22 November 2012

වැදගත් විශයය....12 ( Sex Education in Sinhala )






කාලෙකට පස්සේ අසනීප වෙච්ච හින්දා ලැබිච්ච නිවාඩුවේ බ්ලොගේ මොනව හරි ලියන්ඩ හදද්දි තමයි මතක් උනේ වැදගත් විශය ලිපි පෙළ ඉවර නෑ නේද කියලා.ඔන්න අද ඒකේ වැදගත්ම ඒ කියන්නේ ප්‍රායෝගිකම ලිපිය ලියන්ඩයි හදන්නේ.

ලිංගික සංසර්ගය, ලිංගික එක්වීම, රමණය, මෛථූන්‍යය, සයනය කිරීම, සංසර්ගය, සසඟ, අඹුසැමි ඇසුර වගේ සභ්‍ය වචන රාශියක් සහ අසභ්‍ය යැයි කියන වචන රාශියකින් මෙන්ම සාමාන්‍ය එදිනෙදා අපි කතා කරන වචන රාශියක් ව්‍යංගව භාවිතා කරලා මේ ක්‍රියාව හඳුන්වන එකෙන්ම මිනිස්සු මේක ගැන කොච්චර උනන්දුයිද කියලා තේරෙණවා.නමුත් ගැටළුව තියෙන්නේ කොච්චර උනන්දු උනත් මේ ගැන පැහැදිලි දැනුමක් ලබා ගන්ඩ තියෙන මාර්ග හරි අඩුයි.

ගුරුවරු වැඩිහිටියෝ සහ දෙමව්පියෝ මේ ගැන කතා කරන එක ප්‍රතික්ෂේප කරද්දි මිත්‍රයින්ගෙන් ලැබෙන්නේ හරිම අපැහැදිලි ව්‍යාකූල තොරතුරු සමුදායක්.ඒ වගේම අනිකුත් තොරතුරු ලැබෙන මාධ්‍ය බොහොමයක තියෙන්නේ අතිශයෝක්තියෙන් කෙරෙන විස්තරයක් (නිල් චිත්‍රපට හෙවත් වැල, සහ අසැබි පත්තර ).ඉතින් මේ විදිහට දැනුම අතින් අසම්පූර්ණව ලිංගික ජීවිතයට පිවිසෙන්න වෙන එක මම දකින්නේ අපරාධයක් විදිහට.මොකද අපි කරන හැම ක්‍රියාවක්ම අවසානයේ සංකේන්ද්‍රණය වෙන්නේ ලිංගිකත්වයටයි කියලා 'ගැනොන් මහත්මයා ලියපු වෛද්‍ය විද්‍යා භෞතවේදය කෘතියේ සඳහන් වෙනවා.


ඉතින් එහෙව් එකේ මේ ගැන හොඳ දැක්මක් සහ අවබෝධයක් ඇත්නම් ජීවිතේ තෘප්තිමත් කරගන්ඩ ලොකු පිටිවහලක් වේවි කියලා මම හිතනවා.කට්ටිය බලලා ඇතිනේ 'බ්ලූ ලැගූන්' කියන චිත්‍රපටිය.ඒකෙ දැක්වෙන විදිහටම තමයි ඇත්තටම ලිංගික සම්බන්ධයක් සඳහා පෙර දැනීමක් අවශ්‍ය නෑ.නමුත් තෘප්තිමත් ලිංගික සම්බන්ධයක් සඳහා හොඳ අවබෝධයක් තියෙන එක වැදගත්.ඒ වගේම සමහරුන්ට මේ අවබෝධය නිකම්ම ඇතිවෙන්නෙත් නෑ.ඒ නිසා තමයි බැඳපු අය ළමයි නෑ කියලා ක්ලින්ක් එකට ආවම ඒ අය නිසි ආකාරයෙන් ලිංගිකව එක්වෙනවද කියලා අපි හරියටම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ.

හරි ඔන්න මම මූලිකම තැන ඉඳලා විස්තර කරන්ඩයි යන්නේ.සියල්ලම විස්තර නොවෙන්ඩත් පුළුවන්.එහෙම තිබුණොත් කොමෙන්ට් එකක් දාන්ඩ.මම හොයලා ඒ ගැන කියන්නම්.

ලිංගික සංසර්ගය කියන්නේ පිරිමියාගේ සෘජු වෙච්ච ශිෂ්ණය ගැහැනියගේ යෝනි මාර්ගයට ඇතුළු කිරීමෙන් ඇරඹෙන ක්‍රියාවලියක්.ඊට පස්සේ ඉන්පසු පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ (බොහෝවිට පුරුෂයාගේ) කටී ප්‍රදේශය ඒ කියන්නේ උකුල් ප්‍රදේශය රිද්මයානුකූලව චලනය කිරීම මගින් ශිෂ්ණය යෝනි මාර්ගය තුලම ඉදිරියට හා පසුපසට චලනය කරවීම සිද්ධ වෙනවා.මෙහිදී පුරුෂයාගේ ශිෂ්ණ මුණ්ඩය ප්‍රදේශයේ ඇති ස්නායු අග්‍ර යෝනි බිත්තියේ ඇතිල්ලීම නිසා ජනනය වෙන ස්නායු ආවේග මොළය කරා ගමන් කිරීමෙන් පස්සේ තෘප්තිමත් එහෙම නැත්නම් සතුටුදායක හැඟීමක් මොළයේ ජනනය වෙනවා.

ඒ වගේම ස්ත්‍රියගේ යෝනි බිත්තියේ ඇති ඇදීමට සංවේදී ස්නායු අග්‍ර මෙන්ම අනෙකුත් සංවේදී ස්ථාන (පස්සේ විස්තර කරන්නම් ) උත්තේජනය වෙලා ඒ ස්නායු ආවේග මොළයට ගෙන ගොස් තෘප්තිය නම් හැඟීම ජනිත කරවනවා.

පුරුෂයාගේ සුරාන්තය හෙවත් Orgasm සිද්ධ වෙන්නේ ශුක්‍ර තරලය පිටත් වීමත් සමඟමයි.සුරාන්තය කියන්නේ ලිංගික තෘප්තියේ උච්චතම අවස්ථාව විදිහට හඳුන්වන්න පුළුවන්.පුරුෂයෙක්ට සාමාන්‍ය යෝනික සංසර්ගයකදී සුරාන්තයට පත්වෙන්ඩ ගතවෙන්නේ මිනිත්තු 4ක් විතර කියලා තමයි කියන්නේ.ඒත් ගැහැනු කෙනෙක්ට මේ සඳහා මිනිත්තු 10-15ක් විතර ගත වෙනවලු.මෙන්න මේ වගේ තැන්වලදි තමයි දැනුම අවශ්‍ය වෙන්නේ.ලිංගිකත්වය ඇත්තටම තියෙන්නේ ඊළඟ පරම්පරාව ජනිත කිරීමට උනාට මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ සතුට ලබා ගැනීමේ සහ එකිනෙකා අතර ලොකු බැඳීමක් ඇති කර ගැනීමේ මාර්ගයක් විදිහටයි.ඒකනේ අනිත් සත්තු බොහොමයකගේ ලිංගික ක්‍රියා වසරේ යම් කාලයකට සීමා වෙලා තිබුණට මිනිස්සු වසර පුරාම ලිංගිකව එක් වීම සිද්ධ වෙන්නේ.ඉතින් පිරිමියා තමන්ගේ තෘප්තිය ලබාගෙන අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවනම් ගැහැනියට ඒ තෘප්තිය ලැබෙන්නේ නැත්නම් ඇය කලකිරීමට පත්වීම හෝ වෙන තැනකින් ඒ සතුට සොයා යන්ඩ ඉඩ තියෙනවා.


එතකොට මේ ලිංගික ක්‍රියාව මේ කියන ශිෂ්ණ යෝනි සංසර්ගයට සීමා වෙනවද? අපෝ නෑ.මිනිස්සු මේ ක්‍රියාවට විකල්ප රාශියක් හොයාගෙන තියෙන්නේ.

ස්වයං වින්දනය

මළලසේකර ශබ්ද කෝෂයේ ස්වයං වින්දනය විස්තර කරන්නේ අතින් පිරිමැද කරන ශුක්‍ර මෝචනය කියලා.ඒ උනාට මේක ගැහැනුන්ටත් අදාලයි.අපේ සංස්කෘතියේ ගැහැනුන්ගේ කන්‍යාභාවයට ලොකු අවධානයක් තියෙන නිසා සහ ගැහැනුන් එවැනි ක්‍රියා කිරීම අශ්ලීල යැයි මතයක් ගොඩ නගා ඇති නිසාත් බොහොමයක් ගැහැනු ඒ ක්‍රියාවට යොමු වෙන්ඩ බියක් දක්වනවා.පිරිමින් බොහොමයක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ සිය අතින් ශිෂ්ණය අල්ලාගෙන අත ඉදිරියට සහ පසුපසට චලනය කරවීමෙන්.ගැහැනුන්ට මේ සඳහා ඔවුන්ගේ ක්ලිටොරිසය හෙවත් භගමණිය අතින් පිරි මැදීමෙන් මෙන්ම කන්‍යාභාවය නැති අයට යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ ඇතුල් පැත්තේ ඇති 'G ස්පොට්' ලෙස හඳුන්වන සංවේදී ස්ථානය පිරිමැදීමෙන් සහ ශිෂ්ණයට සමාන වෙනත් උපකරණ භාවිතයෙන් සුරාන්තයට එළඹෙන්න පුළුවන්.
























ඒ සඳහා විවිධ වර්ගවල කෘත්‍රීම උපකරණ හදලා තියෙනවා.ලංකාවේ මේවා හොයාගන්න එක එච්චර පහසු නැති උනාට ලෝකේ අනිත් රටවල මේවා පහසුවෙන් ලබා ගන්ඩ පුලුවන්.මේ උපකරණ අතර කෘත්‍රිමව කම්පණය වෙන ඒවා වගේම ක්ලිටොරිසය උත්තේජනය කරන සහ G ස්පොට් එක උත්තේජනය කිරීම සඳහාම විශේෂයෙන් නිපදවූ උපකරණත් දකින්න පුළුවන්.

පිරිමින්ටත් කෘත්‍රීම යෝනි මිළදී ගන්ඩ පුළුවන්.ඒවාත් විවිධ වර්ගවලින් දකින්ඩ ලැබෙනවා.








දැන් මේවා ගැන කිව්වේ මේවා ලංකාවේ හොයාගන්ඩ අපහසු උනාට මේවා ලංකාවට අවශ්‍යයි කියන මතේ මම ඉන්න නිසා.මොකද මිනිස්සුන්ගේ ලිංගික අවශ්‍යතා නිසි ලෙස සැපිරුනේ නැති උනාම මානසිකව ආතතියක් නිර්මාණය වෙන්ඩ පුළුවන්.ගොඩක් වෙලාවට සමහරු සමාජයේදි පුපුරා හැලෙන්නේ මේ ලිංගික තෘප්තිය ප්‍රමාණවත්ව නොලැබීම නිසා වෙන්ඩ පුළුවන්.ඉතින් මේ ආතතිය වෙනත් විදිහකට පිට කරන්ඩ උත්සාහ කිරීම තුලින් වෙනත් සමාජීය ප්‍රශ්න නිර්මාණය වෙනවා වගේම ලිංගික අඩන්තේට්ටම් කිරීම් අපචාර ක්‍රියා ආදියටත් හේතුවක් වෙන්ඩ පුළුවන්.මේ කියන ස්වයං වින්දන ක්‍රමවේදය හැමදාටම පාවිච්චි කළයුතු දෙයක්ය කියලා මම කියන්නේ නෑ.ඒත් බිරිඳ දරු ප්‍රසූතියකට සූදානමින් ඉද්දි වගේම ඉන් පසුව ටික කාලයක් යනකං, හමුදාවේ ඉන්න සැමියා නිවාඩුවට ගෙදර එනකන් වගේම මැදපෙරදිග ගිය බිරිඳ ගෙදර එනකං වගේ අපි දකින ප්‍රයෝගික අවස්ථාවලට ස්වයං වින්දනය කියන්නේ බොහොම හොඳ විකල්පයක්.

ගුද රමණය

මේ කියන්නේ පුරුෂයාගේ ලිඟුව ස්ත්‍රියගේ හෝ වෙනත් පුරුෂයෙකුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමෙන් සිදුකරන සංසර්ගයයි.යෝනි මාර්ගයට වඩා ගුද මාර්ගයේ ඇති තද භාවය සහ එම ක්‍රියාවේ ඇති අශ්ලීල භාවය සමහරුන් මේ ක්‍රමය වෙත යොමු කරවනවා.ඒ වගේම පිරිමි සමලිංගිකයින් ගුද මාර්ගය හරහා පුරස්ථිති ග්‍රන්ථිය උත්තේජනය කරවා ගැනීමටත් මේ ක්‍රියාව යොදා ගන්නවා.නමුත් මෙහිදී ගුද මාර්ගයේ මෙන්ම ශිෂ්ණයේ ද තුවාල ඇති වීම මෙන්ම ගුද මාර්ගය විශබීජවල තෝතැන්නක් වීම බොහෝ විට ලිංගිකව සම්ප්‍රේශනය වන වගේම වෙනත් සාමාන්‍ය මුත්‍රා ආසාදන වැනි තත්ත්ව ඇති කිරීමට සමත් වෙනවා.මෙහිදී පැවසිය යුතු කරුණක් වන්නේ සමාජ රෝගයක් බෝවීමේ අවධානම සාමාන්‍ය ශිෂ්ණ යෝනි සංසර්ගයකදී මෙන් 50 ගුණයක වැඩි වීමක් ගුද සංසර්ගයේදී තියෙනවා කියන එක.

මෞඛ සංසර්ගය

මෙහිදී පුරුෂයාගේ ලිංගය ස්ත්‍රිය විසින් තොල් හා දිව ආශ්‍රිතව උත්තේජනය කරනවා.එමෙන්ම ස්ත්‍රියගේ ක්ලිටොරිසය හා අනෙකුත් සංවේදී ස්ථාන පුරුෂයා සිය දිවෙන් හා තොල් ඇසුරින් උත්තේජනය කිරීමත් අයත් වෙන්නේ මේ කාණ්ඩයටමයි.මේ ක්‍රියාවෙන් ස්ත්‍රියක් සුරාන්තයට පත් කිරීමට ද හැකි නිසා ස්ත්‍රියකට උපරිම ලිංගික තෘප්තිය ලබා දෙන්න මේ ක්‍රමය භාවිතා කරන්ඩ පුළුවං.වැදගත්ම දේ තමයි ස්ත්‍රීන් සුරාන්තයට පත් උනාට පිරිමින්ට වගේ ලිංගික හැඟීම් නැතිවෙලා යන්නේ නෑ.ඒ අයට අවශ්‍යනම් පිට පිට සුරාන්ත කීපයක් උනත් ලබාගන්ඩ පුලුවන්.ඒ නිසා ශිෂ්ණ යෝනි සංසර්ගයට පෙර ස්ත්‍රිය සුරාන්තයට පත් කිරීම ඇය තෘප්තිමත් කිරීමේ හොඳ ක්‍රමයක්.මුඛ සංසර්ගයේදීත් සමාජ රෝග පැතිරීමේ අවධානමක් තියෙනවා.ඒක නිසා තමයි විවිධ රසවලින් සහ සුවඳින් යුක්ත කොන්ඩම් (උපත් පාලන කොපු ) නිර්මාණය කරලා තියෙන්නේ.

කළවා අතර සිදු කරන සංසර්ගය

මෙහිදී ස්ත්‍රියගේ කළවා අතරට යම් ලිහිසි කාරකයක් දමා එකට ළං කළ කළවා අතරින් ශිෂ්ණය ගමන් කරවා සංසර්ගයේ යෙදෙනවා.මේ ක්‍රියාව බොහෝ විට සිද්ධ කරන්නේ ස්ත්‍රියගේ කන්‍යාභාවය රැක ගැනීමට සහ දරු පිළිසිඳීමක් වළක්වා ගැනීමට.මේ වගේම පියයුරු අතර ශිෂ්ණය තබා සංසර්ගයේ යෙදීමත් දකින්ඩ පුළුවන්.මේ කුමන ක්‍රමය භාවිතා කලත් යෝනි මාර්ගය අවට ශුක්‍ර තරලය ගෑවීමෙන් දරු පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්ඩ පුළුවන්.ඒ නිසා ඒ ගැනත් සැළකිලිමත් වෙන එක හොඳයි.

සමලිංගිකත්වය මානසික රෝගයක් විදිහට දැං සැලකෙන්නේ නෑ.ඒ උනත් එහෙම නොවෙන එක එහෙම වෙනවට වඩා හොඳයිනේ.ඒත් ඉතිං සමහරුන්ට එහෙම නැතුවම බැරි වෙනවා.ඉතිං එහෙම අය අනිත් අයව පොළඹවා ගන්නැතුව තමුන් වගේම වෙන කෙනෙක් හොයාගන්නවනං තමයි හොඳ.

එයිට අමතරව සතුන් එක්ක ලිංගිකව එකතු වීම සහ මෘත ශරීර සමඟ ලිංගිකව එකතු වීම ආදී මානසික රෝගමය තත්ත්ව ඇති අයත් සමාජයේ ඉන්නවා.අනිත් භයානකම කට්ටිය තමයි බාල අපරාධ සිද්ධ කරන්නන්.ඔවුන් කුඩා දරුවන් සිය ලිංගික අවශ්‍යතා සඳහා භාවිතා කරන්නේ කුඩා දරුවන්ගේ ප්‍රතිරෝධය අවම වීම නිසා වගේම මානසිකව ඔවුන් රෝගීන් වීම නිසයි.

කෙසේ වෙතත් ලංකාවේ ශිෂ්ණ යෝනි සංසර්ගය හැර අනෙකුත් සියළුම ආකාරයේ ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහයේ 365A වගන්තිය යටතේ නීතිය ඉදිරියේ වරදක්.ඒ කියන්නේ ස්වයං වින්දනය, ගුද රමණය, මෞඛ සංසර්ගය ආදී සියල්ලම අශ්ලීල ක්‍රියා ලෙස නම් කරලා දඬුවම් කරන්ඩ පුළුවන්.මේවා ආගමික බලපෑම් මත සෑහෙන කාලෙකට ඉස්සර සම්මත උනු නමුත් සංශෝධනය විය යුතු යල් පැනගිය නීති.නමුත් කවුරුත් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ.ඒ නිසා කරන දෙයක් පරිස්සමෙන් හොඳේ...






මේ රූපේ තියෙන්නේ ලිංගික ක්‍රියාවේදී භාවිතා වෙන ලිංගික ඉරියව් කීපයක්.ඒවා අතරින් මුලින්ම තියෙන ඉරියව්ව තමයි බහුලවම භාවිතා වෙන්නේ.තමංගේ සහකරු/සහකාරියගේ කැමැත්ත ඇතුව අනිත් ඕනෑම ඉරියව්වක් භාවිතා කළාට ගැටළුවක් නෑ.වැදගත්ම දේ තමයි අන්‍යොන්‍ය අවබෝධය.

11 November 2012

හිතේ දුකට



දිගින් දිගටම ඉස්පිරිතාලේ ය.උදේ ඉඳං හිටං ඉඳලා හවස් වෙද්දි කකුල් රිදෙන්ඩ පටං ගන්නවාය.මේ දවස්වල ඉන්නේත් නාරීවේදී වාට්ටුවකය.එකම පැමිණිල්ලක්ය උන්ට ඇත්තේ.ඒක්කෝ ලේ යනවා වැඩිය.නැත්තං ඔසප් වෙන්නේ නැත.සමහරුන්ට පිළිවෙලට ඔසප් වෙන්නේ නැත.

වාට්ටුවට එන හැම ගෑනු කෙනෙක්ගේම යෝනි පරීක්ෂාවක් කළ යුතුය.තව පොඩ්ඩෙන් අවුරුදු 42ක් පරණ කන්‍යා පටලයක් බිඳලා පොලීසි ගානෙත් රස්තියාදු වෙන්ඩ වෙනවාය.උන්දෑව පරීක්ෂා කරන ඇඳට නග්ගලා සාය ඉහළට උස්සලා කකුල් නවලා දණිස් ඈත් කරන්ඩ කිව්වාම ඒක තේරුණේ නැත.ජීවිතේ පලවෙනි පාරට එහෙම දෙයක් යෝජනා කළා වගේ එහෙට මෙහෙට ඇඹරෙන කොට අපේ ගෑනු ළමයෙක් 'ඔයා බැඳලද ?' කියලා ඇහුවායින් මම ගස් නොගිහිං බේරුණේය.අවුරුදු 42ක් මොකට ඕක පරිස්සං කළාද මම නං දන්නේ නැතිය.

මේවා දවසගානේ බලන්ඩ ලැබීම අල්ලන්ඩ ලැබීම ආතල් කියලා කට්ටියට හිතෙන්ඩ පුළුවංය.මමද හිතං හිටියේ එහෙමය.ඒ උනාට උදේ ඉඳං හවස් වෙනකං නාකි ඒවා, තරුණ ඒවා, සුදු ඒවා, කලු ඒවා, ශ්‍රාවයන් එන ඒවා, වේලිලා ගිය ඒවා, ෂේව් කළ ඒවා සහ නොකර 'අපි වවමු රට නගමු' තරඟවලට ඉදිරිපත් වෙන ඒවා ආදී ලෙසට දැකලා දැකලා දැකලා හවස් වෙනකොට ජීවිතේ අනියත බව, අර්ථවිරහිත ඒකාකාරී නිෂ්ඵලත්වය මනාව අවබෝධ වෙනවාය.ඊටත් මෙහේ එන්නේ ලෙඩ තියෙන ඒවාය.සමහර ආසාදන සහිතව ආ අයගේ ගැබ්ගෙල පරීක්ෂා කරන්ඩ ළංවෙලා බැලුවාම නහයක් නැතුව ඉපදුනා නං යැයි හිතෙන වෙලාවල් ද තියෙනවාය.

අපි පහුගිය අවුරුදු හතර මුළුල්ලේ දහසකුත් එකක් විභාග සඳහා පෙනී සිට ඇත්තෙමු.සමහරක් ඒවා අසමත්ව නැවත මුහුණ දීමට සිදු වූවද අවසානයේ ජයග්‍රාහීව අවසන් වසරේ මහාචාර්ය ඒකකවල පුහුණුව ලැබීම දක්වා සුදුසු කම් ලැබීමි.


දැං ඉතිං තියෙන්නේ අවසාන විභාගයයි.එය විභාගයක් ලෙස ලුහුඬෙට දැක්වීම යුතු නැත.ඒක ඇවිල්ලා විභාග සංකීර්ණයකි.තව සති පහකින් ප්‍රසව හා නාරිවේදය සායනික පරීක්ෂණය ඇත.ඉන් පසු ළමාරෝග පිළිබඳ මහාචාර්ය ඒකක පුහුණුවට පසුවත් මනෝවේදය (psychiatry) පුහුණුවට පසුවත් සායනික පරීක්ෂණ පැවැත්වේ.ඉන්පසු වසර අග තොග අවසන් කිරීමේ මහා සේල් දානවා වාගේ ප්‍රධාන විශය ධාරාවන් පහේ ලිඛිත පරීක්ෂණයන් පැවැත්වේ.ඒවා එක එකක් බහුවරණ සහ රචනා ලෙස ප්‍රශ්න පත්‍ර දෙක බැගින් සමන්විතය.ඊට පස්සේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවට සහ ශල්‍ය වෛද්‍ය වේදයේ සායනික පරීක්ෂණ පැවැත්වේ.ඒවා එක එකක් කෙටි පරීක්ෂණ හා දිගු පරීක්ෂණ ලෙස පරීක්ෂණ දෙක බැගින් යුක්තය.ඉන්පසු ඇත්තේ නාරි හා ප්‍රසව වේදයේ වාචික පරීක්ෂණයයි.ඉන්පසු සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ ස්ථාන පරීක්ෂණයක් හෙවත් ස්පොට් එකක් ඇත.එතනින්ද අවසන් නැත.ඉන්පසුව එන්නේ ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණය සහ චර්යා අධ්‍යයනය හෙවත් බිහේවියරල් ලිඛිත පරීක්ෂණයන්ය.මේවා එක එකක් කොතරම් අමාරු පරීක්ෂණ දැයි පැවසීම අනවශ්‍ය යැයි හඟිමි.

ඔය සියල්ලම සමත් උවහොත් MBBS ලෙස හඳුන්වන මෙව්වා එක දෙනවාය.අවසාන විභාගයේ ප්‍රථිපල මත ලංකාවේ ඒ වර්ෂයේ සියලුම සිසුන්ගේ කුසලතා ස්ථානය සලකා බලා පත් වීම් ලබාදෙන රෝහල තෝරනු ලැබේ.මේ පත්වීම් දෙන්නේ මාස හත අටකට පසුව නිසා ඒ අතරතුර මේසන් වෘත්තිය වැනි වෙනත් රැකියාවක් කළ හැක.නමුත් එවිට වෙද නලාවට වඩා මේසන් හැන්දට අත හුරු වීමට ඉඩ ඇති බැවින් නීති විරෝධී ලෙස ප්‍රයිවට ප්‍රැක්ටිස් එකක් කළ හැක.නැතිනම් මේ මාස කීපය අවසානයේ අවුරුදු ගාණක් තිස්සේ ඉගෙනගත් සියලු සබ්බ සකලමනාවම අමතක වී ගොස් 'අපොයි සල්ලි' අවස්ථාවක් උද්ගත වෙනු වැළැක්විය නොහැක.

පත්වීම කිව්වාට ලැබෙන්නේ සීමාවාසික පත්වීමය.ඒ කියන්නේ ඕටී නොගෙවන පැය 24ක පමණවන වැඩමුරවලින් යුතු වසරක කාලයක් කළ යුතු පුහුණුවේම තවත් කොටසකි.වැටුපක් ලෙස දීමනාද සමඟ රු.34,000ක් පමණ ලැබෙන්නේය.අවුරුදු පහක් වෙන මොනවා හරි ඉගෙන ගත්තානම් මේ වගේ දෙතුන් ගුණයක් හොයන්ඩ ඇහැකි රස්සාවක් හොයා ගන්ඩ පුළුවං ය.පත්වීම ස්ථිර උනාට පසු ඒ කියන්නේ සීමාවාසික පුහුණුව අවසන් වූ පසු රු. 50,000ක් පමණවන වැටුපක් ලැබේ ලු.ලංකාවේ සමස්ත වෘත්තිකයින්ගේ ආදායම් හා සසඳා බැලූ කල මැද හරියේ අගයක් ගන්නා මේ වැටුප කන්නට සිදුවූ සහ සිදුවන කට්ටේ හැටියට ඇබින්දක්වත් වටින්නේ නැත.


නිවසක් තනා ගැනීම, කසාදයක් කර ගැනීම, වාහනයක් ගැනීම, ළමයි හැදීම, බල්ලෙක් බළලෙක් ඇති කිරීම, ඉඳහිට හෝ චිත්‍රපටියක් බැලීමට යාම ආදී ආශාවන් වෛද්‍යවරයෙකුටද පොදු වූ ඒවා වේ.නමුත් මුදල් සෙවීමට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන වෛද්‍යවරයා නරුමයෙකි.මිනිසුන්ගේ දුක නොතේරෙන මිනිස් යන්ත්‍රයකි.

මුදල් සෙවීමට දිනකට පැය 12කට වඩා වැය කර ජීවිතයේ තෘප්තියක් ලැබීමට අසමත්වන මේ වෘත්තිය කෙරේ මා තුල දැන් ඇත්තේ කළකිරීමකි.මේ වෘත්තිය සුදුසු වන්නේ හොඳ මූල ධනයක් ඇති වෙනත් ව්‍යාපාර ආදියෙන් හොඳ ආදායමක් ඇති අයෙකුට සිතේ සතුටට කිරීමට ය.නමුත් දැන් හැරෙන්නට පමා වැඩිය.මාගේ මනස වෙනත් වෘත්තියකට යොමු වීමට නොහැකිවන ලෙසට මේ අධ්‍යාපන ක්‍රමය විසින් මොට කරනු ලැබ ඇත.මේවාට වගකිව යුත්තේ 'මේ විභාගෙ කොහොම හරි කර ගන්ඩකෝ.ඊට පස්සේ ජීවිතේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි.ඊට පස්සේ වැඩ අමාරු නෑ'යි කියා මා නොමග යැවූ උසස් පෙළ ගුරුවරුන් ය.

මේ සියල්ල කීවේ හිතේ දුකටය.අද මාගේ 9වන ප්‍රේම සංවත්සරයයි.අවුරුදු 9ක් ප්‍රේම කරමින් තවමත් ආදායමක් නැතිව විවාහ වීමට විභාග අවසන් නොවීම නිසා ලතැවෙන අසරණ කාළකන්නි පෙම්වතෙකුගේ ප්‍රේම අඳෝනාවය මේ...


01 November 2012

අත් හැරීම සහ සොයා යෑම.



විකියා කියන්නේ මගෙත් එක්ක බෝඩිමේ ඉන්න මගේ සඟයෙක්.මාත් එක්ක එකම ඉස්කෝලෙ හිටියට ඉස්කෝලෙදි එච්චර ආශ්‍රය කරලා තිබ්බේ නෑ.විකියගේ තාත්තා ඉන්නේ ඕමාන්වල.ඒ කිව්වේ රස්සාව කරන්නේ එහේ.හැබැයි දවස් දහයක විතර නිවාඩුවක් හම්බ උනත් කෙලින්ම ගෙදර එනවා.ඉතිං ඒ දවස්වලට අපිට විකියා ගනේ චොක්ලට් හම්බ වෙනවා.ඕමාන්වල ඉඳං ඇවිල්ලා විකියලගේ ගෙදරත් තිබිලා අපේ බෝඩිමට එනකොට දියවෙලා තිබුණත් නිකං හම්බවෙන චොකලට්වලට පොර ටෝක් නොදී අපි කනවා.හරියටම කිව්වොත් බොනවා.

මේ විකියලගේ තාත්තා ගෙදර ආවම (කොහොමත් අවුරුද්දකට තුන් හතර පාරක් එනවා...අපි කියන්නේ ශ්‍රී ලංකන් එක පෝසත් කරවනවා කියලා ) විකියා බෝඩිමට අරං එනවා සබං කෑල්ලක්.කෑල්ලක් කිව්වට ඒක ලොවෙත් සයිස් එකක්.ඒක හින්දා සබං ගෙඩියක් කියලා කිව්වට වැරැද්දක් නෑ.මේ සබං කෑල්ලත් ඉතිං ඕමාන් බඩු තමයි.ඔටුතෙල් දාලා හදන එකක්ද දන්නෙත් නෑ.මේකේ සිරාම දේ තමයි ඒකෙ සුවඳ.ඒක තිබ්බාම මුළු බාත් රූම් එකම වරකා සුවඳයි


මේ සබං කෑල්ල ගාලා නාගත්තම දවසම වරකා කෑවා වගේ තමයි.කෝඳුරුවොනං වහන්ඩ එන්නේ නෑ.ඒ උනත් හිතට හරි නෑ.

එක දවසක් මේ ගැන කතාවක් ඇදිලා ආවම ඒ ඔස්සේ යද්දි ආව අදහසක් උනේ අපිට මේක වරකා සුවඳ උනාට ඕමාන් කාරයින්ට මේකෙන් වරකා සුවඳක් එන්නෑනේ කියලා.මොකද උං වරකා සුවඳ දන්න එකක්යෑ.ඉතිං උන්ට ගානක් නෑ.අවුල තියෙන්නේ විකියලෑ තාත්තා එහෙ උන්ට දෙන්ඩ කියලාඅ වරකා කෑල්ලක් ගෙනිච්ච දාට තමයි.එතකොට උං කියයි 'ඒ මොනවද බං මේ පළතුර?? මේක හරි සබං සුවඳයිනේ...කොහොම්ද උඹලා මේක අප්පිරියා නැතුව කන්නේ??' කියලා.

දෙවෙනි සිදුවීම.

ඔය කට්ටිය දන්නවා ඇතිනේ The big bang theory කියලා ටීවී සීරීස් එකක් තියෙනවා කියලා.මමනං අහරිම ආසාවෙන් බලපු එකක්.ඒකේ හාස්‍යය මතුකරන්නේ උපහාසය තුලින් මිසක් වැටිලා පෙරලිලා නෙමෙයි නේ.ඒකේ මුල හරියේ කොටසක ශෙල්ඩන් කියනවා තමංගේ රූමා හෙවත් ලෙනර්ඩ්ට මෙන්න මෙහෙම කතාවක්.මට ඒකේ ශෙල්ඩන් කියපු සතාගේ නම නං මතක නෑ.අපි දැනට ගම්මුකෝ කුරුමිණියා කියලා.

'මචං උඹ දන්නවද කුරුමිණියට රස්නේ සීතල දැනෙන්නේ නෑ කියලා.උංට එහෙම අවට පරිසරයේ උෂ්ණත්ව වෙනසක් තේරෙන්නේ නැති උනාට සීතල වැඩි වෙනකොට උංගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.ඒ කියන්නේ උංගේ ඇවිදීම වගේ දේවල්වල වේගය අඩු වෙනවා.ඉතිං හිතපං බැරිවෙලාවත් උං බුද්ධිමත් සත්තු ජාතියක් වෙලා අපි වගේ ජීවත් වෙන්ඩ ගියානං එහෙම, සීතල දවසකට කුරුමිණියෙක් උගේ යාලුවට කියයි, 'ඒයි මචං එළියට යනවනං ස්වෙටර් එකක් ඇඳගෙන පළයං.මොකද අද එළිය හරි ස්ලෝ....'කියලා


සිදුවීම තුන,

ඔන්න අපි අපේ නාට්‍යයක් පුරුදු වෙවී හිටියා අපේ නින්නාදෙට කරන්ඩ.මේක අපි කරන අන්තිම නාට්‍යය වෙයි කියලා හිතපු හින්දා අපි හිතුවා ඔන්නොහේ මේකට ඩබල් මීනිංග් ටිකක් දාලා කට්ටියට වෙනම ෆන් එකක් දෙමු කියලා.ඔන්න ඉතිං පුරුදු විදිහට කට්ටිය සෙට් වෙලා එක එක අදහස් දදා ඉන්න කොට තමයි වෙරළුමල් සුවඳ ගැන කතාවක් ඇදිලා ආවේ.එකෙක් යෝජනා කළේ නාට්‍යයේ තැනක 'අම්මෝ වෙරළු මල් සුවඳක් එනවා.' කියලා කියන දෙබසක් දාන්ඩ.ඉතිං ඒකට එතන හිටපු අපි කීප දෙනෙක් හිනා උනාට කෙල්ලන්ට එහෙම තේරුණේ නෑ.එක කෙල්ලෙක් ඒකේ තියෙන හාස්‍යය මොකක්ද කියලා ඇහුවම ඔන්න කොල්ලෙක් ඒ ගැන කියලා දුන්නා.ඒ කියන්නේ වෙරළු මල්වල සුවඳ හරියට ශුක්‍ර තරලයෙන් එන ගන්ධයට බොහොම සමානයි කියලා පැහැදිලි කළාම අර කෙල්ල කියනවා,

'ආ..... වෙරළු මල් සුවඳ දන්නවයෑ....' කියලා.


ඔන්න මේ සිදුවීම් තුනම කිව්වේ අපි අපේ දැනුම ගොඩ නගන විදිහ කියන්ඩ.අපි අපේ අලුත් සංවේදනයන් මතකයට එක්ක කර ගන්නේ පරණ දැනුම එක්ක ගලපලා.ඒ ඔස්සේ හිතලා.ශ්‍රී ලංකාවේ ඉපදිච්ච එකෙක් විදිහට මම උපතින් සිංහලයෙක්, බෞද්ධයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.මගේ චින්තනය සම්පූර්ණයෙන්ම ගොඩ නැගුනේ ඔය මූලික දැනුම පද්ධතීන් මත.ඒ මුලික පද්ධතීන් මත යැපිලා මගේ නව දැනුම ගොඩ නගන එක අවුල් කියලා මම හිතුවේ අපේ මිනිස්සු ගොඩක් දේවල් හේතුවක් නැතුව, ප්‍රශ්න කිරීමක් නැතුව තමංගේ මුල් දැනුමට අනුගත නොවන හින්දාම නිකම්ම ප්‍රතික්ෂේප කරනවා දැක්කම.

ඒ නිසා මම මට මගේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච දේශපාලන පක්ෂය අත ඇරියා.ඊට පස්සේ කිසිවකට නොබැඳී දේශපාලනය දිහා බැලුවම පෙනුනා කවුරුවත් අපි වෙනුවෙන් දේශපාලනය කරන්නෑ කියලා.දැං මම පක්ෂයක් නැති එකෙක්.ඒ ඔස්සේ ගිහිං දැනුම ගවේශනය කරද්දි මට තේරිච්ච දෙයක් තමයි පාලකයා කියන සංකල්පය ඇතිතාක් පාලිතයා යනු සාධාරණය ඉෂ්ඨ නොවෙන තැනැත්තෙක් වග.

දෙවෙනි දැනුම් පදනම වෙච්ච ආගමත් අත ඇරියා.ඒකට ගොඩක්ම හේතු උනේ මට ආගම තුල ගැටලු මතු වීම.ආගමෙන් වියුක්ත වෙලා ආගම් දිහා බැලුවාම මට තේරුණේ ඒකත් දේශපාලනයේම වෙනස් මුහුණුවරක් කියලා.ආගමික නායකයින් බොහෝවිට බලය ඔස්සේ යන්නන්.ආගම් නිසා ඉතිහාසය භීෂණාත්මක වෙලා තියෙන බව ඒ ඒ භීෂණවලට දායක උනු ආගමේ ඇත්තන් ඇර අනිත් අය පිළිගන්නවා.රටවල් යටත් කර ගන්ඩ වගේ යටත් විජිත පාලනයටත් ඒ වගේම රටවල් ඇතුලේ රජවරු පෙරලන්ඩ වගේම රජවරුන්ට පවතින්ඩත් ආගම පාවිච්චි කළ හැටි හදවතින්ම පිළිගන්ඩ ඒ ඒ ආගමිකයින් කැමති වෙන්නෙ නෑ.මොකද ඒකෙන් ඔවුන්ගේ මූලික දැනුම පද්ධතිය බරපතල විදිහට ප්‍රශ්න කිරීමට ලක් වෙන හින්දා.

කෙනෙක්ට කියන්ඩ පුළුවන් මූ හැම එකේම කෲර පැත්ත විතරක් අරගෙන පොරටෝක් දෙනවා කියලා.ඇත්ත ආගම්වලින් මිනිස්සුංගේ හිත හදාගන්ඩ මනස නිදහස් කරගන්ඩ දේවල් සිද්ධ වෙලා තියෙනවා.හැබැයි හැම ආගමක්ම ඒ ටික කරනවා.එතකොට මගෙ එක විතරයි හරි උඹලගෙ එක වැරදියි කියලා කෑ ගහන එකේ තේරුමක් නෑ.කට්ටිය එහෙම කෑ ගහන්නේ වෙනත් දැනුම පද්ධතියකින් තමංගේ පූර්ව දැනුමට අභියෝගයක් මතුවෙනකොට ඒක බේරගන්ඩයි.එහෙම නැතුව නියම සත්‍ය සෙවීමේ උවමනාව ඇති අය ඉන්නවනං තමංගේ දරුවන්ට හැම ආගමක්ම උගන්නලා, හැම දේශපාලන පක්ෂයක් ගැනම කියලා දීලා ඌට ඒක තෝරගන්ඩ දෙන්ඩ ඕනේ.නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත.ඒකා ආගම අත ඇරියොත් පවුලෙනුත් එළවනවා.වෙන පක්ෂෙකට ගියොත් කතා කරන එක උනත් නවත්තලා දාපු අය ගැන කවුරුත් අහලා දැකලා ඇති නෙව.