11 July 2012

ගැහැනු සහ පිරිමි




මම එදා ගම්පහ ස්ටේෂන් එකට වෙලා කෝච්චිය එනකං බලං ඉන්න කොට ලව්ස්කීපර් එකෙං ගොර ගොර ගාලා සද්දෙකුත් එක්ක ස්ටේෂන් එකේ එනවුන්සිං අංකල් කිව්වෙ නැතෑ කෝච්චිය විනාඩි විස්සක් පරක්කුයි කියලා.මොකෝ මීට කළිං නොවෙච්ච එකක්යැ.හැබැයි ජුන්ඩි අප්සට් එකකට තිබ්බේ මම හිටියේ හිටගෙන වීම.ඉරිදා හින්දා පන්ති ඇරිලා ගෙදර යන උනුයි, පන්ති යන්ඩ කළිං අන්තිම විනාඩි කීපෙත් ලව් කරන උනුයි, පංති නොගිහිං දවසම ස්ටේෂන් එකේ ලැගලා ඉන්න උනුයි, නිවාඩු දවසේ පුංචි රස්තියාදුවක් ගහන මම වගේ උනුයි, ගම්පහ ෂොපිං ආව උනුයි ඔක්කොම ස්ටේෂමේ පිරිලා.


මකුණෝ ඉන්න කපුටු වසුරුවලිං පේන්ට් කරපු ආසනවලත් කට්ටිය තදබද වෙලා හිරවෙලා වාඩිවෙලා.අඩුම තරමේ හේත්තුවෙන්ඩ කණුවක්වත් නෑ.ඔක්කොම කණු ටිකත් බද්දට අරගෙන.කෙල්ලව කණුවට හේත්තු කොරලා කොල්ලා හේත්තුවෙනවා කෙල්ලට.ඊට පස්සේ උංට ලෝකෙම අමතකයි.යකෝ නිකං වට පිට බලලා මේ තව එකෙක් ඉන්නවා නේද ඌටත් පොඩ්ඩක් හේත්තුවෙලා ඉන්ඩ දෙන්ඩ ඕනෙ නේද කියලා හිතලා මාරුවෙන් මාරුවට හේත්තු වෙන්ඩ කතා කරගන්ඩ තරංවත් මුංගේ නෑනේ මනුෂ්‍යත්වය ගෑවිලාවත්.මම කියන්නේ අඩුම තරමේ කෙල්ල නැතුව කණුව විතරක්වත් දීපියව් හේත්තු වෙන්ඩ.අසමජ්ජාති නරුමයෝ මුං කණුවටත් එක්ක ටිකට් අරං තියෙන්නේ. (අනේ බොලේ මටත් ඔහොම කී දෙනෙක්නං හිතෙං බැණලා ඇද්ද? )

බෑග් එකේ පොතක් තිබුණත් හිටගෙන ඕක කියවන්ඩ ගිහිං ප්‍රදර්ශනකාමියෙක් වෙන්ඩ මට උවමනාවක් ආවෙ නෑ.අනික අයිනේ ඉඳං ඕකෙ කියව කියව ඉද්දි මදනගාය තියෙන කොල්ලෙක් හරි කෙල්ලො රංචුවක් හරි තල්ලු කරගෙන ගියොත් වේදිකාවං මහපොළොවට නෙමෙයි වේදිකාවෙං රේල්පාරට පත බෑවෙනවා ෂුවර්.කරන්ඩ දෙයක් නැති කමට මම මාරයා අයියා කරනවා වගේ සමාජ අධ්‍යයනය කරන්ඩ ගත්තා.


අධ්‍යයනය සඳහා කුලකයක් හොයන්ඩ එච්චර මහන්සි වෙන්ඩ උවමනා උනේ නෑ.මොකද බැලු බැලූ අත යුගල්මය නෙත ගැටුනේ.අතිනත පටලා ගැඹුරු මාතෘකා ඔස්සේ මුමුණන ඈයො, ඇස්වලින් කොඳුරමින් අනිමිසලෝචනය කරන ඈයෝ, ප්‍රියයාගේ වචනයකට පවා කොක් හඬලා හිනාවෙන සහ හිනාවෙලා ඉවරවෙලා පපුවට අත තියාගෙන කොල්ලා දිහා 'ඔයානං මාර විහිළුකාරයෙක් අනේ' බැල්මෙන් බලන ඈයො අතරේ මගේ නිරීක්ෂණ දෙනෙත සැරිසැරුවා.

ඔන්න මගේ නිරීක්ෂණය දැං කියන්ඩයි යන්නේ.

කෙල්ලෙක් සහ කොල්ලෙක් මම මේ කියන්නෙ ප්‍රේමවන්තයෝ යුවලක් කතා කරද්දි කෙල්ල හැමතිස්සෙම කොල්ලගෙ ඇස් දෙක දිහාමයි බලාගෙන ඉන්නේ.ටික වෙලාවක් දකුණු ඇහැ දිහා බලාගෙන ඉඳලා ආයෙ වම් ඇහැ දිහා බලං ඉන්නවා.කෙල්ල හෝ කොල්ලා කතා කරන අතරතුරේ කෙල්ලගෙ ඇස් දෙක කොල්ලගේ දකුණු ඇහෙං වම් ඇහැටත් වම් ඇහෙං දකුණු ඇහැටත් පනින්නේ කාර් එකක වයිපර් එක වැඩ කරනවා වගේ.

එතකොට කොල්ලා.

ඌ කෙල්ලගේ මූණ බලන්නේ කළාතුරකිං.උගේ වැඩේ වටපිට බලන එක.කතා කරන අතරතුරේ කොල්ලගෙ බැල්ම සදිශාවටම යොමුවෙනවා.අඩුම වෙලාවක් රැඳෙන්නේ කෙල්ලගේ මූණේ.


ඉතිං මේ දිහා බලාගෙන හිටපු මගේ විද්‍යාත්මක මනසේ මේ නිරීක්ෂණයට අදාලව කල්පිතයක් එහෙම නැත්තං ප්‍රවාදයක් පහල උනා.

කෙල්ල කියන්නේ අනාගත පවුලක් බලාගන්ඩ පුරුදුවෙන තැනැත්තියක් නේ.ඉතිං පරිණාමිකව ඇයට හිමිවෙලා තියෙන්නේ තමංගේ සමීපතමයන්ගේ මුහුණු නිරීක්ෂණය කොට ඔවුන්ගේ මානසික තත්ත්වයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම.විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ භාෂණ හැකියාව පරිණත වෙන්ඩ පෙරාතුව පටන් අම්මා කෙනෙක්ට පුළුවන් තමන්ගෙ දරුවගේ හැඟීම් තේරුම්ගන්ඩ.ගැහැනුන්ට පිරිමි  අයට වඩා මුහුණුත් මතක හිටිනවා වැඩියිලු නෙ.

පිරිමි වෙනස්.පිරිමියා තමන්ගේ අවධානය යොමු කරන්නේ ආරක්ෂාවට.තමන්ගේ විතරක් නෙමෙයි තමන්ගේ සමීපතමයන් හැමෝගෙම.අතීතයේදී කොහේ මොන කාර්යය කරමින් හිටියත් පිරිමියා හිටියේ හැමතිස්සෙම හොඳ අවධානයෙන්.මොකද කොයි පඳුර පිටිපස්සෙන් සිංහයෙක්, කොටියෙක් මතුවෙයිද? කොයිවෙලේ වෙනත් ගෝත්‍රයක් ඇවිත් තමන්ගේ බවභෝග තමන්ගෙ ගෑනු පැහැරගෙන යාවිද කියලා ඒ අය හොඳ විමසිල්ලෙන් හිටියේ.

ඒ පරණ පුරුද්ද තාමත් අපි ළඟ තියෙනවා.තමන්ගේ විතරක් නෙමෙයි තමන්ගෙ පෙම්වතියගෙත් ආරක්ෂාව වෙනුවෙන් පිරිමි  තාමත් අවධියෙන්.ඒක කැලෑවද ස්ටේෂන් එකද කියලා වෙනසක් නෑ.ඕනෑම මුහුණුවරකින් එන අනතුරක් වෙනුවෙන් විචක්ෂණශීලීව ඉන්න පිරිමි අපිට අපේ ගෑනු බණින්නේ,







'ඔයාට මම ඉද්දිවත් වෙන කෙල්ලො දිහා නොබලා ඉන්ඩ බෑ නේද? නොසන්ඩාලයා......'  කියලයි.





10 comments:

  1. ඔබ කරපු අධීක්ෂණය මරු. හිතට වැදුන මගේ. :)

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි කිව්වා එහෙනං.මම ඉතිං අර කියන්නා වගේ ඇස් තිබුණට පේන්නෙ නැති කන් තිබුණට ඇහෙන්නේ නැති ජාතියෙ නෙමෙයිනේ ඕං.හොඳට වටපිට බලනවා.කේළං හොයන්ඩවත් වනචර කමටවත් නෙමෙයි.ඩේටා තණ්හාවනේ.....

      Delete
  2. :D එල විග්‍රහය!

    ReplyDelete
    Replies
    1. ඒක නොවැ කියන්නේ මටමනේ මේවා හිතෙන්නේ.බ්‍රහයා මම වගේ තව දෙකක් මැව්වනං අයින්ස්ටයින්ටත් ප්ලේස් නැති වෙනවා ෂුවර්

      Delete
  3. නියම විගග්‍රහයක් නෙව !!!
    අඩේ මේකා හරියටම අපේ මලයා වගේමයි නෙහ්.. අපේ මලයත් වෙලාවකට ඔහොමයි. දිනුකත් අපේ මල්ලිගේ වයසේ වෙන්ඩෝන.. හික්ස් :)

    ඔය ගම්පහ කියන්නේ මම් ආසම ස්ටේශන් එකක් !
    කොයිම වෙලාවකවත් පාළු නැති ස්ටේශන් එකක් !!!

    ReplyDelete
    Replies
    1. මධු කියලා බ්ලොගක් ලියන්නේ අපේ අයියද දන්නෑ මට හොරෙං.වෙන්ඩ බෑනෙ අපේ එකා කැම්පස් ගියේ නෑනෙ.ම්ධූගෙ මලයා කීය වසරෙද?මමනං 4 වසරෙ දැං ඉන්නේ.හැබැයි දෙවෙනි පාර තමයි උ/පෙ කරලා කැම්පස් ගියේ.අපිට ඉතිං ලක්ෂ 65ක් නෑ නෙව.විභාගෙ පාස්වෙලාම යන්ඩ උනා.

      Delete
  4. කොල්ල බලන්නේ ආරක්ෂාවට නෙවෙයි යාලු වෙන කෙල්ලෙකුට මාට්ටු වෙයිද කියල

    ReplyDelete
    Replies
    1. එහෙම කිව්වත් ඉතිං ආත්මාරක්ෂාවටනේ.

      Delete
  5. කෙල්ල කියන්නේ අනාගත පවුලක් බලාගන්ඩ පුරුදුවෙන තැනැත්තියක් නේ.ඉතිං පරිණාමිකව ඇයට හිමිවෙලා තියෙන්නේ තමංගේ සමීපතමයන්ගේ මුහුණු නිරීක්ෂණය කොට ඔවුන්ගේ මානසික තත්ත්වයන් හඳුනාගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීම.විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ භාෂණ හැකියාව පරිණත වෙන්ඩ පෙරාතුව පටන් අම්මා කෙනෙක්ට පුළුවන් තමන්ගෙ දරුවගේ හැඟීම් තේරුම්ගන්ඩ.ගැහැනුන්ට පිරිමි අයට වඩා මුහුණුත් මතක හිටිනවා වැඩියිලු නෙ.
    මරු ඕහි...
    ඒක නෙමෙයි අර කොල්ලෙක් ඉඳිදිද්දි තව කොල්ලො දිහා බලන එවුන්ටත් මිනිස්සු කියන වචනේ ගැලපෙන්නේ නෑ මම හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. එහෙම ඉතිං හැමෝගෙම දුක සැප හොයන එකත් හරියන වැඩක් නෙමෙයිනෙ.එහෙම කොල්ලො කීප දෙනෙක්ගෙ දුක සැප හොයන්ඩ බාරගත්තම වෙන්නේ ඔක්කොම අතපසු වෙන එක.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...