28 May 2011

අතිගරු එස්. බී. දිසානායක මැතිතුමා වෙත,

අතිගරු එස්. බී. දිසානායක මැතිතුමනි, ඔබතුමන්ලා රටේ අභිවෘද්දිය වෙනුවෙන් ගෙන ඇති දූරදර්ශී ප්‍රඥාවන්ත නොයෙකුත් තීරණ නිසා ප්‍රතිගාමී බලවේග මොනවා කීවත් අපේ පුංචි රට ඉතාමත් සීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින බව සියල්ලන්ටම නොරහසකි.එහෙත් මේ දියුණුවට, ජනතාවගේ ජීවිත සුඛ්ත මුදිත කිරීමට ඔබතුමන්ලා විඳින්නාවූ අපමණ දුක් කම්කටොළු අපේ රටේ බොහෝ දෙනෙකුට පේන්නේ නැත.ඔවුහු මේ රට ලබන්නාවූ දියුණුව කෙරෙහි ඊර්ශ්‍යාවෙන් කකුලෙන් ඇදීමට තැත් කරති.විනයෙන් තොර ශික්ෂණයක් නොමැති පිරිසක් සිටින විට ඔවුන්ට සේවය කිරීම කෙතරම් අපහසුදැයි ඔබතුමන්ලාට මේ වන විට ප්‍රත්‍යක්ෂ වී ඇතුවා නිසැකය.එ නිසාය ඔබ තුමන්ලා රටේ විනය ඇති කිරීමේ භාරධූර කර්තව්‍යයට මුල පුරන්නට ඇත්තේ.

එකී දුෂ්කර කර්තව්‍යය අපේ යුධ හමුදාවට බාර දීම තරම් ප්‍රඥාගෝචර ක්‍රියාවක් තවත් නැත.මෑත ඉතිහාසයේ ඉතාමත් විනයානුකූලව කටයුතු කළ,උගත් බුද්ධිමත් පිරිසකගෙන් යුක්ත වන ලංකාවේ එකම ආයතනය යුධ හමුදාවයි.

එමෙන්ම අපේ රටේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමයම කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නොහික්මුණු, රජයේ තීරණ වලට හිස නොනමන, කඩාකප්පල්කාරී අඥාන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි.සෑම වසරකම නවකයින් ලෙස විශ්වවිද්‍යාල වලට ඇතුලත්වන, ස්වාධීන ලෙස තීරණ ගැනීමේ හැකියාවෙන් වියුක්ත අඳ බාල බහුතර ශිෂ්‍ය ප්‍රජාව නොහික්මුණු සිසුන් දෙතුන් දෙනෙකු විසින් බිය ගන්වා ඔවුන්ගේ න්‍යායපත්‍ර වලට අනුව කටයුතු කිරීමට යොදාගනිති.

ඉන්පසු එකී අඳ බාල ශිෂ්‍යයින්ව තර්ජනය කිරීම මගින් මහ මගට බස්සවා කිසිඳු වැදගැන්මකට නැති ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණ කිරීමට සලස්වති.සුළුතර මැර ශිෂ්‍යයන් නිසා අසරණ වන බහුතරයක් සිසුන් පෙම් කිරීමට හෝ පුස්තකාලයට ගොස් සිය අධ්‍යයන කටයුතුවල යෙදීමට නොහැකිව ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගෙවති.බුද්ධිමත්ව විමසා බලන විට ඇත්තෙන්ම විශ්වවිද්‍යාලවල ප්‍රශ්න නැත.දේශන ශාලා, පුස්තකාල පහසුකම්, විද්‍යාගාර පහසුකම් හා උපකරණ, සංගීත භාණ්ඩ ආදිය ඕනෑවටත් වඩා වැඩියෙන් විශ්වවිද්‍යාලවලට ලබා දී ඇත.එපමණ සේවයක් ඉටු කරන ඔබ තුමන්ලා කෝටියකට දෙකකට වාහනයක් ගත් විට දොස් කීම අකෘතඥ වීමකි.

විශ්වවිද්‍යාල සිසුන් අතුළු බහුතරයක් රටේ ජනතාව  සැප විඳිද්දී ඔබතුමන්ලා පමණක් දුක් විඳීම අසාධාරණය.ඔබතුමන්ලාගේ පහසුවට ලබන අයවැයෙන්වත් මුදලක් වෙන් කළ යුතු බවට ජනතාව හඬ නැගිය යුතුය.

ඔබතුමන්ලාට එහෙමවත් සහනයක් ලබාගැනීමට නොහැකි වී තිබෙන්නේ මේ කඩාකප්පල්කාරී විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් නිසාය.විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන්ගේ වැටුප් ගැටළුව පිටුපසද ඉන්නවා ඇත්තේ මේ අත්තනෝමතික විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ම විය යුතුය.පුද්ගලික අංශයේ අභිව්වෘද්දිය තකා ඔබ  තුමන්ලා ගෙන ආ විශ්‍රාම වැටුප් යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් පොලඹවන්නට ඇත්තේද මෙකී අමනෝඥ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්මය.

ඔබතුමන්ලාටද දැන් තේරුම් ගොස් ඇති ආකාරයට රජයේ විශ්වවිද්‍යාල වලින් පිට වන්නේ සමාජ අභිවෘද්දියට අනවශ්‍ය, යල් පැනගිය දැනුමෙන් යුක්ත, පලදායී නොවන තරුණ පිරිසක්ය.ඒ පිළිබඳව අපටද පැහැදිලි වූයේ දකුණු පලාතේ දුම්රිය මාර්ග සංවර්ධනය කළ විටය.දුම්රිය මාර්ගය ඉහළට එසවූ විට බිංගෙයද ඉහළට එසවිය යුතු බව ඒ අමනොඥයන්ට මතක් උනේ නැත.ඔබතුමන්ලා මෙන් තීක්ෂණ බුද්ධියෙන් යුතු පිරිසක් එතන සිටියානම් දුම් රිය එන්ජිම අනතුරට පත්වන්නේ නැත.

ප්‍රභාකරන්ගේ මරණය සැමරීමට වෙන දිනයක් තෝරාගැනීමද ඉතාමත් බුද්ධිමත් තීරණයකි.බුදු තෙමඟුලෙන් පහන් සංවේගයට පත්ව සිටින ජනතාවක් සහිත පින්කෙතක් වන් වූ දේශයක තවත් මිනිහෙකුගේ මරණය සැමරීමට එදිනම යොදා ගැනීම යෝග්‍ය නොවන බව ඔබ තුමන්ලාගේ සියුම් බුද්ධියටම මිස අපටනම් වැටහී නොයාමට ඉඩ තිබුණි.ඔබ තුමන්ලාගේ ස්ථානෝචිත ප්‍රඥාවට පින් සිදු වන්නට අපට තවත් නිවාඩු දිනයක් හිමි විය.

එවන් වූ තියුණු බුද්ධියක් අප අසරණ විශ්වවිද්‍යාල තරුණයන්ටද ලබාගත හැකිවන උගත් බුද්ධිමත් යුද හමුදාව විසින් මෙහෙයවන නායකත්ව පුහුණු වැඩමුළුවේ කාලෝචිත බව අපටනම් වැටහී ඇත.මේ නව පුහුණුව අළුත් අත්දැකීම් ගොන්නක් ලෙස දකින්නට බහුතරයකට නොහැකිවී තිබෙන්නේ බුද්ධි හීන භාවය නිසා යැයි අපටනම් සිතේ.කඳවුරට පැමිණෙන අලින් එළවීමට ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? කොළඹ හැදෙන දරුවෙකුට සර්ප දෂ්ඨණයක් යනු සිහිනයක්ම පමණි.නාන්නේ නැතිව දින පහ හයක් ඉන්නට ලැබෙන්නේ එහෙමත් ළමයෙකුටය.වැස්සට හරි තෙමෙනවාය.ඉතින් මෙවන් වූ අත්දැකීම් සමුදායක් සති තුනක් තුළ ලබා දීම ම අගය කළ යුතුය.එසේ වූ බුධිමත් තීරණයට එරෙහිව මොරදෙන සිසුන් විශ්වවිද්‍යාල වලින් නෙරපිය යුතුය.

ඔබතුමන්ලාගේ බුද්ධිමත් සියළු තීරණ ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් බිහි කළ යුතුමය.ඒ සඳහා මෙකී නායකත්ව පුහුණුව නොසෑහේනම් අතිගරු දසසිල් පාඨලී චම්පික ඇමතිතුමා හා එක්වී විශ්වවිද්‍යාල සිසුන්ට තාවකාලික පැවිද්ද ද සති පහකට හෝ ලබා දෙන මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි.

                                                                              ඔබතුමාට දීර්ඝායු වේවා!

                                                                                                                මීට                                                                                             යටහත් පහත් කීකරු,
                                                                                                                                                                                                                        එහෙයිපාල.

1 comment:

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...