14 July 2018

ශිංගල්ස් කියන දෙයියංගේ ලෙඩේ



ඔය දෙයියන්ගේ ලෙඩ කියලා කියන ලෙඩ තියෙනවා නේද? ඕවා ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා ජාතියේ ඒවා. නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ලෙඩ හදවන්න දෙයියන්ට අමු කැවිලද? නැත්තං දෙයියංගේ හාල් කැවිලද? මම වැඩ කරන වාට්ටුවේ මාත් එක්ක වැඩ කරන අනිත් එකී ( එකී කියන එක හරි නැති වෙන්න පුළුවං.ඒක කාන්තා විමුක්තියට සබ්බත්තෙට නිගාවක් වෙන්න පුළුවං. ඒ උනත් කරන්න දෙයක් නෑ. මම ඇවිල්ලා මහත්තයෝ නියම ගොඩයෙක්. ඒ කිව්වේ ආයේ ඔය සිරාටත් වඩා හෙන ගොඩයා. ඉතිං ඔය කාන්තා සබ්බත්තේ සදාචාරේ ගැන එහෙමට ගැම්මක් හිතට එන්නේ නෑ.) පුළුවං තරං බලන්නේ වැඩ මග ඇරලා ඉන්න.මේකි ගෙදර ප්‍රශ්න අරවා මේවා කිය කිය ඔක්කොම වැඩ මට දාලා ශේප් වෙන්ඩමයි බලන්නේ. ඉතිං මේකිට ගේමක් අදින්න විදිහක් කල්පනා කර කර හිටියේ මං සෑහෙන දවසක් ඉඳං.

ඉතිං ගොනෝ උඹට තිබ්බනේ ඕකිට හොඳ කුණුහබ්බ දෙක තුනක් කියලා දාන්න කියලා කවුරු හරි වැදගත් මහත්තයෙක් නෝනා කෙනෙක් අහන්න පුළුවං.(ඔය වගේ උපදෙස් වැඩිපුරම දෙන්නේ නෝනලා.මොකද ඔය ෆේස් බුක් එකේ හරි සමාජයක් ඉස්සරහා දොඩවද්දි හරි කාන්තා අභිවුද්දිය, සමානාත්මතාව, කාන්තා විමුක්තිය ගැන දෙඩෙව්වට හිතේ තියෙන කුහක කම එළියට එන්නෙ තනි පංගලමේ කතා කරලා බලද්දි තමයි.) කොහොම උනත් මම කොච්චර ගොඩයා ගැමියා උනත් එහෙම කාගෙ උනත් මූනට කඩං පැනලා ප්‍රශ්න විසඳන්ඩ පුළුවං කියලා මම හිතන්නේ නෑ. බයට කවිද යකෝ කිව්වේ බයට කියලා. බයක් නැත්තෙමත් නෑ තමයි. ඒ උනත් එහෙමයි කියලා බණින්න ඕනේ වෙලාවට නොබැණ ඉන්නෙත් නෑ.

මේකිටත් එක දවසක් ඇද්දා ගේමක්.පස්සේ ඒකිම ඇවිල්ල ශේප් උනා.එක දවසක් මම හවස හතට විතර වාට්ටුවට යනකොට ඇටෙන්ඩන්ලා කවුරුත් නෑ වාට්ටුවේ.උදේ හිටපු එකී කළිං ගිහිල්ලා රෑට එන්ඩ ඉන්න එකා ඇවිල්ලා නෑ. ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දීලත් නෑ. ඉස්පිරිතාලෙ කෑම කන්න බෑ තමයි. එහෙමයි කියලා ආණ්ඩුව ගානේ නිකන් දෙන එක ලෙඩ්ඩුන්ට නොදී ඉන්න බෑනේ. ගත්තා එවෙලෙම ඉස්පිරිතාලෙ ඕවර්සියර්ට කෝල් එකක්.කිව්වා විස්තරේ. ඇටෙන්ඩන් කෙනෙක් දැම්ම එව්වෙ නැත්තං එවනවා ඔක්කොම ලෙඩ්ඩු ටික ඔතෙන්ට. ටික වෙලාවකින් එනවා වෙන කොහෙද තැනක වැඩ කරන ඇටෙන්ඩන් කෙනෙක්. ඌත් එන්නෙ බැණ බැණ. මොන මගුලක්ද අප්පා අතෙන්ට යන්ඩ කියනවා මෙතෙන්ට යන්ඩ කියනවා (පොර මේවා කිව්වේ දෙමළෙන්. මුනියා දෙමළනේ. ඌ හිතුවේ මට තේරෙන්නෙ නෑ කියලා. ඒවා කොහෙද මාත් එක්ක. කොඤ්ඤ කොඤ්ඤ තමිළ් තෙරියුම් සරියා.) අයියා මේ ඒවා මේවා වානා. කෑම තමයි ඕනා.( දෙමළ තේරුණාට සිංහල තරමට බැරි හින්දා මම ඇදලා අරින්නේ සිංහලෙන්. ඌට මට වගේ නෙමෙයි සිංහල නල්ල තෙරියුම්.) ඊට පස්සේ ගත්තා වාට්ටුවේ පැමිණිළි පොත. ලිව්වා නම් ගම් වෙලාවල් ඔක්කොම දාලා ඩිරෙක්ටර්ට පැමිණිල්ලක්. පහුවදා උදේම වාට්ටුවේ ඇටෙන්ඩන් අතේම යැව්වා ඩිරෙක්ටර්ට පැමිණිලි පොත. ඇටෙන්ඩන් එනවා අඬ අඬා. අනේ ඩොක්ට මාත් එක්ක තරහා වෙන්න එපා. මම අනිත් එක්කෙනා එනකං බලං ඉඳලා ඉඳලා තමයි ගියේ. චී චී මම මොකටද තරහා වෙන්නේ.ඔයාලා ඕනේ ලබ්බක් කරගත්තට මට කමක් නෑ. හැබැයි වාට්ටුවේ ඔයාලගෙ වැඩ ටික කරලා තියෙන්න ඕනේ.නැත්තං මම බණින්නේ නෑ ආයෙමත් කම්ප්ලේන් එකක් ලියලා ඔයාලා අතේම ඩිරෙක්ටර්ට යවනවා. එච්චරයි. ඔන්න ඔහොමයි මහත්තයෝ මම වැඩ කරගන්නේ.

ආයෙමත් එමුකෝ දවසේ කතාවට . ඔන්න මම දැං කල්පනා කර කර කර කර කර කර කර කර ඉන්නවා. ඔන්නොහොම දවසක් දෙකක් යනකොට මගේ වම් අතේ කිහිල්ල ( චීයා අනේ කිහිල්ල කියන්න එපා මෙයා අත් යට කියන්න අර ඩියොඩ්‍රන්ට් ඇඩ් එකේ වගේ.) හරියේ සමේ වේදනාවක් එන්න ගත්තා. වේදනාවක් කිව්වට ඇල්ලුවොත් තමයි වේදනාව එන්නේ. ඒ කියන්නේ අධිසංවේදීතාවක්. (Hyperalgesia කියලා තමයි පාලි සංස්කෘත ලතින්වලින් කියන්නේ.) ඔන්න ඕක දවසක් දෙකක් තිබිලා එනවා උණක්. දැං ඉතිං පලයංකෝ දොස්තර කෙනෙක් හොයාගෙන. දොස්තරලා මහා කුහකයොනෙ. ඉස්පිරිතාලෙට ගියොත් ආයේ ඉතිං වැරදියට හැරුණත් බැණුං තමයි. උංගේ ප්‍රයිවට ප්‍රැක්ටිස් එකට ගියොත් අර ටෙස්ට් මේ ටෙස්ට් එක්ක HIV ගොනෝරියාවලටත් ටෙස්ට් කරවලා, ගෑනිත් එක්ක ෆුඩ්සිටි ගියාම අරං එන බඩු මල්ලටත් වැඩිය ලොකු බේත් මල්ලක් දීලා ගෙදර එවන එක තමයි වෙන්නේ. ( මේවා නිකං උපහාසයටම කියන ඒවා නෙමෙයි මගේ මිත්‍රවරුණි මේවා මම මගේ දෑහින් දැකලා දෙකණින් අහලා තියෙන සිරා සිද්දි. මේ ගොන් පාර්ට් නුදුරු අනාගතයේදීම ලංකාවෙන් තුරන් වේවා කියලා ප්‍රර්ථනා කරගෙනම කතාවේ ඉතුරු ටික කියවමු.)

ඔන්න ඉතිං මම මක්කා කොරම්ද කියලා දහ අතේ උලා උලා කල්පනා කර කර ඉන්නකොට ගෑනි කියපි ඇයි වදේ තමුසෙත් දොස්තර කෙනෙක් නේද ඕක මොකක්ද කියලා බලලා ගන්නවකෝ බේත් ටිකක්. අම්මට සිරි ඇත්ත නේන්නං.මගේ සතුට වාව ගන්න බැරි උනා මිත්‍රවරුනි. බිරිඳ කෙරේ අසීමිත ආදර භක්තියක් අනුරාගයක් ඇති වෙලා සාලේ මැද්දේ රති කෙළියට එන්ටර් වෙන්ඩයි ගියේ. තමුසෙට පිස්සුද ඕයි. මදන විසේ නං තියෙනවා. මොන ලෙඩක්ද කියලා දන්නෙත් නෑ. මටත් බෝ කරවන්ඩද හදන්නේ. උන්දෑ නැගිටලා ගියා. මම ටක් ගාලා කළිසමත් ආයේ ඇඳගෙන වාට්ටුවට ගියා ලේ එකක් චෙක් කරලා බලා ගන්න. උණ තිබ්බට හෙම්බිරිස්සාව කැස්ස, වමනය බඩ එළිය යෑම මුත්‍ර දැවිල්ල වගේ උණට සාමාන්‍යයෙන් හේතුවෙන සාධකයක් හොයා ගන්න නැති හින්දා ඩෙංගුද කියලා බලා ගත්තනං හරි කියලයි මට හිතුනේ.

ලේ චෙක් කරන්ඩ ලේ ගන්ඩ ඕනෙනේ මහත්වරුණි. ලේ ගන්ඩනං කට්ටකිං විදින්ඩ වෙනවා. අන්න ඒක තමයි අවුල. මට කටු ෆෝබියාව. මගේ වෙලාවට අපේ වාට්ටුවට අළුතෙන් ඇවිල්ලා ඉන්නවා හුරුබුහුටි නර්ස් දැරිවියෙක්. කට්ටකිං ඇනලා ඝන සෙන්ටිමීටර් දෙකක් ලේ ගන්ඩ බැරිනං මගේ මුළු රීරි මාංසෙම උරා බිව්වත් කමක් නෑ කියලා මම අත දීගෙන හිටියා. මොකෝ උණ තිබුණත් අපිත් මිනිස්සුනේ දෙයියනේ.රාජිතට පින්සිද්ද වෙන්ඩ පැය කාලක් යද්දි ලේ රිපොර්ට් එක බලා ගන්ඩ පුළුවං උනා. (ඔව් ඔව් මම දන්නවා ඌ හොරා තමා. ඒ උනත් හොඳ දේවල් අගේ කරන්ඩ ඕනේ මහත්වරුණි.) සුදු රුධිරාණු අනුපාතය අනුව වෛරස් ආසාදනයක් තමයි. හැබැයි ඩෙංගුවල භයානක අවස්ථාවට එන්ඩ තරං පට්ටිකා අඩු වෙලා නෑ. හෙටත් බලනවා ආයේ ලේ එකක්. හෙටත් උදේට අර නර්ස් දැරිවි තමා ඩියුටි.



මෙන්න බොලේ පහුවදා වෙනකොට මගේ පිටේ වම් පැත්තේ උර අස්ථිය උඩ සමේ පටියක් වගේ පොඩි පොඩි බිබිලි වගයක් ඇවිල්ලා. හුටා මේ නං ශිංගල්ස් තමයි.(shingles කියන එකට සිංහල වචනයක් මම දන්නේ නෑ. තත්සම පදයක් විදිහට හෙළ බසට අවශෝෂණය කරගන්න කියන්න.) හනික බැස්සා ඇඳෙන්. ඔක්කොම ඇඳ ඇතිරිලි කොට්ට උර පොරෝනා අයින් කරලා වෙනම හෝදලා දාන්න කියලා වාහෙට කියලා දිව්වා ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට. විශෙෂඥතුමා ඉන්න දවසක් නෙමෙයි එදා. ඒකෙ ඉන්න අනිත් ඩොකටර් කෙනෙක්ට පෙන්නලා (ඈ මුස්ලිම් අක්කා කෙනෙක්. අපෝ නෑ හරි හොඳයි. ලෙඩ්ඩුන්ටත් හරි සුහදයි. ඔය ළඟ තියෙන වැඩිහිටි නිවාසෙකටත් යනවා එහේ ඉන්න අයට මාසෙකට සැරයක් සායනයක් කරන්න. නොමිලේ තමයි බොලව්. මම තමයි ඒක සෙට් කරලා දුන්නේ. ඔව් ඔව් මමත් යනවා අපේ සායනයක් කරන්ඩ. ඔව් බොලව් මමත් නොමිලේ තමයි කරන්නේ අතිං පැට්‍රල් ගහගෙන ගිහිල්ලා. අපිට මොකෝ ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලෑ.) එයාලගෙත් මතේ අහගත්තා. මම ඇවිල්ලා ලිච්ඡවී ක්‍රමේටනේ වැඩ. (ෂර්ට් එක ගැලෙව්වේ ලක්ස පාරක් හිතලා. නෑ පිස්සුද ආයේ මොනවද ඉතිං බොඩි එක නිකං ස්පාර්ටන් බොඩි එකක්.කොටින්ම කිව්වොත් විභාගෙට මාංශ පේශි පාඩං කළේ කණ්ණාඩිය ඉස්සරහ ඉඳං. පච්චේ දැකලා මොකවත් හිතයි කියලා තමා පස්ස ගැහැව්වේ. එයා හිතන්ඩ ඇති සංකීර්ණ උපං ලපයක් කියලා.මොකුත් කිව්වේ නෑ.)



මට කිව්වා එයාට හරියටම ශුවර් නෑ කෝකටත් ඊළඟ දවසේ ආයේ එන්න සර්ට පෙන්න ගන්න කියලා. මම වැඩි පරිස්සමට අනිත් කාමරේ නිදාගත්තා සතුටෙන් හා සාමෙන්. මෙන්න පහුවදා අර බිබිලි වතුර පිරිච්ච දිය පට්ටා (blisters) වගේ වෙලා. දැන්නං බඩු බනිස් තමා. කෝකටත් ගියා චර්මරෝග සායනයට විශේෂඥතුමා මම ෂර්ට් එක ගලවනකොටම කිව්වා "මේ ශිංගල්ස්නේ" කියලා. ඇති යන්තං නියත විවරණ ලැබුවා. සන්තෝසේ බැරුවා මිත්‍රවරුණි. දැං අරකිට තනියම වොර්ඩ් එකයි ක්ලිනික් එකයි බලා ගන්න කියලා මට ගත්තැහැකි සතියක නිවාඩුවක්. දෙන දෙයියෝ දෙනකොට දෙන්නෙ එළවා එළවා මහත්වරුණි.

දැං ශිංගල්ස් ගැන වැඩිය දන්නේ නැති අයට පුංචි කුප්පියක් මගේ ගානේ.

පැපොල හෙවත් පොෂ් අය කියන විදිහට චිකන් පොක්ස් හැදෙන්නේ varicella zoster කියන වෛරස් එකෙන්. ඒක ගොඩක් වෙලාවට පොඩි කාලේ තමයි හැදෙන්නේ. ටික දවසකින් ඉබේම හොඳවෙලා යන බිබිලි මතුවෙන වෛරස් ආසදනයක්. භයානක නෑ. ටිකක් රිදෙනවා. කසනවා. සමහර විට මේ බිබිලි බැක්ටීරියා මගින් ආසදනය වෙන්න පුළුවන්. ගර්භනී අයට හැදුනොත් ඒක කුසේ ඉන්න දරුවාට බලපාන්න පුළුවන්. වයසක අයට හැදුනොත් ගොඩක් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඉතිං හොඳම දේ තමයි පොඩි කාලෙම එක්කො ලෙඩේ බෝ කරගන්න එක. නැත්තං පැපොල එන්නතක් ගහ ගන්න එක. ලෙඩේ බෝ වෙන එක විදි කීපයකට වෙන්න පුළුවං. එකක් තමයි පැපොල රෝගියාගේ බිබිලිවල ඇති වෛරසය අඩංගු ස්‍රාවයන් ප්‍රධාන වශයෙන් ස්වසන මාරගයෙන් හෝ වෙනත් ආකාරයකට ශරීර ගත වීමෙන්. ඒ වගේම රෝගියෙකුගේ ඛේටය ඒ කියන්නේ කෙළ බිඳිති වාතය හරහා ගමන් කරලා වෙනත් කෙනෙක්ගේ ශරීර ගත වීමෙනුත් ලෙඩේ බෝ  වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් පැපොල වෛරසය ඇඟේ තියෙන කෙනෙකුට බිබිලි මතුවෙන්න දින දෙකකට පමණ කළිං ඉඳන් අනික් අයට ලෙඩේ පතුරවන්න පුළුවං.බිබිලි මතු උනාට පස්සේ ඒ බිබිලි ඔක්කොම වේලිලා කබොල් බවට පත් වෙනතුරුම මේ අයට ලෙඩේ පතුරවන්න පුළුවන්. ඔක්කොම සාමාන්‍යයෙන් සතියක් විතර.

හරි බං පැපොල ගැන දන්නවා මොකක්ද ශිංගල්ස් කියන්නේ?

පොඩ්ඩක් හිටාංකෝ කියනකං ඉවසලා. Grand ma's cloth



පැපොල හැදුනට පස්සේ මේ වෛරස් එක ලෙඩාගේ සංවේදී ස්නායු මූලයන්ගේ තියෙන ගැංග්ලියම්වල ගිහිල්ලා හැංගෙනවා. මිනිහා මැරෙනකම්ම මේ වෛරස්වලට එතන ඉන්න පුළුවං.සමහර වාසනාවන්තයින්ගේ වෛරස් එහෙම හැංගිලා නිදාගෙන ඉන්නවා මුළු ජීවිත කාලෙම.කිසි අවුලක් නෑ. ඒ උනත් සමහර අයගේ මොනවා හරි හේතුවකට ප්‍රතිශක්තිය අඩු වෙනකොට අර නිදාගෙන ඉන්න ගෝතයා නැගිටලා සංවේදී ස්නායුවේ පැතිරෙන ප්‍රදේශයේ පැපොල බිබිලිවලට සමාන වෛරස් පිරුණු බිබිලි ඇති කරන්න පුළුවන්. ශෝචනීයයි නේද? ඒ වගේද ඇවැත්නි වේදනාව. හප්පා හදාගෙනම බලන්ඩ ඕනේ. වාසනාවකට වේදනා නාශක කියලා දෙයක් හොයාගෙන තියෙන නිසා ගොඩ.

නමුත් වාසනාවට මේක පැපොල තරම් ආසාදිත නෑ. අර බිබිලිවල තියෙන ස්‍රාවයන් ගෑවුනොත් නම් පැපොල හැදිලා නැති කෙනෙකුට පැපොල හැදෙන්න පුළුවං.හැබැයි තව කෙනෙක්ට ශිංගල්ස් නම් බෝ වෙන්නේ නෑ. ඒ වගේම මේක කෙළ බිඳිති හරහා බෝ වෙන්නෙත් නැහැ. වාත වෙන්නේ මේක කපාල ස්නායු ආශ්‍රිතව ඇති උනාම. 7වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ශිංගල්ස් ඇති උනොත්  ramsay hunt syndrome කියන තත්ත්වය එනවා. එතකොට මූණේ පැත්තක් පණ නැති වෙනවා වගේන කණ ඇහීමත් නැති වෙන්න පුළුවං. 5 වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ඇති වුනොත් ඇසේ ආසාදනයක් ඇති වෙලා පෙනීම නැති වෙන්නත් පුළුවං. වාසනාවකට වගේ මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ශරීරයේ බෙල්ලෙන් පහල සහ ඉණෙන් උඩ ප්‍රදේශයේ. කොහොමත් සතියෙන් විතර ලෙඩේ ගොඩ යනවා.
 ramsay hunt syndrome

ප්‍රතිකාරද ඇහැව්වේ. මගුලක් කතා කරන්නැතුව යන්ඩ මෙයා ඉස්පිරිතාලෙට. එතකොට දෙයි ප්‍රතිවෛරස බෙහෙතක්. kaspersky නෙමෙයි බං acyclovir. එතකොට තව ප්‍රතිජීවකයක් ඔය බැක්ටීරියා ආසදනයක් ආවොත් කියලා. අනික ඔය පැරසිටමෝල් වගේ පොඩි වේදනා නාශකයක්. කැසිල්ල තිබේ නම් පිරිටන් ටිකක් (chlorpheniramine). වේදනාව ටිකක් වැඩියි නම් gabapentin වගේ එකකුත් දෙන්ඩ ඉඩ තිබේ.

කියන්ඩ සතුටුයි මටනං මහා වේදනාවක් දැනුනේ නෑ. ලෙඩේ කළිංම අල්ල ගත්ත හින්දා අනිත් අයට බෝ උනෙත් නෑ මම හිතන්නේ. ෂුවර් නෑ සහෝදරවරුණි මොකද වෛරස් එක ශරීර ගත උනාම සාමාන්‍යයෙන් බිබිලි මතුවෙලා රෝගය හැදෙන්න සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා. ඒ කියන්නේ බඩු හම්බවෙන්නේ තැපෑලෙන්. කොහොම උනත් නිදහසේ චිත්තරපටි ටීවී සීරීස් ටිකක් බලාගෙන වීඩියෝ ගේම් එකක් ගහගෙන සතියක නිවාඩුවක් ගත්තා. ඔන්න ඕවා තමා මිත්‍රවරුණි දෙයියන්ගේ ලෙඩ කියන්නේ.


04 July 2018

සින්දු පලන මන්තරේ....



ඝෝෂාවට හෙවත් සද්දෙට කැමති උන් සිටිති. තවත් සමහරු තමුන් සද්දයට කැමති බව පෙන්වීමට කැමත්තෙන් සිටිති. ඒ උන් අනුන්ගේ නිදහසට බාධා කරන්නෝය.තමුන්ගේ වෙළඳ සැලේ අලෙවිය වැඩි කර ගැනීමට සද්දෙට සින්දු දැමීමට සමහරු පෙළඹෙති. සමහරු තමුන්ගේ ආගමික භක්තිය පෙන්වීමට සද්දෙට සින්දු, පිරිත් හෝ කවි වාදනය කරති.තවත් සමහරු තමුන් නිවසේ සිටින බව අසල්වැසියන්ට ඇඟවීමට සද්දෙට සින්දු දමති. මේ අතර තවත් පිරිසක් තමුන් සිරා සින්දු අහන බව පෙන්වීමට මහා හඬින් සින්දු අහති.

අතීතයේද මෙබඳු ශබ්ධ දූෂකයෝ සිටින්නට ඇත. අන්දරේ දකුණු පළාතේ එකෙක් බව දැනගත් අයෙක් රබන් පළන මන්තරයක් ඉගෙනගන්නට ආවේලු.අන්දරේද කොළේක යමක් ලියා "මෙන්න මේක උල් පිහියකට මතුරලා රබානේ මැද්දටම ඇනපන්" යැයි උපදෙස් දුන්නේලු. එයින් හැඟෙන්නේ එකලද මෙකල මෙන්ම අන්‍ය නිදහසට බාධා කරන සමාජ පීඩකයින් සිට ඇති බවය. ඊට මෑත අතීතයේ කැසට් රෙකෝඩරය කරේ තබාගෙන ගමටම සින්දු බෙදා දෙමින් ගිය සූරසේන අපි පළිඟු මැණිකේ තුළින් දුටුවෙමු.

මේ ඝෝෂකයින්ගේ අදහස වන්නේ ඔවුන් සමාජ සේවාවක් කරන බවය. ඒ දැඩි ඝෝෂාව මැඩිහත් සිතින් ඉවසා සිටින අනිකුන් දකින් ඔහු සිතන්නේ තමාගේ සමාජ මෙහෙවර නිසා මිනිසුන් විශාල තෘප්තියක් ලබන බවත් එයින් ඔවුන්ගේ කාර්‍ය ශූරත්වය වැඩි වී රටේ නිශ්පාදන ධාරිතාව වැඩි වී උද්ධමනය අඩුව යන බවය. හේනක කුඹුරක සකලයන් හැඹිල්ලට වඩා වැඩි යමක් ඉන් සිදු නොවන බව අවුන්ට නොවැටහේ.

බොහොම නුදුරු අතීතයේ සමාජ කතිකාවතකට ලක්වූ මාතෘකාවක් වන්නේ ත්‍රීරෝද රථවලට  ශබ්ධවාහිනී මෙන් වූ ස්පීකර් සවි කිරීමත් ගමම දෙදරවමින් රිද්මය පමණක් ඇසෙන වචන නෑසෙන ගීත ධාවනය කරමින් විදුලි වේගයෙන් ඒවා ධාවනය කිරීමත්ය. ඩොප්ලර් ආචරණය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට නම් මනා පිටිවහලක් වන මේ ධාවන ශබ්ධ විකාශන යන්ත්‍ර හෙවත් ත්‍රීරෝද රථ තුල බිහිරෙක් මිස වෙන කිසිවෙක් ගමන් කරන්නේ කෙසේදැයි වටහා ගැන්මට අපහසුය. ඊටත් වඩා පුදුමය වන්නේ මේවා ධාවනය කරන්නාවූ රියැදුරන් (රිය ඇදුරන් කී විට රිය පිළිබඳව මෙන්ම රිය පැදවීම පිළිබඳවද මනා පරිචයක් ලැබූ තැනැත්තෙක් සිහියට එන නමුත් මේවා පදවන්නේ එසේ ප්‍රාමාණික දැනුමක් නොලද අයවළුන් නිසා ඔවුන් රිය දක්කන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.) දින කිහිපයක් තුල බිහිරි භාවයට පත් නොවන්නේ කෙසේද යන්නය.

මගේ ලොකුම අරියාදුව ඇත්තේ අර්ධසුඛෝපභෝගී යැයි කියා ගන්නා බස් ලඩි සමඟය. කොළඹින් දුර ඈතක සේවයේ යෙදෙන විට නිතර නිතර මෙම අන්තර් පළාත් බස් රථවල ගමන් කරන්නට සිදුවෙන අතර සුඛෝපභෝගී බස් හිඟ වීමත් අතේ මුදල් හිඟ වීමත් මෙන්ම සාමන්‍ය ගාස්තු බස් විරල වීමත් නිසා මෙකී අර්ධසුඛෝපභෝගී මුසාව හා එක්වන්නට සිදුවේ.දුර ගමනක් මුල් වතාවට යන විට ඔබ වටපිට බලමින් සොබා සිරිය විඳිමින් යන්නේය.නමුත් එකම මාර්ගයේ සෑම මසකටම වරක් දෙකක් පැය හය හතක ගමනක යෙදෙන ඔබ නිදහසේ නින්දක් ලබා ගැනීමට සිතනු නොඅනුමානය. නමුත් මෙම බස් රථවල සේවකයෝ ඔබට එකී සුවපහසුව ලබා දීමට මැළිකමක් දක්වති.ඔවුන්ට ඇවැසි ඔබ අවදියෙන් සිටිනු දකින්නටය.සමහර විට අර්ධසුඛෝපභෝගී යනු එය වන්නට ඇත. පූර්ණ සුඛෝපභෝගී බස්වල වැඩිපුර අය කරන්නේ ඔබට නිදාගන්නට, සැනසිල්ලේ ඉන්නට ඉඩ දෙන්නට විය හැක.

බසයේ ගමන්මලු රාක්කවල දැන් ගමන් මලු දමන්නට ඉඩ නැත.ඒවා පිරෙන්නට දෙපසම බෆල් පෙට්ටි සවි කර ඇත.ආසන යටද එසේමය.ගමන් මලු තබා ගැනීමට වඩා වැඩගත් වන්නේ ඝෝෂා කිරීමය.බසය ධාවනය ඇරඹීමත් සමඟ ආරම්බවන ඒකාකාරී රිද්මයකට අනුව ගැයුනු විරහා ගීත නතරවන්නේ ගමනාන්තයේදීය. ඔක්කොම කොල්ලන්ගේ කෙල්ලෝ උන්ව දමා වෙන උන් එක්ක ගොස් ඇත. කොල්ලාට අනුව ඒ කෙල්ල හදිසි වී කලබල වී ගත් වැරදි තීරණයක් ය. නමුත් ඔහු කෙල්ලට බණින්නේ හෝ ගරහන්නේ නැත. ගිය එකා එක්ක සතුටින් ඉන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරති.මේ විදිහට ගියොත් කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිය විට අළුත් ජෝඩුවට සතුටින් ඉන්න මුන් මාසික් දීමනාවක් උවද දෙන්න ඉඩ තිබේ. කෙල්ල දාලා ගියානම් එක්කෝ වෙන කෙල්ලෙක් සෙට් කර ගත යුතුය. නැතිනම් මැරිලා යා යුතුය. එහෙම වූවා නම් අපට නිදහසේ බස් එකක යන්නට ඉඩ තිබුණි.

කොන්දොස්තර මහතාට (මහතා යන වචනයට විවිධ අරුත් ඇති බව තේරුම් යන යෙදුමකි.) ශබ්ධ වාහිනියේ ශබ්ධය අඩු කරන ලෙස පැවසූ විට එක්කෝ "ඔය උපරිම අඩු කරලා තියෙන්නේ." ය. නැතිනම් රියදුරු මහතාට නින්ද යන නිසා අඩු කළ නොහැක.රියැදුරාට නින්ද යන්නේ නම් බෆල් පෙට්ටි සවි කළ යුත්තේ ඔහු වටාය. බසයේ පිටුපස ඒවා සවිකර ඔහුගේ නින්ද කැඩෙන තුරු ඒවායේ ශබ්ධය වැඩි කළ විට අපගේ කන් අඩි ද කැඩී යන බව මේ වෘෂභයින්ට නොතේරේ.

මම එනිසා සාමාන්‍යයෙන් කරන්නේ බසය ගමන් කරන්නට පෙර බසයට නැග ළඟම ඇති බෆල් පෙට්ටියට එන වයර් ඇද කඩා දැමීමය.එවිට ඔබට බසය ගමන් කරන විට කණට දැනෙන සුවයට වඩා සුවයක් බසයේ එහේ මෙහේ ඇවිදින කොන්දොස්තර එකී බෆල් පෙට්ටිය ක්‍රියා නොකරන බව දැනගත්විට පෙන්වන සාත්වික අභිනය නිසා ඔබේ මනසට දැනේ.වෙන විකල්ප නැත. අසුවන සේ කිරීමෙන් වළකින්න.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නිවාරණයි.


10 June 2018

මතක ගබඩාව



අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පාළෝහක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක් ය.

ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත.ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැං කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝක භරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපිද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත.එනිසා මුවින් නොබැණ සිටිය යුතුය.

කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය.ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්‍යශේකරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කට පාඩමින් දැන සිටියෝය.උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය.හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය.කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය.ආස්මී හැදුවෝය.බීරළු ගෙතුවෝය.පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැං කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත.

දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන් ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්‍ය මිනිසෙකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක් ය. එය එසේ උවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තෙකුගේ මතක ගබඩාව සාමාන්‍යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක.සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුලෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්‍රම් බ්‍රම් බර බරම් ක්‍රී.....ක් බ්‍රම් බ්‍රම්" හඩක් නැගේ.

මේ පෙටා බයිටයක් පමණවන දත්ත ප්‍රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය අමතක වීම නැමති අපූර්ව ක්‍රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්‍ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස සොබාව ධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්‍රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කණෙන් අදිති. දණ ගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති.

සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක් ය.
"ඕකට දෙවරක් චක්කරේ බැරි උනාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ......ඕකා මගේ උනාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරුම් නෑ "  කියා ළොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගී වූවෙකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්‍ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත.සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත.

අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාව වල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු.ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි.

"වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං
උඩ මළුවට යන්නං කු ඌඌඌ
පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං
බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ)
පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන් "

මම මේ සින්දු අහන්නේ නැත.ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත.සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ තට්ට හිසත්, කේ. සුජීවාත්, ඇගේ දරුවන් ඔහුට අජියා කියා අමතන බවත් ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක්ද මගේ මොළයේ විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.

රනිල්, අකිල්, මංගල සහ සාගල ගල් කාරයන් බවත්, රන්ජන් බඩු කාරයා බවත්, කෙහෙළිය කොටු පනින්න ගොස් කකුල කඩාගත් බවත් අපි දනිමු.ඒවා දැන ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු.

මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරුව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයින් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විශ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්‍රමාණය ඉතා විශාලය. අරයා හැදූ සවු දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අළුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අපවෙත ගලා එන තොරතුරු ප්‍රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්‍ය තොරතුරු නිසා අවශ්‍ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක උනාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනෙකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ.හැකිනම් ශර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්‍ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න. (මාත් ට්‍රයි කරනවා....තාම බෑ ඕයි.. දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්.....කියලාමතක් වෙනකොටම අර බස් සීන් ටික වගේම උඩ රැවුලයි දිග පොකුටු කොණ්ඩෙයි නපුන්සක පාටයි එක්ක කිංස්ලියාවත් මැවිලා පේනවා බං )


04 June 2018

අගය කළ යුතු මිනිස්සු




මිනිසා නිර්මාණශීලී සත්වයෙකි. ගසින් බිමට බැස දෙපාවත් ගමන් ඇරඹීමත් සමඟම නිදහස් වූ දෑත් මිනිසාට අනිකුත් සතුන්ට නොමැති නිර්මාණ කිරීමට හැකියාවක් ලබා දුන්නේය. අතීතයේ සිට විවිධ මිනිසුන් විවිධ නිර්මාණ කිරීම් සහ සොයා ගැනීම් කළ අතර සමහර නිර්මාණ වෙනුවෙන් පැසසුම් ද, සමහර නිර්මාණ වෙනුවෙන් ගැරහුම් ද ලැබුවෝය. සමහරු සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවුවෝය. එහෙමය කියා මිනිස්සු සොයා ගැනීම් නතර කළේ නැත.

මිනිස්සුන්ගේ නවනිර්මාණවලට උදැල්ල දමන්නේ ඔහුගේ බිරිඳය. නැත්නම් පෙම්වතිය ය. උන්ට ලෝකයට සැලසෙන යහපත ගැන තුට්ටුවක හැඟීමක් නැත. උන්ට ඕනෑ කරන්නේ තමන්ගේ සැමියා හෝ පෙම්වතා උංගේ දිහාව බලාගෙන සිටීමය. ඔළුව රිදෙන විට ඔළුව අතගෑමය. උං උයන දේවල් කා රසයි කීමය. මිනිහෙක් යම් නිර්මාණශීලී කටයුත්තක් කිරීමට සිතන විට පවා එය ගැහැනියගේ ඉවට හසු වේ. එනිසා බොහොමයක් නිර්මාණ සහ සොයාගැනීම් උපන්ගෙයිම මියෑදේ. එනම් ගබ්සා වී යයි. මෙසේ බාධා කිරීම් සිදු නොවූයේ නම් ප්ලූටෝවලත් මෙලහකට මාතර බත් කඩයක් දාලාය.

ඒවා ගැන කතා කර පලක් නැත. ද්විකණ්ඩනය, අංකුරණය, ධාවක, බල්බිල වැනි ප්‍රජනක ක්‍රමයක් සොයා ගන්නා තුරු ලෝකය මෙසේ එකතැන පල්වෙනු ඇත.

අතීතයේ මෙසේ ගැහැනු මායාවන්ගෙන් මිදී නව නිර්මාණ සහ සොයාගැනීම් කළවුන් සිටියෝය. ඔවුන් සමහර විට සමලිංගිකයන් වූවා විය හැක. මේවා ගැන සොයා බලා ඔප්පු කර ගත හැකි වුවහොත් රනිල් ලොක්කාට සමලිංගික විවාහ පනත ගෙන ඒම ගැන එස්බී පවා ප්‍රශංසා කරන්නට ඉඩ තිබේ.

මුළින් කී ලෙස සොයා ගැනීම් නිසාවෙන් සමහරු අගය කරනු ලැබූ අතර සමහරු ගැරහීමට බඳුන් විය. මේ අතර ඉතිහාසයේ විශිෂ්ඨ සොයා ගැනීම් කළ සමහරෙක් සළකුණක්වත් නොතියා අතුරුදහන් වූහ. සමාජයේ ඇස නොගැටී සමාජය වෙනුවෙන් සිය ශ්‍රමය දැනුම හා කාලය කැප කළ මේ නිර්නාමික ශ්‍රේෂ්ඨයින් සැමරීම කළ යුතුය. එය මිනිස් ජාතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මේ උදාර මිනිසුන් වෙනුවෙන් කළ හැකි ඉතාම සුළු ප්‍රශංසාවක් වේ.

යන්තන් දැනුම් තේරුම් ඇති කාලයේ සිට අම්මා කුස්සියේ උයනු බලා සිටි මට මහත් කුහුලක් ජනිත කරවන්නට සමත් වූයේ ඉඳි ආප්ප සෑදීමය. හුරු පුරුදු අයෙකුට පවා තරමක් වෙලා ගතවෙන ඉඳිආප්ප පිසීම නුහුරු තැනැත්තෙකුට නම් සංකීර්ණ ක්‍රියාවලියකි. ඉඳිආප්ප නැමැති ආහාරය සොයාගත් ඒ අතීත මුතුන් මිත්තා සැමදාමත් මගේ නොමද ගෞරවයට පාත්‍ර වේ. කුඹුරෙන් ලබා ගන්නා වී වලින් සහල් සාදාගෙන ඒවා කොටා පිටි කරගෙන වතුර දමා සාදාගන්නා තලපයෙන් රැල් සෑදීමට සාදා ඇති ඉඳිආප්ප වංගෙඩිය යනු අති විශිෂ්ට වර්ණනාතික්‍රාන්ත මහාර්ඝ නිර්මාණයකි. මගේ වැනි ක්ෂුද්‍ර මොළයක කිසිදා නොපිළිසිඳ ගන්නා අදහසක් අතීත බුද්ධිමතා තුළ පහලවී ඇත.

සහල් පිටි රත් කළ විට එහි ප්‍රෝටීන ව්‍යුහය වෙනස් වී අනුභවයට පහසු හා රසවත් තත්ත්වයකට පත්වන බව ඔහු කෙසේ නම් දැන ගන්නට ඇද්ද? ඉන්පසු වාෂ්පයෙන් තම්බා ගත හැකි බව සොයා ගැනීමට පෙර ඔහු කොතරම් පර්යේෂණ කරන්නට ඇතිද? කී වතාවක් ඔහුට වරදින්නට ඇද්ද?

ආස්මී වැනි ආහාරයක් සොයාගත් තැනැත්තා ගේ බුද්ධි මට්ටම ගැන මට සිතාගන්නටවත් නොහැක. දවුල් කුරුඳු නානු යෙදීමෙන් පිටි මිශ්‍රණයට නව හැඩයක් ලබා දිය හැකි යැයි සිතීමම සාමාන්‍ය මනුශ්‍ය අවබෝධය ඉක්මවා ගිය තත්ත්වයකි.

මිනිස් සංහතිය වෙනුවෙන් ජීවිත අවධානයට ලක් කළ අයෙකි බොම්බිලි කරවල අනුභයට උචිත බව සොයා ගත් තැනැත්තා. ඉතාමත් දැඩි දුගන්ධයකින් යුක්තවන බොම්බිලි කරවලවල ගඳ කොතරම්දැයි කිවහොත් ඒවායේ මැස්සෝ පවා වහන්නේ නැත. එහි ගඳ උන්ටත් දරා ගත නොහැක. බොම්බිලි කරවලවල ගන්ධය විද්‍යුත් ශක්තිය බවට පෙරළිය හැකිනම් කරවල කිලෝ එකකින් නිවාස සියයකට විදුලිය දිය හැකි බවට ගණන් බලා ඇත. තවමත් මේ ගන්ධ ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පෙරළීමේ තාක්ශනය පර්යේෂණ මට්ටමේ පවතින අතර සාර්ථක වුවහොත් ඔපෙක් සංවිධානය බිඳ වැටී මැද පෙරදිග ආර්ථික අර්බුධයක් නිර්මාණය වනු ඇත.

එපමණ වූ ගන්ධයකින් යුක්තවන කරවල අනුභයට සුදුසු බවත් එයින් ආහාර මාර්ගයට හානි සිදු නොවන බවත් දැන ගත හැකි විදිහක් නොවීය.එකම විසඳුම අනුභව කර බැලීමය. මිනිස් ඉතිහාසයේ සැඟවී ගිය ඒ නමක් නොමැති මිනිසා වෙනුවෙන් ඉඳිවූ ස්මාරක නැත. සොහොන් කොත් නැත. මහාවංශයේ පරිච්ඡේද වෙන් වී නැත. නමුත් ඔවුන් අප හදවත් තුල සදා අනුස්මරණීයය.

මෙවන් වූ සමාජ මෙහෙවරයන් සිදු කළ නමුත් නිසි ඇගැයීමකට ලක් නොවූ මිනිස්සු බොහෝමයක් වෙති. නළු නිළියන්ගේ විවාහ උත්සව උපන්දින සාද, ක්‍රීඩකයින්ගේ දික්කසාද, දේශපාලකයින්ගේ හොර මැරකම් ගැන කතා කරන මාධ්‍ය ආයතන මෙවන් උත්කෘෂ්ඨ මිනිසුන් වෙනුවෙන් සිය අවධානය අංශුමාත්‍රයක් හෙලන්නේ නැත. එන්න අපි ඔවුන් ගැන කතා කරමු. අමතක නොකරමු.


27 May 2018

වැල







කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක 'වැල' ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ හරි එතිලා වෙලිලා හැදෙන ශාක විශේෂ 'වැල්' ය. මේවාට අමතරව තවත් වැල වර්ගයක් තිබේ. ඒවා නම් ලිංගික දර්ශන ඇතුලත් කාම ප්‍රකාශනයන් ය. ඒ වැල ලංකාවේ තහනම්ය. කරන්න තහනම් නැති උනාට බලන්න තහනම් ය.

මුළින් බැලුවේ වැල පත්තරය. හැමෝටම හොරෙන් පන්තියට ගේන වැල පත්තරය සහජීවනයෙන් පිටු වෙන වෙනම බෙදාගෙන රස වින්දෙමු. මාට්ටු උනොත් සොරි ය.වැල පත්තරය ශිෂ්‍ය නායකයින්ගේ හස්ත කර්මාන්ත සඳහා රාජ සන්තක කර ගනිති. පත්තරවල රූපවලට වඩා ඇත්තේ කතාවය. ඒක කියවන එක වෙනම ලල් එකක්ය. තැනින් තැන ඇති ඡායාරූපද කළුසුදු ඒවාය. පින්තූර තත්ත්වයෙන් බාලය. නමුත් ඒ කාලයේ ඒවාට වඩා දේවල් තිබුණේ ඉතා කළාතුරකින්ය. එහෙම කළාතුරකින් පිටරටවලින් ගෙන්වූ වර්ණ කාම සඟරා ළඟ තිබූ වරප්‍රසාදිත පන්තියේ උන් ද සිටියෝය. උන් අනික් උන් අතර ගෞරව බුහුමානයට පාත්‍ර වූහ. එකම පත්තරය නවලා දිග ඇරලා නැමුම් පාරවල් දිගේ ඉරිලා ගියත් විසි කරන්නේ නැත. එකල සිටියෝ සම්පත් නාස්තියට එරෙහි වූවෝ වූහ.

ඉන්පසු ආවේ වීඩියෝ කැසට් යුගය හෙවත් VHS යුගයයි. ඒවා පත්තර මෙන් සඟවා තබා ගැනීමට අපහසු තරමේ ප්‍රමාණයෙන් විශාල වීය.එමෙන්ම යටිතල පහසුකම්ද ඇවැසි විය. වීඩියෝ කැසට් යන්ත්‍රයක් හෙවත් 'ඩෙක් එකක්' තිබුණේ එහෙමත් කෙනෙක් ළඟය.එනිසා ගෙදර වැඩිහිටියන් නැති වෙලාවක් බලා කොල්ලෝ කල්ලි ගැසී වැල බැලූහ. එය වෙනම සංස්කෘතියක් වීය. සජීවී විචාර, ඇගැයීම් මෙන්ම නැවත විකාශය කිරීම් සමඟ විශයානුබද්ධ දැනුම බෙදාගැනීමේ මහඟු අවස්තාවක් ඔවුන්ට හිමි වූ අතර කැසට් පටවල බැඳුනු දිලීර හෙවත් පුස් ඉවත් කිරීම වෙනමම කලාවක් ලෙස වර්ධනය විය.

ඉනුත් පසු පැමිණියේ VCD සමයයි. වීඩ්යෝ කැසට් මෙන් නොව ප්‍රමාණයෙන් කුඩා වීමත් පොතක් අතර පහසුවෙන් සඟවා ගෙන යා හැකි වීමත් නිසා මේවා යොවුන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගියේය. CD මුද්‍රණය කළහැකි එනම් රයිටරයක් සහිත පරිගණකයක හිමිකරුවෙකු එකල සැලකුණේ ජීවමාන දෙවියෙකු වැඩ සිටින දේවාලයක කපු මහතෙකු මෙන්ය. පරිගණක අහිමි මුත් CD යන්ත්‍ර හිමි උන්, එවන් කොල්ලන්ට දොල පිදේනි දෙමින්, පොල් ගසමින්, උන් වටා කැරකුණේ තමන්ට ඇවැසි වැල CD මුද්‍රණය කරවා ගැනීමටය. මෙම CD කාටත් හොරෙන් සඟවා තැබීමත් නැවත නැවත භාවිත කිරීමත් නිසා ඇතිවන් සීරීම් සමඟ රූපවල කොටු වැටීම සහ වීඩියෝව හිරවී නැවතීම වැනි අභාග්‍යසම්පන්න ඉරණම්වලටද මුහුන දීමට සිදු විය. ජීවිතේට දත් මදින්නේ නැති උන් දත් බෙහෙත් භාවිතා කොට CD පිරිසිඳු කිරීම ආරම්භ කිරීමත් සමඟ දත් බෙහෙත් වෙළඳාමද ඉහළ ගියේය.

ඉන්පසු DVD ද පැමිණි අතර ගුණාත්මයෙන් වැඩි වැල වැඩි ප්‍රමාණයක් එක තැටියක අන්තර්ගත කළ හැකි වීම නිසා කොල්ලන්ගේ නින්ද අඩු විය. එළි පහළියට බැසීම මෙන්ම කෑම බීම පවා අඩු විය. ඉස්සර සාලයේ තිබූ පරිගණක කාමර තුළට රිංගවා ගැනිනි.සමාජ ආශ්‍රය අඩු වීම නිසා සමාජයෙන් කොන් වූ කොල්ලන්ගේ පෝෂණයද අඩු වීම නිසා කෘශ වී ගියෝය. නමුත් සතතාභ්‍යාසයේ යෙදුණු සුරත නම් වැඩී වර්ධනය වීය.

අන්තර්ජාල ප්‍රවිශ්ඨය පහසු හා වේගවත් වීම සමඟ පැරණි වැල සංස්කෘතීන් සියල්ල අභාවයට ගොස් ඇති අතර යෞවනයන් තව දුරටත් එකිනෙකාගෙන් ඈත් වෙමින් පවතී.

මිනිසුන් එකිනෙකා ප්‍රේම කළ යුතුය. නිසි වයසේදී විවාහ විය යුතුය. ලිංගිකව එක් වී දරුවන් බිහි කළ යුතුය. මිනිස් ඝාතන නොකළ යුතුය. පහර දීම්, මංකොල්ල කෑම් නොකළ යුතුවාක් මෙන්ම බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය හා අනියම් සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
නමුත් නීතියට අනුව වැල බැලීම තහනම්ය. එනම් සැවොම කළ යුතුයැයි සමාජ සම්මත ලිංගික ක්‍රියා නැරඹීම අසම්මතය. නමුත් මිනී මැරීම්,පහර දීම් ආදිය ඇතුලත් චිත්‍රපට පවුලේ සැවොම එකට ඉඳ නරඹති. අත්පොලසන් දෙති. බොරු කීම්, වංචා කිරීම් මෙන්ම අනියම් සබඳතා ටෙලි නාට්‍යයවල සුලභය. කවුරුත් ඒවා තහනම් කිරීමට පෙළඹෙන්නේ නැත.

වැල බැලීමෙන් ඒවායේ තිබෙන දේ කරන්නට පෙළඹෙන බවට සමාජ මතයක් ඇත. වැලවල ගොඩක් ඇත්තේ බොරුවය. ස්පයිඩර් මෑන් චිත්‍රපට බලා කවුරුත් බිත්ති දිගේ නගින්නේ නැත. සුපර් මෑන් චිත්‍රපට නරඹා වාහන උස්සා විසි කරන්නට යන්නේ නැත. වැලවල ඇති අසාමාන්‍ය දෑ අත් හදා බලන්නට යන්නේ මානසික රෝගීන්ය.එහෙම උන් මහා ගොඩක් නැත.

නමුත් සමහර අවස්ථාවලදී අනෙක් පාර්ශ්වය නොදැනුවත් වීම නිසා අකරතැබ්බ සිදු වෙනවාය. කොල්ලෝ වැල බැලුවාට කෙල්ලන්ට බලන්න දෙන්නේ නැත. අඩුම තරමේ උන් තමන් වැල බලන බව කෙල්ලන් ඉදිරියේ පිළි ගන්නේද නැත. ඉතින් බැන්දාට පසු වැල බැලූ කොල්ලාට සාමාන්‍යකරණය වී ඇති ගුද රමණය අත් හදා බලන්නට ගිය විට වැල නොබැලූ කෙල්ලට එය ජුගුප්සාජනක අද්භූත අද්දැකීමක් වනවා නියතය. දික්කසාදයකින් පවා කෙළවර විය හැක.

වැල බලා මානසික පීඩනය මෙන්ම ශුක්‍ර තරළයද මුදා හැරීමෙන් ලැබෙන මානසික සහනය පුද්ගලයෙකුගේ අනෙකුත් කටයුතු සඳහා මහත් පිටිවහලක් වේ. ලිංගික පීඩනය අඩු වීම නිසා බස්වල ජැක් ගැසීම් ආදී සුළු සුළු අතවරයන් යම් තරමකින්හෝ පහළ යා හැක. පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් ලැබෙන බැවින් තමන්ගේ ලිංගික ජීවිතය නැවුම්ව හා ක්‍රියාශීලීව පවත්වා ගැනීමටද වැල දායක කර ගත හැක. ඔසප් දින මෙන්ම ගර්භනී අවධියේ ශාරීරික අපහසුතා නිසා ලිංගිකව එක්වීමට අපහසු දිනවලදී යම් සහනයක් ලබා ගැනීමට වැලවල පිහිට පැතිය හැක.

ලිංගිකත්වය මහා කුණුහරුපයක් සේ සිතීම නවතා ( කුණු හරුප සියල්ලම එක්කෝ ලිංගික අවයව හෝ ක්‍රියාව කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇත.) එහි සුන්දරත්වය අත් විදිමු. වැලවලට සමාජයේ නිසි තැන දෙමු. ඕනෑම හොඳ දෙයක් මෙන් නරකටද භාවිතා කළ හැකි නිසා මනාව දැනුවත් වී සිහි බුද්ධියෙන් භාවිතා කරමු. සැනසෙමු.

ස්තූතියි!!!

22 May 2018

වාට්ටුවේ ධර්මයුද්ධය




"මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?" මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්.

" ඒ කිව්වේ ඩොක්ටර් "

" නෑ මං කියන්නේ දැං මේ මානසික ලෙඩ කියන ඒවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට හැදෙන එකක් නෙමෙයිනේ. දෙයියොම දීපු ඒවනේ."

" එහෙම ඒවා තියෙන්නේ ඩොක්ටර් අනිත් මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ අගේ තේරුම් ගන්න. නැත්තං අපිට අපේ ජීවිතවල වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවනේ."

" ඒ උනාට මාස්ටර් මේ මනුස්සයින්ට අනිත් අය විඳින ජීවිතේ විඳින්න බැරි වෙනවනේ. පවුනේ. අනික දැං ඔය මනුස්සයෙක් මානසික ලෙඩේ හින්දා ආව කේන්තියකින් තව කාට හරි ගහලා මැරුවොත් මේ මනුස්සයා දිව්‍ය ලෝකේ යනවද නැත්තං අපායේ යනවද? "

" ඒ මනුස්සයා අවබෝධයකින් නෙමෙයිනං කළේ දිව්‍යලෝකේ යන්ඩ ඕන."

" ඒක හරි අසාධාරණයිනේ. ඒ මනුස්සයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙත් දෙවියන්ගේ පරීක්ෂණේට ලක් වෙන්නනේ. එතකොට මේ මනුස්සයා මිනිහෙක් මැරුවත් දිව්‍යලෝකේ යනවනම් අනිත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. දෙවියන් ගන්න සමහර තීරණ අපිට තේරෙන්නේ නෑනේ."

" ඒකත් මහ අසාධාරණ තර්කයක්නේ මාස්ටර්. දැං මාස්ටර්ලා හිතන්නේ අනාගතේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ කියලනේ."

"ඔව්"

" ඉතිං දැං මම වගේ ඉස්ලාම් ආගම විශ්වාස කරන්නැති කෙනෙක්ට විශ්වාසයක් ඇති කරන තර්කයක් නෙමෙයිනේ . දෙවියන්ව විශ්වාස කරන්නනම් එයා අපි ගැන ගන්න තීරණ ගැන අපි දැනං ඉන්න ඕනෙනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. ඒ උනාට අපි විතරක් නෙමෙයිනේ අනිත් අයත් එහෙම දේවල් විශ්වාස කරනවනේ හැමදේම ගැන දන්නැතුව. ඒකටනේ භක්තිය කියන්නේ."

මේ වෙලාව වෙනකොට වාට්ටුවේ අනිත් කාර්ය මණ්ඩලය වෙච්ච මුස්ලිම් උපස්ථායිකාවක්, මුස්ලිම් සමාජ සේවා නිළධාරී මහත්මයෙක්, හින්දු හෙද නිළධාරී මහතෙක්, බෞද්ධ හෙදියක් අපි වටේට පුටු තියාගෙන අපේ කතාවට හූමිටි දෙනවා.

"ඩොක්ටර් අර සකීර් නයික්ගේ කතා බලලා නැද්ද? ඒවයේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා නේද?"

"මිනිහා පට්ට බොරු අතාරිනවනේ මාස්ටර්. පොරට සිරා දැනුමක් තියෙනවා. කුරාණෙ සුරාවක් ජූසුවක් ගානේ ඉලක්කමත් එක්ක කියන්ඩ දන්නවා වගේම බයිබලේ ගැන වේද පොත් ගැනත් ඒ වගේම හොඳ මතකයක් තියෙනවා. හැබැයි විද්‍යාව ගැන කියද්දි පොර අලි කෙබර ඇද බානවනේ.විද්‍යාව ගැනයි බුද්ධාගම ගැනයි කියද්දි. පට්ට පච කෙළින්නේ."

"එහෙමද?"

" දැං පොර කියනවනේ නබිතුමා එන්න කළිං මෙසායාවරු ගොඩක් ආවා කියලා. බුදුහාමුදුරුවොත් ඒ එක්කෙනෙක් කියලනෙ කියන්නේ."

"ඔව්"

" ඒ උනාට බුද්ධාගම කියන්නේ එහෙම මැවුම්වාදයට පොඩ්ඩක්වත් සමබන්ධ නැති වෙනම එකක්නේ. ඒ කියන්නේ ඒ කාලේ දෙවියන්ට දෙවියෝ නෑ කියලා ලෝකෙට කියා ගන්න ඕනේ උනාද? අනිත් පැත්තට බලන්ඩකෝ දැං පරණ තෙස්තමේන්තුවෙ කියනවා ඇහැට ඇහැක් දතට දතක් කියලා.ඊට පස්සේ ජේසුතුමා ඇවිල්ල කියනවා නෑ නෑ එහෙම කරන්ඩ එපා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න දෙන්න කියලා. මෙන්න ආයේ නබිතුමා ඇවිල්ල කියනවා නෑ නෑ ඇහැට ඇහැක් දතට දතක් තමයි හරි එක කියලා. මොකක්ද මාස්ටර් කිසි ප්‍රතිපත්තියක් නෑනේ.හරියට මේ ආණ්ඩුව වගේනේ. මොකද කියන්නේ අපේ වෝඩ් එකට ඇඩ්මිට් කරලා කරන්ට් එක දෙතුන් පාරක් අල්ලමුද?"

(සභාවේ සිනා)

"මෙහෙමනේ ඩොක්ටර්. ඒ ඒ සමාජවලට ගැලපෙන විදිහටනේ දේශනා කරලා තියෙන්නේ. දැං බලන්න ඇල්කොහොල් කළිං ප්‍රශ්නයක් නෑ කිව්වට පස්සෙ එකපාර වෙනස් කළේ නෑ. කිව්වේ බීලා පල්ලි එන්න එපා කියලා. අන්න ඒ වගේ කාලෙන් කාලෙට ගැලපෙන විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ."

"ඔය සමාජක්‍රමෙත් තීරණේ කරන්නේ එයානේ මාස්ටර්. එයාගේ මාස්ටර් ප්ලෑන් එකේ එක කෑල්ලක්නේ සමාජක්‍රමේ. අනික ඇල්කොහොලුත් අපි හදපුවා නෙමෙයිනේ. එයානේ තීරණය කළේ ඒක බිව්වම මිනිස්සුන්ට ලල් එකක් එන්ඩ ඕනේ කියලා. එයානේ ඒකට මිනිස්සු ඇබ්බැහි වෙන්ඩ ඕනේ කියලා තීරණය කළේ. අනික එයාට තිබ්බේ නැද්ද මිනිස්සු ඔක්කොම වැරදි නොකරන හොඳ මිනිස්සු විදිහට මවන්න.එයා අපිට් එක එක ආශාවල් ඇතිවෙන විදිහට මවලා ඒ ආශාවල් ලබාගන්න පුළුවන් කරලා පස්සේ ඒවා ගත්තොත් අපායෙ දානවා කියනවා. ඒක වැරදියිනේ මාස්ටර්"

"එහෙම නැතුව අපිව පරීක්ෂා කරන්නේ කොහොමද ඩොක්ටර්. අපිව මෙහෙට එවලා තියෙන්නේ අපිව පරීක්ෂා කරන්නනේ."

"ඒකත් මහ ගොබ්බ වැඩක්නේ මාස්ටර්. දැං ඔන්න ගුරුවරයෙක් ළමයින්ට ටෙස්ට් එකක් තියන එක සාධාරණයි. ඒ ගුරුවරයා ළමයි ගැන දන්නේ නෑනේ. ඒ උනාට මේක අපිව මැව්වෙත් එයා එයාට ඕනේ විදිහට. අපි හිතන පතන ඔක්කොම විතරක් නෙමෙයි අනාගතේ පවා එයා දන්නවා. එහෙව් එකේ මොන ඉටි ගෙඩියක්ද ටෙස්ට් කරන්නේ. දැං මම කවදාවත් ඉස්ලාම් ආගම පිළිගන්නෑනේ මාස්ටර්. ඉතිං එයාට තිබ්බා මාව මෙහෙ මවන්නැතුව කෙළින්ම අපායෙ මවන්න.අපරාදෙනෙ මේ පුච්චන පෙට්‍රල්."

ඒ වෙලාවේ අපේ සමාජ සේවා නිළධාරීතුමා කතාවට එකතු උනා.
" දැං ඩොක්ටර් අපේ මිනිස්සු වීඩියෝ ගේම් හදන්නේ. එයාලා කැමති චරිත දාලා එයාලා කැමති විදිහට හදලා එයාලා දාන නීති රීති ඇතුලේ තමයි ගේම් එක සෙල්ලම් කරන්නේ. ලෝකෙත් ඒ වගේ තමයි. දෙවියන් හදපු නීති තියෙනවා. ඒවා අපි ප්‍රශ්න කරන්න යන්නේ නෑ."

"වීඩියෝ ගේම් හදන්නේ සෙල්ලම් කරන එකාට ආතල් එකක් ගන්නනේ. දැං එතකොට අපි මේ කාගෙවත් ගේම් එකක චරිත වෙලා කාටද ආතල් දෙන්නේ? එයා එයාගේ දිව්‍යලෝකේ සෙට් එකත් එක්ක අපිව එහෙට මෙහෙට යව යවා ආතල් ගන්නවද?. ඔන්න ඕකත් මට තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඇයි අපිව මැව්වේ? අරමුණ මොකක්ද? "

"ඒකනම් ඉතින් දෙයියොම තමා ඩොක්ටර් දන්නේ."

"මම මාස්ටර් මුස්ලිම් අය එක්ක විතරක් නෙමෙයි කතෝලික බෞද්ධ අයත් එක්කත් මේ වගේ කතා කරනවා. ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට අන්තිමට ඒගොල්ලො - ඒක දෙවියන්ගේ කැමැත්ත.ඒක ප්‍රශ්න කරන්න උඹ කවුද? එහෙම නැත්තං ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් උඹට නෑ වගේ - උත්තර දෙනවා. ඒකෙන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නෑනේ මාස්ටර්.මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් දර්ශනයක් තියෙනවානම් මම ඒක පිළිගන්න ලෑස්තියි. ඒවට අමතරව දේවවාදීන්ගෙන් අහන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා.

1. දෙවියන්වහන්සේ ලෝකය මවලා ඊට පස්සේ තමයි ඉර හඳ තරු මැව්වේ. එහෙමයි පොතේ තියෙන්නේ. එතකොට ඉරවටේ කැරකෙන ලෝකේ මවන්ඩ කළිං ඉර මවන්ඩ ඕනේ නැද්ද?අපේ ලෝකෙට වඩා ගොඩක් පරණ තරු තියෙන්ඩත් බෑ නේද? එහෙමනම් අපි මේ කාලය මනින්න ගන්න ක්‍රමයේ අවුලක් තියෙනවද?

2. අවුරුදු හයදාහකට කළිං ලෝකේ මවලා ආදම් සහ ඒවා දෙන්නා මැව්වනං අවුරුදු මිළියන ගණන් පරන පොසිල හම්බවෙන්නේ කොහොමද? ඩයිනෝසරයන් ගැන පොතේ සඳහන් නොවෙන්නේ ඇයි? ඒවා වැරදුණු පරීක්ෂණද?

3. ආදම් ලෝකේ මුල්ම මිනිසානම් ඔහු හෝමෝ ඉරෙක්ටස් ද? නියැන්ඩතාලෙන්සිස් ද? හැබිලස් ද? නැත්තං එයිටත් කළිං හිටපු ඔස්ත්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ද?

4. පෘථිවියේ ජීවය ගැන පමණක් සඳහන් කරන පොත විශ්වාස කරන්නවුන් ලෙස කවදා හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවීන් සොයා ගත්තොත් එදාට ගන්නා තීරණය කුමක්ද?

ඉහත සාකච්ඡාව වාට්ටුවේදී ලද විවේකයක හුදු පහන් සංවේගය උදෙසා පවත්වන ලද්දක් මිස අක්‍රෝෂ පරිභවයෙන් කා කොටා ගන්නා අරමුණකින් තොරව සුහදවා පවත්වා සුහදව විසිර ගියෙමු. මාධ්‍ය නාළිකාවල දේශපාලන සංවාද වෙනුවට මෙවන් ආගමික වාද විවාද පැවැත්විය යුතු බවට සියල්ලෝම එකඟ වූහ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි නැවත එන්න.


16 May 2018

ආරෝග්යා පරම අලාභා... 4





මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්‍ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්‍ය පීඨය බවක් මට නිකමටවත් හිතිලා තිබ්බෙත් නෑ. සමහරවිට ඔය කියන වෛද්‍ය පීඨයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බ හින්දා වෙන්න ඇති. පොඩි කාලේ මගේ ආසාව තිබ්බේ පුස්ථකාලාධිපති කෙනෙක් වෙන්න. ඒ රස්සාව කරන ගමන් පොත් කියවන්න තිබ්බ ආසාව හින්දා. ඒත් ඉතිං පොඩි කාලේ හිතන දේවල් ලොකු උනාම ඒ විදිහටම සිද්ද වෙන්නේ නෑනේ.

කොහොම හරි අත්දිග කලිසමකුත් කමිසෙකුත් ඇඳගෙන සපත්තුත් දෙකක්ම දාගෙන මමත් ගියා කැම්පස්. ටයි නං දැම්මේ නෑ. දාන්න ඕන උනත් ගැටේ දාන්න දන්නෙත් නෑ. ඒක ඉගෙන ගත්තත් ගෙදර ඉස්කෝලේ ටයි එක ඇර වෙන ටයි එකක් ඇත්තෙත් නෑ.

කළිං දවසේ හතර අතේ කෝල් කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන තැන අහගෙන මමත් යන්ඩ නියමිත දවසේ උදෙන්ම එතනට ගියා.

කැම්පස් කිව්වම කාගෙ උනත් හිතේ මැවෙන්නේ පේරාදෙණිය. මල් පිරිච්ච, ගස් වැවිච්ච, කඳුවලින් වට වෙච්ච, කොල්ලො කෙල්ලො පෙම් කෙළින පාරිසරික සුන්දරත්වයෙන් සෞන්දර්යයෙන් අග්‍ර වෙච්ච ප්‍රේම පාරාදීසයක් වගේ තැනක්. කොළඹ විශ්ව විද්‍යාලයේ අනිත් පීඨ පිහිටලා තියෙන තැනත් ක්ෂුද්‍ර ප්‍රමාණයකින් හරි මේ සෞන්දර්යය පෙන්වලා දුන්නත් පුංචි බොරැල්ලේ තියෙන වෛද්‍ය පීඨය නම් හරියට ඉස්සර ගෙවල්වල ඈතින් හදපු වල කක්කුස්සියක් වගේ නොසළකා හැරිලා තිබුණා.

අක්කර එක්දාස් පන්සීයක් විතර වෙන පේරාදෙණියත් එක්ක සසඳලා බලද්දි අක්කර බාගයක්වත් නැති කොළඹ වෛද්‍ය පීඨය හරියට දීපිකා පදුකෝන් එක්ක දෙනවක හාමිනේ සංසන්දනය කරනවා වගේ මහා විළි ලැජ්ජා නැති වැඩක් බවට පත්වෙනවා.

කොළඹ වෛද්‍ය පීඨය කියන්නේ පුංචි මැද මිදුලක් වටේට තියෙන ගොඩනැගිලි හතරක් සහ ෆ්‍රැන්සිස් පාරෙන් එහා පැත්තේ තියෙන කායවිච්ඡේද ගොඩනැගිල්ලට. මැද මිදුළ මැද්දෑවේ අර මහා විශ්වවිද්‍යාල සංස්කෘතියේ ශේෂයක් වෙච්ච කණාටු රොබරෝසියා ගහක් තිබ්බා.තැනින් තැන දිරා ගිහිල්ලා තිබ්බත් විශ්වවිද්‍යාලයේ සාමාජිකයෙක් විදිහට මේ රොබරෝසියා ගහ හෙවත් 'පච ගහ' තමුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරුවා. ඒ කියන්නේ පේරාදෙණියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පිරෙන්න එහේ රොබරෝසියා මල් පිපිලා වැටෙන කාලෙට මෙහේ පුංචි බොරැල්ලේ කාෂ්ඨක අව්වේ තැම්බෙන පුංචි මැද මිදුලකට තමුන්ට හැකි පමණින් මල් හෙළන්න ගහ උපරිම උත්සාහය දැරුවා.අළුතෙන් ෆැකල්ටි එන ශිෂ්‍ය කණ්ඩායමක් වසරකට ආසන්න කාලයක් රැදෙන්නෙ මේ පච ගහ යට. අළුත් ආදර කතා ගොඩක් හිතේ තියාගෙන හැමෝටම යාන්තමට හරි හෙවනක් වෙන්න පචගහ සෑහෙන වීරියක් දැරුවා. ඒ ඔක්කොම අවසාන උනේ පාලනාධිකාරිය රථවාහන නැවැත්වීමේ ඉඩ වැඩි කරගන්න පච ගහ කපලා දැම්මට පස්සේ. ඒ මම කැම්පස් එකෙන් අයින් උනාටත් පස්සේ.

මම ඉස්සෙල්ලාම ෆැකල්ටියට ගියාම තැන් තැන්වල අළුතෙන් ආව අය හිටියා.පරිසරය නුහුරු බවක් පෙන්නපු මූණුවලින් නවකයි අඳුනගන්න පුළුවන් උනා.සමහරු මම වගේ තනියමත්, සමහරු අම්මා තාත්තා එක්කත් සමහරු නෑදෑ සනුහරේම සහ ගමේ සැට් එකත් එක්කත් ඇවිත් හිටියා.එක ඉස්කෝලවලින් ආපු උන් තැන් තැන්වල සෙට් වෙලා සතුටු සාමීචියේ. කොළඹ ඉස්කෝලවල කෙල්ලෝ බස බස ගාලා ඉංගිරිස් හරඹ කරනවා. සමහරවිට තමුන්ගේ තත්ත්වේ ඇවිත් ඉන්න ගොඩේ උන්ට පෙන්නන්න වෙන්න ඇති.
සරලව කිව්වොත් ලංකාවෙ හතර දික්බාගෙන්ම එක එක උන් ඇවිත් හිටියා.යාපනේ ඉඳං ගාල්ල මාතර ඉඳං මඩකලපුවෙන්, නුවරින්, බදුල්ලෙන්, ඇල්පිටියෙන්, අනුරාධපුරයෙන්, මොණරාගලින් වගේම බහුතරයක් කොළඹ සහ ඒ අවටින්. ඔක්කොම දෙසිය හයක් විතර වෙච්ච අපේ ශිෂ්‍ය කණ්ඩායමේ විසි එකක් අපේ ඉස්කෝලේ උං.  අවුලක් නෑ තනි නොතනියට අඳුරන උං කීප දෙනෙක් ඉන්න හන්දා මමත් බය නැතුව කැම්පස් ජීවිතේ පටං ගන්න ලැස්ති උනා.

හොඳිං නැත්තං ෂේප් න්‍යායෙන් හරිය!!!