Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

01 March 2013

මෙට්ටේ (කෙටි කතාව )





ඔයා හිටියේ රතු පාට වෙලා පුපුරන්ඩ ළං වෙච්ච බැලුම් බෝලයක් වගේ.මම වෙන ගෑනියෙක් එක්ක නිදි වැදිලා ආවත් මම හිතන්නෑ ඔයාට ඔච්චර කේන්ති යයි කියලා.ඕකට ඔච්චර කේන්ති ගන්ඩ ඕනේ නෑනේ.යන්ඩ ගිහිං තේකක් හදං එන්ඩ.තේ බොන ගමං අපි කතා කරමු මම ගත්තු තීරණේ හරි වැරැද්ද.

ඔයා ගස්සගෙන ගියාට මම දන්නවා ඔයා තේ හදන්ඩයි ගියේ කියලා.මොකද ඔයා ගිනිපෙට්ටිය හොලවලා කූරු තියෙනවද බලනවා මට කාමරේට ඇහුනා.ගිණි පෙට්ටිය ඇරලා කූරු තියෙනවද බලන්ඩ කලිං හොලවලා බලන එක ගතානුගතික සිරිතක් විදිහට පවත්වගෙන යන්ඩ ඔයා තදින්ම තීරණය කරලා වෙන්ඩ ඇති.ඔයාට මම කොච්චර කිව්වත් ඇරලා බලන්ඩ තියෙන මල්ල ඔබලා බලන්ඩ එපා කියලා.ඔයා ඔයාගේ පුරුදු වෙනස් කරන්නෙම නෑනේ.ඔයා වෙනස් වෙන්නෙ නැති හින්දා මම තීරණය කළා වෙනස් වෙන්ඩ.එහෙමලු පවුල් ජීවිතේ පවත්වගෙන යන නියම ක්‍රමේ.මම කොහේ හරි පොතක කියෙව්වා ඒ වගේ දෙයක්.දෙන්නගෙං එක්කෙනෙක් අනිකට ඕනේ විදිහට වෙනස් වෙන්ඩ ඕනේ.ඒත් හැමදාම මගේ පුරුදු වෙනස් කරගන්නවා විතරයි.ඔයා එදා හිටිය ඔයාම තමයි.

ඔයා සීනි බෝතලේ අඩිය හූරනවා ඇහෙනකොට මගෙ පපුව හූරනවා වගෙයි මට දැනුනේ.දවසම තිත්ත වෙලා ගෙදර ආවම ජීවිතේ පොඩ්ඩක් පැණි රහ කරගන්ඩ අපිට තියෙන්නේ සීනි විතරයි.අපේ ගෙදර ඒකත් ඉවර වෙන්ඩයි යන්නේ.

ඔයා දුං දාන තේ කෝප්ප දෙකක් අරගෙන ආවා.ඇයි මට ලොකු කෝප්පේ? ඔයා අද ලොකු කෝප්පෙං බොන්ඩ.මං බොන්නං ඔයාගේ කෝප්පෙං.හරියට අළුත බැඳපු ජෝඩුවක් වගේ.කෝප්ප මාරු කරගෙනවත් අපි බලමු පොඩි වෙනසක් කරන්ඩ.

බෑ.

එක අකුරකට කරන්ඩ පුළුවං දේ.ඔයාගේ එක අකුරකින් මම කියපු වාක්‍ය ගාණක් නිකම්ම නිශ්ප්‍රභා වෙලා ගියානේ.මම තේ එක මූණට ළං කරගෙන සුවඳ බැලුවා.හ්හ්ම් පොල්කොළ ගඳක් එන්නේ.ඔයා ලිපට දාපු පොල්කොළවලින් ආපු දුං ගඳ වෙන්ඩ ඇති.අඩියේ තවමත් දිය නොවෙච්ච සීනි කැට කීපයක් රවුමට රවුමට කැරකෙනවා.මම උගුරක් බිව්වා.ම්ම්ම්....රසයි.කොහොමත් ඔයාගේ තේ එක රසයි.මම ඒකටනේ වහ වැටුනේ.ඔයාලගේ ගෙදර තිබ්බ බණට ඇවිත්, මතකද ඔයාට? ඔයා ගස්සලා අහක බැලුවට මට හිතාගත්තෑකි ඔයා අහක බලං හිනා වෙනවා කියලා හොරාට.කාටද අප්පා ඒ කාලේ මතක රහ නැත්තේ.ඔයා ගෙදර එහෙ මෙහෙ යද්දි ඔයා මගේ දිහා බලලා හිනා වෙනකොට මගේ හෘදය වස්තුව තිබ්බ තැන පුංචි කිතියක් එක්ක විදුලි සැරයක් යනවා දැනිච්ච හැටි.ඔයාටත් එහෙමම දැනුනා කියලා ඔයා මට කිව්වේ අපි ෆිල්ම්හෝල් එකේ බොක්ස් එකක තුරුල් වෙලා ඉද්දි.අපි දෙන්න වෙන්කරගෙන මැද්දෙං තිබ්බ පුටු ඇන්ද අපි දෙන්නගෙම ඉළ ඇටවලට අකීකරු විදිහට රිද්දුවා මතකද?


මම ඔයාට ළං උනේ තුරුල් වෙන්ඩවත් ඔයාව ඉඹින්ඩවත් නෙමෙයි.ආදරේ පෙන්නන්ඩ.මොකද වැඩ ඇරිලා කෝච්චියේ බස් එකේ ඇවිල්ලා මගෙ ඇඟම දාඩිය ගඳයි.මගේ දාඩිය විතරක් නෙමෙයිනේ.කෝච්චියේ ඉන්න තව කීප දෙනෙක්ගේ දාඩිය මම ගෙදර ගෙනාවා.නොමිලේ හිනාවක්වත් නොදෙන මිනිස්සු ඒ වගේ දෙයක්නං බලෙං ඇඟේ ගහන්නේ.ඔයා සැකෙං වගේ බලන්ඩ එපා.මම ගෑනුංගේ ඇඟට හේත්තු වෙන්නේ නෑ.මට හේත්තු වෙන්ඩ ගෙදර ගෑනියෙක් ඉද්දි මම මොකටද වෙන ගෑනුංට හේත්තු වෙන්නේ.මම එහෙම කිව්වේ ඔයා ඒ විදිහේ උත්තරයකට කැමතියි කියලා දන්න හින්දා.ඇත්තටම මම ඔය ගෑනුංගේ ඇඟට හේත්තු වෙන්නැත්තේ උං ගාව ගඳ හින්දා.කෝච්චිවල බස්වල යන්නෙත් අපි වගේම කාළකන්නි මිනිස්සු.උං ගාව තියෙන්නේත්  අපි ගාවිං එන ඒ දුප්පත් හම්පඩ ගඳ.

පොඩ්ඩක් නැගිටින්ඩකෝ.මම මෙට්ටෙ ඇඳට දානකං ඉන්ඩකෝ.මේ පැදුර අකුලලා තියන්ඩ.දැං මේකේ ඉඳගෙන බලන්ඩකෝ පස්සට දැනෙන සනීපෙ කොහොමද කියලා.මේකේ ලේයර් තුනක් තියෙනවා කියලා තමයි සාප්පුවේ එක්කෙනා කිව්වේ.තව ස්ප්‍රිං දාපු එව්වත් තිබ්බා.පැනලා ඉඳගත්තම විසික්වෙලා යනවා.ඒවා සෑහෙන්ඩ ගණං.පැදුරේ හිටපු අපි ඒ වගේ එකකට එක පාර යන එක හොඳ නෑ කියලයි මට හිතුනේ.සැප වැඩි කමට නින්ද ගිහිං පහුවදාට ඇහැරුනේ නැත්තං කියලා මට බය හිතුනා.ඔයාට ආයෙත් හීනි හිනාවක් ගියා.ඔයා කොහොමත් මගේ චූටි විහිළුවලට ආසයිනේ.හොඳ මෙට්ටයක් ගන්ඩ සල්ලි නැති හින්දා ආව හීනමානයයි දුකයි ඔක්කොම චූටි විහිළුවකිං තුනී කරලා දාපු එක තමයි මම කළේ.

හරි අපි විහිළු නවත්තලා ප්‍රශ්නෙ කතා කරමු.වැඩි සෙනෙහෙත් දබරෙට ලු නේ.අපි දැං බැඳලා අවුරුදු පහයි මාස හතරයි දවස් විසි දෙකයි.මුල කාලේ දවසට දෙපාරක් තිබ්බ එක දවසට එක පාරක් වෙලා පස්සේ සතියට දෙපාරක් වෙලා දැං සති දෙක තුනකටම එක පාරක් වෙලා.මොකක්ද කියලා අහන්නේ? මම මේ කියන්නේ රමණය, මෛථූන්‍යය එහෙම නැත්තං කාම සම්භෝගය ගැන.ඒක ගැන ඔයාගේ උනන්දුව වගේම මගේ උනන්දුවත් නැතිවෙලා ගියේ මේ පැදුරේ තියෙන අසමත්කම එහෙම නැත්තං අසාර්ථකත්වය හින්දා.පැදුරට බෑ ඇඳේ ලෑලිවල තියෙන දාර ඇඟේ ඇනෙන එක සාර්ථක විදිහට නවත්තන්ඩ.දෑවැද්දට ඇඳ ගේද්දි ඔයාට තිබ්බා මෙට්ටෙකුත් ගේන්ඩ.ඒත් ඔයාට ටීවී එක ගන්ඩ සල්ලි මදි උනා කියලා දෑවැද්දෙං මෙට්ටෙ කපා හැරපු එක වැරදියි.ඒවට ඉඩ දීපු ඔයාගේ දෙමව්පියොත් වැරදියි.ඔයාගෙ අම්මටයි තාත්තටයි හිතන්ඩ තිබ්බා දුව සුජාත දියණි බැලන එකද ලොකු නැත්තං එයාලා ස්වර්ගස්ථ වෙන්ඩ කළිං මුණුබුරෙක්ගේ මූණ බලාගන්න එකද ලොකු කියලා.හරි හරි රවන්ඩ එපා.ඔයා අපේ අම්මටයි තාත්තටයි බණිද්දි මම අහං ඉන්නවා වගේ ඔයත් ඉන්ඩ පුරුදු වෙන්ඩ.

අනික එයාලට උනන්දුවක් නෑ කියමුකෝ.අපේ ජාතිය වඳ වෙන එක වළක්ව ගන්ඩ ළමයි හදන්ඩ කියලා ඔය දැං හැමෝම කියන්නේ.අපි ඒ රටේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙංවත් ළමයෙක් හදන්ඩ බලන්ඩ ඕනේ නේද?කෝ ඔයාගේ ඒ කාලේ තිබ්බ ජාතිවත්සල්‍යය, දේශමාමකත්වය?ඒවා ඔක්කොම වඳ පීදිච්ච කෙහෙල් ගස් වගේ කොළ දදා හැදුනට පලදාවක් නෑ.

ඔව් මං නෑ කියන්නෑ.ඔය එකකිංවත් ළමයින්ට කන්ඩ බොන්ඩ ලැබෙන්නෑ.අපිටත් හරියට ඉන්ඩ තැනක් නෑ තමයි.ඉස්කෝල ප්‍රශ්න ගැන අපි වරු ගණං කතා කළානෙ පහුගිය ටිකේ.ඒ ඔක්කොම එකට ගත්තත් ජාතිය රැකගැනීමේ යෝධ කර්තව්‍ය එක්ක බලද්දි ඒවා හිත හිත ඉඳලා බෑ නේද?ඉතිං මම ලයිට් බිල ගෙවන එක පැත්තක දාලා මෙට්ටයක් ගන්ඩ තීරණය කළා.ලයිට් නැතුව ඉන්ඩ අපි පුරුදු වෙමු.

හෝව් හෝව් කොහෙද යන්නේ?මම විහිලුවක් කළේ.මම ඔයාගේ අතිං අල්ලගෙන ආයෙත් ඇඳට ඇදලා ගත්තා.ඔයා තරහා පෙන්නුවට ඔයාව ඇදලා ගද්දි ලොකු ප්‍රතිරෝධයක් තිබ්බේ නෑ.මම ඔයාව තුරුළු කර ගත්තා.මගේ දාඩියත් එක්ක කළවං වෙච්ච අනිකුත් වැඩ කරන ජනතාවගේ දාඩිය ඔයාගේ ඇඟේ ගෑවුනා.ඔයා දන්නවා මගේ විහිලු කතාවලින් අවශ්‍ය ටික විතරක් නිස්සාරණය කර ගන්ඩ.ඔයාට ඒක පුරුදු කරන්ඩම මට ගියා අවුරුදු හතක්.එතකං ඔයා පුරුදු වෙලා හිටියේ මගේ කතාවලින් අනවශ්‍ය කොටස් පෙරලා අරගෙන ඒවා එක්ක රණ්ඩු වෙන්ඩ.

මම කිව්වේ දැම්ම ළමයෙක් ඕනේ කියන එක නෙමෙයි කියලා ඔයාට තේරුණා කියලා මට දැනුනා.මම කාලෙකට පස්සේ ටීවී එක දිහා බලා නොයින්න ඔයාව ආදරෙන් ඉම්බා.නෙළුමට නෙළුමක් හැපෙනවා දැකලයි දණ්ඩි පැටව් මේ හැටි දඟලන්නේ..... ඔයා ඉස්සරහ දොර වහගෙන එන්ඩ.අපි දෙන්නම එකට වොෂ් එකක් දාගෙන මෙට්ටේ හොඳ නරක පරීක්ෂා කරලා බලමු.ඔයා මගේ නළල ඉඹලා නැගිටිනකොට ඔයාගේ අතේ තිබ්බ තේ කෝප්පෙත් මම ඉල්ලගත්තා හෝදන්ඩ හිතාගෙන.කුස්සිය පැත්තට යන ගමන් ඔයාගේ තේ එක තොල ගාලා බලද්දි තමයි මම දැන ගත්තේ ඔයා ඔයාගේ තේ එකට සීනි චුට්ටයි දාගෙන තිබ්බෙ කියලා.

කෙටිකතාව 1
කෙටිකතාව 2
කෙටිකතාව 3

09 September 2012

ගැහැනියක්, මිනිසෙක් සහ සමානකමක්


කෙටි කතාව 3










කරුවල වැටිලා කියලා ඇහැට දැනිලා ගොඩක් වෙලා උනාට හිතට දැනුනේ දැං.පුටුවෙන් නැගිටලා ලයිට් එක දාන්ඩ කම්මැලියි, මහන්සියි.අනික ලයිට් එක දාලා මොනවා කරන්ඩද?ඔලුවේ එක අර්ධයක් නොයෙක් මති මතාන්තර ගොඩනගමින් පුටුවෙන් නැගිටීමට මගේ තියෙන කම්මැලිකම සාධාරණීකරනය කරන්ඩ හැදුවත්, සාම්ප්‍රධායික අනිත් අර්ධය පුරුද්දක් විදිහට කරුවල වැටුනම ලයිට් එක දැමීම ගැන මතක් කර කර වද දෙන්ඩ ගත්ත හින්දා මම නැගිටලා අඩි දෙකක් ඉස්සරහට තියලා දකුණට හැරිලා තව අඩි දෙකක් තියලා අත දික් කරලා ස්විච් එක දැම්මා.ටියුබ් ලයිට් එක දම්පාට වෙලා කෙඳිරි ගාලා පත්තු උනා.ආයෙ නිමුනා.ආයෙත් පත්තු උනා.ආයෙත් නිමුනා.

03 September 2012

කෙටිකතාව 2





කාලෙකට පස්සෙ හිතුනා කතාවක් ලියන්ඩ.කියවලා කියන්ඩ හොඳද නැද්ද කියලා හොඳේ.මගේ කළිං කතාව කියෝපු නැති අයට මෙන්න ගිහිං කියවන්ඩ.

කෙටිකතාව 1

...................................................................................................................................................................


'මේ.....'

'හ්ම්ම්.....' ඔහු පත්තරෙන් හිස නො ඔසවාම පිළිතුරු දුන්නේය.

'මට දැං මේක ඇතිවෙලා තියෙන්නේ'

'මොකක්ද?' ඔහු පත්තරෙන් එසවූයේ දෙබැම පමණි.

'ඔයාගෙ ඔය නොසැලකිල්ල.'

'මොන නොසැලකිල්ලද?'

05 June 2011

කෙටි කතාව... (සුරූපී සහ විරූපී)

"අන්න මිනිහ"
"කෝ කවුද?" මම බියර් වීදුරුව පහත් කලා මගෙ ඇස් දෙක ඉස්සරහින්.එච්චර වෙලා රත්තරන් පාටට බියර් තුළින් පෙනිච්ච ලෝකෙ ආයෙත් පරණ පාටටම පේන්න පටන් ගත්තා.
"අර ඉන්නෙ තවම දොර ගාව.තාම මිනිහ ඇතුළට ආව විතරයි."
"කව්ද අර නීග්‍රෝ කාරයා වගේ මිනිහ ද?"
"ඔව්.අපි කැම්පස් එකේදි මිනිහට කිව්වෙ කුළු හරකා කියල.මිනිහගෙ කාඩ් එක.ඒ දවස් වලනම් මිනිහ ආඩම්බරෙන් හිටියෙ තමංගෙ කාඩ් එක ගැන."
"ඇයි මිනිහ දැං ඒ නමට කැමති නැද්ද?."
"මිනිස්සු තමං ගැන හිතන විදිහත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනෙ."

මගේ මිත්‍රයා තව බියර් වීදුරුවක් වක්කර ගත්තා.මුලින් නවයක් හිටපු අපේ 'සෙට්' එකෙන් දැං ඉතුරු මමයි මිත්‍රයයි විතරයි.මොකද අපි දෙන්න විතරයි තවම බැඳල නැත්තෙ.අපි මුලින් තැන් තැන් වල බාර්වල එකතු වෙලා මාසෙකට වතාවක් සතුටු සාමීචියේ යෙදෙන්න පුරුදු වෙලා හිටියා.ටික ටික එකා දෙන්නා හැලෙන්න ගත්තත් අපි මාසෙකට සැරයක් එකතු වෙලා බොන එක නැවැත්තුවෙ නෑ.අන්තිමේ දැන් අපි දෙන්න විතරයි.ඉස්සර මාසෙකට පාරක් තිබුණු හමුවීම අපි සතියකට පාරක් දක්වා වැඩි කළා.කොහොමත් ගෙදර ගියාට කරන්න දේකුත් නැති එකේ බාර් එක වහනකන් සෙනසුරාදා කතා කරන්න පුළුවන් කෙනෙක් එක්ක ඉන්න එක හිතට සැනසීමක්.දැන් අපි හැමදාම එකතුවෙන්නෙ එකම බාර් එකට.අවුරුද්දක විතර ඉඳන්.

ජීව්තේ ආයෙමත් ඒකාකාරී වෙන්න පටන් අරන් තිබුණා.ඒත් ලොකු වෙනසක් කරන්න තරම් ආර්ථික ශක්තියක් වත්, අපිට පවරල තියෙන වගකීම් වලින් නිදහස් වෙන්න බැරි තරමට මේ සංස්කෘතියට බැඳිල ඉන්න නිසාත් මමත් මගේ මිත්‍රයත් දෙන්නම කාටවත් දොස් පවරන්නැතුව දවස් හයක් ඉවසන් ඉඳල සෙනසුරාදට කාටත් හොරෙන් මුළු ලෝකෙටම බැන්නා.ගොඩක් වෙලාවට අපේ මතවාද එකට එකක් ගැලපුනේ නෑ.ඒකම තමයි අපි දෙන්නගෙ තිබුණු ගැලපීම.ඕනෙ එකෙක් එක්ක ඉඳගෙන බොන්න අපි දෙන්නම බේබද්දො නෙමෙයි.අපිට උවමනා කරල තිබුණෙ කාලෙ ගතකරන්න විදිහක්.ඉතින් අපි සැර අඩු බියර් බෝතලයක් ගෙන්නගෙන පැය ගණන් ආණ්ඩුවට බැන්නා.විපක්ෂෙට බැන්නා.ආගම් වලට.ධනපතිවාදයට,අදිරාජ්‍යවාදයට විතරක් නෙමෙයි අපි සමාජවාදෙටත් බැන්නා.අපේ ජීවිත කාලකණ්නි උනේ අපේ වරදින් නොවේ කියන එකට විතරක් අපි එකඟ උනා.
එදත් අපි හිටියෙ කාට හරි බැණ බැණ.මට හරියට මතක නැහැ කාටද කියලා.සමහර විට ජේ ආර් ට.නැත්තන් සිරිමාවෝට.විජේවීරට වෙන්නත් පුළුවන්.එතකොට තමයි මගේ මිත්‍රයා මට අර මිනිහාව පෙන්නුවෙ.

"ඉතිං මිනිහ කවුද?" මට කුතුහලයක් ඇති උනා.සමහරවිට අපිට තවත් බියර් බෝතලයක් බොන්න පුළුවන් වේවි මිනිහට බැණ බැණ.
"මිනිහ ගැන නෙමෙයි කතා කරන්න තියෙන්නෙ.උගෙ ගෑනි ගැන."මිත්‍රය කතාව නැවැත්තුවා.ඒ මගෙ මිත්‍රයගෙ හැටි.මිනිහ කතාව අගේ කරනවා.
"ගෑනි ගැන මොනවද?" මම උනන්දුව පෙන්නුවා.
"ලස්සනයි.අපේ ෆැකල්ටියෙ හිටපු ලස්සනම කෙල්ල.හරි අහිංසක පාටට හිටියෙ.ඒකිට කොල්ලෙක් හිටියා."
"ෆැකල්ටියෙම?"
"ඔව්.අපේ බැච් එකේම එකෙක්.උන් මාර ලවු එකේ හිටියෙ.මූ ඒකිට බැල්ම දානව කියල ඒකිට තේරුණා.ඒකි කොහොමවත් කැමැත්තක් දැක්කුවෙ නැහැ.ඒකිගෙ කොල්ලා මූට ගහන්නත් ගියා.ඒත් අනිත් උන් බේරුවෙ නැත්තන් මුගෙන් ඒකා ගුටි කනව හොඳටම.මූ තිබිච්ච තරං ස්පෝර්ට්ස් කරල හරකෙක් වගේ ඇඟ හැදිල තිබුනෙ.අරූට නිකං පෙඳ ඇඟක් තිබ්බෙ." මිත්‍රයා බයිට් පිඟානෙ ඇඟිල්ල අතුල්ලලා කටේ දාගෙන සූප්පන්න ගත්තා.මම තව බයිට් එකක් ඕඩර් කළා.

"ඉතිං කොහොමද ඒකි මූට අහු උනේ." මම තව බියර් බෝතලේකුත් ගෙන්න ගත්තා.
"ඒක තමයි වැඩේ.මූ පස්සෙ ඒකිව ගණන් ගන්නැතුව හිටියා.ඒකි පටං ගත්තා මුගේ පස්සෙන් එන්න."
"එතකොට කලිං කොල්ලා?"
"ඌට බූට්" මිත්‍රයා කිව්වෙ සිදුවීමට නියමිත දෙයක් සිදුවීමේදී දැනෙන තෘප්තියකින්.
"අසරණයා"
"ඌ අනාථයි.මූයි ඒකියි බැන්දා."මිත්‍රයා තොල නොපිට පෙරළුවා අප්‍රසාදය පෙන්නන්න.
"අපි කතා කරමු මිනිහටත් මේ ටේබල් එකටම." මිත්‍රයා ඌට කතා කළා.සාම්ප්‍රධායික විදිහට මට ඌවත් ඌට මාවත් අඳුන්වල දුන්නට පස්සෙ අපි ආගිය කතා වලට ආයෙත් වැටුණා.

"ඉතිං මොකෝ බාර් එකේ තනියම? ගෙදර වලි ද?" මගේ මිත්‍රයා ඇහුවෙ හිනාවෙන ගමන්.
"අපෝ නැහැ.වයිෆ් පාටි එකකට ගියා.ඔෆිස් එකේ කෙනෙක්ගෙ" මී හරකා හිනා වෙවී උත්තර දුන්නා.
"ගෑනුංව තනියම ඕවට යවන්ඩ හොඳ නෑ."
"ඔව් ඔව්" මම මගෙ මිත්‍රයට එකඟ උනා.

ගෑනු අපිට කැමති නැත්තෙ උන්ගෙ වරදක් නිසාය කියල මමයි මගෙ මිත්‍රයයි හිත හදාගෙන හිටියෙ.ඒත් උන් කෙරේ යම් කිසි ද්වේශයක් අපි දෙන්න තුලම තිබුණා.ඇත්තටම අපි කළේ ගෑනු හරි චපලයි කියල හිත හදාගන්න එක.ඔය කොයි කවුරුත් කරන්නෙ ඕකම තමයි.මී හරකා හිනා උනා යාන්තමට.ඌට විශ්වාසයි උගේ ගෑනිව.උගෙ හිනාවෙන් මට තේරුණේ එහෙම.බලාගෙන හිටපං.උඹටත් වැරදිච්ච දාට ඔය හිනාව හිනාවෙන්නෙ අපි.මගෙ හිතේ ඊර්ෂ්‍යාව ගොජ දමන්නට උනා.

"වයිෆ් පාටි එක ඉවර වෙලා යනකොට මෙහෙට එයි."මී හරකා කිව්වා.ඌට මගෙ හිත පෙනිල ද කොහෙද?මගෙ ගෑනි චපල නෑ.ඒකි කොහෙ ගියත් අන්තිමට මගෙ ළඟට එනව කියන්න ඌට ඕනෙ වෙන්නැති.කොහොමත් මහ වෙලාවක් යන්න කලින් ගෑනි ආවා.ගෑනි බාර් එක ඇතුළට ආවෙ නැහැ.ඒත් අපි හිටපු තැනට එළිය හොඳට පේනවා.අමුතුම ලස්සනක්.මොකෝ මම කිව්වෙ බොරුද කියන්නා වගේ මගේ මිත්‍රයා මගෙ දිහා බැලුවා.මී හරකා අපිට සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරලා යන්න ගියා.

එදා ඒ සිද්දිය එතනින් ඉවර උනත් මගෙ ඔළුව ඇතුලෙ පුදුමාකාර අදහස් ඇතිවෙලා නැතිවෙලා ගියා.ඇත්තටම ඇයි ඒ ගෑනි මී හරකට කැමති උනේ.මුලින් අකමැත්තෙන් හිටපු එකාට ඇයි එක පාරටම කැමති උනේ?.විකාර අදහස් කීපයක් ඇරෙන්න වෙන පැහැදිලි අදහසක් මට හිතුනෙම නෑ.ඊළඟ සෙනසුරාදා බාර් එකේදි මගෙ මිත්‍රයා දුන්නා ගැලපෙන පැහැදිලි කිරීමක්.
"ඕකි අහිංසක වගේ හිටියට ඇත්තටම අහිංසක නෑලු.ඕකිට කැම්පස් එන්න කලිනුත් කොල්ලො දෙතුන් දෙනෙක් ඉඳල තියෙනව.කලිං කොල්ල එක්ක ඉද්දි වගේ නෙමෙයිනෙ මූත් එක්ක ඉද්දි.ඒකිගෙ ලස්සන ආයුධයක් විදිහට පාවිච්චි කරල මූව යටත් කරන් ඉන්නව ඇත්තෙ.එතකොට ඕනෙ නාඩගමක් නටන්න පුළුවන්නෙ.කොහොමත් ඕකිට පිරිමි යාළුවොලු වැඩිපුර ඉන්නෙ.එක එකා එක්ක එහෙ මෙහෙ යනව කියලත් කතා තියෙනවා.අරූත් දැනුවත්ව එළිපිටම වෙන්ඩැති ගෑනි නටනව ඇත්තෙ."මිත්‍රයා හොඳින්ම ප්‍රත්‍යක්ෂ දෙයක් වගේ කියද්දි මටත් හිතුනෙ ඇත්තම වෙන්නැති කියලා.

සිද්දිය මගෙ මතකෙන් ඈත් වෙන්න එච්චර කල් ගියේ නෑ.රටේ දේශපාලන තත්වය නැවතත් අපේ සුපුරුදු මාතෘකා බවට පත් උනා.මගේ මිත්‍රයාගේ නංගිගෙ විවාහ මංගල්‍යය දවසෙ තමයි මේ කතාවෙ ඉතුරු කොටස සම්පූර්ණ උනේ.මී හරකාටත් උත්සවේට ආරාධනා ලැබිල තිබුණා.මම හිටියෙ තනියම මේසෙක වාඩි වෙලා.මිත්‍රයාගෙ විශ්ව විද්‍යාලෙ යාළුවො ටික මිත්‍රයාව ගොදුරු කරගෙන.උන් ටික මේස තුනක් එකට එකතු කරගෙන බොනවා.මී හරකාගෙ බිරිඳ ඇවිත් වට පිට බලලා ඉඳ ගන්න තැනක් නැති නිසා ඇවිත් මම හිටපු මේසෙන් වාඩි උනා.
"හස්බන්ඩ් යාළුවො එක්ක නේද?" මම කාලෙක ඉඳන් දන්න අඳුරන කෙනෙක් එක්ක කතා කරනව වගේ ඇගෙන් ඇහුවා.එයා ඇත්තටම පුදුම වෙලා මගෙ දිහා බැලුවෙ.
"ආ මම ඔයාගෙ හස්බන්ඩ්ව දන්නව."මම කිව්වා.

එයා හිනා උනා.මන්දස්මිතය කියල පොත්වල තියෙන එක ඇත්තටම මම දැක්කෙ එදා.මම මාව අඳුන්වලා දුන්නා.එයා එයාව අඳුන්වලා දුන්නා.අපි මගෙ මිත්‍රයා ගැනත් මිත්‍රයාගෙ නංගි ගැනත් කතා කළා.ඒත් ඇත්තටම මගෙ හිතින් මම දිගටම කිව්වෙ 'චපල ගෑනි චපල ගෑනි' කියල විතරයි.

අපේ මේසෙත් තිබුණා බියර් බෝතලයක්.මම වීදුරුවක් වක්කර ගත්තා.
"බොනවද?"
"ටිකක්"
මම තව වීදුරුවකට බියර් පුරවලා හෙමිහිට තොල ගාන්න පටන් ගත්තා.සීතල තිත්තක්.එයා කැම්පස් එක ගැනයි රස්සාව ගැනයි කිව්වා.මම මගෙ කැම්පස් එක ගැනයි රස්සාව ගැනයි කිව්වා.බියර් බෝතලේ ඉවර උනා.මම තව එකක් ගෙනාවා.එතකොටයි මට මතක් උනේ මම එතකොටත් බි බී හිටියෙ දෙවෙනි වීදුරුව කියලා.

ගෑනි ටිකෙන් ටික මත් වෙමිනුයි හිටියෙ.ගෑනු කොහොමත් පිරිමින්ට කලින් වෙරි වෙනවනෙ.ඒක හින්ද වෙන්නැති උන් බොන එකට ඔච්චරම විරුද්ධ.ගෑනි විස්කි වීදුරුවකුත් බිව්වා.ටික වෙලාවක් යනකොට මත් ගතිය ගෑනිගෙ ඇස් දෙකෙනුත් පේන්න ගත්තා.මම හැරිල බැලුවෙ මී හරකා ඉන්න දිහාව.විස්කි, බයිට්, බරසාර කථා අතරේ උන් වල්මත් වෙලා.

'චපල ගෑනි චපල ගෑනි' මගේ හිත කියවනවා.අපිට බලාපොරොත්තුවක් තියෙන්නෙ චපල ගෑනියෙක්ගෙන් විතරයි.මගේ මිත්‍රයා කිව්වෙ ඇත්තනම් දැන් තමයි වෙලාව.
"වෙඩින්වලට ආවම එපා වෙනව.මමනං බඳින්නෑ දැම්ම."
"හ්ම්ම්" ඈ හූමිටි තිබ්බා.
"වෙඩින් විතරක්යැ බැන්දයිං පස්සෙත් කිසිම නිදහසක් නැහැනෙ.ඊට පස්සෙ ඉතිං ඉන්න ඕනෙ ගෑනි කියන විදිහට.ගෑනි ඉන්න ඕනෙ මිනිහ කියන විදිහට.නැද්ද මං කියන්නෙ?"
"නෑ.මොන බොරුද.දැං මිස්ට බලන්ඩ මගෙ හස්බන්ඩ්.කොච්චර හොඳද?.මට කිසිම නීතියක් දානවද?නෑනෙ.මමත් එහෙමයි.මේ අපි හොඳට ඉන්නෙ.අවුරුදු පහක්ම"
"ඔව් ඉතිං හොඳ මිනිස්සුන්ටනං ප්‍රශ්නයක් වෙන්නැහැ.ඒත් හිතන්ඩ මම බඳින එක්කෙනා චපලනං.එතකොට?.එහෙම නැත්තං එයාට වඩා හොඳ කෙනෙක් මට පස්සෙ මුණ ගැහුනොත්?එතකොට මුළු පද්ධතියම බිඳ වැටෙන්න පුළුවන්නේද?"
"ඒකට තමයි බඳින්න කලිං හොඳට ආශ්‍රය කරල ගැලපෙනවනං විතරක් බඳින්න ඕනෙ."
"කියන්ඩ නං ඉතිං කාටද බැරි.කරන එකනෙ වැඩේ.අඩු තරමේ ඔයා බැන්ඳෙ හස්බන්ඩ් ගැන හොඳට හොයල බලලද ?"
"ඔව්"
"ඇත්තටම ඔයාට බොරු කියන්ඩ උවමනාවක් මට නැහැ.මම ඔයාගෙ ප්‍රේම කථාව ටිකක් දන්නව.ඔයා කලිං සම්බන්දෙ එක පාරටම නවත්තල මෙයත් එක්ක යාළු උනාලු නේද?"මම ඉක්මන් උනා වැඩිදැයි මට හිතුණා.උඹට කවදාවත් ගෑනියෙක් එක්ක යාළු වෙන්න බැරි ඔය තදියම හින්ද තමයි.මම මටම කියා ගත්තා.නමුත් ඈ රවනවා වෙනුවට පුටුවට හේත්තුවෙලා හිනාවෙන්න පටන් ගත්තා.
"ඇත්ත.මිනිහෙක්ව බඳින කොට ගෑනියෙක් හිතන්නෙ මොනවද කියල මිස්ට දන්නවද?.ආදරය සෙනෙහස නෙමෙයි.ඒක ගෑනු ගාව ඕනෙවටත් වඩා තියෙනවා.ආදරය සෙනෙහසට වඩා ඒ අයට ඕනෙ කරන්නෙ ආරක්ෂාව ඉඳුම් හිටුම් වගේම අර මිනිත්තු එකොලහ."ඈ අන්තිම වචන දෙක අවධාරණය කරල කිව්වෙ.
"පාවුලෝ කොය්යෝ?"
"ඔව්.ඒ ටික හරියට දෙන්ඩ බැරි මිනිහෙක් කොයි වෙලෙත් ඉන්නෙ තමන්ගෙ ගෑනි චපල වෙයි කියල බයෙං"මම බිම බලාගෙන හිනා උනා.සමහරවිට ඒ මටම වෙන්නැති මම හිනා උනේ.එයා ඒකෙන් මොනවා තේරුම්ගත්තද කියල මම දන්නැහැ.ඇය සදොස් ගැහැනියක් කියල සිතුවිල්ලක් මගෙ හිතේ තියෙනව කියල ඇයට හැඟෙන්නැති.

"මම මිස්ට ට ඇත්තම කතාව කියන්නම්.මගෙ කිට්ටුම හිතවත් අයත් මට එක එක කතා කියනව කියල මම දන්නව.මට ඒව හරිගස්සන්න ඕනෙ කමක් නැහැ.ඒත් මම කැමති නැහැ මිස්ට මං ගැන වැරදියට හිතාගෙන ඉන්නවට.ඒ සමහරවිට මට මිස්ට ව නැවත හමු නොවෙයි කියන හැඟීම නිසා වෙන්නැති."මම බියර් වීදුරුව හිස් කරල මේසෙ උඩින් තිබ්බා.ඇඟිල්ලක් වීදුරුවෙ ගැට්ටට තියල මම හෙමිහිට වීදුරුව පද්දන්න පටන් ගත්තා.

"ඇත්ත මට කලිං කොල්ලෙක් හිටියා.කොල්ලෙක් නෙමෙයි කොල්ලෝ හිටියා.මගේ ප්‍රේම සම්බන්දකං ගොඩක් දුර දිග ගිය ඒවා.කන්‍යාභාවය කියන බැම්මෙන් මිදෙන කොට මම  ඒ ලෙවල් වත් කරල නැහැ.ඒත් ඒක මට කවදාවත් ප්‍රශ්නයක් උනේ නැහැ.මොකද මම කවද හරි බඳින්නෙ බඳින්න කලින් මගෙත් එක්ක ඔය ක්‍රියාවෙ යෙදෙන එකෙක් එක්කය කියල මට විශ්වාසයක් තිබුණා.මම හරිම සැහැල්ලුවෙන් ජීවත් උනේ.නොගැලපීමක් දැක්කම ඒ කොල්ලා අත ඇරල වෙන එකෙක් එක්ක යාළු වෙන්න මට පුළුවන් කම තිබුණා.කැම්පස් එකේ ප්‍රේමයත් කලින් ඒව වගේම තමයි.අතින් අල්ලං පැය ගණන් කතා කර කර ඉන්නවා, ඉඹිනවා, සංසර්ගයෙන් අවසන් වෙනව.ආයෙත් මුල ඉඳං.

ඔය අතරෙ තමයි මී හරකා මට බැල්ම දානවා කියල රාවයක් ගියේ.මට ඇත්තටම කිසිම හැඟීමක් තිබුනෙ නෑ.මම ගණන් ගත්තෙත් නෑ.ඒත් එක දවසක් ටිකක් කරුවල වැටිල තිබුණු වෙලාවක මම තනියම බෝඩිමට යද්දි අතුරු පාරක් ළඟ මී හරකා හිටියා.ඒ හරිය හරිම පාළුයි.එයා එක පාරටම මාව උස්සගෙන කැලේ ඇතුළට දිව්වා.මට කෑ ගහන්න ඕනෙ උනත් මට කෑ ගැහුනෙ නැහැ.ඒ පාළු හරියෙ කෑ ගහල වැඩකුත් නැහැ.

ටිකක් දුර ගියාට පස්සෙ මාව බිමින් තිබ්බා.මම ඇස් දෙක පියාගෙන බිම වැතිරිලා හිටියෙ.පුදුමෙ කියන්නෙ මට පොඩි බයක්වත් නොදැණුනු එක.මට පුදුම ආරක්ෂාවක් තියෙනව කියල හිතුණා.මොන උපද්‍රවයක් ආවත් මාව ආරක්ෂා කර ගනීවි කියල මට විශ්වාසයක් තිබුණා.මගෙ ඇඳුම් එකින් එක ගැලවෙද්දි මම ඒ උණුහුමට තුරුල් උනා.මගෙ ජීවිතේ තෘප්තිමත්ම මිනිත්තු එකොලහ තමයි ඒ.පුදුමාකාර ජවයක් ඒක.එයා එක වචනයක් වත් කතා කලේ නෑ.මම කෑ ගහයි කියලා මගෙ කට වහන්න උත්සාහ කලෙත් නැහැ.එයාට ලොකු විශ්වාසයක් තිබුණා මම කෑ ගහන්නෙ නෑ කියල.ඒ විශ්වාසයම ඇති උනා මාව පිස්සු වට්ටන්න.

කොහොම හරි මාව ආයිත් පාර ගාවට ගෙනත් දාල එයා යන්න ගියා.කාටවත් කියන්න එපා කියල තර්ජනය කරන්නවත් එයා උනන්දු උනේ නැහැ.ඒ ආරක්ෂාව පිළිබඳ හැඟීමට, ඒ ආත්ම විශ්වාසයට පුළුවන් උනා මාව සම්පූර්ණයෙන්ම මෝහනය කරවන්න.ඊට පස්සෙ එයා මාව ගණන් ගන්නැතුව වගේ හිටියත් මට එයාව මගෙ ජීවිතේට ඕනෙ කරල තිබුණා.මගෙ උවමනාවටයි අපි බැන්දෙ.

මට දැං වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.මට එයාට ද්‍රෝහි වෙන්න හේතුවක් නැහැ.මම එයාව බැන්දෙ ගෑනියෙක්ට ඇත්තටම ඕනෙ කරන දේවල් ඔක්කොම එයා ගාව තියෙන නිසා.ඇත්තටම ඕනෙ කරන දේවල්." සුන්දර හිනාවකින් මට සංග්‍රහ කරලා එයා නැගිටලා යන්න ගියා.

මම විස්කි වීදුරුවක් එක හුස්මට බිව්වා.