කොහොමද අපේ ධනා නිකං නළුවා වගේ නේ....
අපි සබරගමුව කැම්පස් එකට එනකොට රෑ අටහමාරට විතර ඇති.ඒසී බස් එකක් උනත් ඒ මගුලෙත් අර කුණු බස් සින්දු දාලා තිබ්බා.මේ යක්කු නිකං මේ කතාබහ කර කර ඉන්න වචන ටිකක් රෙකෝර්ඩ් කරගෙන ඒකට චාටර් තනුවක් දාලා ගහනවා සින්දුවක්.ඊට පස්සේ ඒවා සීඩීවලට ගහලා බස් කාරයින්ට නොමිලේ බෙදලා දෙනවද කොහෙද. අසරණ මගී ජනතාව හෙම්බත්වෙනවා ඒ කුපාඩි සින්දු අහලා.කොහොම හරි ඔන්න කැම්පස් එක ගාව කඩේකිං රෑට කාලා හොස්ටල් එකට ගිහිං ඇඟපත හෝදගෙන නිදාගත්තා කියමුකෝ ඈ.පහුවදා පාන්දරම නැගිටලා දතකට මැදගෙන (කළිං දවසේ බීපු නෙස්ටමෝල්ට් එකට පින් සිද්ද වෙන්ඩ ශරීර කෘත්‍ය කරන්ඩ උවමනාවක් උනේ නෑ.ඉමෝඩියම් පෙත්තක් ගැහුවනං ඒත් ගොඩම තමයි ) අපි ගමන යන්ඩ පිටත් උනා.කැම්පස් එක ගාවිං බස් එකකට නැගලා නන්පේරියල් වත්තට හැරෙන තැන හන්දියට ඇවිල්ලා නන්පේරියල් බස් එක එනකං බලාගෙන ඉන්නකොට අපිට නන්පේරියල් වත්තේ ඉස්කෝලේ විදුහල්පති මහත්තයා හම්බ වෙලා කතා කර කර හිටියා.ඒ ඉස්කෝලේ ළමයි 90ක් ඉගෙන ගන්නවලු.ඈත ඉඳං එන ළමයින්ට නවතින්ඩ හොස්ටල් එකක් හදන්ඩ ප්ලෑන් එකක් තියෙනවා කියලත් ඒ මහත්තයා අපිට කිව්වා.
ඔන්න පාන්දර 6.30 විතර වෙනකොට බස් එක ආවා.අපි සෙට් එක ඒ කිව්වේ මම හෙවත් මම, සිතුම් හෙවත් කුරුළෑවා, චිරාන් හෙවත් තට්ටයා, ධනා හෙවත් ධනා, පුලා හෙවත් ලාන්ස් සහ ශෂික හෙවත් කඩියා කියන වීරෝධාර තරුණයෝ හය දෙනා නැග්ගා බස් එකට.අපරාදේ කියන්ඩ බෑ නන්පේරියල් වත්තේ ඉස්කෝලේ ගාවට එනකං අපි හයදෙනා විතරයි බස් එකටම.ඉස්කෝලේ ගාවිං බස් එක නැවැත්තුවා.අපි හය දෙනා බැහැලා පයින් ගමන පටං ගත්තා.
ඔන්න මමත් ට්‍රයි කළා අපි ගිය පාරේ සිතියම දාන්ඩ.කොච්චර දුරට සාර්ථකද කියලනං දන්නේ නෑ.
View Larger Map
අපි ගිය පාර ඈ...
ඉස්කෝලේ පිහිටලා තිබ්බ තැනනං මරු.කියන්ඩ වචන නෑ.නිම්නයක් වගේ තැනක්.මෙහේ මිනිස්සුන්ටනං ඒක පුරුදු ඇති.ඒත් ගිණි කූටක අව්වේ දූවිලි කකා ඉස්කෝලේ ගිය අපිටනං ඒක සුරංගනා කතාවක සීන් එකක් වගෙයි පෙනුනේ.මම හොඳට බලං හිටියේ හිම කුමාරි වගේ කෑල්ලක් පන්තියකිං ඔළුව දායිද කියලා.ඒ උනාට දැකුම්කලු දෙමළ ගෑනු ළමයි ටිකක් විතරයි ඕං හිටියේ.
ඔය කඳු දෙක මැද්දේ පුංචියට පේන ගොඩනැගිල්ල තමයි ඉස්කෝලේ
මෙන්න හොඳ ළමයි උදේම ඉස්කෝලේ යනවා..
අපි එතන ඉඳං ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනකොට අපිට හම්බ උනා උස දිය ඇල්ලක්.ඒකත් බලලා ෆොටෝ ගහලා ආයෙමත් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන යනකොට (මේ කියන්නේ සෑහෙන දුරක් ඇවිදගෙන ගිහිල්ලා ඈ...) මම පුලාගෙන් ඇහුවා මචං අපි කන්නේ කොහෙදිද කියලා.මොකද පුලා තමයි අපේ නඩේ ගුරා.ඌ සබරගමුව කැම්පස් එකේ ඔය ඉඩං මණින්ඩ ඉගෙනගන්න කෝස් එකක් කරනවා.ඌ මේ ගමන දැං තුන් පාරක් ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඌ කියන්නේ.ඌ කිව්වේ තව පොඩ්ඩක් උඩහට ගිහිං කමු කියලා.ඔය විදිහට මම කීප සැරයක්ම ඇහුවත් පුලා කිව්වේ තව උඩහට ගිහිං කමු කියලා.මූ අපිට කන්ඩ ගෙනල්ලා තිබ්බේ පාං.ඔව් අර සුද්දංගේ කෑම ජාතිය අනේ.කොහොම හරි මම හිතුවේ මූ පාං ටික කඩේකිං කුළියට ගෙනල්ලා කියලා.අපිට කන්ඩ නොදී ආපහු කඩේට පාං ටික රිටර්න් කරන්ඩයි මූ හදන්නේ කියලා හිතලා උදේ කෑම අමතක කරලා හිත හදා ගන්න කොට අපි ආවා හුළං කපොල්ලක් වගේ තැනකට.එතන පට්ටම හුළං ඈ.මං වගේ බර අඩු කට්ටිය කෙළිංම ගුවන් ගත වෙන්ඩ උනත් ඉඩ තියෙනවා.අපි එතන අස්සක තිබ්බ තැනක ඉඳං පාං කන්ඩ සෙට් උනා.
පාං කන්ඩ ගෙනත් තිබ්බේ උම්බලකඩ සම්බෝල සහ තක්කලි සෝස්.මේ ජාති දෙක එකට අනලා ගත්තම පාං තුං කාලක් විතර ලේසියෙන් බඩට දා ගත්තෑකි.ඒ උනත් අපි වගේම තවත් හරක් තුන් දෙනෙකුත් අපිට සෙට් වෙච්ච හින්දා පාං උං එක්කත් බෙදා ගන්ඩ සිද්ද උනා.වැඩි වෙලා නාස්ති නොකර අපි ආයෙත් ගමන පටං ගත්තා.
වටපිටාවේ සොබා සිරිය බල බල අපි උඩට නැගලා නැගලා නැගලා අන්තිමට පරිපථ බංගලාවට හෙවත් සර්කිට් බංගලාවට ආවා.මේක කට්ටියට නිවාඩුවට ඇවිත් ඉඳලා යන්ඩ මරු තැන.දවසක් නවතින්ඩ දහ දෙනෙක්ට 12,500ක් කියලයි කිව්වේ.කනබොන දේවල් අරං ආවොත් උයාගන්ඩ පුළුවං.ඒ උනාට අපිට එච්චර සල්ලි නැති හින්දා සහ අපේ ගමනාන්තය තව දුර හින්දා අපි ආයේත් ගමන පටං ගත්තා.
මෙන්න ගිහිං නවතිනවනං මරු තැන...
හෝර්ටන් තැන්න හරහා එන ගමනේ සැරින් සැරේ ඇද හැලිච්ච පොද වැස්සට තෙමිච්ච එක ඇරෙන්ඩ කියන්ඩ තරං වැදගත් දෙයකට සිද්ද උනේ සුද්දෙක් උගේ පවුලයි තරුණ දෝණියැන්දයි එක්ක එන ගමන් තිබ්බ දිය පාරක් හරහා පන්නවා ගන්ඩ ධනා සද්භාවයෙන් ඉදිරිපත් වෙච්ච එක තමයි.හැබැයි ධනාගේ බලාපොරොත්තු සුන් කරවමින් සුද්දා ධනාට උගේ දුවගේ අහලකටවත් එන්ඩ දුන්නේ නෑ.අතරමග තිබ්බ බක්කරේගේ ඇල්ල හෙවත් බේකර්ගේ ඇල්ල බලන්ඩත් අපි අමතක කළේ නෑ.ඒකේ ෆොටෝ ගහන්ඩ ට්‍රයි කළත් ලෙන්ස් එකේ වතුර බින්දු රැඳිලා ෆොටෝ එක පොඩ්ඩක් චාටර් උනා.
හෝර්ටන් තැන්නේ ප්‍රවිශ්ඨය ගාවට එනකොට අපේ හෘදය වස්තු 'ලබ්-බක් ලබ්-බක්' ගාලා හයියෙන් ගැහෙන්ඩ ගත්තේ කවුරුහරි අපේ ටිකට් චෙක් කළොත් බඩු මාට්ටු වෙන හින්දාය.කැළේ පාරෙන් ගමන් කිරීමට තහනම් බවත් අහු උනොත් දඩය 12,000ක් බවත් අපි දැන සිටිය නමුත් අපේ රටේ ඉබේ හැදිච්ච සොබාව සෞන්දර්ය බලන්ඩ යන්ඩ කොහෙවත් ඉන්න උන්ගෙන් අවසර ගන්ඩ අපි ලෑස්ති නැත.කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුංගේ කාර්යක්ෂමතාවයට පින් සිද්ද වන්නට අපේ ටිකට් චෙක් කරන්ඩ කවුරුවත් හිටියේ නැත.
ප්‍රවිෂ්ඨය ගාව ඇති ආපන ශාලාවෙන් අපි රුපියල් 50 ගණනේ තේ මිළදී ගතිමු.වෙලාවට අපි ළඟ පාං තිබුණේය.නැත්තං පාං එතැනින් මිළදී ගන්නට ගොස් හෙන අවුලක් වෙනවාය.අපි පාං එතනින් මිළදී ගත්තානම් දෙබස මේ වාගේ වන්නේය.
'අයියේ අර බනිස් වගේ එයිට වඩා හයිය සයිස් එකෙ ලොකු ඒවා තියෙනවද?'
'මොනවද මල්ලි පාං ද?'
'ඔව් අයියේ'
'ඉතිං එහෙම කියන්ඩ එපායැ'
'අනේ ඒක කියාගන්ඩ බෑ අයියේ'
ඇත්තට ඒ වෙනකොට අපිට පාං කියාගන්ඩ බැරි තත්ත්වෙකය හිටියේ.උදේ කාපු විදිහටම පාං කා තේ බිවූ අපි නැවත් ගමන ආරම්භ කළෙමු.මෙතැන සිට ඔහියට කිලෝමීටර 11ක් බව දැක්වෙන පුවරුවක් විය.අපි දෙපාවලට වැඳ ඔහිය බලා ගමන ඇරඹීමු.අතරමග ගෝනෙක් දෙන්නෙක් හමු විය.ටිකක් දුර යනකොට ඈත 15-20ක් පමණ වූ ගෝන්නු රංචුවක් දැක මම ඈතින් සිටි පුලාට කතාකළේ හොඳ කැමරාව තිබුණේ උගේ ළඟ නිසාය.නමුත් නමුත් සිතුමාගෙන් පිටවූ අධෝවාතයක හඬ අසා ගෝන්නු කැළයට දුවන්නට වූවෝය.රංචුවේ සුළු පිරිසක් මගේ ළපටි කැමරාවට ඈතින් අසුවිය.
හොඳට කිට්ටු වෙලා බැලුවොත් ඈතිං ඉන්න ගෝන්නු ටික පෙනෙයි ඈ...
මේකේ එක හිතකිං කොහොම මුත්‍රා කරන්ඩද අප්පා
සාමාන්‍යයෙන් කෝච්චියේ නැග හපුතලේට ඒම මේ චාරිකාවේ ක්‍රමය වන නමුත් එදා කෝච්චි වර්ජනයක් නිසා අපට බසයෙන් යෑමට සිදුවිය.එනිසා බොරලන්දට ත්‍රීරෝද රථයෙන් ආ අපි එතැන සිට හපුතලේට බසයෙන් ආවෙමු.අපි හය දෙනාවම දමාගෙන ආ ඒ කාරුණික ත්‍රීරෝද රථ රියැදුරු මහතා අපට හපුතලේට බසයක් එනතුරු අප සමඟ කතා බහේ යෙදී සිටියේය.
අපි හය දෙනාම දාං එන්ඩ නිර්භීත වෙච්ච රියැදුරු මහත්තයා
































