27 January 2012

නුදුරු අනාගතේ




2005 උ/පෙ කණ්ඩායම අවුරුදු පහක් කාපු කට්ට සහ අතැඹුලක් සේ එකතු කරගත්තු දැණුම පැය ගාණකට කැටි කරලා අවසාන විභාගෙට මුහුණ දුන්නා.විභාගෙදි සිද්ද වෙච්ච එක එක රස කතා අස්සෙ මෙච්චර කාලයක් ටොන් ගාණක් ඔළුවෙ තියං හිටපු ඈයො වගේ හෙමිහිට ඇවිදපු, පාඩං කරපුවා හේදිලා යයි කියලා අඩුවෙං නාපු, ඒ විතරක්යැ අපි කැරම් ගහද්දි ඈතිං ඒ දිහා සුසුම් හෙලමිං බලාගෙන ගිය ඈයො පස්වනක් ප්‍රීතියෙං පිරිලා ඉතිරිලා කොමන් රූම් එකේ එහෙට දුවනවා මෙහෙට දුවනවා.මාර ආතල් එකක් ඇත්තෙ.අපිට උඩ බැච් එක, ඒ කියන්නෙ 2006ත් ඔය කෙරුවාවම කළාට පස්සෙ අපිට තමයි බඩු බනිස් වෙන්න තියෙන්නෙ.ලබන අවුරුද්දෙ අග වෙනකොට අපිත් අවසාන විභාගය කියන මරු කපොල්ල ගාවට එනවා.පනිනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෙ අපි.

17 January 2012

ඔන්න ඔහොමයි




නත්තලත් ඉවරය.මිනිස්සුංගේ සාක්කු ඒත් හිස් වෙලා ඉවර නැත.මොකද ජනවාරි පළවෙනිදාත් ලොකුවට රටට පේන්න වෙඩි ගහලා සමරන්න තියෙන නිසාය.මේ කාලේ ගෑනුන්ට හරි ආතල්ය.ඒ ශොපිං සැණකෙළිය පටං ගන්නා නිසාය.ඒක එකාගේ ඇඟේ හැපෙමින් ගැට කපන්නන්ගෙන් ගැටය ප්‍රවේසම් කරගෙන කේවල් කරමින්, රණ්ඩු වෙමින් සාප්පු සවාරි යෑම ගෑනුන්ට ආතල් උනාට අසරණ සැමියන්ට ආතල් නැත.ඔවුන්ට ඇත්තේ ප්‍රශ්න දෙකකි.කීයට හෝ බිරිඳ නැවත එන තුරු වාහනය නවත්තාගෙන සිටීමට තැනක් සොයා ගැනීමත්, බිරිඳට හොරෙන් බෝතලයක් සඳහා මුදල් ඉතුරු කර ගැනීමත්ය.

මේ මහා ජන ගංගාව මධ්‍යයේ කරක් ගැසීම තරම් අප්‍රසන්න කටයුත්තක් මට තවත් නැති උවත් සීයාත් ආච්චීත් බැලීමට ගමට යන විට අත්දෙක වන වනා යන සිරිතක් අපේ පරම්පරාවේ නැති නිසා දුකසේ ඉතුරු කරගත් මහපොල සල්ලි ටිකක්ද එක්කාසු කරගෙන මම ද සාප්පු සවාරි ගියෙමි.මුලු පාරම එකම විලාසිතා ලෝකයකි.වෛවාරන්න විච්චූරණ වතේ උලාගෙන, ගතේ අලෝගෙන, පටලවාගෙන සරුංගල් වගේ කෙල්ලෝ එහෙ මෙහෙ යති.මහ හඬින් සිනාසෙති.ඇස් යටින් බැලුම් හෙළති.ආච්චිලා රවති.ඒ කොල්ලෝ ඒ අය දිහා නොබලන හින්දා වෙන්න ඇතිය.වාහන දක්කන ඈයෝ ඇක්සලරේටරයට වඩා පාගන්නේ 'හෝන්' එකය.ලොරි හෝන්වල මන්ද්‍ර ස්වරත්, ත්‍රීරෝද රථවල තීව්‍ර ස්වරත් එක්ව කර්ණ රසායන මධුර ස්වර සුසංයෝගයක් දෙන නිසා ඉක්මනින් ගන්න ඉලව්වක් ගෙන ගමේ යන්නට බසයකට ගොඩ වෙන්නට හිත හදා ගතිමි.

ආච්චිට ගන්නට යමක් හිතාගන්න අමාරුය.ආච්චිලා දැං අඳින්නේ කෙල්ලෝ වගේය.කෙල්ලෝ අඳින්නේ කොල්ලෝ වගේය.කොල්ලෝ අඳින්නේ කෙල්ලෝ වගේය.අබුද්දස්ස කාලේ ලබුත් මෙව්වා වෙලාය.ආච්චීට පට කම්බා හොයන්නට නැති හින්දා කිමෝනාවක් මිළදී ගතිමි.සීයාට අමුඩ ලේන්සු හොයන්නට නොගිය තැනක් නැත.අන්තිමට චේ ගුවේරා හා බොබ් මාලි ඉන්නා ලොකු සයිස් ලේන්සු දෙකක් ගත්තෙමි.දෙන්නාම මැරිලා හින්දා අපවාදයක් එන්නට ඉඩක් නැතැයි හිත හදා ගත්තෙමි.මහපොළෙන් ඔයිට වඩා ගන්න පුළුවන් දෙයක් නැත.බස් එකක් හොයාගෙන ගියෙමි.

කොන්දොස්තරටවත් රියදුරු මහත්තයාටවත් යන්නට හදිස්සියක් නැත.බොහොම නිස්කළංකයේ දෙන්නාම බුලත් හපති.මගියෝද තම තමංගේ වැඩ ය.එක්කෙනෙක් පත්තරේ කියවන්නේය.තවත් එක්කෙනෙක් ජංගමයෙන් බොහොම බරපතල කතාවක්ය.පෙම්වතුන් පෙම් කෙළිති.ආච්චි කෙනෙක් එළවළු මල්ල බදාගෙන දොයි ය.එක පාරටම කොන්දොස්තර තැන කුපිත උනේය.රි‍යැදුරු තැනද හරි බරි ගැසී රි‍යදුරු අසුනේ වාඩි වී පස්ස බලන්නට පටං ගත්තේය.පිටිපස්සෙන් සීටීබී එකක් එනවාය.බසය කුලප්පු විය.සියල්ලෝම කරමින් සිටි වැඩ පසෙක දා අහුවෙන අහුවෙන තැන්වලින් හයියෙන් අල්ලා ගත්තෝය.බසය හැල්මේ ඇදෙන්නට විය.සීටීබී ය නොපෙනී ගිය පසු සියල්ල නැවතත් සුපුරුදු සාමකාමී තත්වයට පත්විය.

පාර කාපට් කරලාය.අතුරු පාරවල් කොංක්‍රීට් කරලාය.පාළං ලොකුවට හදලාය.ඒත් බස් යන්නේ හිමිංය.පැය ගාණක් කොට කොටා ගොස් අන්තිමට බහින තැනට ළං වූ විට සැනසුම් සුසුම් හෙළීමි.

තෑගි බෝගත් අතින් කටින් එල්ලාගෙන ඉස්තෝප්පුවට ගොඩ වීමි.සීයා හාන්සි පුටුවේ සැප නින්දකය.මම උගුර පෑදුවෙමි.සීයා අවදි විය.

'අප්පට බොළ උඹ තවම ජීවතුං අතරද? අර වතුර ගහන කඳුළු ගෑස් ගහන බැටං පොළුවලිං ගහන විදිහට මම හිතුවෙ උඹත් පරලෝ සැපත් වෙලාය කියලා.ඉතිං ඉතිං කොහොමද අරගල එහෙම?'

මම උත්තර නොදී හිනාවෙන් ෂේප් උනෙමි.සීයාගේ හඬට ආච්චී කුස්සියේ සිට දුවගෙන ආවේ රෙදි පොටේ අත පිහදාන ගමන්ය.ඇය පැන්න ගමං මගේ බෙල්ලෙන් අල්ලා කමිස කර ඈත් කර එබී බැලුවාය.මට ලැජ්ජා හිතුණි.

'කෝ තොගෙ සයනයිඩ් කරල? උඹට තාම දුන්නෙ නැද්ද එකක්?'

'ඒ ඒ ඒ....ඒවා දාන්නෙ කොටිනෙ ආච්චි'

'ඒක තමයි ඇහුවෙ.තොපි කොටිනෙ යකෝ.තෝව ඔය විස්ස විජ්ජාලෙ යවන කොට මම කිව්වා තොපේ මහ උන්ට.තෝත් ඔය චේ ගුවේරා කාරයො එක්ක එක්කාසුවෙලා රට පෙරළන්න පටං ගනීය කියලා.කොහෙද තොපේ මහ එකීට විස්ස විජ්ජාලෙ හෙණට ලොකු උනානෙ.'

'අපි කොටි නෙමෙයි ආච්චි.කොටි එක්ක එක්කහුවෙලා අහවල් එකක් කරන්නද? අපි පිකට් කරන්නෙ අපේ ප්‍රශ්න විසඳගන්න.'

'ප්‍රශ්න? මොනවද බොලව් තොපිට තියෙන ප්‍රශ්න? අර උත්තමයො අමාරුවෙං මේ රට බේරලා දුන්නා.තොපි මේ රට ආයෙත් කාබාසිනියා කරලා දාන්න විප්ලව කරනවා.ඇත්ත කියපියව්, අර උත්තමයො කියන්නා වගේ තොපි හදන්නෙ යුද්ධ කරන්ඩ නේද බොලව්? '

'යුද්ද කරලා මොන කෙංගෙඩියකටද ආච්චි.මේ උත්තමයො ඔය හොඳට රට කරන්නෙ.ඒ ඇත්තන්ට පොඩි පොඩි අවුල් කීපයක් උනා මිසක් රට කොච්චර හොඳට දියුණු වෙනවද? ඔය චුට්ටක් අප්සට් ගියා අර පෞද්ගලික විශ්‍රාම වැටුප ගෙනල්ලා,එතකොට අර එළවළු කූඩ කේස් එකේදි,තව අර ඇතුලෙ දෙන්නෙක් වෙඩි තියාගෙන් එකෙක් මළේ, ආ අර කැළණියේ රෙදි ගලෝ ගන්න එකයි, විභාග ප්‍රශ්නෙත් ඉතිං එච්චර ලොකු දෙයක් නෙමෙයිනෙ,බාල පෙට්‍රලුයි සිමෙන්තියි ගෙනාව එකත් උන්නාන්සෙල විසඳුවානෙ,ඔය සුදු වෑන්වලිං මාසෙකට එකෙක් දෙන්නෙක් උස්සං ගියාට රටට දැනෙනවා කියලයැ.ඒ වගේද අරහේ වරායට හෝ ගාල එන නැව්.නෙළුම් පොකුණෙ පොඩි මිනිස්සුන්ට නාට්‍යක් පෙන්න ගන්න බැරි උනාට ඔය ලොකු ලොකු ඔක්කොම කර ගත්තැකිනෙ,අනික පුද්ගලික විශ්වවිද්‍යාල නැතුව රට කොච්චර අසරණ වෙලාද හිටියෙ.දැං ඉතිං ඒ ප්‍රශ්නෙත් ඉවරයිනෙ.ලක්ස හැට පහක් විතරයි හොයාගන්න ඕනෙ.දුප්පත් පෝසත් කියලා බේදයක් නෑ ඔක්කොටම කැම්පස් යන්න පුළුවං.නෙළුම් කුළුණත් ගැහුවම රට සර්ව සම්පූර්ණයි.ආච්චිටත් පුළුවං තිත් නැතුව ටීවී එක බලන්න.'

සීයා කට කොණෙන් හිනා වෙමින් මිදුලට බැස්සේය.ආච්චී මගේ අතේ තිබූ තෑගි පාර්සලයත් උදුරාගෙන කුස්සියට ගියාය.

'ආච්චි තේ එකකුත් හදන්ඩ.ඉක්මනට යන්ඩත් ඕනෙ.අද හවසට තුවක්කු වගයක් හම්බ වෙනවා.අපේ උං සෙට් වෙලා බෝම්බ හදන්නෙ.මම නොගිහිං හරි නෑනෙ'

කියමින් මමද මිදුලට බැස්සෙමි.සීයා බඩ අල්ලාගෙන හිනාවෙන්නට විය.

04 January 2012

කළම්බෝ කළම්බෝ අයි ලව් යූ.........කළම්බෝ.......


'කොළඹ කියන්නෙ ලංකාවෙ තියෙන අග නගරය උනාට ලංකාවට වඩා කොළඹ ලොකුයි.ඒ කියන්නෙ ලංකාව තියෙන්නෙ කොළඹ ඇතුලෙ'.ඔන්න එතකොට ප්‍රේක්ෂකාගාරෙ ඇතුලෙ මුණු මුණුවක් යනවා.ඇත්ත නේන්නං ලංකාවට වඩා කොච්චර ලොකුද කොළඹ.හැබැයි මෙතෙන්දි කතා වෙන්නෙ කොළඹ අපි දකින සුන්දර සීනි බෝල පාවෙන ජීවිතවල ඇතුලාන්තය.ඒ කියන්නෙ ඒ ජීවිතවල ඇත්ත.වැල්ලවායෙ මිසක් වැල්ලවත්තෙ නොවන කොල්ලෙක්ගෙන්, බත්තරමුල්ලෙ මිසක් බත්තලංගුණ්ඩුවෙ නොවන කෙල්ලෙක් බලාපොරොත්තුවෙන අවිනිශ්චිත අනාගතයක් ගැන.