22 May 2018

වාට්ටුවේ ධර්මයුද්ධය




"මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?" මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්.

" ඒ කිව්වේ ඩොක්ටර් "

" නෑ මං කියන්නේ දැං මේ මානසික ලෙඩ කියන ඒවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට හැදෙන එකක් නෙමෙයිනේ. දෙයියොම දීපු ඒවනේ."

" එහෙම ඒවා තියෙන්නේ ඩොක්ටර් අනිත් මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ අගේ තේරුම් ගන්න. නැත්තං අපිට අපේ ජීවිතවල වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවනේ."

" ඒ උනාට මාස්ටර් මේ මනුස්සයින්ට අනිත් අය විඳින ජීවිතේ විඳින්න බැරි වෙනවනේ. පවුනේ. අනික දැං ඔය මනුස්සයෙක් මානසික ලෙඩේ හින්දා ආව කේන්තියකින් තව කාට හරි ගහලා මැරුවොත් මේ මනුස්සයා දිව්‍ය ලෝකේ යනවද නැත්තං අපායේ යනවද? "

" ඒ මනුස්සයා අවබෝධයකින් නෙමෙයිනං කළේ දිව්‍යලෝකේ යන්ඩ ඕන."

" ඒක හරි අසාධාරණයිනේ. ඒ මනුස්සයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙත් දෙවියන්ගේ පරීක්ෂණේට ලක් වෙන්නනේ. එතකොට මේ මනුස්සයා මිනිහෙක් මැරුවත් දිව්‍යලෝකේ යනවනම් අනිත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. දෙවියන් ගන්න සමහර තීරණ අපිට තේරෙන්නේ නෑනේ."

" ඒකත් මහ අසාධාරණ තර්කයක්නේ මාස්ටර්. දැං මාස්ටර්ලා හිතන්නේ අනාගතේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ කියලනේ."

"ඔව්"

" ඉතිං දැං මම වගේ ඉස්ලාම් ආගම විශ්වාස කරන්නැති කෙනෙක්ට විශ්වාසයක් ඇති කරන තර්කයක් නෙමෙයිනේ . දෙවියන්ව විශ්වාස කරන්නනම් එයා අපි ගැන ගන්න තීරණ ගැන අපි දැනං ඉන්න ඕනෙනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. ඒ උනාට අපි විතරක් නෙමෙයිනේ අනිත් අයත් එහෙම දේවල් විශ්වාස කරනවනේ හැමදේම ගැන දන්නැතුව. ඒකටනේ භක්තිය කියන්නේ."

මේ වෙලාව වෙනකොට වාට්ටුවේ අනිත් කාර්ය මණ්ඩලය වෙච්ච මුස්ලිම් උපස්ථායිකාවක්, මුස්ලිම් සමාජ සේවා නිළධාරී මහත්මයෙක්, හින්දු හෙද නිළධාරී මහතෙක්, බෞද්ධ හෙදියක් අපි වටේට පුටු තියාගෙන අපේ කතාවට හූමිටි දෙනවා.

"ඩොක්ටර් අර සකීර් නයික්ගේ කතා බලලා නැද්ද? ඒවයේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා නේද?"

"මිනිහා පට්ට බොරු අතාරිනවනේ මාස්ටර්. පොරට සිරා දැනුමක් තියෙනවා. කුරාණෙ සුරාවක් ජූසුවක් ගානේ ඉලක්කමත් එක්ක කියන්ඩ දන්නවා වගේම බයිබලේ ගැන වේද පොත් ගැනත් ඒ වගේම හොඳ මතකයක් තියෙනවා. හැබැයි විද්‍යාව ගැන කියද්දි පොර අලි කෙබර ඇද බානවනේ.විද්‍යාව ගැනයි බුද්ධාගම ගැනයි කියද්දි. පට්ට පච කෙළින්නේ."

"එහෙමද?"

" දැං පොර කියනවනේ නබිතුමා එන්න කළිං මෙසායාවරු ගොඩක් ආවා කියලා. බුදුහාමුදුරුවොත් ඒ එක්කෙනෙක් කියලනෙ කියන්නේ."

"ඔව්"

" ඒ උනාට බුද්ධාගම කියන්නේ එහෙම මැවුම්වාදයට පොඩ්ඩක්වත් සමබන්ධ නැති වෙනම එකක්නේ. ඒ කියන්නේ ඒ කාලේ දෙවියන්ට දෙවියෝ නෑ කියලා ලෝකෙට කියා ගන්න ඕනේ උනාද? අනිත් පැත්තට බලන්ඩකෝ දැං පරණ තෙස්තමේන්තුවෙ කියනවා ඇහැට ඇහැක් දතට දතක් කියලා.ඊට පස්සේ ජේසුතුමා ඇවිල්ල කියනවා නෑ නෑ එහෙම කරන්ඩ එපා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න දෙන්න කියලා. මෙන්න ආයේ නබිතුමා ඇවිල්ල කියනවා නෑ නෑ ඇහැට ඇහැක් දතට දතක් තමයි හරි එක කියලා. මොකක්ද මාස්ටර් කිසි ප්‍රතිපත්තියක් නෑනේ.හරියට මේ ආණ්ඩුව වගේනේ. මොකද කියන්නේ අපේ වෝඩ් එකට ඇඩ්මිට් කරලා කරන්ට් එක දෙතුන් පාරක් අල්ලමුද?"

(සභාවේ සිනා)

"මෙහෙමනේ ඩොක්ටර්. ඒ ඒ සමාජවලට ගැලපෙන විදිහටනේ දේශනා කරලා තියෙන්නේ. දැං බලන්න ඇල්කොහොල් කළිං ප්‍රශ්නයක් නෑ කිව්වට පස්සෙ එකපාර වෙනස් කළේ නෑ. කිව්වේ බීලා පල්ලි එන්න එපා කියලා. අන්න ඒ වගේ කාලෙන් කාලෙට ගැලපෙන විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ."

"ඔය සමාජක්‍රමෙත් තීරණේ කරන්නේ එයානේ මාස්ටර්. එයාගේ මාස්ටර් ප්ලෑන් එකේ එක කෑල්ලක්නේ සමාජක්‍රමේ. අනික ඇල්කොහොලුත් අපි හදපුවා නෙමෙයිනේ. එයානේ තීරණය කළේ ඒක බිව්වම මිනිස්සුන්ට ලල් එකක් එන්ඩ ඕනේ කියලා. එයානේ ඒකට මිනිස්සු ඇබ්බැහි වෙන්ඩ ඕනේ කියලා තීරණය කළේ. අනික එයාට තිබ්බේ නැද්ද මිනිස්සු ඔක්කොම වැරදි නොකරන හොඳ මිනිස්සු විදිහට මවන්න.එයා අපිට් එක එක ආශාවල් ඇතිවෙන විදිහට මවලා ඒ ආශාවල් ලබාගන්න පුළුවන් කරලා පස්සේ ඒවා ගත්තොත් අපායෙ දානවා කියනවා. ඒක වැරදියිනේ මාස්ටර්"

"එහෙම නැතුව අපිව පරීක්ෂා කරන්නේ කොහොමද ඩොක්ටර්. අපිව මෙහෙට එවලා තියෙන්නේ අපිව පරීක්ෂා කරන්නනේ."

"ඒකත් මහ ගොබ්බ වැඩක්නේ මාස්ටර්. දැං ඔන්න ගුරුවරයෙක් ළමයින්ට ටෙස්ට් එකක් තියන එක සාධාරණයි. ඒ ගුරුවරයා ළමයි ගැන දන්නේ නෑනේ. ඒ උනාට මේක අපිව මැව්වෙත් එයා එයාට ඕනේ විදිහට. අපි හිතන පතන ඔක්කොම විතරක් නෙමෙයි අනාගතේ පවා එයා දන්නවා. එහෙව් එකේ මොන ඉටි ගෙඩියක්ද ටෙස්ට් කරන්නේ. දැං මම කවදාවත් ඉස්ලාම් ආගම පිළිගන්නෑනේ මාස්ටර්. ඉතිං එයාට තිබ්බා මාව මෙහෙ මවන්නැතුව කෙළින්ම අපායෙ මවන්න.අපරාදෙනෙ මේ පුච්චන පෙට්‍රල්."

ඒ වෙලාවේ අපේ සමාජ සේවා නිළධාරීතුමා කතාවට එකතු උනා.
" දැං ඩොක්ටර් අපේ මිනිස්සු වීඩියෝ ගේම් හදන්නේ. එයාලා කැමති චරිත දාලා එයාලා කැමති විදිහට හදලා එයාලා දාන නීති රීති ඇතුලේ තමයි ගේම් එක සෙල්ලම් කරන්නේ. ලෝකෙත් ඒ වගේ තමයි. දෙවියන් හදපු නීති තියෙනවා. ඒවා අපි ප්‍රශ්න කරන්න යන්නේ නෑ."

"වීඩියෝ ගේම් හදන්නේ සෙල්ලම් කරන එකාට ආතල් එකක් ගන්නනේ. දැං එතකොට අපි මේ කාගෙවත් ගේම් එකක චරිත වෙලා කාටද ආතල් දෙන්නේ? එයා එයාගේ දිව්‍යලෝකේ සෙට් එකත් එක්ක අපිව එහෙට මෙහෙට යව යවා ආතල් ගන්නවද?. ඔන්න ඕකත් මට තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඇයි අපිව මැව්වේ? අරමුණ මොකක්ද? "

"ඒකනම් ඉතින් දෙයියොම තමා ඩොක්ටර් දන්නේ."

"මම මාස්ටර් මුස්ලිම් අය එක්ක විතරක් නෙමෙයි කතෝලික බෞද්ධ අයත් එක්කත් මේ වගේ කතා කරනවා. ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට අන්තිමට ඒගොල්ලො - ඒක දෙවියන්ගේ කැමැත්ත.ඒක ප්‍රශ්න කරන්න උඹ කවුද? එහෙම නැත්තං ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් උඹට නෑ වගේ - උත්තර දෙනවා. ඒකෙන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නෑනේ මාස්ටර්.මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් දර්ශනයක් තියෙනවානම් මම ඒක පිළිගන්න ලෑස්තියි. ඒවට අමතරව දේවවාදීන්ගෙන් අහන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා.

1. දෙවියන්වහන්සේ ලෝකය මවලා ඊට පස්සේ තමයි ඉර හඳ තරු මැව්වේ. එහෙමයි පොතේ තියෙන්නේ. එතකොට ඉරවටේ කැරකෙන ලෝකේ මවන්ඩ කළිං ඉර මවන්ඩ ඕනේ නැද්ද?අපේ ලෝකෙට වඩා ගොඩක් පරණ තරු තියෙන්ඩත් බෑ නේද? එහෙමනම් අපි මේ කාලය මනින්න ගන්න ක්‍රමයේ අවුලක් තියෙනවද?

2. අවුරුදු හයදාහකට කළිං ලෝකේ මවලා ආදම් සහ ඒවා දෙන්නා මැව්වනං අවුරුදු මිළියන ගණන් පරන පොසිල හම්බවෙන්නේ කොහොමද? ඩයිනෝසරයන් ගැන පොතේ සඳහන් නොවෙන්නේ ඇයි? ඒවා වැරදුණු පරීක්ෂණද?

3. ආදම් ලෝකේ මුල්ම මිනිසානම් ඔහු හෝමෝ ඉරෙක්ටස් ද? නියැන්ඩතාලෙන්සිස් ද? හැබිලස් ද? නැත්තං එයිටත් කළිං හිටපු ඔස්ත්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ද?

4. පෘථිවියේ ජීවය ගැන පමණක් සඳහන් කරන පොත විශ්වාස කරන්නවුන් ලෙස කවදා හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවීන් සොයා ගත්තොත් එදාට ගන්නා තීරණය කුමක්ද?

ඉහත සාකච්ඡාව වාට්ටුවේදී ලද විවේකයක හුදු පහන් සංවේගය උදෙසා පවත්වන ලද්දක් මිස අක්‍රෝෂ පරිභවයෙන් කා කොටා ගන්නා අරමුණකින් තොරව සුහදවා පවත්වා සුහදව විසිර ගියෙමු. මාධ්‍ය නාළිකාවල දේශපාලන සංවාද වෙනුවට මෙවන් ආගමික වාද විවාද පැවැත්විය යුතු බවට සියල්ලෝම එකඟ වූහ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි නැවත එන්න.


14 comments:

  1. කෙලින්ම අපායට තමයි ... ආවා මෙතන දෙවියන්ව ප්‍රශ්නකරන්ඩ

    ReplyDelete
    Replies
    1. එක පූජකයෙක් දේශනාවක් කරද්දි එකෙක් නැගිටලා ඇහුවලු දෙවියන් වහන්සේ ලෝකය මවන්ඩ කළිං මොනවද කර කර හිටියෙ කියලා. පූජක තුමා කිව්වලු ඔය වගේ ප්‍රශ්න අහන උන්ව දාන්න අපාය හද හද හිටියා කියලා

      Delete
  2. දෙයියොම තමා දෙයියො ඕව දන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි බං අයියෙ ඔය දෙයියො එළ බොක්ක වගේ ඉන්න උන් ඉන්නෙ. උංගෙන් තමයි අහන්න ඕනෙ.

      Delete
  3. අැයි දෙයියා ලඟකදි ඉදන් ගෑනුන්නෙ මූණු වහන්න ගත්තෙ?
    දෙයියෙගම මැවුම් දෙයියටම ෂුවර් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්යැ කොනත් කපන්නෙ. දෙයියොම හදපු එකේ අවුලක් තියෙන හින්දනෙ කපන්න කියන්නෙ

      Delete
  4. පට්ට.
    ඔබ අන්වර් මනතුංග බ්ලොග් එකේ අපූරු ප්‍රශ්න වගයක් දාල තිබුන. මම නෙට් එකේ හැම තැනම හෙව්වහම්බවුනේ නෑ. ඒ තර්ක එක්ක එතන හිටපු හැමෝටම කට උත්තර නැති වුනා.

    ඇත්තටම දෙවියන් වහන්සේ කියන්නෙ සියල්ල දන්නා සියල්ල සැලසුම් කරන තැනන් වහන්සේ. අතීතය වර්තමානය හා අනාගතය සියල්ල ඔහුගෙ සැලසුම්. ඔහු අනාගතය දන්නව පමනක් නෙමෙයි අනාගතය ඔහුගෙ සැලසුමක්. ඉතින් එහෙනම් අහවල් දේකටද පරීක්ෂා කරන්නෙ කියන ප්‍රශ්නෙ එක්ක සමස්ත මැවුම්වාදී විශ්වාසයම බිදවැටෙනවා. එක්කො ඔහු සෙල්ලම් කරන්නෙක් වෙන්න ඕන නැත්නම් ඔහු සියල්ල දන්නා සියල්ල සැලසුම් කරන රෝල් එකෙන් අයින් වෙන්න ඕන.

    ඔහුව අවිශ්වාසකරන අයත් ඔහුගෙ මැවීමක්ලු. ඔහුගෙම සැලසුමකට අනුව ඔහුව අවිශ්වාසකරන මේ අයට ඔහුගෙ සැලසුමකට අනුව දඩුවම්ද කරනවා. ආදම් සහ ඒව නොමඟ යාමම ඔහුගෙ සැලැස්මක්. මේක හතර බීරි කතාවක්.

    මැවුම්වාදීන් මොනතරම් අපූරු තර්ක හදාගෙන තියෙනවද කියන්නෙ ඩයිනෝසර්ලගෙ ෆොසිල මැව්වෙම ඒව පරන වෙන විදියටලු. ඒකත් පරීක්ෂාවක්ලු. ඒ කියන්නෙ කැනීම් වලදි හමුවෙන මීට අවුරුදු 10000 කට පෙර හිටපු මනුස්සයන්ගෙ ශිෂ්ටාචාර වල සලකුණු පවා අපිව පරීක්ෂාකරන්න හදපුව.

    මම හිතන්නෙ දෙවියන් වහන්සෙ කියන්නෙම යටිසිතට කරන ස්වයන් යෝජනාවක්. යාඥාවෙදි මේ අයට උත්තර දෙන්නෙ යටිසිත. යහපතක් වුනාම ස්තුති කරන්නත් අයහපතකදි ඒක පරීක්ෂාවක් කියල හිත හදාගන්නත් පුද්ගලයා මෙහෙයවන්නෙ අර කලින්ම යටිසිතට දාපු සිතිවිලිවලින්.යාඥාව කියන්නෙ ස්වයන් යෝජනාවක් නිසා ඒකෙ හොඳ පැත්තකුත් තියෙනව. යටිසිත ක්‍රියාකරල ඒ ඉල්ලන දේ ලැබෙන අවස්ථාත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්වර්ගෙ බ්ලොග් එක බ්ලොක් කරලා ආණ්ඩුව අපිට තිබ්බ ලොකුම ආතල් එකක් නැති කළා. දැන්නම් අන්වර් නිකන් පාළුගෙයි වළං බිඳිනවා වගේ තනියම ආතල් ගන්නවා

      මගෙ යාළුවෙක් හිටියා ඌ හිතන්නෙ ඌ විභාගෙට පාඩම් නොකළොත් ඒකට දෙයියො දෙන දඬුවමක් විදිහට තමයි ඌට ළකුණු අඩු වෙන්නෙ

      Delete
  5. හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියෙනවා. ආගම කියන්නෙ මෝඩයගෙ කෙවිට. බුද්ධිමත් අයට නම් ආගමක් ඕන නෑ. ආගම් අඩුවෙන්ම අදහන රටවල් තමයි සාමකාමී. ඒ දියුණු උගත් බුද්ධිමත් අය ඉන්න රටවල්. දැන් නම් ඒකත් වෙනස් වේගෙන එන්නෙ ආගමිකයො යන නිසා. ඒක වෙනම කතාවක්.

    මෝඩයො මෙහෙමවත් කොන්ට්‍රෝල් වෙලා ඉන්නෙ ආගමෙන්. මොකද ඌ දන්නව මරනින් මතු බඩු බනිස් කියල. ඉතින් ඒ බැරියර් එක අරන් දානව කියන්නෙ ඒක හොද දෙයකුත් නෙමෙයි.අනික් උන්ව හපා කෑවොත් සදාකල් අපාය වගෙ කතා කියල බයකරන එක හොදයි. ආගම්වල නාමයෙන් ත්‍රස්තවාදී ක්‍රියා වෙනව තමා. නමුත් මුන් දකින දකින එකා හපන්න ගත්තොත් ඊට වඩාලොකු විනාශයක්.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනවා. ඒ උනාට දෙයියව පෙන්නලා මිනිස්සුන්ව ගොනාට අන්දන ඒවා දැක්කම දුක හිතෙනවා අප්පා

      Delete
  6. මට තේරෙන හැටියට නම් බුදු දහම දෙවියන් වහන්සේ නෑ කියලවත් ඉන්නවා කියා උගන්වන එකක් නෙමෙයි.
    එය තමන්ගේ අවශ්‍ය තාවයට අනුව අදහාගත හැකියි.
    නමුත් එය නිවනට අදාල දෙයක් නෙමෙයි.
    දෙවියොත් නිවන් දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. මට මතක හැටියට බ්‍රහ්මජාල සූත්‍රයේද කොහෙද තියෙනවා නේද ඔය සර්වබලධාරී දෙවියන් පිළිබඳ මතය ඇතිවෙන හැටි. ඒකට අනුව සර්වබලධාරී දේව මතය බොරුවක්. ඒ වගේම මිත්‍යා දෘෂ්ඨිය මම හිතන විදිහට නිවන සොයන්නාට බාධාවක්. ( මම බෞද්ධයෙක් නොවෙමි )

      Delete
  7. අලුතින් හිතන්න ගොඩක් දේවල් එක මිටකට ගත්ත පොස්ටුවක්!
    ස්තුතියි.

    ReplyDelete
  8. https://www.waharaka.com/listen/CD014-02
    ලෝක ආරම්භය පිළිබඳ ධර්මයේ සඳහන් විස්තරය. පැහැදිලිව විස්තර කර ඇත.
    දේශකයා පිළිබඳ නොව දේශනයේ ගත යුත්තක් ඇත්නම් ලබාගන්න

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...