04 December 2014

වතුර බාල්දිය සහ පරවියා



කාලෙකට පස්සේ බ්ලොග් පෝස්ට් එකක් ලියන්ඩ කියලා හිතලා ඊයේ බාගයක් ලියපු එකක් අද ඉවර කරලා දාන්ඩ හිතුවා.ඒ උනාට සහෝදරවරුනි පට්ට ජෝක් වීඩියෝ එකක් දැකලා ඒ ගැන ලියලා දාන එක වඩා හොඳයි කියලා හිතුනා නෙව.

ඉතිං ඔන්න කතාව කියන්ඩ කළිං පුංචි විස්තර වගයක් තියෙනවා කියන්ඩ.මේ ඇවිල්ලා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු ඩිංගක්.



ඔන්න මිනිහෙක් ළිඳකිං වතුර බාල්දියක් අදිනවා.බාල්දිය කට ගාවටම ආවම ළනුව කඩාගෙන බාල්දිය ළිඳට වැටෙනවා.මොකක්ද හේතුව?

1. ලනුව දිරපු එකක් වීම.
2. බාල්දිය බර වැඩි වීම නිසා ඒ මගින් ලනුව මත ඇති කරන ආතතිය වැඩි වී ලනුව කැඩී යාම. (හිටපු මැතිවරණ කොමසාරිස්තුමා වගේ)

ඉහත සාධක දෙකත් එක්ක ගුරුත්වාකර්ෂණය, බාල්දියේ වතුරත් සමඟ ස්කන්ධය, තන්තුවේ ප්‍රත්‍යස්ථතාව, ලනුව නිශ්පාදිත ද්‍රව්‍යය, ඒ මත ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය, සූර්යයාලෝකයේ ඇති UV කිරණ මඟින් ඇතිවන හානිය සහ වතුර අදින පුද්ගලයා ලනුව මත ඇති කරන බලය වගේ දේවල් ද සැළකිල්ලට ගත යුතු වෙනවා.

හැබැයි මේ ළිඳ තියෙන්නේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ වත්තේ.ගමේ හැම එකාම වතුර ගේන්ඩ එන්නේ මේ ළිඳට.ඔය කතාව කිව්වම අපිට තව එක න්‍යායක් සැළකිල්ලට ගන්ඩ සිද්ද වෙනවා.ඒ කියන්නේ එක එකා හැමදාම ළිඳෙන් වතුර අරං යන එකට මළ පැනලා හිටපු ක්‍රිෂ්ණමූර්ති හොරෙන්ම ලනුව පොඩ්ඩක් කපලා තියලා තිබ්බා වෙන්ඩත් පුළුවං.ඊට පස්සේ වතුර අදිද්දි බාල්දිය ළිඳට වැටුනම ඒක අපලයක් හින්දයි උනේ කියලා වතුර ගන්ඩ එන උංව බය කරලා ගොනාට අන්දවලා උං එක්ක තරහත් නොවී වතුර ගන්න එකත් නවත්තන්ඩ ගහපු ප්ලෑනක් වෙන්ඩත් පුළුවන්.

ඔන්න දෙවෙනි සිදුවීම.



මසි තුමා පරෙයියා විසික්කා කළාම ඌ ආයෙමත් කකුල් දෙක ළඟට වැටුනේ ඇයි?

1. පරෙයියා පොඩි කාලේ ඉඳලම කූඩුවක හිටපු එකෙක් නිසා පියාඹන්ඩ දන්නේ නැති වීම.
2. පොඩි පෙට්ටියක් ඇතුලේ හෙන සෙට් එකක් එක්ක ඉන්ඩ සිදුවීම නිසා එක පැත්තට ඉඳලා තට්ටක් හිරි වැටී තිබීම.
3. සෑහෙන වෙලාවක් තිස්සේ පෙට්ටියක් ඇතුලේ හිර වී සිටීම නිසා අධික රස්නය පිපාසය හෝ කුසගින්න නිසා ක්ලාන්ත ගතියක් දැනීම.
4. ඌ පියාඹන්න අකමැති එකෙක් වීම.

ඔන්න මේ සිද්දි දෙක ගලපලා අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ලොක්කා මරු ටෝක් එකක් දෙනවාය.

ලොක්කා කියන විදිහට ක්‍රිෂ්ණමූර්තිතුමා ළිඳට බාල්දිය වැටීම පහදා ඇත්තේ වතුර අයිති ළිඳට නිසා බාල්දිය වතුරත් සමඟ ළිඳට වැටී ඇති බවයි.නමුත් එම තර්කයට අනුව එයිට පෙර බාල්දි ළිඳට නොවැටී කාලාන්තරයක් තිස්සේ වතුර ඇද්ද හැටි පැහැදිලි වන්නේ නැත.සමහර විට ළිඳ ඉවසා ඉවසා බැරිම තැන ළනුව කඩා බාල්දියත් සමඟ වතුර ටික ආපසු ගැනීමට තීරණය කළා විය හැක.නැත්තං නින්දේ සිටි ළිඳ හදිසියේ අවදි වූ විට තමන්ගේ වතුර ගන්නවා දැක මෙසේ ප්‍රතික්‍රියා කළා විය හැක.





කෙසේ හෝ චන්ද්‍රසිරි අංකල් පවසන ආකාරයට මේ සිදුවීම් දෙක අතර සමානකමක් ඇත.ඔහු කියන්නේ පරවියා නැවත පැමිණීමෙන් කියැවෙන්නේ මසී ලොක්කාට සොබාවධර්මයා අනතුරු ඇඟවූ බවය.ඔය ගිනි ගොඩට පනින්න එපා කියූ බවය.මටනම් මේ සිදුවීම් දෙක අතර කිසිම සමානකමක් නැත.බාල්දිය ළිඳට වැටුනේ වතුර අයිති ළිඳට නිසා නම් සරල තර්කයට අනුව පරවියා නැවත ආවේ ඌ සිරිසේන ලොක්කාගේ නිසා විය යුතුය.මෙවන් මැටි තර්ක ඉදිරිපත් කරන උන් අඩුම තරමේ 'සිරස ඩිබේටර්' වත් බලා තර්ක යනු මොනවාදැයි තේරුම් ගත යුතුය.

ඉහත ප්‍රකාශයෙන් ගම්‍යවන තවත් කරුණක් ඇත.චන්ද්‍රසිරි අංකල් කියන්නේ සිරිසේනට මේ ගිනිගොඩට පනින්න එපා කියලාය.මේ අවධානම ගන්න එපා කියලාය.

ඔන්න මම දැන් උදාහරණයක් දෙමි.

මමත් මගේ පන්තියේ මිත්‍රයෙකුත් එකම කෙල්ලට ට්‍රයි කරමු.එවිට කොහොමත් අපි දෙදෙනා අතර තරගයක් ඇති වේ.අපි තරහද වෙමු.නමුත් කවුරුත් මට හෝ ඔහුට ඔය ගිනි ගොඩට පනින්න එපා කියා අවවාද දෙන්නේ නැත.අවධානමක් ගන්න එපා කියන්නේද නැත.නමුත් මම අපේ ගමේ ඉන්න මිනී දෙක තුනක් මැරූ චණ්ඩියෙක් ට්‍රයි කරන කෙල්ලෙක්ට ලයින් එක දාන්ඩ පටං ගත්තොත් නම් දන්න අඳුරන හැම එකාම 'ඇයි බං ඔය ගිනි ගොඩට පනින්නේ?, ඔය අවධානම ගන්ඩ එපා බං' කියා අවවාද කරනවා ෂුවර් ය.

මෙව්වාට කියන්ඩ තියෙන්නේ 'ආච්චිගේ රෙද්ද ' කියා තමයි ය.

ඔන්න මම අදට කියන්ඩ තියෙන ඔක්කොම කිව්වා !!!