30 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......2

මගේ හිතේ සහ ගතේ එක්ව ඇති මූසල මුස්පේන්තු ගතිය නිසා අපේ චාරිකා සටහනේ ඉතිරි කොටස පල කිරීමට පමා වීම ගැන කමාව අයදින අතරම මගේ චාරිකා සටහන බලා චාරිකාව යෑමට පිටත්ව එළමුල්ලේ අතරමංව සිටින්නන්ට ඉතිරි කොටස කියවා ගමන සම්පූර්ණ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.





කලින් ලිපියේ අපි කාපු තැනට එනකං කිව්වනේ.

සමරේ මාමා එක්ක කතා කරද්දී මාමගේ දකුණු අතේ ලොකුවට 'අහිංසක' කියලා පච්චයක් එහෙම නැත්තං පොෂ් විදිහට කියන ටැටූ එකක් ගහලා තියෙනවා දැක්කෙමු.අපි විස්තර අහන්ඩත් පෙර මාමාම පච්චය ගැන විස්තර කළේය.

'ඔය කොල්ලො කාලේ එන අදහස්නේ මේවා.පච්චේ ගහන්ඩ ගියේ 'අහිංසක පොඩි පුතා' කියලා.ඒත් අහිංසක කියන ටික ගහද්දි වේදනාවට මාව සිහිනැතුව වැටුනා.ඊට පස්සේ සිහිය ආවම 'අහිංසක' එක්ක විතරක් ගෙදර ආවා.'පොඩි පුතා' අමතක කෙරුවා.'


නැවත එළමුල්ල හන්දියට පැමිණි අපි බසයක් එනතුරු හන්දියේ කඩයට වී සිටියෙමු.රවිත් කඩයේ විකිණීමට තබා තිබූ රෝල්ස් ඉව කර බලා නැවුම් බව සහතික කර ගැනීමට එකක් කා බැලුවේය.අවසානයේ බසය පැමිණියේ එදින අපගේ ගමනාන්තය වූ මන්දාරම් නුවර ග්‍රාමයට අප රැගෙන යාමටය.

කඳු හෙල් ගිරි දුර්ග මැදින් බස් රියැදුරු මහතා අපවද රැගෙන බසය පදවාගෙන ගිය අයුරු මෙනෙහි කරන විට පවා ගතෙහි රෝම සෘජුව හිටගන්නේය.මෙම මාර්ගය අඩිකෝදු නොමැතිව කවකටුවෙන් පමණක් ඉංජිනේරු විද්‍යාව උගත්තවුන්ගේ නිර්මාණයක් දෝ හෝයි සිතෙන තරමට පාරේ ඇත්තේ වංගු විතරය.කෙසේ නමුත් වංගුවක් වංගුවක් පාසා අළුත්වන දෙපස දර්ශනයෙන් අපි කුල්මත්වන විටත් රවිත් හොඳ හැටි මත් වී සිටියේය.කෙසේ නමුත් අපට බස් රථයෙන් මන්දාරම් නුවර ග්‍රාමයටම යා ගත නොහැකි විය.ඒ 'මහින්ද චින්තන මග නැගුම' නම් වූ මුළු මහත් ශ්‍රී ලාංකීය ධරණී තලයම කාපට් අතුරා සකස් කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටතේ මන්දාරම් නුවරට යන මාර්ගය අළුත් වැඩියා කරමින් තිබූ නිසාය.එනිසා ගමට කිලෝමීටරයක් පමණ දුරකින් බසය නවත්වන ලදී.

බස් රථයේ පාපුවරුවේ සිට අපගේ පා පියුම් භූමිය සිපගනිද්දී එතෙක් වෙලා සිනා සෙමින් සිටි අහස කලු කරමින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය.අහසට සාප කරමින් බෑග් මලු හිස තබාගෙන හිස ප්‍රවේසම් කරගෙන අපි ගම කරා පයින්ම ඇදුනෙමු.පාර අලුත්වැඩියා කරන ස්ථානයට එපිටින් ත්‍රීරෝද රථ කීපයක් නවත්වා තිබුණු අතර මම එම තෙසක් රියකින් ගමන සම්පූර්ණ කිරීමට යෝජනා කොට සම්මත කළෙමි.නමුත් වර්ෂාවෙන් තෙමී දැනුනු සීතලයෙන් ගතේ ඇවිලුනු ලෙමන් ජින් දාහය නිවෙන බැවින් රවිත් පයින් යෑමට යෝජනා කළේ,
'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්.... රයිට්' කියාය.මම මුවින් නොබැන සිටියෙමි.

ගමට ඇත්තේ කිලෝමීටරයක් පමණක් බව කිව්වේ බසයේ අපත් සමඟ ආ ගමේ මිනිසුන්ය.මෙවන් පෙදෙස්වල කිලෝමීටරයද ඒ මිනිසුන්ගේ හිත වාගේම අපි දැකපුරුදු ඒවාට වඩා විශාලය.ඒ බව මම අත්දැකීමෙන් දන්නා නමුත් රවිත් සමඟ වාද කිරීමට බස ප්‍රමාණවත් නොවූ නිසා පයින්ම කඳු පාර දිගේ ඇදෙන්නට වීමි.

මීටර දෙසීයක් කන්ද නගින්නටත් පෙර රවිත් ත්‍රී රෝද රථයේ නොපැමිණීම ගැන මැසිවිලි නගන්නට විය.

'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්' කියා මම ඔහුව නිහඬ කළෙමි.අපි මන්දාරම් නුවරට එනවිට හොඳටම තෙමී සීතලෙන් කුපිත වී සිටියෙමු.කට්ටිය මොන විදිහේ පොර ටෝක් දුන්නද එහාට සිග්නල් ඇත්තේ ටීගෝ සහ එයාර්ටෙල් විතරය.අපි සිව් දෙනාගෙන් එකෙක් ළඟවත් එම ජාති නැති නිසා අකුවා ගමන කතිකා කරගත් මන්දාරම් නුවර රෝහලේ ඇම්බියුලන්ස් රථයේ රියැදුරු මහත්තයා සම්බන්ධ කරගත නොහැකිව ලත වෙන්නට වීමු.ඉන්පසු අකුවා රෝහලට තනිවම පයින් යන්නට වූයේ අපි හන්දියේ කඩයක අක්කලා දෙන්නෙක් එක්ක කුළුපග වෙන්නට වූ අතරේය.අපි කොච්චර ඒ දෙන්නා එක්ක කුළුපග වූවාද යත් එක අක්කා කෙනෙක් ඇගේ ඩුවෙල් සිම් ජංගමයෙන් එක් සිම් පතක් අපට එදිනට පාවිච්චි කිරීමට දුන්නාය.ඇයට පින් දී අපි කුස පුරවා ගන්නට සැරසුනෙමු.මෙවන් වූ සීතල සැන්දෑවක උණුසුම් ප්ලේන් ටී එකක පොඟවා ගෙන කන පාන් කෑල්ලක තියෙන අමෘත රසය දත් මම පාන් බාගයක් සහ ප්ලේන් ටී එකක් ගත් නමුත් රවිතාගේත් කසුනාගේත් සුහද සහයෝගය නිසා පාන් බාගයෙන් හතරෙන් එකක් පමණ කා සෑහීමකට පත් වීමි.රවිත් කඩේ තිබූ එළවලු රොටී, වඩේ ආදී වූ සෑම ආහාරයකම සාම්පලය බැගින් රස බලා මගේ පාන් කෑල්ලටද කෙළවා නිහඬ විය.

අතර මගදී හම්බවෙච්ච උඩවැඩියා මලක්


මේ අතර අකුවා නැවත පැමිණියේ අපට රෝහලට ඒමට ආරාධනා ලැබුණු බව කියන සතුටුදායක ආරංචියත් සමඟය.කඩේ අක්කලා දෙන්නා අපි ඌට හොරෙන් ටී බිවූ බව කියලා ඌට කිරි තේ එකක් විකිණීමට සමත් වූවෝය.පොඩි එකෙක් නෑවීමට උවද තරම් වන වීදුරුවකට දමා දුන් කිරි තේ එකෙන් අකුවාගේ මූණ වැසී යනු දුටු කසුනාටද කිරි තේ ඕනෑ විය.උන් දෙන්නාගේ කිරි තේවලට රවිතුත් මාත් සම්මාදං වීමෙන් පසු සභාතොමෝ බිල ගෙවා පාරට බටහ.කෙසේ හෝ අවසානයේ මන්දාරම් නුවර රෝහලට පිවිසියෙමු.රෝහලක් කීවාට එය මාතෲ නිවාසයකි.එයිට අමතරව බාහිර රෝගී අංශය පැය විසිහතරේම ක්‍රියාත්මකය.පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන වෛද්‍යවරයා ප්‍රතිකාර ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ උවද අවදි කරවා ගත හැක.

වෛද්‍ය නිල නිවස සහ බාහිර රෝගී අංශය පිහිටා ඇති සුද්දන් හැදූ ගොඩනැගිල්ල

වෛද්‍යතුමා ගානේ යෝගට් රස බැලූ අපි ඔහුගේත් එම්බියුලන්ස් රියදුරු මහතාගේත් ආරාධනය පරිදි රෝහලේ නතර වෙන්නට තීරණය කළෙමු.ඔවුන් අපට යෝජනා කළේ රෝහලේ ගොඩනැගිල්ලක නතර වන ලෙසය.නමුත් අපි එම යෝජනාව සුහදව ප්‍රතික්ෂේප කළෙමු.මාගේ කූඩාරම ගෙනාවේ කොළඹ සිට උස්සාගෙනය.එසේ වැර වෑයමින් ගෙනා කූඩාරම පසෙක ලා අවස්ථාවාදී ලෙස රෝහල තුල ඇඳක සුව සොයා යාමට තරම් අපි කෲර නොවීමු.එනිසා රෝහලේ කුස්සියේ සහ නාන කාමරයේ පහසුවද ලැබෙන සේ කූඩාරම රෝහල් මිදුලේ ඇටවීමට අපි තීරණය කර ගතිමු.

මගේ කූඩාරම
 (මෙහෙම හිටියට හිසට සෙවනක් තියෙන කොල්ලෙක් හරිය!!)

කූඩාරම යන්තං අටවා ගත්තද ඒක ඇතුලේ හතර දෙනෙක් කෙසේ වෙතත් තුන් දෙනෙක්ට සහ රවිත්ට ඉන්ඩනම් කොහොමවත් ඉඩ නොමැති බව අපට මනාව පසක් විය.ඇත්තෙන්ම එය නිර්මාණය කොට ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන් දෙදෙනෙකුට බව නිර්මාපකයෝ කියා ඇත.කෙසේ නමුත් ප්‍රමුඛම ගැටළුව නින්ද නොව කුසගින්න නිසා අපි කුඩාරම මදකට අමතක කොට ඇම්බියුලන්ස් රියැදුරු මහතා සමඟ ඔහුගේ නිල නිවසට ගොඩ වැදුනෙමු.ඔහුගෙන් ලද බිස්කට් කෙසෙල් සහ කහට තේ කිරිටොෆී හා එක්ව අපේ කුසගින්න උත්තේජනය කෙරුවා පමණය.එනිසා අපි ඔහුට ස්තූති කොට නැවත රෝහල් කුස්සියට ඇදුනේ නූඩ්ල්ස් ටික සාදා ගැනීමටය.

උණු උණු මැගී නූඩ්ල්ස් රස බැලීමේ චේතනාවෙන් කුස්සි ගත වූ අපි ඇලුමිනියම් රාස්පානට වතුර පුරවා ලිප තැබීමු.ඉන්පසු යෝධ මැගී පැකට්ටුව කඩා නූඩ්ල්ස් රත් වූ වතුරට එක් කොට රසකාරක පැකැට්ටුව සොයන්නට වීමු.අහෝ ඛේදයකි!! නූඩ්ල්ස් පැකැට්ටුවේ රසකාරකය නැත.අපි භීතියට පත්ව කිසිවක් කරකියාගත නොහැකිව උඩ බිම බැලීමු.මැගී කොම්පැනියට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාක්ච්ඡා කළෙමු.මැගී ගන්නට යෝජනා කළ උන් සහ මැගී ගත්තවුන් එකිනෙකාට රවා ගත්තෙමු.එයින් සෑහීමකට පත් වූ පසු අපි නැගිට් මීට විකල්ප සොයන්නට පටන් ගත්තෙමු.මේ අතර මම කැඩූ මැගී පැකැට්ටුවේ පිටත පැහැදිලිව සටහන් කර තිබූ 'රසකාරක පැකැට්ටුව අඩංගු නැත' යන වැකිය සොයා ගතිමි.එයින් අපි තරමක් සැහැල්ලු වීමු.දැන් මැගී කොම්පැනියට විරුද්ධව නඩු දැමිය යුතු නැත.

රවිත් කසුන් සමඟ ගියේ ඇම්බියුලන්ස් රියැදුරු මහතාගේ නිවසින් තුනපහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක් රැගෙන ඒමටය.මේ අතර මමත් අකුවාත් කුස්සිය පෙරලා ලුණු භාජනයකුත් සෝයා පැකැට්ටුවක එන රසකාරක පැකැට්ටුවකුත් සොයා ගතිමු.සෝයා පැකැට්ටුවේ ආ රසකාරක පැකැට්ටුව කල් ඉකුත් වූ එකක් දැ‍යි අපි දැන සිටියේ නැත.නමුත් එය කල් ඉකුත් නොවූ එකක් බව අපි දැන් දනිමු.චෙෆ් රවිත් මහතා මිරිස්කුඩු, තුනපහ කුඩු, ලුණු සහ සෝයා පැකැට්ටුවේ රසකාරකය දමා එම නූඩ්ල්ස් ටික කෑ හැකි මට්ටමට පත් කළේය.ඒ අතර ඔහුගේ කුඩා මොළයේ ජනිත වූ නව අදහසක් ක්‍රියාත්මක කිරීමටද ඔහු පසුබට නොවීය.ඒ මෙසේ නව රසකාරක හා එක් කළ නූඩ්ල්ස්වලට මංචි කුමේ බිස්කට් එකතු කොට බැලීමය.කුඩා කෑලිවලට කඩා එක්කළ බිස්කට් නූඩ්ල්ස්වලට නව ජවයක් එක් කිරීමට සමත් විය.රවි කෙදිනක හෝ වෛද්‍යවරයෙකු ලෙස පිටවී ගල්කිස්ස හෝටලයේ පත්වීමක් ලබා පබිලිස් මහතාව උපහාසයට ලක්කරන ආකාරය සිහින මවමින් අපි 'කුමේ සෝයා නූඩ්ල්ස්' කෑවෙමු.

කුමේ සෝයා නූඩ්ල්ස්



වීරවික්‍රමාන්විත සිදුවීම් බහුල අපගේ වීර චාරිකාවේ තවත් ලොමුදැහැගැන්වෙන කොටසක් බලාපොරොත්තු වන්න....

20 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......

මන්දාරම් නුවරට ඉර බහින්නේ මෙහෙමයි


ඔන්න වල් රජාත් යන යන තැං ගැන චාරිකා සටහන් දාන හින්දා මටත් හිතුනා ඔන්න චාරිකා සටහනක් ලියන්ඩ.හැබැයි සිරි ලංකාව ගැන මගේ බූගෝලීය දැනුම අන්තිම ඉහල නිසා කවුරු හරි එහෙ යන්ඩ හිතනවානං මෙන්න මේ ලින්කුවෙන් යන විදිහ බලාගන්ඩ හොඳේ.....

ඔන්න කට්ටියට කියන්ඩ මේ ගමන යන එක ඔක්කොම ප්ලෑන් කළේ අපේ අකූ තමයි.අපරාදේ කියන්ඩ බෑ මං තරංවත් පරිගණක දැනුමක් නැති මූ ජංජාලේ කරක් ගහලා මේ වගේ අහුමුළුවලට යන්ඩ තියෙන චාරිකා ගැන හොයාගන්ඩනං දන්නවා.


අපි ගමන පටං ගත්තේ මහ රෑ 11.45ට විතර.ගමන යන්ඩ සෙට් උනේ අති උත්තම මමයි, අකුවයි, රවිත් සහෝදරයයි, ගමන යන්ඩ විනාඩි දහයක් විතර තියෙද්දේ නින්දෙං නැගිටලා ගමන යන්ඩ සෙට් වෙච්ච මගේ රූමා හෙවත් කසුනුයි.ඒ කියන්නේ හරියටම හතරයි.ආයේ මොනවද ඉතිං ෆැන්ටෑස්ටික් ෆෝ වගේ තමයි.අපි පාන්දර 3 විතර වෙද්දි නුවරට ආවෙමුය.ඊට පස්සේ පදියපැලැල්ලට යන්ඩ බස් එකක් දියත් කරනකං එහේ මෙහේ ඇවිදිමිං කල් මැරුවෙමු.අපේ රවිත් කාරයා බණ්ඩිය පුරවන්ඩ පටං ගත්තේ මේ වෙලාවේ ඉඳලාය.ලිපිය පුරාම මූ කාපුවා ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා දැම්ම කොළයක් අරගෙන මූ කාපුවා ගැන සටහනක් තියාගන්ඩ පටං ගත්තාට කමක් නැත.කෙසේ වෙතත් අවේලාවේ හින්දා කිරිර් තේ එකකින් පමණක් ඌ සෑහීමකට පත් උනේය.ඒ නිසා අපිට වෙලාවට බස් එකට නැගගන්ඩ හැකි විය.බස් එකට නැග්ග වෙලාවේ ඉඳලා නිදා ගත්තු නිසා පදියපැලැල්ලට එනකං ගමන් විස්තරයක් කියන්ඩ මම දන්නේ නැත.

පදියපැලැල්ලට ආ පසු අපේ ගමනට අවශ්‍ය කරන කළමනා කීපයක් මිළදී ගැනීමට කටයුතු කළෙමු.අපි මිළදී ගත් දෑ අතර හැන්දක්, ගෑරුප්පුවක්, පොඩි පිහියක්, තරමක ඇළුමිනියම් භාජනයක් (පියන සහිත ), මැගී නූඩ්ල්ස් ලොකු පැකට් එකක් සහ පොඩි පැකට් එකක් (පොඩි පැකට් එක ගත්තේ රවිත් අපට නූඩ්ල්ස් ලොකු පැකට් එක මදි වේ යැයි සැක කළ නිසාය.ඒ ගැන දෙවියන්ට ස්තූති වේවා! ), සබන් කෑල්ලක්(ඇඟේ උලන එකකි ), ටූත්පේස්ට් එකක් විය.

මේ අතර රවිත් සහ කසුන් 'බියර්' නැමැති මිනිසුන්ගේ නාමකරණය යටතේ එන අමෘත පානය මිළදී ගැනීමට ගොස් අපේක්ෂාභංගත්වයට පත්ව නැවත ආවෝය.බාර් එක අරින්නේ නමයට බවත් බස් එක ඊට කළිං පිටත් වන බවත් ඔවුහු මහත් ශෝකභරිතව මටත් අකුවාටත් කීවෝය.කවුරුන් හෝ ඔවුන්ගේ කතාව නැසෙන මානයේ සිට බලා සිටියානම් හිතෙන්නේ උං දෙන්නාගේ ළඟම හිතවතෙක් මියගිය ආරංචිය මේ දැං උන්ට ලැබුණු බවත් මමත් අකුවාත් උන් දෙන්නාව සනසන බවත්ය.

පදියපැලැල්ලෙන් අපි මන්දාරම් නුවර බලා යන බසයට නැගුනෙමු.මේ අතර අපි නූඩ්ල්ස් මිළදී ගත් කඩයේ මුදලාලි මහතාවද ආදරයෙන් මතක් කළ යුතුය.අපි තරුණයන් වීම සහ නූඩ්ල්ස් මිළදී ගැනීම නිසා අපි ඔහුගේ සැකයට භාජනය වීමු.දිගින් දිගට ඇසූ හරස් ප්‍රශ්න හමුවේ නොසැලී පිළිතුරු දුන් අපි ඔහු කෙරේ ආවේගශීලී නොවී බයාදු ලෙස පිළිතුරු දුන්නේ ඔහු සී.අයි.ඩී. කාරයෙකු වීමේ ඇති ඉහළ සම්භාවිතාව නිසාය.(ඒ ඇසූ විදිහට හරස් ප්‍රශ්න අහන්ඩ සාමාන්‍ය මනුස්සයෙකුට බැරිය.)

බසයෙන් අපේ ගමනාන්තයටම යා හැකි උනත් අකූ ජාලයෙන් හොයාගත් ගමන් විස්තරයට අනුව පැරණි චාරිකා කරුවන් එළමුල්ල ග්‍රාමයෙන් බැස එහි ඇති දිය ඇලි කීපයක්ද නරඹා තිබුණු බැවින් එකී පුරාණ සම්ප්‍රධායන්ට ගරු කරනු වස් අපිදු එළමුල්ලෙන් බැස ගතිමු.

එළමුල්ලේදී රවිත්ලාගේ අපේක්ෂා මස්තකප්‍රාප්ත කරමින් බාර් එකක් ඇරලා තිබ්බේය.අකුවාත් මමත් දියඇළි වෙත යන ගමන් විස්තරය අසාගන්නා අතරේ අරුන් දෙන්නා බාරයට රිංගා ගත්තෝය.ඉන්පසු බාර් එකකදී කතා කරන ඒ ජාත්‍යන්තර භාශාව වන 'කසුකුසු' භාශාවෙන් කතිකා කොටගෙන බෝතලයක් ඔතාගෙන ආවෝය.ඔය අතරේ එතන හිටපු මාමා කෙනෙක් අපිට දිය ඇල්ලට මග පෙන්වන්නට සෙට් උනේය.ඔහුගෙන් අසාගත් විස්තරයට අනුව අකුවා බලන්නට හිතාගෙන සිටි 'කබරගල ඇල්ල'ට පයින් යන්නට සෑහෙන වෙලාවක් යන බවත් තෙසක් රියකින් හෙවත් ත්‍රීරෝද රථයකින් යන්නට රුපියල් 1200ක් වත් ඕනෑ බවත් දැනගත් අපි කබරගල ඇල්ල සිහින අතරට එක් කළෙමු.ත්‍රීරෝද රථයේ ගාස්තුව කෙසේ වෙතත් ත්‍රීවීල් වලට ලොරි පටවන්නට බැරි බව භෞතික විද්‍යාව සුළු වශයෙන් දත් අපට හොඳින් තේරේ.එනිසා රවිත් නොමැතිව ආ දිනක කබරගල ඇල්ල බැලීමට අපි ඉටා ගතිමු.ඉන්පසු අපට මග පෙන්වීමට එකඟ වූ සමරේ මාමා හෙවත් රාජනායක හෙවත් 'රජ්ජුරු සමරේ' පෙරටු කොට ගෙන අපි මහේශාක්‍ය ලීලාවෙන් 'ඇතිනිවල' ඇල්ල බැලීමට ගියෙමු.පෙර කල අගනුවරට ඈත ප්‍රදේශවල කරන ලද මහා පරිමාණ ව්‍යාපෘතියක් අතරතුර ඒ ව්‍යාපෘතියක වැඩ කළ අලියෙකු මේ ඇල්ල පහලට වැටීම නිසා මේ ඇල්ල ඒ නමින් හඳුන්වන බව සමරේ මාමා අප සමඟ පැවසීය.





මේ තියෙන්නේ අපි නාපු කලු පාලමේ ඇල්ල

ඇතිනිවල ඇල්ල බැලීමෙන් පසු අපි තවත් ඇල්ලක් බැලීමට පිටත් වීමු.ඒක එච්චර ලොකු එකක් නොවුනත් නාන්න හොඳ තැනක් බව සමරේ මාමා කිවූ නිසා අපි කලු පාලම් ඇල්ල නම් ඒ ඇල්ල බලා පිටත් උනෙමු.මේ යන අතර තුරේදී අපිට තවත් එක්කෙනෙක් සෙට් උනේය.ඇඟ පුරාම පච්ච කොටා කනත් ඇහි බැමත් විද කරාබු දා සිටි මේ මහත්මයා සෑහෙන ලොකු බඩු පෙට්ටියක් කරේ තියාගෙන අපි යන පාරේම ගිය නිසා ඔහුත් අප හා කතාබහ කොට කුළුපග වීය.අවාසනාවට සහ මගේ තීක්ෂණ මතක ශක්තියට පින් සිද්ද වෙන්නට මට ඔහුගේ නම නම් මතක නැත.මේ අතරේ තව පොඩ්ඩෙන් වැදගත් දෙයක් කියන්ඩ අමතක වෙනවාය.ඇතිනිවල ඇල්ල බලා ආපසු එන විට රවිත්ලා 'රා' බෝතලයක් ද මිළදී ගත්තෝය.

අපි ඇල්ලට විත් එය බලා සැනහී එය විඳ ගැනීමේ චේතනාවෙන් ඇල්ල පාමුල ජලාශයට බැස්සෙමු.මේ අතර රවිත් සමරේ මාමාත් අතර මගදී හමුවූ අලුත් මිතුරාත් සමඟ මධුවිත හිස් කිරීමේ නිරත වීය.පසුව අප දැනගත් පරිදි සමරේ මාමා එක් වතාවකුත් අලුත් මිතුරා එක් වතාවකුත් පමණක් මදුවිත ගෙන ඇති අතර රා බෝතලයේ ඉතිරි සියල්ලත් ලෙමන් ජින් බෝතලයේ තුනෙන් එකක් පමණත් හිස් කොට ඇත්තේ රවිත් තනිවමය.අපි නෑමෙන් පසු එළමුල්ල හන්දියේ කඩයෙන් ගෙනා බත් මුල් රස වින්දෙමු.

මතු සම්බන්ධයි......

16 May 2013

ආනන්දේ කතාවක්



මේ දවස්වල නිවාඩු හින්දා ටිකක් දවල් වෙනකං නිදාගන්නවා.අපරාදේ කියන්ඩ බෑ උදේ එකොළහට නැගිටින්ඩත් එලාර්ම් එක තියන්ඩ ඕනේ.නැත්තං දොළහෙන් මෙහා ඇහැරෙන්නේ නෑ.ඔන්න අද උදේ (12.40ට ) ඇහැරෙනකොටම මට මේ අපේ අයියා කෙනෙක් කියපු කතාවක් මතක් උනා.ඇයි ඒ කතාවම මතක් උනේ කියන්ඩ මම දන්නේ නෑ.ඒක මතක් වෙන්ඩ කිසිම හේතුවකුත් නෑ.ඔන්නොහේ මතක් වෙච්ච එකේ බ්ලොගේ කොටලා දාන්ඩ හිතුවා.

කට්ටිය දන්නවනේ 'ආනන්දෙ තමයි ඉස්කෝලේ' කියලා.දන්නෑ කියලානං කියන්ඩ එපා ඕං ඈ.දන්නෙම නැත්තං කකාගෙං අහලා බලන්ඩකෝ ඈ.



ඔන්න ඉතිං මේ ආනන්දේ ස්වර්ණමය යුගය වෙච්ච අසූව දශකයේ හිටපු වී. ඇස්. කුඩලිගම විදුහල්පතිතුමාගේ රාජ්‍ය කාලේ.ඒ දවස්වල ඔය දැං වගේ විදුහල්පති එළවන්ඩ කියලා පිකට් කිරිලිවත් ළමයි ඉස්කෝලෙට ගන්ඩ කියලා සල්ලි ගැහිලි ගැණ කතාවත් තිබිලා නෑ.විදුහල්පතිතුමා ඒ කියන්නේ කුඩලිගම මහත්තයා බොහොම දැහැමෙන් සෙමෙන් අයෝමය හස්තයෙන් ආනන්දේ කටයුතු කරගෙන ගියා කියලා තමයි කියන්නේ.ඔය කාලෙට ආනන්දේ ස්වර්ණමය යුගය කියන්නේ ආධ්‍යාපනික ජයග්‍රහන වගේම ක්‍රීඩා ඇතුළු විශය බාහිර කටයුතුවලත් ජයග්‍රහන බොහොමයක් ආනන්දේ සතුකරගත්තු කාලයක් වීම නිසා.ඒකට දැං නේද? ටීවී එකේ පත්තරේ ආනන්දේ ගැන හෝ ඒකේ මොනම හෝ ජයග්‍රහනයක් ගැන මොකක්වත් පලවෙච්ච කාලයක් මතක නෑ නේ.

ඔය ළඟදි උ\පෙ කරපු අයට මතක ඇතිනේ උ\පෙ පන්තිවලදි එක විශයකට එක ළඟ කාල පරිච්ඡේද දෙක ගානේ නේ තියෙන්නේ.(ඔය එකදාස් නමසිය බර ගණංවල උ\පෙ කරපු අයට මේවා මතක නැතුව ඇති මං හිතන්නේ) ඉතිං මේ කුඩලිගම මහත්තයා උ\පෙ පන්තිවල ළමයින්ට සහනයක් විදිහට පුංචි නීතියක් ගෙනාවලු ඔය විවේක කාලයෙන් පස්සේ තියෙන කාලපරිච්ඡේද දෙක හෝ හතර කෙරෙන්නැත්තං ඒ නොකෙරෙන බව සහ ඒක නොකෙරෙන හේතුව ලියලා ලියුමක් අංශ ප්‍රධාන මහත්තයාගේ අත්සන සහ සීල් එක සහිතව ගේට්ටුවේ සිකුරිටි මහත්තයට දීලා පන්තියෙන් යන්ඩ පුළුවං කියලා.ඒ වගේම යන ළමයින්ගේ නම් ටිකත් ලියන්ඩ ඕනේ.මේක ඉතිං පනින රිලවුන්ට ඉනිමං බැඳිල්ල කෙසේවෙතත් ගුවන් පාළං දාලා දුන්නා වගේ වැඩක් කියලා කියන්ඩ එපායෑ.

ඒ දවස්වල සිකුරිටි මහත්තයා ඔය රක්නා ලංකා එකේ වගේ ජැන්ඩියට ඇඳලා ටයි දාලා ඉඳලා නෑ.නිකං සරමක් ඇඳගත්තු මෝඩපහේ වයසක මිනිස්සු දෙන්නෙක් ඉඳලා තියෙන්නේ.ඉතිං ඔන්න කොල්ලො සෙට් එක එකතුවෙලා ලියුමක් ලියනවලු ඉංග්‍රීසියෙන් (අපිටවගේ නෙමෙයි, ඒ කාලේ උංට ඉංගිරිස් ඉටිකිරිස් වගේ පුළුවංලු ඈ ).ලියලා යන කොල්ලෝ සෙට් එකේ නම් ටිකත් ලියනවලු ඉංගිරිස්වලින්ම.


ඊට පස්සේ ඔය කවදත් හිටපු හොර අත්සන්කාරයෙක් ගහනවලු අංශ ප්‍රධානතුමාගේ අත්සන.තව එකෙක් ලියුම අරගෙන අංශ ප්‍රධානතුමාගේ කාර්යාලයට ගිහිල්ලා එහේ මෙහේ පොඩ්ඩක් කැරකිලා කවුරුත් අහක බලනකං ඉඳලා සුටුස් ගාලා සීල් එක ගහගෙන එනවලු.ඉතිං සියලු කළමනා සම්පූර්ණ උනාට පස්සේ කට්ටියම ලියුම සිකුරිටි මහත්තයට දීලා විජිතපුර ජයගත්තු සෙට් එක වගේ ජයග්‍රහණයෙන් ඔද වැඩිලා මොකක් හරි කලින් ප්ලෑන් කරපු කුපාඩි වැඩකට සෙට් වෙන්ඩ යනවලු.

ඔහොම කීප දවසක් කළාට පස්සේ දවසක් කුඩලිගම මහත්තයා ආවලු මුංගේ පන්තියට.ඇවිල්ලා කියනවලු

 'මේ පන්තියේ කාණ්ඩයක් හැමදාම දවල් ෆ්‍රී කියලා ගේට්ටුවට ලියුමක් දීලා පැනලා යනවා.ඒ උනාට කවදාවත් ඒවා ෆ්‍රී වෙලාවල් නෙමෙයි.'

විදුහල්පතිතුමා මෙහෙම කියද්දි ඔය පන්තියේ ඉන්න අල සෙට් එකේ උන් දැං කින්ඩියට හිනා වෙනවලු අරුන් ටිකට.අල උං අරුන් දිහා සෝපහාසී විදිහට බලන්නේ 'අපි උඹලට කිව්වනේ පනින්නැතුව ඉගෙනගනිල්ලා කියලා.අම්මලා තාත්තලගේ සල්ලි නැති නාස්ති කරලා පිස්සු කෙළින්ඩ ගියාට හොඳ වැඩේ.අද හම්බුවෙයිනේ උඹලට හුහ්' (මේ සම්පූර්ණ අදහසම පේන විදිහට අරුංගේ මූණ බැලුවේ කොහොමද කියලා මම දන්නෑ ඕං.ඒකට තමයි කියන්න්නේ සාත්වික අභිනය කියලා ඈ )

ඔන්න කුඩලිගම මහත්තයා සාක්කුවෙන් ගත්තලු අරුං ගේට්ටුවේ සිකුරිටි මහත්තයට දීලා ගිය ලියුම් මිටියක්.

'මේ බලනවා පැනලා ගිය උං ටික'  කියලා කුඩලිගම මහත්තයා දැං ලියුමේ තියෙන නම් ලිස්ට් එක කියවනවලු.

'ජේ.ආර්. ජයවර්ධන, විජය කුමාරතුංග, එස්.ඩබ්ලිවු.ආර්.ඩී. බණ්ඩාරනායක, .................................(මෙහෙම බොහොම ප්‍රසිද්ධ නම් ලිස්ට් එකක්ම කියවගෙන ගිහිල්ලා අන්තිමට කියනවලු )

මේ බලනවා අයිසේ මාත් මුං එක්ක පැනලා ගිහිල්ලනේ..... වී.එස්. කුඩලිගම '




13 May 2013

විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා.....


තවත් විභාගයක් ඉවරය.විභාගෙට සර්පයෝ දෙන්නෙක් තියලා තිබ්බේය.මට එකෙක්වත් අඳුරගන්ඩ බැරි විය.කුණකටුවාගේ නහය පොඩ්ඩක් ඉස්සිලා තියෙනවාය.හිටපු එකාගේ නහය ටිකක් ඉදිමිලා තිබ්බ නිසා මම ඌ කුණකටුවා යැයි ලිව්වත් පස්සේ ඒකා තිත් පොළඟා යැයි දැන ගත්තෙමි.ඒකා වීදුරුවට ගහලා නහය ඉදිමිලා වෙන්ඩ ඇතිය තිබ්බේ.කරන්ඩ දෙයක් නැත.අනිත් එකානං දැකලාම නැත.ඒකා විස නැති එකෙක්ලුය.සර්පයෙක් දැක්කාම මේකා විස ඇති එකෙක්ද නැති එකෙක්ද කියලා මිනිස්සු හොය හොයා ඉන්නේ නැත.හොඳ අමු පොල්පිත්තකින් අභාවප්‍රාප්ත කර පස්සේ කෝටු කෑල්ලක් ගෙන පශ්චාත් මරණ පරීක්ෂණය කරනවාය.මේ මරණ පරීක්ෂණයට අහල පහල සියල්ලෝද එකතු වෙති.එක එකා කියන්නේ එක එක නම්ය.වෙලාවට සර්පයින්ට සොහොන් කොත් හදන්නේ නැත,නැත්තං යෝජනා කරා ඔක්කෝම නම් ටික ලියන්ඩ ලොකු සොහොන් ඵලකයක් ඕනෑ වෙනවාය.කෙසේ නමුත් අන්තිමට ගමේ වයෝවෘධ සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක් ඇවිත් අවසාන නිගමනය දෙනවාය.

'අහරකුක්කෙක් බොලව්!!! අහිංසක සත්තු මරන්ඩ කළිං පොඩ්ඩක් හොයලා බලන්ඩ එපාද?'

එහෙම කිව්වාට ඒකා අහරකුක්කෙක් නොවී පොළඟෙක් උනානම් සහ ඒකා කාට හෝ දෂ්ඨ කළානං ඒ නාකි කටිං ම  මෙහෙම කියනවාය.

'පොළඟෙක්නෙව යකුනේ.උඹලා මූව දැක්ක ගමං මරන්නැතුව අහවල් එකක් කොළාද?'

ලංකාවේ උඝ්‍ර විෂ ඇති සර්පයෝ ඉන්නේ හයක් විතරය.

1. නයා


2.තෙල් කරවලා



3.මුදු කරවලා



4.තිත් පොළඟා



5.වැලි පොළඟා


6.කුණකටුවා



මීට අමතරව පළා පොළඟා, මාපිලා වගේ උන් මඳ විෂ සහිත උන්ය.මුහුදු සර්පයෝ ගොඩක් උන් උඝ්‍ර විෂ උන්ය.නමුත් අපි බොහෝ දෙනෙක් පුරුද්දක් විදිහට මුහුදු යන්නේ නැති නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැත.අනික මුහුදේ ඉන්න වෙලාවක ඒකෙක් කෑවොත් විෂට කෙසේ වෙතත් මුහුදේ ගිලිලා මැරෙන නිසා කොහොමත් කතා කරලා වැඩක් නැත.


සර්පයෙක් කෑවාම මොකද කරන්නේ කියලා බලන්ඩ කළිං සර්ප දෂ්ඨනවලින් ගැලවිලා ඉන්නේ කොහොමද කියලා බලමු.අංක එක සර්පයෙක් දැක්කොත් සෙල්ලං කරන්ඩ යන්ඩ එපා.මොකද අපේ කට්ටිය දැං නයි නළඟන කරන විදිහට නයි සුරතල් කරන්ඩයි නයියා නටවන්ඩයි ගිහිල්ලා නිකං අපරාදේ නයි විෂ ශරීරගත කරගෙන ස්වර්ගස්ථ වෙන්ඩ ඉඩ තියෙනවානේ.කොටිංම කිව්වොත් අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.ඊළඟට ගෙදර ඉස්සරහා පැත්ත අස්පස් කරනවා වගේම කුස්සිය පැත්ත පිළිකන්න පැත්ත අස්පස් කරලා තියාගන්නවානං ඔය කුණුගොඩවල් අස්සේ රිංගං ඉන්න කුණකටුවෝ එහෙම බෝ වෙන්නේ නෑ.

අනික තමයි රෑට, ගොම්මං වෙලාවට එළිමහනේ යන එනකොට මොකක් හරි හොඳ එළියක් අරගෙන යන්ඩ.අනික තමයි ඔය මොකක් හරි පොඩි අතු කෑල්ලක් අරගෙන බිමට ගගහා සද්ද කර කර ගියොත් ඔය සර්පයෝ ගොඩක් උන් මග ඇරලා යන්ඩ යනවා.ඔය පරණ තරහා කාරයෙක් වගේ හිටියොත් ඇරෙන්ඩ ඉතිං අවුලක් නෑ.ඒ වගේම ඔය ගස්බෙන හුඹස් අස්සට අත දාන්ඩ යන්ඩ එපා.ඒ වගේම ටිකක් කැලෑ හරියක වැඩක් කරද්දි උස බූට් දෙකක් දාගන්ඩ පුළුවන්නං හොඳයි.
ඔය උඩ කියපු ඔක්කොම වගේ කිව්වත් නැතත් කවුරුත් කරන දේවල් තමයි.ඒ උනත් ඔන්නොහේ ඒකත් කියලම හිටියා අපිටත් එහෙම කියලා දුන්න හින්දා.

දැං ඔය ක්‍රියාමාර්ග මොනවා ගත්තත් හරිගියේ නැතුව කොහොම හරි සර්පයෙක් කෑවමයි කියමුකෝ.එතකොට මොකද කරන්ඩ ඕනේ.

සර්පයා දෂ්ඨ කරපු මනුස්සයාව පොඩ්ඩක් සනසලා බය නැති කරන්ඩ ඕනේ.පුලුවන්නං සර්පයාව අල්ලගෙන හරි මරලා හරි ගේන්ඩ හෝ අඩුම තරමේ අඳුරගෙනවත් තිබ්බොත් හොඳයි.හැබැයි සර්පයාව අල්ලන්ඩ ගිහිල්ලා තව දෙතුන් දෙනෙක් සර්ප විෂෙන් සංතෘප්ත වෙන්නැතුව මරලා ගෙනාවත් කමක් නෑ.හැබැයි ඒකාව අඳුරගන්ඩ බැරිවෙන විදිහට චප්ප කරලා 'සර්ප චට්නියක්' කරලා නං ගෙනල්ලා වැඩක් නෑ.බටහිර වේවා සිංහල වේවා මොන වෛද්‍ය ක්‍රමේට උනත් ප්‍රථිකාර කරන්ඩ නං සර්පයා මොකාද කියලා දැනගන්න එක වැදගත් නේ.හැබැයි සිංහල ක්‍රමේට සර්පයා අඳුරගන්ඩ ඔය දූත ලක්ෂණ එහෙම බලන්ඩ පුළුවන්.ඒත් බටහිර එහෙම ක්‍රම නෑ.නිකං හිතලා බලන්ඩකෝ ඉස්පිරිතාලෙට ලෙඩා අරං එන සෙට් එකේ එකෙක්ට ඩොකා කණේ පාරක් දීලා බැලුවොත් මොකද වෙන්නේ කියලා.දූත ලක්ෂණවලිං සර්පයා අඳුරගන්න එක කෙසේ වෙතත් අතක් පයක් කඩා ගන්නැතුව බේරුනොත් ඒ ඇති.

ඒක හින්දා බටහිර ඈයින්ට සර්පයා අඳුරගෙන ප්‍රථිකාර පටං ගන්ඩ සර්පයා දැක්කොත් ලේසියි.විශේෂයෙන්  සර්පයාගේ ඔළුව ඌව අඳුනගන්ඩ වැදගත් වෙනවා.ඒක හින්දා ඔළුව වැඩිය පොඩි කරන්නැතුව ගෙනාවොත් (මං වගේ නැතුව හොඳට සර්පයෝ අඳුරගන්ඩ පුළුවං ඩොකෙක්ට ) ඒක ප්‍රථිකාර ඉක්මනට පටං ගන්ඩ ලොකු උදව්වක් වෙනවා.

හරි දැං අපි ආයෙත් සර්ප දෂ්ඨනයට ලක්වූ අසරණයා දෙසට හැරෙමු.

මේ මනුස්සයාගේ බය නැති කරලා ඒ දෂ්ඨ කරපු තැන අවට තියෙන ඇඳුම් ආභරණ ඉවත් කරන්ඩ ඕනේ.මොකද අතක් වගේ තැනක් සර්පයෙක් කාලා ඉදිමුනොත් ඔය ඔරලෝසු, වළලු වගේ ඒවා හිර වෙන්ඩ පුළුවං.ඇස්ප්‍රීන්, කෝපි , මත්පැන් වගේ දේවල් දෙන්ඩ එපා.තුවාලෙන් විෂ උරන්ඩ යන්ඩ එපා.ඒ වගේම විෂ පැතිරීම වළක්වන්ඩ කියලා කාපු තැනට උඩින් තදට තිරිංග දාන්ඩ යන්ඩත් එපා.දෂ්ඨ කරපු අත හෝ කකුල වැඩිය හොල්ලන්නේ නැතුව ඉක්මනට ළඟම තියෙන ඉස්පිරිතාලෙට ගෙනාවොත් හොඳයි.

සර්ප විෂට සිංහල වෙදකං හොඳයි කියන එකට මම එකඟ නැත්තේ නෑ. (මගේ සීයාත් සර්ප වෙදෙක් තමයි.ඒත් සීයා අපේ තාත්තත් කුඩා කාලෙදි නැති වෙලා නිසා මට ඒ විශයය ගැන අත්දැකීමක් ලබාගන්ඩ බැරි උනා.මොනවා කරන්ඩද අවාසනාව තමයි ) නමුත් ගැටළුව තියෙන්නේ මට දැං ඉන්න වෙද්දු අවිස්වාස වීම.ඒ අයගේ ප්‍රමිතිය මනින්ඩ ක්‍රමවේදයක් නැති වීම.ගොඩක් පාරම්පරික රහස් වෙදකම් ඒ පරම්පරා එක්කම වැළලිලා ගිහිං තිබීම.

බටහිර ඩොකාලා අතරෙත් මේ අවුල් නැත්තේ නෑ.පත්තරේ තිබ්බේ දොස්තරලා සෑහෙන ගොඩක් හොර උන් කියලා.ඒ උනාට ආණ්ඩුවේ ඉස්පිරිතාලවල හොර උන් නෑ.හැබැයි මම වගේ කම්මැලි හොර තක්කඩිනං ඉන්නවා තමයි.ඒත් වැඩේ තියෙන්නේ මොකක් හරි දෙයක් ගොඩ දාගන්ඩ ඒ ගැන දන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්නවනේ.ඩොකා දන්නැති උනත් නර්ස්ලා හරි දන්නවනේ මොකක්ද කරන්ඩ ඕනෑ කියලා.ඒ හින්දා මම කියන්නේ ඉස්පිරිතාලෙට එන්ඩ.සර්ප දෂ්ඨනයට බටහිර වෙදකම පරිපූර්ණ නෑ.හැබැයි මොනවා හරි කරලා හරි ලෙඩා ගොඩදාගන්ඩ පුළුවං.

ඒ වගේම මගේ බ්ලොගට අවුරුදු දෙකක් ඉවරවෙලා දවස් ගාණකුත් ගිහිල්ලා.මගේ උපන්දිනෙත් පහුවෙලා දවසක් ගිහිල්ලා.ඒ ඔක්කොටම වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා.මගේ ලැපෙං බ්ලොග් බලනකොට ෆලෝවර් විජෙට්ටුව පෙන්නන්නෑ.අනුංගේ බ්ලොගකට ගියාම උගේ ෆලෝවර් විජෙට්ටුව පෙන්නන්නෙත් නෑ.මේ පල්ලෙහා තියෙන පයිණ්ඩේ පෙන්නනවා.

This webpage is not available    

The server atr1rk9np7bpcsfoeekl0khkd2juj27q3o-a-fc-opensocial.googleusercontent.comcan't be found, because the DNS lookup failed. DNS is the network service that translates a website's name to its Internet address. This error is most often caused by having no connection to the Internet or a misconfigured network. It can also be caused by an unresponsive DNS server or a firewall preventing Google Chromefrom accessing the network.

Here are some suggestions:

  • Reload this webpage later.
  • Check your Internet connection. Restart any router, modem, or other network devices you may be using.
  • Check your DNS settings. Contact your network administrator if you're not sure what this means.
  • Try disabling network prediction by following these steps: Go to the Chrome menu > SettingsShow advanced settings... and deselect "Predict network actions to improve page load performance." If this does not resolve the issue, we recommend selecting this option again for improved performance.
  • Add Google Chrome as a permitted program in your firewall's or antivirus software's settings. If it is already a permitted program, try deleting it from the list of permitted programs and adding it again.
  • If you use a proxy server, check your proxy settings or contact your network administrator to make sure the proxy server is working. If you don't believe you should be using a proxy server, adjust your proxy settings: Go to the Chrome menu > SettingsShow advanced settings... > Change proxy settings... > LAN Settings and deselect the "Use a proxy server for your LAN" checkbox.
Error 105 (net::ERR_NAME_NOT_RESOLVED): Unable to resolve the server's DNS address.


වෙන බ්‍රව්සරේකිං ගියාමත් පෙන්නන්නෑ.හැබැයිවෙන කොම්පියුටරේකින් ගියාම මගේ බ්ලොගේ ෆලෝවර් විජෙට්ටුව පෙන්නනවා.මේ සඳහා තාක්ෂණික උපදෙසක් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඉස්තූතියි.

මීට ෆලෝවර්ලා නොපෙනී යෑම නිසා දුකින් පෙලෙන මම
දිනුක



04 May 2013

මගේ හීනය




හීනයක් තිබුණා මටත්
පහුගිය කාලේ
මුළු රෑම ඒ පැත්තට මේ පැත්තට
පෙරලි පෙරලි 
ලුණු රහට පෙඟුනු කොට්ටේ
කොහේ හරි කොනක
සීතල වර්ග අඟලක් හොයද්දි,

ඇඳ පාදමේ යකඩ ඇණ හිසක
සීතල හොයාගෙන
කකුල එහෙ මෙහෙ දුවද්දි,

දුඹුළු බැඳිච්ච පංකා තටු
කිරි කිරි ගාන 
කෙඳිරිය ඇහෙද්දි

හීනයක් තිබුණා මටත්
ඉහේ ඉඳං පොරවගෙන
හීතට ගුලිවෙලා නිදාගන්ඩ

ඊයේ රෑ තමයි රෑ

මගේ ආදර පොරවන රෙද්ද
ඉස්තූති කරමු අපි වැස්සට
ආයෙමත් එකතු කළාට
අපි දෙන්නව
!