05 July 2012

පශ්චාත් නන්දිකඩාල් දේශය II




1 කොටස

'මේකයි මේක කාටවත් එහෙම කියන්ඩ එපා.චුට්ටක් ලීක් උනත් වැඩේ අනිත් පැත්තට ගැස්සෙන්ඩ පුළුවං.මම මේක අපේ කාටවත් කිව්වේ නෑ.දන්නවනෙ ඕකුංගෙ කටවල්වල හැටි.අර මොකක්ද එක ඇරියා වගේ මයික් එකක් දැක්ක ගමං ඔක්කොම කියවෙනවා.දැං අනික තාත්තලා ඇමතිලා උනාම, පුතාලත් පම්පෝරි ගහනවනේ'.

'හරි හරි මම ඕක කාටවත් කියන්නේ නෑ.වැඩිම උනොත් මගේ බ්ලොගේ දායි.ඒත් කියවන උං හිතන්නේ ගොතපු කතාවක් කියලා නෙව.අගේ නොකර ඉක්මනට කියන්ඩකෝ'.




 මටද දැං මේ මගුල ඉක්මනින් අසාගෙන රජතුමා ගෙදරින් පිටකර ගැනීමට උවමනා විය.මේකා එන්ඩ එන්ඩම මළ කරදරයක් වන හැඩය.කණක් රිංගවා ගන්ඩ දුන්නාම මුළු පවුලම රිංගවා ගන්ඩමය ට්‍රයි කරන්නේ.නමුත් අඩුම තරමේ මගේ ගේ ඇතුලේවත් මම මගේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාදීනත්වය ආරක්ෂා කරගත යුතුය.

'නෑ මේකයි, දැං අපේ වීරෝධාර හමුදාව ලෝකෙ කොහෙවත් කරලා නැති විදිහට ගරිල්ලා ත්‍රස්තවාදීන් කණ්ඩායමක් පරාජය කරවලා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවනේ.ඊට පස්සේ උංට කරන්ඩ වැඩ නැති හින්දා උං ලව්වා එළවළු විකිණෙව්වා, පාරවල් හැදෙව්වා වගේ දෙකයි පණහේ වැඩ ගත්තනේ.දැං කොල්ලංගේ මොරාල් එක බැහැලා.මොකද උංගේ ලොක්කටත් අපි කෙළියනේ.'

'ඉතිං ඔය වැඩිපුර ඉන්න කට්ටියට කීය කීය හරි දීලා වෙන වෘත්තීය පුහුණුවක් කාරිය දීලා රටේ ශ්‍රම බලකායට එක්කළානං හරිනේ'.

ලොකු පොරවල්වලට පොර ටෝක් දෙනකොට මටත් මාර එව්වා තමයි කියවෙන්නේ.

'පිස්සු  කතා කරන්ඩ එපා.අපි මේ කෙළින විකාර දැකලා දැකලා මිනිස්සුන්ට එපා වෙච්ච දාට සරමත් නැතුව සාටකෙං තමයි විළිවහගෙන ගෙදර යන්ඩ වෙන්නේ.හදිසි ජනතා නැගිටිමකට අපි සීරුවෙන් ඉන්ඩ එපායැ.අනික මම කී දෙනෙක්ගෙ කියලා ආරක්ෂාව ගැන හිතන්ඩ ද?'

ලොක්කාට බය උනු පාර හීන් දාඩියත් මහ දාඩියත් දෙකම එකට දාලා ය.

'හරි දැං හමුදාවෙ උන්ට කියලා මේ පාර මොකද කරගන්ඩ හදන්නේ.දකුණේ ඉඳන් රජරට වැව්වලට වතුර අදින්නද?'


'නෑ නෑ. මට නිකං ආවා අයිඩියා එකක් නිකමට වගේ ඉන්දියාව අල්ලන්ඩ ට්‍රයි කළොත් මොකද කියලා.අපි වගේ හැට ගුණයක් ලොකුයිනේ.ඕනෙ තරං ඉඩ තියෙනවා පාරවල් හදන්ඩ.තමිල්නාඩුවම දුන්නැකි ඊළමක් ඕනේ උන්ට.අපේ දරුවන්ට පුළුවං හින්දි චිත්‍රපටිවල රඟපාන්ඩ.කැළනියේ එක්කෙනාටත් බැරියෑ රජ චරිතයක් හරි දුෂ්ඨ චරිතයක් හරි කරන්ඩ.කාෂ්මීරේ පැත්තේ ගිහිං හිමේ ලිස්සන්ඩ පුළුවං.එහෙ උං පොඩි කෙල්ලංව මරණවනේ දෑවැදි දෙන්ඩ වෙන හින්දා.අපිට පුළුවං ඒ කෙල්ලංව මරණයෙන් නිදහස් කරගෙන අපේ මන්ත්‍රී ගොල්ලන්ට දෙන්ඩ.පකිස්ථානෙත් අපිත් එක්ක ශේප් හින්දා කළාපයේ සාමය ඇති කරන්ඩත් පුළුවං.'

මම භ්‍රාන්තියට පත් වීමි.මගේ හදවත ස්වරාලයට පැමිණියේය.හෘද ස්පන්දනය සහ කථනය දෙකම අවහිර විය.මම මුර්ජා වීමටද ගියේය.නමුත් මේ අවස්ථාවේ මුර්ජා වෙලා බැරිය.රට ජාතිය වෙනුවෙන් සිහි කල්පනාව රැකගත යුතුය.සිහි නැති උවහොත් ඒ අල්ල පනල්ලේ මේකා ඉන්දියාවට විරුද්දව යුධ ප්‍රකාශ කොට ඉන්දියාවෙන් අම්බානක කන එක ෂුවර් ය.සමහර විට නිළ නොලත් රාජ උපදේශකයෙකු වන මගේ නිවසට ද ගුවනින් බෝම්බ හෙළනු ඇත.මට සිහිය එන විට මා මිය ගොස් සිටීමට බොහෝ දුරට ඉඩ ඇත.

'මේකයි රජතුමණි, මේ වගේ සීරියස් වැඩ ආවට ගියාට කරන්ඩ බෑ.දැං ජෙනරාලුත් නෑනේ.පරිස්සමෙන් හෙමිහිට කරන්ඩ බලමු.ඔබතුමා කියවලා තියෙනවද උම්මග්ග ජාතකය'.

'අහලා තියෙනවා'.

'මොකක්ද අහලා තියෙන්නේ'.

'උම්මග්ග ජාතකේ බං.ඒකෙනෙ අර උමගක් හදපු එකක් තියෙන්නෙ.ඇයි බං මමත් හැදුවේ එකක්.උන්ට ළඟිංවත් යන්ඩ පුළුවන්ද?'.

මේකා මේ විදිහට ඉන්දියාව අල්ලන එකත් කරනු ඇතැයි මට සිතුනි.

'උම්මග්ගේ තියෙනවා චූලනී බ්‍රහ්මදත්ත ඉන්දියාවම අල්ලන්ඩ ගහපු ප්ලෑන.පොර කළේ කේවට්ටයා ඒ කියන්නේ පොරගේ උපදේශකයා කිව්ව විදිහට ඉස්සෙල්ලා ගිහිල්ලා පොඩි රාජ්‍යයක් අල්ලගන්න එක.ඊට පස්සේ ඒ රාජ්‍යයෙයි තමංගෙයි හමුදා දෙකම අරං ගිහිං එයිට වඩා ලොකු රාජ්‍යයක් අල්ලන එක.'

'ඉතිං අපි ඉස්සෙල්ලා ගහන්නේ මාල දිවයිනටද?.මොකෝ වෙන ළඟපාත පොඩි රාජ්‍ය නෑනෙ.'


'බෑ බෑ.මාල දිවයිනට ගහල බෑ.ඒකට යන්නේ එන්නේ ලෝකෙ ලොකු ලොකු සල්ලි කාරයෝ.ඔය අපේ රටට සංචාරකයෝ කියලා එන රස්තියාදුකාරයෝ, කුඩුකාරයෝ, පිම්පියෝ නෙමෙයි.එහෙ යුද්ධයක් පටං ගත්තොත් මුළු ලෝකෙම කලබල වෙනවා ෂුවර්.ඒ ප්ලෑන හරියන්නේ නෑ.අපි ඉන්දියාවෙ උංගේ අවධානය වෙන පැත්තකට යොමු කරලා එක පාරට ගිහිං ගහලා අල්ලගමු.'

'කොහොමද උංගේ අවධානය වෙන පැත්තකට යොමු කරවන්නේ?ම්ම්ම්ම්ම්.................ආ ක්‍රිකට් මැච් එකක් පෙන්නමු.අපේ උනුයි, උංගෙ උනුයි දාලා ගහමු මැච් එකක් දකුණේ මං හදපු ග්‍රවුන්ඩ් එකේ.අපේ උන්ට පරදින්න කියමු.අවුලක් නෑ.අපේ උන්ට පුරුදුයි අපි කිව්වම පැරදිලා.අනික කලිං පාරත් ඉන්දියාවටමනෙ පැරදුනේ.උං කන්නෙ බොන්නෙත් නැතුව එයි මැච් එක බලන්ඩ'

'වැඩක් වෙන්නෑ අපේ උනුත් පටං ගන්නවනේ මැච් එක බලන්ඩ.වෙන එකක් නැද්ද?'

'අපි උන්ට ෆිල්ම් ෆෙස්ටිවල් එකක් පෙන්නමු.'

'වැඩක් නෑ.උන්ට වඩා හින්දි ෆිල්ම්, දෙමළ ෆිල්ම් බලන්නේ අපේ උන්.ඒක අස්සේ උං ඇවිත් ගහලා මේ චූටි රටත් අල්ල ගනී.නේරුටත් තිබ්බනේ මේක අල්ලගන්ඩ ආසාව.'

'යකෝ ඇත්තටම නැද්ද උං කැමති, ඒත් අපේ උං කැමති නැති දෙයක්?'

'ඔය මහමග පහරන එක ඇරුණම උං කරන ඒවමයිනේ අපේ උනුත් කරන්නේ.අපේ ඈයො රාවණා කතා කියලා, අබා ගැන කියලා, විජය කුවේණි අළුතෙන් හදලා කොච්චර ට්‍රයි කෙරුවත් උං එක්ක තියෙන සම්බන්දේ වහන්ඩ බෑ'

'ශිඃ බලනවා අයිසෙ මම නිකං සක්විති රජ වෙන්ඩ කියලනේ ප්ලෑන් කළේ. දැං ඉතිං මේක හරියන්නැත්තං කඩුව ආපහු කටුගෙට යවන්ඩ කියන්ඩ ඕනේ.අපරාදේ.මම හිතං හිටියේ පුතාට යුවරජකම දීලා අයියලා මල්ලිලාට උපදේශක තනතුරු දීලා ටජ් මහලට එහායිං ලොකු සයිස් මාළිගාවක් ගහගෙන සී මැදුරු කවුළුවෙන් බැලුවාම තනි කෙළිං හතර පැත්තට පේන්ඩ හයි වේ හදලා, ඉන්දියාවෙ වරායවල්වලට බඩු ගොඩ බාන එක තහනං කරලා ඔක්කොම නැව් හම්බන්තොටට යවලා එහෙං බඩු බාලා හයිවේ එකෙන් ඉන්දියාවට බඩු යවන්ඩ.ඇයි ඕයි මටම මෙහෙම වෙන්නේ?'.

ලොක්කා ඇඳේ වාඩිවී සිටි මගේ උරහිස් දෙකෙන් අල්ලා සොළවමින් ඇසුවේය.මගේ හිස ඉස්කෝලේ ඉන්ටර්වල් එකට ගහන බෙල් එකේ මැද කූර වගේ හෙලවෙන්නට විය.



6 comments:

  1. ඔන්න ඔහේ ඉන්දියාවට ගහල දාමු ...

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවට ගැහුව වගේ නෙමෙයිනේ බං.අපේ උං බැරි වෙලාවත් ඉන්දියාව අල්ලගත්තොත් ඉන්දියාවත් මේ වගේම කාලා දායිනේ බං

      Delete
  2. අඩේ මේකාටත් හිතෙන එවුවා නේන්නම්.
    ලස්සනට ලියලා තියෙනවා.
    සුදු වෑන් කට්ටක්වත් එයිද මන්දා !!!

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල සුදු වෑන් එන එකක් නෑ.ඡන්දෙ කිට්ටුයිනෙ.ඡන්දෙ ඉවර උනාමනං ශුවර් නෑ

      Delete
  3. මම සිතුවිලි පවුර දිගේ ආවේ. උඹට වගේ මේ තරම් උපහාසයෙන් මේ කතා ලියන්න පුළුවන් එකෙක්වත් මම බ්ලොග් වල දැකලා නෑ. ඒ අතින් උඹ ඉදිරියෙන් ඉන්නවා. සමහරවෙලාවට උඹේ කතා එක්ක මම එකඟ නුනත් මෙතැනදී නම් එකඟ වෙනවාමයි.

    ReplyDelete
  4. ඉස්තූති වේවා සහෝදරයා.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...