24 April 2018

විදුලි පංකාව



මේ දවස්වල සෑහෙන්ඩ ගිරීස්මයි ය. විස්වාසභංගේ දිනලා, දාසය කැඩිලා, චෝගම් කාලා ඉන්න නිසා දාහය වැඩිපුර දැනෙනවා වෙන්න පුළුවන්ය.මේ ගිනි කූටකේ මිනිස්සු අවුරුදු උත්සවද තියනවාය. මැරතන් දුවනවාය. බලං ඉන්න මට දාඩිය දානවාය. සිංහලේ අය කතාවට කියන්නේ දාඩිය මුගුරු හෙලාගෙන වැඩ කරනවා කියලාය. මුගුරු කියන්නේ පොලුවලටය. දාඩිය පොලු විදිහට දාන්නේ කොහොමද කියා මට තේරෙන්නේ නැත. සමහර විට ඊනියා පඬියෝ දන්නවා ඇතිය.ඊනියා පඬියෝ ගැන කිව්වේ මමත් පොරක් බව පෙන්වන්නටය.ඒ උනාට මම එහෙම පොරක් නොවන බව හැමෝම දන්නවාය.

මගේ මතකය යනු එච්චර විශ්වාසකටයුතු මූලාශ්‍රයක් නොවුනත් මට මතක හැටියට අපි පොඩි කාලේ මෙච්චර දාඩිය දැම්මේ නැත.අවුරුදු කාලේ රස්නයක් තිබ්බත් මේ වාගේ ජ්වලන උෂ්ණත්වයට ආසන්න මට්ටමකට පරිසර උෂ්ණත්වය ළඟා නොවුනු බව මතකය.මේ තරම් මදුරුවෝද ඒකාලේ හිටියේ නැත.මදුරු දැල් භවිතයට මම පුරුදු උනේ මගේ ලොකු අම්මාගේ නිවසේ නැවතී හිටි කාලයේය. ඩෙංගු ගැන අසාවත් තිබුනේ නැත.සමහර විට ඒ කාලේ කාටුන් විතරක් බලපු නිසා දැනුවත් කිරීම් මග ඇරී ගියා වෙන්නටත් පුලුවන්ය. වත්ත පුරාම තැඹිලි කෝම්බ, පොල් කටු, රම්පා ගස් වැනි වතුර රැඳෙන ස්ථාන තිබූ අතර අම්මා විට කනු පිනිස පවත්වාගෙන ගිය "මඩ පුවක් වලෙහි" මදුරු කීටයෝ ඕසෙට හිටියත් ගේ ඇතුලේ මදුරුවන් ගහනය ඉතා අඩු මට්ටමක පැවතුනි.

විදුලි පංකාවක් හෙවත් ෆෑන් එකක් අපේ නිවසේ භාවිතා නොකලේ ඒවා අපේ සමාජ ආර්ථික මට්ටමට අනුව සුඛෝපබෝගී වීම නිසාම නොව පංකාවක අවශ්‍යතාවක් දැඩි ලෙස නොදැනීම නිසාය. ඒ කියන්නේ ඒ කාලේ මේ තරම් දාඩිය නොදැම්ම බවය. (මෙහිදී දෙන ලද කාල සීමාවක් තුල ශරීරයෙන් පිටවන මුළු දහදිය මවුල ප්‍රමාණය සැසඳීමක් සිදු කර නැති බව සලකන්න.)  
සමහර විට දැං අපට වැඩිපුර දාඩිය දමන්නේ පරිසර උෂ්ණත්වය ඉහල යෑමට වඩා අපේ ශරීර උෂ්ණත්වය ඉහල යෑම නිසා වෙන්නට පුළුවන්ය.දවස ගානේ අහන දකින  දේවල් අනුව එහෙම වෙන එක සාමාන්‍යය. කෝටි සීයකට කවුන්සිලේ අළුත්වැඩියා කරලා එක දවසක් රැස්වෙන්න කෝටි දෙකක් විතර වියදම් කරලා ඒක ඇතුලේ කරන ලබ්බක් නැති බව දැනගත්තාම ඇඟේ ලේ රත් වෙලා නටන්න පටන් ගැනීම හැමෝටම පොදු කාරණාවක්ය. විශ්වාසභංගේ ගේන්න කළිං හැමෝම තම තමංගේ ඡන්දය ගැන මාධ්‍ය සාකච්චා තියලා කිව්වාය. ඒ ඡන්ද ටික ඒ ඒ වෙලාවේ ගනන් කර ගන්නේ නැතිව අච්චර වියදම් කරගෙන කවුන්සිලේ රැස්වන්නේ මොන ලබ්බටදැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්ය.

ෆෑන් දාන එක දැං විලාසිතාවක් වෙලා ඉවරය. අම්මලා සෙට් උනාම දෙන ටෝක්ස් ඇහුවාම ඒ බව ප්‍රත්‍යක්ෂ වෙන්නේය.
"අපේ චූටි බබාට දැං ෆෑන් එක නැතුව නින්ද යන්නෑ අනේ.පාන්දරට ෆෑන් එක ඕෆ් කළත් ටක් ගාලා ඇහැරෙනවා."
"අපි නං ඒසී එකක් හයි කළා අනේ.ළමයි පවුනේ මේ රස්නේ කොහොම නිදියන්නද අනේ."

ඒසී ගැන පම්පෝරි ගහන්නේ තවමත් සමාජයේ තරමක් ඉහල මධ්‍යමපාන්තිකයින් පමණි.ඒ අනිත් අයට මාසික විදුලි බිල දරා ගන්නවා තබා රෙද්දක් ගන්න හෝ බඩට කන්නවත් නැත.එහෙම කිව්වාට බඩ පැලෙන්න කාලා දියවැඩියාව හදාගෙන එන එකෙක්ට කෑම අඩු කරන්න කීවාම ඌ අපිව මරාගෙන කන්න බලනවාය.අවුරුදු කිට්ටුව රෙදි කඩයක් දිහා බලන්නවත් බැරි තරමට සෙනඟද පිරිලා ඉන්නවාය.හැබැයි ඇහුවොත් සල්ලි නැත.ලංකාවේ හැම එකාම (මාත් ඇතුළුව ) දාන්නේ බොරුවය.

දරුවන් හැදී වැඩෙන ගර්භාශය ඇතුලේ උෂ්ණත්වය සෙල්සියස් 40ටත් වැඩිය.ඒ පොඩි එකා එළියට ආව ගමං රෙද්දක ඔතලා ගුලි කරලා තිබ්බාම හොඳට නිදියනවාය.ඌට දාඩිය දාලා ඇහැරෙන්නේ නැත.ඉස්පිරිතාලෙන් ටිකට් කපලා ගෙදර ගියාම ළමයාට කෙසේ වෙතත් අම්මාට දාහය හැදෙනවාය.අම්මාට ෆෑන් එක නැතුව බැරි වෙනවාය.දාරක සෙනෙහස උතුරා දෝරෙ ගලන නිසා සහ රෑට සැරින් සැරේ නැගිටින්න කම්මැලි නිසා දරුවා වෙනම නිදි කරවන්නේත් නැත. අවසාන ප්‍රථිපලය වන්නේ ළමයාද ෆෑන් එකට හුරු වෙන එකය. මේ හුරු වීම ඇබ්බැහියක් බවට පත් උනාම ෆෑන් එකේ සද්දේ ඇහෙන්නැතුව හුස්ම ගන්න බැරි වෙනවාය. ෆෑන් එකක් දා ගන්නේ නැතිව කවුරු හරි ඉඳගෙන ඉන්නවා දකින විට අර දරුවා විශ්මයට පත් වෙනවාය.අර මිනිසාගේ ආත්මය දුකින් මුදවා ගන්නට දරුවා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවාය.
"අංකල් ඇයි මේ ෆෑන් එක දාගන්නේ නැත්තේ? ඔයාට දාඩිය නැද්ද? ඉන්න මම ෆෑන් එක දාන්නං.ඔන්න අංකල් ඔයාට හුළං එනවද? මේක තව ටිකක් වැඩි කරන්නද?"

අම්මලාගේ විතරක් නෙමෙයි ආච්චිලාද දැන් සෙල්ලමට එක් වෙලා සිටී. පොඩි දරුවන් නෑවූ විගස 'පපුවට සීතලයි' කියා ඇඳුම් තුන හතර අන්දවනවාය. ඊට පස්සේ 'අනේ ළමයට දාඩිය දාලා' කියා ෆෑන් එක දානවාය.මේ ආච්චිලා පොඩි කාලේ ෆෑන් හොයාගෙන තිබුනේද නැත.නමුත් ඔවුන්ද දැන් මේ සංස්කෘතියට අවශෝෂණය වී හමාරය.

විදුලි පංකා දැමූ කාමර තුළ ඇති සියුම් දුහුවිල්ල ඇවිස්සී වාතයේ නිතරම සංසරණය වන බැවින් දරුවන්ට ඇදුම හෙවත් හතිය ඇති වීමේ යම් සම්භාවිතාවක් ඇත. මම යෝජනා කරන්නේ විදුලි පංකා තහනම් කිරීමට නොව අනවශ්‍ය ඇබ්බැහියෙන් දරුවන් ගලවා ගන්නා ලෙසටය.

ස්තූතියි!!!

6 comments:

  1. අපිනං නිදාගැනීමට පෑන් දාන්නේ නැත. මදුරුවන්ටනං වේපරයිසරය පිහිටට හිටී.

    ReplyDelete
    Replies
    1. මදුරුවන්ටවත් ෆෑන් එක දාන්න.උන්ටත් රස්නෙ ඇති නෙව

      Delete
  2. ඉස්සරට වඩා දැන් රස්නෙයිලු. ලෝක ගොලෙ උණුස්ම් වෙනවලු. ද්‍රවාසන්න අයිස් තට්ටු දියවෙනවලු.
    ලඟතදි කොස් නැදුන් කළුවර වගේ පර්මිට් රිලීස් කොරල ගැසට් එකක් ගියෙ නෑ මයෙ හිතේ..
    අදාලම නැද්ද මංද?

    ReplyDelete
    Replies
    1. නකල්ස් පැත්තේ කැලෑ ඉඩම් බදු දෙනවලු. විල්පත්තු කපලා ඉවරයිලු. පුලුවන් තරං චීනේ ප්ලාස්ටික් මෙහෙ ගොඩ ගගහා පුච්චනවලු රස්නෙ වැඩි හින්දා ෆෑන් දාලා මදිනං ඒසීත් දානවලු.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...