27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල




25 April 2014

දියවැඩියාව නොහොත් මධුමේහය



සීනි අමාරුව කියලා කවුරුත් කියන දියවැඩියාව හෙවත් මධුමේහය හෙවත් ඩයබිටීස් මෙලයිටස් (Diabetes mellitus) කියන ලෙඩේ ගැන පාඩම් කරන කොට කට්ටියට දැනගන්ඩත් එක්ක ලියලා දාන්ඩ හිතුනා.දියවැඩියාව සෑහෙන්ඩ භයානක ලෙඩක් උනත් ඒක සෑහෙන්ඩ සුළබ ලෙඩක් වීම නිසාම කවුරුත් එච්චර ගණන් ගන්නේ නෑ.ලංකාවේ ජනගහනයෙන් 10% විතර දියවැඩියාව හෝ දියවැඩියා අවධානමෙන් පෙළෙනවා.ඒකෙනුත් නාගරික හෝ ඒ ආශ්‍රිත අයට දියවැඩියාව වැඩිපුර තියෙනවා.ඉස්සර දියවැඩියාව සැළකුනේ වයසක අයට හැදෙන ලෙඩක් හැටියට උනත් දැන් ඒක ඉස්කෝලේ ළමයි අතරත් පැතිරීගෙන යනවා.

දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අහිතකර විදිහට ඉහළ යෑම කියලා කවුරුත් දන්නවනේ.මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ පරිසරය නියතව තියාගන්ඩ තමයි අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ.මේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම නිරෝගීව ඉන්න සෑහෙන්න වැදගත්.ඉතිං මේ රුධිරයේ සීනි මට්ටම ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම නියත අගයක ඒ කියන්නේ 70-100 mg/dL වගේ අගයක පවත්වා ගැනීමත් වැදගත්.වාහනයක් වැඩ කරන්ඩ පෙට්‍රල් ඕනේ වගේ, පරිගණකයක් වැඩ කරන්ඩ කරන්ට් එක ඕනේ වගේ, අපේ ඇඟේ සෛලවලටත් ඒවායේ කාර්යයන් කරගෙන යන්ඩ ශක්තිය ඕනෑ කරනවනේ.මෙන්න මේ ශක්තිය ලබාගන්නේ සෛල ඇතුලේදී ග්ලූකෝස් දහනය කරලයි.ඉතින් සෛලවලට අවශ්‍ය ග්ලූකෝස් සෛල කරා ගෙනියන්නේ රුධිරය හරහානේ.ඒ නිසා රුධිරයේ හැම තිස්සේම ග්ලූකෝස් තිබිය යුතුයි.හැබැයි මේ ග්ලූකෝස් ඕනේවට වඩා වැඩි උනොත් ප්‍රශ්න ඇති වෙනවා."ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියනවනේ.



රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නොවී තියාගන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය කියලත් කට්ටිය අහලා ඇති කියලා හිතනවා.රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්‍යයාශ්යේන් මේ ඉන්සියුලින් ස්‍රාවය වෙන්ඩ පටන් ගන්නවා.ඉන්සියුලින්වල කාර්යය තමයි අක්මාවේ සහ මාංශ පේශිවල දී මේ ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරන එක සහ සෛල මගින් ග්ලූකෝස් භාවිතා කරලා ශක්තිය නිපදවන එක උත්තේජනය කරන එක.ඊට අමතරව මේද පටකවලින් මේදය රුධිරයට එකතු වෙන එකත් පාලනය කරන්ඩත් ඉන්සියුලින් දායක වෙනවා.

හරි දැං අපි දියවැඩියාව ගැන කතාකරන්ඩ ගත්තොත් දියවැඩියාව වර්ග දෙකක් තියෙනවා.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අග්න්‍යයාශයේ ඇති ඉන්සියුලින් නිශ්පාදනය කරන සෛල විනාශ වීම නිසා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ නැත්තටම නැති වී යාම නිසයි.මේක සිද්ධ වෙන්ඩ හරි නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ.සමහරු කියනවා වෛරස් ආසාධන මේකට බලපානවා ඇති කියලා.සමහරු කියනවා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ සෛල විනාශ කරලා දානවා කියලා.කොහොම උනත් මේක සාමාන්‍යයෙන් වැළඳෙන්නේ තරුණ සහ යොවුන් වයසේ අයටයි.මේ අයට ජීවිත කාලයටම ඉන්සියුලින් ලබා දෙනවා ඇරෙන්ඩ වෙන ප්‍රථිකර්මයක් නෑ.නමුත් නිසි විදිහට ඉන්සියුලින් අරගන්නවා නම් සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙනියන්ඩ බලපෑමකුත් නෑ.

දෙවන වර්ගයේ දිය්වැඩියාව (Type 2 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අපේ ශරීරයට අනවශ්‍ය විදිහට සීනි ආහාර ලැබීමෙන් සහ ඒවා ශක්තිය විදිහට වැය කිරීම අඩු වීම නිසා ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා යාම නිසා.ඒ කියන්නේ ශරීරයට සෑහෙන්ඩ ග්ලූකෝස් ලැබෙනවා.හැබැයි ඒවා වැය කරන්ඩ තරම් ව්‍යායාමයක් සිද්ධ වෙන්නේ නැති උනාම ශරීරයේ සෛල ඉන්සියුලින්වලට දක්වන ප්‍රතික්‍රියාව අඩාල වෙලා යනවා.ඒ කියන්නේ ඉන්සියුලින් කොච්චර තිබ්බත් සෛල ඒක ගණන් ගන්නේ නෑ (Insulin resistance).එහෙම උනාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන එක අහන්ඩත් දෙයක්ද?

මේ දෙවන වර්ගයේ දියවැඩියාව තමයි වැඩි දෙනෙකුට වැළඳෙන්නේ.ඒ වගේම ඒක හැදෙන එක වළක්වගන්ඩත් පුළුවන්.ඒක නිසා ඒක ගැන දැන ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා.

මේ දෙවන වර්ගයේ දියවැඩියාව හැදුනත් ගොඩක් අය දන්නේ නෑ තමුන්ට ලෙඩේ තියෙනවා කියලා.ඒ නිසා ගොඩක් වෙලාවට ලෙඩේ තියෙනවා කියලා දැනගන්නේ අහම්බෙන් රුධිර පරීක්ෂාවක් කළොත් හරි දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතාවයක් ඇති උනොත් හරි තමයි.ඒ නිසා වයස අවුරුදු 35ට වැඩිනම් හරි, පවුලේ ළඟම ඥාතියෙකුට දියවැඩියාව තියෙනවා නම් හරි ඒත් නැත්නම් නිකං හරි සැකයක් තියෙනවානං හරි ගිහිල්ලා රුධිර පරික්ෂාවක් කර ගන්න එක හොඳයි.අඩුම තරමේ අවුරුද්දකට එක පාරක් වත්.

රුධිරයේ සීනි මට්ටම ඉහල ගියාම මුත්‍ර එක්ක ග්ලූකෝස් පිට වෙන්ඩ පටන් ගන්නවා.මුත්‍රවල දියවෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ද්‍රව්‍යත් එක්ක වැඩි වතුර ප්‍රමාණයකුත් මුත්‍ර විදිහට පිට වෙලා යනවා.ඒ කියන්නේ වැඩි මුත්‍ර පරිමාවක් දවසකට පිට වෙනවා.දවල් දවසේ කී පාරක් මුත්‍ර කළාද කියලා කෙනෙකුට මතක හිටින්නේ නෑ.නමුත් රෑට දෙපාරකට වඩා නින්දෙන් නැගිටලා මුත්‍ර කරන්ඩ යන්ඩ වෙනවනං ඔන්න පොඩ්ඩක් සැළකිළිමත් වෙන එක හොඳයි.ඒ වගේම අධික ලෙස මුත්‍ර පිට වීම නිසා වගේම රුධිරයේ ග්ලූකෝස් අධික වීම නිසා රුධිරයේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම නිසා මේ පුද්ගලයින්ට තිබහ දැනෙනවත් වැඩී.ඒ වගේම ඉන්සියුලින්වලින් මේද පටකයේ මේද තැන්පත් වීම උත්තේජනය කරනවා වගේම මේද පටකයෙන් මේද නැවත රුධිරයට මුදා හැරීම වළක්වන නමුත් මේ අයගේ ශරීරයේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති හින්දා මේ අය කෙට්ටු වෙන්ඩත් පටන් ගන්නවා.ඒ වගේම රුධිරයේ කොච්චර ග්ලූකෝස් තිබ්බත් ඒවා සෛල ඇතුලට ගන්ඩ නම් ඉන්සියුලින් හරියට වැඩ කරන්ඩ ඕනේ හින්දා සෛල නිතරම ඉන්නේ බඩ ගින්නේ.ඒ නිසා මේ සෛල මොළයට පණිවිඩ යවනවා එයාලට කෑම නෑ කියලා.ඒක හින්දා මොළය පුද්ගලයාට බඩගින්න ඇති කරන්ඩ කටයුතු කරනවා.

ඒ නිසා,


  • ඇඟ කෙට්ටු වීම
  • අධික පිපාසය ඇති වීම
  • අධික ලෙස මුත්‍ර පිට වීම
  • අධික කුසගින්න
  • නිතර නිතර ආසාදන ඇති වීම


වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙලා රුධිරයේ සීනි පරීක්ෂාවක් කර ගන්ඩ.

හැබැයි මේ කියන රෝග ලක්ෂණ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට ඇති වෙන්නේ කළාතුරකින්.ඒ නිසා මේ රෝග ලක්ෂණ නැති පළියට දියවැඩියාව නෑ කියලා නං හිතන්ඩ එපා.

දියවැඩියාව නිසා ඇතිවන අයහපත් අතුරුපල

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා,

  • විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා
  • කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා 
  • වෙනත් සංකූලතා

                                   කියලා වර්ග කරන්ඩ පුළුවන්.


විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා



විශාල රුධිර වාහිනීවල බිත්තියේ මේදය තැන්පත් වීමෙන් ඇතිවන ඇතරොස්ක්ලෙරෝසිස් (atherosclerosis) කියන තත්ත්වය වර්ධනය කරන්ඩ දියවැඩියාව දායක වෙනවා.ඒ මගින් රුධිර වාහිනී අවහිර වීම නිසා හෘදයාබාධ (හෘදයේ කිරීටක ධමනි අවහිර වීමෙන්), අංශභාගය( මොළයේ රුධිර වාහිනී අවහොර වීමෙන්), පාදවලට රුධිර සැපයුම අඩාල වීමෙන් පාදවල වේදනාව තුවාල ඇතිවීම ආදිය ඇති වෙන්න පුළුවන්.

කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා

කුඩා රුධිරවාහිනීවල බිත්තිය හරහා ද්‍රව්‍ය ගමන් කිරීමට බාධා සිදුවීම දියවැඩියාව නිසා සිද්ධ වෙනවා.ඒ නිසා ඇසේ දෘෂ්ඨි විතානයට රුධිර සැපයුම අඩාල වීම නිසා පෙනීම අඩු වීම හෝ නැති වීම සිද්ද වෙන්ඩ පුළුවන්(Diabetic retinopathy). වකුගඩුවල ඇතුලේ තියෙන සියුම් රුධිර නාලවලටත් මේ තත්ත්වයම බලපෑම නිසා වකුගඩු අකර්මන්‍ය වෙලා යන්ඩත් පුළුවන් (Diabetic nephropathy). ඒ වගේම ස්නායුවලට පෝෂණය සපයන එක අඩාල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යෑම නිසා කකුල් සහ අත් හිරිවැටීම වේදනාව ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්ඩ පුළුවන් (Diabetic neuropathy).

වෙනත් සංකූලතා

වෙනත් සංකූලතා කිව්වම ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා නිතර නිතර විශබීජ ආසාදන ඇතිවීම සිද්ධ වෙන්ඩ පුළුවන්.විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සුදුපාට මුදවපු කිරි වගේ ස්‍රාවයක් එක්ක තද කැසීමකුත් එක්ක ඇතිවෙන කැන්ඩිඩයසිස් කියන දිලීර ආසාදනය දියවැඩියාව තියෙන කාන්තාවන් අතරේ හරිම සුළබයි.

ප්‍රධානම ගැටළුවක් වෙන්නේ පාදවල හටගන්නා සුව නොවෙන තුවාල.දියවැඩියා රෝගීන්ගේ පාද හිරිවැටීම සිද්ධ වෙන්ඩ පුළුවන් කියලා කළිං කිව්වනේ.ඒ නිසා මේ අයගේ කකුල කොහේ හරි වැදිලා තුවාල උනත් ඒ අයට දැනෙන්නෙ නෑ.ඒ වගේම රුධිර සැපයුම අඩු වීම නිසා වගේම ස්නායු සැපයුම අඩු වීම නිසාත් තුවාල ඉබේ හට ගන්නත් පුළුවන්.අනිත් කාරනය තමයි මේ අයගේ කකුල් හිරි වැටීම නිසා ඇවිදිද්දි නිසි විදිහට කකුල බිම තියන්නේ නෑ.ඒ නිසා ඇඟේ බර කකුලේ සමව බෙදිලා යනවා වෙනුවට යම් යම් ස්ථානවලට විතරක් මුළු බරම වැටෙනවා.එහෙම උනාම ඒ බර වැටෙන තැන්වල තුවාල හැදෙන්ඩ පුළුවන්.ඒ විතරක් නෙමෙයි කකුලේ ස්නායු සැපයුම අඩාල උනාම කකුලේ දහදිය දැමීම වගේ දේවලුත් සිද්ද වෙන්නේ නෑ.එතකොට කකුලේ හම වේලිලා පුපුරලා යෑම හරහාත් තුවාල ඇති වෙන්ඩ පුළුවන්.

මෙහෙම ඇතිවෙන තුවාල ගැන රෝගියාට දැනෙන්නේ නැති නිසා මේවා නිකම්ම පැසවලා යනකන් කවුරුවත් දන්නේ නෑ.රෝගියාගේ රුධිරයේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා ඉක්මනට මේ තුවාලවලට විශබීජ ආසාදනය වෙන එකත් සිද්ද වෙනවා.හැබැයි රුධිර සැපයුම මේ හරියට නිසි විදිහට නැති හින්දා සුදු රුධිරාණුවලට ගිහිල්ලා මේ විශබීජ විනාශ කරලා දාන්ඩත් ලේසි වෙන්නේ නෑ.අවසන් ප්‍රතිඵලය වෙන්නේ කකුල කපලා දාන්ඩ සිද්ද වෙන එක.ලංකාවේ වැඩිපුරම කකුල් කපලා දාන්නේ දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතා නිසා තමයිලු.






මේක වළක්වගන්නේ / පාලනය කරන්නේ කොහොමද?


  • නිසි විදිහට ආහාර ගැනීම
  • නිසි පරිදි ව්‍යායාම කිරීම
  • නරක පුරුදු අත් ඇරීම
  • දැනටමත් රෝගය තිබේ නම් නිසි පරිදි ඖෂධ ලබාගැනීම


නිසි විදිහට ආහාර ගැනීම

මේක තමයි ලොකුම ප්‍රශ්නේ.ලෝකේ මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්වලින් ප්‍රධානම වෙන්නේ කොකේන්, හෙරොයින්, සිගරට් හෝ අරක්කු නෙමෙයි "කෑමවලට" කියලයි කියන්නේ.හැබැයි ඉතින් "ආරෝග්‍යා පරමා ලාභා" හින්දා කෑම ගන්නකොට පෙරේත කම පැත්තකින් තියලා සෞඛ්‍ය ගැනත් හිතන්ඩ පුරුදු වෙන එක හොඳයිනේ.බත් කනකොට නාඩු වගේ හාල් කනවනං හොඳයි කියලයි කියන්නේ.ඒක හොඳයි කියලා පිඟන් තුන හතරක් කන්ඩ හොඳ නෑ.එක වේලකට බත් පොල්කටු හැඳි එකක් හෝ එකහමාරක් විතර.පිඟාන පිරෙන්ඩ එළවළු සහ පලාවර්ග.අන්න එහෙම දාගත්තම බඩගින්නේ ඉඳලා ගැස්ට්‍රයිටිස් හදාගන්ඩ වෙන්නෙත් නෑ.අල වර්ග, තෙල් කෑම, බේකරි නිශ්පාදන අඩුවෙන්.කෙඳි සහිත ආහාර ( ඒ කිව්වේ පොල් ලෙලි, රඹුටන් ලෙලි, නූඩ්ල්ස්, ඉඳි ආප්ප වගේ දේවල් නෙමෙයි ) වැඩිපුර කනවනම් හොඳයි.පළතුරුවලත් ඔය කෙසෙල් වගේ ඒවයේ සීනි වැඩියි කියනවනේ.ඒ හින්දා ඔය වෙන මොනවා හරි පළතුරු ටිකක් කනවනං හොඳයි.ඔය ප්‍රධාන වේල් අතරමැදදි උදේ දහයට ටී එකක් එක්ක පාං එකහමාරක්, හවසට තේ එක්ක බිස්කට් පනහක් හැටක් කන එකත් අඩු කරන එක හෝ නැත්තටම නැති කරන එකයි හොඳ.



නිසි විදිහට ව්‍යායාම කරන එකත් වැදගත්

ව්‍යායාම කියන්නේ ජිම් එකකට ගිහිල්ලා සල්ලි දීලා අනුංගේ යකඩ උස්සන එකටම නෙමෙයි නේ.වැදගත් වෙන්නේ සතියට අඩුම තරමේ දවස් පහක්වත් දවසට පැය භාගයක්වත් හොඳට හති වැටෙන්ඩ, දාඩිය දාන්ඩ එක දිගට මොනවා හරි ව්‍යායාමයක් කරන එක.හොඳම ඒවා කියන්නේ දුවන එක, බයිසිකල් පදින එක, සහ පිහිනීම කියන තුනලු නේ.ඕකෙන් මම වඩාත් කැමති ඔය පිහිනීම කියන එකට තමා.දාඩිය දාන්නැති සෙල්ලමක් නෙව.හැබැයි ඔය තඩි ඇඟවල් උස්සගෙන දුවන්ඩ ගිහිල්ලා දණිස් අමාරු හදගන්න හින්දා දුවන්නැතුව හයියෙන් ඇවිදින්ඩ කියලා තමයි වෛද්‍ය උපදේසෙ දෙන්නෙ.ලොක්කා රට පුරා ජොගිං ට්‍රැක් හදලා තියෙන එකේ හවසට හවසට සන් ග්ලාසුත් දාගෙන අයිපොඩ් එකක් නැත්තං චයිනීස් ෆෝන් එකකට හරි කමක් නෑ හෙඩ් සෙට් එකත් ගහගෙන, කොට ෂෝටක් ඇඳලා පොඩ්ඩක් ඇවිදින්ඩ සෙට් උනානං හෙණ ගහනවද මං කියන්නේ?

ගොඩක් ගෘහණියෝ කියන කතාවක් තමයි අපි මේ ගෙදර කරන සුමේ හොඳ ඇක්සයිස් එකක් තමයි.තව මොනවටද අමුතුවෙන් ඕවා කරන්නේ කියලා.ගෙදර කරන එදිනෙදා කටයුතු ව්‍යායාම විදිහට ගන්නේ නෑ.ඇයි ඉතිං ඒ උන්දැලා විනාඩි දෙකක් මිදුල අතු ගාලා එහා ගෙදර ඇන්ටිත් එක්ක පැයක් කාට හරි බණිනවා, නැත්තං තමුංගෙ වරුණාව කියවනවා.ආයෙ ටිකක් අතුගානවා.ආයේ කතාව.ගේ ඇතුලේ මොනවා හරි ටිකක් කරනවා.ටීවී එක දාගෙන සුභාසිරි බලනවා.ආයේ පැයකින් විතර ඉතුරු ටික කරනවා.මේ විදිහට කැඩි කැඩී සිද්ද වෙන නිසා ඒක නිසි ව්‍යායාමයක් වෙන්නේ නෑ.

අනිත් චෝදනාව තමයි වෙලාවක් නෑ කියන එක.අපේ රටේ මිනිස්සු පුදුම විදිහට කාර්යබහුල වෙලා ඉන්නේ.හැබැයි බැලුවාම කරපු ඇති කෙංගෙඩියකුත් නෑ.ඔය ව්‍යායාමවලට කියලා වෙනම ලෑස්ති වෙන්ඩ ඕනේ නෑ.ළමයා මොන්ටිසෝරියෙන් එක්ක එන්ඩ ත්‍රීවීල් එකේ යන්නැතුව ටිකක් කළිං ගෙදරින් පිට වෙලා යනවා පයින්.බස් එකේ හවස වැඩ ඇරිලා එද්දි ගේ ගාවින් බහින්නැතුව හෝල්ට් එකක් දෙකක් කළිං බැහැලා ඉතුරු ටික එනවා පයින්.එහෙමයිනේ ව්‍යායාම එදිනෙදා වැඩවලට එකතු කර ගන්නේ.ත්‍රී වීල් එකේ නොයා පයින් යනවා කියන්නේ එකසිය පණහේ ඒවම කීයක් ඉතුරුයිද?



නරක පුරුදු අත් ඇරීම

නරක පුරුදු කියන්නේ දුම්බීම සහ අරක්කු, කසිප්පු, විස්කි, ජින්, බියර්, සකේ, වොඩ්කා, රා ඇතුළු සියළුම ඇල්කොහොල් පානයෙන් වැළකීම.මේවායින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන නිසා දියවැඩියා රෝගියෙකුගේ නම් මරණය ඉක්මන් කරන්ඩ දායක වෙනවා.සල්ලි වියදම් කරලා මැරෙන්ඩ එපා.ඒ සල්ලි බිරිඳටයි දරුවන්ටයි ඉතුරු කරලා පොඩි ගාණකට කඹයක් අරගෙන එල්ලිලා මැරෙන්ඩ.ලේසියි පහසුයි සහ ඉක්මන්.කාටවත් කරදරේකුත් නෑ.



නිසි විදිහට ඖෂධ ගැනීම

මේක ඉතින් කියන්ඩත් දෙයක් නෙමෙයි.ඒත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අජරාමර ගුලිය ගිලලා එක පාර ලෙඩ නිට්ටාවට හොඳ කර ගන්ඩනේ.හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාව එච්චර දියුණු නෑ.ඒක හින්දා දියවැඩියාව තියෙනවා නම් රුධිරයේ සීනි මට්ට්ම පාලනය කරගන්ඩ නිසි විදිහට දිගටම බෙහෙත් බොන්ඩ ඕනෑ.හැමදාම බෙහෙත් බොන්ඩ පුළුවනෑ.... කියන උන්දැලාට කියන්ඩ තියෙන්නේ මිනිස්සුන්ට හැමදාම අරක්කු සිගරැට් බොන්ඩ පුළුවං, රටේම තියෙන ඕනෑ කුණු ගොඩක් කන්ඩ පුළුවං, බෙහෙත් බොන්ඩ තමයි බැරි...අනේ බොලව්!!!
කොහොම උනත් කියන්ඩ තියෙන්නේ ඖෂධ මඟින් කරන්නේ රෝගය පාලනය කරන්ඩ උදව් වෙන එක විතරයි.රෝගය නියම විදිහට පාලනය කරන්නේ ආහාර පාලනය කිරීමෙන් සහ නිසි පරිදි ව්‍යායාම කිරීමෙන්.ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්නේ දොස්තරවත් බෙහෙත් පෙත්තවත් නෙමෙයි.ඔබම තමයි!!!

එතකොට කකුල්

දියවැඩියා රෝගීන්ගේ කකුල්වල තුවාල ඇති වීම ගැන කිව්වනේ.ඉතින් කකුල් ප්‍රවේසම් කර ගැනීමට නම් කරුණු කීපයක් අනුගමනය් කරන එක හොඳයි.


  • හැමදාම නින්දට පෙර කවුරුන් හෝ ලවා හෝ තනිවම කණ්ණාඩියක් ආධාරයෙන් කකුලේ උඩ, යටි පතුලේ සහ ඇඟිලි කරු අතර තුවාල තියෙනවද, දිලීර ආසාදන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.
  • නින්දට පෙර කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගෙන ඉන්න.ඒ සඳහා වෙනම තුවායක් පාවිච්චි  කරන්න.
  • නින්දට පෙර කකුල්වල සම රැකදෙන ක්‍රීම් (moisturizing cream) වර්ගයක් ආලේප කරන්න. (ඇඟිලි කරු අතරට නොයන ලෙස )
  • සෑම විටම (නිවස තුලදීත් ) පාදයට ගැලපෙන තද නොවූත්, සැහැල්ලු වූත්, ආසාත්මික නොවන පාවහන් පළඳින්න.
  • පාවහන් පැළඳීමට පෙර පාවහන් තුල වැලි කැට ආදිය නොමැති බව තහවුරු කර ගන්න.
  • නියපොතු නිතිපතා කෙටි කරගෙන තබාගන්න.තියුණු කෙළවරවල් තිබෙන පරිදි නිය කපන්න එපා.
  • කුඩා තුවාල ඇති උවහොත් නිවසේදී ප්‍රථමාධාර දී ආවරණය කර තබන්න.
  • විශාල තුවාලයක් නම්, කුඩා උවත් තුවාලය සුව වෙන්නේ නැතිනම් හෝ පැසවා ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.


ඔබේ දෙපා දෑස මෙන් රැක ගන්න.



අදට ඔය මදෑ........



18 April 2014

කාලෙකට පස්සේ...



අන්තිමට බ්ලොග පැත්තට ඇවිල්ලා දැං මාසයකටත් වැඩී.වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ.හරියට බුසී ( busy ) වෙනවනේ.කොහොමිං කොහොම හරි මේ ටික දවසට රටේ ලෝකේ විතරක් නෙමෙයි බ්ලොග් ලෝකෙත් හරි හරි කෙළි නෙව සිද්ද වෙලා තියෙන්නේ.ප්ලේන් එක නැති උනාට පස්සේ නැවක් පෙරලිලා, මෝටර් සයිකල් දවල්ටත් ලයිට් දාං යනවා, ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනලා, ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලෝකෙංම හතර වෙනි තැනට ඇවිල්ලා ( බන්දුල ලොක්කා කියයිද දන්නෑ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය කියලා සංකල්පයක් නෑ කියලා), බොදු බල සේනා එක ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා, විපක්ෂේ මන්ත්‍රීලට කුණු බිත්තර ගහලා, බ්ලොග් ලෝකේ සැට් සැට් ගහ මරාගෙන හනේ අපුච්චියේ හති බොලව්..............

රටේ ලෝකේ මොන පෙරළි තිබ්බත් ආණ්ඩුව ගැන මගේ තිබ්බ මතේ වෙනස් උනා ඔන්න.මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ට බඩේ පාර ගහලා ලොකු ලොක්කො එක්ක එක්කාහු වෙලා ජවුසන් නටනවා කියලා නෙව මම හිතං උන්නේ.ඒ උනාට පහුගිය දවස් කීපෙ රටේ මිනිස්සු නටාපු නැටිලි දැක්කම මට හිතුනේ "කවුද බොලව් මේ මිනිස්සු සාදුකිං ඉන්නවා කියන්නේ" කියලා.අවුරුද්දට සතියක විතර ඉඳං රෙදි කඩයක්, සුකුරුත්තං බඩු අරුමෝසම් බඩු තියෙන කඩයක් තියෙන පාරක යන්ඩ ඉඩැක් තිබ්බේ නෑ නෙව. සූ.................. ගාලා සෙනඟ වකාරෙට.හරියට වැල ගෙඩියට වහපු කෝඳුරුවො වගේ.විපක්සේ මොන පච කතා කෙළියත් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ කොහොමද? රටේ සව්බාග්ගෙ සශ්‍රීකත්වෙ දැකලා කිරි වෙහෙරෙන් කිරිත් ආවනේ.මේ අපේ රජතුමාගේ ආනුභාවයට නිසා මිසක් මොකෝ මීට කළිං මොන රජා යටතේ වත් ඔහොම හාස්කං සිද්ද වෙලා තියෙනවා කියලයැ....හැබැයි කවුරු හරි ඕකෙං පොඩි සාම්පැල් එකක් අරං ටෙස්ට් කරලා බලන්ඩ එහෙම යනවා නෙමෙයි ඕං හරිය!!! මේ පෙරදිග රටවල්.මේවයේ දේවල් හොයා බලන්ඩ ඕනේ පෙරදිග විද්‍යාවට අනුව.ඒ කෙසේද යත්,

"අඩේ අර චෛත්තෙං සුදු පාටට මොනවද වැක්කෙරෙනවා බොලව්!!!"

"ඇත්තමයි ඒ මොනවද දන්නෑ නේ?"

"සුදුපාට දියර ලෙස වැක්කෙරෙන සොභාවික දේවල් තියෙන්නේ එක්කෝ එළකිරි නැත්තං රබර් කිරි.නමුත් චෛත්‍යයකින් රබර් කිරි වෑස්සීමේ සම්භාවිතාවක් නැත.ඒ නිසා ඒ එන්නේ සව්භාග්‍යයේ සංකේතය වන 'කිරි' ය. හා හා ඔන්න පෙරදිග ක්‍රමේට සනාථ කළා.වැඳ ගනියව් යකුනේ!!!"

එහෙම කිව් සැනින් වැඳ ගැනීම ඔබේ සරීර සවුක්යයට සුභදායකය.එසේ නොමැති උවහොත් හාමුදුරුවන් වහන්සේ සිවුර කැහැපට ගසාගෙන ශ්‍රද්ධාව සහ භක්තිය මිට මොළවාගෙන ධර්මය ඔබේ දත් වහල්ලත් සමඟ ඔබේ උදරගත කිරීමේ ඉඩක් ඇත.එසේ නැත්නම් "ගන්නවා මගේ අයි පෑඩ් එක" කියලා ඔබට නව තාක්ෂණය ඔස්සේ මුසු කොට ධර්මය බ්ලූටූත් කරනු ඇත.ඔය ආයෙත් කැලේ පැන ඇත.මට කියන්ඩ ඕනේ කළේ ආණ්ඩුව හොඳයි කියන එකය.කියවෙන්නේ වෙන මළ ඉළව්ය.


රටම ලොකු ලොක්කංගේ ආදර්ශ අරං එක සීරුවට රති කෙළියේය.හැමෝටම නාට්ටිවල ප්‍රධාන නිළිය එක්ක නිදි වදින්ඩ හෝ රුසියානු ගණිකාවන් ලැබෙන්නේ නැති නිසා උං අතට අහු වෙන නාඩි වැටෙන ඕනෑ එකක් එක්ක යහන් ගත වෙති.රටේ මේ නව ප්‍රවණතාව සිය ආර්ථික වාසියට හරවා ගැනීමට අපේ දිරිය කතුන් දක්සය.ගෙදරට වී නිකං බත් ගිල ගිල ඉන්නා, ටියුෂන් පන්තිවලට, තොල් සායම් නිය සායම් ආදියට මුදල් නාස්ති කරමින්  ඉන්නා සිය දියණිවරුන් ශ්‍රම බලකායට එක් කිරීමට මව්වරු කටයුතු කරති.කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වී 'චංගුමී' බලමින් නාස්ති කරන පැයක දෙකක කාලය කවුරු හෝ ඉදිරියේ කකුල් ඈත් කිරීමෙන් මුදල් බවට පත් කර ගැනීමේ අවකාශය අපේ රටේ ගැහැනු ළමුන්ට ලැබී ඇත.ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රැකියා වියුක්තිය ඉහල යන විට ආශ්චර්යයේ දීපයේ රැකියා වියුක්තිය අවම කිරීමට මෙකී ප්‍රවණතාව මහත් ලෙස දායක වී ඇත.

පොඩි කොස්සකට තියෙන්නේ චන්ද්‍රිකාවේ කේස් එකය.පොඩි කුමාරයා කිව්ව විදිහට ඒක යැව්වේ ඔහුය.ඒ උනාට තිස්ස ලොක්කා කියන්නේ එහෙව් එකක් යැව්වේ නෑ කියලාය.ඒ උනාට ඒ චන්ද්‍රිකාවේ ප්‍රථිලාභ බුක්ති විඳින ජනතාවක් විදිහට තිස්ස ලොක්කා ඉරිසියාවට කියන දේවල් අපි ගණන් ගන්නේ නැත.චන්ද්‍රිකාව නිසා අපේ ජීවිත සුඛිත මුදිත උනු හැටි, අස්වනු සරු වී අටුකොටු පිරී රට බතින් බුලතින් සාර වූ හැටි දන්නේ අපිය.ඔය කියන තිස්ස ලොක්කා මෙතුවක් කාලයකට අඩුම ගානේ අහස් ගුණ්ඩුවක්වත් යවා නැති බැව් අපිට බුදු ශුවර් ය.එකී හීනමානයෙන් අපේ රටේ චන්ද්‍රිකාව කියා එකක් නොමැති බැව් කියන මේ තට්ට නාකියාට කියන්නට ඇත්තේ දුර දක්නයක් ගෙන රෑට අහස නිරීක්ෂණය කරන ලෙසය.එවිට ඕනෑම ගොන් තඩියෙකුට අපේ අභිමානවත් චන්ද්‍රිකාවත් එහි සිටින වීරෝධාර සිංහයා රැගත් අපේ ජාතික කොඩියත් එයට යටින් නිල් පැහැයෙන් ලියා ඇති "සුභ අනාගතයක්" යන්නත් දැකීමට හැකිවනු ඇත.