06 May 2020

කොණ්ඩ රැවුල් සහ මුහුණු සායම්

  
 
ඉස්කෝලේ යන කාලේ අපෙන් වෙලාවට එන එක. වෙලාවට යන එක, වෙලාවට කන එක, "එක්ස්කියුස් මී" කියලා චූ දාන්න යන එක වගේ දේවල් අපේක්ෂා කළා වගේම බොහොම තද බල විදිහට බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හරි ගානට කොණ්ඩෙ කැපිල්ල. මේක කොහෙත්ම සුළු කොට තකන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මහින්ද එන්ඩ කිව්වම යන්ඩ බෑ කියලා කට්ටියක් තීරණේ කළාට රැස්වීමෙදි කොණ්ඩෙ වැරදියට කපලා තිබ්බ එකෙක්ට ශිෂ්‍ය නායකයෙක් හරි ගුරුවරයෙක් හරි ළඟට කතා කළොත් නොගිහින් ඉන්ඩ බෑ. යන්ඩම වෙනවා. නැත්තං ඉතිං "එක්ස්කියුස් මී" කියන්ඩත් කළිං කළිසමේ චූ යන්ඩ පුළුවං. අපිව ඇති දැඩි කළේ අන්න එහෙම එළිමහන් සිර කඳවුරක තත්ත්ව යටතේ.

මෙතන ලොකුම ගැටළුව වෙන්නේ පාසලේ කොණ්ඩය සම්බන්ධයෙන් තියෙන නිර්ණායක කොල්ලන්ගේ මනසේ තියෙන කෑල්ලක් සැට් කරගත හැකි කොණ්ඩා විළාසිතා එක්ක එකට නොයෑම. මස්තිෂ්කයෙන් වෙනුවට ශිෂ්ණ මුණ්ඩයෙන් හිතන පතන ඔය වයසෙදි රැස්වීමෙදි හෝ ඉස්කෝලෙට ඇතුළු වෙන ගේට්ටුව ළඟදි ගුටි කෑමට හෝ අවඥාවට ලක් වීමේ අවධානම අරගන්ඩ කොල්ලො පෙළඹෙනවා. කොච්චර වයසට ගියත් ශිෂ්ණයෙන් විතරක් හිතන පතන උන් ඉන්න රටක අර කොල්ලන්ට වැරැද්දක් පටවන්න බෑනේ. ඉතිං කොල්ලො කාලෙන් කාලෙට එන විලාසිතා අත් හදා බලනවා. පස්සේ ඉස්කෝලෙදි අහු උනාම එක්කො ඉස්කෝලෙ ඉස්සරහා සැලුන් එකේ අයියට සල්ලි දීලා විජයග්‍රාහී දෙවන හිස බෑමත් කරගන්න වෙනවා.එහෙම නැත්තං ඔළුව වටේ වැඩිපුර අඩු වෙලා මුදුනේ විතරක් කොණ්ඩේ වැඩි වෙලානං අඟුරු හරි සපත්තු පොලිෂ් හරි ගාලා වැරැද්ද වහගන්න උනුත් ඉන්නවා. ගෙදර අක්කගේ ඇහිබැම පාට කරන පැන්සල හොරකම් කරලා ඔළුව වටේ උලාගෙන අක්කලාගෙන් ගුටි කාපු උනුත් නැතුවා නොවේ.

අපේ ගුරුවරුන්ට අනුව පුද්ගලයෙක්ගේ ශිෂ්ඨභාවය මැණ බැලෙන ප්‍රධානම සාධකය වන්නේ කොණ්ඩය කපා ඇති ආකාරයයි. ඔබ පොරක් විය හැක. ඉගෙනීමේ අති දක්ෂයෙක් විය හැක. අවංකයෙක් විය හැක. කාර්යක්ෂම විය හැක. ඒ මොනවා උනත් කොණ්ඩය නිසි පරිදි කපා නැත්නම් ඔබ අසික්කිත අවලමෙකි. පාසලට අගෞරවයකි. දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කිරීමට උපන් සල්ලාලයෙකි, කුඩ්ඩෙකි. කොටින්ම ඔබ නවතින්නේ එල්ලුම් ගහේ හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටීමෙනි. නැතිනම් බල්ලෙක් බළලෙක් මෙන් පාරේ වෙඩි කා මිය යාමට සිදුවේ. (පාරේ වෙඩි කා මැරී වැටී සිටින බල්ලන් හෝ බළලුන් ඔබ දැක නැති බව කීමෙන් හෝ පාරේ බල්ලන්ට සහ බළලුන්ට වෙඩි තැබීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුටවත් නැතැයි පෙන්වා දීමෙන් හෝ ඔබට සහනයක් ලැබෙන්නේ නැත.). කොටින්ම අයින්ස්ටයින් අපේ පාසලට පැමිණියහොත් කොණ්ඩය කපාගෙන ඒමට නැවත හරවා යවනවා ඇත. ඒ ද පිට්ටනිය වටා වට පහක් දුවවා, මැද මිදුලේ තණකොළ ගලවා සුද්ද කිරීමට යෙදවීමෙන් පසුවය.

රැවුල පිළිබඳ අමිහිරි අත්දැකීම් ලැබුවේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමෙන් පසුවය. පීඨයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලද පළමු උපදෙස වූයේ " මල්ලි උඹලා කොණ්ඩේ පිළිවෙලට කපලා රැවුල කපලා පලයල්ලා ලෙක්චර්ස් යනකොට හරිද? ක්ලිනිකල් යද්දි ගොඩක් පරිස්සම් වෙයල්ලා. කොන්සෝ ඕවා හරියට බලනවා හරිද." කොන්සා යනු කන්සල්ටන්ට් යන්න කෙටි කිරීමෙන් සාදාගන්නා ගෞරවාර්ථ පදයකි.

"අයියේ පොයින්ට් එක පොඩ්ඩක් තිබ්බට අවුලක් නැද්ද?"

"මොකෝ උඹට මේකෙන් පාස් වෙලා යන්ඩ ඕනේ නැද්ද?"

 රැවුලක් වැවීම යනු ජාතික අපරාධයක් බව තේරුම් ගත්තේ එදාය. විටින් විට වාට්ටුවල සායනික පුහුණුව අතරතුරදී මේ බව නැවත නැවතත් මතක් කර දීමට විශේෂඥ වෛද්‍යවරු උත්සුක වූ බව සදහන් කළ යුතුය.

"බලනවා තමුසෙගේ හැටි. ඩොක්ට කෙනෙක් උනාම වැදගත් විදිහට ඉන්ඩ ඕන. වැද්දො වගේ ඉඳලා අපිටත් එක්ක ලැජ්ජ කරවන්ඩද හදන්නේ? " 
කොන්සා ඉංග්‍රීසියෙන් බණින විට හිත රිදෙන්නේ නැත්තේ තේරෙන්නේ නැති නිසාය. පස්සේ පපුව පැළෙන්න එන්නේ රැවුල කපලා නැති එකෙක් නිසා මුළු ශිෂ්‍ය කණ්ඩායමටම උගන්නන්නේ නැතිව එළවා දැමීම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූ කෙල්ලන්ගේ ඇනුම්පද ඇහුවාමය. උන්ට අනුව එක දවසක විශේෂඥ වෛද්‍යවරයාගේ පන්තියක් මග හැරීම නිසා ඔබට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ ශක්‍යතාව නැති වී ගොස් අනාථ වී යනු ඇත. උපාධිය අසමත් වී නැවත ගමට යෑමට නොහැකි නිසා කෝච්චියට පැනීමට සමහරු යෝජනා කළහ. සමහරු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට සැළසුම් කළහ. ගමේ කොල්ලාට බූට් එක තියා කැම්පස් එකේ එකෙක් එක්ක සෙට් වුනු කෙල්ලෙක් නැවත ගමට ගොස් අරූව ෂේප් කරගෙන ඌව බැඳගෙන ජීවත් වන හැටි ගැන සිහින මැවූහ.

කාන්තා සැලූන්වල අක්කලාගේ සහ පොඩ්ඩක් විතර අයියලාගේ වික්‍රම ගැන තේරුම් ගත්තේ පසු කලක දීය. නවදැලි හේනේ දා ගිය වැඳිරි මෑල්ලන් පවා ජැකලින් ෆර්නැන්ඩස්ලා වගේ වෙස් ගන්නන්නට හැකි බවත් කච්ඡපුට අතට ගත් තලිය කටුවකින් සූරා බලා රන් තලියක් බව හඳුනා ගත්තේ යම්සේද ගැහැනියක් හඳුනා ගන්නටද මුහුණ සූරා බලන්නට වෙන බවත් පසු කාලීන අත්දැකීම්වලින් අවබෝද විය. එන්ජින් බාස්ට වඩා පේන්ට් බාස්ගේ වැඩවල වටිනාකම තේරුම් ගන්නා විට එන්ජින් බාස් කෝස් එක සෑහෙන දුරට අවසන් කර හමාරය. අඩුවෙන් මහන්සි වී වැඩියෙන් හම්බ කරන්නට තිබ්බ චාන්ස් එක මිස් විය. 

මිනිස් ජීවිතවලට එතරම් වැදගත් වන්නා වූත් මිනිසා මිනිසෙක් ලෙස පැවතීමට උරදෙන්නා වූත් ක්ෂේත්‍රයක පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිණිය ගත් කාලෝචිත වූ කඩිනම් තීරණය එනම්, රූපලාවන්‍යාගාර ලෙස මීඩියාවල හඳුන්වා දෙන සැලුන් හෙවත් බාබර් සාප්පු නැවත විවෘත කිරීමට ඇය ගත් තීරණය ඉහළින්ම අගය කරමි. මීටරයේ දුර පවත්වාගැනීමටත් හැමවිටම මුඛ ආවරණ පැළඳීමත් සේවාලාභීන් මෙන්ම ශිල්පීන්ද දැඩිව අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඔය ගමන්ම "දෙවෙනි ඉණිමේ" ඉතුරු ටිකත් රූපගත කිරීමට අවසර දෙන්නේ නම් ජන ජීවිත පරිපූර්ණ වනු ඇත.

ඉස්තූතියි!!!



10 comments:

  1. ඉතා රසවත් ලිපියකි. පාසල් ජීවිතය හා විශ්ව විද්‍යාල ජිවිතය විඳඇති මා හට මෙය හොදින් වැටහේ. අප පාසලේද කොන්ඩය, නිල ඇඳුම පිලිබද එවැනි කාරණා තිබුණි. අපේ පාසලේ කොල්ලන් කටි කපා අහුවුනොතින් එදින ආපසු ගොස් නැවත කොන්ඩය වැවෙන තුරු පාසල තහනම්ය. ඒවගේම එකල බෙල් බොටම් නැවත පැමිණි කාලයකි. 98/99 අපේ උන් එය ඔ්නවටත්වඩා බෙල්කළ විට ඉස්කොලෙන් කලිසම් කකුල නිවැරදි කරනු ලැබේ. ගැහැණු ළමයින්ටද නීිති තිබේ. කොණ්ඩයේ රැලි මුහුණට වැටිය නොහැකිය. ඒවා පෙම් රැළි වේ. තෙල් ගෑ යුකුය. කෝණ්ඩය මැදින් බෙදිය යුතුය. ගවුම අණහිසින් පහලට අඟල් 2ක් තිබිය යුතය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කෙල්ලොන්ට ඔය කරදරේ වඩාත් තදට තියෙන්න ඇති.කොහොමත් ගුරුවරු හිතන්නේ කෙල්ලො උනාම "සංවරව" ඉන්න ඕනේ කියලනේ. මම දන්න කෙල්ලන්ගේ ඉස්කෝලෙක කෙල්ලන්ගේ සපත්තු ගලවලා බලනවා කකුලේ නියපොතු පාට කරලද කියලා. පව්...

      Delete
  2. අනිවාර්යෙන් ම!!! දෙවැනි ඉනිම රූපගත කිරීම කඩිනමින් කල යුතුයි!
    ගැසට් එකක් නිකුත් කල යුතුයි.
    එය ජාතික අවශ්‍යතාවයකි...

    ReplyDelete
    Replies
    1. නැතුව. ප්‍රමුඛතා ලැයිස්තුවේ උඩම තියෙන එකක් ඒක. ඒකට ගැසට් එකක් ගැහුවනං තුනෙන් දෙක උනත් ගන්න තිබ්බා කිසි අවුලක් නැතුව.

      Delete
  3. තවමත් ඔයාට කල් තියෙනවා පේන්ට් බාස් වැඩේ ඉගෙන ගන්න ඕන කමක් තියෙනවා නම්.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බ්‍රෝ. දෙකම කරන්ඩ ගිහිල්ලා අනා ගන්නවට වඩා දන්න එක කරං ඉන්න එක හොඳා.හැබැයි එහෙමයි කියලා ඉරිසියාව නැති වෙන්නෙ නෑනේ.

      Delete
  4. වතාවක් කොණ්ඩෙ කපන්නැතුව ඉස්කෝලෙ ගිහින් කතුරෙන් කැපුවා ප්‍රිෆෙක්ට්ලා...විසි කැත්තෙන් තනකොළ කපලා වගේ... හිතු මනාපෙට ඔහේ කැපුවා... පහුවදා කොණ්ඩෙ තියෙනවා නෑ ගානට කපලා යන්න සිද්ද උනා...

    ReplyDelete
    Replies
    1. ඔය ශිෂ්‍ය නායකයො කියන උන් හිතං ඉන්නෙ උන්ට විධායක බලතල තියෙනවා කියලා. අපරදෙ අනිත් දවසෙත් ඒ විදිහටම යන්ඩයි තිබ්බෙ ඉස්කෝලෙ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...