මම මෙවන් අවස්ථා රැසකටම මුහුන දී ඇත්තෙමි.අපේ අයියා ගෙදරදී සමහර දාට නින්දෙන් ගොරවන විට අහල පහල ගෙවල්වල උන් පවා නිදි මරන්නෝය.පොල් ගස්වල ඇට්ටි පවා වැටෙන්නේය.එවැනි විටකදී මම කරන්නේ අයියාගේ ඇඳ වෙත ගොස් මෙට්ටයේ කොණක් අල්ලා එකවර උස්සන එකය.එවිට ඔහු එක්කෝ අවදි වේ.නැත්නම් ඔළුව පැත්තකට හැරී ස්වාස නාලය දිග හැරේ.මොන ක්‍රමයෙන් උවද ගොරවන ශබ්ධය නතර වේ.ලෝකයට නැවතත් ශාන්තිය උදා වේ.වවුලන් බකමූණන් නැවතත් අපේ නිවෙස අසලින් පියෑඹීමට පටන් ගනිති.නමුත් මේ වෙලාවේ කසුනාට ඒ ප්‍රතිකාරය ලබා දීමට මට නොහැකිය.උස්සනවානම් කූඩාරම ම ඉස්සිය යුතුය.නමුත් ඒ තුල රවිත් ද ඉන්නා නිසා දොඹකරයක් හෝ ඇතෙක්ගේ සහය නොගෙන එය කළ නොහැක.'කලල එරුණු මත වරණිදු ගොඩ ගනිත - තුමුල බලැති ගිජිදෙකු මිස අන් කෙවත'. එනිසා මම අප සැමගේ පහන් සංවේගය උදෙසා සද්භාවයෙන් යුතුව මාගේ වැළමිට කසුනාගේ ඉළ ඇට කිහිපයක් මත තරමක ගම්‍යතාවයක් සහිතව සම්ප්‍රාප්ත කෙරුවෙමි.ගෙරවිල්ල නතර විය.
ආහ්...මා ලද අහ්ලාදය.රැයක කූඩාරමක රැය පහන් කරනා වීරෝධාර ගවේශකයෙකුගේ ඇතිවිය නොහැකි තරමේ සැනසිල්ලක් මා තුල පහල විය.මම රැයෙහි ආශ්චර්යය විඳින්නට වීමි.අහෝ තත්පර දහයකට මා ලද තෘප්තිය සීමා වීය.කසුනා නැවත ගොරවන්නට වීය.මගේ මුලු ලෝකයම මගේ පාමුල වැටී සුණු විසුණු වී ගියේය.නැවතත් තුන් හතර වතාවක් වැළමිටි ප්‍රතිකාරය දුන් නමුත් මට පෙනී ගියේ කසුනාගේ ගෙරවිල්ල වැළමිටි ප්‍රතිකාරයට ප්‍රතිරෝධී බවය.එනිසා කසුනා නින්දෙන්ම හුස්ම හිරවී ජන්මාන්තරගතවීමේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වේවායි සැදැහැ සිතින් ප්‍රාර්ථනා කරමින් මම නිදන්නට උත්සාහ කළෙමි.
ගමන් වෙහෙස නිසාම මට නින්ද යන්නට ඇත.උදේ පාන්දරම අවදි වූ අපි කඩිමුඩියේ ලක ලෑස්ති වී පිටත් වූයේ අපි කළින් දා හවස කෑම ගත් කඩයේ කෑම ඉවර වේ යැයි සිතූ නිසාය.අපි කලින් සැලසුම් කරගෙන සිටියේ මන්දාරම් නුවර පැත්තෙන් පිදුරුතලාගල නගින්නටය.නමුත් මග පෙන්වන්නන් පිළිඹද ගැටළුවක් නිසා අපි ඒ අදහස අත් හැරියෙමු.අපි යනවිටත් අක්කලා කඩය ඇරලාය.එදා දවස මන්දාරම් නුවර පොළ දවස බව අපි දැනගත්තෙමු.හතරදිග්බාගයේම මිනිස්සු තමුන්ගේ එළවලු රැගෙන මන්දාරම් නුවරට එන බවත් ඒවා තොග වෙළෙඳුන් විසින් මිලට ගැනෙන බවත් අපි වැඩිදුරටත් කළ විමසීමේදී හෙලි විය.
උණු උණු බඩු ඈ..
කඩෙන් බඩ පිරී බුරිය උල් වෙනතුරු කෑ අපි නුවර එළිය බසය එනතුරු කල් මරන්නට වීමු.අන්තිමේ බසය පැමිණියේය.බසය යනු පුදුම වාහනයකි.මිනිසුන් කොතරම් යහපත් උවද අහිංසක උවද බස් රථයේ දොර යනු මිනිසුන්ගේ ප්‍රාථමික මෘග හැඟීම් ඇවිස්සෙන සුළු ස්ථානයකි.මන්දාරම් නුවර මිනිසුන්ද බසයේ මේ බලයෙන් ගැලවුනේ නැත.හොඳට එකිනෙකා සමඟ කතාබහ කරමින් සිනාසෙමින් සිටි අහිංසක මිනිසුන් රැස බසයේ පැමිණීමත් සමඟ භයානක පොරයකට වන්හ.අපිද පොරයට එක්වූ නමුත් වසර පුරාම කැත්ත උදැල්ල ගෙන මහපොළව සමඟ ඔට්ටු වෙන මිනිස්සුන් එක්ක අපිට හැරෙන්නවත් නොහැකි බව අපට මනාව පසක් විය.
කෙසේ හෝ බසයට නැග හිටගෙන දුකසේ පසු වූ මට රියැදුරු මහතා අසල එන්ජිම මත වාඩි වෙන්නට ඉඩ සැලසුනේය.මුහුණට වදින හිම මෙන් ශීත සුළඟේ කටුක බව සමනය කරන්නට එන්ජිමෙන් මගේ පශ්චාත් භාගයට ලබාදුන් උණුසුම සමත් විය.අවට සුන්දරත්වය විඳිමින් යන මට රියැදුරු අයියා බසය පාරේ තබාගැනීමට ගන්නා වෙර වීරිය දැක දුකක් ඇතිවිය.පාර පටුය.අඟල් පහෙන් පහට වංගුය.ඒ මදිවාට ඉදිරියෙන් එන වාහනවලට ඉඩ දෙන්නටද සිදුවේ.'මේකේ පවර් ස්ටියරිං නෑ මල්ලි' කියා රියැදුරු අයියා කී විට වාහන ගැන මොකුත්ම නොදන්නා මටද අඬන්නට සිතුනි.මට ටික දුරක් යනවිට ඉහින් කණින් දාඩිය දාන බව දැනී මම වට පිට බැලුවෙමි.එවිට මට අවබෝධ වූයේ පරිසරයේ සීතල අභිබවා ඇන්ජිමේ රශ්ණිය මගේ පශ්චාත්භාගය හරහා ශරීරගතවන බවය.අහවල් ගැජට් එකත් හාෆ් බොයිල් වෙලාදෝ හොයි කියා මම භීතියට පත් වීමි.මගේ සෙරෙප්පු දෙක ගලවා පස්සට යටින් තබා එන්ජිම සහ මගේ පශ්චාත් භාගය අතර තාප පරිවාරක ස්ථරයක් නිර්මාණය කිරීමෙන් පසු මම සැනසුම් සුසුම් හෙලුවෙමි.
නුවර එළියට පැමිණි පසු තිබුනේ පිදුරුතලාගල කන්දට ප්‍රවිශ්ඨ මාර්ගය සොයා ගැනීමය,ගූගල් මැප් එකෙන් සොයාගත් පාරට වඩා ගමේ කෙනෙක්ගෙන් අසාගත් පාර කෙටි බැව් තේරුම් ගෙන අපි කෙමෙන් කෙමෙන් කන්ද බලා ඇදෙන්නට වීමු.
මාර කහ පාටක් නේද?
ඒ මල මට පෙනුනු හැටි
නමුත් කෙමෙන් කෙමෙන් හමුදා නිලදරුවන් අසළට යන විට ඔවුන් අත ඇති ගිනි බට දුටු අපගේ ධෛර්යය හීන වන්නට විය.එම ගිනි බටවලින් මහා හඬ නගමින් කුඩා ලෝහ කැබලි ඈතට යැවිය හැකි බවත් ඒවායින් ඈත සිටිනා උන් පවා මරා දැමිය හැකි බවත් අපි අසා ඇත්තෙමු.අපගේ ධෛර්යය හීන වීමට සමගාමීව අපගේ බයාදු බව වර්ධනය විය.
'අයියේ අපි කොළඹ මෙඩිකල් ෆැකල්ටියේ.අපි කන්ද නගින්ඩ ආවේ' අපි අපේ ළඟ ඇති එකම තුරුම්පුව හෙවත් තුරුම්පු ආසියා ගැහුවෙමු.
'මේකයි වැඩේ.කන්දට යන්ඩ පුළුවං.ඒ උනාට පයින් නං යන්ඩ දෙන්ඩ බෑ.මේක රක්ෂිත වනාන්තරයක් නේ.යනවනං වෑන් එකක හරි කාර් එකක හරි යන්ඩ ඕනේ.මෝටර් බයිසිකල්වලිං වත් ත්‍රීවීල්වලිං වත් යන්ඩ දෙන්නෙ නෑ.ඒ වගේම යන අතර මග නවත්තන්ඩත් තහනං.'
ඒක යකාගේ නීතියක්ය.ඇයි යකෝ ත්‍රීවීල් එකත් වාහනයක් නෙව.මේකත් පන්ති බේදය වර්ධනය කිරීම සඳහා ධනවාදී පාලකයින් යෙදූ තවත් එක් කුමන්ත්‍රණයක් බව අපට පැහැදිලි විය.නමුත් තුවක්කු ඇත්තේ උන් අත බැවින් අපි මුවින් නොබැණ ගල උඩ පැහැරූ බළලුන් මෙන් පසෙකට වී සිටියෙමු.අපිත් බොරුවට අත්දැකීම් එකතු කරන්නට බස්වල නොගිහින් පප්පා අරන් දුන් ලැම්බෝගිනියේ ආවානං මෙලහකටත් කන්ද උඩය.දැන් ගිය නුවණ ඊළඟ ඡන්දය එනකං අද්දවන්නට බැරි නිසා අපි පසෙකට වී අට කන් මන්ත්‍රණයක් කරන්නට වූයේ කන්දට යන ආකාරය තීරණය කර ගැනීමටය.කොළඹ සිට මෙපමණ දුරක් පැමිණ ඉතුරු කිලෝමීටර් කීපය නොයා ආපසු යෑමට වඩා 'හරාකිරි' ක්‍රමයට බඩ කපාගෙන මිය යෑම මනා බැව් තීරණය කළ අපි කෑම බීම පසෙක ලා හෝ වෑන් රථයක් කුලියට ගෙන කන්ද මුදුනටම යෑමට තීරණය කර ගත්තෙමු.
අපේ තීරණය මුරපොළේ හමුදා නිලධාරියාට දැනුම් දුන් සැනින් ඔහු දුරකථන ඇමතුමක් ගත්තේ ඔහු අඳුරන වෑන් රථ හිමිකරුවෙකුටය.මුරපොළේ සිට කන්ද මුදුනට රුපියල් 2500ක් වැනි සුළු මුදලකට යෑමට රියැදුරු මහතා එකඟ විය.වෛද්‍ය ශිෂ්‍යයින්ට විනෝද ගමන් යෑම සඳහා චීන ණය ලබා දෙන නිසා හොඳය.නැතිනම් අපේක්ෂාභංගත්වයට පත්වී නැවත හිස් කැමරාවලින් යුක්තව ආපසු කොළඹ යෑමට අපට සිදු වීමට ඉඩ තිබුණි.'අපරාදේ අර ලෙමන් ජින් එක ගත්තේ' වැනි දෙබස්ද ඇසුන නමුත් රවිත්ගේ එක් ගෙරවුමකින් ඒ මතවාද ඉල්ලා අස්කර ගන්නා ලදී.
කන්ද නැගීමේ තෘප්තිය වෑන් රථය හිමි කරගත් අතර අපි කෙසෙල් නොලැබුණු චිම්පන්සින් මෙන් ඔහේ වාඩි වී ලංකාවේ උසම කන්ද මුදුනට අපේ දෑතේ දෙපයේ වෙහෙසකින් තොරව ඇදුනෙමු.කන්ද මුදුනට ගිය පසු කන්දේ උසම ස්ථානයටත් එහි ඇති රූපවාහිනී, CSN, සහ වෙනත් අවශේෂ නාළිකාවල කුළුණුත් රේඩාර් පද්ධතියත් පිළිබඳව හමුදා නිලදරුවෙක් පැමිණ විස්තර කරන ලදී.
ඔවුන් සහ අපි කෙතරම් දුරස් ද?
කන්දට ඒමට ගිය වියදමට හරියන්නට ටිකක් වේලා ඉඳගෙන ඉන්නා අතර රවිත් ජංගමයෙන් ෆේස්බුක් යන්නට ගොස් දුරකථනයේ තිරයේ එළිය මදි බවට මැසිවිලි නගන්නට වූ අතර 'මැණික ඇත්තේ පොකුණෙහි නොව තල්ගස මත ඇති කවුඩු කැදැල්ලෙහියැයි' කිවූ මහෞෂධයන් මෙන් ගැටළුව ඇත්තේ දුරකථනයේ නොව රවිත් පැළඳ සිටි අවු කණ්ණාඩියේ බව කසුන් විසින් පැහැදිලි කර දෙන ලදී.
ලංකාවේ උසම ස්ථානය...සහ අකූගේ අපර ගාත්‍රය
හවස පහ හය වන විට නිවෙස් බලා යෑමට අපට හැකිවිය.අපගේ වීරෝධාර චාරිකාව ගැන කියන්නට ඇත්තේ මෙපමණය.අතර මගදී සිදුවූ සුළු සුළු කාරණා කියමින් පාඨකයා වෙහෙසට පත් නොකොට චාරිකාව පමණක් කෙරේ අවධානය යොමු කිරීම මගේ බලාපොරොත්තුව වීය.
'ඊට පස්සේ ඒ වීරයෝ හතරදෙනා කාලයක් සතුටින් ජීවත් උනා...' කියා මගේ වීර චාරිකාව මෙයින් අවසන් කරමි.අසා සිටි ඔබ සැමට ඉස්තූතියි!!
ආයුබෝවන් මන්දාරම් නුවර...
පිදුරුතලාගල ගමන ගැන අහලා බොහොම දුක හිතුනා. මගේ චූටි දුව නම් හතර පස් වතාවක් විතර ගිහින් තියනවා. මම ඒක තමයි කලින් ලිපියේදී කිව්වේ පිදුරුතලාගල යන්න මිනිස්සුන්ට නිදහස නෑ කියලා. ඒ නිදහස නැති කරගත්තෙත් මිනිස්සුමයි. 1980 දශකයේදී ඕනේ කෙනෙකුට පයින් යන්න දුන්නා කිසිම ආරක්ෂක මුරයක් තිබුනේ නැහැ. අපේ කට්ටිය කැලේට රිංගලා අමන නරි නාටක රඟ දක්වන්න පටන්ගත්තා. ඒ කාලේ තිබුනේ අඩි පාරක් විතරයි. ඒ පාරේ ඇවිත් තමයි කොටි 1984 දී පිදුරුතලාගල රූපවාහිනී මධ්‍යස්ථානයට ගැහුවේ. අද එහි රූපවාහිනී මධ්‍යස්ථානයට අමතරව ඔබ දකින්න ඇති සිවිල් ගුවන් සේවා ප්‍රධාන රේඩාර් පද්ධතිය, ත්‍රිවිධ හමුදා සහ පොලිස් පණිවිඩ හුවමාරු මධ්‍යස්ථාන පිහිටවා තියනවා. ඒ නිසයි ඇතුළුවීම පාලනය කරන්නේ. ඒ විතරක් නෙවෙයි. සතුන්ට සහ ආරක්‍ෂිත වෘක්ෂලතා වලට කරන හානිය මෙපමණයි කියලා කියන්න බැහැ හැම දෙනාටම පයින් යන්න දුන්නොත්. කන්ද මුදුනේ තිබෙන දිශා දක්වන bench mark එක මත ඉස්සර, පිටරටින් සකසා ගෙනත් සවිකළ, ඝන තඹ තහඩුවක තමයි දිශා සටහන් කරලා තිබුනේ. කවුද අමනයෙක් ඒක ගලවාගෙන ගිහිල්ලා. හමුදාව විසින් තමයි ඔය විදිහට හැදුවේ. පිදුරුතලාගල මගේ අත්දැකීම් මෙතනින් බලන්න
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපේ උන්දැලාට ඉතිං තැනකට ගිහිල්ලා ඉන්ඩ දැනෙන්නෑ නෙව.කොහොම උනත් අපරාදේ ඉතිං.ඇත්තට අර කිව්ව කේබල් කාර් ක්‍රමය තිබ්බනං කොච්චර හොඳද?
ReplyDeleteඅපිත් හිතං හිටියේ කොටි ගැහුවා කියලා.නමුත් අපිට විස්තර කියලා දෙන්ඩ ආව නිලධාරියා කිව්වේ ජේවීපී කාරයෝ ගැහුවා කියලා.සමහරවිට පිදුරුතලාගල කන්දේ මාර්ගෝපදේශන පිටපත ලියන්නෙත් මහින්ද අබේසුන්දර මහත්තයද දන්නෑ...
අනේ දැන් ඉන්න උන්නැහැලා හමුදාවට බැඳෙන්න ඇත්තේ මේ ඊයේ පෙරේදා වෙන්න ඇතිනේ. ඒකයි අතීතය දන්නේ නැත්තේ. ඔතනට ගැහුවේ 'ටෙලෝ' Tamil Eelam Liberation Organisation = TELO එකෙන්. ප්‍රහාරයෙන් උන් හිතපු දේ කරන්න බැරි වුනා. රූපවාහිනී කුළුණ පුපුරවන්න අටවපු බෝම්බ පත්තු වුනේ නැහැ උන්ගේ අතින් බැටරි වයර් මාරුවීම නිසා. ඒ කාලේ හරි හැටි පණිවිඩ හුවමාරුවක් තිබිලා නැහැ. එක සොල්දාදුවෙක් මහ රෑ කලේ කඩාගෙන තුවාල වෙවී දුවගෙන ඇවිත් හමුදා කඳවුරට කියනකල් කිසිදෙයක් දැනගෙන ඉඳලා නැහැ හමුදාව. ඔය කඳුවැටියට නැගෙනහිර පැත්තේ තියනවා 'කෝර්ට්ලොජ්' කියලා තේ වත්තක්. ඒකෙ වළලලා තිබිලා අහුවුනා, උන් එදා පිදුරුතලාගලට ගහන්න ගෙනාව ආයුධ. අපේ එක්කෙනෙක් මැරුණා. හතර දෙනෙක් තුවාල වුනා. උන්ගේ දෙන්නෙක් මැරුණා. අනික් එවුන් පැන්නා.උන්, එදා උදේ, කන්ද නගින දේශීය සංචාරකයන් ලෙස, ඒ හරියේ ගැවසිලා තිබුන බව පසුව තහවුරු වුනා. ඉතින් කොහොමද එතන බලන්න යන්න දැන් වුනත් ඉඩ දෙන්නේ. මම කියන්නේ වැටියේ අනික් ප්‍රදේශ බලන්න යන්න දෙන්න කියලා. ඕනෙනම් ඔය ලොක්කෙකුට බැරියැ තවත් කැලේ කපලා ලොකු හෝටලයක් එහෙම ගහන්න. පරිසරය යකාට පලයන් ඒ වගේද සල්ලි කියලා. ආයෙත් ඔය පැත්තේ යනවනම් ඊයක් එවන්න. පොඩි උදව්වක් කරන්න බලන්නම්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
බොහොම ඉස්තූතියි විස්තරේට.ආයේ ඉතිං මේ පැත්තේ ගියත් යන්ඩ වෙන්නේ එග්සෑම් ඉවර වෙලා තමයි.ඒත් ඉතිං ඊට පස්සේ ජීවන බර කරට ගන්ඩ එපායැ....
Deleteඅර ආප්ප දෙක්කට පස්සෙ ගමනෙ විස්තර ඔක්කොම අමතකයි ලියන්න හිටි එකත් අමතකයි අප්පෙමටී ඔලුවට එන්නෙ .. ෂික්... ආප්ප කට්ට සම්බෝල සහ උණු තේ හකුරු සමග.. .
ReplyDeleteඒ කියන්නේ මට ආප්ප දෙක දාන්ඩ තිබ්බේ ලිපියේ අන්තිමට නේද? ඔහෙ නැද්ද ආප්පයක් හදාගන්ඩ විදිහක් ඈ සරත් අයියේ??
DeleteElaz
ReplyDeletethankz
Deleteමන්දාර නුවර තියෙන පරණ පන්සල් ගැනත් විස්තරේ ඇති කියලයි මම හිතුවේ
ReplyDelete