04 July 2012

දෑස් වසාගෙන හිටියා ඇති




මේ මම දැං කියන්නට යන මාතෘකාව ගැන කතා නොකර ඉන්ඩ කොච්චර උත්සාහ කළත් මට ඒක කරන්ඩ බැරිය.මේ හා සම්බන්ද සුළු සුළු සිදුවීම් සිද්ද වෙද්දී සිනාසෙන්නට පුරුදු වී සිටියෙමි.නමුත් දැන් එකී ක්‍රියාවන් බෙහෙවින් උත්සන්න වී ඇති බැවින් මේ ගැන නොකියාම බැරිය.පළමුව කිව යුත්තේ මා බෞද්ධයෙක් නොවන වගය.මා බෞද්ධයෙක් නොවූ පමණින් වෙනත් ආගමිකයෙකු වන්නේද නැත.මට දැනට ආගමක් නැත.පූර්වයේ බෞද්ධයෙකු වූ මා අබෞද්ධයෙක් වීම විස්තර කිරීම මේ ලිපියේ අරමුණ නොවේ.

මේ ලිපියේ අරමුණ වන්නේ වර්තමානයේ බෞද්ධයන්ට අත් වී ඇති ඉරණම විස්තර කිරීමය.එයට හේතු සෙවීමට උත්සාහ කිරීමය.මා බෞද්ධයන් විවේචනය කොට බුදු දහමට පහර ගසන්නෙකු ලෙස සළකා මේ ලිපිය කියවීම නවත්තන්න එපා.මන්ද මගේ අරමුණ එයද නොවන බැවිනි.

පසුගිය දිනෙක දඹුල්ලේදී මුසුල්මානුවන්ගේ පල්ලියක් ඉවත් කිරීමට හාමුදුරුවරු කටයුතු කළෝය.දකුණු පළාතේ මෛත්‍රී බුදුන් යැයි කියාගත් අයෙකුගේ නිවසට කඩා වැදී කළහකාරී ලෙස කටයුතු කළෝය.සිරි සමන්ත භද්‍ර හිමිගේ ධර්ම දේශනයක්ට සහභාගී වීමට පැමිණි පිරිසකට පහර දීමද හාමුදුරුවරුන් ඉදිරිපිට සිදු වූවකි.මෙකී සිදුවීම්වලට දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක්ද ලැබිණ.එයින් ජනතාව දැනුවත් වී හාමුදුරුවරුන්ගේ ක්‍රියා අනුමත වීම සිදුවීද නැත්නම් ප්‍රචණ්ඩත්වය දැක කළකිරුණාදැයි අප සිතා බැලිය යුතුව ඇත.මන්ද පුද්ගලිකව මා තුළ මේ පිළිබඳව ඇති වූයේ පිළිකුළකි.

ලොව අනෙකුත් ආගම් හා සසඳද්දී බුදු දහම තරම් අවිහින්සාවාදී දහමක්, දර්ශනයක් මා දැක නැත.

බෞද්ධයින්ගේ කෲර ක්‍රියා හෝ අසාධාරණ ක්‍රියා ගැන වර්තමානයේ මිස පූර්වයේ සඳහන් නොවේ.ජාතක කතා කීපයක යම් යම් සිදුවීම් ඇතත් ජාතක කථා ද පසු කාලීනව ලියැවුණු කතා ලෙස සළකනු ලැබේ.බුදුන් කිසිවිටෙක හිංසාව අනුමත කළේ නැත.වර්ථමාන හිමිවරු සිරිසමන්ත භද්‍ර හිමිට සළකන ආකාරය බුදුන් අනුමත කළානම් ඔහු දේවදත්තට සැළකිය යුතුව තිබුණේ සම්පූර්ණයෙන්ම වෙනත් ආකාරයකටය.විරුද්ධ මත ඉවසීම සහ අන්‍යමතධාරීන් හා කටයුතු කළ යුතු අයුරු බුද්ධ චරිතයෙන් ලබා ගත හැකි උදාහරණ වේ.නමුත් වත්මන් භික්ෂූන් බුදුමග යෑමට වඩා සාහසිකත්වයට, ප්‍රචණ්ඩත්වයට මෙන්ම ජනතාව අන්‍යමතධාරීන් වෙත උසිගැන්වීම අගය කරන බව පෙනේ.

උක්ත සිදුවීම්වලදී භික්ෂුවගේ ක්‍රියාමාර්ගය විය යුතුව  තිබුණේ අවිහිංසාවාදීව කටයුතු කිරීම නොවේද? ඒ සඳහා සිවුර කැහැපොට ගන්නාගෙන පොලු මුගුරු රැගත් කුපිත කරවූ ජනතාවක් සමඟ එක්ව බෙරිහන් දෙමින් ගැටුමකට එළඹීම ද? භික්ෂුවගේ ක්‍රියාවන් සාධාරණ කිරීමට කටයුතු කරන සහ සිවුර දමාගත් පමණින් ඕනෑම දුර්ජනයෙකුට වන්දනා කිරීමට පෙළඹෙන අන්ධ භක්තික බෞද්ධයන් මේ පිළිබඳව දැනුවත් විය යුතු නොවේද? බුදු දහම වසර පන්දහසක් පවතින බැවු පාරම් බාමින් සිටිනු වෙනුවට ධර්මය රැක ගැන්මට කටයුතු කළයුතු නොවේද?


පිණ්ඩපාතයේ යෑම ඔවුන්ට හුරු නැත.මා දකිනා අයුරින් පිණ්ඩපාතයේ මූලික අරමුණ වූයේ සංඝයා ජනතාවට සමීප වීමත්, ජනතාවගේ ගැටළු සඳහා ඔවුන් වෙතටම ගොස් ධර්මය දේශනා කොට අවබෝධය ලබා දීමත්ය.බුදුන් පළමු රහත් හැට නමට  'දෙදෙනෙක් එක මග නොයන්න...' ලෙසින් දුන් අවවාදය මෙහිදී සිහිපත් කිරීම මැනවි.වර්ථමානයේ සිදුවන්නේ අනිත් පැත්තය.පන්සලේ හැමදාම ප්‍රශ්න ය.ගමේ මිනිසුන් පන්සලට ගොස් ඒවා විසඳිය යුතුය.හාමුදුරුවෝ ගමේ මිනිස්සුන්ව දන්නේ නැත.දායකයින් කිහිප දෙනෙකුව පමණක් හොඳින් අඳුරන්නේය.

කාලීන බණ යැයි කියාගන්නා පුස් දේශන පවත්වන ප්‍රදර්ශනකාමී භික්ෂූන් ධර්මය විකුණති.දහස් ගණන් අය කරමින් දහම් දෙසති.පොත් මුද්‍රණය කොට විකුණා මුදල් හොයති.බුදු දහම භික්ෂුවගෙන් භික්ෂුවට වෙනස් ය.නායක හිමිවරු දේශපාලනයට කඩේ යති.දේශපාලකයෝද දොළ පිදේනි දෙමින් ඔවුන්ගේ අරමුණු වෙනුවෙන් ප්‍රචාර ලබා ගනිති.සංඝ සංශෝදනයකට කිසිවෙක් කටයුතු කරන්නේ නැත.මන්ද හැමෝගේම කිල්ලෝටවල අඩු වැඩි වශයෙන් හුණු ඇති බැවිනි.

9 comments:

  1. සමහර කරුණු එක්ක එකගවෙන්න පුළුවන් නමුත් ඔයා අහල තියෙනවද "ගහන්න ගහන්න වදින මිනිහත් වදින්න වදින්න ගහන මිනිහත් දෙන්නම මෝඩයෝ" කියලා .....

    ReplyDelete
    Replies
    1. ඒක අපේ කියමනක්නේ.ක්ෂාන්තිවාදී පාරමිතා කතා නිකං බොරු ප්‍රෝඩා ද එතකොට?

      Delete
  2. මේ ගැන මුකුත් කියන්න හිතෙන්නෙත් නෑ බං. බුද්ධ ධර්මය සහ 'අපේ බුද්ධ ධර්මය' කියන්නෙ දෙකක් දැන්. බුද්ධ ධර්මය දර්ශනයක් කියල ගොඩ දෙනෙක් ආඩම්බර වෙනවා. දාර්ශනික දෙයක් මතවාදීයි. සාඛච්චාවලදි එක තැනක රැ‍ඳෙන්න ඕන නෑ. ඒක වෙනස් දියුණු අර්ථදැක්වීමකට යටත් වෙන්න නම්‍යශීලීත්වයකින් යුක්තයි. හැබැයි කවුරු හරි බුදු දහම දිහා වෙනස් මතයක් ඉදිරිපත් කලොත් එයා ඉවරයි. ඒක එහෙමයි. සංස්ථාවක් විධියට කාලාන්තරයක් ව්‍යාප්ත වීමත් එක්ක ඕනම හරවත් දේකට ඒක වෙන්න පුළුවන්. මොකක්ද හරි කියල හිතාගන්න බෑ. ඉතිහාසය විකෘතීන් එකතු වෙලා ගොඩනැගුනු දෙයක්නේ. ඒක බුදුන් පවා දැක්කා. අද ඉන්න උන්නාන්සෙල ඒක පිළිගන්න අකමැති නිසාම වෙන්නෙ අරටත් වඩා හානියක්.

    ReplyDelete
    Replies
    1. අදහස ටිකක් පරස්පර විරෝධී වගේ නේද? 'දස අකැප වස්තු' කතාව අවුලක් නැද්ද එතකොට.පුංචි වෙනස්කම්වලට සමාව හම්බ වෙනවද? සීමාව කොතනද?

      Delete
    2. ඒ කිසි දෙයක් නිර්වචනය වෙලා නැති එකම නේද බං සංඝ සංස්ථාවෙ අවුල? එක එක අය එක එක කතා කියාගෙන වලි දාගෙන.

      Delete
    3. ඒක තමයි මාත් කියන්නේ.සම්මුතියකට එන එක කෙසේ වෙතත් පුරාණ ක්‍රමය පවත්වගෙන යන්ඩ වෙනවනෙ.මොකද ධර්මයට අනුව ඒක ත්‍රයිකාලික දහමක් නෙ.හාමුදුරුවරුන්ට සල්ලි භාවිතය තහනම් කළානං අදටත් ඒක වලංගු විය යුතුයි.ෆෝන් එකට කාඩ් එකක් දා ගන්ඩ, ටියුෂන් ක්ලාස් යන්ඩ බුදු හාමුදුරුවො මහණ වෙන්ඩ කිව්වේ නෑනෙ.බස් එකේ නොගිහිං අමාරුයි කියන අපේ ඈයින්ට කියන්නෙ බුදු හාමුදුරුවො අවුරුදු අසූවෙදිත් පයින් ගියා මිසක් අස්ව කරත්තෙක ගියා කියලා මමනං අහලා නෑ.රජ පවුලකින් මහණ උන බුදු හාමුදුරුවන්ට අල්පේච්ඡව ඉන්ඩ පුළුවන් උනානං අද ඈයින්ට ඇයි බැරි?

      ඔය හාමුදුරු ගොල්ලො සෙනඟ අවුස්සන්නේ දානෙ වේල රැක ගන්ඩ මිසක් සාසනේ රැක ගන්ඩ නෙමෙයි.

      Delete
    4. අන්තිම වාක්‍යය සේරම කියනවා. දැන් ඒක රස්සාවක්. ;-)

      Delete
  3. මම නම් හිතන්නේ නෑ හැමදේම කරලා යනකන් නෑසු කන්ව බලා ඉන්ඩ ඕනය කියලා !!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මමත් කියන්නේ.සිවුර දාගෙන පිස්සු නටලා ඒකෙ ගෞරවේ කන උන්ට ගහලා එළවන්ඩයි ඕනේ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...