30 July 2011

ප්‍රේමයෝ.....




           ගෑනු චපලයි කියන්නෙ ඇයි?මේක ගැන විද්වත් සාකච්ඡාවක් ඇති උනා පහුගිය දවසක අපේ පීඨ පරිශ්‍රයේ ආපනශාලා මණ්ඩපයෙදි.බොහොම විද්වත් උගත් පරිණත දැනුමෙන් සන්නද්ධ මම වගේ අය තමා මේකට සහභාගි උනේ.සාකච්ඡාව ආරම්භයට ප්‍රස්තුතය උනේ මගේ මිත්‍රයෙක් වර්ථමානයේ පැටලී ඉන්න යෙදිලා තියෙන ස්ත්‍රී පාශය, එහෙම නැත්තං කාන්තා උගුල.මිත්‍රයාට කෙල්ලෙක් සෙට් වෙලා මේ අන්තර් ජංජාලෙං.මේකෙං සෙට් වෙලා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ පරණ පවුලේ මිත්‍ර සම්බන්ධකමක් අළුත් වීමක්.මේ කෙල්ල බොහොම හෘදයාංගම ලෙංගතුකමකිං කියා හිටිනවලු මූට ආදරෙයි කියලා.මූත් කැමතියි.ඉතිං මොකක්ද අවුල?.

මේ කෙල්ලට කොල්ලෙක් දැනටත් ඉන්නවලු.ආ.....ඔව් චපල කෙල්ලෙක්.කෙල්ලගේ ඒ ප්‍රේම‍යට දැං වසර පහක් විතරලු.ඔන්න දැං මේ කෙල්ලට තේරෙන්න පටං අරං අර කොල්ලා තමන්ට ගැලපෙන්නැහැ කියලා.ඒකටත් හේතුවක් තියෙනවා.ඒ කොල්ලා, ඒ කියන්නෙ මගේ මිත්‍රයාට පෙම් කරන මේ කෙල්ලගේ වර්ථමාන ප්‍රේමවන්තයා මේ මෑතකදි රිය අනතුරකට ලක්වෙලා මුහුණ තරමක් විකෘති වෙලාලු.ඒ විතරක් නෙමෙයි දැං මානසිකවත් අස්ථාවරභාවයක්ලු ඉන්නෙ.ඉතිං ඔන්න කෙල්ලට මතක් වෙනවා මේ කොල්ලා තමන්ට මෙච්චර කල් නීති දාගෙන තමංව යටත් කරගෙන හිටියා කියල.ඒ අවු අස්සෙ ඒ දෙන්නගෙ කේන්දර ගැලපෙන්නෙත් නැහැ කියලා ඒ අයගෙ ගෙවල්වල කට්ටිය හොයාගෙන තිබුණා.ඉතිං කෙල්ලගෙ ගෙදරිං මේකට එහෙමට කැමැත්තක් දැක්කුවෙ නෑලු.ඒ මදිවට මේ කොල්ලට හරි හමං රස්සාවකුත් නෑලු.මේ කෙල්ල චපලයි කිව්වට චපලම නෑ.මොකද මගේ මිත්‍රයට ආදරෙයි කිව්වට මිත්‍රයට කිව්වලු ඌත් එක්ක එන්න බෑ මොකද අර කොල්ලට ද්‍රෝහි වෙන්න බැරි නිසා සහ කෙල්ලගේ සහ අර කොල්ලගේ නෑදෑ හිත මිත්‍රයො කතා කියයි කියලා.

ඔන්න අපේ ප්‍රස්තුතය.ඔය යටතේ මෙහෙයවුනු අපේ සාකච්ඡාවෙදි අනාවරණය උනු කාරණයක් තමා තමන්ගෙ හිත ගිය කොල්ලා තමන්ට තෝරගන්න නොහැකි වීම කෙල්ලෙක් චපල වීමට බලපානවා කියන එක.ඒ කියන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හැඟීමක් පහල උනාට ඒ කෙල්ලට බැහැනෙ ගිහිං කොල්ලට කියන්න "මම ඔයාට ආදරෙයි ඔයා මොකද කියන්නෙ?" කියලා.ඉතිං එහෙම ඇහුවොත් වෙන්න කෙල්ල හෙන බඩ්ඩක් කියල හංවඩු ගැහෙන එක.

ඒක මේ සමාජයේ අවුලක්.කොච්චර අයිතිවාසිකම් විමධ්‍යගත කරන්න හැදුවත් කෙල්ලෙකුට මේ සමාජයෙන් අන්තිමටම බලාපොරොත්තු වෙන්න වෙන දෙයක්.කෙල්ල එහෙම අහලා කොල්ලා කැමති උන සිදුවීම් දෙක තුනක් මම දන්නවා.නමුත් ගොඩක් වෙලාවට (අවධාරණය කරන්න ඕනෙ හැමතිස්සෙම නෙමෙයි කියන එක ) සිද්ද වෙන්නෙ කොල්ලා කෙල්ලගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කරන්න පටං ගන්න එක.මොකද සම්බන්ධයට මුල පිරුවෙ කෙල්ල නිසා කොල්ලට ඒකෙ වටිනාකමක් නෑ.

ඉතිං මේකෙ අවසන් ඵලය විදිහට කෙල්ලන්ට සිද්ද් වෙනවා තමංගෙං ප්‍රේමය පතන කොල්ලට කැමැත්ත දෙන්න.ඒක හරි අසාධාරණයි කියල මට හිතෙනවා.මොකද කොල්ලෙක්ට පුළුවං ඕනෙම කෙල්ලෙක්ගෙන් ප්‍රේමය ඉල්ලන්න.ඒත් කෙල්ලෙක්ට සිද්ද වෙන්නෙ තමංගෙන් ප්‍රේමය පතන අතලොස්සෙං එකෙකුට කැමති වෙන්න.හැබැයි ඒක සාධාරණීකරණය වෙන්නෙ කොල්ලෙක්ට ඕනෙ කෙල්ලෙක්ගෙන් ප්‍රේමය පතන්න පුළුවං උනාට ඌට කැමති වෙන්නෙ අතලොස්සක් කෙල්ලො විතරක් වීම නිසා.

ඉතිං කෙල්ල එකෙකුට කැමැත්ත දීලා ටික කාලයක් ගියාට පස්සෙ කෙල්ලගෙ හිතේ ඇඳිලා තියෙන රූපෙ තියෙන ඈ පතපු ගතිගුණ තියෙන කුමාරයා සුදු අස්සයෙක් පිටේ නැගලා ඇවිත් කෙල්ලගෙන් ආදරේ ඉල්ලපුවාම ඒ කෙල්ල දෙගිඩියාවට පත් වෙනව තමයි.කොල්ලන්ට වෙන්නෙ මේක නෙමෙයි.උන් තමන්ට හිත ගිය රූපෙ තියෙන කෙල්ලෙක් හොයලා යාලු වෙනවා බොහෝවිට.ඒත් කෙල්ලගේ නියම ගති ස්වභාව එළියට එන්නෙ ටිකක් කල් ගියාම.අන්න එතකොට කොල්ලා චපල වෙන්න පටං ගන්නවා.

කොහොම උනත් මගේ මතය ප්‍රේමය කියන්නෙ ඔය 'එයා මගේ දිහා බැලුවා, අපේ නෙත් එකට ගැටුනා, ලෝකය නැවතුනා, අපි අසීමිත පෙමකින් බැඳුනා.' කියන ජාතියෙ එකක් නෙමෙයි.ප්‍රේමය කියන්නෙ දෙන්නෙක් අතරෙ අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීම හරහා වෙන දෙයක්.ඔය සාහිත්‍යය (බොළඳ ඒවා විශේෂයෙන් ) රූපවාහිනිය සහ සිනමාව ආදිය නිසා තමයි මේ ප්‍රේමයට අනවශ්‍ය ආටෝපයක් ඇතිවෙලා තියෙන්නෙ.

පුළුවන්තරම් විවිධත්වයෙන් යුත් මිනිස්සු ඇසුරු කරන්න.මිත්‍රත්වය තුලින් ප්‍රේමයට නිදහසේ වැඩෙන්න දෙන්න.සිනමාවෙ සාහිත්‍යයේ සින්තටික් ප්‍රේමවලින් වියුක්ත වෙලා යථාර්තවාදී වෙන්න.එහෙම නොවුනාම තමයි කෙල්ලො හා කොල්ලො මේ සතියෙ එකෙකුට බූට් එක තියලා ලබන සතියෙ තව එකෙක් එක්ක පැණි බේරෙන්න ලව් කරන්නෙ.මොකද අර සින්තටික් ප්‍රේමය අපේ යටිහිතට ආමන්ත්‍රණය කරනවා තාරුණ්‍යයට සම්පූර්ණ වීමට ප්‍රේමය අත්‍යාවශ්‍යයි, කොහෙන් හෝ අහුලාගන්නා ඒ ප්‍රේමය මුල සිට අගටම පැණි බේරෙන එකක් විය යුතුයි කියලා.ඉතිං අපේ තාරුණ්‍යය ඒ කාරණා සම්පූර්ණ කරන්ඩ ව්‍යාජ හැඟීම් ඇතුලෙ වල්මත් වෙනවා.

අපි පව් !


25 July 2011

පංති භේද




එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

21 July 2011

හූනා



බළලෙක් පැන්නම
නැට්ට කඩා දාල දුවන
හූනා ඔයා
නැට්ට මම
හූනට වැවුනට
නැට්ටක්
නැට්ටට වැවෙනවෑ
හූනෙක්

18 July 2011

මිටිය ?


අපිට මේ දවස්වල එග්සෑම්.මේ දවස්වල කියන්නෙ අද උදේ තිබ්බා එක විශයක්.හෙට දෙකක් තියෙනවා.අනිද්දට තව එකක්.ඉංඅනිද්දායිං ඉවරයි.එග්සෑම්නං ආයෙ තියෙයි.ඒත් මම ඉවරයි.මේක මේ එග්සෑම් ගැන කතාවක් නෙමෙයි.වෙන එකක්.

ඉතිං මෙහෙම එග්සෑම් ළං උනාම අපි හෝ ගාලා හොටු පෙරාගෙන කබ කඩ කඩ පාඩම් කරනවා.පාඩම් කරනවා කියන එක එච්චර උචිත නං නෑ.මොකද අපි කරන්නෙ නිකං අලවගන්න එක.එග්සෑම් එකේදි ඒ ටික හැලුවා, එච්චරයි.ඊට පස්සෙ ඔළුවෙ මොකුත් නෑ.මේ විභාගෙ අස්සෙ අලවන්නෙත් නිකං කෙළ ගාලා වගේ බොහොම යාන්තමට.ඉතිං ඔහොම නිසි වෙලාවට පාඩම් නොකිරීමේ විපාක සිහිකරමිං උගත් පාඩම් හා නැවත මුහුණ දීමේ කමිටුවක් එහෙම හදාගෙන ඊළඟ පාර විභාගෙ කරනව කියල හිත හිත කයි දි දී  ගජරාමෙට වැඩ කරගෙන යන අතරෙත් අපිට එන්නෙ මාර ප්‍රශ්න තමයි.

මේ ප්‍රශ්නෙ ඇති උනේ අපේ බෝඩිමේ තියෙන මිටියක් සම්බන්ධයෙන්.මිටියක් කියන්නෙ ඔය වඩුමඩුවල තියෙන ජාතියෙ එකක්.දැං මේ ප්‍රශ්නෙට උත්තරය විදිහට සිතුමා ගොඩනගපු සංකල්පය මම මුළින් කියල ඉන්නං.

ඔන්න ඉස්සර කාලෙ එක මනුස්සයෙක් තමංගෙ කුඩා මොළේ පාවිච්චි කරලා මිටිය කියන උපකරණය හොයාගත්තා.ඉතිං මේක ලොකු සොයාගැනීමක් නිසා හෙන ලොකු සමාජ කතිකාවතක් ගොඩ නැගුනා.ඉතිං මිනිස්සු කඩ පොළේදි, බස් ස්ටෑන්ඩ් එකේදි එහෙම හම්බ උනාම කියන්ඩ උනාලු "මේ දන්නවද වැඩක්, අළුත් හොයාගැනීමක් කරල කියල ඊයෙ නිවුස්වලට කිව්වනෙ." "ආ ඔව් ඔව් මමත් අහගෙන.මොකක්ද මේ මිටිය කියල එකක්ලු නේද?"


ඉතිං ඔහොම කාලයක් ගියාට පස්සෙ මේ මිටියෙං මොනවද කරන්ඩ පුළුවං කියල මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති උනාලු.ඉතිං ඒ ගැනත් ලොකු සංවාද එහෙම ඇති උනාලු.ස්ටේශන් එක ඉස්සරහා හෑන්ඩ් බිල් බෙදුවලු.විපක්ෂය පුවත්පත් සාකච්චා තියල මේ ගැන ආණ්ඩුවෙං ප්‍රශ්න කළාලු.ඊට පස්සෙ ආණ්ඩුව මේ ගැන හොයන්ඩ කමිටුවක් එහෙම පත් කරලා බජට් එකෙනුත් සෑහෙන ගාණක් ඒ වෙනුවෙන් වෙන් කළාලු.ඊට පස්සෙ සෑහෙන්ඩ පරීක්ෂණ එහෙම කරලා මිනිස්සු හොයාගත්තලු 'ඇණ'.

ඔන්න සිතුමාගේ විසඳුම.අපිට ආව ප්‍රශ්නෙ තමා මුළිං හොයාගත්තෙ මිටිය ද? ඇණ ද? කියන එක.

ඔය අනුව යමිං අපිට ආව තවත් ප්‍රශ්නෙකට සාර්ථක උත්තරයක් දුන්නා විකියා.

මිනිස්සු මුළිං රෙදි හෝදන සබං හොයාගත්තලු.කාලයක් පාවිච්චි කරද්දි මිනිස්සුන්ට තේරුණාලු මේක ඔක්කොම එකපාර ගානවට වඩා කෑල්ලක් කපලා ගත්තම නාස්තිවෙනව අඩුයි කියලා.ඉතිං ඊටපස්සෙ කට්ටියම සබං කෑල්ල දෙකට කපලා පාවිච්චි කරන්ඩ පටං ගත්තලු.ඔන්න දැං ගෙවල්වල හරි අවුල් ලු.මොකද පාං කපන පිහියෙ සබං ගෑවිලා.පාංවල සබං ගෑවිලා.ඒවා කාලා හෝ ගාල බඩ යන්න ගත්තලු.ඊට පස්සෙ මිනිස්සු මේ සබං කපන්න විකල්පයක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හොයාගත්තලු 'නූල'. මං කියනවට කපල බලන්න.නූලෙං සබං කැපෙනවා මරුවට.......

16 July 2011

මක්ෂිකා


උඹ
මැස්සෙක්
කැරකිලා ඇවිත්
තුවාලෙම වහන
කොච්චර එලෙව්වත්
ගාණක්වත් නැතුව
ආයෙත් ආයෙත්
හරි වැදගත්
රාජකාරියක් වගේ....

කේන්තියෙන් පිපිරි පිපිරි
අත ඉස්සුවත් මරන්ඩ
මම දන්නව
මට බෑ 
උඹ යයි පියාඹලා
වදින්නෙ මගෙ තුවාලෙටමයි
අනික
අප්පිරියයි මට
මරන්ඩ මැස්සෙක්

13 July 2011

මා ලියූ පළමු ලිපිය( සිංහලෙන්)

මා ඉංග්‍රීසියෙන් ලියා ඇත්තේද එකම ලිපියකි.



         මාගේ මිත්‍රයෙකු වන බූටා උගේ පාසල් කාලයේ සිට හදවතේ දරාගෙන ආ කුළුඳුල් දෙවෙනි හෝ තුන්වෙනි ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වෙමින් නොකා නොබී ජීවිතය නැති නාස්ති කරගන්නා බවට මට ලැබුණු ඔත්තුවක් නිසා මගේ හෘදයේ කන්තුක ගතිකරයේ සිටම අකර්මන්‍ය වී ගියේය.එනිසා මගේ ප්‍රතිපත්ති ඉවත දමා මිත්‍රයා වෙනුවෙන් ලිපියක් ලිවීමට මම බැරෑරුම් තීරණයක් ගතිමි.

උගේ මේ හදවත සොරාගත් කෙලි සිඟිත්ත මුස්ලිම්ය (මුගේ ශරීර අංගයකටද තර්ජනයක් ඇත ).මූට වඩා සෑහෙන්න බාලය(වයසින් පමණි.මුගේ තරම් බාල ගති ඇති එකෙක් මම මගේ ජීවිතේටම දැකලා හෝ අහලා හෝ නැත ).ඊටත් හපන් ඒකි මෑතකදී අඩු වයසෙන්ම බැඳලාය (දැං මුගේ ජීවිතේට ද තර්ජනයක් තියෙනවාය ).ඉතිං මාගේ මිත්‍රයාගේ නුවණැස පෑදීමේ තිර අදිටනින් යුක්තව මම ඌට ලිපියක් ලීවෙමි.

අන්තර්ගතය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාර ය.



හිතවත් බූටා,

 උඹ තවම අර ලව් එක නිසා තරුණ ජීවිතය නිරපරාදේ නැති නාස්ති කරගන්නට යන බව දැනගන්නට ලැබුනා.තෝ මහ ලොකු ඇටකිච්චෙක් නොවුනාට කාගේ උනත් දරුවෙක් නිසාය මේ උඹගෙන් අහන්නේ.තොට අමු කැවිලා ද? නැත්නම් මේ හරි අමාරුවෙන් ලබාගත් මනුශ්‍ය ජීවිතේ හරි හැටි බුක්ති විඳීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝදයක් නැද්ද? චවියා තණකොළ කෑ හැටිත්, චමිලයා බලාපොරොත්තු දී කඩකල හැටිත්, මම කෑ අසූචි කඳු පිළිබඳවත්, දේශානයාගේ අභිරහස් පෙම ගැනවත්, නයිසාගේ ඉතිහාසගත බූට් එක ගැනවත් උඹට මතකයක් නැද්ද?.

 උඹ ගම්පෙරලියේ පියල්ගේ චරිතය කරන්නද මේ හදන්නේ? ජිනදාස කලින් මළොත් හොඳය.නැත්තං උඹටත් වෙන්නේ ෆ්ලොරෙන්තිනෝ අරීසාට වෙච්ච දේය.ඌ කෙල්ලව සෙට් කරගෙන බඳින කොට කෙල්ලට හැට ගාණකි.ඌට හැත්තෑ ගාණකි.කෙල්ලෙක් නෙමෙයි ය.නාකි හම්පඩ මඟුලක් ය.නැත්තං උඹටත් දේව්දාස් කෙනෙක් වෙන්න පුළුවංය.ඒකට හොඳට බොන්න ඕනේය.බීලා නිතරම අඬන්න ඕනේය.අර වැඩේට ගණිකාවකුත් හොයාගන්න ඕනේය.අද කාලේ ගණිකාවෝ චාටර් නිසා උඹට කොන්ඩම් ගොඩකුත් ඕනෑය.

ප්‍රේමය ගැන ලෝකයා කියන දේ මම දන්නේ නැත.මම දන්නේ මෙච්චරය.ප්‍රේමයේ දිග අඩි 6කි.පළල අඩි 4 1/2කි.උඹ මෙයිට වඩා උසනම් අඩි 7ක් දිග ඇඳක් ගනින්.එතකොට ප්‍රේමයේ දිග තව අඩි එකකින් වැඩි වේ.ගෑනි මහතනම් උඹට ප්‍රේමයේ පළල තව අඩි එකකින් වැඩි කරගන්න පුළුවන්ය.හැබැයි එතකොට හරියන මෙට්ට තියෙනවාදැයි මම දන්නේ නැත.

ප්‍රේමය එච්චරටම ලඝු කළ නොහැකි බවද දනිමි.සැලකිය යුතු තවත් සාධක කීපයක් තිබේ.

-කොල්ලාට රැකියාවක් තිබිය යුතුය.
-බිරිඳ හා සිය මව අතර දුරස්තභාවය රැකෙනු පිණිස වෙනම පදිංචියක් තිබීම වඩාත් උචිතය.
-කෙල්ල පාරේ ගෙන යා හැකි විය යුතුය.
-කොල්ලා නොබොන එකෙක් විය යුතුම නැති උවත් බිව්වට පසු වලි නොදාන එකෙක් විය යුතුය.
-කෙල්ල කොල්ලාගේ මිත්‍ර සම්බන්දකම්වලට ඤරුඤුරු නොගෑ යුතුය.
-කෙල්ලට තේ එකක්වත් හැදීමට හැකි විය යුතු අතර කොල්ලාට ඒ මොන එක උනත් අගය කිරීමට තරම් ඉවසීමක් තිබිය යුතුය.
-කෙල්ල දිනපතා නාන දත් මදින එකියක් විය යුතුය.(සැලකිය යුතුයි: කොල්ලාද මෙම සාදකය සපුරා නැත්නම් එතරම් ගැටළුවක් පැන නගින්නේ නැත.)
-කොල්ලා ඉඳ හිට හෝ කෙල්ලට ජංගියක්වත් අරන් දිය යුතුය.

ඉහත සාධක ඇත්නම් ඔබ දැන් ප්‍රේම කිරීමට සූදානම්ය.වෙන මගුල් නොසොයන්න.හැම එකම සෙට් වෙන තුරු සිටියොත් තුංමංහන්දියේ අබිලිං මාමා වගේ ගෙදෙට්ටම නාකි වෙන්නට වෙනවාය.ඉහත සාධක නොමැතිනම් ගෑනු අමතක කරන්න.පොතක් පත්තරයක් බලන්න.ක්‍රිකට් බලන්න.පන්සල් යන්න.බණක් භාවනාවක් කෙරේ සිත යොමු කරන්න.එය වඩා උචිතය.

ඉතිං මගේ මිත්‍රයා මම උඹට මේ මිත්‍ර සෙනෙහසින් කියන්නේ.ඕක අමතක කරපන්.කොන ගැන හිතපන්.ලෝකය කවදාවත් ගෑනුන්ගෙන් හිඟවෙන්නෙ නෑ.

මීට උඹේ සදාදර මිත්‍රයා
දිනුක ජයකොඩි

09 July 2011

ආශ්චර්යයේ දිවයින 3

ආශ්චර්යයේ දිවයින 2


ගොඩේ මම පොෂ් වූ හැටි....




ප්‍රෙස් කොංෆරන්ස් එක එලට ගියේය.ලොක්කා හෙවත් අප මහ රජතුමා මගේ ගුණ වැණුවේය.මගේ දක්ෂතා පට්ට ගැහුවේය.මම කළ නොකළ කී නොකී දහසකුත් එකක් දේ ගැන පට්ට විද්‍යුත් ටීකාවක් දුන්නේය.සමහර පත්තර අක්කලා ඇඬුවෝය.මගේ 'ක්ලෝස් අප්' ඡායාරූප ගත්තෝය.රෙකෝඩර් ගෙනාපු උං රයිටිං පෑඩ් ගෙනාපු උංට කින්ඩියට හිනා උනෝය.රයිටිං පෑඩ් ඉවර උනු උන් කලිසං කකුල්වලද මගේ විස්තර ලියා ගත්තෝය.මගේ හාවඩ් විශ්වවිද්‍යාල දිවිය, චීනයේ ලද ගුවන් පුහුණුව, ගැන මෙන්ම මා නාසා ආයතනයට විසිටිං ලෙක්චර් දීමට යාම ගැනද අතේ පැලවෙන කතා මහ රජතුමාගේ ලේකම් මහත්තයාගේ ශ්‍රී මෞඛද්වාරයෙන් පිටවෙද්දී මම දැං දැං හෙණයක් පාත් වේ දෝ හෝ යි විමතියෙන් භ්‍රාන්ත වී බලා සිටියෙමි.

නැත.කිසිඳු හෙණයක් පාත් නොවී ලේකම් මහත්මයා කතාව ඉවර කළේය.එක්කෝ වජ්‍රහස්තයාගේ වජ්‍ර ඉවර වෙලා ඇතිය, නැත්තං හෙණ එවලා එවලා ශක්‍රයාටම එපා වෙලා වෙන්න ඕනේය.

ඊළඟට මගේ වාරය ආවේය."මහත්මයාට කොහොමද දැනෙන්නේ මේ මොහොතේ ?"සියළු නෙත් එක්වරම මා වෙත යොමු වූ විට මට හරි කෝළ බවක් දැනුනේය.රජතුමා මාවෙත 'යස් යූ කැන්' බැල්මෙන් බලා මා ධෛර්යවත් කළේය.මොන ප්‍රශ්නයට උනත් මට දෙන්න තිබුණේ එක උත්තරයකි.මම සියළු පුරුෂ ධෛර්යය මගේ මුඛයට ගෙන මගේ ව්‍යක්ත හරබර ගුණ වර්ණනාව පටන් ගතිමි.

"ඇත්තටම මේ මොහොතේ මම බෙහෙවින් ඉස්තූතිවන්ත වෙනවා අපේ අතිගරු මහ රජතුමාට.අපේ අතිගරු මහ රජතුමාගේ අප්‍රතිහත උනන්දුව කැපවීම නොතිබෙන්නට මට මේ අවස්තාව නොලැබී යන්නට තිබුණා.මට විතරක් නෙමෙයි කිසිම ශ්‍රී ලංකිකයෙකුට මේ වගේ වැදගත් සන්දිස්ථානයක් දැකගන්නවත් නොලැබෙන්න තිබුණා.අපේ අතිගරු මහ රජතුමා මේ රටේ තිස් වසරක් තිස්සේ තිබිච්ච ඒ අමානුශික ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරලා අපිට නැවතත් නිදහසේ හුස්මගන්න අවස්තාවක් ලබාදුන්නා.අපේ අතිගරු මහ රජතුමාගේ සංවර්ධන සංග්‍රාමය මග නැගුම, ගම නැගුම, දිවි නැගුමෙන් නොනැවතී හඳ නැගුම දක්වාම ව්‍යාප්ත වූ අවස්තාවක් මේක.අපේ අතිගරු මහ රජතුමා එදා ත්‍රස්තවාදය පරාජය නොකරන්න අපි තාමත් බයෙං ජීවත් වෙන ජනතාවක්.අපේ අතිගරු මහ රජතුමාගේ යෝධ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මම හඳට ගිහින් එන ටිකට මේ රට බස්නාහිරින් අක්කර දාස් ගාණක් මුහුදෙන් අයිති කරං තියේවි.තව වරායවල් දෙක තුනක් හැදුවොත් තව අක්කර දාස් ගාණක් මුහුද රට ඇතුළට ඇවිත් තියේවි.. ඌයි.."මහ රජතුමා මගේ කකුල පෑගූ විටය මට තේරුණේ මගේ කට වැරදුණු බව.කට පාඩම් කරගෙන ආ කතාව තව දිගට තිබුණද මම එතනින් කතාව හමාර කිරීමට තීරණය කළෙමි.

ලොක්කාගේ පබ්ලිසිටිය එළට වැඩ කළේය.එක රැයින් මම රටේ වීරයා බවට පත් වීමි.මගේ නමින් ෆේස්බුක් ගෲප් එකක්ද හදලා කියලා එහා ගෙදර පොඩි එකා කීවේය.රියැලිටි වැඩසටහනක විනිශ්චයාසනයක්ද මට පිරිනැමුණි.ජංගම දුරකතන සේවා සමාගමක වෙළඳ දැන්වීමකටද පෙනී සිටින්න ඇරයුම් ලදිමි.පත්තරවල ලොක්කාගේ ඡායාරූප කීපයක් අඩු කොට මගේ එව්වා කීපයක් පළ විය.මගේ ජංගම දුරකතනයටද නිමක් නැත.කලින් එයින් නැගුණු මගේ පෙම්වතියගේ හා අම්මාගේ කර්ණකඨෝර නාදය වෙනුවට මියුරු සියුමැලි ළපටි හඬවල්ද නැගෙන්නට විය.පෙම්වතියද 'ගුඩ් මෝනිං' කියා කෙටි පණිවුඩයක් එවලාය.අම්මාද තේ එක ඇඳ ළඟටම ගෙනත් දුන්නාය.ඔයින් මෙයින් මට තේරුණේ ජනප්‍රිය වෙන එක හරි ආතල් කියාය.මුන් මේ ජනප්‍රිය වෙන්න එකා එකා කා කොටා ගන්නේ ඇයිද කියා මට තේරෙන්නේ දැන්ය.

ලොක්කාගේ උපදේශකයෙකුගේ උපදෙස් පිට මම රූපලාවන්‍යාගාරයකට කුදලාගෙන යනු ලැබීමි.මගේ කසිකබල් පෙනුම ජනප්‍රියතාවට ගැලපෙන්නේ නැතිලුය.රූපලාවන්‍යාගරයේදී එහෙන් මෙහෙන් පාට කළ හැම තැනම සිදුරු කළ කෙල්ලෝ රොත්තක් මා වට කරගත් හ.ඔවුන්ට අනවශ්‍යයැයි හැඟුණු මගේ සෑම සියළු කෙස් ගසක්ම රෝමයක්ම ඔවුන් කපා දැමූහ.නැතහොත් උගුල්ලා දැමූහ.මගේ නියපොතු කැපූහ.මූන මසාජ් කළෝය.මැනිකියෝ කළහ.පෙඩිකියෝ කළහ.ක්ලෙන්සර් කළෝය.බ්ලීච් කළෝය.පර්ම් කරලා ටින්ට් කරලා කර්ල් කළෝය.නැවත ස්ට්‍රේට් කළෝය.කන විද්දෝය.ඇහිබැම ලඟ හිලක් විද ඇණයක් බැස්සුවෝය.මෘත ශරීරාගාරයකදී මිනියකටවත් නොදෙන වද මට දුන්නෝය.මම රූපලාවන්‍යාගාරයෙන් එළියට ආවේ අළුත් වචන රැසක් මගේ වාග් කෝෂයට එක්කරගෙනය.නමුත් ඒවායේ තේරුම් අසාගන්න මට බැරි විය.අසා ගත්තද මතක හිටින්නේ නැති බව ෂුවර් ය.

ඉන්පසු දන්ත ශල්‍යාගාරයකට මා රැගෙන ගියෝය.එහිදී නරක් වූ දත් ගලවා සමහර ඒවා පුරවා ඉතුරු එව්වායේ බුලත් කහට යවන  ලදී.දවසට දෙවරක් බැරිනම් එක්වරක්වත් දත් මදින ලෙස වෛද්‍යවරයා මට තරයේ අවවාද කළේය."දත් බුරුසුවක් ගන්නවත් සල්ලි තිබුන්නැහැනෙ දොස්තර මහත්තයෝ.දැන්නං පුළුවං ගමටම උනත් අරං දෙන්න."මම කීවෙමි.

ඉන්පසු සුවිසල් ඇඳුම් ආගාරයකට මා ගෙන ගියෝය.එහිදී මාගේ සරමත් කමිසයත් ගලවා වීසි කරන ලදී.මගේ යට ඇඳුම් මම කාටවත් පේන්න වැලටවත් දාන්නේ නැත.ඒවා පුරාම වෙඩි වැදිලා වාගේ හිල් ය.ඒවා දැකලා මේකේ කෙල්ලෝ බිම බලාගෙන හිනා උනෝය.හිනාවෙලා ඇතිවූ පසු මට 'කොල්වින් කෙලින්' යට ඇඳුමක් දුන්නෝය.ඉන්පසු මට දණහිස ළඟින් ඉරුණු හමගිය ඩෙනිමක් ඇන්දුවෝය.ඒක පස්සේ අම්මාට දීලා මහගන්න ඕනේය.මට හිර ටී කමිසයක්ද ඇන්දුවෝය.ඡායාරූප ශිල්පියෙක් පැමිණ මා විවිධ ඉරියව්වලින් තබා ඡායාරූප රැසක් ගත්තේය.
"හරි.ඒ ෆොටෝ ටික ඔයාගේ වෙබ් සයිට් එකටයි ටැබ්ලොයිඩ් පත්තරේක පිටිපස්සෙ පිටුවටයි.ජනප්‍රිය උනාම තමංගෙ වෙබ් සයිට් එකේ තියෙන්න ඕනෙ හොඳ සෙක්සි ෆොටෝ ටිකක්.හැබැයි ජනතාව ඉස්සරහට යනකොට හරි සිල්වත් විදිහටයි යන්න ඕනෙ.තේරුණාද?.දැං ඔය කරාබු යි, කලිසමයි, කමිසෙයි ගලවලා මේ ජාතික ඇඳුම ඇඳ ගන්න."රාජ උපදේශකයා පැවසීය.

අම්මෝ රෙද්දෙනුත් දැනෙන සනීපය!. 'පට සළු සැප රැපැයි නිතී'  කසීසළු කියන්නෙ මෙව්වාට වෙන්න ඇතිය.අනේ දෙවියනේ මේ ජනප්‍රිය සෙල්ලමේ චිරාත් කාලයක් යෙහෙන් විරාජමාන වීමට මට ශක්තිය ධෛර්යය ලබා දෙනු මැනවි!.....

07 July 2011

ණය

ප්‍රේමය කියන
විකෘති සංකල්පෙට
ණය ගැතියි මං
මොකද
මේ හම්පඩ මටත්
හැන්සම් කියන
කෙනෙක් ඉන්නෙ
ඒ නිසානෙ

05 July 2011

ආශ්චර්යයේ දිවයින 2

ආශ්චර්යයේ දිවයින 1  මෙතනින් බලන්න.

මගේ කොට්ටෙටත් වැටුණු රජ කඳුළු


රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.

"මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.

"මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.

"ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
"හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
"අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
"ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
"අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
"ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
"නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
"මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
"ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
"ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
"ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
"ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.

"ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
"එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
"මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.

උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.

සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
නිල් කොට කලිසම්
සුදු ඇඳ රෙදි
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
ට්‍රැක් බොටම්
දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
හාෆ් ශීට් හා සී ආර් පොත්

ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය.

03 July 2011

රමණයත් අහිමි හිමි


දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට