21 January 2013

දීපිකා පදුකෝන්ට ප්‍රියංකා චොප්‍රාගෙන් පා පහරක්....

  

මම එහෙමට කියලා හින්දි චිත්තරපටි බලන්නේ නැත.කොහොමත් දහයක් බැලුවත් එකක් බැලුවත් ගොඩක් වෙලාවට එකය.ඒ උනත් සිංහල චිත්තරපටිවලට වඩා දාස් ගුණයක් හොඳ නිසා ඉඳ හිටලා එකක් දෙකක් බලනවා ය.වැඩිපුරම නොබලන්ඩ හෙතුව මේවා අම්බානකට දිග වෙච්ච එකය.පැය දෙකහමාරක් කට ඇරගෙන බලං ඉඳලා ගන්ඩ ලබ්බක් නැත්තං ලැපත් පොළවේ ගහන්ඩ හිතෙන හින්දා බලන්නේ කට්ටියගෙන් අහලා බලලා හොයලා තෝරලා ය.

කට්ටියගෙන් අහලා බැලුවත් මගේ අදහස් අනිත් උංගේ අදහස්වලින් වෙනස් වෙන්ඩ පුළුවං නිසා අපරාදේ කාලය නාස්ති කරන්ඩ සිද්ද වෙච්ච අවස්ථාද එමටය.ඉන්දියාවේ උන්ට අපේ රටේ උන්ට විතරක් නෙමෙයි මුළු ලොකෙටම බොලිවුඩ් කිව්වොත් ශාරුක් ඛාන් කියන එකා නැත්තං වැඩක් නෑ වගේය කතා කරන්නේ.ශාරුක් නැති බොලිවුඩ් එක උං කියන විදිහට අස්සයා මැරිච්ච කව්බොයි වගේ තේරුමක් නැති මෙව්වා එකකි.ඇත්තය ඒකා දස්සයාය.ඒ උනාට ඌ හැමදාම කරන්නේ එකම චරිතය ය.ඕනෑම එකෙක් අවුරුදු විස්සක් විතර එකම දේ කරගෙන යනකොට ඌ ඒ කාර්යයේ කෙළ පැමිණෙනවාය.ශ්‍රම විභජනය සහ විශේෂ ප්‍රාගූන්‍යය කියන්නේ ඒකට වෙන්ඩ ඇතිය.ශාරුක් අයියා ඉස්සර ඉන්දියාවේ තේමා චිත්‍රපටි වෙච්ච දුෂ්ඨයා වීරයා සහ පෙම්වතිය චිත්තරපටිවල ද රඟ පාලා පස්සේ 'කුච් කුච් හෝතාහේ' එක්ක ඇරඹිච්ච ගෙවල් ඇතුලේ ජිල් බෝල සයිස් ප්‍රශ්න ජම්බෝල කරලා අපිට පෙන්නන චිත්තර පටිවල දුක්ඛිත පෙම්වතාගේ චරිතය කරන්ඩ පටං ගත්තේය.උගේ පරණ චිත්තරපටි එකකුත් අළුත් චිත්තරපටි එකකුත් බැලුවාම ඔබ ශාරුක්ව දන්නවා වෙනවාය.

මට අල්ලලා ගියේ අමීර් ඛාන් කියන හාදයා ය.මිනිහාත් අර පරණ චිත්තර පටිවල වීර චරිතේ කරලා සංක්‍රාන්තියෙං පස්සේ විසාල පරාසයක චරිතවල රඟපෑවේය.ත්‍රී ඉඩියට්ස් එකේ අමීර් ඛාන් ගජිනි එකේ නැති අතර ලගාන් එකේ අමීර් ඛාන් මංගල් පාණ්ඩේ එකේ නැත.ඉතිං මට ඒ හාදයාව හිතට ඇල්ලුවේය.

හොලිවුඩ් තරු ගැන මම වැඩිය දන්නේ නැත.ඒ මම චිත්තරපටිය පටං ගන්නකොට දාන නම් ටික බලන්නේ නැති හින්දාය.ඉවර වෙනකොට දාන නම් ටික බලන්නේද නැත.ඒ කෙසේ වෙතත් 'ජොනි ඩෙප්' කියන හාදයා සිරාය, එළැය, පස්ටය.පොරගේ 'පයිරට්ස් ඔෆ් ද කැරිබියන් හෙවත් කැරිබියන්වල මුහුදු කොල්ලකාරයෝ' එකේ රංගනයට වෙනස්ම මෙව්වා එකක් 'එඩ්වඩ් ද සිසර් හෑන්ඩ්ස් හෙවත් එඩ්වඩ් හෙවත් අත් කතුරා' චිත්තර පටියේ ඇත.'ෆ්‍රොම් හෙල් හෙවත් අපායෙන්' චිත්තරපටියේ එකට වෙනස්ම චරිතයක් 'චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි හෙවත් චාලි සහ චොකලට් කර්මාන්ත සාලාව' එකේ කොරනවාය.අනිත් හාදයා 'ලියනාඩෝ ඩිකැප්‍රියෝ' ය.මිනිහාගේ චිත්තරපටි මට ඔක්කොම වගේ මතක නැති උනත් 'J. එඩ්ගාර් හෙවත් CIA හි කතාව', 'ඉන්සෙප්ශන් හෙවත් හීන කතාව', 'ශටර් අයිලන්ඩ් හෙවත් පිස්සු කතාව', 'කැච් මී ඉෆ් යූ කැන් හෙවත් පුළුවන්නං අල්ලපං', වගේම 'ටයිටැනික් හෙවත් ඒකත් ගිලුනා' චිත්තරපටිවල රඟපෑව එකිනෙකට වෙනස් චරිත වගේම රංගනයේ ප්‍රතිභාව, රංගනයේ ස්වභාවික බව මේ හාදයත් මට හිතට අල්ලන්ඩ හේතුවක් උනා.



ඉතිං ඔන්න බොලිවුඩ් නිළියො ගැන කතාවට එමුකෝ.මම ගෑනුංගේ ලස්සන අගේ කොරන මනුස්සයා තමා.ඒ උනත් නිළියකට කැමති වෙද්දි බොලව් රඟ පාන එක ගැන එපායැ හිතන්ඩ.නැද්ද මං අහන්නේ.දැං ඔය ලංකාවේ මම කැමතිම නිළිය දුලීකා මාරපන අක්කා උනාට කවදාවත් උන්දෑ ජනප්‍රියම නිළිය වෙන්නෑනේ.මම කැමතිම නළුවා මහේන්ද්‍ර පෙරේරා උනාට රංජන් රාමනායකනේ ජනප්‍රියම නළුවා වෙන්නේ.මට බෑ අයියෝ......මට දුකයි....ඇඬෙනවා හයියෝ............

ඔන්න දැං දෙවෙනි පාරටත් බොලිවුඩ් නිළියො ගැන කතාවට එනවා.මට අල්ලලා ගියපු නිළිය තමයි 'දීපිකා පදුකෝන්' අක්කි.අක්කා හැඩයි තමයි ඒ වගේම රඟපෑමත් පස්ටයි.'කාර්තික් කෝලිං කාර්තික් හෙවත් ඌ ඌටම කෝල් කරනවා' චිත්‍රපටියේ දීපිකා අක්කි දෙනව ඇක්ටිං පාර මට පුටුව උඩ නැගලා විසිල් පාරක් ගහන්ඩ හිතුනා ඉන්දියාවට ඇහෙන්ඩ.ඔන්න ඉතිං දීපිකා අක්කිට දිනුක ජයකොඩි අනුස්මරණ අභියොගතා රංගන තරගාවලියේ හොඳම නිළිය කුසලානේ දීලා තිබ්බේ.එතකොට තමයි මට අහු උනේ 'බර්ෆි හෙවත් ගොලු කොල්ලා' චිත්තරපටිය.හෆොයි දෙයියනේ මම මුළිං හිතුවේ ඔටිස්ම් ඇත්තටම තියෙන කෙල්ලෙක් අරගෙන රඟපාවන්ඩ ඇති කියලා.චිත්තරපටිය ඉවර වෙලා ඇති වෙච්ච පසු කම්පනයට ස්ක්‍රීන් එක දිහාම බලං ඉද්දි තමයි ජිල්මිල්ට රඟපෑවේ ප්‍රියංකා චොප්‍රා කියලා දැක්කේ.මම පුටුවෙං වැටුනා.මගේ හද මන්දිරේ දීපිකා අක්කි වාඩිවෙලා උන්නු තැනට ආව ප්‍රියංකා අක්කි දීපිකාගෙ බෙල්ලෙං අල්ලලා උස්සලා පස්සට පයින් පාරක් දුන්නා අට ඉස්බක් දුරට විසික්කා වෙලා යන්ඩ.දැන් මගේ හදමන්දිරේ ඉන්නේ ප්‍රියංකා අක්කි තමයි (මගේ පවුලත් ඉන්නවා ඈ....ඕක කිව්වේ නැත්තං චිත්තරපටි බැලිල්ලත් හමාරයි ).

මගේ කතාව මෙයින් අවසානයි බලා සිති ඔබ සැමට ඉස්තූතියි!!!

ප.ලි. බලලා නැත්තං බර්ෆි බලන්ඩ ඈ........බලලා නං ආයේ බලන්ඩ ඈ............




06 January 2013

වැදගත් විශය 15 ( Sex Education in Sinhala )


හරි අදත් උපත්පාලන ක්‍රමවලින් වැදගත් කීපයක් ගැන කතා කරමු නේද?.

අහලා තියෙනවද නෝ ප්ලාන්ට් එහෙම නැත්තං අතේ තැන්පත් කරන උපත්පාලන කූරු ගැන? නෝප්ලාන්ට් කියන්නේ ඒකේ වෙළඳ නාමයක්.ඒ වෙළඳ නාමය යටතේ ආව නිශ්පාදනයේ කූරු 6ක් අඩංගු උනා.මේ කූරු හයම අතේ උඩ බාහුවේ සමට යටින් තැන්පත් කරනවා.ඒ කූරුවල ඇති ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය ඉතා කුඩා මාත්‍රාවකින් ශරීරයට නිකුත් වෙලා ඩිම්බ මෝචනය වැළැක්වීම සහ ගැබ්ගෙල ශුක්‍රාණුවලට ගමන් කිරීමට නුසුදුසුභාවයට පත් කිරීම හරහා උපත් පාලනය සිද්ද කරවනවා.කූරු හයක් සහිතව වෙළඳපොලට ආව නෝප්ලාන්ට් දැන් භාවිතා වෙන්නේ නෑ.දැන් ප්‍රචලිතම වෙළඳනාමය තමයි 'ජඩෙල්' කියන්නේ. ජඩෙල්වල තියෙන්නේ කූරු දෙකක් විතරයි.මේ කූරු බොහොම නම්‍යශීලී ඒවා නිසා කිසිම අපහසුවක් දැනෙන්නේ නෑ.ඒ වගේම මේවා තැන්පත් කිරීමේදී අදාල ප්‍රදේශය හිරිවැට්ටීමට ලක් කරන නිසා වේදනාව පිළිබඳ ගැටළුවක් ඇති වෙන්නෙත් නෑ.

ඇඟිලි දෙක මැදින් අතේ හමට යටින් තියෙන පුංචි කූර පේනවද?


දැනට තියෙන උපත්පාලන ක්‍රම අතරින් ආරක්ෂිතම ක්‍රමයක් විදිහට ජඩෙල් හඳුන්වන්න පුළුවන්.ඒක ගැබ් ගැනීමකට එරෙහිව 99.9%ක් පමණ ආරක්ෂාවක් ලබා දෙනවා.මෙය ගර්භාශයේ සහ ඩිම්බකෝෂ පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරනවා වගේම ඔසප් වීමේදී වේදනාව ඇතිකරවන එන්ඩොමෙට්‍රියෝසිස් නම් තත්ත්වයට ප්‍රථිකර්මයක් විදිහටත් යොදාගන්ඩ පුළුවන්.නමුත් මේත් එක්ක ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම සම්පූර්ණයෙන්ම නවතින්න පුළුවන්.ඔසප් වීම නැවතුනා කියලා ශරීරයට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ.ඒ නිසා ඒ ගැනනම් බය වෙන්ඩ ඕනේ නෑ.ඒ වගේම මේ ක්‍රමයෙදිත් ආහාර රුචිය වැඩි වීම නිසා මහත් වීම සිද්ධ වෙන්ඩ පුළුවං.කෑම පාලනය සහ ව්‍යායාම මඟින් ඒ තත්ත්වය පාලනය කර ගන්ඩ හැකියාව තියෙනවා.මේක අවුරුදු පහක් ක්‍රියාත්මක වෙනවා.පෙති ගන්නවා වගේ දවස ගානේ ගන්ඩ සිද්ධ නොවීම මේකේ තවත් වාසියක්.ඒ වගේම මේක අවශ්‍ය වෙලාවකදි ඉවත් කර ගත්තම බොහොම කෙටි කාලෙකින් නැවත් ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.

මේකේ මිලනම් ටිකක් වැඩියි.රුපියල් 6000ක් විතර වෙනවා.ඒ වගේම තැන්පත් කරගන්ඩත් තව 2000ක් විතර ගියොත් ඔක්කෝටම රු.8000ක් විතර යනවා.නමුත් මේක අවුරුදු පහක් ක්‍රියාත්මක නිසා සතියක වියදම රුපියල් 30ක් වගේ ගාණක් වෙන්නේ.සතියකට තුන් පාරක් ලිංගිකව එක්වෙන දෙන්නෙකුට කොන්ඩම්වලට යන වියදමම තමයි ජඩෙල් එකක් දැම්මත් යන්නේ.






ජඩෙල් ගැන අහලා නැති උනාට ලූප් ගැනනම් කවුරුත් වගේ අහලා ඇති කියලා හිතනවා.ලූපය එහෙම නැත්තං IUCD කියන්නේ ගර්භාශය ඇතුලේ තැන්පත් කරන පුංචි ප්ලාස්ටික් කෑල්ලක්.මේ වගේ බාහිර ද්‍රව්‍යයක් තියෙන කොට ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන ප්‍රතික්‍රියා නිසා ගැබ් ගැනීමක් සිද්ද වෙන්නේ නෑ.ඉස්සර විවිධ හැඩතලවල ලූප් භාවිතා කළාට දැන් බහුලව භාවිතා කරන්නේ 'T' අකුරක හැඩය ගත්තු ලූප්.

විවිධ හැඩවලින් යුක්ත ලූප්


ලංකාවේ බහුලවම භාවිතා වෙන්නේ 'කොපර් T' කියන ලූපය.මේකේ ප්ලාස්ටික් කෑල්ලේ තඹ කම්බියක් ඔතලා තියෙනවා.මේ තඹවලට තියෙනවා ශුක්‍රාණු වගේම ඩිම්බත් විනාශ කිරීමේ හැකියාවක්.මේ කොපර් T කියන ලූපය රුපියල් 400ක් විතර තමයි වෙන්නේ.ඒ වගේම රජයේ රෝහල්වලින් සහ පවුල් සැලසුම් සායනවලින් මේක නොමිලේ ලබා දෙනවා වගේම තැන්පත් කරලත් දෙනවා.කොපර් T එකක් සාමාන්‍යයෙන් අවුරුදු දහයක් වගේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්ඩ පුළුවං.ඒ වගේම මේක ඉවත් කරපු ගමන් නැවත ගැබ් ගැනීමේ හැකියාවත් ලැබෙනවා.ගැටළුවක් විදිහට මම දකින්නේ සමහරුන්ට තමන් ලූපයක් දාගෙන ඉන්නේ කියලා අමතක වෙන එක.ඒකෙ ඉතිං ලොකු ගැටළුවක් නෑ.නමුත් වැඩිපුර ඔසප් රුධිරය පිට වීම නම් ඇතිවෙන්ඩ පුළුවන්.ඒකත් ටික දවසකින් සාමාන්‍ය තත්ත්වයට හැරෙන්ඩ පුළුවන්.ඒ වගේම මේකේ හෝමෝන අඩංගු නැති නිසා මහත් වෙන්ඩ තියෙන හැකියාවත් අඩුයි.

කොපර් T ලූපය

මේක ගර්භාශයට ඇතුල් කරන්නේ ඒ සඳහා පුහුණුව ලබපු තැනැත්තෙකු විසින්.ඒ සඳහා මිනිත්තු පහක් දහයක් වගේ බොහොම සුළු කාලයක් තමයි ගත වෙන්නේ.ලූපය දැම්මට පස්සේ ගර්භාශයේ ඉඳං ගැබ්ගෙල හරහා යෝනි මාර්ගය ඇතුලට පුංචි නූලක් පැමිණ තියෙනවා දකින්න පුළුවන්.මේ නූල එළියට පේන්නේ නෑ.තමන්ටම යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරලා බලන්ඩ පුළුවන්.ඉඳලා හිටලා එහෙම පරීක්ෂා කරලා බලන එක හොඳයි.මොකද කළාතුරකින් ලූපය ඉවතට හැලෙන්න පුළුවන්.එහෙම උනොත් උපත් පාලනය සිද්ධ වෙන්නෙ නෑනේ.ඒ නිසා විශේෂයෙන් ඔසප් වීමෙන් පස්සේ නූල යෝනි මාර්ගය තුල අහුවෙනවද කියලා පරීක්ෂා කරලා බලන එක හොඳයි.ඒ වගේම කියන්ඩ ඕනෙ දෙයක් තමයි මේ ලූපය නිසා ලිංගික කාර්යට කිසිම බාදාවක් වෙන්නේ නෑ.




තවත් වැදි දියුණු කළ ලූප් වර්ගයක් තමයි මිරේනා කියන වෙළඳ නාමය යටතේ එන්නේ.මේ ලූපයේ තඹ අඩංගු වෙන්නේ නැති උනාට දවසකට ඉතාම කුඩා ප්‍රමාණයකින් ප්‍රොජෙස්ටෙරොන් හෝමෝනය නිදහස් කරන්ඩ හැකියාවක් තියෙනවා.ඒ හෝමෝන ගර්භාශය මත සෘජුවම ක්‍රියා කරන හින්දා ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලට හෝමෝනයෙන් වෙන බලපෑම ඉතාම අඩුයි.මිරේනා එකක් අවුරුදු පහක් පාවිච්චි කරන්ඩ පුළුවන්.මේක එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේදී ඇතිවෙන වේදනාව වගේම ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම පාලනය කරන්ඩත් ප්‍රථිකර්මයක් විදිහට බාවිතා කරන්ඩ පුළුවන්.මේකේ අතුරු අබාධ අඩු නිසාම ගාණ නම් ටිකක් සැරයි.මිරේනා එකක් සාමාන්‍යයෙන් රුපියල් 25000-27000ක් විතර වෙනවා.ඒත් ඉතින් ගන්ඩ පුළුවන්නම් ගොඩක් හොඳ උපත් පාලන ක්‍රමයක්.අනිත් හැම අතින්ම වගේ කොපර් T එකට සමානයි.

මිරේනා



ඔන්න දැං තමයි වැදගත්ම එක ගැන කියන්ඩ යන්නේ.හොඳට කියවලා මතක තියාගන්ඩ ඕනේ මේක ගැන නම්.

අනාරක්ෂිත ලිංගික ක්‍රියාවකින් පස්සේ, ඒ කියන්නේ කිසිම උපත්පාලන ක්‍රමයක් අනුගමනය නොකර හදිසි තීරණ මත සිද්දවෙන ලිංගික ක්‍රියාවකට පස්සේ මොනවද කරන්ඩ පුළුවං??


මේකට ගන්ඩ පුළුවං ආරක්ෂක ක්‍රම කිහිපයක් තියෙනවා.එකක් තමයි 'ප්‍රොස්ටිනෝර්-2' කියන්නේ.මේ කියන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධයක් පැවැත්තුවට පස්සේ ගැබ් ගැනීම වලක්වන්ඩ ගන්නා පෙති වර්ගයක්.මේකෙන් ගබ්සා වීමක් නම් සිද්ධ වෙන්නේ නෑ.ඒක හින්දා තමුන් ගැබ් ගත්තට පස්සේ මේක බොන්න යන්න එපා.ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම් වගේම ජීවිතේටත් ලොකු තර්ජනයක්.ඒ නිසා ගබ්සාවක් දක්වා යන්ඩ කලින් ගැබ් ගැනීම වලක්වා ගත්තොත් හොඳයිනේ.අනාරක්ෂිත ලිංගික සම්බන්ධයකට පස්සේ චුට්ට වෙලාවකින් කට්ටියට තාර්කික ශක්තිය ලැබෙනවනේ.එතකොට තමයි දැං මොකද කරන්නේ කියලා කම්පා වෙන්ඩ පටං ගන්නේ.ඒ නිසා හොඳම දේ තමයි හදිස්සි නොවී හැම තිස්සේම ලිංගික සම්බන්ධයක් මනා සැලැස්මක් සහිතව පවත්වන එක.උදාහරණයක් විදිහට බැඳපු දෙන්නෙක් නම් අසල්වැසියන්ගෙන් නෑදෑයින්ගෙන් වගේම ළමයින්ගෙනුත් කරදරයක් නැති නිදහස් තමුන්ගෙම කියලා වෙලාවක් කළිං ඉඳං සැලසුම් කරගෙන හොඳ උත්තේජනයක් යටතේ එකතු වෙනවානම් උපත් පාලන ක්‍රමය අමතක වෙන්නේ නෑනේ.නොබැඳපු දෙන්නෙක් නම් ඒකත් කාටවත් අහු නොවෙන තැනක් කළිං සැලසුම් කරගෙන වෙලාවක් වෙන් කරගෙන එහෙම ලෑස්ති වෙනවා නම් උපත්පාලන ක්‍රමයක් අමතක වෙන්නේ නෑනේ.

හරි ඔන්න නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අනාරක්ෂිත ලිංගික එක්වීමක් සිද්ධ උනා කියමුකෝ.එතකොට තමයි මේ ප්‍රොස්ටිනෝර්-2 කියන පෙති පාවිච්චි කරන්ඩ ඕනෙ.මේ පෙති පැකට්ටුවක තියෙන්නේ පෙති දෙකක් විතරයි.ලිංගික සම්බන්ධතාවයෙන් පස්සේ හැකිතරම් ඉක්මනට එක පෙත්තක් ගන්ඩ ඕනේ.පරක්කු වෙන්ඩ වෙන්ඩ මේ පෙත්තෙන් ලැබිය හැකි ආරක්ෂාව අඩු වෙනවා.පැය 72ක් ඒ කියන්නේ දවස් තුනක් ඇතුලත ගත්තොත් ප්‍රථිපලය හොඳයි.පැය 24ක් ඇතුලත ගන්ඩ පුළුවන්නම් ප්‍රථිපලය වඩාත් හොඳයි.ඊටත් පරක්කු වෙන්ඩ වෙන්ඩ ප්‍රථිපලය අඩු වෙලා යනවා.හැකි ඉක්මනින් එක පෙත්තක් අරගෙන පැය 12කට පස්සේ අනිත් පෙත්ත ගැනීම හෝ පෙති දෙකම එකවර අර ගැනීම හෝ කරන්ඩ පුළුවන්.

පෙත්තක් අරගෙන පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් නැවත පෙත්තක් අරගන්ඩ ඕනේ.පෙති දෙකම ගත්තු වෙලාවක පැය දෙකක් ඇතුලත වමනේ ගියොත් පෙති දෙකක්ම ආපහු ගන්ඩ ඕනේ.

ප්‍රොස්ටිනෝර්-1 කියලත් පෙති ජාතියක් තියෙනවා.ඒකේ තියෙන්නේ පෙති එකයි.හැකි ඉක්මනින් ඒ පෙත්ත ගන්න එක තමයි කරන්ඩ තියෙන්නේ.එහෙම නැත්තං මිතුරි පෙති පැකට් එකක් අරගෙන ඒකේ කහ පාට පෙතිවලින් හතරක් හැකි ඉක්මනින් අරගෙන පැය දොළහකට පස්සේ තවත් හතරක් අරගන්න එකත් කරන්ඩ පුළුවං.


මෙතනදි මතක තියාගන්ඩ ඕනේ දේ තමයි මේක දිගින් දිගටම උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්ඩ හොඳ නෑ.මොකද මේකෙදි හෝමෝන විශාල ප්‍රමාණයක් සිරුරට මුදා හැරෙනවා.ඒකෙන් ඇතිවන අතුරුඵල එච්චර හොඳ නෑ.හැම දෙයක්ම එහෙමයිනේ.සීනි ටිකක් කෑවම රසයි ඇඟට හොඳ ශක්තිය ලබා දෙන දෙයක් උනාට සීනි ගොඩ ගොඩ ගොඩක් කල් කෑවොත් දියවැඩියාව හැදෙන්ඩ ඉඩ තියෙනවා වගේ මේකත් එහෙමම තමයි.

තවත් ක්‍රමයක් තමයි අනාරක්ෂිත ලිංගික එක්වීමකට පස්සේ ඉක්මනින්ම ගිහිල්ලා ඒ වෙනකොටත් ගර්භනී නොවන බව තහවුරු කරගෙන ලූපයක් දාගන්ඩ පුලුවන්.ඒකෙන් ඒ වෙලාවේ ගැබ් ගැනීම නවතිනවා වගේම ඉස්සරහටත් ආරක්ෂාවක් ලබා දෙනවනේ.ප්‍රොස්ටිනෝර් ගත්තත් වෙනත් උපත් පාලන ක්‍රමයකට යන එක තමයි හොඳ.

ප්‍රොස්ටිනෝර්-1 පෙත්තක් රුපියල් 150ක් විතර වෙනවා.ප්‍රොස්ටිනෝර්-2 පෙති දෙකක් තියෙන පැකට් එකක් රුපියල් 100ක් තමයි වෙන්නේ.මිතුරි පැකට් එකක් රුපියක් 100ක් විතර උනාට රජයේ තැන්වලින් ගොඩක් අඩු මිලට ගන්ඩ පුළුවන්.