23 April 2013

ටයර් එකකින් කාර් එකක් හදන්නේ කොහොමද?



මේ දවස්වල වැඩ ඉවරයක් නෑ.මට පිස්සු වගේ.ඒ මදිවට රෑට පට්ට සීතලය.රෑ මැද ඇහැරෙන්නේ ඇඳේ තෙමාගෙන කියලා හිතිලාය.ඊට පස්සේ පාන්දර ඇඟ හෝදලා බැල්කනියට වෙලා හුලං වැදිලා ඇඟ නිමෙනකං ඉන්නවා.බැල්කනිය කිව්වේ අපේ හොස්ටල් එකේ එකය.ඒ කියන්නේ බ්ලොමේ මගේ රූම් එකේ බැල්කනියය.මගේ රූම් එකේ ඉන්නේ මමයි මගේ 'රූමා'යි ය.අපි දෙන්නාටම ඇත්තේ උගේ පුංචි ෆෑන් එක විතරය.මම ඉන්නේ තට්ටු ඇඳේ උඩ  ඇඳේ හින්දා ඒකට හුළං එන්නේම නැත.ඒක නිසා ෆෑන් එක බැල්කනියේ තියලා කමරේ ඇතුලට හුළං එවන්ඩ ට්‍රයි කරනවාය.ඒක එතරම් සාර්ථක ව්‍යායාමයක් නොවුනත් මොකුත්ම නැතුවාට වඩා හොඳයි ය.මේ පහුගිය දාක ගිරීස්මය දරාගන්ඩ බැරුව මම මූඩිය වහන්ඩ පුළුවන් ජෝගුවකට කූල් වතුර ගෙනත් ඒක බදාගෙන නිදාගත්තෙමි.උදේ වෙනකොට වතුර එක රත් වෙලා තිබ්බේය.ඒකෙන් මූණ හෝදාගෙන ක්ලිනිකල්ස් ගියෙමි.

ඔය අවු අස්සේ මට ජීවිතේ එපා වෙලාය.ඒ කියන්නේ මට ඇත්තේ ඩිප්‍රෙෂන් කියන මානසික ව්‍යාධිය ය.ඒකේ ලක්ෂණවලට අනුව කළිං ආතල් ගත්තු දේවල්වලින් දැං ආතල් ගන්ඩ බැරිය.මට බ්ලොග එපා වෙලාය.ඒකෙං දැං ආතල් නැත.බ්ලොග් කියවන්ඩ හිතෙන්නේද නැත.මට මැරෙන්ඩ හිතෙනවාය.ඒ උනාට මැරෙන්ඩ විදිහක් නැත.කඹයක් ගන්ඩ සල්ලි නැත.වහ බොන්ඩ හිතෙන්නේ නැත.මැරෙන්ඩ හිතාගෙන පැනඩෝල් බීලා එන උන්ට වාට්ටුවේදී දෙන වධ මතක් උනාම මයිල් කෙළිං වෙනවාය.කෝච්චියට පනින්ඩ හිතෙන්නේ නැත.කෝච්චිවල යන්නේ එන්නේ අපි වගේම දුප්පත් අහිංසක මිනිස්සුය.මොකෙක් හරි හාල්පාරුවෙක් ජීවිතේ නැති කරගන්ඩ කෝච්චියට පැන්නාම නාස්ති වෙන්නේ අර අහිංසක මිනිස්සුංගේ කාලය ය.


කොහොම උනත් මට මැරෙන්ඩ වෙන එකක් නැත.එයිට කළිං මේ මළ ඉලව් පෑවිල්ල නැතිවෙලා යයි කියලා හිතාගෙන ඉන්නෙමි.මේ දුෂ්කර සමයේ දුකසේ ජීවත් වෙන අතර තුරේ මරු සින්දුවක් අහන්ඩ ලැබුනේය.බොහොම සරළව ලියැවුනු මේ සින්දුවේ සමස්ථ ශ්‍රී ලාංකික ජන විඥානයම කැටිකොට දක්වා ඇතැයි මට හිතුනේය.අපේ මිනිස්සු ජීවත් වෙන්නේ ස්වප්න ලෝකවල ය.තමුන්ට ලැබෙන පුංචි දෙයක් මහා ලොකු කොට දක්වා සතුටු වෙන්නේ අනුන් රැවටීමටත් වඩා තමුන්වම රැවටීමට නොවේද?. පහුගිය කාලේ අවුරුද්දට පස්සේ හම්බ උනාම 'අපි ගමේ ගියානේ ' යි කිවූ මිනිස්සු දැං කියන්නේ 'අපි හයිවේ එකේ ගියානේ ගමේ' කියලාය.මත්තල උන් 'අපිට ගුවන් තොටුපොලක් ලැබුනා.අපිට හරි සතුටුයි' කියා වොයිස් කට් දෙන්නේද එකී හීනමානයේම ප්‍රකාශනයක් විදිහටය.වැඩි විස්තර අනවශ්‍යය.ඔන්න සින්දුව දෙනවා බාගෙන අහගන්ඩ.මේක මේ කිලෝබයිට් 300ක් විතර වෙන පුංචි ෆයිල් එකක් ය.ඒ නිසා ඩේටාවලට කුම්මැහි නොවී බාගෙන අහන්ඩ හොඳේ.. (හිනා මූන )

මෙතනින් බාගන්ඩ...


හරිම සරළ සිද්ධියක් ගැන තමයි ය සින්දුව ලියලා තියෙන්නේ.පොඩි එකාට ටයර් එකක් හම්බවෙලාය.කොල්ලාගේ තාත්තා ටයර් එකට ඉතුරු කෑලි ටික දාලා කාර් එකක් හදන්ඩ ප්ලෑන් කරනවාය.මටනං පට්ට ආතල්ය.සින්දුව කියන්නේ නැසීගිය ෆ්‍රෙඩී සිල්වා මහත්තයා ය.සින්දුව ලියලා සංගීතේ එහෙම දාලා තියෙන්නේ නැසීගිය ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයා ය.

සින්දුව අහලා කොමෙන්ට් එකක් දෙකක් දාන්ඩ හොඳේ.කට්ටියගේ බ්ලොග් බැලුවේ නැතුවට සමාවෙන්ඩ.මේ දවස්වල ජීවිතේ එපා වෙලා ඉන්නේ.මේ මගුල ඉවර වෙච්ච ගමං ආයෙත් බ්ලොග පරණ විදිහට දුවවන්ඩ ඉන්නේ.ලබන සතියේ තවත් එක විභාගයක් බොලව්.මම එහෙනං යනවා නාගන්ඩ.දාඩියයි දෙයියනේ!!!




11 April 2013

ඔන්නොහේ හිනා වෙමු අනේ!!!




අන්තර්ජාලේ කියන එක පටං ගත්ත සහ සාමාන්‍ය මිනිස්සු ඒක පාවිච්චි කරන්ඩ ගත්ත දා ඉඳං ඒක වැල එහෙම නැත්තං පෝර්න් වලින් පිරෙන්ඩ ගත්තා.ඒ වගේම අධ්‍යාපනේට වැදගත් කියලා ඉන්ටර්නෙට් අරගෙන කට්ටිය ෆේස්බුක් යනවා ඇරෙන්ඩ කළාතුරකින් නේ ඔය කියන ඊනියා අධ්‍යාපන කටයුත්තකට ජාලේ පාවිච්චි කරන්නේ.ඇත්තටම මට හිතාගන්ඩ බෑ මේ හැම වෙඩින් එකකටම පස්සේ, හැම ට්‍රිප් එකකටම පස්සේ ෆේස්බුක් කට්ටියගේ දත්ත ගබඩා පිරෙන පිරිල්ලට මොකක් හරි අලුත් දත්ත ගබඩා ක්‍රමේකට යන්නැතුව මේක පවත්වගෙන යන්නෙ කොහොමද කියලා.ඇයි දෙයියනේ ඕවා කොහේ ගබඩා කරලා තියාගන්ඩද?

කොහොම වෙතත් මම උනත් බොහොම කළාතුරකිං තමයි අධ්‍යාපන කටයුත්තකට ජාලේ පාවිච්චි කරන්නේ.ජාලෙ මට වැදගත් වෙන්නේ රසවින්දන මාධ්‍යයක් විදිහට.චිත්‍රපටි එකක් දෙකක් මාසෙකට බලා ගන්ඩ, ටීවී සීරීස් එකක් බාගෙන බලන්ඩ වගේම මගේ අවධානය යොමු වෙන මොනවා හෝ විශය කරුණක් ගැන කියවන්ඩ ජාලේ හරිම ප්‍රයෝජනවත්.මම බ්ලොග් බැලුවට බ්ලොගක් ලිව්වට ෆේස්බුක් හෙවත් මූනුපොතේ නං ඇත්තේ නෑ.මාස දෙකක් තුනක් විතර මට මතක විදිහට මූනු පොතේ සැරිසරපු මට ඒක එපා වෙලාම ගියා.මෙලෝ වැදගත්කමක් ඇති තැනක් නෙමෙයි.කවුරුහරි අපි දන්න එකෙක් දානවා ඌට දවස් පහකට පස්සේ බඩ බුරුලට මළපහ උනා කියලා.එතකොට උගේ යාළුවෝ ඔක්කොම ඇවිත් ලයික් කරලා යනවා.'ලොල්' කියනවා.කවුරු හරි කෙල්ලෙක් කොහෙ හරි ගිහිං ගත්තු ෆොටෝ එකක් දානවා.හැමෝම ඇවිත් 'අනේ මේකෙ ඔයා හරි හැඩයි' කියනවා.එතකොට ඒ කෙල්ලත් 'ඇයි යකෝ අනිත් ඒවයේ මම කැතද?' කියලා අහන්නැතුව 'තැංකූ..........අනේ...' කියලා රිප්ලයි කරනවා.මොකෙක් හරි එකෙක් ලව් එකක් පටං අරං 'ඉන් අ රිලේශන්ෂිප්' කියලා දානවා.හැමෝම ඇවිත් ගුඩ් ලක්ද අරකද මේකද කියලා සුභපතනවා.ටික දවසකින් අරූ අර දාපු එක වෙනස් කරනවා 'ඉට්ස් කම්ප්ලිකේටඩ්' කියලා.කවුරුත් මොකුත් කියන්නෑ.හැබැයි කැන්ටිමෙයි අතනයි මෙතනයි හැමතැනම හොරාට කතාවෙනවා.ඊට පස්සේ අරූ අරක වෙනස් කරනවා 'සිංගල්' කියලා.කට්ටිය මොකුත් නොකියා බලං ඉන්නවා ඌ ආයෙත් 'ඉන් අ රිලේශන්ෂිප්' කියලා දානකං ආයෙත් සුභපතන්ඩ.

බ්ලොග් ඒ අතින් වෙනස්.ලියන කියවන පිරිස ටිකක් හිතන මිනිස්සු ටිකක්.ඒ හින්දා බ්ලොග් ලෝකේ තාම මට අල්ලලා ගිහිල්ලා තියෙනවා.


පොර්න් ගැන මගේ මතය පස්සේ දවසක වෙනම ලිපියකිං ලියන්ඩ හිතං ඉන්නවා.මම මේ ලිපියෙන් කියන්ඩ හදන්නේ මම අන්තර්ජාලයෙන් ලබාගන්න වැදගත්ම සේවය ගැන.ඒ තමයි හාස්‍යය.ඇත්තටම මම අනිත් දේවල්වලදි පොරක් නොවුනට මගේ හාස්‍ය රසවින්දන හැකියාව ගැන මම ආඩම්බරයි.මම හිතං ඉන්නවා මට හොඳ හාස්‍ය රසඥතාවයක් තියෙනවා කියලා.ඒක පෘතග්ජන මිනිස්සුංගේ හැටිනේ නේද?.තමුන්ට මොකක් හරි පුළුවං කියලා ඇඳගෙන ඉන්නවා විතරක් නෙමෙයි අනිත් උන්ට ඒක බෑ කියලා බණින එකත් කරනවා.මාත් ඉතිං පෘතග්ජනයෙක් විදිහට එහෙමම තමයි.

දැං මේ හාස්‍යය කියන දේ එක එක විදිහට උපද්දවන්ඩ පුළුවං.අපේ සිංහල සිනමාවේ නිතරම දකින්ඩ ලැබෙන 'බඩ අල්ලං හිනාවෙන්ඩ, පවුලේ සැමට රස සාගරයක්' කියලා ප්‍රදර්ශනය කරන චිත්‍රපටිවල තියෙන වැටෙන පෙරලෙන ඒවා හරහා හාස්‍ය ඉපැද්දවීමට උත්සාහ කරන ඒවා මම දාන්නේ 'මෝඩ ජෝක්' කියන කාණ්ඩය යටතට.එතකොට ඔය 'කොමඩි' කියන කාණ්ඩය යටතේ එන අඩු වියදම් බටහිර චිත්‍රපටිවල තියෙන අසූචි, මුත්‍ර සහ ශුක්‍ර හරහා හාස්‍යය මතුකරවන්ඩ හදන ජුගුප්සාජනක ඒවා 'ඩර්ටි ජෝක්' කියන කාණ්ඩයට අයිති වෙනවා.ඔය කියන ඒවාට අමතරව මිනිස්සුංගේ මුග්ධ ක්‍රියාවන් උපුටා දක්වමින් ඒවා සියුම් උපහාසයට ලක් කරන නිර්මාණශීලී 'සිරා ජෝක්' කියලා කාණ්ඩයකුත් තියෙනවා.ඒවා හරිම සීමිතයි.මොකද ලෝකේ බහුතරයක් මිනිස්සු නිර්මාණශීලී නැති හින්දා.විශේෂයෙන්ම හාස්‍යය සම්බන්ධව.ඕනේම කලා ක්ෂේත්‍රයක් අරගෙන බලන්ඩ.හිනාව උපද්දන්ඩ පුලුවන් නිර්මාණ අතළොස්සක් විතරක් තියෙද්දි අඬවන නිර්මාණ වැහිවැහැලා.හස්‍යෝත්පාදක පොත් කීයද තියෙන්නේ? සින්දු කීයද තියෙන්නේ? චිත්‍රපටි කීයද තියෙන්නේ? ටෙලි නාට්‍ය කීයද තියෙන්නේ? මම කියන්නේ සාර්ථක වෙච්ච ඒවා.හැබැයි අඬන ඒවා, සීයට අනූ නමයක්ම තියෙන්නේ අඬන ඒවානේ.

උපහාසය ගැන කියද්දි උපහාසය අපහාසයෙන් වෙනස් වෙනවා කියලත් කියන්ඩ ඕනැ.අපහාසය නිර්මාණශීලී නෑ.මම උනත් ගොඩ වෙලාවට අපහාස කරනවා මිසක් උපහාසය මතුකරගන්ඩ දන්නේ නෑනේ.බලමුකෝ කවදා හෝ සියුම් උපහාසයේ කෙළ පැමිණීමයි මගේ ඒකායන පරමාර්ථය.බලමුකෝ ලංකාවේ අපි උපහාසයේ ඉහළට ආවා කියලා දැනගන්ඩ එක නිර්ණායකයක් තියෙනවා.ඒ තමයි හාස්‍ය නිර්මාණයක් දේශපාලකයෙක්ගේ චරිතයක් ගාවගන්නැතුව කිරීමේ හැකියාව.

හරි දැං එහෙනං කට්ටියට මම ජාලේ බලන මේ හාස්‍යෝත්පාදක නිර්මාණ එකින් එක කියන්ඩයි හදන්නේ.කට්ටිය වැල බලන එක ඩවුන්ලෝඩ් කරන එක මේ මාසෙට අඩු කරලා මේ එකෙක් දෙකක් බලලා හොඳ නරක කියන්ඩ බලන්ඩ.මේවයිනුත් ලේ පිරිසිඳු වෙනවා කියලනේ කියන්නේ.ඔය කිව්වට ලේ පිරිසිඳු වෙන්නේ නෑ හොඳේ.එහෙම පිරිසිඳු වෙනවා නං ඩයලයිසිස් කරන්නැතුව වකුගඩු නරක් වෙච්ච ලෙඩ්ඩුන්ට විහිළු කතා කිය කිය ඉන්ඩ තිබ්බනේ.ලේ කෙසේ වෙතත් මනස නං පිරිසිඳු වෙනවා.

මේ දවස්වල මගේ තේරීමට අනුව අංක එකට ඉන්නේ 'ජෝර්ජ් කාර්ලින්' මහත්තයා.ඒ මහත්මයාගේ නිර්මාණ මම දකින්නේ 'දාර්ශනික විහිළු' විදිහට.ඔහුගේ භාෂා ශක්‍යතාව සහ කතාකරන මාතෘකාව පිළිබඳ දැනුම තමයි ඔහුගේ විශේෂත්ව විදිහට මම දකින්නේ.

මේ ඔහු ලෝකය සුරැකීමට වෙහෙසෙන්නන් ගැන කතා කරන කෙටි වීඩියෝව.



'රෝවන් ඇට්කින්සන්' මහත්මයා හෙවත් හැමෝම දන්න 'මිස්ටර් බීන්' කියන්නෙත් මගේ ප්‍රියතම චරිතයක්.බීන් චරිතයට අමතරව ඔහු වේදිකාවේ දැක්වූ සජීව රංගන කීපයක් මට සෑහෙන්ඩ අල්ලලා ගියා.රෝවන් ඇට්කින්සන් මහත්මයාගේ විශිෂ්ඨම හැකියාව විදිහට මම දකින්නේ සාත්වික අභිනය හෙවත් මුහුණේ භාව ප්‍රකාශන හැකියාව.ඒ මනුස්සයා රඟපාද්දි මූන විතරක් දැක්කම සම්පූර්ණ අවස්ථාව ගැන අවබෝධයක් ගන්ඩ පුළුවං.අනිත් දේ තමයි ඉතා සුළු ආංගික අභිනයන් මඟින් රංගනයට ලබාදෙන තාත්වික බව.

ඔහුගේ මේ නිර්මාණයේ බලන්ඩ මනුස්සයෙක්ගේ නමක් වගේ ඉතා කුඩා කරුණක් පාදක කරගෙන කොච්චර හොඳ නිර්මාණයක් කරන්ඩ පුළුවන්ද කියලා.


මේ වීඩියෝවනං මගේ හුඟක් මිත්‍රයෝ බලලා තිබුණත් බ්ලොග් බලන කාටහරි මිස් වෙලා තිබුනොත් කියලා ඒකත් ඔන්න ඔහේ දාන්නං.ඩ්‍රම් සෙට් එකක් නැතුව රෝවන් ඇට්කින්සන් ඩ්‍රම් ගහන හැටි.බලන්ඩ චලනයන් කොච්චර හොඳට පාලනය කරනවද කියලා.



ඒ වගේම ඔහු ඉදිරිපත් කරන මේ අඳ, ගොලු, බිහිරි යාලුවො තුන්දෙනාගේ මරණය ගැනත් බලලම ඉන්ඩ.



ඊළඟට මම කියන්නේ ජෙෆ් ඩන්හැම් මහත්තයා ගැන.මේ මහත්තයාගේ විශේෂත්වය තමයි අත් රූකඩ සමඟ තමුන්ගේ නිර්මාණය ඉදිරිපත් කිරීම.ඔහුගේ විශේෂත්වය තමයි කට හොලවන්නේ නැතුව රූකඩයට හඬ කැවීම සහ තාත්වික සජීවී සංවාදයක් රූකඩය සමඟ පවත්වාගෙන යෑම.ඒ වගේම ඔහු සතුව රූකඩ චරිත කීපයක්ම ඉන්නවා වගේම ඒ එක් එක් රූකඩයට ආවේනික හඬක් සහ කතා ශෛලියක් ඔහු පවත්වාගෙන යනවා.මේ පළවෙනි වීඩියෝ එකත් කට්ටිය ගොඩක් දෙනා දැකලා ඇති.ඒත් බලන්ඩකෝ 'අක්මෙඩ්' කියන මරාගෙන මැරෙන බෝම්බකාරයා සමඟ ජෙෆ්ගේ සංවාදය.


මේ ඊළඟ වීඩියෝ එකේ අක්මෙඩ්ගේ පුතත් සෙට් වෙනවා සංවාදෙට.බලන්ඩ ජෙෆ් රූකඩ දෙකටම හඬ කවමින් සංවාදය ගෙන යන විදිහ.පට්ටයි ඈ.




කට්ටිය හවුස් එම් ඩී කියන ටීවී සීරීස් එක බලනවද? මෙඩිසින් කරන කට්ටියනං බලනවා.ඒ නැතත් ඉතිං බලනවනේ.අන්න ඒකේ ග්‍රෙග් හවුස් කියන චරිතයට පණ පොවන හියු ලෝරි මහත්මයත් විකට නළුවෙක් කියලා දන්නවද? මේ වීඩියෝ එකේ ඔහු අපිට ආරක්ෂිත ලිංගික එක්වීමකට සුදුසු ඉරියව් හඳුන්වා දෙනවා.රෝවන් ඇට්කින්සන් මහත්තයත් දායක වෙනවා රංගනයෙන්.




තමුංගේ ඩේටා ඉවරවෙයි කියලා මේ එකක්වත් බැලුවේ නැතත් මේ තත්පර හතලිහක් විතර දිග මේ සින්දුවනං අනිවාර්යයෙන්ම අහන්ඩ.




ඒක කියන්නේ මෙන්න මෙයා.



එහෙනං දැං නිදිමතයි.විහිලුත් ඉවරයි.මම ගියා නිදාගන්ඩ.කට්ටියට ෂුභ අනාගතයක්!!!