30 May 2013

කොළඹින් මන්දාරම් නුවරට.......2

මගේ හිතේ සහ ගතේ එක්ව ඇති මූසල මුස්පේන්තු ගතිය නිසා අපේ චාරිකා සටහනේ ඉතිරි කොටස පල කිරීමට පමා වීම ගැන කමාව අයදින අතරම මගේ චාරිකා සටහන බලා චාරිකාව යෑමට පිටත්ව එළමුල්ලේ අතරමංව සිටින්නන්ට ඉතිරි කොටස කියවා ගමන සම්පූර්ණ කරගන්නා ලෙස ඉල්ලා සිටිමි.





කලින් ලිපියේ අපි කාපු තැනට එනකං කිව්වනේ.

සමරේ මාමා එක්ක කතා කරද්දී මාමගේ දකුණු අතේ ලොකුවට 'අහිංසක' කියලා පච්චයක් එහෙම නැත්තං පොෂ් විදිහට කියන ටැටූ එකක් ගහලා තියෙනවා දැක්කෙමු.අපි විස්තර අහන්ඩත් පෙර මාමාම පච්චය ගැන විස්තර කළේය.

'ඔය කොල්ලො කාලේ එන අදහස්නේ මේවා.පච්චේ ගහන්ඩ ගියේ 'අහිංසක පොඩි පුතා' කියලා.ඒත් අහිංසක කියන ටික ගහද්දි වේදනාවට මාව සිහිනැතුව වැටුනා.ඊට පස්සේ සිහිය ආවම 'අහිංසක' එක්ක විතරක් ගෙදර ආවා.'පොඩි පුතා' අමතක කෙරුවා.'


නැවත එළමුල්ල හන්දියට පැමිණි අපි බසයක් එනතුරු හන්දියේ කඩයට වී සිටියෙමු.රවිත් කඩයේ විකිණීමට තබා තිබූ රෝල්ස් ඉව කර බලා නැවුම් බව සහතික කර ගැනීමට එකක් කා බැලුවේය.අවසානයේ බසය පැමිණියේ එදින අපගේ ගමනාන්තය වූ මන්දාරම් නුවර ග්‍රාමයට අප රැගෙන යාමටය.

කඳු හෙල් ගිරි දුර්ග මැදින් බස් රියැදුරු මහතා අපවද රැගෙන බසය පදවාගෙන ගිය අයුරු මෙනෙහි කරන විට පවා ගතෙහි රෝම සෘජුව හිටගන්නේය.මෙම මාර්ගය අඩිකෝදු නොමැතිව කවකටුවෙන් පමණක් ඉංජිනේරු විද්‍යාව උගත්තවුන්ගේ නිර්මාණයක් දෝ හෝයි සිතෙන තරමට පාරේ ඇත්තේ වංගු විතරය.කෙසේ නමුත් වංගුවක් වංගුවක් පාසා අළුත්වන දෙපස දර්ශනයෙන් අපි කුල්මත්වන විටත් රවිත් හොඳ හැටි මත් වී සිටියේය.කෙසේ නමුත් අපට බස් රථයෙන් මන්දාරම් නුවර ග්‍රාමයටම යා ගත නොහැකි විය.ඒ 'මහින්ද චින්තන මග නැගුම' නම් වූ මුළු මහත් ශ්‍රී ලාංකීය ධරණී තලයම කාපට් අතුරා සකස් කිරීමේ යෝධ ව්‍යාපෘතිය යටතේ මන්දාරම් නුවරට යන මාර්ගය අළුත් වැඩියා කරමින් තිබූ නිසාය.එනිසා ගමට කිලෝමීටරයක් පමණ දුරකින් බසය නවත්වන ලදී.

බස් රථයේ පාපුවරුවේ සිට අපගේ පා පියුම් භූමිය සිපගනිද්දී එතෙක් වෙලා සිනා සෙමින් සිටි අහස කලු කරමින් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන්නට විය.අහසට සාප කරමින් බෑග් මලු හිස තබාගෙන හිස ප්‍රවේසම් කරගෙන අපි ගම කරා පයින්ම ඇදුනෙමු.පාර අලුත්වැඩියා කරන ස්ථානයට එපිටින් ත්‍රීරෝද රථ කීපයක් නවත්වා තිබුණු අතර මම එම තෙසක් රියකින් ගමන සම්පූර්ණ කිරීමට යෝජනා කොට සම්මත කළෙමි.නමුත් වර්ෂාවෙන් තෙමී දැනුනු සීතලයෙන් ගතේ ඇවිලුනු ලෙමන් ජින් දාහය නිවෙන බැවින් රවිත් පයින් යෑමට යෝජනා කළේ,
'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්.... රයිට්' කියාය.මම මුවින් නොබැන සිටියෙමි.

ගමට ඇත්තේ කිලෝමීටරයක් පමණක් බව කිව්වේ බසයේ අපත් සමඟ ආ ගමේ මිනිසුන්ය.මෙවන් පෙදෙස්වල කිලෝමීටරයද ඒ මිනිසුන්ගේ හිත වාගේම අපි දැකපුරුදු ඒවාට වඩා විශාලය.ඒ බව මම අත්දැකීමෙන් දන්නා නමුත් රවිත් සමඟ වාද කිරීමට බස ප්‍රමාණවත් නොවූ නිසා පයින්ම කඳු පාර දිගේ ඇදෙන්නට වීමි.

මීටර දෙසීයක් කන්ද නගින්නටත් පෙර රවිත් ත්‍රී රෝද රථයේ නොපැමිණීම ගැන මැසිවිලි නගන්නට විය.

'මචං දිස් ඉස් අ වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් චාන්ස්' කියා මම ඔහුව නිහඬ කළෙමි.අපි මන්දාරම් නුවරට එනවිට හොඳටම තෙමී සීතලෙන් කුපිත වී සිටියෙමු.කට්ටිය මොන විදිහේ පොර ටෝක් දුන්නද එහාට සිග්නල් ඇත්තේ ටීගෝ සහ එයාර්ටෙල් විතරය.අපි සිව් දෙනාගෙන් එකෙක් ළඟවත් එම ජාති නැති නිසා අකුවා ගමන කතිකා කරගත් මන්දාරම් නුවර රෝහලේ ඇම්බියුලන්ස් රථයේ රියැදුරු මහත්තයා සම්බන්ධ කරගත නොහැකිව ලත වෙන්නට වීමු.ඉන්පසු අකුවා රෝහලට තනිවම පයින් යන්නට වූයේ අපි හන්දියේ කඩයක අක්කලා දෙන්නෙක් එක්ක කුළුපග වෙන්නට වූ අතරේය.අපි කොච්චර ඒ දෙන්නා එක්ක කුළුපග වූවාද යත් එක අක්කා කෙනෙක් ඇගේ ඩුවෙල් සිම් ජංගමයෙන් එක් සිම් පතක් අපට එදිනට පාවිච්චි කිරීමට දුන්නාය.ඇයට පින් දී අපි කුස පුරවා ගන්නට සැරසුනෙමු.මෙවන් වූ සීතල සැන්දෑවක උණුසුම් ප්ලේන් ටී එකක පොඟවා ගෙන කන පාන් කෑල්ලක තියෙන අමෘත රසය දත් මම පාන් බාගයක් සහ ප්ලේන් ටී එකක් ගත් නමුත් රවිතාගේත් කසුනාගේත් සුහද සහයෝගය නිසා පාන් බාගයෙන් හතරෙන් එකක් පමණ කා සෑහීමකට පත් වීමි.රවිත් කඩේ තිබූ එළවලු රොටී, වඩේ ආදී වූ සෑම ආහාරයකම සාම්පලය බැගින් රස බලා මගේ පාන් කෑල්ලටද කෙළවා නිහඬ විය.

අතර මගදී හම්බවෙච්ච උඩවැඩියා මලක්


මේ අතර අකුවා නැවත පැමිණියේ අපට රෝහලට ඒමට ආරාධනා ලැබුණු බව කියන සතුටුදායක ආරංචියත් සමඟය.කඩේ අක්කලා දෙන්නා අපි ඌට හොරෙන් ටී බිවූ බව කියලා ඌට කිරි තේ එකක් විකිණීමට සමත් වූවෝය.පොඩි එකෙක් නෑවීමට උවද තරම් වන වීදුරුවකට දමා දුන් කිරි තේ එකෙන් අකුවාගේ මූණ වැසී යනු දුටු කසුනාටද කිරි තේ ඕනෑ විය.උන් දෙන්නාගේ කිරි තේවලට රවිතුත් මාත් සම්මාදං වීමෙන් පසු සභාතොමෝ බිල ගෙවා පාරට බටහ.කෙසේ හෝ අවසානයේ මන්දාරම් නුවර රෝහලට පිවිසියෙමු.රෝහලක් කීවාට එය මාතෲ නිවාසයකි.එයිට අමතරව බාහිර රෝගී අංශය පැය විසිහතරේම ක්‍රියාත්මකය.පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන වෛද්‍යවරයා ප්‍රතිකාර ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ උවද අවදි කරවා ගත හැක.

වෛද්‍ය නිල නිවස සහ බාහිර රෝගී අංශය පිහිටා ඇති සුද්දන් හැදූ ගොඩනැගිල්ල

වෛද්‍යතුමා ගානේ යෝගට් රස බැලූ අපි ඔහුගේත් එම්බියුලන්ස් රියදුරු මහතාගේත් ආරාධනය පරිදි රෝහලේ නතර වෙන්නට තීරණය කළෙමු.ඔවුන් අපට යෝජනා කළේ රෝහලේ ගොඩනැගිල්ලක නතර වන ලෙසය.නමුත් අපි එම යෝජනාව සුහදව ප්‍රතික්ෂේප කළෙමු.මාගේ කූඩාරම ගෙනාවේ කොළඹ සිට උස්සාගෙනය.එසේ වැර වෑයමින් ගෙනා කූඩාරම පසෙක ලා අවස්ථාවාදී ලෙස රෝහල තුල ඇඳක සුව සොයා යාමට තරම් අපි කෲර නොවීමු.එනිසා රෝහලේ කුස්සියේ සහ නාන කාමරයේ පහසුවද ලැබෙන සේ කූඩාරම රෝහල් මිදුලේ ඇටවීමට අපි තීරණය කර ගතිමු.

මගේ කූඩාරම
 (මෙහෙම හිටියට හිසට සෙවනක් තියෙන කොල්ලෙක් හරිය!!)

කූඩාරම යන්තං අටවා ගත්තද ඒක ඇතුලේ හතර දෙනෙක් කෙසේ වෙතත් තුන් දෙනෙක්ට සහ රවිත්ට ඉන්ඩනම් කොහොමවත් ඉඩ නොමැති බව අපට මනාව පසක් විය.ඇත්තෙන්ම එය නිර්මාණය කොට ඇත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන් දෙදෙනෙකුට බව නිර්මාපකයෝ කියා ඇත.කෙසේ නමුත් ප්‍රමුඛම ගැටළුව නින්ද නොව කුසගින්න නිසා අපි කුඩාරම මදකට අමතක කොට ඇම්බියුලන්ස් රියැදුරු මහතා සමඟ ඔහුගේ නිල නිවසට ගොඩ වැදුනෙමු.ඔහුගෙන් ලද බිස්කට් කෙසෙල් සහ කහට තේ කිරිටොෆී හා එක්ව අපේ කුසගින්න උත්තේජනය කෙරුවා පමණය.එනිසා අපි ඔහුට ස්තූති කොට නැවත රෝහල් කුස්සියට ඇදුනේ නූඩ්ල්ස් ටික සාදා ගැනීමටය.

උණු උණු මැගී නූඩ්ල්ස් රස බැලීමේ චේතනාවෙන් කුස්සි ගත වූ අපි ඇලුමිනියම් රාස්පානට වතුර පුරවා ලිප තැබීමු.ඉන්පසු යෝධ මැගී පැකට්ටුව කඩා නූඩ්ල්ස් රත් වූ වතුරට එක් කොට රසකාරක පැකැට්ටුව සොයන්නට වීමු.අහෝ ඛේදයකි!! නූඩ්ල්ස් පැකැට්ටුවේ රසකාරකය නැත.අපි භීතියට පත්ව කිසිවක් කරකියාගත නොහැකිව උඩ බිම බැලීමු.මැගී කොම්පැනියට විරුද්ධව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව සාක්ච්ඡා කළෙමු.මැගී ගන්නට යෝජනා කළ උන් සහ මැගී ගත්තවුන් එකිනෙකාට රවා ගත්තෙමු.එයින් සෑහීමකට පත් වූ පසු අපි නැගිට් මීට විකල්ප සොයන්නට පටන් ගත්තෙමු.මේ අතර මම කැඩූ මැගී පැකැට්ටුවේ පිටත පැහැදිලිව සටහන් කර තිබූ 'රසකාරක පැකැට්ටුව අඩංගු නැත' යන වැකිය සොයා ගතිමි.එයින් අපි තරමක් සැහැල්ලු වීමු.දැන් මැගී කොම්පැනියට විරුද්ධව නඩු දැමිය යුතු නැත.

රවිත් කසුන් සමඟ ගියේ ඇම්බියුලන්ස් රියැදුරු මහතාගේ නිවසින් තුනපහ කුඩු සහ මිරිස් කුඩු ස්වල්පයක් රැගෙන ඒමටය.මේ අතර මමත් අකුවාත් කුස්සිය පෙරලා ලුණු භාජනයකුත් සෝයා පැකැට්ටුවක එන රසකාරක පැකැට්ටුවකුත් සොයා ගතිමු.සෝයා පැකැට්ටුවේ ආ රසකාරක පැකැට්ටුව කල් ඉකුත් වූ එකක් දැ‍යි අපි දැන සිටියේ නැත.නමුත් එය කල් ඉකුත් නොවූ එකක් බව අපි දැන් දනිමු.චෙෆ් රවිත් මහතා මිරිස්කුඩු, තුනපහ කුඩු, ලුණු සහ සෝයා පැකැට්ටුවේ රසකාරකය දමා එම නූඩ්ල්ස් ටික කෑ හැකි මට්ටමට පත් කළේය.ඒ අතර ඔහුගේ කුඩා මොළයේ ජනිත වූ නව අදහසක් ක්‍රියාත්මක කිරීමටද ඔහු පසුබට නොවීය.ඒ මෙසේ නව රසකාරක හා එක් කළ නූඩ්ල්ස්වලට මංචි කුමේ බිස්කට් එකතු කොට බැලීමය.කුඩා කෑලිවලට කඩා එක්කළ බිස්කට් නූඩ්ල්ස්වලට නව ජවයක් එක් කිරීමට සමත් විය.රවි කෙදිනක හෝ වෛද්‍යවරයෙකු ලෙස පිටවී ගල්කිස්ස හෝටලයේ පත්වීමක් ලබා පබිලිස් මහතාව උපහාසයට ලක්කරන ආකාරය සිහින මවමින් අපි 'කුමේ සෝයා නූඩ්ල්ස්' කෑවෙමු.

කුමේ සෝයා නූඩ්ල්ස්



වීරවික්‍රමාන්විත සිදුවීම් බහුල අපගේ වීර චාරිකාවේ තවත් ලොමුදැහැගැන්වෙන කොටසක් බලාපොරොත්තු වන්න....

11 comments:

  1. මෙතරම් අගේ ඇති විස්තරයක පිංතූරටික ඇයි බං විනාස කරල තියෙන්නේ. අඩවැඩියා මල නං මරේමරු.

    ReplyDelete
    Replies
    1. අපේ උන්ගේ මූණු උංගේ අවසරයක් නැතුව මගේ බොගේ දාන්ඩ හොඳ නෑනේ.මම මාධ්‍ය නිදහස අයථා විදිහට පාවිච්චි කරන්නෑ ඕං ඈ....

      ඒක වල් උඩවැඩියා මලක් අයියේ...

      Delete
  2. මන්දාරම් නුවරට ඒ නම ලැබිලා තියෙන්නෙම හැම වෙලාවේම තියන මන්දාරම් ගතිය නිසානේ. මන්දාරම් නුවරට නොවහින දිනයක් නැති තරම්. අර මල නම් හරිම ලස්සනයි. අර රෝහල් ගොඩනැගිල්ලේ අතීතය තව ටිකක් හොයලා බැලුවේ නැද්ද? ඒ වගේම තමයි එවැනි ගොඩනැගිලිවල ඇති විශේෂ වාස්තුවිද්‍යාත්මක ලක්ෂණ පින්තුර වලින් පෙන්වන්න පුලුවන්නම් බොහොම වටිනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගොඩනැගිල්ල ගැන හොයන්නේ කොහෙද විචාරක මහත්තයෝ අපි කෑම ගැන නොවැ හිත හිත හිටියේ...ඊට පස්සේ පිදුරුතලාගල ගැන කල්පනා කළා මිසක්කා ඒවා ගැන හිතන්ඩ හම්බ උනේ නෑ...

      Delete
  3. පට්ට චාරිකාව....මටත් යන්න ආසාවක් ආව.... අනිව දවසක යනව... මචන් ටෙන්ට් එක කීයක් විතර වෙනවද?? අනික මල නම් සුපිරි.. කැම් එක මොකද්ද බොලේ... තව රූප ටිකක් එහෙම දැම්මනම් තමා තවත් කොර...

    ReplyDelete
    Replies
    1. ටෙන්ට් එක 4500යි.උංගේ ප්‍රොමොෂන් එකකදි මං 4000කට ගත්තේ.ටෙන්ට් එකක් ගන්නවනං 0778760582 ට කෝල් එකක් දීලා බලපං.මම ගත්තේ උංගෙං.

      කැම් එක මගේ දුප්පත් ඩිජිටල් කැම් එක බං.මෙච්චර කාලයක් ඒකේ මැක්‍රෝ වැඩ කළේ නෑ.ඔන්න එක පාරට වැඩ කරන්ඩ පටං අරං.

      මේ මගුල් හච් කොනෙක්ෂන් එකේ මොන ලබ්බක්වත් අප්ලෝඩ් කරන්ඩ බෑනේ බං.මේ ටික අප්ලෝඩ් කරලත් මට හොඳටම මහන්සියි.

      Delete
  4. කියවපු ඔක්කොමත් හරි අර මලත් හරි... හරියට අලුත උපන් පුංචි සිඟිත්තෙකුගෙ මූන වගේ පිවිතුරුයි පියකරුයි..,

    ReplyDelete
    Replies
    1. අපේ රවිත්නං පැළේකුත් ගලවං ආවා කෙල්ලට දෙන්ඩ කියලා.රක්ෂිතයෙන් නෙමෙයි ඕං ඈ.ගමේ පාරක් අයිනෙං.

      Delete
  5. මෙයාලා පට්ට ෆන් එකක් අරන් වගේ. ඒ උනාට අර චාන්ස් එක වන්ස් ඉන් අ ලයිෆ් ටයිම් තමයි... ඔය ගෙම්බො වගේ දැන් හිටියට දොස්තරලා වුනාට පස්සේ උඹලා හීනෙන්වත් අව්වක් වැස්සකට තියා බෝම්බ ගැහුවත් ඔය වගේ සැහැල්ලු අත්දැකීම් ලබන එකක් නෑ.
    මම පිදුරුතලාගල ගියත් මට මෙහෙම නමක් මතක නෑ නේ. සමහරවිට අපි කියන්නේ වෙන නමක් වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. ෆන් එකක් නං ගත්තා අපරාදෙ කියන්ඩ බෑ.දිගටම මේ වගේ ෆන් ගන්ඩ තමයි හිතං ඉන්නේ බලමුකෝ ඈ.
      පිදුරුතලාගල ගොඩක් අය යන්නේ නුවර එළිය පැත්තෙං මම හිතන්නේ.මේ ගම තියෙන්නේ අනිත් පැත්තේ.

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...