28 December 2011

උඹ නාඩං අපිට පිස්සු







ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය බිඳ දැමීමේ ක්‍රියාවලිය ඇරඹී දැන් ටික කලක් ගත වී ඇතත් වර්ථමාන ආණ්ඩුව තරම් එයට සිය උපරිම දායකත්වය ලබාදුන් ආණ්ඩුවක් ලංකාවේ පැවතියේ නැත.අවිඥානිකව සිය මුග්ධභාවය නිසා හෝ, සවිඥානිකව සිය කූට අරමුණු මුදුන් පැමිණවීමට හෝ අපේ රටේ අධ්‍යාපනයේ මිනී පෙට්ටියට අවසන් ඇණයද පෙරේදා මධ්‍යම රාත්‍රියට සුළු මොහොතකට පෙර ගසන ලදී.මෙය එක්වරම  සිදුවූ අභාග්‍යක් ලෙස හුවා දැක් වීමට උසස් අධ්‍යාපන ඇමතිවරයාත්, විභාග කොමසාරිස්වරයාත් උත්සාහ කළ ද, ඇස් කන් ඇරගෙන මෙරට ජීවත් වූ ජනතාවට මෙය ක්‍රමවත්ව සිදු වූ සිදුවීම් මාලාවක තවත් එක් සිදුවීමක් පමණක් බව අවබෝධ වනවා නිසැකය.

විභාග ප්‍රශ්නපත්‍රවල කුණුහරප තිබීම මෙන්ම එකම ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්නවලට අදාල පිළිතුරු ද ඇතුලත්ව තිබීම ආදී වූ ප්‍රශ්නපත්‍ර ගැටළුවේ සිට  ප්‍රශ්නපත්‍ර අඩුවෙන් ලබා දීම නිසා ප්‍රශ්නපත්‍ර ඡායා පිටපත් කොට සිසුන්ට ලබා දීමට සිදුවීම, ප්‍රශ්නපත්‍ර කළින් පිට වීම, ප්‍රශ්නපත්‍ර අතර මග දමා ගොස් තිබී හමු වීම, විභාග ශාලාධිපතිවරුන්ගේ අත්තනෝමතික ක්‍රියා, විභාග නිසි වේලාවට ආරම්භ නොකිරීම, නිසි වේලාවට ප්‍රථිඵල නිකුත් නොකිරීම ආදී වූ ගැටළු සියල්ල මතුවන්නේ බොහොම මෑත ඉතිහාසයේ ඉතාමත් කෙටි කාලයක් තුලදී ය.

මෙයට සමාන්තරව විශ්වවිද්‍යාල සිසුන් කෙරේ සමාජයේ අප්‍රසාදය ජනිත කරවීමේ ව්‍යාපාරයක්ද රට තුල ක්‍රියාත්මක වූ බව රටේ ජනතාවට තියා විශ්වවිද්‍යාල සිසුන්ටවත් අවබෝධයක් ඇත්දැයි සැක සහිතය.නමුත් යථාර්තය එයයි.විශ්වවිද්‍යාල සිසුවා යනු ජේ.වී.පී යට කඩේ යන, නවකවදය දීමෙන් සිය සහෝදර සිසුන් අතවරයට ලක් කරන, සෑම විටම උද්ඝෝෂණ කිරීමෙන් රටේ සාමයට බාධා කරන්නාවූ සහ කිසිදු වෘත්තියකට සුදුසුකම් නැති උපාධියක් කරපින්නාගෙන නැවත සමාජයට පැමිණෙන්නෙකු ලෙසත්, එසේ පැමිණි පසුවත් සමාජයට බරක් වෙමින් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරමින් රජයට දොස් පවරමින් හැසිරෙන පිරිසක් ලෙසත් අපූර්ව චිත්‍රයක් ජන මනසේ චිත්‍රණය කරවනු ලැබ ඇත.

මෙහි ප්‍රථිඵලය වන්නේ නිසැකවම රාජ්‍ය විශ්වවිද්‍යාල මෙන්ම රාජ්‍ය අධ්‍යාපන ක්‍රමයම කෙරෙහි ජනතා අප්‍රසාදයක් ජනිත වීම නොවේද? සත්‍ය ලෙසම වර්ථමානයේ එම තත්වය නිර්මාණය වී නැතිද? පෞද්ගලික විශ්ව විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රධානම තර්කයක් වන්නේ උසස් පෙළ විභාගය දක්ෂයා තේරීමේ සාධාරණම ක්‍රමය නොවේ යන්නයි.පෙරේදා සිදුවීමෙන් පසු ඔවුන් තවත් ප්‍රශ්නයක් නගනු ඇත.ඒ ඔබ ලබා ඇති ප්‍රථිඵලය නිවැරදි එකක් ද? යන්නයි.ඔවුන්ගේ පැත්තෙන් එය සාධාරණය.වර්ථමානයේ ඇති කර ඇති තත්ත්වය අනුව කිසිවෙකුට තමන්ගේ ප්‍රථිඵල නිවැරදියැයි සහතික වීමට නොහැකිය.රාජ්‍ය අධ්‍යාපනයේ වටිනාකම තුට්ටු දෙකට වට්ටමින් ජනතාව වෙනත් විකල්ප කෙරේ යොමු කෙරෙන ආකාරයේ වැඩ පිළිවෙලක් දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන.නො එසේ නම් 2005 උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බහුවරණ පත්‍රය වැරදි ලෙස ලකුණු කොට ප්‍රථිඵල නිකුත් කළ දා පටන් නොයෙකුත් අඩු පාඩු සහිතව විභාග පවත්වන විභාග කොමසාරිස්වරයා මේ දක්වාම තනතුරෙහි රඳවාගෙන සිටියේ මන් ද?

එසේත් නොමැතිනම් වර්ථමාන ඇමරිකාවේ ක්‍රියාත්මකවන්නා වූ ආකාරයට පාලනය කිරීමට පහසු, 'එහෙට' කියූ විට එහෙට යන, 'මෙහෙට' කියූ විට මෙහෙට වන බුද්ධි හීන පාලිතයින් පිරිසක් නිර්මාණය කිරීමේ වැඩ පිළිවෙළක එක් පිම්මක් වන්නට ද පුළුවන.

රටේ තුන් ලක්ෂයකට ආසන්න සිසුදරුවන්ගේ ජීවිත තුට්ටුවට දමා ක්‍රියාකරන මොවුන් වෙනුවෙන් කඩේ යන රාජ්‍ය මාධ‍යයන්ට රටේ වැදගත්ම විභාගයක ප්‍රථිඵල අවුල් සහගත වීම නිසා ප්‍රථිඵල අත් හිටුවීමට සිදූවීම ප්‍රධාන ප්‍රවෘත්තිවල සිරස්තලයක් බවට වත් වන්නේ නැත.රට පුරාම වසර හතකට පෙර සිදුවූ සුනාමි ඛේදවාචකය සමරන අයුරු පෙන්වීමට ඔවුහූ කෙතරම් උත්සුක වූවෝද යත් ජීවවිද්‍යා විශය ධාරාවෙන් උසස් පෙළට පෙනී සිටි සිසුවෙකු වාණිජ විශය ධාරාවේ ප්‍රථිඵල ලැබීම කෙතරම් කණගාටුදායක දැයි යන්න පවා අමතක වී ගොස් ය.වාසනාවට එම ශිෂ්‍යයාගේ වාණිජ විශය ප්‍රථිඵලය අසමත් ලෙස ලැබී තිබිණි.බැරි වෙලාවත් ඔහු සමත් වී වාණිජ විශය ධාරාවෙන් විශ්වවිද්‍යාලයට තේරී තිබුණා නම් ඔහු විශ්වවිද්‍යාලයේ දී නොදන්නා විශයක් ඉදිරියේ අසරණ වන්නට ඉඩ තිබිණ.

වඩාත්ම උපහාසාත්මක වන්නේ උසස් අධ්‍යාපන ඇමතිවරයා බෝලය ජනපතිට පාස් කිරීමය.ජනපති සියල්ලන් කැඳවා බැණ වැදුනු නිසා කඩිමුඩියේ ප්‍රථිඵල නිකුත් කරන්නට සිදුවූ බවත්, එහිදී පරිගණකයේ සිදුවූ සුළු දෝශයක් නිසා මෙම සුළු දෝශය ඇතිවූ බවත් කියා ඔහු අත පිහදා ගත්තේය.ජනපති බැණ වැදුනේ ළමුන්ට ඉක්මනින් ප්‍රථිඵල ලබා දීමට යැයි කියන නිසා ඔහුද වැරදි කරුවෙක් නොවේ.වැරදි කරුවෝ අපිම වෙමු.සමහර විට ජ්‍යාමිතික සූත්‍රයකින් සංඛ්‍යානය දත්ත ගණනය කළ උසස් අධ්‍යාපන ඇමතිවරයාගේ නවතම ක්‍රමවේදය නිසා ළමුන්ට නවතම ආකාරයේ ප්‍රථිඵල ලැබුණා ද විය හැක.ළමුනට දැන් සිදු වී ඇත්තේ ඉදිරි අධ්‍යාපන ක්‍රියාවලියත් ඇමතිවරයා මෙලෙසින් ම කළවම් න්‍යායන් මගින් ලබා දෙන තුරු ඉවසා සිටීමයි.

මෙම හාස්‍යජනක ක්‍රියාවේ දුක්ඛ පක්ෂය තවමත් අවසාන නැත.විභාග ප්‍රථිඵල දැනටමත් ප්‍රමාද වී ඇත.ලැබුණු ප්‍රථිඵලවල අවිනිශ්චිතභාවය හමුවේ විශාල සිසුන් පිරිසක් ප්‍රශනපත්‍ර නැවත අධීක්ෂණය සඳහා ඉල්ලුම් කරනු ඇත.එම අධීක්ෂණය අවසන් වීමට ගතවන කාලයත් එකතු වූ විට මෙම සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත වනු ඇත්තේ බොහෝ ප්‍රමාද වී ය.එය පාලකයින්ට සුළු ප්‍රශ්නයක් වුවද පවුලේ බර කරට ගැනීමට සිටින අසරණ දුප්පත් දරුවන්ට එය දුෂ්කර වූ ද දීර්ඝ වූ ද කාල පරිච්ඡේදයක් වනු නො අනුමානය.

25 December 2011

සොරි අංකල්




වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්න අය අහලා ඇති ඒකෙ කට්ටිය සායනික පුහුණුවට යන්නෙ කුඩා කණ්ඩායම් විදිහට කියලා.ඒවට සිංහලෙන් කියනවා 'කිලිනිකල් ගෲප්' එක කියලා.මම අයත් වෙන මේ සායනික කණ්ඩායම ගැන වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් තරම් විවිධත්වයක් අපේ කට්ටිය අතරේ තියෙන්නෙ.මේ අසමානකම හින්දම අපිට කණ්ඩායමක් විදිහට විනෝද සංචාරයක් යන්න ලැබුනෙම නෑ.අනිත් කණ්ඩායම්වල් උන් හම්බවෙන හැම නිවාඩුවකම කොහෙ හරි ගිහින් මූණු පොතේ දාන ෆොටෝ බල බලා අපේ කණ්ඩායමේ උන් ඉරිසියාවෙන් පුපුරණවා.

07 December 2011

ඩෙංගු




ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.

27 November 2011

තට්ටෙ




මම සාමාන්‍යයෙං කොණ්ඩෙ කපන්නෙ මාස හතරකට පහකට සැරයයි.එක පාර කොට වෙන්ඩ කපා ගත්තම ආයේ කන් දෙක වැහෙනකං සෑහෙන කාලයක් ඉන්න පුළුවං.මේ පාරත් සෑහෙන දිගට කොණ්ඩේ වැවුනාට පස්සෙ අද ඔන්න කපන්න තීරණය කළා.ඒත් මේ පාර ටිකක් කොණ්ඩෙ ඉතුරු කරලා මොකක් හරි ඉස්ටැයිල් එකක් කරන්ඩ තමයි හිතාගෙන හිටියෙ.මොකද මගේ කැරලි කැරලි තියෙන බූසි කොණ්ඩෙට මගේ ප්‍රේමවන්ති ගොඩාක් කැමති හින්දා වගේම ලොවට හොරෙං නළල දෙපැත්තෙං කොණ්ඩෙ ගිහිං තට්ටෙ මතුවෙන එකත් වහගන්න මට ඕනෙ කරලා තිබ්බෙ.

19 November 2011

එලාර්ම් එක සහ මම





රෑ වෙනකං ඇහැරගෙන අල බාන එක (පාඩම් කරන එක ) අපිට පුරුදු නෑ තමයි.ඒත් ෆිල්ම් එකක් බලන්න, නවල් එකක් කියවන්න, මලක් කඩන්න, බ්ලොග් කියවන්න වගේ වැදගත් වැඩවලට පුරුදු වෙලා හින්දා නිදා ගන්නකොට කොහොමත් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙනවාම තමයි.අනිත් එක බෝඩිං ජීවිතේ තියෙන එක අවුලක් තමා අනිත් එකෙක් ඇහැරිලා ඉන්නවානං අනිත් උන්ට නිදහසේ නිදාගන්න අමාරු එක.මොකද ඇහැරිලා ඉන්න එකා සැරින් සැරේ කාමරේට එනවා.ලයිට් එක දානවා.මල් කඩන ගමං හෙන සද්දෙට හිනා වෙනවා.ඌටනං මොකද ඇස්වලිං නිදිමත බේරි බේරි ගිහිං ඇඳට වැටෙන එකාටනෙ නිදිමත තියෙන්නෙ.

අනිත් එක ඇඳං කියලත් සනීපෙට තියෙනවා කියලයැ.ඇඳේ තිබිය යුතු ඇඳ පොලු ගාණෙන් තුනෙං එකක් විතරයි තියෙන්නෙ.මෙට්ටෙත් කල්පයක් තිස්සෙ පාවිච්චි කරලා සියළුම භූ විෂමතා ලක්ෂණ දකින්න පුළුවං.කොට්ටවලිං එන පුළුටු ගඳ අමතක කරලා ලෑල්ලක් වෙලා තියෙන කොට්ටෙ මෙලෙක් තැනක් හොයාගෙන මෙට්ටෙ තියෙන උස් තැං මඟ ඇරලා ස්ථායී පහත් බිම් දිගේ ශරීරය දිග ඇරගෙන නිදාගන්න කොටම කණ ගාවිං ඔන්න 'රූං' ගාගෙන යනවා කාළකණ්ණි මදුරුවෙක්.

මදුරුවා කියන්නෙ හරි ආදරේ හිතෙන සතෙක්.මදුරු දැලේ අපිට පේන ඉරිච්ච තැං ඔක්කොම අඹරලා කටු ගහලා තිබ්බත් මදුරුවා කොහෙං හරි හිලක් හොයාගන්නවා රිංගන්න.ඊට පස්සෙ මේ ප්‍රඥාවන්ත සත්වයා බොහොම නිහඬව ඉන්නවා අපි මදුරු දැල වටෙන්ම මෙට්ටෙට යටකරලා ල‍යිට් එකත් නිමලා හොඳට පොරවාගෙන නිදා ගන්නකං.ඔන්න ඊට පස්සෙ පටං ගන්නවා ශබ්ද විකාශනේ වගේ කන ගාවිං රූං ගාගෙන යන්න.ඒ වෙලාවට එන ආවේගය මාර ආතල්.ඕනෙනං මදුරුවා මරාගෙන මැරෙන්න උනත් පුළුවං.ඉතිං මදුරුවා මවපු එකාටයි බීටීඅයි ගෙනල්ලා නොගහ ඉන්න ආණ්ඩුවටයි ඔක්කොගෙම පරම්පරාවල අග මුල දක්වාම සාප කරගෙන නැගිටලා ආයෙ ලයිට් එක දාලා පටං ගන්න ඕනෙ මදුරුවා සොයා මරා දැමීමේ සංග්‍රාමය.

ඔන්න ඉතිං යාංතං නින්ද ගිහිං පාන්දර කිට්ටුවෙනකොට වහින්න ගන්නවා (මේ දවස්වලනං නෑ ).කාමරේ දොර ඇරලා.වැහිවතුර හෝ ගාලා එනවා කාමරේට.කීප දවසක්ම බෝඩිමට ගංවතුර දැම්මා.කාටවත් කිව්වට විශ්වාස කරන්නෙත් නෑ.මොකද අපේ බෝඩිම තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙනෙ.ඉතිං ආයේ අහසට සහ දෙයියන්ට සාප කරගෙන නැගිටලා දොර වහලා ආපහු එනකොට මතක් වෙනවා 'හුටා රෙදි එළියෙ නේද?' කියලා.ඔන්න ආයේ දොර අරිනවා.තියෙන ඔක්කොම රෙදි ටික ගන්නවා ඇතුළට.නැත්තං පහුවදාට සිවිල් පිට තමයි ෆැකල්ටි යන්න වෙන්නෙ.

ආපහු එනවා ඇඳට.වෙලාව කොහොමත් තුන විතර තමයි ඒ වෙනකොට.ආයෙ නිදාගන්න හදනකොට ඔන්න ළඟ ඇඳේ ඉන්න එකා ගොරවනවා මහ හයියෙං.වැස්සෙ සද්දෙත් පරද්දගෙන එනවා සද්දෙ.හරියට මොරටුවෙ ඉන්නවා වගේ.ඉතිං එහෙමම අත දික් කරලා හොල්ලනවා උගේ ඇඳ.ඔන්න ඒ පාර ඌ පටං ගන්නවා හීනෙං කියවන්න.'නෑ නෑ ඔය ෆොන්ට් එක හරියන්නැහැ.වෙන එකක් දාමු.' ඌ දවල් කරපු වැඩක් තාම හීනෙං කරගෙන යනවා.

යාංතං ආයෙත් හිත හදාගෙන නිදාගන්න කොටම එකෙක්ගෙ එලාර්ම් එක වදිනවා.'ඕක ඕෆ් කරපං බූරුවෝ' හිතිං කොච්චර කිව්වත් වැඩක් නෑ.ඌට ඇහැරෙන්නෙම නෑ.උගෙ කන ගාව තියෙන එලාර්ම් එකට ඇහැරෙන්නෙ මම.

'යකෝ  @#%$*&$# තොගේ එලාර්ම් එක වදිනවා.නැගිටපං  #$@%%$*@. "

 ඔන්න එතකොට ඌ ඇහැරෙනවා.ඇහැරිලා එලාර්ම් එක ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා.යකෝ නැගිටින්නෙත් නැත්තං මොන ඉලව්වකටද එලාර්ම් එක තියන්නෙ.වල් මූසලයා මගෙ නින්ද කෑවා.බඩම පලයං උඹට.ඔන්න ඔහොම යහපත් චේතනාවෙං මිත්‍රයාට හිතිං සුභාශිංසන පිරිනමද්දි ඔන්න ඔළුව උඩ ඇඳේ ඉන්න එකාගේ එලාර්ම් එක වදින්න ගන්නවා.ඌ නං කවදාවත් උගේ එලාර්ම් එකට ඇහැරෙන එකෙක් නෙමෙයි.මොකද එලාර්ම් එක විනාඩියක්ම වැදිලා නිකංම නවතිනවා.ඊට පස්සෙ විනාඩි පහකිං ආයෙ වදිනවා.ඔහොම තුන් පාරක් විතර සිද්ද වෙනකොට මම කෑ ගහලා ඌවත් ඇහැරවනවා.

ඉතිං දැං ආයෙ නිදා ගන්න වෙලාවක් නැති නිසා මම නැගිටලා බාත්රූම් යනවා.ඔන්න ඕක තමයි එලාර්ම් එකේ කතාව.මේක ෆැකල්ටියේ ගිහිං කිව්වම දැනගත්තා මේක හැම බෝඩිමටම පොදු කතාවක් කියලා.මම වගේ අසරණයො සහ අරුං වගේ මූසලයො සමානව සියලු බෝඩිම් අතරේ බෙදිලා ගිහිල්ලා.ඉතිං සුහද ස්ථාන මාරුවක් කරගන්න තියෙනවනං හොඳයි.ඒ කියන්නෙ එලාර්ම් එක තියන ඒත් ඒකට නැගිටින්නෙ නැති උං එක බෝඩිමකට දාලා අනිත් උං වෙන බෝඩිමකට සෙට් වෙන එක.ඒත් ඒකෙත් ප්‍රායෝගික ප්‍රශ්න රැසයි.

මේකට හොඳම විසඳුම දුනනේ මගේ මිත්‍රයෙක්.

"මචං උඹ එලාර්ම් එක තියනවනං ඕක වයිබ්‍රේට් වෙන්න දාලා ගහ ගනිං පු*. එතකොට උඹ විතරනේ ඇහැරෙන්නෙ.අනික සද්දෙ වගේ නෙමෙයි හොඳට දැනෙයි."

හොඳ යෝජනාවක්.ඉදිරියේදී මේක දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරන්ඩයි ඉන්නෙ.

මීට,
එලාර්ම් නොතියන හා තිබ්බොත් ඒකට නැගිටින්නංගේ සංගමය. (එ.නො.ති.ඒ.නැ.ස )

15 November 2011

කණ්ණාඩිය


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ




13 November 2011

වාසනාවට ඇත්ත කතාවක්........



මේක මගේ පුද්ගලික කතාවක්.ටිකක් දිගයි තමයි.කියවන්න කම්මැලිනං බණින්න එපා.මේක දාන්නෙ මේක මට වැදගත් හින්දා.

ඒ දවස්වල අපේ ඉස්කෝලෙ විතරක් ඇරුනෙ 1.45ට.අනිත් ඉස්කෝල ඇරෙන්නෙ 2ට.මුල කාලේ මමත් පුරුදු වෙලා හිටියෙ 2.20 කෝච්චියේ කට්ටියත් එක්ක සෙට්වෙලා සින්දු කියාගෙන, කෙල්ලො බලාගෙන, ලයින් එකක් දාගෙන ගෙදර එන්න.ඇත්තම කියනවනං මරදානෙ ඉඳං ගම්පහට එනකං හැම ඉස්ටේශන් එකකම වගේ මම ට්‍රයි කරපු කෙල්ලෙක් හිටියා.කරුමෙට සහ මගේ ප්‍රාංශු දේහයට පින්සිද්ද වෙන්න(දන්නෝ දනිති ) ඒ එකක්වත් සෙට් උනේ නෑ.නිකං බොරුවට පෙට්‍රල් පුච්චගත්තා විතරයි.

08 November 2011

දැනුම එපා ද?




මේක මේ ටිකක් දවසකට කළිං සිද්ද උන වැඩක්.වැඩ හින්දා ලියන්න ඕනෙ කම තිබ්බත් ලියන්න වෙලාවක් හම්බ උනේ නෑ.

අපි ඉතිං වෛද්‍ය ශිෂ්‍යයො කිව්වත අපිනෙ දන්නෙ අපේ දැනුම ගැන.අපේ ගෙවල් ළඟ කට්ටිය හිතං ඉන්නෙ ඉතිං මූ තරං පොරක් තව නෑ කියන ගාණට.ඔය එක එක ජාතියෙ ලෙඩ ජාති ගැන කියාගෙන එන අයට මම ඕක ගැන දන්නෑ කියලා කෙළිං කියන්න මමත් කැමති නෑ.මොකද ඊට පස්සෙ කියන්නෙ "අපෝ ඌ වෛද්‍ය විද්‍යාලෙ කියලා බොරුද කොහෙද බොලව් කියන්නෙ.ඌ මොකුත් දන්නෙ නෑ." කියලනෙ.

04 November 2011

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පිළිබඳ සාර්වත්‍ර නියමය




අම්මෝ සෑහෙන කාලෙකිං බ්ලොග බලන්න ආවෙ.රිපීට් එකයි අපේ හැදියාව බලන බිහේවියරල් සයන්ස් එග්සෑම් එකයි ඔක්කොම අද තමයි ඉවර උනේ.කෙළ උනාවත්ද මන්දා ප්‍රථිපල ආ කල අඬා වැටෙනු හැර දැන් පල නෑ මුරගා බැණලා.

ඒක ගැන නෙමෙයිනෙ කියන්ඩ හැදුවෙ.මම හැදුවා න්‍යායක් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවො ගැන.සමහර විට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පිළිබඳ දිනුක ජයකොඩි න්‍යාය විදිහට මේක ඉතිහාස ගතවෙන්නත් බැරි නෑ.

ඇත්තටම මේ න්‍යාය ගොඩ නගන්න හේතු උනේ අපේ සමාජය මා තුල ඇති කරලා තිබ්බ වැරදි ආකල්පයක් මට අවබෝධ උනාට පස්සෙ.අපිට පොඩි කාලෙ ඉඳලම කියන්නෙ දැම්ම මේ ඉගෙනගන්න කාලෙ ඔය පෙම් හුටපට පටලව ගන්නැතුව හොඳට ඉගෙන ගනිල්ලා.කැම්පස් ගියාම ඕනෙ තරං හැඩ කෙල්ලො ඉන්නවා.උඹලට ලව් කරන්ඩ එපා කියන්ඩ කවුරුවකුත් නෑ.ඕනෙ මඟුලක් නටාගත්තැකි එතකොට කියලා.

අනේ අපිත් ඉතිං(අපි කිව්වට මම අයිති නෑ.මේ කියන්නෙ බහුතර විශ්වවිද්‍යාල ශිෂ්‍යයො ගැන.) කෙල්ලෙක් දිහා තියා වැලක තියෙන චීත්තයක් දිහාවත් නොබලා පොතපත කෙරේ බැඳුනු සිතින් අනාගත අනඟ රැඟුම් හිතේ මව මවා ඉගෙන ගන්නවා.ඉතිං ඔන්න නේක දුක් කම්කටොළු රැසක් අත්විඳලා එනවා විශ්වවිද්‍යාලෙට.අනේ අර අපිට මවලා පෙන්නපු 'සිසිවන උවන ඉඟසුඟ ගත හැක මිටින, නිසි පුළුලුකුල රියසක යුරු තිසර තන' කියන්ඩ පුළුවං එකෙක්වත් නෑ බේතකටවත් හොයාගන්ඩ.හරියට සුනාමියට පස්සෙ තංගල්ලෙ වෙරළ වගේ.කණාටු පොල් ගස් කීපෙකුයි ගහං යන්ඩ බැරුව ඉතුරු උන තඩි කලු ගල් කීපෙකුයි විතරයි.

ඉතිං මම උසස් පෙළ පන්ති කීපයකට කුඩා උ\පෙ ශිෂ්‍යයෙක් වගේ වෙස් වලාගෙන ගියා මොකක්ද මේකට හේතුව හොයන්න.පන්තිවල ශිෂ්‍යයන්ගෙන්, ගුරුවරුන්ගෙන් විතරක් නෙමෙයි කාඩ් මාක් කරන ටික්කා අයියලගෙනුත් මම තොරතුරු එකතු කළා හොර රහසේ අවුරුදු දෙකක්ම.

මේ තොරතුරු ඉතාමත් සූක්ෂමව අධ්‍යයනය කරලා තමයි මගේ න්‍යාය මම ගොඩ නැගුවෙ.ඇත්තටම වෙන්නෙ මෙන්න මේකයි, ටියුෂන් පන්තිවල ඕනෙ තරං ලස්සන කෙල්ලො ඉන්නවා.උං පන්ති එන්න පටං අරං ටික දවසක් යද්දිම උංගෙ පස්සෙං කොල්ලො එන්න පටං ගන්නවා.ඉතිං මේ අසරණ කෙල්ලො උං එක්ක යාළු වෙනවා.ඔන්න ඕක තමයි උංගෙ ජීවිතවල හැරවුම් ලක්ෂ්‍යය.ඉතිං ටික දවසක් අයියා එක්ක බස් හෝල්ට් එකේ එහෙම හුරතල් වෙලා පන්ති නොගිහිං බයිස්කෝප් බලන්නයි පාක් එකේ රස්තියාදුවෙන්නයි පුරුදු වෙනවා.අනේ ඉතිං මුං අර කොල්ලන්ට පින්සිද්දවෙන්න විභාගය ඇන ගන්නවා.

අර අනිත් අනිත් පොල් පිති සහ කොස් ගෙඩිවගේ සුන්දර කෙල්ලො පස්සෙ කොල්ලො එන්නෙ නැති හින්දා උංට වෙන කරන්ඩ වැඩක් නැතුව යනවා.උං දිගටම ඉස්කෝලෙ යනවා, පන්ති යනවා.නිවාඩු දවස්වලට ගෙදර මිනිස්සුන්ට බොරු කියලා කොහේ කියලා යන්ඩද? ඉතිං දවසම ගෙදරට වෙලා පාඩං කරනවා.අනේ ඉතිං අර උ\පෙ වගේ විභාගෙකිං මුංව නවත්තන්ඩ බෑ.

නායක්ත්ව පුහුණුවත් අරං ගිණිකාෂ්ඨක අවුවෙ ඉඳලා තවත් දැකුම් කලු වෙලා මුං කැම්පස් එනවා.

ඉතිං කැම්පස් ඇවිත් කෙල්ලෙක් සෙට් කරං ජීවිතේ විඳින්න හිතං හිටපු එකාට කාලි මාතාවගේම සරණයි!

රූපලාවන්‍ය නිශ්පාදකයන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් පත්වී ඇති බවට සමීක්ෂණ ගණනාවකින් ඔප්පු වී ඇත.සුදු වීමට, ලප සහ කැළැල් ඉවත් කිරීමට, කෘශ වීමට සහ පෘෂ්ඨිමත් වීමට, කොණ්ඩය වැඩීමට ආදී එකී නොකී උවමනාවන් සඳහා ඇති පෙති, ආලේපන, කුඩු, ගුලි, කල්ක, අරිෂ්ඨ, නස්න, චූර්ණ, හෝමියෝපති, කටු චිකිත්සාව, වෑල්ඩිං කිරීම, පැච් දැමීම, අණ්ඩ දැමීම ආදී ඕනෑම ක්‍රමයක් අනුගමනය කිරීමට ඔවුන් පෙළඹෙන බවද, මෙය පුරුද්දකට ගිය පසු කවදා හෝ කරගහන කොල්ලාට මේ සඳහා වියදම් දැරීමට සිදුවන බවද, ඒ සඳහා අමතර රැකියාවක් කිරීමට උවද සිදුවිය හැකිබවද අනතුරු හැඟවීමක් ලෙස පළ කිරීමට කැමැත්තෙමි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් හා හාද වූ තරුණයෙකුගේ අනාගතයේ සන්ධ්‍යාවක් මෙවැනි විය හැක.

"දයාබර අම්මේ තාත්තේ මම වෛද්‍යවරයෙක්, මගේ බිරිඳගේ රූපලාවන්‍ය වියදම් පියවගන්න මම හම්බකරන සුළු මුදලෙන් බෑ. ඒ නිසා තමයි මම මේ කෝච්චි පෙට්ටියට ගොඩ වෙලා සින්දු කියලා තවත් කීයක් හරි හොයාගන්න බලන්නෙ.අතේ මිටේ තියෙනවානං කීයක් හරි මේ අසරණ සැමියාට දෙන්න.................."

විශ්වවිද්‍යාල ශිෂ්‍යාවෝ කමත්වා !

22 October 2011

අනාථ කවියා


කවියද ඔයාද
දෙකෙන් එකක්
තෝරගන්න කිව්වම
කවි ලියපු
අතත් එක්කම කපලා
වැළලුවා මම පෑන
අපේ ගෙදර
වත්ත පහල

ඌවද මාවද
දෙකෙන් එකක්
තෝරගන්න කියලා
මම කිව්වම
ඔයා
ඌව
තෝරගත්තට පස්සෙ
මම
වත්ත පහලට ගිහින්
හෑරුවා ආපහු වළ

ප්ලාස්ටික් පෑන
දිරලා නැතත් තාම
ඒක එක්ක වලදාපු
මගේ අත
නෑ පේන්ඩ
දිරලා ගිහිල්ලද කොහෙද

19 October 2011

දැක්ම




"අපේ යක්කුන්ට
 තේරෙන්නෑ මල්ලි
 හයි වේ හදලා
 හැමතැනම
 සී ප්ලේන් එකේ
 යතෑකි රට වටේම
 කොච්චර කළත්
 අගයක් නෑ අපේ උන්ට"

එහෙම කියලා
ධර්මේ අයියා එල්ලුනා
කෝච්චියේ
ෆුට් බෝඩ් එකේ

"ඕයි
 යනවලකො
 පොඩ්ඩක් ඇතුලට
 පේන්නැද්ද
 දොරේ යන්නෙත්
 මිනිස්සුම තමයි
 තමුසෙලා විතරක්
 සැපට ගියාම හරිද?"

18 October 2011

අසිරිමත්ම සිදුවීම




පහුගිය සතිය හරිම කාර්ය බහුලව තමයි ගත උනේ.අත්දැකීම්, කකුල්දැකීම් රාශියක් ලබා ගන්න පුළුවං උනා.ජීවිතේට වටින කියන පාඩම් රැසක් එක්ක මිනිස්සු අඳුර ගන්න, ජීවිතේ තේරුම් ගන්න වැදගත් සිදුවීම් බහුල සතියක්.

ඇත්තටම කියන්න හැදුවෙ පහුගිය සතියේ මගේ ඇස් දෙකෙන් ලෝකේ සිද්දවෙන අසිරිමත්ම සිදුවීම දැකගන්න මට වාසනාව ලැබුණා කියලා.දරු ප්‍රසූතියක් හැබෑවට දකින්න ලංකාවෙනං ගොඩක් දෙනෙක්ට ලැබෙන්නෙ නෑ.අපි පහුගිය සති දෙකේම හිටියෙ දි සොයිසා කාන්තා රෝහලේ.දරු ප්‍රසූතියක තියෙන ඒ ආශ්චර්යමත් බව ගැන කතන්දර අහලා තිබුණට සහ පොත්වලින් කියවලා තිබුණට ඒක මොනවගේද කියලා දැකගන්න මම පුදුම කුතුහලයකිං හිටියෙ.ඒක ඉටු කරලා දීපු සොයිසා රෝහලට දීර්ඝායු වේවා!!!!

26 September 2011

ලව් ගොඩ දැමීමට කලාවේ දායකත්වය......


මේක බොහොම ඉස්සර මම ලියපු එකක්.ඇත්තටම කිව්වොත් අපි එතකොට පළමු වසරේ ශිෂ්‍යයො.අපේ පළවෙනි තීරණාත්මක විභාගයෙන් පස්සෙ රිපීට්වූවන් ගොඩ දැමීමේ මහා රිපීට් කැම්පේන් එක තිබ්බ දවස්වල.ඔන්න ඔය කාලේ තමයි අපේ පණ්ඩිත්ගෙ පළමු ප්‍රේම සිතුවිල්ල පහල උනේ.දාහක් බාධක කම්කටොළු මැද්දෙ මේක ගොඩ යැවීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මගේ දායකත්වය දැක්කුවෙ මේ ජාතක කතාව ලියලා නෝටිස් බෝඩ් එකේ ගහලා.ලව් එකනං ගොඩ ගියා.තවම අපිට හිතාගන්න බැරි ඇත්තටම අසරණ උනේ තාරා ද, පණ්ඩිත් ද, නැත්තං මේ අපිම ද කියන එක.......

24 September 2011

නිශ්ඵල





දැඩි වෙහෙසෙන්                 දුබල
හිස මත හිරු ද නැඟි              කල
සොයා සෙවනෙන්             සිහිල
රැඳී පල නැත කැහැටු රුක     මුල

තොල කට ද                       වේලී
තල්ලේ දිව ද ඇලි                ඇලී
සොයා දිය                     නිකෙළී
නොයන් සමුදුර බලා          ඉගිලී

සිතුවිලි                             ගුගුරලා
හදවත සොවින්                  බිඳිලා
ඇතත් තනි                           වීලා
නොයන් ළඳකගෙ සෙවණ පතලා

19 September 2011

මටත් කෙළ උනා........






මම මේක මේ ලියන්නේ ලෝකයට පණිවිඩයක් දී සිය දිවි නසා ගන්නට සිතාගෙන නොව.මගේ සිතේ නැගුණු චකිතය පහ කර ගැනීම පිණිස පමණි.


පොඩි කාලෙදිවත් කවදාවත් පන්තියෙ පළවෙනියාවත් දෙවෙනියාවත් අඩුම තරමෙ තුන්වෙනියාවත් වෙන්න මට බැරි උනා.හැමදාම මම පන්තියෙ විසි ගණන් හරි තිස් ගණන් හරි තමයි.ඉතිං ඔන්න පහ වසරට ආවා.ශිෂ්‍යත්වෙ ලිව්වා.පාස් උනා.ඊට පස්සෙ කොළඹ ලොකු ඉස්කෝලෙකට ආවා හය වසරට.පළවෙනි වාරෙ පන්තියෙ එකොළොස් වෙනියා.ඊළඟ පාර පහළොස්වෙනියා.

17 September 2011

ලෝක අර්බුධය......






ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ  උරණ වූ තරුණ ප්‍රජාව

11 September 2011

අපි නිදහස් ද??




මම දැං ඇහුවොත් කාගෙං හරි කැමතිම ඇඳුම මොකක්ද කියලා කොල්ලෙක්නං ටක් ගාලා කියයි ඩෙනිම කියලා.නැත්තං කොට කලිසම කියලා.කෙල්ලෙක්නං ගොඩක් වෙලා අරගෙන කල්පනා කරලා කරලා අපිට අපිවම එපා වේගෙන එනකොට මොකක් හරි පාටක්, හැඩයක්, රෙද්දෙ වර්ගයක්, ගන්ඩ පුළුවං තැනක් එක්කම මොකක් හරි විච්චූරණ ඇඳුමක් කියයි.මම මේ කියන්ඩ හදන්නෙ මම කැමතිම ඇඳුම ගැන.ඒ තමයි සරම.........

05 September 2011

විශ්වාසය...


මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

03 September 2011

අපි







ඔයාට මම ඉන්නවා
මට ඔයා ඉන්නවා
ඔයත් තනි නෑ
මමත් තනි නෑ
ඒත් අපි.........?

28 August 2011

ෆැකල්ටියේ විරහව....


රුපියල් දෙකේ
ප්ලේන්ටියෙන්
ඉතුරු වෙනවා
රුපියලක
තාම
ඇවිත් බොන්න
මම ගියාමවත්

හැබැයි
දැනටමත් නිවිලා

27 August 2011

ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස )

කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.


ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු වලින් ලංකාවෙ අඟනුන් ලඟ නැති තරමේ අඟපසඟින් යුත් මහිලා රූප ඇඳලා.නූල් පටක්වත් නැති

17 August 2011

මම උ\පෙ ලිව්වෙමි



උ\පෙ නං ඉවරයි.මට ඉවර උනාට තව ගොඩාක් අය දාහක් බලාපොරොත්තු තියං ලියනවා නොවැ.ඉතිං ඔන්න ඒ හැමෝටම හද පතුලෙන්ම ඒ කිව්වෙ මහා ප්‍රාචීරය කිට්ටුවෙන්ම සුභ පතනවා.

ඔන්න ඉතිං මම ගියානෙ මේ ආසියාවේ භයානකම අසීරුම දරුණුම පරීක්ෂනේට ආයෙමත් මූන දෙන්න.හප්පා මමත් ඉතිං කවදාවත් නැතුව නැගිට්ටා උදේ පාන්දරම.ඒ කියන්නෙ හයහාමාරට විතර.දත් එහෙම මැදලා සුදු කමිසෙට කලු කලිසමක් ඇඳලා හරියට ටෙක් එකේ කෝස් එකකට යනවා වගේ.

නමෝ විත්තියෙං දකුණු කකුල පෙරට තියලා මම ගියා මට මේ කෙරුවාවට මූන දෙන්න තියෙන ඉස්කෝලෙට.ඉස්සෙල්ලාම ගිහිං හොයාගත්තෙ ටොයිලට් එක කොහෙද කියලා.මොකද කලිං පාරක් මට විභාගෙකදි

15 August 2011

පෙම්වතී

උ\පෙ මගේ පෙම්වතී
අපි බැන්දා නේද 
දෙපාරක්
පළවෙනි පාර 
හරි නොගියත්
දෙවෙනි වතාවනං
හරි සාර්ථක කසාදෙ
ඒත් මගේ ප්‍රේමෝන්මාදෙ
ඉවර නෑ තව
බඳිමු අපි තව පාරක්
හෙට උදේ
බලමු අපි මේ පාරවත්
හොඳවෙයිද ඇම්ම මගේ

10 August 2011

චාටර් බ්ලොගා



මම දැන් ටිකකට කළිං මගේ බ්ලොග් පොස්ට් ටිකක් ආයෙමත් කියවලා බැලුවා.අප්පා මළ චාටර්.සමහර එව්වා කියවද්දි මටම හිනා(කටින් විතරක් නෙමෙයි ).මම හෙණ ලොකුවට මම ගැන හිතං හිටියට මම ලිවීමේ කාර්යයේදී කොච්චර අප්සට් ද කියලා මට ම තේරුණේ තුන්වෙනි පාර්ශවයක් විදිහට ගිහින් මගෙම එව්වා කියවලා බලද්දි.හැබැයි මෙහෙම දේකුත් තියෙනවා මම සෑහෙන්න සතුටුවෙන මට්ටමේ උසස් ය කියලා කියන්න පුළුවං නිර්මාණ දෙක තුනකුත් ඒ අස්සෙ තිබුණා.ඒක ඉතිං අර ගල් අහුරක් ගහපුවාම එකක් දෙකක් හරියට වැදිලා අඹ වැටෙනවා වගේ මෙව්වා සංසිද්ධියක් ය කියලා මගේ ආත්මාභිමානෙ පැත්තකින් තියලා කියන්ඩ සිද්ද වෙනවා.

මගේ හිතට හෝ ගාලා අදහස් ගලාගෙන ආවට ඒවා අනිත් මිනිස්සුන්ගෙ හිතට වදින විදිහට ලියාගන්න මම එච්චර සමත් නෑ කියලා මට හිතුණා.හැබැයි අපරාදෙ කියන්න බෑ ඕනෙ මඟුලක් කාගෙ උනත් හිතට වදින්න කියාගන්න කටක්නං මහා බ්‍රහ්මයා ලෝබ නැතුව මට දීලා තියෙනවා.කාට හරි ඒ ගැන සැකයක් එහෙම තියෙනවානං ඔය අපේ ෆැකල්ටියෙ කාගෙං හරි අහලා බැලුවට කාරි නෑ.ඒත් ඉතිං මට ඕනෙ හොඳ ලේඛකයෙක් වෙන්න මිසක්කා මේ නිකං වාචාල කමට කියෝන එකෙක් වෙන්න නෙමෙයි.මොකද වාචාලයෝ ඕනෙ තරං ඉන්නවා.ඕනෙ තැනකිං වාචාලයො බිහිවෙනවා.ඒත් ලේඛකයො එහෙම නෑ.

මම මෙහෙම මං ගැනම පාපොච්ඡාරණයක් කළේ මගේ බ්ලොග් එක කට්ටිය කියවලා තියෙනවනෙ.මම දන්න වගේම දන්නැති අයත්.මගේ සමීපම මිත්‍රයෝ කීප දෙනෙක් සහා මගේ ප්‍රියම්භිකාව මගේ ලියන එව්වයෙ අඩුපාඩු කියනවා."මචං අර දාලා තියෙන එක චාටර්" කියලා මූනටම කියනවා.ඒත් අනිත් ඈයො එහෙම කියන්නෑ.මම දන්නවා එයාල එහෙම කියන්නැත්තෙ ලියන එකාගේ හිත රිදෙයි, හිත රිදිලා ඌ ලියන ඒක නවත්තයි කියලා හිතලා කියලා.ඒත් මම කැමති කවුරු උනත් මගේ අඩුපාඩු කියනවානං.එහෙම උනානං මෙයිට ගොඩක් කළිං මට තේරුම්ගන්න තිබ්බා මම ලියන ඒවා හෙණ චාටර් කියලා.දැං ඉතිං කෙනෙක් කියන්ඩ පුළුවං ඉතිං බූරුවො තොගෙ යාළුවො තොට කිව්වනං එව්වා චාටර් කියලා තෝ බූරුවට ඕක කලිං තේරෙන්න තිබ්බනෙ කියලා.ඇත්ත තමයි.ඒත් ඉතිං මගේ තියෙනවනෙ බොරු උද්ධච්ච කමක්.හෙණ ලොකුකමක්.ඉතිං එකෙක් දෙන්නෙක් කිව්වට මම එච්චර හිතන්නෑ.මම හිතං ඉන්නවා මම හෙණ පොරනෙ ඒක හින්ද මම ලියන එව්ව පට්ට සිරා කියලා.

ඉතිං ඕක දහ පාළොස් දෙනෙක් විතර කිව්වනං මොකද්ද බූරුවො අර ලියලා තියෙන්නෙ.මෙලෝ යකෙකුට හිනා යන්නෑ නිකං සිංහල කොමඩියක් වගේනෙ කියලා.එහෙම නැත්තං මචං උඹට තියෙන ආදරේට ,මේ කියන්නෙ කාටවත් වැඩක් නැති පජාති බ්ලොග් ලිය ලිය ඉන්නෙ නැතුව මොකක් හරි රටට වැඩදායී වැඩක් කරපං කියලා කිව්වනං අද මමත් හොඳ තැනක ඉන්න තිබුණා.

දැං මම මට චාටර් කියලා හිතෙන බ්ලොග් පෝස්ට් ටික අයින් කරන්න ගියොත් දෙක තුනකට වඩා ඉතුරු වෙන්නෙ නෑ.කමක් නෑ මම එව්වා එකක්වත් අයින් කරන්නෑ.මීට පස්සෙවත් හොඳ බ්ලොග් පෝස්ට් ටිකක් දාන්න ඕනෙ.එතකොට මට වගේම කියවන ඈයින්ටත් පුළුවං මගේ ප්‍රගතියක් තියෙනවද නැත්තං කලිං හිටපු චාටර් බ්ලොගාමද කියල බලන්ඩ.

රෙද්ද ගැළවී මගේම නිරුවත දුටිමි.නමුදු දැනේ සතුටක් මන්ද මගේ නිරුවත මම ද දුටු නිසා.

07 August 2011

හෙළබස




මම මේ කියන්න හදන්නෙ ජාතිවාදෙ අවුස්සන භාෂාප්‍රේමීත්වය කුප්පන සරම කරට අරන් කෑ ගහන විදිහේ දෙයක් නෙමෙයි.මේ භාෂාව හරි හැටි භාවිතා නොකිරීම නිසා කට්ටියක් විඳින වදයක් ගැන කතාවක්.මටත් හරි හැටි බස හසුරුවන්ඩ බෑ.ඒත් තැනට ඕනෙ විදිහට ගැටගහගෙන ගොඩදාගන්ඩ බස හසුරවගන්න පුළුවන්.

මම දන්න කට්ටියක් දැන් අවුරුදු ගාණක ඉඳන් නඩුවක් කියනවා ඉඩමකට.ඉඩං නඩුවක් කිව්වම ඉතිං අහල වැඩක් නෑනෙ.කතාවටත් කියන්නෙ හරියට ඉඩං නඩුවක් වගේ කියලා.ඉතිං මේ නඩුවෙ හරි විස්තරයක් මට දැනගන්න ලැබුණා ඒ එක්කෙනෙක් ඒක ගැන තව එක්කෙනෙකුට කියද්දි.මම අනුන්ගෙ කතාවකට හොරෙන් කන් දුන්නෙ නෑ.එයාලා කතා කරද්දි මට ඇහුණා ඕං හරි ද?

නඩුවෙ ආරම්භක සාමාජිකයෝ තමයි X සහ Xගෙ සහෝදරී.උදේ හවස බණ ඇහෙන මේ ධර්මද්වීපේ මෙච්චර අල්පේච්ඡ ශික්ෂාකාමී ආදර්ශමත් භික්ෂූන් වහන්සේලා මගින් මගට අල්ප ඉච්ඡතාව ගැන කියලා දෙද්දිත් මේ අයියටයි (X) නංගිටයි බැරි උනා තමන්ගෙ උරුමෙ කතාබහ කරල බෙදාගන්න.නඩුව යන්නෙ මේකටයි. Xගෙ තාත්තා Xට ඉඩම ලියලා.පස්සේ Xට ලියපු කොටසට අයිතිවෙන ඉඩම් කෑල්ලක් ආයෙ Xගෙ නංගිටත් ලියලා.ඉතිං මම නීතිය දන්නෙ නැති උනාට මට තේරෙණ විදිහට නංගිට ලියපු එක නීතියට එකඟ නෑ.මොකද ඒ ලියපු කොටසෙ ඒ වෙනකොට අයිතිකාරයා X.නමුත් X දැනං ඉඳලා නෑ තමංගෙ තාත්තා එහෙම නංගිට කොටසක් ලියුවා කියලා.දැනං හිටියනං මිනිහා කෑ ගහනවනෙ.

දැං නංගි තමන්ගෙ අයිතිය ඉල්ලලා නඩුවක් දාලා.මොකද Xගෙ තාත්තා Xට ලියපු ඉඩම් ඔප්පුවෙ තියෙන එක වාක්‍යක අඩුවක් හින්දා.ඒකෙ ලියලා තියෙන්නෙ "මේ ඉඩමට අයත් ගස කොළ පලතුරු Xට දෙනවා" කියල ලු.ඉඩම දෙනවා කියලා ඒ ඔප්පුවෙ නෑලු.ඔප්පුව ලියපු එකා "මෙම ඉඩම හා එයට අයත් ගස කොළ පලතුරු" කියලා ලියුවෙ නැති හින්දා X සහ එයාගෙ නංගි අවුරුදු 15ක් නඩු කිව්වා.අන්තිමට X දිනලා කියලා තීන්දුව එනකොට X මැරිලා.එයාගෙ ළමයි දහදෙනා තමයි නඩුව ඇදගෙන ගියේ.ඊට පස්සෙ Xගෙ සහෝදරී නඩුව ආයෙත් විභාග කරන්න ඇපෑලක් ඉදිරිපත් කළා ලු.ඒකට තව අවුරුදු 5ක් ගියා.ඒ තීන්දුව ආවෙ X නඩුවෙන් පැරදිලා.ඒ වෙනකොට Xගෙ වැඩිමහල් දරුවො දෙන්නෙක්ම ජීවිතෙන් සමු අරන් ඉවරයි.දැං ඉතුරු දරුවෝ සහ ඔවුන්ගෙ දරුවෝ නඩුව නැවත ඉල්ලුම් කරන්න ලෑස්තියි.ඒකෙ ප්‍රථිපල එන්න තව අවුරුදු ගණනාවක් යයි.වචන දෙකක අඩුවක් හින්දා අවුරුදු ගාණක් ඒ මිනිස්සු පිස්සු නටනවා.කාලය සහ මුදල් නාස්තිය අම්මෝ මේ වචන දෙකකටනෙ ඉතිං.

භාෂාව කියන්නෙ හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනෙ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ එකක්.

සමහර විට ඔයාලා අහලත් ඇති මේ කතාව.

පන්තියේ සර් උගන්නන ගමන් කලු ලෑල්ලෙ ලියන්න හුණු කෑල්ලක් හොයනවලු.වෙන වෙන පාට එව්වා තිබුණට සුදු පාට එකක් නැතිලු.ඉතිං සර් කොල කෑල්ලක "සුදු හුණු කෑල්ලක් එවන්න " කියල ලියලා කොල්ලෙක්ගෙ අතේ එහා පන්තියෙ ටීචර්ට යැව්වලු.මේකත් අර මැරෑටි ඇම්බැට්ට තාලෙ කොල්ලෙක්ලු.මූත් ඉතින් වගක්වත් නැතුව ගිහින් එහා පන්තියෙ  ටීචර්ට දුන්නලු කොලේ.මෙන්න මේ ටීචර් එනවලු සාරි පොටත් පටලගෙන කොණ්ඩෙත් බැඳගෙන දත්මිටි කකා.අර ඇම්බැට්ටයා කොලේ දෙන්න කලින් කොමාවක් දාලා."සුදු, හුණු කෑල්ලක් එවන්න" ඔන්න පේනවනෙ වෙනස.

තව එකක්.මේක මේ සිංහලේ තියෙන පද බෙදීමෙ අවුල් වලින් වුනු එකක්.

පොඩි එකා හොස්ටල් එකේ ඉන්නෙ.ගෙදර අය මූට ඕනෙ කරන ඒව එවන්නෙ සතියකට පාරක් වැඩකාරයෙක් අතේ.දවසක් වැඩකාරයා බඩු ටික මූට ගෙනත් දීලා යද්දි පොඩි එකා වැඩකාරයා අතේ ගෙදරට එවනවා පොඩි ලියුමක්.

"මැද පු* මිස තුන නැත" කියලා.

මේක කියවලා ගෙදර මිනිස්සු අන්දොස්.මේකගෙ නොසන්ඩාලකමට ද? නැත්තං වෙන එකෙක්ගෙ මගෝඩි වැඩක් ද බලන්න තාත්තත් ඉක්මනට හොස්ටල් එකට ගියාමයි දැනගන්නෙ කොල්ලට කියන්ඩ ඕනෙ වෙලා තියෙන්නෙ "මැදපු කමිස තුන නැත" කියලා.

භාෂාව පරිස්සමෙන් පාවිච්චි කරන්න.සිංහල රාජ්‍ය භාෂාව කරන්න කියලා මොරදෙන ගොඩක් ඈයො හරියට බස දන්නෑ කියලත් මතක තියාගන්න.භාෂාව සම්බන්ධයෙන් අහන හරිම ජනප්‍රිය ප්‍රශ්නෙකට උත්තරෙත් කියලම මේක ඉවර කරන්නම්.

ප්‍රශ්නය :- සිංහල හෝඩියේ අකුරු කීය ද?

පිළිතුර :-ශුද්ධ සිංහල හෝඩිය - අකුරු තිහයි (30)
             භාවිත ශුද්ධ සිංහල හෝඩිය - අකුරු තිස් දෙකයි (32)
            මිශ්‍ර සිංහල හෝඩිය - අකුරු පනස් හතරයි (54)
            වර්තමානයේ භාවිතාවන හෝඩිය - අකුරු හැටයි (60)
            ISO (International Standards Organisation) හි ලියාපදිංචි කළ සිංහල හෝඩිය - අකුරු හැට එකයි (61)

අන්තිමට ඔන්න ඔහෙ මේකත් කියලම යන්නං.

සිංහල හෝඩිය ලෝකයේ වඩාත්ම නිර්මාණශීලී හෝඩි දහසයෙන්(16) එකක් බවට තෝරාගෙන ඇත.

02 August 2011

නම වෙනස් කිරීමයි.....



මම මේ කරපු වැඩේ හරිද කියලා මම දන්නෙ නෑ.ඒත් මට හිතුනා නිකං මගේ නම ඉස්සරහට දාලා මගේ බ්ලොග් එක ලියනවට වඩා වෙන නමකිං මේක කරං යන එක හොඳයි කියලා.මම හරියටම දන්නෙ නෑ ඇයි මට එහෙම හිතුනෙ කියලා.ඔය පත්තරෙත් හැමදාම ඉන්නෙ දහ පාලොස් දෙනෙක් නම වෙනස් කරන.ඉතිං මම කරපුවාම මොකෝ.මම දාපු නම ඒ කියන්නෙ 'පෑල දොර' කියන එක මම තෝරගත්තෙ මම කියන්ඩ හදන ගොඩක් එව්වා මිනිස්සු පෙන්නන්ඩ අකමැති ඒත් ඇත්තටම ලෝකෙ තියෙන දේවල් හින්දා.පෑල දොරත් ඒ වගේ.අපි ගෙදරකට ඉස්සරහින් ගියාම අපිට පේන්ඩ තියෙන්නෙ බොරු ආටෝපය විතරයි(ගොඩක් තැන්වල ).ඒත් පස්සෙ දොර තමා ඇත්ත පෙන්නන තැන.ගෙදරක මිනිස්සුන්ගෙ කල්කිරියාව හැදියාව විතරක් නෙමෙයි ආදායම් තත්වෙ ගැන උනත් විස්වාසනීය තක්සේරුවක් ගන්න පුළුවන් තැන තමා ඒ.අනික පස්සෙ දොර තමා සංග්‍රහශීලී සංවාදශීලී සුහද තැන.ඔය ගොඩක් කේළම් එහෙමත් හුවමාරු වෙන්නෙ සමාජගතවෙන්නෙ පස්සෙ දොරෙන්නෙ.ඉස්සරහ දොරෙන් ගෙට ගන්නෙ (අපේ රටේ ) ගොඩක් වෙලාවට අමුත්තෝ, නාඳුනන අය.ඒත් හොඳටම හිතවත් පවුලෙම අය තමයි පස්සෙ දොරෙන් ගෙදරකට වැද්ද ගන්නෙ.ඉතිං ඔය බත් ටිකක් එහෙම කාල විටක් හප හපා මිදුලට කෙළ පාරක් එහෙම ගහලා හොඳ කයියක් ගහගෙන ඉන්න පුළුවං 'පෑල දොරට' ආවොත්....

30 July 2011

ප්‍රේමයෝ.....




           ගෑනු චපලයි කියන්නෙ ඇයි?මේක ගැන විද්වත් සාකච්ඡාවක් ඇති උනා පහුගිය දවසක අපේ පීඨ පරිශ්‍රයේ ආපනශාලා මණ්ඩපයෙදි.බොහොම විද්වත් උගත් පරිණත දැනුමෙන් සන්නද්ධ මම වගේ අය තමා මේකට සහභාගි උනේ.සාකච්ඡාව ආරම්භයට ප්‍රස්තුතය උනේ මගේ මිත්‍රයෙක් වර්ථමානයේ පැටලී ඉන්න යෙදිලා තියෙන ස්ත්‍රී පාශය, එහෙම නැත්තං කාන්තා උගුල.මිත්‍රයාට කෙල්ලෙක් සෙට් වෙලා මේ අන්තර් ජංජාලෙං.මේකෙං සෙට් වෙලා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ පරණ පවුලේ මිත්‍ර සම්බන්ධකමක් අළුත් වීමක්.මේ කෙල්ල බොහොම හෘදයාංගම ලෙංගතුකමකිං කියා හිටිනවලු මූට ආදරෙයි කියලා.මූත් කැමතියි.ඉතිං මොකක්ද අවුල?.

මේ කෙල්ලට කොල්ලෙක් දැනටත් ඉන්නවලු.ආ.....ඔව් චපල කෙල්ලෙක්.කෙල්ලගේ ඒ ප්‍රේම‍යට දැං වසර පහක් විතරලු.ඔන්න දැං මේ කෙල්ලට තේරෙන්න පටං අරං අර කොල්ලා තමන්ට ගැලපෙන්නැහැ කියලා.ඒකටත් හේතුවක් තියෙනවා.ඒ කොල්ලා, ඒ කියන්නෙ මගේ මිත්‍රයාට පෙම් කරන මේ කෙල්ලගේ වර්ථමාන ප්‍රේමවන්තයා මේ මෑතකදි රිය අනතුරකට ලක්වෙලා මුහුණ තරමක් විකෘති වෙලාලු.ඒ විතරක් නෙමෙයි දැං මානසිකවත් අස්ථාවරභාවයක්ලු ඉන්නෙ.ඉතිං ඔන්න කෙල්ලට මතක් වෙනවා මේ කොල්ලා තමන්ට මෙච්චර කල් නීති දාගෙන තමංව යටත් කරගෙන හිටියා කියල.ඒ අවු අස්සෙ ඒ දෙන්නගෙ කේන්දර ගැලපෙන්නෙත් නැහැ කියලා ඒ අයගෙ ගෙවල්වල කට්ටිය හොයාගෙන තිබුණා.ඉතිං කෙල්ලගෙ ගෙදරිං මේකට එහෙමට කැමැත්තක් දැක්කුවෙ නෑලු.ඒ මදිවට මේ කොල්ලට හරි හමං රස්සාවකුත් නෑලු.මේ කෙල්ල චපලයි කිව්වට චපලම නෑ.මොකද මගේ මිත්‍රයට ආදරෙයි කිව්වට මිත්‍රයට කිව්වලු ඌත් එක්ක එන්න බෑ මොකද අර කොල්ලට ද්‍රෝහි වෙන්න බැරි නිසා සහ කෙල්ලගේ සහ අර කොල්ලගේ නෑදෑ හිත මිත්‍රයො කතා කියයි කියලා.

ඔන්න අපේ ප්‍රස්තුතය.ඔය යටතේ මෙහෙයවුනු අපේ සාකච්ඡාවෙදි අනාවරණය උනු කාරණයක් තමා තමන්ගෙ හිත ගිය කොල්ලා තමන්ට තෝරගන්න නොහැකි වීම කෙල්ලෙක් චපල වීමට බලපානවා කියන එක.ඒ කියන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හැඟීමක් පහල උනාට ඒ කෙල්ලට බැහැනෙ ගිහිං කොල්ලට කියන්න "මම ඔයාට ආදරෙයි ඔයා මොකද කියන්නෙ?" කියලා.ඉතිං එහෙම ඇහුවොත් වෙන්න කෙල්ල හෙන බඩ්ඩක් කියල හංවඩු ගැහෙන එක.

ඒක මේ සමාජයේ අවුලක්.කොච්චර අයිතිවාසිකම් විමධ්‍යගත කරන්න හැදුවත් කෙල්ලෙකුට මේ සමාජයෙන් අන්තිමටම බලාපොරොත්තු වෙන්න වෙන දෙයක්.කෙල්ල එහෙම අහලා කොල්ලා කැමති උන සිදුවීම් දෙක තුනක් මම දන්නවා.නමුත් ගොඩක් වෙලාවට (අවධාරණය කරන්න ඕනෙ හැමතිස්සෙම නෙමෙයි කියන එක ) සිද්ද වෙන්නෙ කොල්ලා කෙල්ලගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කරන්න පටං ගන්න එක.මොකද සම්බන්ධයට මුල පිරුවෙ කෙල්ල නිසා කොල්ලට ඒකෙ වටිනාකමක් නෑ.

ඉතිං මේකෙ අවසන් ඵලය විදිහට කෙල්ලන්ට සිද්ද් වෙනවා තමංගෙං ප්‍රේමය පතන කොල්ලට කැමැත්ත දෙන්න.ඒක හරි අසාධාරණයි කියල මට හිතෙනවා.මොකද කොල්ලෙක්ට පුළුවං ඕනෙම කෙල්ලෙක්ගෙන් ප්‍රේමය ඉල්ලන්න.ඒත් කෙල්ලෙක්ට සිද්ද වෙන්නෙ තමංගෙන් ප්‍රේමය පතන අතලොස්සෙං එකෙකුට කැමති වෙන්න.හැබැයි ඒක සාධාරණීකරණය වෙන්නෙ කොල්ලෙක්ට ඕනෙ කෙල්ලෙක්ගෙන් ප්‍රේමය පතන්න පුළුවං උනාට ඌට කැමති වෙන්නෙ අතලොස්සක් කෙල්ලො විතරක් වීම නිසා.

ඉතිං කෙල්ල එකෙකුට කැමැත්ත දීලා ටික කාලයක් ගියාට පස්සෙ කෙල්ලගෙ හිතේ ඇඳිලා තියෙන රූපෙ තියෙන ඈ පතපු ගතිගුණ තියෙන කුමාරයා සුදු අස්සයෙක් පිටේ නැගලා ඇවිත් කෙල්ලගෙන් ආදරේ ඉල්ලපුවාම ඒ කෙල්ල දෙගිඩියාවට පත් වෙනව තමයි.කොල්ලන්ට වෙන්නෙ මේක නෙමෙයි.උන් තමන්ට හිත ගිය රූපෙ තියෙන කෙල්ලෙක් හොයලා යාලු වෙනවා බොහෝවිට.ඒත් කෙල්ලගේ නියම ගති ස්වභාව එළියට එන්නෙ ටිකක් කල් ගියාම.අන්න එතකොට කොල්ලා චපල වෙන්න පටං ගන්නවා.

කොහොම උනත් මගේ මතය ප්‍රේමය කියන්නෙ ඔය 'එයා මගේ දිහා බැලුවා, අපේ නෙත් එකට ගැටුනා, ලෝකය නැවතුනා, අපි අසීමිත පෙමකින් බැඳුනා.' කියන ජාතියෙ එකක් නෙමෙයි.ප්‍රේමය කියන්නෙ දෙන්නෙක් අතරෙ අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීම හරහා වෙන දෙයක්.ඔය සාහිත්‍යය (බොළඳ ඒවා විශේෂයෙන් ) රූපවාහිනිය සහ සිනමාව ආදිය නිසා තමයි මේ ප්‍රේමයට අනවශ්‍ය ආටෝපයක් ඇතිවෙලා තියෙන්නෙ.

පුළුවන්තරම් විවිධත්වයෙන් යුත් මිනිස්සු ඇසුරු කරන්න.මිත්‍රත්වය තුලින් ප්‍රේමයට නිදහසේ වැඩෙන්න දෙන්න.සිනමාවෙ සාහිත්‍යයේ සින්තටික් ප්‍රේමවලින් වියුක්ත වෙලා යථාර්තවාදී වෙන්න.එහෙම නොවුනාම තමයි කෙල්ලො හා කොල්ලො මේ සතියෙ එකෙකුට බූට් එක තියලා ලබන සතියෙ තව එකෙක් එක්ක පැණි බේරෙන්න ලව් කරන්නෙ.මොකද අර සින්තටික් ප්‍රේමය අපේ යටිහිතට ආමන්ත්‍රණය කරනවා තාරුණ්‍යයට සම්පූර්ණ වීමට ප්‍රේමය අත්‍යාවශ්‍යයි, කොහෙන් හෝ අහුලාගන්නා ඒ ප්‍රේමය මුල සිට අගටම පැණි බේරෙන එකක් විය යුතුයි කියලා.ඉතිං අපේ තාරුණ්‍යය ඒ කාරණා සම්පූර්ණ කරන්ඩ ව්‍යාජ හැඟීම් ඇතුලෙ වල්මත් වෙනවා.

අපි පව් !


25 July 2011

පංති භේද




එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

21 July 2011

හූනා



බළලෙක් පැන්නම
නැට්ට කඩා දාල දුවන
හූනා ඔයා
නැට්ට මම
හූනට වැවුනට
නැට්ටක්
නැට්ටට වැවෙනවෑ
හූනෙක්

18 July 2011

මිටිය ?


අපිට මේ දවස්වල එග්සෑම්.මේ දවස්වල කියන්නෙ අද උදේ තිබ්බා එක විශයක්.හෙට දෙකක් තියෙනවා.අනිද්දට තව එකක්.ඉංඅනිද්දායිං ඉවරයි.එග්සෑම්නං ආයෙ තියෙයි.ඒත් මම ඉවරයි.මේක මේ එග්සෑම් ගැන කතාවක් නෙමෙයි.වෙන එකක්.

ඉතිං මෙහෙම එග්සෑම් ළං උනාම අපි හෝ ගාලා හොටු පෙරාගෙන කබ කඩ කඩ පාඩම් කරනවා.පාඩම් කරනවා කියන එක එච්චර උචිත නං නෑ.මොකද අපි කරන්නෙ නිකං අලවගන්න එක.එග්සෑම් එකේදි ඒ ටික හැලුවා, එච්චරයි.ඊට පස්සෙ ඔළුවෙ මොකුත් නෑ.මේ විභාගෙ අස්සෙ අලවන්නෙත් නිකං කෙළ ගාලා වගේ බොහොම යාන්තමට.ඉතිං ඔහොම නිසි වෙලාවට පාඩම් නොකිරීමේ විපාක සිහිකරමිං උගත් පාඩම් හා නැවත මුහුණ දීමේ කමිටුවක් එහෙම හදාගෙන ඊළඟ පාර විභාගෙ කරනව කියල හිත හිත කයි දි දී  ගජරාමෙට වැඩ කරගෙන යන අතරෙත් අපිට එන්නෙ මාර ප්‍රශ්න තමයි.

මේ ප්‍රශ්නෙ ඇති උනේ අපේ බෝඩිමේ තියෙන මිටියක් සම්බන්ධයෙන්.මිටියක් කියන්නෙ ඔය වඩුමඩුවල තියෙන ජාතියෙ එකක්.දැං මේ ප්‍රශ්නෙට උත්තරය විදිහට සිතුමා ගොඩනගපු සංකල්පය මම මුළින් කියල ඉන්නං.

ඔන්න ඉස්සර කාලෙ එක මනුස්සයෙක් තමංගෙ කුඩා මොළේ පාවිච්චි කරලා මිටිය කියන උපකරණය හොයාගත්තා.ඉතිං මේක ලොකු සොයාගැනීමක් නිසා හෙන ලොකු සමාජ කතිකාවතක් ගොඩ නැගුනා.ඉතිං මිනිස්සු කඩ පොළේදි, බස් ස්ටෑන්ඩ් එකේදි එහෙම හම්බ උනාම කියන්ඩ උනාලු "මේ දන්නවද වැඩක්, අළුත් හොයාගැනීමක් කරල කියල ඊයෙ නිවුස්වලට කිව්වනෙ." "ආ ඔව් ඔව් මමත් අහගෙන.මොකක්ද මේ මිටිය කියල එකක්ලු නේද?"


ඉතිං ඔහොම කාලයක් ගියාට පස්සෙ මේ මිටියෙං මොනවද කරන්ඩ පුළුවං කියල මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති උනාලු.ඉතිං ඒ ගැනත් ලොකු සංවාද එහෙම ඇති උනාලු.ස්ටේශන් එක ඉස්සරහා හෑන්ඩ් බිල් බෙදුවලු.විපක්ෂය පුවත්පත් සාකච්චා තියල මේ ගැන ආණ්ඩුවෙං ප්‍රශ්න කළාලු.ඊට පස්සෙ ආණ්ඩුව මේ ගැන හොයන්ඩ කමිටුවක් එහෙම පත් කරලා බජට් එකෙනුත් සෑහෙන ගාණක් ඒ වෙනුවෙන් වෙන් කළාලු.ඊට පස්සෙ සෑහෙන්ඩ පරීක්ෂණ එහෙම කරලා මිනිස්සු හොයාගත්තලු 'ඇණ'.

ඔන්න සිතුමාගේ විසඳුම.අපිට ආව ප්‍රශ්නෙ තමා මුළිං හොයාගත්තෙ මිටිය ද? ඇණ ද? කියන එක.

ඔය අනුව යමිං අපිට ආව තවත් ප්‍රශ්නෙකට සාර්ථක උත්තරයක් දුන්නා විකියා.

මිනිස්සු මුළිං රෙදි හෝදන සබං හොයාගත්තලු.කාලයක් පාවිච්චි කරද්දි මිනිස්සුන්ට තේරුණාලු මේක ඔක්කොම එකපාර ගානවට වඩා කෑල්ලක් කපලා ගත්තම නාස්තිවෙනව අඩුයි කියලා.ඉතිං ඊටපස්සෙ කට්ටියම සබං කෑල්ල දෙකට කපලා පාවිච්චි කරන්ඩ පටං ගත්තලු.ඔන්න දැං ගෙවල්වල හරි අවුල් ලු.මොකද පාං කපන පිහියෙ සබං ගෑවිලා.පාංවල සබං ගෑවිලා.ඒවා කාලා හෝ ගාල බඩ යන්න ගත්තලු.ඊට පස්සෙ මිනිස්සු මේ සබං කපන්න විකල්පයක් හොයාගෙන හොයාගෙන ගිහිල්ලා හොයාගත්තලු 'නූල'. මං කියනවට කපල බලන්න.නූලෙං සබං කැපෙනවා මරුවට.......

16 July 2011

මක්ෂිකා


උඹ
මැස්සෙක්
කැරකිලා ඇවිත්
තුවාලෙම වහන
කොච්චර එලෙව්වත්
ගාණක්වත් නැතුව
ආයෙත් ආයෙත්
හරි වැදගත්
රාජකාරියක් වගේ....

කේන්තියෙන් පිපිරි පිපිරි
අත ඉස්සුවත් මරන්ඩ
මම දන්නව
මට බෑ 
උඹ යයි පියාඹලා
වදින්නෙ මගෙ තුවාලෙටමයි
අනික
අප්පිරියයි මට
මරන්ඩ මැස්සෙක්

13 July 2011

මා ලියූ පළමු ලිපිය( සිංහලෙන්)

මා ඉංග්‍රීසියෙන් ලියා ඇත්තේද එකම ලිපියකි.



         මාගේ මිත්‍රයෙකු වන බූටා උගේ පාසල් කාලයේ සිට හදවතේ දරාගෙන ආ කුළුඳුල් දෙවෙනි හෝ තුන්වෙනි ආදරය වෙනුවෙන් පශ්චාත්තාප වෙමින් නොකා නොබී ජීවිතය නැති නාස්ති කරගන්නා බවට මට ලැබුණු ඔත්තුවක් නිසා මගේ හෘදයේ කන්තුක ගතිකරයේ සිටම අකර්මන්‍ය වී ගියේය.එනිසා මගේ ප්‍රතිපත්ති ඉවත දමා මිත්‍රයා වෙනුවෙන් ලිපියක් ලිවීමට මම බැරෑරුම් තීරණයක් ගතිමි.

උගේ මේ හදවත සොරාගත් කෙලි සිඟිත්ත මුස්ලිම්ය (මුගේ ශරීර අංගයකටද තර්ජනයක් ඇත ).මූට වඩා සෑහෙන්න බාලය(වයසින් පමණි.මුගේ තරම් බාල ගති ඇති එකෙක් මම මගේ ජීවිතේටම දැකලා හෝ අහලා හෝ නැත ).ඊටත් හපන් ඒකි මෑතකදී අඩු වයසෙන්ම බැඳලාය (දැං මුගේ ජීවිතේට ද තර්ජනයක් තියෙනවාය ).ඉතිං මාගේ මිත්‍රයාගේ නුවණැස පෑදීමේ තිර අදිටනින් යුක්තව මම ඌට ලිපියක් ලීවෙමි.

අන්තර්ගතය පිළිගැනීම හෝ නොගැනීම ඔබට බාර ය.



හිතවත් බූටා,

 උඹ තවම අර ලව් එක නිසා තරුණ ජීවිතය නිරපරාදේ නැති නාස්ති කරගන්නට යන බව දැනගන්නට ලැබුනා.තෝ මහ ලොකු ඇටකිච්චෙක් නොවුනාට කාගේ උනත් දරුවෙක් නිසාය මේ උඹගෙන් අහන්නේ.තොට අමු කැවිලා ද? නැත්නම් මේ හරි අමාරුවෙන් ලබාගත් මනුශ්‍ය ජීවිතේ හරි හැටි බුක්ති විඳීමේ ක්‍රමවේදය පිළිබඳ අවබෝදයක් නැද්ද? චවියා තණකොළ කෑ හැටිත්, චමිලයා බලාපොරොත්තු දී කඩකල හැටිත්, මම කෑ අසූචි කඳු පිළිබඳවත්, දේශානයාගේ අභිරහස් පෙම ගැනවත්, නයිසාගේ ඉතිහාසගත බූට් එක ගැනවත් උඹට මතකයක් නැද්ද?.

 උඹ ගම්පෙරලියේ පියල්ගේ චරිතය කරන්නද මේ හදන්නේ? ජිනදාස කලින් මළොත් හොඳය.නැත්තං උඹටත් වෙන්නේ ෆ්ලොරෙන්තිනෝ අරීසාට වෙච්ච දේය.ඌ කෙල්ලව සෙට් කරගෙන බඳින කොට කෙල්ලට හැට ගාණකි.ඌට හැත්තෑ ගාණකි.කෙල්ලෙක් නෙමෙයි ය.නාකි හම්පඩ මඟුලක් ය.නැත්තං උඹටත් දේව්දාස් කෙනෙක් වෙන්න පුළුවංය.ඒකට හොඳට බොන්න ඕනේය.බීලා නිතරම අඬන්න ඕනේය.අර වැඩේට ගණිකාවකුත් හොයාගන්න ඕනේය.අද කාලේ ගණිකාවෝ චාටර් නිසා උඹට කොන්ඩම් ගොඩකුත් ඕනෑය.

ප්‍රේමය ගැන ලෝකයා කියන දේ මම දන්නේ නැත.මම දන්නේ මෙච්චරය.ප්‍රේමයේ දිග අඩි 6කි.පළල අඩි 4 1/2කි.උඹ මෙයිට වඩා උසනම් අඩි 7ක් දිග ඇඳක් ගනින්.එතකොට ප්‍රේමයේ දිග තව අඩි එකකින් වැඩි වේ.ගෑනි මහතනම් උඹට ප්‍රේමයේ පළල තව අඩි එකකින් වැඩි කරගන්න පුළුවන්ය.හැබැයි එතකොට හරියන මෙට්ට තියෙනවාදැයි මම දන්නේ නැත.

ප්‍රේමය එච්චරටම ලඝු කළ නොහැකි බවද දනිමි.සැලකිය යුතු තවත් සාධක කීපයක් තිබේ.

-කොල්ලාට රැකියාවක් තිබිය යුතුය.
-බිරිඳ හා සිය මව අතර දුරස්තභාවය රැකෙනු පිණිස වෙනම පදිංචියක් තිබීම වඩාත් උචිතය.
-කෙල්ල පාරේ ගෙන යා හැකි විය යුතුය.
-කොල්ලා නොබොන එකෙක් විය යුතුම නැති උවත් බිව්වට පසු වලි නොදාන එකෙක් විය යුතුය.
-කෙල්ල කොල්ලාගේ මිත්‍ර සම්බන්දකම්වලට ඤරුඤුරු නොගෑ යුතුය.
-කෙල්ලට තේ එකක්වත් හැදීමට හැකි විය යුතු අතර කොල්ලාට ඒ මොන එක උනත් අගය කිරීමට තරම් ඉවසීමක් තිබිය යුතුය.
-කෙල්ල දිනපතා නාන දත් මදින එකියක් විය යුතුය.(සැලකිය යුතුයි: කොල්ලාද මෙම සාදකය සපුරා නැත්නම් එතරම් ගැටළුවක් පැන නගින්නේ නැත.)
-කොල්ලා ඉඳ හිට හෝ කෙල්ලට ජංගියක්වත් අරන් දිය යුතුය.

ඉහත සාධක ඇත්නම් ඔබ දැන් ප්‍රේම කිරීමට සූදානම්ය.වෙන මගුල් නොසොයන්න.හැම එකම සෙට් වෙන තුරු සිටියොත් තුංමංහන්දියේ අබිලිං මාමා වගේ ගෙදෙට්ටම නාකි වෙන්නට වෙනවාය.ඉහත සාධක නොමැතිනම් ගෑනු අමතක කරන්න.පොතක් පත්තරයක් බලන්න.ක්‍රිකට් බලන්න.පන්සල් යන්න.බණක් භාවනාවක් කෙරේ සිත යොමු කරන්න.එය වඩා උචිතය.

ඉතිං මගේ මිත්‍රයා මම උඹට මේ මිත්‍ර සෙනෙහසින් කියන්නේ.ඕක අමතක කරපන්.කොන ගැන හිතපන්.ලෝකය කවදාවත් ගෑනුන්ගෙන් හිඟවෙන්නෙ නෑ.

මීට උඹේ සදාදර මිත්‍රයා
දිනුක ජයකොඩි

09 July 2011

ආශ්චර්යයේ දිවයින 3

ආශ්චර්යයේ දිවයින 2


ගොඩේ මම පොෂ් වූ හැටි....




ප්‍රෙස් කොංෆරන්ස් එක එලට ගියේය.ලොක්කා හෙවත් අප මහ රජතුමා මගේ ගුණ වැණුවේය.මගේ දක්ෂතා පට්ට ගැහුවේය.මම කළ නොකළ කී නොකී දහසකුත් එකක් දේ ගැන පට්ට විද්‍යුත් ටීකාවක් දුන්නේය.සමහර පත්තර අක්කලා ඇඬුවෝය.මගේ 'ක්ලෝස් අප්' ඡායාරූප ගත්තෝය.රෙකෝඩර් ගෙනාපු උං රයිටිං පෑඩ් ගෙනාපු උංට කින්ඩියට හිනා උනෝය.රයිටිං පෑඩ් ඉවර උනු උන් කලිසං කකුල්වලද මගේ විස්තර ලියා ගත්තෝය.මගේ හාවඩ් විශ්වවිද්‍යාල දිවිය, චීනයේ ලද ගුවන් පුහුණුව, ගැන මෙන්ම මා නාසා ආයතනයට විසිටිං ලෙක්චර් දීමට යාම ගැනද අතේ පැලවෙන කතා මහ රජතුමාගේ ලේකම් මහත්තයාගේ ශ්‍රී මෞඛද්වාරයෙන් පිටවෙද්දී මම දැං දැං හෙණයක් පාත් වේ දෝ හෝ යි විමතියෙන් භ්‍රාන්ත වී බලා සිටියෙමි.

නැත.කිසිඳු හෙණයක් පාත් නොවී ලේකම් මහත්මයා කතාව ඉවර කළේය.එක්කෝ වජ්‍රහස්තයාගේ වජ්‍ර ඉවර වෙලා ඇතිය, නැත්තං හෙණ එවලා එවලා ශක්‍රයාටම එපා වෙලා වෙන්න ඕනේය.

ඊළඟට මගේ වාරය ආවේය."මහත්මයාට කොහොමද දැනෙන්නේ මේ මොහොතේ ?"සියළු නෙත් එක්වරම මා වෙත යොමු වූ විට මට හරි කෝළ බවක් දැනුනේය.රජතුමා මාවෙත 'යස් යූ කැන්' බැල්මෙන් බලා මා ධෛර්යවත් කළේය.මොන ප්‍රශ්නයට උනත් මට දෙන්න තිබුණේ එක උත්තරයකි.මම සියළු පුරුෂ ධෛර්යය මගේ මුඛයට ගෙන මගේ ව්‍යක්ත හරබර ගුණ වර්ණනාව පටන් ගතිමි.

"ඇත්තටම මේ මොහොතේ මම බෙහෙවින් ඉස්තූතිවන්ත වෙනවා අපේ අතිගරු මහ රජතුමාට.අපේ අතිගරු මහ රජතුමාගේ අප්‍රතිහත උනන්දුව කැපවීම නොතිබෙන්නට මට මේ අවස්තාව නොලැබී යන්නට තිබුණා.මට විතරක් නෙමෙයි කිසිම ශ්‍රී ලංකිකයෙකුට මේ වගේ වැදගත් සන්දිස්ථානයක් දැකගන්නවත් නොලැබෙන්න තිබුණා.අපේ අතිගරු මහ රජතුමා මේ රටේ තිස් වසරක් තිස්සේ තිබිච්ච ඒ අමානුශික ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කරලා අපිට නැවතත් නිදහසේ හුස්මගන්න අවස්තාවක් ලබාදුන්නා.අපේ අතිගරු මහ රජතුමාගේ සංවර්ධන සංග්‍රාමය මග නැගුම, ගම නැගුම, දිවි නැගුමෙන් නොනැවතී හඳ නැගුම දක්වාම ව්‍යාප්ත වූ අවස්තාවක් මේක.අපේ අතිගරු මහ රජතුමා එදා ත්‍රස්තවාදය පරාජය නොකරන්න අපි තාමත් බයෙං ජීවත් වෙන ජනතාවක්.අපේ අතිගරු මහ රජතුමාගේ යෝධ සංවර්ධන වැඩපිළිවෙල යටතේ මම හඳට ගිහින් එන ටිකට මේ රට බස්නාහිරින් අක්කර දාස් ගාණක් මුහුදෙන් අයිති කරං තියේවි.තව වරායවල් දෙක තුනක් හැදුවොත් තව අක්කර දාස් ගාණක් මුහුද රට ඇතුළට ඇවිත් තියේවි.. ඌයි.."මහ රජතුමා මගේ කකුල පෑගූ විටය මට තේරුණේ මගේ කට වැරදුණු බව.කට පාඩම් කරගෙන ආ කතාව තව දිගට තිබුණද මම එතනින් කතාව හමාර කිරීමට තීරණය කළෙමි.

ලොක්කාගේ පබ්ලිසිටිය එළට වැඩ කළේය.එක රැයින් මම රටේ වීරයා බවට පත් වීමි.මගේ නමින් ෆේස්බුක් ගෲප් එකක්ද හදලා කියලා එහා ගෙදර පොඩි එකා කීවේය.රියැලිටි වැඩසටහනක විනිශ්චයාසනයක්ද මට පිරිනැමුණි.ජංගම දුරකතන සේවා සමාගමක වෙළඳ දැන්වීමකටද පෙනී සිටින්න ඇරයුම් ලදිමි.පත්තරවල ලොක්කාගේ ඡායාරූප කීපයක් අඩු කොට මගේ එව්වා කීපයක් පළ විය.මගේ ජංගම දුරකතනයටද නිමක් නැත.කලින් එයින් නැගුණු මගේ පෙම්වතියගේ හා අම්මාගේ කර්ණකඨෝර නාදය වෙනුවට මියුරු සියුමැලි ළපටි හඬවල්ද නැගෙන්නට විය.පෙම්වතියද 'ගුඩ් මෝනිං' කියා කෙටි පණිවුඩයක් එවලාය.අම්මාද තේ එක ඇඳ ළඟටම ගෙනත් දුන්නාය.ඔයින් මෙයින් මට තේරුණේ ජනප්‍රිය වෙන එක හරි ආතල් කියාය.මුන් මේ ජනප්‍රිය වෙන්න එකා එකා කා කොටා ගන්නේ ඇයිද කියා මට තේරෙන්නේ දැන්ය.

ලොක්කාගේ උපදේශකයෙකුගේ උපදෙස් පිට මම රූපලාවන්‍යාගාරයකට කුදලාගෙන යනු ලැබීමි.මගේ කසිකබල් පෙනුම ජනප්‍රියතාවට ගැලපෙන්නේ නැතිලුය.රූපලාවන්‍යාගරයේදී එහෙන් මෙහෙන් පාට කළ හැම තැනම සිදුරු කළ කෙල්ලෝ රොත්තක් මා වට කරගත් හ.ඔවුන්ට අනවශ්‍යයැයි හැඟුණු මගේ සෑම සියළු කෙස් ගසක්ම රෝමයක්ම ඔවුන් කපා දැමූහ.නැතහොත් උගුල්ලා දැමූහ.මගේ නියපොතු කැපූහ.මූන මසාජ් කළෝය.මැනිකියෝ කළහ.පෙඩිකියෝ කළහ.ක්ලෙන්සර් කළෝය.බ්ලීච් කළෝය.පර්ම් කරලා ටින්ට් කරලා කර්ල් කළෝය.නැවත ස්ට්‍රේට් කළෝය.කන විද්දෝය.ඇහිබැම ලඟ හිලක් විද ඇණයක් බැස්සුවෝය.මෘත ශරීරාගාරයකදී මිනියකටවත් නොදෙන වද මට දුන්නෝය.මම රූපලාවන්‍යාගාරයෙන් එළියට ආවේ අළුත් වචන රැසක් මගේ වාග් කෝෂයට එක්කරගෙනය.නමුත් ඒවායේ තේරුම් අසාගන්න මට බැරි විය.අසා ගත්තද මතක හිටින්නේ නැති බව ෂුවර් ය.

ඉන්පසු දන්ත ශල්‍යාගාරයකට මා රැගෙන ගියෝය.එහිදී නරක් වූ දත් ගලවා සමහර ඒවා පුරවා ඉතුරු එව්වායේ බුලත් කහට යවන  ලදී.දවසට දෙවරක් බැරිනම් එක්වරක්වත් දත් මදින ලෙස වෛද්‍යවරයා මට තරයේ අවවාද කළේය."දත් බුරුසුවක් ගන්නවත් සල්ලි තිබුන්නැහැනෙ දොස්තර මහත්තයෝ.දැන්නං පුළුවං ගමටම උනත් අරං දෙන්න."මම කීවෙමි.

ඉන්පසු සුවිසල් ඇඳුම් ආගාරයකට මා ගෙන ගියෝය.එහිදී මාගේ සරමත් කමිසයත් ගලවා වීසි කරන ලදී.මගේ යට ඇඳුම් මම කාටවත් පේන්න වැලටවත් දාන්නේ නැත.ඒවා පුරාම වෙඩි වැදිලා වාගේ හිල් ය.ඒවා දැකලා මේකේ කෙල්ලෝ බිම බලාගෙන හිනා උනෝය.හිනාවෙලා ඇතිවූ පසු මට 'කොල්වින් කෙලින්' යට ඇඳුමක් දුන්නෝය.ඉන්පසු මට දණහිස ළඟින් ඉරුණු හමගිය ඩෙනිමක් ඇන්දුවෝය.ඒක පස්සේ අම්මාට දීලා මහගන්න ඕනේය.මට හිර ටී කමිසයක්ද ඇන්දුවෝය.ඡායාරූප ශිල්පියෙක් පැමිණ මා විවිධ ඉරියව්වලින් තබා ඡායාරූප රැසක් ගත්තේය.
"හරි.ඒ ෆොටෝ ටික ඔයාගේ වෙබ් සයිට් එකටයි ටැබ්ලොයිඩ් පත්තරේක පිටිපස්සෙ පිටුවටයි.ජනප්‍රිය උනාම තමංගෙ වෙබ් සයිට් එකේ තියෙන්න ඕනෙ හොඳ සෙක්සි ෆොටෝ ටිකක්.හැබැයි ජනතාව ඉස්සරහට යනකොට හරි සිල්වත් විදිහටයි යන්න ඕනෙ.තේරුණාද?.දැං ඔය කරාබු යි, කලිසමයි, කමිසෙයි ගලවලා මේ ජාතික ඇඳුම ඇඳ ගන්න."රාජ උපදේශකයා පැවසීය.

අම්මෝ රෙද්දෙනුත් දැනෙන සනීපය!. 'පට සළු සැප රැපැයි නිතී'  කසීසළු කියන්නෙ මෙව්වාට වෙන්න ඇතිය.අනේ දෙවියනේ මේ ජනප්‍රිය සෙල්ලමේ චිරාත් කාලයක් යෙහෙන් විරාජමාන වීමට මට ශක්තිය ධෛර්යය ලබා දෙනු මැනවි!.....

07 July 2011

ණය

ප්‍රේමය කියන
විකෘති සංකල්පෙට
ණය ගැතියි මං
මොකද
මේ හම්පඩ මටත්
හැන්සම් කියන
කෙනෙක් ඉන්නෙ
ඒ නිසානෙ

05 July 2011

ආශ්චර්යයේ දිවයින 2

ආශ්චර්යයේ දිවයින 1  මෙතනින් බලන්න.

මගේ කොට්ටෙටත් වැටුණු රජ කඳුළු


රජතුමා කඩාගෙන බිඳගෙන කෙලින්ම ගියේ මගේ කාමරයට ය.මටත් වඩා උන්නාන්සේ මගේ කාමරය දන්නා හැඩය.මමත් මුලු මහත් හමුදා නිළදරුවොත් උන්නාන්සේ පස්සේ දායාද ඉල්ලමින් යන රාහුලලා මෙන් ඇදුනෙමු.අම්මා තවම ඇඬූ කඳුලෙනි.අයියා පේන්න නැත.මතට තිත වැඩසටහන නිසා අයියා රජ්ජුරුවෝ ලඟට එන්නට බය ඇති.රජ්ජුරුවන් වහන්සේ ලඟින්නම් මට ටිකක් සැර ඌෂ්ණයක් ආවේ ය.

"මේකයි ජයකොඩි" රජ්ජුරුවෝ මගේම නමින් මා ඇමතූ සේක.මගේ සියලු රස නහර පිනා ගියේය.අම්මාගෙන්ද හිනාවක් නැඟෙනු මට ඇසිණි.අම්මාට ද පොල් ඇට්ටි ටික අමතක වී ඇතුවා මෙනි.මම දෙකට නැමුනෙමි.උන්නාන්සේ මගේ ඇඳ උඩ වාඩි වූ සේක.මගේ පැද්දෙන, හපුටු ගඳ නික්මෙන මගේ ඇඳ, මගේ සියලු කැත කුණු දරා පුරුදු මගේ ඇඳ මත ඒ රාජ පස්ස තබා උන්නාන්සේ වාඩි වූ සේක.මගේ අසරණ ඇඳට කෙඳිරි ගෑවිනි.

"මේකයි, ඔබතුමා දන්නවනෙ මේ රටේ අපිට ඕනෙ විදිහට වැඩක් කරගන්න මොළයක් ඇති එකෙක් හොයාගන්න තියෙන අමාරුව.අපි ළඟ ඉන්න උන්ගෙ කට විතරයි.ඒක වරද්දගෙනත් කොච්චර ප්‍රශ්නද.ඔක්කොම යන්නෙ මගෙ කර උඩින්නෙ අයිසේ."රාජ කඳුළු හෝ ගාලා වැක්කෙරෙන්නට පටන් ගත්තේය.හමුදා නිළදරුවෝ ද පිළිවෙළින් අඬන්න පටන් ගත්තෝය.

"ඔව්වා ගණන් ගන්න එපා ලොක්කා.දැං මොනවද මගෙන් වෙන්න ඕනෙ" මට මිනිස්සු අඬනවා බලං ඉඳීම අප්පිරියා නිසා ඇසුවෙමි.
"හිත හැදෙන්නවත් මොනව හරි කියන්ඩ ඉන්නෙ තමුසෙල වගේ උන් විතරයි.අරුං ඔක්කොම මග ඇරල යනවා.පල් හොරු" උන්නාන්සේ සාටකයෙන් කඳුළු පිසදා ගත් සේක.ඉන්පසු සරම උස්සා නහය එහි සඟවා හොටු හූරන තුරු ඉවත බලා සිටි මම නැවත ප්‍රශ්නාංකය දල්වා උන්නාන්සේ දෙස බැලුවෙමි.
"අපි හැදුවා රොකට එකක්.හඳට යන්න ඒක තව සතියකින් අභ්‍යාවකාශගත කරන්න හිතං ඉන්නවා"
"ටීවී එකේවත් කිව්වෙ නැහැනෙ.පුදුමයි" මම කීමි.
"අපිට කළිං එව්වා වැරදුනේ එතන තමයි.අපි දැනං හිටියෙ නෑ පම්පෝරි ගැහිය යුතු විදිය.හැමදාම අපි කළේ වැඩක් පටන් ගන්න මාස ගාණකට කලිං ඉඳන් පටංගන්න එක පම්පෝරිය.ඊට පස්සෙ හෙන ලොකුවට මල්වෙඩි ගහලා විසිල් ගහලා වැඩේ පටං ගන්න.පස්සෙ විපක්ෂෙ උං අහද්දි අරකට මොකද උනේ?.අරක ඉවර කරන්නෙ කවද්ද?.අපිට කට උත්තර නෑ.ඉතිං මෙදා පාර අපි තීරණය කළා හොරෙං පටං ගන්ඩ වැඩේ.කොරලා ඉවරවෙලා දෙනවා පුල් පබ්ලිසිටියක්.ටීවී එකේ ඇඩ් දානවා.පාරෙ කටවුට් ගහනවා.නිවුස් වලට පෙන්නනවා.හැම පත්තරේම දානව ෆුල් පේජ් ඇඩ්, නළු නිළියො දෙතුං දෙනෙක් ලව්වා හොඳ කියෝලා දානවා ටීවී එකේ.'මීට ගම් වැසියෝ' කියල හැම ගමකම අපි ගානෙ බැනර් දානවා.නාට්‍ය යද්දි යටිං අර පොඩි තීරුවෙත් දානවා." කියලා හති වැටී එතුමා නතර වූයේය.
"ඉතිං දැං මම මොකද කරන්ඩ ඕනෙ.මට ඔය පම්පෝරි කතා ලියලනං හුරු නෑ.මට පුළුවං කාටහරි මඩ ගහන්න විතරයි."මම හිස කැසුවෙමි.
"නෑ පබ්ලිසිටි වැඩේට මට කට්ටිය ඉන්නවා.මට ඕනෙ හඳට යන්න කෙනෙක්."
මට මූත්‍රා අඩස්සියක් හැදුනා මෙන් දැනුනි.මොන මළ ඉළව්වක්ද මේ.හඳට යන්න මම?.මේ පුංචි දිවයිනෙන් එළියට ගොස් නැති මම අඩුම තරමේ එයාර් පෝට් එකකටවත් ගිහින් නැති මම?
"මට මට......."මට නිදහසට කරුණක් මතක් නොවිණි. "මේ පාස් පෝට් එකක් නැහැනෙ"
"ඒ මඟුළක් ඕනෙ නෑ.මම තමුසෙව යවන්නෙ මම කියන දේ ඒ විදිහට කරයි කියල මට විස්වාස තමුසෙව නිසා.තමුසෙට කරන්ඩ තියෙන්නෙ රොකට් එකට නඟින්න කළිං තියෙන ප්‍රෙස් කොංෆරන්ස් එකේදි මගේ ගුණ වණන්න.මගේ නම පුළුවන් තරං වැඩි වාර ගාණක් කියන්න.මගෙ පුතා ගැනත් ටිකක් කියන්ඩ ඕනෙ.නැත්තං මට ගෙදර ගිහිං කනක් ඇහිල ඉන්න නැහැ.අපේ මායියා ගන්නෙත් උගෙ පැත්තමයි."
අනේ මොන තරං ප්‍රශ්න තියෙන මනුස්සයෙක්ද.නළල රැළි වැටී ඇත්තේ දුක් කම්කටොළු නිසාම වෙන්නැති.
"ඊට පස්සෙ හඳට ගිහාම ඉස්සෙල්ලම කියන කතාවක් තියෙනවනෙ.නිකං උදාන වාක්කියක් වගේ එකක්."රජ්ජුරුවෝ දිගටම කියාගෙන යන්නෝය.
"ඒ කිව්වෙ" මට ඔය වගේ එව්වා ගැන එච්චර තේරුමක් නැත.
"ඒ කිව්වේ, දැං ඔය නීල් ආම්ස්ට්‍රෝං ගිහිං ඉස්සෙල්ලම කිව්වෙ මේක මිනිහෙක්ගෙ පොඩි අඩියක්ය, ඒ උනාට මිනිස් සංහතියෙම යෝධ මෙව්වා එකක්ය කියලා.ඒක ඒ යකා ඒ වෙලේ හිතලා කියපු එකක් නෙමේ බං.සෑහෙන්ඩ කට පාඩං කරවලනෙ යවන්ඩ ඇත්තෙ.ඉතිං තමුසෙ ගිහිල්ලා කියන වාක්කියෙ මං ගැන මොනා හරි කියන්ඩ ඕනෙ.නැත්තං මෙච්චර කට්ටක් කාලා, ලෝකෙ තියෙන පොරොන්දු දීලා ණය අරං, එක එකා යටි මඩි ගහද්දිත් මේ කරපු ඉලව්වෙ මට වෙන්නෙ අත ලෙව කාල නිකං ඉන්ඩ.තමුසෙට තේරෙණවනෙ අපේ ඔය අනිත් එකෙක් යැව්වොත් උං කරන්නෙ උං ගැන හෙනට පුම්බලා කියලා මාව බල්ලට දාන එක."රජ්ජුරුවෝ නැවත ටැප් එක ඇරියෝය.උන්නාන්සේ මගේ කොට්ටය ගෙන එහි මූණ ඔබාගත් සේක.උන්නාන්සේගේ දුකේ තරම උන්නාන්සේට කොට්ටයේ ගඳ නොදැනීමෙන්ම මට වැටහුනි.මගේ හදවත පාණ්ඩුකම්බල ශෛලාසනය මෙන් උණු විය.

"ඔය කඳුළු වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ දෙයියො.මම හඳට නෙමෙයි ඉරට උනත් යන්නං.දැං ඇඬුවා ඇති නේද ......"මට හීල්ලුනි.
"එහෙනං මං යන්නං."උන්නාන්සේ මගේ කොට්ටයට අන්තිම හොටු ටික ද සීරූහ.අද රෑට නිදියන්න වෙන්නෙ ඉහට තිබූ කොට්ටයද නැතිවය.හෙට උදේම කොට්ටය ගැඹුරු වලක් කපා වල දැමීමට මම ඉටා ගතිමි.
"මං කියන්නං පස්සෙ කියන්ඩ ඕනෙ දේවල්.දැනට මේ ටික ලෑස්ති කර ගන්ඩ."උන්නාන්සේ මට කොලයක් දී පිටවී ගිය සේක.සාලයේදී අපෙ අම්මා සමඟ සතුටු සාමීචියේ යෙදී ඉන්නවා මෙන් පේන ලෙසට ඡායා රූපයකට ද පෙනී සිටි උන් වහන්සේ ඉන්පසු පිටවී ගියේද තේමා වාදනයත් සමඟය.

උන්වහන්සේ යන විටත් හෙලිකොප්ටරය පණ ගන්වා තිබූ බැවින් අපි කවුරුත් දෙවෙනි රාජ දර්ශනයක භීතියෙන් බිම බලා ගතිමු.සියල්ලෝ නික්ම ගිය පසු මම අර කොලයේ වූ දෑ කියවන්නට පටන් ගතිමි.

සුදු කැන්වස් සපත්තු ජෝඩු 1 යි.
නිල් කොට කලිසම්
සුදු ඇඳ රෙදි
පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 3 යි
ට්‍රැක් බොටම්
දත් බුරුසුවක් සහ දත් බෙහෙත්
හාෆ් ශීට් හා සී ආර් පොත්

ලොක්කා වැරදිලා මට වෙන කොලයක් දීලාය.මේ දවස්වල කාට උනත් දෙන්න නිතරම ගෙනියනවා ඇත්තේ මේ කොල ය.

03 July 2011

රමණයත් අහිමි හිමි


දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

30 June 2011

ආශ්චර්යයේ දිවයින


මහ රජතුමා මගේ නිවසට සැපත් වූ වගයි....


අද මගේ ජීවිතයේ ආතල්ම දවසය.ආතල් කන් දෙකෙන් බේරෙන දවසය.අහල පහල උන්ගේ ඊර්ෂ්‍යාවට මා ඉළක්ක වන දිනයයි.මට පමණක් නොව ඕනෑම තැනක පම්පෝරි ගැසිය හැකි වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති ප්‍රෞඪ ජාතියක විශිෂ්ඨත්වයේ හිණි පෙත්තට නගින දිනය අදයි.මෙතරම් විදෙස් අත පෙවීම් දේශීය කුමන්ත්‍රණ හා පාවා දීම් මැද ජීවත් වන සකල ශ්‍රී ලාංකිකයන්ගේ සන්තුෂ්ටියේ අග්‍ර ඵලය බුක්ති විඳින්න ලැබෙන දිනය අදය.

ප්‍රථම ශ්‍රී ලාංකිකයා රැගත් ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම අභ්‍යාවකාශ යානය මේ පුණ්‍ය භූමියෙන් වියුක්ත වන දිනය අදය.මහ රජතුමාගේ ප්‍රඥා මහිමය යටතේ සමුර්දියෙන් සෞභාග්‍යයෙන් වැජඹෙන මේ ධරණී තලයේ කළ යුතු සියල්ල අවසන් නිසා සිය සංවර්ධන වැඩ පිළිවෙල විශ්වීය කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ප්‍රථම ලාංකිකයා චන්ද්‍ර ගත කිරීමේ දැවැන්ත මෙහෙයුම මෙයයි.මහ රජතුමා සිය දෙවෙනි පදවි ප්‍රාප්තියේදී සිය යටත් වැසියන්ට දුන් ප්‍රතිඥාව කෙටි කලකින්ම මල් පල ගැන්වෙන දිනය අද ය.මේ ප්‍රථම ලාංකිකයා වීමේ භාග්‍යය ලැබුවේ, මේ ප්‍රීති කුසලානයෙන් පානය කිරීමේ වරම් ලැබුවේ මේ මම ය.

අම්මා විසින් අපතයා ලෙස ද පෙම්වතිය විසින් නිකමා යනුවෙන්ද අමතනු ලැබූවත් මේ රටේ ජනතාවටත් මහ රජතුමාටත් මගේ අගය වැටහී ඇත.ඉන්දියාවට හෝ ඇමරිකාවට නියෝජිතයෙක් යවනවාට වඩා ඉතා බැරෑරුම් වගකීමකි මේ මට පැවරෙන්නේ.මේ වගකීම පැහැදිලි කොට මටම පවරා දීම සඳහා අප මහා රාජෝත්තමයාණන් වහන්සේ මගේ පුංචි කුටියටම එදා රාත්‍රියේ වැඩම කළ ආකාරය මගේ මතකයේ මියෙන තුරා පවතිනු ඇත.

මහ රෑ දෙගොඩ හරි ජාමේ එක් වරම හමුදා භටයෝ පනහක් පමණ මගේ නිවසේ මගේ කුටියට කඩා වැදුනෝය.මම වහාම ඇඳෙන් පැන බිම තිබූ සරම ඇඟ ලා ගතිමි.එතෙක් ඉවත බලා සිටීමට හමුදා නිළදරුවෝ කාරුණික වූහ.
"මොකද මේ මාව මොකක් හරි අපරාධෙකට පටලළා ද? නැත්තං චැනල් ෆෝ එකේ සාක්කි කාරයෙක් විදිහට මාවත් පෙන්නුව ද?මම ඉතිං රජතුමාට එක එක ඒව කිව්වට හොඳ රාජ පාක්ෂිකයෙක්"මම කබ කඩමින් පැවසුවෙමි."නෑ නෑ මිස්ට ජයකොඩි" කියමින් හමුදා නිළධාරියා කතාව පටන් ගත්තේය.
"අම්මේ මෙන්න මූට හමුදාවෙ අය මිස්ට ජයකොඩි කියනවෝ.ඕකට මිස්ට ජයකොඩි කියනවනං මට ජයකොඩි උතුමාණෝ කියලවත් කියන්ඩ ඕනෙ."අපේ අයියා සාලේ සිට බෙරිහන් දුන්නේය.
"උඹ කට වහපං.ඌ ඔය අපත වැඩ කළාට උඹට වඩා වැදගත් විදියට ඉන්නවා."අම්මා කොඳුරනු මට ඇසුනි.
"මේකයි මිස්ට අපිට මිස්ටගෙ කාමරේ පරීක්ෂා කරන්ඩ ඕනෙ."හමුදා නිළදරුවා කීවේය.
"ඒ අහවල එකකට ද?.මේකෙ මම ආයුද තියං ඉන්නව කියල හිතුව ද?.කුඩු ගංජා පාවිච්චියකුත් නෑ දැං.සල්ලි නැති නිසා.ඔය ඉතිං වැල ටිකක් නං...."මම හිස කසන්නට වීමි.
"නෑ නෑ මිස්ට.මේකයි, තව ටිකකිං මහ රජතුමා මෙතනට සැපත් වෙනවා.මෙව්වා ඉතිං කළ යුතු පරීක්ෂා විතරයි.නැතුව අපිට මිස්ටව සැක නැහැ."
"මළ කෙළියයි.උන්නාන්සෙට ඉඳගන්නවත් දෙන්නෙ මොකේ ද? අම්මා සීනිත් ඉවරයි කිව්වා.තේ ටිකක් වත් දෙන්න විදිහක් නැහැ."මම ඇඳ මත වාඩි උනෙමි.
"මහ රජතුමා වැඩි වෙලා ඉන්නෙ නැහැ.වැදගත් දෙයක් කතා කරන්ඩ එනව කිව්වෙ.ඉක්මනට ආපහු යනවා."හමුදා නිළදරුවා මාව අස්වසන්න විය.
"හරි ඕනෙ මගුලක් පරීක්ෂා කරන්ඩ.මගෙ කොම්පියුටර් එකේ ඔය සමාජ විරෝධී එව්ව මෙව්ව ටිකක් ඇති.ඒත් රාජ්‍ය විරෝධී ඒව නෑ." හමුදා නිළධාරියෝ පිළිවෙලට පරීක්ෂාව පටන් ගත් හ.මට ද සොයාගැනීමට අවශ්‍යව තිබූ මගේ යට ඇඳුම් කීපයක්, මගේ පැරණි පෙම්වතියගේ ඡායා රූපයක්, කැරපොත්තන් 8ක්, හූනන් 5ක්, මකුළුවන් 11ක් හා එක් පත්තෑයෙක් ඔවුන් සොයාගත් දේ අතර විය.
මේසයේ පොත් අතර තිබී එක් බටයෙක් පුවත් පතක් ඇද ගත්තේය.
"සර් ජේවීපී එකක්".හමුදා නිළධාරියාගේ ඇස් හීන් විය.
"ආ ඕක මම මේ මේසෙ පිහදාන්නයි, සපත්තු මදින්නයි අරං ආවෙ.අම්ම ඕනෙ කරන එකක් කියල හිතල පොත් අස්සෙන් දාන්න ඇති."මම හති ලෑවෙමි.
"කොහොමත් රජ්ජුරුවන් වහන්සෙට පේන්න තියන්න එපා.මිස්ටටත් නායක්ත්ව පුහුණුව දීල තමයි නවතින්නෙ." හමුදා නිළධාරියා මට රහසින් පැවසීය.
"මම මේක ගෙනියනවා මූලස්ථානෙට."හඬ නඟා පැවසූ ඔහු මට අනිත් අයට හොරෙන් ඇහැක් ගැහුවේය.අනිත් අයද එකිනෙකාට හොරෙන් මා දෙස අනුකම්පාවෙන් බැලුවෝය.මම හිත යටින් සැනසුම් සුසුම් හෙලුවෙමි.

ටික වේලාවකින් 'ගුඩු ගුඩු' ගාමින් මුළු පළාතම වියරු සුළඟින් ආලෝලනය කරමින් හෙලිකොප්ටරයක් අපේ මිදුලට සැපත් විය.අපේ නිවසේ වහලයේ උළු ටකරං පොල් අතු සියල්ල එහෙට සහ මෙහෙට විය.උනු සංගෙදිය හරියටම බලාගත හැකිවන්නේ ආයේ වහින කාලය ආවාමය.මිදුලේ පොල් ගස් තුනේම ඇට්ටි මෙන්ම කලටිද ඔක්කොම එක ගොඩේ බිම වැටිලාය.අම්මා හූල්ලමිං කම්මුලේ අත තබා ගත්තාය.

හෙලිකොප්ටරයේ තටු නවතින්නත් පෙර කොල්ලෙක් මෙන් ඔහු බිමට පැන්නේය.අපි කාගෙත් තාත්තා, ඉංදියාවේ නංගීගේ භාර කාරයා වන අපේ මහ රජතුමාගේ ශ්‍රී පාදස්පර්ශය ලැබීමට මා කුඩා කල දවල්ට වැලි බත් ඉවූ, රෑට චූ දැමූ අපේ මිදුලද වාසනාවන්ත විය.හෙලිකොප්ටරයේ හුළං සැරට සාටකය උඩ ගියේය.එය උන්නාන්සේ දෑතින්ම තද කර අල්ල ගනිද්දී සරම උඩ ගියේය.රාජ ඌෂ්ණයෙන් අපේ නෙත් බිමට හැරවුනි.

අපි නැවත නෙත් ඔසවා බලන විට උන්නාන්සේ දුවන්ට සැරසෙන ඉරියව්වෙං සිටගෙන ඉන්නවා දුටිමු.එවිට ගෝලයෙක් පැමිණ උන්නාන්සේගේ තේමා සංගීතය සිය ජංගම දුරකතනයෙන් වාදනය කරවද්දී උන්නාන්සේ අපේ නිවස දෙසට ගමන් ඇරඹූ සේක.රජතුමා අපේ නිවසට පා තබද්දී අම්මගේ නෙත් කඳුලෙන් බර උනේ රජතුමා පැමිණීමේ සතුටටද නැත්නම් වැටුණු පොල් ඇට්ටි ගැන සිතාදැයි මටනම් වැටහුනේ නැත.

අදට මෙච්චරයි.....

ඒ කිව්වේ මතු සම්බන්දයි....


27 June 2011

වර්තමානය උදෙසා අතීතය පාවා දීම


පාඩම් කරන්න හිතෙන්නෙම නෑ.විභාගෙ අත ළඟ.පුදුම කරුමයක් මේක.මෙච්චර දවස් රිපීට් නොවී ගොඩ ගිය එක මේ පාරනං හරියන්නැහැ.දෙය්යො ගොඩ දාද්දි දිගටම ගොඩ දාගෙන ගිහිල්ලා කෙළවද්දිත් දිගටම කෙළවනවා.එයා ඔය අපේ මිනිස්සු වගේ නෙමෙයි.එක හැන්දක් අතට ගත්තම එපා වෙලා අප්පිරිය වෙලා යනකං බෙදනවා ඒකෙන්ම.

මේ පාඩම් කරන්න නොහිතෙන්නෙනං කරුමෙකටමයි කියලයි මටනං හිතෙන්නෙ.මම කරුමෙ විස්වාස කරන්නැහැ තමයි.ඒත් මේ වෙලාවෙ මට විකල්ප මතවාදයක් නැහැ මෙතනට ආදේශ කරන්ඩ.මම අසරණයි.මම බෝධිසත්ව චරිතෙ රඟපෑවට පළ දෙනවනං දෙන් ඕනෙ තරං කරපු දහපදුරා වැඩ තියෙනවා.ඇත්තමයි මේ කියන්නෙ.ඇත්ත කියන්ඩයි බිම ඉඳගන්ඩයි බය කොල්ලෙක් නෙමෙයි මම.

මම අද ටියුට් එකකුත් අතේ තියාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නකොට මගේ මතක ගංගාව කැළඹිලා පතුලෙ තිබිච්ච දිය සෙවල බැඳිච්ච මේ සිදුවීම මගෙ මතකෙට ආවා.කෙනෙක්ට කියන්ඩ පුළුවං මේක පවක්ය කියලා.තව කෙනෙක්ට කියන්ඩ පුළුවං හොඳ වැඩේ කියලා.මටනං ඇත්තටම මේ ගැන තියෙන්නෙ උදාසීන ආකල්පයක් තමා.

අපේ ගෙවල් ඟ ගෙදරක හිටියා කෙල්ලෙක්.නෑ නෑ ඔයාලා හිතනවට වඩා වෙනස් කතාවක්.


මට වඩා සෑහෙන්න වයසයි.ඒ කාලෙදි වයස 25ක් විතර වෙන්නැති.මම එතකොට පොඩි එකා.මට වයස පහළවක් විතර.මට හිටිය මිත්‍රයෙක් අපි එයාට දැනට කියමු 'කසුන්' කියලා.කසුන් මට වඩා අවුරුද්දයි වැඩිමල්.මේ මිත්‍රයා මාව තමයි උගේ හැම ගමනක් බිමනක්ම එක්කං ගියේ.


ඌ ඒ කාලෙ එක එක කෙල්ලො පස්සෙ ගියා.ඉතිං ඔය කෙල්ලො පස්සෙ යද්දි තනියට එකෙක් එක්ක යන සිරිතක් තියනවනෙ.මොකද යද්දි කොච්චර දුර යන්න වෙයිද දන්නැහැ.මොකෝ යන්නෙ කෙල්ලො පස්සෙනෙ.උන්ට බැහැ එක තැනකට වෙලා ඉන්න.වෙලාවට එන්න.ඉතිං පැය ගණන් බලං ඉන්න උනාම කතා කර කර ඉන්න පාළු කපන්න තමයි මේ සගයා එක්කං යන්නෙ.

මෙහෙම එක්ක යන සගයෙක් සතු ලක්ෂණ ටිකක් තියෙනවා.පළවෙනි දේ තමයි මිත්‍රයාගේ රහස් රැකිය හැකි වීම.අනික තමයි බර අඩු වීම.මොකද කෙල්ල පස්සෙං යන එකාගෙ ෆුට් සයිකලේ තමයි දෙන්න දාල යන්නෙ.එතකොට හති නැතුව ගොඩක් දුර ගෙනියන්න පුළුවං එකෙක් වෙන්න ඕනෙ.අනිත් එක තමා පෙනුම චාටර් වීම.නැත්තං කෑල්ල සගයාට වැටීමේ සම්භාවිතාවක් තියෙනවනෙ.ඉතිහාසය හාරාවුස්සල බැළුවොත් එහෙම වෙච්චත් හොයාගන්ඩ ඔයාලට පුළුවං වේවි.කොහොම හරි ඔය කියන ලක්ෂණ ඔක්කොම මට තිබ්බ නිසා මම මුගේ සගයා උනා.

දැං ආයෙත් අර කෙල්ල ගැන කියන්නංකො.එයාට අපි දැනට කියමු 'ආශා' කියලා.ආශා බැඳලා නෑ.හැබැයි මිනිස්සු ගොඩක් හිටියා.ඔව් එයා කළේ ලෝකෙ පරණම වෘත්තිය ගෙදර ඉඳං.ඒකිගෙ ගෙදර අයත් මේ ගැන දැනං හිටියට සල්ලි නිසා මොකුත් කිව්වෙ නෑ.අපිට වඩා වැඩිමල් කොල්ලෝ ඒකිගෙ ගෙදෙට්ට කොල්ලෙක් ආවම ජනේලෙං හොරෙන් බලනවා.බලලා රස කරල කියනවා.අපිත් කෙළ බේරි බේරි අහං ඉන්නවා.අපි පොඩි නිසා චාන්ස් එක හම්බුන්නෑ බලන්න.

මේ ඉරිසියාව වෙන්න ඕනෙ මටයි මගෙ මිත්‍රයටයි තිබුණෙ.

පාවිච්චිය වැඩි කමට දුනු බැහැලද කොහෙද ආදායම අඩු වෙලා වෙන්නැති මේ කෙල්ලගෙ ගෙදර විකුණන්න දාලා තිබ්බා.අපි දැනගත්තෙ ගෙදර ඉස්සරහ ගහල තිබ්බ 'ගේ විකිණීමට තිබේ' කියන දැන්වීමෙං.මටයි කසුන්ටයි ආවා අර ඉවසන්ඩ බැරි අමරුව.අර අපි ඉඳගන්ඩ පාවිච්චි කරන හරියෙ හැදෙන්නෙ.ඉතිං අපි රෑ වෙලා ගිහිං බෝඩ් එකේ 'ගේ' කියන කෑල්ල උඩින් 'ඇඟ' කියල ලියපු කොලයක් අලවලා ආවා.එච්චරයි.

පහුවදා එක ගිණි විජ්ජුම්බරයයි.අරුන්ගෙ ගෙදර හෙණ වළියක්.නෑයොයි ගෙදර උනුයි ඔක්කොම එකතු වෙලා අරකිට බැණලා ගෙදරිං එළෙව්වා.ගෙදර උන්ටයි නෑයින්ටයි ඔක්කොටම වැඩේ වැරැද්ද පෙනුනෙ අනිත් මිනිස්සුත් දන්නව කියල දැනගත්තට පස්සෙ තමයි.කොහොම හරි අපි හින්දා ඒ කෙල්ල ගෙදරිං ගියා.ගමේ ලොකු කොල්ලන්ට ෆ්‍රී හම්බවෙච්ච ෆන් එකත් නැතුව ගියා.

ඔය දෙවෙනියට කිව්ව එක තමයි අපෙ අතිං උනු පාපෙ.අනේ දෙයියනේ පාපොච්චාරණයක් කළා.දැං ඉතිං සමාව දීල මට පාඩම් කරන්ඩ හිතවන්ඩ හොඳේ.කියවන ඇත්තොත් එහෙමම ප්‍රර්ථනා කරන්ඩ.බොහොම පිං!


25 June 2011

වේදනාව දන්නේ කඩු පාර කෑ එකාය.....


විශයයන් 5ක්.උ/පෙ වගේ දෙගුණයකටත් වැඩි.ඒ මදිවට පාඩම් කරන්න තියෙන්නෙත් කඩ්ඩෙන්.උත්තර ලියන්න තියෙන්නෙත් කඩ්ඩෙන්.කඩ්ඩ කියන්නෙ මට එච්චර හුරු දෙයක්නං නෙමේ.මවු බසෙන් නං ඕනෙ කෙංගෙඩියක්.සිංහලෙන් තිබ්බනං මේ උලව්ව ඉවර කරල මම ගෙදර ගිහිල්ල ගොඩක් කල්.

එහෙමනං මට තිබුණ මෙතන පොර වෙන්ඩ.දැනුත් මම පොර තමයි.ඒත් ඉතිං ඒ අධ්‍යාපනේ පැත්තෙං නෙමෙයි.හරි අමාරුවෙං කඩ්ඩ අල්ලගෙන ගොඩ දාගන්න හදන කොට ඒ අස්සෙ ලතින් වචනත් තියෙනවලු.මම හිතුවෙ ඒවත් කඩු වචනමයි කියල.මොකෝ මට ඔය දෙකේ වෙනසක් තේරෙනවයැ.දෙකම තියෙන්නෙ එකම අකුරුවලින් නෙ.මමත් හරියට ඇමරිකාවෙදි චීන හෝටලේක වැඩ කරල කඩ්ඩ කියල හිතාගෙන චීන ඉගෙනගත්තු එකා වගේ.කඩ්ඩත් බැහැ.ලතිනුත් බැහැ.දැං දැං හෙලුවත් බැරි වේගෙන එනවද මන්දා.කුණු හරුප ටික විතරයි ටක්කෙටම මතක.මොකෝ ඉතිං උදේ හවා පාවිච්චි වෙන්නෙ ඒ ටික විතරනෙ.

අපේ ඉස්කෝලෙ හිටියෙ හෙලයො සහ බොදුවො.ඉස්කෝලෙං සෑහෙන්ඩ උත්සාහ කළාට ඉස්කෝලෙං කඩ්ඩ ඉගෙන ගත්තු එවුන් හිටියෙ නැති තරමයි.කඩ්ඩ පුළුවං එවුන් හිටියා.උං ඒ ශිල්පය ඉගෙනගෙන තිබ්බෙ උන්ගෙ ගෙවල් වලින්, එලකියුෂන් පන්තිවලින්.මේ දුප්පත් අපිට මොන එලකියුෂන් ද?.අපේ ගෙදර මිනිස්සුත් කඩ්ඩ කියන්නෙ සුදු ඒජන්තවරුන්ගෙ බාසාව කියල දැනං හිටිය මිසක් පාවිච්චි කරන්ඩ දැනං හිටියෙ නැහැ.

ඉතිං දේශාභිමානෙං ජාතිවාත්සල්‍යයෙං යුතුව මමත් කඩ්ඩෙන් තොර ලංකාවක ප්‍රෞඪ හෙලයෙක් වෙන්න හිතා ගත්තා.උ/පෙ දක්වා කඩ්ඩ ඉවසං පන්තියෙ හිටපු මම උ/පෙ පන්තියෙදි තීරණය කළා කඩ්ඩ වර්ජනය කරන්ඩ.ඉතිං කඩ්ඩ මැඩම් පන්තියට එද්දි තවදුරටත් දිනුක ජයකොඩි කෙනෙක් ඒ පන්තියෙ හිටියෙ නැහැ.

අපිට අපේ ඉස්කෝලෙ දෙයියො මවල දීපු තැනක් තිබුණා සෞඛ්‍යදානය කියලා.මේක මරු තැන පීරියඩ් එක කට් කරන්ඩ.මුළිං මම මේකෙ දීර්ඝ කාලීන රෝගියෙක් වෙලා හිටියා.පස්සෙ මම ඒකෙ යාවජීව සාමාජිකයෙක් උනා.ඉතිං මේ පුංචි පාරාදීසයට වෙලා අර යක්ෂ බාසාව උගන්නලා ඉවර වෙනකං ඉන්න මම පුරුදු වෙලා හිටියා.මම විතරක් නෙමෙයි, අපි කීප දෙනෙක්ම.එකම අරමුණක් තියෙන ඒ වෙනුවෙන් කැපවෙන යෞවනය.

ඉතිං අපි ඉස්කෝලෙ හිටපු තරමක් ලොකු ලොකු කට්ටියව ඔට්ටුව විදිහට දාලා 'ඕමි' ගැහුවා.මම කට් කලේ කඩ්ඩයි රසායන විද්‍යාවයි විතරයි.අනිත් එව්වයෙදි පන්තියෙ හිටියා.ඉගෙනගන්ඩම නෙමෙයි.ඒත් ඉතිං ඉස්කෝලෙ ආපු එකේ පන්තියෙත් ඉන්න ඕනෙ නිසා.

අනිත් විශයක් ඉවර වෙලා කඩ්ඩ හරි රසායන විද්‍යාව හරි තියෙනකොට පන්තියෙන් පනින එක ටිකක් අමාරුයි.මේ මැඩම් යනකන් ඉන්නත් ඕනෙ.අනිත් කෙනා එන්න කළින් යන්නත් ඕනෙ.අපේ පන්තිය තිබුණෙ කොරිඩෝවෙ කෙරෝලෙම.ඉතිං මම කරන්නෙ කළිං මැඩම් යද්දිම යනව අපේ පන්තියට කළිං තියෙන පන්තියට.ගිහිං ඉන්නවා කඩ්ඩ මැඩම් හරි කෙම් සර් හරි අපේ පන්තියට යනකං, මමත් අර පන්තියෙ එකෙක් වගේ.එයා අපෙ පන්තියට ගියාම මම ෂේප් එකේ පැනගන්නවා එළියට.

මගේ මොන කරුමෙකටද මන්දා කඩ්ඩ මැඩම් මාව අඳුරගෙන තිබුණා.මම අනිත් පන්තියෙ ඉන්නකොට එයා අපේ පන්තියට යන ගමන් නැවතිලා මගෙන් අහනවා "ජයකොඩි මොකද මේ පන්තියෙ?යනවා යනවා පන්තියට.කවදාවත් පන්තියෙ නැහැ."කියල.එයා අනිත් අයට බැන්නෙත් කඩ්ඩෙන්.වෙන වෙලාවට මට උනත් බණින්නෙ කඩ්ඩෙන් තමයි.එදා මැඩම් සිංහලෙන් කියන්ඩ ඇත්තෙ එයාට හිතෙන්ඩ ඇති මූට කඩ්ඩෙන් බැණීමට වඩා මං කියන දේ මේ මොහොතේ තේරුම් යාම වැදගත් කියලා.ඉතිං ඔහොම ටික දවසක් ගියා.මම තීරණය කළා මේ විකාර අපබ්‍රංස බසට කන් දීමට වඩා දිවි පරදුවට තබා ජනේලයෙන් පැනීම වටිනවා කියලා.

එදා කළිං විශය(මට හරියටම මතක නැහැ මොකක්ද කියලා ) කරපු මැඩම් පන්තියෙං ගියා.මම අප්‍රතිහත දහිරිය අතට අරගෙන වීරයා වගේ ගියා ජනේලෙ ළඟට.එක කකුලක් තිබ්බා මේසෙට.අනිත් කකුල ජනෙල් පඩියෙ.ඉගිලුමට තව තප්පර බාගයයි.


ඔන්න එතකොටම අපේ සෙක්ෂන් එකට කොන්වන්ට් එක කියන්නෙ ඇයි කියන එක මට ප්‍රත්‍යක්ෂ කරමිං එකෙක් මගෙ කකුල අල්ලගෙන කෑගහන්න ගත්තා."මැඩම් මෙන්න එකෙක් පන්තියෙන් පනිනෝ.........". බල බලා ඉන්න කාලයක් නැහැ.අල්ලගත්තෙ මොකාද කියල බලන්න මේක නෙමෙයි වෙලාව.ජනෙල් පඩිය උඩ තිබ්බ කකුල මම මගේ පූර්ණ පාලනයට නතු කර ගත්තා.හුචක්කු බයිසිකලයක් ස්ටාර්ට් කරනවා වගේ මම දුන්නා 'කික්' එකක්.සපත්තුව දාල තිබුණත් මට දැනුනා හරි මෘදු ප්‍රදේශයක කකුල වදිනවා.ඒ එක්කම ලැබුණු ගම්‍යතාවෙන් මම කෙළින්ම ගුවන්ගත උනා එළියට.මට ගාණ හදාගන්න බැරි උනා වියෝග ප්‍රවේගයෙ.එච්චරයි.මම නිදහස්.මම කෙළින්ම දිව්වා.සෞඛදානෙට.ටිකකින් අපේ පන්තියෙ එකෙක් ආවා මැඩම්ගෙන් පණිවිඩයක් අරන්.වහාම පන්තියට එන්න කියලා.මොන අලුගුත්තේරු වැඩ කළත් අපි හරි කීකරු ළමයි.මම ඉතින් ගල උඩ පහරපු එකා වගේ බිම බලාගෙන පන්තියට ගියා.

මැඩම් සෑහෙන වෙලාවක් බැන්නා.මට හරියට තෙරුණේ නැහැ.මොකද එයා බැන්නෙ කඩ්ඩෙන්.මම පස්සෙ මිත්‍රයෙක්ගෙන් අහගත්ත එයා මොනවද කිව්වෙ කියලා.මට ලියුමක් ලියල දෙන්න කිව්වලු ආයෙ පන්ති කට් කරලා අයාලෙ යන්නෙ නැහැ කියල කඩ්ඩෙන්.මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.මම කොහොමත් ලියුං ලියන්ඩ ටිකක් හොරයි.ටිකක් නෙමෙයි හොඳටම හොරයි.අඩුම තරමෙ කෙල්ලෙකුටවත් ලියුමක් ලියල නැති මට රාජකාරී මට්ටමේ ලියුමක් ලියන්ඩලු.ඊටත් කඩ්ඩෙන්.මම කොහොම හරි මගේ මිත්‍රයො දෙතුන් දෙනෙකුගෙනුත් සප් එක අරං ලිව්වා ලියුමක්.(මගෙ මිත්‍රයො නිසා උන්ටත් එච්චර කඩ්ඩ බෑ).

මැඩම් මුළු ලියුමෙම රතු පෑනෙන් වැරදි හැදුවා හදලා මටම දුන්නා.කලිං වෙච්ච ඔක්කොටම වඩා මට අවුල ගියේ මේ මම පට්ට කට්ටක් කාල ලියපු ලියුමෙත් වැරදි අම්බානට තිබිච්ච එකට.මම නිල් පෑනෙන් ලියපු ඒ කුළුඳුල් කඩු ලියුම පුරාම මැඩම් එයාගෙ රතු පෑනෙන් වැරදි හැදුවා.කොටින්ම කිව්වොත් මගෙ ලියුම උඩ එයා එයාගෙ ලියුම ලියුවා.

අදටත් මට කඩ්ඩ හරියට බැහැ.යන්තං ගැටගහගෙන තමයි වැඩේ ගොඩ දාගෙන යන්නෙ.මේක කියවන හැමෝටම මම මේ බොහොම කරුණාවෙන් කියන්නෙ.පොඩි මොකෙක් හරි ඉන්නවනං තමංගෙද අනුංගෙද කියල බල බල ඉන්න එපා කඩ්ඩ ටිකක් තොල ගාවන්න.සිංහල උං ඉගෙනගනී.හැබැයි කඩ්ඩනං උං තනියෙන් ඉගෙනගනී කියල බලං ඉන්න එපා.


24 June 2011

යකා ඩබල් වීම

යාළු වෙච්ච
මුල්ම කාලෙ
ඔයා එක්ක
බුද්ධිය මගෙ
තිබුණෙ නැහැ
එච්චර මෝරලා
ඒකයි මං කිව්වෙ
ඔයා වගේම
දුවෙක් ඕනෙ කියලා

23 June 2011

ඇඬීම

ඇඬීම යනු ක්‍රියාවකි.එය ශෝකය පෙන්වීමට, අසරණබව පෙන්වීමට මෙන්ම සමහර අවස්ථාවල දී සතුට පෙන්වීමට ද භාවිතා වේ.

ඇඬීම යන පදයේ කෝෂාර්ථයට සම්පූර්ණ පටහැනි අර්ථයක් ගෙන දෙන ලෙස ද ව්‍යවහරේ දී භාවිතාවන අවස්ථා ඇත.
"අඩෝ පට්ට කෑල්ලක් මචං ඇඬෙනවා දැක්කම" ලෙස යෙදෙන වැකියේ ඇඬෙනවා යන පදය යෙදී ඇත්තේ  විශිෂ්ඨ වැනි අර්ථයක් ගම්‍යකිරීමටය.

ඇඬීම නිසා ශ්‍රේෂ්ඨ ස්ථානවලට පැමිණි අය ද සිටිත්.බණ්ඩාරනායක මළේ ය.සිරිමාවෝ අඬලා අඬලා අගමැතිනිය වූවා ය.විජය මැරුණේ ය.චන්ද්‍රිකා අඬලා අඬලා ජනාධිපතිනිය වූවා ය.අද හෙට මහින්ද මාමා ද මළොත් ශිරන්ති නැන්දාට ද අඬලා තැනකට එන්න පුළුවන් වනු ඇත.නමුත් දැන්ටම නාමල්ට පුරුදු කරගෙන යන නිසා එවැනි අවස්ථාවක් ලද විගස ඔහු පොළොව බදාගෙන අඬා ජනපති වනු ඇත.

අඬද්දී ඇස්වලින් 'කඳුළු' කියලා දියර වර්ගයක් වෑස්සෙනවා ය.සමහරු අඬද්දී මේවා එන්නේ නැත.ඒ එන්නේ නැති කඳුළුවලට 'කිඹුල් කඳුළු' කියා කියනු ලැබේ.ප්‍රසිද්ධ වේදිකාවලදී වැඩිපුර හෙළනු ලබන්නේ මෙකී පධාර්ථමය නොවන 'කිඹුල් කඳුළු' යැයි මතයක් ජනතාව අතර පවතී.

අඬද්දී ඊට පසුව සිදුවෙන තවත් ක්‍රියාවක් ඇත.එනම් 'කිරි එරීම' යි.හඬද්දී කිරි එරේ යනුවෙන් පැවසූ විට 'හඬද්දී' යන්න පූර්ව ක්‍රියාවේ යෙදේ.නමුත් මෙහි අර්ථය පිළිබඳව ගැටළු පවතී. අඬද්දී කිරි එරෙනවානම් විපක්ෂය අඬන හැටියට මුළු රටම කිරෙන් ස්වයංපෝෂිත විය යුතු ය.නමුත් තවමත් කිරිපිටි විශාල ප්‍රමාණයක් ගෙන්වන්නේ පිටරටිනි.එහේ මිනිසුන් අඬන්නේ නැතිමුත් හොඳින් කිරි එරේ.

විශ්වවිද්‍යාල සිසුවෝ ද විටෙක මහමග දී හඬා වැටෙත්.ඒ උද්ඝෝෂණ වලට 'කඳුළු ගෑස්' ගැසූ විට ය.'කඳුළු ගෑස්' ගැසූ විට උවමනාව තිබුණත් නැතත් ඇඬෙනවා ය.උද්ඝෝෂණවලදී කවුරුන් හෝ මියගිය විට ජනතා විමුක්ති පෙරමුණ පාර පුරාම අඬන්නේ ය.ප්‍රවෘත්ති සාකච්චාවලදී පොලීසිය අඬන්නේ ය.ආණ්ඩුව මළගෙදර ගොස් කීයක් හරි දී අඬන්නේ ය.

රියැලිටි තරඟවල ද සින්දු කියනවාට වඩා කරන්නේ අඬන එක ය.පැරදුණු එකා තෑග්ග ගැන සිතමින් අඬන්නේ ය.දිනපු එකා පැරදුණු එකා බදාගෙන අඬන්නේ ය.නිවේදකයා දෙන්නාම බදාගෙන අඬන්නේ ය.පැරදුණු එකාට කෙටි පණිවිඩ ඡන්ද යැවූ ප්‍රේක්ෂකයා තමාගේ නිරර්ථක වියදම ගැන සිතමින් අඬන්නේ ය.අනිත් ප්‍රේක්ෂකයෝ දිනපු එකාගේ තෑගි දෙස බලමින් තමන්ට සින්දු කියන්න බැරිවීම ගැන සිතමින් අඬති.

ප්‍රේක්ෂකාගාරයේ කෙල්ලෝ තමන්ගේ කොල්ලා බදාගෙන පැරදුණු කොල්ලා වෙනුවෙන් අඬති.ඒ කොල්ලෝ ද සිය පුරුෂභාවය සොරු ගත්තවුන් මෙන් වෙනකෙකු වෙනුවෙන් අඬන සිය කෙල්ලගේ කඳුළු පිස දමති.සොටු සූරවති.කැමරාකරු ද සිය කැමරාව මානන්නේ අඬන එව්වාටම ය.

ප්‍රවෘත්ති නිවේදනයේ ද කඳුළට දැන් හිමිවන්නේ මුල් තැන ය.හැමදාම 'ඇඬෙන කතාවක්' පෙන්නා ප්‍රේක්ෂකයන් ඇඬවීම බොහෝ නළිකාවල ප්‍රධාන අරමුණ බවට පත්ව ඇත.කොහේ හෝ මැරුණු පොඩි එකෙක්, අලියෙක් වැනි සංවේදී සිදුවීමකට ඇඬෙන පසුබිම් කථනයක් දී ඇඬෙන රූපරාමු පෙළක් ද සහිතව පෙන්නීම නාළිකා අතර තරගයක් බවට පත් වී ඇත.

මෙගා නාට්‍යවල ද මුල සිටම ඇත්තේ අඬන එක ය.දවසකට අඬන දර්ශනයක් නොමැතිනම් ඒ නාට්‍යයේ ජනප්‍රියතාව පහළ බසී.ඒ නිසා අධ්‍යක්ෂවරයා කොහොම හරි සිය නාට්‍යයේ ප්‍රධාන ගැහැනු චරිතයට අඬන්නට අවස්ථාවක් සලසා දෙයි.

ඉතින් හැමදාම නාට්‍යයේ කෙල්ල අඬනවා බල බලා අපි ද අඬමින් බත් කමු.


22 June 2011

පොඩි එකා

අපේ ගෙදෙට්ට
අහුවෙනවා
කොහෙද රටක
චැනල් ගොඩක්

මෙහෙ වගේ නමෙයි
හරි දියුණුයි එහෙ
ආසාවෙ බෑ
දුක හිතෙනව අපි ගැන

පොලීසි සහ උසාවි

ඔන්න අද තවත් මට හිතුන පටලැවිල්ලක් ගැන කියන්ඩයි හිතුවෙ.

ඇත්තටම මිනිස්සුන්ට පොලිසියක් සහ උසාවියක් අවශ්‍ය ද?

ඔන්න ඕක කවුරු හරි මීට කලිං හිතල තියෙනවනං සමහරවිට මගෙ දැක්මට වඩා වෙනස් දැක්මක් දැනටමත් තියෙනවා වෙන්න පුළුවං.එහෙම හිතුවෙ නැත්තං මේක කියවන්ඩ කළිං තනියම හිතල තමංගෙ මතේකට ඇවිත් ඉන්ඩ කියලා මම කාරුණිකව ඉල්ලා හිටිනවා.මොකද මට ඕනෙ මගේ මතවාද කියන්ඩ මිසක් ප්‍රත්‍යක්ෂ කරවන්ඩ නෙමෙයි.

'අනේ බූරුවො උඹේ කතා අපි ඇත්තට ගනී කියල උඹ හිතනවද මෝඩයා' කියල කවුරු හරි හිතනවනං කියන්ඩ තියෙන්නෙ මීට පෙර එසේ සිදු වී ඇත කියල තමයි.

හරි එහෙනං පණ්ඩිත කතා ඉවරයි.මේකයි මගේ මතවාදය.

පොලීසියක් හෝ උසාවියක් අපිට අවශ්‍ය වෙන්නෙ ඇයි?කවුරුහරි අපිට කරදරයක් අසාධාරණයක් කළොත් සාධාරණය ඉල්ලගන්න.වැරැද්ද කරපු එකාට දඬුවම් කරවන්න.කවුරුත් මේකට එකඟවෙනවා ඇති.

නමුත් මේ සමාජයේ (මම ලේසියට ගන්නං අපේ රට ) මමත් ඇතුළත් වන ඉතාම ක්ෂුද්‍ර කුලකයක් හැර අතිමහත් බහුතරය මොනවා හෝ විශ්වාසයක්, අධ්‍යාත්මික මතයක් සහිතවයි ජීවත් වෙන්නෙ.

අපි මුළින්ම ගමු බෞද්ධයෝ.අවිහිංසාවාදීම දහමක්නෙ මේ.ඉතිං බුදු හාමුදුරුවො කියල තියෙනවද තමන්ට අකටයුත්තක් කරපු කෙනෙක්ගෙන් පළිගන්න කියලා.අනික බෞද්ධ ජනතාව විශ්වාස කරනවනෙ කර්මය ගැන.කර්මය විශ්වාස කරන අය කියන්නෙ කවුරු හෝ වැරැද්දක් එහෙම නැත්තං පාපයක් කළොත් ඒක කවදා හෝ ඒක පළ දෙනවාමයි අහෝසි කර්මයක් සිද්ධ නොවුනොත් කියලා.එහෙමනෙ ?.ඉතිං උඹ තල වැපිරුවොත් තල, මුං වැපිරුවොත් මුං කියල නිකං ඉන්නව මිසක් උගෙන් පළිගන්න නඩු දාන එකවත්, පොලීසියට ගිහින් පැමිණිල්ලක් දාන එකවත් නෙමෙයිනෙ බෞද්ධයා කළ යුත්තෙ.

ඊළඟට වැඩි පුරම ඉන්නෙ ක්‍රිස්තියානි ඇත්තොනෙ.පරණ තෙස්තමේන්තුව ඇහැට ඇහැක් දතට දතක් කිව්වට ජේසුස් වහන්සේ කිව්ව විදිහට අළුත් තෙස්තමේන්තුවෙ පළිගන්න එපා කියල තියෙනවනෙ.

"ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ.නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටිල්ලා.යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසීනම් ඔහුට අනික් කම්මුලද හරවාපන්න.යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩ ඇරපන්න.යමෙක් එක හැතැප්මක් යන්ට නුඹට බලාත්කාරකෙරේද, ඔහු සම්ඟ හැතැප්ම දෙකක් පලයන්න."

කීවා මිස නඩු දමාපන්න, පොලිසි පලයන්නැයි කීවේ නැත.මොකද දඬුවම් දීම දෙවියන් වහන්සේගේ වැඩක්නෙ.අනික තව කෙනෙක් විනිශ්චය කරන්ඩ අපි කවු ද?ඒකනෙ "පවු නොකල තැනැත්තා පළමු ගල ගසාපල්ලා" කියල කිව්වෙ.

ස්ථිර ආත්මයක්, කර්මය මෙන්ම දෙවියන් ගැනද විශ්වාස කරන හින්දූන් ඉන්නෙ කලිං කිව්ව ආගම් දෙක මැද්දෙනෙ.ඉතිං ඒගොල්ලන්ටත් පොලීසි උසාවි වැඩක් නැහැ.

මුස්ලිම් ඇයොනං කමක් නැහැ.එයාල ඉතිං ඇහැට ඇහැක් දතට දතක්නෙ.ඒත් එයාල ගොඩක් වෙලාවට ප්‍රශ්න ගෙදරම විසඳ ගන්නවනෙ.ඉතිං එයාලටත් මේකෙ එච්චර වැදගත්කමක් නෑ.

පවු කළ තැනැත්තාට දෙවියන් වහන්සේ හෝ ඔහුගේම කර්මය හෝ දඬුවම් කරනකං ඉන්නැතුව අපි මේක මැද්දට පනින්නෙ මොන එහෙකට ද?අනික ඔය තියෙන අපායවල්වලිං වැඩක් නැති වෙනවනෙ අපි මෙහෙ දඬුවම් දෙන්න ගත්තොත්.තිරිසං යෝනි ප්‍රේත යෝනි තව කොච්චර එව්වා තියෙනවද පව් කාරයින්ට.මෙහෙ හිර ගෙවල්,එල්ලුං ගස් හද හදා ඉන්නැතුව ඔන්නොහෙ යන විදියකට යන්න දෙන්නනෙ තියෙන්නෙ.




 දැං මට අහන්න තියෙන්නෙ මේක මේ ආගම් වල අවුලක් ද? නැත්තං විශ්වාසයේ අවුලක් ද? එහෙමත් නැත්තං විශ්වාස කරන අයගෙ අවුලක්ද ? කියලා විතරයි ඕං............

21 June 2011

මනමේ කොල්ලා

ඇත්තටම වැද්දා එක්ක ෂේප් එකට කතා කළා නං වැඩේ නිකංම ගොඩ දා ගන්න තිබුණා.ඒ උනාට රජ කුළේ අපිට එහෙම කරන්ඩ කියල කවුරුත් කියල දීල නැහැනෙ.අපි දන්නෙ එන ඕනෙ එකෙකුට පොර ටෝක් දීල අපේ වැඩේ කරගන්න.බැරි උනොත් සෙට් එක දම්මල ගේමක් දෙන්න.

දිසාපාමොක්ටවත් බැරි උනා අපිට දුන්නු ශිල්ප සාස්ත්‍ර එක්ක ගෑනු ගැනත් කියල දෙන්ඩ.එහෙම කියල දීල තිබුණානං සිද්දිය මෙයිට වඩා වෙනස් වෙන්න තිබ්බා.

අනික වැද්දව පරද්දපු වෙලේ ඌව මරන්ඩ යන්නැතුව ඌව තව ටිකක් පච කරලා 'අඩෝ මම තොට අභය දානය දෙමි' කියල ලොකු ටෝක් එකක් දුන්නනං කෙල්ල ඉස්සරහ මට හීරෝ වෙන්න තිබ්බා.කොහෙද අපිට ඉතිං මේ ඝාතන මානසිකත්වයෙන් එහාට චින්තනයක් දීල නැහැනෙ.

මේක මගෙ වැරැද්ද නෙමෙයි අපේ අධ්‍යාපන ක්‍රමේ වැරැද්ද.වැද්දෙක්ගෙ චින්තනේ තේරුම්ගන්නැතුව, අඩුම තරමෙ මගෙම ගෑනිගෙ චින්තනේ තේරුම් ගන්නැතුව රට පාළනය කරන්ඩ ගියානං අන්න එදාට තමා මට හොඳටම කෙළවෙන්න තිබුණෙ.මම ආයිත් කියන්නෙ මේක මගෙ වැරැද්ද නෙමෙයි.ක්‍රමේ වැරැද්ද....

20 June 2011

නිළිය

ෂ: ඔයා හරි දක්ෂයිනෙ
මාර තාත්විකයි
ඔස්කාර් උනත් ගන්න තිබ්බා
ට්‍රයි කළානං
කොහෙද ඉතින්
ඔයා රඟපාන්නෙ
මං ඉස්සරහ විතරනෙ

19 June 2011

මොකක්ද මේ ..............?

මම ඔය මග තොටේ යන එන කොට ලෝකෙ තියෙන වැඩි දෙනෙක් නොහිතන දේවල් ගැන තමයි හිත හිත යන්නෙ.

ඔන්න මේ ළඟදි දවසක් මම හිතන්න ගත්තා ඇත්තටම මොකක්ද මේ විනය කියල කියන්නෙ කියලා.ඇයි මේක ආරක්ෂා කරවන්ඩ කට්ටිය මෙච්චර දත කන්නෙ.ඕක නෑ කියල ඇයි මේ විදිහට චාටර් කරවලා සමාජ විරෝධියෙක් විදිහට හංවඩු ගහලා පුළුවන් උනොත් හිරෙත් දාන්නෙ.

මට තේරිච්ච විදිහට විනය කියන්නෙ සීරුවෙන් සිටින් කිව්වම සීරුවෙන් ඉන්න එකට, පහසුවෙන් සිටින් කිව්වම පහසුවෙන් ඉන්න එකට, මෙහෙ යනකොට සුදු ඇඳගෙන පල කිව්වම සුදු ඇඳගෙන යන එක වගේ කවුරු හරි කියන දේකට කීකරු වීම.ගොඩක් වෙලාවට මේ වගේ නියෝග කිසි තේරුමක් නැති ඒවා.

මම මේ කියන එක වැරදියට තේරුම් ගන්න එපා.විනය කියන එක සදාචාරය, හැදියාව, නීතිය වගේ සංකල්ප එක්ක පටලවා ගන්න එපා.සමාජයක පැවැත්මට අර ටික ඕනෙ.ඒත් විනය ඕනෙ මොකටද?

හමුදාවකටනං විනය ඕනෙ ඇති.ඒක මම හරියටම දන්නෙ නැහැ.මොකද මම යුධ භටයෙක්වත් යුධ වාදියෙක්වත් නොවන නිසා.ඒත් මම අහල තියෙන විදිහට හමුදාවක(මේක ලෝකෙ ඕනෙම හමුදාවකට පොදුයි ) සුළු භටයෙකුට අයිතියක් නැහැ ඉහළින් එන නියෝගයක් ප්‍රශ්න කරන්න.හරි වේවා වැරදි වේවා පිළිපදින්න වෙනවා.යුද්දෙකට ඒක ඕනෙ කියමුකො.ඒත් සිවිල් සමාජෙට මොන උලව්වකටද ඒ වගේ සංකල්පයක්.

පාලකයාට ගරු කිරීම.ඌ යන තුරු පාරෙන් ඉවත් වී සිටීම.පාලකයාට 'අති ගරු' කියා තමාට 'ගැත්තා' හෝ 'බලු ගැත්තා' කියා ගැනීම.පාලකයා කන හැටි බලා හිඳ කුසගින්නේම සතුටු වීම.ඌ ගන්නා ඕනෙම තීරණයක් හරියි කීම.පාලකයා කියන හැම ගොබ්බ කතාවකටම 'හුරේ' කීම වගේ දේවල් ඇරුනාම විනය කියන එකෙන් සිද්ද වෙන කෙංගෙඩියක් තියෙනවද සමාජෙට?.

දැං ඉතිං කියයි විනයක් නැතුව කොහොමද සාමූහික ක්‍රියාවක් කරන්නෙ කියලා.උදාහරණයක් විදිහට අපි ගමු රජයේ කාර්යාලයක සේවක පිරිස.එතන එකෙක් විනය විරෝධීව හැසිරුනොත් මොකද වෙන්නෙ?.සමස්ත ක්‍රියාවලියම ඇණ හිටියි ද? නෑ.මොකද තමන්ට නියමිත ක්‍රියාව කරනවට තමයි ඌට ගෙවන්නෙ.ඌ උගේ වැඩ ටික හරියට කළේ නැත්තන් ඌව අයින් කරල වෙන එකෙක් ගන්න කියල නීතියක් තියෙනවා.ඒක දන්න නිසා කවුරුත් පැහැර හරින්නැහැ වැඩ.(දැං රජයේ කාර්යාලවල වැඩ සිද්ද නොවෙන්නෙ විනය නැති කම නිසා නෙවෙයි.විනය කියන සංකල්පයේ පැවැත්ම බලාපොරොත්තු වෙන පාලකයා කියන එකාගෙ වැඩ පිළිවෙලේ තියෙන අඩුපාඩු නිසා.පුද්ගලික ආයතනවල මේ විනය කියන එක මහ ලොකුවට බැලුවෙ නැතුවට ඒවයෙ වැඩ හොඳට යනවා.පොඩි එකාට තියෙනව අයිතියක් ලොකු එකාව ප්‍රශ්න කරන්ඩ ආයතනයේ යහපත වෙනුවෙන්.ඒ කියන්නෙ හැමෝගෙම යහපත වෙනුවෙන්.)

මෙව්වා ගැන ලියද්දි කියද්දි මම හරිම ආවේගශීලී වෙනවා.ඒකට සමාවෙන්ඩ හොඳේ......

රජයේ සේවකයා

රුපියලක් දුන්නම
එපා මිනිහෝ රවන්න
ඕක දුන්නෙත්
කී පාරක් ගණන් හදලද

පින් දෙනවා
දුන්නට රුපියලක්වත්
මාවත් නොවැටෙන්න
තමුසෙලගෙ ගොඩටම

එහෙම උන දාට
කවුද දෙන්න ඉන්නෙ
රුපියලක්
තමුසෙට තියා මටවත්

18 June 2011

ක්ලැසික්

අනිත් උන් රොක් අහද්දි
හිපොප් අහද්දි
ලැජ්ජාවෙන් උන්නෙ
මම අහන්නෙ
ක්ලැසික් කියල කියන්ඩ

හැබැයි ඒ
උන්ගෙ හාඩ් වලත්
ගොඩක් තියෙන්නෙ
ක්ලැසික්මයි කියල
දැනගන්නකන් විතරයි

17 June 2011

රිවාරේස්

ඉපදෙන්න බැරිද මෙහේ
දේශපාලන
අසූචි කන්දට
බැති ගී ගයන
නිලමැස්සෝ බුරුතු
මිස
මෙහේ නැහැ උපන්නෙ
ඇටමැස්සෝ

ටියුෂන්

මදෑ
ඔයාගෙන්
ආදරේ
ඉගෙනගන්න හිතුවා
ඔයත්
තාම ටියුෂන් ගන්නවනෙ
අරූගෙන්
මට හොරෙන්

15 June 2011

වැස්ස

කැස්ස හෙම්බිරිස්සාව තියා
නියුමෝනියාව හැදුණත්
මම තෙමෙනවාමයි මේ වැස්සෙ
වැස්සෙ ලස්සන
ගේ ඇතුළට පේන්නෑනෙ....

අතීතයෙං කතාවක්

හැමදාම කවි ලියනව කිය කිය බොරු කරල මටත් ඇති වෙලා තියෙන්නෙ.ඒකයි මම මේ කතාවක් කියන්ඩ හිතුවෙ.

මම ඊයෙ බෝඩිමේ කාමරේ අස් කරල අතුගෑවා.හොණ්ඩරයක් විතර එකතු වෙච්ච කුණු ගෙනිහින් දාලා කුණු බාස්කට් එකත් කට ගාවටම පිරුණා.මුළු බෝඩිම ම අස් කරල අතුගාන්ඩ ඕනෙ කියන සැදැහැවත් සිතුවිල්ල ඇති වුනත් ඔක්කොම අතු ගෑවනං බ්ලූමැන්ඩල් කුණු කන්ද වගේ කුණු ගොඩක් එකතු වෙයි කියල මටම ඇතිවෙච්ච බය නිසා පහන් සංවේගයෙන් යුතුව මම කාමරේ විතරක් අතු ගාලා නිවන් ප්‍රාර්ථනා කළා.

ඇත්තටම මට කියන්ඩ ඕනෙ තැනට තවම ආවෙ නෑ.ටිකක් ඉවසීමෙං කියවං යන්ඩකෝ..

ඊට පස්සෙ මම දැං විභාගෙත් අත ළඟටම ඇවිත් නිසා මගෙ පොත් මේසෙ අස් කරන්ඩ පටං ගත්තා.කළිං ලියපු මොඩියුල් වල ටියුට් ඔක්කොමත් මේ පාර තියෙන ඒව අස්සෙ.මම වගේ අධ්‍යයනකාමී ශිෂ්‍යයෙක්ගෙ පොත් මේසෙ උඩ නොතිබිය යුතු නවකතා, කෙටිකතා, සංගීත පොත් විතරක් නෙමෙයි එක එකාගෙ යට ඇඳුං පවා අයිං කරලා පිළිවෙලක් කරගෙන යනකොට තමයි මට පරණ ඩයරියක් ඇතුළෙ තිබිල මේ කතාවට ප්‍රස්තුත වෙන කොල කෑල්ල හම්බ උනේ.

ඇති යංතං කියල කාට හරි හිතුනනං මට කියන්ඩ තියෙන්නෙ මටත් එහෙමම තමයි හිතෙන්නේ.කතාවකට ප්‍රවිශ්ඨයක් ගන්ඩ කොච්චරනං අමාරුද?

මේ කොලේ දිනේ දාලා තිබුණෙ 2010.06.03 කියලා.තිබුණෙ කෑම ලිස්ට් එකක්.මම කොලෙත් අතේ තියං මතක් කරන්ඩ ගත්තා.

අපේ ෆැකල්ටියෙ කැන්ටිමේ මම යි, අකූ හෙවත් කලුවයි, නුවන් හෙවත් තඩියයි එක මේසෙක ඉඳගෙන හිටියෙ.

ලිස්ට් එකේ තියෙන්නෙ අපි එදා කාපු කෑම.මුළිංම තියෙන්නෙ අපි ගත්තුවා.කිරි, එග් රෝල් සහ එළවලු රොටී.

අපි කාලා ඉවර උන ගමන් තමයි නිලංකා කැන්ටිමට ආවෙ.අපි හරිම අසරණ මූණු ටිකක් පෙන්නලා හරිම අමාරුවෙන් නිලංකාගෙන් ප්ලේන් ටී ගෙන්න ගත්තා.

අපේ දෙවෙනි ගොදුර රවී.රවී ගානෙ අපි කෑව රොටී.

ඊළඟට විකී.විකී දායක උනේ ආප්ප වලින්.

ලෝකෙ ඕනෙ තැනක මේ වගේ අසමජ්ජාති වැඩක් වෙනවනං තමංගෙ කරුමෙ ගෙවල ඉවර කරන්ඩ එතනට එන තාරා එදත් එතනට පාත් උනේ වෙලාවට.තාරා අපිට කෙසෙල් අරං දීලා ලබන ආත්මෙ වෙන කොහෙ හරි ලෝකෙක(අපි නැත්තං අපාය උනත් හොඳයි කියල තමයි කිව්වෙ ) ඉපදේවා කියල ප්‍රර්ථනා කළා.

සැදැහැවත් අණුක ආවා ඊට පස්සෙ.දෙවියන් වහන්සේ එදා උදේ අණුකට කියල තිබුණලු පවු කාරයන්ට රෝල්ස් අරන් දෙන්න කියලා.ඉතිං අණුක ගානෙ අපිට රෝල්ස් හම්බ උනා.

තාරාට තමංගෙ කරුමෙ ගෙවුනා මදි කියල හිතිලා අපිට ආයෙත් කෙසෙල් අරං දුන්නා.ලබන ආත්මේ තාරා ඉන්න තැනක ඉපදෙන්නෑ කියල අපි කෙසෙල් ලෙලි උඩ අත් තියල දිවුරුම් දුන්නා.එතකොට තාරාගෙ ආත්මයට විමුක්තිය ලැබුණා.

තිළිණ හෙවත් තට්ටයා තමන්ගෙ ඉතුරු කෙස් ටික කෙල්ලෙක් සෙට් කරගන්නකං පවතීවා කියල ඉත සිතින් ප්‍රර්ථනා කරගෙන අපිට ප්ලේන් ටී අරන් දුන්නා.

රවිත් හෙවත් නේද අයියා තිළිණට නොදෙවෙනි වෙන්න හිතාගෙන අපිට අරන් දුන්නා ටී.

කාටත් අත හිත දෙන චාමර ගානෙ අපි කෑව ආප්ප.හැබැයි මැද විතරයි.වටේ කෑවෙ ඌ.

අවසාන වශයෙන් මේ මහා දානමය පුණ්‍යකර්මයට තමන්ගෙ දායකත්වයත් නොදී බැරි නිසා තාරක අපිට වෙල්ලවැහුම් අරන් දුන්නා.

මහින්ද මාමගෙ දන්සැලෙන් කෑවත් මෙච්චරනං කන්ඩ බෑ කියල මට දැං හිතෙනවා.නුවන් හෙවත් තඩියගෙ බඩ පිරිල පිරිල බුරිය හෙවත් නාභිය පිටතට නෙරා ආ බව තමයි වංසකතාවල සඳහන් වෙන්නෙ.

ඔන්න ඕක තමයි කොලේ කතාව.කාට හරි සැකයක් තියෙනවනං අපිට ගොදුරු උන ඇත්තංගෙං අහල බැලුවට කාරි නෑ ඕං..