17 September 2011

ලෝක අර්බුධය......






ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, ඉතාලිය ආදී යුරෝපීය රටවල් මෙන්ම ඇමරිකාව, කැනඩාව පමණක් නොව ජපානය, චීනය ආදී ආසියානු රටවල ද මේ දිනවල පවතින තරුණ අසහනය සහ ඒත් සමඟ පැනනැගී ඇති කැරලි කෝලාහල එම රටවල සාමය හා සාමාන්‍ය ජනජීවිතය අඩාල කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.සිය රටවල උසස් අධ්‍යාපන ක්‍රමවේදය සමඟ  උරණ වූ තරුණ ප්‍රජාව
සාමාන්‍ය ජන ජීවිතවලට තර්ජනයක් වන අන්දමින් කටයුතු කිරීම ඒ රටවල ආර්ථික බිඳ වැටීමක් කරා මෙහෙයවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.


මේ අතර ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා ගත් තීරණය මෙම තත්වය සමනයකට පත් කරනු ඇතැයි සමහර අන්තර්ජාතික දේශපාලන විචාරකයින් පැවසුව ද, ඉන් තත්වය තවත් උඝ්‍ර වනු ඇති බවට ද සමහරු අනතුරු අඟවති.


ලොවම පිළිගත් ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලවල උපාධිය විදෙස් සිසුන්ට රුපියල් මිලියන 1.7ක් වැනි සුළු මුදලක සිට ඉහලට ලබාගත හැකි බවට නිවේදනය කිරීම විදෙස් රටවල සාමාන්‍ය ජනතාවගේ පැසසුමට ලක් වුවද එ රටවල රජයන් හා උසස් අධ්‍යාපන ආයතන දරන්නේ අඳුරු ආකල්පයකි.


කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය වැසී යාමේ තර්ජනයක් මේ හරහා නිර්මාණය වනු ඇති බව එංගලන්ත පාර්ලිමේන්තු විවාදයක දී ප්‍රකාශ කෙරිණි.ඔබාමාට ඇති මීළඟ විශාලම තර්ජනයනම් හාවඩ් විශ්ව විද්‍යාලය වැසී යාමෙන් වලක්වා ගැනීම බව විපක්ෂ‍ය වන රිපබ්ලිකන් පක්ෂ‍ය කියයි.ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය කෙරෙහි එ රට ජනතාවගේ උනන්දුව පහව යාමත් සමඟ එම භූමිය ගොවිපොලකට විකිණීමට කැනඩා රජය පසු ගිය දා තීරණය කළේ‍ය.ටෝකියෝ විශ්ව විද්‍යාලයේ නව ඉල්ලුම්පත්වල සීඝ්‍ර පහල බැසීමක් ඇති බව ජපාන අගමැතිවරයා මාධ්‍ය හමුවකදී පැවසීය.එම විශ්ව විද්‍යාලයට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අනවශ්‍ය වියදම් ලෙස කප්පාදු කිරීමට රජය තීරණය කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


බුද්ධි ගලනය වැළැක්වීමට යැයි කියමින් උසස් අධ්‍යාපනය සඳහා තරුණයින් විදෙස් ගත වීම වැළැක්වීමට චීන රජය ගත් තීරණයට එරට ජනතාව මහත් අප්‍රසාදය පළකරන බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.රජය මෙම තීරණය වෙනස් නොකරන්නේ නම් රට තුළ සිවිල් යුද්ධයක් ඇතිවිය හැකි බවටත් එහි වගකීම සම්පූර්ණයෙන්ම රජය භාර ගත යුතු බවටත් චීන තරුණ සංවිධානයක් ඊයේ අන්තර්ජාලයට එක් කළ හඬ පටයකින් පැවසුනි.එම අවසරය ලබා දුන්නද සීමිත විදෙස් සිසුන් සංඛ්‍යාවක් ඇතුලත් කර ගන්නා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලින් බොහෝ දෙනෙකු ප්‍රතික්ශේප වීම නිසාඇති වන්නා වූ අර්බුධ‍ය රට රටවල් අතර යුද්ධයකට වුවද හේතු විය හැකි බව චීන රජය පවසයි.


ඇමරිකාවේ ශ්‍රී ලංකාවට වීසා ඉල්ලුම් කිරීම ඉහල යාමත් සමඟ සිංහල තරග විභාගයක් පැවැත්වීමෙන් සුදුස්සන් තෝරා ගැනීමට ඔබමා රජය තීරණය කර ඇත.තරග විභාගයට පෙනී නොසිටි සිය ඥාතීන් දෙදෙනෙකුගේ නම් ශ්‍රී ලංකා වීසා ඉල්ලුම් කිරීමේ නාම ලේඛනයට එක් කළ සෙනෙට් සභිකයෙකු පෙරේදා එරට බුද්ධි අංශ විසින් අත් අඩංගුවට ගන්නා ලදී.මෙය ඩිමොක්‍රටික් පක්ෂ පාලනයේ කඩා වැටීම පෙන්නුම් කරන බව පවසමින් විපක්ෂය, තරුණයින් සාහසික ක්‍රියා සඳහා පොළඹවන බව රජය චෝදනා කරයි.කෙසේ වෙතත් නිව්යෝර්ක් නුවර තරුණයින්ගේ කඩාකප්පල් කාරී ක්‍රියා මර්දනයට පොලීසිය කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාරද යොදා ගත් අතර ගැටුම් උඝ්‍ර වීමත් සමඟ හමුදාවේ මැදිහත් වීමක් ද සිදු විය.පොලිස් නිළධාරීන් හත් දෙනෙක් තුවාල ලැබූ අතර තරුණයින් තිස් දෙනෙකුට අධික ප්‍රමාණයක් රෝහල් ගත කරනු ලැබූහ.හැටකට අධික පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඔවුහු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කරනු ලැබූ හ.රට පුරා පැන නඟින කැරළි මර්ධනයට හමුදා ශක්තියද ප්‍රමාණවත් නොවිය හැකි බව පෙන්ටගනය පවසයි.ඒ නිසා ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ සිටින සිය හමුදා නැවත සිය රට ට ගෙන්වා ගැනීමට යෝජනා වී ඇත.


ඉතාලියේ සිට ධීවර බෝට්ටුවලින් ශ්‍රී ලංකාවට එමින් සිටි ඉතාලි ජාතික තරුණයි පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වී ඇත.ඉතාලි ජාතිකයින් හොර රහසේ ශ්‍රී ලංකාවට යැවීම ඉතාලියේ මාෆියාවක් තරමට වර්ධනය වී ඇතැයි එ රට රජය පවසයි.ශ්‍රී ලංකාවට වීසා ලබාදෙන බවට කියන හා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලවලට ප්‍රවේශය ලබා දෙන බවට කියන වංචනිකයින්ට අසු නොවන ලෙස ඉතාලි රජය සිය ජනතාවට තරයේ අවවාද කර සිටී.


ශ්‍රී ලංකාවේ විශිෂ්ඨ සංස්කෘතියෙන් යමක් සිය සංස්කෘතියට එක් වීම තමාට ප්‍රීතියක් බැව් ඉරාන හා රුසියා රජයන් පවසයි.සිය රටවල තරුණයින් ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ඔවුන් මෙරටින් ලබාගත් උසස් ශික්ෂණයකින් හා මනා හැදියාවකින් යුක්තවන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉරාන හා රුසියා රජයන් පවසා සිටී.සිය රටේ සුන්දරත්වය සුහදශීලිත්වය අතීතයේ සිට ලෝකය හා බෙදා හදා ගත් ජාතියක් ලෙස සිය දැනුම හා තාක්ෂණය ද ලෝකය හා බෙදා හදා ගැනීමට තීරණය කිරීම පැසසුමට ලක් විය යුතු බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.


මිත්‍ර රටවල දැක්ම එසේ වුව ද ලෝක අර්බුධයක් නිර්මාණය කිරීමට ඉඩ ඇති ඔබගේ තීරණය පිළිබඳව නැවත සලකා බැලිය යුතු නොවේ ද? ශ්‍රි ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

8 comments:

  1. අම්මප ...මෙහෙම දෙයකුත් වෙලාද ? මම නම් කියන්නෙ ඔය බටහිර ක්‍රිස්තියානි බලවේග අපේ රටේ උසස් අධ්‍යාපනය වලක්වන්න කරන කඩා කප්පලි කාරි වැඩ ,ඒකයි ඔය ඊනියා බටහිර මාධ්‍ය(රොයිටර් වැනි ) හරහා ලංකාවට පහර ගහන්නෙ . මේවයින් සැලන්නෙ නැතුව අහවල් එකට උඩින් ලෝකය දකින තරුණ පරපුරක් ලෝකයටම බිහිකිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් අපේ ඇමතිතුමා ගත්ත උදාර තීර්නය ආපහු හරවන්න දෙන්න බැ ,දේශමාමක දේශප්‍රේමී ජනතාව විදිහට ලෝකයේ දැනුම් කේන්ද්‍රස්ථානය විමේ අපේ ඉලක්කයට බාධා පමුණවන දුෂ්ට බලවේග පරාද කරල . ලොව පුරා සිසුන් ගේ ඉල්ලීම් ඉක්මනින්ම ලබාදීමට කටයුතු කලයුතුයි

    ReplyDelete
  2. අපේ අධ්‍යාපන ඇමති තුමා නම් පුදුම මනුස්සයෙක්. ලංකාවේ සිසුන්ටත් හරියාකාරව කැම්පස් වලට ගන්න බැරුව පිටරට වල අයත් ගන්න හදනවා. මොනා උනත් එයා හදන්නේ අපේ රටේ කැම්පස් කෙල්ලන්ගේ කොල්ලන්ගේ චොයිසස් වැඩි කරන්න නේ.

    ඔන්න ඔහේ අපිත් කට පියන් ඉමු.

    ReplyDelete
  3. කලකට පස්සේ..... මේ වගේ එකක්!!!!

    ඔය පිටරට උන්ට කාල ඉන්න බැරි අපි අධ්‍යාපනය විකුණලා සල්ලි හම්බකරලා ලෝක බලවතා වෙයි කියන විචිකිච්චාව නිසා වෙන්ඩැ.

    ReplyDelete
  4. හෙට අනිද්දා ඩිනුක මාධ්‍ය පුරෝහිත කමකට සුදුසු වීමක් වෙන්නත් මේ ලියුම් බැරි නෑ ඔන්න...
    මම නම් ආසම ඔයාගේ මේ වගේ ලියමන් වලට....

    ReplyDelete
  5. ආ කියන්න අමතක වුනානේ... දැනටම මේ වගේ කතාවක් ඉතාලියේ ෆිල්ම් එකකට ගෙනාවා... ඔය ජැකාගේ මල්ලි සමන් හෙමත් රඟපානවා.... හොයලා බලන්න ඉන් ටු පැරඩයිස්.... ඉතාලියේ නිශ්පාදනයක්...

    ReplyDelete
  6. @buwa : ඒක නේන්නං බුවා.මේ බටහිර බලවේග දැන් පස්ස ගිණි අරං ඇත්තෙ.අපේ රට දියුණුවෙන් දියුණුවට ගිහිං ලෝකෙ මුල් තැනට එයි කියලා.ඒකයි ඔය වගේ ඉරිසියාකාර වැඩ කරන්නෙ.අපි කොහොමත් අපේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගෙ පැත්තෙ.....

    @මධුරංග : කට පියං ඉන්න ගියොත් මුං ඊළඟට මොනවා විකුණයිද කවුද දන්නෙ.කටවහං ඉඳලා බෑ සහෝදරයා.අපි කෑ ගහන්න ඕනෙ....

    @hare : ඒකනෙ කියන්නෙ.ඉරිසියාව තමයි ඉතිං වෙන මොකක්ද?ඔය ත්‍රීවීල්වල පිටිපස්සෙ එහෙම ගහල තියෙන්නෙ රුසියාවටත් වැඩිය ලොකුයි ඉරිසියාව කියලා.....

    @Il mondo di una povera pazza : ඉස්තූතියි ඉස්තූතියි.මාධ්‍ය පුරෝහිතකමක් ලැබුනොත් මම දෙන්නම්කො වැඩේ......අර ෆිල්ම් එක හොයාගෙන බලන්න ඕනෙ.....

    ReplyDelete
  7. මේ කෙහෙම්මල් තීරණයක් නිසා ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක්ට වෛද්‍ය පීඨ, ඉන්ජිනේරු පීඨ අහිමි වෙන්න ඇත්ත. 2010 උසස් පෙළ ප්‍රතිඵල අනුව වෛද්‍ය පීඨයන්ට තේරුණු අයගෙ දිස්ත්‍රික් රෑන්ක් එක බැලුවම තේරෙනවා හොඳ හැටි

    ReplyDelete
  8. @විසිතුරු : ඒක ගැන කවුරුත් කතා කරන්නෑ.එයාල කියන්නෙ කැම්පස් ගන්න ගාණ මේ අවුරුද්දෙ තවත් වැඩී කියලා.ඒත් මෙඩිසින්, ඉංජිනියරින් වගේ එව්වාවල කට්ටිය අඩුවෙලා කියලා කාටවත් කියන්නෙ නෑ.......අනේ අපිට වෙච්ච දේ..........

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...