21 August 2013

අපිරිසිඳු ලේ සහ අසරණයා.....







වෛද්‍ය වෘත්තිය පිවිසි පසු පුද්ගලික සේවයේ නොයෙදෙන බවට පුරසාරම් පම්පෝරි සහ පොර ටෝක් දුන් මම මෑතකදී පටන් ගත් පුද්ගලික සායනයේ අසුන මත වාඩි වී පුවත්පතක් බලමින් සිටියෙමි.විශ්වවිද්‍යාලයේදී ජනතා සේවය ගැන උදාර ප්‍රාර්ථනා තිබූ මම දැන් බිරිඳගේ මනදොළ සපුරනු වස් රජයේ සේවයෙන් ලැබෙනා තුට්ටු දෙකට අමතරව ආදායමක් සොයා ගන්නා පිණිස පොලක් කැඩීම හෙවත් පුද්ගලික සායනයක් ඇරඹුවේ ජීවිතයේ නිදහසක් නැති මෙවන් වෘත්තියක නැති රසක් මවා පෙන්වා මා වෛද්‍ය පීඨයට දැක්කූ ගුරු භවතුන් නෑදෑ හිත මිතුරන්ට හිත යටින් බැණ වදිමිනි.

සායනය ඇරඹූ පමණින් සෙනඟ වැල නොකැඩී ප්‍රථිකාර සඳහා එන්නේ නැත.ඒ සඳහා තරමක් කල් ගතවේ.දොස්තර පරණ වෙන තරමට ලෙඩ්ඩු වැඩිය.ඒ අළුත් උන් ළඟ නැති මහා බලගතු දෙයක් පරණ දොස්තරලා ළඟ තිබෙන නිසාය.ඒවාට කියන්නේ 'අත්දැකීම්' කියලාය.තමන් දුන් එක් බෙහෙතකින් රෝගියෙක් මිය ගියහොත් ආයේ එම බෙහෙත දෙන්නේ නැත.මේ ලෙසට ලෙඩ්ඩු කීප දෙනෙක් මරා එකතු කර ගන්නා අත්දැකීම් සම්භාරය නිසා මිනිසුන් ඔහු ළඟට වැල නොකැඩී එන්නට පටන් ගනී.අන්තිමේ දොස්තරට වැසිකිළි යාමටවත් අතොරක් නොතබා ඔහුගේ සායනය වටේ නිවෙස වටේ වාහනය වටේ රෝගීන් පොදි කන්නට පටන් ගනී.එවිට ඔහුට ආදායම ලැබෙන්නට පටන් ගන්නේ පළාත්සභා ඇමති කෙනෙක්ට ලැබෙනවා වාගේය.නමුත් අවාසනාවට ඔහුට ඉපැයූ දෙය වියදම් කොට කිසිවක් කරන්නට වෙලාවක් නැත.එවිට ඔහුගේ ආදායමෙන් ප්‍රයෝජන ගන්නේ බිරිඳ සහ දරුවන්ය.

බිරිඳ මැනිකියෝ කර පෙඩිකියෝද කරනවාය.ෆේෂල් කරලා හැඩ කරලා පාරේ තොටේ ඇවිදින්නට යනවාය.මිනිහා ගෙදර එන්නේ නිදාගන්නට විතරය.අනිත් හැම වෙලාවේම ලෙඩ්ඩු එක්කය.පොඩි හරි ඉඩක් ලැබුණොත් නර්ස්ලාත් එක්කය.ඉතිං බැඳපු ගෑනුන්ටත් අවශ්‍යතා තියෙනවාය.ඒ කියන්නේ කන බොන නාන නිදියන එක ඇරුනාම තියෙන අවශ්‍යතා ය.ඉතිං මිනිහා ගෙදර නැති නිසා මිනිහාගේ සල්ලිවලින් හැඩට ඇඳලා මිනිහාගේ වාහනෙන්ම ගෑනි එහේ මෙහේ යනවාය.ඒ අර අවශ්‍යතා ඉටු කර ගන්නටය.

'ටොක්..ටොක්'

සායනයේ දොරට තට්ටු කරන හඬින් මම සිහින ලොවෙන් ඇද වැටුනෙමි.අද දවසේ පළමු රෝගියා ය.සායනය අරඹා වැඩි දවසක් නැති නිසාත් වැටුපක් ගෙවන්නට තරම් ආදායමක් නැති නිසාත් තවම මගේ සායනයේ දොර අරින්නට, බෙහෙත් ලබා දෙන්නට රෝගීන් නැත් වෙලාවට මුකුළු කර කර ඉන්නට සිඟිත්තියක් සොයා ගත්තේ නැත.එනිසා දොර අරින්නට මටම නැගිට යන්නට සිදු විය.

සෑහෙන්න අඳු රු වැටී ඇති බවත් ඒ මහා සීතල රාත්‍රියක් බවත් මට දැනුනේ එවිටය.අමුතු සීතලක් ඇඟ දවටා ගත්තේ මුළු ඇඟේම හිරිගඩු පිපෙද්දීය.ඈතින් නරියෙක් උඩු බුරන හඬත් සමඟ ඉස්සරහා ඇති නා ගහේ අතු අතරේ මොකෙක් හෝ දඟලන 'සර සර' සද්දයක් ද ඇහෙන්නට විය.අමුතු බියක් මා සිත වසා ගත්තත් පැමිණ සිටි රෝගියාට පැරසිටමෝල් කිහිපයක් දී රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චේතනාව ඊට වඩා ප්‍රභල වීම නිසා මම හිතට එඩිය ගෙන දොර ඇරියෙමි.

දොර අසල උස මිනිසෙකු කළු ලෝගුවක්ද පොරවාගෙන සිටගෙන සිටියේය.ලෝගුවේ කොලරය ඉහළට ඔසවලාය.අසරණයා හදිස්සියේ කෝට් එක දාගෙන එන්ඩ ඇත්තේ.මොකක් හරි අමාරු ලෙඩක් වෙන්ඩ ඇති යැයි සිතා ඔහු ඇමතීමට සැරසෙද්දීම වසර පහක් තිස්සේ රෝගීන් දෙස බලා ඔවුන්ගේ වත්කම් මෙන්ම රෝග ලක්ෂණද හඳුනා ගැනීමට පුරුදු පුහුණු කරන ලද මගේ දෙනෙතට ඔහුගේ මුහුණ හොඳින් දිස් විය.උස් වූ පාණ්ඩු පැහැති නළල, ඇතුලට ගිළුණු කම්මුල්, තියුණු දීප්තිමත් කළු පුළිඟු මෙන් වූ දෑස්, සෘජු දිගු නැහැය මෙන්ම සිහින් රතු තොල් මෙන්ම වරින් වර පිටතට පැමිණ තොල් තෙත් කරන දිගු දිව දුටු මට එක්වරම සිහියට ආවේ කාලයක් තිස්සේ කුඩු ගැහීමට ඇබ්බැහි වීම නිසා නිසි පෝෂණයක් නොලැබීමෙන් රක්තහීනතාවයෙන් පෙලෙන්නෙකු ය.නමුත් ඔහු මා වෙත හෙලූ සිනහවත් සමඟ දුටු සිහින් අසාමාන්‍ය ලෙස දිගු රදනක දත් යුවල නිසා මම වැරදි රෝග නිශ්චයකට යාම වැළකී ගියේය.




වැම්පයර්වරුන්ට නිවෙසකට ආරාධනා කළහොත් මිසක එයට ඇතුළු වීමට නොහැකි බව මම අසා ඇත්තෙමි.එසේනම් මේ වැම්පයරයාට මගේ සායනය තුලට පැමිණ මට හානි කිරීමේ හැකියාවක් නැත.නමුත් ඔහු ඇත්තටම පැමිණ ඇත්තේ අසනීපයකට ප්‍රථිකාරයක් ගැනීමට නම් මම හිපොක්‍රටිස්ට වූ පොරොන්දුව කැඩුවා වෙනවාය.ඊටත් වඩා රුපියල් තුන්සීයක් කඩා ගැනීමේ චාන්ස් එක ගිලිහී යනවාය.මගේ දෙගිඩියාව තත්පර කිහිපයකට වඩා පැවතියේ නැත.මම ඔහුට ඇතුලට එන්නට කීවෙමි.

මා බලාපොරොත්තු වූ පරිදිම ඔහු මගේ ඇඟට කඩා පැන මගේ බෙල්ලට දත් පහර ගසා මගේ ලේ උරා බීවේ නැත.ඒ වෙනුවට සුහදශීලී එමෙන්ම බයාදු සිනහවක් පාමින් ඔහු සායන‍යට ඇතුළු විය.

'ඩොක්ටර් මම පොඩ්ඩක් වාඩි වෙන්ඩද? හරි මහන්සියි ' කියමින් ඔහු පුටුව මතට ඇද වැටුනේය.

'ඔව් දැං මොකක්ද අසනීපේ?' මට බයට ගොත ගැසෙන්නට ආවද මම වෑයමින් එය වළක්වා ගතිමි.මම ඔහු අඳුනා ගත් බව දැන ගන්නට ඉඩ තියන්නට හොඳ නැත.එවිට මගේ බොටුව කඩා ලේ බීම කෙසේ වෙතත් සල්ලි නොදී යාමේ අවධානමක් ඇත.එයට මුහුණ දෙන්නට මම සූදානම් නැත.

'මගේ ඇඟේ ලේ නෑ ඩොක්ටර්. ඇඟට පණ නෑ.මාස ගානකිං ලේ ටිකක් ඇඟට වැටුනේ නෑ.' මගේ ඇස් මහත් වී කට වියලී ගියේය.

'ඒ ඒ කි..කිව්වේ...?'

'ඒ කිව්වේ ඩොක්ටර් මාස ගාණකිං ලේ ටිකක් බිව්වේ නෑ.දැං මේ පාං කියා ගන්ඩ බැරුව ඉන්නේ. මොකද ඩොක්ටර් බය වෙලා වගේ මම හිතුවේ ඩොක්ටර් මාව දැක්ක ගමං අඳුරගත්තා කියලා.'

මූ කොළේ වහලා ගහන්නේ නැත.මමත් බොරුවට නොදන්න බබා පාර්ට් දැමිල්ල නැවතිය යුතුය.

'හරි දැං මොකක්ද වෙන්ඩ ඕනේ? මට පේන විදිහටනං රක්තහීනතාව වගේ.මම එහෙනං යකඩ පෙති ටිකකුයි විටමින් ටිකකුයි ලියලා දෙන්නං.කෑම අරුචිය වගේ එහමත් තියෙනවද?' මම කොළයක් ගෙන ලියන්නට සූදානම් උනෙමි.

'යකඩ පෙතිවලට හරියන්නෑ ඩොක්ටර්.මම ට්‍රයි කරලා බැලුවා.අනිත් එක ඒවා මහ අප්පිරියා රහයිනේ.'

'එතකොට කෑම අරුචිය එහෙම තියෙනවද? ඒ කියන්නේ කෑම දැක්කම අප්පිරියා ගතියක් තියෙනවද? නැත්තං කෑම ගන්නකොට ඉක්මනට බඩ පිරෙන ගතියක් තියෙනවද?'

'කෑම අරුචියක් නෑ ඒ උනාට කෑම දැක්කම හිතට බයක් එනවා.මේකගෙං ලේ බීලා මොනවයින් මොනවා වෙයිද කියලා.'

'එතකොට ළඟදි බර එහෙම අඩු උනාද? ඒ කියන්නේ අඳින ඇඳුම් බුරුල් උනා වගේ දැනෙනවද?'

'බර කිලෝ හතකිං අඩු උනා.මේ කලිසම එල්ලං ඉන්නෙත් බෙල්ට් එකක් දාලා.අනේ ඩොක්ටර් මට ලේ බැංකුවෙං ලේ පැකට් එකක් ගන්ඩ ලියලා දෙන්ඩ.පිං සිද්ධ වෙයි.'

'ඉතිං ඔහේට ....මේ මොකක්ද මේ මහත්තයගේ නම කිව්වේ?'

'මගේ නම ඩ්‍රැකියුලා අනේ.'

'ඈ ඩ්‍රැකියුලා? ඩ්‍රැකියුලා ඉන්නේ රුමේනියාවේ නේද?මම හිතුවේ මේ මෙහේ එක්කෙනෙක් කියලා.ඔය රීරි යකා වගේ.'

'එහේ තමයි හිටියේ.ඒ පැත්තේ ලේ පොඩ්ඩක් කාරිය බීගෙන ඉන්න කොට තමයි මේ රට ආශ්චර්යයේ මොකක්ද එක කරන්ඩ යනවා කියලා ආරංචි උනේ.ඉතිං මම මෙහේ ආවා.ආවා වගේ නෙමයි දැං යන්ඩ බෑ.අතේ පිච්චියක් නෑ.මත්තලින් බැහැලා කොළඹට එනකොට පොකට් ගහලා මගේ සල්ලියි පාස් පොර්ට් එකයි ඔක්කොම ඉස්සුවා.අන්තිමට හිඟන්නෙක් වගේ පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ නිදාගෙන උදේ පාන්දරම ආව බස් කාරයෙක්ගේ ලේ ටිකක් බොන්ඩ කියලා අල්ලගෙන බැලුවා.මොන...... ඇඟේ ලේ කළඳක් නෑ.පපුවේ කිසි තෙතමනයක් නෑ.මොනවා කරන්ඩද?එහෙමම කරුවලේම එකසිය තුනක එල්ලිලා කනත්ත ගාවිං බැහැගත්තා.එදා ඉඳං මේ ලංකාව පුරාම එහේ මෙහේ ඇවිදිනවා.ලේ ටිකක් බී ගන්ඩ එකෙක් නෑ.ඉන්න උංගෙනුත් බොන්ඩ බයයි.'

'ඒ මොකද ඒ බොන්ඩ බය? අල්ලගෙන ගහයි කියලද? ඇත්ත තමයි අපේ රටේ මිනිස්සු හරි වීරෝධාර ජාතියක් නෙව.'

'බම්බුව තමයි.වීරෝධාර...පුඃ. මට බය උංගේ ලේවල මොනවා තියෙනවද කියලා.මුළිං මම ගියේ අනුරාධපුරේ පැත්තේ.හොඳ ආරිය සිංහල ලේ තියෙන පැත්තක්නේ කියලා.ඒත් නිව්ස් ඇහුවම මාව හීතල වෙලා ගියා.ඒ පැත්තේ උං ආසනික් තියෙන වතුර බීලා වකුගඩුවලටත් කෙළවං ඉන්න කොට මම කොහොමද හිතේ විශ්වාසෙකිං ලේ ටිකක් බොන්නේ.සුදු ලූනුවලටත් ඇලජික් මම ආසනික් ගැන එහෙම ලුහුඬෙට හිතන්ඩ ලෑස්ති නෑ.'

'ඉතිං වෙන පැතිවලට ගිහිං බැලුවේ නැද්ද?'

'මොකද නැත්තේ ඒත් රට පුරාම හැම තැනම කට්ටියට උණ.නිකං අහක යන නයි රෙද්ද අස්සේ දාගන්ඩ ඕනෙ නෑනේ.නිකං හරි ඩෙංගු වෛරස් එක බෝ වෙලා ඩෙංගු රක්තපාතයෙන් ලොව කුප්‍රකට ඩ්‍රැකියුලා මිය යයි කියලා කිව්වම වෑන් හෙල්සිංට උනත් ලැජ්ජා හිතෙනවනේ අප්පා.'

'ඇත්ත නේන්නං.ඉතිං ඔය උණ නැති උං හිටියෙම නැද්ද හොයාගන්ඩ?'

'මම ඉතිං වැඩිය පාරවල් දන්න එකක් යෑ.නොදැනම ඇවිල්ලා තිබ්බේ ගම්පහ පැත්තට.එකෙක් අල්ලගෙන බෙල්ල සර්ජිකල් ස්ප්‍රීට්වලිං එහෙම් පිහදාලා කෙළ පෙරාගෙන ගැහුවා දත් පාර. තුඃ විතරක් ඇඹුල් රහ.අප්පිරියාවේ බෑ.එයිට ටික දවසකට පස්සේ දන්නේ වතුරේ ඇසිඩ් කේස් එක.'

අපොයි අසරණයා...මට හිත යටින් කෙඳිරි ගෑවිනි.

'ඉතිං ලංකාවේ තවත් පැති තියෙනවනේ.ට්‍රයි කරලා බැලුවේ නැද්ද වෙන දිහෑවක්?'

'ඔය ඇසිඩ් කේස් එකෙං මම හොඳට මට්ටු උනා.එදා ඉඳං හොඳට පත්තරේ බලනවා.මොනවා හරි අවුලක් තියෙනවද කියලා.වෙලාවට එහෙම බැලුවේ.කිරිපිට එක්ක ඩීසීඩී කියලා වහ ජාතියක් එවලා කියලා දැනගත්ත වෙලේ ඉඳං ලේ බොන්ඩ පණ බයයි.ඇයි අප්පා අපිත් කියලා ඔය ලේ පොඩ්ඩක් බීලා ජීවත් වෙන අහිංසක වැම්පයර්ලා නේ.ලේ එක්ක මේ වහ බොන්ඩ පුළුවංයෑ.'

'ඉතිං ඔය කිරිපිටි නොබොන දියර කිරි බොන මිනිස්සුත් ඉන්නේ.'

'ඉන්නවා තමයි.ඒ උනාට උංගෙං සෑහෙන කට්ටියකට මටත් වඩා රක්තහීනතාව.මට දුක හිතෙනවා උංව දැක්කම.අනික දැං ගොඩක් උං ඉන්නේ ලේ රත් වෙච්ච ගමං මේ රට යන හැටි දැකලා.ඉතිං උංගේ ලේවල ඇඩ්‍රිනලීන්, කෝර්ටිසෝල් වගේ හෝමෝන හරීයට.බඩගිනියි කියලා මෙව්වා බිව්වහැක්යැ.'

'ඔබතුමා මේ ගැන මොනවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද? පිරිසිඳු ලේ ටිකක් ඉල්ලලා කොටුවේ ස්ටේෂම ඉස්සරහා උපවාසයක් කරානං හරිනේ.'

'පිස්සු කියවනවද ඩොක්ටර්.වතුර ඉල්ලලා පිකට් කළාම වෙඩි තියලා මරණ රටේ ලේ ඉල්ලලා පිකට් කළොත් මොනවා නොකරයිද?'

'හරි දැං මගෙං මොනවද කෙරෙන්ඩ ඕනේ?'

'අනේ ඩොක්ටර් ලංකාවට ගෙනාපු රුධිර පාරවිලයන සෙට්වලත් කොලිටිය අන්තිමයි කියලා පත්තරේක දැක්කා.එහෙම මොනවත් අවුල් නැති "එච් අයි වී" නැති හෙපටයිටිස් බී නැති මැලේරියා නැති පිරිසිඳු ලේ පැකට් දෙක තුනක් හොයලා දෙන්ඩ.නැත්තං ඇත්තමයි මැරෙන එක මැරෙනවා මෙතන.'


මගේ හද මඬල උණු වී ගියේය.මේ වැලහින්නක් වගේ අඬා වැටෙන්නේ ලෝක ප්‍රසිද්ධ ඩ්‍රැකියුලා නොවේද?මා ඉක්මනින් ක්‍රියා මාර්ගයක් නොගත්තොත් මේකා මෙතන මිය ගොස් ලෝකයේම දෝෂාරෝපන අපේ රටට එල්ල වීමට ඉඩ තිබේ.ඊටත් නවනීදන් පිල්ලේ පැමිණ සිටින මොහොතේ එවැන්නක් සිදු උවහොත් ලංකාවේ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවට ලක්ව රජතුමා ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙන යාමටද ඉඩ ඇත.එනිසා වහා දන්නා කියන ලොකු ලොකු තැනැත්තන් දෙතුන් දෙනෙක් අමතා පිරිසිඳු කරන ලද රුධිර පැකට් දහයක් වහාම ඩ්‍රැකියුලාට ලැබෙන්නට සැලැස්වීමි.ඉන්පසු ට්‍රෝලර් බෝට්ටුවක නංවා ඕස්ට්‍රේලියාවට පිටත් කළේ එවිට මගදී අසුවී පැපුවා නිව්ගිනියාවට පිටුවහල් කළ විට එතැන් සිට ඔහුට රුමේනියාවට යෑමේ මාර්ගයක් හොයා ගත හැකි නිසාය.



33 comments:

  1. හි හි.... ඇති වෙන්න හිනා උනා‌ බං... ඉඳලා ඉඳලා මාර ඒවා මෙයාටත් ලියවෙන්නෙ....

    ච්‍රැකියුලාවත් එන එකක් නෑ තමයි මේ යන හැටියට.... පොරට සුදු ළුණුත් අප්සට්නෙ.. මෙහෙ තියෙන ඒවට මොනවයින් මොනා වෙලා නැවතෙයිද දන් නෑ තමයි...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියුලලා නැති උනාට රීරි මාංසේ උරා බොන්ඩ ඇමති මණ්ඩලේකුයි සිරා රජ පවුලකුයි ඉන්නවා නොවැ.ඔක්කොටමත් වඩා ප්‍රාදේශීය ලොක්කො ටික.

      Delete
  2. හාහා ටොපේ ටොප්..මේ ජාතියේ එකක් කියවන්න ලැබුනාමයි.නියම ස්ටයිල් එකක්

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කිව්ව ඕං.

      Delete
  3. පව්, ඩ්‍රැකියුලා! කාලෙකින් කියවපු සිරා ම කතාවක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන ඩ්‍රැකියා මාව මරං කන්ඩ එයිද දන්නෑ..

      Delete
  4. නිර්මාණය නම් කියල වැඩක් නැ සුපිරිම තමයි. මරේ මරු. නෙලන්න ඕන හැම තැනටම නෙලල තියනවා සිරාවටම. හොද වෙලාවට මේ ඩිස්පැන්සරිය මේ කාලේම දැම්මේ. 87-89 කාලේ දැම්මනං ඔතෙන්ට මොක්කු එයිද කියන හිතාගන්නත් අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද ඉතිං ඇති වෙන්ඩ බණින්ඩ තැං තියෙන එකේ නෙළන්ට නොවැ තියෙන්නේ.
      87 කාලේ ඉපදෙන්ඩ පස්මහා බැලුම් බල බල හිටියේ.බලලා බලලා ඉපදුනා චාටර්ම රටක.

      Delete
  5. ෂුපිරි අහ්.. !

    වතුර බොනවට වැඩිය ලේ බොන එක හොදා කිව්වලු...

    ඇත්තටම දිනුක වෛද්‍යවරයෙක්ද??

    ReplyDelete
    Replies
    1. ඇත්තට අපිට බැරිද දන්නෑ වතුර චීනෙං ගෙන්නන්ඩ.ලොක්කට කියලා බලන්ඩ ඕනෑ.

      තාම වෛද්‍යවරයෙක් නෙමෙයි සෑමෝ.වෙන්ඩ ට්‍රයි කරනවා.අයහපත් කාළගුණ තත්ත්වයක් බලපෑවේ නැත්තං ලබන අවුරුද්ද වෙද්දි වගේ ඇහැක් වෙයි මං හිතන්නේ.

      Delete
  6. අනේ මටත් දුක හිතුනා මේ ඩ්‍රැකියුලා ගැන.

    දැන් ඔය දිස්පෙන්සරිය තියෙන්නේ කොහෙද? අපිටත් හදිසියට බෙගේත් ටිකක් ගන්න. දැන් ඉන්න දොස්තරලගෙන් බෙහ්ත් ගන්න බයයි දිනුක, උන් ඩ්‍රැකියුලාටත් වඩා භයානකයි.

    ReplyDelete
    Replies
    1. දිස්පැන්සරියනං දැනට තියෙන්නේ මගේ මනෝරාජික ලෝකේ.හොඳ දොස්තරලත් නැතුව නෙමෙයි නෙව.මොනවා උනත් දොස්තරලාත් මනුෂ්‍යයෝය නේ.බස් කොන්දොස්තරලා, ආණ්ඩුවේ කන්තෝරුවල ඇත්තෝ, පොලීසියේ අය වගේ ඒ ඇත්තොත් සල්ලිවලට ඕනේ දෙයක් කරනවා.

      Delete
    2. ඔබත් සමග එකඟයි දිනුක. බොහෝ හොඳ දොස්තරලා ඉන්නවා. මගේ පවුලේත් දෙදෙනෙක් ඉන්නවා. මගේ මිතුරන් කිහිපදෙනෙකුත් ඉන්නවා. ඔවුන් බොහොම හොඳ අය

      Delete
  7. තැන් ගොඩකට ගහන්න ලියපු එකක්නෙ බොලේ.මරු

    ReplyDelete
    Replies
    1. අපේ අප්පෝ උඹේ කොමෙන්ට් එකක් දැක්ක කල්.මොකෝ නෙට් කොනෙක්ෂන් එකේ ඩේටා ඉතුරුයිද?

      Delete
  8. මම ආසම ආරක ලියවිල්ලක්. මේ ආරට ලියන්න ප්‍රසිද්ධ අය කීප දෙනෙක්ම ඉන්නවා. නවාතැනේ රාජ්, චාමි වගේ අය. බොහොම සාර්ථකයි. දැන් නම් අනිවා දිගටම එනවා!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි බොලේ.එහෙනං මාත් පොරක් ඈ....!!!

      Delete
  9. ෆැන්ටාස්ටික්.. අනගිරත්න මතක් උනා..

    ReplyDelete
    Replies
    1. අනගිරත්න මහත්තයා ලියපුවා නං පට්ටයි අප්පා.මෙව්වා මොනවද?

      Delete
  10. මරු ලියවිල්ල...

    යකෝ මූ දොස්තර වෙන්ටත් කලින්ම පොල් කැඩිල්ල ගැනනේ හීන දකින්නේ.. :D

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි කිව්වලු.මාරයත් ඇවිල්ලනේ බොලේ.මේකනේ මාරයියේ දැං ඉතිං එකලාසයක් වෙන්ඩ හිතාගෙන කීයක් හරි හොයන්ඩ තමා බලන්නේ.

      Delete
  11. සුපිරි ලියවිල්ලක්.
    ඩ්‍රැකීල, වැම්පයර්ල මොකා ආවත් මෙහෙන් ආපහු යහතින්නං යන්න හම්බවෙන්නෙ නෑ. :D

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවද මෙහෙ ඉන්න ඩයල් එක්ක ඔය යක්කුන්ට හැරෙන්ඩවත් වෙන්නේ නෑ.

      Delete
  12. අනේ පවු අසරණයාව දියවන්නාවෙන් එගොඩ කලා නං හරිනෙ.. අනේ පවු අසරණයාව දියවන්නාවෙන් එගොඩ කලා නං හරිනෙ.. ඩ්‍රැකියගෙ බ්ලොගෙන් පැනලාඇවිත් තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තට එහෙට යැව්වනං ඩ්‍රැකියටත් අඩු ගාණේ බත් එකක්වත් කන්ඩ තිබ්බා.හැබැයි ඒකෙ ඉන්න උංගෙනුත් ලේ බොන්ඩ ඩ්‍රැකියා කැමති වෙයිද දන්නේ නෑ ඔය ඩයබිටීස් කොලෙස්ටරෝල් එක්ක.

      Delete
  13. වදින තැනකට වදින්න, රිදෙන තැනකට රිදෙන්න ලියලා තියෙනවා. සුබපැතුම් මිත්‍රයා. ඔය වගේ නිර්මාණාත්මකව ලියන්න හැම කෙනාටම බෑ. වෛද්‍යවරයෙක් වුනාට පස්සෙත් මේ ලිවීම නවත්තන්න එපා. කාලෝ ෆොන්සේකා, නන්දදාස කෝදාගොඩ පරපුරේ කෙනෙක් වෙන්න. ජය...!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මිත්‍රයා.ඩොකෙක් උනාට පස්සේ වෙලාව හොයාගන්න එක තමති ප්‍රශ්නේ.ඒත් බලමුකෝ..

      Delete
  14. කාලෙකට පස්සේ කියවපු සුපිරි ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි සිතූ...

      Delete
  15. බොහෝම අගේ ඇති නිර්මාණාත්මක පොස්ටුවක්, මේ ලිවිමේ විලාසය, ඉදිරිපත් කිරීම අපූරුයි. ගොඩාක් රසවින්ඳා.

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි ගල්මල්....මේ ආවමයි නේද මේ පැත්තේ??

      Delete
  16. එල එල .....
    හොඳට හිනා ගියා . හඃ හඃ
    බ්ලඩ් ඩොනේෂන් එකක් මතක් උනා . හැක හැක හැක

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...