26 February 2013

පුංචි අපේ ලොකු වාහනේ


කෝච්චියේ ඇති ආධාරක පොල්ලකි.බලන්න කී දෙනෙක් සහයෝගයෙන් එහි සේවය ලබනවද කියා....


කෝච්චිය කියන්නේ පොඩි මිනිහාගේ ලොකු වාහනේය.උදේ පාන්දරට මිනිස්සු ඇස්වල කබ කඩන්නේ කෝච්චියට නැග්ගාට පස්සේය.හවසට ෂර්ට් එකේ බොත්තං ගලවන්ඩ පටං ගන්නේ කෝච්චියෙන් බහින ගමන්ය.කෝච්චියේ ගමන කොච්චර කටුක උනත් මිනිස්සු කෝච්චියේ යන්ඩ ආසාය.හිරවෙලා තෙරපිලා, දාඩිය පෙරාගෙන උනත් හැමදාම යන එන එක කල්ලියේ ඇත්තෝ පුළු පුළුවන් හැටියට සෙට් වෙලා පච හැලීම, ජැක් ගැසීම මෙන්ම ඕමි ගැසීම ආදියෙන් යන එන ගමන තෘප්තිමත් කර ගැනීමට හුරු වී සිටිති.

කෝච්චියේ ගැන්සියක් යනු වෙනම සංස්කෘතියකි.වෙන වෙලාවට කොච්චර කුහක කුම්මැහි එකා උනත් කෝච්චියේදී ටිකක් වෙලා ඉඳගෙන ගියාට පසු කල්ලියේ වෙන එකෙක්ට ඉඳ ගැනීමට අසුන දෙන්නේය.පුංචි කෑමක් උනත් ගැන්සියම බෙදාගෙන කන්නෝය.චීන ජංගම දුරකතනයෙන් හැමෝටම ඇහෙන්න සින්දු දමාගෙන යන්නෝය.කොහෙන් හෝ ඇසූ , විහිළු කතාවක්, කේළමක් ආදිය රසකර කියමින් ගැන්සිය මෙන්ම ඇසෙන මානයේ සිටින හැමෝම සිනා සාගරයේ ගිල්වන්නෝය.කළිං දවසේ 'චංගුමී' බලන්ඩ බැරි වෙච්ච එවුන්ට සිද්ධ වෙච්ච දේ කියන්නෝය.


කෝච්චියේ හොර ලව් සිද්දි ද එමටය.අපේ රටේ මිනිස්සු කොහොමත් තනිව සිටින්නට කැමති නැත.එච්චරට සමාජශීලී ය.එනිසා කෝච්චියේදීවත් තනිවී ගමන් කරන්නට කැමති නැත.ඒ වගේම හැමෝගේම හදවත් ප්‍රේමයෙන් පිරිලා ඉතිරිච්ච ගමන්ය තිබෙන්නේ.ඒ ප්‍රේමයෙන් කොටසක් කෝච්චියේ යන එන මිතුරෙකුට හෝ මිතුරියකට පිරිනමන්නට සැබෑ ශ්‍රී ලාංකිකයා කිසි විටෙක පැකිලෙන්නේ නැත.මන්ද සිය සැමියාට හෝ බිරිඳට ද දීමට ඇති තරම් ප්‍රේමය තමා සතු බව ඔවුන්ට හොඳින්ම විශ්වාස නිසාය.කෝච්චියේ සෙනඟ පිරෙනවාට කවුරු අකමැති උවත් මේ පෙම් කුරුල්ලෝ නම් අකමැති නැත.පෙනහළු දිගහැරෙන්නට හුස්මක් ගන්නට නොහැකි තරමට දුම්රිය මැදිරිය තුළ පීඩනය වැඩි උවද ප්‍රේමාලිංගනයෙන් වෙලී මෙලොවින් ගව් දහස් ගණනක් ඈත වෙසෙන ඔවුන්ට ඒ ගැන වගක්වත් නැත.උදේට දෙමටගොඩට යනතුරුත් හවසට ගම්පහට එනතුරුත් ඔක්සිජන් බිඳක්වත් නොපතන මේ පෙම්වතුන්ව ජීවත් කරවන්නේ ඔවුන්ගේ පරම පිවිතුරු ප්‍රේමයයි.


ජැක් ගැසීම ජීවන වෘත්තිය කරගත්තාවා අංකල්ලා මෙන්ම ජැක් වැදීම දෛනික සිදුවීමක් වූ අක්කලාද කෝච්චියේ යති එති.ජැක් ගැසීමෙන් මිනිහෙක් තෘප්තිමත්වන ආකාරය මට කොහෙත්ම හිතාගත නොහැක.උදේ ජැක් ගැසීම කෙසේ වෙතත් ජුගුප්සාවක් නැතුව දහදිය ගඳ ඉවසමින් හැන්දෑවට ජැක් ගහන්නේ මොන කුණු පෙරේතයින්දැයි සිහිනෙන්වත් සිතා ගත නොහැක.සමහර වෙලාවට ඇන්ටිලා සෙනඟ තල්ලු කරගෙන පෙරළාගෙන ඇවිත් පිරිමියෙක්ගේ ඉස්සරහින් හිට ගනිති.ඉන්පසු කෝච්චිය ගැස්සෙන වාරයක් වාරයක් පාසා අර අසරණ පිරිමියා දවා හළු කරන බැල්මෙන් රවති, 'චුඃ' ගාති.අර අසරණයා සිය කටී පෙදෙස ඇන්ටීගේ පශ්චාත්භාගයේ ස්පර්ශ නොවන සේ තබා ගැනීමට පරිස්සම් විය යුතු අතරම ගැට කපන්නන්ගෙන් ගැටයද පරිස්සම් කර ගත යුතුය.

'ගැට කපන්නා' යන වදන බිහිවීම ගැන මා තුල අවිනිශ්චිත අදහසකි ඇත්තේ.එය මිනිසුන් ලේන්සුවේ ගැට ගසාගෙන ගිය මුදල් සොරකම් කිරීම නිසා උපන්නේද නැත්නම් ඇන්ටිලා හැට්ටේ අස්සේ සඟවාගෙන ගිය මුදල් හොරකම් කිරීම හා සම්බන්ධව බිහිවීද යන්න පැහැදිලි නැත.කෙසේ වෙතත් මුදල් පසුම්බි නැති වීම දැන් එතරම් බහුලව සිදු නොවේ.'මුදල් පසුම්බි' යන වදන ද ශබ්ධ කෝෂයෙන් ඉවත් කළ යුතුයැයි හොරුන් විසින් ළඟදීම යෝජනා කරනු නියතය.පසුම්බියේ ඇත්තේ සීසන් පත්‍රය,දින දර්ශන, බිල්පත්, බස් ටිකට්, බැංකු කාඩ්, හැඳුනුම් පත්, සහ රියැදුරු බලපත්‍ර ආදිය ය.මුදල් කියා ඇත්තේ දෛනික බස් ගාස්තුව සඳහා රුපියල් දහයක් හෝ විස්සක් පමණක්ය.කලකට පෙර ජංගම දුරකථන සොරකම් කිරීම සීඝ්‍රව ඉහළ ගියේය.නමුත් චීන දුරකථනවල ආගමනයත් සමඟ ඒවා සොරකම් කිරීමද පාඩු ලබන්නට වූ බැවින් ඒවා සොරකම් කිරීමද දැන් පහළ ගොස් ඇත.මේ දිනවල දුම්රියේ යන එන මගීන් වැඩියෙන් පරිස්සම් කරන්නේ එළවලු මල්ලය.


කෝච්චියේ යන එන ගමනේ විනෝදය රැක ගැනීම පිණිස සමහරු සින්දු කීමට පෙළැඹී සිටිති.රුපියල් දෙකේ කාසියක් ගෙන මැදිරියේ බිත්තිය‍ය සහ ජනේලයට තලමින් සිදු කරන සමූහ ගායනයේ ගායකින්ට වඩා සිටින්නේ කොහෙට හෝ තට්ටු කරමින් තාල වාදනය සපයන වාදන ශිල්පීන්ය.ඒ නිසා තරමක් දුරට ඇහෙන්නේ 'ටක්ක...ටකුටු....ටක්ක....ටකුටු...' යන තාල වාදනය මිස ගායනා කරන ගීතය නොවේ.මෙසේ කරන ගායනය ප්‍රජා සේවයක් මිස ආදායමක් උපයන්නේ නොවේ.දුම් රියේ ආදායමක් උපයන අදහසින් ගීත ගයන්නෝ ද සිටිති.සෙනඟ තරමක් අඩු වෙලාවට බොංගෝ එකක්ද රැගෙන එන මොවුන් සෑම විට 'හොරෙක් මංකොල්ල කාරයෙක්' නොවෙත්.එමෙන්ම සියල්ලෝම පාහේ සල්ලි හොයන්නේ 'ඔවුන්ට පුළුවන් හැටියකට සින්දුවක් දෙකක් කියලා'ය.ඒ වගේම හැමෝම 'උදේ ඉඳං හවස් වෙනකං කෝච්චි පෙට්ටියක් පෙට්ටියක් ගානේ නැගලා උගුර බැරැණ්ඩි වෙනකං' සින්දු කියති.සින්දු දෙකක් කියා අවසානයේදී ඔවුන් ඉල්ලන්නේ 'අතේ මිටේ තියෙනවනං කීයක් හරි' ය.ඒ වගේම 'හොරෙක් වංචාකාරයෙක්' යැයි නොපෙනෙනවා නම් ය.

එයිට වඩා අසරණ ගායකයෝද කෝච්චියේ සිටිති.අන්ධයින්, කුඩා ළදරුවන් සිටින සැමියා මිය ගිය මව්වරුන් ආදීන් කියන්නේ ද ශෝක ගීත හෝ කවි ය.

නෝනාවරුනි මහතුනි මට වෙන්ඩ සමා....
මම වඳිනවා ඔහෙලට මගෙ සිරස නමා......
උරුමය වෙන්ඩ තිබුණේ මේ දුකම තමා....
පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා.....

මේ කෝච්චියේ නිතර හමුවන කාන්තාවකි.උදරයේ පෙකණිය (බුරිය ) ආශ්‍රිතව ඇතිවී ඇති හර්නියා තත්ත්වය (රතු ඊතලය ) ආදායම් මාර්ගයක් කරගෙන ඇත.


ඉන්පසු එන්නේ රෝගය විකුණා ගන්නට බලන ඇත්තෝය.හර්නියා, බරවා, අතපය කොර වූවන් ආදී ලෙස වෛද්‍ය විද්‍යාවේ ඕනෑම ආකාරයක රෝගයක් සමඟ රෝගය සහතික කරන 'ඉංගිලිසි'යෙන් ලියූ රෝග නිශ්චය පතක් ද රැගෙන එන්නන් රෝහලේ සායනයකට නොයන්නේ මන්දැයි මටනම් තේරෙන්නේ නැත.'කිසිම වැඩක් පලක් කරගන්නට නොහැකි' අබ්බගාත ඇත්තෝ ධාවනය වෙන දුම් රියට නගින්නේ මහත් වූ ක්‍රියාශීලීත්වයකිනි.රෝගයට කොහෙත්ම අදාල නොවන රෝග නිශ්චය පතක් රැගෙන එන්නන්ද බොහෝ වෙත්.සමහර මඟීන් තමුන්ට රෝගය තේරෙන්නාක් මෙන් රෝග නිශචය පත දෙසද බලා මුදල් දෙති.ඉන්පසු මහත් අනුකම්පාවෙන් රෝගී යාචකයා දෙස බලා සිටිති.

තමුන්ට නාගෙන ඇඳ සිටින රෙද්ද හෝදා ගැනීමට මුදල් වැයවන එකම රට ලංකාව විය යුතුය.ලංකාවේ යාචකයාගේ ප්‍රධාන ලක්ෂණය ඉවසිය නොහැකි ගඳ ය.ලංකාවේ ඇති ගංගා එකසිය තුනේම මෙන්ම සිය ගණනක් වන වැව් හා ඇළ දොළ ළිං පොකුණු ආදියේ නෑම සහ රෙදි සේදීම සඳහා ප්‍රාදේශීය සභා හෝ පළාත් සභාවලින් මුදල් අය කරනවා විය යුතුය.නැතිනම් එසේ නෑම හා රෙදි සේදීම දඬුවම් ලැබිය හැකි වරදක් ද විය හැක.

කෝච්චියේ අනිකුත් සමාජ සම්බන්ධය ගොඩ නඟන්නේ වෙළෙන්දෝය.පහක් සීයයි කූල් නාරං වල සිට ඇපල්, දෙළුම්, තොප්පි, මැජික් බෝල, බෑග් මලු, නලා, පොත් පත් (කඩේ ගන්ඩ ගියොත් දෙසිය පණහයි...මම දෙන්නේ පහම සීයට.... ), ස්වීප් ටිකට් (ගියොත් විෂ්ෂයි ආවොත් කෝටියයි..අද අදිනවා සම්පත අදයි.....), වඩේ (ඉෂ්ෂෝ වඩේ වඩේ වඩේ වඩේ............දහයට පහයි පහක් දහයයි ඉෂ්ෂො වඩේ වඩේ වඩේ.........), කඩල, රටකජු (බෝල කඩල..ටේස් කඩල..කජි කඩල රටකජි.....), ආදී එකී නොකී සියල්ලම දුම්රියේ විකුණන්නෝය.හොඳට කැපෙන හයිය පිහි, පහේ කාසී චේන් වගේම දත් කැක්කුමට කණ් කැක්කුමට කල්ක චූර්ණ අරිශ්ඨ ආදියටද කෝච්චියේ හොඳ ඉල්ලුමක් ඇත.

මේ කිසිම මානව සම්බන්ධතාවකට රජය මැදිහත් වන්නේ නැත.මේ කිසිවක් වෙනස් නොකිරීමට රජය තීරණය කරගෙනද සිටී.ඒ සියල්ල ජනතාවාදී ආණ්ඩුවක යහපත් තීරණයන් වේ.මහ බැංකු වාර්ථා අනුව චීන ආර්ථික වර්ධන වේගයට කිට්ටු වේගයකින් සංවර්ධනය කරා ගමන් කරන අපේ රටේ ජනතාවගේ සමාජ සම්බන්ධතා ඒ අයුරින්ම රැක ගැනීමට රජය කටයුතු කිරීම මහත් කොට පැසසිය යුතුය.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


කෝච්චි සම්බන්ධ සින්දුවක් දාන්ඩ හිතාගෙන හිටියට අමතක උනා.පරක්කු වෙලා උනත් ඔන්න දැම්මා.පරක්කු වෙලා කියවන ඇත්තෙක් ඉන්නවනං ඔන්න බාගෙන අහන්ඩ හොඳේ...

කෝච්චි බයිලා


23 comments:

  1. උබේ කතාව සහතික ඇත්ත... තව සිගමන් යෙදෙන පිරිසක් ඉන්නව... ඒ තමයි තමන්ගෙ දරුව විකුනන පිරිස...

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ දරුවා විතරක්නං කමක් නෑ කියමුකෝ.මේ අනුන්ගේ දරුවොත් අරං එනවනේ.

      Delete
  2. උදේට මහත්තයගේ අතේ එල්ලිලා ඇවිත් කෝච්චියට නගින නෝනම ඊගාව ස්ටේශන් එකෙන් තව මහත්තයෙක්ට තුරුල් වෙලා යනවා මං අනන්ත දැකලා තියෙනවා. මාත් අවුරුදු දෙකකට කිට්ටුවෙන්න කාලයක් කෝච්චියේ ඉස්කෝලෙ ගියා. ;)

    ReplyDelete
    Replies
    1. මා අසා තිබෙනවා මෙවැනි කතාවක් චන්දි කොඩිකාරගේ “මහව කෝච්චිය“ පොතේ තිබෙනවා කියා.

      Delete
    2. Sabith - කෝච්චියේ ඉස්කෝලේ ගිය කාලේ තමයි ආතල් කාලේ බං.කෝච්චියේ ගාඩ් ගෙනුත් බැණුං අහලා තියෙනවා.

      Nirmala Madushani - චන්දි කොඩිකාරගේ පොත් නං කියෝලා නෑ.කෝච්චි කතානං පොත් දුසිමක් උනත් ලියන්ඩ බැරියෑ.

      Delete
  3. ප්‍රමාද වෙලා හරි අහම්බයෙන් මේ බ්ලොග් අඩවිය අද උදේ මුණගැහුණා. සියවෙනි සාමාජිකයා විදියට හරි හඹා එන්න ලැබීම ගැන සතුටුයි. :) තවම තැනින් තැනින් උඩින් උඩින් කියෙව්වෙ..ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනව. හෙමිහිට කියවන්න ඕනේ.. :)

    ReplyDelete
    Replies
    1. මගේ සියවෙනි හඹා එන්නා විදිහට සාදරයෙන් පිළිගන්නවා.ඔබතුමි (? ) ගේ බ්ලොගටත් ඔන්න මම ආවා.දිගටම එන්ඩ ඕනේ එහෙනම්...

      Delete
    2. "ඔබතුමි " :o

      ඔබතුමී කියන්න ඕනේද අප්පා මේ පුංචි මට ?? මම වකා නේ :)

      අපි එනවෝ...

      Delete
  4. කෝච්චියෙත් බස් එකේම වගේ තමයි.. වෙනස තියෙන්නෙ කෝච්චියෙ ඉන්නා ගැන්සි.. මේ ගැන්සිවල එක එක වයස්වල ගෑණු පිරිමි භේදයකින් තොරව ඉන්න බව ඉතින් හැමෝම දන්නවානෙ..

    මේගොල්ලො හිතන් ඉන්නෙ කෝච්චියෙ සීට් එයාලටම බුක් කරලා කියලා.. එයාලගෙ යාළු මිත්‍රකම් පවත්වා ගත්තට අවුලක් නෑ.. ඒත් ඒක අනිත් අය අපහසුතාවයට පත් කරන්න යොදාගන්න ඕනෙ නෑනෙ..

    ඒ කණ්ඩායමක් ඉඳගන්නා සීට් වල වෙන කවුරුහරි හිටියොත් පුළුවන් තරම් උත්සාහ ගන්නවා එතනින් යවන්න.. එතන ඉන්න කෙනාගෙ වයස, ගෑණු පිරිමි බව වත් සළකන්නෙ නැතුව කට්ටියම එකතුවෙලා අර පුද්ගලයාගෙ අඩුපාඩු කියනවා.. නැත්නම් දෙපැත්ත කැපෙන වචන හෝ කුහුහරුප කියනවා.. ගෑණුළමයි පවා.. තද කරනවා තල්ලු කරනවා.. කොහොමහරි එපාවෙන තරමට වැඩ සලස්වනවා..
    තව සමහරු කරන්නෙ දෙන්නා ඉඳගන්න සීට් එකේ වෙන කෙනෙක් හිටියත් තමුන්ගෙ කණ්ඩායමේ දෙන්නා ඉඳගැනීම.. තව සමහරු කකුල් ඈත්කරන් බඩු තියන් අනික් අයට ඉඳගන්න දෙන්නෙත් නෑ..

    දවසක් මම ඔයවගේ යනවෙලේක එතන ඉඳගන්නා සෙට් එකේ කෙල්ලෝ දෙන්නා ආවා මම ඉඳිදිම මෙන්න යකෝ දෙන්නම ඉඳගෙන දෙන්නෙක් යන සීට් එකේ.. මම ඉතින් පව්නෙ කියලා ටිකක් එහාට මෙහාට උනා.. ඉඳගත්තා මදිවට මාව තල්ලුත් කරනවා.. මම ගනන් නොගෙන හිටියා.. බැරිම තැන උන්ටම එපා උනා.. 'අයියෝ මල්ලි මම හිතුවෙ ඔයා නැගිටලා යයි කියලා' කියාගෙන එකෙක් හිටගත්තා බැරිමතැන..

    ප.ලි. http://hirunethihorawa.blogspot.com/2013/01/better-be-safe-than-being-sorry.html?showComment=1357349985926#c1947331915659730102

    මෙතන දැමූ කමෙන්ටුවකි.

    ReplyDelete
    Replies
    1. මමනං කෝච්චියේදි (දැං යන්නෙ ගොඩක් වෙලාවට තනියෙන් හින්දා) කරන්නේ පොතක් කියවන එක, නැත්තං සින්දුවක් අහන එක ඒත් නැත්තං නිදාගන්න එක.මේ තුනම මට හිටගෙන උනත් කරන්ඩ පුළුවං.ඒක හින්දා ඔය වටේ පිටේ ඉන්න ගැන්සිවල උන් කියන ඒවා ඇහුනත් නෑහුනා වගේ යන්ඩ මට පුළුවං.මොකෝ උං මට ගහන්ඩයෑ....

      Delete
  5. දිනුක, කෝච්චියේ ගමන මගෙත් තිබ්බා කාලයක්. දැන් නම් ගමේ යද්දී විතරයි කෝච්චියේ ගමන. මොකද ස්ටේෂන් එකෙන් බැහැලා ඇවිදින දුරින් ගේ තියෙන හන්දා. ඔය ජැක් ගැහිලි , කාඩ් සෙල්ලම් සහ අනෙකුත් ලව් සීන් ඔක්කොම තියෙන්නෙ ඔෆීස් වෙලාවට දුවන කෝච්චිවල විතරයිද කොහෙද. අපේ පැත්තට ( කොළඹ-හලාවත ) පැත්තට යන සාමාන්‍ය කෝච්චිවල නම් සෙනඟ තද බදයක් නෑ. ඒ නිසාමද කොහෙද ඒ අත්දැකීම් නම් නෑ. හැබැයි ඔය යාචක කරදරය නම් ඉහටත් උඩින්. පහුගිය දවස්වල මම කියෙව්වා පත්තරේකිනුත් ඔය වගේම විස්තර ටිකක්. බොහෝම හොඳට හොයා ගන්න පුළුවන් බිස්නස් එකක් හැටියට ඔය යාචක රස්සාව කරන අය ගැන...

    //
    තමුන්ට නාගෙන ඇඳ සිටින රෙද්ද හෝදා ගැනීමට මුදල් වැයවන එකම රට ලංකාව විය යුතුය.ලංකාවේ යාචකයාගේ ප්‍රධාන ලක්ෂණය ඉවසිය නොහැකි ගඳ ය.ලංකාවේ ඇති ගංගා එකසිය තුනේම මෙන්ම සිය ගණනක් වන වැව් හා ඇළ දොළ ළිං පොකුණු ආදියේ නෑම සහ රෙදි සේදීම සඳහා ප්‍රාදේශීය සභා හෝ පළාත් සභාවලින් මුදල් අය කරනවා විය යුතුය.නැතිනම් එසේ නෑම හා රෙදි සේදීම දඬුවම් ලැබිය හැකි වරදක් ද විය හැක//

    සහතික ඇත්ත. යාචකයෙකුට උනත් පිරිසිදුව ඉන්න බැරි ඇයි ? මිනිස්සු පිරිසිදුව ඉන්න යාචකයින්ට සල්ලි දෙන්නෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. හලාවත කෝච්චියේ සෙනඟ ටිකක් අඩුයිනේ.ඒත් උදේටනං ඉන්නවා නේද? ඇත්තටම මිනිස්සු හොඳ පිරිසිඳුවට ඉන්න ඈයින්ට සල්ලි දෙන්නේ නෑ මම හිතන්නේ.දුප්පත් කමේ සංකේතයක් විදිහට අපිරිසිදු කම සමාජ ගත වෙලා ඉවරයි.

      Delete
  6. කෝච්චි ගැන නියම කතා ටිකක්,ඇත්ත තමා කතාව මිනිස්සුන්ට වැඩි හරියක්ම කෝච්චිය තමයි වැඩට යන්න ප්‍රයෝජනවත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ගමන ලාබයි වගේම ගමන් මහන්සිය අඩුයි.බස් එක වගේ ගැස්සෙන්නේ පැද්දෙන්නේ නෑ.එක ළඟ බ්‍රේක් ගහන්නෑ.හැප්පෙයි කියන බයත් අඩුයිනේ.ඒ උනාට මිනිස්සු වැඩිපුරම යන්නේ බස්වල කියලා තමයි සංඛ්‍යා ලේඛන කියන්නේ.ඇයි ඉතිං කෝච්චි මහ හුඟක් තියෙන එකක් යෑ බං.

      Delete
  7. මොනවා හරි විකුණලා ජීවත්වෙන්න දුක් විඳින මනුස්සයා ගැන නම් මට හැම වෙලේම ඇත්තෙ අනුකම්පාවක්. ඒත් බොරුවට හිඟමන් යදින්නන්ට දෙන්නේ ගැලවෙන්න විදිහක් නැති හින්දයි .. ඔය විදිහට ආණ්ඩුව වගේම අපිත් සම්මාදම් වෙනවා මේ ජීවන වෘත්තියට.. දිනුක ඉන්දියාවෙ හිඟන්නෝ දැක්කොත් පොත් පහක් ලියයි.. . එහේ ඉන්නෙ හිඟා කන්න ත් පා කපාගන්නා ඇස් අන්ධ කරගන්නා මිනිස්සු .. එවුවට ලෑස්තිවෙලා ඉන්න දොස්තර මහත්තුරුත් වැහි වැහැලා. මං ඔය ගැන පෝස්ට් එකක් දැම්ම. මෙන්න මෙතන http://lankapriyagesithivili.blogspot.com/2012/03/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. ස්ලම් ඩෝග් මිලියනයර් එකේ චුට්ටක් ඒ ගැන පෙන්නුවේ.මමනං කියන්නේ සරත් අයියේ හිඟා කන අයට නොදී හිටියම තමයි ඔය වැඩේ නවත්තන්ඩ පුළුවං.මිනිහෙක්ට මාළුවෙක් දෙන්ඩ එපා ඒකා ඒක කාලා හෙටත් ඉල්ලං එනවා, පුළුවන්නං බිලී පිත්තක් දෙන්ඩ කියලා මාවෝ සේතුං අංකල් කියලා තියෙනවලුනේ.අපිට ඉතිං හැම හිඟන්නටම රස්සා අරන් දෙන්ඩ බෑ.ඒත් මිනිස්සුංව නිකං කන්ඩ පුරුදු කරන්නේ උන්ට සල්ලි දෙන අපිම තමයි.

      Delete
  8. ඇඩෙනවා!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඬපං රජෝ...එතකොටලු කිරි එරෙන්නේ.උඹත් කෝච්චියේ ගිහිං තියෙනවද? නැත්තං දෝලාවෙද ඉස්කෝලේ ගියේ???

      Delete
  9. කොච්චි ජිවිතයනම් මහා අමුතුම ජිවන රටාවක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ අපේ රටේ හැටිනේ අසරණයෝ.අපි ඉන්න තැන් අනුව වෙනස්ම සංස්කෘති හදා ගන්නවනේ.නිකං හිතපං නාන ළිඳ ගාව පච හලන ගෑනු පන්සලේදි හැසිරෙන අපූරුව.

      Delete
  10. පේනවා නේද කෝච්චියේ ගිහිල්ලා පුරුදු ඈයින්ට දැනෙන විදිහ මේවා...

    ReplyDelete
  11. නන්දසේන රත්නපාල මහත්තයගේ පොතක් කියෙව්ව වගේ.

    නියම ලිපියක් මචං . . .

    ReplyDelete
    Replies
    1. අන්න අයියලගේ අදහස් තමයි මගේ ශක්තිය

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...