13 May 2015

මම බඳින්ඩ තීරණය කළෙමි

එදා තනිකඩ උනාට පස්සේ තනිකඩ ජීවිතේ සුවය විඳිමින් කාලයක් සතුටින් ජීවත් වෙන කොට ටික ටික තනිකඩ ජීවිතේ තියෙන කටුකත්වය අවබෝධ වෙන්ඩ ගත්තා.බාත් රූම් එකේ මම ඉන්න වෙලාව සෑහෙන්ඩ වැඩියි කියලා ගෙදර අය චෝදනා කරන්ඩ ගත්තට පස්සේ සහ බ්ලොග් එකක් බලාගන්ඩවත් විදිහක් නැති වෙන විදිහට නෙට් කනෙක්ෂන් එකේ ඩේටා ඉවර වෙලා යන්ඩ ගත්තට පස්සේ මම තීරණය කළා තනිකඩ ජීවිතේ ගත කළා ඇති කියලා.මම තරුණ කොල්ලෙක්ට ජීවිත කාලේ ඇතුලත ගන්ඩ සිද්ද වෙන භයානකම තීරණය ගන්ඩ හිතුවා.



ඔව් මම කසාදයක් බැඳ ගන්නවා.ඊට පස්සේ අක්කර දහයක පහළවක පුංචි ඉඩමක කාමර දහයක් දොළහක් තියෙන පුංචි ගෙයක් හදාගෙන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක පුංචි රස්සාවක් කරගෙ ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන හැටි හීන මැව්වා.ජීව්තේ ගොඩාක් බෝරිං උනොත් ඡන්දේ හරි ඉල්ලන්ඩ බැරියෑ.ඊට පස්සේ ජනාධිපති වෙලා ජනතාව අතරට යන කොට ඇමති ආරක්ෂකයෙක් වතුර බෝතලයක් ඉනේ ගහගෙන මගේ ගාවට කිට්ටු වෙනවා හීනෙන් පෙනිලා මම කෑ ගහගෙන නැගිට්ටා.

"මොකද මොකද භූමිකම්පාවක්ද?" ආච්චි කාමරේට කඩාගෙන පැන්නේ ඔළුවත් අත්දෙකෙං වහගෙන.

"මොන භූමිකම්පාද ආච්චි.මම මේ හීනයක් දැක්කා." මම ආච්චිට හොරෙන් සරම අතගාලා බැලුවේ හීනෙන් බය වෙච්ච පාර මුත්තරාත් ගිහිල්ලද කියලා.

"තූ විතරක් නොසන්ඩාලයා.ඈ යකෝ මේ නහින දෙහින කාලේ ඉන්න මාව මෙහෙම බය කොරන්ඩ හොඳද මං අහන්නේ? උඹ මොකක්ද හීනෙන් දැක්කේ ඔච්චර බය වෙන්ඩ තරං? ජාතික ගීය අරාබිවලිනුත් කියන්ඩ දීලා වගේ"

"ඈ ආච්චි, ආච්චි බඳිද්දි වයස කීයක් විතරද?" මම ආච්චිගේ ප්‍රශ්නය මගහැර ඇසුවෙමි.

"පාළොහක් විතර ඇති මයේ හිතේ.කොහෙද උඹලගේ සීයට ඉවසුං නැතුවනේ හිටියේ."

"එතකොට සීයට වයස?"

"බොලාගේ සීයා මට වඩා අවුරුදු දෙකනේ වැඩිමල්"

"එතකොට ආච්චිලා බැන්දේ ලව් කරලද නැත්තං ප්‍රොපෝසල් එකක්ද?"

"හූහ් ඒ කාලේ මේ දැං වගේ ඔය නෙයියාඩගං තිබ්බේ නෑ.ගෙදරිං මොකක්ද කියන්නේ ඒකට හා කියනවා මිසක් ඔය දැං ඉන්න උං වගේ ඔක්කොම නැටිලි නටලා ඉවර වෙලා නැන්දම්මට නොපෙනෙන්න ඈත පැත්තක හොනිමුං ගියේ නෑ.අපි විළි සංගේ ඇතුව හැදුනේ.පිරිමියෙක්ගේ මූන බලලා කතා කරලා නෑ."

"ඔය ඇත්තමද ආච්චි? හොඳයි ආච්චි කොල්ලො එක්ක යාළු උනේ නැති උනාට කොල්ලො ආවේ නැද්ද ආච්චි එක්ක යාළු වෙන්ඩ?"

"හෙඃ ඒ හරිය මොකට කියනවද?මං ඒ දවස්වල වෙලේ ළිඳෙං නාලා ගෙදර එනකොට ගමේම කොල්ලො පාරට එනවා.උං එක එක ඇට්ටිං දානවා ඇස් ගහනවා ඒ උනාට මම නෙමෙයි ඒ එකෙක් දිහා ඔළුව උස්සලා බැලුවේ.මාව කරකාරේ ගන්ඩ හිතාගෙන හිටපු දෙන්නෙක් ගහමරාගෙන ගං දෙකක් තරහත් උනා ඕං."

"මේ ගෑනිගෙ කෙබර උඹත් ඉතිං පිළිගන්නවනෙ.අනේ ගොනා" සීයා එහෙම කියාගෙන කාමරේට කඩා පාත් උනා.

"මොනවද මම කියන කෙබර"

"මේ ගෑනි නාලා එද්දි කොල්ලො පාරට ආවෙ නැහැ පුතේ.කොල්ලො පාරට එන වෙලාවක් බලලා තමයි මේ උඹලගෙ ආච්චි නාන්ඩ ගියේ"

"අනේ යනවා යන්ඩ"

"එතකොට සීයා කොහොමද ආච්චිට සෙට් උනේ?" මම ඇහුවෙ වලියක් යයි කියලා බය වෙච්ච හින්දා.

"උඹලගෙ සීයට ඒ කාලෙ හරියට මදන විසේනෙ පුතේ.මගෙ පස්සෙං වැටිච්චි ගමංමයි." ආච්චි පැනලා උත්තර දුන්නා.

"උඹලගෙ ආච්චි අපේ නංගිව යාළු කරගෙන මම යන එන තැං ගැන ඔත්‍තු බලලා ඒ හැම තැනටම රිංගුවා පුතේ"

"වැඩේමයි මෙතන මෙයා පස්සෙ යන්ඩ.මට අමාරුවනෙ."

"අමාරුව හින්දා නේන්නං අමාරුව හොඳ කරන කං මගෙ වටේ කැරකුනේ."

"කාගෙ අමාරුවද දන්නෙ නෑ එදා බැදි දෙල් ගහ ළඟදි මාව මූකලානට උස්සං ගොහිංහ හොඳ කර ගත්තෙ?"

"එපා නං කෑගහන්ඩ නොවැ තිබ්බෙ.හිටියෙ යස අපූරුවට.අන්තිමට මම යමුයි කිව්වම කවුද දන්නෑ තව ටිකක් ඉඳලා යමු කීවෙ."

"ඉඳලා යමු කීවෙ කවුරුවත් දැක්කොත් කියලා.කොහෙද ඒකත් අර ඩිංගිරා දැකලා අපේ ගෙදෙට්ට කිව්වෙ නැත්තං හොඳ මිනිහෙක් එක්ක දීග යන්ඩ තිබ්බා.ලැම්බට් සිංඥො මට කොච්චර මනාපෙන්ද හිටියෙ. ඉහි..ඉහි..."

ආච්චී අඬන්නට පටන් ගත්තාය.සීයාගේද හිත උණු විය.උන්දෑ සාරුක් ඛාන් වාගේ ආච්චීව තුරුල් කරගත් වහාම මම පරම්පරාවේ රහස් හිතෙන් දරාගෙන කාමරෙන් එළියට පැන ගතිමි.


12 May 2015

මා ආදරේ නෑ මුළු ලොවටත් වඩා



"මා ආදරෙයි මුළු ලොවටත් වඩා.....මා කාටවත් නෑ එලෙසින් කියා..."

"ඉතිං මට කියන්ඩකෝ සුදෝ.." එයා කිව්වේ මට තව තවත් තුරුල් වෙන ගමං.තවත් තුරුල් වෙන්ඩ ගියොත් මේ කෙල්ල මගේ ඇඟ ඇතුලටම රිංගලා තමයි නවතින්නේ කියලා මට හිතුනා.

"එහෙම කියන්ඩ බෑනේ.මම එහෙම කාටවත් කියලා නැත්තේ මම බොරු කියන්ඩ කැමති නැති හින්දා." මම කිව්වා.

"ඒ කියන්නේ ඔයා මට ආදරේ නෑ..." අර හැම කෙල්ලෙක්ම කරනවා වගේ මාව බොරුවට තල්ලු කරලා එහාට උනේ බැරි වෙලාවත් මම මළ පැනලා නැගිටලා ගියොත් බදලා අල්ල ගන්ඩ පුළුවං දුරකට විතරයි.

"ඔයාට ආදරේ නැත්තං මම මෙහම තනි පංගලමේ ඔයත් එක්ක මේ වගේ ගමං එනවද? අනික මං ඔයාට පොරොන්දු වෙලානේ තියෙන්නේ වෙන කෙල්ලෙක් සෙට් උනේ නැත්තං ඔයා බඳිනවාමයි කියලා.මම කිව්වේ ලෝකෙට වඩා ඔයාට ආදරේ කරන්ඩ බෑ කියලා."

"ඇත්තටම ආදරේ නං මොකද ඕක කියන්ඩ බැරි.වෙන කොල්ලන්ට එහෙම කියන්ඩ පුළුවංනං ඇයි ඔයාට කියන්ඩ බැරි?"

"ඇත්තට ඔයාට කී දෙනෙක් එහෙම කියලා තියෙනවද?"

" ඔය ඉතිං ඔයාට ඔය වගේ කුණුහරුප තමයි අල්ලගන්ඩ තියෙන්නේ."

"නෑ මගේ රං කඳ, වස්තුව මාගේ නිර්මල නිසැක ප්‍රේමය ඔබට හැර කාට නම් පුදන්නද? පෙර සිටි ස්ත්‍රීන් කිහිප දෙනාම මාගේ හදවත තලා දමා මා හට උස් පාවහන දී ගිය පසු මාගේ කුළුඳුල් ප්‍රේමය පිදුවේ තිට නොවෙම්ද? මා පැවසූයේ මාගේ හෘදයේ තී කෙරේ ඇති ප්‍රේමයට වඩා මා තුළ මේ මුළු මහත් ලෝ තලය කෙරේ ඇති ප්‍රේමය අධික බව පමණක් නොවේද?"

"මේ කියන බම්බුවක් තේරෙන්ඩ කියනවද?"

"මං කිව්වේ තොට ආදරෙයි තමයි හැබැයි තොට වඩා මම ලෝකෙට ආදරෙයි කියලා."

"ඉහි...ඉහි..... මම මැරෙනවා මුහුදට පැනලා" ඇය හොඳින් හරි බරි ගැසී රැල්ල නො එන හරියේ අරලිය ගහක් යට වාඩි වූවාය.

"නෑනේ සුදෝ මෙහෙමනේ දැං හිතන්ඩ ඔන්න මට තීරණය කරන්ඩ සිද්ද වෙන මොකක් හරි අවස්ථාවක් එනවා එක්කො ලෝකේ නැත්තං ඔයා කියන දෙකෙන් එකක් විතරක් බේරගන්ඩ සිද්ධ වෙන.එහෙම ෆිල්ම් ඔය ඕනේ තරං තියෙන්නේ.එක්කෝ ඔයාව බේරගන්ඩ ලෝකේ කැප කරන්ඩ වෙනවා නැත්තං ලෝකෙ බේර ගන්ඩ ඔයාව කැප කරන්ඩ වෙනවා.මම මොකක්ද තෝර ගන්නේ?"

"ඇයි අනේ මාවනේ තෝරගන්ඩ ඕනේ.ඔයා ඇත්තටම මට ආදරේ නං."

"ඈ යකෝ ලෝකෙම විනාස වෙන්ඩ දීලා තෝව බේරගෙන ඊට පස්සේ උඹයි මායි බුදියන්ඩ යන්නේ හඳටද? තෝ වගේ මී නෑම්බියක් එක්ක ඉඳලා ටික දවසකින් මට ජීවිතේ එපා උනාම පොඩි ඩ්‍රින්ක් එකක් ගන්ඩ යන්නේ සිකුරුවලටද?ලෝකේ ඉන්න අනිත් ගෑනු ලස්ස කෝටි ගාණක් විනාස වෙන්ඩ දීලා තෝව විතරක් බේර ගන්ඩද මට කියන්නේ? අඩුම තරමේ මේ ගහකොල සතා සීපාවා ගැනවත් උඹට අනුකම්පාවක් නැද්ද? තෝ හොඳයි අර බදුයුදීන් කාරයා එක්ක විල්පත්තුවේ කැලේ කොටන්ඩ අරින්ඩ.කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු සත්තු මැරිලා ගිහිල්ලා ඒ ජීවිත නැති කිරීමට වක්‍රව දායක වෙච්ච එකෙක් හැටියට මට ස්වර්ග මෝක්ෂ සැප ලැබෙයිද? උත්තම නිර්වාණෙට යයිද? ඒ ඔක්කොමත් හරි ලෝකෙම විනාස උනොත් අර දීපිකා පදුකෝන් කෙල්ලයි, සහෝදර හිතිං මිනිහා නැති වෙලාවට මට ඇඳේ නිදාගන්ඩ දෙන වසුන්දරා අක්කයි දෙන්නත් මැරිලා යනවා නේද යකෝ?" මාගේ වාග් ප්‍රහාරය අවසන් වන විට නැවතත් මා තනිකඩයෙක් වී සිටියෙමි.