Showing posts with label දේශපාලනික. Show all posts
Showing posts with label දේශපාලනික. Show all posts

06 May 2020

කොණ්ඩ රැවුල් සහ මුහුණු සායම්

  
 
ඉස්කෝලේ යන කාලේ අපෙන් වෙලාවට එන එක. වෙලාවට යන එක, වෙලාවට කන එක, "එක්ස්කියුස් මී" කියලා චූ දාන්න යන එක වගේ දේවල් අපේක්ෂා කළා වගේම බොහොම තද බල විදිහට බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හරි ගානට කොණ්ඩෙ කැපිල්ල. මේක කොහෙත්ම සුළු කොට තකන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මහින්ද එන්ඩ කිව්වම යන්ඩ බෑ කියලා කට්ටියක් තීරණේ කළාට රැස්වීමෙදි කොණ්ඩෙ වැරදියට කපලා තිබ්බ එකෙක්ට ශිෂ්‍ය නායකයෙක් හරි ගුරුවරයෙක් හරි ළඟට කතා කළොත් නොගිහින් ඉන්ඩ බෑ. යන්ඩම වෙනවා. නැත්තං ඉතිං "එක්ස්කියුස් මී" කියන්ඩත් කළිං කළිසමේ චූ යන්ඩ පුළුවං. අපිව ඇති දැඩි කළේ අන්න එහෙම එළිමහන් සිර කඳවුරක තත්ත්ව යටතේ.

මෙතන ලොකුම ගැටළුව වෙන්නේ පාසලේ කොණ්ඩය සම්බන්ධයෙන් තියෙන නිර්ණායක කොල්ලන්ගේ මනසේ තියෙන කෑල්ලක් සැට් කරගත හැකි කොණ්ඩා විළාසිතා එක්ක එකට නොයෑම. මස්තිෂ්කයෙන් වෙනුවට ශිෂ්ණ මුණ්ඩයෙන් හිතන පතන ඔය වයසෙදි රැස්වීමෙදි හෝ ඉස්කෝලෙට ඇතුළු වෙන ගේට්ටුව ළඟදි ගුටි කෑමට හෝ අවඥාවට ලක් වීමේ අවධානම අරගන්ඩ කොල්ලො පෙළඹෙනවා. කොච්චර වයසට ගියත් ශිෂ්ණයෙන් විතරක් හිතන පතන උන් ඉන්න රටක අර කොල්ලන්ට වැරැද්දක් පටවන්න බෑනේ. ඉතිං කොල්ලො කාලෙන් කාලෙට එන විලාසිතා අත් හදා බලනවා. පස්සේ ඉස්කෝලෙදි අහු උනාම එක්කො ඉස්කෝලෙ ඉස්සරහා සැලුන් එකේ අයියට සල්ලි දීලා විජයග්‍රාහී දෙවන හිස බෑමත් කරගන්න වෙනවා.එහෙම නැත්තං ඔළුව වටේ වැඩිපුර අඩු වෙලා මුදුනේ විතරක් කොණ්ඩේ වැඩි වෙලානං අඟුරු හරි සපත්තු පොලිෂ් හරි ගාලා වැරැද්ද වහගන්න උනුත් ඉන්නවා. ගෙදර අක්කගේ ඇහිබැම පාට කරන පැන්සල හොරකම් කරලා ඔළුව වටේ උලාගෙන අක්කලාගෙන් ගුටි කාපු උනුත් නැතුවා නොවේ.

අපේ ගුරුවරුන්ට අනුව පුද්ගලයෙක්ගේ ශිෂ්ඨභාවය මැණ බැලෙන ප්‍රධානම සාධකය වන්නේ කොණ්ඩය කපා ඇති ආකාරයයි. ඔබ පොරක් විය හැක. ඉගෙනීමේ අති දක්ෂයෙක් විය හැක. අවංකයෙක් විය හැක. කාර්යක්ෂම විය හැක. ඒ මොනවා උනත් කොණ්ඩය නිසි පරිදි කපා නැත්නම් ඔබ අසික්කිත අවලමෙකි. පාසලට අගෞරවයකි. දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කිරීමට උපන් සල්ලාලයෙකි, කුඩ්ඩෙකි. කොටින්ම ඔබ නවතින්නේ එල්ලුම් ගහේ හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටීමෙනි. නැතිනම් බල්ලෙක් බළලෙක් මෙන් පාරේ වෙඩි කා මිය යාමට සිදුවේ. (පාරේ වෙඩි කා මැරී වැටී සිටින බල්ලන් හෝ බළලුන් ඔබ දැක නැති බව කීමෙන් හෝ පාරේ බල්ලන්ට සහ බළලුන්ට වෙඩි තැබීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුටවත් නැතැයි පෙන්වා දීමෙන් හෝ ඔබට සහනයක් ලැබෙන්නේ නැත.). කොටින්ම අයින්ස්ටයින් අපේ පාසලට පැමිණියහොත් කොණ්ඩය කපාගෙන ඒමට නැවත හරවා යවනවා ඇත. ඒ ද පිට්ටනිය වටා වට පහක් දුවවා, මැද මිදුලේ තණකොළ ගලවා සුද්ද කිරීමට යෙදවීමෙන් පසුවය.

රැවුල පිළිබඳ අමිහිරි අත්දැකීම් ලැබුවේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමෙන් පසුවය. පීඨයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලද පළමු උපදෙස වූයේ " මල්ලි උඹලා කොණ්ඩේ පිළිවෙලට කපලා රැවුල කපලා පලයල්ලා ලෙක්චර්ස් යනකොට හරිද? ක්ලිනිකල් යද්දි ගොඩක් පරිස්සම් වෙයල්ලා. කොන්සෝ ඕවා හරියට බලනවා හරිද." කොන්සා යනු කන්සල්ටන්ට් යන්න කෙටි කිරීමෙන් සාදාගන්නා ගෞරවාර්ථ පදයකි.

"අයියේ පොයින්ට් එක පොඩ්ඩක් තිබ්බට අවුලක් නැද්ද?"

"මොකෝ උඹට මේකෙන් පාස් වෙලා යන්ඩ ඕනේ නැද්ද?"

 රැවුලක් වැවීම යනු ජාතික අපරාධයක් බව තේරුම් ගත්තේ එදාය. විටින් විට වාට්ටුවල සායනික පුහුණුව අතරතුරදී මේ බව නැවත නැවතත් මතක් කර දීමට විශේෂඥ වෛද්‍යවරු උත්සුක වූ බව සදහන් කළ යුතුය.

"බලනවා තමුසෙගේ හැටි. ඩොක්ට කෙනෙක් උනාම වැදගත් විදිහට ඉන්ඩ ඕන. වැද්දො වගේ ඉඳලා අපිටත් එක්ක ලැජ්ජ කරවන්ඩද හදන්නේ? " 
කොන්සා ඉංග්‍රීසියෙන් බණින විට හිත රිදෙන්නේ නැත්තේ තේරෙන්නේ නැති නිසාය. පස්සේ පපුව පැළෙන්න එන්නේ රැවුල කපලා නැති එකෙක් නිසා මුළු ශිෂ්‍ය කණ්ඩායමටම උගන්නන්නේ නැතිව එළවා දැමීම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූ කෙල්ලන්ගේ ඇනුම්පද ඇහුවාමය. උන්ට අනුව එක දවසක විශේෂඥ වෛද්‍යවරයාගේ පන්තියක් මග හැරීම නිසා ඔබට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ ශක්‍යතාව නැති වී ගොස් අනාථ වී යනු ඇත. උපාධිය අසමත් වී නැවත ගමට යෑමට නොහැකි නිසා කෝච්චියට පැනීමට සමහරු යෝජනා කළහ. සමහරු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට සැළසුම් කළහ. ගමේ කොල්ලාට බූට් එක තියා කැම්පස් එකේ එකෙක් එක්ක සෙට් වුනු කෙල්ලෙක් නැවත ගමට ගොස් අරූව ෂේප් කරගෙන ඌව බැඳගෙන ජීවත් වන හැටි ගැන සිහින මැවූහ.

කාන්තා සැලූන්වල අක්කලාගේ සහ පොඩ්ඩක් විතර අයියලාගේ වික්‍රම ගැන තේරුම් ගත්තේ පසු කලක දීය. නවදැලි හේනේ දා ගිය වැඳිරි මෑල්ලන් පවා ජැකලින් ෆර්නැන්ඩස්ලා වගේ වෙස් ගන්නන්නට හැකි බවත් කච්ඡපුට අතට ගත් තලිය කටුවකින් සූරා බලා රන් තලියක් බව හඳුනා ගත්තේ යම්සේද ගැහැනියක් හඳුනා ගන්නටද මුහුණ සූරා බලන්නට වෙන බවත් පසු කාලීන අත්දැකීම්වලින් අවබෝද විය. එන්ජින් බාස්ට වඩා පේන්ට් බාස්ගේ වැඩවල වටිනාකම තේරුම් ගන්නා විට එන්ජින් බාස් කෝස් එක සෑහෙන දුරට අවසන් කර හමාරය. අඩුවෙන් මහන්සි වී වැඩියෙන් හම්බ කරන්නට තිබ්බ චාන්ස් එක මිස් විය. 

මිනිස් ජීවිතවලට එතරම් වැදගත් වන්නා වූත් මිනිසා මිනිසෙක් ලෙස පැවතීමට උරදෙන්නා වූත් ක්ෂේත්‍රයක පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිණිය ගත් කාලෝචිත වූ කඩිනම් තීරණය එනම්, රූපලාවන්‍යාගාර ලෙස මීඩියාවල හඳුන්වා දෙන සැලුන් හෙවත් බාබර් සාප්පු නැවත විවෘත කිරීමට ඇය ගත් තීරණය ඉහළින්ම අගය කරමි. මීටරයේ දුර පවත්වාගැනීමටත් හැමවිටම මුඛ ආවරණ පැළඳීමත් සේවාලාභීන් මෙන්ම ශිල්පීන්ද දැඩිව අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඔය ගමන්ම "දෙවෙනි ඉණිමේ" ඉතුරු ටිකත් රූපගත කිරීමට අවසර දෙන්නේ නම් ජන ජීවිත පරිපූර්ණ වනු ඇත.

ඉස්තූතියි!!!



17 November 2018

වැරදුනේ කාටද?





"අඩෝ මොනවද බං උඹ කරන්නේ?" සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවද දන්නෑ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මෝල් අමාරුව තියෙනවද කියලා. මොනවා උනත් ගෙදෙට්ට ආපු එකෙක්ට බණින එක අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා මම මොකුත් කිව්වේ නෑ.

"අඩෝ උඹ පාඩං කරනවද? මේ වයසට ගිහිල්ලා පිනක් දහමක් කරන් ඉන්නැතුව මොන විභාගද බං."

"විභාග රෙද්දක් නෙමෙයි බං, මම මේ ව්‍යවස්ථාව කියවනවා. සිරාගෙ අසූචි වැඩ හින්දා බලහං අපිට වෙච්ච දේ."

"ඉතිං යකෝ උබ ඕකේ මොනවද බලන්නේ? "
"ඇයි බං, එකෙක් කියනවා 42. ඇ. අනුව ඒක හරිලු.තව එකෙක් කියන්වා 70. ඉ. අනුව ඒක වැරදියිලු. තව එකෙක් කියනවා 58.ඒ. අනුව දැම්ම මතයක් කියන්ඩ බෑලු. අනික බං ඔය ලීගල් පොයින්ට් දෙන උං කරලා තියෙන වැඩ දැක්කම ඔය යක්කු කියන ඒවා සත පහකට විස්වාස කරන්ඩ බෑනේ."

"ඉතිං දැං උබේ නිගමනය මොකක්ද?"

මගේ අවසාන නිගමනය ඇවිල්ලා අපේ රටේ ඉන්න උංගේ සක්ෂරතාව අච්චරයි මෙච්චරයි කියලා පම්පෝරි ගැහුවට එකෙක්ටවත් හරියට ගලපලා වාක්කියක් ලියාගන්ඩ බෑ කියන එක. අපේ උංගේ වැඩ වගේම තමා උඩිං එකක් කියලා යටිං තව එකක් කියලා.මොකක්ද බලහං මේකේ වැඩේ. යකෝ රටේ වැදගත්ම ලියවිල්ල නේද? මොකෝ කෑල්ලටැ ලියන ලව් ලෙටර් එකක් නෙමෙයිනේ. හා නැද්ද? ඕක ටිකක් වෙලාව අරගෙන සෝදුපත් කියවලා එහෙමනේ බං සම්මත කරගන්න ඕනේ."

"මං ඔච්චර ඕවා දන්නෑ මචං පොඩ්ඩක් ඕක දියං අව්වට අල්ලලා බැලුවනං හිල් තියෙනවද කියලා පෙනෙයි. ඔය කට්ටිය කියන්නේ වියවස්ථාවේ හරියට හිල් කියලා. කාවො කාලා වෙන්ඩෑ මං හිතන්නේ."

" මෙන්න මෙහෙ දියං ඕක. කාවෝ කන්ඩ ඕනෑ තොගෙ අහවල් එක."

"මොනවා උනත් මචං මහින්ද මහත්තයා ආයේ අගමැති උනේ මේකේ හිල් තිබ්බ හින්දනේ මොකෝ කියන්නේ?"

"මහින්ද අගමැති උනත් අවුලක් නෑ.පොරට චන්දේ දුන්නත් අවුලක් නෑ. ඒ උනාට පොරට මහින්ද මහත්තයා කියන උං ඉන්නවා නේද? අන්න උං තමා නියම වහල්ලු."

"ඇයි යකෝ අපි වැදගත් විදිහට මනුස්සයෙක්ට කතා කළාම මොකද?"

"පොරට විතරක් මහත්තයා කියන්නේ කියහංකෝ සිරාටත් මහත්තයා කියලා. එහෙම නැත්තං මහින්ද වටේ ඉන්න අනිත් උන්ට මහත්තයා කියලා කියලා බලපං. ප්‍රසන්න රණවීර මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා, රත්තරං මහත්තයා, මහින්දානන්ද මහත්තයා මරු මහත්තුරු ටික බං."

"ඇයි එතකොට උඹ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ මහත්තුරුද?"

"මම දැං එහෙම කිව්වද? නෑනේ. රාජිතයා, රනිලා, සජියා, සුජියා ඔය ඔක්කොම හොරු, මංකොල්ලකාරයෝ තමා."

"ඉතිං දැං උඹලා මහලොකුවට සිරාට දීලා ඔය කරගත්තේ. ලැජ්ජ නැද්ද යකෝ. ඌ දිනපු එකෙං වෙච්ච හොඳේ මොකක්ද කියහං."

" ඇයි යකෝ ඒ හිපාටුවා දින්න හින්දනේ මහින්දයා පැරදුනේ. මහින්ද එදා දින්නනං උබ හිතන්නේ අද රට සුඛිත මුදිතයි, ඕස්ට්‍රේලියාවේ උනුත් ලංකාවට බෝට්ටුවෙං හොරෙන් එන සයිස් එකට නග්ගලා ඇමරිකන් ඩොලර් එක සත ගාණට ගිහිල්ලා අපි ඇමරිකාවට ආර්ථික කුළී ඝාතකයො බස්සන ගාණට එන්ඩ තිබ්බා කියලද? නෑනේ බං. රනිලා කෑව විදිහටම උංගෙ සෙට් එකත් මේක කාලා අද අපි අරුන්ට බණිනවා වගේ මුන්ට බැණ බැණ ඉන්න තිබ්බා."

"උඹට එහෙම කියන්ඩ බෑනේ. මහින්ද මහත්තයා රට ගොඩදාගෙනනේ බං ආවේ."

"උඹ මැරිලා ඉපදුනාට මම මැරිලා ඉපදුනේ නෑ බං.මහින්ද අන්තිම කාලේ දාපු ඩිස්ටි ඩිඩිං මටනං මතකයි."

"දැං උඹ කියන්නේ රනිලට ඡන්දේ දෙන්ඩ කියලද? තොප්පිගලයා, සමනළයා"

"ඔය බලහංකෝ ඉතිං, මම දැං එහෙම කිව්වද කියහංකෝ. උං මහ පට්ට හොරුනේ බං. දීපං ස්වාධීන එකෙක්ට. මුං දෙගොල්ලොම හොරු කියලා සීයට සීයක් ෂුවර්නේ බං. අලුතෙන් එන එකෙක් හොරකං නොකරන්ඩ පොඩි හරි චාන්ස් එකක් තියෙනවනේ බං. ඉතිං ඒ චාන්ස් එක ගම්මු."

"අළුත් උන්ට තේරෙනවද බං රටක් පාළනේ කරන්ඩ? දෙනකොට දෙන්ඩ ඔනේ පරිණත කෘතහස්ත ඩෑල් එකකට."

"ඔය පරිණත කෘතහස්ත ඩෑල් එකකින් උගේ අමාත්‍යංශේ ගැන හරි ව්‍යවස්ථාව ගැන හරි රටේ ආර්ථිකේ ගැන හරි අහලා බලපං අන්න එතකොට උඹට තේරෙයි උං රෙද්දේ පරිණත කම. උං දන්නවට වඩා දේවල් අපි දන්නවා බං. උඹ උනත් දන්නවා උංට වඩා."

"උඹ දීලා බලහංකෝ ඔය ආධුනික ඩෑල් රට කරන්ඩ ගිහිල්ලා පිස්සු නටනකොට උඹට තේරෙයි."

"එහෙම වෙන්නෑ බං.මොකා හිටියත් වෙනසක් වෙන්නෑ. මොකෙක්වත් නොහිටියත් මොකුත් වෙන්නෑ. දැං මේ සති දෙකක් තිස්සේ රට දුවන්නේ අගමැතියා මොකාද, ඇමති මණ්ඩලේ මොක්කුද ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නැතුව.එකම වෙනස මොකෙක් හරි පත් උනොත් ඌට අළුතෙන් වාහන ගන්නවා, බිල්ඩිමක් ගන්නවා සබීතාපාය වගේ, ඊට පස්සේ ලේකම්ලා අරුං මුං ඔක්කොම අරගෙන ලෙටර්හෙඩ්, ෆයිල් කවර හිටං වෙනස් කරන්ඩ සල්ලි වියදං කරන එක තමා වෙන්නේ. උඹ ඔය කොහෙද යන්නේ? හිටහං තවම කියලා ඉවර නෑ."

"වැඩක් නෑ බං. උඹලා වගේ හැම එකාටම බණින ගන්ධබ්බයෝ එක්ක කතා කරලා වැඩක් නෑ. ජෙප්පංගේ හැටි ඔහොම තමා."

"ඔන්න බලහංකො ඉතිං. දැං මම කිව්වද මම ජෙප්පෙක් කියලා.උං කරන සමාජවාදයක් නෑ.ශේප් එකේ රනිලගේ ගේම් ටික ගහනවා ඇරෙන්ඩ.හොර යක්කු.පව් උංගේ පෝස්ටර් අලෝන පෙලපාලිවලට යන කොල්ලො."

"වැඩක්ම නෑ බං.වාද කරන්ඩ පුළුවං කාට හරි කඩේ යන එකෙක් එක්ක බං. උඹලා වගේ උං එක්ක මේවා කතා කළාම අපි නිකං බැණුං අහන එක වෙන්නේ."

"ඇත්ත බං.වැඩක් නෑ තමා.මම කොච්චර කිව්වත් මහින්ද කොච්චර හොරකං කළා කිව්වත් උඹලා ඌට ඡන්දෙ දානවා. රනිලට කඩේ යන උං මහබැංකුව ඉස්සරහ ඡන්ද පෙට්ටියක් තිබ්බත් පයින් හරි ඇවිල්ලා රනිලට ඡන්දෙ දානවා. ඕක මචං අන්ධ භක්තියක්. උඹලත් එක්ක මේක ගැන කතා කරන එකයි මුස්ලිම් එකෙක්ට අල්ලා නෑ කියලා කියන එකයි දෙකම එකයි බං.මාත් යනවා ලයිබ්‍රියට දණ්ඩනීති සංග්‍රහයෙ කොපියක් හොයා ගන්ඩ.නඩුව කල් දැම්මට ඒක අහන්ඩ ගත්තම ඒක ගැනත් දැනං ඉන්න එක හොඳයි."


06 November 2018

සිරි ලංකා .....මං ආදරෙයි අහස තරං....




දැං අපිට අගමැතිලා දෙන්නෙක් ඉන්නවාය. ඒ දෙන්නාම අපිට කොරන්න පුදුම විදිහට දත කන නිසා තව ජුන්ඩ දවසකින් රට සුඛිත මුදිත වෙලා ලංකාව ලෝකේ විරාජමාන වෙලා යනවාය. ඇමති මණ්ඩලෙත් දෙන්නා දෙන්නා ඉන්න නිසා අමාත්‍යංශ ඉස්සරටත් වඩා කාර්යක්ෂම වෙලා මිනිස්සුන්ට ගෙදරටම ඇවිල්ලා ඕනේ කරන වැඩ ටික කරලා දෙනවා ඇතිය. ආයේ කන්තෝරු ගානේ රස්තියාදු වෙන්නට කොහෙත්ම අවශ්‍ය නැතිය. සහන මල්ල අරං ගෙදරටම ඇවිල්ලා දීලා යනවා ඇත. හුදී ජනයා වන අපට කරන්න ඇත්තේ කකුල් දෙක උඩ දාගෙන අංගජාතෙට හීල් හුළං පාරක් වදිද්දී ටීවී පෙට්ටිය දිහා බලියං ඉන්න එකය. එක එකාගේ ලංසුව කීයද කියලා අනුමාන කරන එකය.

රනිල් අංකල්ගේ ආර්ථික මෙව්වා එක නිසා ඩොලර් එක පච වෙලා ගියේය. ට්‍රම්ප් මහත්තයා පොළොවේ හැපිලා ඇඬූ වග අල්ජසීරාවේ, බීබීසීයේ, ලක්බිම පත්තරේ මුල්පිටුවේ ගියේය.පුටින්ටත්, ජිං පිංටත් කලිසමේ කක්කි ගිහිල්ලා තිබ්බේය. එච්චරට දියුණු කරගෙන ගිය ආර්ථිකේ මහියා අතට ගත්තේය. දැං මුළු ලෝකෙම දෑස් දල්වා බලාගෙන ඉන්නේ ඊළඟට මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද කියලාය. අපේ රටේ ඒක පුද්ගල ආදායම සිංගප්පූරුවේ දල ජාතික නිශ්පාදනයට දැනටමත් සමාන නිසා මෙතනින් එහාට රට දියුණු කරන්නට ඉඩක් නැති බවත් අඟහරු බ්‍රහස්පති යුරේනස් නැප්චූන් ආදී අනෙකුත් ග්‍රහලෝක දක්වා ලංකාවේ ව්‍යාප්තිය වැඩි කර සෞරග්‍රහ මණ්ඩලයේම බලය අත්පත් කරගනු ඇති බවට ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ මතය වී ඇත.

කිසිවෙකුත් නොදන්නා මෙහෙයුමකට මීට වසර කීපයකට පෙර අභ්‍යාවකාශගත කල චී චී යානය යොදාගෙන දැනටමත් කුයිපර් පටියේ අභ්‍යාවකාශ යානා ධාවන පථයක් නිර්මාණය කර ඇති බව කියැවේ.මේ සඳහා රණවිරු සාමාජිකයින් වැලි කොට්ටා ගෙන යන අයුරු සඳහන් වන සීසීටීවී දර්ශන කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා තරම් ජාතිමාමක දේශ හිතෛශී ජනහිතකාමි නිර්ලෝභී අල්පේච්ඡ ඈයින් බ්‍රහ්මලෝකේවත් නැති අතර එක රැයින් එකට හිටපු උන්ගේ ගුණදොස් දැක ගැනීමේ විශේෂ හැකියාවකින්ද යුක්තය. එච්චර කල් එකට හිටපු එකා හොරෙක් බව සුටුස් ගා අවබෝධ වීමත් සමග පටස් ගාලා ප්‍රගතශීලී පෙරමුණට එක්ව රට ගොඩනැගීමේ වැඩ පිළිවෙලට අඛණ්ඩව දායකත්වය දැක්වීමට වග බලාගෙන සිටින්නා වූ උත්තම සත්ත්ව කොට්ඨාසයක් වන නිසා අකනිටා බඹ ලෝකයේ ඉන්නා සැට් එක ලැජ්ජාවෙන් මුසපත්වී කිසිවක් කර කියාගත නොහැකිව සැඟවී සිටිති.

අපේ නායකයින්ගේ උදාර ජීවන චර්යාවත් මහත්මා ගතිගුණත් දැක ඒ අනුවම වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය නිළධාරී සැට් එකද රටට ආබරණයකි.ජනතා සිතුම්පැතුම් වහා හඳුනාගෙන ඒ අනුව ක්ෂණික තීන්දු තීරණ ගෙන වහා ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණයේ යෝධ ශක්තියනම් මේ රාජ්‍ය නිළධාරීන් කණ්ඩායමය. මුදලට නොනැමෙන, නිහතමානී මේ මහත්ම මහත්මීන් ජනතාවට දක්වන ගෞරවාදරය දැක පාප්වහන්සේද කම්පාවට පත් වූ සේක.ජපානයේ පෙළපොත්වලට පවා ඇතුලත් කර ඇති මේ ජනතා සේවකයින් පිළිබඳ වෘතාන්තය කියවා ජපන් ජාතිකයින් විශ්මයෙන් විශ්මයට පත්වැ ලංකාව දෙස බලා උදේ හවස පහන් පත්තු කරති.

විද්‍යාදී විශයන් පරතෙරට අධ්‍යයනය කර ඇති අපේ රටේ ජනතාව තිර්ශ්චීන විද්‍යාවන් හෙලා දකිමින් නව ලොවකට මංපාදාගෙන ඇත්තෝය. යුරෝපා සංගමයට ලංකාවෙන් ආධාර ලබා දීමට නම් ජ්‍යෝතිශ්‍යය වැනි මුග්ධ විද්‍යාවන් පසු පස යෑම නවතා නව මාවතකට යුරෝපා ජනතාව යොමු කරගත යුතු බැව් අපේ ජනපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පැවසීය.අපේ ජනපතිතුමාගේ තේජස හමුවේ සෙසු රාජ්‍ය නායකයින්ට සුළු දිය පහවන බැවින් සෑම රැස්වීමකටම පසුව ශාලාව පිරිසිඳු කිරීමට සිදුවී ඇති බැව් ශාලාවේ සංවිධායකයින් පවසයි.

නායක කාරකාදීන්ගේ හැකියාවන් සහ පරිකල්පන ශක්තිය කෙසේ වෙතත් වැඩියෙන්ම පැසසිය යුත්තේ ලාංකික හුදී ජනතාවය. එතරම් බුද්ධිමත්, කාර්යක්ෂම්, ජනතාවාදී පාලකයින් සිය ඡන්ද බලයෙන් තෝරා පාර්ලිමේන්තු යවන්නේ එකී දේශපාලනිකව සබුද්ධික, ප්‍රඥාවන්ත ජනතාවම වීම නිසාය.


01 May 2018

අවුරුදු උත්සවය





සූර්යයා මීන රාසියෙන් මේස රාසියකට නොව මේස කීපයකට යනවා කියා කිව්වේ මහින්ද අයියා ගේම් එකේ ඉන්නා කාලයේ ය. දැං වෙන්නේ සූර්යයා ඒ මේස කීපයෙන් මේ මේස කීපයට මාරු වීම මිස අපේ මේස පැත්තේවත් පැමිණීම නොවේය.සූර්යයාගේ ආදරේද තියෙන්නේ අපට නොව උන්ට බව පසක් වෙන කොට ඩොලර් එක එකසිය හැටටත් කිට්ටු වෙලා ය.සම්බන්ධන්ලා වෙනම රටක් ඉල්ලුවත්, මේ අවු අස්සේ තාමත් විල්පත්තුවට වැඩේ දුන්නත් ලෝකය ඉර වටේ යන එක නවතින්නේ නැතිය. ඒ නිසා අවුරුද්දකට පාරක් අළුත් අවුරුද්දක් එනවාය. සල්ලි සතපහ අතේ නෑ කියන උන් රෙදි කඩ අස්සේ මරා ගනිති.රෙදි තෝරති.හැපෙති.බැණ ගනිති.

ඔය අස්සේ අවුරුදු උත්සවයක් ලක ලෑස්ති කරන්ඩ යෙදුනෝය.කලිං පාර වගේ නැතුව පට්ටෙට අඩු වියදමින් යසට කරනවා කිව්වෝය.හමබන්තොටදි වගේ භාතිය සංතුෂ්ලාට සල්ලි දෙන්නේ නෑ කිව්වෝය.කොරඥ්ඥං කොරඥ්ඥං කිව්වාට සංවිධායක මණ්ඩලේ සංවිධානය කරගන්න බැරුව තාමත් ඒ මේ අත දුවනවාය. ලොකුම ප්‍රශ්නය සංවිධායක මණ්ඩලය හදා ගන්න එකය. සභාපතිට බැරි බව කට්ටියක් කීවෝය.වෙන සභාපති කෙනෙක් ඕනෑ කියලා ගමම ගිනි තියලා පස්සේ සමිති මීටිමේදී "විරුද්ධයි" කියා සභාපතිට එක් වූවෝය.එහෙම කියන්න බැරි අය "ඉල්ලෛ" කීවෝය. ජනයා රැවටුනෝය.

පාරෙං අහුලාගෙන සංවිධායක මණ්ඩලේට රිංගවාගත් දාසයක් "පස්සයි" කියලා අනිත් පැත්තෙන් ඉඳගත් නමුත් ඒ ගේම් එක තවම අපිට හරියට තේරෙන්නේ නැත.තේරුම් ගිය දාට ආයේමත් තරු පෙනෙනු ඇත.

පස්සේ සංවිධායක මණ්ඩලේ උන්ට කන්ඩ බොන්ඩ දෙන ගමන් ගමේ උන්ම එකතු වී අවුරුදු උත්සවය යාන්තං අටවාගෙන කරගෙන ගියෝය.

අලියාට ඇහැ තැබීමේ තරගයට විශේෂ අවධානයක් යොමු වීය.මේ ගමේ එහා ගමේ උන් පමණක් නොව කරණවෑමි වීසා පිට තරගය අස්සට රිංගා සිටි චීනුන් පවා උත්සාහ කළද ආසන්නතම තැන ලෙස ඇස ළකුණු කරනු ලැබුවේ අලියාගේ අධෝ මාර්ගයත් වෘෂණ කෝෂයත් අතරය. රංගේ අයියා අජිත් අයියා ආදීන් කොච්චර උත්සාහ කළත් සජිත් අයියාට තෑග්ග දිනා ගන්නට ලැබුනේ නැත.තරගයට සහභාගී නොවී සිටි සභාපතිතුමාම තෑග්ගද ගෙදර ගෙන ගියේය.

ඒ අසාධාරණකම්ව්ලට කිසිම අවුලක් නැතුව හිටපු ජෝසප් අංකල් රවී කොල්ලා බනිස් කෑමේ තරගයේදී අනුන්ගේ බනිස්ද කාලා කප් එක ගැහුවාම තෑගි දුන්න එකට අමනාප වෙලා ගෙදර ගියේය. ඒ ජෝසප් අංකල් රවියා එක්ක කළිං ඉඳං තියෙන මලකට බව එතන හිටපු උං කිව්වෝය.රවියා ජෝසප් අංකල්ගේ ගෙදරටම ගිහිල්ලා අංකල්ගේ කොල්ලාගේ පස්ස අතගාලා අංකල්ට මාට්ටු වෙලා තිබුණාලුය.

කඹ ඇදිල්ලේ තරගයට කණ්ඩායම් මහා හුඟක් එක්වෙලා හිටියෝය.විස්ස ගේන කණ්ඩායම, මහින්ද අයියාගේ කණ්ඩායම,සිරා අයියගේ කණ්ඩායම, රනිල් සභාපතියාගේ කණ්ඩායම බාසා ප්‍රස්නෙට වෙනම රටක් ඉල්ලන කණ්ඩායම වගේම වෙසක් තියෙන්නේ මැයි මාසේ විතරයි බොල කණ්ඩායමද එක් වීමේන් එකම චොර හොද්දක් වී ගියේය.හැමෝම එකම කඹේට පොර කෑ අතර එක එක කණ්ඩායම්වල ශක්ති මට්ටම් අනුව කඹ කෑල්ල බැගින් කඩාගෙන ගියෝය.ඒ ඒ කණ්ඩායම්වලට හුරේ දැමූ නරඹන්නෝ තම තමුන් හුරේ දැමූ කණ්ඩායම් දිනූ බව තනි තනියම සිතා ගනිමින් ස්වයං වින්දනයක් ලබා ගත්තෝය.

කොට්ටා පොර තරඟය අති උත්කර්ෂවත්ව ළොමුදැහැගැන්වෙන පරිදි අතිශය ත්‍රාසජනක ලෙස පැවැත් වුනු අතර නරඹන්නන් අමන්දානන්දයට පත්ව ස්වප්නමෝචනයෙන් ස්වර්ගප්‍රාප්ත වී සිටියහ. නමුත් කොට්ටා පොරය වීඩියෝ කරලා ස්ලෝ මෝෂන් දාලා බැලුවාම පෙනුනේ උන් දෙන්නේ කොට්ටා එහෙ මෙහෙ වනනවා විනා එකදු පහරක් හෝ ප්‍රතිවාදියාට වැදෙන්නට දුන්නේ නැති බවය.ළඟටම වෙලා කට ඇරගෙන බලා උන් ප්‍රේක්ෂකයින් නම් කීප දෙනෙක්ම කොට්ටා පහරවල් වැදී රෝහල් ගත කරන ලදී.

කණා මුට්ටි තරගය දේශයට උචිත ලෙස සංවිධානය කර තිබූ අතර සියළුම ප්‍රේක්ෂකයන්ගේ ඇස් වැසෙන්නට රෙදි කඩ බැගින් බැඳ තරගකරුවෝ පාළු ගෙයි වළං බිඳින්නා සේ මුට්ටි බින්දෝය.අඳුරේ අත පත ගාමින් මුට්ටි බිඳෙන හඬට කන්දෙමින් ප්‍රේක්ෂකයෝ හුරේ තිබ්බෝය.තරගය අවසානයේ දෑස් විවර කරගත් ප්‍රේක්ෂකයන්ට හරි මුට්ටිය බින්දේ තමන් බව ආඩම්බරයෙන් කීවෝය.

සැඟවුනු අමුත්තා සෙවීම ඉතා අපහසු විය. ලබා දුන් තොරතුරුද නිසි ලෙස නියම සැඟවුනු අමුත්තා සොයා ගැනීමට ප්‍රමාණවත් නොවුනි. කට්ටියක් සැඟවුනු අමුත්තා සෙවීමට ඩුබායි ගොස් තිබූ නමුත් තරග නීති අනුව පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තා ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබුනි. තවත් කණ්ඩායමක් සිංගප්පූරුවේ සිට උදර්පණ නීතිය හරහා පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තෙක් සෙවීමට උත්සාහ කළද සැඟවුනු අමුත්තා තවමත් සැඟවී සිටී.ඒ තරගය සඳහා ඇති තෑග්ගද සභාපතියා ගෙදර ගෙන යා හැක.

විශේෂ පොලිස් ආර්ක්ෂාවක් දී තිබුනේ පොල් ගෑමේ තරගයටය.පොල් බෑය රැගෙන තරගකරුවන් පලා යාමේ අවධානමක් තිබුණි.

ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයද වෙනස්කොට තිබුණි. ඇට නැති ගස්ලබුද දැන් වෙළඳපොලේ බහුල බැවින් තරග කරුවන් බොහොමයක් බින්දුව කියා උත්තරය දීමේ අවධානමක් තිබුණු නිසාවෙන් තරගය ගස්ලබු ගෙඩියේ ඇට වෙනුවට සිරාගේ කොන්දේ ඇට ගණන් කිරීම ලෙස වෙනස් කර තිබුණි.එයටද වැඩි දෙනා උත්තර දී තිබුණේ බින්දුව ලෙසින් වූ මුත් ඒ හැම දෙනාටම තෑගි ලබා දීමට ගමේ අය තීරණය කළෝය.

අවුරුදු කුමාරයා ලෙස චතුර පුතාව තෝරාගත් නමුත් ඔහු එම පදවිය ප්‍රසිද්දියේ ප්‍රතික්ෂේප කළේය.පසුව රාජිත අංකල් අතින්ද ප්‍රතික්ෂේප වූ අවුරුදු කුමාරයා පට්ටම සභාපතිතුමා නැවතත් කරේ දා ගත්තේය.අවුරුදු කුමාරි ලෙස තේරී පත්වුනේ අකිල ය. කලින් පාරකුත් තරගයට ඉදිරිපත් වුවද වයස මදි වීම නිසා කලින් අකිලට අවුරුදු කුමාරි වෙන්නට බැරි විය.මෙවර සභාපතියාගේ වැඩි මනාපයෙන් අකිල අවුරුදු කුමාරි තරගයෙන් දිනුවාය.

දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරගය ජයගත්තේ අනුසාසක සිරාය.තරගය පටන් ගන්නා විටම පය පැකිලී වැටී සරමද කැඩී ගිය අතර හැණ්දත් දෙහි ගෙඩියත් ගිරිය පලාගෙන ආමාශ ගතවීම නිසා එකක්වත් බිම නොවැටුනා සේ සළකන බව සභාපතියා පැවසූවෙන් ඔහු ගේමක් නැතුව ජය ගත්තේය.

ගෝනි රේස් එකේ වැඩිම තරඟයක් තිබ්බේ රාජිත, සුදු බණ්ඩා හා දයාසිරියා අතරය.ගෝනි නැතුව කරේ යාම මෙන්ම ඒ පැත්තට මේ පැත්තට පැන පුරුදු නිසා ගෝනි රේස් එක ප්‍රේක්ෂකයින්ට මනා උත්තේජනයක් ලබා දීමට සමත් විය.එහෙත් අන්තිම මොහොතේ දීර්ඝ පිම්මක් පැන්න සුදු බණ්ඩා තරගයේ ජයග්‍රාහකයා විය.

උදේ ඉඳන් එක එකාට ලිස්සන ගහ නගින්නට උදවු දුන් අනුරලා සැට් එක ලිස්සන ගහ මුදුනේ විස්ස තිබෙනු දැක ලහි ලහියේ තනියම නගින්නට පටං ගත්තෝය. කරන එක කියන එක තරම් ලේසි නැති බව තේරුනු අනුරලාට මහින්දලා උදව් කරන්නට ලෑස්ති වූහ.තත්ත්වය මෙසේ තිබියදී අවුරුදු උත්සවය මොහොතකට අත් හිටවන ලදී.

ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්නට සැදී පැහැදී පිළිවෙතින් පෙළ ගැහෙමු.


14 March 2018

ජාතිවාදය පතුරුවන්නන්ට එරෙහි වෙමු

මේකට අපේ අයගේ නම් ටික දාගන්ඩ.

ජාතිවාදය ගැන කතාකරන්න ඉස්සෙල්ලා ජාතිය කියන්නේ මොකක්ද කියලා හිතන්න ඔනෙනෙ.මම ඔය කිසිම දෙයක නියම නිර්වචන (ඒ කියන්නේ කවුරුහරි බුද්ධිමතෙක් කියලා කියාගන්න කෙනෙක් දීපු පැහැදිලි කිරීමක්නේ) හරියට දන්නෙ නෑ. නිකමට අපි හිතමු ජාතියක් කියන්නේ සමාන ලක්ෂණ කිහිපයක් නිසා එක ගොඩකට දාන මොනවා හරි කාණ්ඩයකටනේ. ඒත් ජාතිය කියන එක ඒ ඒ වෙලාවට අපි ගන්න නිර්ණයක එක්ක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සිංහල ජාතිය දෙමළ ජාතිය ඔක්කොම මිනිස් ජාතියට අයිති වෙනවා.ඒ දෙගොල්ලන්ගෙම ඉන්නවා රැවුල වවන ජාතියෙ අය. ඒකෙත් ඉන්නවා කොමඩ් එකේ ඉඳගෙන කක්කා දාන ජාතියේ අය සහ බිම වාඩි වෙලා කක්කා දාන ජාතියේ අය.
එතකොට මොකක්ද මේ අය කියන ජාතිය?
කතාකරන භාෂාව ද?
අර බණ පොතේ තියෙන ගිරවු දෙන්නගෙ කතාව වගේ තාපසාරාමෙට වැටිච්ච එකාගේ සහ හොරුන් ගාවට වැටිච්ච එකාගේ භාෂාව වෙනස් උනා වගේ පොඩි කාලෙ ඉඳන් සිංහල ගෙදරක හැදිච්ච දෙමළ කොල්ලෙක් දෙමළ බිඳක්වත් දන්නැතුව වතුර වගේ සිංහල කතා කරද්දි ඒකා දෙමළෙක්ද සිංහලයෙක්ද?
ආගම්වාදයත් මේ වගේ පිස්සු විකාරයක් තමා.
ආගම් තියෙන්නේ වාද කරන්න තමා.සිදුහත් කුමාරයා අළාර කාළාම, උද්දකරාම පුත්ත උගන්නපුවා අහගෙන ගොනා වගේ හිටියනම් කෝ අද බුද්ධාගමක්? ජේසුතුමාත් තමං ඉපදිච්ච යුදෙව් පවුලේ විදිහට හිටියනම් කෝ අළුත් තෙස්තමේන්තුවක්?

දැං කවුරු හරි කියන්ඩ පුළුවං ජේසුතුමා මේ ලෝකෙට ආවෙම අළුත් තෙස්තමේන්තුව දෙන්ඩමයි කියලා.එහෙම බැලුවත් උන්නාන්සෙගේ අනුගාමිකයො සැට් එකම තමංගේ කලිං විශ්වාස අතඇරලා ක්‍රිස්තියානියට හැරෙන්නේ ආගමික වාද විවාද නොකර එකපාර පහල වෙච්ච මහා ප්‍රඥාවක් නිසා කියලා හිතන්ඩ අමාරුයි.

හරි ඔන්න ඕවා දැං අල්ලලා දාන්ඩකො. කතා කර කර හිටියේ මේ ජාති වාදය ගැනනේ.

තෙල්දෙණියේ කේස් එක ෆේස්බුක් වැහුවා කියලා නෑ මුළු රටේ ලෝකේ හැමෝම දන්නවනේ.දැං මෙතන අපි පැත්තක් ගන්නැතුව බැලුවොත් වලියක් යනවා කීප දෙනෙක් මැරෙනවා.මුස්ලිම් වගේම සිංහල අයත්. පෙට්‍රල් බෝම්බ එක්ක අහුවෙනවා සිංහල මැරයෝ වගේම මුස්ලිම් මැරයොත්. ඊළඟට මොකද වෙන්නේ?
මුස්ලිම් කට්ටියට ඇප හම්බවෙනවා.සිංහල උන්ට නෑ.සිංහල උං මුස්ලිම් උංගෙන් සමාව ඉල්ලන්ඩ කියලා කවුද ගොනෙක් කියනවා.තව ගොනෙක් කියනවා ෆේස්බුක් වහලා ආණ්ඩුවට ලාබයි කියලා.
සිංහල මිනිස්සුන්ව කුපිතකරවීමේ ලොකු උවමනාවක් මේ නීතිය කරවන අයට තියෙන බව පේනවා. සංහිඳියාව ඇත්තටම ඕනෙනං ඇත්තටම වැරැද්දක් කරපු මුස්ලිම් එකෙක් නොහිටියත් මුස්ලිම් එකෙක්ට කීයක් හරි දීලා හරි කමක් නෑ ටික දවසකට රිමාන්ඩ් කරලවත් තියලා පස්සේ මේ උණුසුම බැස්සම සාක්කි නෑ කියලා නිදහස් කරන්ඩ පුළුවං.
ඒ උනාට මේ රජ වෙලා ඉන්න ගොන්නුන්ට උවමනා වෙලා තියෙනවා සිංහල උන්ව මළ පන්නලා මුස්ලිම් උන්ට ගස්සවන්න.
අනිත් අතට බැලුවොත් නීතිය කාටත් පොදුයි කිව්වට ඇත්තටම එහෙම නෑ. එක ජාතියකට නීත්‍යානුකූල වෙන බහු විවාහය අනිත් අය කළොත් හිරේ. එක ජාතියකට බාල අපචාරයක් වෙන කසාදයක් අනිත් ජාතියට ප්‍රශ්නයක් නෙමෙයි. "තලාක්" කියලා ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ පුළුවන්නම් කොයි මිනිහද අකමැති? ඇයි ඒක අනිත් ජාතීන්ට නැත්තේ?
හෙට ඉඳං මම මගේ මූණයි ඇඟයි ඔක්කොම වහගෙන පාරෙ යන්න එන්න ගත්තොත් පොලීසිය ඒකට හා කියයිද? ෆුල්ෆේස් හෙල්මට් එකට ගේම ඇද්දට කළු ලෝගුවට අවුලක් නෑ.සිකුරාදා දවල්ට ස්පෙෂල් නිවාඩු. මම කිව්වොත් හතරපෝයට සිල් ගන්න යනවා කියලා මට වැටුප් සහිත නිවාඩු දෙයිද? අනිත් ගෑනුංගේ ස්වාමි පුරුෂයෝ මැරුණම ඉඩ්ඩා නිවාඩු දෙනවද?

මේ කිසිම නීතියක් වෙනස් කරන්නැතුව රටේ එක ජාතියකට විතරක් විසේස වරප්‍රසාද දෙන එක හරහා අනිත් ජාතීන් තුල කළකිරීමක් ඇති කිරීමත් එමගින් ජාතීන් අතර වෛරයක් ජනිත කිරීමටත් කටයුතු කරන පාලකයින්ට එරෙහිව නැගී හිටින්ඩ ඕනේ නැද්ද?

ආගමක් කියන්නේ යම් කිසි පිරිසක් දැනට නිශ්චිත පිළිතුරු නැති ගැටළු කීපයකට පොදුවේ ඔවුන් දරන මතයක් නේ.ලෝකේ බිහිවීම, ඉපදීම, මැරුණාම මොකද වෙන්නේ වගේ තවම හරි ආකාර පැහැදිලි කිරීම නැති ගැටළු කීපයකටයම් කිසි පිරිසක් සාමූහිකව දරණ විශ්වාසයක් නෙ මේ කියන්නේ.
එතකොට දේශපාලන මතයත් ගොඩක් දුරට මේ වගේමයි. ධනවාදය කියයි, පැසිස්ට්වාදය කියයි, සමාජවාදය කියයි මොන නරිවාදය උනත් ඒවත් එක මිනිස්සු කාණ්ඩයක් පොදුවේ දරණ මතයක් නේ.
එතකොට ආගමික බේදභින්න කිරීම් හොඳ නැති වෙද්දි දේශපාලන පක්ෂ විදිහට ජනතාව බේද කිරීම වැරැද්දක් නොවෙන්නේ කොහොමද?
පක්ෂබේදය නිසා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වෙන්නේ නැද්ද? මිනිස් ජීවිත නැති වෙලා නැද්ද? දේපල හානි වෙලා නැද්ද?
එතකොට මේ මිනිස්සුංව කුලප්පු කරවන දේශපාලන රැස්වීම්, රූපවාහිනී දේශපාලන විවාද වගේ ඔක්කොම එක්තරා ජාතිවාදයක් පතුරුවන නීතිවිරෝධී ක්‍රියාවන් වෙන්නේ නැද්ද?

ජාතිවාදය නැති කළ හැක්කේ ජාතීන් නැති කිරීමෙන් පමණක්මය. උඹට නිත්‍යානුකූල වන දේ මට නීති විරෝධීනම් මට උඹ ගැන තරහවක් ඇති වෙන එක වළක්වන්නට නොහැක.
ලංකාවේ ඔක්කොම මිනිස්සු එකම ජාතියක් උනානම් හකීම්, බදුර්දීන්, සුමන්දිරන්, සම්බන්ධන් විතරක් නෙමෙයි ගම්මන්පිල, විමල්, පාඨලී ඇතුළු ඔය පාර්ළිමේන්තුවේ ඉන්නා සාතිශය බහුතරයක් නිකම්ම නිකං ජාතක පමණක් වන්නට ඉඩ තිබුනා.

එකම ශ්‍රී ලාංකික ජාතියක් තිබුණානම් සිටිය හැකි නායකයින් අතළොස්ස වෙනුවට කෑලි කෑලිවලට කඩපු ජාති ඔක්කොටම අද නායකයෝ වැහි වැහැලාය. ඒ හැම එකාම අපේ සල්ලිවලින් සැප වාහනවලින් යමින් එමින් සැප කෑම කමින් පිස්තෝල පෙන්නා පහර දෙමින් සතුටු වන අතර ශ්‍රී ලාංකිකයින් ජාතියක් ලෙස එකට එක් වීම වැළැක්වීමට ගතහැකි සියළුම ක්‍රියාමාර්ග ගනිමින් සිටිති.

ජයීන් ජයී...ම වීවා....


06 January 2015

ෆුල් ආතල්




2015ත් ආවේය.මහින්ද මාමා වගේම මෛත්‍රී මාමාත් අළුත් අවුරුද්දට සුභ පතලා තිබ්බේය.2015 ගණින්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයටය.ඒ කියන්නේ ජේසුස් වහන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ය.උන්නාන්සේ ඉපදිච්ච අවුරුද්දේ ඉඳං ගණං හැදුවාට උන්නාන්සේගේ උපන් දිනේ තියෙන්නේ ඒ අවුරුද්දේ අන්තිම මාසේ ය.ඒ වගේ දේවල් මට තේරෙන්නේ නැත.ඒ හින්දා මම ඔය වගේ දේවල් සමරන්ඩ යන්නේ නැත.මම සැමරුවේ නැති උනාට සමරන ඈයින්ට මොනවත් කියන්ඩ යන්නේ නැත.ඒක ඒ අයගේ අයිතිවාසිකමය.ඒ නිසා ඔබ සැමට සුභ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවාය.හැබැයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන්ඩ කියන්නේ නැත.මොකද කිරි පැණි කන උං අපේ රටේ අඩුයි ය.නොමිලේ පැට්‍රොල් ඩීසල් ලැබේවා කියලා වගේම නොමිලේ වයිපයි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවාය.

බ්ලොග් ලියන්ඩ එපා වෙලා තිබ්බේ මේ ඡන්ද කෙරුවාව හින්දාය.හැමෝම කතා කරන්නේ ඒ ගැනය.බ්ලොග්වල තියෙන්නේ ද ඒ ගැනය.පත්තරවල තියෙන්නේ ද ඒ ගැනය.ටීවී එකේ රේඩියෝ එකේ, ෆේස්බුක්, ට්විටර් හැම මගුලම ජනාධිපතිවරණය ගැනය.ඒ හින්දා මමත් ඒ ගැන ඇර වෙන මගුලක් දන්නේ නැත.ලියන්ඩ හිතිච්ච දේවල් කීපයක් තිබුණත් හැමෝම පට්ට ගහන මාතෘකා ගැන මාත් බොරුවට ලියන එකේ තේරුමක් නැති හින්දා මම නිකං හිටියෙමි.

මම නිකං ඉන්න එකේ මේ දවස්වල දැකපු ජිල්මාට් ටිකක් ගැන පොඩ්ඩක් කියන්ඩයි හිතුවේ.මේවා මම හිතන විදිහට සිද්ද නොවෙච්ච දේවල් වෙන්ඩ පුළුවං.ඒ උනාට නිකං එහෙම උනාමයි කියලා තමයි මට හිතෙන්නේ.

පළමුවන සිදුවීම.

අර තරුණ දේශපාලන ගැටයෙක් මෛත්‍රී පැත්තට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි මහින්ද මාමි හරි හොඳයි එයැයිව දාලා යන්ඩ බෑ කියලා ආපහු ගිය සීන් එක කවුරුත් දන්නවා ඇති නෙව.ඒ ගැටයා සීන් එක ඇදපු වෙලාවේ මෛත්‍රී පාර්ශවේ කස්ටිය කොච්චර මෛත්‍රියෙන් හිටියද කිව්වොත් මට පුදුමත් හිතුනා.පහුවදාම ඒ ගැටයට කතාව කරන විදිහ කියලා දෙන වීඩියෝ එක රෙලීස් උනාම මට නං හිතුනේ මේක මෛත්‍රී කට්ටියගේ ප්ලෑනක් කියලමයි.ඒක එහෙම මෛත්‍රීලගේ ප්ලෑනක් නං හොඳට පැලෑන වැඩ කළා මම හිතන්නේ.

දෙවන සිදුවීම

මේ පාඨලී ලොක්කා මහින්ද මාමි ලෙස්ටර් ජේමිස් පීරිස් මහත්තයාව බදාගෙන ඉන්න සීන් එක ගැන කිව්ව එකය.ඒක පොටෝෂොප් කරලා පාඨලී ලොක්කට ලැබෙන්ඩ සැළැස්සුවේ මහින්ද පාර්ශවේ ඇත්තො කියල තමා මට හිතුනේ.ඔය සීන් ගැන පොඩි තියරි එකක් මම අහලා තියෙනවා.කවුරු හරි ඔබට විරුද්ධව චෝදනා දහයක් කළොත් ඔක්කොම බොරුයි කියලා පෙන්නන්ඩ උත්සාහ කරනවට වඩා එයින් එකක් පට්ට බොරුවක් කියලා ඔප්පු කළොත් අරූ ගැන ජනතා විශ්වාසය බිඳ වැටිලා අර චෝදනා ඔක්කොම නිකංම දිය වෙලා යනවා.කොහොම හරි පාඨලී ලොක්කා ලණුව කෑවා.මොකද ඔහොම මාට්ටු වෙන්ඩ ඉඩ තියෙන බව දැන දැන පොටෝ එකක් එඩිට් කරලා මාධ්‍ය සාකච්ඡා තියන්ඩ තරං පාඨලී ලොක්කා මෝඩ නෑ කියලා තමා මම නං හිතන්නේ.හැබැයි කවුරු හරි දීපු පොටෝ එකක් කිසිම වග විභාගයක් නැතුව පෙන්නන්ඩ තරං නං උන්දෑ මෝඩයි කියලා තමා මට හිතෙන්නේ.

මාස්ටර් පැලෑන් විදිහට මම දැක්කේ ඒ දෙක තමයි.අනිත් ඔක්කොම නිකං දෙකයි පණහේ මෝඩ චූන්.

රාජ්‍ය මාධ්‍ය වැටිච්ච අන්තිම පහත් තත්ත්වය ගැනත් පොඩ්ඩක් නොකිව්වොත් හරි නැහැ නෙව.මාධ්‍යවල රාජකාරිය තමයි තොරතුරු වාර්ථා කිරීම.එහෙම නැතුව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්ඩ මාධ්‍ය ආයතන තියෙන්ඩ ඕනේ නෑ.ඉස්සර පොඩ්ඩක් හරි සදාචාරයක් තිබ්බා "රනිල් වික්‍රමසිංහ රට පාවා දුන් බව ජනතාව කියයි" කියලා වත් කියන්ඩ.දැං එහෙම නෑ.කෙළිංම කියනවා "කළගුණ නොදත් සිරිසේන බෙදුම්වාදීන් සමඟ එක්වේ." කියලා.හිරිකිතයි ඕයි!!!

ඒ අස්සේ මෝඩ ගොං පාට් ටිකකුත් දැක්කා.

සිරසේ සටන වැඩසටහන ආයෙත් බ්ලොක් කරලා තිබ්බනේ.ඒ වෙලාවේ චන්දන සූරියබණ්ඩාර මහත්තයා කියනවා සිරස ටීවී එක පේන්නේ නැත්තං සිරස එෆ් එම් එක දාගන්ඩ බොරුවට කෝල් කරන්ඩ එපා කියලා.ඇයි යකෝ ඒ මිනිස්සුන්ට චැනල් එක පේන්නෙ නැත්තං කොහොමද ඒ කියන පණිවිඩේ පේන්නේ.සිරස බ්ලොක් කරලා කියන එක රටේ ලෝකේ මිනිස්සුන්ට කියන්ඩ ඕනේ තමයි.මිනිස්සුන්ට ඒ චැනල් එක පේන්නැති උනාම සිරසට කෝල් කරනවා කියලත් කිව්වට කමක් නෑ.ඒ උනාට ඒ ප්‍රාකශය මුග්ධයි නේද මහත්තයෝ.

ආතල්ම සීන් එක උනේ නිදහස් ගුරු සේවක සංගමය මාරන්තික උපවාසයක් පටං අරගත්තු එකය.ඒ සිරිසේන ලොක්කා අධ්‍යාපනය විකුණන බව ප්‍රතිපත්ති ප්‍රකාශෙට දාලා තියෙන එක අයින් කරන්ඩ කියලා ය.මේ ආණ්ඩුව SAITM එකේ වෛද්‍ය උපාධිය විකුණන්ඩ ඉඩ දෙද්දි, පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන එක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කියලා උසස් අධ්‍යාපන ඇමති කියද්දි කොහෙටද වෙලා දොයියං හිටපු මේ සැට් එක එක පාරටම චූන් වෙලා තියෙන එක මාර ආතල් ය. සුවාධීන රූපවාහිනිය මාධ්‍ය ආවරණය දෙනවාය.හාමුදුරු සැට් එකක් පිරිත් නූල් බඳිනවාය.කට්ටිය අඬනවාය.එක කෙළියයි ය. මේකේ ආතල් සීන් එක වෙන්නේ මෛත්‍රී දිනන්නේ නැතැයි ආණ්ඩුව සහ සුවාධීන රූපවාහිනිය සුවර් කර කියා තිබීමය.එයිටත් වඩා චන්ද්‍රසිරියා වෙඩි තියාගන්නවා කිව්වේය.තව එකෙක් ගිණි තියා ගන්නවා කිව්වා ද මතකය.සුමනදාසයා මහින්ද දිනනවා කියා කිව්ව වැඩ සටහන තුන් පාරක් සුවාධීනේ යනවාද දැක්කෙමි.එච්චරට මහින්ද දිනන එක සුවර් නං අහවල් එකකට ද මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ වෙනස් කරන්ඩ වලි කන්නේ?

අදට ඇතිය. මෙය මුදල් නොගෙවා නොමිලේ ප්‍රචාරය කරන ලද්දකි.

ඔබ සැමට මෛත්‍රී පාලනයක්, සුභ අනාගතයක්!!!



04 December 2014

වතුර බාල්දිය සහ පරවියා



කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ කියලා හිතලා ඊයේ බාගයක් ලියපු එකක් අද ඉවර කරලා දාන්ඩ හිතුවා.ඒ උනාට සහෝදරවරුනි පට්ට ජෝක් වීඩියෝ එකක් දැකලා ඒ ගැන ලියලා දාන එක වඩා හොඳයි කියලා හිතුනා නෙව.

ඉතිං ඔන්න කතාව කියන්ඩ කළිං පුංචි විස්තර වගයක් තියෙනවා කියන්ඩ.මේ ඇවිල්ලා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු ඩිංගක්.



ඔන්න මිනිහෙක් ළිඳකිං වතුර බාල්දියක් අදිනවා.බාල්දිය කට ගාවටම ආවම ළනුව කඩාගෙන බාල්දිය ළිඳට වැටෙනවා.මොකක්ද හේතුව?

1. ලනුව දිරපු එකක් වීම.
2. බාල්දිය බර වැඩි වීම නිසා ඒ මගින් ලනුව මත ඇති කරන ආතතිය වැඩි වී ලනුව කැඩී යාම. (හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේ)

ඉහත සාධක දෙකත් එක්ක ගුරුත්වාකර්ෂණය, බාල්දියේ වතුරත් සමඟ ස්කන්ධය, තන්තුවේ ප්‍රත්‍යස්ථතාව, ලනුව නිශ්පාදිත ද්‍රව්‍යය, ඒ මත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය, සූර්යයාලෝකයේ ඇති UV කිරණ මඟින් ඇතිවන හානිය සහ වතුර අදින පුද්ගලයා ලනුව මත ඇති කරන බලය වගේ දේවල් ද සැළකිල්ලට ගත යුතු වෙනවා.

හැබැයි මේ ළිඳ තියෙන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ වත්තේ.ගමේ හැම එකාම වතුර ගේන්ඩ එන්නේ මේ ළිඳට.ඔය කතාව කිව්වම අපිට තව එක න්‍යායක් සැළකිල්ලට ගන්ඩ සිද්ද වෙනවා.ඒ කියන්නේ එක එකා හැමදාම ළිඳෙන් වතුර අරං යන එකට මළ පැනලා හිටපු ක්‍රිෂ්ණමූර්ති හොරෙන්ම ලනුව පොඩ්ඩක් කපලා තියලා තිබ්බා වෙන්ඩත් පුළුවං.ඊට පස්සේ වතුර අදිද්දි බාල්දිය ළිඳට වැටුනම ඒක අපලයක් හින්දයි උනේ කියලා වතුර ගන්ඩ එන උංව බය කරලා ගොනාට අන්දවලා උං එක්ක තරහත් නොවී වතුර ගන්න එකත් නවත්තන්ඩ ගහපු ප්ලෑනක් වෙන්ඩත් පුළුවන්.

ඔන්න දෙවෙනි සිදුවීම.



මසි තුමා පරෙයියා විසික්කා කළාම ඌ ආයෙමත් කකුල් දෙක ළඟට වැටුනේ ඇයි?

1. පරෙයියා පොඩි කාලේ ඉඳලම කූඩුවක හිටපු එකෙක් නිසා පියාඹන්ඩ දන්නේ නැති වීම.
2. පොඩි පෙට්ටියක් ඇතුලේ හෙන සෙට් එකක් එක්ක ඉන්ඩ සිදුවීම නිසා එක පැත්තට ඉඳලා තට්ටක් හිරි වැටී තිබීම.
3. සෑහෙන වෙලාවක් තිස්සේ පෙට්ටියක් ඇතුලේ හිර වී සිටීම නිසා අධික රස්නය පිපාසය හෝ කුසගින්න නිසා ක්ලාන්ත ගතියක් දැනීම.
4. ඌ පියාඹන්න අකමැති එකෙක් වීම.

ඔන්න මේ සිද්දි දෙක ගලපලා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කා මරු ටෝක් එකක් දෙනවාය.

ලොක්කා කියන විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා ළිඳට බාල්දිය වැටීම පහදා ඇත්තේ වතුර අයිති ළිඳට නිසා බාල්දිය වතුරත් සමඟ ළිඳට වැටී ඇති බවයි.නමුත් එම තර්කයට අනුව එයිට පෙර බාල්දි ළිඳට නොවැටී කාලාන්තරයක් තිස්සේ වතුර ඇද්ද හැටි පැහැදිලි වන්නේ නැත.සමහර විට ළිඳ ඉවසා ඉවසා බැරිම තැන ළනුව කඩා බාල්දියත් සමඟ වතුර ටික ආපසු ගැනීමට තීරණය කළා විය හැක.නැත්තං නින්දේ සිටි ළිඳ හදිසියේ අවදි වූ විට තමන්ගේ වතුර ගන්නවා දැක මෙසේ ප්‍රතික්‍රියා කළා විය හැක.





කෙසේ හෝ චන්ද්‍රසිරි අංකල් පවසන ආකාරයට මේ සිදුවීම් දෙක අතර සමානකමක් ඇත.ඔහු කියන්නේ පරවියා නැවත පැමිණීමෙන් කියැවෙන්නේ මසී ලොක්කාට සොබාවධර්මයා අනතුරු ඇඟවූ බවය.ඔය ගිනි ගොඩට පනින්න එපා කියූ බවය.මටනම් මේ සිදුවීම් දෙක අතර කිසිම සමානකමක් නැත.බාල්දිය ළිඳට වැටුනේ වතුර අයිති ළිඳට නිසා නම් සරල තර්කයට අනුව පරවියා නැවත ආවේ ඌ සිරිසේන ලොක්කාගේ නිසා විය යුතුය.මෙවන් මැටි තර්ක ඉදිරිපත් කරන උන් අඩුම තරමේ 'සිරස ඩිබේටර්' වත් බලා තර්ක යනු මොනවාදැයි තේරුම් ගත යුතුය.

ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවන තවත් කරුණක් ඇත.චන්ද්‍රසිරි අංකල් කියන්නේ සිරිසේනට මේ ගිනිගොඩට පනින්න එපා කියලාය.මේ අවධානම ගන්න එපා කියලාය.

ඔන්න මම දැන් උදාහරණයක් දෙමි.

මමත් මගේ පන්තියේ මිත්‍රයෙකුත් එකම කෙල්ලට ට්‍රයි කරමු.එවිට කොහොමත් අපි දෙදෙනා අතර තරගයක් ඇති වේ.අපි තරහද වෙමු.නමුත් කවුරුත් මට හෝ ඔහුට ඔය ගිනි ගොඩට පනින්න එපා කියා අවවාද දෙන්නේ නැත.අවධානමක් ගන්න එපා කියන්නේද නැත.නමුත් මම අපේ ගමේ ඉන්න මිනී දෙක තුනක් මැරූ චණ්ඩියෙක් ට්‍රයි කරන කෙල්ලෙක්ට ලයින් එක දාන්ඩ පටං ගත්තොත් නම් දන්න අඳුරන හැම එකාම 'ඇයි බං ඔය ගිනි ගොඩට පනින්නේ?, ඔය අවධානම ගන්ඩ එපා බං' කියා අවවාද කරනවා ෂුවර් ය.

මෙව්වාට කියන්ඩ තියෙන්නේ 'ආච්චිගේ රෙද්ද ' කියා තමයි ය.

ඔන්න මම අදට කියන්ඩ තියෙන ඔක්කොම කිව්වා !!!



25 May 2014

සම-සෞඛ්‍ය ගැටළුව




සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.

මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.

  • B.Sc. in Nursing Degree Programme
  • B.Sc. in Medical Laboratory Science Degree Programme
  • B.Sc. in Physiotherapy Degree Programme
  • B.Sc. in Radiography Degree Programme
  • B.Sc. in Radiotherapy Degree Programme
  • Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.

මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.

සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.

දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA  එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA  එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA  එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද? 

මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ  ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.

"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"

" ඇයි බං?"

"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"

"ඉතිං?"

"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"

"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"

"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."

"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"

එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.




උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.




මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද  නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.

අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

18 April 2014

කාලෙකට පස්සේ...



අන්තිමට බ්ලොග පැත්තට ඇවිල්ලා දැං මාසයකටත් වැඩී.වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ.හරියට බුසී ( busy ) වෙනවනේ.කොහොමිං කොහොම හරි මේ ටික දවසට රටේ ලෝකේ විතරක් නෙමෙයි බ්ලොග් ලෝකෙත් හරි හරි කෙළි නෙව සිද්ද වෙලා තියෙන්නේ.ප්ලේන් එක නැති උනාට පස්සේ නැවක් පෙරලිලා, මෝටර් සයිකල් දවල්ටත් ලයිට් දාං යනවා, ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනලා, ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලෝකෙංම හතර වෙනි තැනට ඇවිල්ලා ( බන්දුල ලොක්කා කියයිද දන්නෑ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය කියලා සංකල්පයක් නෑ කියලා), බොදු බල සේනා එක ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා, විපක්ෂේ මන්ත්‍රීලට කුණු බිත්තර ගහලා, බ්ලොග් ලෝකේ සැට් සැට් ගහ මරාගෙන හනේ අපුච්චියේ හති බොලව්..............

රටේ ලෝකේ මොන පෙරළි තිබ්බත් ආණ්ඩුව ගැන මගේ තිබ්බ මතේ වෙනස් උනා ඔන්න.මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ට බඩේ පාර ගහලා ලොකු ලොක්කො එක්ක එක්කාහු වෙලා ජවුසන් නටනවා කියලා නෙව මම හිතං උන්නේ.ඒ උනාට පහුගිය දවස් කීපෙ රටේ මිනිස්සු නටාපු නැටිලි දැක්කම මට හිතුනේ "කවුද බොලව් මේ මිනිස්සු සාදුකිං ඉන්නවා කියන්නේ" කියලා.අවුරුද්දට සතියක විතර ඉඳං රෙදි කඩයක්, සුකුරුත්තං බඩු අරුමෝසම් බඩු තියෙන කඩයක් තියෙන පාරක යන්ඩ ඉඩැක් තිබ්බේ නෑ නෙව. සූ.................. ගාලා සෙනඟ වකාරෙට.හරියට වැල ගෙඩියට වහපු කෝඳුරුවො වගේ.විපක්සේ මොන පච කතා කෙළියත් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ කොහොමද? රටේ සව්බාග්ගෙ සශ්‍රීකත්වෙ දැකලා කිරි වෙහෙරෙන් කිරිත් ආවනේ.මේ අපේ රජතුමාගේ ආනුභාවයට නිසා මිසක් මොකෝ මීට කළිං මොන රජා යටතේ වත් ඔහොම හාස්කං සිද්ද වෙලා තියෙනවා කියලයැ....හැබැයි කවුරු හරි ඕකෙං පොඩි සාම්පැල් එකක් අරං ටෙස්ට් කරලා බලන්ඩ එහෙම යනවා නෙමෙයි ඕං හරිය!!! මේ පෙරදිග රටවල්.මේවයේ දේවල් හොයා බලන්ඩ ඕනේ පෙරදිග විද්‍යාවට අනුව.ඒ කෙසේද යත්,

"අඩේ අර චෛත්තෙං සුදු පාටට මොනවද වැක්කෙරෙනවා බොලව්!!!"

"ඇත්තමයි ඒ මොනවද දන්නෑ නේ?"

"සුදුපාට දියර ලෙස වැක්කෙරෙන සොභාවික දේවල් තියෙන්නේ එක්කෝ එළකිරි නැත්තං රබර් කිරි.නමුත් චෛත්‍යයකින් රබර් කිරි වෑස්සීමේ සම්භාවිතාවක් නැත.ඒ නිසා ඒ එන්නේ සව්භාග්‍යයේ සංකේතය වන 'කිරි' ය. හා හා ඔන්න පෙරදිග ක්‍රමේට සනාථ කළා.වැඳ ගනියව් යකුනේ!!!"

එහෙම කිව් සැනින් වැඳ ගැනීම ඔබේ සරීර සවුක්යයට සුභදායකය.එසේ නොමැති උවහොත් හාමුදුරුවන් වහන්සේ සිවුර කැහැපට ගසාගෙන ශ්‍රද්ධාව සහ භක්තිය මිට මොළවාගෙන ධර්මය ඔබේ දත් වහල්ලත් සමඟ ඔබේ උදරගත කිරීමේ ඉඩක් ඇත.එසේ නැත්නම් "ගන්නවා මගේ අයි පෑඩ් එක" කියලා ඔබට නව තාක්ෂණය ඔස්සේ මුසු කොට ධර්මය බ්ලූටූත් කරනු ඇත.ඔය ආයෙත් කැලේ පැන ඇත.මට කියන්ඩ ඕනේ කළේ ආණ්ඩුව හොඳයි කියන එකය.කියවෙන්නේ වෙන මළ ඉළව්ය.


රටම ලොකු ලොක්කංගේ ආදර්ශ අරං එක සීරුවට රති කෙළියේය.හැමෝටම නාට්ටිවල ප්‍රධාන නිළිය එක්ක නිදි වදින්ඩ හෝ රුසියානු ගණිකාවන් ලැබෙන්නේ නැති නිසා උං අතට අහු වෙන නාඩි වැටෙන ඕනෑ එකක් එක්ක යහන් ගත වෙති.රටේ මේ නව ප්‍රවණතාව සිය ආර්ථික වාසියට හරවා ගැනීමට අපේ දිරිය කතුන් දක්සය.ගෙදරට වී නිකං බත් ගිල ගිල ඉන්නා, ටියුෂන් පන්තිවලට, තොල් සායම් නිය සායම් ආදියට මුදල් නාස්ති කරමින්  ඉන්නා සිය දියණිවරුන් ශ්‍රම බලකායට එක් කිරීමට මව්වරු කටයුතු කරති.කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වී 'චංගුමී' බලමින් නාස්ති කරන පැයක දෙකක කාලය කවුරු හෝ ඉදිරියේ කකුල් ඈත් කිරීමෙන් මුදල් බවට පත් කර ගැනීමේ අවකාශය අපේ රටේ ගැහැනු ළමුන්ට ලැබී ඇත.ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රැකියා වියුක්තිය ඉහල යන විට ආශ්චර්යයේ දීපයේ රැකියා වියුක්තිය අවම කිරීමට මෙකී ප්‍රවණතාව මහත් ලෙස දායක වී ඇත.

පොඩි කොස්සකට තියෙන්නේ චන්ද්‍රිකාවේ කේස් එකය.පොඩි කුමාරයා කිව්ව විදිහට ඒක යැව්වේ ඔහුය.ඒ උනාට තිස්ස ලොක්කා කියන්නේ එහෙව් එකක් යැව්වේ නෑ කියලාය.ඒ උනාට ඒ චන්ද්‍රිකාවේ ප්‍රථිලාභ බුක්ති විඳින ජනතාවක් විදිහට තිස්ස ලොක්කා ඉරිසියාවට කියන දේවල් අපි ගණන් ගන්නේ නැත.චන්ද්‍රිකාව නිසා අපේ ජීවිත සුඛිත මුදිත උනු හැටි, අස්වනු සරු වී අටුකොටු පිරී රට බතින් බුලතින් සාර වූ හැටි දන්නේ අපිය.ඔය කියන තිස්ස ලොක්කා මෙතුවක් කාලයකට අඩුම ගානේ අහස් ගුණ්ඩුවක්වත් යවා නැති බැව් අපිට බුදු ශුවර් ය.එකී හීනමානයෙන් අපේ රටේ චන්ද්‍රිකාව කියා එකක් නොමැති බැව් කියන මේ තට්ට නාකියාට කියන්නට ඇත්තේ දුර දක්නයක් ගෙන රෑට අහස නිරීක්ෂණය කරන ලෙසය.එවිට ඕනෑම ගොන් තඩියෙකුට අපේ අභිමානවත් චන්ද්‍රිකාවත් එහි සිටින වීරෝධාර සිංහයා රැගත් අපේ ජාතික කොඩියත් එයට යටින් නිල් පැහැයෙන් ලියා ඇති "සුභ අනාගතයක්" යන්නත් දැකීමට හැකිවනු ඇත.






25 February 2014

ජනතාව වෙනුවෙන් මාධ්‍යය......... ජනමාධ්‍යය



සියදිවි නසා ගැනිල්ල අපේ රටේ මේ දවස්වල ෆැෂන් එකක් වෙලා ඉවරය.කාට හරි අධෝ වාතයක් ගියත් එකෙක් සියදිවි නසා ගන්නවාය.මේ රැල්ල ජනප්‍රිය වීම ගැන විවිධ මතවාද හැම තැනම කතා බහ වෙනවාය.ගහ මරා ගන්නවාය.කොච්චර සංවාද ඇති උනත් මැරෙන උන් අඩු වෙන්නේ නැත.හැමෝම මේ ගැන කතාබහ කරන නිසා ඒ ගැන නොකියා ඉන්ඩ හැදුවත් මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරය.මගේ අදහස් ටිකත් බ්ලොග් සංවාද මණ්ඩපයට එක් කරන්ඩ ඕනේ කියලා හිතුනේ අඩුම ගානේ එක ජීවිතයක්වත් වෙනස් කරන්ඩ පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක් හින්දා.

දිනුක ජයකොඩි නම් මානව හිතවාදියාගේ අදහස

සියදිවි නසා ගැනීම කියන එක ලංකාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බා.නමුත් සුමිත්‍රයෝ වගේ සංවිධානවල ක්‍රියාකාරීත්වය හින්දා අපි ලොකේ අංක එක වෙලා හිටපු තැනින් පොඩ්ඩක් පහලට එන්ඩ පුළුවන් උනා.සියදිවි නසාගැනීම්වලට හේතු විදිහට විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා.මානසික අසහනය, ආර්ථික පීඩනය, දෙමව්පියන්ගේ නොසැලකිල්ල, ගුරුවරුන්ගේ නොසැලකිල්ල, බොළඳ නාට්‍ය, චිත්‍රපට සහ නවකතා, වගේ හේතු ගොඩක් ගැන කතා කළත් මගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ ජනමාධ්‍ය කියන කොට්ඨාසය වෙත.සියදිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ.

සියදිවි නසාගැනීම් වාර්ථා කිරීමේ ක්‍රමවේදය අනුව තවත් සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම සිද්ද කරන්න මාධ්‍යවේදීන්ට පුළුවන්.ඒක මාධ්‍යවේදීන්යැයි කියාගන්නා කුලකයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ෆේස්බුක්, බ්ලොග් වගේ අවිධිමත් මාධ්‍යකරණයේ යෙදෙන්නන් උනත් මේ ගැන කතා කිරීමේදී අවධානයෙන් කටයුතු කිරීම වැදගත් කියලා මම හිතනවා.

සාරියක් බෙල්ලේ වැල දාගන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන් කියන එක මේ නිව්ස් එක දකිනකන් මගේ ඔළුවට ඇවිත් නොතිබ්බ දෙයක්.සමහර විට ඒ මම මෝඩ නිසා වෙන්ඩ ඇති.නමුත් මනුස්සයෙක්ට සියදිවි නසාගන්ඩ හිතුනත් ඒකට ක්‍රමවේදය හොඳින් සවිස්තරව දැන ඉන්න එක ඒ දිවිනසාගැනීම ඉක්මන් කරන්ඩ දායක වෙනවා කියන එකටනම් මම හිතන්නේ කවුරුත් එකඟ වේවි.මොකද දෙවැනි කෙල්ලට හිත හිතා ඉන්ඩ උවමනා උනේ නෑනේ.

අපි බලමු දිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී වාර්ථාකරුවෙක් අනුගමනය කළයුතු රීතීන් මොනවද කියලා.රීතීන් කිව්වේ මේවා නීති විදිහට ලංකාවේ අනුගමනය කළයුතු කරුණුද කියලා මම දන්නේ නැති හින්දා.නමුත් අපිට විධිමත් මාධ්‍යවේදීනුත් බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා ඔවුන්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.

දිවිනසාගැනීමක් පුවත්පතක මුල් පිටුවේ පල නොකළ යුතුයි.

"දිවි නසාගැනීම, සියදිවි හානිකර ගැනීම" වැනි සෘජු අර්ථය දැක්වෙන වදන් පුවතේ මාතෘකාව විදිහට නොයෙදිය යුතුයි.

ප්‍රවෘත්තිය හැඟීම් උපදවන ආකාරයට වාර්ථා නොකළ යුතු අතර කරුණු සහ සාධක පමණක් වාර්ථා කළ යුතුයි.

දිවිනසාගැනීමේ ක්‍රියාව වර්ණනා කරමින් වීර ක්‍රියාවක් ලෙස අගය කරමින් වාර්ථා නොකළ යුතුයි.

දිවි නසාගත් ක්‍රමවේදය සවිස්තරව පල නොකළ යුතුයි. (උදා: සාරියක් ආධාරයෙන් බාල්කයේ එල්ලී මිය ගොස් ඇත.)

මියගිය පුද්ගලයාගේ ඡායාරූප හෝ ක්‍රමවේදයේ ඡායාරූප පළ නොකළ යුතුයි.

සියදිවි නසාගැනීම වෙනුවට ගතහැකිව තිබූ විකල්ප ක්‍රමවේදයන් ගැන සවිස්තරව සාකච්ඡා කළ යුතුයි.



ඇත්තටම මේ රීතීන් එහෙම නැත්නම් සදාචාර සීමාවන් මොන මාධ්‍යකරුවාද ආරක්ෂා කරන්නේ? මේ රීති හඳුන්වලා දීලා තියෙන්නේ අපේ රටේ ඉන්න මී හරක් උපදේශකයෝ වගේ ගොබිලෝ නෙමෙයි.අන්තර්ජාතිකව කරන ලද පර්යේෂණ සහ ගවේශන වල ප්‍රතිඵල විදිහට ඉදිරිපත් කරනු ලැබූ සහ අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ න්‍යායයන්.බොරුවට උගුර ලේ රහ වෙනකන් මාධ්‍ය නිදහස ගැන, මාධ්‍ය සදාචාරේ ගැන කෑ ගැහුවට ඒකෙන් කාටවත් වෙන සෙතක් නෑ.මාධ්‍ය කරුවෙක්ගේ වගකීම මොකක්ද? රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් එකක් දීලා අනිත් වැදගත් ප්‍රශ්න අමතක කරවන එකද?

අපේ රටේ මිනිස්සු ලේ පිපාසිත ජාතියක්.ඒක හොඳටම එළි දැක්කේ උතුරේ සටනේ අන්තිම දින කීපයේ.මාත් ඇතුළුව රටේ මිනිස්සු ඔක්කොම හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.හමුදා කාරයින්ට වඩා කොටි මැරිලනං අපි හැමෝම සතුටු උනා.උඩ පැන්නා. හුරේ තිබ්බා.ඒ මෘග ලේ පිපාසිත මානසිකත්වය අපේ ඔළුගෙඩි ඇතුලේ වර්ධනය කළේ මාධ්‍යය.යුද්ධේ ඉවර වෙලා කිරිබත් කාලා මිනිස්සුන්ට නිවෙන්ඩ දුන්නේ නෑ.දෙමෙල්ලු පස්සෙ එළවලා හති වැටිලා හිටපු අපිව හම්බයාට විරුද්ධව උසි ගැන්නුවෙත් ඒ කට්ටියම තමයි.හරක් මරන එක පව් කියන ගමං හම්බයා මැරුවට කමක් නෑ කියලා ඔළුවට දැම්මා.අපේ ගෑනුංගේ හෙළුව වහන්ඩ කියන ගමං හම්බ ගෑනුංගේ බුර්කාව ඉරන්ඩ පෙළඹෙව්වා.අපේ මැටි මෝල් ජනතාව ඕනේ දේකට උසිගන්නන්ඩ ලේසියි.අපේ වෘෂභයෝ බහුතරයක් දන්න ලොකුම කලා මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය ටික.මොන්ටිසෝරි යන පොඩි එකාත් දන්නවා ඒ ඒ නාට්‍යවල ඉන්න ගෑනු කොයි එකා එක්කද මේ දවස්වල බුදිය ගන්නේ කියලා.ඉඳලා හිටලා දවසක් දෙකක් දොරමඬලාව බැලුවම උං හිතන්නේ උංගේ අධ්‍යාත්මේ සුපිරිසිඳු වෙනවා කියලා.

ටෙලි නාට්‍යවල වගේම නිව්ස්වලත් කඳුළු මාකට් කරන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ අපේ හිත්වල තියෙන කුහක කම හින්දා.අපිට වඩා අසරණ වෙන උන් ඉන්න එක අපේ හිත්වලට සතුටක්.නැත්තන් වෙන එකෙක් අඬන එකක් දිහා කට ඇරං බලං ඉන්නත්, ඒ වෙලාවට චැනල් එක මාරු කළොත් මරාගෙන කන්ඩ පනින්නත් ඕනේ නෑනේ.අපේ ජාතියේ ලේ පිපාසිත කම තවත් හොඳට පේන තැනක් තමයි ඔය නිව්ස්වල සමහර දාට දාන වගේම ගොඩක් ගොසිප් සයිට්වල තියෙන "සංවේදී අය බලන්ඩ එපා" කියලා ලේබල් කරලා තියෙන ඒවට වැඩිම හිට්ස් ලැබීම.කවුරු හරි මැරිලා ඉන්න දර්ශන, ලේ සහිත දර්ශන ඇයි මෙච්චර ආසාවෙන් බලන්නේ?ඒයිටත් වඩා ලොකු ප්‍රශ්නේ තමයි ඇයි ඒවා පෙන්නන්නේ? කාටවත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

මොනවා හරි අපරාධයක් උනාම ජනතාව ඒ ගැන දැනගන්න ඕනේ.ඇයි එහෙම උනේ සහ කවුද ඒක කළේ කියලා.ඒ නැවත ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන එක වළක්වගන්ඩ.නමුත් අපරාධයක් සිද්ධ වෙච්ච තැනක ඡායාරූප හරි වීඩියෝ දර්ශන හරි පෙන්නන එකෙන් මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?ඒවා බලලා මිනිස්සු තෘප්තියක් ලබනවද?මම දකින විදිහට එහෙම පෙන්වන එකෙන් වාසි දෙකක් ලැබෙනවා.මිනිස්සුන්ගේ මොළ කුණු උනාම මේ ජඩමාධ්‍ය කාරයින්ට තවත් ඒ වගේ කුණු නිව්ස් විකුණන්ඩ පුළුවන් වෙනවා.ඒ වගේම ලේ පිපාසිත කම උලුප්පලා තිබ්බම පාලකයින්ට ඕනේ ඕනේ වෙලාවට මිනිස්සුන්ව කුලප්පු කරන්ඩ පුළුවන් වෙනවා.ඒ ඇර මිනිස්සුන්ට් වෙන යහපතක් නම් නෑ.

ලොකු අනතුරක් වෙච්ච වෙලාවට අපේ රටේ මාධ්‍ය ආවරණය ඔබ දැක ඇති.තුවාල සහිතව, සිහිවිසඥව රෝහලට ගේන රෝගියාට රෝහල ඇතුලට යාමට පෙර මාධ්‍යකාරයාගේ ඡායාරූපයට පෙනී සිටින්න සිදු වෙනවා.හෙදියන්ගේ, ඇටෙන්ඩන් මහත්වරුන්ගේ, සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් තඩි කැමරා උස්සාගෙන ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර කරන්ඩ කටයුතු කරන හැටි දැක්කම ලේ කුපිත වෙන එක වළක්වන්ඩ හරි අමාරුයි.රෝගියාගේ ජීවිතය බේරාගැනීමට වඩා ඔවුන්ට වැදගත් වෙන්නේ රටේ ඉන්න අනිත් උංගේ මන දොළ පුරවන එක.

මාධ්‍යකාරයින්ගේ අනිත් කුණු වැඩේ ගැන මම මීට කළින් ලියන්ඩ හිටියේ.ඔන්න ඒ ගැන මොඩර්න් පේට්‍රියට් ලොක්කා ලියලා තිබ්බා.හැම පත්තරේකම, රූපවාහිනී නාලිකාවක්ම මිනිස්සුංගේ ඔළු මේ හඳහන්, අනවින, හූනියම්, වශී, වගේ මළවිකාරවලින් පුරවන්ඩත් පටං අරං.කාලයක් නැගලා ආපු ෆෙංශුයි කියන ප්‍රෝඩාව දැන් ටිකක් විතර යට ගිහිල්ලා.ඒත් නැත්තටම නැති වෙලානං නෑ.පේට්‍රියට් ලොක්කා ඔබාමාට යෝජනා කරළා තිබ්බා වගේ ඇයි මෙහෙම දේවල් තියෙනවනං ඒවා ජාතික මට්ටමෙන් ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ?අනික අපි අනාදිමත් කාලෙක ඉඳං හඳහන් බලලා, නැකැත් බලලා, සුභ වෙලාව සුභ දිශාව බලලා හැම වැඩක්ම පටන් ගන්නේ.ගෙයක් හැදුවත් වාස්තු විද්‍යාවට අනුව දොරවල් උළුවහු තියලා මුදුන් ලීය තියලා නියම සාස්තරේ අනුව කරන එකේ අපි මේ වෙනකොට ලෝකේ දියුණුම ජාතියක් වෙලා ඉන්ඩ ඕනේ නැද්ද? භෞතිකව නැත්තං අධ්‍යාත්මිකව හරි. ඔය මළ විකාර පුහු දේවල් දාලා මැටි මිනිස් රැළක් පාලිතයෝ විදිහට තියාගෙන පාලකයින්ට සැප විඳින්ඩ දෙන්ඩ දායක වෙන ජනමාධ්‍යකාරයින්ට මොනවද කරන්ඩ ඕනේ? මුන්ට ජනමාධ්‍යවේදීන් කියලා කියන්ඩ පුළුවන්ද?ජනමාධ්‍යවේදීන් කියන්නේ ජනතාව වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදිය යුතු උන් නේද?

දිනුක ජයකොඩි නම් අරාජිකවාදියාගේ අදහස

සියදිවි නසාගැනීම් මේ රටේ එදත් සිද්ධ උනා.අදත් සිද්ධ වෙනවා හෙටත් සිද්ධ වේවී.අනිත් දිවිනසාගැනීම්වලට නොලැබුණු ප්‍රචාරයක් මේ ඡන්දය කට ළඟ තියාගෙන මේ සිද්ධියට පමණක් ලැබුණේ (දුන්නේ) ඇයි? මට හිතෙන්නේ මේක ඔවුන්ගේ යෝධ මැතිවරණ සැලැස්මේ එක් පුංචි ප්‍රයෝගයක් විතරයි කියලා.ෆේස්බුක් වගේ දෙයක් එක්ක පටලවලා ඒ වගේ නවීන සංකල්පයකට එරෙහිව ජන මතයක් ඇති කළාට පස්සේ ලොක්කා ෆේස්බුක් තහනම් කරන්ඩ් ඕනේ කියලා අදහසක් දැම්මම මිනිස්සුංගේ මනස ඇතුලේ පුංචියට හැඟීමක් එනවා අපේ ලොක්කා හරියට අපි ගැන හිතනවා කියලා.මොකද විපක්ෂය කොහෙත්ම ෆේස්බුක් තහනම් කරන්ඩ කතා කරන්නේ නෑ කියන එක මිනිස්සුන්ට ශුවර්.ඒක සනාථ කරමින් විපක්ෂය ප්‍රකාශ කළා එහෙම දෙයක් කළොත් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා කියලා.ඒ වගේම ජෙප්පො කියලා තිබ්බේ උංගෙ ආණ්ඩුවක ඉන්ටර්නෙට් නොමිලේ දෙනවා කියලා.ඉතිං මේක හොඳ අවස්ථාවක් තවත් මැටි මෝල් ඡන්ද ටිකක් ලොක්කට කඩා ගන්ඩ.ෆේස්බුක් තියා මළපොතේ අකුරක් බැරි උං හිතන්නේ ලොක්කා රට ලොවෙත් තැනකට ගෙනෙයි කියලා.ඒකත් බාලගිරිදෝසෙ වගේ අද නෙමෙයි හෙට තමයි කියලා උන්ට මතක් වෙන්නේ නෑ.මාධ්‍යකාරයෝ ආණ්ඩුවේ උවමනාවට ෆේස්බුක් එක මාරයෙක් වගේ පෙන්නලා දුන්නම ඔය ඉන්න ආච්චිලා සීයලාට මතක් වෙන්නෙ නෑ උන්දැලාගේ කාලෙත් ෆේස්බුක් තියා මොන මළදානයක්වත් නැතිව උනත් ලව් කෙරිලි, ලියුං ලිවිලි, කොටු පැනිලි වගේ හැම අළුගුත්තේරු වැඩක්ම වෙච්ච බව සහ ඒ පළහිලව් හින්දා දිවිනසා ගත්තු උනුත් හිටපු බව.

මෙහෙම ජනතාව කුලප්පු කිරිල්ල නිසා තව ජීවිත කීයක් නැති උනත් උන්ට ගාණක් නෑ.උංගේ ඡන්ද ව්‍යාපාරෙට තව ඡන්ද කීයක් හරි ලැබෙනවනං.

මේ වගේ අදහසක් බස්සත් ලියලා තිබ්බා අද උදේ දැක්කා...


දිනුක ජයකොඩි නම් මනෝ විද්‍යාඥයාගේ අදහස

මිනිස්සු විවිධාකාරය.සමහරු බුද්ධිමත් වෙද්දී සමහරු බුද්ධි හීනයෝ වෙති.සමහරු උස වෙද්දී සමහරු කොට වෙති.සමහරුන්ගේ පෙනීම දියුණු වෙද්දී සමහරුන්ගේ පෙනීම අඩු වේ.මෙසේ සිදු වන්නේ ඒ ඒ මිනිසාගේ ජානවල එකතුව අනුවය.සමහර මිනිසුන් තුලු ඉතා දියුණු ජාන පවතී.සමහරුන් තුල ඇත්තේ දුර්වල ජාන එකතුවකි.අතීතයේ, එනම් මිනිසා ශිෂ්ඨාචාර ගත වීමට පෙර අපි අද "කැලෑ නීතිය" නමින් හඳුන්වන උචිතතමයාගේ ප්‍රවර්ථනය හෙවත් උචිතෝන්නතිය ක්‍රියාත්මක විය.එනම් ශක්තිමත් බුද්ධිමත් තැනැත්තා පමණක් ප්‍රජනන කාර්යය සඳහා අවකාශ ලබා ගැනීමය.එවිට ඔහුගේ දියුණු ජාන පමණක් ඊළඟ පරම්පරාවට හිමිවූ අතර දුර්වල ජාන සහිත වූවෝ ප්‍රජනන අවකාශ නොලැබී යාම නිසා ඔවුන්ගේ දුර්වල ජානද සමඟ මිය ගියෝය.

නමුත් ශිෂ්ඨාචාරයේ ඇරඹීමත් සමඟ මෙකී ස්වභාවික ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩපණව ගියේය.එයට හේතුව වූයේ සමාජයේ සියළුම වැසියන්ට ප්‍රජනන අවකාශ ලැබීමය.එනිසා මිනිසා ජානමය වශයෙන් දියුණු වුවද, දුර්වල වුවද ඔහුගේ ජාන ඊළඟ පරම්පරාවට දායාද කර දීමට හැකි වීම නිසා සමස්ථ මානව ප්‍රජාවගේ ජාන සියල්ල එක්ව සළකන්නාවූ "ජාන කිටුව" නම් ප්‍රපංඡය දුර්වල ජාන පිරිපහදු වීමකින් තොර වීම නිසා සංශෝධනයකින් තොරව එක තැන පල්වෙමින් පවතී.

පූර්වයේ පැවති කැලෑ නීතිය අදත් ක්‍රියාත්මක වූයේනම් හෝ වෛද්‍ය කර්මය භාවිතයේ නොමැති වී නම් අද අප සමාජයේ හෘදයාබාධ, පිළිකා වැනි බොහොමයක් රෝග තත්ත්ව නොමැති සමාජයක් වන්නට ඉඩ තිබුණි.

සියදිවි නසා ගැනීම යනු දුර්වල මනෝභාවයකි.එවන් දුර්වල මනෝ භාවයන් ඇති වීමට පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම බොහෝ සෙයින් බලපායි.එනම් දුර්වල ජානයන්ගේ සෘජු හෝ වක්‍ර ක්‍රියාවන් නිසා මිනිසුන් සියදිවි නසාගැනීමට පෙළඹෙතැයි සිතිය හැක.එවන් වූ දුර්වල ජාන සහිතවුන් නව පරම්පරාවට ඔවුන්ගේ දුර්වල ජාන එක් නොකොට මියයන්නේ නම් පරම්පරා කීපයකට පසුව සියදිවි නසාගැනීමට පෙළඹෙන්නවුන්ගෙන් තොර සමාජයක් ඇති වීමේ සම්භාවිතාව ඉතා ඉහලය.


21 February 2014

කන්නලව් කරන හැටි II




පඬුරු විදිහට පන්සීයක් තිබ්බට හරියන්නෑ කියලා දෙයියෝ ගැන දන්න උදවිය කිව්ව කටකතා හින්දා මාත් ආයේ සල්ලි සල්ලි කියලා බලන්නැතුව දෙදහක්ම තියලා පූජා වට්ටිය ලෑස්ති කළා.පළතුරු අස්සේ ගහලා හඳුන්කූරු පත්තු කරලා සුවඳ ජාති ඉහලා පළතුරු ටික කන්ඩ බැරි විදිහට වර්චස් කළාට පස්සේ කපු මහත්තයා මගේ අතිං පළතුරු වට්ටිය ගත්තේ දෙයියන්ට දැකලා පැහැදෙන්ඩ.ඊට පස්සේ පොල් ගෙඩිය උඩිං කපුරු පෙති තියලා ඒක පත්තු කරලා ඒක අල්ලගෙන දෙයියෝ සිහි කරගන්ඩ කිව්වාම මම හිතුවේ මේකා මාව බිල්ලකටවත් දෙන්ඩ යනවාද කියලාය.

ඒ උනාට ගෝලයා දුම්මල ඉහ ඉහ දුංවලින් දේවාල කාමරේ පුරවද්දි කපු මහත්තයා පොඩ්ඩ පොඩ්ඩ වෙව්ලන්ඩ පටං අරගෙන අන්තිමට ඇස් දෙකත් උඩ ගිහිල්ලා කටිං අමුතු සද්ද දාන්ඩ පටං ගත්තම මට හිතුනේ පොරට අපස්මාරෙවත් හැදිලද දන්නෑ කියලාය.කපු මහත්තයා මූර්ධජ, මහාප්‍රාණ සහ කැපිටල් අකුරු තියෙන සද්ද දාද්දි ගෝලයා ඒවා ට්‍රාන්ස්ලේට් කරන්ඩ ගත්තා.එතකොට තමයි මට තේරුණේ මේ කපුවා දේව බාසාවෙන් දොඩවන්නේ කියලා.ඒක දේව භාෂාවනං දේව සභාව මහා ඝෝසාකාරී කර්ණකඨෝර ඩිස්කෝ මඩුවක් වගේ වෙන්ඩ ඇති කියලයි මට හිතුනේ.

"ඕං හ්‍රීං ඛණ්ඪ භීට්‍රී...ආඛෝ ඵාණ්ඪු..වාහඃ"

"යුෂ්මතාගේ නැතිවෙච්ච දෙයක් ගැන දැනගන්ඩද ආවේ?"  කපුවා කියන ඒවා ගෝලයා සිංහලෙන් මගෙං අහනවා.

"නැති වෙච්ච දෙයක් නෙමෙයි මල්ලි.නැති වෙන්ඩ යන දෙයක් බේරගන්ඩයි ඕනේ"

" මට නෙමෙයි අයිසේ දෙයියන්ට උත්තර දෙනවා.."

"සොරි දෙයියනේ, නැතිවෙන්ඩ යන දෙයක් නැති වෙන එක වලක්කගන්ඩ විදිහක් අහගන්ඩයි ආවේ." මම කිව්වේ දෙයියෝ කොහෙද ඉන්නේ කියලා බලන ගමං.

"මොනවද හොයන්නේ? වටපිට බලන්නැතුව පොල් ගෙඩියත් එක්කම නළලේ තියාගෙන වැඳගෙන අහන ඒවට උත්තර දෙනවා.." ගෝලයා බෙරිහන් දුන්න පාරට මම පොල් ගෙඩිය නළල ගාවට ගත්තා.තව පොඩ්ඩෙන් ඇවිලෙන කපුරු පෙත්තෙං කොණ්ඩෙත් ගිනි ගන්නවා.

කපුවා ආයෙත් උගුර යටිං ගොර ගොර ගාලා මොනවද කිව්වා.

"බොහොම වටිනා කියන දෙයක් නේද ඔය නැතිවෙන්ඩ යන්නේ?"  දුම්මල දුම මැද්දෙං ගෝලයාගේ කටහඬ මතු උනා.

"සෑහෙන්ඩ වටිනවා දෙයියනේ"

"දෙයියෝ කියනවා දම් රෝ එකෙන් හොඳ සේප්පුවක් අරං ඒකේ දාන්ඩ කියලා.."



"සේප්පුවේ දාන්ඩ...මඟුල තමයි.දෙයියනේ මගේ ආත්මාභිමානය නැති වෙන්ඩ යන්නේ.තාත්තා කෙනෙක් විදිහට මගේ තියෙන ආත්මගරුත්වය, පිරිමියෙක් විදිහට මගේ තියෙන පෞරුෂේටයි කෙළ වෙන්ඩ යන්නේ...අනේ මේක බේර ගන්ඩ මට පිලියමක් කියලා දෙන්ඩ මගේ දෙයියෝ...."

කපුවගේ වෙවිලිල්ල පොඩ්ඩකට නැවතුනා.දුම අස්සේ හරියට පේන්නැති උනාට මට හිතුනෙම කපුවයි ගෝලයයි දෙන්නා මට ඇහෙන්නැති වෙන්ඩ මොනවා හරි කසු කුසු ගෑවා කියලමයි.කපුවා ආයෙත් කළිං ගානට පරල උනා.

"යුෂ්මතාගේ බිරිඳ නාමයෝජනා බාර දෙන්ඩ ගියාද?"

"අනේ නෑ දෙයියනේ අපේ උන්දෑ චිත්‍රපටි ටෙලිනාට්‍ය තියා ඇඩ් එකකවත් ඉඳලා නෑ.අනික අපේ ගෑනිගේ කකුල් දෙක උඩටම පේන ෆොටෝ එකක් අන්තර්ජාලේ හොයාගන්ඩ ඇත්තෙත් නෑ.බැරි වෙලාවත් එහෙම ෆොටෝ එකක් තිබ්බනං බල්ලො බත් කන්නෙත් නෑ. එහෙව් එකේ අපේ ගෑනි කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ?"



"තමුංගේ පවුල් ප්‍රශ්න මේ වෙලාවේ කියලා දෙයියංගේ කාලේ කන්ඩ එපා.ඒවා විසඳගන්ඩ වෙනම පැකේජ් එකක් තියෙනවා.දැං ආව කාරනේ කියනවා හොඳයි..!!"

"ප්‍රශ්නේ අපේ කොල්ලා දෙයියනේ.ඌ "ලබ්බෝ ගිනි" කාර් එකක් ඉල්ලලා මැරෙන්ඩ හදනවා.මොන ලබ්බෝ ගිනිද දෙයියනේ, මේ දවස්වල අපි ගෙදරට කිරි හරකෙක් ගන්ඩ සල්ලි එකතු කරනවා."

"ලබ්බෝ ගිනි නෙවෙයි බං, 'ලැම්බෝගිනි'. " ගෝලයා මාව නිවැරදි කළා.

"ඒ මදිවට ඌ කියනවා අපේ ගෙවල් ළඟ පාර වහලා දෙන්ඩලු ඌටයි උගේ යාළුවන්ටයි රේස් පදින්ඩ.එහෙම එකක්වත් කරගන්ඩ බැරි තාත්තා කෙනෙක්ගෙං ඇති වැඩේ මොකක්ද කියලා ඌ අහනවා."

"දෙයියො කියනවා ඒකනං කරන්ඩ පුළුවං කියලා.හැබැයි ප්‍රාදේශීයසභා සභාපතිට නර බිල්ලක් දෙන්ඩ ඕනෑ.පුංචි ගෑනු ළමයෙක්"

"අනේ දෙයියනේ පුංචි ගෑනු ළමයි කොහෙං හොයන්ඩද? බැරිද මගේ ගෑනිව දීලා පොඩි ෂේප් එකක් දාගන්ඩ?"

"තමුන්ට ටෙලිනාට්‍යක් ටීවී එකේ දාගන්ඩ නං ඒ විදිහට කරගන්ඩ තිබ්බා.ඒත් මේ ප්‍රාදේශීය සභාවල ඉන්න බහිරවයින්ට ළපටි බිල්ලක් තමයි දෙන්ඩ ඕනේ.එහෙම නැත්තං තව පුළුවං විදෙස් බිල්ලක් දෙන්ඩ.හැබැයි පිරිමියා මරලා ගෑනිව දෙන්ඩ ඕනේ බහිරවයට."

"අනේ දෙයියනේ එහෙම දොළපිදේනි මම කොහොමද හොයන්නේ.නර බිල්ලක් අපි දුන්නොත් පොලීසිය අල්ල ගනී අපිව සුටුස් ගාලා.ඔය වෙන ඒවා හොයාගන්ඩ බැරි උනාට.අපේ කොල්ලා තව කියනවා ඌට ඕනෙලු රොකට් එකක් අරින්ඩ. රේස් අස්පයෙක් ඇති කරන්ඩ. හැඩ බල්ලො හදලා බලු ප්‍රදර්ශනවලට අරං යන්ඩ.හැඩ කෙල්ලෝ එක්ක නයිට් ක්ලබ් යන්ඩ.එහෙම උන්ට සතුටෙන් ඉන්ඩ බැරි මම සල්ලි හොයන්ඩ දන්නෙ නැති හින්දලු.උසස් වීමක් ගන්ඩ දන්නැති හින්දලු.වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැති තාත්තගෙ පිරිමිකම මොකද්ද කියලා ඌ අහනවා.ඇත්තටම මටත් දැං ශුවර් නෑ දෙයියනේ."

"ඇත්තටම තමුසෙ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන නැද්ද ඕයි.තමුසෙ මහ පො..හ්..හ්ඃ..." හිනා වෙවී කතා කරන්ඩ ගිය ගෝලයට දුම්මල ඉස්මොල්ලේ ගියා.

"ඌට මම අරං දීපු සපත්තු දාන්ඩ බැහැලු.ඌට 'ලුයීටොං' සපත්තු දෙකක් ඕනෙලු."

"ලුයීටොං නෙමෙයි ඕයි ලුවී විටෝන්" කපුවට දේවභාසාව අමතක වෙලා හෙලුවෙන් වැනුවා.



"මොන මඟුල හරි දෙයියනේ.ඌට ඌ කියන ඒවා අරං දුන්නෙ නැත්තං මට බැණලා ලියුමක් ලියලා තියලා සාරියකිං බෙල්ලෙ වැල දාං මැරෙනවා කිව්වා මට කෙළ වෙලා යන්ඩ."
කපුවා ආයෙත් ගෝලයගේ කණට කොඳුරනවා මට යන්තං වගේ පෙනුනා.

"දෙයියෝ කියනවා ඕකට පොඩි කෙමක් කළාම ඇති කියලා.ගිහිං තමුංගේ බිරිඳට කියනවා කොල්ලා ගෑනිගේ සාරියකිං බෙල්ලෙ වැල දාගන්ඩ යනවා කියලා.දැං ඔය පොල් ගෙඩිය අර එළියෙ තියෙන ගලේ ගහලා වහාම ගෙදර යනවා."

වැඩේ අති සාර්ථක විය.සාරියේ කේස් එක කණ වැකුණු බිරිඳ මාරාවේශ වූවාය.පන්ති යන්වා කියා රස්තියාදු ගසා රෑ වී ගෙදර ආ කොල්ලාට ඈ දුන් 'අපර් කට්' පහරින් ඌ කෑම මේසය මතින් විසිවී ගොස් බිත්තියේ හැපී නතර විය.මේසය උඩ තිබූ කරවිල හොද්ද දැමූ තසිම කැබලි දස දහසකට කැඩී බිත්ති සියල්ල වර්ණවත් කළේය.



"හාල්පොත වගේ තියෙන එකම සාරියටත් කෙළින්ඩද උඹ හැදුවේ? ආයේ එහෙම උඹ නිකං පල්පාට් දැම්මොත් දෙන්නේ දත් කැඩෙන්ඩ.තෝව හදපු මට තෝව මකවන්ඩත් පුළුවං."

කොල්ලා බිම වැටී තිබූ දත් අහුලනවාය.මගේ බිරිඳගේ මේ වේශය මම දැකලා තිබ්බේම නැත.

"හරිනේ කරවිල එකත් හැළුවනේ.දැං ඉතිං බඩගින්නේ බුදිය ගනිං"

මමත් බඩගින්නේ නමුත් හිතේ සන්තෝසයෙන් යහන් ගත උනෙමි.



08 December 2013

කලා කාරයිංවත් දඩයං කරන්ඩ පටං අරන් නේ බං....





'නෑ මචං මම කියන්නේ ලොක්කා ඡන්දෙ ඉල්ලද්දි දඩි දඩි ගාලා පපුවට ගහගෙන ඉස්ටේජ් එකේ බෙරිහං දීලා කිව්වනේ බං දේශීයත්වය සුරකිනවා.දේශීය කලා කර්මාන්ත දියුණු කරනවා කියලා.'

'ඉතිං'

'නෑ දැං බලහං ලොක්කා අඳින්නේ මොකක්ද?  සරම. කන්නේ කුරහං. දේශීය දේ අගය කරන්ඩ කියලා මිනිහමනේ අපිට කියන්නේ බං.'

'ඉතිං හරි බං.මොකද්ද දැං අවුල?'

'මෙච්චර කල් මාධ්‍යවේදියෝ විතරයි දඩයං කළේ.බලහංකෝ දැං කලාකාරයින්ටත් කෙළින්ඩ පටං අරංනේ බං'

'මොකද්ද බං කියන්නේ?? අර සමන් ද සිල්වට ගහපු එකද?'

'ඌට ගහලා විතරනේ බං.අනික උං කලාකාරයෝ නෙමෙයිනෙ බං.බයිලා කාරයොනේ.'

'මොන ලබ්බක්ද බං කියන්නේ? කවුද ඔය කියන කලා කාරයා?'

'ඇයි බං කැටයම් චින්තක. පවු කොහෙ හරි ඈත පැත්තක කැටයමක් කපාගෙන හිටපු අහිංසක ඩයල් එකක් වෙන්ඩැති.පොලීසියෙං ගෙනිහිල්ලා එල්ලලා දෙකක් ගහලා අහනකොට කියන්ඩ ඇති ගෙදර ආයුධ තියෙනවා කියලා.ඇයි බං කැටයං කපන උං ගාව තියෙනවනේ ඔය නියං, යතුකැට, අතකොලු එහෙම.ඒ ආයුධ පෙන්නන්ඩ කියලා අරං යද්දි පොලීසියේ උං ගේම දීලනේ බං.ඔන්න රටට වෙලා තියෙන දේ.'

'මේ මචං, උඹට විභාගේ නේද? ඒක හින්දා මේ දන්නෙ නැති උලව් වලට හොට දාගෙන ලත වෙන්නැතුව ගිහිල්ලා අලයක් බා ගනිං.ෂිඃ මුගේ ගොං කතාව අහන්ඩ මාත් නැවතිලා හිටියනේ.' මම පිඟානත් අරං චමරිය පැත්තට ගියේ කන්ඩ.
'අඩෝ චමරියේ ගාන වැඩි කරලා.බජට් එකෙං වියදං වැඩි වෙලාලු.ඒ නිසා කණගාටුවෙන් දන්වා සිටිනවලු කෑම ගාස්තු වැඩි කරන්ඩ වෙනවා කියලා.' කොටා නෝටිස් බෝඩ් එක ඉස්සරහා හොටු පෙරාගෙන අඬනවා.

'අඩෝ බොරු කියන්ඩ එපා ඩෝ.බජට් එකෙං පොඩි මිනිස්සුංගේ බඩට ගහලා නෑ යකෝ.' ඩිලා පැන්නා මැද්දට.ඩිලා ඒ දවස්වල ඉඳලා ලොක්කට කඩේ ගිය එකම තමයි කළේ.ඌ කැපුවත් නිල් යකෝ කිය කිය පොර ටෝක් දෙද්දි සෙට් එකක් ඌව කපලා බලන්ඩ ලෑස්ති උනාට පස්සේ ටික දවසක් සද්ද වහලා හිටියත් ආයෙමත් ඔන්න සද්දෙ පටං අරං.ලොක්කා පස්සෙ යන උං ඔක්කොම ඔහොම්මමය.

ගණං වැඩි උනා කිව්වට, ආර්ථික අර්බුධ ඔළුවට තේරුණාට බඩට තේරෙන්නේ නැත.ඒ හින්දා චමරි කාඩ් එක ගන්ඩ කසුනගෙං තවත් රුපියල් සීයක් විතර ලෝන් එකක් ගහන්ඩ හිතාගෙන ඌව හොයද්දි ඌ මැච් එක බලනවා.

'අඩෝ කසුනා රුපියල් සීයක් දියංකෝ.මහපොළ දැම්මම දෙන්නං'

'උඹට සල්ලි දෙන්නං එදා ගත්තු පන්සීය ආපහු දුන්නම.මොකක්ද බං උඹලගේ වැඩ.උඹ චාමරයටත් දාහක් ණයයි.හර්ෂයගෙනුත් දාහක් ද එක්දාස් පන්සීයක් ද කොහෙද ඉල්ලගත්තා එදා මමත් ඉන්න තැනම.බලහං උඹ ලෝකෙට කොච්චර ණයද කියලා.'

'මචං කසුන් ගොනෙක් වගේ ගොං කතා කියන්ඩ එපා.'

'කවුද යකෝ ගොනා..'

'උඹලා කැම්පස් ආවට ආර්ථික විද්‍යාව ගැන ඇඹිටිල්ලං දෙයක් වත් දන්නෑනේ."ඒකපුද්ගල ආදායම" කියලා සංකල්පයක් තිබ්බට "ඒකපුද්ගල ණය බර" කියලා සංකල්පයක් නෑ.කවුරුහරි එහෙම එකක් ගැන කියනවනං ඒ මීහරකෙක් වෙන්ඩ ඕනෑ.'

'තෝ බඩගින්නේ මැරියං.දෙන්නෑ උඹට සත පහක්'

'අඩෝ එහෙම කරන්ඩ එපා බං.මං කන්ඩ නැතුව මළොත් උඹට මගේ කෙල්ලව බාර ගන්ඩ වෙයි හොඳේ.රුපියල් සීයකට මොකටද බං උඹේ ජීවිතෙත් කාළකන්නි කරගන්නේ.ඔන්නොහේ රුපියල් සීයක් දියං බං.මොකෝ උඹ ඔය රුපියල් සීයෙං කුඩු ගහන්ඩ ද?, කැසිනෝ යන්ඩද? සලාකා ගිහිල්ලා බූරු ගහන්ඩද?'

කසුනා මට සීය දුන්නා නෙමෙයි දමලා ගැහුවා.මොනවා උනත් ඌ හිත හොඳ එකා.

බත් එක බෙදාගෙන කන්ඩ ගියාම කට්ටියම විභාගෙ ගැන කතාකිරිල්ල පැත්තකට දාල බජට් එක ගැන කතාව.ඕක ගැන අපි කෙස් පැලෙනකං තර්ක කළත් වැඩක් නෑනේ.අපි කියන දේවල් උන්ට ඇහෙන්නෑනේ.ඇහුනත් අපි කියන දේවල් උං අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නෙත් නෑනේ.ඒක අපි දන්නවා උනාට අපි ආසයි බජට් එක ගැන කතා කරන්ඩ.අපිත් දැං ඡන්දදායකයොනේ.

'ලොක්කා නෑයින්ටම සළකන හැටි බලහංකෝ.එව්වා මහ කැතයි බං.'

'ඇයි උඹලා කියන්නේ උඹලට සළකන්ඩ, උඹලට තනතුරු දෙන්ඩ කියලද? යකෝ රටක් පාලනේ කරන එක මේ කුකුල් කොටුවක් පාලනේ කරනවා වගේ නෙමෙයි.ඔතන වටේටම නෑයෝ ටික ඉන්න හින්දා තමයි ලොක්කට කෙළවන්ඩ කාටවත් බැරි.'
ඩිලාත් බත් එකක් බෙදං ඇවිල්ලා කාව මැද්දට පැන්නා.

'ඒ ලබ්බක් නෙමෙයි බං. මං කිව්වේ බලු කෑම ගණං අඩු කරපු එක ගැන.'
ඩිලා සද්ද වහගත්තා.




'එහෙම කියන්ඩ එපා මචං.බල්ලා කියන්නේ මිනිහගේ ළඟම හිතවතානේ.බල්ලො හදන්නේ ගෙවල්වල ආරක්සාවටනේ.ඌට සළකන්ඩ ඕනේ.නැද්ද ඩිලා?' මම ඇහුවේ ඌව ආයෙත් කතාවට ඇදලා ගන්ඩ.

'හ්ම්ම්..'

'කවුද බං දැං ගෙවල්වල ආරක්ෂාවට බල්ලෝ හදන්නේ? කවුරු හරි 'හුළෙක්' හොයලා ඌට යහන්ගත වෙන්ඩ ගෑනි දුන්නනං හරි.ආයෙ ඉතිං කිසි අවුලක් නෑ.ආරක්ෂාව ශුවර්.'

'ඇත්තටම මචං මම නං කියන්නෙ මොනවා උනත් බූරුවා ගැහිල්ල දේශීය එකක් නේ.ඉතිං ඔය කැසිනෝ වෙනුවට ගන්න අපේ දේ කියලා සූර්ය සිංහ ලකුණ ගහපු බූරු පොට් ටිකක් හැදුවනං හරිනේ බං.'

'ඔව් ඒක නං හොඳයි.ඒත් මචං වැඩේ හොඳට කෙරෙන්ඩ නං දැක්කම ඇඟ දැවිල්ල හැදෙන විදිහේ කෑල්ලකුත් බිස්නස් එකේ ඉන්ඩ ඕනේ.එතකොට තමයි කස්ටමර්ස්ලා වැඩිපුර එන්නෙත් ඒ වගේම ආරක්ෂාවත් එතකොට හොඳයි.'

'ඉතිං ගම්මු කුළියට පට්ට කෑල්ලක්.'

'උඹලා ඔය කියන තරං ලේසි නෑ කෑල්ලක් වැඩට ගන්ඩ.උන්ට දෙන්ඩ වෙයි සෑහෙන ලොකු පඩියක්'

'ඇයි සෑහෙන ලොකු පඩියක් දෙන්ඩ වෙන්නේ?'

'ඇයි බං දැං මාසික ශුද්ධියටත් බදු ගහලනේ තියෙන්නේ...'



08 November 2013

විභාගෙයි මමයි චෝගමුයි

විභාගය කියන මළ උලව්ව හොයාගත්තු එකා අහු උනොත් ඇත්තමයි අල්ලලා දෙනවා මේ පාර ශිෂ්‍යත්වෙ ෆේල් වෙච්ච උන් ටිකකට.එච්චරට මළ අප්පා.අති උත්තම මට ලබන 18 වෙනිදා සිට ඇරඹෙන මහා විභාග සංග්‍රාමය හින්දා දොට්ට  පිලටවත් නොයා 'අල බාන්ඩ' (පාඩම් කිරීම - ප්‍රාදේශීය ව්‍යවහාරයකි ) සිද්ද වෙලා තිබුණත් ඇත්තටම විභාගෙක අරමුණ තේරුම් අරං තියෙන හින්දා එච්චර අල බාන්ඩ හිතෙන්නේ නැත.විභාගේ කියන කෙහෙල් මල මෙච්චර වියදං කරලා මහන්සි වෙලා ඒ ඇත්තෝ ලක ලෑස්ති කරන්නේ කාව හරි ෆේල් කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් නොවැ.නැත්තං ඉතිං ඔක්කොමල්ලා පාස් කරන්ඩ තිබ්බනේ.ඒ හින්දා මම වැඩිය අල බාන්නේ නැත.නැත්තං ෆේල් කරගන්ඩ එකෙක් නැතුව ඒ උන්නාන්සේලාගේ ඉහ මොළ රත් වෙනවා ඇත.උත්තර පත්තර බලන දවස්වලට හීනෙන් බය වෙලා ඇහැරෙනවා ඇත.ඒ වයසක මොළවලට ඕනෑවට වඩා වෙහෙස වෙන්ඩ දෙන්ඩ හොඳ නැති නිසා මම වැඩිය අල නොබා ඉන්ඩ තීරණය කර ඇත්තෙමි.

ඒ අවු අස්සේ චෝගම් හින්දා කැම්පස් වහන්ඩ යනවාය.ඒ කැම්පස් ළමයින්ට චෝගම් එක අධ්‍යනය කිරීමට අවශ්‍ය කාලය ලබා දෙන්ඩය කියලා අපේ කැම්පස් එකේ ලොක්කියෙක් කියා තියෙනවාය.කැම්පස් එකේ රෙපෙයාර් වගයක් තියෙන හින්දාත් කැම්පස් එක වහනවා කියා කවුද කීවෝය.කවුරු කියන ඒවා විශ්වාස කරන්ඩද මම දන්නේ නෑය.සමහර විට ඇමතිතුමාට කැසිනෝ ගහලා හතරමහා නිධානේ පහල වෙලා වෙන්ඩ ඇතිය.ඒ සල්ලිවලින් කාලා බීලා චූන් කරලා තවත් ඉතුරු නිසා වෙන කරන්ඩම දෙයක් නොමැති තැන කැම්පස්වල රෙපෙයාර් වැඩවලට දෙන්නට ඇත.කොහොම හරි මේ නිවාඩුවෙන් (චෝගම් අධ්‍යයන කාලයෙන් ) පස්සේ කැම්පස් යනකොට ඒක අඳුරගන්ඩ බැරි තරමට දියුණුවෙලා සුඛිත මුදිත වෙලා තියෙනවාට සැකයක් නැත.කැන්ටින්වලට පුටු, වතුර ෆ්ලෂ් කළ හැකි වැසිකිළි ආදී සුපිරි පහසුකම් සහිත සපිරි කැම්පස් අපිටත් ලැබෙනු ඇත.ක්ෂිතිජයට ඉහළිං ලෝකය බලලා බලලා බෙල්ලත් ඇමැට්ටි වෙලා ඉන්න අපේ උන්ට එහෙම දෙයක් දුන්නොත් දරාගන්ඩ බැරුව පපුව පැලෙනවා ඇත.සතුටට කඳුලු පණිනවා ඇත.

කවුරු මොනවා කිව්වත් චෝගම් හින්දා අපේ රට ගොඩ යනවා ශුවර්ය.ඒක තිබ්බාම මෙහෙට එන කට්ටිය අපේ සංවර්ධනේ දැකලා කුල්මත් වෙනවාමය.සමහරවිට ඒ කට්ටියත් මත්තල ඒයාර්පෝට් එක බලන්ඩ වගේම කටුනායක හයිවේ එක බලන්ඩත් පයින් යනවා ඇත.එවන් විශ්මකර්ම දැක ඔවුන්ගේ ඇස් විශ්මයෙන් ජම්බෝල මෙන් ලොකු වෙනවා ඇත.උං ඊරිසියාවෙන් පුපුරණවා ඇත.හයිවේ එකේ එන්ට්‍රන්ස් එක ළඟ හූනියං වළලන්ඩ උවද බැරි නැත.මේ විශ්මිත නිර්මාණ හමුවේ සුළුදිය පහවෙන මේ විදේශවල කට්ටිය ඉන්පසු අපේ රටේ ආයෝජනය කිරීමට පොරකනු ඇත.අන්න එවිට අපේ දේශපාලක ඇත්තෝ පොඩ්ඩක් සිහිකල්පනාවෙන් වැඩ කළ යුතුය.මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සැකසිය යුතුය.නැත්නම් මේ රට රටවල් අපේ රටේ ආයෝජනය කරන්නට පොරකා එකිනෙකා කුළල් කාගෙන තුන්වෙනි ලෝක යුද්ධයකට පවා මුළ පිරිය හැක.
චෝගම් එකේ ව්‍යාපාරික මෙව්වා එකේ ලොකුම ටෝක දෙන්නේ පැකර් මහත්තයාලුය.ඒක ඉතාම පැසසිය යුතු කාරණයකි.උන්දෑ දුනු ඊතල බූමරංග අරං උන්නු ඇබොරිජින්ලා හිටපු, රෑට කැංගරුවෝ හූ කියනවා ඇහුණු ඕස්ට්‍රේලියාව ලොවෙත් තැනකට ගේන්න සෑහෙන කට්ටක් කෑවේය.එතුමාගේ දෑතේ කරගැට, දණිස්වල දියපට්ටා සහ පශ්චාත් පැත්තේ අර්ශස් ගෙඩි ඒ සඳහා ජීවමාණ සාක්ෂි වන්නේය.එහෙව් උත්තමයා අපේ රටත් ඒ වගේම උසස් තැනකට ගේන්ඩ දරණ උත්සාහයට අපි හැම දෙනාම දෙකට නැමී උදව් කළ යුතුය.එතුමාගේ හෝටල් සංකීර්ණයේ සැළැස්මට මේන්න මේ මගේ යෝජනා කීපයද එක් වන්නේනම් ඉතා යෙහෙකිය.ගරුතර සංඝයා වහන්සේට කම්සැප විඳින්නට ගෑනු ඉඹින්නට හැකි ස්ථානයක් සකස් කළ යුතුය.එතකොට මේ දවස්වල දඹදිව මහා කරුණාව පතුරවන රේවත උන්නාන්සේ මෙහේ ඇවිදින්ද සියළු කාන්තාවන් දුකින් මිදවීමට කටයුතු කරනු ඇත.එමෙන්ම කැසිනෝ ශාලාවේ සුදු පිරුවට එලා උස් අසුණක් පැනවිය යුතුය.ඒ සූදු කෙළින අපේ හාමුදුරුවන්ටය.බුද්ධාගම රැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බැඳී ඇති නිසා මහා සංඝයාගේ උවමනාවන් ඉටු කිරීමද අනිවාර්යයෙන් කළ යුතු දෙයකි.කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල හිඟාකමින් දඩාවතේ යන කොලු පැටව් ටික අල්ලා නාවා දත් මද්දා සංඝයා විශයෙහි පූජා කිරීමටද, එකී ලිංගික ක්‍රියා සඳහා නිදහස් ලිංගික කළාපයක්ද පැකර් ලොක්කාගේ හෝටලයේ ඇති කළ යුතුය.එවිට ප්‍රාදේශීය දේශපාලකයින්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා පුහුණුකරුවන්ටද ඕනෑවිට සංඝගත දක්ෂිණාවෙන් ටික ටික රස බැලිය හැක.

අපේ එවුන් දැං කියත් හොයමින් එහේ මෙහේ දුව ඇවිදිනවාය.ඒ මෝටර් බයිසිකල් තියෙන උන්ය.ඒ උංගේ හෙල්මට්වල නිකට වැහෙන කෑල්ල කපන්ඩය.පොලීසිය පහුගිය දවස්වල හෙන අවුලෙන් හිටියේ බයිසිකල්වලින් යන උන් පොලිස්කාරයින්ට රවාගෙන යනවාද හිනා වේගන යනවාද කියන එක ශුවර් නැතුවය.පොලිස් සේවය උසස් මට්ටමකට ගෙන ඒමට නම් පොලිස් සේවාවෙන් ජනතාව තෘප්තිමත් විය යුතුය.නමුත් පොලිස් කාරයාගේ ක්‍රියාවෙන් ජනතාව තෘප්තිමත්ද අතෘප්තිමත්දැයි දැනගන්නට විදිහක් තිබ්බේ නැත්තේ හෙල්මට්වල නිකට ආවරණ කෑල්ල හින්දාය.දැං ඒ කෑල්ල අයින් කිරීමට නීති සම්මත කරගෙන ඇති නිසා මින් මතු වඩාත් ජනතාවාදී පොලිස් සේවයක් අපට ලැබෙනු ඇත.


විභාගේ කියමින් හොස්ටල් එකට වෙලා හිටියාට මට ගෙදර එන්ඩ කියලා අම්මාගෙන් හරියට කරදරය.අම්මා මේ අවුඅස්සේ ගෙදර කුස්සිය පැත්තේ මහා විශාල මඩුවක් හදන්නට පටං අරංය.ඒක හදන්නට විභාගේ පැත්තකට දාලා එන්ඩ කියා කියන්නීය.

'අම්මේ පිස්සුද මේ ෆයිනල් එග්සෑම් එක දාලා මඩු හදන්ඩ එන්ඩ කියන්නේ'

'අනේ උඹේ නල්ල මළේ විභාගේ.ඕකත් කැම්පස් එකක්ද බං.ඔන්න ඔය උලව්ව දමල ගහලා ගෙදර වරෙං.චාල්ස් කුමාරයා ඇවිල්ලා උන්නාන්සෙගේ අතිං මුල් ගල තියලා හදන ලැංකසාර් කැම්පස් එකට මං උඹව දාන්නං.එතකොට උඹට ජාතියන්තර ඩිග්‍රියක් ගතෑකි බොල සුටුස් ගාලා.ඔය හම්පඩ මගුල වගේද ඒක.මෙන්න මෙහේ ගෙදර වරෙං ඇවිල්ලා මේ මඩුව හදන්ඩ උදව් වෙයං.'

'මොන බම්බුවකටද මෑ තදියමේ මඩු හදන්නේ? එළ හරකෙක්වත් ගේන්ඩද?'

'හරක් තියං මක්කරන්ඩද? යකෝ රටම කිරිපිටියෙං සොයංපෝෂිතයි බොල.මේ මඩුව හදන්නේ චෝගම් එකෙං හම්බෙන ආධාර ගොඩ ගහන්ඩ.මොකෝ ඕවා වැස්සේ තෙමෙන්ඩ ඇරියැහැක්කෑ??'


24 October 2013

දූ කෙළිය, හයි වේ සහ තවත් කතා


මේ දවස්වල හැමතැනම කැසිනෝ කතාය.කැසිනෝ ගැහිල්ල සූදුවක්ලුය.සූදුවක් උනාට ක්‍රීඩාවක්ලුය.ක්‍රීඩාවක් නම් හොඳය.ලංකාවේ මිනිස්සුංගේ ශරීර සෞඛ්‍යය දියුණු කරන්නට එළිමහන් ව්‍යායාම් මධ්‍යස්ථාන විතරක් මදිය.ක්‍රීඩාවද ප්‍රචලිත කරන්ඩ ඕනෑය.කැසිනෝ ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මඟින් ප්‍රාංශු දේහදාරී තරුණ කැළක් රටට ජනතාවට දායක කරන්නට පුළුවංය.අපේ රටේ කෙල්ලන්ගේ එල්ලෙන තඩි බඩවල් බස්සන්නටත් ක්‍රීඩා කරවීම හොඳය.එවිට කැසිනෝ ක්‍රීඩාව නිසා ප්‍රචලිත වනවායැයි කියන රති කෙළියටත් ඔවුන්ට සහභාගී විය හැකිය.


ජේම්ස් පැකර් ලංකාවේ කැසිනෝ දානවා යැයි එහේ පත්තරවලට කියලාලුය.හැබැයි ඇමතිතුමා කියන්නේ අළුතින් කැසිනෝ බලපත්‍ර දෙන්ඩ රජතුමාගේ ආණ්ඩුව ලෑස්ති නැති බවය.ඒ වගේ කැත වැඩ මේ ආණ්ඩුව කරන්නෙ නැති බව උන්දෑ දහ අතේ දිවුරමින් කියන්නේය.කාව විශ්වාස කරන්ඩදැයි නොදැන මහ ජනයා අතරමංව සිටිති.එහෙම අතරමං විය යුතු නැත.ඇමතිතුමා බොරු කියන්නේ නැති බව කවුරුත් දැනගත යුතුය.බොරු කීමෙන් එතුමාට ලැබෙන ලබ්බක් නැත.පැකර් ලොක්කා බොරු කියනවා වෙන්නට පුළුවංය.උන්නැහේට උන්නැහේගේ ව්‍යාපාර ආසියාවේ ආශ්චර්ය වෙච්ච සිරි ලංකාවේද තියෙන බව කිය ලෝකෙට පම්පෝරි ගැසීමේ උවමනාවක් ඇතුවා විය හැක.

උසස් අධ්‍යාපන ඇමතිතුමා ඇමරිකාවේ කැසිනෝ ගෑනුංගේ ගැටවලට අහුනොවී ඩොලර් දෙක ගාණේ කැසිනෝ ගැසූ බව ආඩම්බරෙන් කියන්නේය.ඔහු ඩොලර් දෙක ගානේ කී පාරක් කැසිනෝ ගැහුවාදැයි කියන්නේ නැත.ඩොලර් දෙකක් කියන්නේ රුපියල් 260ක් වැනි සොච්චම් මුදලකි.කිරිපිටි පැකට් එකක්වත් ගන්නට බැරි තරමේ මුදලකි.ලංකාවේ මිනිස්සුන්ට මසක පඩියෙන් මේ මුදල වියදම් කිරීම එච්චර ගැටළුවක් වන්නේ නැත.එවිට එක් පුද්ගලයෙකුගේ මාසික වියදම 2500 සිට 2760 දක්වා වැඩි වීම පමණකි සිදුවන්නේ.

අපේ රටේ මිනිස්සු කැසිනෝ කාරයින්ගේ කට්ටකම්වලට අහු නොවෙන බව ඒකාන්තය.ඒ අපේ මිනිස්සු එයිට වඩා කට්ට නිසාය.පැකර් ලොක්කාගේ අන්තිම තඹ සතය දක්වා සූරාගෙන අපේ මිනිස්සු කැසිනෝවලින් එළියට එන බව ශුවර් ය.අපේ උන්ට කොළේ වහන්නට නම් කැසිනෝවල වැඩ කරන්නට කට්ටිය හඳෙන් ගේන්නට ඕනෑය.අපේ උන් දිගට හරහට ඔට්ටු දිනලා පැකර් කාරයා බංකොලොත් වී මුඩුක්කුවක අකාලයේ මිය ගියාට පසු විදෙස් ආයෝජකයින් ලංකාවට ඒමට පැකිලීමට ඉඩ ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගහන එක තහනම් කිරීම දීර්ඝකාලීනව බැලූ විට යහපත් තීරණයකි.නමුත් ඕස්ට්‍රේලියාවේ හතරවන විශාලම ආයෝජකයා වන පැකර් කාරයාගේ අන්තිම දොයිතුව දක්වා හූරාගත හැකිනම් අපට ඕස්ට්‍රේලියාවේ මොනවා හෝ යමකට ආයෝජනය කිරීමට උවද හැකිවනු ඇත.ඒ නිසා ලංකාවේ උන්ට කැසිනෝ ගැහීමට ඉඩ දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම අපි ආර්ථික විද්‍යා උගතුන් හට බාර කරමු.



කැසිනෝ කියන්නේ සුද්දංගේ බාසාවෙංය.ඒ නිසා එය අපේ රටේ මිනිස්සුන්ට එච්චර හුරු නැත.නමුත් අපේ අතීත සාහිත්‍යය පිරික්සීමේදී මෙසේ මුදල් ඔට්ටු අල්ලා කළ ක්‍රීඩා තිබූ බවත් අද මෙන්ම එදාත් ලොකු ලොක්කෝ එසේ පොඩි උංගේ සල්ලි හූරාගෙන ඒ සල්ලිවලින් ඔට්ටු සෙල්ලම් කළ බවත් සොයා ගත හැක.එම ක්‍රීඩාවලට හෙල බසින් කිව්වේ 'දූ කෙළිය' කියලාය.අද ද අපේ රටේ තැන් තැන්වල 'දූ කෙළින්නෝ' සිටිති.විශේෂයෙන් බිරිඳ මැදපෙරදිග අරාබි කෙළියේ යෙදී එවන මුදල් රැගෙන කා බී 'දූ කෙළින' සැමියන් ගැන වරින් වර පුවත්පත්වල පලවේ.නමුත් දැන්ගන්නට ඇති පරිදි ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද දූ කෙළිය තහනම්ය.

බයිබලයේ මෙසේ දූ කෙළියේ යෙදුනෙකු ගැන කතාවක් කියෙව්වා මතකය.ඒකේ නම් ඒ මනුස්සයාගේ වැරැද්දක් නැත.දුවලා දෙන්නා මිනිහාට වෙරිවන තුරු බොන්නට දී 'දූ කෙළවා' ගත්තෝය.එවැනි දෑ අපේ රටේ වෙන්නේ නැත.අපේ රටේ උන් බිව්වාම උංගේ ශරීර ශක්තිය සහ කල්පනාව ප්‍රභල වෙනවාය.ඒ නිසා උන් ප්ලෑන් කරලා බය කරලා 'දූ කෙළියේ' යෙදෙනවාය.ඒවාටද බදු සහන දෙන්නට ආණ්ඩුව සූදානම්දැයි දන්නේ නැත.විපක්ෂය කියන විදිහට ආණ්ඩුව දේශීය ආයෝජකයන්ට බදු සහන දෙන්නේ නැත.එහෙම දූ කෙළියේ යෙදිලා දුවට දරුවෙක් ලැබුණොත් ඥාති ප්‍රශ්නයක් එනවාය.ලැබෙන දරුවාගේ පියා සහ සීයා එකෙක් වෙනවාය.එතකොට හෙන අවුල්ය.

කැසිනෝ කෙළිය එසේ වෙද්දී කටුනායක කොළඹ අධිවේගය විවෘත කරන්ඩ කටයුතු යෙදුනාය.හැදුවේ චීනා නිසා ආණ්ඩුව පාර පාවිච්චියට පෙර ජනතා අධීක්ෂණයට යොමු කළේය.ජනතාව වැල නොකැඩී පාරේ තත්ත්වය පරීක්ෂා කරන්ඩ එති.ඇදකුද තිබේදැයි සොයති.වල ගොඩැලි ඇති තැන් සොයා බලති.බල්ලෝ එළවති.අපේ රටේ මිනිස්සු වෙනකෙකුගේ කතා විශ්වාස කරන්නේ නැත.තමුංගේ ලැම්බෝගිනිය, ෆෙරාරිය, බී එම් ඩබ්ලිවු එක දාන්නට පෙර පාර හොඳදැයි පුද්ගලිකව සොයා බලති.මෙවන් දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම මහජන අධීක්ෂණයට යොමු කරන එකම රට අති උතුම් සිරි ලංකාව විය හැක.එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.මෙය අපේ රට ඒකාධිපතියෙකු පාලනය කරන බව කියන විදෙස් කුමන්ත්‍රණ කරුවන්ට කම්මුල් පහරක් වැනි ය.




21 August 2013

අපිරිසිඳු ලේ සහ අසරණයා.....







වෛද්‍ය වෘත්තිය පිවිසි පසු පුද්ගලික සේවයේ නොයෙදෙන බවට පුරසාරම් පම්පෝරි සහ පොර ටෝක් දුන් මම මෑතකදී පටන් ගත් පුද්ගලික සායනයේ අසුන මත වාඩි වී පුවත්පතක් බලමින් සිටියෙමි.විශ්වවිද්‍යාලයේදී ජනතා සේවය ගැන උදාර ප්‍රාර්ථනා තිබූ මම දැන් බිරිඳගේ මනදොළ සපුරනු වස් රජයේ සේවයෙන් ලැබෙනා තුට්ටු දෙකට අමතරව ආදායමක් සොයා ගන්නා පිණිස පොලක් කැඩීම හෙවත් පුද්ගලික සායනයක් ඇරඹුවේ ජීවිතයේ නිදහසක් නැති මෙවන් වෘත්තියක නැති රසක් මවා පෙන්වා මා වෛද්‍ය පීඨයට දැක්කූ ගුරු භවතුන් නෑදෑ හිත මිතුරන්ට හිත යටින් බැණ වදිමිනි.

සායනය ඇරඹූ පමණින් සෙනඟ වැල නොකැඩී ප්‍රථිකාර සඳහා එන්නේ නැත.ඒ සඳහා තරමක් කල් ගතවේ.දොස්තර පරණ වෙන තරමට ලෙඩ්ඩු වැඩිය.ඒ අළුත් උන් ළඟ නැති මහා බලගතු දෙයක් පරණ දොස්තරලා ළඟ තිබෙන නිසාය.ඒවාට කියන්නේ 'අත්දැකීම්' කියලාය.තමන් දුන් එක් බෙහෙතකින් රෝගියෙක් මිය ගියහොත් ආයේ එම බෙහෙත දෙන්නේ නැත.මේ ලෙසට ලෙඩ්ඩු කීප දෙනෙක් මරා එකතු කර ගන්නා අත්දැකීම් සම්භාරය නිසා මිනිසුන් ඔහු ළඟට වැල නොකැඩී එන්නට පටන් ගනී.අන්තිමේ දොස්තරට වැසිකිළි යාමටවත් අතොරක් නොතබා ඔහුගේ සායනය වටේ නිවෙස වටේ වාහනය වටේ රෝගීන් පොදි කන්නට පටන් ගනී.එවිට ඔහුට ආදායම ලැබෙන්නට පටන් ගන්නේ පළාත්සභා ඇමති කෙනෙක්ට ලැබෙනවා වාගේය.නමුත් අවාසනාවට ඔහුට ඉපැයූ දෙය වියදම් කොට කිසිවක් කරන්නට වෙලාවක් නැත.එවිට ඔහුගේ ආදායමෙන් ප්‍රයෝජන ගන්නේ බිරිඳ සහ දරුවන්ය.

බිරිඳ මැනිකියෝ කර පෙඩිකියෝද කරනවාය.ෆේෂල් කරලා හැඩ කරලා පාරේ තොටේ ඇවිදින්නට යනවාය.මිනිහා ගෙදර එන්නේ නිදාගන්නට විතරය.අනිත් හැම වෙලාවේම ලෙඩ්ඩු එක්කය.පොඩි හරි ඉඩක් ලැබුණොත් නර්ස්ලාත් එක්කය.ඉතිං බැඳපු ගෑනුන්ටත් අවශ්‍යතා තියෙනවාය.ඒ කියන්නේ කන බොන නාන නිදියන එක ඇරුනාම තියෙන අවශ්‍යතා ය.ඉතිං මිනිහා ගෙදර නැති නිසා මිනිහාගේ සල්ලිවලින් හැඩට ඇඳලා මිනිහාගේ වාහනෙන්ම ගෑනි එහේ මෙහේ යනවාය.ඒ අර අවශ්‍යතා ඉටු කර ගන්නටය.

'ටොක්..ටොක්'

සායනයේ දොරට තට්ටු කරන හඬින් මම සිහින ලොවෙන් ඇද වැටුනෙමි.අද දවසේ පළමු රෝගියා ය.සායනය අරඹා වැඩි දවසක් නැති නිසාත් වැටුපක් ගෙවන්නට තරම් ආදායමක් නැති නිසාත් තවම මගේ සායනයේ දොර අරින්නට, බෙහෙත් ලබා දෙන්නට රෝගීන් නැත් වෙලාවට මුකුළු කර කර ඉන්නට සිඟිත්තියක් සොයා ගත්තේ නැත.එනිසා දොර අරින්නට මටම නැගිට යන්නට සිදු විය.

සෑහෙන්න අඳු රු වැටී ඇති බවත් ඒ මහා සීතල රාත්‍රියක් බවත් මට දැනුනේ එවිටය.අමුතු සීතලක් ඇඟ දවටා ගත්තේ මුළු ඇඟේම හිරිගඩු පිපෙද්දීය.ඈතින් නරියෙක් උඩු බුරන හඬත් සමඟ ඉස්සරහා ඇති නා ගහේ අතු අතරේ මොකෙක් හෝ දඟලන 'සර සර' සද්දයක් ද ඇහෙන්නට විය.අමුතු බියක් මා සිත වසා ගත්තත් පැමිණ සිටි රෝගියාට පැරසිටමෝල් කිහිපයක් දී රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චේතනාව ඊට වඩා ප්‍රභල වීම නිසා මම හිතට එඩිය ගෙන දොර ඇරියෙමි.

දොර අසල උස මිනිසෙකු කළු ලෝගුවක්ද පොරවාගෙන සිටගෙන සිටියේය.ලෝගුවේ කොලරය ඉහළට ඔසවලාය.අසරණයා හදිස්සියේ කෝට් එක දාගෙන එන්ඩ ඇත්තේ.මොකක් හරි අමාරු ලෙඩක් වෙන්ඩ ඇති යැයි සිතා ඔහු ඇමතීමට සැරසෙද්දීම වසර පහක් තිස්සේ රෝගීන් දෙස බලා ඔවුන්ගේ වත්කම් මෙන්ම රෝග ලක්ෂණද හඳුනා ගැනීමට පුරුදු පුහුණු කරන ලද මගේ දෙනෙතට ඔහුගේ මුහුණ හොඳින් දිස් විය.උස් වූ පාණ්ඩු පැහැති නළල, ඇතුලට ගිළුණු කම්මුල්, තියුණු දීප්තිමත් කළු පුළිඟු මෙන් වූ දෑස්, සෘජු දිගු නැහැය මෙන්ම සිහින් රතු තොල් මෙන්ම වරින් වර පිටතට පැමිණ තොල් තෙත් කරන දිගු දිව දුටු මට එක්වරම සිහියට ආවේ කාලයක් තිස්සේ කුඩු ගැහීමට ඇබ්බැහි වීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් රක්තහීනතාවයෙන් පෙලෙන්නෙකු ය.නමුත් ඔහු මා වෙත හෙලූ සිනහවත් සමඟ දුටු සිහින් අසාමාන්‍ය ලෙස දිගු රදනක දත් යුවල නිසා මම වැරදි රෝග නිශ්චයකට යාම වැළකී ගියේය.




වැම්පයර්වරුන්ට නිවෙසකට ආරාධනා කළහොත් මිසක එයට ඇතුළු වීමට නොහැකි බව මම අසා ඇත්තෙමි.එසේනම් මේ වැම්පයරයාට මගේ සායනය තුලට පැමිණ මට හානි කිරීමේ හැකියාවක් නැත.නමුත් ඔහු ඇත්තටම පැමිණ ඇත්තේ අසනීපයකට ප්‍රථිකාරයක් ගැනීමට නම් මම හිපොක්‍රටිස්ට වූ පොරොන්දුව කැඩුවා වෙනවාය.ඊටත් වඩා රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චාන්ස් එක ගිලිහී යනවාය.මගේ දෙගිඩියාව තත්පර කිහිපයකට වඩා පැවතියේ නැත.මම ඔහුට ඇතුලට එන්නට කීවෙමි.

මා බලාපොරොත්තු වූ පරිදිම ඔහු මගේ ඇඟට කඩා පැන මගේ බෙල්ලට දත් පහර ගසා මගේ ලේ උරා බීවේ නැත.ඒ වෙනුවට සුහදශීලී එමෙන්ම බයාදු සිනහවක් පාමින් ඔහු සායන‍යට ඇතුළු විය.

'ඩොක්ටර් මම පොඩ්ඩක් වාඩි වෙන්ඩද? හරි මහන්සියි ' කියමින් ඔහු පුටුව මතට ඇද වැටුනේය.

'ඔව් දැං මොකක්ද අසනීපේ?' මට බයට ගොත ගැසෙන්නට ආවද මම වෑයමින් එය වළක්වා ගතිමි.මම ඔහු අඳුනා ගත් බව දැන ගන්නට ඉඩ තියන්නට හොඳ නැත.එවිට මගේ බොටුව කඩා ලේ බීම කෙසේ වෙතත් සල්ලි නොදී යාමේ අවධානමක් ඇත.එයට මුහුණ දෙන්නට මම සූදානම් නැත.

'මගේ ඇඟේ ලේ නෑ ඩොක්ටර්. ඇඟට පණ නෑ.මාස ගානකිං ලේ ටිකක් ඇඟට වැටුනේ නෑ.' මගේ ඇස් මහත් වී කට වියලී ගියේය.

'ඒ ඒ කි..කිව්වේ...?'

'ඒ කිව්වේ ඩොක්ටර් මාස ගාණකිං ලේ ටිකක් බිව්වේ නෑ.දැං මේ පාං කියා ගන්ඩ බැරුව ඉන්නේ. මොකද ඩොක්ටර් බය වෙලා වගේ මම හිතුවේ ඩොක්ටර් මාව දැක්ක ගමං අඳුරගත්තා කියලා.'

මූ කොළේ වහලා ගහන්නේ නැත.මමත් බොරුවට නොදන්න බබා පාර්ට් දැමිල්ල නැවතිය යුතුය.

'හරි දැං මොකක්ද වෙන්ඩ ඕනේ? මට පේන විදිහටනං රක්තහීනතාව වගේ.මම එහෙනං යකඩ පෙති ටිකකුයි විටමින් ටිකකුයි ලියලා දෙන්නං.කෑම අරුචිය වගේ එහමත් තියෙනවද?' මම කොළයක් ගෙන ලියන්නට සූදානම් උනෙමි.

'යකඩ පෙතිවලට හරියන්නෑ ඩොක්ටර්.මම ට්‍රයි කරලා බැලුවා.අනිත් එක ඒවා මහ අප්පිරියා රහයිනේ.'

'එතකොට කෑම අරුචිය එහෙම තියෙනවද? ඒ කියන්නේ කෑම දැක්කම අප්පිරියා ගතියක් තියෙනවද? නැත්තං කෑම ගන්නකොට ඉක්මනට බඩ පිරෙන ගතියක් තියෙනවද?'

'කෑම අරුචියක් නෑ ඒ උනාට කෑම දැක්කම හිතට බයක් එනවා.මේකගෙං ලේ බීලා මොනවයින් මොනවා වෙයිද කියලා.'

'එතකොට ළඟදි බර එහෙම අඩු උනාද? ඒ කියන්නේ අඳින ඇඳුම් බුරුල් උනා වගේ දැනෙනවද?'

'බර කිලෝ හතකිං අඩු උනා.මේ කලිසම එල්ලං ඉන්නෙත් බෙල්ට් එකක් දාලා.අනේ ඩොක්ටර් මට ලේ බැංකුවෙං ලේ පැකට් එකක් ගන්ඩ ලියලා දෙන්ඩ.පිං සිද්ධ වෙයි.'

'ඉතිං ඔහේට ....මේ මොකක්ද මේ මහත්තයගේ නම කිව්වේ?'

'මගේ නම ඩ්‍රැකියුලා අනේ.'

'ඈ ඩ්‍රැකියුලා? ඩ්‍රැකියුලා ඉන්නේ රුමේනියාවේ නේද?මම හිතුවේ මේ මෙහේ එක්කෙනෙක් කියලා.ඔය රීරි යකා වගේ.'

'එහේ තමයි හිටියේ.ඒ පැත්තේ ලේ පොඩ්ඩක් කාරිය බීගෙන ඉන්න කොට තමයි මේ රට ආශ්චර්යයේ මොකක්ද එක කරන්ඩ යනවා කියලා ආරංචි උනේ.ඉතිං මම මෙහේ ආවා.ආවා වගේ නෙමයි දැං යන්ඩ බෑ.අතේ පිච්චියක් නෑ.මත්තලින් බැහැලා කොළඹට එනකොට පොකට් ගහලා මගේ සල්ලියි පාස් පොර්ට් එකයි ඔක්කොම ඉස්සුවා.අන්තිමට හිඟන්නෙක් වගේ පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන උදේ පාන්දරම ආව බස් කාරයෙක්ගේ ලේ ටිකක් බොන්ඩ කියලා අල්ලගෙන බැලුවා.මොන...... ඇඟේ ලේ කළඳක් නෑ.පපුවේ කිසි තෙතමනයක් නෑ.මොනවා කරන්ඩද?එහෙමම කරුවලේම එකසිය තුනක එල්ලිලා කනත්ත ගාවිං බැහැගත්තා.එදා ඉඳං මේ ලංකාව පුරාම එහේ මෙහේ ඇවිදිනවා.ලේ ටිකක් බී ගන්ඩ එකෙක් නෑ.ඉන්න උංගෙනුත් බොන්ඩ බයයි.'

'ඒ මොකද ඒ බොන්ඩ බය? අල්ලගෙන ගහයි කියලද? ඇත්ත තමයි අපේ රටේ මිනිස්සු හරි වීරෝධාර ජාතියක් නෙව.'

'බම්බුව තමයි.වීරෝධාර...පුඃ. මට බය උංගේ ලේවල මොනවා තියෙනවද කියලා.මුළිං මම ගියේ අනුරාධපුරේ පැත්තේ.හොඳ ආරිය සිංහල ලේ තියෙන පැත්තක්නේ කියලා.ඒත් නිව්ස් ඇහුවම මාව හීතල වෙලා ගියා.ඒ පැත්තේ උං ආසනික් තියෙන වතුර බීලා වකුගඩුවලටත් කෙළවං ඉන්න කොට මම කොහොමද හිතේ විශ්වාසෙකිං ලේ ටිකක් බොන්නේ.සුදු ලූනුවලටත් ඇලජික් මම ආසනික් ගැන එහෙම ලුහුඬෙට හිතන්ඩ ලෑස්ති නෑ.'

'ඉතිං වෙන පැතිවලට ගිහිං බැලුවේ නැද්ද?'

'මොකද නැත්තේ ඒත් රට පුරාම හැම තැනම කට්ටියට උණ.නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගන්ඩ ඕනෙ නෑනේ.නිකං හරි ඩෙංගු වෛරස් එක බෝ වෙලා ඩෙංගු රක්තපාතයෙන් ලොව කුප්‍රකට ඩ්‍රැකියුලා මිය යයි කියලා කිව්වම වෑන් හෙල්සිංට උනත් ලැජ්ජා හිතෙනවනේ අප්පා.'

'ඇත්ත නේන්නං.ඉතිං ඔය උණ නැති උං හිටියෙම නැද්ද හොයාගන්ඩ?'

'මම ඉතිං වැඩිය පාරවල් දන්න එකක් යෑ.නොදැනම ඇවිල්ලා තිබ්බේ ගම්පහ පැත්තට.එකෙක් අල්ලගෙන බෙල්ල සර්ජිකල් ස්ප්‍රීට්වලිං එහෙම් පිහදාලා කෙළ පෙරාගෙන ගැහුවා දත් පාර. තුඃ විතරක් ඇඹුල් රහ.අප්පිරියාවේ බෑ.එයිට ටික දවසකට පස්සේ දන්නේ වතුරේ ඇසිඩ් කේස් එක.'

අපොයි අසරණයා...මට හිත යටින් කෙඳිරි ගෑවිනි.

'ඉතිං ලංකාවේ තවත් පැති තියෙනවනේ.ට්‍රයි කරලා බැලුවේ නැද්ද වෙන දිහෑවක්?'

'ඔය ඇසිඩ් කේස් එකෙං මම හොඳට මට්ටු උනා.එදා ඉඳං හොඳට පත්තරේ බලනවා.මොනවා හරි අවුලක් තියෙනවද කියලා.වෙලාවට එහෙම බැලුවේ.කිරිපිට එක්ක ඩීසීඩී කියලා වහ ජාතියක් එවලා කියලා දැනගත්ත වෙලේ ඉඳං ලේ බොන්ඩ පණ බයයි.ඇයි අප්පා අපිත් කියලා ඔය ලේ පොඩ්ඩක් බීලා ජීවත් වෙන අහිංසක වැම්පයර්ලා නේ.ලේ එක්ක මේ වහ බොන්ඩ පුළුවංයෑ.'

'ඉතිං ඔය කිරිපිටි නොබොන දියර කිරි බොන මිනිස්සුත් ඉන්නේ.'

'ඉන්නවා තමයි.ඒ උනාට උංගෙං සෑහෙන කට්ටියකට මටත් වඩා රක්තහීනතාව.මට දුක හිතෙනවා උංව දැක්කම.අනික දැං ගොඩක් උං ඉන්නේ ලේ රත් වෙච්ච ගමං මේ රට යන හැටි දැකලා.ඉතිං උංගේ ලේවල ඇඩ්‍රිනලීන්, කෝර්ටිසෝල් වගේ හෝමෝන හරීයට.බඩගිනියි කියලා මෙව්වා බිව්වහැක්යැ.'

'ඔබතුමා මේ ගැන මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? පිරිසිඳු ලේ ටිකක් ඉල්ලලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා උපවාසයක් කරානං හරිනේ.'

'පිස්සු කියවනවද ඩොක්ටර්.වතුර ඉල්ලලා පිකට් කළාම වෙඩි තියලා මරණ රටේ ලේ ඉල්ලලා පිකට් කළොත් මොනවා නොකරයිද?'

'හරි දැං මගෙං මොනවද කෙරෙන්ඩ ඕනේ?'

'අනේ ඩොක්ටර් ලංකාවට ගෙනාපු රුධිර පාරවිලයන සෙට්වලත් කොලිටිය අන්තිමයි කියලා පත්තරේක දැක්කා.එහෙම මොනවත් අවුල් නැති "එච් අයි වී" නැති හෙපටයිටිස් බී නැති මැලේරියා නැති පිරිසිඳු ලේ පැකට් දෙක තුනක් හොයලා දෙන්ඩ.නැත්තං ඇත්තමයි මැරෙන එක මැරෙනවා මෙතන.'


මගේ හද මඬල උණු වී ගියේය.මේ වැලහින්නක් වගේ අඬා වැටෙන්නේ ලෝක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලා නොවේද?මා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් නොගත්තොත් මේකා මෙතන මිය ගොස් ලෝකයේම දෝෂාරෝපන අපේ රටට එල්ල වීමට ඉඩ තිබේ.ඊටත් නවනීදන් පිල්ලේ පැමිණ සිටින මොහොතේ එවැන්නක් සිදු උවහොත් ලංකාවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්ව රජතුමා ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙන යාමටද ඉඩ ඇත.එනිසා වහා දන්නා කියන ලොකු ලොකු තැනැත්තන් දෙතුන් දෙනෙක් අමතා පිරිසිඳු කරන ලද රුධිර පැකට් දහයක් වහාම ඩ්‍රැකියුලාට ලැබෙන්නට සැලැස්වීමි.ඉන්පසු ට්‍රෝලර් බෝට්ටුවක නංවා ඕස්ට්‍රේලියාවට පිටත් කළේ එවිට මගදී අසුවී පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කළ විට එතැන් සිට ඔහුට රුමේනියාවට යෑමේ මාර්ගයක් හොයා ගත හැකි නිසාය.