Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

16 June 2020

කෙටි සටහනක්








ඇමරිකාව ගිණි අරං. කල්ලො දෙන්නෙක් පොලීසියෙන් මරලා. එංගලන්තෙත් කට්ටියක් ගහගෙන. කලු ජීවිත වැදගත්ලු. එතකොට අනිත් ජීවිත වැදගත් නැද්ද? සුද්දො අපේ රටට ඇවිල්ලා අපිට පෙන්නලා දුන්නා අපි හරි අශිෂ්ටයි, දුෂ්ටයි, මෝඩයි කියලා. අපිත් ඉහ උඩින් ඒක පිළිගත්තා. සුද්දා අපිට උංගේ ඇඳුම් දුන්නා. රෙදි සරං ඇදපු අපි සුද්දගෙ ගවොම් කලිසංවලට බැස්සා. කිහිලිවලින් දාඩිය උතුරද්දි, තට්ටම් දෙක මැද්දෙං පහලට දාඩිය කාන්දු වෙද්දි මේ උෂ්ණාධික නිවර්තන රටේ අපි සුද්දගෙ ඇදුම් ඇදලා ටයි එකත් දානවා. එහෙම නොවුනොත් ගොඩයලු. රටේ ප්‍රධාන බෞද්ධ පාසලේත් අඳින්නේ කලිසං කමිස. උත්සව දවසට ටයි දාලා කෝට් දානවා. ඇහුම කියන්නේ ජාතියේ මුර දේවතාවො කියලා. රෙද්ද තමයි.

නොක්ස්ගේ පොතේ විතරක් නෙමෙයි සීගිරියේත් ඉන්න උඩුකය නිරුවත් ගෑනු අසීලාචාරයි කියලා අපිට කියපු සුද්දියො දැං ටොප්ලස් යනකොට අපේ ගෑනු හූල්ලනවා. අමුඩේ ගොඩේ සීන් එකක් වෙද්දි "තොං ජංගි" පොෂ් ඒවා වෙනවා. ඒවා සෙක්සිනේ මෙයා.

කවුරුත් නැද්ද ඇමරිකාවෙයි එංගලන්තෙයි ප්‍රංශය ඇතුළු අනිත් රටවල්වලයි ඉන්න කලු ඩයස්පෝරාවට නිජභූමියක් ඉල්ලලා සටන් කරන්ඩ කියන්ඩ. ප්‍රංශේ උද්ගෝෂණ තහනං කළාට මැක්‍රේන් විදුලිපුටුවට යයිද? එංගලන්තේ සහ ප්‍රංශයේ ඉන්න දෙමළ ජනතාවට පුළුවන් කල්ලන්ට පන්ති කරන්න. ගරිල්ලා සටන් ක්‍රම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, සයනයිඩ්, ළමා සොල්දාදුවො. පස් අවුරුදු නේවාසික පාඨමාලාවක් කරන්ඩ වෙයි ඔක්කොම කියලා දෙන්ඩ නං. අන්න ඒගොල්ලො පටං ගත්තම අපිටත් පුලුවං මෙහෙ ඉඳං මානව හිමිකම් ගැන කතා කරන්න. 

කල්ලො නිකං හැසිරෙන්නේ උන්ට අසාධාරණයක් උනා වගේ. දැං ලෝකේ ට්‍රේන්ඩ් එක යන්නේ සුළු ජාතීන් මහ ජාතිය යටපත් කරගෙන ඉන්න විදිහේ ක්‍රමයක්. කල්ලො ගාවදි සුද්දො හැසිරෙන්න ඕනේ පරිස්සමෙන්. වචනයක් වැරදුනොත් සොරි තමයි. දෙවෙනි කල්ලට පොලිස්කාරයා වෙඩි තියන්නේ කල්ලා පොලිස්කාරයගේ ටේසර් තුවක්කුව උදුරගන්න නිසා. ඒ වෙලාවට පොලිස්කාරයා මොකද කරන්න ඕනේ. මෛත්‍රිය වඩන්නද? ලංකාවෙත් වෙලා තියෙන්නේ ඕක තමයි. වැරැද්දක් කරපු එකෙක්ට විරුද්ධව කතා කරන්න බයයි. ජාතිවාදී හංවඩු ගැහෙයි කියලා. එක රටක් එක නීතියක් ගැන කතාකරපු රතනට මොකද උනේ?? තුනෙන් දෙක එනකං ඉන්නවද? අන්තිමට තුනෙන් තුනම නැති වෙයිද? ස'ර් කොරයිද? තාමනං කොරේ නෑ. හිටං වගේම දහයට දොයියන සීන් එකක් තියෙන්නේ.

ත්‍රීවීල් සංගමේ ලොක්කා ගහලා මරලා. ඒ ගොනා ප්‍රශ්නේ විසඳගන්න පොලීසියට, උසාවියට යන්නේ නැතුව තනියෙන් මොන ලබ්බක් කරන්නද ගියේ? බීලා නේද හිටියේ? බිව්වම බලු කුක්කොත් පොරවල් වෙන්ඩ බලනවා. බීලා හිටපු එකෙක්ට මොනවා උනත් කාටවත් වගකීමක් ගන්ඩ බෑනේ. ඔය බේබද්දො දෙන පොර ටෝකක් තමයි බීලා හිට්පු වෙලේ කළේ මොකක්ද කියලා මතක නෑ කියන එක. පට්ට බොරුනේ. හොඳට බීලා ඉන්න එකෙක්ගෙං සල්ලි ටිකක් ඉල්ලගෙන බලන්ඩ. ඕකුන්ට හොඳට මතකයි. බේබද්දෝ, කුඩ්ඩෝ, අපචාර කාරයෝ කොච්චරක්නං ඉන්නවද? "බේබදු ජීවිත වැදගත්" කියලා සටන් පාඨයක් ගේමුද?



06 May 2020

කොණ්ඩ රැවුල් සහ මුහුණු සායම්

  
 
ඉස්කෝලේ යන කාලේ අපෙන් වෙලාවට එන එක. වෙලාවට යන එක, වෙලාවට කන එක, "එක්ස්කියුස් මී" කියලා චූ දාන්න යන එක වගේ දේවල් අපේක්ෂා කළා වගේම බොහොම තද බල විදිහට බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හරි ගානට කොණ්ඩෙ කැපිල්ල. මේක කොහෙත්ම සුළු කොට තකන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මහින්ද එන්ඩ කිව්වම යන්ඩ බෑ කියලා කට්ටියක් තීරණේ කළාට රැස්වීමෙදි කොණ්ඩෙ වැරදියට කපලා තිබ්බ එකෙක්ට ශිෂ්‍ය නායකයෙක් හරි ගුරුවරයෙක් හරි ළඟට කතා කළොත් නොගිහින් ඉන්ඩ බෑ. යන්ඩම වෙනවා. නැත්තං ඉතිං "එක්ස්කියුස් මී" කියන්ඩත් කළිං කළිසමේ චූ යන්ඩ පුළුවං. අපිව ඇති දැඩි කළේ අන්න එහෙම එළිමහන් සිර කඳවුරක තත්ත්ව යටතේ.

මෙතන ලොකුම ගැටළුව වෙන්නේ පාසලේ කොණ්ඩය සම්බන්ධයෙන් තියෙන නිර්ණායක කොල්ලන්ගේ මනසේ තියෙන කෑල්ලක් සැට් කරගත හැකි කොණ්ඩා විළාසිතා එක්ක එකට නොයෑම. මස්තිෂ්කයෙන් වෙනුවට ශිෂ්ණ මුණ්ඩයෙන් හිතන පතන ඔය වයසෙදි රැස්වීමෙදි හෝ ඉස්කෝලෙට ඇතුළු වෙන ගේට්ටුව ළඟදි ගුටි කෑමට හෝ අවඥාවට ලක් වීමේ අවධානම අරගන්ඩ කොල්ලො පෙළඹෙනවා. කොච්චර වයසට ගියත් ශිෂ්ණයෙන් විතරක් හිතන පතන උන් ඉන්න රටක අර කොල්ලන්ට වැරැද්දක් පටවන්න බෑනේ. ඉතිං කොල්ලො කාලෙන් කාලෙට එන විලාසිතා අත් හදා බලනවා. පස්සේ ඉස්කෝලෙදි අහු උනාම එක්කො ඉස්කෝලෙ ඉස්සරහා සැලුන් එකේ අයියට සල්ලි දීලා විජයග්‍රාහී දෙවන හිස බෑමත් කරගන්න වෙනවා.එහෙම නැත්තං ඔළුව වටේ වැඩිපුර අඩු වෙලා මුදුනේ විතරක් කොණ්ඩේ වැඩි වෙලානං අඟුරු හරි සපත්තු පොලිෂ් හරි ගාලා වැරැද්ද වහගන්න උනුත් ඉන්නවා. ගෙදර අක්කගේ ඇහිබැම පාට කරන පැන්සල හොරකම් කරලා ඔළුව වටේ උලාගෙන අක්කලාගෙන් ගුටි කාපු උනුත් නැතුවා නොවේ.

අපේ ගුරුවරුන්ට අනුව පුද්ගලයෙක්ගේ ශිෂ්ඨභාවය මැණ බැලෙන ප්‍රධානම සාධකය වන්නේ කොණ්ඩය කපා ඇති ආකාරයයි. ඔබ පොරක් විය හැක. ඉගෙනීමේ අති දක්ෂයෙක් විය හැක. අවංකයෙක් විය හැක. කාර්යක්ෂම විය හැක. ඒ මොනවා උනත් කොණ්ඩය නිසි පරිදි කපා නැත්නම් ඔබ අසික්කිත අවලමෙකි. පාසලට අගෞරවයකි. දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කිරීමට උපන් සල්ලාලයෙකි, කුඩ්ඩෙකි. කොටින්ම ඔබ නවතින්නේ එල්ලුම් ගහේ හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටීමෙනි. නැතිනම් බල්ලෙක් බළලෙක් මෙන් පාරේ වෙඩි කා මිය යාමට සිදුවේ. (පාරේ වෙඩි කා මැරී වැටී සිටින බල්ලන් හෝ බළලුන් ඔබ දැක නැති බව කීමෙන් හෝ පාරේ බල්ලන්ට සහ බළලුන්ට වෙඩි තැබීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුටවත් නැතැයි පෙන්වා දීමෙන් හෝ ඔබට සහනයක් ලැබෙන්නේ නැත.). කොටින්ම අයින්ස්ටයින් අපේ පාසලට පැමිණියහොත් කොණ්ඩය කපාගෙන ඒමට නැවත හරවා යවනවා ඇත. ඒ ද පිට්ටනිය වටා වට පහක් දුවවා, මැද මිදුලේ තණකොළ ගලවා සුද්ද කිරීමට යෙදවීමෙන් පසුවය.

රැවුල පිළිබඳ අමිහිරි අත්දැකීම් ලැබුවේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමෙන් පසුවය. පීඨයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලද පළමු උපදෙස වූයේ " මල්ලි උඹලා කොණ්ඩේ පිළිවෙලට කපලා රැවුල කපලා පලයල්ලා ලෙක්චර්ස් යනකොට හරිද? ක්ලිනිකල් යද්දි ගොඩක් පරිස්සම් වෙයල්ලා. කොන්සෝ ඕවා හරියට බලනවා හරිද." කොන්සා යනු කන්සල්ටන්ට් යන්න කෙටි කිරීමෙන් සාදාගන්නා ගෞරවාර්ථ පදයකි.

"අයියේ පොයින්ට් එක පොඩ්ඩක් තිබ්බට අවුලක් නැද්ද?"

"මොකෝ උඹට මේකෙන් පාස් වෙලා යන්ඩ ඕනේ නැද්ද?"

 රැවුලක් වැවීම යනු ජාතික අපරාධයක් බව තේරුම් ගත්තේ එදාය. විටින් විට වාට්ටුවල සායනික පුහුණුව අතරතුරදී මේ බව නැවත නැවතත් මතක් කර දීමට විශේෂඥ වෛද්‍යවරු උත්සුක වූ බව සදහන් කළ යුතුය.

"බලනවා තමුසෙගේ හැටි. ඩොක්ට කෙනෙක් උනාම වැදගත් විදිහට ඉන්ඩ ඕන. වැද්දො වගේ ඉඳලා අපිටත් එක්ක ලැජ්ජ කරවන්ඩද හදන්නේ? " 
කොන්සා ඉංග්‍රීසියෙන් බණින විට හිත රිදෙන්නේ නැත්තේ තේරෙන්නේ නැති නිසාය. පස්සේ පපුව පැළෙන්න එන්නේ රැවුල කපලා නැති එකෙක් නිසා මුළු ශිෂ්‍ය කණ්ඩායමටම උගන්නන්නේ නැතිව එළවා දැමීම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූ කෙල්ලන්ගේ ඇනුම්පද ඇහුවාමය. උන්ට අනුව එක දවසක විශේෂඥ වෛද්‍යවරයාගේ පන්තියක් මග හැරීම නිසා ඔබට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ ශක්‍යතාව නැති වී ගොස් අනාථ වී යනු ඇත. උපාධිය අසමත් වී නැවත ගමට යෑමට නොහැකි නිසා කෝච්චියට පැනීමට සමහරු යෝජනා කළහ. සමහරු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට සැළසුම් කළහ. ගමේ කොල්ලාට බූට් එක තියා කැම්පස් එකේ එකෙක් එක්ක සෙට් වුනු කෙල්ලෙක් නැවත ගමට ගොස් අරූව ෂේප් කරගෙන ඌව බැඳගෙන ජීවත් වන හැටි ගැන සිහින මැවූහ.

කාන්තා සැලූන්වල අක්කලාගේ සහ පොඩ්ඩක් විතර අයියලාගේ වික්‍රම ගැන තේරුම් ගත්තේ පසු කලක දීය. නවදැලි හේනේ දා ගිය වැඳිරි මෑල්ලන් පවා ජැකලින් ෆර්නැන්ඩස්ලා වගේ වෙස් ගන්නන්නට හැකි බවත් කච්ඡපුට අතට ගත් තලිය කටුවකින් සූරා බලා රන් තලියක් බව හඳුනා ගත්තේ යම්සේද ගැහැනියක් හඳුනා ගන්නටද මුහුණ සූරා බලන්නට වෙන බවත් පසු කාලීන අත්දැකීම්වලින් අවබෝද විය. එන්ජින් බාස්ට වඩා පේන්ට් බාස්ගේ වැඩවල වටිනාකම තේරුම් ගන්නා විට එන්ජින් බාස් කෝස් එක සෑහෙන දුරට අවසන් කර හමාරය. අඩුවෙන් මහන්සි වී වැඩියෙන් හම්බ කරන්නට තිබ්බ චාන්ස් එක මිස් විය. 

මිනිස් ජීවිතවලට එතරම් වැදගත් වන්නා වූත් මිනිසා මිනිසෙක් ලෙස පැවතීමට උරදෙන්නා වූත් ක්ෂේත්‍රයක පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිණිය ගත් කාලෝචිත වූ කඩිනම් තීරණය එනම්, රූපලාවන්‍යාගාර ලෙස මීඩියාවල හඳුන්වා දෙන සැලුන් හෙවත් බාබර් සාප්පු නැවත විවෘත කිරීමට ඇය ගත් තීරණය ඉහළින්ම අගය කරමි. මීටරයේ දුර පවත්වාගැනීමටත් හැමවිටම මුඛ ආවරණ පැළඳීමත් සේවාලාභීන් මෙන්ම ශිල්පීන්ද දැඩිව අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඔය ගමන්ම "දෙවෙනි ඉණිමේ" ඉතුරු ටිකත් රූපගත කිරීමට අවසර දෙන්නේ නම් ජන ජීවිත පරිපූර්ණ වනු ඇත.

ඉස්තූතියි!!!



03 May 2020

ඉස්කෝල කතා



මේ කොරෝනා අස්සේ ඔන්නොහේ ගෙදෙට්ට වෙලා වගාවක් කරං ඉන්න අයට කියවන්ඩ පරණ ඉස්කෝලේ කතාවක් කියන්ඩ හිතුවා. මේවා මට වෙච්ච දේවල් නොවන වග කරුණාවෙන් කියන්ට ඕනෙ. මොකෝ මම ඉස්කෝලේ හිටියේ ජීව විද්‍යා පන්තියේ හෙවත් අනිත් එවුන්ට අනුව කන්‍යාරාමය හෙවත් කොන්වන්ට් එකේ නිසාත්, ඒ කන්‍යාරාමයේ කියන්ඩ තරං වැදගත් දේවල් සිද්ද නොවෙච්ච නිසාත්, මට සිද්ද වෙලා තියෙනවා අනුංගේ කතා හොරාකාලා මගේ වගේ ලියන්ඩ. මගේ වගේ ලියන්ඩ වෙන්නේ වෙන එකෙක්ගෙං අහගත්තු කතා කියද්දි අගට දාන "ලු" කෑල්ල දැම්මම කතාවේ රසය අඩුවෙලා කතාව නිකං කරපිංචා නැති කිරි හොද්ද වගේ වෙන නිසා. (කොරෝනා අවු අස්සේ ගෙදර කරපිංචා ඉවර වෙලා.හදිස්සියේ වවන්ඩයැ.)

ඔන්න මේ සීන් එක සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ වාණිජ අංශයේ එහෙම නැත්තං කොමස් එකේ.

කොමස් එකේ උං ඔය විද්‍යා දිනය, කලා උළෙල වගේ "කොමස් ඩේ" එකක් ලෑස්ති කළේ වෙන දේකට නෙමෙයි කෙල්ලො ටිකක් ඉස්කෝලේ ඇතුළට ගෙන්නගෙන තමුංගේ වැඩ පෙන්නන්න. කෙටියෙන් කිව්වොත් පොරත්වය පෙන්නලා කෑල්ලක් සෙට් කර ගන්න. ඇයි ඔය වැඩේ සංවිධානය කරන අස්සේ හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙන් පනින්නත් ඇහැකි.

ලොකුම සීන් එක තමයි කෙල්ලන්ගේ ඉස්කෝලවලට රිංගන්න ඇහැක් වීම. ආරාධනා පත්‍ර දෙන්න ඊට පස්සේ ඒ ඉස්කෝලෙන් උත්සවේට මොනවා හරි අංගයක් ඉදිරිපත් කරනව නං අන්න ඒ කෙල්ලෝ සෙට් එකෙං එකක් බා ගන්ඩ චෑන්ස් එකක් වදිනවා. මොකද සම්බන්ධීකරණ කටයුතු කරන්ඩ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්ඩ වෙනවනේ. ගොඩක් වෙලාවට ඉතිං වැඩේ ගොඩ යනවා. අනික ඔය කෙල්ලෝ පාරේ යද්දි ලොකු ලයින් එකෙන් ගියාට උංගේ ඉස්කෝලෙකට ගියාම තමා හැබැ ස්වරූපේ පේන්නේ. කොල්ලො දෙතුන් දෙනෙක් ඉස්කෝලෙ මැද්දෑවෙන් ඇවිදං යද්දි කූඩුවල දාපු මාර දූතිකාවෝ වගේ අර කොට බිත්තිය උඩින් ගහල තියෙන කම්බි දැලේ එල්ලිලා පෙරේත බැල්ම දානවා. "සූ සූ" ගානවා. විසිල් ගහනවා. එක කෙළියයි.

මේ මරඟන රැගුම් බලලා ආපහු කොල්ලො ටික තමුංගේ ඉස්කෝලෙට යන්නේ ස්ටාලින්ග්‍රාඩ්වලිං නාසි හමුදාව එලවලා ගෙදර යන සොල්දාදුවෝ වගේ. ගමනට සෙට් වෙන්ඩ බැරි වෙච්ච උන්ට මුං දැකපු අහපු දේවල් කියන්නේ අතිං පයින් ලුණු ඇඹුල් යහමිං දාලා නිසා ඇත්තටම වෙච්ච දේ අනිත් කාටවත් දැනගන්ඩ විදිහක් නෑ.

"පට්ට කෑල්ලක් හිටියා බං දැලේ එල්ලිලා අපි දිහෑ කන්ඩ වගේ බලාගෙන. එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙ තනේ මිරිකලා දිව්වනේ බං. කෙල්ලෙක් හිටියා බං පඩිපෙලක වාඩි වෙලා. ඔක්කොම එළියේ. ජංගිය රෝස පාට එකක්. කෙල්ලෝ දෙන්නෙක් ආවා ටොයිලට් එකේ ඉඳං එකියෙක්ගේ ඇස් උඩ ගිහිල්ලා, අනිත් එකී මූන පිහදදා ආවේ, ෂුවර් එකටම ආප්පයක්."

මේවා පච කියලා දන්නවා උනත් කවුරුත් මේවා නිවැරදි කරන්ඩ යන්නේ නෑ. ඒවා හිතෙං මවාගෙන රස විඳිනවා. තලු මරනවා. "අනේ පලයං ඩෝ බොරු නොකියා" කියලා අනිත් උංගේ ආතල් කඩන්නෑ.

ඔන්න උත්සවේ දවස ආවා. කට්ටිය උදේ ඉඳං වැඩ. කරන ඇති වැඩකුත් නෑ. නොකරන දෙයකුත් නෑ. පස්ස කැඩිච්ච කඩියෝ වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. හෙනම සීන් එකෙන් ඉන්නේ එන කෙල්ලොංව හසුරුවන්ඩ බාරදීලා තියෙන උන් ටික. අත් දිගට දාලා ටයි දාලා, කොණ්ඩෙ පීරලා, පොළව මට්ටමට ඩිංගක් විතර ඉහළිං පාවෙනවා. උංගේ හීනේ උත්සවෙං පස්සේ හිස් පන්ති කාමරේකට  ගිහිං කන්‍යාභාවය අහිමි කර ගන්ඩ. පව්. ඒ දවස්වල අපිට තිබ්බ හීන.

බරපතලම වැඩේ බවලත් උදවියට වැසිකිළි පහසුකම් සපයන එක. පිරිමි පාසලක වැසිකිළි කොයිවගේද කියලා අමුතුවෙන් කියන්ඩ උවමනාවක් නෑ මගෙ හිතේ. කවුරුත් දන්නවා.අසහනෙන් ඉන්න උන් අසහනේ පිට කරන්නේ කලාවට යොමු වෙලා. ඒ කලාකෘති හැම කලාකෘතියක් වගේම සමකාලින විචාරකයින් අතින් බරපතල විදිහට විවේචනයට ලක් වෙන ඒවා. ඒවයේ සෞන්දර්යය රසවිඳින්න හැමෝටම බෑ. කෙල්ලන්ගේ කලා රසාඥතාවය ගැන පොඩි අවබෝධයක් තිබිච්ච උන් වෙනම තැනක තිබ්බ වැසිකිළියක් තීන්ත ගාලා සුද්ද කරවලා ලෑස්ති කෙරෙව්වා.

හැමතැනදිම වගේ සවුන්ඩ් සෙට් කරන එක ප්‍රොජෙක්ටර් එක චෙක් කරන එක කොම්පියුටරේ අටවගන්න එක සිද්ද උනේ සෙනඟ ශාලාවේ වාඩි උනාට පස්සේ. එක පාරට "ආ............හ්" කියලා මහා සද්දෙන් ගෑනු කටහඬක් ස්පීකර්වලින් ආවා. කොම්පියුටරේ තිබ්බ වැලක් ප්ලේ වෙලා. වෙලාවට ඒක තප්පරෙන් නවත්ත ගත්තා. ප්‍රේක්ෂකාගාරේ කාටවත් ඒක ගානක් ගියේ නෑ. හැබැයි තිරේ පිටිපස්සේ උන්ට එයින් එහා දෙයක් නෑ. සීන් එක එතනින් ඉවරයි. උත්සවේ ගානට ගියා. උත්සවෙන් පස්සේ ආව කෙල්ලෙක්ට අතට අත දී ගත්ත එක තමයි අර කන්‍යාභාවේ නැතිකරගන්ඩ බලං හිටපු උන්ට යන්ඩ පුළුවන් උන උපරිම දුර. සියල්ලෝ සතුටින් විසිර ගියා.

කතාවේ ඉතුරුටික කියන්ඩ කලිං එක චරිතයක් හදුන්වලා දෙන්ඩ ඕනේ. ඒ දවස්වල කොමස් එකේ අංශ ප්‍රධානියා උනේ "ලොක්කා" කියලා කොල්ලො හදුන්වපු ලොකුලියනගේ සර්. සිරා ඩයල් එකක්. ඉගැන්වීමේ පුදුම හැකියාවකුත් තිබ්බා මගේ හිතේ. (මම ඉගෙනගෙන නෑනේ). කොහොම උනත් කොල්ලෝ යනු මොක්කුද කියන එක ගැන බොහොම ලොකු දැනුමක් තිබ්බ ගුරුවරයෙක්. කතාකරද්දි දත් අතරින් හුළං යෑම නිසා විශේෂ උච්චාරණයකින් කතා කළේ. ලොක්කා බල්ලන්ට බයයි කියලා දැන ගත්ත කොල්ලෝ කොමස් එකේ උඩ තට්ටුවට නගින තැන හොරිකඩ බල්ලෙක්ව කොහු ලණුවකින් ගැට ගහගෙන කන්ඩ දිදී තියාගත්ත කාලෙකුත් තිබ්බා.

කොල්ලො අර තල්ලට දිව තියලා "ටොක්" කියලා සද්දේ දාන එකට ලොක්කා කැමතිම නෑ. කොල්ලො ලොක්කා එනවා දැක්කම "ටොක්" ගාලා හැංගෙනවා. එක දවසක් කොල්ලෙක් ලොක්කට කියනවා මෙහෙම.

" සර් මේ කොල්ලො සර්ට "ටොක්"(කටින් සද්දේ දාන ගමං) ගානවා නේද? අපි දන්නවනේ සර් "ටොක්" ගානවට කැමති නෑ කියලා. එහෙම උං සර්ට "ටොක්" ගාන එක හරි නෑනේ සර්. ඕකුන්ට ආයේ "ටොක්" ගෑවොත් දෙන්ඩ ඕනේ සර් ආයේ "ටොක්" ගාන්නැති වෙන්න. මූත් එක්ක එකඟ වෙන්නද නැත්තං මූටත් ගහන්නද කියලා ලොක්කට හිතාගන්න බැරි උනා.

තව කොමස් එකේ හිටියා ලස්සන ගුරුවරියක්. අපේ වයසේ දුවෙක් හිටියට බොහොම තරුණ පෙනුමට හිටියේ. එතුමියත් කොල්ලො ගැන හොඳ අවබෝදෙකින් හිටියා වගේම අති දක්ෂ ගුරුවරියක්.

හරි දැං ආයෙත් පරණ කතාවට යමු.

ඩේ එකෙන් පස්සේ දවසේ කොමස් එකේ හෙනම සාකච්ඡාව. දොර ගාව එකෙක් මුරට තියලා එක පන්තියක උන් අතිශයෝක්තියෙන් කතාව. "අඩෝ පට්ට වැල ඩෝ. ලොක්කගෙයි ****** මැඩම්ගෙයි. ප්‍රොජෙක්ටරෙන්නෙ පෙනුනේ. ලොක්කගේ ***** මෙන්න මෙච්චර විතර ලොකුවට දැක්කේ...... " එකෙක් දැක්කා වගේ විස්තර විචාරයක් දෙනවා. අනිත් උනුත් අරූට මිස් වෙච්ච අලංකරණ දාලා අතුරු කතා එකතු කරලා වර්ණනාතික්‍රාන්ත ගද්‍ය කාව්‍යක් බවට පත්කරනවා. දොරගාව මුරට තිබ්බ එකා තනියම "හිකි හිකි" ගාන්නේ මොකද කියලා බලන කොට තමයි දන්නේ ලොක්කා සෑහෙන වෙලාවක ඉඳං දොර ගාවට වෙලා තමුං කිසිදා අත් නොවිඳි ලිංගික අත්දැකීමක වීඩියෝ සාක්ෂි එකා එකා දිග අරින හැටි අහං ඉඳලා කියලා. ලොක්කා මුරට හිටපු එකාට කට වහං ඉන්න සංඥා කරලා කතාව රස විඳලා.

පන්තියේ කොල්ලො ටික පන්තියෙන් එළියට ගෙනල්ලා දණ ගස්සවලා ලොක්කා නෙළපු නෙළිල්ල අපේ පන්තිවලටත් පෙනුනා.
"අනේ සර් මේ පාරත් හිටලා."
"පාර හිටින්ඩ නෙමෙයි තොපිට පු* පැලෙන්ඩ දෙන්නෙ අද. යකෝ තොපේ දෙමව්පියෝ වගේ ඉන්න ගුරුවරුන්ට නේද තොපි මේ අවලං කතා හදන්නේ"

කතාව ඉවරයි. දැං පසු කතාව.

ලොක්කා කොල්ලන්ට ගැහුවට අමානුෂික විදිහට ගැහුවේ නෑ. වෛරයක් හිතේ තියාගත්තෙත් නෑ. ඒ පන්තියට වෙනසක් නැතුව ඉගැන්නුවා. කොල්ලොත් ඉගෙනගෙන අද රටේ තැන් තැන්වල වැදගත් විදිහට ජීවත් වෙනවා. කොල්ලො ලොක්කව විහිළුවට ගත්තට ගුරු ගෞරවේ නැති උනේ නෑ. කවදාවත් කොල්ලෙක් ගුරුවරයෙක්ට අතක් උස්සල නෑ. පස්සේ කාලෙක විදුහල්පතිතුමාට දූෂණ චෝදනා ආව වෙලාවක ශිෂ්‍යයින්ව උද්ඝෝෂණ සඳහා යොමු කෙරුනේ විවිධ බලවේග මගින්. විදුහල්පතිට කඩේ නොයන ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයින්ව උසිගැන්වුනා. ගුරුගෞරවේ නැති උනා. හොඳ ගුරුවරු ඉස්කෝලේ දාලා ගියා. අසූචි ගොඩක් උනා.

සමහරු හිතයි යකෝ මේ කොල්ලෝ මහ නැහැදිච්ච හැත්තක්නේ කියලා. වයසට යනකොට සිද්ද වෙන ලොකුම අවුල තමයි පොඩි කාලේ හිතපු විදිහ අමතක කරන එක. දෙපාර්ශ්වයම අවබෝධයක ඉන්න තාක් කල් සහ සීමාව නොපනින තාක් කල් හැමෝම සතුටින්.


14 July 2018

ශිංගල්ස් කියන දෙයියංගේ ලෙඩේ



ඔය දෙයියන්ගේ ලෙඩ කියලා කියන ලෙඩ තියෙනවා නේද? ඕවා ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා ජාතියේ ඒවා. නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ලෙඩ හදවන්න දෙයියන්ට අමු කැවිලද? නැත්තං දෙයියංගේ හාල් කැවිලද? මම වැඩ කරන වාට්ටුවේ මාත් එක්ක වැඩ කරන අනිත් එකී ( එකී කියන එක හරි නැති වෙන්න පුළුවං.ඒක කාන්තා විමුක්තියට සබ්බත්තෙට නිගාවක් වෙන්න පුළුවං. ඒ උනත් කරන්න දෙයක් නෑ. මම ඇවිල්ලා මහත්තයෝ නියම ගොඩයෙක්. ඒ කිව්වේ ආයේ ඔය සිරාටත් වඩා හෙන ගොඩයා. ඉතිං ඔය කාන්තා සබ්බත්තේ සදාචාරේ ගැන එහෙමට ගැම්මක් හිතට එන්නේ නෑ.) පුළුවං තරං බලන්නේ වැඩ මග ඇරලා ඉන්න.මේකි ගෙදර ප්‍රශ්න අරවා මේවා කිය කිය ඔක්කොම වැඩ මට දාලා ශේප් වෙන්ඩමයි බලන්නේ. ඉතිං මේකිට ගේමක් අදින්න විදිහක් කල්පනා කර කර හිටියේ මං සෑහෙන දවසක් ඉඳං.

ඉතිං ගොනෝ උඹට තිබ්බනේ ඕකිට හොඳ කුණුහබ්බ දෙක තුනක් කියලා දාන්න කියලා කවුරු හරි වැදගත් මහත්තයෙක් නෝනා කෙනෙක් අහන්න පුළුවං.(ඔය වගේ උපදෙස් වැඩිපුරම දෙන්නේ නෝනලා.මොකද ඔය ෆේස් බුක් එකේ හරි සමාජයක් ඉස්සරහා දොඩවද්දි හරි කාන්තා අභිවුද්දිය, සමානාත්මතාව, කාන්තා විමුක්තිය ගැන දෙඩෙව්වට හිතේ තියෙන කුහක කම එළියට එන්නෙ තනි පංගලමේ කතා කරලා බලද්දි තමයි.) කොහොම උනත් මම කොච්චර ගොඩයා ගැමියා උනත් එහෙම කාගෙ උනත් මූනට කඩං පැනලා ප්‍රශ්න විසඳන්ඩ පුළුවං කියලා මම හිතන්නේ නෑ. බයට කවිද යකෝ කිව්වේ බයට කියලා. බයක් නැත්තෙමත් නෑ තමයි. ඒ උනත් එහෙමයි කියලා බණින්න ඕනේ වෙලාවට නොබැණ ඉන්නෙත් නෑ.

මේකිටත් එක දවසක් ඇද්දා ගේමක්.පස්සේ ඒකිම ඇවිල්ල ශේප් උනා.එක දවසක් මම හවස හතට විතර වාට්ටුවට යනකොට ඇටෙන්ඩන්ලා කවුරුත් නෑ වාට්ටුවේ.උදේ හිටපු එකී කළිං ගිහිල්ලා රෑට එන්ඩ ඉන්න එකා ඇවිල්ලා නෑ. ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දීලත් නෑ. ඉස්පිරිතාලෙ කෑම කන්න බෑ තමයි. එහෙමයි කියලා ආණ්ඩුව ගානේ නිකන් දෙන එක ලෙඩ්ඩුන්ට නොදී ඉන්න බෑනේ. ගත්තා එවෙලෙම ඉස්පිරිතාලෙ ඕවර්සියර්ට කෝල් එකක්.කිව්වා විස්තරේ. ඇටෙන්ඩන් කෙනෙක් දැම්ම එව්වෙ නැත්තං එවනවා ඔක්කොම ලෙඩ්ඩු ටික ඔතෙන්ට. ටික වෙලාවකින් එනවා වෙන කොහෙද තැනක වැඩ කරන ඇටෙන්ඩන් කෙනෙක්. ඌත් එන්නෙ බැණ බැණ. මොන මගුලක්ද අප්පා අතෙන්ට යන්ඩ කියනවා මෙතෙන්ට යන්ඩ කියනවා (පොර මේවා කිව්වේ දෙමළෙන්. මුනියා දෙමළනේ. ඌ හිතුවේ මට තේරෙන්නෙ නෑ කියලා. ඒවා කොහෙද මාත් එක්ක. කොඤ්ඤ කොඤ්ඤ තමිළ් තෙරියුම් සරියා.) අයියා මේ ඒවා මේවා වානා. කෑම තමයි ඕනා.( දෙමළ තේරුණාට සිංහල තරමට බැරි හින්දා මම ඇදලා අරින්නේ සිංහලෙන්. ඌට මට වගේ නෙමෙයි සිංහල නල්ල තෙරියුම්.) ඊට පස්සේ ගත්තා වාට්ටුවේ පැමිණිළි පොත. ලිව්වා නම් ගම් වෙලාවල් ඔක්කොම දාලා ඩිරෙක්ටර්ට පැමිණිල්ලක්. පහුවදා උදේම වාට්ටුවේ ඇටෙන්ඩන් අතේම යැව්වා ඩිරෙක්ටර්ට පැමිණිලි පොත. ඇටෙන්ඩන් එනවා අඬ අඬා. අනේ ඩොක්ට මාත් එක්ක තරහා වෙන්න එපා. මම අනිත් එක්කෙනා එනකං බලං ඉඳලා ඉඳලා තමයි ගියේ. චී චී මම මොකටද තරහා වෙන්නේ.ඔයාලා ඕනේ ලබ්බක් කරගත්තට මට කමක් නෑ. හැබැයි වාට්ටුවේ ඔයාලගෙ වැඩ ටික කරලා තියෙන්න ඕනේ.නැත්තං මම බණින්නේ නෑ ආයෙමත් කම්ප්ලේන් එකක් ලියලා ඔයාලා අතේම ඩිරෙක්ටර්ට යවනවා. එච්චරයි. ඔන්න ඔහොමයි මහත්තයෝ මම වැඩ කරගන්නේ.

ආයෙමත් එමුකෝ දවසේ කතාවට . ඔන්න මම දැං කල්පනා කර කර කර කර කර කර කර කර ඉන්නවා. ඔන්නොහොම දවසක් දෙකක් යනකොට මගේ වම් අතේ කිහිල්ල ( චීයා අනේ කිහිල්ල කියන්න එපා මෙයා අත් යට කියන්න අර ඩියොඩ්‍රන්ට් ඇඩ් එකේ වගේ.) හරියේ සමේ වේදනාවක් එන්න ගත්තා. වේදනාවක් කිව්වට ඇල්ලුවොත් තමයි වේදනාව එන්නේ. ඒ කියන්නේ අධිසංවේදීතාවක්. (Hyperalgesia කියලා තමයි පාලි සංස්කෘත ලතින්වලින් කියන්නේ.) ඔන්න ඕක දවසක් දෙකක් තිබිලා එනවා උණක්. දැං ඉතිං පලයංකෝ දොස්තර කෙනෙක් හොයාගෙන. දොස්තරලා මහා කුහකයොනෙ. ඉස්පිරිතාලෙට ගියොත් ආයේ ඉතිං වැරදියට හැරුණත් බැණුං තමයි. උංගේ ප්‍රයිවට ප්‍රැක්ටිස් එකට ගියොත් අර ටෙස්ට් මේ ටෙස්ට් එක්ක HIV ගොනෝරියාවලටත් ටෙස්ට් කරවලා, ගෑනිත් එක්ක ෆුඩ්සිටි ගියාම අරං එන බඩු මල්ලටත් වැඩිය ලොකු බේත් මල්ලක් දීලා ගෙදර එවන එක තමයි වෙන්නේ. ( මේවා නිකං උපහාසයටම කියන ඒවා නෙමෙයි මගේ මිත්‍රවරුණි මේවා මම මගේ දෑහින් දැකලා දෙකණින් අහලා තියෙන සිරා සිද්දි. මේ ගොන් පාර්ට් නුදුරු අනාගතයේදීම ලංකාවෙන් තුරන් වේවා කියලා ප්‍රර්ථනා කරගෙනම කතාවේ ඉතුරු ටික කියවමු.)

ඔන්න ඉතිං මම මක්කා කොරම්ද කියලා දහ අතේ උලා උලා කල්පනා කර කර ඉන්නකොට ගෑනි කියපි ඇයි වදේ තමුසෙත් දොස්තර කෙනෙක් නේද ඕක මොකක්ද කියලා බලලා ගන්නවකෝ බේත් ටිකක්. අම්මට සිරි ඇත්ත නේන්නං.මගේ සතුට වාව ගන්න බැරි උනා මිත්‍රවරුනි. බිරිඳ කෙරේ අසීමිත ආදර භක්තියක් අනුරාගයක් ඇති වෙලා සාලේ මැද්දේ රති කෙළියට එන්ටර් වෙන්ඩයි ගියේ. තමුසෙට පිස්සුද ඕයි. මදන විසේ නං තියෙනවා. මොන ලෙඩක්ද කියලා දන්නෙත් නෑ. මටත් බෝ කරවන්ඩද හදන්නේ. උන්දෑ නැගිටලා ගියා. මම ටක් ගාලා කළිසමත් ආයේ ඇඳගෙන වාට්ටුවට ගියා ලේ එකක් චෙක් කරලා බලා ගන්න. උණ තිබ්බට හෙම්බිරිස්සාව කැස්ස, වමනය බඩ එළිය යෑම මුත්‍ර දැවිල්ල වගේ උණට සාමාන්‍යයෙන් හේතුවෙන සාධකයක් හොයා ගන්න නැති හින්දා ඩෙංගුද කියලා බලා ගත්තනං හරි කියලයි මට හිතුනේ.

ලේ චෙක් කරන්ඩ ලේ ගන්ඩ ඕනෙනේ මහත්වරුණි. ලේ ගන්ඩනං කට්ටකිං විදින්ඩ වෙනවා. අන්න ඒක තමයි අවුල. මට කටු ෆෝබියාව. මගේ වෙලාවට අපේ වාට්ටුවට අළුතෙන් ඇවිල්ලා ඉන්නවා හුරුබුහුටි නර්ස් දැරිවියෙක්. කට්ටකිං ඇනලා ඝන සෙන්ටිමීටර් දෙකක් ලේ ගන්ඩ බැරිනං මගේ මුළු රීරි මාංසෙම උරා බිව්වත් කමක් නෑ කියලා මම අත දීගෙන හිටියා. මොකෝ උණ තිබුණත් අපිත් මිනිස්සුනේ දෙයියනේ.රාජිතට පින්සිද්ද වෙන්ඩ පැය කාලක් යද්දි ලේ රිපොර්ට් එක බලා ගන්ඩ පුළුවං උනා. (ඔව් ඔව් මම දන්නවා ඌ හොරා තමා. ඒ උනත් හොඳ දේවල් අගේ කරන්ඩ ඕනේ මහත්වරුණි.) සුදු රුධිරාණු අනුපාතය අනුව වෛරස් ආසාදනයක් තමයි. හැබැයි ඩෙංගුවල භයානක අවස්ථාවට එන්ඩ තරං පට්ටිකා අඩු වෙලා නෑ. හෙටත් බලනවා ආයේ ලේ එකක්. හෙටත් උදේට අර නර්ස් දැරිවි තමා ඩියුටි.



මෙන්න බොලේ පහුවදා වෙනකොට මගේ පිටේ වම් පැත්තේ උර අස්ථිය උඩ සමේ පටියක් වගේ පොඩි පොඩි බිබිලි වගයක් ඇවිල්ලා. හුටා මේ නං ශිංගල්ස් තමයි.(shingles කියන එකට සිංහල වචනයක් මම දන්නේ නෑ. තත්සම පදයක් විදිහට හෙළ බසට අවශෝෂණය කරගන්න කියන්න.) හනික බැස්සා ඇඳෙන්. ඔක්කොම ඇඳ ඇතිරිලි කොට්ට උර පොරෝනා අයින් කරලා වෙනම හෝදලා දාන්න කියලා වාහෙට කියලා දිව්වා ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට. විශෙෂඥතුමා ඉන්න දවසක් නෙමෙයි එදා. ඒකෙ ඉන්න අනිත් ඩොකටර් කෙනෙක්ට පෙන්නලා (ඈ මුස්ලිම් අක්කා කෙනෙක්. අපෝ නෑ හරි හොඳයි. ලෙඩ්ඩුන්ටත් හරි සුහදයි. ඔය ළඟ තියෙන වැඩිහිටි නිවාසෙකටත් යනවා එහේ ඉන්න අයට මාසෙකට සැරයක් සායනයක් කරන්න. නොමිලේ තමයි බොලව්. මම තමයි ඒක සෙට් කරලා දුන්නේ. ඔව් ඔව් මමත් යනවා අපේ සායනයක් කරන්ඩ. ඔව් බොලව් මමත් නොමිලේ තමයි කරන්නේ අතිං පැට්‍රල් ගහගෙන ගිහිල්ලා. අපිට මොකෝ ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලෑ.) එයාලගෙත් මතේ අහගත්තා. මම ඇවිල්ලා ලිච්ඡවී ක්‍රමේටනේ වැඩ. (ෂර්ට් එක ගැලෙව්වේ ලක්ස පාරක් හිතලා. නෑ පිස්සුද ආයේ මොනවද ඉතිං බොඩි එක නිකං ස්පාර්ටන් බොඩි එකක්.කොටින්ම කිව්වොත් විභාගෙට මාංශ පේශි පාඩං කළේ කණ්ණාඩිය ඉස්සරහ ඉඳං. පච්චේ දැකලා මොකවත් හිතයි කියලා තමා පස්ස ගැහැව්වේ. එයා හිතන්ඩ ඇති සංකීර්ණ උපං ලපයක් කියලා.මොකුත් කිව්වේ නෑ.)



මට කිව්වා එයාට හරියටම ශුවර් නෑ කෝකටත් ඊළඟ දවසේ ආයේ එන්න සර්ට පෙන්න ගන්න කියලා. මම වැඩි පරිස්සමට අනිත් කාමරේ නිදාගත්තා සතුටෙන් හා සාමෙන්. මෙන්න පහුවදා අර බිබිලි වතුර පිරිච්ච දිය පට්ටා (blisters) වගේ වෙලා. දැන්නං බඩු බනිස් තමා. කෝකටත් ගියා චර්මරෝග සායනයට විශේෂඥතුමා මම ෂර්ට් එක ගලවනකොටම කිව්වා "මේ ශිංගල්ස්නේ" කියලා. ඇති යන්තං නියත විවරණ ලැබුවා. සන්තෝසේ බැරුවා මිත්‍රවරුණි. දැං අරකිට තනියම වොර්ඩ් එකයි ක්ලිනික් එකයි බලා ගන්න කියලා මට ගත්තැහැකි සතියක නිවාඩුවක්. දෙන දෙයියෝ දෙනකොට දෙන්නෙ එළවා එළවා මහත්වරුණි.

දැං ශිංගල්ස් ගැන වැඩිය දන්නේ නැති අයට පුංචි කුප්පියක් මගේ ගානේ.

පැපොල හෙවත් පොෂ් අය කියන විදිහට චිකන් පොක්ස් හැදෙන්නේ varicella zoster කියන වෛරස් එකෙන්. ඒක ගොඩක් වෙලාවට පොඩි කාලේ තමයි හැදෙන්නේ. ටික දවසකින් ඉබේම හොඳවෙලා යන බිබිලි මතුවෙන වෛරස් ආසදනයක්. භයානක නෑ. ටිකක් රිදෙනවා. කසනවා. සමහර විට මේ බිබිලි බැක්ටීරියා මගින් ආසදනය වෙන්න පුළුවන්. ගර්භනී අයට හැදුනොත් ඒක කුසේ ඉන්න දරුවාට බලපාන්න පුළුවන්. වයසක අයට හැදුනොත් ගොඩක් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඉතිං හොඳම දේ තමයි පොඩි කාලෙම එක්කො ලෙඩේ බෝ කරගන්න එක. නැත්තං පැපොල එන්නතක් ගහ ගන්න එක. ලෙඩේ බෝ වෙන එක විදි කීපයකට වෙන්න පුළුවං. එකක් තමයි පැපොල රෝගියාගේ බිබිලිවල ඇති වෛරසය අඩංගු ස්‍රාවයන් ප්‍රධාන වශයෙන් ස්වසන මාරගයෙන් හෝ වෙනත් ආකාරයකට ශරීර ගත වීමෙන්. ඒ වගේම රෝගියෙකුගේ ඛේටය ඒ කියන්නේ කෙළ බිඳිති වාතය හරහා ගමන් කරලා වෙනත් කෙනෙක්ගේ ශරීර ගත වීමෙනුත් ලෙඩේ බෝ  වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් පැපොල වෛරසය ඇඟේ තියෙන කෙනෙකුට බිබිලි මතුවෙන්න දින දෙකකට පමණ කළිං ඉඳන් අනික් අයට ලෙඩේ පතුරවන්න පුළුවං.බිබිලි මතු උනාට පස්සේ ඒ බිබිලි ඔක්කොම වේලිලා කබොල් බවට පත් වෙනතුරුම මේ අයට ලෙඩේ පතුරවන්න පුළුවන්. ඔක්කොම සාමාන්‍යයෙන් සතියක් විතර.

හරි බං පැපොල ගැන දන්නවා මොකක්ද ශිංගල්ස් කියන්නේ?

පොඩ්ඩක් හිටාංකෝ කියනකං ඉවසලා. Grand ma's cloth



පැපොල හැදුනට පස්සේ මේ වෛරස් එක ලෙඩාගේ සංවේදී ස්නායු මූලයන්ගේ තියෙන ගැංග්ලියම්වල ගිහිල්ලා හැංගෙනවා. මිනිහා මැරෙනකම්ම මේ වෛරස්වලට එතන ඉන්න පුළුවං.සමහර වාසනාවන්තයින්ගේ වෛරස් එහෙම හැංගිලා නිදාගෙන ඉන්නවා මුළු ජීවිත කාලෙම.කිසි අවුලක් නෑ. ඒ උනත් සමහර අයගේ මොනවා හරි හේතුවකට ප්‍රතිශක්තිය අඩු වෙනකොට අර නිදාගෙන ඉන්න ගෝතයා නැගිටලා සංවේදී ස්නායුවේ පැතිරෙන ප්‍රදේශයේ පැපොල බිබිලිවලට සමාන වෛරස් පිරුණු බිබිලි ඇති කරන්න පුළුවන්. ශෝචනීයයි නේද? ඒ වගේද ඇවැත්නි වේදනාව. හප්පා හදාගෙනම බලන්ඩ ඕනේ. වාසනාවකට වේදනා නාශක කියලා දෙයක් හොයාගෙන තියෙන නිසා ගොඩ.

නමුත් වාසනාවට මේක පැපොල තරම් ආසාදිත නෑ. අර බිබිලිවල තියෙන ස්‍රාවයන් ගෑවුනොත් නම් පැපොල හැදිලා නැති කෙනෙකුට පැපොල හැදෙන්න පුළුවං.හැබැයි තව කෙනෙක්ට ශිංගල්ස් නම් බෝ වෙන්නේ නෑ. ඒ වගේම මේක කෙළ බිඳිති හරහා බෝ වෙන්නෙත් නැහැ. වාත වෙන්නේ මේක කපාල ස්නායු ආශ්‍රිතව ඇති උනාම. 7වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ශිංගල්ස් ඇති උනොත්  ramsay hunt syndrome කියන තත්ත්වය එනවා. එතකොට මූණේ පැත්තක් පණ නැති වෙනවා වගේන කණ ඇහීමත් නැති වෙන්න පුළුවං. 5 වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ඇති වුනොත් ඇසේ ආසාදනයක් ඇති වෙලා පෙනීම නැති වෙන්නත් පුළුවං. වාසනාවකට වගේ මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ශරීරයේ බෙල්ලෙන් පහල සහ ඉණෙන් උඩ ප්‍රදේශයේ. කොහොමත් සතියෙන් විතර ලෙඩේ ගොඩ යනවා.
 ramsay hunt syndrome

ප්‍රතිකාරද ඇහැව්වේ. මගුලක් කතා කරන්නැතුව යන්ඩ මෙයා ඉස්පිරිතාලෙට. එතකොට දෙයි ප්‍රතිවෛරස බෙහෙතක්. kaspersky නෙමෙයි බං acyclovir. එතකොට තව ප්‍රතිජීවකයක් ඔය බැක්ටීරියා ආසදනයක් ආවොත් කියලා. අනික ඔය පැරසිටමෝල් වගේ පොඩි වේදනා නාශකයක්. කැසිල්ල තිබේ නම් පිරිටන් ටිකක් (chlorpheniramine). වේදනාව ටිකක් වැඩියි නම් gabapentin වගේ එකකුත් දෙන්ඩ ඉඩ තිබේ.

කියන්ඩ සතුටුයි මටනං මහා වේදනාවක් දැනුනේ නෑ. ලෙඩේ කළිංම අල්ල ගත්ත හින්දා අනිත් අයට බෝ උනෙත් නෑ මම හිතන්නේ. ෂුවර් නෑ සහෝදරවරුණි මොකද වෛරස් එක ශරීර ගත උනාම සාමාන්‍යයෙන් බිබිලි මතුවෙලා රෝගය හැදෙන්න සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා. ඒ කියන්නේ බඩු හම්බවෙන්නේ තැපෑලෙන්. කොහොම උනත් නිදහසේ චිත්තරපටි ටීවී සීරීස් ටිකක් බලාගෙන වීඩියෝ ගේම් එකක් ගහගෙන සතියක නිවාඩුවක් ගත්තා. ඔන්න ඕවා තමා මිත්‍රවරුණි දෙයියන්ගේ ලෙඩ කියන්නේ.


04 July 2018

සින්දු පලන මන්තරේ....



ඝෝෂාවට හෙවත් සද්දෙට කැමති උන් සිටිති. තවත් සමහරු තමුන් සද්දයට කැමති බව පෙන්වීමට කැමත්තෙන් සිටිති. ඒ උන් අනුන්ගේ නිදහසට බාධා කරන්නෝය.තමුන්ගේ වෙළඳ සැලේ අලෙවිය වැඩි කර ගැනීමට සද්දෙට සින්දු දැමීමට සමහරු පෙළඹෙති. සමහරු තමුන්ගේ ආගමික භක්තිය පෙන්වීමට සද්දෙට සින්දු, පිරිත් හෝ කවි වාදනය කරති.තවත් සමහරු තමුන් නිවසේ සිටින බව අසල්වැසියන්ට ඇඟවීමට සද්දෙට සින්දු දමති. මේ අතර තවත් පිරිසක් තමුන් සිරා සින්දු අහන බව පෙන්වීමට මහා හඬින් සින්දු අහති.

අතීතයේද මෙබඳු ශබ්ධ දූෂකයෝ සිටින්නට ඇත. අන්දරේ දකුණු පළාතේ එකෙක් බව දැනගත් අයෙක් රබන් පළන මන්තරයක් ඉගෙනගන්නට ආවේලු.අන්දරේද කොළේක යමක් ලියා "මෙන්න මේක උල් පිහියකට මතුරලා රබානේ මැද්දටම ඇනපන්" යැයි උපදෙස් දුන්නේලු. එයින් හැඟෙන්නේ එකලද මෙකල මෙන්ම අන්‍ය නිදහසට බාධා කරන සමාජ පීඩකයින් සිට ඇති බවය. ඊට මෑත අතීතයේ කැසට් රෙකෝඩරය කරේ තබාගෙන ගමටම සින්දු බෙදා දෙමින් ගිය සූරසේන අපි පළිඟු මැණිකේ තුළින් දුටුවෙමු.

මේ ඝෝෂකයින්ගේ අදහස වන්නේ ඔවුන් සමාජ සේවාවක් කරන බවය. ඒ දැඩි ඝෝෂාව මැඩිහත් සිතින් ඉවසා සිටින අනිකුන් දකින් ඔහු සිතන්නේ තමාගේ සමාජ මෙහෙවර නිසා මිනිසුන් විශාල තෘප්තියක් ලබන බවත් එයින් ඔවුන්ගේ කාර්‍ය ශූරත්වය වැඩි වී රටේ නිශ්පාදන ධාරිතාව වැඩි වී උද්ධමනය අඩුව යන බවය. හේනක කුඹුරක සකලයන් හැඹිල්ලට වඩා වැඩි යමක් ඉන් සිදු නොවන බව අවුන්ට නොවැටහේ.

බොහොම නුදුරු අතීතයේ සමාජ කතිකාවතකට ලක්වූ මාතෘකාවක් වන්නේ ත්‍රීරෝද රථවලට  ශබ්ධවාහිනී මෙන් වූ ස්පීකර් සවි කිරීමත් ගමම දෙදරවමින් රිද්මය පමණක් ඇසෙන වචන නෑසෙන ගීත ධාවනය කරමින් විදුලි වේගයෙන් ඒවා ධාවනය කිරීමත්ය. ඩොප්ලර් ආචරණය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට නම් මනා පිටිවහලක් වන මේ ධාවන ශබ්ධ විකාශන යන්ත්‍ර හෙවත් ත්‍රීරෝද රථ තුල බිහිරෙක් මිස වෙන කිසිවෙක් ගමන් කරන්නේ කෙසේදැයි වටහා ගැන්මට අපහසුය. ඊටත් වඩා පුදුමය වන්නේ මේවා ධාවනය කරන්නාවූ රියැදුරන් (රිය ඇදුරන් කී විට රිය පිළිබඳව මෙන්ම රිය පැදවීම පිළිබඳවද මනා පරිචයක් ලැබූ තැනැත්තෙක් සිහියට එන නමුත් මේවා පදවන්නේ එසේ ප්‍රාමාණික දැනුමක් නොලද අයවළුන් නිසා ඔවුන් රිය දක්කන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.) දින කිහිපයක් තුල බිහිරි භාවයට පත් නොවන්නේ කෙසේද යන්නය.

මගේ ලොකුම අරියාදුව ඇත්තේ අර්ධසුඛෝපභෝගී යැයි කියා ගන්නා බස් ලඩි සමඟය. කොළඹින් දුර ඈතක සේවයේ යෙදෙන විට නිතර නිතර මෙම අන්තර් පළාත් බස් රථවල ගමන් කරන්නට සිදුවෙන අතර සුඛෝපභෝගී බස් හිඟ වීමත් අතේ මුදල් හිඟ වීමත් මෙන්ම සාමන්‍ය ගාස්තු බස් විරල වීමත් නිසා මෙකී අර්ධසුඛෝපභෝගී මුසාව හා එක්වන්නට සිදුවේ.දුර ගමනක් මුල් වතාවට යන විට ඔබ වටපිට බලමින් සොබා සිරිය විඳිමින් යන්නේය.නමුත් එකම මාර්ගයේ සෑම මසකටම වරක් දෙකක් පැය හය හතක ගමනක යෙදෙන ඔබ නිදහසේ නින්දක් ලබා ගැනීමට සිතනු නොඅනුමානය. නමුත් මෙම බස් රථවල සේවකයෝ ඔබට එකී සුවපහසුව ලබා දීමට මැළිකමක් දක්වති.ඔවුන්ට ඇවැසි ඔබ අවදියෙන් සිටිනු දකින්නටය.සමහර විට අර්ධසුඛෝපභෝගී යනු එය වන්නට ඇත. පූර්ණ සුඛෝපභෝගී බස්වල වැඩිපුර අය කරන්නේ ඔබට නිදාගන්නට, සැනසිල්ලේ ඉන්නට ඉඩ දෙන්නට විය හැක.

බසයේ ගමන්මලු රාක්කවල දැන් ගමන් මලු දමන්නට ඉඩ නැත.ඒවා පිරෙන්නට දෙපසම බෆල් පෙට්ටි සවි කර ඇත.ආසන යටද එසේමය.ගමන් මලු තබා ගැනීමට වඩා වැඩගත් වන්නේ ඝෝෂා කිරීමය.බසය ධාවනය ඇරඹීමත් සමඟ ආරම්බවන ඒකාකාරී රිද්මයකට අනුව ගැයුනු විරහා ගීත නතරවන්නේ ගමනාන්තයේදීය. ඔක්කොම කොල්ලන්ගේ කෙල්ලෝ උන්ව දමා වෙන උන් එක්ක ගොස් ඇත. කොල්ලාට අනුව ඒ කෙල්ල හදිසි වී කලබල වී ගත් වැරදි තීරණයක් ය. නමුත් ඔහු කෙල්ලට බණින්නේ හෝ ගරහන්නේ නැත. ගිය එකා එක්ක සතුටින් ඉන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරති.මේ විදිහට ගියොත් කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිය විට අළුත් ජෝඩුවට සතුටින් ඉන්න මුන් මාසික් දීමනාවක් උවද දෙන්න ඉඩ තිබේ. කෙල්ල දාලා ගියානම් එක්කෝ වෙන කෙල්ලෙක් සෙට් කර ගත යුතුය. නැතිනම් මැරිලා යා යුතුය. එහෙම වූවා නම් අපට නිදහසේ බස් එකක යන්නට ඉඩ තිබුණි.

කොන්දොස්තර මහතාට (මහතා යන වචනයට විවිධ අරුත් ඇති බව තේරුම් යන යෙදුමකි.) ශබ්ධ වාහිනියේ ශබ්ධය අඩු කරන ලෙස පැවසූ විට එක්කෝ "ඔය උපරිම අඩු කරලා තියෙන්නේ." ය. නැතිනම් රියදුරු මහතාට නින්ද යන නිසා අඩු කළ නොහැක.රියැදුරාට නින්ද යන්නේ නම් බෆල් පෙට්ටි සවි කළ යුත්තේ ඔහු වටාය. බසයේ පිටුපස ඒවා සවිකර ඔහුගේ නින්ද කැඩෙන තුරු ඒවායේ ශබ්ධය වැඩි කළ විට අපගේ කන් අඩි ද කැඩී යන බව මේ වෘෂභයින්ට නොතේරේ.

මම එනිසා සාමාන්‍යයෙන් කරන්නේ බසය ගමන් කරන්නට පෙර බසයට නැග ළඟම ඇති බෆල් පෙට්ටියට එන වයර් ඇද කඩා දැමීමය.එවිට ඔබට බසය ගමන් කරන විට කණට දැනෙන සුවයට වඩා සුවයක් බසයේ එහේ මෙහේ ඇවිදින කොන්දොස්තර එකී බෆල් පෙට්ටිය ක්‍රියා නොකරන බව දැනගත්විට පෙන්වන සාත්වික අභිනය නිසා ඔබේ මනසට දැනේ.වෙන විකල්ප නැත. අසුවන සේ කිරීමෙන් වළකින්න.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නිවාරණයි.


10 June 2018

මතක ගබඩාව



අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පාළෝහක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක් ය.

ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත.ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැං කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝක භරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපිද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත.එනිසා මුවින් නොබැණ සිටිය යුතුය.

කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය.ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්‍යශේකරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කට පාඩමින් දැන සිටියෝය.උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය.හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය.කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය.ආස්මී හැදුවෝය.බීරළු ගෙතුවෝය.පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැං කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත.

දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන් ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්‍ය මිනිසෙකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක් ය. එය එසේ උවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තෙකුගේ මතක ගබඩාව සාමාන්‍යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක.සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුලෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්‍රම් බ්‍රම් බර බරම් ක්‍රී.....ක් බ්‍රම් බ්‍රම්" හඩක් නැගේ.

මේ පෙටා බයිටයක් පමණවන දත්ත ප්‍රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය අමතක වීම නැමති අපූර්ව ක්‍රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්‍ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස සොබාව ධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්‍රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කණෙන් අදිති. දණ ගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති.

සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක් ය.
"ඕකට දෙවරක් චක්කරේ බැරි උනාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ......ඕකා මගේ උනාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරුම් නෑ "  කියා ළොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගී වූවෙකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්‍ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත.සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත.

අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාව වල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු.ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි.

"වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං
උඩ මළුවට යන්නං කු ඌඌඌ
පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං
බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ)
පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන් "

මම මේ සින්දු අහන්නේ නැත.ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත.සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ තට්ට හිසත්, කේ. සුජීවාත්, ඇගේ දරුවන් ඔහුට අජියා කියා අමතන බවත් ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක්ද මගේ මොළයේ විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.

රනිල්, අකිල්, මංගල සහ සාගල ගල් කාරයන් බවත්, රන්ජන් බඩු කාරයා බවත්, කෙහෙළිය කොටු පනින්න ගොස් කකුල කඩාගත් බවත් අපි දනිමු.ඒවා දැන ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු.

මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරුව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයින් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විශ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්‍රමාණය ඉතා විශාලය. අරයා හැදූ සවු දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අළුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අපවෙත ගලා එන තොරතුරු ප්‍රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්‍ය තොරතුරු නිසා අවශ්‍ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක උනාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනෙකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ.හැකිනම් ශර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්‍ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න. (මාත් ට්‍රයි කරනවා....තාම බෑ ඕයි.. දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්.....කියලාමතක් වෙනකොටම අර බස් සීන් ටික වගේම උඩ රැවුලයි දිග පොකුටු කොණ්ඩෙයි නපුන්සක පාටයි එක්ක කිංස්ලියාවත් මැවිලා පේනවා බං )


22 May 2018

වාට්ටුවේ ධර්මයුද්ධය




"මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?" මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්.

" ඒ කිව්වේ ඩොක්ටර් "

" නෑ මං කියන්නේ දැං මේ මානසික ලෙඩ කියන ඒවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට හැදෙන එකක් නෙමෙයිනේ. දෙයියොම දීපු ඒවනේ."

" එහෙම ඒවා තියෙන්නේ ඩොක්ටර් අනිත් මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ අගේ තේරුම් ගන්න. නැත්තං අපිට අපේ ජීවිතවල වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවනේ."

" ඒ උනාට මාස්ටර් මේ මනුස්සයින්ට අනිත් අය විඳින ජීවිතේ විඳින්න බැරි වෙනවනේ. පවුනේ. අනික දැං ඔය මනුස්සයෙක් මානසික ලෙඩේ හින්දා ආව කේන්තියකින් තව කාට හරි ගහලා මැරුවොත් මේ මනුස්සයා දිව්‍ය ලෝකේ යනවද නැත්තං අපායේ යනවද? "

" ඒ මනුස්සයා අවබෝධයකින් නෙමෙයිනං කළේ දිව්‍යලෝකේ යන්ඩ ඕන."

" ඒක හරි අසාධාරණයිනේ. ඒ මනුස්සයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙත් දෙවියන්ගේ පරීක්ෂණේට ලක් වෙන්නනේ. එතකොට මේ මනුස්සයා මිනිහෙක් මැරුවත් දිව්‍යලෝකේ යනවනම් අනිත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. දෙවියන් ගන්න සමහර තීරණ අපිට තේරෙන්නේ නෑනේ."

" ඒකත් මහ අසාධාරණ තර්කයක්නේ මාස්ටර්. දැං මාස්ටර්ලා හිතන්නේ අනාගතේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ කියලනේ."

"ඔව්"

" ඉතිං දැං මම වගේ ඉස්ලාම් ආගම විශ්වාස කරන්නැති කෙනෙක්ට විශ්වාසයක් ඇති කරන තර්කයක් නෙමෙයිනේ . දෙවියන්ව විශ්වාස කරන්නනම් එයා අපි ගැන ගන්න තීරණ ගැන අපි දැනං ඉන්න ඕනෙනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. ඒ උනාට අපි විතරක් නෙමෙයිනේ අනිත් අයත් එහෙම දේවල් විශ්වාස කරනවනේ හැමදේම ගැන දන්නැතුව. ඒකටනේ භක්තිය කියන්නේ."

මේ වෙලාව වෙනකොට වාට්ටුවේ අනිත් කාර්ය මණ්ඩලය වෙච්ච මුස්ලිම් උපස්ථායිකාවක්, මුස්ලිම් සමාජ සේවා නිළධාරී මහත්මයෙක්, හින්දු හෙද නිළධාරී මහතෙක්, බෞද්ධ හෙදියක් අපි වටේට පුටු තියාගෙන අපේ කතාවට හූමිටි දෙනවා.

"ඩොක්ටර් අර සකීර් නයික්ගේ කතා බලලා නැද්ද? ඒවයේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා නේද?"

"මිනිහා පට්ට බොරු අතාරිනවනේ මාස්ටර්. පොරට සිරා දැනුමක් තියෙනවා. කුරාණෙ සුරාවක් ජූසුවක් ගානේ ඉලක්කමත් එක්ක කියන්ඩ දන්නවා වගේම බයිබලේ ගැන වේද පොත් ගැනත් ඒ වගේම හොඳ මතකයක් තියෙනවා. හැබැයි විද්‍යාව ගැන කියද්දි පොර අලි කෙබර ඇද බානවනේ.විද්‍යාව ගැනයි බුද්ධාගම ගැනයි කියද්දි. පට්ට පච කෙළින්නේ."

"එහෙමද?"

" දැං පොර කියනවනේ නබිතුමා එන්න කළිං මෙසායාවරු ගොඩක් ආවා කියලා. බුදුහාමුදුරුවොත් ඒ එක්කෙනෙක් කියලනෙ කියන්නේ."

"ඔව්"

" ඒ උනාට බුද්ධාගම කියන්නේ එහෙම මැවුම්වාදයට පොඩ්ඩක්වත් සමබන්ධ නැති වෙනම එකක්නේ. ඒ කියන්නේ ඒ කාලේ දෙවියන්ට දෙවියෝ නෑ කියලා ලෝකෙට කියා ගන්න ඕනේ උනාද? අනිත් පැත්තට බලන්ඩකෝ දැං පරණ තෙස්තමේන්තුවෙ කියනවා ඇහැට ඇහැක් දතට දතක් කියලා.ඊට පස්සේ ජේසුතුමා ඇවිල්ල කියනවා නෑ නෑ එහෙම කරන්ඩ එපා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න දෙන්න කියලා. මෙන්න ආයේ නබිතුමා ඇවිල්ල කියනවා නෑ නෑ ඇහැට ඇහැක් දතට දතක් තමයි හරි එක කියලා. මොකක්ද මාස්ටර් කිසි ප්‍රතිපත්තියක් නෑනේ.හරියට මේ ආණ්ඩුව වගේනේ. මොකද කියන්නේ අපේ වෝඩ් එකට ඇඩ්මිට් කරලා කරන්ට් එක දෙතුන් පාරක් අල්ලමුද?"

(සභාවේ සිනා)

"මෙහෙමනේ ඩොක්ටර්. ඒ ඒ සමාජවලට ගැලපෙන විදිහටනේ දේශනා කරලා තියෙන්නේ. දැං බලන්න ඇල්කොහොල් කළිං ප්‍රශ්නයක් නෑ කිව්වට පස්සෙ එකපාර වෙනස් කළේ නෑ. කිව්වේ බීලා පල්ලි එන්න එපා කියලා. අන්න ඒ වගේ කාලෙන් කාලෙට ගැලපෙන විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ."

"ඔය සමාජක්‍රමෙත් තීරණේ කරන්නේ එයානේ මාස්ටර්. එයාගේ මාස්ටර් ප්ලෑන් එකේ එක කෑල්ලක්නේ සමාජක්‍රමේ. අනික ඇල්කොහොලුත් අපි හදපුවා නෙමෙයිනේ. එයානේ තීරණය කළේ ඒක බිව්වම මිනිස්සුන්ට ලල් එකක් එන්ඩ ඕනේ කියලා. එයානේ ඒකට මිනිස්සු ඇබ්බැහි වෙන්ඩ ඕනේ කියලා තීරණය කළේ. අනික එයාට තිබ්බේ නැද්ද මිනිස්සු ඔක්කොම වැරදි නොකරන හොඳ මිනිස්සු විදිහට මවන්න.එයා අපිට් එක එක ආශාවල් ඇතිවෙන විදිහට මවලා ඒ ආශාවල් ලබාගන්න පුළුවන් කරලා පස්සේ ඒවා ගත්තොත් අපායෙ දානවා කියනවා. ඒක වැරදියිනේ මාස්ටර්"

"එහෙම නැතුව අපිව පරීක්ෂා කරන්නේ කොහොමද ඩොක්ටර්. අපිව මෙහෙට එවලා තියෙන්නේ අපිව පරීක්ෂා කරන්නනේ."

"ඒකත් මහ ගොබ්බ වැඩක්නේ මාස්ටර්. දැං ඔන්න ගුරුවරයෙක් ළමයින්ට ටෙස්ට් එකක් තියන එක සාධාරණයි. ඒ ගුරුවරයා ළමයි ගැන දන්නේ නෑනේ. ඒ උනාට මේක අපිව මැව්වෙත් එයා එයාට ඕනේ විදිහට. අපි හිතන පතන ඔක්කොම විතරක් නෙමෙයි අනාගතේ පවා එයා දන්නවා. එහෙව් එකේ මොන ඉටි ගෙඩියක්ද ටෙස්ට් කරන්නේ. දැං මම කවදාවත් ඉස්ලාම් ආගම පිළිගන්නෑනේ මාස්ටර්. ඉතිං එයාට තිබ්බා මාව මෙහෙ මවන්නැතුව කෙළින්ම අපායෙ මවන්න.අපරාදෙනෙ මේ පුච්චන පෙට්‍රල්."

ඒ වෙලාවේ අපේ සමාජ සේවා නිළධාරීතුමා කතාවට එකතු උනා.
" දැං ඩොක්ටර් අපේ මිනිස්සු වීඩියෝ ගේම් හදන්නේ. එයාලා කැමති චරිත දාලා එයාලා කැමති විදිහට හදලා එයාලා දාන නීති රීති ඇතුලේ තමයි ගේම් එක සෙල්ලම් කරන්නේ. ලෝකෙත් ඒ වගේ තමයි. දෙවියන් හදපු නීති තියෙනවා. ඒවා අපි ප්‍රශ්න කරන්න යන්නේ නෑ."

"වීඩියෝ ගේම් හදන්නේ සෙල්ලම් කරන එකාට ආතල් එකක් ගන්නනේ. දැං එතකොට අපි මේ කාගෙවත් ගේම් එකක චරිත වෙලා කාටද ආතල් දෙන්නේ? එයා එයාගේ දිව්‍යලෝකේ සෙට් එකත් එක්ක අපිව එහෙට මෙහෙට යව යවා ආතල් ගන්නවද?. ඔන්න ඕකත් මට තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඇයි අපිව මැව්වේ? අරමුණ මොකක්ද? "

"ඒකනම් ඉතින් දෙයියොම තමා ඩොක්ටර් දන්නේ."

"මම මාස්ටර් මුස්ලිම් අය එක්ක විතරක් නෙමෙයි කතෝලික බෞද්ධ අයත් එක්කත් මේ වගේ කතා කරනවා. ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට අන්තිමට ඒගොල්ලො - ඒක දෙවියන්ගේ කැමැත්ත.ඒක ප්‍රශ්න කරන්න උඹ කවුද? එහෙම නැත්තං ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් උඹට නෑ වගේ - උත්තර දෙනවා. ඒකෙන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නෑනේ මාස්ටර්.මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් දර්ශනයක් තියෙනවානම් මම ඒක පිළිගන්න ලෑස්තියි. ඒවට අමතරව දේවවාදීන්ගෙන් අහන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා.

1. දෙවියන්වහන්සේ ලෝකය මවලා ඊට පස්සේ තමයි ඉර හඳ තරු මැව්වේ. එහෙමයි පොතේ තියෙන්නේ. එතකොට ඉරවටේ කැරකෙන ලෝකේ මවන්ඩ කළිං ඉර මවන්ඩ ඕනේ නැද්ද?අපේ ලෝකෙට වඩා ගොඩක් පරණ තරු තියෙන්ඩත් බෑ නේද? එහෙමනම් අපි මේ කාලය මනින්න ගන්න ක්‍රමයේ අවුලක් තියෙනවද?

2. අවුරුදු හයදාහකට කළිං ලෝකේ මවලා ආදම් සහ ඒවා දෙන්නා මැව්වනං අවුරුදු මිළියන ගණන් පරන පොසිල හම්බවෙන්නේ කොහොමද? ඩයිනෝසරයන් ගැන පොතේ සඳහන් නොවෙන්නේ ඇයි? ඒවා වැරදුණු පරීක්ෂණද?

3. ආදම් ලෝකේ මුල්ම මිනිසානම් ඔහු හෝමෝ ඉරෙක්ටස් ද? නියැන්ඩතාලෙන්සිස් ද? හැබිලස් ද? නැත්තං එයිටත් කළිං හිටපු ඔස්ත්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ද?

4. පෘථිවියේ ජීවය ගැන පමණක් සඳහන් කරන පොත විශ්වාස කරන්නවුන් ලෙස කවදා හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවීන් සොයා ගත්තොත් එදාට ගන්නා තීරණය කුමක්ද?

ඉහත සාකච්ඡාව වාට්ටුවේදී ලද විවේකයක හුදු පහන් සංවේගය උදෙසා පවත්වන ලද්දක් මිස අක්‍රෝෂ පරිභවයෙන් කා කොටා ගන්නා අරමුණකින් තොරව සුහදවා පවත්වා සුහදව විසිර ගියෙමු. මාධ්‍ය නාළිකාවල දේශපාලන සංවාද වෙනුවට මෙවන් ආගමික වාද විවාද පැවැත්විය යුතු බවට සියල්ලෝම එකඟ වූහ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි නැවත එන්න.


16 May 2018

ආරෝග්යා පරම අලාභා... 4





මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්‍ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්‍ය පීඨය බවක් මට නිකමටවත් හිතිලා තිබ්බෙත් නෑ. සමහරවිට ඔය කියන වෛද්‍ය පීඨයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බ හින්දා වෙන්න ඇති. පොඩි කාලේ මගේ ආසාව තිබ්බේ පුස්ථකාලාධිපති කෙනෙක් වෙන්න. ඒ රස්සාව කරන ගමන් පොත් කියවන්න තිබ්බ ආසාව හින්දා. ඒත් ඉතිං පොඩි කාලේ හිතන දේවල් ලොකු උනාම ඒ විදිහටම සිද්ද වෙන්නේ නෑනේ.

කොහොම හරි අත්දිග කලිසමකුත් කමිසෙකුත් ඇඳගෙන සපත්තුත් දෙකක්ම දාගෙන මමත් ගියා කැම්පස්. ටයි නං දැම්මේ නෑ. දාන්න ඕන උනත් ගැටේ දාන්න දන්නෙත් නෑ. ඒක ඉගෙන ගත්තත් ගෙදර ඉස්කෝලේ ටයි එක ඇර වෙන ටයි එකක් ඇත්තෙත් නෑ.

කළිං දවසේ හතර අතේ කෝල් කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන තැන අහගෙන මමත් යන්ඩ නියමිත දවසේ උදෙන්ම එතනට ගියා.

කැම්පස් කිව්වම කාගෙ උනත් හිතේ මැවෙන්නේ පේරාදෙණිය. මල් පිරිච්ච, ගස් වැවිච්ච, කඳුවලින් වට වෙච්ච, කොල්ලො කෙල්ලො පෙම් කෙළින පාරිසරික සුන්දරත්වයෙන් සෞන්දර්යයෙන් අග්‍ර වෙච්ච ප්‍රේම පාරාදීසයක් වගේ තැනක්. කොළඹ විශ්ව විද්‍යාලයේ අනිත් පීඨ පිහිටලා තියෙන තැනත් ක්ෂුද්‍ර ප්‍රමාණයකින් හරි මේ සෞන්දර්යය පෙන්වලා දුන්නත් පුංචි බොරැල්ලේ තියෙන වෛද්‍ය පීඨය නම් හරියට ඉස්සර ගෙවල්වල ඈතින් හදපු වල කක්කුස්සියක් වගේ නොසළකා හැරිලා තිබුණා.

අක්කර එක්දාස් පන්සීයක් විතර වෙන පේරාදෙණියත් එක්ක සසඳලා බලද්දි අක්කර බාගයක්වත් නැති කොළඹ වෛද්‍ය පීඨය හරියට දීපිකා පදුකෝන් එක්ක දෙනවක හාමිනේ සංසන්දනය කරනවා වගේ මහා විළි ලැජ්ජා නැති වැඩක් බවට පත්වෙනවා.

කොළඹ වෛද්‍ය පීඨය කියන්නේ පුංචි මැද මිදුලක් වටේට තියෙන ගොඩනැගිලි හතරක් සහ ෆ්‍රැන්සිස් පාරෙන් එහා පැත්තේ තියෙන කායවිච්ඡේද ගොඩනැගිල්ලට. මැද මිදුළ මැද්දෑවේ අර මහා විශ්වවිද්‍යාල සංස්කෘතියේ ශේෂයක් වෙච්ච කණාටු රොබරෝසියා ගහක් තිබ්බා.තැනින් තැන දිරා ගිහිල්ලා තිබ්බත් විශ්වවිද්‍යාලයේ සාමාජිකයෙක් විදිහට මේ රොබරෝසියා ගහ හෙවත් 'පච ගහ' තමුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරුවා. ඒ කියන්නේ පේරාදෙණියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පිරෙන්න එහේ රොබරෝසියා මල් පිපිලා වැටෙන කාලෙට මෙහේ පුංචි බොරැල්ලේ කාෂ්ඨක අව්වේ තැම්බෙන පුංචි මැද මිදුලකට තමුන්ට හැකි පමණින් මල් හෙළන්න ගහ උපරිම උත්සාහය දැරුවා.අළුතෙන් ෆැකල්ටි එන ශිෂ්‍ය කණ්ඩායමක් වසරකට ආසන්න කාලයක් රැදෙන්නෙ මේ පච ගහ යට. අළුත් ආදර කතා ගොඩක් හිතේ තියාගෙන හැමෝටම යාන්තමට හරි හෙවනක් වෙන්න පචගහ සෑහෙන වීරියක් දැරුවා. ඒ ඔක්කොම අවසාන උනේ පාලනාධිකාරිය රථවාහන නැවැත්වීමේ ඉඩ වැඩි කරගන්න පච ගහ කපලා දැම්මට පස්සේ. ඒ මම කැම්පස් එකෙන් අයින් උනාටත් පස්සේ.

මම ඉස්සෙල්ලාම ෆැකල්ටියට ගියාම තැන් තැන්වල අළුතෙන් ආව අය හිටියා.පරිසරය නුහුරු බවක් පෙන්නපු මූණුවලින් නවකයි අඳුනගන්න පුළුවන් උනා.සමහරු මම වගේ තනියමත්, සමහරු අම්මා තාත්තා එක්කත් සමහරු නෑදෑ සනුහරේම සහ ගමේ සැට් එකත් එක්කත් ඇවිත් හිටියා.එක ඉස්කෝලවලින් ආපු උන් තැන් තැන්වල සෙට් වෙලා සතුටු සාමීචියේ. කොළඹ ඉස්කෝලවල කෙල්ලෝ බස බස ගාලා ඉංගිරිස් හරඹ කරනවා. සමහරවිට තමුන්ගේ තත්ත්වේ ඇවිත් ඉන්න ගොඩේ උන්ට පෙන්නන්න වෙන්න ඇති.
සරලව කිව්වොත් ලංකාවෙ හතර දික්බාගෙන්ම එක එක උන් ඇවිත් හිටියා.යාපනේ ඉඳං ගාල්ල මාතර ඉඳං මඩකලපුවෙන්, නුවරින්, බදුල්ලෙන්, ඇල්පිටියෙන්, අනුරාධපුරයෙන්, මොණරාගලින් වගේම බහුතරයක් කොළඹ සහ ඒ අවටින්. ඔක්කොම දෙසිය හයක් විතර වෙච්ච අපේ ශිෂ්‍ය කණ්ඩායමේ විසි එකක් අපේ ඉස්කෝලේ උං.  අවුලක් නෑ තනි නොතනියට අඳුරන උං කීප දෙනෙක් ඉන්න හන්දා මමත් බය නැතුව කැම්පස් ජීවිතේ පටං ගන්න ලැස්ති උනා.

හොඳිං නැත්තං ෂේප් න්‍යායෙන් හරිය!!!


24 April 2018

විදුලි පංකාව



මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන් දුවනවාය. බලං ඉන්න මට දාඩිය දානවාය. සිංහලේ අය කතාවට කියන්නේ දාඩිය මුගුරු හෙලාගෙන වැඩ කරනවා කියලාය. මුගුරු කියන්නේ පොලුවලටය. දාඩිය පොලු විදිහට දාන්නේ කොහොමද කියා මට තේරෙන්නේ නැත. සමහර විට ඊනියා පඬියෝ දන්නවා ඇතිය.ඊනියා පඬියෝ ගැන කිව්වේ මමත් පොරක් බව පෙන්වන්නටය.ඒ උනාට මම එහෙම පොරක් නොවන බව හැමෝම දන්නවාය.

මගේ මතකය යනු එච්චර විශ්වාසකටයුතු මූලාශ්‍රයක් නොවුනත් මට මතක හැටියට අපි පොඩි කාලේ මෙච්චර දාඩිය දැම්මේ නැත.අවුරුදු කාලේ රස්නයක් තිබ්බත් මේ වාගේ ජ්වලන උෂ්ණත්වයට ආසන්න මට්ටමකට පරිසර උෂ්ණත්වය ළඟා නොවුනු බව මතකය.මේ තරම් මදුරුවෝද ඒකාලේ හිටියේ නැත.මදුරු දැල් භවිතයට මම පුරුදු උනේ මගේ ලොකු අම්මාගේ නිවසේ නැවතී හිටි කාලයේය. ඩෙංගු ගැන අසාවත් තිබුනේ නැත.සමහර විට ඒ කාලේ කාටුන් විතරක් බලපු නිසා දැනුවත් කිරීම් මග ඇරී ගියා වෙන්නටත් පුලුවන්ය. වත්ත පුරාම තැඹිලි කෝම්බ, පොල් කටු, රම්පා ගස් වැනි වතුර රැඳෙන ස්ථාන තිබූ අතර අම්මා විට කනු පිනිස පවත්වාගෙන ගිය "මඩ පුවක් වලෙහි" මදුරු කීටයෝ ඕසෙට හිටියත් ගේ ඇතුලේ මදුරුවන් ගහනය ඉතා අඩු මට්ටමක පැවතුනි.

විදුලි පංකාවක් හෙවත් ෆෑන් එකක් අපේ නිවසේ භාවිතා නොකලේ ඒවා අපේ සමාජ ආර්ථික මට්ටමට අනුව සුඛෝපබෝගී වීම නිසාම නොව පංකාවක අවශ්‍යතාවක් දැඩි ලෙස නොදැනීම නිසාය. ඒ කියන්නේ ඒ කාලේ මේ තරම් දාඩිය නොදැම්ම බවය. (මෙහිදී දෙන ලද කාල සීමාවක් තුල ශරීරයෙන් පිටවන මුළු දහදිය මවුල ප්‍රමාණය සැසඳීමක් සිදු කර නැති බව සලකන්න.)  
සමහර විට දැං අපට වැඩිපුර දාඩිය දමන්නේ පරිසර උෂ්ණත්වය ඉහල යෑමට වඩා අපේ ශරීර උෂ්ණත්වය ඉහල යෑම නිසා වෙන්නට පුළුවන්ය.දවස ගානේ අහන දකින  දේවල් අනුව එහෙම වෙන එක සාමාන්‍යය. කෝටි සීයකට කවුන්සිලේ අළුත්වැඩියා කරලා එක දවසක් රැස්වෙන්න කෝටි දෙකක් විතර වියදම් කරලා ඒක ඇතුලේ කරන ලබ්බක් නැති බව දැනගත්තාම ඇඟේ ලේ රත් වෙලා නටන්න පටන් ගැනීම හැමෝටම පොදු කාරණාවක්ය. විශ්වාසභංගේ ගේන්න කළිං හැමෝම තම තමංගේ ඡන්දය ගැන මාධ්‍ය සාකච්චා තියලා කිව්වාය. ඒ ඡන්ද ටික ඒ ඒ වෙලාවේ ගනන් කර ගන්නේ නැතිව අච්චර වියදම් කරගෙන කවුන්සිලේ රැස්වන්නේ මොන ලබ්බටදැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්ය.

ෆෑන් දාන එක දැං විලාසිතාවක් වෙලා ඉවරය. අම්මලා සෙට් උනාම දෙන ටෝක්ස් ඇහුවාම ඒ බව ප්‍රත්‍යක්ෂ වෙන්නේය.
"අපේ චූටි බබාට දැං ෆෑන් එක නැතුව නින්ද යන්නෑ අනේ.පාන්දරට ෆෑන් එක ඕෆ් කළත් ටක් ගාලා ඇහැරෙනවා."
"අපි නං ඒසී එකක් හයි කළා අනේ.ළමයි පවුනේ මේ රස්නේ කොහොම නිදියන්නද අනේ."

ඒසී ගැන පම්පෝරි ගහන්නේ තවමත් සමාජයේ තරමක් ඉහල මධ්‍යමපාන්තිකයින් පමණි.ඒ අනිත් අයට මාසික විදුලි බිල දරා ගන්නවා තබා රෙද්දක් ගන්න හෝ බඩට කන්නවත් නැත.එහෙම කිව්වාට බඩ පැලෙන්න කාලා දියවැඩියාව හදාගෙන එන එකෙක්ට කෑම අඩු කරන්න කීවාම ඌ අපිව මරාගෙන කන්න බලනවාය.අවුරුදු කිට්ටුව රෙදි කඩයක් දිහා බලන්නවත් බැරි තරමට සෙනඟද පිරිලා ඉන්නවාය.හැබැයි ඇහුවොත් සල්ලි නැත.ලංකාවේ හැම එකාම (මාත් ඇතුළුව ) දාන්නේ බොරුවය.

දරුවන් හැදී වැඩෙන ගර්භාශය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් 40ටත් වැඩිය.ඒ පොඩි එකා එළියට ආව ගමං රෙද්දක ඔතලා ගුලි කරලා තිබ්බාම හොඳට නිදියනවාය.ඌට දාඩිය දාලා ඇහැරෙන්නේ නැත.ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ගියාම ළමයාට කෙසේ වෙතත් අම්මාට දාහය හැදෙනවාය.අම්මාට ෆෑන් එක නැතුව බැරි වෙනවාය.දාරක සෙනෙහස උතුරා දෝරෙ ගලන නිසා සහ රෑට සැරින් සැරේ නැගිටින්න කම්මැලි නිසා දරුවා වෙනම නිදි කරවන්නේත් නැත. අවසාන ප්‍රථිපලය වන්නේ ළමයාද ෆෑන් එකට හුරු වෙන එකය. මේ හුරු වීම ඇබ්බැහියක් බවට පත් උනාම ෆෑන් එකේ සද්දේ ඇහෙන්නැතුව හුස්ම ගන්න බැරි වෙනවාය. ෆෑන් එකක් දා ගන්නේ නැතිව කවුරු හරි ඉඳගෙන ඉන්නවා දකින විට අර දරුවා විශ්මයට පත් වෙනවාය.අර මිනිසාගේ ආත්මය දුකින් මුදවා ගන්නට දරුවා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවාය.
"අංකල් ඇයි මේ ෆෑන් එක දාගන්නේ නැත්තේ? ඔයාට දාඩිය නැද්ද? ඉන්න මම ෆෑන් එක දාන්නං.ඔන්න අංකල් ඔයාට හුළං එනවද? මේක තව ටිකක් වැඩි කරන්නද?"

අම්මලාගේ විතරක් නෙමෙයි ආච්චිලාද දැන් සෙල්ලමට එක් වෙලා සිටී. පොඩි දරුවන් නෑවූ විගස 'පපුවට සීතලයි' කියා ඇඳුම් තුන හතර අන්දවනවාය. ඊට පස්සේ 'අනේ ළමයට දාඩිය දාලා' කියා ෆෑන් එක දානවාය.මේ ආච්චිලා පොඩි කාලේ ෆෑන් හොයාගෙන තිබුනේද නැත.නමුත් ඔවුන්ද දැන් මේ සංස්කෘතියට අවශෝෂණය වී හමාරය.

විදුලි පංකා දැමූ කාමර තුළ ඇති සියුම් දුහුවිල්ල ඇවිස්සී වාතයේ නිතරම සංසරණය වන බැවින් දරුවන්ට ඇදුම හෙවත් හතිය ඇති වීමේ යම් සම්භාවිතාවක් ඇත. මම යෝජනා කරන්නේ විදුලි පංකා තහනම් කිරීමට නොව අනවශ්‍ය ඇබ්බැහියෙන් දරුවන් ගලවා ගන්නා ලෙසටය.

ස්තූතියි!!!

28 January 2015

ඇති යංතං....



පහුගිය කාලේ පුරාවටම හරියට රෑට නින්දක් නැත.නින්ද ගියත් මහ රෑ එක පාරට නින්දෙන් අවදි වෙනවාය.බය හිතෙන හීන පේනවාය.හරියට කෑමක් කන්න බැරිය.එන්ඩ එන්ඩ කෙට්ටු වෙද්දී අම්මාත් කම්පා වෙලා හිටියාය.උත්තරයක් නැති ප්‍රශ්නයක් හිතට ආවම කොල්ලෙක් කොච්චර අපහසුතාවකට පත්වෙනවාද කියා තේරුම් ගන්න නම් එහෙම උත්තරයක් නැති ප්‍රශ්නයකට මුහුන දීලාම බලන්ඩ ඕනෑය.

කොල්ලෙක් පාරේ යන හැඩ කෙල්ලෙක් දැක්කාමත් මේ වගේ උභතෝකෝටික ගැටළුවකට මුහුණ දෙනවාය.ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද? අයියලා ඉන්නවාද? තාත්තා වසයිද? ඒ ඔක්කොම හරිනං මට කැමති වෙයිද? කේන්දරේ මැච් වෙනවද? දෑවැද්ද කොච්චරක් විතර දෙන්ඩ බලාපොරොත්තු වෙනවද? මීට කළිං සුළු වරදක් වෙච්ච කෙනෙක් ද? ආදී වූ දාහක් ප්‍රශ්න කොල්ලාගේ ඔළුවට එනවාය.ලොකුම අවුල මේවා කෙල්ලගෙං එක පාර අහගන්ඩ කෙල්ලව අඳුරන්නේ නැති එකය.ඉතිං කෙල්ලව හොඳින් දන්නා වෙන යාළුවෙක් හෝ කෙල්ලගේ මල්ලිව (කෙල්ලට මල්ලි කෙනෙක් ඉන්නවානං) සෙට් කර ගන්ඩ ඕනේය.ඕකේම අනිත් පැත්ත කෙල්ලන්ටත් තියෙනවා වෙන්ඩ පුලුවං ය.හැබැයි උං ඒවා අපිට කියන්නේ නැත.

කොහොම වෙතත් මට තිබුණු ඒ හිත ඇතුලේ බුර බුරා තිබුණු ගැටළුවට උත්තරයක් අද උදේ හම්බ උනේය.මීට කළිං තිබුණේ ඔක්කොම උපකල්පන විතරය.දැං හරි උත්තරය ලැබිලා තියෙන හින්දා කන්ඩ පුලුවංය.නින්දත් යනු ඇත.මගේ මූනත් සිරියාවන්ත වෙලා කියලා අපේ උන්දෑත් කිව්වාය.මේ ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන්ඩ ඇති නිසා කාගේත් දැන ගැනීම සඳහා මෙසේ සටහන් කර තබමි.




R. දුමින්ද සිල්වාගේ 'R' එකෙන් කියවෙන්නේ රොමෙලෝ යන නම මිස රේප් නොවේ.


අරුමාදුර රොමෙලෝ දුමින්ද සිල්වා යනු සම්පූර්ණ නමය.



මෙය දැන ගැනීමට ලැබීමෙන් වීරසංගිලි පණික්කියලාගේ විමලසේන යන්න දැනගත්තාටද වඩා මහා සහනයක් සැනසිල්ලක් හිතට දැනේ.දැං ඉතිං ඉතිරිව ඇත්තේ කොණ්ඩේ ක්‍රේල් හම කළු චීනෙක් දකින්ඩ ලැබීම විතරය.ඒකත් ලැබුණොත් මට එහෙම්මම නිවන් යා හැක.



27 January 2015

වල්පල් සහ ගැමුණු




බ්ලොග් ලියන්ඩැ කම්මැලිය.කම්මැලි කම අපේ ජාතියේ ලක්ෂණයක් නිසා කම්මැලි වීමෙන් මම නියම ශ්‍රී ලාංකිකයෙකු බව නැවත් නැවතත් ඔප්පු වීම සිදුවන බැවින් ආඩම්බර වෙමි.මහින්ද මාමා කුජීතව ගෙදර ගියේය.මයිත්‍රී මාමා වෙනසක් කරන්ඩ ලෑස්ති වෙලා රජගෙදරට ආවේය.මහින්ද මාමාගේ රට පුරා තිබ්බ කටවුට් ගලවලා මයිත්‍රී මාමාගේ කටවුට් ගැහුවෝය.මයිත්‍රී මාමා ඒවා ගලවන්ඩ කිව්වාට තාමත් ඒවා බොහොමයක් ඒ තැන්වලමය.යුද්ධේ ඉවර උනාම පාරේ කිරිබත් කාපු ඈයින්ට ඒක පුරුද්දකට ගිහිල්ලාය.මහින්ද පැරදිච්ච නිසා හා රනිල් දිනපු නිසා කට්ටියම පාරට බැස කිරිබත් කෑවෝය.මේවා නව ලාංකීය ප්‍රවණතා ය.ඉස්සරහට ක්‍රිකට් මැච් දිනුවාම, විභාග පාස් උනාම වගේ දේවල්වලටත් පාරේ කිරිබත් කනවා ඇත.

රූපවාහිනී අයිටීඑන් ආයෙමත් කඩේ යනවාය.මූණ වෙනස් උනාට කියන ප්‍රවෘත්ති ඉස්සර වගේමය.ඒකෙං වෙන්නේ මිනිස්සුන්ට මේ ආණ්ඩුවේ වැරදි දැනගන්න විදිහක් නැති වෙන එකය.සිරස කොහොමත් යුඇන්පී එක පැත්තේය.දැං මේ ආණ්ඩුවේ චැනලුත් මේ පැත්තටම කඩේ යන්ඩ ගිය විට රටේ ජනතාවට මේ ආණ්ඩුවේ ප්‍රශස්ති අහන්ඩ වෙනවා ඇර විවේචන අහන්ඩ වෙන්නේ නැත.ඒක හරි භයානක තත්ත්වයකි.

ආණ්ඩුවේ මාධ්‍ය කියන යෙදුම වැරදිය.ඒවා රාජ්‍ය මාධ්‍යයන් ය.රාජ්‍ය යනු උත්තරීතර නොවෙනස්වන ඒකකය වේ.ආණ්ඩුව යනු රාජ්‍ය කළමණාකරණය සඳහා පත්වන තාවකාලික ඒකකයක් පමණය.ඒ අනුව රාජ්‍ය මාධ්‍ය විසින් කළයුතු වන්නේ රාජ්‍යයේ තොරතුරු ජනතාවට ලබා දීම මිස ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කිරීම නොවේ.නමුත් රාජ්‍ය ගැති පුද්ගලයින් ලංකාවේ නොමැති වීමත් ඉන්නේ ආණ්ඩු ගැති හෝ ආණ්ඩු විරෝධී පුද්ගලයින් පමණක් වීමත් නිසා ප්‍රායෝගිකව මේ ප්‍රශස්ති ගායනය නැවැත්වීම අසීරුය.ඒ නිසා විකල්පයක් ලෙස වැඩි ප්‍රේක්ෂක ප්‍රමාණයකට දර්ශනය වන රාජ්‍ය මාධ්‍ය දෙක එකක් ආණ්ඩුවටත් අනික විපක්ෂයටත් ලබා දිය හැකිනම් මිනිසුන්ට ආණ්ඩුවේ යහපත් ක්‍රියා මෙන්ම අවකල්ක්‍රියාද දැනගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි සිතමි.

පෙරේදා මහරජ ගැමුණු බැලුවෙමි.සෙනඟ සූ ගාලා හිටියාට මටනං ඒකේ ලොකු ලකයක් තිබ්බේ නැත.නිකං ජිල් බෝල හොද්ද වගේ ඔහේ තිබිලා ඉවර උනේය.ඒක ලංකාවේ සිනමාවේ හැටිය කියලා හිත හදාගෙන එන්නට සිද්ද උනේය.චිත්තර පටියක් බලලා ඉවර උනාම "අම්මට සිරි" කියලා කියවෙන තරමේ ප්‍රහර්ෂයක් එන්ඩ ඕනෑ කියලා මට හිතෙනවා ය.ඒ උනාට අපේ චිත්තරපටි මෙළෝ රහක් නැත.මහරජ ගැමුණු එන්ඩ ඇත්තේ ඡන්දෙත් අල්ලලා නිසා දඩි බිඩියේ වැඩ ඉවර කරන්ඩ ට්‍රයි කරන්ඩත් ඇතිය.මට මතක විදිහට සංගීතය නදීක ගුරුගේ මහත්තයාගේය.ඒ උනාට ඒකෙන් වත් කිසි ප්‍රාණවත් ගතියක් ආවේ නැත.දුටු ගැමුණු මට මහා වීරයෙක් නොවුනාට නිර්මාණකරුගේ උත්සාහය වෙන්නේ ගැමුණු චරිතය ප්‍රෞඪ මහා බලගතු එහෙත් මෛත්‍රී සහගත කැරැට්ටුවක් හැටියට පෙන්නන්ඩය.ගැමුණු චරිතයේ සංසිද්දීන් එක්ක මහා ගැඹුරු ත්‍රාසජනක මයිල් කෙළිං වෙන පසුබිම් සංගීතයක් එන්ඩ ඕනෑ යැයි මට හිතුනු තැන්වලදී පවා නදීක මහත්තයා දාලා තිබ්බේ මහා දියාරු තනුක සංගීතයකි.

රංගනයේ නං කියන්ඩ තරං වැරැද්දක් නැත.ඇත්තටම ගොඩක් තැංවල රංගනය ප්‍රශස්ත මට්ටමක තිබුණා යැයි කියන්ඩ පුලුවංය.ඒත් ගැමුණු කුමාරයාගේ බිරින්දෑට නං සිංහල ඌරුවක් නැති බව කැපිලා පෙනුනු බවත් කියන්ඩ ඕනෑය.ඒ උන්දෑ මියුසියස්, සෙන්ට් බ්‍රිජට් වගේ ඉස්කෝලෙක කෑල්ලක් මිස මාතලේ පැත්තේ ගොවි ගෙදරක කෙල්ලෙක් නං නෙමෙයි ය.නිළියෙක් නං ලැබෙන චරිතයට අනුගත වෙලා රඟපාන්ඩ ඕනෑය.නැත්තං චිත්‍රපටියේ වගකිව යුත්තෝ ගැලපෙන නිලියක් හොයා ගන්ඩ ඕනෑය.



පයිට් නං කියලා වැඩක් නැත.දුටු ගැමුණු වීරයෙක් වෙන්නේ එළාර පරද්දපු හින්දාය.ඒ කියන්නේ දුටු ගැමුණු කතාවේ යුද්ධයට වැඩි ඉඩක් දෙන්ඩ ඕනෑය.අනික ඒකේ පැරණි යක්ෂ ගෝත්‍රිකයංගේ අංගම් සටන් ගැනත් කියන නිසා සිරා පයිට් දෙක තුනක්වත් තිබ්බානම් වඩා හොඳය.නමුත් පයිට් බොහොමයක් හුදු නර්තනයකට ලඝු කොත තිබුණි.ඊ තල ඇවිත් ඇඟේ වැදීම ඔයිට වඩා තාත්විකව පෙන්වන්න තිබුණා කියා මට හිතෙනවාය.රොබින් හුඩ් ටෙලි කතාව ආවේ අපි පුංචි කාලේ ය.ඒ කාලේ ටෙලි කතාවකට ඔවුන් භාවිතා කළ තාක්ෂණය අද අපේ මහා සිනමා නිර්මාණයකටවත් භාවිතා නොකරන්නේ නම් අපේ සිනමාවේ අනාගතය නිකං බොඳ වෙලා යන බව කියන්ඩත් ඕනෑ නැත.



අදට ඔය ඇතිය.කම්මැලි කම නැති උනොත් තව ලිපියක් ලියන්ඩ බලාපොරොත්තු වෙමි.

13 July 2014

මෙය අපේ ය. අපි මෙය රැක ගමු!!!



මළ පහ කිරීම සඳහා ඇති නිදහස මූලික මිනිස් අයිතිවාසිකමකි.කවුරුන් විසින් හෝ කුමන හෝ පුද්ගලයෙකුගේ එකී අයිතිවාසිකමට එරෙහි වීම ජිනීවාවල විදුලි පුටුවේ ඉන්දවාවත් සාධාරණීකරණය කළ නොහැකි වරදකි.අපේ ආදී මුතුන් මිත්තෝ මෙකී මූලික අවශ්‍යතාව සඳහා වට පිට බලා බැද්දට රිංගූහ.බොහෝ විට මේ සඳහා තෝරා ගත්තේ ස්වභාවික ජල පහසුකම් සහිත එනම් ඇළ පාරක් හෝ දොළ පාරක් ඇති ස්ථානයකි.ඒ මළපහ කිරීමෙන් පසු පස්ස පිසදාගැනීම අපේ සිංහල මෙව්වා එක අනුව ජුගුප්සාජනක නිසාය.අපේ වසර දෙදහස් පන්සීයකට වඩා පැරණි මෙව්වා එක අනුව මළ පහ කළ පසු පස්ස ජලයෙන් සේදිය යුතුය.අනෙක් ගොං පුරුදු අතරේ ඇති මෙවන් හොඳ පුරුදු අගය කළ යුතුය.අපේ සංස්කෘතිය කොච්චර අපි අගේ කළත් ලංකාවේ කොළඹ ඉදිකොට ඇති ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ වැසිකිළිවල වතුර නැති කතාවක් කොහේදී හෝ අසන්නට ලැබුණි.ඇත්ත නැත්ත හරියටම කියන්නට දන්නේ නැත්තේ එවන් තැනක ඇති වැසිකිළියකටවත් යාමට අවශ්‍යතාවයක් මට ඇති වී නැති නිසාය.

නමුත් ක්‍රමයෙන් වන ගහණය අඩු වන විට සහ ගෙවල් එකින් එක ළං ළංව හැදෙන විට බැද්දට රිංගීමේ පුද්ගලිකත්වයට බාධා ඇතිවන්නට විය.වෙරළබඩ ජනතාව දිනපතා උදෑසන වැල්ලේ සාමූහික මළපහ සැනකෙළි පැවැත්වීමට හුරු වෙද්දී රටතුල ජනතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් වැසිකිළි ලැබෙන්නට පටන් ගත්තේය.මුලින් මුලින් තිබූ වල වැසිකිළි පසුකාලීනව සනීපාරක්ෂාවේ උන්නතිය උදෙසා ජලමුද්‍රිතව නිමවෙන්නට විය.මේවා නිවෙස් අසල ඉඳිකෙරුණු අතර වැසිකිළිය සහ ළිඳ අතර නිශ්චිත පරතරයක් තිබිය යුතු බවට නීති පවා සම්මත වී ඇත.නිවෙසින් බැහැරව තිබූ වැසිකිළි නිවෙස් තුළට පැමිනෙන්නේ සනීපාරක්ෂාව මෙන්ම ජීවිත ආරක්ෂාවද වැදගත් නිසාය.නිවසින් ගව් ගණනක් දුරින් ඇති වැසිකිළියට මහ රෑ ඇතිවන තදබල අවශ්‍යතාව සංසිඳුවා ගැනීමට යන අසරණයින් මගමරුවන්, තිත් පොළඟුන්, දාර පොළඟුන් මෙන්ම කුණ කටුවන් සහ නාගයින්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවධානමක් තිබිණි.

උක්කුටික වැසිකිළි ආසන වැසිකිළි බවට පරිවර්ථනය වීමේ මිනිස් ඉතිහාසයේ මහා පිම්මක් ලෙස සැළකිය හැක.උක්කුටික වැසිකිළිවලට වඩා ආසන වැසිකිළිවල වැඩි වේලාවක් පහසුවෙන් වාඩි වී සිටිය හැකි බැවින් මහා චින්තකයින් ශ්‍රේෂ්ඨ දාර්ශනිකයින් සිය මහා මතවාද සහ කල්පිත නිර්මාණය කිරීමට වැසිකිළි භාවිතා කළහ.භාශාව නිර්මාණය කිරීමෙන් පසු මිනිසා විසින් නිපදවූ විශිෂ්ඨතම නිර්මාණය ආසන වැසිකිළි ලෙස සැළකිය හැක.



සිය නිවසේ වැසිකිළිය ගෙහිමියාට පන්සලක් පල්ලියක් මෙන් වූවාට ගෙයින් බැහැරකදී ඇතිවන ක්ෂණික අපහසුතා සඳහා ඉන් සැළසෙන සෙතක් නැත.මෙවන් වූ අර්බුධවලින් මානවයා බේරා ගැනීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රථම පොදු වැසිකිළි ගැන අපිට අහන්නට ලැබෙන්නේ අතීත රෝම නගරයේය.එහි තිබූ පොදු ස්නානාගාර අසල මෙකී පොදු වැසිකිළි තනා තිබූ බැව් පැවසේ.මිනිසාගේ ආහාර මාර්ගයේ මහා අන්ත්‍රයේ අග කෙළවර විශාල වී මළද්‍රව්‍ය ගබඩා කරගෙන සිටිය හැකි පරිදි නිර්මාණය වී ඇත.ඒ ආහාර මාර්ගයේ ආහාරවලින් පෝෂ්‍ය පධාර්ථ අවශෝෂණය කරගත් පසු ඉතිරිවන අපද්‍රව්‍ය බැහැර කිරීමට සුදුසු ස්ථානයක් සහ වේලාවක් එනතුරු රඳවාගෙන සිටීමටය.නමුත් මේ කොටසේ ධාරිතාව ගැන කිසිවෙකුට කිසි කලෙක අවබෝධයක් ලබා ගැනීමට බැරිය.එකී ධාරිතාව එකම පුද්ගලයාගේ උවද කලින් කලට වෙනස් වේ.විටෙක දින දෙක තුනක මළ ගබඩා කරගෙන සිටින මෙය විටෙක විනාඩි පහෙන් පහට හිස් කිරීමට සිදුවේ.මිනිස් ජීවිත රසවත් කරන්නේත් ත්‍රාසජනක කරන්නේත් මෙවන් වූ අවිනිශ්චිතතාවයන් වේ.එනිසාම කිසිඳු පුද්ගලයෙකුට සිය ගුදය ගැන පූර්ණ විශ්වාසයකින් යුක්තව නිවෙසින් බැහැර යා නොහැක.ගුදය ඔබේ බිරිඳ වගේ ය.ඔබේ සිරුරට අධිපති ඔබ යැයි ඔබ සිතා සිටියත් ගුදයට අවැසි විට ගුදය ඔබව පාලනය කරන අයුරු නිරීක්ෂණය කිරීම වටී.මේ සියල්ල විස්තර කළේ පොදු වැසිකිළියේ වටිනාකම හොඳින් අවබෝධ කර ගැනීමටය.

ඒ අනුව බලන කල් හි පොදු වැසිකිළි යනු සකල මානව සංහතියේම උන්නතිය උදෙසා කරවා ඇති මහා සද්කාර්යයක් බවය.මෙකී පොදු වැසිකිළි සාමාන්‍යයෙන් බස් නැවතුම්, දුම් රිය ස්ථාන, සති පොලවල්, ආදී මිනිසුන් වැඩියෙන් ගැවසෙන තැන්හි ස්ථාපිත කරනු ලැබේ.ඒවා නඩත්තුව සාමාන්‍යයෙන් කරන්නේ නගර සභාව විසිනි.ඒවා පවිත්‍ර කිරීමේ කටයුතු කරනු ලබන්නේ කොන්ත්‍රාත් ක්‍රමයටය.ඒ නිසා බොහෝ පොදු වැසිකිළිවල සහනය ලබා ගැනීමට සුළු මුදලක් ගෙවිය යුතු වේ.සාමාන්‍ය වෙළඳ ක්‍රමයට පටහැනිව ඔබේ යමක් දී මුදල්ද ගෙවීමට සිදුවන විරල ගනු දෙනුවලින් එකකි මේ.ඒ අනුව බලන විට මෙය 'ගනුදෙනු' නොව 'දෙනුදෙනු' ලෙස සැලකිය හැක.එමෙන්ම ඔබේ යමක් ප්‍රදානය කොට ඔබට සතුටු විය හැකි අවස්ථාවන්ගෙන් එකක්ද වන නිසා බුදු දහමේ එන 'දානය' සහ ඉන් ලැබෙන තෘප්තිය ගැන පුහුදුන් ජනයාට පහදා දීමට ද මේ අවස්ථාවක් කර ගත හැක.



මම ලංකාවෙන් බැහැරව ගොස් නොමැති නිසා ලෝකයේ අනිකුත් රටවල වැසිකිළි ගැන සුළු හෝ අදහසක් නොමැති නිසා ඒවා ගැන අදහස් පල කිරීමෙන් වැළකී සිටිමි.අපේ රටේ පොදු වැසිකිළි සැළකීමේදී සාතිශය බහුතරයක් ඇමෝනියා ගන්ධයෙන් යුක්තය.ඒ ගඳ කොතරම් සැරදැයි කිවහොත් ඔබට දොරෙන් ඇතුලට යෑමට සිදුවන්නේ ගඳ ඈත් මෑත් කොට ගඳ අතරින් රිංගාගෙනය.ගඳ එතරම් ඝණ ය.වැසිකිළිය තුලදී දෑස ඇරියොත් ඇමෝනියා සැරට දෑස දැවෙන්නේය.කඳුළු ගලන්නේය.ඔබ කඳුළු පිසිමින් වැසිකිළියෙන් පිටතට පැමිණෙන විට ඔබ වැසිකිළියේ ඇති මහාර්ඝ ලේඛනයන් හෝ දුක්ඛය රසයෙන් අනූන කවක් කියවා අඬන්නේයැයි අවට සිටින්නෝ සිතති.වැසිකිළි යනු කැටපත් පවුරු වැනිය.යනෙන අය ඔවුන්ගේ සිතැඟි එහි ලියා යති.තව වසර පන්සීයකින් දාහකින් පමණ ලංකාවේ කැණීම් කරන චීන පුරාවිද්‍යාඥයින් මේවා සොයාගෙන සංරක්ෂණය කරනු ඇත.නම් කර අඳිනු ලැබ ඇති ස්ත්‍රී හා පුරුෂ රූප ඩාවින්චිගේ විටෲවියන් මිනිසා මෙන් අගය කෙරෙනු ඇත.මෙ කල මිනිසාගේ ආකල්ප, සිතුම් පැතුම්, ලිංගික ප්‍රවණතා ආදිය ගැන අනාගත මිනිසාට තොරතුරු ලබා දෙන වැදගත් මූලාශ්‍රයක් ලෙස සලකා 'ටොයිලටෝලොජි' නමින් වෙනම විද්‍යාවක් ඇරඹෙනු ඇත.නමුත් දැණ් දැන් වැසිකිළි ලේඛණ කලාව ද ක්‍රමයෙන් අභාවයට යමින් පවතින්නේ ය.එ කල වැසිකිළිවල තිබූ විශිෂ්ඨ රසාලිප්ත කාව්‍ය රචනා වෙනුවට දැන් ඇත්තේ කෙටියෙන් අවශ්‍යතාව හෝ සේවාව සඳහන් කොට ලියූ දුරකථන අංක පමණි.මේ තත්ත්වය වෙනස් කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය යැයි සිතේ.එක්සත් වැසිකිළි කලාකරුවන්ගේ සංගමයක් පිහිටුවා රජයට බලපෑම් කළ යුතුය.

පුරුෂ වැසිකිළිවල මුත්‍රා කිරීමට ඇති බිත්තියේ සවි කළ පෝච්චි ඇත්තේ සාමාන්‍යයෙන් ඉහල සමාජ පරිසරවල ය.දුම් රිය ස්ථානයේ බස් නැවතුමේ ඇති පොදු වැසිකිළිවල ඇත්තේ බිම කාණුවත් එයට එදිරිව ඇති පිඟන් ගඩොල් ඇල්ලූ බිත්තියත් ය.මුත්‍රා කරන්නාට ඇත්තේ ඉදිරියේ ඇති බිත්තියට තරමක් ආනතව මුත්‍ර ධාරාව එල්ල කිරීම පමණි.මුත්‍ර ධාරාව බිත්තියට ලම්බකව එල්ල කළ හොත් බිත්තියේ වැදී පොලා පනින මුත්‍ර කලිසමට අතට හෝ පා වහන් මතට වැටීමේ අවධානමක් ඇත.ආනතව එල්ල කරන ධාරාවේ ඇති අංශු සහ පිඟන් ගඩොල අතර ඇතිවන 'ආසක්තික' බල නිසා මුත්‍ර නැවත පොලා පැනීමකින් තොරව බිත්තිය දිගේ ගලා ගොස් කාණුවට එක් වේ.මුත්‍ර කිරීමට ඇති වපසරිය සැළකිය යුතු තරම් විශාල උවද නිවැරදි ඉලක්කයට මුත්‍ර කිරීමට බොහෝ දෙනෙක් අසමත් වන බව පෙනේ.වැසිකිළියේ දොරෙන් ඇතුළු වූ තැන සිට ම ඇත්තේ මුත්‍ර ය.සමහර විට පුරුෂ ලිංගයන් ඇද වීම නිසා ඔවුන් මෙකී අර්බුධයට මුහුණ පානවා විය හැක.සුද්දන් අපට හඳුන්වා දුන් යට ඇඳුම් අපේ 'අමුඩය' මෙන් අවැසි විට අවැසි පමණට සීරු මාරු කළ නොහැකි නිසා අපේ හෙළයන්ගේ ලිංගයන් ඇද කිරීමට හේතු වී ඇතුවා විය හැක.එහෙයින් නිවැරදි එල්ලයට මුත්‍ර කිරීමට නොහැකිව පොදු වැසිකිළි පුරාම මුත්‍ර හලනවා විය හැක.නො එසේ නම් මුත්‍ර මාර්ගය අවහිර වන සේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීමෙන් මුත්‍ර ධාරාව දුරට නොගොස් දෙපා අසලම වැටෙනවා විය හැක.එමෙන්ම එකී තත්ත්වය සමඟ ඇතිවන මූත පිට කිරීමෙන් පසුවත් බින්දු වශයෙන් මුත්‍ර පහ වීම නිසාත් වැසිකිළිය පුරා මුත්‍ර හැලෙනවා විය හැක.

මළ පහ කිරීමේදී නම් වැඩි දෙනෙක් වටේ හලන්නේ නැත.ගැටළුව නම් ඔවුන්ට අවසානයේ වතුර ගසා යාමට අමතක වීම ය.මොළයේ සෛල ක්‍රමයෙන් අකර්මන්‍ය වීමෙත් ඇතිවන ඩිමෙන්ෂියා නම් තත්ත්වය නිසා මෙලෙස කෙටි කාලීන අමතක වීම් ඇතිවිය හැක.එනිසා මෙවන් පුද්ගලයින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමු කළ යුතුය.එය විශාල සමාජ මෙහෙවරකි.වැසිකිළියට වතුර යොදන උපකරණය කැඩී තිබීම, වැසිකිළිය තුල ඇති ජල නලය ක්‍රියා නොකිරීම ආදිය ද පුද්ගලයන් තුල ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතු කිරීමට දායක වන බැවින් ඒවා නිවැරදි කිරීම සමාජ වගකීමක් වේ.

මළ පහ කිරීම පුද්ගලික කටයුත්තකි.එහි නියම රසය විඳිය හැක්කේ තනිව එය කරන විට ය.නමුත් එය අන්‍යයන්ගෙන් සතුට සඟවා ගැනීමේ ඊනියා ධනවාදී ආකල්පයක් යැයි සිතමින් මුග්ධ සමාජවාදීන් මළපහ කිරීමේ කර්තව්‍ය ද ජනසතු කිරීමේ අරමුණින් වැසිකිළිවල ඇති අගුළු ගලවා ගෙන යති.නැතහොත් කඩා බිඳ දමති.

හෙට දවසේ අතරමග දී අසරණ වන්නේ ඔබ විය හැක.පොදු වැසිකිළි ඔබේ දෑස මෙන් රැක ගන්න.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

උඩ ලිපිය ලියන්ඩ පෙළඹුනේ මට මුහුණ දෙන්ඩ සිද්ද වෙච්ච කෲර අත්දැකීමක් නිසා.ඒ වගේ දෙයක් නාමල් අයියට වත් සිද්ද වෙන්ඩ එපා කියලා තමයි මම නං ප්‍රාර්ථනා කරන්නේ.ඉතිං සහෝදරවරුනි මම එක දවසක් ගෙදර ඉඳං කෝච්චියේ අපේ ෆැකල්ටි එකට එන්ඩ එනවා.මගේ ඇඳුං ටික දා ගත්තු පැත්තෙං එල්ලන බෑග් එකයි ලැප් එක දාපු පිටේ එල්ල ගත්තු බෑග් එකයි අරං ෆැකල්ටි යන්ඩ ලෑස්ති වෙලා සපත්තු එහෙම දාල ෂර්ට් එක අයන් කරලා යට කරලා ඇඳලා මම එනකොට දෙමටගොඩ හරියෙදි ආවනේ තද බරක්.නළලට දාඩිය දාලා, කන් දෙක රත් වෙලා මම හැකි වීරිය දාලා අල්ලං ඉන්නවා ඔන්න මරදානට එනකං.මම එච්චර මහත දෙහත ඩයල් එකක් නෙමෙයි නෙව.ඉතිං මගේ කපාටවල තියෙන පේෂිවලට එච්චර පීඩනයක් වැඩි වෙලාවක් දරා ගන්ඩ බැරි විත්තිය මම දැනං උන්නේ.මම හිතිං කෝච්චි ඩ්‍රයිවර්ටයි, දුම් රිය දෙපාර්තමේන්තුවටයි, නයනා කුමාරිටයි බැණ බැණ ඉන්න කොට ඕං කොහොම හරි මරදානට කෝච්චිය ආවා කියමුකෝ.මගේ කපාට පේෂිවලට හිතිං වැඳලා එහෙම මම ගණං හදලා බැලුවා පොලීසිය ඉස්සරහින් බස් එකට නැග්ගත් උං අද්දන්නේ උංට ඕනෙ වෙලාවට.ඒ ඇද්දුවත් පුංචි බොරැල්ලට් එනඩ ඕනේ.එතනින් හොස්ටල් එකට වඩා ෆැකල්ටියට තමයි ළඟ.ඒකටත් සෑහෙන දුරක් පයින් යන්ඩ තියෙනවා.ඒක අසාර්ථක ප්ලෑන් එකක්.

මම ගත්තා දැඩි තීරණයක්.මම යනවා ස්ටේෂන් එකේ මහතුංගේ වැසිකිළියට.මහතුංගේ අම්ම කොළඹ ආව වෙලාවේ සෑහෙන්ඩ සන්තෝස උනාලුනේ තමුංගේ පුතාට වෙනම වැසිකිළියක් තියෙනවා දැකලා.මමත් ඉතිං මහතුංට පිං දීලා ගියා වැසිකිළියට.

'මෙම දුම් රිය ස්ථානය තුල සොරු සහ ගැට කපන්නන් ගැවසෙන බැවින් මගීන් තම තමුන්ගේ ගැටය පරිස්සම් කර ගන්න'

එහෙම අනතුරු ඇඟවීමක් දුන්නම කොහොමද නොසලකා හරින්නෙ.බෑග් දෙක දීලා යන්ඩ කෙනෙක් නෑ.තියලා යන්ඩ තැනක් නෑ.තව වැඩි වෙලාවක් නෑ.හිරෝෂිමා නාගසාකිවල සිද්ද උනාට වඩා ලොකු විනාසයක් වෙනවා දැම්මම මේක නිසි තැනකට ගිහිල්ලා නිශ්ක්‍රීය කළේ නැත්තං.මොනවා කරන්ඩ ද සහෝදරවරුනි බෑග් දෙකත් කරේ එල්ලං දිව්වා වැසිකිළියට.ඇතුලේ තියෙනවා වැසිකිළි තුනක්.දෙකක් දැනටමත් මං වගේ අසරණයින් දෙන්නෙකුට සර්ණ වෙනවා.එකක් විතරක් මං වෙනුවෙන් තියෙනවා.ස්වර්ගයට තියෙන දොර දිහාවට දුවනවා වගේ මම දිව්වා ඇතුලට.මේ අවසාන තප්පර කීපයයි ගෙවෙන්නේ.මරාගෙන මැරෙන බෝම්බ කාරයෙක්ගේ සිතුවිලි මට අවබෝධ වෙනවා දැං.ගිය ගමං බැලුවේ ටැප් එක ඇරලා වතුර තියෙනවද කියලා.හිතුවා වගේම වතුර නෑ.ඒකේ තිබ්බ බාල්දිය අරං දිව්වා එලියේ තියෙන ටංකියට වතුර එකක් පුරවගෙන හුසේන් බෝල්ට් වගේ දිව්වා ආපහු.ඇතුලට ගිහිල්ලා දොර වහද්දි තමයි දැක්කේ ඒකෙ අගුල නෑ කියලා සහෝදරවරුනි.කවුරුහරි මගේ නිරුවත දකියි කියලා ආත්මගරුත්වය ගැන ප්‍රශ්නයක් ආවත් ඒ වෙලාවේ තිබ්බ ජීවිතයත් මරණයත් අතර ගැටළුව එක්ක සළකලා ඒක මම අමතක කරලා ඉඳ ගත්තා.බඩේ තිබ්බ බර ටික ටික අඩුවෙලා ඒ අමා මහ නිවනට ඔන්න මෙන්න තියෙද්දි තමයි මම දැක්කේ බාල්දියේ පතුලේ තිබ්බ හිලකිං වතුර ලීක් වෙනවා.

ලොකු බෑග් දෙකක් කරේ එල්ලගෙන' අගුලු දාන්ඩ බැරි වැසිකිළියක, කොමොඩ් එකට හුරු වෙලා නිසා මේකේ අසමතුලිතව ඉඳගෙන එක අතකිං වතුර බාල්දිය උස්සගෙන අනිත් අතේ ඇඟිල්ලකිං බාල්දියේ පතුලේ ලීක් එක වහං ඉන්න තරුණයෙක් මවා ගන්ඩ සහෝදරවරුනි.කොහොමද නිකං කලා වැවේ බැම්මේ ලීක් එකක් වහගෙන හිටපු කාල කුමාරයා මතක් වෙනවා නේද?පස්සේ හොස්ටල් එකට ඇවිල්ලා දෙපාරක් නාලා ක්ලිනිකල්ස් නොගිහිං නිදා ගැනීමෙන් මේ ශෝකාලාපය අවසාන වෙනවා.

මේ දේ හෙට සිද්ද වෙන්නේ ඔබට වෙන්ඩ පුළුවං.ඒ නිසා පොදු වැසිකිළි රැක ගන්න පෙරට එන්න!!!




20 May 2014

සරල සහ සංකීර්ණ


පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ

හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා

එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා


14 May 2014

නැකතට කිරීම.....





මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.



පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්‍රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්‍රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්‍රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්‍රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.

ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.

ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්‍යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්‍රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්‍ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්‍රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්‍යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්‍යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.

ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.

කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්‍රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්‍යෝතිෂ්‍ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.




තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්‍යා යුවලක් නම්, මඟුල නම් වූ ක්‍රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්‍රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.



අපිට අනන්‍ය වූ අපේ ශාස්ත්‍ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.


27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල




08 March 2014

ලෝක කාන්තා දිනය සමරමු..



කාන්තා දිනයට ඊයේ යමක් ලියන්ඩ හිතාගෙන හිටියත් කම්මැලි හිතිච්ච නිසා එය ලෝක කාන්තා දිනයේදීම ලියා පල කිරීමට සිදු විය.ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගේ නිදහස, ආරක්ශාව, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ප්‍රජාචංචවාදය, උන්නතිකාමය, උංට වාසි වෙලාවට සමතැනත්, උන්ට කෙළ වෙන විට නිසි තැනත් ඉල්ලා කාන්තාවෝ හඬ නඟති.මේ සියළු අයිතිවාසිකම් ඔවුන් ඉල්ලා සිටින්නේ කපුටන්, අශ්වයන්, ඌරන් සහ එළුවන්ගෙන් නොව ගෑනුංගේ ගර්හාවට, අවඥාවට, නින්දාවට ලක්වන උංගෙන් සෑම විටම බැණුම් අසන සමහර විට ගුටිද කන පිරිමියා කියන අසරණ සත්වයාගෙනි.



අතීත රෝමකයින් ඔවුන්ගේ ජීවිත කුසීතව ඔද්දල්ව නොයනු පිනිස ඔවුන්ගේ නගර මධ්‍යයේ විශාල 'ඇරීනා' නිර්මාණය කොට සිරකරුවන් වහලුන් ඒවායේ කාකොටා ගන්නට දමා එකී ගහ මරා ගැනීම් බලා සන්තෝස වන්නට පුරුදුව සිටියෝය.දෙවියන් වහන්සේත් ආරම්භයේ පටන් කරන්නට වැඩක් නොමැතිව කම්මැලි කමේ ඉඳ අවසානයේ ලෝකය නම් මහා ඇරීනාව නිර්මාණය කොට එහි පිරිමියාත් ගැහැනියත් මවා උං කාකොටා ගන්නවා බලා කොහේ හෝ ඉඳ ආතල් ගන්නවා වෙන්නට පුලුවන.නැත්තං උන්දෑට පිරිමියා පමණක් මවා නිකා ඉන්නට තිබුණේය.ද්වීඛණ්ඩනයෙන්, අංකුර මඟින්, ධාවක මඟින්, කඩ කඩ වීමෙන් හෝ බල්බිල මඟින් සිය ප්‍රජාව බෝ කිරීමේ ක්‍රමයක් හදා දෙන්නට තිබුණි.නමුත් එවන් වූ සාර්ථක සාමකාමී ක්‍රමවේදයෙන් බැහැරව දෙවියන් වහන්සේ මෙතරම් සංකීර්ණ වූ ක්‍රමයක් නිර්මාණය කර ඇත්තේ හුදෙක් විනෝදය පිණිසම නොවේද?ගෙදරක ගෑනිත් මිනිහාත් මරාගන්නා විට වටේ ගෙවල්වල උන්ට එය කොච්චර ආතල් එකක් සපයන්නේද?



විවේකී ඉරිදා දව්ස්සේ ක්‍රිකට් තරගය බැලීමට හෝ චිත්‍රපටියක් බැලීමට හෝ පත්තරය පොඩ්ඩක් බලමින් නිදහසේ ගෙදරට වී ඉන්නට හදන විට ඔබේ බිරිඳ තේ එකක්ද හදාගෙන ඔබ වෙත එයි.

'ඉක්මනට මේක බීලා ලෑස්ති වෙන්ඩ.දවල් උනොත් මේ ගිනි රස්නේ පිස්සු හැදෙයි'

'කොහේ යන්ඩද?'

'ඔව් ඉතිං ඔයාට කවද්ද මගෙ දෙයක් මතක තිබ්බේ'

විසාල කුණාටුවක පෙර නිමිති හමුවේ ඔබ මේ කියන්නේ මොකක් ගැනදැයි පසුව සොයා ගැනීමේ අභිප්‍රායෙන් බොරුවක් කියන්නේය.

'ඇයි මට මතක නැත්තේ, මට මේ නිවුස් එක බල බල හිටපු හින්දා මතක් උනේ නැත්තේ.'

'අනේ යන්ඩ නිකං බොරුව නොදා.මං ඔයාට ගිය මාසේ කිව්වේ මට සාරියක් ගන්ඩ ඕනේ කියලා.මම ඊයේ රෑ කිව්වම හා කියපු ඔයාට දැං ඒක මතක නෑ.'

සතියකට පසු නිවාඩු දිනයක් ලැබ ළමයින්ද නින්දට ගොස් සිටි නිශා යාමයේ ඇය කියූ හැම දෙයටම සැළකිල්ලක් නොදක්වා 'හා' කියූ බව ඔබට සිහියට එන්නේ ඒ වෙලාවේය.

'හරි ඉතිං සාරි තෝරන්ඩ මට තේරෙණවද? ඔයා එහා ගෙදර චම්පත් එක්ක ගිහිං එන්ඩකෝ.'

'ඔව් මට ඉතිං එක එකා එක්ක තමයි යන්ඩ වෙලා තියෙන්නේ.මිනිහෙක් බැඳ ගත්තට වැඩක් තියෙනවයෑ.අන්න ඒකට කාන්තිගෙ හස්බන්ඩ්.කාන්තිගේ හැම වැඩකටම යන්නේ එන්නේ එයා.'

කාන්තිගේ සැමියා පිළිබඳ ඔබ තුල මහා ද්වේශයක් ගොඩ නැගෙන්නට පටන් ගනී.ගෑනුන්ට වැරදි පූර්වාදර්ශ දී අසරණ සැමියන් අපහසුතාවට පත් කරන උගේ වෘෂණ දෙක තලා බෙල්ල විකා මරා දැමීමට ඔබට සිතෙයි.සතියකට පෙර කාන්තිගේ සැමියා ගෑනු පෙරේතයෙක් බවත් ගෑනු දිහා කන්ඩ වගේ බලන බවත් බලෙන් කතාවට එන බවත් කියා ඔබත් එක්කම කියමින් බැන්නේ ඇය බව ඔබේ බිරිඳටත් මේ වෙලාවේ මතක නැත.

මේ මළ වදෙන් බේරෙන්නට වෙන කරන්නට දෙයක් නැති තැන ඔබ තේ එක උගුරු දෙකට බී ඉක්මනින් ඇඳ ගන්නට යයි.



සාරි තේරිල්ල ලේසි නැත.පාට හරියන විට රෙද්ද හරි නැත.රෙද්ද හරියන විට බෝඩරය හරි නැත.ඒ ඔක්කොම හරියන විට ඇය එම සාරිය අඳින විට එයට ගැලපෙන්නට ඔබට ඇඳුමක් නැත.ඔක්කෝම හරියන විට ගාන වැඩිය.ඒ කඩෙන් මේ කඩේට ගොස් ඔබට එපා වෙන්නේය.

'මේ සාරිය කොහොමද?' ඔබේ බිරිඳ ඔබේ ඇස් ඉදිරියේ එක්දහස් දෙසිය හත්වන සාරියද දිග ඇර පෙන්වයි.

'අනේ මංදා.' ඔබ අවංක අදහස කියන්නේය.

'ඔයාට මේක ලස්සනද කැතද කියලා කියන්ඩ බැරිද?එහෙම එකක්වත් කරන්ඩ බැරිනං මොකටද ඔයා ආවේ? අපරාදේ මට එන්ඩ තිබ්බේ චම්පත් එක්ක.'

කඩේ සෙනඟ ඉන්න නිසා ඔබ මුවින් නොබැන පසෙකට වී ඉඳී.

'මේක කොහොමද?' එක්දහස් දෙසිය අටවන සාරියද ඔබේ ඇස් ඉදිරියේ දිග ඇරේ.

'කැතයි' ඔබ වඩා සාධාරණ පිළිතුරක් දෙන්නේය.

'ඔයාට ඉතිං මම දෙයක් තේරුවොත් කැතයි නේ.පිරිමිනං අනේ මන්දා ඒ අයට ඉතිං ලස්සන වාහනයි, අනුංගේ ගෑනුයිනේ.'

ඔබ නැවතත් කරබා ගනී.සාරි කඩේ වෙළඳ මහතා ඔබ කෙරේ දයානුකම්පාවෙන් බලා හිඳී.වටපිට බලන ඔබ සුන්දර සාරියක් දකී.එය හැඳ සිටින ඔබේ බිරිඳ ඔබට මැවී පෙනේ.

'මේ සාරිය ලස්සනයි නේද?' ඔබ හිතට එඩිය ගෙන බිරිඳට යෝජනා කරයි.

'අපෝ මහ ගොඩේ ෆැෂන් තමා ඔයාටත් ලස්සන.මේක මහ පරණ පැට්න් එකක්නේ.'

'තමුසේ ගන්න ලබ්බක් අරගෙන බස් එකේ ගෙදර එනවා..' ක්‍රෙඩිට් කාඩ් එක ඇයට දෙන ඔබ කඩේකින් කෑම එකක්ද රැගෙන ගෙදර එන්නේ ඇය උයන්නේ නැති බව සක් සුදක් සේ දන්නා නිසාය.

ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගෙන් තොර ලෝකයක් ගැන මදක් සිතා බලමු.

ඔබ කොළඹ ඇවිද ඇත්නම් එහි කොපමණ වෙළඳ සැල් කන්දරාවක් ඇත්දැයි දන්නවා ඇත.ගැහැනුන් නැති ලෝකයක මේ විච්චූරණ, තොරොම්බල් සිළිං බිලිං කඩ සියල්ල වැසී යනු ඇත.මුළු කොළඹම ඇඳුම් කඩ එකක් දෙකක්, බාර් තුන හතරක්,ඉලෙක්ට්‍රොනික් උපාංග කඩ කිහිපයක් සහ ෆිල්ම් හෝල් දෙක තුනක් ඇරෙන්නට අනිත් සියල්ල වැසී යනු ඇත.බොන උන් බහුතරය බොන්නේ ගෙදර ප්‍රශ්න ඇතිනිසා යැයි කියන නිසා බොන උන්ට බොන්ඩ හේතුවක්ද නැති වී යනු ඇත.ඒ හේතු කොටගෙන බාර් කීපයද කෙටි කලකින්ම වැසී යනු ඇත.

රෙදි කඩවලද අනං මනං මෝස්තර විකුණන එක නැවතී යනු ඇත.පිරිමින් විලාසිතා කිරීමට පොළඹවන්නේ ගැහැනුන් නිසා සරං, කොට කලිසම්, සහ ටී ෂර්ට් ඇර අනිත් ඇඳුම් අභාවයට යනු ඇත.පිරිමින්ව මුදල් සෙවීමට පොළඹවන්නට කෙනෙක් නොමැති වීම නිසා සමාජය අවශ්‍ය දෑ පමණක් ලබා ගැනීමට පමණක් වෙහෙස වෙන සාමකාමී, තෘෂ්ණාවෙන් තොර, විනෝදශීලී, සංග්‍රහශීලී තැනක් වනු ඇත.'අරූ ආශ්‍රය කරන්ඩ එපා, මූ ආශ්‍රය කරන්ඩ එපා' යැයි නීති දැමීමට කෙනෙක් නොමැති නිසා ලෝකය මිත්‍රශීලී, සුහදශීලී තැනක් වනු ඇත.'ඔයා මට කොච්චර ආදරේද?' වගේ ගොන් ප්‍රශ්න අහන්නට කවුරුත් නොමැති නිසා සමාජය සාරගර්භ මාතෘකා කතිකා කරන දාර්ශනික තැනක් වනු ඇත.

ඒ ඔක්කෝටමත් වඩා ගැහැනිය නොමැති වූවානම් පිරිමියා ගොනාට අන්දවන්ඩ සර්පයාට හැකිවන්නේ නැත.එහෙම උනානම් අපි තාමත් පාරාදීසයේය.අනික ඉළ ඇටයක්ද වැඩිපුර තියෙනවාය.




ඒ සුන්දර සිහින ලෝකයෙන් මිදී අපි නැවතත් යතාර්ථවාදී ලෝකයේ ලෝක කාන්තා දිනය සමරන්නට එක් වෙමු.කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරමු!!!