29 May 2011

කලා අංග සහ විකලාංග

මම අද මගෙ ප්‍රේමවන්තිය ඒ කිව්වෙ කවද හරි බඳින්න හිතාගෙන ඉන්න ගෑනු දරුවත් එක්ක නිවාඩු දවසනෙ කියල ගියා කලා රසවින්දනයක් හොයාගෙන.අපි ගියා ගම්පහ එක්තරා සිනමා ශාලාවකට.ඒකෙ ඉස්සරහ ගහල තිබුණ "මහින්දාගමනය" කියල.ඉතිහාසය කියන විදියට අපි ශිෂ්ඨ උනේ ඔන්න ඔය කියන සිද්ධියට පස්සෙලුනෙ.ඉතිං මහා ප්‍රෞඪ ඉතිහාසයක්(පමණක්?) තියෙන ජාතියක වර්තමාන පුරුක් දෙකක් විදිහට අපිත් ගියා ඔන්න ඔහේ අපිත් බලමු කියලා.මොකද අපි සාමාන්‍යයෙන් අපේ දේශීය චිත්‍රපට බලන්ඩ යන්නෙ නැති නිසා.


ඔන්න ඉතින් අපිත් දේශමාමක බලවේග ගොන්නෙන් අහකට විසිවෙයිද දන්නැහැ.ඒ උනත් ඉතින් කලිසම ගලවන් ගියත් ඇත්ත කියන්න ඕනෙ නිසා කියන්නෙ.සිංහල චිත්‍රපටි ගොඩක් වෙලාවට හරි චාටර්.චාටර් කියන්නෙ ගන්ඩ කියල යමක් ඇත්තෙම නැහැ.වසරේ විකට චිත්‍රපටිය කියල රට පුරා පෝස්ටර් එහෙම ගහල පටන් ගන්නව.මම කියන්නැහැ කාටවත්ම ඒවට හිනායන්නැහැ කියල.ඒවට හිනාවෙන පිරිසකුත් ඉන්නව.හරි ටිකයි හැබැයි.
 

අපිත් ඉතිං පන්ති කට් කරපු කපල් අස්සෙං රිංගගෙන ගියා ඇතුලට.ප්‍රේම පුරවරයක් ඒක.බණින්ඩ අයිතියක් අපිට නැහැනෙ.අපි පන්ති කට් කරල චිත්‍රපටි බලපු තරං. දන්නවනං කැම්පස් එකෙනුත් එලවනව ෂුවර්.
 

ඕක ගැන කියල වැඩක් නැහැ දැං.මම කියන්ඩ හැදුවෙ මහින්දාගමනය ගැනනෙ.කෙටියෙං මෙහෙම කිව්වැකි.චරිත ගොඩක්, සිද්ධි ගොඩක්, නිකංම නිකං වාර්ථා චිත්‍රපටියක්.ඒක වාර්ථා චිත්‍රපටියක් විදිහටම හැදුවනං ඔයිට වඩා හොඳයි.අපේ රටේ සිනමාව කඩං වැටිලලු.රූපවාහිනිය, අන්තර්ජාලය, ප්‍රෙක්ෂකයින්ගේ රසවින්දනය අඩුයි කියල බැණ බැණ ඉන්නැතුව හොඳට අධ්‍යයනයක් එහෙම කරල පරණ හින්දි චිත්‍රපටි කොපි කරන එක නවත්තල අර අතලොස්සක් හදපු විශිෂ්ඨ නිර්මාණ වගේ නිර්මාණ ටිකක් හදල බලන්ඩකො.ඔය හෝල්වල සෙනඟ පිරෙන්නැද්ද කියල.


ඔන්න ඉතිං ඕක බලල ඔක්කාර ගතිය ටිකක් අඩු උනාට පස්සෙ අපි ගියා 'මනමේ' බලන්ඩ.ඔව් අපිට විකාර තමයි.හැබැයි ඒ විකාර ජීවිතේ තියෙනව මහ පුදුම ලස්සනක්.

මනමේ තිබ්බෙ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාල ශාලාවෙ.හෝල් එකනම් අප්සට්.නාට්‍යයක් පෙන්නන්ඩ කොහෙත්ම ගැලපෙන්නැහැ.පුටුත් නිකංම නිකං ලෑලි පුටු.ශරීරය කෘශ වීමේ පාපය දැනෙන්ඩ ගත්තෙ නාට්‍යය පටං ගන්ඩත් කලිංමයි.

ඔන්න පටං ගත්තා නාට්‍යය. "සකල බ්‍රහ්ම සුර නර මස්තකයෙහි සැදූ ශ්‍රී විභූෂිත පා කමල්..........."මට ලෑලි පුටුවයි පුටුව හදපු බාස්වයි අමතක උනා.

මම කලිං මනමේ බලල තියෙනව තමයි.ඒත් මෙව්ව අළුත් වගේ ආයිත් බලන්ඩ පුලුවං විදිහට තමයි සරච්චන්ද්‍ර මාස්ටර් හදල තියෙන්නෙ.චුල්ල ධනුද්ධර ජාතකය කියෝපු අය දන්නව සරච්චන්ද්‍ර මාස්ටර් මේක කොච්චරක් දුරට වෙනස් කරල තියෙනවද, කලා නිර්මාණයක් විදිහට කොච්චරක් හැඩගස්සල තියෙනවද කියල.චුල්ල ධනුද්ධර එක අන්තෙක, රශොමාන් තව පැත්තක්, මනමේ තවත් පැත්තක්.පුදුමයි.තුනම වෙන වෙනම මනෝභාව මවන නිර්මාණ.



හොඳ කලා නිර්මාණයක් කියන්නෙ ප්‍රේක්ෂකයා හිතන්ඩ පොළඹවන දේකට, එහෙම නැතුව බලල ඈනුමක් එහෙම ඇරල ඔක්කොම අමතක කරල ගෙදර යන්ඩ පුළුවං නිර්මාණ නෙමෙයි.දෙබිඩ්ඩෝ,කළම්බෝ එහෙම අළුත් විශිෂ්ඨයි කියල කියන්ඩ පුළුවං වේදිකා නාට්‍යය.අළුත් හොඳ චිත්‍රපටියක් කියන්ඩ එකක් නැති එක තමයි අවුල.මක් කරන්ඩද අපි උපන්නෙ ක්‍රිකට් සහ යුද්දෙට පමණක් හපන් ජාතියකනෙ.මම කියන්නෙ ඒ දෙක නරකයි කියල නෙමෙයි.ඒත් ඉතිං එච්චරනෙ අපිට තියෙන්නෙ.


බලමු කවදා හරි අපේ චිත්‍රපටියක් බලල ඇවිත් ඇඳට වෙලා ලයිට් එකත් ඕෆ් කරං  පැය දෙකක් වත් හිත හිත ඉන්ඩ පුළුවං දවසක් එයිද කියලා.අන්න එදාට පුළුවං අපිට කියන්ඩ ඕන්න අපිත් යුධ මානසිකත්වයෙං මිදුනා කියලා.

No comments:

Post a Comment

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...