විකියා කියන්නේ මගෙත් එක්ක බෝඩිමේ ඉන්න මගේ සඟයෙක්.මාත් එක්ක එකම ඉස්කෝලෙ හිටියට ඉස්කෝලෙදි එච්චර ආශ්‍රය කරලා තිබ්බේ නෑ.විකියගේ තාත්තා ඉන්නේ ඕමාන්වල.ඒ කිව්වේ රස්සාව කරන්නේ එහේ.හැබැයි දවස් දහයක විතර නිවාඩුවක් හම්බ උනත් කෙලින්ම ගෙදර එනවා.ඉතිං ඒ දවස්වලට අපිට විකියා ගනේ චොක්ලට් හම්බ වෙනවා.ඕමාන්වල ඉඳං ඇවිල්ලා විකියලගේ ගෙදරත් තිබිලා අපේ බෝඩිමට එනකොට දියවෙලා තිබුණත් නිකං හම්බවෙන චොකලට්වලට පොර ටෝක් නොදී අපි කනවා.හරියටම කිව්වොත් බොනවා.
මේ විකියලගේ තාත්තා ගෙදර ආවම (කොහොමත් අවුරුද්දකට තුන් හතර පාරක් එනවා...අපි කියන්නේ ශ්‍රී ලංකන් එක පෝසත් කරවනවා කියලා ) විකියා බෝඩිමට අරං එනවා සබං කෑල්ලක්.කෑල්ලක් කිව්වට ඒක ලොවෙත් සයිස් එකක්.ඒක හින්දා සබං ගෙඩියක් කියලා කිව්වට වැරැද්දක් නෑ.මේ සබං කෑල්ලත් ඉතිං ඕමාන් බඩු තමයි.ඔටුතෙල් දාලා හදන එකක්ද දන්නෙත් නෑ.මේකේ සිරාම දේ තමයි ඒකෙ සුවඳ.ඒක තිබ්බාම මුළු බාත් රූම් එකම වරකා සුවඳයි
මේ සබං කෑල්ල ගාලා නාගත්තම දවසම වරකා කෑවා වගේ තමයි.කෝඳුරුවොනං වහන්ඩ එන්නේ නෑ.ඒ උනත් හිතට හරි නෑ.
එක දවසක් මේ ගැන කතාවක් ඇදිලා ආවම ඒ ඔස්සේ යද්දි ආව අදහසක් උනේ අපිට මේක වරකා සුවඳ උනාට ඕමාන් කාරයින්ට මේකෙන් වරකා සුවඳක් එන්නෑනේ කියලා.මොකද උං වරකා සුවඳ දන්න එකක්යෑ.ඉතිං උන්ට ගානක් නෑ.අවුල තියෙන්නේ විකියලෑ තාත්තා එහෙ උන්ට දෙන්ඩ කියලාඅ වරකා කෑල්ලක් ගෙනිච්ච දාට තමයි.එතකොට උං කියයි 'ඒ මොනවද බං මේ පළතුර?? මේක හරි සබං සුවඳයිනේ...කොහොම්ද උඹලා මේක අප්පිරියා නැතුව කන්නේ??' කියලා.
දෙවෙනි සිදුවීම.
ඔය කට්ටිය දන්නවා ඇතිනේ The big bang theory කියලා ටීවී සීරීස් එකක් තියෙනවා කියලා.මමනං අහරිම ආසාවෙන් බලපු එකක්.ඒකේ හාස්‍යය මතුකරන්නේ උපහාසය තුලින් මිසක් වැටිලා පෙරලිලා නෙමෙයි නේ.ඒකේ මුල හරියේ කොටසක ශෙල්ඩන් කියනවා තමංගේ රූමා හෙවත් ලෙනර්ඩ්ට මෙන්න මෙහෙම කතාවක්.මට ඒකේ ශෙල්ඩන් කියපු සතාගේ නම නං මතක නෑ.අපි දැනට ගම්මුකෝ කුරුමිණියා කියලා.
'මචං උඹ දන්නවද කුරුමිණියට රස්නේ සීතල දැනෙන්නේ නෑ කියලා.උංට එහෙම අවට පරිසරයේ උෂ්ණත්ව වෙනසක් තේරෙන්නේ නැති උනාට සීතල වැඩි වෙනකොට උංගේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.ඒ කියන්නේ උංගේ ඇවිදීම වගේ දේවල්වල වේගය අඩු වෙනවා.ඉතිං හිතපං බැරිවෙලාවත් උං බුද්ධිමත් සත්තු ජාතියක් වෙලා අපි වගේ ජීවත් වෙන්ඩ ගියානං එහෙම, සීතල දවසකට කුරුමිණියෙක් උගේ යාලුවට කියයි, 'ඒයි මචං එළියට යනවනං ස්වෙටර් එකක් ඇඳගෙන පළයං.මොකද අද එළිය හරි ස්ලෝ....'කියලා
සිදුවීම තුන,
ඔන්න අපි අපේ නාට්‍යයක් පුරුදු වෙවී හිටියා අපේ නින්නාදෙට කරන්ඩ.මේක අපි කරන අන්තිම නාට්‍යය වෙයි කියලා හිතපු හින්දා අපි හිතුවා ඔන්නොහේ මේකට ඩබල් මීනිංග් ටිකක් දාලා කට්ටියට වෙනම ෆන් එකක් දෙමු කියලා.ඔන්න ඉතිං පුරුදු විදිහට කට්ටිය සෙට් වෙලා එක එක අදහස් දදා ඉන්න කොට තමයි වෙරළුමල් සුවඳ ගැන කතාවක් ඇදිලා ආවේ.එකෙක් යෝජනා කළේ නාට්‍යයේ තැනක 'අම්මෝ වෙරළු මල් සුවඳක් එනවා.' කියලා කියන දෙබසක් දාන්ඩ.ඉතිං ඒකට එතන හිටපු අපි කීප දෙනෙක් හිනා උනාට කෙල්ලන්ට එහෙම තේරුණේ නෑ.එක කෙල්ලෙක් ඒකේ තියෙන හාස්‍යය මොකක්ද කියලා ඇහුවම ඔන්න කොල්ලෙක් ඒ ගැන කියලා දුන්නා.ඒ කියන්නේ වෙරළු මල්වල සුවඳ හරියට ශුක්‍ර තරලයෙන් එන ගන්ධයට බොහොම සමානයි කියලා පැහැදිලි කළාම අර කෙල්ල කියනවා,
'ආ..... වෙරළු මල් සුවඳ දන්නවයෑ....' කියලා.
ඔන්න මේ සිදුවීම් තුනම කිව්වේ අපි අපේ දැනුම ගොඩ නගන විදිහ කියන්ඩ.අපි අපේ අලුත් සංවේදනයන් මතකයට එක්ක කර ගන්නේ පරණ දැනුම එක්ක ගලපලා.ඒ ඔස්සේ හිතලා.ශ්‍රී ලංකාවේ ඉපදිච්ච එකෙක් විදිහට මම උපතින් සිංහලයෙක්, බෞද්ධයෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්.මගේ චින්තනය සම්පූර්ණයෙන්ම ගොඩ නැගුනේ ඔය මූලික දැනුම පද්ධතීන් මත.ඒ මුලික පද්ධතීන් මත යැපිලා මගේ නව දැනුම ගොඩ නගන එක අවුල් කියලා මම හිතුවේ අපේ මිනිස්සු ගොඩක් දේවල් හේතුවක් නැතුව, ප්‍රශ්න කිරීමක් නැතුව තමංගේ මුල් දැනුමට අනුගත නොවන හින්දාම නිකම්ම ප්‍රතික්ෂේප කරනවා දැක්කම.
ඒ නිසා මම මට මගේ දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච දේශපාලන පක්ෂය අත ඇරියා.ඊට පස්සේ කිසිවකට නොබැඳී දේශපාලනය දිහා බැලුවම පෙනුනා කවුරුවත් අපි වෙනුවෙන් දේශපාලනය කරන්නෑ කියලා.දැං මම පක්ෂයක් නැති එකෙක්.ඒ ඔස්සේ ගිහිං දැනුම ගවේශනය කරද්දි මට තේරිච්ච දෙයක් තමයි පාලකයා කියන සංකල්පය ඇතිතාක් පාලිතයා යනු සාධාරණය ඉෂ්ඨ නොවෙන තැනැත්තෙක් වග.
දෙවෙනි දැනුම් පදනම වෙච්ච ආගමත් අත ඇරියා.ඒකට ගොඩක්ම හේතු උනේ මට ආගම තුල ගැටලු මතු වීම.ආගමෙන් වියුක්ත වෙලා ආගම් දිහා බැලුවාම මට තේරුණේ ඒකත් දේශපාලනයේම වෙනස් මුහුණුවරක් කියලා.ආගමික නායකයින් බොහෝවිට බලය ඔස්සේ යන්නන්.ආගම් නිසා ඉතිහාසය භීෂණාත්මක වෙලා තියෙන බව ඒ ඒ භීෂණවලට දායක උනු ආගමේ ඇත්තන් ඇර අනිත් අය පිළිගන්නවා.රටවල් යටත් කර ගන්ඩ වගේ යටත් විජිත පාලනයටත් ඒ වගේම රටවල් ඇතුලේ රජවරු පෙරලන්ඩ වගේම රජවරුන්ට පවතින්ඩත් ආගම පාවිච්චි කළ හැටි හදවතින්ම පිළිගන්ඩ ඒ ඒ ආගමිකයින් කැමති වෙන්නෙ නෑ.මොකද ඒකෙන් ඔවුන්ගේ මූලික දැනුම පද්ධතිය බරපතල විදිහට ප්‍රශ්න කිරීමට ලක් වෙන හින්දා.
කෙනෙක්ට කියන්ඩ පුළුවන් මූ හැම එකේම කෲර පැත්ත විතරක් අරගෙන පොරටෝක් දෙනවා කියලා.ඇත්ත ආගම්වලින් මිනිස්සුංගේ හිත හදාගන්ඩ මනස නිදහස් කරගන්ඩ දේවල් සිද්ධ වෙලා තියෙනවා.හැබැයි හැම ආගමක්ම ඒ ටික කරනවා.එතකොට මගෙ එක විතරයි හරි උඹලගෙ එක වැරදියි කියලා කෑ ගහන එකේ තේරුමක් නෑ.කට්ටිය එහෙම කෑ ගහන්නේ වෙනත් දැනුම පද්ධතියකින් තමංගේ පූර්ව දැනුමට අභියෝගයක් මතුවෙනකොට ඒක බේරගන්ඩයි.එහෙම නැතුව නියම සත්‍ය සෙවීමේ උවමනාව ඇති අය ඉන්නවනං තමංගේ දරුවන්ට හැම ආගමක්ම උගන්නලා, හැම දේශපාලන පක්ෂයක් ගැනම කියලා දීලා ඌට ඒක තෝරගන්ඩ දෙන්ඩ ඕනේ.නමුත් වෙන්නේ ඒකේ අනිත් පැත්ත.ඒකා ආගම අත ඇරියොත් පවුලෙනුත් එළවනවා.වෙන පක්ෂෙකට ගියොත් කතා කරන එක උනත් නවත්තලා දාපු අය ගැන කවුරුත් අහලා දැකලා ඇති නෙව.
ඔය දැනුම් පද්ධති අපේ මොළේට හයි කරපු සර්කිට් කෑලි වගේ... ඒවයින් තමයි ඔපරේට් වෙන්නේ... හැබැයි ඕව ගලවල දැම්මම ඊට වඩා ලේසියෙන් ඔපරේට් වෙන්න පුළුවන්!
ReplyDeleteසර්කිට් කෑලිවලටත් වඩා සොෆ්ට්වෙයාර් කෑලි කිව්වොත් නේද හරි.අපේ ඔක්කොම වැඩ කරන්නේ ඒවා හරහා.එතකොට ක්‍රියාකාරීත්වය පටු වෙනවා.
Deleteකතා තුන නම් මාරු මචන්
ReplyDeleteඒත් මදෑ.....
Deleteඔයාගේ සබන් කතාවට සමාන දෙයක් මීට කාලෙකට කලින් අපිට උනා. අවුරුදු විස්සකට විතර කලින් හැබැයි.
ReplyDeleteඑක දවසක් අපෙ යාළුවන්ට කෑමක් දෙන්න කියලා අපිත් (එතකොට ඔය දැන් වගේ ලන්කන් ග්‍රොසරිස් තිබ්බේ නෑ. කස්ට්රෝනි කියලා ශොප් එකක් විතරමයි තිබ්බේ.) සම්බා බත් හදනවා. මට මතක විදියට ලංකාවේ ගාණට විසි තිස් ගුණයකින් මිලට ගත්තෙ) ටිකකින් රෙස්ටෝරන්ට් එකේ යාළුවෝ ඔක්කොම අහනවා උඹලාට එනවද එළු පූ ගඳක්. අන්තිමට කෑම වේල හබක්. එදයින් එදත් හරි අදටත් මම සම්බා බත් තියෙනවා නම් දෙපාරක් හිතලා තමයි කන්න ගන්නේ.
අර අන්තිම පාට් එකටනම් මම බොහොම කැමතියි. ඔය හැමදෙයින්ම මිදිලා හිටියම ඔළුව හරි නිදහස්.
ඔය තියෙන්නේ තව උදාහරණ.ඇත්තට ඔය ප්රංස කාරයෝ ගෙම්බො කන එක ගැන කිව්වම, චීන්නු කුරුළු කූඩු කන එක කිව්වම අප්පිරියා කරන අපි කන මාලු අප්පිරියා කරනවලුනේ අප්‍රිකාවේ ඉන්න 'සුලූ' ගෝත්‍රිකයෝ.පොඩි කාලේ ලැබිච්ච දේවල් බදා ගත්තම වෙන දේ.
Deleteමේ දේවල් වෙනස් කරන එක හරි අමාරුයි බං. උඹ හිතෙන විදියට හිතන්න පොලඹවන්නම සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා. මේ ලෝකේ දාමයක් වගේ. එකකට එකක් බැදීලා තියෙන්නේ! ඒ නිසා එක පුරුකක් ගලවලා දාලා ජීවත් වෙනවා කියන එක සෑහෙන්න අමාරු දෙයක්!
ReplyDeleteඅනිවා මචං.මේ විදිහට පොඩි කාලේ ඉඳලා ඔලුවට දාපු දේවල් අත අරින එක හරි අමාරුයි.ඒක හින්දා තමයි මමත් කවදා හරි මගේ පොඩි එකෙක් හදද්දි කොවූර් මහත්තයා එයාගේ ළමයා හැදුවා වගේ හදන්ඩ හිතාගෙන ඉන්නේ.ලෝකේ ඕනෑම දෙයක් සත්‍ය විය හැකිවාක් සේම ඕනෑම දෙයක් අසත්‍ය වීමටද හැක.අවශ්‍ය වන්නේ නම්‍යශීලී මනසක් පමණි.
Deleteහාසය්‍ය රසය මුසුඋන වැදගත් ලිපියක්
ReplyDeleteඉස්තූතියි අටං අයියා....
Deleteනියමයි... අර වෙරළු මල් කතාව අපේ ඔෆීසියෙ උන් දවසක් කියනවා මමත් හොරාට අහගෙන උන්නා..ඒත් ඉතින් ඒක වත් දැන ගන්න අඩුම තරමින් වෙරළු මල් සුවඳවත් මම දන්නෙ නෑනෙ...හි හී
ReplyDeleteඔය The big bang theory සීරිස් එක නියමයි..මම නම් මාරම ආසයි.. හිනා යනවා නෙමේ...මම පණ යනකම් හිනා වෙනවා...
අර කෙල්ල අහු උනාට ලිහිණියාව අල්ලන්න ලේසි නෑ වගෙ
Deleteලිහිණි ඔන්න සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට ඈ.....
Deleteහා හා උඹ බබා...ඉන්දියාවෙ ඉඳලා එන්ඩත් දන්නවා...මගේ නමත් දන්නවා වෙරළු මල් දන්නෑ.....
ඇත්තටම දන්නැද්ද බොලේ...මේ දවස්වල කොළඹ මහ ඉස්පිරිතාලේ වෘක්කවේදී වාට්ටු පැත්තේ පුංචි වෙරලු ගහක මල් හැදිලා.පැත්තම හරී............සුවඳයි.
ඒක නේන්නං මධුරංග අයියා.ගෑනු නුවණ හැඳි මිටේ දිගයි කිව්වේ සෑහෙන දිග හැන්දක වෙන්ඩැති නේ....??
Deleteමෙඩ්ඩියෝ නොදන්න වෙරළු මල් සුවඳක් තියේ යෑ. නේද මලේ !
ReplyDeleteඅපේ උං වෙරළු මල් සුවඳ දන්නේ නෑ.අනිත්වා ගැන දන්නවා.....
Deleteවෙරළු මලේ සුවඳ ගැන කියන සින්දුවක් එහෙම නැද්ද ? නෙත්නම් උබට chance එක ලියන්න.
ReplyDeleteහැබැයි මචන්, ගැටළු ඈතිවෙන හැමදේම අත ඇරලා දැම්මොත් උබට මොකක් වත් ඉතුරු වෙයිද කියල නම් කල්පනා කරන්න වෙනවා.
ඇත්තට අර මල් සින්දු ආව කාලෙවත් වෙරළු මල්වලට සින්දුවක් ආවෙ නැද්ද?බලමුකෝ ලියන්ඩ එහෙනම්.
Deleteමෙතන සීන් එක මචං ගැටළු එනකොට අත අරින එකට වඩා ගැටළු තියෙන බව දැන දැනම එකක් විශ්වාස කරගෙන අනිත් දේවල් ගැන හිතන්නෙවත් නැතුව අත ඇරලා දාන එක නෙමෙයිද?අයින්ස්ටයින් ගේ සීමාකාරී වේගය ආලෝකයේ වේගය කියන එක බොරුවක්ය කියලා පරීක්ෂණයකින් මේ ළඟදි ඔප්පු කෙරුවාය කියනවා නේද? එතකොට කලින් මතය ගැටළු සහගත වෙද්දි අත ඇරිය එකේ අවුලක් තියෙනවද? මිනිස්සු මරා ගත්තද? ඒත් ඔය කට්ටිය භක්තියෙන් විශ්වාස කරන දෙයකට පහරක් ගහලා බලපංකෝ.විනාසයි නේද? එතකොට මධ්‍යස්ථව කරුණු පරීක්ෂා කරලා බැලීමක් සිද්ධ වෙනවද?
එහෙම අන්තගාමී වෙනවට වඩා ඔක්කොම අත ඇරලා මොකුත්ම නැතුව ජීවත් වෙන්ඩ මමනං කැමතියි.දැනටත් බොහෝ දුරට ඒ වගේ තමයි.
මට Richard Dawkins ගේ පුසුඹක් ද මේ එන්නේ..?
ReplyDeleteපක්ෂෙ නම් අතෑරලා ගොඩක් කල් බං. ආගම නම් අතෑරලාම කියන්න අමාරුයි. හැබැයි අන්තගාමී නෑ. බුද්ධාගමට අපහාස කලාම අනුකම්පා හිතෙනවා මිසක් හිත නම් රිදෙන්නේ නෑ.
මම හිතන්නේ මෙහෙමයි. ආගම, ජාතිය, කුලය වගේ දේවල් අපිට ලැබෙන්නේ අපි ඉපදුනාට පස්සෙනේ. අපි බැරිවෙලාවත් ඉපදුනගමන් කැලෑවකට ගිහින් දැම්මා නම් අපිව හදාගන්න සතාගේ කුලේ වෙයි. හරියට Jungle Book එකේ Maugli වගේ.
අපි ඉපදුනාට පස්සේ බලෙන් පටවන දේකට පටු වෙලා අපි මොන මගුලට ගහගන්නව ද බං. තමන් තනිව මිසක්, කිසිම කෙනෙකුට කණ්ඩායමක් විදිහට බෙදිලා තව කාට හරි බලපෑම් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ කියලයි මම විශ්වාස කරන්නේ..
අනිවා.ඔය කියලා තියෙන්නේ හරියටම
Deleteඔය යන පාර හොඳයි.. හැම දෙයක්ම තර්ක බුද්ධියෙන් විමසා බලල තමුන්ට හරිය කියල හිතෙනවානම් පමණක් පිලිගන්න කියල ශ්‍රෙෂ්ඨ මනුශ්‍යයෙක් කියල තියනවා. ආගම් ඉතිහාසය භීෂනාත්මක වීමේ වරද ඇත්තෙ ආගම් වල නෙවෙයි..ආගම් යනුවෙන් අද වරදවා සැලකෙන දර්ශනයන් දේශනාකල කතෘවරුන්ගෙත් නෙවෙයි.ඔවුන් විසින් හඳුන්වාදෙනලද ධර්මයෙත් නෙවෙයි.. ලොභ ද්වෙශ මොහයෙන් වැසුනු මනුෂ්යයාගෙ අතෙයි..
ReplyDeleteසහ තමංගේ බලය රැක ගැනීමට හෝ බලය ලබා ගැනීමට ආගම පාවිච්චි කරන සහ ඒවට රැවටෙන උන්ගේ අතේත් තියෙනවා නේද?
Deleteදොස්තර තරුණයෙක්ගේ සිතුවිලි කියලා මේවා ටික එකතු කරලා පොතක් ගහන්න puluvan
ReplyDeleteමගෙම කියලා ප්‍රාග්ධනයක් එකතු කරගෙන තමයි ඉතිං.....
Delete