19 March 2015

සත්තුංගේ සංසර්ග රටා


ඔන්න ඉස් ඉස්සෙල්ලම ලෝකේ බැක්ටීරියා කියන ඒක සෛලික ජීවීන් ඇති උනාලු නේ.ඒ අය ප්‍රජනනය කළේ ඒ කියන්නේ වර්ගයා බෝ කළේ ද්වීඛණ්ඩනය කියන ක්‍රමයෙන්.ඒ කියන්නේ එකෙක් දෙකට කැඩිලා දෙන්නෙක් වෙනවා.හැබැයි මේ ක්‍රමේදි දෙකට කැඩෙන එකාගෙ ලක්ෂණ ඔක්කොම අඩුපාඩුවක් නැතුව අළුතෙන් හැදෙන දෙන්නට ලැබෙනවා.

මේකේදි පොඩි පොඩි වෙනස්කම් සෛල අතරේ ඇති උනත් ලොකු වෙනසක් වෙන්නෙ නැති එක පාඩුවක්.ඒ කියන්නේ දෙකට බෙදෙන මුල් මව් සෛලයේ මොකක් හරි ජානමය දුර්වල කමක් තිබ්බොත් ඒ දුර්වල කම දරු සෛල දෙකටම ලැබෙනවා.ඒ දරු සෛල බෙදිලා හැදෙන හැම සෛලයකටම මේ දුර්වල ජානය යනවා.ඒ කියන්නේ මොකක් හරි ලෙඩක් හරි පරිසර තත්ත්වයකට හරි ඒ දුර්වල ජානය නිසා මුහුණ දෙන්ඩ බැරි උනොත් අර සෛල පරම්පරාවම එක පාර විනාශ වෙලා යෑමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි පරිණාමයේ ඊළඟ පියවර විදිහට ලිංගික ප්‍රජනනය ඇති වෙන්නේ.





ඔය අපි කවුරුත් දැකලා තියෙන මුහුද යට තියෙන කොරල් හදන ජීවීන් ප්‍රජනනය කරන්නෙ මෙහෙමයි. ඒ අය ඩිම්බ වගේම ශුක්‍රාණුත් නිකම්ම මුහුදු වතුරට නිදහස් කරනවා.එතකොට වතුරෙදි මේවා දෙකක් එකතු වෙලා අළුත් ජීවියෙක් හැදෙන්ඩ අවස්ථාවක් තියෙනවා. මෙයාලට මෙහෙම කරන්ඩ වෙලා තියෙන්නේ ඒ අයට නිදහසේ එහේ මෙහේ යන්ඩ බැරි නිසා.

ඊට පස්සේ අපි බලමු මාළු ප්‍රජනනය කරන හැටි.



මාළුංගේ ගෑනු සතායි පිරිමි සතායි දෙන්නා පොඩි ආලිංගන නැටුමකට පස්සේ ගෑනු සතා බිත්තර ටික වතුරට දානවා.එතකොට පිරිමි සතා එයාගේ ශුක්‍රාණු ටික අර බිත්තර උඩට දානවා.ඒ ක්‍රියාවෙදි මේ බිත්තර ශුක්‍රාණුවකිං සංසේචනය වෙන්ඩ තියෙන අවස්ථාව ටිකක් වැඩියි.හැබැයි මේ ක්‍රියාවෙදිත් සිද්ද වෙන්නේ බාහිර සංසේචනයක්.ඒ කියන්නේ සංසේචනය සිද්ද වෙන්නේ ගෑනු සතාගේ ශරීරයෙන් බැහැරදි.


අපි හැමෝම ආසා කරන, අපේ ජීවිත වෙනස් කරපු විප්ලවය හෙවත් 'සංසර්ගය' මුලින්ම කරන්න පටං ගන්නේ එසේ මෙසේ සතෙක් නෙමෙයි.ඒ තමයි මෝරා. "සිරියාමේ සාරා නැගේවි හද මෝරා" කියලා උපහාර ගීත එහෙමත් ලියැවෙන්නේ ඒ හින්දා වෙන්ඩ ඇති.
හැබැයි මෝරාගේ ශිෂ්ණය ප්‍රාථමික නිසා සහ ඔවුන්ගේ ශරීරවල පිහිටීම නිසා මෝරාට මෝරිව මේ වැඩේ කරන වෙලාවේ අල්ලගෙන තියා ගන්ඩ බැහැ.අනික වතුරේ පා වෙවී මේක කොරද්දි මෝරි පාවෙලා අහකට යනවා නෙව.ඒ හින්දා මෝරා මේ වැඩේ කරන්නේ මෝරිගේ උරහිස් වරල කටිං හපලා අල්ලගෙන.ඉතිං පරිණාමයේදී ඔය පරණ ජාන අපිටත් හම්බ වෙලා තියෙන හින්දා තමයි ඔය ආදර හැපීම් හෙවත් love bite අපි අතරේ තියෙනවා ඇත්තෙ.හැබැයි මෝරුංගේ තුවාල සුව වීමේ හැකියාව බොහොම විශිෂ්ඨයි.අපේ එච්චර විශිෂ්ඨ සුව වීමේ හැකියාවක් නැති හින්දා හපද්දි හෙමිං හපන එක ඇඟට ගුණයි.


කිඹුලා කියන්නේ ලෝකේ ගොඩාක් ඉස්සර ඉඳං හිටපු සතෙක්.මෝරාට වඩා දියුණු උනත් කිඹුලට තියෙන්නෙත් අපරිණත ශිෂ්ණයක්.උගේ ශිෂ්ණය තියෙන්නේ උගේ ඇඟ ඇතුලේ හැංගිලා.සංසර්ගය වෙලාවෙදි මේක ශරීරයෙන් එලියට එනවා කියලා තමා කියන්නේ.ඒ කියන්නේ කිඹුලට හෙළුව වහ ගන්ඩ ඇඳුම් ඕනෙම නෑ.



"අලි කෙළියයි මහරජ" කියාගෙන ඇමතිතුමා රාජ සභාවට දුවගෙන ආවලු. "ඔහෙ කෙළපු දෙං මගෙ අලිනේ" කියලා රජතුමා කිව්වලු.ඇත්තට අලි කෙළියත් හෙණ කෙළියක් තමයි.උන්ට අපිට වගේ ඉරියව් මහා ගොඩක් තියෙනවා කියලයෑ.එකම විදිහටනේ හැමෝම, හැමදාම.වැඩේ කියන්නේ අලියා අලි බිරිඳගේ කොන්දට උගේ ඉස්සරහා කකුල් දෙක තියලා හිටගෙන මේ වැඩේ කළා වගේ නෙමෙයි ලු. කාලයක් තිස්සේ මේ විදිහට වෙද්දි අලි බිරිඳගේ කොන්ද, උකුළ වගේ අස්ථිවල පිපිරීම් ඇති වෙනවලු.සුලුපටු බරක් කියලද?



ප්‍රජනන කාර්යයෙං සත්තු වගේම මිනිස්සුත් බලාපොරොත්තු වෙන්නේ තමුංගේ ජානවල පැවැත්ම.ඒ කියන්නේ තමුංගේ ජාන ටික ඊළඟ පරම්පරාවට දායක කරන එක.සත්තු කසාද බඳින්නැති හින්දා උං ගෑනු සතා ලවා තමුංගේ ජාන සහිත පැටවු ඇති කරන්ඩ විවිධ විදිහට හැඩ ගැහිලා ඉන්නවා.උදාහරණයක් විදිහට පිරිමි සත්තු රණ්ඩු වෙලා අනිත් පිරිමිංව එළවලා දාලා ගෑනු සතා එක්ක රමණයේ යෙදෙනවා.එතකොට ගෑනු සතාගෙං බිහිවෙන්නේ අර තරඟයෙන් දිනන පිරිමි සතාගේ පැටවු විතරයි.



බත් කූරො වර්ගයක් වෙන ඩැම්සෙල් මැස්සාට තියෙනවා අපූරු ශිෂ්ණයක්.ඒක හරියට බුරුසුවක් වගේ.ඌ සංසර්ගය කරන කොට ගෑනු සතාගේ යෝනි මාර්ගය පිහදැමිලා ඇතුලේ තියෙන දේවල් එළියට එනවා.ඉතිං බැරි වෙලාවත් මූට කළිං වෙනින් පිරිමි සතෙක් රමණයේ යෙදිලා තිබ්බොත් ඒ සතාගේ ශුක්‍රාණු ටික ඔක්කොම වගේ ගෑනු සතාගේ යෝනි මාර්ගයෙන් පිහ දැමිලා ඉවත් වෙනවා.ඒ කියන්නේ පස්සේ සංසර්ගයේ යෙදෙන එකා උගේ ශුක්‍රාණු විතරක් ගෑනු සතාගේ ඩිම්බ වෙත යන එක ගැන වග බලා ගන්නවා.

එහෙම තමං සංසර්ගයේ යෙදුනාම තමුංගේ ජාන විතරක් තියෙන පැටව් බිහි වෙයි කියන එක සහතික කරන්ඩ තව ක්‍රමයක් සමහර සත්තු ළඟ තියෙනවා.ඒ තමයි ශුක්‍ර තරලය යෝනි මාර්ගයට ඇතුල් උනාම ඒක හයි වෙලා ඇබයක් විදිහට ක්‍රියා කරනවා.එතකොට වෙනත් පිරිමි සතෙක් සංසර්ගයේ යෙදුනත් ඒ සතාගෙ ශුක්‍රාණුවලට ගෑනු සතාගේ ඩිම්බ වෙත ළඟා වෙන්ඩ තියෙන ඉඩ අඩු වෙලා යනවා.මිනිස්සුංගෙත් ශුක්‍ර තරලය ඒ විදිහට ඝණ බවට පත් වෙලා සුළු වෙලාවක් තියෙනවා.හැබැයි ඒකෙං මේ අවශ්‍යතාව ඉටු වෙනවද කියල නං දන්නේ නෑ.



ශුක්‍ර තරලයෙං ඇබයක් හැදෙන එකට වඩා සාර්ථක, වඩා නිර්භීත ක්‍රමයක් සිද්ද වෙනවලු මී මැස්සොංගේ. උංගේ පිරිමි සතා ලිංගිකව එක් වෙන්නේ රැජිනත් එක්ක විතරනේ.ඉතිං පිරිමි සත්තු අතරේ තියෙන ලොකු තරඟෙකිං පස්සේ එක පිරිමියෙක්ට රැජිනත් එක්ක සංසර්ගයේ යෙදෙන්ඩ අවස්ථාව හම්බවෙනවා.හැබැයි ශුක්‍ර මෝචනයෙන් පස්සේ පිරිමි සතාගේ ශිෂ්ණය කැඩිලා රැජිනගේ යෝනිය ඇතුලේ හිර වෙනවා.පිරිමි සතා එහෙමම මැරිලා යනවා.ඒකෙං රැජිනට වෙනත් පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදෙන්ඩ තියෙන අවස්ථාව නැති වෙලා යනවා.

මී මැස්සංගේ පිරිමි සත්තු රමණ සංග්‍රාමයට එකතු වෙන්නේ ගෙවල් ඉඩං එහෙම ලියලා දීලා, නෑයින්ට යාළුවන්ට සමු දීලා එහෙම වෙන්ඩ ඇති.හැබැයි රැජින කොහොම හරි අමාරුවෙං මේ ශිෂ්ණ ඇබය ගලෝ ගෙන වෙනින් උං එක්කත් සංසර්ගයේ යෙදෙනවා කියලා තමයි කියන්නේ.මී මැස්සොංගේ උනත් ගෑනු සතා චපලයි නේද?



කෝටු වන්දා ද කොහෙද කියන මේ කෝටු කෑල්ලක් වගේ පේන සතා මී මැස්සා තරං මෝඩ නෑ.ඌ සංසර්ගයෙන් පස්සේ කෝටු වන්දිගේ ඇඟේ එල්ලිලාම ඉන්නවා ටික වෙලාවක් යනකං.ඒකෙං වෙන එකෙක්ට ආයේ සංසර්ගය කරන්ඩ තියෙන අවස්ථාව නැති වෙලා යනවා..බල්ලන්ගේ සිද්දියත් මේ හේතුව හින්දම වෙන්ඩ ඇති කියලයි මට හිතෙන්නේ.



ආදර මකුණා කියලා හඳුන්වන මේ කෘමි සතා සංසර්ගයෙන් පස්සේ සදහටම ගෑනු සතාගේ යෝනි මාර්ගයේ ශිෂ්ණය හිර කර ගන්නවා.ඊට පස්සේ ඌ ගෑනු සතාත් එක්කම ගෑනු සතා යන එන දිහාවලට ඇදිලා යමින් ඉඳලා ටික කාලෙකින් මැරිලා යනවා.මැරිච්ච සැමියගේ මිනියත් එල්ලගෙන ගෑනු සතාට ජීවත් වෙන්න වෙනවා.පිරිමි සතාගේ ශරීරය නරක් වෙලා වැටෙන කල්ම.කොහොම හරි බිත්තර දාන කාලෙට කලිං පිරිමි සතාගේ සිරුර ගැලවිලා යනවා.




ජර්මන් කැරපොත්තා කියන්නේ වඳ කරන්ඩ අමාරු කරදරකාරයෙක් කියලයි කියන්නේ.ඒකට හේතුවක් විදිහට ඒ අය කියනවා මේ කැරපොත්තාගේ ගෑනු සතා හෙවත් කැරපොත්තීට එක පාරක් පිරිමි සතෙක් එක්ක සංසර්ගයේ යෙදුනොත් ඒ ශුක්‍රාණු ටික ඇඟ ඇතුලේ තියාගෙන ජීවිත කාලෙම සැරින් සැරේට බිත්තර දැමීමේ හැකියාවක් තියෙන හින්දලු.ඒ කියනෙන සංසර්ගයෙ යෙදිච්ච කැරපොත්තියෙක් ගෙදරකට ආවොත් ආයේ ඉතිං දිගටම ඌට බිත්තර දදා පරම්පරාව බෝ කරන්ඩ පුළුවං කියන එක.

ප්‍රජනනය ගැන කතා කරද්දි මේ ලිංගික තේරීම කියන එක ගැනත් කතා කරන්ඩ ඕනේ.සාමාන්‍යයෙන් ලෝකේ සත්තු ගත්තම පිරිමි සතා තමයි ලස්සන, උත්තුංග, තේජවන්ත, ශක්තිමත්.පිරිමි සතා තමුංගේ ශාරීරික අංගෝපාංග පෙන්නපුවහම තමයි ගෑනු සතා සංසර්ගයට කැමති වෙන්නේ.
උදාහරණයක් විදිහට මොණරුංගේ නං උගේ පිල.ලොකුම ලස්සනම පිල තියෙන එකාට තමයි මොනරී කැමැත්ත දෙන්නේ.ඇත්තුංගේ නං ලොකුම දල තියෙන සද්දන්ත ශරීරයක් තියෙන ඇතාට තමයි ඇතින්න කැමති වෙන්නේ.ජිරාෆ්ලගේ දිගම බෙල්ල තියෙන ශක්තිමත්ම සතාට තමයි ජිරාෆි කැමති වෙන්නේ.එහෙම උනාම මොකද දන්නවද වෙන්නේ.ඒ පිරිමි සතාගේ ශාරීරික ලක්ෂණ තීරණය වෙන්නේ උගේ ජානවලින් නිසාත් එහෙම විශේෂ ලක්ෂණ තියෙන එකාට වැඩිපුර සංසර්ග අවස්ථා හිමිවෙන නිසාත් උගේ ඒ ලක්ෂණ පරම්පරා ගත වෙනවා.ඒ කියන්නේ ඊගාව පරම්පරාවට අර කියපු විශේෂ ලක්ෂණය ලැබෙනවා.

අයිරිෂ් එල්ක් කියන ගෝන්නුංට ලස්සන ලොකු අං තට්ටුවක් තිබ්බලු.ඒත් මේ ලිංගික තේරීම නිසා රමණ අවස්ථා වැඩිපුර ලැබිලා තියෙන්නේ උං අතරින් ලොකුම අං තට්ටුව තියෙන එවුන්ට.ඒකෙං වෙලා තියෙන්නේ කාලයත් එක්කම පරම්පරාවෙන් පරම්පරාවට මේ අං තට්ටුව එන්ඩ එන්ඩ විශාල වෙලා මේ ගෝනාගේ ශරීරයට දරාගන්ඩ බැරි තරමට අං තට්ටුව ලොකු වීම නිසා උං වඳ වෙලා ගියා කියලා තමයි කියන්නේ.




ශරීර ප්‍රමාණයට සාපේක්ශව ලොකුම පුරුෂ ලිංගය තියෙන්නේ මිනිස්සුන්ට.අපේ ආදී මුතුන් මිත්තියෝ සංසර්ගයේදී පිරිමියාගේ බලලා තියෙන්නේ මොනවා වෙන්ඩ ඇද්ද?



ජිබ්‍රෝල්ටාවල ඉන්න මැකාකු වඳුරෝ ගැන පර්යේෂණ කරපු අය කියනවා මේ වැඳිරියෝ සංසර්ගයේදී කෑ ගහනවා කියලා.ඒ ගොල්ලො ඒ ගැන හොයලා බලද්දි දැනගෙන තියෙනවා එහෙම සංසර්ගයේදී කෑ ගහපු ගෑනු සත්තු ගැබ් ගැනීමේ හැකියාව වැඩියි කියලා.ඒ එහෙම ගෑනු සතා කෑ ගැහුවාම පිරිමි සතාගේ ශුක්‍ර මෝචනය ඉක්මං වෙනවලු.ඉතිං ගැබ් ගන්ඩ නං ශුක්‍ර මෝචනයක් තියෙන්ඩ එපායැ.

ගණිකා වෘත්තියේදී වැඩි ගැණුම්කරුවන් ප්‍රමාණයක් දවසකදී සතුටු කළොත් වැඩි ආදායමක් ලබා ගන්ඩ ගණිකාවන්ට පුළුවං.ඒ සඳහා එක් එක් ගැනුම්කරුවා ඉක්මනින් සුරාන්තයට පත් කරන්ඩ උවමනා වෙනවා. ඉතින් ගණිකාවෝ මේ උපක්‍රමය හෙවත් කෑ ගැසීම, සිය ගැණුම්කරුගේ උත්තේජනය වැඩි කරන්ඩ පාවිච්චි කරනවා කියලා තමයි කියන්නේ.එතකොට ඒ ගැණුම්කාරයාට ඉක්මනින් ශුක්‍ර මෝචනය වෙන හින්දා ගණුදෙනුව ඉක්මනට ඉවර වෙනවා. දැක්ක නේද මැකාකු වඳුරංගේ සොයා ගැනීම මිනිස්සු පාවිච්චි කරන හැටි.

මේ මැකාකු වඳුරෝ ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ උංගේ සංසර්ග ප්‍රමාණය හින්දා.සාමාන්‍යයෙං මුං පැයකට එක් වතාවක්වත් රමණයේ යෙදෙනවලු.හැබැයි ඒ සංසර්ගයේ පරමාර්ථය දරුවන් බිහිකිරීම නෙමෙයි. මිත්‍රත්වය ප්‍රකාශ කිරීම, තමුංගේ බලය පෙන්වීම වගේ මානසික කාරණා පෙරටු කරගෙන සංසර්ගයේ යෙදෙනවා කියලා තමයි කියන්නේ.ඒ කියන්නේ වලියක් ෂේප් කර ගන්ඩ ඕනේ උනාම ගෑනු වඳුරා පිරිමි එකාට සංසර්ග අවස්ථාවක් දෙනවලු. එතකොට පිරිමි එකා වලිය අමතක වෙලා සංසර්ගයේ යෙදෙනවලු.

මේ කිව්ව එක එක සත්තුංගේ ප්‍රජනන රටා අපිට කොච්චර අදාලයිද කියලා හිතලා බලන්ඩ ඈ.....



09 March 2015

සුරතල් සතා






'යකෝ මේ බල්ලා අල්ලගනිං බං.මේකා කයි.' සිතුමා අපේ ගෙදර ඇවිල්ලා කියලා දැනගත්තේ බල්ලා බුරන සද්දෙටය. සිතුමා පරම්පරා කුට්ටම දෑතින් ආරක්ෂා කරගෙන ගේට්ටු කණුවට හේත්තු වෙලාය.බල්ලා උගේ අයිතිකාරයා වන, ඌට කන්ඩ දෙන, නාවන, මැක්කන් අරන් දාන, මාව දැක්ක හැටියේ තවත් වැඩ කෑලි දමමින් සිතුමා වටේ දුවමින් සිතුමාගේ හඩු ඩෙනිමට හොම්බ ළං කරමින් බුරා හැලෙන්නට විය.

'මේකා කයි බං.ඔතනට වෙලා හිනා වෙවී බල්ලව ෆෝම් කරන්නැතුව මේකාව අල්ල ගනිං යකෝ.මේකද යහපාලනේ.මේ රටේ කෝ භෞමික අඛණ්ඩත්වේ? උඹලා මෙතන බල්ලව ඉස්සරහට දාලා උඹලගේ නිජ බිමේ වෙනම රාජ්‍යයක් හදන්ඩද හදන්නේ? රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක නිදහසේ යන්ඩ එන්ඩ තියෙන අයිතිය නේද මේ උඹලා නැති කරලා තියෙන්නේ?' සිතුමා ප්‍රාණ බයේ බෙරිහන් දෙනවාය.සිතුමාගේ ඩෙනිමේ එක්‍රැස්වී ඇති දහජරා ගොඩට මූත්‍රා ද එක්වීමේ අවධානමක් තිබූ නිසා මම බල්ලාගෙන් සිතුමා මුදාගන්නට තීරණය කළෙමි.

'විමල් පලයං ගෙට.' බල්ලා වහාම බිරීම නවතා නගුට දෙපා අතරේ ගසාගෙන ගෙට රිංගුවේය.සිතුමා ෆැමිලි ජුවෙල්ස් අතහැර කෙළිං විය.

'මොකක්ද යකෝ ඒ බල්ලට දාලා තියෙන නම?'

'ඌ පොඩි කාලේ ඉඳලම ඔහොම තමයි.බුරනවා විතරයි හපන්නෑ.ගෙදර කට්ටිය පේන්ඩ ඉන්නකොට උගේ රැස් වැඩියි.මරුමූස් ඩයල් එකක් එහෙම ගෙදෙට්ට ආවම මූ ළඟට ගිහිං කකුල් ලෙවකාලා ශේප් වෙනවා.මෝඩ පහේ පාණ්ඩු පාට ඩයල්වලට තමයි බුරාගෙන පනින්නේ.ඒකයි' මම පැහැදිලි කළෙමි.

'ඒ කියන්නෙ මම මෝඩ පහේ පාණ්ඩු පාට එකෙක් ඈ?'

'නෑ නෑ බං උඹේ අහිංසක ධාර්මික පෙනුමනේ මේ බල්ලා වැරදියට තේරුං අරං තියෙන්නේ' මම වහා නිවැරදි කළෙමි.

'ඉතිං මොකෝ මේ පැත්තේ?'

'ඕකනේ බං උඹලගෙ හැටි.මනුස්සයෙක් ගෙදෙට්ට ආවම කොහොමද සැප සනීප කියලා අහලා, තේ එකක් බොන්ඩ දීලා, කන්ඩ මොනවා හරි දීලා ඉවර වෙලානේ යකෝ මොකටද ආවේ අහන්නේ.බලපං උඹලා කොච්චර බටහිර ගැති වෙලාද කියලා.'

'මචං උඹ පොඩි කාලේ තාපසාරාමෙකට වැටෙන්ඩ ඇති.මාව වැටුනේ හොරු ඉන්න තැනකට.දැං වෙනස් වෙන්ඩ පරක්කු වැඩියි.මොකටද ආවෙ කියලා කෙටියෙං කියපං.කාලය කියන්නෙ නාස්ති කරන්ඩ හොඳ දෙයක් නෙමෙයි.මට බ්ලොග් කියවන්ඩ තියෙනවා.ගේම් එකක් ගහන්ඩ තියෙනවා.'

'මොකක්ද බං අඩුම තරමේ තේ එකක්වත් දීපංකෝ.උඹලගේ ආණ්ඩුව ඔක්කොම අඩු කළේ.'

'හරි තේ එකක් දෙන්නං මොකටද ආවේ කියපං.අනිත් එක තමයි අපි කාටවත් කඩේ ගියේ නෑ හරිය? මේ ආණ්ඩුව අපේ ආණ්ඩුවක් නෙමෙයි.කළිං ආණ්ඩුව එළවන්ඩ  ඕනේ නිසා එළෙව්වා.ඒ හිස් තැනට මුං ආවා මිසක්කා අරූට වඩා මූ හොඳයි කියලා දැම්මා නෙම්යි.කොටින්ම කියනවා නං ....නෑ එක්කෝ ඕනේ නෑ.මහින්දට කඩේ ගිය උං හිතන්නේ මහින්දට කදේ යන්නේ නැත්තං කාට හරි කඩේ යන්ඩ ඕනේ කියලා.ඕක උඹට කියලා වැඩක් නෑ.දැං උඹ ආවෙ මොකටද කියපං.'

'උඹලගේ ගෙදර කිතුල් ගස් තියෙනවා නේද?'

'තියෙනවා.හැබැයි අපි රා පෙරන්නෙ නං නෑ.හකුරු හදන්නෙත් නෑ.මොනවගේ වැඩකටද?'

'කන්ඩ දෙන්ඩ බං.'

'කන්ඩ දෙන්ඩ? මොනවද කිතුල් පිටි ද? ඒවයිං කැඳ නේද හදන්නේ?'

'අපිට කන්ඩ නෙමෙයි බං.අපි මේ ගෙදර හුරතලේට හදන්ඩ අලි පැටියෙක් ගේන්ඩ හදන්නේ.අපේ තාත්තා වනජීවී එකේ ඩයල් එකක් අඳුරනවා.සන්නසක් මොකක් හරි එකක් මයිත්‍රී මාමට කියලා අස්සං කරගෙන අලි පැටියෙක් ගෙදර ගේන්ඩ ඉන්නේ.'

'අලි පැටියෙක් මක්කරන්ඩද බං? උඹලගේ ගෙදර කොට තියෙනවද අදින්ඩ? නැත්තං උඹලා අවුරුද්දක් ගානේ පෙරහැරක් එහෙම කරනවද?'

'උඹ දන්නෑ මේවා. මචං ඒක තමයි දැං ෆැෂන් එක.ට්‍රෙන්ඩ් එක.ගෙදර අලි පැටියෙක් ඉන්නවා කියන්නේ ඌ පොරක් තමයි.'

'දැං කොහෙන්ද පැටියෙක් ගේන්නේ?'

'ඒවා එච්චර ගේම් නෙමෙයි බං.උඹ හරි කට්ටියව අඳුරනවා නං සති දෙකෙං වැඩේ ගොඩ.ඔය කැලේ ඉන්න සෙට් එකක මහ එකාව මරලා පැටියා අනාතයි කියලා හරි එහෙම නැත්තං ඔය පින්නවලිං හරි සූ එකෙං හරි උන්ට වියදං වැඩියි කියලා හරි දන්නැද්ද බං ඕවා ඔක්කොම ඩොකියුමන්ට් වලින් දෙන ගේම් නේ බං.'

'ඉතිං බං ඊ බේ එකෙං අලි බිත්තරයක් ගෙන්න ගනිංකෝ.'

'මචං මේ විහිළුවට ගන්ඩ එපා.මම මේ සීරියස් කියන්නේ.'

'මමත් මේ සීරියස් කියන්නේ.අලියක් නැතුව බල්ලෙක් පූසෙක් හදහංකෝ බං.'

'ඇයි අලියෙක් හැදුවම මොකද වෙන්නේ?'

'මොකුත් නෑ.අර ඉස්සර ඇඩ් එකක් ගියේ, අලියා ගෙට ආවම ටයිල් කැඩෙන සීන් එකක්.ඉතිං උඹලගේ ගෙට ඒ ඇඩ් එකේ කියපු ටයිල් අල්ලන්ඩ වෙනවා.නිකං හිතහං උඹලා ඔය කොහෙ හරි ගිහිල්ලා ගෙදර එනකොට අලි පැටියට උඹලව දැකලා ප්‍රීතියට ඇඟට පැන්නා.නිකමට කකුලක් පෑගුනා.අර අලියට පෑගිලා මොවද ගියාද කියලා ඇහුවා වගේ සීන් එකක් නෙ බං වෙන්නේ.'

'ඒකනේ බං අලි හදද්දි උංව බැඳලා හදන්නේ.'

'අනික නිකං බලහං, පූසෙක් නං ජරා කළාම ඌම වහනවා.බල්ලෙක් නං පස් ටිකක් දාලා වැහුවෑකි.අලි බෙට්ටක් කොහේ දාන්ඩද? උඹල මොකෝ මල් එළවලු වවනවා කියලයැ.'

'මචං මේ උඹ මාව අධෛර්ය කරන්ඩ හදන්ඩ එපා.මොනවා කිව්වත් මම අලි පැටියෙක් ගේනවා ගේනවා ගේනවාමයි.'

'ආ තව එකක්.උංගේ මද කිපෙන කාලෙට මොකෝ උඹලා ඌට කෑල්ලක් ගෙනත් දෙන්ඩද? වැරදිලාවත් ඔය බැඳලා ඉන්න චේන් එක කැඩුනා. උඹලගෙ ගෙදර සෙට් එකම අලි මන්තර දැනං ඉන්ඩ වෙනවනෙ බං ආත්මාරක්ෂාවට.'

'ඇත් ගොව්වෙක් ඉන්නේ ඒකටනේ'

'ඇත් ගොව්වො ඉන්නෙම බී ගත්තු ගමං.උඹලට ඌට ඇල්කොහොල් දීමනාවකුත් දෙන්ඩ වෙනවා වෙනම.බීලා ඉඳං ඌ මොන මගුලක් නටයිද දන්නෑ.පොඩ්ඩක් හිතහං නාවන්නේ කොහොමද කියලා.උඹනං එච්චර නෑමේ වටිනාකමක් දන්නෙ නෑ තමයි.ඒ උනාට අලියෙක් නාවනවා කියන්නේ ලේසි වැඩක් ද? බාත් රූම් එකේ දාගෙන ෂැම්පු දාලා නාවන්ඩ ද? උඹලගේ මලයත් මට ශුවර් නෑ. ඌ අලියගේ මයිලක් ඇදලා බලන්ඩ උනත් පුළුවං ජාතියේ එකා.'



'මං යනවා බං.'

'පොඩ්ඩක් ඉඳපං. උඹට කිතුල් අතුද ඕනේ , ගොබද ඕනේ.'

'නෑ කිතුල් එපා.මට අලිත් එපා.බලු පැටියෙක් ගන්ඩ තැනක් කියපං.'

'අන්න පොඩි ඉස්කෝලේ ගාව බලු පැටව් දෙන්නෙක් දාලා ගිහිං තිබ්බා.බලලා එකෙක් අරං පලයං.එක්කෝ එකෙක් නෙමෙයි දෙන්නම අරං පලයං.ඇත් ගොව්වට දෙන්ඩ ගියපු සල්ලි ඉතුරුයි නේ.මේ තේ එක බීලා පලයං.'

'නෑ කමක් නෑ.මට තේත් එපා.'