04 July 2012

පශ්චාත් නන්දිකඩාල් දේශය





ආශ්චර්යයේ දිවයින සීරීස් එක ලිව්වාට පස්සේ රජතුමා මාත් එක්ක එච්චර හොඳ නැත.නමුත් සකල ලෝක දැනුම් සම්භාරයකින් පරිපූර්ණව අකලට පරිණත වූ මා වැන්නෙක් අමතක කිරීම දැලිපිහියෙන් කිරි කන ඔහු වැනි රජෙකුට ලේසි නැත.මගේ දැනුම හා සසඳද්දී ඔහුගේ උපදේශක මණ්ඩලය සේනක පුක්කුසාදීන් වගේ පේනවා යැයි රජතුමාගේ ශ්‍රී මෞකද්වාරයෙන් පැවසුනේ වරක් දෙවරක් නොවේ.


ඔහු නැවත මා මුන ගැසෙන්නට පැමිණියේ මා හඳේ සිට පැමිණ වැඩි දවසක් යන්නට පෙරාතුවය.මා හඳෙන් නැවත පැමිණියේ චීනයේ නිශ්පාදිත රොකට්ටුවකිනි.මගෙන් තොර ලංකාවක් නොමැති බව චීනයට තේරුම් ගොස් ඇත.අපේ රටට කෙළ වී බංකොලොත් උවහොත් දුන් ණය නැවත අය කර ගැනීමට නොහැකිව චීනයටද කෙළ වෙන නිසා චීන රජය මා නැවත මෙකී ධරණී තලයට ගෙන්වා ගැනීමට  වෙනම ව්‍යාපෘතියක් දියත් කළේය.මාගේ පෙරලා මාතෲ භූමියට පැමිණීම අවිනිශ්චිත වීමත් සමඟ චීනයේ කොටස් වෙළඳ පොළේ කොටස් මිළද සීඝ්‍ර ලෙස පහළ ගිය බව මට එරට අගමැතිතුමා පැවසුවේය.මා නැවත ගෙන්වා ගැනීම මත සිය රාජ්‍ය යාන්ත්‍රණයම රඳා පවතින බැව් වටහා ගත් චීන රජය එම ව්‍යාපෘතියට ප්‍රමුඛතාව දී කටයුතු කළෝය.

කොහොමිං කොහොම හරි මම නැවත ආවේ නැවත මහපොළව දමා නොයන තිර අධිෂ්ඨානයෙනි.රජතුමා මා හඳට යැවීම ගැන අමනාප වූ අම්මා මෙදා රජතුමා පැමිණියද පැත්තවත් බැලුවේ නැත.අම්මාට නැවත පෙන්වන ඔෂීන් රටේ තාත්තාට වඩා ලොකු වී ඇත.රජතුමාද මේ දිනවල මේ ආකාරයට නොසළකා හැරීම්වලට පුරුදු වෙලා නිසාදෝ එය එතරම් ගණන් ගත්තේ නැත.මම උන්නාන්සේව ඉක්මනට මගේ කාමරයට දක්කාගෙන ගියේ අම්මාට කළිං දවසක ඇය කළ දිවුරීමක් මතක් වී මොකක් හෝ ජංජාලයක් වීමට ඉඩ තිබූ නිසාය.අම්මා පොළට ගොස් ගෙදර ආවේ පුංචි සිලි කවරයකට බඩු දාගෙනය.

'රුපියල් දෙසිය පනහට මෙච්චරයි'.

ඇය බෝංචි කරල් පහකුත් බටු ගෙඩි පහකුත් මේසය මත තැබුවාය.

'මාළු ගන්ඩ ගියේ.මාළු කාරයා කිව්වා අතේ තියෙන ගාණට දෙන්ඩ තරං පුංචියට මාළුවා කපන්ඩ ගියොත් ඒ මනුස්සයගේ ඇඟිල්ල කැපෙයි කියලා.ඕනෙනං හාල්මැස්සො දෙන්නෙක් දෙන්නං කිව්වා.නෙද්දකිං අර රට කරවන එකා.අහුවෙද්දෙංකෝ ඕකව.ඕකගෙ *#@%*##!**...........'

රජ්ජුරුවන් වහන්සේගේ පිනට අම්මා ඔෂීන් එක්ක හිතින් ජපානයේය.රටේ ඇති කෙංගෙඩියක් ඇයට මතක නැත.දැං ඇයට රටට හෙණ ගැහුවත් ප්‍රශ්නයක් නැත.මළ පනින්නේ ඇඩ් දාන වෙලාවට විතරය.හදිස්සියේවත් ඇඩ් අස්සේ රජතුමාගේ හෝ එතුමාගේ පවුලේ අයෙකුගේ රූපයක් හෝ ගුණ වර්ණනාවක් ගොස් ඇය පියවි සිහියට ඒමට ඉඩ ඇති බැවින් මම රජතුමා කාමරයට ගෙන ඇතුළෙන් අගුල දැමුවෙමි.


'මොකෝ තකහනියක් මේ පැත්තේ?' මම ආගන්තුක සත්කාරයට ඉඩ නොතබාම ඇසුවෙමි.රටත් දීලා තව තේ දෙන්නත් බැරිය.

'මගේ මොළේට පොඩි ජිංජිබිරිස් අදහසක් ආවනෙ.මම මේ ආවෙ මගේ සිතුවිල්ල යථාර්තයක් කරගන්ඩ මාර්ගය අහගන්ඩ.'

රජතුමා ෆුල් ෆන් එකේය.ෆන් එකට එක තැන ඉන්ඩත් බැරිය.එහෙට ඇවිදිනවාය.මෙහෙට ඇවිදිනවාය.මගේ පොත් මේසෙ පොත් එකින් එක පෙරළනවාය.ලෝකෙටම පොත පෙරළුවත් පොත් ගොඩේ ඊළඟ පොතනං පෙරලන්ඩ එපා යැයි මගේ හිත කිව්වේය.වැල මෙව්වා ටික තිබ්බේ ඒක අස්සේය.තරුණ අසහනය නැති කරන්ඩ ජාතික මට්ටමෙන් කළ යුතුව තිබුණේ ගෝල් ෆේස් එක වගේ ප්‍රසිද්ධ ස්ථානවල පුළුල් තිරයේ වැල පෙන්නන එකය.තියෙන වැල සයිට් ටිකත් වහලා දාන්ඩ උපදෙස් දුන් නාකි උපදේශකයන් ගැන මට තියෙන්නේ සදාතනික මළක් ය.

'මොකක්ද ඒ පාර.මෙතනිං ඇවිත් වාඩි උනානං'.

පොත පෙරළන්නට පළමුව කියාගන්නට හැකි විය.දුටු දේ අතගෑම වඳුරාගේ සිරිතයි කියලා කාමරේ බිත්තියේ ලොකුවට ගහන්ඩ මම තීරණය කළෙමි.

මතු සම්බන්දයි.....

8 comments:

  1. :D මොකෝ නිවාඩුද මේ දවස්වල?

    ReplyDelete
    Replies
    1. නැහැ මචං සති දෙකකින් එග්සෑම්.කිට්ටුවෙන්ඩ කිට්ටුවෙන්ඩ ඔළුව විකාර වෙනවනෙ.

      Delete
  2. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න එහෙනං දැම්මා.

      Delete
  3. මරු... ඉතිරිය කියවන්න බලාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්ඩ වෙන්නේ නැත.ඉක්මන් සේවය අපේ දැක්මයි.ඔන්න අනිත් එකත් දැම්මා.බලලා හොඳ නැති උනත් හොඳයි කියලා යන්ඩ හොඳේ.....

      Delete
  4. ආශ්චර්යයේ දිවයින වගේම මේකත් නැගල යයි ලොක්කා

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක ගුණාත්මකභාවය තීරණය කරන්නේ පාඨකයා මිස නිර්මාණකරු නොවේ...කොහොමද පොර ටෝක් මගේ...කියවලාම හොඳයිද බලන්ඩකෝ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...