29 October 2012

වැදගත් විශයය....11 ( Sex Education in Sinhala )



ඔසප් චක්‍රය

බොහෝ ආගම් සහ සංස්කෘතිවල ස්ත්‍රීන්ගේ ඔසප් වීම අශුද්ධ දෙයක් විදිහටනේ සළකන්නේ.අනේ මන්දා ඉතිං රුධිරය එක්ක පටක ටිකක් තමයි පිට වෙන්නේ.ඒක ඉතිං තුවාලයක් තියෙන එකෙක්ටත් පොදුයි නොවැ.ඒ විදිහට බැලුවම ආගමික ස්ථානවලට, උත්සවවලට තුවාලකාරයින්ටත් සහභාගි වෙන්ඩ නොදී ඉන්ඩ ඕනෑ.

ඔසප් චක්‍රය, ආර්ථව චක්‍රය මේ කොයි විදිහට කිව්වත් කියවෙන්නේ එකම දෙයක් ගැන.ඒ ස්ත්‍රීන්ගේ ගර්භාශයේ ඇතුළු බිත්තිය සාමාන්‍යයෙන් දින 28කට පාරක් ගැලවිලා රුධිරය එක්ක පිටවෙලා යන එකට.

මේක ගෑනු ළමයි ලැජ්ජා හිතන්ඩ දෙයක්වත් පිරිමි අමුතු විදිහට බලන්ඩවත් අවශ්‍ය දෙයක් නෙමෙයි.මේක ස්වභාවධර්මයේ විශිෂ්ඨ ක්‍රියාවලියක්.ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම ඩිම්බයක්ම සංසේචනය වෙලා ආවොත් පැලවෙලා වර්ධනය වෙන්ඩ අබාධවලින් තොර සරු පටකයක් ලබා දෙන එක.

වටෙන් වටෙන් කියලා තේරුමක් නෑනේ.ඔන්න එහෙනම් පටං ගම්මු මේක ගැන හරියට කතා කරන්ඩ.

ගැහැනු අයගේ ජනක සෛල ඒ කියන්නේ ඊළඟ පරම්පරාව බිහි කරන්ඩ දායක වෙන සෛල හැදෙන්නේ ඩිම්බ කෝෂයේ කියලා දන්නවනේ.පිරිමින්ගේ වෘෂණවල දවස ගානේ අළුතෙන් ශුක්‍රාණු හැදුනට ඩිම්බ කෝෂවල ඩිම්බ එහෙම හැදෙන්නේ නෑ.ගෑනු දරුවෙක් ඉපදෙනකොට එයාගේ ඩිම්බ කෝෂවල ඩිම්බ විශාල ප්‍රමාණයක් තියෙනවා.හැබැයි මේවා පරිණත වෙලා නෑ.සංඛ්‍යාත්මකව කිව්වොත් ඉපදෙන්ඩ කළිං මිලියන 7ක් විතර වෙන මේ අපරිණත ඩිම්බ සංඛ්‍යාව විවිධ හේතු නිසා තෝරාගැනීම්වලට ලක් වෙලා ඉපදෙන කොට ඉතුරු වෙන්නේ මිලියන 2ක් විතර.මේ මිලියන දෙකෙනුත් බාගයක්ම වැඩ කරන්නේ නෑ.ඒ කියන්නේ හොඳ ඒවා ඉතුරු වෙන්නේ මිලියන එකක් විතර.මේ ඩිම්බ ඌණන විභාජනයෙන් බෙදිලා පරිණත වෙලා එපායෑ සංසේචනය වෙන්ඩ.ඉතිං ඒවා මුල් කාලෙම පරිණත වීමේ පළමු පියවර තියනවා.ඒ කියන්නේ ඌණන විභාජනයේ මුල් අවස්ථාවකට ඇවිල්ලා නවතිනවා.මේ ඌණන විභාජනයේ අවස්ථාවට කියන්නේ 'ප්‍රාග් කලාව' කියලා.මේකෙදි ඩිම්බ සෛලයේ වර්ණදේහ සංඛ්‍යාව දෙගුණ වෙලා ලෑස්තිවෙලා ඉන්නවා වාරය ආව ගමන් ඉතුරු ටික කරගෙන යන්ඩ.


ඔන්න ඉතිං ඔය විදිහට ඩිම්බ තියෙන වගක්වත් දන්නැතුව ගෑනු දරුවො වැලිබත් උයනවා, බෝනික්කො නලෝනවා, මොන්ටිසෝරි යනවා, ඉස්කෝලෙ යනවා අර මෙව්වා දවස එනකං.අන්න එදාට මේ කෙල්ලව ලෝකෙං වහලා කාමරේකට දාලා හංගගෙන උපදෙස් දෙනවා කොල්ලො ආශ්‍රය කරන්ඩ එපා, දැං ඉතිං පරිස්සං වෙන්ඩ, ලෝකෙ හරි කෲරයි, උඹ මලක් වගෙයි ආදී විදිහට.ඔන්න ඉතිං උදේ පාන්දර නාවලා, කොස් අත්තකට කැත්තෙං කොටලා, නාවපු කළෙත් බිඳලා, අළුත් රත්තරං කරාබු ජෝඩුවක් එහෙම දාලා ගමටම කියලා හෙන උත්සවයකුත් ගන්නවා.මේ උත්සවයේ අරමුණ විදිහට මම දකින්නේ 'ඔන්න බොලව් අපේ එකී දැං බඩ වෙන්ඩ ලෑස්තියි.ඇහැක් එකෙක් ඉන්නවානං ඇන්න පලයවු' කියලා කෑගහලා කියන්නැතුව කියන විදිහ කියලා.

මේ විදිහට පළමු ඔසප් රුධිරය පිට වීමට මල්වර වීම, ලොකු ළමයෙක් වීම, ගෙට වීම වගේම සමහර පැතිවල *ක මල පීදීම කියලත් කියනවා කියලයි සන්නස්ගල සර් කියලා දුන්නේ.ඔය ඉතිං මගෙත් සිහිය වෙන වෙන පැතිවලටමනේ යන්නේ.කොහොම හරි මේ වෙද්දි ඒ කියන්නේ මල්වර වෙනකොට ඩිම්බ ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂ තුනක් විතර.

ඔසප් චක්‍රය සාමන්‍යයෙන් දවස් 28ක චක්‍රයක් විදිහට සැළකුවාට ඒක දවස් 21-35 අතර වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් දවස් 3-5 අතර පැවතුනාට දවස් 1-8 අතර රුධිරය පිටවීම සාමාන්‍යයි කියලයි සළකන්නේ.දවස් 8ට වැඩිනම් පොඩ්ඩක් සළකලා බලන්ඩ.ඔසප් රුධිරය පිට වීම සාමාන්‍යයෙන් ඉතා සුළු බින්දු කිහිපයක සිට මිලි ලීටර් 80ක් විතර වෙනකන් වෙනස් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ඔසප් රුධිරයත් එක්ක රුධිරය කැටි ගැසීම වලක්වන රසායනිකයක් පිට වීම නිසා රුධිරය කැටි ගැහෙන්නේ නෑ.එහෙම නැත්තං ඔසප් රුධිරයට පිට වෙන්ඩ බෑනේ.ඒ නිසා ඔසප් රුධිරය එක්ක රුධිර කැටි පිට වෙනවා කියන්නේ අධික රුධිර වහනයේ ලක්ෂණයක්.මොකද අර ප්‍රථිකැටිකාරකයේ ක්‍රියාකාරීත්වයේ සීමාවට වැඩියෙන් රුධිරය පිට වෙනවා කියන එකනෙ.


ඔසප් චක්‍රයක පළවෙනි දවස විදිහට සාමාන්‍යයෙන් අපි සළකන්නේ ඔසප් රුධිරය පිටවීම ආරම්භ උන දවස.ඒක නිසා මේක සිද්ධවෙන විදිහ ගැන කතා කරන්ඩ ඒ තැනින් පටං ගම්මු.හැබැයි ඔසප් චක්‍රයකදී ඩිම්බකෝෂයේත්, ගර්භාශයේත් වගේම ඇඟේ හෝමෝන මට්ටමේත් වෙනස්කම් සිද්ධ වෙනවා.ඒ නිසා ඒ ඔක්කොම ගැන සරළව කතා කරගෙන යමු.

ඔන්න ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම බිඳවැටිලා රුධිරය සහ පටක කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.ඔන්න මේ කාලෙම ඩිම්බකෝෂයේ අර අපරිණත ඩිම්බ කීපයක් පරිණත වෙන්ඩ පටන් ගන්නවා.මේ ඩිම්බ තියෙන්නේ ශුක්‍රාණු වගේ තනියම නෙමෙයි.ගෑනු කොහොමත් ඉන්නේ ආරක්ෂාවට වටේට මුර දාලනේ.ඩිම්බයත් ඒ වගේම තමයි.ඩිම්බය වටේට පුංචි සෛල රාශියක් එකතුවෙලා හැදිච්ච ආවරණයක් තියෙනවා.මේ ඩිම්බය පරිණත වෙනකොට මේ සෛල ආවරණයේ තැනක පොඩි කුහරයක් හැදිලා ඒක ඇතුලේ තරලයක් එකතු වෙන්ඩ පටං ගන්නවා.පස්සේ මේ කුහරය සෑහෙන්ඩ ලොකු වෙනවා.ඒ කියන්න අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකිං බලාගන්ඩත් පුළුවං.මේ විදිහට කුහරයක් හැදිච්ච ඩිම්බයක් ඇතුලත් ව්‍යුහයට කියන්නේ ස්‍යුනිකාවක් කියලා.



අපේ මොළයේ තියෙන හයිපොතැලමසයේ සහ පිටියුටරියේ නිපදවෙන හෝමෝන යටතේ ශරීරයේ අනිකුත් බොහෝ හෝමෝන පාලනය වෙනවා කියලා කලිං ලිපියක කිව්වා වගේ මතකයි.ඔන්න මේ හයිපොතැලමසයෙන් GnRH කියලා හෝමෝනයක් නිදහස් වෙනවා.මේ හෝමෝනය මගින් පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන නිපදවෙන එක උත්තේජනය කරනවා.මේ FSH ගිහිල්ලා ඩිබකෝෂ මත වැඩ කරලා තමයි ස්‍යුනිකා නිපදවීම සහ ඒ ස්‍යුනිකා මගින් හෝමෝන නිපදවීම උත්තේජනය කරන්නේ.

ඉතිං මේ විදිහට එක ඔසප් චක්‍රයකට ස්‍යුනිකා කීපයක් වර්ධනය වෙන්ඩ පටං ගන්නවා.මේ ස්‍යුනිකා වල වටේ තියෙන සෛල ස්ථරයෙන් ඊස්ට්‍රජන් කියන හෝමෝනය වැඩිපුරත් ප්‍රොජෙස්ටෙරොන් කියන හෝමෝනය ස්වල්ප වශයෙනුත් නිශ්පාදනය කෙරෙනවා.මේ ඊස්ට්‍රජන් මගින් ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ සෛල ගුණනය වෙලා එන්ඩොමෙට්‍රියම නැවත වර්ධනය වෙන එක උත්තේජනය කරනවා.ඊට අමතරව මේ ඊස්ට්‍රජන් ගිහිල්ලා පිටියුටරිය සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා LH ස්‍රාවය වීම අඩු කරනවා.ඊට අමතරව තව ඉන්හිබින් කියලා හෝමෝනයක් හැදෙනවා මේ එක්කම ඩිම්බකෝෂවල.ඒකෙන් ගිහිල්ලා FSH ස්‍රාවය වීම පාලනය කරනවා.

මේ හැදෙන ස්‍යුනිකා කීපයෙන් එකක් විතරක් අන්තිමට ඉතුරු කරගෙන අනිත් ඒවා සාමාන්‍යයෙන් විනාශ වෙලා යනවා.මේ විදිහට ඉතුරු වෙච්ච ස්‍යුනිකාව හොඳටම පරිණත වෙනවා.මේ පරිණත ස්‍යුනිකාවට කියන්නේ ග්‍රාෆීය ස්‍යුනිකාව කියලා.ඒකෙන් ඊස්ට්‍රජන් විශාල ප්‍රමාණයක් ස්‍රාවය කරනවා.මේ ස්‍යුනිකාවේ තියෙන ඩිම්බ සෛලයේ න්‍යෂ්ඨිය ඌනන විභාජනයේ පළමු පියවරෙන් බෙදෙනවා.බෙදිලා න්‍යෂ්ඨි දෙකක් හැදෙනවා.ඒක න්‍යෂ්ඨියක් සෛලයෙන් පිටතට තල්ලු වෙලා යද්දි අනිත් න්‍යෂ්ඨිය විතරක් සෛලය ඇතුලේ ඉතුරු වෙනවා.මේ ඩිම්බ සෛලය ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ අතර මැද්දේ නතර වෙනවා.මේ අදියරට කියන්නේ ඌණන විභාජනයේ දෙවෙනි පියවරේ යෝග කලාව කියලා.

ඊස්ට්‍රජන් මගින් LH ස්‍රාවය කරන එක අඩු කරනවා කිව්වනේ.ඒකත් ඇවිල්ලා හරියට කොල්ලෙක් යාලු වෙන්ඩ අහද්දි කෙල්ල බෑ කියනවා වගේ වැඩක්.කොල්ලා නිකං ඇවිල්ලා ඇහුව ගමං 'බෑ' කියලා කෙල්ල කියනවා.කොල්ලා ඊළඟට චොක්ලට් එකක් අරං එනවා.ඒත් බෑ කියනවා.ඔය විදිහට කොච්චර බෑ කිව්වත් කොල්ලා අත අරින්නෙම නෑනේ.එතකොට කෙල්ලගේ හිතේ දෙගිඩියාවක් එනවා.කොල්ලා ගැන පැහැදීමක් එනවා.ඔන්න එක දවසක කෙල්ල පැනපු ගමං 'හා' කියනවා.මේ හොමෝන වැඩෙත් ඒ වගේම තමයි.මුලිං ඊස්ට්‍රජන් තියෙද්දි LH ස්‍රාවය අඩු වෙනවා.ඒත් ඊස්ට්‍රජන් එන්ඩ එන්ඩ වැඩි වේගන යද්දී LH ස්‍රාවය අඩුවෙන්නැතුව එක පාරටම වැඩි වෙන්ඩ පටං ගන්නවා.ඒ කියන්නේ ඊස්ට්‍රජන් පොඩ්ඩක් තියෙද්දි LH ස්‍රාවය අඩු කළා වගේම ගොඩක් තියෙද්දි LH ස්‍රාවය වීම වැඩි කරනවා.



මෙන්න මේ වෙලාවේ වැඩිපුර තියෙන LH වල ක්‍රියාකාරීත්වයෙන් ඩිම්බකෝෂ බිත්තිය සහ ස්‍යුනිකා බිත්තිය පුපුරලා ඩිම්බය උදර කුහරයට නිදහස් වෙනවා.මේකට තමයි කියන්නේ ඩිම්බ මෝචනය කියලා.මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ දවස් 28ක ඔසප් චක්‍රයකනං 14 වෙනි දවසේ විතර.ඉතිං මෙච්චර දවසක් ඩිම්බකෝෂවල තිබුනේ ස්‍යුනිකා හින්දා ඔසප් වීමේ සිට මේ ඩිම්බ මෝචනය දක්වා අවධියට 'ස්‍යුනිකා අවධිය' කියලා කියනවා.ඒ වගේම ඊස්ට්‍රජන්වල ක්‍රියා කාරීත්වය යටතේ ඔසප්වීම නතර උනදා ඉඳං ගර්භාශ බිත්තිය වර්ධනය උන හින්දා ඔසප් වීම නතර උන දා ඉඳං ඩෛම්බ මෝචනය දක්වා කාලයට 'ප්‍රගුණන අවධිය' කියලත් කියනවා.

ග්‍රාෆීය ස්‍යුනිකාව පුපුරලා ඩිම්බය පිට උනාට පස්සේ ස්‍යුනිකාවේ ඉතුරු වෙච්ච සෛල ටික එකතු වෙලා ඩිම්බ කෝෂය ඇතුලේ 'පීත දේහය' කියන ව්‍යුහය බවට පත් වෙනවා.මේ පීත දේහය ඊස්ට්‍රජන් අඩුවෙනුත් ප්‍රොජෙස්ටෙරොන් වැඩිපුරත් ස්‍රාවය කරනවා.

මේ ප්‍රොජෙස්ටෙරොන්, ඊස්ට්‍රජන් වල ක්‍රියාකාරීත්වයෙන් වර්ධනය වෙලා තියෙන ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ක්‍රියා කරලා ඒකේ රුධිර නාල වැඩි කිරීමත්, ඒ රුධිර නාල විශාල කිරීමත් දඟර ගැසීමෙන් වැඩි රුධිර පරිමාවක් එන්ඩොමෙට්‍රියට ලැබීමටත් සලස්වනවා.එයිට අමතරව එන්ඩොමෙට්‍රියමේ ඇති ග්‍රන්ථි සංඛ්‍යාවෙන් වැඩි කරලා ඒවා ප්‍රමාණයෙන් විශාල කරලා ඒවායේ ස්‍රාවයන් වැඩි කිරීමත් සිද්ද කරනවා.

පීත දේහයට සුද්දෝ කියන්නේ කෝර්පස් ලුටියම් (corpus luteum) කියලා.ඒක හින්දා ඒක තියෙන අවධියට 'ලුටීය අවධිය' කියලා කියනවා.ඒ වගේම එන්ඩොමෙට්‍රියමේ ග්‍රන්ථි මගින් ස්‍රාවයන් නිකුත් කරන නිසා මේ අවධිය 'ස්‍රාවීය අවධිය' කියලත් කියනවා.

මේ වෙද්දි රුධිරයේ ප්‍රොජෙස්ටෙරොන් ප්‍රමාණය ඉතාමත් ඉහලයි.ස්‍යුනිකාව විනාශ උනාට පස්සේ ඊස්ට්‍රජන් ප්‍රමාණය තරමක් අඩු උනත් සාමාන්‍යයෙන් ඉහල මට්ටමක පවතිනවා.ඉන්හිබින් සහ ඊස්ට්‍රජන්වල බලපෑම නිසා FSH සහ LH පහල මට්ටමකයි පවතින්නේ.මේ වෙද්දි තරමක් පහල ගිය ඊස්ට්‍රජන් මට්ටම නැවතත් LH ස්‍රාවය අඩු කරන්ඩයි දායක වෙන්නේ.

ඔසප් චක්‍රයේ දවස් 28 පමණ වෙනකොට පීත දේහය බිඳ වැටෙනවා.එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මට්ටම සීඝ්‍ර ලෙස පහල වැටෙනවා.


ඒ එක්කම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරොන් මගින් පවත්වාගෙන ගිය ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමත් බිඳ වැටෙනවා.ඒකේ තිබුණු රුධිර වාහිනී බිඳ වැටීම නිසා රුධිරය පිට වෙනවා.මේ රුධිරයත් එක්ක එන්ඩොමෙට්‍රියමේ කොටස් යෝනි මාර්ගය හරහා පිට වෙලා යනවා.

ඉතිං මෙ විදිහට බැලුවම ඔසප් වීමක් කියන්නේ එක් ඩිම්බමෝචනයක් සිද්ධ වෙලා ඒක සංසේචනය නොවීම නිසා සිද්ධ වෙන සංසිද්ධියක්.සංසේචනය උනානං මෙයිටවඩා වෙනස් විදිහකටයි සිද්ධ වෙන්නේ.ඒ ගැන පස්සේ බලමු.මට කියන්ඩ ඕනෙ කළේ ගැහැනු ළමයෙක් මල්වර වෙන්ඩ කලිං ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වුවත් ගැබ් ගන්ඩ ඉඩක් තියෙනවා කියන එක.මොකද ඒ ළමයා ඒ වෙද්දි ඩිම්බ මෝචනයක ඉන්ඩ පුළුවං නේ.නමුත් බොහෝ වෙලාවට මුල් ඔසප් වීම් සිද්ධ වෙන්නේ ඩිම්බ පිට වෙන්නේ නැතුව.



++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඕනෑම ගැටළුවක් කොමෙන්ට් එකකින් අහන්ඩ.දන්න එකක්නම් කියන්නම්.නැත්තං හොයලා හරි කියන්නම්.

ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්ඩ කිසි අවුලක් නෑ.හැබැයි බොරුවට නිකං කුණුහබ්බ දාන්ඩ එපා හරි නෑනේ.






28 October 2012

වැදගත් විශයය....10 ( Sex Education in Sinhala )



අභ්‍යන්තර යෝනි තොල්

අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පිහිටා ඇති අතර ඒවා ඉහලින් ක්ලිටොරිසය දක්වා දිවෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල් ක්ලිටොරිසය දෙපැත්තේදී ස්ථර දෙකකට බෙදෙනවා.ඒ එක් එක් පැත්තේ අභ්‍යන්තර යෝනි තොල්වල බෙදුනු පසු සෑදෙන ඉහල ස්තර දෙක ක්ලිටොරිසයට ඉහලින් එකිනෙක හා එක් වෙන අතර පහළ ස්තර දෙක ක්ලිටොරිසයට පහළින් එකිනෙක හා සම්බන්ධ වෙනවා.

පහළින් මේ අභ්‍යන්තර යෝනි තොල් යෝනි මාර්ගය දෙපසින් පසුපසට ගමන් කරලා බාහිර යෝනි තොල් හා එක්වෙන අතර යෝනි මාර්ගයට පසුපසින් කුඩා පටකයකින් එකිනෙක හා එකතු වෙනවා.මේ අභ්‍යන්තර යෝනි තොල්වල රෝම පිහිටන්නේ නෑ.

බාහිර යෝනි තොල්

පුරුෂ වෘෂණ කෝෂවල ස්ත්‍රී අනුරූපකය තමයි බාහිර යෝනි තොල් කියන්නේ.මේ බාහිර යෝනි තොල්වල රෝම පිහිටනවා.මේවා තමයි ස්ත්‍රී බාහිර ලිංගික අවයව සියල්ලම වට කරගෙන පිහිටන ව්‍යුහය.

ක්ලිටොරිසය

ස්ත්‍රී ලිංගික අවයවවල සංවේදීම කොටසක් විදිහට ක්ලිටොරිසය හෙවත් භගමණිය හඳුන්වන්න පුළුවන්.මේ තමයි පුරුෂ ශිෂ්ණයේ ස්ත්‍රී ප්‍රතිරූපකය.ශිෂ්ණයේ වගේම ක්ලිටොරිසයටත් මුණ්ඩයක් පිහිටනවා.ඒ වගේම අභ්‍යන්තර යෝනි තොල් වල ඉහළ කොටසින් සෑදුනු පෙර සමක් ද දකින්න පුළුවන්.ක්ලිටොරිසය ප්‍රමාණයෙන් කුඩාවට පිහිටියා උනාට ඒක ශරීරයට සම්බන්ධ වෙලා තියෙන පටක යෝනි මාර්ගය දෙපසින් තරමක් දුරට ගමන් කරනවා.මේ නිසා යෝනි මාර්ගයේ ඇදීමට ලක් උනොත් ක්ලිටොරිසය උත්තේජනය වෙනවා.අන්න ඒක හින්දා තමයි මම කළිං ලිපියක කිව්වේ ශිෂ්ණයේ දිග වැදගත් වෙන්නේ නෑ කියලා.ඇත්තටම වැදගත් වෙන්නේ ශිෂ්ණයේ විශ්කම්භයයි.







දැං අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇති වෙන්ඩ පුළුවං රෝගාබාධ කීපයක් ගැන බලමු ද?

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන වශයෙන් පිළිකා තුනක් ඇති වෙන්ඩ පුළුවං.

1. ඩිම්බ කෝෂ පිළිකා
2. ගර්භාශ පිළිකා
3. ගැබ් ගෙල පිළිකා

මෙයින් ඩිම්බ කෝෂයේ ඇතිවෙන පිළිකා වර්ග කීපයක්ම දකින්ඩ පුළුවන්.ඒ එකින් එක මෙතන විස්තර කරන එකේ තේරුමක් නෑනේ.වැදගත්ම දේ වෙන්නේ මේ ඩිම්බ කෝෂ තියෙන්නේ උදර කුහරය ඇතුලේ නිදහසේ එල්ලි එල්ලී නිසා ඩිම්බ කෝෂවල පිළිකාව ගොඩක් දුරට පැතිරෙනකන් බොහෝ වෙලාවට මොකුත් වෙනසක් තේරෙන්නේ නෑ.

ගර්භාශයේ පිළිකාවල තියෙන වැදගත්කම තමයි මුල් කාලෙදිම ඔසප් රුධිරය වහනය වීමේ වෙනස් කම් ඇතිවෙන හින්දා ඒ කියන්නේ ඔසප් රුධිරය වැඩිපුර පිට වීම, ඔසප් වීම් අතර රුධිරය පිට වීම වගේ වෙනස්කම් ඇතිවෙන හින්දා ඉක්මනට අඳුන ගන්ඩ ලැබෙනවා.හැබැයි ගර්භාශය අයින් කරන්ඩ නම් සිද්ධ වේවි.එතකොට ඉතින් දරුවො හදන්ඩ බෑනෙ.නමුත් මේ පිළිකා හැදෙන්නේ ගොඩක් වයසට ගියාට පස්සේ නිසා ලොකු බලපෑමක් නෑ.

මතක තියා ගන්ඩ ඕනෙ වෙන්නේ ගෑනු කෙනෙක් ආර්ථවහරණය උනාට පස්සේ ඒ කියන්නේ ඔසප් වීම නතර උනාට පස්සේ මාස හයක් ගත උනාට පස්සෙ ඉඳන් නැවත යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීමක් සිද්ධ උනොත් වහාම වෛද්‍ය ප්‍රථිකාර පතන එක හොඳයි.මොකද මේ පිළිකාවක් නිසා වෙන්න පුලුවන් නේ.මාස හයක් ඉන්නේ ආර්ථවහරණයේ ඉඳන් මාස හයක් ඇතුලත රුධිර වහනයක් සාමාන්‍යයෙන් වෙන්ඩ පුළුවන් නිසා.නමුත් මෙහෙම කිව්වා කියලා අවුලක් නෑ කියලා හිතන්ඩ එපා.ආර්ථවහරණයට කළිනුත් ගර්භාශ පිළිකා හැදෙන්ඩ පුළුවන් නිසා සැකයක් හිතෙන වෙලාවට පරීක්ෂාවක් කර ගන්න එක හොඳයි.

ගැබ් ගෙල පිළිකා ගැන කියද්දි කියන්ඩ තියෙන්නේ මේකට ප්‍රධාන හේතුවක් විදිහට දකින්නේ ලිංගික ඉන්නන් හදන්ඩ හෙතුවන ලිංගාශ්‍රිතව පැතිරෙන HPV කියලා හඳුන්වන වෛරසයක්.ඉතිං ලිංගික සහකරුවන් කීප දෙනෙක් ඉන්න වගේම අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන ගැහැනු අයත් බහුලවම මේ පිළිකාවේ ගොදුරක් වෙන්ඩ තියෙන ඉඩ වැඩියි.

යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය රුධිර වහනයක් සිද්ධ උනොත්, විශේෂයෙන් ලිංගික සබඳතාවයකට පස්සේ රුධිර වහනයක් සිද්ධ උනොත් වෛද්‍ය ප්‍රථිකාර වෙත යොමු වෙන්ඩ.ඒ වගේම මේක බලන අය තම තමුන්ගේ අම්මලා නැන්දලා දැනුවත් කරන්ඩ ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ තියෙන 'සුව නාරී සායන' ගැන.මොකද ඒ වයස්වල ඇත්තෝ බ්ලොග් බලනවා අඩුයි නේ.මේ සුවනාරී සායනවලදී අවුරුදු 35ට වැඩි කාන්තාවන්ගේ ගැබ්ගෙල පරීක්ෂා කරලා 'පැප් පරීක්ෂාව' නොමිලේ කරල දෙනවා.ඒකෙන් පිළිකාව ඇතිවෙන්ඩ කලින් අඳුර ගන්ඩ පුළුවන්.තමන්ගේ ප්‍රදේශයේ මේ සුවනාරී සායන ගැන දන්නෙ නැනම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් අහලා බැලුවනං හරි. දියුණු රටවල මේ පරීක්ෂාව මම හිතන්නේ අවුරුදු 25න් ඉහල අයට කරනවා.

ඒ වගේම මේ පිළිකාවට හෙතුවක් විදිහට දක්වන HPV වලට එරෙහිව එන්නතක් දැන් තියෙනවා.සමහර රටවල පොඩි ගෑනු දරුවන්ට මේ එන්නත ලබා දෙන එක අනිවාර්ය කරලා තියෙනවා.නමුත් අපේ රටේ තවම එහෙම නෑ.මේක පුද්ගලික අංශයෙන් ලබා ගන්ඩ පුළුවන්.



මේ පිළිකා ගැනනේ කිව්වේ.

පිළිකා නොවන වෙනත් වර්ධනයන් කීපයකුත් ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව දැකගන්ඩ පුළුවන්.

ඩිම්බ කෝෂවල සෛල අධිවර්ධනයෙන් ඇති වෙන ගෙඩි වගේම තරල පිරීමෙන් ඇතිවෙන ගෙඩිත් දකින්ඩ පුළුවන්.මේවායින් ඇතිවිය හැකි ප්‍රධානම බලපෑම තමයි මදසරුභාවය ඇතිවීම.මේ ඒ ගෙඩි ඩිම්බ කෝෂවල ඩිම්බ වර්ධනය හා මෝචනයට බාධා කිරීම නිසයි.ඊට අමතරව රුධිර වහනය වීම් වගේම විශාලව වැඩෙන ගෙඩි හෙවත් වර්ධනයන් නිසා ඇතිවන පීඩනයෙන් අසල ඇති වෙනත් අවයවවලට බාධා පැමිණීම ආදිය දක්වන්ඩ පුළුවන්.

ගර්භාශයේ ඇතිවෙන පිළිකාමය නොවන වර්ධනයක් තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ.මේවා ඇතිවෙන්නේ ගර්භාශයේ පේශි ස්ථරයේ.ඒ කියන්නේ මයෝමෙට්‍රියමේ.මේ ගෙඩි පැවතීමෙන් ඔසප් රුධිරය වහනය වීම වැඩි වෙන්ඩ වගේම අක්‍රමවත් වෙන්ඩ පුළුවන්.ඒ වගේම ගර්භාශයේ මේ ගෙඩි පැවතීම නිසා එහි කළලයේ තැන්පත් වීමට බාධා කිරීම නිසා මද සරු භාවය ඇති වෙන්නත් පුළුවන්.ඒ වගේම ගැබ් ගැනීමක් සිද්ද උනාම වැදෑමහ නිසි ලෙස ගර්භාශ බිත්තියට සවි නොවීමේ තත්ත්ව ඇති වෙන්ඩත් පුළුවන්.දරුවන් බලාපොරොත්තු වෙන එක්කෙනෙක්ටනං මේ ගෙඩි විතරක් අයින් කරලා ගර්භාශය ඉතුරු කරන ශල්‍යකර්මයක් (myomectomy) කරන්ඩ උත්සාහ කරනවා.නමුත් දරුවන් හදලා ඉවර උන කෙනෙක් නම් ගර්භාශයම ඉවත් කරන එක (hysterectomy) තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ.
නමුත් මේ විදිහට ප්‍රථිකාර  කරන්ඩ සිද්ධ වෙන්නේ මොනවා හෝ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට විතරයි.මොකද ගොඩක් කාන්තාවන්ගේ ගර්භාශයේ ෆයිබ්‍රොයිඩ් තිබුණට ඒක කිසිම ආබාධයක් අපහසුතාවයක් ඇති කරන්නේ නෑ.




තවත් බහුලව දකින්ඩ තියෙන රෝගී තත්වයක් තමයි එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ.මේ රෝගී තත්ත්වයේදී සිද්ධ වෙන්නේ ගර්භාශයේ එන්ඩොමෙට්‍රියම කියන පටක වර්ගය උදරයේ වෙනත් තැන්වල දකින්ඩ ලැබීම.එතකොට ඔසප් චක්‍රයත් එක්ක ගර්භාශයේ එන්ඩොමෙට්‍රියමේ ඇතිවෙන වෙනස්කම් ඒ කියන්නේ වර්ධනය වීම, ස්‍රාවයන් පිට කිරීම සහ අවසානයේ බිඳ වැටී රුධිර වහනය වීම මේ වෙනත් තැන්වල තියෙන පටක කොටස්වලත් ඇතිවෙනවා.

ඉතින් මේ නිසා වේදනාත්මක ඔසප්වීම් ඇතිවෙන්ඩ පුළුවන්.කොන්දේ වේදනාව, යටි බඩේ වේදනාව, අධික හෝ අක්‍රමවත් ඔසප් වීම්, ලිංගික එක්වීමේදී වේදනාව ඇති වීම වගේ ඒවාත් ඇති වෙන්ඩ මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්ත්වය බලපාන්ඩ පුළුවන්.ඒ වගේම ඩිම්බකෝෂවල ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වගේම ශ්‍රෝණි කුහරයේ ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා පැලෝපීය නාල අවහිර වීම නිසා මදසරුභාවය ඇතිවෙන්ඩත් පුළුවන්.

මේ සඳහා හෝමෝනමය ප්‍රථිකර්ම වගේම ශල්‍යකර්ම මගිනුත් ප්‍රථිකාර කරනවා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ඕනෑම ගැටළුවක් කොමෙන්ට් එකකින් අහන්ඩ.දන්න එකක්නම් කියන්නම්.නැත්තං හොයලා හරි කියන්නම්.

ඇනෝ ඇවිත් කොමෙන්ට් දාන්ඩ කිසි අවුලක් නෑ.හැබැයි බොරුවට නිකං කුණුහබ්බ දාන්ඩ එපා හරි නෑනේ.


26 October 2012

හිනාවක් සහ කඳුලක්....



පහුගිය දවස් ටිකේම මොකුත් ලියනවා තියා කට්ටියගේ බ්ලොග් ටිකවත් හරියට බලාගන්ඩ වෙලාවක් හම්බ උනේ නෑ.අපේ වෘත්තිය පුහුණුවේ අවසාන අවුරුද්ද පටං ගත්ත නෙව.ආතල් ජීවිතේට තිත තියලා හොටු පෙරාගෙන දත්මිටි කාගෙන දැං බරටම වැඩ.මේ කියන්නේ ඔය කට්ටිය අහලා ඇති නේ ඔය මහාචාර්ය ඒකකයේ පුහුණුව කියන එක.අන්න ඒක ගැන.මාර ආතල් අප්පා.උදේ 7.30ට වාට්ටුවට ගියාම සමහර දවස්වලට බෝඩිමට එන්නේ රෑ 10.30ට විතර.මොකෝ කලිං අවුරුදු හතරෙම අයිස් ගහපුවට හරියන්ඩ වැඩ කරන්ඩ එපායැ.

මේ කියන මහාචාර්ය ඒකකවල පුහුණුවේදි මම ඇතුළු කණ්ඩායම මුලින්ම වැටුනේ නාරිවේදය ඉගෙන ගන්ඩ.පටං ගත්තෙම අවුල් තැනකිං.ඔය කකා දාලා තියෙන්නේ ඒකේ වටිනාකම.

ඔන්න නාරි වේදය කිව්වම කතාවක් මතක් උනානේ,

නාරිවේදය කරනකොට කරන්ඩ තියෙන එකක් තමයි යෝනි මාර්ගයට ඇඟිල්ල දාලා පරීක්ෂා කරන එක.මේක ගොඩක් වෙලාවට හැම රෝගියෙක්ටම වගේ කරන්ඩ ඕනෙ.කතාවට කියන්නේ ලෙඩෙක්ට PV (per vaginal examination) එකක් නොකර ඉන්නේ එක්කෝ කන්‍යාවක්නම්, එහෙම නැත්තං යෝනියක් නැත්තං කියලා.අනිත් එක ගොඩක් වෙලාවට අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එහෙම කරන්නෙත් යෝනි මාර්ගය හරහා.ඒ විතරක් යැ, සමහර ශල්‍යකර්ම කරන්නෙත් යෝනි මාර්ගය හරහා නෙව.

ඔන්න ඉතිං අමතර දැනුම හරි ඈ.

නාරිවේදී දොස්තර කෙනෙක් තමංගේ වෘත්තිය ගැන කළකිරුණලු.නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනවා වගේ ගෙදර උන්දැත් එපා වෙයි කියලා බය වෙලා වෙන්ඩ ඇති.කොහොම හරි පොර ගියාලු වාහන එන්ජින් හදන්ඩ ඉගෙන ගන්න කෝස් එකක් කරන්ඩ.පොරත් අනිත් මජං අයියලා එක්කම හරි හරියට වැඩේ අල්ලගෙන යනවලු.කොහොම හරි අවසාන එග්සෑම් එක තියෙනවලු.මේක ඇවිල්ලා ප්‍රායෝගික පරීක්ෂණයක්.කැඩිලා තියෙන ඇංජිමක් හදන එක තමයි වැඩේ.

පරීක්ෂණය අවසානෙදි ඩොකාට ලකුණු 100% යි ලු.ඔය ගැරෙජ්වල වැඩ කරලා කරලා හොඳට වැඩ පුලුවං උනාට සහතිකයක් ගන්ඩ ඕනෙ කමට කෝස් එකට එන්ටර් වෙච්ච හොඳ හොඳ එංජින් වැඩ කාරයින්ටත් 50%, 60% වගේ තියෙද්දි මේකා 100% ගත්තේ කොහොමද කියලා කට්ටියට හරි අවුල ලු.ඉතිං කට්ටිය ගියාලු විභාගෙ පවත්වපු අයගෙං මේ ගැන අහන්ඩ.


කට්ටිය ගිහිං ඇහුවම පරීක්ෂක මහත්තුරු කිව්වලු මිනිහා ඇංජිම හරියට හැදුවා ඒක හින්දා ලකුණු දුන්නා කියලා.එතකොට පරීක්ෂණේට පෙනී හිටපු ගැරේජ් බාස් කෙනෙක් නැගිටලා කිව්වලු 'ඉතිං මාත් ඇංජිම හරියට හැදුවනේ ඒ උනාට මට ලකුණු එච්චර නෑ නෙ' කියලා.එතකොට අනිත් උනුත් මුණු මුණු ගාලා උනුත් හරියට හැදුව එක ගැන කියන්ඩ ගත්තලු.එතකොට පරීක්ෂක මහත්තුරු කිව්වලු

'හරි හරී තමුසෙලා ඔක්කොම එංජිම හරියට හැදුවා ඒ උනාට ඒ යකා එංජිම හැදුවේ එක ඇණයක්වත් ගලවන්නැතුව සයිලන්සරෙන් අත දාලා' කියලා.




++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++





මේක මේ අමතර කතාවක්නේ.කියන්ඩ හැදුවේ ඒක නෙමෙයි නේ.ඔන්න මේ නාරිවේදී පුහුණුවට අදාලව අපිට සිද්ද උනා මහරගම පිළිකා රෝහලට ගිහිල්ලා නාරිවේදය හා සම්බන්ධ පිළිකා ඒ කියන්නේ ඔය ගර්භාශ පිළිකා, ගැබ්ගෙල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා ගැන එහෙම ඉගෙන ගන්ඩ.ඔය ගිය වෙලාවේ ආච්චි කෙනෙක් හිටියා ගැබ්ගෙල පිළිකාවක් හැදිලා.අපිට තියෙනවනේ රෝග ඉතිහාසය අහන්ඩ.මමයි තව දෙන්නෙකුයි මේ ආච්චිව කතාවට අල්ලගෙන ඔන්න විස්තරේ අහගෙන අහගෙන යනවා.ගෙවල් රත්නපුරේ කහවත්තේ, වයස අවුරුදු පනස් අටයි,රස්සාව තේ දලු කඩන එක.දරුවො තුන්දෙනයි.මල්වර වෙලා තියෙන්නේ අවුරුදු දහතුනේ දි, අවුරුදු දහ හතරෙදි කසාද බැඳලා.

මුල් කාලේ ඉඳංම ඔසප් වීමේදී අධික රුධිර වහනයක් වෙලා තිබුනට ප්‍රථිකාර අරගෙන නෑ.ඇයි කියලා ඇහුවම අහිංසක විදිහට හිනා වෙනවා.අපි බණියි කියලා බය වෙලා.හරිම බැගෑපත්.ඇයි මිනිස්සු අනිත් මිනිස්සුන්ට බයේ ඉන්නේ කියලා මටනං තේරෙන්නෙ නෑ.අන්තිමට පිළිකාවකුත් ඇතිවෙලා ඒක හොඳටම පැතිරුනාට පස්සේ තමයි රත්නපුරේ ඉස්පිරිතාලෙට ගිහිං තියෙන්නේ.

'එහෙං මාව කොළඹ එව්වා. උපං තේකට කොළඹ ඇවිත් නෑනෙ මහත්තයෝ...'

ආච්චි කියන්නේ හිනා වෙවී සතුටෙන්.ඒ මනුස්සයට පිළිකාවක් කියන එක තේරෙන්නේ නෑ.ඒකෙන් ජීවිත අවධානමක් තියෙනවා කියන එක වැටහෙන්නේ නෑ.කොළඹ දැකපු එක ලොකු සතුටක්.

මට කියාගන්ඩ බැරි මොකක්ද එකක් උගුරේ හිර වෙලා වගේ දැනුනා.මම කතා කරන එක නවත්තලා එන්ඩ ආවා.


මේක ගැන විග්‍රහ කරන්ඩ එක එක අයට එක එක විදිහට පුළුවං.අයිටීඑන් එක එක දෙයක් ගැන කියන දේ හාත් පසින්ම වෙනස් විදිහට සිරසෙ කියන්ඩ පුළුවං.මමනං මං ගැන සතුටු උනා.අඩුම තරමේ මම හිල්ටන් එක සිනමන් ග්‍රෑන්ඩ් එක ළඟින් ගිහින් තියෙනවා.රේස් කෝස් පැවිලියමේ සුපර් මාකට් එක දැකලා තියෙනවා.එම් සී එකේ අනිත් උන් බඩු ගන්නවා බලං ඉඳලා තියෙනවා.ඒත් අපි හැම තිස්සෙම හැමෝටම බණිනවා අපිට මදි කියලා.

මේ ආච්චි මාරන්තික ලෙඩකට ප්‍රථිකාර ගන්ඩ කොළඹ ඇවිත් කොළඹ දැකලා සතුටු වෙනවා.............





17 October 2012

වැදගත් විශයය....9 ( Sex Education in Sinhala )


ගර්භාශය 

ගර්භාශය කියන්නේ මිනිස්සුංගේ තියෙන වැදගත්ම ඉන්ද්‍රිය කිව්වොත් වැරදි නෑ.මොකද මේක ඇතුලේ තමයි ඇහැට නොපෙනෙන සයිස් එකේ පුංචි සෛල කීපයක් කිලෝ 3ක් විතර බර මිනිස් පැටියෙක් විදිහට ලොකු වෙන්නේ.මේ ගර්භාශය පහලින් තියෙන යෝනි මාර්ගයට සම්බන්ධ වෙන්නේ ගැබ් ගෙල හරහා.ගර්භාශයේ ඉහළ දෙපැත්තෙන් පැලෝපීය නාල දෙක සම්බන්ධ වෙලා තියෙනවා.එතකොට මේ ගර්භාශය යෝනි මාර්ගයේ ඉඳං ශුක්‍රාණු පැලෝපීය නාලවලට ගෙනියන්ඩ දායක වෙනවා වගේම සංසේචනය වෙච්ච ඩිම්බය හෙවත් යුක්තානුව ආපහු පැලෝපීය නාලයේ ඉඳං ආවාම ලොකු මහත් කරන කාර්යයත් කරනවා.

මේ ගර්භාශය 8cm උස 5cm පළල 3cm ගණකම තියෙන පුංචි ව්‍යුහයක්.දරු ගැබක් රහිත සාමාන්‍ය කාන්තාවක්ගේ ගර්භාශය ඇගේ සිරුරට සාපේක්ෂව මේ තරම්,


ඔය පුංචි ගර්භාශය තමයි දරු ගැබක් තියෙද්දි මේ රූපයේ තරම් ලොකු වෙලා වර්ධනය වෙන්නේ.දරුවා බිහි උනාට පස්සේ ගර්භාශය ආයෙත් පුංචි වෙලා යනවා.







ගර්භාශයේ බිත්තිය ගත්තම ස්ථර තුනකින් යුක්තයි.පිටතින්ම තියෙන්නේ ආවරණයක් වෙන පෙරිමෙට්‍රියම. ඊට ඇතුලෙන් ඒ කියන්නේ මැද ස්ථරය විදිහට තියෙන්නේ මයෝමෙට්‍රියම.ඇතුලෙන්ම තියෙන්නේ එන්ඩොමෙට්‍රියම.


පෙරිමෙට්‍රියම

මේක උදරයේ ඇති හැම ඉන්ද්‍රියයක්ම වගේ ආවරණය කරගෙන තියෙන උදරච්ඡදයෙන් හැදිච්ච ආවරණයක්.

මයෝමෙට්‍රියම

මේ ස්ථරය හැදිලා තියෙන්නේ 'සිනිදු පේශි' කියන අපිට අපේ කැමැත්ත අනුව පාලනය කරන්ඩ බැරි මාංස පේශි ස්ථරයකින්.මේ පේශීන් ගේ සංකෝචනය වීම නිසා තමයි ප්‍රසූතියේදී දරුවා ගර්භාශයෙන් පිටතට තල්ලු කරලා යැවෙන්නේ.ඊට අමතරව ඔසප් වීමේදී සුළු සංකෝචන මගින් ඔසප් රුධිරය පිටතට තල්ලු කරලා යවන්ඩත් යම් දායකත්වයක් තියෙනවා.ඒ වගේම සංසර්ගයෙන් පස්සේ යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශයට ශුක්‍රාණු ඇතුල් උනාම ගර්භාශයේ සංකෝචන මගින් ශුක්‍රාණුවලට ඉහළට ගමන් කරන්ඩත් උදවු වෙනවලු.දරුවෙක් ගර්භාශයෙ වර්ධනය වෙනකොට මේ මයෝමෙට්‍රියමේ තියෙන සිනිදු පේශි සෛල විශාල වීමෙන් සහ සංඛ්‍යාව වැඩි කර ගැනීමෙන් ගර්භාශයේ ප්‍රමාණය වැඩි කරගන්නවා.දරු ප්‍රසූතියෙන් පස්සේ මේ පේශි සෛල ප්‍රමාණයෙන් කුඩා වීමෙන් සහ අමතර සෛල මිය යෑම නිසා ගර්භාශය නැවත මුලින් තිබූ තත්ත්වයටම එනවා.


එන්ඩොමෙට්‍රියම

එන්ඩොමෙට්‍රියම කියන්නේ හරියට පොළවේ මතුපිටම තියෙන සරු පස් ස්ථරය වගේ.යුක්තානුව ගර්භාශයට ඇවිල්ලා මේ සරු ස්ථරයේ පැළ වෙනවා.ඒක වෙන්නේ මේ එන්ඩොමෙට්‍රියමේ.මේ ස්ථරයට හොඳ රුධිර සැපයුමක් එහෙම තියෙනවා.නමුත් මේ එන්ඩොමෙට්‍රියම පොළවේ සරුපස් ස්ථරයට වඩා ගොඩක් දියුණුයි.හැම ඩිම්බ මෝචනයක් එක්කම එන්ඩොමෙට්‍රියම අළුතෙන් වර්ධනය වෙනවා.ඒ සංසේචනයක් සිද්ධ උනොත් යුක්තානුව රෝපණය කර ගැනීමේ බලාපොරොත්තු ඇතුව.ඉතිං සංසේචනයක් සිද්ද උනේ නැත්තං මේ එන්ඩොමෙට්‍රියමේ ඉහළ ස්ථරය ගැලවිලා යනවා.ඒ එක්කම ඒ ස්ථරයේ වර්ධනය වෙලා තිබ්බ රුධිර නාලත් බිඳ වැටෙන හින්දා රුධිරයත් පිට වෙලා යනවා.මේකට තමයි 'ඔසප් වීම' කියන්නේ.මෙහෙම පරණ ස්ථරය ගලවලා දාලා හැම ඩිම්බ මෝචනයකටම අළුතෙන් එන්ඩොමෙට්‍රියම වර්ධනය කර ගන්නවා.


ගැබ් ගෙල

මේකත් ගර්භාශයේම කොටසක් විදිහට සලකන්ඩ පුළුවං උනත් යම් යම් වෙනස්කම් දකින්ඩ පුළුවං.ගැබ් ගෙල මගින් තමයි ගර්භාශය යෝනි මාර්ගයට සම්බන්ධ කරන්නේ.මේ ගැබ්ගෙල තමයි ගර්භණී අම්මා කෙනෙක් හිටගෙන ඉද්දි දරුවා පහලට වැටෙන එක නවත්තං ඉන්නේ.ඒ කියන්නේ ගර්භාශයට කිරල ඇබයක් ගැහුවා වගේ තමයි.ගර්භාශ ගෙල පිළිකා සම්බන්ධයෙන් හරි කුප්‍රකටයි.මේ ගැබ් ගෙල ප්‍රදේශය යෝනි මාර්ගය තුලින් බැලුවාම පේන විදිහ,





යෝනි මාර්ගය

යෝනි මාර්ගය කියන්නේ බාහිරට විවෘතවන සහ ගැබ්ගෙල හරහා ගර්භාශයට විවෘතවන පේශිමය බටයක්.මේකේ ඇතුල් බිත්තිය සාමාන්‍යයෙන් තියෙන්නේ රැළි වැටිලා.නමුත් දරු ප්‍රසූතීන් කීපයක් සිද්ද උනාම මේ රැළි නැතිවෙලා යනවා.යෝනි මාර්ගය සාමාන්‍යයෙන් ලිහිසි කාරක මගින් තෙත් වෙලායි තියෙන්නේ.මේ ලිහිසි කාරක ප්‍රමාණය සංසර්ගයකට පෙරාතුව ඇතිවෙන උත්තේජන මගින් වැඩි වෙනවා.ප්‍රධාන වශයෙන් මේ ලිහිසි කාරක වෙන්නේ යෝනි බිත්තියේ රුධිර නාලවලින් පෙරී එන දියර කියලයි කියන්නේ.ලිංගික උත්තේජනයේදී මේ රුධිර නාල ප්‍රසාරණය වෙන නිසා වැඩිපුර තරල යෝනි මාර්ගයේ එකතු වෙනවා.එයිට අමතරව ගැබ්ගෙල ප්‍රදේශයෙන් එන ස්‍රාවයන් වගේම යෝනි මාර්ගය පිටතට විවෘතවන ස්ථානය අසල දෙපැත්තේ පිහිටා ඇති බාතෝලියන් ග්‍රන්ථි දෙකේ ශ්ලේශ්මල ස්‍රාවයනුත් යෝනි මාර්ගයේ ලිහිසි කාරක විදිහට කටයුතු කරනවා.

යෝනි මාර්ගය සාමාන්‍යයෙන් 7.5cm විතර දිග වෙනවා.නමුත් ලිංගික උත්තේජනයේදී මේ දිග සාමාන්‍යයෙන් වැඩි වෙනවා.යෝනි මාර්ගය තෙරපීමට වගේම ඇදීමටත් සංවේදීයි.සංසර්ගයේදී ශිෂ්ණයේ චලනයන් වගේම ප්‍රමාණය නිසා යෝනි මාර්ගයේ බිත්ති ඇදීමත් ලිංගික තෘප්තිය ලබා දීමට හේතු වෙනවා.


යෝනි මාර්ගය පිටතට විවෘත වන ස්ථානය ආවරණය කරගෙන තමයි ආන්දෝලනාත්මක කන්‍යාපටලය පිහිටන්නේ.

මේ කන්‍යා පටලය සමහරවිට උපතින්ම නැති වෙන්න පුළුවං.එහෙම නැත්තං සමහර ආසාදන තත්ත්වයන් නිසා විනාශ වෙන්න පුලුවං.ව්‍යායාම් කිරීම්, අනතුරු සිදුවීම් වගේම කලාතුරකින් වෛද්‍ය පරීක්ෂණවලදීත් බිඳී යන්ඩ පුළුවං.ඒ වගේම ස්ත්‍රියක් ස්වයං වින්දනයේ යෙදෙද්දී නොදැනුවත් කමින් මේ කන්‍යා පටලය කැඩී යන්න පුළුවං.ඒ වගේම සමහර අයගේ කන්‍යා පටල බොහොම ඇදෙන සුළුයි.ඒ නිසා සමහරවිට පළමු සංසර්ගයේදී මේ කන්‍යාපටලය බිඳී නොයන්ඩ පුළුවං.ඒ නිසා කන්‍යාභාවය පරීක්ෂා කරන්ඩ තියෙන අසාර්ථක ක්‍රමයක් තමයි ප්‍රථම සංසර්ගයේදී කන්‍යා පටලය බිඳී රුධිරය වහනය වීම පරීක්ෂා කිරීම.

අනික සමහර බුද්ධිමත් කාන්තාවෝ අතීතයේ ඉඳං කරපු පුංචි මගඩි කීපයක් තියෙනවා.එකක් තමයි පුංචි කුප්පියකට රුධිරය දාගෙන කොට්ටය යට හංගගෙන ඉඳලා අදාල වෙලාවේ පුරුෂයා සිහිය විකල් වෙලා ඉන්න කොට හිමින් සීරුවේ හලා ගන්න එක.අනිත් ක්‍රමේ තමයි පුංචි ස්පොන්ජ් කෑල්ලක රුධිරය පොඟවලා යෝනි මාර්ගයේ ඉහල රඳවා ගෙන සිටීම.එතකොට ශිෂ්ණයේ තෙරපීමෙන් රුධිරය යෝනි මාර්ගයෙන් එලියට කාන්දුවෙලා එනවා.

කන්‍යා පටල පිහිටන ආකාර,
ඉහත රූපයේ දැකිය හැකි ආකාරයට සම්පූර්ණයෙන් යෝනි මාර්ගය වසාගෙන පවතින කන්‍යා පටලත් දකින්ඩ පුළුවන්.එහම ගෑනු අය මල්වර උනාට ඔසප් රුධිරය පිටවෙන්නේ නෑ.එහෙම උනාම කට්ටිය බය වෙලා දොස්තර ගාවට එක්කගෙන ආවම පුංචි ශල්‍යකර්මයකින් කන්‍යාපටලයේ සිදුරක් හදනවා ඔසප් රුධිරය පිට වෙලා යන්ඩ.



14 October 2012

වැදගත් විශයය....8 ( Sex Education in Sinhala )


ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කියන්ඩ ඉස්සෙල්ලා පුරුෂ ප්‍රජනක පද්ධතියේ කියන්ඩ අමතක වෙච්ච එක ආබාධයක් ගැන කියලා ඉන්නං ඈ.ඔන්න ඉවසිල්ලක් නැතුව ඉන්න අය සමාවෙන්ඩ ඈ.

හයිපොස්පේඩියස් සහ එපිස්පේඩියස්

මේ කියන තත්ත්ව වලදි වෙන්නේ සාමාන්‍යයෙන් ශිෂණයේ අග කෙළවරින් පිටතට විවෘතවන මුත්‍ර විවරය ශිෂ්ණයේ ඉහළින් හෝ පහලින් පිටතට විවෘත වෙන එක.මේ අවස්ථා දෙකෙන් බහුලවම දකින්ඩ ලැබෙන්නේ හයිපොස්පේඩියස් කියන ශිෂ්ණයේ පහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීමේ තත්ත්වයයි.එපිස්පේඩියස් කියන ශිෂ්ණයේ ඉහළ පැත්තේ මුත්‍ර විවරය පිහිටීම බොහොම කළාතුරකින් ඇතිවන තත්ත්වයක්.


හයිපොස්පේඩියස්


එපිස්පේඩියස්

මේක එච්චර බය වෙන්ඩ දෙයක් නොවුනත් මේ තත්ත්වය නිසා යම් යම් අපහසුතා ඇතිවෙන්ඩ පුළුවං.මේ ආබාධය සුළු වශයෙන් නම් තියෙන්නේ ශල්‍යකර්මයකින් යථා තත්ත්වයට පත් කරන්ඩ පුළුවන්.නමුත් ආබාධයේ තත්ත්වය දරුණුනම් ඒ කියන්නේ විශාල විවරයක් එහෙම තියෙනවානං එක ශල්‍යකර්මයකින් වැඩේ ගොඩ දාගන්ඩ බැරි වෙන්ඩ පුළුවං.නමුත් බලාපොරොත්තු අත ඇර ගන්ඩ හොඳ නෑ.

මේ තත්ත්වයේදි එන ගැටළු තමයි මුත්‍රා කිරීමේදී ඇතිවන අපහසුකාරී තත්ත්වය.සමහර විට ඔවුන්ට කාන්තාවන්ට මෙන් ඉඳගෙන මුත්‍රා කරන්ඩ සිද්ද වෙන්ඩ පුළුවං.අනිත් ගැටළුව තමයි සංසර්ගයේදී ශුක්‍ර තරලය ස්ත්‍රී යෝනියට ඇතුළු නොවීම.මේ නිසා මදසරුභාවය ඇතිවෙන්ඩ පුළුවං උනත් යම් යම් ප්‍රතිකර්ම මගින් දරුවෙක් පිළිසිඳ ගන්වන්න පුළුවං.








ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය 

හරි ඔන්න එහෙනං ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතාව පටං ගම්මු ඈ.මේකත් ගෑනු වගේම තරමක් සංකීර්ණයි.හරියට අඳුර ගත්තේ නැත්තං නොමග යන්ඩ පුළුවං.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඔක්කොම වගේ ඉන්ද්‍රියයන් තියෙන්නේ ඇඟ ඇතුලේනේ.පිටතට විවෘත වෙන විවරය සහ ඒක ආවරණය කරන ව්‍යුහත් ක්ලිටොරිසය එහෙම නැත්තං භගමණිය ගැනත් තමයි පිටතට පේන්ඩ තියෙන ඒවා ගැන කියන්ඩ තියෙන්නේ.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් නම් කළොත්,

# ඩිම්බ කෝෂ
# පැලෝපීය නාල
# ගර්භාශය
# ගැබ් ගෙල
# යෝනි මාර්ගය
# අභ්‍යන්තර යෝනි තොල්
# බාහිර යෝනි තොල්
# ක්ලිටොරිසය හෙවත් භගමණිය

ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ අනිත් ඉන්ද්‍රිය තමයි පියයුරු.ඒ ගැන කළිං ලිපියක් ලිව්වා ඈ.නොකියවපු අය ගිහිං බලන්ඩ මෙතනිං.

දැං අර එක් එක් කොටස් ටිකක් විස්තර සහිතව බලමු.



ඩිම්බ කෝෂ

ස්ත්‍රීන්ගේ ඩිම්බකෝෂ කියන්නේ පුරුෂයින්ගේ වෘෂණවල අනුරූපකය කිව්වොත් හරි.ස්ත්‍රීන්ගේ ජනක සෛල වන ඩිම්බ හදන එක වගේම ස්ත්‍රී හෝමෝන හදන තැන්වලින් ප්‍රධාන තැනක් තමයි ඩිම්බ කෝෂ කියන්නේ.හැබැයි වෘෂණ වගේ නෙමෙයි මේ ඩිම්බ කෝෂ තියෙන්නේ ඇඟේ ඇතුලේ.මේ ඩිම්බකෝෂත් යුගලක් තියෙනවා.මේ දෙක ගර්භාශයේ දෙපැත්තේ පටක මගින් එල්ලලා තියෙන්නේ.3cm දිග 2cm පළල සහ 1cm උස ඕවලාකාර පුංචි බිත්තර දෙකක් මවා ගන්ඩ.ඩිම්බකෝෂත් අන්න ඒ වගේ ඈ.ඩිම්බ කෝෂවල හෝමෝන නිපදවීම සහ ඩිම්බ නිපදවීම ගැන ඔසප් චක්‍රය ගැන කතා කරද්දී බලමු.

පැලෝපීය නාල


පැලෝපීය නාල කියන්නේ ඩිම්බකෝෂයේ නිපදවෙන ඩිම්බයක් ගර්භාශයට අරං එන්ඩ තියෙන නලයකට.හරියටම කිව්වොත් ශුක්‍රාණු යෝනි මාර්ගයේ ඉඳං ගර්භාශය හරහා මේ පැලෝපීය නාලයෙත් කෙලවරටම යනවා.ඒ කෙලවර හරියෙදි තමයි ශුක්‍රාණුවලට ඩිම්බය හම්බ වෙන්නේ.එතනදි සංසේචනය උනාම ඒ සංසේචිත ඩිම්බය ගර්භාශයට එන්නේ මේ පැලෝපීය නාලය දිගේ.ඒත් හැම ඩිම්බයක්ම සංසේචනය වෙන්නේ නෑනේ.එතකොට ඒ ඩිම්බ නිකම්ම ගර්භාශය හරහා ඇවිත් යෝනි මාර්ගය හරහා ඔසප්වීමත් එක්කම පිට වෙලා යනවා.

පැලෝපීය නාලය එක කෙළවරක් ගර්භාශයට සම්බන්ද වෙලා තියෙනවා.අනිත් කෙළවර ඩිම්බකෝෂයේ ගෑවි ගෑවි තිබුණට ඒක ඩිම්බකෝෂයට තදින් සම්බන්ධ වෙලා නෑ.ඩිම්බකෝෂය පැත්තේ කෙළවර තියෙන විවරය වටේට ඇඟිලි වගේ ව්‍යුහ රැසක් තියෙනවා.



මේවායින් එකකින් තමයි ඩිම්බකෝෂ‍යට පැලෝපීය නාලය සම්බන්ධ වෙන්නේ.ඉතින් ඒ කියන්නේ පැලෝපීය නාලය තියෙන්නේ උදර කුහරය ඇතුලට විවෘත වෙලා.ඒක හින්දා ගෑනු අයගේ යෝනි මාර්ගය ආශ්‍රිතව යම් ආසදනයක් ඇති උනොත් ඒක ගර්භාශය පැලෝපීය නාල හරහා ගිහිං උදර කුහරය ඇතුලටත් පැතිරෙන්න පුළුවං.

මේ පැලෝපීය නාලය ඩිම්බකෝෂ‍යට හොඳින් සම්බන්ද වෙලා නැති උනාට මේ ඇඟිලි වගේ ව්‍යුහ ඩිම්බ මෝචනයක් කිට්ටුව ඒ කියන්නේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිට කරන්ඩ සූදානම් වෙද්දි ඩිම්බකෝෂය හොඳින් ස්පර්ෂ කරමින් පිරි මැද මැද තමයි ඉන්නේ.ඉතිං ඩිම්බයක් පිට වෙනකොටම ටක් ගාලා අල්ලගෙන කුහරය ඇතුලට දා ගන්ඩ එයාලට පුළුවං.





12 October 2012

තෘප්තියෙන් යුතුව පාප ක්‍රියාවක් කෙරුවෙමි



අපේ ගෙදර ඉන්න බල්ලා හොඳ පැටිකිරියක් ඇති එකෙක් නෙමෙයිය.ඌ වල්බල්ලෙක්ය.වල් කියන්නේ වල්ම වල් බල්ලෙක්ය.හැබැයි උගේ පරම්පරාවේ කොහේ හරි වැදගත් බල්ලෙක් හෝ බැල්ලියෙක් ඉඳලා තියෙනවා වෙන්ඩ ඕනේය.මොකද ඌ බත් කන්නේ බිම ඉඳගෙන බත් පිඟාන දෙපැත්තෙන් අත්දෙක තියාගෙන බොහොම නිවි සැනසිල්ලේ නිසාය.කන වෙලාවට බලු ගති නැත.හැඳි ගෑරුප්පු දුන්නොත් ඒකෙන් උනත් අපහසුවක් නැතුව කන්ඩ තරම් සංයමයක්ය ඌ කන වෙලාවට පෙන්නන්නේ.නමුත් අවාසනාවට අපේ ගෙදර හැඳි ගෑරුප්පු නැත.කොහොම නමුත් උගේ පරම්පරා ඉතිහාසය හාරා අවුස්සා බැලුවොත් දුටුගැමුණු රජතුමාගේ බල්ලාගෙන් පැවත එන බවට ඔප්පුකර ගන්ඩ තිබුණ නමුත් ජැක්සන් ඇන්තනී මහතාට වෙන වැඩ ඇති නිසා අපේ බල්ලා තවම නිකම්ම නිකං පර බල්ලෙක් ලෙස දිවි ගෙවන්නේය.

අපේ බල්ලාව ගෙදරට අරගෙන ආවේ මම නෙමේය.අපේ අයියා කාරයාය.ඒකා මේකා කුක්කා කාලේ පාරේ ඉන්නවා දැකලා උස්සාගෙන ආවේය.මේකා කලුපාට පුළුං බෝලයක් වගේ ඉන්නවා දැක්කාම ආසාවේ බැරිය.හැබැයි එතකොටත් ඌට 'කේනයින් ස්කේබීස්' කියලා පොෂ් විදිහට කියන ගමේ විදිහට 'කටුවා කාලා ' කියන ලෙඩේ හැදිලා තිබ්බේය.කටුවා කෑ බල්ලෝ ඔබ හැමෝම දැකලා ඇතුවාට සැක නැත.ඒ ලෙඩේ හරියට මිනිස්සුන්ට හැදෙන 'හොරි' වගේමය.ලෙඩේ හදන්නේත් මිනිස්සුන්ට හොරි හදවන ජාතියේම පරපෝෂිතයෙක්ය.ලෙඩේ හැදුනාම ඇඟේ මයිල් හැලෙනවාය.හම හරියට ටිංකරිං කරපු ලොරි බොඩියක් වගේ වෙනවාය.ඒ දවස්වල අපි ඒ වගේ බල්ලන්ට 'අනර්කලීගේ බල්ලෝ' කියන්ඩ පුරුදු වී සිටියෙමු.ඒ අනර්කලී 'වීට්' පාවිච්චි කරපු කාලේය.දැං නං එයා මයිල් කෙළිං කරගත්තු ගමංමය.වම්බටු දැක්කත් මළ පනිනවාය.

මේ අපේ බල්ලා ගෙනාව දවස්වලය.ඇස් වටේට මවිල් නැත්තේ 'කටුවා කෑම' එහෙම නැත්තං 'කේනයින් ස්කේබීස්' හින්දාය.

අපි ආයෙත් කතාවට හැරෙමු.අපේ කුක්කාට මේ ස්කේබීස් ලෙඩේට ප්‍රතිකාර ගන්නට පශුවෛද්‍යවරිය ළඟට එක්කාගෙන ගියේ මගේ පෙරැත්තයටය.බල්ලා ගෙනාවාට අපේ අයියා ඌ ගැන ඉන්පසු සැළකිල්ලක් දැක්වූයේම නැත.කුක්කාට පශුවෛද්‍යතුමිය පරපෝෂිතයෝ මැරෙන්ඩ එන්නතක් දුන්නාය.ආපහු ගෙදර එනකොටත් බල්ලා හිටියේ පැත්ත වැටිලාය.පහුවදා වෙනකොට ඌ හිටියේ එහා ලෝකේට වීසා ඉල්ලමින්ය.මම වහාම පශුවෛද්‍යතුමිය දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමි.'පිරිටන් පෙති බාගයක් දීලා බලන්ඩ' ඒ ඇගේ උපදෙසයි.මම වටේ පිටේ ගෙවල් ගානේ ගොස් පිරිටන් පෙත්තක් සොයාගෙන බාගයක් පෙව්වෙමි.එවර මාරයාට ඌව ගෙන යාමට නොහැකි විය.බල්ලා පණ ගහලා නැගිට්ටේය.

අපේ බල්ලාට පිස්සුය.ඒ කියන්නේ ජලභීතිකාව නොවේ.ජලභීතිකාවද තියෙනවාය.ඒ නාවන්ඩ ගෙනිච්චාමය.ඌට පිස්සු කියන්නේ ඌ කකුල් හපන්ඩ දක්වන රුචිය නිසාය.මිදුලට බහින නිවැසියන් අමුත්තන් ආදී සියල්ලන්ටම එකසේ සළකන අපේ බල්ලා අඩුම තරමේ කෙළ බින්දුවක් හෝ කකුලක ගාන්නට නොලැබුණොත් උගේ මුළු දවසම අපතේ ගියා සේ සළකයි.ඌ අපේක්ෂා භංගත්වයට පත්වේ.ඉන්පසු දෙගුණ තුන්ගුණ වූ උනන්දුවකින් හා කැපවීමකින් දුවගෙන විත් කෙසේ හෝ කලිසමක හෝ කමිසයේ එසේත් නැත්නම් කමිස කොලරයේ උගේ පා සටහනක් මඩ ආධාර කොටගෙන සලකුණු කොට යන්නේ භාරයක් ඔප්පු කළා වාගේ සතුටකින්ය.උගේ අනිත් සතුට කකුල් මාට්ටු දැමීමය.දුවගෙන ඇවිත් උගේ පූර්ව ගාත්‍රා දෙකෙන් අපේ එක් කකුලක් බදා අල්ලා ගනී.ඇවිදිමින් සිටියේ නම් යන්නේ හොම්බෙන්ය. කොච්චර බැන්නත් ගැහුවත් වැඩක් නැත.ආණ්ඩුවට බණිනවා වාගේය.අධෝ වාතයක් තරම්වත් ගණන් ගන්නේ නැත.


අපේ ගෙදර පිටිපස්ස පැත්තේ තාප්පය කැඩිලාය.ඒක හදාගන්ඩ වත්කමක් නැති නිසා පරණ නටඹුන් රැසක් මෙන් සංරක්ෂණය කර තිබෙනවාය.පෙරලී ඇති බ්ලොක් ගල් එක පිට එක තබා තාවකාලිකව ෂේප් වෙන්ඩ හැදුවත් වැස්සට හෝ අපේ බල්ලා විසින් හෝ එය පෙරලා දැමෙයි.අපේ බල්ලා මේ කැඩුණු තැනින් පැනගොස් අනිත් බල්ලෝ එක්ක රස්තියාදුවේ යන්නේය.කෙල්ලෝ (බැල්ලියෝ ) බලන්ඩ යන්නේය.මේවාට වඩා ඌ ආසා කරන්නේ වෙලට පැන මඩ නෑමය.ඌ වෙලට ගොස් කොරවක්කන් පසුපස පන්නයි, මී හරකුන්ට නක්කලේ දමයි.ඉන්පසු මඩ් ගාඩ් එකක් හයි කරන්ඩ හිතෙන තරමට මඩ විසි කරමින් වෙල පුරා දුව හති වැටුණු විට මඩ පිටින්ම ගෙදර දුවගෙන එයි.

අපේ අයියාගේ ජීවිතය 'වාහන' වේ.ඔහුට ඇත්තේ වෑන් එකකි.එයින් ඔහු බීමටත් රස්තියාදු ගැසීමටත් අදායමක් හොයා ගන්නේ හයර් ගිහිල්ලාය.ඉඳ හිට මතක් වූ විට අම්මාට කීයක් හරි දෙන්නේය.පස්සේ එයිට වඩා අම්මාගෙන් ඉල්ලා ගන්නේය.දවසක් ඔහු වෑන් එකට අලුතින්ම නලාවක් එනම් හෝන් එකක් සවි කරගෙන ඇවිත් තිබුණේය.පහුවදා උදේ බලද්දී වාහනය යට රිංගා සිටි බල්ලා හෝන් එක කාලාය.බල්ලාගේ කෙළ ගෑමටත් වද දීමටත් මළ පැන සිටි ඔහු බල්ලාව අල්ලාගෙන වාහනයේ දමාගෙන ගොස් කොහෙදෝ ඈත පැත්තකට දමා ආවේය.මම වර්ජනයක් ඇරඹුවෙමි.බල්ලා ගේන තුරු නිවැසියන්ට බ්‍රහ්ම දණ්ඩනය දීමට තීරණය කළෙමි.දින දෙකකට පසු අයියාම ගොස් බල්ලා ආපසු ගෙනාවේය.එවරද බල්ලා බේරුණේය.ඒ කිව්වේ ඌ ගිය දිහාවක කාගේ හෝ කකුලක එල්ලුනානම් ඌ මරා දමන එක නියත නිසාය.

පහුගිය බලු කාලයේ (බල්ලන් රමණය කරන කාලය ) මූ ගෙදර සිටියේ බොහොම ස්වල්ප වේලාවක්ය.අපේ අයියා ගෙදරින් පිටවීමට පෙර පිටත්වන මූ ආපසු ආපේ අයියාද ගෙදර ආ පසුය.මේ කාලයේදී ඌ රමණය සඳහා අනිත් බල්ලන් හා පොරකා ගැනීමෙන් පූර්ව ගාත්‍රයක තරමක තුවාලයක් සාදාගෙන ආවේය.තුවාලය බලන්නට ගිය අම්මාටද බුරා පැන්න මූ මම තුවාලය පිරිසිඳු කරද්දී වේදනාවෙන් දැඟලුවා පමණි. ඇමොක්සිසිලීන් ගිල්ලවීමේ මහා කර්තව්‍යය ඊළඟට ඇරඹුනේ තුවාලය පැසවා බල්ලාට උණද ඇති වීම නිසාය.බලෙන් කට ඇර බෙහෙත් කරල උගුරටම දමා ගිලින තුරු උගෙ කට වසාගෙන සිටීමේ කාර්යයේදී බලු කෙළ නෑවෙමි.එවරද මාරයා පරදා බල්ලා ජයගත්තේය.

ගෙදරින් පැනගොස් රවුමක් ගසා එන මුගේ ඇඟේ කිනිතුල්ලන් රැසක් හැමවිටම දක්නට ලැබේ.නාවන විට කෙතරම් ගලවා ඉවත් කළද ඊළඟ රස්තියාදුවෙන් පසු නැවත කිනිතුලු ප්‍රජාව පෙර ගණනටම වර්ධනය වී තිබෙන්නේ අනවසර සංක්‍රමණ නිසාය.කිණිතුල්ලන් සඳහා බෙහෙත් ගෙනත් දැමූ විට බල්ලාගේ ඇඟෙන් බහින උන් අපේ ඇඟට නගිති.ඒ නිසා මම නිවසේ ඉන්නා දිනවල දී කිණිතුල්ලන් ගලවා පොල් ලෙල්ලකට එකතු කොට එහා වත්තට විසි කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹුවෙමි.(අපේ ඉඩම පර්චස් 20ක් බවත් පිටිපස්සේ වත්ත අක්කර දෙකක් පමණවන වල් වැදී ඇති ඉඩමක් බවත් සළකන්න )


මේ ක්‍රියාමාර්ගය ගැනීමට මාගේ චිත්ත සන්තානය පෙළඹවනු ලැබුවේ කිණිතුල්ලා කෙරේ මා තුල ද්වේශය කොපමණ වූවත් හැදී වැඩුණු පරිසරය මඟින් සත්ත්ව අවිහිංසාව මාගේ සංජානනයේ රෝපණය කොට තිබූ බැවිනි.එනිසා මගේ අතින් කිණිතුල්ලන් මරා දැමීම මග හැර ස්වභාවධර්මයට කිණිතුල්ලන් බාර දීමට මම වඩා කැමති වීමි.නමුත් මාගේ ක්‍රියාවේ මුග්ධ භාවය තේරෙන්නට මට වැඩි කල් ගියේ නැත.බල්ලා තාප්පයෙන් පැන යන්නේ මේ වත්තටමය.මම මහත් වැර වෑයමෙන් ගලවා දමන කිණිතුල්ලන් නැවතත් උගේ ඇඟේම එල්ලී අපේ ගෙදරට එමින් සංචාරක දිවියක් ගත කරති.උන්ට නොමිලේ වීසා ලබා දී ගුවන් ටිකට් පත් ද ලබා දෙන්නේ මා ය.මේ සංචාරක කිණිතුල්ලෝ උන්ගේ සංචාරක ජීවිතය ගැන මැක්කන්ට පොර ටෝක් දෙනවා ඇත.අපේ බල්ලා මී හරකුන් හා වෙලේ දුව පැන උන්ගෙන් නොමිලේ ලබාගෙන එන මිදි ගෙඩි තරම් වන යෝධ කිණිතුල්ලන්ට සංචාරක ජීවිතය ගැන පාඩම් කියා දෙනවා ඇත.පොල් ලෙල්ලත් සමඟ ගුවන් ගතවී නැවත පොළොවට ඇද වැටෙන කෙටි කාලය තුලදී දැනෙන ගුරුත්වය රහිත තත්ත්වය යටතේ පොඩි එවුන් අභ්‍යාවකාශයට යවන්නට පුරුදු කරනවා ඇත.සමහරවිට මේ අභ්‍යාවකාශ පුහුණුව දෙනවා ඇත්තේ උන්ගේද නායකයන්ගේ දරුවන්ට පමණක් විය හැක.එවිට අනිත් කිණිතුලු පැටවුන් ඉරිසියාවේ පැලෙනවා ඇත.


කෙසේ නමුදු අද සවස මාගේ අවිහිංසාව පරදවා ද්වේශය ජය ගත්තේය.පොල් ලෙල්ලට එකතු කළ 50ත් 75ත් අතර සංඛ්‍යාවක් වූ කිණිතුලු රොත්ත දෙස මම ප්‍රචණ්ඩ බැලුම් හෙලුවෙමි.මගේ හදවත ක්‍රෝධයෙන් බිහිසුණු ලෙස ස්ඵන්දනය වන්නට පටන් ගත්තේය."මාගේ හිතෛශී සුනඛයාගේ රුධිරය උරා බොන පාහරයිනි, බල්ලාගේ රුධිරය උරා බීමෙන් නොනැවතී අපේ ඇඟටද ගොඩ වී අපේ නිර්මල රුධිරයද පානය කොට අපට ලයිම් රෝගය සාදවන්නටත්, ටයිෆස් උණ සාදවන්නටත් මෙනින්ගො එන්කෙෆලයිටිස් සාදවන්නටත් ටික් පැරලයිසිස් නම් ව්‍යාධිය ජනනය කරවන්නටත් වෙර දරන පරපෝෂී අමනයිනි අද උඹලාගේ අවසානයයි" යනුවෙන් මාගේ හදවතේ කෲරත්ත්වය ගොජ දමන්නට විය.

පොල් ලෙල්ලත් රැගෙන නයි කුහුඹුවන් වෙසෙන ගුලක් අසලට ගොස් පොල් ලෙල්ල ඒ අසල බිමින් තබා බලා සිටියෙමි.මුළින් ආවේ කූඹින් එකා දෙන්නාය.කුහුඹුවෙක් එක් කිණිතුල්ලෙක් මත නැගී හිස් මොළයටම දළ පහර ගසනු මම කෲර තෘප්තියකින් යුක්තව බලා සිටියෙමි.කිණිතුල්ලා දඟලන්නට විය.කුහුඹුවා පැත්තකට වීසි විය.ආපසු ගුල දෙසට දිව යන කුහුඹුවා දුටු මගේ හිතේ කුහුඹුවා කෙරේ අවඥා සහගත හැඟීම් පළ විය.නමුත් කුහුඹුවා සටන අතහැර නැත.ඌ ගොස් ඇත්තේ ඌට වඩා තරමින් විශාල කිණිතුල්ලා මෙල්ල කිරීමට සඟයින් එක්ක ඒමටය.ඉන්පසු යුද්ධය ආරම්භ විය.ප්‍රමාණයෙන් කුඩා කුහුඹුවෝ තමුන් මෙන් දස ගුණයක් පමණ විශාල කිණිතුල්ලන් හා ධෛර්යයෙන් යුතුව සටන් වැදුනෝය.කිණිතුල්ලා මත නැගී උගේ හිස් මොළයටම දළ ගසාගෙන ඌ අඩපණ වන තුරු සිටින නිර්භීත කුහුඹුවන් දෙස මම විශ්මයෙන් යුතුව බලා සිටියෙමි.

මරණ ලද හෝ අඩපණ කරන ලද කිණිතුල්ලන් සියල්ලම සිය ගුලට ගෙන යෑමට කුහුඹුවන්ට එතරම් වෙලාවක් ගත වූයේද නැත.මට කිණිතුල්ලන් කෙරේ යම් ශෝකයක් පහළ වූ මුත් කිණිතුල්ලන් කොටි ත්‍රස්තයින්ට සම කොට මගේ සිත ප්‍රහර්ෂයෙන් පුම්බා ගතිමි.

සැ.යු : සත්‍ය සිදුවීමකි.කුහුඹු අරගලය දුටු විට කුහුඹුවෝ කෙටි කතාව සිහිපත් විය.මාගේ මීළඟ උත්සාහය වන්නේ බල්ලාගේ ඇඟේම ලැග ඉන්නා කිණිතුල්ලන් අල්ලා ගැනීමට කුහුඹුවන් පුහුණු කිරීමය.සාර්ථක වුවහොත් එම ක්‍රමවේදයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට අදහස් කරමි.





10 October 2012

වැදගත් විශයය....7 ( Sex Education in Sinhala )

අද බලමුද එහෙනම් පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවෙන රෝගාබාධ ටිකක් ගැන.


වෘෂණවල පිළිකා

වෘෂණ ගත්තම වෘෂණවල ඇතිවෙන්ඩ පුළුවන් භයානකම දෙයක්නේ පිළිකා කියන්නේ.ඒ උනත් වෘෂණවල පිළිකා එච්චර බහුලව දකින්ඩ නෑ වගේම ගොඩක් වෙලාවට ප්‍රථිකාරවලින් හොඳ කරගන්ඩ පුළුවං කියලයි කියන්නේ.වේදනාවකින් තොර වෘෂණයේ ඉදිමුමක් හෝ එක වෘෂණයක ඇතිවෙන ගැටිත්තක් විදිහට තමයි මුළින්ම පිළිකාව අදාල රෝගියාට දකින්ඩ ලැබෙන්නේ.මේ ගැටිත්තනං ඉතිං බිරින්දෑ උනත් හොයා දෙන්ඩ බැරි නෑ.ඒ වගේම පිළිකා කියන්නේ ඇඟේ වෙනත් තැංවලටත් පැතිරෙන්න ඉඩ තියෙන දෙයක්නේ.ඉතිං මේ වෘෂණවල පිළිකා එහෙම වෙන තැංවලට පැතිරිලා තිබ්බොත් බෙල්ලේ මුල හරියේ වසා ගැටිති ඉදිමීම (වසා පද්ධතිය හරහා පැතිරී යෑම ), ඔක්කාර ගතිය සහ කන්ඩ බැරි ගතිය (අහාර මාර්ගයට ඇතිරීම නිසා ), කැස්ස, හුස්මගැනීමේ අපහසුතාවය, කැස්ස සමඟ රුධිරය පිට වීම සහ පපුවේ වේදනව ඇතිවෙන්ඩ පුළුවන් පෙනහළු සහ පපුව ආශ්‍රිත ප්‍රදේශවලට පැතිරීම නිසා.

වෘෂණවල වේදනාවක් ඇතිවෙන්ඩ වගේම නැතිවෙන්ඩත් පුළුවන්.ඒක හින්දා මෙච්චර වැදගත් ඉන්ද්‍රිය ඉඳලා හිටලා පොඩ්ඩක් අල්ලලා බලන්ඩ.වෙනසක් ප්‍රමාණයේ වෙනසක්, වෙනත් අසාමාන්‍ය වර්ධනයක් තියෙනවානං වෛද්‍යවරයෙකුට පෙන්නන එක තමයි හොඳ.


හයිඩ්‍රොසීල් හෙවත් වෘෂණ වටා තරලයක් එකතු වීම

මේකෙදි වෙන්නේ වෘෂණ වටේට තියෙන පටලයක් අස්සට වතුර වගේ තරලයක් එකතු වීම.මේක භයානක තත්ත්වයක් නොවුනත් හෙන ලොකු මල්ලක් කකුල් දෙක මැද්දෑවේ එල්ලං ඉන්න එක හරි අපහසුයිනේ.ඒක හින්දා මේක ශල්‍යකර්මයකින් නිවැරදි කරනවා.බොහොම සරළ ශල්‍යකර්මයක්.බය වෙන්ඩ දෙයක් නෑ.

  

ඔය උඩ තියෙන රූප දෙකෙන් පළවෙනි එක වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ.මොකද ඒ අය වෛද්‍ය ප්‍රථිකාරවලට යොමු වෙන හින්දා ඔය ඊළඟට තියෙන එක වගේ එකක් ඇතිවෙන්ඩ තියෙන අවස්ථාව අඩුයි. දෙවෙනි එකේ පේනවද වෘෂණය වටේ තරලය එකතු වීම නිසා වෘෂණකෝෂයේ ප්‍රමාණය විශාල වෙනකොට ශිෂ්ණයත් ඒ මල්ල ඇතුලටම ඇදිලා ගිහිං හැංගිලා තියෙන හැටි.ඔච්චර ලොකු නැතත් එහෙම ආසන්න වශයෙන් ශිෂ්ණය නොපෙනීම වගේ ගිය එක්කෙනෙක් දැකලා තියෙනවා.ශල්‍යකර්මයේදී වෘෂණයේ ආවරණය සිදුරු කරලා තරලය ඉවත් කරද්දි වෘෂණ කෝෂය ඇතුලෙ ඉඳං ශිෂ්ණය එළියට ආවේ නාගයා වගේ තමයි.


වෘෂණයේ ඇඹරීම හෙවත් ටෝර්ෂන් කියන තත්ත්වය

මේක සිද්ධ වෙන්නේ ඔය වෘෂණ කෝෂේ ඇතුලේ තියෙන වෘෂණයක් කැරකැවුනාම.එතකොට වෘෂණයට සම්බන්ධ වෙලා තියෙන රුධිර නාල ටිකත් ඇඹරිලා යනවනේ හරියට නැට්ට කරකවලා ගහකින් ගෙඩියක් කඩන්න යනවා වගේ.මෙහෙම රුධිර නාල ඇඹරුනාම වෘෂණයට රුධිර සැපයුම අඩාල වෙලා වෘෂණයේ පටක මැරෙන්ඩ ඉඩ තියෙනවා.මේ තත්ත්වයේදී වෘෂණ කෝෂයේ එක පැත්තක දරාගන්ඩ අමාරු වේදනාවක් එක පාරටම ඇතිවෙන්ඩ පුලුවන්.ඒ වගේම වෘෂන කෝෂය ඉදිමෙන එකත් සිද්ද වෙනවා.මෙහෙම උනාම වෘෂණය ආපහු කරකවන්ඩ උත්සාහ කරන්ඩ හොඳ නෑ.මොකද කොයි පැත්තට කැරකිලාද කවුද දන්නේ.අනික ඉවසන්ඩ බැරි වේදනාව එක්ක මොකුත් කරන්ඩ බෑ.හැකි ඉක්මනින් රෝහලකට යන එක තමයි කරන්ඩ ඕනෙ.එහෙදි ශල්‍යකර්මයක් කරලා වෘෂණය නියම විදිහට පත් කරනවා විතරක් නෙමෙයි ආපහු කැරකෙන්නැති විදිහට වෘෂණ කෝෂ‍යට සවි කරන එකත් කරනවා.




වෘෂණ සහ අපිවෘෂණවල ඇතිවෙන ආසාදන

මේ තත්ත්වයන් ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතුවෙනවා ආහාර මාර්ගයේ සාමාන්‍යයෙන් වාසය කරන Escherichiya coli කියන බැක්ටීරියාව, ගොනෝරියාව කියන ලිංගාශ්‍රිත රෝගය හදන Gonococcus කියන බැක්ටීරියාව, සහ chlamydiae කියන පරපෝෂිතයින්.එයිට අමතරව ක්ෂය රෝගය හදන්ඩ හේතුවෙන tuberculosis කියන බැක්ටීරියාවත් වෘෂණ සහ අපිවෘෂණවල ආසාදන හදන්ඩ පුළුවන්.ඊට අමතරව සිපිලිස් කියන ලිංගාශ්‍රිත රෝගය හදන බැක්ටීරියාව වගේම කම්මුල් ගාය හදන්ඩ හේතුවෙන Mumps වෛරසයත් ආසාදනය වෙන්ඩ පුළුවන්.පිරිමි ඈයො ලිංගිකව පරිණත උනාට පස්සේ මේ කම්මුල්ගාය හදන Mumps වෛරසය ආසාදනය උනොත් ඒ පුද්ගලයාගේ ශුක්‍රාණු ජනනය සම්පූර්ණයෙන්ම වගේ නැතිවෙලා යන්ඩ පුළුවන්.මේ තත්ත්වය නැති කරන්ඩ තමයි MMR කියන එන්නත පොඩි කාලෙදි ලබා දෙන්නේ.මේ එන්නතෙන් උනත් ලැබෙන්නේ 80%ක විතර ආරක්ෂාවක් විතරයි.ඒ නිසා පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි.එහෙම නැත්තං පොඩි කාලෙදිම ලෙඩේ හදවා ගත්තොත් ඒකත් හොඳයි නේ.



මේ ආසාදනවලින් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රාණු ජනනය අඩාල වීම හෝ ශුක්‍රාණු ප්‍රවාහනය අඩාල වීම නිසා පුද්ගලයාගේ ප්‍රජනක ශක්තිය අඩු වීම හෝ නැති වීම තමයි.ඒ වගේම කලාතුරකින් පටකවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩු වීම නිසා පටක මිය යාමත් වෙන්ඩ පුළුවන්.

වෙනම මාතෘකාවක් යටතේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ගැන කියන්ඩ බලාපොරොත්තු වෙන නිසා ඒ ගැන මෙතන කියන්ඩ බලාපොරොත්තු වෙන්නේ නෑ.


බරවා



බරවා රෝගය ගැන ඕනෙ තරම් අහලා ඇතිනේ.ඒක මදුරුවෙක්ගෙන් බෝ වෙනවා, ඒක හැදුනම කකුල් ලොකු වෙනවා කියලනේ අහලා තියෙන්නේ වැඩි පුරම.නමුත් මේ බරවා රෝගය නිසා වෘෂණ කෝෂත් විශාල වෙන්ඩත් පුළුවන්.මේ රූපයේ තියෙන තර විශාල ඒවා හැම තිස්සෙම දකින්ඩ නැති උනාට වෘෂණ කෝෂ වගේම කාන්තාවන්ගේ පියයුරු එහෙමත් සැලකියයුතු විදිහට විශාල වෙන්ඩ මේ බරවා රෝගය හේතු වෙන්ඩ පුළුවන්.මීට පස්සේ බරවා පෙති බොන්ඩ ඈ.අනික මදුරුවෝ බෝ වෙන එක වල්ක්වන්ඩත් පියවර ගන්ඩ.බරවා වැඩිපුර තියෙන්නෙත් මේ කොළඹ අවට හරියෙමනේ.ඔය දෙහිවල පැත්තෙ එහෙම අය පරිස්සමෙන් ඈ.හැබැයි ඔන්න පියයුරු ලොකු වෙනවා කිව්වම අනේ එහෙනං මගෙ ගෑනිට බරවාවත් හදෝලා බලන්ඩ ඕනෙ කියලා හිතන්ඩ එපා ඈ.ලොකු උනාම පේනවනේ විල් බැරැක්කයක් ඕනේ වෙනවා අරං යන්ඩ.




වැරිකොසීල්

මේ කියන්නේ වෘෂණයේ රුධිරය ආපහු අරන් යන ශිරා කියන රුධිර වාහිනීවල රුධිරය එකතුවෙලා විශාල වෙන අවස්ථාවට.මේකත් ඔය කකුල්වල නහර ගැටගැහෙනවා වගේම තමයි.නිදාගෙන ඒ කියන්නේ ඇලවෙලා ඉන්න කොට ප්‍රාමාණයෙන් කුඩා වෙන වගේම හිටගත්තාම ලොකුවෙන වෘෂණ කෝෂයක් තමයි මේකෙදි දකින්ඩ ලැබෙන්නේ.ඒ වගේම හිටගෙන ඉද්දි අල්ලලා බැලුවාම හරියට පණුවෝ පුරවලා ඉන්න මල්ලක් වගේ අහුවෙනවා.මේකත් ශල්‍යකර්මයකින් සුව කරගන්ඩ පුළුවන්.






නොමග ගිය වෘෂණ

වෘෂණ හැදෙන්නේ පොඩි එකාගේ බඩ ඇතුලේනේ.ඊට පස්සේ ඒවා ඇඟෙන් එළියේ තියෙන වෘෂණ කෝෂ ඇතුලට වැටෙනවා සාමාන්‍යයෙන් ඉපදෙන්ඩ කළිං.සමහරුන්ගේ මේ විදිහට වෘෂණ එකක් හෝ දෙකම වෘෂණ කෝෂවලට ඇවිත් නොතියෙන්ඩ පුළුවන් ඉපදෙද්දි.සමහරුන්ගේ ටිකක් කල් ගිහින් මේ වෘෂන වෘෂණ කෝෂවලට එන්ඩ පුලුවන් උනත් සමහරුන්ගේ එහෙම එන්නේ නෑ.ශරීරය ඇතුලේ උෂ්ණත්වය වෘෂණවල ශුක්‍රාණු ජනනයට උචිත නෑ.ඒක හින්දා මෙහෙම ඇඟ ඇතුලේ තියෙන වෘෂණවල ශුක්‍රාණු හැදෙන්නෑ වගේම සමහර වෙලාවට මේ වෘෂණවල පිළිකාමය තත්ත්වයක් ඇතිවෙන්ඩත් පුළුවන්.

ඒ වගේම මේ විදිහට වෘෂණකෝෂවලට එන වෘෂණ පාර වැරදිලා වෙන තැන්වලටත් යන්ඩ පුළුවන්. මේ හැම එකක්ම වගේ ශල්‍යකර්මයකින් නිවැරදි කරගන්ඩ පුළුවන්.එහෙම බැරි නම් ඇඟ ඇතුලේ තියෙන වෘෂණ ඉවත් කරන්ඩත් වෙන අවස්ථාත් තියෙනවා.මොකද පිළිකාමය අවධානමක් තියෙන හින්දා.



පුරස්ථිති ග්‍රන්ථියේ අසාමාන්‍ය වර්ධනයන්

මේවා පිළිකාමය හෝ පිළිකාමය නොවන ඒවා වෙන්න පුළුවන්.මේ තත්ත්වයන් සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ තරමක් වයස්ගත උනාම.ඒ කියන්නේ 40-50 සහ ඊටත් වැඩි වයස්වල අයට.

පිළිකාමය නොවන වර්ධනයන් නිසා මුත්‍රා කිරීමේ අපහසුතා එන්ඩ පුළුවන්.ඒ කියන්නේ මුත්‍ර පිට කරන්ඩ හැදුවට එකපාරට මුත්‍ර පිට වෙන්නෙ නැතුව හිර වුනා වගේ දැනෙන්ඩ පුළුවන්.මුත්‍ර දුරට විදලා යන එක අඩුවෙන්ඩ පුළුවන්.මුත්‍ර කරලා ඉවර උනාට පස්සේ බින්දු බින්දු වැක්කෙරෙන්ඩ පුළුවන්.මේ විදිහේ ලක්ෂණ ඇතිවෙන්නේ පුරස්ථිති ග්‍රන්ථිය මුත්‍ර මාර්ගය වටේට පිහිටලා තියෙන හින්දා.ඉතිං ග්‍රන්ථිය ලොකු වෙද්දී මුත්‍ර මාර්ගය පොඩි වෙලා යනවා.

පුරස්ථිති ග්‍රන්ථි පිළිකාව බහුලව දකින්ඩැ හම්බවෙන පිළිකාවක්.ඒක ටෙස්ටොස්ටෙරොන් මත යැපෙන වර්ගයේ එකක් නිසා සමහර අවස්ථාවලදී පිළිකාවත් එක්කම වෘෂණ දෙකත් ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.එතකොට ඇඟේ ටෙස්ටොස්ටෙරොන් නිපදවීම අඩුවෙන නිසා පිළිකාවේ වර්ධනය අඩාල වෙලා යනවා.මේක ගොඩක් හැදෙන්නේ වයසට ගියාම නිසා ගැටළුවක් ඇතිවෙන්නේ නෑ.

ශිෂ්ණයේ ඇතිවෙන පිළිකා

මේවා බොහොම කළාතුරකින් ඇතිවෙන පිළිකාමය තත්ත්වයක්.සුන්නත් කරපු අය අතර මේ පිළිකා ඇතිවීමේ අවධානම ගොඩක් අඩුයි කියලයි කියන්නේ.යුදෙව්වන්ගේ දකින්නම නැති තරම්ලු.ඔවුන් උපන් ගමන් සුන්නත් කරන නිසා.මුස්ලිම්වරුන්ගේ ගොඩක් අඩුයිලු.ඔවුන් පොඩි කාලෙම සුන්නත් කරන නිසා.පිළිකාවේ වර්ධනය ගොඩක් වැඩි අවස්ථවලදී ශිෂ්ණය කපා ඉවත් කරන්ඩ සිද්ද වෙනවා.බොහෝ විට මේත් සමඟ වෘෂණත් ඉවත් කරන්නේ ඒ අයට ලිංගික ආශාවන් ඇති වීම නැති කරන්ඩලු.මෙව්වා එක අයින් කළාට පස්සේ ආශාවන් ආවාම මොනවා කියලා කරන්ඩද?ඒ වගේ මනුස්සයෙක් කොච්චර අසරණ වෙනවද කියලා මටනම් හිතාගන්ඩවත් බෑ.



07 October 2012

ක්‍රිකට් ගීතය



හෙට එග්සෑම් එකය.අද මැච් එකය.හෙට එග්සෑම් එකට වඩා අද මැච් එක වටිනවා කියලා ක්‍රිකට් ලෝලියෙකුට හිතෙන්ඩ පුළුවන්ය.ඇත්තය.සමහර විට හෙට උදේ වෙනකොට ජන්මාන්තර ගත වෙලා තියෙන්ඩත් පුළුවං ය.ඒක හින්දා අද ගන්ඩ තියෙන ආතල් එකක් අරං ඉන්න එක හොඳය.ඒ උනාට මට ක්‍රිකට් එච්චර ආතල් නැත.මම හිතන්නේ ඒ මට ක්‍රිකට් ගහන්ඩ බැරි නිසා ඉරිසියාවටය.නැත්තං සුද්දෝ එක්ක තියෙන තරහවටය.සුද්දා අඳුන්වා දුන්න හින්දා ක්‍රිකට් එක්ක මළ පනින්ඩ තරං මම දේශප්‍රේමීය.

කියන්ඩ ඕනෑ ඒක නෙමෙයි ය.මට හෙට එග්සෑම් එකක් තියෙනවාය.ඒක කෙළ උනොත් ඊළඟ බැච් එකට යන්ඩ වෙනවාය.ඒ උනාට මට පාඩම් කරන්ඩ කම්මැලිය.ඒක හින්දා මම බ්ලොග් ලියනවාය.

මේක ගීතයක් ගැන කතාවක්ය.ගීතය ක්‍රිකට් ගැනය.සෑහෙන්ඩ පරණ ගීතයක්ය.ඒ දවස්වලත් ක්‍රිකට් උන්මාදයක් වගේ පැතිරිලා තිබිලා තියෙනවාය.ගීතය ගොඩක් අය අහලා නැතැයි හිතන හින්දාත් හොයාගන්ඩ නැතැයි කියා හිතන හින්දාත් බ්ලොගේ දාන්ඩ හිතුවෙමි.කරන්නේ හොර වැඩක් උනාට කරන්ඩම හිතෙන හින්දා කරනවාය

ගීතය ගායනා කරන්නේ නිහාල් නෙල්සන් මහත්තයාය.මේක මේ වනාත මුල්ලේ ක්‍රිකට් තරඟයක් ගැනය.මේකේ වචන යොදලා තියෙන විදිහ හොඳට අහලා බලන්ඩ.වචන රබර් කරලා තනුවට සැට් වෙන්ඩ ඇදලා කියන්නේ නැත.වචන කොට වෙද්දි තනුව හුචැස් ගාලා නවන්නේ නැත.බොහොම සංයමයකින් ලියලා තියෙන පද මාලාවට උද්වේගකර චිත්තරූප මැවෙනවාය.

වැඩි කතා අනවශ්‍යය.හෙඩ් සෙට් එකක් ගහගෙන බාහිර ලෝකෙන් මිදිලා ඇස් පියාගෙන වචනෙන් වචනේ අහලා බලන්ඩ.මැච් එක ඇස් ඉස්සරහා ගහනවා වගේ පේන්ඩ තරමට චිත්තරූප මැවෙනවාය.

අනුප්‍රාසය යොදලා තියෙන හැටි බලන්ඩ කොච්චර ලස්සනද කියලා.සක්ක පද නැතුව මනා පද ගැලපීමකින් ලියලා තියෙන අපූරුව කියලා වැඩක් නෑ.

බාගන්ඩ මෙතනින්

06 October 2012

අවුරුදු 40ට වැඩි කාන්තා ඔබ සඳහාම විශේෂ ජංගම දුරකථන පාඨමාලාවක්!!!!





අල්ලපු ගෙදර ලොකු කොල්ලට, පහල ගෙදර පොඩි කෙල්ලට, ඔබේම දරුවන්ට පච වූ කාලය අවසන් කරමු.

         මාස හයකින් පූර්ණ ජංගම දුරකථන පුහුණුවක්!

ආශ්චර්යය කරා යන දේශයක දිරිය කතුන් ලෙස සන්නිවේදනයේ දැනුම නොමැති වීම මහත් වූ පාඩුවක් නොවේද?

එන්න අපගේ පාඨමාලාවට එකතුවන්න.

# අඩුම කාලයකින් මනා අවබෝධයක්

# ප්‍රවීන ඇඳුරු මඩුල්ලක්

# නවතම තාක්ෂණය භාවිතය

# පාඨමාලාව අවසානයේ ලොව පිළිගත් සහතික පත්‍රයක්

# ඔබ අපේක්ෂා කරන මට්ටමට ඔබගේ කුසලතා වර්ධනය නොවුවහොත් මුදල් ආපසු

# සහභාගී වන හැමට සිම් පතක් නොමිලේ



පාඨමාලාවේ ඉලක්කයන්

* ජංගම දුරකතනය ක්‍රියාත්මක කරවීම සහ අක්‍රිය කරවීම පුහුණු කිරීම

* ඇමතුමක් එනවිට එය ලබා ගැනීම සහ විසන්ධි කිරීමේ පුහුණුව

* අංකයක් ඇතුලත් කොට ඇමතුමක් ලබා ගැනීමේ පුහුණුව

* පෙරගෙවුම් කාඩ්පතක් ආධාරයෙන් සම්බන්ධතාවයට මුදල් එක්කර ගැනීමේ හැකියාව ලබාදීම

* රීලෝඩ් දමාගන්නා අයුරු ( භාශාව හැසිරවීම සහ සේවාදායකයා සමඟ කතාකොට සිය අවශ්‍යතාවය එනම් මුදල් ප්‍රමාණය සහ නිවැරදිව තම ජංගම දුරකථන අංකය ඉදිරිපත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් සහිතයි )

* ජංගම දුරකථන භාවිතයේදී හඬ පාලනය (ප්‍රසිද්ධ ස්ථානවල දී ඔබ තවදුරටත් අන්‍යයන් අපහසුතාවයට පත් කිරීමෙන් වලකිනු ඇත.එමෙන්ම ඔබගෙ පුද්ගලික ගැටළුවලට අන්‍යයන් සවන්දීමේ අවධානමද වැලකී යයි )

* ජංගම දුරකථනය අවශ්‍ය විට නිහඬ කිරීමේ හා කම්පන අවස්ථවට පත් කිරීමේ පුහුණුව (මෙමගින් ඔබ පන්සල් පල්ලි වැනි ආගමික ස්ථානවලදී මෙන්ම උසාවි රෝහල් වැනි ස්ථානවලදී අපහසුතාවයට පත් වීම වැළකේ )



මෙම කුසලතාවයන් ලබාගෙන පළමු අදියරේ පරීක්ෂණයෙන් සමත්වන ඔබට දෙවන අදියරේ පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වේ.

දෙවන අදියරේදී තරමක් සංකීර්ණ කුසලතාවයන් ලබා දීමට බලාපොරොත්තුවන බැවින් මේ සඳහා පළමු අදියර සම්පූර්ණකොට සිටීම අනිවාර්ය කර ඇත.

මෙහිදී

* කෙටි පණිවුඩයක් ලැබුණු විට එය කියැවීම. (කෙටි පණිවුඩවල යෙදෙන කෙටි යෙදුම් සහ ෆොනෙටික් කියැවීමේ විශේෂ පුහුණුවක් ලබා දේ )

* කෙටි පණිවුඩයක් සටහන් කොට අවශ්‍ය අයෙකුට යැවීමේ පුහුණුව ( යතුරු පුවරුව භාවිතයේ පුහුණුව සහ වේගවත් යතුරු පුවරුව භාවිතයට විශේෂ ක්‍රමවේදයන් කියා දෙනු ලැබේ. )

* අනවශ්‍ය කෙටි පණිවුඩ මකා දැමීමේ පුහුණුව

* දුරකථන අංකයක් ජංගම දුරකථනයට ගබඩා කිරීමේ පුහුණුව

* අනවශ්‍ය අංක මකා දැමීම

* දුරකථනයෙන් ගුවන් විදුලියට සවන් දීම සහ ජංගම දුරකථනයේ ඇති ගීතවලට සවන් දීමේ පුහුණුව (හදිසියේ අක්‍රිය කිරීමේ පුහුණුවද සහිතය )

පාඨමාලාව අවසානයේ පරීක්ෂණයෙන් සමත්වන්නන්ට 2GB මෙමරි කාඩ් එකක් නොමිලේ!!!


දෙවන අදියර අවසන් කළ ඔබට විශේෂ පාඨමාලාවක් !

* ජංගම දුරකථනයෙන් ෆේස් බුක් සැරි සැරීම සහ ෆේස් බුක් පිටුවක් පවත්වාගෙන යාම.

සහභාගීවන සැමට නොමිලේ ෆේස්බුක් පිටුවක් නිර්මාණය කර දෙනු ලැබේ!!!!

පමා නොවන්න....අදම ලියාපදිංචි වී නැගී සිටින රට සමඟ ඉදිරියට යාමට පෙළ ගැසෙන්න........




03 October 2012

වැදගත් විශයය....6 ( Sex Education in Sinhala )

 ���*^�bh��





පුරුෂ ප්‍රජනක පද්ධතියේ ශුක්‍රාණු ජනනයත්, හෝමෝන ගැනත් කියලා ලෙඩ රෝග කීපයක් ගැනත් කියලා කට්ටිය පුල පුලා බලා ඉන්න ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරන්ඩ පටං ගම්මු ඈ.

ශුක්‍රාණු ජනනය සිද්ද වෙන්නේ වෘෂණ ඇතුලේ කියලා කළිං කිව්වනේ.වෘෂණ ඇතුලේ පුංචි නාළ පද්ධතියක් තියෙනවා කියලත් කළිං ලිපියක කිව්වා.කියෙව්වේ නැත්තං කියවන්ඩ.ඉතිං මේ බට ඇතුලේ සෛල වර්ග තුනක් තියෙනවා.ඒ තමයි ස්'ටොලී සෛල, ලේඩිග් සෛල සහ ශුක්‍රාණු ජනක සෛල.



ශුක්‍රාණු ජනක සෛල කියන්නේ බෙදිලා බෙදිලා ශුක්‍රාණු බවට පත්වෙන්ඩ හැකියාවක් තියෙන සෛලවලට.මේවායේ වර්ණදේහ 46ක් තියෙනවා.ඒ කියන්නේ සාමාන්‍ය මිනිස් සෛලයක තියෙන වර්ණදේහ සංඛ්‍යාව.මේවා මුළින් අනූනන විභාජනයේන් බෙදිලා සංඛ්‍යාව වැඩි කරගන්නවා.අනූනන විභාජනය කියන්නේ වර්ණදේහ ගාණ අඩු නොවෙන විදිහට සෛලය බෙදෙන එකටනේ.ඊට පස්සේ මේවායින් සමහරක් අනාගතයේ ශුක්‍රාණු ජනනය සඳහා ඉතුරු කරලා අනිත් ටික  ඌණන විභාජනයෙන් බෙදිලා, ඒ කියන්නේ වර්ණදේහ සංඛ්‍යාව අර්ධයක් වෙන සෛල බවට පත් වෙනවා.ඉතිං ශුකාණු මහා ගොඩක් එක ශුක්‍ර මෝචනයකදි පිට වෙන හින්දා හැම තිස්සෙම ශුක්‍රාණු පිරිමින්ගේ වෘෂණ ඇතුලේ නිපදවෙනවා.ශුක්‍රාණු මහ ගොඩක් කිව්වේ කොච්චරක් විතර කියලද හිතන්නේ?? ශුක්‍ර තරලයේ එක මිලි ලීටරයක ශුක්‍රාණු සාමාන්‍යයෙන් මිලියන 20ත් මිලියන 40ත් අතර සංඛ්‍යාවක් තියෙනවා කියල තමයි කියන්නේ.සාමාන්‍යයෙන් ශුක්‍ර මෝචනයකදී ශුක්‍ර තරලය මිලි ලීටර් 2ත් 6ත් අතර ප්‍රමාණයක් පිට වෙනවා කියලා කියන හින්දා එක ශුක්‍ර මෝචනයක තියෙන ශුක්‍රාණු සංඛ්‍යාව ගණං හදලා බලන්ඩකෝ.

ඒ අතිං බැලුවම අපි හරි පෝසත් නේ.....

ස්'ටොලී සෛල කරන්නේ මේ ශුක්‍රාණු ජනනයට උදව් කරන එක.එතකොට ලේඩිග් සෛල කරන්නේ ටෙස්ටොස්ටෙරොන් කියන පුරුෂ හෝමෝනය නිපදවන එක.


හෝමෝන කියන්නේ මොනවද කියලා දන්නවද? දන්නැති අයට ඔන්න සරළව කිව්වොත් හෝමෝන කියන්නේ පණිවිඩකාරයෙක්.හරියට නිකං එස් එම් එස් එකක් වගේ.ඇඟේ එක තැනක හෝමෝන හදලා රුධිරයට නිදහස් කරනවා.මේ හෝමෝන අදාල තැනට ගිහිල්ලා කියනවා පණිවිඩේ.ඒක එක්කෝ වැඩ පටං ගන්ඩ හෝ වැඩ නවත්තන්ඩ කියලා වෙන්ඩ පුළුවන්.මේ සමහර හෝමෝන හදන හෝ නවත්තන එකත් පාලනය කරනවා වෙන හෝමෝන මඟින්.හෝමෝන ගැන ඔය ඇති නේ කිව්වා.

දැං බලමු පුරුෂ ලිංගික හෝමෝන වැඩේ කොහොමද වෙන්නේ කියලා.

අපේ මොළයේ තියෙනවා හයිපොතැලමසය කියලා කොටසක්.ගොඩක් දේවල් පාලනය කරන්නේ ඒකෙන්.ඇඟේ උෂ්ණත්වය, හෝමෝන, බඩගින්න, තිබහා, ලිංගික හැසිරීම් වගේ දේවල් ගොඩක් පාලනය කරන කොටස තමයි මේක.ඒ ළඟම පොඩි එල්ලෙන කෑලක් තියෙනවා පිටියුටරිය කියලා.මේකෙන් කරන්නේ ඇඟේ වැදගත් හෝමෝන ගොඩක් නිපදව එක.මේකේ හොමෝන නිපදවීම සහ රුධිරයට මුදා හැරීම පාලනය කරන්නේ හයිපොතැලමසය මඟින්.





හයිපොතැලමසයේ හැදෙනවා හෝමෝනයක් GNRH කියලා.ඒක පිටියුටරිය මත ක්‍රියා කරලා පිටියුටරියෙන් FSH සහ LH කියන හෝමෝන දෙක නිදහස් වෙන එක උත්තේජනය කරනවා.මේ FSH සහ LH වෘෂණ මත ක්‍රියා කරලා වෘෂණවල ලේඩිග් සෛල මගි ටෙස්ටොස්ටෙරොන් නිපදවීම උත්තේජනය කරනවා.මේ ටෙස්ටොස්ටෙරොන් සහ FSH එකතුවෙලා ශුක්‍රාණු ජනනය යාමනය කරනවා.ඒ වගේම ටෙස්ටොස්ටෙරොන් රුධිරය හරහා ගිහින් පිටියුටරිය මත සහ හයිපොතැලමසය මත ක්‍රියා කරලා ඒවායේ GNRH සහ FSH, LH හැදෙන එක අඩු කරනවා.

ටෙස්ටොස්ටෙරොන්වල අනිත් කාර්යයන් තමයි පොඩි එකෙක් ඉපදෙන්ඩ කලිං අම්මගේ බඩේ ඉද්දි උගේ පුරුෂ ලිංගික අවයව හදන්ඩ දායක වෙන එක.මේ කියන්නේ ශිෂ්ණය සහ වෘෂණ කෝෂ ඈ.මොකද වෘෂණ කළිංම හැදෙනවා.

එයිට අමතරව පිරිමි ඈයින්ගේ ද්විතීක ලිංගික ලක්ෂණ  ඒ කිව්වේ ඔය හොඳට මාංශ පේෂි හැදෙන්ඩ, ලිංගික අවයව ලොකු වෙන්ඩ, කටහඬ වෙනස් වෙන්ඩ, කිහිලි ඉකිලිවල රෝම වැවෙන්ඩ වගේ දේවල් වෙන්නෙත් මේ ටෙස්ටොස්ටෙරොන්වලින්ම තමයි.ඒ වගේම ඔය පිරිමි අයගේ නළල දෙපැත්තේ කොණ්ඩෙ ගිහිල්ලා තට්ටේ එන්නෙත් මේ ටෙස්ටෙරොන්වල බලපෑම හින්දා.වැදගත්ම එක තමයි ලිංගික ආශාව ඇති වෙන්නෙත් ටෙස්ටොස්ටෙරොන් හින්දම තමයි.


ටෙස්ටොස්ටෙරොන් වෘෂණවලට අමතරව අධිවෘක්කීය ග්‍රන්ති කියන වකුගඩුවල උඩ පිහිටලා තියෙන ග්‍රන්ථියකත් හැදෙනවා.මේ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවෙන්ඩ ඒකෙන් එන ටෙස්ටොස්ටෙරොනුත් සෑහෙන්ඩ බලපානවා.


මේ ඔක්කොම කියලත් වැදගත්ම එක්කෙනා වෙච්ච ශුක්‍රාණුව ගැන නොකියා කොහොමද?

ශුක්‍රාණුව කියන්නේ චලනය වෙන්ඩ පුළුවන්, සාමාන්‍ය සෛලවලට වඩා පුංචි වගේම සාමාන්‍ය වර්ණදේහ සංඛ්‍යාවෙන් අර්ධයක් (23) තියෙන සෛලයක්.මේ ශුක්‍රාණුවේ හිස කොටසේ තමයි වර්ණදේහ අඩංගුවන න්‍යෂ්ඨිය තියෙන්නේ.හිස උඩින් තියෙන ඇක්‍රොසෝමය කියන්නේ හරියට බෝම්බයක් වගේ එකක්.ඒක ඇතුලේ තියෙනවා එන්සයිම රාශියක්.ශුක්‍රාණුවක් ගිහිල්ලා ඩිම්බයක් එක්ක සෙට් වෙනකොට ඩිම්බයේ බිත්තිය සිදුරු කරන්ඩ අවශ්‍ය කරන එන්සයිම තමයි ඇක්‍රොසෝමයේ තියෙන්නේ.මැද කොටස කියන ප්‍රදේශයේ තමයි ශුක්‍රාණුවේ චලනයට අවශ්‍ය කරන ශක්තිය නිපදවන මයිටකොන්ඩ්‍රියා තියෙන්නේ.වලිගය හෙවත් නැට්ට තියෙන්නේ ඉතින් පීනන්ඩ.




අපේ ඇඟේ තියෙන වර්ණදේහ 46 අම්මගෙන් ලැබිච්ච සහ තාත්තගෙන් ලැබිච්ච 23 බැගින් තියෙන නිසා ඒවා යුගල් විදිහට දක්වන්ඩ පුළුවන් කියලා කිව්වනේ.ඒ වගේම මේ යුගල් 23න් එක යුගලක් ලිංග වර්ණදේහ ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ලිංගය තීරණය කරන වර්ණදේහ යුගලය කියලත් කිව්වා.ලිංග වර්ණදේහ ජාති දෙකක් තියෙන බවත් ඒ X සහ ‍Y කියන ජාති දෙක බවත් මුල් ලිපිය කියෝපු අයට මතක ඇති.

ගෑනු කෙනෙක්ගේ තියෙන ලිංග වර්ණදේහ යුගලයම X වර්ණදේහ.පිරිමින්ට තියෙන්නේ X එකකුයි ‍Y එකකුයි.ගෑනු අය ලිංග සෛල ඒ කියන්නේ ඩිම්බ හදද්දි එයාලගේ වර්ණදේහ යුගල් වෙන්වෙලා ගියාට හැම සෛලෙටම ලැබෙන්නේ X වර්ණදේහයක්.ඒත් පිරිමි අයගේ ශුක්‍රාණු ජනනයේදී සෛල දෙකට බෙදෙද්දී මේ ලිංග වර්ණදේහ යුගල දෙකට බෙදිලා යනකොට සමහර ශුක්‍රාණුවලට X වර්ණදේහය ලැබෙනවා වගේම සමහර ශුක්‍රාණුවලට ‍Y වර්ණදේහය ලැබෙනවා.ඉතිං සංසේචනයේදී ඒ කියන්නේ ඩිම්බයක් එක්ක ශුක්‍රාණුවක් එකතුවෙද්දී X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් ඩිම්බයේ තියෙන X වර්ණදේහයත් එක්ක X වර්ණදේහ යුගලක් වෙලා ගැහැනු දරුවෙක් තමයි හැදෙන්නේ.ඒ වගේම ‍Y වර්ණදේහයක් තියෙන ශුක්‍රාණුවක් ඩිම්බය එක්ක එකතු උනොත් X‍Y ලිංග වර්ණදේහ යුගලක් තියෙන  පිරිමි දරුවෙක් තමයි ඉපදෙන්නේ.



ඉතිං ගෑනු ළමයිම ඉපදෙනවා කියලා ඉස්සර කාලෙ පිරිමි වගේ ගෑනිට බණින්න එපා.

වැදගත් කාරණයක් තමයි මේ ‍Y වර්ණදේහය X වර්ණදේහයට වඩා ගොඩක් පුංචි හින්දා ‍Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X වර්ණදේහ තියෙන ශුක්‍රාණුවලට වඩා බරින් අඩුයි.මේ නිසා Y වර්ණදේහ තියෙන ශුක්‍රාණු X තියෙන ඒවට කලින් පැලෝපීය නාළවලට යෑමේ සම්භාවිතාවක් තියෙනවලු.ඉතිං මේ වෙද්දි ඩිම්බයකුත් පැලෝපීය නාළයට ඇතුල්වෙලා තිබ්බොත් කොල්ලෙක් තමයි.ඩිම්බය එන්ඩ ටිකක් පරක්කු උනොත් පස්සෙ එන X වර්ණදේහය තියෙන ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා කෙල්ලෙක් තමයි හැදෙන්නේ.අපේ ඉතිං ඔය ගණිතය එහෙම දන්න ඇත්තෝ ඩිම්බයක් මෝචනය වෙන වෙලාවක් බලලා නැකතට ශුක්‍රාණුවක සාමන්‍ය පිහිනුම් වේගය එහෙම සලකලා කළනය දාලා ජ්‍යාමිතික සූත්‍රයක් ඇසුරෙන් මීට පස්සේ ළමයි හදන්ඩ ට්‍රයි කළාට කමක් නෑ.




02 October 2012

අධ්‍යාපනය, රට සහ අනාගතය






අපේ රටේ අධ්‍යාපනය ගැන ලොකු ලොකු පොරවල් මේ දවස්වල  කතා කරන නිසා මා වැනි ඇටිකිච්චෙකුගේ අදහස් ප්‍රකාශය හුදෙක් ප්‍රහසනයක් සේ පෙනී යාමට ඉඩ ඇති මුත් මට දැනෙන දේ ප්‍රකාශ කිරීමේ ආශාව, පච වීමට ඇති අවධානම මැඩගෙන නැග ආ නිසා අධ්‍යාපනය ගැන මගේ සරළ, කුඩා, පුළුල් නොවූ දෘෂ්ඨි මානයට වැටහෙන සේ මෙසේ පැවසීමට තීරණය කර ගත්තෙමි.

අධ්‍යාපනය යනු මට වැටහෙන ආකාරයට පෙර විසූවන් විසින් නිපදවූ දැනුම ඊළඟ පරම්පරාවට දායාද කිරීමේ ක්‍රමවේදයයි.සමාජය සංකීරණ වත්ම අධ්‍යාපන ක්‍රමවේදයන්ද සංකීර්ණ වූත් කූඨ වූත් ස්වරූප ගෙන ඇතැයි මගේ පුංචි මොළයට වැටහේ.

අධ්‍යාපනයේ අරමුණ දැනුම පරම්පරාගත කිරීම නම් (මා වැරදිනම් නිවැරදි කරන්න ) එසේ පරම්පරාගත කිරීමේ අරමුණු දෙකක් දැකිය හැක.

1. සමාජය ආපස්සට ගමන් නොකොට සොයාගත් දැනුම මත පදනම්ව සමාජයේ කටයුතු කිරීම සහ අවශ්‍යතා සපුරා ගැනීම පහසු කර ගැනීම.එනම් සොයාගත් දැනුම නොනැසී පවත්වා ගැනීම.

2. පවත්නා දැනුම මනාව අධ්‍යයනය කොට එම දැනුම උපයෝගී කොට ගෙන නව දැනුම නිර්මාණය කිරීම.

ලංකාවේ අධ්‍යාපනයේ අරමුණ වන්නේ උක්ත පළමු කාරණය ඉටු කිරීම පමණය.අපි දැනුම නිර්මාණය නොකරමු.හැකියාව ඇත්තෝ කම්මැලි ය.හැකියාව නැත්තෝ ඉරිසියා කරති.බලය ඇත්තෝ බලයට තර්ජනයක් වෙතියි සිතති.ප්‍රශ්නයක් ඇසූ විට දෙන පිළිතුර ස්වයං නිර්මාණයක් නම් 'කවුද එහෙම කිව්වේ? මොන පොතේද එහෙම තියෙන්නේ? නිකං හිතට ආව පලියට දොඩවන්ඩ එපා දැනගෙන කතා කරන්ඩ' ආදී ලෙස අවඥාවෙන් කතා කරනා ගුරුවරුන් මම දැක ඇත්තෙමි.


අපේ රටේ තවමත් ඇත්තේ සුද්දන් උන්ගේ පාලන ක්‍රමයට ඇවැසි වෘත්තිකයින් නිපදවූ ක්‍රමවේදයම යැයි ලොකු ලොකු ඇත්තෝ මොර දෙනු මම අසා ඇත්තෙමි.එය සත්‍යයකැයි සිතෙන්නේ රාජ්‍ය අධ්‍යාපනයෙන් මූලිකව ඉලක්ක කරනුයේ වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ හා ගුරු යන වෘත්තින් පමණක් වීම නිසාය.ඒ හැර වෙනත් පාඨමාලා ආරම්භ කර ඇතත් ඒවා සමාජගත කරවීම නිසි පරිදි සිදුවී ඇත්දැයි යන්න ගැටළුවකි.උපාධිධාරී වඩු කාර්මිකයින්, මේසන්වරුන් නිපදවීමක් සිද්ද වේද යන්න සලකා බැලිය යුතු නොවේද?රජය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපනය ඔහේ කෙරෙන්නන් වාලේ කෙරෙන්නක් මිස නිසි ඉලක්කයක් හෝ දැක්මක් සහිතව සිදුවන්නක් බව නොපෙනේ.

ලංකාවේ අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්නකි.එය උසස් අධ්‍යාපනය දක්වාම ලබා දෙන අතර පශ්චාත් උපාධි ආදිය සඳහා අපේක්ෂකයා වියදම් කළ යුතුය.හැම දෙයම පිනට ඉල්ලන මහජනයා මෙන්ම දෙන හැම දෙයම ස්වකීය පුද්ගලික ධනයෙන් ජනතාඅ කෙරේ අනුකම්පාවෙන් දෙන්නාක් සේ කතා කරන අමාත්‍යවරුන්ද කරන්නේ එකිනෙකා නොමග යැවීමකි.අධ්‍යාපනය අයිතිවාසිකමක් සේ සැලකෙන බැවින් එය නොමිලේ ලබා දිය යුතුය යන මතයේ මම සිටිමි.එවිටය සෑම අයෙකුටම සමාන අවස්ථාවක් ලැබෙන්නේ.එමෙන්ම එක්වරම රජයකට රටේ සමස්ත ආදායමෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීමද කළ නොහැක්කක් බව පිළිගත යුතුය.


ඔබ ඔහොම කිව්වට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ
කැඳවුම්කරු සංජීව බණ්‌ඩාරල කරන සටන් වලට පාසල් අයත් නෑ ඒ වගේම පාසල් වල නොමිලේ අධ්‍යාපනය දෙන එක සියල්ලටම පාසල් අධ්‍යාපනය ලැබීමට තියන අයිතියට කවුරුත් විරුද්දත් නෑ. මෙතන යන්නේ වෙන ගේමක් නිදහස් අධ්‍යාපනය කියන වචනයට ඕනම අර්ථයක් දෙන්න පුලුවන් නිසා රටේ යම් පිරිසකට විතරක් බදුමුදල් වල අයිතිය පැහැර ගැනීම. හැමෝම වි.විධ්‍යාලයට යන්නේ නෑ නේ ඇයි හැමෝගෙම බදු මුදල් තෝරගත් පිරිසකට විතරක් දෙන්න ඕන? ඔයි සමස්ථ අධ්‍යාපනයට කතාව පොරු කවරයක් විතරයි

නිදහස් අධ්‍යාපනය කියන වචනයට විශ්ව විද්‍යාලත් අයිතියි නේද? පාසල් වල හැමට සමානව ප්‍රතිලාභ ලැබෙනවා මං පොඩ්ඩක්වත් විරුද්ධ නෑ එයට. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?


කෙසේ හෝ මගේ මෙම ලිපියට ප්‍රස්තුතය වූයේ මාරයාගේ බ්ලොගේ පලවූ මෙම කොමෙන්ටුවය.මම එය කොපි කොට මගේ ලිපියේ පලකිරීම පිළිබඳව ඔහු මට සමාව දෙනු ඇතැයි සිතමි.

ඉහත ඔහුගේ තර්කය සලකා බලන්න.අපේ රටේ සියළුම දෙනා අඩු වැඩි වෙමින් බදු ගෙවති.වැඩි ආදායම් ලබන්නෝ ආදායම් බදු අමතරව ගෙවන අතර සියළුම දෙනා මිලදී ගැනීම් සහ සේවා හරහා රජයට බදු ගෙවති.එකී බදු මුදල් ආයෝජනය කරන ආකාර රජය තීරණය කරන්නේය.ඒ සඳහා අයවැය පත්‍රයක් පිළියෙල කොට පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු රජයට එකී මුදල් වැය කිරීමේ අවසරය හිමි වේ.ඇමතිවරුන්ගේ බොහොමයක් විය හියදම් (ගෙවල් කුලී, දුරකතන බිල්, ඉන්ධන දීමනා ආදිය ), රාජ්‍ය ආයතනවල ලොක්කන් බොහොමයකගේ මෙවන් වූ දීමනා ආදියද ගෙවන්නේ මෙලෙස රටේ සෑම දෙනාගෙන්ම එකතු කොටගත් බදු මුදලෙනි.ඔවුන්ගේ විදෙස් සංචාර ආදිය සියල්ල කපා හැරීමට යෝජනා නොකරන ඒ මහතා උසස් අධ්‍යාපනයට රජයේ වියදම් ඉවත් කළයුතු යැයි යෝජනා කරයි.එසේනම් සමෘද්ධි දීමනා, මෙන්ම ගැබිණි මව්වරුන්ට දෙන යකඩ පෙතිද, ත්‍රිපෝෂ ද නවතා දැමිය යුතුය.මන්ද ඒවා හැමෝටම නොලැබෙන නමුත් ඒවා දෙන්නේ හැමෝගෙන්ම එකතු කරනා බදු මුදල්වලින් බැවිනි.

පුද්ගලික විශ්වවිද්‍යාල තිබීමේ ගැටළුවක් නැත.ගැටළුව මතුවන්නේ දැනටද සිදුවෙමින් යන ආකාරයටම රාජ්‍ය අධ්‍යාපනයට එය තර්ජනයක් වීමය.රාජ්‍ය අධ්‍යාපනයට ඇති වැය කපා හරින රජය පුද්ගලික විශ්වවිද්‍යාල වෙනුවෙන් ප්‍රසිද්ධියේ කඩේ යන්නේය.


2005 දී 4%ක්ව පැවති අධ්‍යාපන ප්‍රතිපාදන වත්මන් රජය යටතේ 1.86%ක් දක්වා පහත වැටී ඇති බව කණගාටුවෙන් උවද සඳහන් කළ යුතුය.නමුත් මෙහිදී තවත් කරුණක් සැළකිල්ලට ගත යුතුය.රාජ්‍ය ආදායම (රජය පවසන පරිදි ) සීඝ්‍ර ලෙස වැඩි වීම නිසා අධ්‍යාපනයට කෙරෙන වියදම නිශ්චිත අගයක පවත්වාගෙන යාම නිසා ප්‍රතිශත අගය පහළ ගියා වන්නටද පුළුවන.කෙසේ නමුත් පාසැල් වැසී යාමත්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති අනෙකුත් අර්බුධත්, රජය පැවසූ බොරු කීපයක්ම අතේ පත්තු වීමත් (හම්බන්තොට වරායේ ගල, Z ස්කෝර් ගැටළුවක් නැත යන්න ) නිසා එසේ රාජ්‍ය ආදායම ඉහල යාම නිසා ප්‍රතිශත අගය පහළ ගියේ යැයි සිතීම මටනම් අපහසුය.


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇතිවී ඇති ගැටළු රජය පවසන පරිදි රජය අපහසුතාවයට පත් කිරීමට සිදු කරන කුමන්ත්‍රණයන්ය.නමුත් එකී තර්කය එක එල්ලේම බැහැර කිරීමට නොහැකි නමුත් එය පිළිගැනීමටද අපහසු වේ.පවතින රජයකට සිය පාලනය පෙරලීමේ අපේක්ෂාවෙන් සිදු කරන කුමන්ත්‍රණවල සුලමුල හෙළි කරගත නොහැකිද? අඩුම තරමින් ප්‍රශ්න පත්තරවලට කුණුහරප දැමූවන් අත් අඩංගුවට ගත්තාද? Z ගැටළුවේ වගකිවයුත්තන්ට දඬුවම් දුන්නාද? කෞතුකාගාරයේ හොරුන් ඇල්ලූ අයට මේවා කජ්ජක්ද? (එකී හොරකම ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම හොරකම්වලින් එකක් වන බැවිනි.මනාව සැලසුම්කොට ක්‍රියාත්මක කළ එකී සොරකම ඇසූ මට සිහි වූයේ 'ඕෂන්ස් 11' චිත්‍රපටයයි.) නමුත් එවැනි කිසිවක් වාර්ථා වුනේ නැත.

මගේ විශ්වාසයනම් (මා වැරදි වීමට ඉඩ ඇත ) මේ සිදුවන්නේ පුද්ගලික පාසල් හා විශ්ව විද්‍යාල පචලිත කරනු වස් රාජ‍ය අධ්‍යාපනය කෙරේ ඇති ජනතා විශ්වාසය බිඳ හෙලීමට රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන්නා වූ දැවැන්ත ක්‍රියාවලියකි.කිසිඳු විභාගයක් කෙරේ විශ්වාසයක් දැන් ජනතාව කෙරේ නැත.ඒ දවස්වල විභාගයක් සම්ත් වූ විට දරුවන්ට තෑගි අරන් දුන් දෙමව්පියන් දැන් ටික දිනක් විමසිල්ලෙන් පසුවන්නේ ප්‍රථිපලය වෙනස්විය හැකි නිසාය.රජයේ විශ්වවිද්‍යාලවල උපාධි ගුණාත්මක නැතැයි කියන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයාමය.ඒ ගැන පියවරක් ගනු වෙනුවට එය ප්‍රසිද්ධියේ කීමෙන් ඔහු සෑහීමට පත්වේ.


ලිපිය දිගින් වැඩි උවත් වත්මනේ උණුසුම් ම පුවත වන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටළුව සලකා බලමු.

ඔවුන් ඇරඹුවේ ඔවුන්ගේ වැටුප් වැඩි කර ගැන්මටය.එහෙත් එහි ඇති කුහක චේතනාව සමාජගතවීම වැළැක්වීමට ඔවුන් 6% ඉදිරියට දමාගත් හ.ඒ ඔස්සේ විශ්වවිද්‍යාල සිසුන්ගේද සහයෝගය ඔවුන්ට ලැබිණි.එමෙන්ම යම් ජනතා මතයක් ගොඩ නැගීමටද ඔවුන්ට හැකි වීය.ඔවුන්ගේ පමණක් වැටුප් වැඩි කිරීම ප්‍රායෝගික නොවේ.එවිට ඔවුන්ගේ තලයේ අන් අයගේද වැටුප් වැඩි කිරීමට සිදුවේ.අපේ රටේ බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු කරනා කෙහෙල්මලක් නැත.ඔවුන් කරන පර්යේෂණයක්, දැනුම නිර්මාණය කිරීමක් ඇත්තේ නැත.විශ්ව විද්‍යාලවල විශය නිර්දේශ යාවත්කාලීන් නොවීමටද මෙය හේතුවක් යැයි සිතමි.ආචාර්යවරයා යාවත්කාලීන නොවී විශයය කෙසේ යාවත්කාලීන කරන්නද?

රජය මෙහිදී ගත් ක්‍රියාමාර්ගය කෙසේවත් අනුමත කළ නොහැක.රජය උත්සාහ කළේ ඔවුන්ටද කොටි ලේබලය ඇලවීමටය.එය පරණ සූත්තරයක් නිසා එතරම් ජනතා අවධානයක් ඒ කෙරේ යොමු කරවා ගන්නට රජය අසමත් වූයේ යැයි හැඟේ.

රජය ඉන්පසු ඉදිරිපත් කළ විසඳුමද තව තවත් ගැටළුව තීව්‍ර කරන්නක් වේ.රජය කළ යුතුව තිබුනේ යැයි මට හැඟෙන්නේ එකවර 6% දීම අපහසු බවත් 2% දක්වා වැඩි කර පසුව ක්‍රමයෙන් 6% දක්වා වැඩි කරන බවත් ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් දක්වා ප්‍රතිඥාවක් දීමය.ඉන්පසුව වැටුප් වැඩි කිරීම කළ නොහැකි යැයි කීවද ආචාර්යවරුන්ට වර්ජනය නවත්තන්නට සිද්ධ වෙනවාය.නමුත් රජය ක්‍රියා කළේ ආචාර්යවරුන් සහමුලින්ම බිඳ හෙළීමටය.ඔවුන් වැටුප් වැඩි කළ අතර ආචාර්යවරුන් වර්ජනය අතහැර යනු ඇතැයි බලාපොරොත්තු වූහ.ඒ ඔස්සේ ආචාර්යවරුන්ගේ මූලිකාභිලාශය සිය වැටුප් වර්ධකය බව පෙන්වීමට රජය උත්සාහ කළේය.මේ තත්ත්වය නිසාම ආචාර්යවරුද සිර වී සිටිති.

අපේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් කීපයක් ගැන මගේ මතයක් ඇත.මගේ මතය කවුරුවත් ගණන් ගන්නේ නැති වුවත් කවුරුන් හෝ ඒ පිළිබඳව විවේචනයක්වත් එල්ල කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

අධ්‍යාපනයට වෙන්කරන මුදල වැඩි කොට සියලුම දරුවන්ට ද්විතීක අධ්‍යාපනය සමව ලැබිය හැකි දියුණු ද්විතීය පාසැල් ස්ථාපනය කළ යුතුය.ඒ මගින් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර දැමිය හැකි අතර ළමුන් යාන්ත්‍රික වීමත්, ළමා කාලයක් ලැබීම නිසා අත්දැකීම් බහුල නිර්මාණශීලී පරපුරක් බිහිවනු ඇත.

සාමාන්‍යපෙළින් පසු උසස් අධ්‍යාපනය හෝ වෘත්තිය අධ්‍යාපනයක් ලැබීමට තීරණයක් ගැනීමට හැකිවන පරිදි වෘත්තිය අධ්‍යාපනය පුළුල් කළ යුතුය.පිළිගත් ක්‍රමවේදයක් යටතේ නිපුණතාවෙන් යුතු කාර්මික ශිල්පියෙකු බිහි කළ හැකි පාඨමාලා ඇති කළ යුතුය.

ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කොට ඉහළ සුදුසුකම් ඇත්තවුන් ගුරු වෘත්තියට බඳවා ගත යුතුය. (සුදුසුකම් යනු ඉගැන්වීමේ හැකියාවය )

ගුරුවරුන්ටද වාර්ෂිකව විභාග පැවැත්විය යුතු අතර ඔවුන්ට දැනුම යාවත්කාලීන කරගැනීමට ක්‍රමවේදයක් සැකසිය යුතුය,

ඉහළ විදෙස් ඉල්ලුමක් ඇති වෘත්තිකයින් ( භෞතවේදීන්, හෙදියන්,වෛද්‍යවරුන්, විදුලි කාර්මික ශිල්පීන් ) බිහි කොට විදෙස් රැකියා සඳහා රාජ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ යොමු කිරීම කළ යුතුය.

සෑම වෘත්තියකටම ගෞරවයක්, වටිනාකමක් දීම සඳහා ජනතාවගේ මතයයන් වෙනස් කිරීමට රාජ්‍ය මාධ්‍යයන් භාවිතා කළ යුතුය.(මෙයිට වඩා දේවල් ගැන  ජනතා මතය වෙනස්කොට මෙය කළ හැකි බව රජය විසින් පෙන්වා දී ඇත.)

ඉහත යෝජනා දුටු සැනින් කළ නොහැකි ඒවා යැයි කියන්නන්ට පවසන්නට ඇත්තේ මේ යෝජනා කරන්නේ හෙට ක්‍රියාත්මක කිරීමට නොව කාලයක් තිස්සේ ක්‍රමයෙන් ක්‍රියාත්මක කළ යුතු ඒවා ලෙසය.අපේ රට වැඩිම විදේශ විනිමයක් ලබන්නේ විදෙස්ගත වී ඇති ගෘහ සේවිකාවන්ගෙන් යැයි මම අසා තිබේ.ගෘහ සේවිකාවන් 20කගෙන් ලැබෙන විදෙස් විනිමය  එක් හෙදියකගෙන් ලැබිය හැකි බවත් අසා ඇත්තෙමි.දැනට ඔය ඇතිය.දිගම දිග ලිපියකි.මටත් හති ය.







01 October 2012

වැදගත් විශයය....5 ( Sex Education in Sinhala )



ශුක්‍ර ආශයිකා

මේ ගැන කියන්ඩ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.ශුක්‍ර ආශයිකා තියෙන්නේ මුත්‍රාශයට පිටිපස්සෙන් දෙපැත්තේ දෙකක් විදිහට.මේ ශුක්‍ර ආශයිකා ඒ ඒ පැත්තෙන් එන ශුක්‍ර නාළයට තමන්ගේ ශ්‍රාවයන් කුඩා ප්‍රණාලයක් හරහා එකතු කරනවා.ශුක්‍ර තරලයෙන් වැඩි ප්‍රමාණයක් හදන්ඩ දායක වෙන්නේ මේ ශුක්‍ර ආශයිකා තමයි.මේ ශ්‍රාවයන්ගේ ප්‍රධාන වශයෙන් වතුරත්, ෆෘක්ටෝස් කියන සීනි වර්ගයත්, ප්‍රොස්ටග්ලැන්ඩීන් කියන රසායනික පණිවුඩකාරකයත්, විටමින් සී ත් අඩංගු වෙනවා.මේ ශ්‍රාවයත් භාශ්මික නිසා ස්ත්‍රී යෝනියේ ආම්ලික බව නැති කරන්ඩ දායක වෙනවා.මෙහි අඩංගු ෆෘක්ටෝස් කියන සීනි තමයි ශුක්‍රාණුවලට අවශ්‍ය කරන ශක්තිය සපයන්නේ.




දැං සෛල විභාජනය ගැන විස්තරයක් කරලා හිටියොත් හොඳයි කියලා මට හිතෙනවා.මොකද ප්‍රජනනයේ මූලික ක්‍රමයේ සිට හැම තැනකම පදනම මේ සෛල විභාජනයනේ.අනික ශුක්‍රාණු ජනනය වගේම ඩිම්බාණු ජනනයත් ඒ එක එකේ වෙනස්කමුත් කියන්ඩනං සෛල විභාජනය ගැන අවබෝධයක් තියෙන එක හොඳයි.ටිකක් විතර කම්මැලි මාතෘකාවක් උනත් ඔන්නොහෙ කියන්නං.කියවන්ඩ ඈ...

මුලින්ම මේ ලිපිටික පටං ගද්දිම සෛලවල අඩංගු වර්ණදේහ ගැන කිව්වනේ.ඉතිං හිතන්ඩ අපි ජීවිතය පටන් ගන්නේ එක සෛලයක් විදිහටනේ.ඉතිං මේ සෛලය දෙකට බෙදෙනවා, ආයෙ බෙදෙනවා, ආයෙ බෙදෙනවා.......................ඔය විදිහට බෙදිලා බෙදිලා මිලියන ගාණක් සෛල තියෙන වැඩුනු මිනිහෙක් බවට පත්වෙනවා.ඉතිං මේ විදිහට සෛල දෙකට බෙදෙද්දී හැදෙන දරු සෛල දෙකටම කළිං සෛලයේ තිබ්බ වර්ණදේහ ගාණම ලැබෙන්ඩ ඕනෙ.එහෙම නොවුනොත් ලෙඩක්නේ.ඉතිං ඒක පවත්වාගෙන යන්නේ මෙහෙම,

මුලින්ම බෙදෙන්ඩ යන සෛලයේ වර්ණදේහ දෙගුණ වෙනවා.ඒක වෙන්නේ මෙහෙමයි.ඔය DNA අණුව කියන්නේ ඉණිමගක් වගේ ව්‍යුහයක්නේ.ඉතින් මේ ඉණිමගේ මැද පොලු කියන්නේ දෙපැත්තේ දිග පොලු දෙක එකට බැඳලා තියාගන්න බන්ධනවලට.DNA වල මේ බන්ධන අවශ්‍යවෙලාවට කඩන්ඩ පුළුවන්.එහෙම කඩලා වෙන් වෙච්ච දිග පොලු දෙකට සමාන පොලු දෙකක් අලුතෙන් හදලා සෙට් කරනවා.ඒ කියන්නේ පරණ පොලු දෙක අලුත් පොලු දෙකක් හදන්ඩ අච්චුව විදිහට පාවිච්චි වෙනවා.

ඊට පස්සේ මේ DNA අඩංගු වර්ණදේහ සෛලය මැද්දේ දිගට පෝලිමක් හැදෙනවා.ඊට පස්සේ පුංචි තන්තු වගයකින් මේ වර්ණදේහ හරියට දෙකට බෙදලා සෛලයේ එක පැත්තක එක ගොඩකුත් අනිත් පැත්තේ අනිත් ගොඩකුත් ගහනවා.ඊට පස්සේ සෛලයේ මැද්දෙන් අර වර්ණදේහ ගොඩවල් දෙක වෙන් කරමින් බිත්තියක් හැදිලා සෛල දෙකක් බවට පත්වෙනවා.


මේ විදිහට කලින් පැවති සෛලයට සමාන වර්ණදේහ සංඛ්‍යාවක් ඇතුව දරු සෛල දෙකක් හදන සෛල විභාජන ක්‍රමයට කියන්නේ 'අනූණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩුවක් නැතුව කියන තේරුමනේ.

ඒත් මම කලින් ලිපියක සඳහන් කළා වගේ උසස් සත්තුන්ගේ ලිංගික ප්‍රජනනයේදී සත්තු දෙන්නෙක්ගේ ජාන කළවම් වීම අපේක්ෂා කරනවා.ඒකට මව් හා පිය ජීවීන්ගේ තියෙන වර්ණදේහ ගාණෙන් භාගයක් වර්ණදේහ තියෙන සෛලය බැගින් ගෑනු ජීවියයි පිරිමි ජීවියයි හදලා ඒ දෙක එකතු කළොත් හැදෙන එකාට අම්මගෙ ජාන වගේම තාත්තගෙ ජානත් ලැබෙනවා.ඒ වගේම වර්ණදේහ ගාණත් ආයෙත් අම්මගේ සහ තාත්තගෙ ගාණටම එනවනේ.

අම්මාගේ වර්ණදේහ සංඛ්‍යාව   = 46
අම්මාගේ ඩිම්බයක වර්ණදේහ සංඛ්‍යාව  = 23

තාත්තාගේ වර්ණදේහ සංඛ්‍යාව  = 46
තාත්තාගේ ශුක්‍රාණුවක වර්ණදේහ සංඛ්‍යාව = 23

ඩිම්බය සහ ශුක්‍රාණුව එකතු වීමෙන් හැදෙන යුක්තාණුවේ වර්ණදේහ සංඛ්‍යාව = 23+23 = 46



ඉතින් මේ ක්‍රියාවට අවශ්‍ය විදිහට සෛලයක අඩංගු වර්ණදේහ ගාණෙන් භාගයක් අඩංගු සෛල හදන විභාජන ක්‍රමයට කියන්නේ 'ඌණන විභාජනය' කියලා.ඒ කියන්නේ අඩු වෙන කියන අර්ථය තියෙන විභාජන ක්‍රමයක්නේ.

අපේ ඇඟේ සෛලවල වර්ණදේහ 46ක් තියෙනවනේ.ඒකෙන් 23ක් තාත්තගෙන් ලැබිච්ච ඒවා.අනිත් 23 අම්මගෙන් ලැබිච්ච ඒවා.ඉතින් මේ වර්ණදේහ 46 අපිට අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි විදිහට අරගෙන යුගල් 23ක් හදන්ඩ පුලුවන්.මේ විදිහට හැදෙන යුගල් තමයි ඌණන විභාජනයේදී සෛලයේ මැද්දේ පෙළ ගැහෙන්නේ.



ඉතින් මේ වර්ණදේහ යුගලය දෙකට බෙදිලා එක් දරු සෛලයකට සම්පූර්ණ වර්ණදේහයක් බැගින් ලැබෙනවා.

ඌණන විභාජනය පියවර දෙකකින් යුක්තයි.පළවෙනි පියවරේදි තමයි සම්පූර්ණ වර්ණදෙහ බැගින් ලැබෙමින් මව් සෛලයේ වර්ණදේහ සංඛ්‍යාවෙන් භාගයක් සහිත සෛල දෙකක් හැදෙන්නේ.ඊළඟට අනූනන විභාජනයක් සිද්ද වෙනවා.ඒ තමයි දෙවෙනි පියවර.ඒ නිසා සම්පූර්ණ ඌණන විභාජනයෙන් දරු සෛල 4ක් හැදෙනවා.ඒ වගේම ඌණන විභාජනයේ පළවෙනි පියවරේදී වර්ණදේහ යුගල් අත් අල්ලගෙන සෛලය මැද්දෙ පෝළිමට ඉන්න කොට මේ වර්ණදේහ කොටස් කැඩිලා එකිනෙක මාරු වෙන්ඩත් පුළුවන්.එතකොට හැදෙන ජීවියාට අළුත්ම ලක්ෂණ ඇතිවෙන්ඩ පුළුවන් අර වර්ණදෙහ කොටස් කළවම් වීමෙදි අළුත් ජාන ඇති උනොත්.ඒවට තමයි විකෘති ඇති වීම කියලා කියන්නේ.


විකෘති හොඳ වෙන්ඩත් පුළුවන් නරක වෙන්ඩත් පුළුවන්.උදාහරණයක් විදිහට කකුල් හතරෙන් ගිය වානරයින්ගේ ඇති වෙච්ච විකෘතියක් හින්දා කකුල් දෙකෙන් ඇවිදින වානරයෙක් බිහි උනා.නරක විකෘතියක් විදිහට ඔය සමහර පරම්පරාවෙන් එන ලෙඩ රෝග තියෙන්නේ.අන්න ඒවා නරක විකෘති.පරම්පරාවේ කොහෙහරි කෙනෙක්ගෙ ඇතිවෙච්ච වර්ණදේහ විකෘතියක් නිසා ඇතිවෙච්ච රෝගයක් එයාගෙ ළමයින්ටයි එයාලගෙ ළමයින්ටයි විදිහට පරම්පරාගත වෙනවා.....

------------------------------------------------------------------------------------------------------------

මේ විස්තරේ ලිව්වේ කරුණු සම්පූර්ණ කරන්ඩ අවශ්‍ය නිසා.සාමාන්‍ය ජනතාවට මේවා එච්චර වැදගත් නැති නිසා හැකි තරම් සරලවයි කිව්වේ.ගැටළු තියෙනවානං අහන්ඩ.පැහැදිලි නැති තැනක් තියෙනවනං කියන්ඩ.මල්, ගල්, මඩ ඕනෙ එකක් කියලා යන්ඩ.හොඳ වැඩි කරගන්ඩත් වැරදි හදාගන්ඩත් බලාපොරොත්තු වෙමි.පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.ස්තූතියි.!!