙවත් ඉන්න උන්ගෙන් අවසර ගන්ඩ අපි ලෑස්ති නැත.කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුංගේ කාර්යක්ෂමතාවයට පින් සිද්ද වන්නට අපේ ටිකට් චෙක් කරන්ඩ කවුරුවත් හිටියේ නැත.


ප්‍රවිෂ්ඨය ගාව ඇති ආපන ශාලාවෙන් අපි රුපියල් 50 ගණනේ තේ මිළදී ගතිමු.වෙලාවට අපි ළඟ පාං තිබුණේය.නැත්තං පාං එතැනින් මිළදී ගන්නට ගොස් හෙන අවුලක් වෙනවාය.අපි පාං එතනින් මිළදී ගත්තානම් දෙබස මේ වාගේ වන්නේය.

'අයියේ අර බනිස් වගේ එයිට වඩා හයිය සයිස් එකෙ ලොකු ඒවා තියෙනවද?'

'මොනවද මල්ලි පාං ද?'

'ඔව් අයියේ'

'ඉතිං එහෙම කියන්ඩ එපායැ'

'අනේ ඒක කියාගන්ඩ බෑ අයියේ'

ඇත්තට ඒ වෙනකොට අපිට පාං කියාගන්ඩ බැරි තත්ත්වෙකය හිටියේ.උදේ කාපු විදිහටම පාං කා තේ බිවූ අපි නැවත් ගමන ආරම්භ කළෙමු.මෙතැන සිට ඔහියට කිලෝමීටර 11ක් බව දැක්වෙන පුවරුවක් විය.අපි දෙපාවලට වැඳ ඔහිය බලා ගමන ඇරඹීමු.අතරමග ගෝනෙක් දෙන්නෙක් හමු විය.ටිකක් දුර යනකොට ඈත 15-20ක් පමණ වූ ගෝන්නු රංචුවක් දැක මම ඈතින් සිටි පුලාට කතාකළේ හොඳ කැමරාව තිබුණේ උගේ ළඟ නිසාය.නමුත් නමුත් සිතුමාගෙන් පිටවූ අධෝවාතයක හඬ අසා ගෝන්නු කැළයට දුවන්නට වූවෝය.රංචුවේ සුළු පිරිසක් මගේ ළපටි කැමරාවට ඈතින් අසුවිය.
හොඳට කිට්ටු වෙලා බැලුවොත් ඈතිං ඉන්න ගෝන්නු ටික පෙනෙයි ඈ...

එතැන් පටන් විශේෂ සිදුවීම්වලින් තොරව අපි විටෙක තෙමෙමින්, විටෙක සීත සුළඟෙන් මැඩෙමින් අවට සොබා අසිරිය විඳිමින් ඔහිය දුම්රිය ස්ථානයට ළඟා උනෙමු.ඔහිය දුම්රිය ස්ථානයේ වැසිකිළිය දුටු මට එතුලට ගොස් බත් කන්නට හිතුනත් පමා වැඩි නිසා අපි හය දෙනා ත්‍රීරෝද රථයක නැග බොරලන්ද හන්දියට පැමිණීමු.

මේකේ එක හිතකිං කොහොම මුත්‍රා කරන්ඩද අප්පා


සාමාන්‍යයෙන් කෝච්චියේ නැග හපුතලේට ඒම මේ චාරිකාවේ ක්‍රමය වන නමුත් එදා කෝච්චි වර්ජනයක් නිසා අපට බසයෙන් යෑමට සිදුවිය.එනිසා බොරලන්දට ත්‍රීරෝද රථයෙන් ආ අපි එතැන සිට හපුතලේට බසයෙන් ආවෙමු.අපි හය දෙනාවම දමාගෙන ආ ඒ කාරුණික ත්‍රීරෝද රථ රියැදුරු මහතා අපට හපුතලේට බසයක් එනතුරු අප සමඟ කතා බහේ යෙදී සිටියේය.

අපි හය දෙනාම දාං එන්ඩ නිර්භීත වෙච්ච රියැදුරු මහත්තයා

හපුතලෙන් කොළඹ බසයක නැගී නැවත පඹහින්නට ආ අපි හොස්ටල් එකේ දමා ගිය අපේ බඩු මුට්ටුත් එකතු කරගෙන කැමරා දෙකේ ෆොටෝ ටිකත් හුවමාරු කරගෙන රෑට කා නැවත කොළඹ බසයක් එනතුරු පඹහින්න හන්දියට වී කල් මැරීමු.අන්තිමේ බසයක් පැමිණි අතර ඒ වන විට රෑ 8.30 පමණ වී තිබූ නිසා අපට ඉඳ ගැනීමට සීට් තිබුණේය.නැවතත් කර්ණ කටුක බස් සින්දුවලට සවන් දෙමින් එන්නට සිදු වූවත් බසයට නැගීමට කළින් ගත් ප්‍රොමෙතසින් පෙත්ත නිසා බසය හෙලවීමෙන් එන ඔක්කාරය නැති වූවා පමණක් නොව එහි ඇති නිද්‍රාජනක භාවය නිසා ටවුහෝල් එකට එනතුරු සුව නින්දක්ද ලබාගත හැකි විය.


07 June 2013

කොළඹින් මන්දාරම් නුවරට.......3


රෑට කාපු තැනින් නැවැත්තුවනේ.ඔන්න අද එතනින් පටං ගන්නවා.....











කෑමෙන් පසු (එය කෙතරම් ප්‍රණීත කෑමක්ද? අහෝ!!!) අපේ දරදඬු ගති ලිහිල් වී අපි ප්‍රීතිමත් වීමු.ඉන්පසු ගැහෙන සීතලේම ශීත ජලස්නානයකින් පසුව අපි නිදන්නට සැරසුනෙමු.කූඩාරමේ මම එක් කොණකත්, අකූ අනිත් කොණෙත් අපහසුවෙන් ඉද්දී රවිත් සහ කසුන් මැද්දට වී සැපට දිග ඇදී නිදන්නට වූහ.මහ රෑ සීතල පෙදෙසක කූඩාරමක නිදන අපට සීතලෙන් ගැටළුවක් නොවීය.මගේ කුඩා කූඩාරම 'හැරී පොටර්ලා ක්විඩිච් ලෝක කුසලානය බලන්නට ගොස් නිදාගත් මැජික් කූඩරම' මෙන් දෝහෝයි මට හිතුනේ කූඩාරම මැද්දේ උඳුණක් තිබ්බාක් මෙන් රවිත් තාපය විමෝචනය කරන්නට වීම නිසාය.රවිත්ට හේත්තු වී සිටි කසුනා ඉක්මනින්ම නින්දට වැටී ගොරවන්නට පටන් ගත්තේය.ඌට අනිත් පැත්තේ සිටි මම අසරණ වීමි.මට නිදාගනිද්දි ශබ්ධ ඇතිවීම නින්දට එතරම් බාධාවක් නොවේ.නමුත් ශබ්ධය රිද්මයානුකූල වන විට මගේ මනස එම ශබ්දය වෙත ඇදීගොස් සිත වෙනතකට ගත නොහැකිව නින්ද අමතක වී යයි.

මම මෙවන් අවස්ථා රැසකටම මුහුන දී ඇත්තෙමි.අපේ අයියා ගෙදරදී සමහර දාට නින්දෙන් ගොරවන විට අහල පහල ගෙවල්වල උන් පවා නිදි මරන්නෝය.පොල් ගස්වල ඇට්ටි පවා වැටෙන්නේය.එවැනි විටකදී මම කරන්නේ අයියාගේ ඇඳ වෙත ගොස් මෙට්ටයේ කොණක් අල්ලා එකවර උස්සන එකය.එවිට ඔහු එක්කෝ අවදි වේ.නැත්නම් ඔළුව පැත්තකට හැරී ස්වාස නාලය දිග හැරේ.මොන ක්‍රමයෙන් උවද ගොරවන ශබ්ධය නතර වේ.ලෝකයට නැවතත් ශාන්තිය උදා වේ.වවුලන් බකමූණන් නැවතත් අපේ නිවෙස අසලින් පියෑඹීමට පටන් ගනිති.නමුත් මේ වෙලාවේ කසුනාට ඒ ප්‍රතිකාරය ලබා දීමට මට නොහැකිය.උස්සනවානම් කූඩාරම ම ඉස්සිය යුතුය.නමුත් ඒ තුල රවිත් ද ඉන්නා නිසා දොඹකරයක් හෝ ඇතෙක්ගේ සහය නොගෙන එය කළ නොහැක.'කලල එරුණු මත වරණිදු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත'. එනිසා මම අප සැමගේ පහන් සංවේගය උදෙසා සද්භාවයෙන් යුතුව මාගේ වැළමිට කසුනාගේ ඉළ ඇට කිහිපයක් මත තරමක ගම්‍යතාවයක් සහිතව සම්ප්‍රාප්ත කෙරුවෙමි.ගෙරවිල්ල නතර විය.

ආහ්...මා ලද අහ්ලාදය.රැයක කූඩාරමක රැය පහන් කරනා වීරෝධාර ගවේශකයෙකුගේ ඇතිවිය නොහැකි තරමේ සැනසිල්ලක් මා තුල පහල විය.මම රැයෙහි ආශ්චර්යය විඳින්නට වීමි.අහෝ තත්පර දහයකට මා ලද තෘප්තිය සීමා වීය.කසුනා නැවත ගොරවන්නට වීය.මගේ මුලු ලෝකයම මගේ පාමුල වැටී සුණු විසුණු වී ගියේය.නැවතත් තුන් හතර වතාවක් වැළමිටි ප්‍රතිකාරය දුන් නමුත් මට පෙනී ගියේ කසුනාගේ ගෙරවිල්ල වැළමිටි ප්‍රතිකාරයට ප්‍රතිරෝධී බවය.එනිසා කසුනා නින්දෙන්ම හුස්ම හිරවී ජන්මාන්තරගතවීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වේවායි සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරමින් මම නිදන්නට උත්සාහ කළෙමි.

ගමන් වෙහෙස නිසාම මට නින්ද යන්නට ඇත.උදේ පාන්දරම අවදි වූ අපි කඩිමුඩියේ ලක ලෑස්ති වී පිටත් වූයේ අපි කළින් දා හවස කෑම ගත් කඩයේ කෑම ඉවර වේ යැයි සිතූ නිසාය.අපි කලින් සැලසුම් කරගෙන සිටියේ මන්දාරම් නුවර පැත්තෙන් පිදුරුතලාගල නගින්නටය.නමුත් මග පෙන්වන්නන් පිළිඹද ගැටළුවක් නිසා අපි ඒ අදහස අත් හැරියෙමු.අපි යනවිටත් අක්කලා කඩය ඇරලාය.එදා දවස මන්දාරම් නුවර පොළ දවස බව අපි දැනගත්තෙමු.හතරදිග්බාගයේම මිනිස්සු තමුන්ගේ එළවලු රැගෙන මන්දාරම් නුවරට එන බවත් ඒවා තොග වෙළෙඳුන් විසින් මිලට ගැනෙන බවත් අපි වැඩිදුරටත් කළ විමසීමේදී හෙලි විය.

උණු උණු බඩු ඈ..

කඩෙන් බඩ පිරී බුරිය උල් වෙනතුරු කෑ අපි නුවර එළිය බසය එනතුරු කල් මරන්නට වීමු.අන්තිමේ බසය පැමිණියේය.බසය යනු පුදුම වාහනයකි.මිනිසුන් කොතරම් යහපත් උවද අහිංසක උවද බස් රථයේ දොර යනු මිනිසුන්ගේ ප්‍රාථමික මෘග හැඟීම් ඇවිස්සෙන සුළු ස්ථානයකි.මන්දාරම් නුවර මිනිසුන්ද බසයේ මේ බලයෙන් ගැලවුනේ නැත.හොඳට එකිනෙකා සමඟ කතාබහ කරමින් සිනාසෙමින් සිටි අහිංසක මිනිසුන් රැස බසයේ පැමිණීමත් සමඟ භයානක පොරයකට වන්හ.අපිද පොරයට එක්වූ නමුත් වසර පුරාම කැත්ත උදැල්ල ගෙන මහපොළව සමඟ ඔට්ටු වෙන මිනිස්සුන් එක්ක අපිට හැරෙන්නවත් නොහැකි බව අපට මනාව පසක් විය.

කෙසේ හෝ බසයට නැග හිටගෙන දුකසේ පසු වූ මට රියැදුරු මහතා අසල එන්ජිම මත වාඩි වෙන්නට ඉඩ සැලසුනේය.මුහුණට වදින හිම මෙන් ශීත සුළඟේ කටුක බව සමනය කරන්නට එන්ජිමෙන් මගේ පශ්චාත් භාගයට ලබාදුන් උණුසුම සමත් විය.අවට සුන්දරත්වය විඳිමින් යන මට රියැදුරු අයියා බසය පාරේ තබාගැනීමට ගන්නා වෙර වීරිය දැක දුකක් ඇතිවිය.පාර පටුය.අඟල් පහෙන් පහට වංගුය.ඒ මදිවාට ඉදිරියෙන් එන වාහනවලට ඉඩ දෙන්නටද සිදුවේ.'මේකේ පවර් ස්ටියරිං නෑ මල්ලි' කියා රියැදුරු අයියා කී විට වාහන ගැන මොකුත්ම නොදන්නා මටද අඬන්නට සිතුනි.මට ටික දුරක් යනවිට ඉහින් කණින් දාඩිය දාන බව දැනී මම වට පිට බැලුවෙමි.එවිට මට අවබෝධ වූයේ පරිසරයේ සීතල අභිබවා ඇන්ජිමේ රශ්ණිය මගේ පශ්චාත්භාගය හරහා ශරීරගතවන බවය.අහවල් ගැජට් එකත් හාෆ් බොයිල් වෙලාදෝ හොයි කියා මම භීතියට පත් වීමි.මගේ සෙරෙප්පු දෙක ගලවා පස්සට යටින් තබා එන්ජිම සහ මගේ පශ්චාත් භාගය අතර තාප පරිවාරක ස්ථරයක් නිර්මාණය කිරීමෙන් පසු මම සැනසුම් සුසුම් හෙලුවෙමි.

නුවර එළියට පැමිණි පසු තිබුනේ පිදුරුතලාගල කන්දට ප්‍රවිශ්ඨ මාර්ගය සොයා ගැනීමය,ගූගල් මැප් එකෙන් සොයාගත් පාරට වඩා ගමේ කෙනෙක්ගෙන් අසාගත් පාර කෙටි බැව් තේරුම් ගෙන අපි කෙමෙන් කෙමෙන් කන්ද බලා ඇදෙන්නට වීමු.



මාර කහ පාටක් නේද?




අකූට ඇස ගැටුනු මලක්



ඒ මල මට පෙනුනු හැටි


කොහොමත් නව තාක්ෂණයට වඩා සාම්ප්‍රධායික ක්‍රම උසස් බව අපට කියා දුන්නේ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමාය.අපි ඒ මොහොතේ සිට එතුමාගේ පූර්ණ කාලීන අනුගාමිකයන් වීමු.බටහිර විද්‍යාවේ නිර්මාණයක් වූ ගූගල් සිතියමට බණිමින් අපි කන්ද නැග හමුදා මුරපොළ වෙත ළඟා වීමු.සිවිල් වැසියන්ට කන්ද මුදුනට යාමට අවසර ඇති බැව් අකුවා සොයා ගෙන තිබුණේ රට වටේටම දුරකතනයෙන් ඇමතීමෙනි.එබැවින් අපි හමුදා මුරපොළ වෙත ඇදුනේ අනම් මනම් පඩත්තර කතා කරන්නට ගත්තොත් නීතිය ගැන කතාකොට 'යුනිෆෝම් ගලවනවා හරිය!!!' කියන්නට හෝ 'මොකද ඈත පැත්තකට මාරු වෙලා යන්ඩ කැමතිද' කියා අසන්නට හිතාගෙනය.

නමුත් කෙමෙන් කෙමෙන් හමුදා නිලදරුවන් අසළට යන විට ඔවුන් අත ඇති ගිනි බට දුටු අපගේ ධෛර්යය හීන වන්නට විය.එම ගිනි බටවලින් මහා හඬ නගමින් කුඩා ලෝහ කැබලි ඈතට යැවිය හැකි බවත් ඒවායින් ඈත සිටිනා උන් පවා මරා දැමිය හැකි බවත් අපි අසා ඇත්තෙමු.අපගේ ධෛර්යය හීන වීමට සමගාමීව අපගේ බයාදු බව වර්ධනය විය.

'අයියේ අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ.අපි කන්ද නගින්ඩ ආවේ' අපි අපේ ළඟ ඇති එකම තුරුම්පුව හෙවත් තුරුම්පු ආසියා ගැහුවෙමු.

'මේකයි වැඩේ.කන්දට යන්ඩ පුළුවං.ඒ උනාට පයින් නං යන්ඩ දෙන්ඩ බෑ.මේක රක්ෂිත වනාන්තරයක් නේ.යනවනං වෑන් එකක හරි කාර් එකක හරි යන්ඩ ඕනේ.මෝටර් බයිසිකල්වලිං වත් ත්‍රීවීල්වලිං වත් යන්ඩ දෙන්නෙ නෑ.ඒ වගේම යන අතර මග නවත්තන්ඩත් තහනං.'

ඒක යකාගේ නීතියක්ය.ඇයි යකෝ ත්‍රීවීල් එකත් වාහනයක් නෙව.මේකත් පන්ති බේදය වර්ධනය කිරීම සඳහා ධනවාදී පාලකයින් යෙදූ තවත් එක් කුමන්ත්‍රණයක් බව අපට පැහැදිලි විය.නමුත් තුවක්කු ඇත්තේ උන් අත බැවින් අපි මුවින් නොබැණ ගල උඩ පැහැරූ බළලුන් මෙන් පසෙකට වී සිටියෙමු.අපිත් බොරුවට අත්දැකීම් එකතු කරන්නට බස්වල නොගිහින් පප්පා අරන් දුන් ලැම්බෝගිනියේ ආවානං මෙලහකටත් කන්ද උඩය.දැන් ගිය නුවණ ඊළඟ ඡන්දය එනකං අද්දවන්නට බැරි නිසා අපි පසෙකට වී අට කන් මන්ත්‍රණයක් කරන්නට වූයේ කන්දට යන ආකාරය තීරණය කර ගැනීමටය.කොළඹ සිට මෙපමණ දුරක් පැමිණ ඉතුරු කිලෝමීටර් කීපය නොයා ආපසු යෑමට වඩා 'හරාකිරි' ක්‍රමයට බඩ කපාගෙන මිය යෑම මනා බැව් තීරණය කළ අපි කෑම බීම පසෙක ලා හෝ වෑන් රථයක් කුලියට ගෙන කන්ද මුදුනටම යෑමට තීරණය කර ගත්තෙමු.

අපේ තීරණය මුරපොළේ හමුදා නිලධාරියාට දැනුම් දුන් සැනින් ඔහු දුරකථන ඇමතුමක් ගත්තේ ඔහු අඳුරන වෑන් රථ හිමිකරුවෙකුටය.මුරපොළේ සිට කන්ද මුදුනට රුපියල් 2500ක් වැනි සුළු මුදලකට යෑමට රියැදුරු මහතා එකඟ විය.වෛද්‍ය ශිෂ්‍යයින්ට විනෝද ගමන් යෑම සඳහා චීන ණය ලබා දෙන නිසා හොඳය.නැතිනම් අපේක්ෂාභංගත්වයට පත්වී නැවත හිස් කැමරාවලින් යුක්තව ආපසු කොළඹ යෑමට අපට සිදු වීමට ඉඩ තිබුණි.'අපරාදේ අර ලෙමන් ජින් එක ගත්තේ' වැනි දෙබස්ද ඇසුන නමුත් රවිත්ගේ එක් ගෙරවුමකින් ඒ මතවාද ඉල්ලා අස්කර ගන්නා ලදී.

කන්ද නැගීමේ තෘප්තිය වෑන් රථය හිමි කරගත් අතර අපි කෙසෙල් නොලැබුණු චිම්පන්සින් මෙන් ඔහේ වාඩි වී ලංකාවේ උසම කන්ද මුදුනට අපේ දෑතේ දෙපයේ වෙහෙසකින් තොරව ඇදුනෙමු.කන්ද මුදුනට ගිය පසු කන්දේ උසම ස්ථානයටත් එහි ඇති රූපවාහිනී, CSN, සහ වෙනත් අවශේෂ නාළිකාවල කුළුණුත් රේඩාර් පද්ධතියත් පිළිබඳව හමුදා නිලදරුවෙක් පැමිණ විස්තර කරන ලදී.


ඔවුන් සහ අපි කෙතරම් දුරස් ද?

කන්දට ඒමට ගිය වියදමට හරියන්නට ටිකක් වේලා ඉඳගෙන ඉන්නා අතර රවිත් ජංගමයෙන් ෆේස්බුක් යන්නට ගොස් දුරකථනයේ තිරයේ එළිය මදි බවට මැසිවිලි නගන්නට වූ අතර 'මැණික ඇත්තේ පොකුණෙහි නොව තල්ගස මත ඇති කවුඩු කැදැල්ලෙහියැයි' කිවූ මහෞෂධයන් මෙන් ගැටළුව ඇත්තේ දුරකථනයේ නොව රවිත් පැළඳ සිටි අවු කණ්ණාඩියේ බව කසුන් විසින් පැහැදිලි කර දෙන ලදී.


ලංකාවේ උසම ස්ථානය...සහ අකූගේ අපර ගාත්‍රය

කරන්නට දෙයක් නොමැති වූ කල අපි නැවත කන්දෙන් බසින්නට තීරණය කළෙමු.වෑන් රථයෙන්ම නුවර එළිය නගරයට පැමිණි අපි කරන්නට වෙන දෙයක් නොමැති නිසාත්, තිබුණත් ඊට මුදල් නොමැති නිසාත් කෙලින්ම කොළඹ බලා යන බසයකට ගොඩ වීමු.අතර මගදී බසයේ වංගු ගැනීම නිසාම අපි හතර දෙනාටම හැදුනු ඔක්කාර ගතියත්, එයට ප්‍රථිකාරයක් ලෙස සුන්දර ඖෂධවේදිනියක් සිටි ෆාමසියකින් ගත් ප්‍රොමෙතසින් බිවූ බවත්, ඒ ඖෂධයේ ඇති නිද්‍රාජනකභාවයට පින් සිදුවන්නට ගම්පහට එනතුරු සිදුවූ කිසිවක් මට මතක නැති බවත් හැරෙන්නට විශේෂයෙන් කියන්නට ඇත්තේ බසයට ගොඩ වීමට ප්‍රථම රවිත් මිලට ගත් කෙටි කෑම පාර්සලය ය.එය අනතුරකට පත්වූ නැවකින් ජීවිතාරක්ෂක බෝට්ටුවකට පටවා ගන්නා කෑම සංචිතයකටත් වඩා වැඩි බව කිව යුතුය.එයිට අමතරව ඔක්කාර ගතියට ප්‍රතිකර්මයක් ලෙස අපි ප්‍රොමෙතසින් ගත් නමුත් රවිත්ට එය මදි වූ අතර අසල කඩයකින් සුදුලූනු මුරුක්කු බෑගයක් මිලදී ගත් ඔහු ගලනාලය ඔස්සේ ආහාර ඉහලට ඒම වළකින සේ ඉහල සිට පහලට මුරුක්කු ඔබන්නට විය.

හවස පහ හය වන විට නිවෙස් බලා යෑමට අපට හැකිවිය.අපගේ වීරෝධාර චාරිකාව ගැන කියන්නට ඇත්තේ මෙපමණය.අතර මගදී සිදුවූ සුළු සුළු කාරණා කියමින් පාඨකයා වෙහෙසට පත් නොකොට චාරිකාව පමණක් කෙරේ අවධානය යොමු කිරීම මගේ බලාපොරොත්තුව වීය.

'ඊට පස්සේ ඒ වීරයෝ හතරදෙනා කාලයක් සතුටින් ජීවත් උනා...' කියා මගේ වීර චාරිකාව මෙයින් අවසන් කරමි.අසා සිටි ඔබ සැමට ඉස්තූතියි!!








ආයුබෝවන් මන්දාරම් නුවර...

30 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......2

මගේ හිතේ සහ ගතේ එක්ව ඇති මූසල මුස්පේන්තු ගතිය නිසා අපේ චාරිකා සටහනේ ඉතිරි කොටස පල කිරීමට පමා වීම ගැන කමාව අයදින අතරම මගේ චාරිකා සටහන බලා චාරිකාව යෑමට පිටත්ව එළමුල්ලේ අතරමංව සිටින්නන්ට ඉතිරි කොටස කියවා ගමන සම්පූර්ණ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.





කලින් ලිපියේ අපි කාපු තැනට එනකං කිව්වනේ.

සමරේ මාමා එක්ක කතා කරද්දී මාමගේ දකුණු අතේ ලොකුවට 'අහිංසක' කියලා පච්චයක් එහෙම නැත්තං පොෂ් විදිහට කියන ටැටූ එකක් ගහලා තියෙනවා දැක්කෙමු.අපි විස්තර අහන්ඩත් පෙර මාමාම පච්චය ගැන විස්තර කළේය.

'ඔය කොල්ලො කාලේ එන අදහස්නේ මේවා.පච්චේ ගහන්ඩ ගියේ 'අහිංසක පොඩි පුතා' කියලා.ඒත් අහිංසක කියන ටික ගහද්දි වේදනාවට මාව සිහිනැතුව වැටුනා.ඊට පස්සේ සිහිය ආවම 'අහිංසක' එක්ක විතරක් ගෙදර ආවා.'පොඩි පුතා' අමතක කෙරුවා.'


නැවත එළමුල්ල හන්දියට පැමිණි අපි බසයක් එනතුරු හන්දියේ කඩයට වී සිටියෙමු.රවිත් කඩයේ විකිණීමට තබා තිබූ රෝල්ස් ඉව කර බලා නැවුම් බව සහතික කර ගැනීමට එකක් කා බැලුවේය.අවසානයේ බසය පැමිණියේ එදින අපගේ ගමනාන්තය වූ මන්දාරම් නුවර ග්‍රාමයට අප රැගෙන යාමටය.

කඳු හෙල් ගිරි දුර්ග මැදින් බස් රියැදුරු මහතා අපවද රැගෙන බසය පදවාගෙන ගිය අයුරු මෙනෙහි කරන විට පවා ගතෙහි රෝම සෘජුව හිටගන්නේය.මෙම මාර්ගය අඩිකෝදු නොමැතිව කවකටුවෙන් පමණක් ඉංජිනේරු විද්‍යාව උගත්තවුන්ගේ නිර්මාණයක් දෝ හෝයි සිතෙන තරමට පාරේ ඇත්තේ වංගු විතරය.කෙසේ නමුත් වංගුවක් වංගුවක් පාසා අළුත්වන දෙපස දර්ශනයෙන් අපි කුල්මත්වන විටත් රවිත් හොඳ හැටි මත් වී සිටියේය.කෙසේ නමුත් අපට බස් රථයෙන් මන්දාරම් නුවර ග්‍රාමයටම යා ගත නොහැකි විය.ඒ 'මහින්ද චින්තන මග නැගුම' නම් වූ මුළු මහත් ශ්‍රී ලාංකීය ධරණී තලයම කාපට් අතුරා සකස් කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටතේ මන්දාරම් නුවරට යන මාර්ගය අළුත් වැඩියා කරමින් තිබූ නිසාය.එනිසා ගමට කිලෝමීටරයක් පමණ දුරකින් බසය නවත්වන ලදී.

බස් රථයේ පාපුවරුවේ සිට අපගේ පා පියුම් භූමිය සිපගනිද්දී එතෙක් වෙලා සිනා සෙමින් සිටි අහස කලු කරමින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය.අහසට සාප කරමින් බෑග් මලු හිස තබාගෙන හිස ප්‍රවේසම් කරගෙන අපි ගම කරා පයින්ම ඇදුනෙමු.පාර අලුත්වැඩියා කරන ස්ථානයට එපිටින් ත්‍රීරෝද රථ කීපයක් නවත්වා තිබුණු අතර මම එම තෙසක් රියකින් ගමන සම්පූර්ණ කිරීමට යෝජනා කොට සම්මත කළෙමි.නමුත් වර්ෂාවෙන් තෙමී දැනුනු සීතලයෙන් ගතේ ඇවිලුනු ලෙමන් ජින් දාහය නිවෙන බැවින් රවිත් පයින් යෑමට යෝජනා කළේ,
'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්.... රයිට්' කියාය.මම මුවින් නොබැන සිටියෙමි.

ගමට ඇත්තේ කිලෝමීටරයක් පමණක් බව කිව්වේ බසයේ අපත් සමඟ ආ ගමේ මිනිසුන්ය.මෙවන් පෙදෙස්වල කිලෝමීටරයද ඒ මිනිසුන්ගේ හිත වාගේම අපි දැකපුරුදු ඒවාට වඩා විශාලය.ඒ බව මම අත්දැකීමෙන් දන්නා නමුත් රවිත් සමඟ වාද කිරීමට බස ප්‍රමාණවත් නොවූ නිසා පයින්ම කඳු පාර දිගේ ඇදෙන්නට වීමි.

මීටර දෙසීයක් කන්ද නගින්නටත් පෙර රවිත් ත්‍රී රෝද රථයේ නොපැමිණීම ගැන මැසිවිලි නගන්නට විය.

'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්' කියා මම ඔහුව නිහඬ කළෙමි.අපි මන්දාරම් නුවරට එනවිට හොඳටම තෙමී සීතලෙන් කුපිත වී සිටියෙමු.කට්ටිය මොන විදිහේ පොර ටෝක් දුන්නද එහාට සිග්නල් ඇත්තේ ටීගෝ සහ එයාර්ටෙල් විතරය.අපි සිව් දෙනාගෙන් එකෙක් ළඟවත් එම ජාති නැති නිසා අකුවා ගමන කතිකා කරගත් මන්දාරම් නුවර රෝහලේ ඇම්බියුලන්ස් රථයේ රියැදුරු මහත්තයා සම්බන්ධ කරගත නොහැකිව ලත වෙන්නට වීමු.ඉන්පසු අකුවා රෝහලට තනිවම පයින් යන්නට වූයේ අපි හන්දියේ කඩයක අක්කලා දෙන්නෙක් එක්ක කුළුපග වෙන්නට වූ අතරේය.අපි කොච්චර ඒ දෙන්නා එක්ක කුළුපග වූවාද යත් එක අක්කා කෙනෙක් ඇගේ ඩුවෙල් සිම් ජංගමයෙන් එක් සිම් පතක් අපට එදිනට පාවිච්චි කිරීමට දුන්නාය.ඇයට පින් දී අපි කුස පුරවා ගන්නට සැරසුනෙමු.මෙවන් වූ සීතල සැන්දෑවක උණුසුම් ප්ලේන් ටී එකක පොඟවා ගෙන කන පාන් කෑල්ලක තියෙන අමෘත රසය දත් මම පාන් බාගයක් සහ ප්ලේන් ටී එකක් ගත් නමුත් රවිතාගේත් කසුනාගේත් සුහද සහයෝගය නිසා පාන් බාගයෙන් හතරෙන් එකක් පමණ කා සෑහීමකට පත් වීමි.රවිත් කඩේ තිබූ එළවලු රොටී, වඩේ ආදී වූ සෑම ආහාරයකම සාම්පලය බැගින් රස බලා මගේ පාන් කෑල්ලටද කෙළවා නිහඬ විය.

අතර මගදී හම්බවෙච්ච උඩවැඩියා මලක්


මේ අතර අකුවා නැවත පැමිණියේ අපට රෝහලට ඒමට ආරාධනා ලැබුණු බව කියන සතුටුදායක ආරංචියත් සමඟය.කඩේ අක්කලා දෙන්නා අපි ඌට හොරෙන් ටී බිවූ බව කියලා ඌට කිරි තේ එකක් විකිණීමට සමත් වූවෝය.පොඩි එකෙක් නෑවීමට උවද තරම් වන වීදුරුවකට දමා දුන් කිරි තේ එකෙන් අකුවාගේ මූණ වැසී යනු දුටු කසුනාටද කිරි තේ ඕනෑ විය.උන් දෙන්නාගේ කිරි තේවලට රවිතුත් මාත් සම්මාදං වීමෙන් පසු සභාතොමෝ බිල ගෙවා පාරට බටහ.කෙසේ හෝ අවසානයේ මන්දාරම් නුවර රෝහලට පිවිසියෙමු.රෝහලක් කීවාට එය මාතෲ නිවාසයකි.එයිට අමතරව බාහිර රෝගී අංශය පැය විසිහතරේම ක්‍රියාත්මකය.පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන වෛද්‍යවරයා ප්‍රතිකාර ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ උවද අවදි කරවා ගත හැක.

වෛද්‍ය නිල නිවස සහ බාහිර රෝගී අංශය පිහිටා ඇති සුද්දන් හැදූ ගොඩනැගිල්ල

වෛද්‍යතුමා ගානේ යෝගට් රස බැලූ අපි ඔහුගේත් එම්බියුලන්ස් රියදුරු මහතාගේත් ආරාධනය පරිදි රෝහලේ නතර වෙන්නට තීරණය කළෙමු.ඔවුන් අපට යෝජනා කළේ රෝහලේ ගොඩනැගිල්ලක නතර වන ලෙසය.නමුත් අපි එම යෝජනාව සුහදව ප්‍රතික්ෂේප කළෙමු.මාගේ කූඩාරම ගෙනාවේ කොළඹ සිට උස්සාගෙනය.එසේ වැර වෑයමින් ගෙනා කූඩාරම පසෙක ලා අවස්ථාවාදී ලෙස රෝහල තුල ඇඳක සුව සොයා යාමට තරම් අපි කෲර නොවීමු.එනිසා රෝහලේ කුස්සියේ සහ නාන කාමරයේ පහසුවද ලැබෙන සේ කූඩාරම රෝහල් මිදුලේ ඇටවීමට අපි තීරණය කර ගතිමු.

මගේ කූඩාරම
 (මෙහෙම හිටියට හිසට සෙවනක් තියෙන කොල්ලෙක් හරිය!!)

කූඩාරම යන්තං අටවා ගත්තද ඒක ඇතුලේ හතර දෙනෙක් කෙසේ වෙතත් තුන් දෙනෙක්ට සහ රවිත්ට ඉන්ඩනම් කොහොමවත් ඉඩ නොමැති බව අපට මනාව පසක් විය.ඇත්තෙන්ම එය නිර්මාණය කොට ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන් දෙදෙනෙකුට බව නිර්මාපකයෝ කියා ඇත.කෙසේ නමුත් ප්‍රමුඛම ගැටළුව නින්ද නොව කුසගින්න නිසා අපි කුඩාරම මදකට අමතක කොට ඇම්බියුලන්ස් රියැදුරු මහතා සමඟ ඔහුගේ නිල නිවසට ගොඩ වැදුනෙමු.ඔහුගෙන් ලද බිස්කට් කෙසෙල් සහ කහට තේ කිරිටොෆී හා එක්ව අපේ කුසගින්න උත්තේජනය කෙරුවා පමණය.එනිසා අපි ඔහුට ස්තූති කොට නැවත රෝහල් කුස්සියට ඇදුනේ නූඩ්ල්ස් ටික සාදා ගැනීමටය.

උණු උණු මැගී නූඩ්ල්ස් රස බැලීමේ චේතනාවෙන් කුස්සි ගත වූ අපි ඇලුමිනියම් රාස්පානට වතුර පුරවා ලිප තැබීමු.ඉන්පසු යෝධ මැගී පැකට්ටුව කඩා නූඩ්ල්ස් රත් වූ වතුරට එක් කොට රසකාරක පැකැට්ටුව සොයන්නට වීමු.අහෝ ඛේදයකි!! නූඩ්ල්ස් පැකැට්ටුවේ රසකාරකය නැත.අපි භීතියට පත්ව කිසිවක් කරකියාගත නොහැකිව උඩ බිම බැලීමු.මැගී කොම්පැනියට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාක්ච්ඡා කළෙමු.මැගී ගන්නට යෝජනා කළ උන් සහ මැගී ගත්තවුන් එකිනෙකාට රවා ගත්තෙමු.එයින් සෑහීමකට පත් වූ පසු අපි නැගිට් මීට විකල්ප සොයන්නට පටන් ගත්තෙමු.මේ අතර මම කැඩූ මැගී පැකැට්ටුවේ පිටත පැහැදිලිව සටහන් කර තිබූ 'රසකාරක පැකැට්ටුව අඩංගු නැත' යන වැකිය සොයා ගතිමි.එයින් අපි තරමක් සැහැල්ලු වීමු.දැන් මැගී කොම්පැනියට විරුද්ධව නඩු දැමිය යුතු නැත.

රවිත් කසුන් සමඟ ගියේ ඇම්බියුලන්ස් රියැදුරු මහතාගේ නිවසින් තුනපහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක් රැගෙන ඒමටය.මේ අතර මමත් අකුවාත් කුස්සිය පෙරලා ලුණු භාජනයකුත් සෝයා පැකැට්ටුවක එන රසකාරක පැකැට්ටුවකුත් සොයා ගතිමු.සෝයා පැකැට්ටුවේ ආ රසකාරක පැකැට්ටුව කල් ඉකුත් වූ එකක් දැ‍යි අපි දැන සිටියේ නැත.නමුත් එය කල් ඉකුත් නොවූ එකක් බව අපි දැන් දනිමු.චෙෆ් රවිත් මහතා මිරිස්කුඩු, තුනපහ කුඩු, ලුණු සහ සෝයා පැකැට්ටුවේ රසකාරකය දමා එම නූඩ්ල්ස් ටික කෑ හැකි මට්ටමට පත් කළේය.ඒ අතර ඔහුගේ කුඩා මොළයේ ජනිත වූ නව අදහසක් ක්‍රියාත්මක කිරීමටද ඔහු පසුබට නොවීය.ඒ මෙසේ නව රසකාරක හා එක් කළ නූඩ්ල්ස්වලට මංචි කුමේ බිස්කට් එකතු කොට බැලීමය.කුඩා කෑලිවලට කඩා එක්කළ බිස්කට් නූඩ්ල්ස්වලට නව ජවයක් එක් කිරීමට සමත් විය.රවි කෙදිනක හෝ වෛද්‍යවරයෙකු ලෙස පිටවී ගල්කිස්ස හෝටලයේ පත්වීමක් ලබා පබිලිස් මහතාව උපහාසයට ලක්කරන ආකාරය සිහින මවමින් අපි 'කුමේ සෝයා නූඩ්ල්ස්' කෑවෙමු.

කුමේ සෝයා නූඩ්ල්ස්



වීරවික්‍රමාන්විත සිදුවීම් බහුල අපගේ වීර චාරිකාවේ තවත් ලොමුදැහැගැන්වෙන කොටසක් බලාපොරොත්තු වන්න....

20 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......

මන්දාරම් නුවරට ඉර බහින්නේ මෙහෙමයි


ඔන්න වල් රජාත් යන යන තැං ගැන චාරිකා සටහන් දාන හින්දා මටත් හිතුනා ඔන්න චාරිකා සටහනක් ලියන්ඩ.හැබැයි සිරි ලංකාව ගැන මගේ බූගෝලීය දැනුම අන්තිම ඉහල නිසා කවුරු හරි එහෙ යන්ඩ හිතනවානං මෙන්න මේ ලින්කුවෙන් යන විදිහ බලාගන්ඩ හොඳේ.....

ඔන්න කට්ටියට කියන්ඩ මේ ගමන යන එක ඔක්කොම ප්ලෑන් කළේ අපේ අකූ තමයි.අපරාදේ කියන්ඩ බෑ මං තරංවත් පරිගණක දැනුමක් නැති මූ ජංජාලේ කරක් ගහලා මේ වගේ අහුමුළුවලට යන්ඩ තියෙන චාරිකා ගැන හොයාගන්ඩනං දන්නවා.


අපි ගමන පටං ගත්තේ මහ රෑ 11.45ට විතර.ගමන යන්ඩ සෙට් උනේ අති උත්තම මමයි, අකුවයි, රවිත් සහෝදරයයි, ගමන යන්ඩ විනාඩි දහයක් විතර තියෙද්දේ නින්දෙං නැගිටලා ගමන යන්ඩ සෙට් වෙච්ච මගේ රූමා හෙවත් කසුනුයි.ඒ කියන්නේ හරියටම හතරයි.ආයේ මොනවද ඉතිං ෆැන්ටෑස්ටික් ෆෝ වගේ තමයි.අපි පාන්දර 3 විතර වෙද්දි නුවරට ආවෙමුය.ඊට පස්සේ පදියපැලැල්ලට යන්ඩ බස් එකක් දියත් කරනකං එහේ මෙහේ ඇවිදිමිං කල් මැරුවෙමු.අපේ රවිත් කාරයා බණ්ඩිය පුරවන්ඩ පටං ගත්තේ මේ වෙලාවේ ඉඳලාය.ලිපිය පුරාම මූ කාපුවා ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා දැම්ම කොළයක් අරගෙන මූ කාපුවා ගැන සටහනක් තියාගන්ඩ පටං ගත්තාට කමක් නැත.කෙසේ වෙතත් අවේලාවේ හින්දා කිරිර් තේ එකකින් පමණක් ඌ සෑහීමකට පත් උනේය.ඒ නිසා අපිට වෙලාවට බස් එකට නැගගන්ඩ හැකි විය.බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා නිදා ගත්තු නිසා පදියපැලැල්ලට එනකං ගමන් විස්තරයක් කියන්ඩ මම දන්නේ නැත.

පදියපැලැල්ලට ආ පසු අපේ ගමනට අවශ්‍ය කරන කළමනා කීපයක් මිළදී ගැනීමට කටයුතු කළෙමු.අපි මිළදී ගත් දෑ අතර හැන්දක්, ගෑරුප්පුවක්, පොඩි පිහියක්, තරමක ඇළුමිනියම් භාජනයක් (පියන සහිත ), මැගී නූඩ්ල්ස් ලොකු පැකට් එකක් සහ පොඩි පැකට් එකක් (පොඩි පැකට් එක ගත්තේ රවිත් අපට නූඩ්ල්ස් ලොකු පැකට් එක මදි වේ යැයි සැක කළ නිසාය.ඒ ගැන දෙවියන්ට ස්තූති වේවා! ), සබන් කෑල්ලක්(ඇඟේ උලන එකකි ), ටූත්පේස්ට් එකක් විය.

මේ අතර රවිත් සහ කසුන් 'බියර්' නැමැති මිනිසුන්ගේ නාමකරණය යටතේ එන අමෘත පානය මිළදී ගැනීමට ගොස් අපේක්ෂාභංගත්වයට පත්ව නැවත ආවෝය.බාර් එක අරින්නේ නමයට බවත් බස් එක ඊට කළිං පිටත් වන බවත් ඔවුහු මහත් ශෝකභරිතව මටත් අකුවාටත් කීවෝය.කවුරුන් හෝ ඔවුන්ගේ කතාව නැසෙන මානයේ සිට බලා සිටියානම් හිතෙන්නේ උං දෙන්නාගේ ළඟම හිතවතෙක් මියගිය ආරංචිය මේ දැං උන්ට ලැබුණු බවත් මමත් අකුවාත් උන් දෙන්නාව සනසන බවත්ය.

පදියපැලැල්ලෙන් අපි මන්දාරම් නුවර බලා යන බසයට නැගුනෙමු.මේ අතර අපි නූඩ්ල්ස් මිළදී ගත් කඩයේ මුදලාලි මහතාවද ආදරයෙන් මතක් කළ යුතුය.අපි තරුණයන් වීම සහ නූඩ්ල්ස් මිළදී ගැනීම නිසා අපි ඔහුගේ සැකයට භාජනය වීමු.දිගින් දිගට ඇසූ හරස් ප්‍රශ්න හමුවේ නොසැලී පිළිතුරු දුන් අපි ඔහු කෙරේ ආවේගශීලී නොවී බයාදු ලෙස පිළිතුරු දුන්නේ ඔහු සී.අයි.ඩී. කාරයෙකු වීමේ ඇති ඉහළ සම්භාවිතාව නිසාය.(ඒ ඇසූ විදිහට හරස් ප්‍රශ්න අහන්ඩ සාමාන්‍ය මනුස්සයෙකුට බැරිය.)

බසයෙන් අපේ ගමනාන්තයටම යා හැකි උනත් අකූ ජාලයෙන් හොයාගත් ගමන් විස්තරයට අනුව පැරණි චාරිකා කරුවන් එළමුල්ල ග්‍රාමයෙන් බැස එහි ඇති දිය ඇලි කීපයක්ද නරඹා තිබුණු බැවින් එකී පුරාණ සම්ප්‍රධායන්ට ගරු කරනු වස් අපිදු එළමුල්ලෙන් බැස ගතිමු.

එළමුල්ලේදී රවිත්ලාගේ අපේක්ෂා මස්තකප්‍රාප්ත කරමින් බාර් එකක් ඇරලා තිබ්බේය.අකුවාත් මමත් දියඇළි වෙත යන ගමන් විස්තරය අසාගන්නා අතරේ අරුන් දෙන්නා බාරයට රිංගා ගත්තෝය.ඉන්පසු බාර් එකකදී කතා කරන ඒ ජාත්‍යන්තර භාශාව වන 'කසුකුසු' භාශාවෙන් කතිකා කොටගෙන බෝතලයක් ඔතාගෙන ආවෝය.ඔය අතරේ එතන හිටපු මාමා කෙනෙක් අපිට දිය ඇල්ලට මග පෙන්වන්නට සෙට් උනේය.ඔහුගෙන් අසාගත් විස්තරයට අනුව අකුවා බලන්නට හිතාගෙන සිටි 'කබරගල ඇල්ල'ට පයින් යන්නට සෑහෙන වෙලාවක් යන බවත් තෙසක් රියකින් හෙවත් ත්‍රීරෝද රථයකින් යන්නට රුපියල් 1200ක් වත් ඕනෑ බවත් දැනගත් අපි කබරගල ඇල්ල සිහින අතරට එක් කළෙමු.ත්‍රීරෝද රථයේ ගාස්තුව කෙසේ වෙතත් ත්‍රීවීල් වලට ලොරි පටවන්නට බැරි බව භෞතික විද්‍යාව සුළු වශයෙන් දත් අපට හොඳින් තේරේ.එනිසා රවිත් නොමැතිව ආ දිනක කබරගල ඇල්ල බැලීමට අපි ඉටා ගතිමු.ඉන්පසු අපට මග පෙන්වීමට එකඟ වූ සමරේ මාමා හෙවත් රාජනායක හෙවත් 'රජ්ජුරු සමරේ' පෙරටු කොට ගෙන අපි මහේශාක්‍ය ලීලාවෙන් 'ඇතිනිවල' ඇල්ල බැලීමට ගියෙමු.පෙර කල අගනුවරට ඈත ප්‍රදේශවල කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතියක් අතරතුර ඒ ව්‍යාපෘතියක වැඩ කළ අලියෙකු මේ ඇල්ල පහලට වැටීම නිසා මේ ඇල්ල ඒ නමින් හඳුන්වන බව සමරේ මාමා අප සමඟ පැවසීය.





මේ තියෙන්නේ අපි නාපු කලු පාලමේ ඇල්ල

ඇතිනිවල ඇල්ල බැලීමෙන් පසු අපි තවත් ඇල්ලක් බැලීමට පිටත් වීමු.ඒක එච්චර ලොකු එකක් නොවුනත් නාන්න හොඳ තැනක් බව සමරේ මාමා කිවූ නිසා අපි කලු පාලම් ඇල්ල නම් ඒ ඇල්ල බලා පිටත් උනෙමු.මේ යන අතර තුරේදී අපිට තවත් එක්කෙනෙක් සෙට් උනේය.ඇඟ පුරාම පච්ච කොටා කනත් ඇහි බැමත් විද කරාබු දා සිටි මේ මහත්මයා සෑහෙන ලොකු බඩු පෙට්ටියක් කරේ තියාගෙන අපි යන පාරේම ගිය නිසා ඔහුත් අප හා කතාබහ කොට කුළුපග වීය.අවාසනාවට සහ මගේ තීක්ෂණ මතක ශක්තියට පින් සිද්ද වෙන්නට මට ඔහුගේ නම නම් මතක නැත.මේ අතරේ තව පොඩ්ඩෙන් වැදගත් දෙයක් කියන්ඩ අමතක වෙනවාය.ඇතිනිවල ඇල්ල බලා ආපසු එන විට රවිත්ලා 'රා' බෝතලයක් ද මිළදී ගත්තෝය.

අපි ඇල්ලට විත් එය බලා සැනහී එය විඳ ගැනීමේ චේතනාවෙන් ඇල්ල පාමුල ජලාශයට බැස්සෙමු.මේ අතර රවිත් සමරේ මාමාත් අතර මගදී හමුවූ අලුත් මිතුරාත් සමඟ මධුවිත හිස් කිරීමේ නිරත වීය.පසුව අප දැනගත් පරිදි සමරේ මාමා එක් වතාවකුත් අලුත් මිතුරා එක් වතාවකුත් පමණක් මදුවිත ගෙන ඇති අතර රා බෝතලයේ ඉතිරි සියල්ලත් ලෙමන් ජින් බෝතලයේ තුනෙන් එකක් පමණත් හිස් කොට ඇත්තේ රවිත් තනිවමය.අපි නෑමෙන් පසු එළමුල්ල හන්දියේ කඩයෙන් ගෙනා බත් මුල් රස වින්දෙමු.

මතු සම්බන්ධයි......