20 July 2012

තැඹිලි කැඩීමේ උපකරණයක්




තැඹිලි යනු ලංකාවේ ජනප්‍රිය පානයකි.හෙළයන් තැඹිලිවල පැහැය නිසා එයට එසේ නම් තැබූහ.සුද්දෝ මෙරටට පැමිණි පසු ඔවුහු තැඹිලි බී අමන්දානන්දයට පත්වැ එහි නමත් තේරුමත් අසා දැනගත් හ.තැඹිලි ඉංග්‍රීසි බසින් නම් කළ නොහැකි වූයේ ඒ වන විටත් ඔරේන්ජ් යනුවෙන් දොඩම් නම්කර තිබූ නිසාය.සුද්දෝ මෙනිසා අපහසුතාවට පත්වූහ.
උඩරට අල්ලාගැනීම 1815 දක්වා කල්ගියේද මෙකී ප්‍රශ්නය නිසා වියවුල් වූ මනසකින් යුධ කිරීමට නොහැකි වූ නිසායැයි තෝමස් මේට්ලන්ඩ් සිය අනියම් පෙම්වතියට යැවූ ලිපියේ සඳහන්ව ඇත.නමුත් මේට්ලන්ඩ් මෙම ලිපිය සිය බිරිඳ අතට පත්වීමේ අවධානම නිසා ලිපිය කියවා විනාශ කරන ලෙස ප.ලි. ලෙස සටහන් කොට තිබීම නිසා අද මෙම ලිපිය සොයා ගැනීමට නැත.කෙසේ හෝ පසුව රජුන්ටද උරුම පානයක් නිසා කිංකොකනට් ලෙස නම්කොට ගැටළුව විසඳාගත් සුද්දෝ පිළිමතලව්වේටද කෙළවා උඩරට අල්ලාගත් බැව් ඉතිහාසයේ සඳහන්ය.

මෙතරම් වැදගත් ඉතිහාසයක් උරුම තැඹිලි, කැඩීම දැන් දැන් උග්‍ර අර්බුදයක්ව ඇත.රටේ සංවර්ධනයටද දැවැන්ත බාධාවක් වී තිබේ.මක්නිසාද යත් දැන් තැඹිලි ගස්වලට නැග කඹයක ආධාරයෙන් තැඹිලි වල්ලම බිමට බා ගැනීමේ යුගය අවසන් වෙමින් පැවතීමය.ගසට නැග තැඹිලි ගෙඩිය කඩා භ්‍රමණ චලිත නියම ආධාරයෙන් තැඹිලි ගෙඩියේ ශක්තිමත් යට කොටස පොළවට වදින සේ බිම දැමීමේ සමතුන්ද එකල සිටියෝය.නමුත් අද තැඹිලි ගස් බඩ ගෑමේ හැකියාව ඇත්තෝ හිඟය.මෙයද විදෙස් කූටෝපක්‍රමයක ප්‍රථිපලයක් ලෙස සිදූවූවක් විය හැක.පිටිකිරී බීමට හෙළයන් ඇබ්බැහි කොට උන්ගේ ජවය විනාශ කොට දැමීමෙන් පොල්ගස් බඩ ගෑමේ ශූර උත්තුංග දේහධාරීන් දැයට අහිමි වී ඇත.

දැන් සිදුව ඇත්තේ තැඹිලි ගෙඩි කෙක්කක ආධාරයෙන් බිමට කැඩීමය.නමුත් මෙසේ කැඩීමේදී තැඹිලි ගෙඩි පුපුරා වාර්ශිකව විශාල වශයෙන් තැඹිලි වතුර දැයට අහිමි වන බව වෙළඳ ඇමතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.මෙයට විකල්පයක් ලෙස ජාන තාක්ෂණය ඇසුරෙන් තැඹිලි පඳුරු, තැඹිලි වැල් සහ අල බහින තැඹිලි හඳුන්වාදීමට මේ වනවිටත් ගන්නොරුව කෘෂිකර්ම මධ්‍යස්ථානයේ පර්යේෂණ සිදුකරගෙන යන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

නමුත් දැනට නිවසේ ඇති තැඹිලි ගස්වල ගෙඩි කාර්යක්ෂමව නොපැලෙන සේ කඩා ගැනීමට ගෙදරදීම සාදාගත හැකි උපකරණයකි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

 1. කෙක්කක් (කෙක්කෙහි උස + ඔබේ අත් ඉහළට එසවූවිට උස  ඔබ ගෙඩි කැඩීමට බලාපොරොත්තු වන තැඹිලි ගසේ තැඹිලි වල්ල ඇති උසට වඩා වැඩි විය යුතුය.)

2. පෝර උරයක්. (මෙය නොපැලූ හිස් එකක් විය යුතු අතර සැර පොහොර වර්ගයක් දමා තිබූ එකක් නම් හොඳින් සෝදා පාවිච්චි කිරීමට ගත යුතුය.)

3. අඩි 4ක් දිග පොලු දෙකක්. (මේවා තරමක් ශක්තිමත් විය යුතුය.නමුත් ඉතාමත් ශක්තිමත් වීම අවශ්‍ය නොවේ.වැටමාර පොලු දෙකක් උවද සෑහේ.නමුත් වැටමාර පොලුවලින් ලාක්ෂණික ගන්ධයක් නිකුත්වන බැවින් ඔබ පොලු තෝරා ගැනීමේදී ඒ ගැන ද සැලකිලිමත් වන්න.)

4. මිතුරෙක්, ඥාතියෙක් හෝ අසල්වැසියෙක්.

පළමුව පෝර කවරය ගෙන හොඳින් ගසන්න.එහි ඇති සියලු අපද්‍රව්‍ය ඉවත් කොට පොලු දෙක එහි කට තුලින් ඇතුලු කරන්න.කවරයේ කෙළවරටම පොලු දෙක ඇතුල් කොට පොලු දෙක රූපයේ පරිදි කවරයේ දෙපසට ඈත් කරන්න.



දැන් ඔබ උපකරණය සාදාගෙන අවසන්.දැන් ඔබේ මිතුරා හෝ අසල්වැසියා සමඟ මෙම උපකරණය අත්හදා බලන්න ඔබට පුලුවන්.ඔබ දෙදෙනාගෙන් කෙක්ක භාවිතා කරන තැනැත්තා සහ උපකරණය භාවිතා කරන තැනැත්තා පළමුව තීරණය කර ගන්න.මේ සඳහා කාසියක් උඩ දැමීම හෝ දහය විස්ස ලෙස ගණන් කිරීම යොදා ගත හැක.

තෝරාගත් තැනැත්තා උපකරණයේ පොලු දෙකේ කෙළවරින් අල්ලාගෙන සූදානම්ව සිටින විට කෙක්ක භාවිතයට තෝරාගත් තැනැත්තා තැඹිලි ගෙඩිය කැඩිය යුතුය.බිමට වැටෙන තැඹිලි ගෙඩිය පොලු දෙක ඈත් කොට දිග හැරගෙන සිටින පෝර කවරයට අල්ලා ගත යුතුය.පෘෂ්ඨ වර්ගඵලය සාපේක්ෂකව වැඩි පෝර කවරය මත වාත ප්‍රතිරෝධය ක්‍රියාත්මක වන බැවින් උපකරණය භාවිතා කරන තැනැත්තාගේ අතට ගැස්මක් දැනෙන්නේ නැත.



උපකරණයේ අවාසි,

1. උපකරණය සාදා ගත්තද බොහෝ නිවෙස්වල තැඹිලි ගස් නොමැති වීම නිසා අත් හදා බැලීමට අල්ලපු වත්තේ තැඹිලි කැඩීමට ගොස් අනවබෝධය මත අසල්වැසියන් තරහා වීම.

2. වෘත්තියක් ලෙස වගා කටයුතු නොකරන්නන් පෝර කවර භාවිතා කිරීමේදී රජයේ පෝර සහනාධාරය අනිසි ලෙස භාවිතා කරන්නවුන් ලෙස අසල්වාසීන්ගේ සැකයට භාජනය වීම.සහ පොලීසියට පැමිණිළි කිරීමට ඉඩ තිබීම.

3. පුද්ගලයා අනුව ඔහුගෙ ප්‍රතික්‍රියා කාලය තීරණය වන බැවින් තැඹිලි ඔලුවට වැටීමේ සම්භාවිතාවක් තිබීම.මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතා කළ විට ප්‍රතික්‍රියා කාලය වැඩිවන බැවින් උපකරණය භාවිතයෙන් එවැන්නන් වැළකී සිටිය යුතුය.ආසාම නම් කෙක්ක භාවිතා කළාට කම් නැත.

4. අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුවත් අවශ්‍ය වීම.

5. කුඩා දරුවන් වැඩිහිටියන් අනුකරණය කිරීමෙන් උපකරණය භාවිතා කොට අනතුරු කර ගැනීමට ඉඩ ඇති බැවින් මෙම උපකරණය භාවිතයෙන් පසුව කුඩා ළමුන්ට ළං විය නොහැකි ස්ථානයක තැබිය යුතුය.

උඩම පින්තූරෙ ගත්තේ : fineartamerica.com

12 comments:

  1. අම්මපා ඇත්ත නේන්නම්. හෙට අනිද්දා වෙනකොට තැඹිලි ගෙඩියක් කඩාගන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. තමන්ගේ ගෙවත්තේ ගැහෙන තැඹිලි කැඩීමට ගහට නැගීමේ පාඨමාලාවක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්, සහභාගී වන්නාට දීමනාවක් ලබාදී පැවැත්වුවත් කවුරුවත් එන එකක් නැහැ. මට වයස අවුරුදු 25 පමණ වනතුරු පොල්ගස් නැගීමේ හැකියාව තිබුනා, හොර කුරුම්බා සඳහා. කොහෙද මේ අපේ සමාජය මාව උසස් නිලධාරියෙක් කලානේ. ඉතින් අර හැකියාව මැරී ගියා.

    සුද්දගේ බාසාවේ හැදු ලක්ෂණ කතාකරන්න කවුරුවත් කැමති නැහැ. මාලිංග කියන්න බැරුව මලින්ගා කියනවා. කලුවිතරානා කියනවා, තව කොච්චරක්ද? ඌ දන්නේ නැහැ අපේ භාෂාවෙන් ලියපු වචනයක් ඕනෙම සිංහල දන්නා මිනිහෙක් උච්ඡාරණය කරන්නේ එකම විදිහට කියලා. හන්සේ ක්‍රොන්යේ වුනත් ක්රොඤ්ඤෙ ඒ ඕනෙම විදිහකට අපිට ලියන්න කියන්න පුළුවන් කියන එක ලෝකෙට පෙන්නන්න කවුරුවත් නැහැ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මේ කතාව ගැන නම් මට ලොකු ප්‍රශ්න තියෙනවා.
      මම ලංකාවේ ඉපදිලා විදේශයක අධ්‍යාපනය ලබපු කෙනෙක්.
      ඒත් මට නම් ඔය කියන කතාව දැනිලා නෑ. ඔය කියන තරම් ලංකාවේ අයට භාශාව හසුරවන්න පුළුවන් කියලා මට නම් පේන්නේ නෑ.
      සුද්දෙක් වුනත් ලංකාවේ හිටියොත් වුන්ට ඒ නම් හුරු වෙනවා. කොටින්ම මගේ මෙහේ යාළුවෝ ඉන්නවා මට වඩා සිංහල දන්න. උන් සමහරවිට පොත් ගෙනත් මගෙන් අහනවා මේක කොහොමද අරක කොහොමද කියන්නේ? මට ඇත්තටම ඒ තරමට දැනුමක් නෑ. අන්තිමට උන් මටත් කියලා දීලා යනවා.

      Delete
    2. අනිවා සල්ලි දීලා ඉගැන්නුවත් ගස් බඩගාන්ඩ කවුද එන්නේ.මමත් කිහිපවරක් හොරෙන් සහ අවසර සහිතව ගස් නැග ඇත.උස ගස්වලට නැග්ග පසුය මට මතක්වන්නේ උස් ස්ථානවලට මා තුඅ ඇති භීතිකාව.එවිට කකුල් වෙවුලා, හෘද ස්ඵන්දන වේගය අධික වී නොදැනුවත්වමැ ගස මුලට පැමිණවේ.

      Delete
  2. මේක කොහොමහරි හදා ගත්තයි කියමු...දැන් එතකොට තැඹිලි ගහකුත් තියෙන්න ඕනද...

    ReplyDelete
    Replies
    1. උපකරණයේ අවාසි අංක 1 යටතේ එය දක්වා ඇත්තෙමි සහෝ.....

      Delete
  3. අපිට නම් තැඹිලි ටින් වලත් එනවා ඩාලින්. ගස් යන්න ඕනේ නෑ.

    ඒ වුනාට ඔය බැරි වෙලා හරි ගහක් තිබ්බොත් ඒක උඩ නගින්න වගේ ට්‍රේනින් හෙමත් අපිට තියෙනවා.

    වෙන කතා වැඩක් නෑ අල්ලපු වත්තෙ හරි තැඹිලි කඩන්න ගස් හෙම තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ටින්වල එන තැඹිලිවලිං නං තැඹිලි බිව්වා කියන ආතල් එක ගන්ඩ බෑ මම හිතන්නේ.

      ගස් බඩගෑමේ ඩිප්ලෝමා උපාධියක් හෙම තියෙනවද?

      අපේ වත්තෙනං එකක් තියෙනවා.තවම ලංකාවේ තැඹිලි ටිකක් ඉතුරු වෙලා තියෙනවා.මොකද ලීවලට ඉරන්ඩ පොල් ගස් තවම තියෙනවනෙ.

      Delete
  4. @ II mondo di una povera pazza. ඔබට පිළිතුරු දීම සඳහා Reply Link එකෙන් එන්න කීප වතාවක් උත්සාහ කලත් හරිගියේ නැති නිසා මෙසේ ලියනවා. ඔබ පාවිච්චි කරන්නේ මම වගේම අන්වර්ථ නාමයක් කියා හිතනවා.මොකද මටනම් ඔබේ නමේ කිසිවක් තේරෙන්නේ නැහැ.නොදන්නා දේ දන්නේ නැහැ කියන්න මම ලජ්ජා වෙන්නෙත් නැහැ. ඔබේ ප්‍රකාශය තුලම ඔබේ ප්‍රකාශය සඳහා පිළිතුර තිබෙනවා. ඔබ ලංකාවේ ඉපදිලා විදේශයක අධ්‍යාපනය ලැබුවානම් ඉතා අවාසනාවන්ත ලෙස ඔබට අහිමිවූ දේ රාශියක් තිබෙනවා. පළමුව අපේ සංස්කෘතිය තුල ජීවත්වීමට ඉඩ නොලැබීම. ඔබේ දෙමවුපියන් සිංහල වුනත්, ඔවුන් ඔබ සමග සිංහලෙන් කතා කලත්, ඔබ සිටින රටේ සිංහල පවුල් සිටියත්, ඒ ලංකාවේ සිංහල මහා සංස්කෘතිය නෙවෙයි. එය උප සංස්කෘතියක්. එවිට ඔබ හුරුවන්නේ ඔබට වැඩි බලපෑමක් එල්ල කල සංස්කෘතියේ සිට සිංහල සංස්කෘතිය දෙස බැලීමටයි. ලංකාවේ අයට භාෂාව හසුරවන්න පුලුවන්ද බැරිද කියන එක ඔබ මැන්නේ කුමන සාධක මතද කියන එක පෙන්වාදී නැහැ. ඉංග්‍රීසි උච්ඡාරණයෙදී ඔක්ස්ෆර්ඩ් ම වියයුතුයි කියන මෝඩ සිතුවිල්ලේ ඉන්න සමහරු තවම සිටියත්, ඔබ එසේ නොවේ යයි සිතනවා. මා කිව්වේ, සිංහල භාෂාවෙන්, ලෝකයේ ඕනෑම භාෂාවක වචනයක් ලිව්වම, එය කියවීම, හරියට සිංහල දන්නා ඕනෙම කෙනෙකුට පුළුවන් කියලයි. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් Malinga කියා ලිව්වම සුද්දා කියන්නේ මලින්ගා කියලයි. සුද්දගේ ෆොනටික්ස් දාලා ලියන්නෙත් නැහැ. කීප වරක් මලින්ගා නෙවෙයි මාලිංග කියලා නිවැරදි කරදුන්නත් ඒ වැරැද්ද අත හැරගන්නෙත් නැහැ. ඒ තමයි සුද්දගේ භාෂා හෙළුව. ඔබම කියා තිබෙනවා ඔබ සමග ඔහේ ඉන්න ඔබේ යාළුවො ඔබට වඩා සිංහල දන්නවා කියලා. සිංහල භාෂාවේ වචන නිපදවෙන හැටි, යෙදුම්, රීති, ව්‍යවහාර, ප්‍රාදේශීය භාෂා විලාශ, ආදිය ගැන දැනුමක් නැත්නම්, ඔබ තවදුරටත් අදහස් දැක්වීම පලක් නැති බවයි මටනම් පෙනෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සිංහල බසෙහි ලේඛනය ඔබ ඔය කියන අයුරින් තරමක් අන් භෂාවන්ට වඩා ඉදිරියෙන් සිටී.නමුත් සිංහලයෙහිද එක් විශාල අඩු පාඩුවක් ඇති බව දක්වනු කැමැත්තෙමි.එයනම් 'අ' සංකේතයෙන් ශබ්ද දෙකක් නියෝජනය වීමය.

      'කට' යන වචනයෙහි 'ක' අකුරේ ඇති ස්වරය 'අ' වන අතර 'ට' අකුරෙහි ඇති ස්වරයද 'අ' ම වේ.නමුත් ඉන් නියෝජනය කරනුයේ ශබ්ද දෙකකි.නොදන්නා අයෙකු මෙය කුමන ආකාරයකට උච්චාරණය කරනු ඇති ද?

      ඒ හැර හෙළ බස කෙරේ මා තුල ඇත්තේ මහත් ඇල්මකි.

      Delete
  5. දිනුක, පිළිතුරු දීමේ සබැඳියාවෙන් එන්න බැරි ප්‍රශ්නය තවම තියනවා. ඒ ගැන බලන්න. ඔබ අදහස් දක්වා තිබෙන්නේ, ස්වරයක සංවෘත සහ විවෘත උච්ඡාරණය පිළිබඳවයි. අපි යන්තම් වචන ගැටගසාගෙන කතා කරන්න දැනගත් වයසේ සිටම ස්වර භාවිතයේ විචල්‍යතා දැනගන්නේ වැඩිහිටියන් ඒවා භාවිත කරන අයුරු අසා සිටීමෙන්. වෙනත් භාෂාවක උච්ඡාරණ විධි වුනත් අපේ භාෂාවෙන් ලියාගත්තම 99% ක් නිවැරදිව උච්ඡාරණය කරන්නේ, අසාසිට ඉගෙනගත් දේ ද ආධාර කරගනිමින්. භාෂාවක් පොතෙන් විතරක් ඉගෙනගන්න බැහැ. අසා සිටීම අතිශයින්ම වැදගත්. 'දිස් ඉස් අ බුක්' කියන තැනත්, 'වීල් අලයින්මන්ට්' කියන තැනත් (නොදන්නෝ මෙය එලයිමන්ට් කියා ලියති) 'අ'කාරය ශබ්දවන්නේ සංවෘතව කියා අපි ඉගෙනගන්නේ ව්‍යවහාරයෙන් මිස පොතෙන් නොවේ. ඒ තමයි භාෂාවක ස්වරූපය.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  6. "සුද්දෝ පිළිමතලව්වේටද කෙළවා උඩරට අල්ලාගත් බැව් ඉතිහාසයේ සඳහන්ය" සුද්දෝ කෙලෙව්වේ ඇහැලේපොළටනේ... මොකද මේ වෙද්දී පිළිමතලව්වේ රජතුමාට කෙළවන්න ගිහ්න් කෙළවිලාම ගොස් සිටියේය :D

    ReplyDelete
    Replies
    1. නැහැ මේ ළඟදි මම කියෙව්වා කොහේ හරි.ඇත්තටම මට ෂුවර් නෑ.පිළිමතලව්වේ කරපු මගඩි වැඩ සුද්දො හෙමිහිට ලීක් කෙරුවලු නේද?ඒකෙන් පොරට කෙළ උනා වගේ එකක් මතකයි.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...