27 June 2012

ගිටාරය




ගිටාරය කියන්නේ ආරම්භය තවම අවිනිශ්චිත සරළ, පහසුවෙන් එහේ මෙහේ ගෙන යා හැකි සංගීත භාණ්ඩයක්.ගිටාරය කොහේදි ආරම්භ උනත් ජනප්‍රිය උනේ ස්පාඤ්ඤ කාරයොත් එක්ක.ලංකාවට ගිටාරය පැමිනෙන්නේ කණ්ඩායම් සංගීතයත් සමඟයි.ලංකාවේ පළමුවෙනි සංගීත කණ්ඩායම වන 'ලොස් කැබලෙරෝස්' පටන්ගත්තු නෙවිල් ප්‍රනාන්දු මහත්මයා එවකට ජනප්‍රියව පැවති සී.ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ගීතවලට ගිටාර් සංගීතය මුසු කරමින් සිය කණ්ඩායමත් සමඟ ගායනා කළා.තමංගේ සින්දු හොරා කන නෙවිල් ප්‍රනාන්දු මහත්මයාට සී.ටී. ප්‍රනන්දු මහත්මයා විරෝධය පල කරන්න ගත්තම නෙවිල් ප්‍රනාන්දු මහත්මයා තමංගෙම සින්දු නිර්මාණය කරන්ඩ තීරණය කරනවා. සී.ටී. ප්‍රනාන්දු මහත්මයා ගායනා කළ ගීයක තනුවක් ඇසුරෙන් නෙවිල් ප්‍රනාන්දු මහත්මයා 'මල්බර හිමිදිරියේ...කොයිබද සමනොලියේ.....' ගීතය නිර්මාණය කර රුක්මණී දේවි සමඟ ගායනා කරනවා.

ලංකාවට ගිටාරය ඒම පිළිබඳව එවකට සිටි ප්‍රබුද්ධ සංගීතකාරයින් කැමති උනේ නෑ.බටහිර දේ ප්‍රතික්ෂේප කර ඉන්දියානු දේට වන්දනා කරන්ඩ තමයි ඒ අය පුරුදු වෙලා හිටියේ.තවමත් එහෙමයිනෙ..බන්දුල පද්මකුමාර මහත්මයා මාධ්‍යකරුවෙක් විදිහට ගිටාරය වෙනුවෙන් පෙනී හිටියා.ඔය අතරේ තමයි ගිටාරයෙන් ලංකාවේ සංගීතයේ විප්ලවයක් කළ 'ධර්මරත්න සහෝදරයෝ, මූන්ස්ටෝන්ස්, සුපර් ගෝල්ඩන් චයිම්ස්, සමනළයෝ, ත්‍රී සිස්ටර්ස්, ජිප්සීස්' එහෙම පෙරමුණ ගන්නෙ.


අමරනාත් රණතුංග මහත්මයා කියන විදිහට ගිටාරයෙන් හම්බකරගෙන කන ඈයො ලෝකෙ මිලියන 10කට වඩා ඉන්නවලු.ඒ මහත්මයා කියන විදිහට තරුණයෝ ගිටාරයට  යොමු වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ ගිටාරයේ තියෙන ස්ත්‍රී ලක්ෂණ නිසාලු.ගිටාරයේ හැඩය ස්ත්‍රී සිරුරකට සමානයි කියලා තමයි කියන්නේ.ඔහුට අනුව විද්‍යුත් ගිටාරය පුරුෂ ලිංගයකට සමානයිලු.පිරිමි ඈයෝ විද්‍යුත් ගිටාරය වයන්නේ වේදිකාව මත ස්වයං වින්දනයේ යෙදෙන ආකාරයටලු.මම හිතන්නේ කට්ටිය රොක් ගිටාර් වාදනය කරන ආකාරය දැකලා තියෙනවානං මේ ගැන අවබෝධයක් ලැබෙයි.තව පොඩ්ඩෙන් අමතක වෙනවා අමරනාත් රණතුංග මහත්මයා ගැන කියන්න.ඔහු ලංකාවේ ක්ලැසිකල් සහ ෆ්ලෙමෙන්කෝ ගිටාර් වාදනයේ ප්‍රමුඛයෙක්.සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්.

ලෝකයේ වැඩිම විවිධත්වයක් සහිත සංගීත භාණ්ඩය තමයි ගිටාරය.ක්ලැසිකල් ගිටාරය, ෆ්ලැමෙන්කෝ ගිටාරය, සාමාන්‍ය බොක්ස් ගිටාරය (ලෝහ තත් සමඟ ), විද්‍යුත් ගිටාරත් වර්ග රැසක් තියෙනවා.බේස් ගිටාර්, ලීඩ් ගිටාර්, රිදම් ගිටාර් වගේම රොක් ගිටාර්, බ්ලූස් ගිටාර්, ජෑස් ගිටාර්, වගේ රාශියක්.මෙහෙම විවිධත්වයකින් යුක්ත වෙන කිසිම සංගීත භාණ්ඩයක් නෑ.

ප්‍රධාන වශයෙන් ගිටාරයේ සංගීත වාදන ශෛලීන් දෙකක් තියෙනවා.ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ කියලා.ක්ලැසිකල් හෙවත් සම්භාව්‍ය වාදනය හරිම මිහිරි සහ මෘදු හඬක් නගනවා.මේ අමරනාත් රනතුංග මහත්මයා රොමෑන්සා නම් වාදනය වාදනය කරන අයුරු පහත ලින්කුවෙන් බලන්න.

http://www.youtube.com/watch?v=9zUZe47tz5k&feature=relmfu

එයිට වෙනස් ආරක් ගන්නා ෆ්ලැමෙන්කෝ ශෛලිය තරමක් කර්කශ ඝෝෂාකාරී හඬක් තමයි නගන්නේ.නමුත් රසවිඳින්න හුරු කෙනෙක් විශ්මපත් කරන්න දක්ෂ ෆ්ලැමෙන්කෝ වාදකයෙක් සමත් වෙනවා.ෆ්ලැමෙන්කෝ වාදනයේ විශේෂත්වය වන්නේ ඔවුන් දකුණතින් ගිටාරයේ තත් වාදනය කරනවාට අමතරව ගිටාරයේ බොක්ස් එකටත් තට්ටු කරමින් එම හඬද වාදනයට මුසු කිරීමයි.පහත වීඩියෝ දෙක බලන්න.පළමු වීඩියෝවේ වාදකයා ඔහුගේ මුහුනේ අභිනයන් කොතරම් හොඳින් වාදනය හා සංකලනය කරනවාද?

http://www.youtube.com/watch?v=DLUxHEJ4kPM
http://www.youtube.com/watch?v=cv2Fyjk0GGM&feature=related

ක්ලැසිකල් සහ ෆ්ලැමෙන්කෝ රසවින්දනය සඳහා ශබ්දය පමණක් ප්‍රමාණවත් නෑ.වාදකයාගේ ඇඟිලිවල සියුම් චලනයන් මෙන්ම ඔහුගේ මුහුනේ සාත්වික අභිනයන්ටද අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.මේ ගිටාර් වාදනයන් අපේ රටේ වර්තමානයේ ඉතුරු වී ඇති කසිකබල් ඊනියා කණ්ඩායම් සංගීතයෙන් කොච්චර වෙනස්ද භාවජනකද කියලා රසවිඳලම බලන්න.

මේ ගිටාරයේ ඇති විශ්මය පෙන්වන තවත් වීඩියෝවක්.සාමාන්‍ය ගිටාරයකට කළ හැකි දේ බලන්න.සංගීත කණ්ඩායමකටම එක ගිටාරයක් ඇති නේද? හරියට වාදනය කරන්ඩ දන්න්වානං.

http://www.youtube.com/watch?v=d9NF2edxy-M

ඔන්න දැං මම අහලා තියෙන ගිටාරයේ සහ අමරනාත් මහත්මයා කිව්ව දේ අතර ඇති සමානකම් කීපයක් කියන්නං.

1. වාදනය කරන්ඩ පෙරාතුව හොඳින් ටියුන් කරන්ඩ (සුසර කරන්ඩ ) ඕනේ.එතකොට තමයි හොඳ හඬක් එන්නෙ.
2. උඩින් මිරිකලා යටින් තමයි ගහන්ඩ තියෙන්නේ.
3. සාමාන්‍යයෙන් උකුල උඩ තියාගෙන ගැහුවට වැඩකාරයෝ කරේ තියාගෙනත් ගහනවා.



පින්තූරෙ ගත්තේ : londonguitarinstitute.co.uk



23 June 2012

හීනයක්


කොළඹට වැටිලා
හිම
සුදු පාටට
කුණු කාණු වැහිලා
නිළ මැස්සෝ මිදිලා

ගෝල් ෆේස් එක ළඟ
මුහුදේ අයිස් මත ලිස්සති
සුද්දෝ
අපේ උන් ගැහි ගැහී
බලං ඉඳිති කටවල් ඇරගෙන
ඉඳ හිට විසිල් ගසති
අත්පුඩිද තලති
ලද විටෙක
සීතලෙන් මඳ ඉසිඹුවක්

හිම කබා ඇත්තෝ
හිම බබ්බු හදත්
සොහොන් මත,
කබා නොමැතියවුන්ගේ...
තංගල්ලෙන් ගෙනැවිත්
කැරට් තබති නැහැයට
හිම බබ්බුංගේ

සාදු දෙත් සෙස්සෝ
සීතල අමතක කැරැ
මඳකට
අසල්වැසියාගෙන්
ලැබ උණුහුමක්,
පින් දෙත් හිම බබ්බුන්ටත්
කබා ඇත්තන්ටත්

කිසිවෙක් ඉඳහිට
කටුක සීතට බැණ අඬමින්
බෙරිහන් දී නිහඬ වෙත්
නිහඬ නොවූවෝ
නිහඬ කරනු ලැබෙත්
සදහටම!!!
සෙස්සෝ
හුරේ තබති එයටත්

පින්තූරෙ ගත්තේ : clipartxmas.com

18 June 2012

හැංගි හැංගී වෙස් බැඳීම සහ එළිපිට නටන්ඩ සිද්ද වීම.





ෆීනික්ස් කියන්නේ ගින්දරෙං ඉපදිලා ගින්දරෙන්ම විනාශවෙන සහ නැවත ඒ අළු තුළින් ජීවිතය ලබන පක්ෂියෙක්.මෙහෙම කියන්නේ මගේ මිත්‍ර පණ්ඩිත්ගේ මිත්‍රයෙක් වන තිළිණ.මම මෙච්චර කල් බ්ලොගේ මම ෆැකල්ටියේ නාට්‍යවල ඉන්නවා කියලා කිව්වේ නෑ.නිකං පඩ ෂෝ කාරයෙක් වෙයි කියලා හිතුවෙ.කොහොම උනත් තිළිණ හෙවත් ෆීනික්ස් වැඩේ කෑවා.ඌ කළිං පෝස්ට් එකේ දිග කොමෙන්ට් එකක් දාලා නොවැ.ඔන්න ඉතිං මම ආයෙත් බොරු පඩ දාන්ඩ යනවා වගේ කියලා මට හිතෙනවා.මොකෝ මම අකැමති නෑනෙ මේක ගැන කියන්ඩ.මට තියෙන්නේ ලැජ්ජාව.

මම ආනන්දෙ හිටපු අවුරුදු ගාණටම සභාවක් ඉස්සරහ කොරපු ඇති විශේෂ කෙරුවාවක් නෑ.හය වසරෙදි අන්දරේ නාට්‍යයක චරිතයක් කළා, ඒකත් අදාල නළුවා එදා ආවෙ නැති හින්දා.මම තෝරගත්තු සෞන්දර්ය විශය උනෙත් චිත්‍ර.අපිට චිත්‍ර උගන්නපු ගුරුතුමී අපිත් එක්ක දුම්රියෙන් තමයි ආවෙ ගියේ.දවසක් අපි කාඩ් සෙල්ලං කර කර ඉද්දි ඒ කාඩ් කුට්ටම එයා රාජසන්තක කළා.මම චිත්‍ර අත ඇරලා නාට්‍ය හා රංග කලාව විශයට මාරු උනා.ඒත් ඉගෙනගත්තු ඉටිගෙඩියක් නෑ.ඒ කාල පරිච්ඡේදයෙත් කාඩ් සෙල්ලං කරපු එක තමයි කළේ.

ඔන්න ඉතිං මම විශ්ව විද්‍යාල ජීවිතේ පටං අරගෙන මුල කාලයේ ඉංග්‍රීසි උගන්නලා අපේ හැකියාවන් පෙන්නන්න කියලා තිබ්බ ඉංග්‍රීසි නාට්‍යය තමයි ඔන්න මුළිංම මාව හරි හමං විදිහට වේදිකාවට ඇන්න ගියේ.බැරි මරගාතේ දෙබස් කීපයක් කට පාඩං කරගෙන යන්තං වැඩේ ගොඩ දා ගන්ඩ පුළුවං උනා.මේ කාලෙ අපේ බැච් එක කණ්ඩායම් කීපයකට කඩලා වෙන වෙනම තමයි ඉගැන්නුවේ.ඔන්න ඊට පස්සෙ අපිට අපේ නියම පාඨමාලාව ඇරඹුනාම තමයි මට තාරක ප්‍රේමරත්න කියන විශිෂ්ඨ රංගධරයා මුණ ගැහෙන්නෙ.අපිට අපේ ක්ෂුද්‍ර බව තේරෙන්න නං යෝධ ප්‍රතිරූප තියෙන්න ඕනෙ සංසන්දනය කරන්න.ජොනතන් ස්විෆ්ට් ගලිවර්ගේ චාරිකා කෘතියේ කියන්න උත්සාහ කරන දේ මට මේ රංගධරයා ඉස්සරහදි දැනෙන්න උනා.

මට වඩා යමකට දක්ශයෙක් දැක්කම මට මුළින්ම ඇතිවෙනවා ඉර්ෂ්‍යාව.ඊට පස්සෙ කුතුහලය.කොහොමද ඔහු මේකට මට වඩා දක්ෂ වෙන්නේ.අන්න එතෙන්දි මට තොරතුරු ලබාගන්ඩ ඉන්න එකම පුද්ගලයා වෙන්නේ ඒ මට වඩා දක්ෂ පුද්ගලයම තමා.ඉතිං මම ඒ කෙනාට කියනවා මෙහෙම උදාහරණයක් විදිහට මේ සිද්දියෙදි,

 "මචං උඹ රඟපාන්ඩ මට වඩා දක්ෂයි.මට ඒ ගැන ඉරිසියයි.ඒක හින්දා මටත් පොඩ්ඩක් කියලා දීපංකො" කියලා.

රංගනය උගන්නවගන්නවට වඩා ඉගෙනගන්ඩ තමයි පුළුවං කියලා මම හිතන්නේ.මම මේ කියන්නේ නාට්‍යධර්මීය ශෛලිය ගැන නෙමෙයි.ලෝක ධර්මීය සම්ප්‍රධාය ගැන.මොකද ලෝක ධර්මීය සම්ප්‍රධායෙදි බොහෝ වෙලාවට අපිට කරන්ඩ වෙන්නෙ අනුකරණයක්නෙ.ඉතිං මම තාරක ප්‍රේමරත්නව විතරක් නෙමෙයි මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුළ වගේ නළුවන් විතරක් නෙමෙයි චාන්දනී සෙනෙවිරත්න, දුලීකා මාරපන වගේ මම දැකපු ප්‍රතිභාපූර්ණ නිළියන්වත් අධ්‍යයනය කරන්ඩ පටං ගත්තා.


කොච්චර කෙරුවත් රංගනයේ මට ඇහැක් වෙච්චි කෙංගෙඩියක් නෑ.ඔන්න ඔහොම යනකොට අපිට පළමු වසරේ ශිෂ්‍යයින්ව ෆැකල්ටියට පිළිගන්න ෆ්‍රෙශර්ස් වෙල්කම් එකට නාට්‍යයක් කරන්ඩ කිව්වා.අපි නවකයො විදිහට නාට්‍යයක් කරද්දි අපිට වඩා වසරක් ජ්‍යේෂ්ඨ ඈයො තව නාට්‍යයක් කළා.ඇත්තටම අපිට ලොකු අදහසක් තිබ්බේ නෑ මොනවගේ එකක් කරන්ඩද කියලා.අපි හදපු මොන්ටිසෝරියක කතාව බොළඳ වැඩී කියලා කරන්ඩත් කළිංම ප්‍රතික්ෂේප කරන්ඩ අපේ ජ්‍යේෂ්ඨයෝ කාරුණික උනා.අපිට නාට්‍යය පෙන්නන්ඩ එක දවසක් තියෙද්දි මමත් තාරකත් මාතර රාහුලේ උන් නැවතිලා හිටපු බෝඩිමට සෙට් වෙලා නිදි මරාගෙන හදපු නාට්‍යය තමයි "ජයසිරි මංගලං". යන්තං එහෙං මෙහෙං පුරුදු වෙලා අපිත් ලෑස්ති උනා නාට්‍යය පෙන්නන්ඩ.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලෙක පොඩි උන් නාට්‍යක් කරද්දි ලොකු ඈයො සම්ප්‍රදායක් විදිහට හූ කියනවා.කිසිම දෙබසක් ඇහෙන්නැති වෙන්ඩ.රඟපාන උන්ට වරදිනකං ඉඳලා කට කැඩිච්ච කතා කියන්ඩ විශ්වවිද්‍යාල ප්‍රේක්ෂකාගාර තරං වෙන තැං දියුණු නෑ.අපේ නාට්‍යයත් පෙන්නන්ඩ කළිං අපිට ඔය හූව ගැන එහෙම කණින් කොණින් ආරංචි වෙලා මරන්ඩ ගෙනියන හරක් වගේ බයෙං සහ ලැජ්ජාවෙං තමයි වේදිකාවට නැග්ගෙ.මුළින්ම සීන් එක තාරකගෙ.ටිකකිං මමත් එන්ටර් වෙනවා.එකම හූවයි.හෝල් එක දෙදරන්ඩ.අපි අපිට නෙමෙයි වගේ නාට්‍යය කරගෙන යනවා.ටිකෙන් ටික ප්‍රේක්ෂකාගාරේ මෙල්ලවෙන්ඩ පටං ගත්තා.විහිළුවලට ඔන්න කට්ටිය හිනාත් වෙනවා.අපෙත් හිත්වලට ටික ටික ධෛර්යය කාන්දු වෙන්ඩ පටන් ගන්නවා.එක දෙබසක් කියලා ඊළඟ දෙබස පටං ගද්දි ප්‍රේක්ෂකාගාරෙං එක්කෙනෙක් කෑ ගහලා කියනවා,

"මල්ලි හිනාවෙන්ඩ දීලා ඊළඟ දෙබස කියන්ඩෝ....." කියලා.අපේ සන්තෝසෙ නැග්ගා හිණිපෙත්තටම.නාට්‍යය අති සාර්ථකයි.2002 උසස් පෙළ කණ්ඩායමට පස්සෙ කරපු ආතල්ම නාට්‍යය ඒකලු.ඔන්න ඕක තමයි නාට්‍ය දිවියේ ඇරඹුම.

ඊට පස්සෙ අපේ ෆැකල්ටියේ අන්තර් බැච් නාට්‍ය තරඟයක් තිබ්බා 'අවුරෝරා' කියලා.අපි ඒකට කළා 'සිපිරි සිරි'. රොඩ්නි වර්ණකුළ සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ඇවිත් හිටියෙ විනිශ්චය කරන්ඩ.සම්භාව්‍ය නාට්‍ය තියෙද්දි ආතල් නාට්‍යයකට දිනුම දෙන්ඩ බැරි නිසා වෙන්ඩැති අපිට කුසලතා සම්මාන දුන්නා.තාරකට,මට,නිපුන්ට,රුචිරට රංගනයටත් පිටපතටත් සම්මාන ලැබුනා.හැබැයි අපි අපේ පොඩි බැච් එකට දීපු ෆ්‍රෙෂර්ස් වෙල්කම් එකට අපි කරපු නාට්‍යය අසූචි උනා.සෑහෙන කාලයක් යනකං අපිව දැක්ක දැක්ක තැන පච කරන්ඩ අපේ සහෝදර ශිෂ්‍යයො අමතක කළේ නෑ.නින්නාදෙට අපි කරපු නාට්‍යය අපේ කතිකාචාර්යවරුන්ගේත් පැසසුමට ලක් උනා.අම්මෝ ඒකෙ අපි කිව්ව කුණුහරුප ගොඩ.

අන්තිමට මේ ඊයෙ පෙරේදා ආයෙත් පාරක් තිබ්බ 'අවුරෝරා' අන්තර් බැච් නාට්‍ය තරගය.අපි ඒකට කරපු 'බූවල්ලා' හොඳම නාට්‍යය උනා විතරක් නෙමෙයි තාරක හොඳම නළුවා, ශානි හොඳම නිළිය, මම සහ නිපුන් හොඳම සහය නළුවන්, ධනුෂි හොඳම සහය නිළිය බවටත් පත් උනා.රුචිරට රංගනය සඳහා කුසලතා සම්මානයක් හම්බ උනා.ඊට අමතරව හොඳම අධ්‍යක්ෂනය ,පිටපත, පසුතල නිර්මාණය, වේශ නිරූපණය, වේදිකා පරිපාලනය කියන ඒවටත් සම්මාන හම්බ උනා.විනිශ්චය සඳහා ඇවිත් හිටපු ඉන්දික ෆර්ඩිනැන්ඩු, අනසුයා සුභසිංහ සහ ජගත් චමිල කියලා තිබ්බා තාරක වගේ නළුවෙක් ඒ අය දැකලා නෑ කියල.අපේ නාට්‍යය යූත් ඩ්‍රාමා මෙව්වා එකට ඉදිරිපත් කරන්ඩය කියලත්.අපි මේ දවස්වල ඇඳගෙන ඉන්නෙ හරියට.

මෙයිට අමතරව අපස්මාර දිනයට ලූෂන් බුලත්සිංහල මහත්මයා රචනා කළ නාට්‍යයේ ප්‍රධාන චරිතයත් කරන්ඩ ලැබුණා.ලෝක සෞඛ්‍ය සංවිධානේ ආසියානු කලාපීය අයගේ උත්සවයකට අපි කඩ්ඩෙන් නාට්‍යයක් කළා.නාට්‍ය ජීවිතයේදී ඵලදායීම රංගනය.හොඳ හෝටලේකින් බඩ පැලෙන්ඩ කන්ඩ හම්බ උනා.මෙව්වා එච්චර ලොකු ඒවා නෙමෙයි.ඒත් මම වගේ පුංචි එකෙක්ට කොච්චර ලොකුයි ද?

ඔන්න මේ බ්ලොග ලියන මගේ නාට්‍ය කෙරුවාව.තිළිණ කියලා තියෙන්නේ නං නාට්‍ය ක්ලිප් ටිකක් අප්ලෝඩ් කරන්ඩ කියලා.ඒත් වේදිකා නාට්‍යවල වීඩියෝවල තියෙන අවුල තමයි ඒවයෙ සද්දෙ අවුල් යන එක.දෙබස් ඇහෙන්නෙ නෑ හරියට.අපිට ලොවෙත් වීඩියෝ කැමරා නැති හින්දා වීඩියෝත් එච්චර සාර්ථක නෑ.අනික වීඩියෝ කරන එකා හිනා වෙනකොට මුළු වේදිකාවම හෙලවෙනවා.මම ඇහැක් වෙච්ච ගමං නාට්‍යයක් අප්ලෝඩ් කරන්නං.කට්ටිය බලන්ඩ හොඳද???

02 June 2012

???????




ඒ දවස්වල
මට විතරක් පායපු
අද 
ලෝකෙට පායන
අත්දෙක බරට 
ගෙදර එනකොට
විනාඩි ගාණකට
ආයෙමත් පෙනී 
නොපෙනී යන
දඩයමකට ඇමක් ද?
උඹේ හිනාව


 පින්තූරෙ ගත්තෙ : commentsyard.com