17 November 2018

වැරදුනේ කාටද?





"අඩෝ මොනවද බං උඹ කරන්නේ?" සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවද දන්නෑ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මෝල් අමාරුව තියෙනවද කියලා. මොනවා උනත් ගෙදෙට්ට ආපු එකෙක්ට බණින එක අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා මම මොකුත් කිව්වේ නෑ.

"අඩෝ උඹ පාඩං කරනවද? මේ වයසට ගිහිල්ලා පිනක් දහමක් කරන් ඉන්නැතුව මොන විභාගද බං."

"විභාග රෙද්දක් නෙමෙයි බං, මම මේ ව්‍යවස්ථාව කියවනවා. සිරාගෙ අසූචි වැඩ හින්දා බලහං අපිට වෙච්ච දේ."

"ඉතිං යකෝ උබ ඕකේ මොනවද බලන්නේ? "
"ඇයි බං, එකෙක් කියනවා 42. ඇ. අනුව ඒක හරිලු.තව එකෙක් කියන්වා 70. ඉ. අනුව ඒක වැරදියිලු. තව එකෙක් කියනවා 58.ඒ. අනුව දැම්ම මතයක් කියන්ඩ බෑලු. අනික බං ඔය ලීගල් පොයින්ට් දෙන උං කරලා තියෙන වැඩ දැක්කම ඔය යක්කු කියන ඒවා සත පහකට විස්වාස කරන්ඩ බෑනේ."

"ඉතිං දැං උබේ නිගමනය මොකක්ද?"

මගේ අවසාන නිගමනය ඇවිල්ලා අපේ රටේ ඉන්න උංගේ සක්ෂරතාව අච්චරයි මෙච්චරයි කියලා පම්පෝරි ගැහුවට එකෙක්ටවත් හරියට ගලපලා වාක්කියක් ලියාගන්ඩ බෑ කියන එක. අපේ උංගේ වැඩ වගේම තමා උඩිං එකක් කියලා යටිං තව එකක් කියලා.මොකක්ද බලහං මේකේ වැඩේ. යකෝ රටේ වැදගත්ම ලියවිල්ල නේද? මොකෝ කෑල්ලටැ ලියන ලව් ලෙටර් එකක් නෙමෙයිනේ. හා නැද්ද? ඕක ටිකක් වෙලාව අරගෙන සෝදුපත් කියවලා එහෙමනේ බං සම්මත කරගන්න ඕනේ."

"මං ඔච්චර ඕවා දන්නෑ මචං පොඩ්ඩක් ඕක දියං අව්වට අල්ලලා බැලුවනං හිල් තියෙනවද කියලා පෙනෙයි. ඔය කට්ටිය කියන්නේ වියවස්ථාවේ හරියට හිල් කියලා. කාවො කාලා වෙන්ඩෑ මං හිතන්නේ."

" මෙන්න මෙහෙ දියං ඕක. කාවෝ කන්ඩ ඕනෑ තොගෙ අහවල් එක."

"මොනවා උනත් මචං මහින්ද මහත්තයා ආයේ අගමැති උනේ මේකේ හිල් තිබ්බ හින්දනේ මොකෝ කියන්නේ?"

"මහින්ද අගමැති උනත් අවුලක් නෑ.පොරට චන්දේ දුන්නත් අවුලක් නෑ. ඒ උනාට පොරට මහින්ද මහත්තයා කියන උං ඉන්නවා නේද? අන්න උං තමා නියම වහල්ලු."

"ඇයි යකෝ අපි වැදගත් විදිහට මනුස්සයෙක්ට කතා කළාම මොකද?"

"පොරට විතරක් මහත්තයා කියන්නේ කියහංකෝ සිරාටත් මහත්තයා කියලා. එහෙම නැත්තං මහින්ද වටේ ඉන්න අනිත් උන්ට මහත්තයා කියලා කියලා බලපං. ප්‍රසන්න රණවීර මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා, රත්තරං මහත්තයා, මහින්දානන්ද මහත්තයා මරු මහත්තුරු ටික බං."

"ඇයි එතකොට උඹ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ මහත්තුරුද?"

"මම දැං එහෙම කිව්වද? නෑනේ. රාජිතයා, රනිලා, සජියා, සුජියා ඔය ඔක්කොම හොරු, මංකොල්ලකාරයෝ තමා."

"ඉතිං දැං උඹලා මහලොකුවට සිරාට දීලා ඔය කරගත්තේ. ලැජ්ජ නැද්ද යකෝ. ඌ දිනපු එකෙං වෙච්ච හොඳේ මොකක්ද කියහං."

" ඇයි යකෝ ඒ හිපාටුවා දින්න හින්දනේ මහින්දයා පැරදුනේ. මහින්ද එදා දින්නනං උබ හිතන්නේ අද රට සුඛිත මුදිතයි, ඕස්ට්‍රේලියාවේ උනුත් ලංකාවට බෝට්ටුවෙං හොරෙන් එන සයිස් එකට නග්ගලා ඇමරිකන් ඩොලර් එක සත ගාණට ගිහිල්ලා අපි ඇමරිකාවට ආර්ථික කුළී ඝාතකයො බස්සන ගාණට එන්ඩ තිබ්බා කියලද? නෑනේ බං. රනිලා කෑව විදිහටම උංගෙ සෙට් එකත් මේක කාලා අද අපි අරුන්ට බණිනවා වගේ මුන්ට බැණ බැණ ඉන්න තිබ්බා."

"උඹට එහෙම කියන්ඩ බෑනේ. මහින්ද මහත්තයා රට ගොඩදාගෙනනේ බං ආවේ."

"උඹ මැරිලා ඉපදුනාට මම මැරිලා ඉපදුනේ නෑ බං.මහින්ද අන්තිම කාලේ දාපු ඩිස්ටි ඩිඩිං මටනං මතකයි."

"දැං උඹ කියන්නේ රනිලට ඡන්දේ දෙන්ඩ කියලද? තොප්පිගලයා, සමනළයා"

"ඔය බලහංකෝ ඉතිං, මම දැං එහෙම කිව්වද කියහංකෝ. උං මහ පට්ට හොරුනේ බං. දීපං ස්වාධීන එකෙක්ට. මුං දෙගොල්ලොම හොරු කියලා සීයට සීයක් ෂුවර්නේ බං. අලුතෙන් එන එකෙක් හොරකං නොකරන්ඩ පොඩි හරි චාන්ස් එකක් තියෙනවනේ බං. ඉතිං ඒ චාන්ස් එක ගම්මු."

"අළුත් උන්ට තේරෙනවද බං රටක් පාළනේ කරන්ඩ? දෙනකොට දෙන්ඩ ඔනේ පරිණත කෘතහස්ත ඩෑල් එකකට."

"ඔය පරිණත කෘතහස්ත ඩෑල් එකකින් උගේ අමාත්‍යංශේ ගැන හරි ව්‍යවස්ථාව ගැන හරි රටේ ආර්ථිකේ ගැන හරි අහලා බලපං අන්න එතකොට උඹට තේරෙයි උං රෙද්දේ පරිණත කම. උං දන්නවට වඩා දේවල් අපි දන්නවා බං. උඹ උනත් දන්නවා උංට වඩා."

"උඹ දීලා බලහංකෝ ඔය ආධුනික ඩෑල් රට කරන්ඩ ගිහිල්ලා පිස්සු නටනකොට උඹට තේරෙයි."

"එහෙම වෙන්නෑ බං.මොකා හිටියත් වෙනසක් වෙන්නෑ. මොකෙක්වත් නොහිටියත් මොකුත් වෙන්නෑ. දැං මේ සති දෙකක් තිස්සේ රට දුවන්නේ අගමැතියා මොකාද, ඇමති මණ්ඩලේ මොක්කුද ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නැතුව.එකම වෙනස මොකෙක් හරි පත් උනොත් ඌට අළුතෙන් වාහන ගන්නවා, බිල්ඩිමක් ගන්නවා සබීතාපාය වගේ, ඊට පස්සේ ලේකම්ලා අරුං මුං ඔක්කොම අරගෙන ලෙටර්හෙඩ්, ෆයිල් කවර හිටං වෙනස් කරන්ඩ සල්ලි වියදං කරන එක තමා වෙන්නේ. උඹ ඔය කොහෙද යන්නේ? හිටහං තවම කියලා ඉවර නෑ."

"වැඩක් නෑ බං. උඹලා වගේ හැම එකාටම බණින ගන්ධබ්බයෝ එක්ක කතා කරලා වැඩක් නෑ. ජෙප්පංගේ හැටි ඔහොම තමා."

"ඔන්න බලහංකො ඉතිං. දැං මම කිව්වද මම ජෙප්පෙක් කියලා.උං කරන සමාජවාදයක් නෑ.ශේප් එකේ රනිලගේ ගේම් ටික ගහනවා ඇරෙන්ඩ.හොර යක්කු.පව් උංගේ පෝස්ටර් අලෝන පෙලපාලිවලට යන කොල්ලො."

"වැඩක්ම නෑ බං.වාද කරන්ඩ පුළුවං කාට හරි කඩේ යන එකෙක් එක්ක බං. උඹලා වගේ උං එක්ක මේවා කතා කළාම අපි නිකං බැණුං අහන එක වෙන්නේ."

"ඇත්ත බං.වැඩක් නෑ තමා.මම කොච්චර කිව්වත් මහින්ද කොච්චර හොරකං කළා කිව්වත් උඹලා ඌට ඡන්දෙ දානවා. රනිලට කඩේ යන උං මහබැංකුව ඉස්සරහ ඡන්ද පෙට්ටියක් තිබ්බත් පයින් හරි ඇවිල්ලා රනිලට ඡන්දෙ දානවා. ඕක මචං අන්ධ භක්තියක්. උඹලත් එක්ක මේක ගැන කතා කරන එකයි මුස්ලිම් එකෙක්ට අල්ලා නෑ කියලා කියන එකයි දෙකම එකයි බං.මාත් යනවා ලයිබ්‍රියට දණ්ඩනීති සංග්‍රහයෙ කොපියක් හොයා ගන්ඩ.නඩුව කල් දැම්මට ඒක අහන්ඩ ගත්තම ඒක ගැනත් දැනං ඉන්න එක හොඳයි."


06 November 2018

සිරි ලංකා .....මං ආදරෙයි අහස තරං....




දැං අපිට අගමැතිලා දෙන්නෙක් ඉන්නවාය. ඒ දෙන්නාම අපිට කොරන්න පුදුම විදිහට දත කන නිසා තව ජුන්ඩ දවසකින් රට සුඛිත මුදිත වෙලා ලංකාව ලෝකේ විරාජමාන වෙලා යනවාය. ඇමති මණ්ඩලෙත් දෙන්නා දෙන්නා ඉන්න නිසා අමාත්‍යංශ ඉස්සරටත් වඩා කාර්යක්ෂම වෙලා මිනිස්සුන්ට ගෙදරටම ඇවිල්ලා ඕනේ කරන වැඩ ටික කරලා දෙනවා ඇතිය. ආයේ කන්තෝරු ගානේ රස්තියාදු වෙන්නට කොහෙත්ම අවශ්‍ය නැතිය. සහන මල්ල අරං ගෙදරටම ඇවිල්ලා දීලා යනවා ඇත. හුදී ජනයා වන අපට කරන්න ඇත්තේ කකුල් දෙක උඩ දාගෙන අංගජාතෙට හීල් හුළං පාරක් වදිද්දී ටීවී පෙට්ටිය දිහා බලියං ඉන්න එකය. එක එකාගේ ලංසුව කීයද කියලා අනුමාන කරන එකය.

රනිල් අංකල්ගේ ආර්ථික මෙව්වා එක නිසා ඩොලර් එක පච වෙලා ගියේය. ට්‍රම්ප් මහත්තයා පොළොවේ හැපිලා ඇඬූ වග අල්ජසීරාවේ, බීබීසීයේ, ලක්බිම පත්තරේ මුල්පිටුවේ ගියේය.පුටින්ටත්, ජිං පිංටත් කලිසමේ කක්කි ගිහිල්ලා තිබ්බේය. එච්චරට දියුණු කරගෙන ගිය ආර්ථිකේ මහියා අතට ගත්තේය. දැං මුළු ලෝකෙම දෑස් දල්වා බලාගෙන ඉන්නේ ඊළඟට මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද කියලාය. අපේ රටේ ඒක පුද්ගල ආදායම සිංගප්පූරුවේ දල ජාතික නිශ්පාදනයට දැනටමත් සමාන නිසා මෙතනින් එහාට රට දියුණු කරන්නට ඉඩක් නැති බවත් අඟහරු බ්‍රහස්පති යුරේනස් නැප්චූන් ආදී අනෙකුත් ග්‍රහලෝක දක්වා ලංකාවේ ව්‍යාප්තිය වැඩි කර සෞරග්‍රහ මණ්ඩලයේම බලය අත්පත් කරගනු ඇති බවට ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ මතය වී ඇත.

කිසිවෙකුත් නොදන්නා මෙහෙයුමකට මීට වසර කීපයකට පෙර අභ්‍යාවකාශගත කල චී චී යානය යොදාගෙන දැනටමත් කුයිපර් පටියේ අභ්‍යාවකාශ යානා ධාවන පථයක් නිර්මාණය කර ඇති බව කියැවේ.මේ සඳහා රණවිරු සාමාජිකයින් වැලි කොට්ටා ගෙන යන අයුරු සඳහන් වන සීසීටීවී දර්ශන කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා තරම් ජාතිමාමක දේශ හිතෛශී ජනහිතකාමි නිර්ලෝභී අල්පේච්ඡ ඈයින් බ්‍රහ්මලෝකේවත් නැති අතර එක රැයින් එකට හිටපු උන්ගේ ගුණදොස් දැක ගැනීමේ විශේෂ හැකියාවකින්ද යුක්තය. එච්චර කල් එකට හිටපු එකා හොරෙක් බව සුටුස් ගා අවබෝධ වීමත් සමග පටස් ගාලා ප්‍රගතශීලී පෙරමුණට එක්ව රට ගොඩනැගීමේ වැඩ පිළිවෙලට අඛණ්ඩව දායකත්වය දැක්වීමට වග බලාගෙන සිටින්නා වූ උත්තම සත්ත්ව කොට්ඨාසයක් වන නිසා අකනිටා බඹ ලෝකයේ ඉන්නා සැට් එක ලැජ්ජාවෙන් මුසපත්වී කිසිවක් කර කියාගත නොහැකිව සැඟවී සිටිති.

අපේ නායකයින්ගේ උදාර ජීවන චර්යාවත් මහත්මා ගතිගුණත් දැක ඒ අනුවම වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය නිළධාරී සැට් එකද රටට ආබරණයකි.ජනතා සිතුම්පැතුම් වහා හඳුනාගෙන ඒ අනුව ක්ෂණික තීන්දු තීරණ ගෙන වහා ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණයේ යෝධ ශක්තියනම් මේ රාජ්‍ය නිළධාරීන් කණ්ඩායමය. මුදලට නොනැමෙන, නිහතමානී මේ මහත්ම මහත්මීන් ජනතාවට දක්වන ගෞරවාදරය දැක පාප්වහන්සේද කම්පාවට පත් වූ සේක.ජපානයේ පෙළපොත්වලට පවා ඇතුලත් කර ඇති මේ ජනතා සේවකයින් පිළිබඳ වෘතාන්තය කියවා ජපන් ජාතිකයින් විශ්මයෙන් විශ්මයට පත්වැ ලංකාව දෙස බලා උදේ හවස පහන් පත්තු කරති.

විද්‍යාදී විශයන් පරතෙරට අධ්‍යයනය කර ඇති අපේ රටේ ජනතාව තිර්ශ්චීන විද්‍යාවන් හෙලා දකිමින් නව ලොවකට මංපාදාගෙන ඇත්තෝය. යුරෝපා සංගමයට ලංකාවෙන් ආධාර ලබා දීමට නම් ජ්‍යෝතිශ්‍යය වැනි මුග්ධ විද්‍යාවන් පසු පස යෑම නවතා නව මාවතකට යුරෝපා ජනතාව යොමු කරගත යුතු බැව් අපේ ජනපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පැවසීය.අපේ ජනපතිතුමාගේ තේජස හමුවේ සෙසු රාජ්‍ය නායකයින්ට සුළු දිය පහවන බැවින් සෑම රැස්වීමකටම පසුව ශාලාව පිරිසිඳු කිරීමට සිදුවී ඇති බැව් ශාලාවේ සංවිධායකයින් පවසයි.

නායක කාරකාදීන්ගේ හැකියාවන් සහ පරිකල්පන ශක්තිය කෙසේ වෙතත් වැඩියෙන්ම පැසසිය යුත්තේ ලාංකික හුදී ජනතාවය. එතරම් බුද්ධිමත්, කාර්යක්ෂම්, ජනතාවාදී පාලකයින් සිය ඡන්ද බලයෙන් තෝරා පාර්ලිමේන්තු යවන්නේ එකී දේශපාලනිකව සබුද්ධික, ප්‍රඥාවන්ත ජනතාවම වීම නිසාය.