25 May 2014

සම-සෞඛ්‍ය ගැටළුව




සම-සෞඛ්‍ය කට්ටියගේ ගැටළුව ගැන කකා ලියලා තිබ්බනේ පොඩි විස්තරයක්.ඒකේ කොමෙන්ට්වල නං දිග සංවාද ගිහිං තිබ්බා.මේ සම-සෞඛ්‍ය ගැටළුව ගැන ලියන්ඩ හිතාන හිටියට විභාගේ වැඩයි කම්මැලි කමයි හින්දා පස්ස ගගහා හිටියත් කකාගේ ලිපිය කියවලා මේක ගැන ලියන්ඩම හිතුනා.කකාගේ ලිපිය විතරක් නෙමෙයි ගිය සතියේ තිබ්බ දෙරණ වාද පිටිය වැඩසටහනත් කට්ටිය බලන්ඩ ඇතිනේ.බැලුවේ නැත්තං ගිහිල්ලා බැලුවත් කමක් නෑ ඕං.මොකද ඔය රටේ වෙනත් ප්‍රශ්නවලදි ඇස් කන් පියාන ඉන්ඩ පුළුවං උනාට මේකෙදි කාටවත් එහෙම මග ඇරලා ඉන්ඩ අමාරුයි.රතුපස්වල ප්‍රශ්නෙදි අවුලක් නෑ රතුපස්වල උන්ටනේ වතුර නැත්තේ කියලා ගණන් නොගෙන හිටියට, ධීවරයින්ට ඉන්ධන සහනාධාරේ නොදී ධීවරයෙක්ට වෙඩෛ තියලා මැරුවම කමක් නෑ ධීවරයින්ටනේ අවුල තියෙන්නේ කියලා අමතක කරලා දැම්මට ඉස්පිරිතාලවල ගැටළුවක් කියන්නේ රටේ හැමෝටම සමස්ථයක් විදිහට බලපාන ප්‍රශ්නයක්.

මුලින්ම බලමු මොකක්ද මේ සම-සෞඛ්‍ය පීඨය කියලා.

  • B.Sc. in Nursing Degree Programme
  • B.Sc. in Medical Laboratory Science Degree Programme
  • B.Sc. in Physiotherapy Degree Programme
  • B.Sc. in Radiography Degree Programme
  • B.Sc. in Radiotherapy Degree Programme
  • Bachelor of Pharmacy ( B.Pharm) Degree Programme

කියන පාඨමාලා මේ සම-සෞඛ්‍ය කියන කොටසට අයත් වෙනවා.මේ අය හැමෝම රෝහල්වල කටයුතු කරගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය අය.අතීතයේ හිපොක්‍රටීස්ලගේ කාලේ ඉඳලා නයිටිංගේල්ගේ කාලේ වෙනකල්ම ලෙඩා සම්බන්ද හැමදේම කළේ දොස්තරම තමයි.ඒත් පස්සේ පස්සේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම සහ කටයුතු සංකීර්ණ වෙද්දි මේ හැම එකම තනියම වෛද්‍යවරයට කරගෙන යන්ඩ බැරි වෙනවා.අන්න එතකොට තමයි මේ කියන හෙදියන් ප්‍රමුඛ අනෙකුත් සම-සෞඛ්‍ය සේවාවන් බිහි වෙන්නේ.මේ කියන ඒ ඒ ක්ෂේත්‍රවලට විශේෂ වූ සේවාවන් බිහිවීමේ අරමුණ රෝගීන්ට උපරිම සේවාවක් ලබා දීමයි.

මේ සම-සෞඛ්‍ය උපාධිය දැනට අවුරුදු 10කට විතර කලිං පටං ගන්නේ අවුරුදු හතරක උපාධියක් විදිහටයි.වාදපිටියෙදි නජිත් කියනවා වගේ උපාධි පාඨමාලාවක් පටං ගන්නේ නිකං තේ කඩයක් දානවා වගේ 'හරි එහෙනං හෙට පටං ගම්මු' කියලා නෙමෙයි.මේ උපාධි පාඨමාලා පටං ගන්ඩ කලිං සෑහෙන මුදලක් වියදම් කරලා දෙස් විදෙස් ප්‍රවීණයන් කැඳවලා සාකච්ඡා කරලා තමයි මේ උපාධි සඳහා අවුරුදු හතරක් ඕනෑ කියලා තීරණය කරන්නේ.එහෙම විද්වත් සාකච්ඡාවල ප්‍රථිපලයක් විදිහට ඇති කරපු සිව් අවුරුදු පාඨමාලාව දැං හදිස්සියේ තුනක් කරපු එකට තමයි මේ ළමයි විරුද්ධ වෙන්නේ.මම දකින විදිහට ඒ විරුද්ධ වීම සාධාරණයි.

සිවු අවුරුදු උපාධි පාඨමාලාවේ කට්ටිය සායනික පුහුණු සඳහා රෝහල්වලට යනකොට වෛද්‍යවරු මුලින්ම ලෙඩේ අදින්ඩ පටං ගත්තේ වාට්ටුවල ඉඩ පහසුකම් නෑ කියලා.ලංකාවේ ශික්ෂණ රෝහල් තියෙන්නේ කීපයක් උනාට මහ රෝහල් ගොඩක් තියෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයටයි උසස් අධ්‍යාපන අමාත්‍යංශයටයි ඉක්මනට විසඳන්ඩ තිබිච්ච ප්‍රශ්නයක් සෑහෙන කාලයක් ඇදිලා ගියා.ඒක අන්තිමේ විසඳුනා.ඊට පස්සේ මේ අය උපාධි අරං ආවම තමුන්ට වඩා ඉහලට එයි කියලා මේ අයගෙම ක්ෂේත්‍රවලට අයත් ඩිප්ලෝමාධාරීන් බය වෙලා ඒ අය ලෙඩේ අදින්ඩ පටං ගත්තා.උපාධිය පටං ගන්ඩ කළිං මේ ක්ෂේත්‍රවල හිටියේ ඩිප්ලෝමාධාරීන්.තවමත් ඉස්පිරිතාලවල වැඩ කරන්නේ මේ ඩිප්ලෝමා අය තමයි.අර ළමයි සායනික පුහුණුවට ගියාම ඔවුන්ට ඒ පුහුණුව දෙන්ඩ සිද්ධ වෙලා තිබුණේ ඒ වෙනකොට රෝහල්වල වැඩ කරපු ඩිප්ලෝමාධාරීන්ට.නමුත් ඔවුන් මේ ළමයින්ට පුහුණුව දෙන එක ප්‍රතික්ෂේප කළා.ඒ වෘත්තීය කුහක කම හින්දා.පස්සේ මේ ඩිප්ලෝමාධාරීන් ඔවුන්ටත් කෙටි අධ්‍යාපනයකින් පස්සේ උපාධිය ලබා දෙන්ඩ කියලා ඉල්ලීමක් කළා.නමුත් උපාධිය එහෙම පොඩි කාලෙකින් දෙන්ඩ බැරි නිසා විශ්ව විද්‍යාල මේ අයගේ ඉල්ලීම බැහැර කළා.ඒ ප්‍රශ්නෙත් සෑහෙන කාලයක් ඇදි ඇදි ගියා.

දැං අළුත්ම කේස් එක මේ 3+1 කිරීම.ඒ කියන්නේ අවුරුදු හතරේ උපාධිය අවුරුදු 3ට අඩු කරලා අවුරුදු 3ට පස්සේ වැඩි ලකුණු ගන්න ළමයින්ට තව අමතර අවුරුද්දක් ලබා දෙන ක්‍රමයක් එක පාරට ඇති කළා.මේක ඇති කිරීමට මූලික උනේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙවත් GMOA එක කියලා එස් බී මහත්තයා කියනවා.GMOA  එකත් ඒක ප්‍රතික්ෂේප කළේ නෑ.GMOA  එක මේකට විරුද්ධ ඇයි කියලා ඇහුවම ඒ අය එක එක හේතු කියනවා.ඒ අය කියනවා මේ ළමයින්ට උපාධිය දුන්නට රැකියා අවස්ථා නෑ ඒ හින්දා බොරුවට අවුරුදු හතරක් මේක අදින එකේ තේරුමක් නෑ කියලා.ගැටළුව තියෙන්නේ එතන.GMOA  එක කියන්නේ වෘත්තීය සමිතියක්.මේ අයට රස්සා දෙනවද නැද්ද කියන එක හෝ පාඨමාලා කාලය ගැන හෝ මේ වෘත්තීය සමිතියකට තියෙන කැක්කුම මොකක්ද? මේ අය අනිත් විශ්වවිද්‍යාල පාඨමාලා ගැනත් කතා කරනවද? කලා උපාධිය මාස හයකට අඩු කරන්ඩ වගේ ඉල්ලිම් කරනවද? 

මෙතන ගැටළුව තියෙන්නේ අවුරුදු හතරක උපාධිය තියෙන අයට පුළුවන් පරිපාලන සේවයට එන්ඩ.මේ සම-සෞඛ්‍ය නිළධාරීන් පරිපාලනයට ඇවිදින් වෛද්‍යවරුන්ට ලෙඩේ අදීවී කියන බය තමයි වෛද්‍යවරුන් තුල තියෙන්නේ.ඒ නිසා ඔවුන් බලපෑම් කරනවා මේ සිවු අවුරුදු පාඨමාලාව කප්පාදු කරන ලෙස.විශේෂයෙන් හෙද නිලධාරීන් සිව් අවුරුදු පාඨමාලාවෙන් පස්සේ සය මාසික ශල්‍යාගාර පුහුණුවකුත් තවත් සය මාසික මොනවා හරි පුහුණුවකුත් දා ගත්තම ඔවුන් වෛද්‍යවරුන් තරමටම ජ්‍යේෂ්ඨ වේවි යැයි බයක් තියෙනවා.මම පත්තරේ  ගිය සම-සෞඛ්‍ය සිසුන්ට පොලීසිය ගහපු නිවුස් එක බල බල ඉන්න කොට මගේ මිත්‍රයෙක් එතනට ආවා.

"හොඳ වැඩේ ඕකුන්ට.ඔහොම නෙමෙයි ගහන්ඩ තිබ්බේ අතපය කැඩෙන්ඩ"

" ඇයි බං?"

"ඕකුං හදන්නේ අවුරුදු හතරේ ඩිග්‍රිය අරං පරිපාලනේට රිංගන්ඩනේ"

"ඉතිං?"

"ඉතිං කියන්නේ, ඊට පස්සේ ඕකුං එයි අපිව පාලනේ කරන්ඩ"

"ඉතිං බං අපි දැං උංව පාලනේ කරන්නේ.උනුත් එහෙම ආවම මොකෝ"

"සම-සෞඛ්‍ය එකට යන්නේ අඩු ළකුණු ගත්ත එවුන්නේ බං."

"දිස්ත්‍රික්ක කෝටා සීන් එක හින්දා සමහර පැතිවලිං මෙඩිසින් ගිය උන්ට වඩා වැඩි රිසල්ට්ස් දාලා මෙඩිසින් යන්ඩ බැරි වෙච්ච උං ඉන්න පැති තියෙනවනේ බං.ඉතිං උං සම-සෞඛ්‍ය එකට යනවා.එහෙම බැලුවම සමහර දොස්තරලට වඩා ලකුණු තියෙන උං සම-සෞඛ්‍ය එකේ ඉන්නවනේ බං.අනික උඩින්ම ඉන්න සෞඛ්‍ය ඇමතිගේ සුදුසුකම් කවුද තීරණේ කරන්නේ?"

"උඹත් එක්ක කතා කරලා වැඩක් නෑ"

එස් බී දිසානායක මහත්තයා මේක GMOA එක මත පටවා ඇඟ බේරාගන්නට හැදුවත් කිව යුත්තේ රජයට මේ ගැටළුව විසඳීමට ඇත්තම උවමනාවක් ඇත්නම් මෙය විසඳීමට ඔවුන්ට හැකි බවය.සිවු අවුරුදු පාඨමාලාවට විරුද්ද වන්නේ GMOA එක පමණි.රටේ සංවිධාන රැසක් විරුද්ධ වූ කැසිනෝ පනත සම්මත කරගත් ආණ්ඩුවට මෙය මහ කජ්ජක් නොවේ.නමුත් මෙවැනි ගැටුම් පැවතීම ආණ්ඩුවට ආශීර්වාදයකි.රටේ සැබෑ ප්‍රශ්න ජනතාවට අමතක කරවීම, පුද්ගලික විශ්ව විද්‍යාල සාධාරණී කරණය වීම, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කප්පාදු කොට රේස් පැදීමට වෙන් කිරීමට හැකි වීම ආදී වාසි කිහිපයක් ආණ්ඩුවට මේ තුවාල සුව නොකොට තබා ගැනීමෙන් ලැබේ.




උපාධියේ කාලය වැඩක් නෑ එකම ඩිග්‍රිය දෙනවනං යැයි කියාද මතයක් ඇත.නමුත් ක්‍රෙඩිට් ක්‍රමය අනුව බලන විට සිව් අවුරුදු පාඨමාලාවට ක්‍රෙඩිට් 120ක් ලැබෙන අතර තුන් අවුරුදු පාඨමාලාවට ලැබෙනේ ක්‍රෙඩිට් 90ක් පමණි.මේ සාධක ඔවුන්ට රැකියා ලබා දීමේදී සහ පශ්චාත් උපාධි ආදිය කිරීමේදී බලපාන්නේය.ඒ කරුණු නොසලකා හැරියත් මොවුන් කටයුතු කරන්නේ මිනිස් ජීවිත සමඟය.ඔබේ මව හෝ පියාට ප්‍රථිකාර කරන තැනැත්තා වසරක් වැඩිපුර පුහුණුවක් ලැබූ අයෙක් වනවාට ඔබ කැමති නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේ විදෙස් රටවල බැලැමෙහෙවර සඳහා ගැහැනුන් පිටත් කර යැවීමය.ඔවුහූ ඒ රටවලදී දූෂණය කෙරෙති.අතපය කඩා දැමෙති.වැටුප් නොගෙවා වැඩ ගනිති.ඉඳිකටු, ඇණ ආදිය ඇඟට ඇතුල් කෙරෙති.එවන් වූ පහත් රැකියාවලට අපේ රටේ ගැහැනුන් යවන අපි ප්‍රෞඪ ජාතියක් වෙමු.වසර 2500ක් ඈත ඉතිහාසයකට උරුම කම් කියන සහ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය පරාද කළ වීරෝධාර ජාතියක් වෙමු.




මැදපෙරදිග කටුක රැකියාවේ යෙදී ගෘහ සේවිකාවන් 20 දෙනෙකුගෙන් ලංකාවට ලැබෙන විදේශ විනිමය එක් හෙදියක් විදෙස්ගත කිරීමෙන් ලැබිය හැක.ආයතනවල වැඩ කරන වෘත්තිකයින්ට ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුවන්නේද  නැත.වැඩි වැඩියෙන් වෘත්තිකයින් බිහි කොට ඔවුන්ට විදෙස් රැකියා ලබා දීමට කටයුතු කළ යුත්තේ රජය ය.රට රටවල ඇවිදිමින් එක එකා ඉඹ බදාගන්නා අතරේ අත්සන් කළ යුත්තේ එවැනි ගිවිසුම්ය.

අදට මේ ඇතිය.මේක කියවන මගේ මිත්‍ර වෛද්‍යවරුන් මා හා අමනාප වනු ඇත.එසේ නොවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

20 May 2014

සරල සහ සංකීර්ණ


පාට ගලපලා
ඇඟට තියලා
කැරකිලා ඇඹරිලා
කණ්ණඩිය ඉස්සරහ

හරියන්ඩ ගැලපෙන්ඩ
කරාඹුත් දාලා
යාළුවෝ හැඩයි කියු
සෙරෙප්පුත් දෙපා ලා

එන ඈව හමුවන්න
ඇඳ මතින් පුටු වතෙන්
ඇහිඳ ළංකොට නැහැය
විලවුන්ද ඉස කමිසෙ
ගඳ බලා ඇඟෙහි ලා
හනි හනික පමා වී
එයි ප්‍රේම කුරුල්ලා


14 May 2014

නැකතට කිරීම.....





මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.



පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්‍රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්‍රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්‍රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්‍රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්‍යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.

ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.

ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්‍යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්‍රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්‍ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්‍රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්‍යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්‍යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.

ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්‍යාත්මිකවත් උන් දියුණුය.

කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්‍රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්‍යෝතිෂ්‍ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.




තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්‍යා යුවලක් නම්, මඟුල නම් වූ ක්‍රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්‍රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.



අපිට අනන්‍ය වූ අපේ ශාස්ත්‍ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.


27 April 2014

මකබෑවියං මදුරුවා....



කූං ගාගෙන 
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි

ඒත් 
දුරස් උනත්
එක නිමේෂයකට 
ආයෙත් එන්නේ 
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක

කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය

ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල




25 April 2014

දියවැඩියාව නොහොත් මධුමේහය



සීනි අමාරුව කියලා කවුරුත් කියන දියවැඩියාව හෙවත් මධුමේහය හෙවත් ඩයබිටීස් මෙලයිටස් (Diabetes mellitus) කියන ලෙඩේ ගැන පාඩම් කරන කොට කට්ටියට දැනගන්ඩත් එක්ක ලියලා දාන්ඩ හිතුනා.දියවැඩියාව සෑහෙන්ඩ භයානක ලෙඩක් උනත් ඒක සෑහෙන්ඩ සුළබ ලෙඩක් වීම නිසාම කවුරුත් එච්චර ගණන් ගන්නේ නෑ.ලංකාවේ ජනගහනයෙන් 10% විතර දියවැඩියාව හෝ දියවැඩියා අවධානමෙන් පෙළෙනවා.ඒකෙනුත් නාගරික හෝ ඒ ආශ්‍රිත අයට දියවැඩියාව වැඩිපුර තියෙනවා.ඉස්සර දියවැඩියාව සැළකුනේ වයසක අයට හැදෙන ලෙඩක් හැටියට උනත් දැන් ඒක ඉස්කෝලේ ළමයි අතරත් පැතිරීගෙන යනවා.

දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අහිතකර විදිහට ඉහළ යෑම කියලා කවුරුත් දන්නවනේ.මිනිස් සිරුරේ අභ්‍යන්තරයේ පරිසරය නියතව තියාගන්ඩ තමයි අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ.මේ අභ්‍යන්තර පරිසරය නියතව තබා ගැනීම නිරෝගීව ඉන්න සෑහෙන්න වැදගත්.ඉතිං මේ රුධිරයේ සීනි මට්ටම ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම නියත අගයක ඒ කියන්නේ 70-100 mg/dL වගේ අගයක පවත්වා ගැනීමත් වැදගත්.වාහනයක් වැඩ කරන්ඩ පෙට්‍රල් ඕනේ වගේ, පරිගණකයක් වැඩ කරන්ඩ කරන්ට් එක ඕනේ වගේ, අපේ ඇඟේ සෛලවලටත් ඒවායේ කාර්යයන් කරගෙන යන්ඩ ශක්තිය ඕනෑ කරනවනේ.මෙන්න මේ ශක්තිය ලබාගන්නේ සෛල ඇතුලේදී ග්ලූකෝස් දහනය කරලයි.ඉතින් සෛලවලට අවශ්‍ය ග්ලූකෝස් සෛල කරා ගෙනියන්නේ රුධිරය හරහානේ.ඒ නිසා රුධිරයේ හැම තිස්සේම ග්ලූකෝස් තිබිය යුතුයි.හැබැයි මේ ග්ලූකෝස් ඕනේවට වඩා වැඩි උනොත් ප්‍රශ්න ඇති වෙනවා."ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියනවනේ.



රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නොවී තියාගන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය කියලත් කට්ටිය අහලා ඇති කියලා හිතනවා.රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්‍යයාශ්යේන් මේ ඉන්සියුලින් ස්‍රාවය වෙන්ඩ පටන් ගන්නවා.ඉන්සියුලින්වල කාර්යය තමයි අක්මාවේ සහ මාංශ පේශිවල දී මේ ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරන එක සහ සෛල මගින් ග්ලූකෝස් භාවිතා කරලා ශක්තිය නිපදවන එක උත්තේජනය කරන එක.ඊට අමතරව මේද පටකවලින් මේදය රුධිරයට එකතු වෙන එකත් පාලනය කරන්ඩත් ඉන්සියුලින් දායක වෙනවා.

හරි දැං අපි දියවැඩියාව ගැන කතාකරන්ඩ ගත්තොත් දියවැඩියාව වර්ග දෙකක් තියෙනවා.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අග්න්‍යයාශයේ ඇති ඉන්සියුලින් නිශ්පාදනය කරන සෛල විනාශ වීම නිසා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ නැත්තටම නැති වී යාම නිසයි.මේක සිද්ධ වෙන්ඩ හරි නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ.සමහරු කියනවා වෛරස් ආසාධන මේකට බලපානවා ඇති කියලා.සමහරු කියනවා ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ සෛල විනාශ කරලා දානවා කියලා.කොහොම උනත් මේක සාමාන්‍යයෙන් වැළඳෙන්නේ තරුණ සහ යොවුන් වයසේ අයටයි.මේ අයට ජීවිත කාලයටම ඉන්සියුලින් ලබා දෙනවා ඇරෙන්ඩ වෙන ප්‍රථිකර්මයක් නෑ.නමුත් නිසි විදිහට ඉන්සියුලින් අරගන්නවා නම් සාමාන්‍ය විදිහට ජීවිතේ ගෙනියන්ඩ බලපෑමකුත් නෑ.

දෙවන වර්ගයේ දිය්වැඩියාව (Type 2 Diabetes Mellitus)

මේක හැදෙන්නේ අපේ ශරීරයට අනවශ්‍ය විදිහට සීනි ආහාර ලැබීමෙන් සහ ඒවා ශක්තිය විදිහට වැය කිරීම අඩු වීම නිසා ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා යාම නිසා.ඒ කියන්නේ ශරීරයට සෑහෙන්ඩ ග්ලූකෝස් ලැබෙනවා.හැබැයි ඒවා වැය කරන්ඩ තරම් ව්‍යායාමයක් සිද්ධ වෙන්නේ නැති උනාම ශරීරයේ සෛල ඉන්සියුලින්වලට දක්වන ප්‍රතික්‍රියාව අඩාල වෙලා යනවා.ඒ කියන්නේ ඉන්සියුලින් කොච්චර තිබ්බත් සෛල ඒක ගණන් ගන්නේ නෑ (Insulin resistance).එහෙම උනාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන එක අහන්ඩත් දෙයක්ද?

මේ දෙවන වර්ගයේ දියවැඩියාව තමයි වැඩි දෙනෙකුට වැළඳෙන්නේ.ඒ වගේම ඒක හැදෙන එක වළක්වගන්ඩත් පුළුවන්.ඒක නිසා ඒක ගැන දැන ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා.

මේ දෙවන වර්ගයේ දියවැඩියාව හැදුනත් ගොඩක් අය දන්නේ නෑ තමුන්ට ලෙඩේ තියෙනවා කියලා.ඒ නිසා ගොඩක් වෙලාවට ලෙඩේ තියෙනවා කියලා දැනගන්නේ අහම්බෙන් රුධිර පරීක්ෂාවක් කළොත් හරි දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතාවයක් ඇති උනොත් හරි තමයි.ඒ නිසා වයස අවුරුදු 35ට වැඩිනම් හරි, පවුලේ ළඟම ඥාතියෙකුට දියවැඩියාව තියෙනවා නම් හරි ඒත් නැත්නම් නිකං හරි සැකයක් තියෙනවානං හරි ගිහිල්ලා රුධිර පරික්ෂාවක් කර ගන්න එක හොඳයි.අඩුම තරමේ අවුරුද්දකට එක පාරක් වත්.

රුධිරයේ සීනි මට්ටම ඉහල ගියාම මුත්‍ර එක්ක ග්ලූකෝස් පිට වෙන්ඩ පටන් ගන්නවා.මුත්‍රවල දියවෙලා තියෙන ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනකොට ඒ ද්‍රව්‍යත් එක්ක වැඩි වතුර ප්‍රමාණයකුත් මුත්‍ර විදිහට පිට වෙලා යනවා.ඒ කියන්නේ වැඩි මුත්‍ර පරිමාවක් දවසකට පිට වෙනවා.දවල් දවසේ කී පාරක් මුත්‍ර කළාද කියලා කෙනෙකුට මතක හිටින්නේ නෑ.නමුත් රෑට දෙපාරකට වඩා නින්දෙන් නැගිටලා මුත්‍ර කරන්ඩ යන්ඩ වෙනවනං ඔන්න පොඩ්ඩක් සැළකිළිමත් වෙන එක හොඳයි.ඒ වගේම අධික ලෙස මුත්‍ර පිට වීම නිසා වගේම රුධිරයේ ග්ලූකෝස් අධික වීම නිසා රුධිරයේ ඇති ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වීම නිසා මේ පුද්ගලයින්ට තිබහ දැනෙනවත් වැඩී.ඒ වගේම ඉන්සියුලින්වලින් මේද පටකයේ මේද තැන්පත් වීම උත්තේජනය කරනවා වගේම මේද පටකයෙන් මේද නැවත රුධිරයට මුදා හැරීම වළක්වන නමුත් මේ අයගේ ශරීරයේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති හින්දා මේ අය කෙට්ටු වෙන්ඩත් පටන් ගන්නවා.ඒ වගේම රුධිරයේ කොච්චර ග්ලූකෝස් තිබ්බත් ඒවා සෛල ඇතුලට ගන්ඩ නම් ඉන්සියුලින් හරියට වැඩ කරන්ඩ ඕනේ හින්දා සෛල නිතරම ඉන්නේ බඩ ගින්නේ.ඒ නිසා මේ සෛල මොළයට පණිවිඩ යවනවා එයාලට කෑම නෑ කියලා.ඒක හින්දා මොළය පුද්ගලයාට බඩගින්න ඇති කරන්ඩ කටයුතු කරනවා.

ඒ නිසා,


  • ඇඟ කෙට්ටු වීම
  • අධික පිපාසය ඇති වීම
  • අධික ලෙස මුත්‍ර පිට වීම
  • අධික කුසගින්න
  • නිතර නිතර ආසාදන ඇති වීම


වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙලා රුධිරයේ සීනි පරීක්ෂාවක් කර ගන්ඩ.

හැබැයි මේ කියන රෝග ලක්ෂණ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට ඇති වෙන්නේ කළාතුරකින්.ඒ නිසා මේ රෝග ලක්ෂණ නැති පළියට දියවැඩියාව නෑ කියලා නං හිතන්ඩ එපා.

දියවැඩියාව නිසා ඇතිවන අයහපත් අතුරුපල

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා,

  • විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා
  • කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා 
  • වෙනත් සංකූලතා

                                   කියලා වර්ග කරන්ඩ පුළුවන්.


විශාල රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා



විශාල රුධිර වාහිනීවල බිත්තියේ මේදය තැන්පත් වීමෙන් ඇතිවන ඇතරොස්ක්ලෙරෝසිස් (atherosclerosis) කියන තත්ත්වය වර්ධනය කරන්ඩ දියවැඩියාව දායක වෙනවා.ඒ මගින් රුධිර වාහිනී අවහිර වීම නිසා හෘදයාබාධ (හෘදයේ කිරීටක ධමනි අවහිර වීමෙන්), අංශභාගය( මොළයේ රුධිර වාහිනී අවහොර වීමෙන්), පාදවලට රුධිර සැපයුම අඩාල වීමෙන් පාදවල වේදනාව තුවාල ඇතිවීම ආදිය ඇති වෙන්න පුළුවන්.

කුඩා රුධිරවාහිනී ආශ්‍රිත සංකූලතා

කුඩා රුධිරවාහිනීවල බිත්තිය හරහා ද්‍රව්‍ය ගමන් කිරීමට බාධා සිදුවීම දියවැඩියාව නිසා සිද්ධ වෙනවා.ඒ නිසා ඇසේ දෘෂ්ඨි විතානයට රුධිර සැපයුම අඩාල වීම නිසා පෙනීම අඩු වීම හෝ නැති වීම සිද්ද වෙන්ඩ පුළුවන්(Diabetic retinopathy). වකුගඩුවල ඇතුලේ තියෙන සියුම් රුධිර නාලවලටත් මේ තත්ත්වයම බලපෑම නිසා වකුගඩු අකර්මන්‍ය වෙලා යන්ඩත් පුළුවන් (Diabetic nephropathy). ඒ වගේම ස්නායුවලට පෝෂණය සපයන එක අඩාල වීමෙන් ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යෑම නිසා කකුල් සහ අත් හිරිවැටීම වේදනාව ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්ඩ පුළුවන් (Diabetic neuropathy).

වෙනත් සංකූලතා

වෙනත් සංකූලතා කිව්වම ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා නිතර නිතර විශබීජ ආසාදන ඇතිවීම සිද්ධ වෙන්ඩ පුළුවන්.විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සුදුපාට මුදවපු කිරි වගේ ස්‍රාවයක් එක්ක තද කැසීමකුත් එක්ක ඇතිවෙන කැන්ඩිඩයසිස් කියන දිලීර ආසාදනය දියවැඩියාව තියෙන කාන්තාවන් අතරේ හරිම සුළබයි.

ප්‍රධානම ගැටළුවක් වෙන්නේ පාදවල හටගන්නා සුව නොවෙන තුවාල.දියවැඩියා රෝගීන්ගේ පාද හිරිවැටීම සිද්ධ වෙන්ඩ පුළුවන් කියලා කළිං කිව්වනේ.ඒ නිසා මේ අයගේ කකුල කොහේ හරි වැදිලා තුවාල උනත් ඒ අයට දැනෙන්නෙ නෑ.ඒ වගේම රුධිර සැපයුම අඩු වීම නිසා වගේම ස්නායු සැපයුම අඩු වීම නිසාත් තුවාල ඉබේ හට ගන්නත් පුළුවන්.අනිත් කාරනය තමයි මේ අයගේ කකුල් හිරි වැටීම නිසා ඇවිදිද්දි නිසි විදිහට කකුල බිම තියන්නේ නෑ.ඒ නිසා ඇඟේ බර කකුලේ සමව බෙදිලා යනවා වෙනුවට යම් යම් ස්ථානවලට විතරක් මුළු බරම වැටෙනවා.එහෙම උනාම ඒ බර වැටෙන තැන්වල තුවාල හැදෙන්ඩ පුළුවන්.ඒ විතරක් නෙමෙයි කකුලේ ස්නායු සැපයුම අඩාල උනාම කකුලේ දහදිය දැමීම වගේ දේවලුත් සිද්ද වෙන්නේ නෑ.එතකොට කකුලේ හම වේලිලා පුපුරලා යෑම හරහාත් තුවාල ඇති වෙන්ඩ පුළුවන්.

මෙහෙම ඇතිවෙන තුවාල ගැන රෝගියාට දැනෙන්නේ නැති නිසා මේවා නිකම්ම පැසවලා යනකන් කවුරුවත් දන්නේ නෑ.රෝගියාගේ රුධිරයේ ප්‍රතිශක්තිය අඩු වීම නිසා ඉක්මනට මේ තුවාලවලට විශබීජ ආසාදනය වෙන එකත් සිද්ද වෙනවා.හැබැයි රුධිර සැපයුම මේ හරියට නිසි විදිහට නැති හින්දා සුදු රුධිරාණුවලට ගිහිල්ලා මේ විශබීජ විනාශ කරලා දාන්ඩත් ලේසි වෙන්නේ නෑ.අවසන් ප්‍රතිඵලය වෙන්නේ කකුල කපලා දාන්ඩ සිද්ද වෙන එක.ලංකාවේ වැඩිපුරම කකුල් කපලා දාන්නේ දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතා නිසා තමයිලු.






මේක වළක්වගන්නේ / පාලනය කරන්නේ කොහොමද?


  • නිසි විදිහට ආහාර ගැනීම
  • නිසි පරිදි ව්‍යායාම කිරීම
  • නරක පුරුදු අත් ඇරීම
  • දැනටමත් රෝගය තිබේ නම් නිසි පරිදි ඖෂධ ලබාගැනීම


නිසි විදිහට ආහාර ගැනීම

මේක තමයි ලොකුම ප්‍රශ්නේ.ලෝකේ මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්වලින් ප්‍රධානම වෙන්නේ කොකේන්, හෙරොයින්, සිගරට් හෝ අරක්කු නෙමෙයි "කෑමවලට" කියලයි කියන්නේ.හැබැයි ඉතින් "ආරෝග්‍යා පරමා ලාභා" හින්දා කෑම ගන්නකොට පෙරේත කම පැත්තකින් තියලා සෞඛ්‍ය ගැනත් හිතන්ඩ පුරුදු වෙන එක හොඳයිනේ.බත් කනකොට නාඩු වගේ හාල් කනවනං හොඳයි කියලයි කියන්නේ.ඒක හොඳයි කියලා පිඟන් තුන හතරක් කන්ඩ හොඳ නෑ.එක වේලකට බත් පොල්කටු හැඳි එකක් හෝ එකහමාරක් විතර.පිඟාන පිරෙන්ඩ එළවළු සහ පලාවර්ග.අන්න එහෙම දාගත්තම බඩගින්නේ ඉඳලා ගැස්ට්‍රයිටිස් හදාගන්ඩ වෙන්නෙත් නෑ.අල වර්ග, තෙල් කෑම, බේකරි නිශ්පාදන අඩුවෙන්.කෙඳි සහිත ආහාර ( ඒ කිව්වේ පොල් ලෙලි, රඹුටන් ලෙලි, නූඩ්ල්ස්, ඉඳි ආප්ප වගේ දේවල් නෙමෙයි ) වැඩිපුර කනවනම් හොඳයි.පළතුරුවලත් ඔය කෙසෙල් වගේ ඒවයේ සීනි වැඩියි කියනවනේ.ඒ හින්දා ඔය වෙන මොනවා හරි පළතුරු ටිකක් කනවනං හොඳයි.ඔය ප්‍රධාන වේල් අතරමැදදි උදේ දහයට ටී එකක් එක්ක පාං එකහමාරක්, හවසට තේ එක්ක බිස්කට් පනහක් හැටක් කන එකත් අඩු කරන එක හෝ නැත්තටම නැති කරන එකයි හොඳ.



නිසි විදිහට ව්‍යායාම කරන එකත් වැදගත්

ව්‍යායාම කියන්නේ ජිම් එකකට ගිහිල්ලා සල්ලි දීලා අනුංගේ යකඩ උස්සන එකටම නෙමෙයි නේ.වැදගත් වෙන්නේ සතියට අඩුම තරමේ දවස් පහක්වත් දවසට පැය භාගයක්වත් හොඳට හති වැටෙන්ඩ, දාඩිය දාන්ඩ එක දිගට මොනවා හරි ව්‍යායාමයක් කරන එක.හොඳම ඒවා කියන්නේ දුවන එක, බයිසිකල් පදින එක, සහ පිහිනීම කියන තුනලු නේ.ඕකෙන් මම වඩාත් කැමති ඔය පිහිනීම කියන එකට තමා.දාඩිය දාන්නැති සෙල්ලමක් නෙව.හැබැයි ඔය තඩි ඇඟවල් උස්සගෙන දුවන්ඩ ගිහිල්ලා දණිස් අමාරු හදගන්න හින්දා දුවන්නැතුව හයියෙන් ඇවිදින්ඩ කියලා තමයි වෛද්‍ය උපදේසෙ දෙන්නෙ.ලොක්කා රට පුරා ජොගිං ට්‍රැක් හදලා තියෙන එකේ හවසට හවසට සන් ග්ලාසුත් දාගෙන අයිපොඩ් එකක් නැත්තං චයිනීස් ෆෝන් එකකට හරි කමක් නෑ හෙඩ් සෙට් එකත් ගහගෙන, කොට ෂෝටක් ඇඳලා පොඩ්ඩක් ඇවිදින්ඩ සෙට් උනානං හෙණ ගහනවද මං කියන්නේ?

ගොඩක් ගෘහණියෝ කියන කතාවක් තමයි අපි මේ ගෙදර කරන සුමේ හොඳ ඇක්සයිස් එකක් තමයි.තව මොනවටද අමුතුවෙන් ඕවා කරන්නේ කියලා.ගෙදර කරන එදිනෙදා කටයුතු ව්‍යායාම විදිහට ගන්නේ නෑ.ඇයි ඉතිං ඒ උන්දැලා විනාඩි දෙකක් මිදුල අතු ගාලා එහා ගෙදර ඇන්ටිත් එක්ක පැයක් කාට හරි බණිනවා, නැත්තං තමුංගෙ වරුණාව කියවනවා.ආයෙ ටිකක් අතුගානවා.ආයේ කතාව.ගේ ඇතුලේ මොනවා හරි ටිකක් කරනවා.ටීවී එක දාගෙන සුභාසිරි බලනවා.ආයේ පැයකින් විතර ඉතුරු ටික කරනවා.මේ විදිහට කැඩි කැඩී සිද්ද වෙන නිසා ඒක නිසි ව්‍යායාමයක් වෙන්නේ නෑ.

අනිත් චෝදනාව තමයි වෙලාවක් නෑ කියන එක.අපේ රටේ මිනිස්සු පුදුම විදිහට කාර්යබහුල වෙලා ඉන්නේ.හැබැයි බැලුවාම කරපු ඇති කෙංගෙඩියකුත් නෑ.ඔය ව්‍යායාමවලට කියලා වෙනම ලෑස්ති වෙන්ඩ ඕනේ නෑ.ළමයා මොන්ටිසෝරියෙන් එක්ක එන්ඩ ත්‍රීවීල් එකේ යන්නැතුව ටිකක් කළිං ගෙදරින් පිට වෙලා යනවා පයින්.බස් එකේ හවස වැඩ ඇරිලා එද්දි ගේ ගාවින් බහින්නැතුව හෝල්ට් එකක් දෙකක් කළිං බැහැලා ඉතුරු ටික එනවා පයින්.එහෙමයිනේ ව්‍යායාම එදිනෙදා වැඩවලට එකතු කර ගන්නේ.ත්‍රී වීල් එකේ නොයා පයින් යනවා කියන්නේ එකසිය පණහේ ඒවම කීයක් ඉතුරුයිද?



නරක පුරුදු අත් ඇරීම

නරක පුරුදු කියන්නේ දුම්බීම සහ අරක්කු, කසිප්පු, විස්කි, ජින්, බියර්, සකේ, වොඩ්කා, රා ඇතුළු සියළුම ඇල්කොහොල් පානයෙන් වැළකීම.මේවායින් හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන නිසා දියවැඩියා රෝගියෙකුගේ නම් මරණය ඉක්මන් කරන්ඩ දායක වෙනවා.සල්ලි වියදම් කරලා මැරෙන්ඩ එපා.ඒ සල්ලි බිරිඳටයි දරුවන්ටයි ඉතුරු කරලා පොඩි ගාණකට කඹයක් අරගෙන එල්ලිලා මැරෙන්ඩ.ලේසියි පහසුයි සහ ඉක්මන්.කාටවත් කරදරේකුත් නෑ.



නිසි විදිහට ඖෂධ ගැනීම

මේක ඉතින් කියන්ඩත් දෙයක් නෙමෙයි.ඒත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අජරාමර ගුලිය ගිලලා එක පාර ලෙඩ නිට්ටාවට හොඳ කර ගන්ඩනේ.හැබැයි බටහිර වෛද්‍ය විද්‍යාව එච්චර දියුණු නෑ.ඒක හින්දා දියවැඩියාව තියෙනවා නම් රුධිරයේ සීනි මට්ට්ම පාලනය කරගන්ඩ නිසි විදිහට දිගටම බෙහෙත් බොන්ඩ ඕනෑ.හැමදාම බෙහෙත් බොන්ඩ පුළුවනෑ.... කියන උන්දැලාට කියන්ඩ තියෙන්නේ මිනිස්සුන්ට හැමදාම අරක්කු සිගරැට් බොන්ඩ පුළුවං, රටේම තියෙන ඕනෑ කුණු ගොඩක් කන්ඩ පුළුවං, බෙහෙත් බොන්ඩ තමයි බැරි...අනේ බොලව්!!!
කොහොම උනත් කියන්ඩ තියෙන්නේ ඖෂධ මඟින් කරන්නේ රෝගය පාලනය කරන්ඩ උදව් වෙන එක විතරයි.රෝගය නියම විදිහට පාලනය කරන්නේ ආහාර පාලනය කිරීමෙන් සහ නිසි පරිදි ව්‍යායාම කිරීමෙන්.ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්නේ දොස්තරවත් බෙහෙත් පෙත්තවත් නෙමෙයි.ඔබම තමයි!!!

එතකොට කකුල්

දියවැඩියා රෝගීන්ගේ කකුල්වල තුවාල ඇති වීම ගැන කිව්වනේ.ඉතින් කකුල් ප්‍රවේසම් කර ගැනීමට නම් කරුණු කීපයක් අනුගමනය් කරන එක හොඳයි.


  • හැමදාම නින්දට පෙර කවුරුන් හෝ ලවා හෝ තනිවම කණ්ණාඩියක් ආධාරයෙන් කකුලේ උඩ, යටි පතුලේ සහ ඇඟිලි කරු අතර තුවාල තියෙනවද, දිලීර ආසාදන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.
  • නින්දට පෙර කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගෙන ඉන්න.ඒ සඳහා වෙනම තුවායක් පාවිච්චි  කරන්න.
  • නින්දට පෙර කකුල්වල සම රැකදෙන ක්‍රීම් (moisturizing cream) වර්ගයක් ආලේප කරන්න. (ඇඟිලි කරු අතරට නොයන ලෙස )
  • සෑම විටම (නිවස තුලදීත් ) පාදයට ගැලපෙන තද නොවූත්, සැහැල්ලු වූත්, ආසාත්මික නොවන පාවහන් පළඳින්න.
  • පාවහන් පැළඳීමට පෙර පාවහන් තුල වැලි කැට ආදිය නොමැති බව තහවුරු කර ගන්න.
  • නියපොතු නිතිපතා කෙටි කරගෙන තබාගන්න.තියුණු කෙළවරවල් තිබෙන පරිදි නිය කපන්න එපා.
  • කුඩා තුවාල ඇති උවහොත් නිවසේදී ප්‍රථමාධාර දී ආවරණය කර තබන්න.
  • විශාල තුවාලයක් නම්, කුඩා උවත් තුවාලය සුව වෙන්නේ නැතිනම් හෝ පැසවා ඇත්නම් වහාම වෛද්‍යවරයෙකුට පෙන්වන්න.


ඔබේ දෙපා දෑස මෙන් රැක ගන්න.



අදට ඔය මදෑ........



18 April 2014

කාලෙකට පස්සේ...



අන්තිමට බ්ලොග පැත්තට ඇවිල්ලා දැං මාසයකටත් වැඩී.වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ.හරියට බුසී ( busy ) වෙනවනේ.කොහොමිං කොහොම හරි මේ ටික දවසට රටේ ලෝකේ විතරක් නෙමෙයි බ්ලොග් ලෝකෙත් හරි හරි කෙළි නෙව සිද්ද වෙලා තියෙන්නේ.ප්ලේන් එක නැති උනාට පස්සේ නැවක් පෙරලිලා, මෝටර් සයිකල් දවල්ටත් ලයිට් දාං යනවා, ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනලා, ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලෝකෙංම හතර වෙනි තැනට ඇවිල්ලා ( බන්දුල ලොක්කා කියයිද දන්නෑ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය කියලා සංකල්පයක් නෑ කියලා), බොදු බල සේනා එක ත්‍රස්තවාදී සංවිධානයක් වෙලා, විපක්ෂේ මන්ත්‍රීලට කුණු බිත්තර ගහලා, බ්ලොග් ලෝකේ සැට් සැට් ගහ මරාගෙන හනේ අපුච්චියේ හති බොලව්..............

රටේ ලෝකේ මොන පෙරළි තිබ්බත් ආණ්ඩුව ගැන මගේ තිබ්බ මතේ වෙනස් උනා ඔන්න.මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ට බඩේ පාර ගහලා ලොකු ලොක්කො එක්ක එක්කාහු වෙලා ජවුසන් නටනවා කියලා නෙව මම හිතං උන්නේ.ඒ උනාට පහුගිය දවස් කීපෙ රටේ මිනිස්සු නටාපු නැටිලි දැක්කම මට හිතුනේ "කවුද බොලව් මේ මිනිස්සු සාදුකිං ඉන්නවා කියන්නේ" කියලා.අවුරුද්දට සතියක විතර ඉඳං රෙදි කඩයක්, සුකුරුත්තං බඩු අරුමෝසම් බඩු තියෙන කඩයක් තියෙන පාරක යන්ඩ ඉඩැක් තිබ්බේ නෑ නෙව. සූ.................. ගාලා සෙනඟ වකාරෙට.හරියට වැල ගෙඩියට වහපු කෝඳුරුවො වගේ.විපක්සේ මොන පච කතා කෙළියත් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ කොහොමද? රටේ සව්බාග්ගෙ සශ්‍රීකත්වෙ දැකලා කිරි වෙහෙරෙන් කිරිත් ආවනේ.මේ අපේ රජතුමාගේ ආනුභාවයට නිසා මිසක් මොකෝ මීට කළිං මොන රජා යටතේ වත් ඔහොම හාස්කං සිද්ද වෙලා තියෙනවා කියලයැ....හැබැයි කවුරු හරි ඕකෙං පොඩි සාම්පැල් එකක් අරං ටෙස්ට් කරලා බලන්ඩ එහෙම යනවා නෙමෙයි ඕං හරිය!!! මේ පෙරදිග රටවල්.මේවයේ දේවල් හොයා බලන්ඩ ඕනේ පෙරදිග විද්‍යාවට අනුව.ඒ කෙසේද යත්,

"අඩේ අර චෛත්තෙං සුදු පාටට මොනවද වැක්කෙරෙනවා බොලව්!!!"

"ඇත්තමයි ඒ මොනවද දන්නෑ නේ?"

"සුදුපාට දියර ලෙස වැක්කෙරෙන සොභාවික දේවල් තියෙන්නේ එක්කෝ එළකිරි නැත්තං රබර් කිරි.නමුත් චෛත්‍යයකින් රබර් කිරි වෑස්සීමේ සම්භාවිතාවක් නැත.ඒ නිසා ඒ එන්නේ සව්භාග්‍යයේ සංකේතය වන 'කිරි' ය. හා හා ඔන්න පෙරදිග ක්‍රමේට සනාථ කළා.වැඳ ගනියව් යකුනේ!!!"

එහෙම කිව් සැනින් වැඳ ගැනීම ඔබේ සරීර සවුක්යයට සුභදායකය.එසේ නොමැති උවහොත් හාමුදුරුවන් වහන්සේ සිවුර කැහැපට ගසාගෙන ශ්‍රද්ධාව සහ භක්තිය මිට මොළවාගෙන ධර්මය ඔබේ දත් වහල්ලත් සමඟ ඔබේ උදරගත කිරීමේ ඉඩක් ඇත.එසේ නැත්නම් "ගන්නවා මගේ අයි පෑඩ් එක" කියලා ඔබට නව තාක්ෂණය ඔස්සේ මුසු කොට ධර්මය බ්ලූටූත් කරනු ඇත.ඔය ආයෙත් කැලේ පැන ඇත.මට කියන්ඩ ඕනේ කළේ ආණ්ඩුව හොඳයි කියන එකය.කියවෙන්නේ වෙන මළ ඉළව්ය.


රටම ලොකු ලොක්කංගේ ආදර්ශ අරං එක සීරුවට රති කෙළියේය.හැමෝටම නාට්ටිවල ප්‍රධාන නිළිය එක්ක නිදි වදින්ඩ හෝ රුසියානු ගණිකාවන් ලැබෙන්නේ නැති නිසා උං අතට අහු වෙන නාඩි වැටෙන ඕනෑ එකක් එක්ක යහන් ගත වෙති.රටේ මේ නව ප්‍රවණතාව සිය ආර්ථික වාසියට හරවා ගැනීමට අපේ දිරිය කතුන් දක්සය.ගෙදරට වී නිකං බත් ගිල ගිල ඉන්නා, ටියුෂන් පන්තිවලට, තොල් සායම් නිය සායම් ආදියට මුදල් නාස්ති කරමින්  ඉන්නා සිය දියණිවරුන් ශ්‍රම බලකායට එක් කිරීමට මව්වරු කටයුතු කරති.කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වී 'චංගුමී' බලමින් නාස්ති කරන පැයක දෙකක කාලය කවුරු හෝ ඉදිරියේ කකුල් ඈත් කිරීමෙන් මුදල් බවට පත් කර ගැනීමේ අවකාශය අපේ රටේ ගැහැනු ළමුන්ට ලැබී ඇත.ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රැකියා වියුක්තිය ඉහල යන විට ආශ්චර්යයේ දීපයේ රැකියා වියුක්තිය අවම කිරීමට මෙකී ප්‍රවණතාව මහත් ලෙස දායක වී ඇත.

පොඩි කොස්සකට තියෙන්නේ චන්ද්‍රිකාවේ කේස් එකය.පොඩි කුමාරයා කිව්ව විදිහට ඒක යැව්වේ ඔහුය.ඒ උනාට තිස්ස ලොක්කා කියන්නේ එහෙව් එකක් යැව්වේ නෑ කියලාය.ඒ උනාට ඒ චන්ද්‍රිකාවේ ප්‍රථිලාභ බුක්ති විඳින ජනතාවක් විදිහට තිස්ස ලොක්කා ඉරිසියාවට කියන දේවල් අපි ගණන් ගන්නේ නැත.චන්ද්‍රිකාව නිසා අපේ ජීවිත සුඛිත මුදිත උනු හැටි, අස්වනු සරු වී අටුකොටු පිරී රට බතින් බුලතින් සාර වූ හැටි දන්නේ අපිය.ඔය කියන තිස්ස ලොක්කා මෙතුවක් කාලයකට අඩුම ගානේ අහස් ගුණ්ඩුවක්වත් යවා නැති බැව් අපිට බුදු ශුවර් ය.එකී හීනමානයෙන් අපේ රටේ චන්ද්‍රිකාව කියා එකක් නොමැති බැව් කියන මේ තට්ට නාකියාට කියන්නට ඇත්තේ දුර දක්නයක් ගෙන රෑට අහස නිරීක්ෂණය කරන ලෙසය.එවිට ඕනෑම ගොන් තඩියෙකුට අපේ අභිමානවත් චන්ද්‍රිකාවත් එහි සිටින වීරෝධාර සිංහයා රැගත් අපේ ජාතික කොඩියත් එයට යටින් නිල් පැහැයෙන් ලියා ඇති "සුභ අනාගතයක්" යන්නත් දැකීමට හැකිවනු ඇත.






08 March 2014

ලෝක කාන්තා දිනය සමරමු..



කාන්තා දිනයට ඊයේ යමක් ලියන්ඩ හිතාගෙන හිටියත් කම්මැලි හිතිච්ච නිසා එය ලෝක කාන්තා දිනයේදීම ලියා පල කිරීමට සිදු විය.ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගේ නිදහස, ආරක්ශාව, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ප්‍රජාචංචවාදය, උන්නතිකාමය, උංට වාසි වෙලාවට සමතැනත්, උන්ට කෙළ වෙන විට නිසි තැනත් ඉල්ලා කාන්තාවෝ හඬ නඟති.මේ සියළු අයිතිවාසිකම් ඔවුන් ඉල්ලා සිටින්නේ කපුටන්, අශ්වයන්, ඌරන් සහ එළුවන්ගෙන් නොව ගෑනුංගේ ගර්හාවට, අවඥාවට, නින්දාවට ලක්වන උංගෙන් සෑම විටම බැණුම් අසන සමහර විට ගුටිද කන පිරිමියා කියන අසරණ සත්වයාගෙනි.



අතීත රෝමකයින් ඔවුන්ගේ ජීවිත කුසීතව ඔද්දල්ව නොයනු පිනිස ඔවුන්ගේ නගර මධ්‍යයේ විශාල 'ඇරීනා' නිර්මාණය කොට සිරකරුවන් වහලුන් ඒවායේ කාකොටා ගන්නට දමා එකී ගහ මරා ගැනීම් බලා සන්තෝස වන්නට පුරුදුව සිටියෝය.දෙවියන් වහන්සේත් ආරම්භයේ පටන් කරන්නට වැඩක් නොමැතිව කම්මැලි කමේ ඉඳ අවසානයේ ලෝකය නම් මහා ඇරීනාව නිර්මාණය කොට එහි පිරිමියාත් ගැහැනියත් මවා උං කාකොටා ගන්නවා බලා කොහේ හෝ ඉඳ ආතල් ගන්නවා වෙන්නට පුලුවන.නැත්තං උන්දෑට පිරිමියා පමණක් මවා නිකා ඉන්නට තිබුණේය.ද්වීඛණ්ඩනයෙන්, අංකුර මඟින්, ධාවක මඟින්, කඩ කඩ වීමෙන් හෝ බල්බිල මඟින් සිය ප්‍රජාව බෝ කිරීමේ ක්‍රමයක් හදා දෙන්නට තිබුණි.නමුත් එවන් වූ සාර්ථක සාමකාමී ක්‍රමවේදයෙන් බැහැරව දෙවියන් වහන්සේ මෙතරම් සංකීර්ණ වූ ක්‍රමයක් නිර්මාණය කර ඇත්තේ හුදෙක් විනෝදය පිණිසම නොවේද?ගෙදරක ගෑනිත් මිනිහාත් මරාගන්නා විට වටේ ගෙවල්වල උන්ට එය කොච්චර ආතල් එකක් සපයන්නේද?



විවේකී ඉරිදා දව්ස්සේ ක්‍රිකට් තරගය බැලීමට හෝ චිත්‍රපටියක් බැලීමට හෝ පත්තරය පොඩ්ඩක් බලමින් නිදහසේ ගෙදරට වී ඉන්නට හදන විට ඔබේ බිරිඳ තේ එකක්ද හදාගෙන ඔබ වෙත එයි.

'ඉක්මනට මේක බීලා ලෑස්ති වෙන්ඩ.දවල් උනොත් මේ ගිනි රස්නේ පිස්සු හැදෙයි'

'කොහේ යන්ඩද?'

'ඔව් ඉතිං ඔයාට කවද්ද මගෙ දෙයක් මතක තිබ්බේ'

විසාල කුණාටුවක පෙර නිමිති හමුවේ ඔබ මේ කියන්නේ මොකක් ගැනදැයි පසුව සොයා ගැනීමේ අභිප්‍රායෙන් බොරුවක් කියන්නේය.

'ඇයි මට මතක නැත්තේ, මට මේ නිවුස් එක බල බල හිටපු හින්දා මතක් උනේ නැත්තේ.'

'අනේ යන්ඩ නිකං බොරුව නොදා.මං ඔයාට ගිය මාසේ කිව්වේ මට සාරියක් ගන්ඩ ඕනේ කියලා.මම ඊයේ රෑ කිව්වම හා කියපු ඔයාට දැං ඒක මතක නෑ.'

සතියකට පසු නිවාඩු දිනයක් ලැබ ළමයින්ද නින්දට ගොස් සිටි නිශා යාමයේ ඇය කියූ හැම දෙයටම සැළකිල්ලක් නොදක්වා 'හා' කියූ බව ඔබට සිහියට එන්නේ ඒ වෙලාවේය.

'හරි ඉතිං සාරි තෝරන්ඩ මට තේරෙණවද? ඔයා එහා ගෙදර චම්පත් එක්ක ගිහිං එන්ඩකෝ.'

'ඔව් මට ඉතිං එක එකා එක්ක තමයි යන්ඩ වෙලා තියෙන්නේ.මිනිහෙක් බැඳ ගත්තට වැඩක් තියෙනවයෑ.අන්න ඒකට කාන්තිගෙ හස්බන්ඩ්.කාන්තිගේ හැම වැඩකටම යන්නේ එන්නේ එයා.'

කාන්තිගේ සැමියා පිළිබඳ ඔබ තුල මහා ද්වේශයක් ගොඩ නැගෙන්නට පටන් ගනී.ගෑනුන්ට වැරදි පූර්වාදර්ශ දී අසරණ සැමියන් අපහසුතාවට පත් කරන උගේ වෘෂණ දෙක තලා බෙල්ල විකා මරා දැමීමට ඔබට සිතෙයි.සතියකට පෙර කාන්තිගේ සැමියා ගෑනු පෙරේතයෙක් බවත් ගෑනු දිහා කන්ඩ වගේ බලන බවත් බලෙන් කතාවට එන බවත් කියා ඔබත් එක්කම කියමින් බැන්නේ ඇය බව ඔබේ බිරිඳටත් මේ වෙලාවේ මතක නැත.

මේ මළ වදෙන් බේරෙන්නට වෙන කරන්නට දෙයක් නැති තැන ඔබ තේ එක උගුරු දෙකට බී ඉක්මනින් ඇඳ ගන්නට යයි.



සාරි තේරිල්ල ලේසි නැත.පාට හරියන විට රෙද්ද හරි නැත.රෙද්ද හරියන විට බෝඩරය හරි නැත.ඒ ඔක්කොම හරියන විට ඇය එම සාරිය අඳින විට එයට ගැලපෙන්නට ඔබට ඇඳුමක් නැත.ඔක්කෝම හරියන විට ගාන වැඩිය.ඒ කඩෙන් මේ කඩේට ගොස් ඔබට එපා වෙන්නේය.

'මේ සාරිය කොහොමද?' ඔබේ බිරිඳ ඔබේ ඇස් ඉදිරියේ එක්දහස් දෙසිය හත්වන සාරියද දිග ඇර පෙන්වයි.

'අනේ මංදා.' ඔබ අවංක අදහස කියන්නේය.

'ඔයාට මේක ලස්සනද කැතද කියලා කියන්ඩ බැරිද?එහෙම එකක්වත් කරන්ඩ බැරිනං මොකටද ඔයා ආවේ? අපරාදේ මට එන්ඩ තිබ්බේ චම්පත් එක්ක.'

කඩේ සෙනඟ ඉන්න නිසා ඔබ මුවින් නොබැන පසෙකට වී ඉඳී.

'මේක කොහොමද?' එක්දහස් දෙසිය අටවන සාරියද ඔබේ ඇස් ඉදිරියේ දිග ඇරේ.

'කැතයි' ඔබ වඩා සාධාරණ පිළිතුරක් දෙන්නේය.

'ඔයාට ඉතිං මම දෙයක් තේරුවොත් කැතයි නේ.පිරිමිනං අනේ මන්දා ඒ අයට ඉතිං ලස්සන වාහනයි, අනුංගේ ගෑනුයිනේ.'

ඔබ නැවතත් කරබා ගනී.සාරි කඩේ වෙළඳ මහතා ඔබ කෙරේ දයානුකම්පාවෙන් බලා හිඳී.වටපිට බලන ඔබ සුන්දර සාරියක් දකී.එය හැඳ සිටින ඔබේ බිරිඳ ඔබට මැවී පෙනේ.

'මේ සාරිය ලස්සනයි නේද?' ඔබ හිතට එඩිය ගෙන බිරිඳට යෝජනා කරයි.

'අපෝ මහ ගොඩේ ෆැෂන් තමා ඔයාටත් ලස්සන.මේක මහ පරණ පැට්න් එකක්නේ.'

'තමුසේ ගන්න ලබ්බක් අරගෙන බස් එකේ ගෙදර එනවා..' ක්‍රෙඩිට් කාඩ් එක ඇයට දෙන ඔබ කඩේකින් කෑම එකක්ද රැගෙන ගෙදර එන්නේ ඇය උයන්නේ නැති බව සක් සුදක් සේ දන්නා නිසාය.

ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගෙන් තොර ලෝකයක් ගැන මදක් සිතා බලමු.

ඔබ කොළඹ ඇවිද ඇත්නම් එහි කොපමණ වෙළඳ සැල් කන්දරාවක් ඇත්දැයි දන්නවා ඇත.ගැහැනුන් නැති ලෝකයක මේ විච්චූරණ, තොරොම්බල් සිළිං බිලිං කඩ සියල්ල වැසී යනු ඇත.මුළු කොළඹම ඇඳුම් කඩ එකක් දෙකක්, බාර් තුන හතරක්,ඉලෙක්ට්‍රොනික් උපාංග කඩ කිහිපයක් සහ ෆිල්ම් හෝල් දෙක තුනක් ඇරෙන්නට අනිත් සියල්ල වැසී යනු ඇත.බොන උන් බහුතරය බොන්නේ ගෙදර ප්‍රශ්න ඇතිනිසා යැයි කියන නිසා බොන උන්ට බොන්ඩ හේතුවක්ද නැති වී යනු ඇත.ඒ හේතු කොටගෙන බාර් කීපයද කෙටි කලකින්ම වැසී යනු ඇත.

රෙදි කඩවලද අනං මනං මෝස්තර විකුණන එක නැවතී යනු ඇත.පිරිමින් විලාසිතා කිරීමට පොළඹවන්නේ ගැහැනුන් නිසා සරං, කොට කලිසම්, සහ ටී ෂර්ට් ඇර අනිත් ඇඳුම් අභාවයට යනු ඇත.පිරිමින්ව මුදල් සෙවීමට පොළඹවන්නට කෙනෙක් නොමැති වීම නිසා සමාජය අවශ්‍ය දෑ පමණක් ලබා ගැනීමට පමණක් වෙහෙස වෙන සාමකාමී, තෘෂ්ණාවෙන් තොර, විනෝදශීලී, සංග්‍රහශීලී තැනක් වනු ඇත.'අරූ ආශ්‍රය කරන්ඩ එපා, මූ ආශ්‍රය කරන්ඩ එපා' යැයි නීති දැමීමට කෙනෙක් නොමැති නිසා ලෝකය මිත්‍රශීලී, සුහදශීලී තැනක් වනු ඇත.'ඔයා මට කොච්චර ආදරේද?' වගේ ගොන් ප්‍රශ්න අහන්නට කවුරුත් නොමැති නිසා සමාජය සාරගර්භ මාතෘකා කතිකා කරන දාර්ශනික තැනක් වනු ඇත.

ඒ ඔක්කෝටමත් වඩා ගැහැනිය නොමැති වූවානම් පිරිමියා ගොනාට අන්දවන්ඩ සර්පයාට හැකිවන්නේ නැත.එහෙම උනානම් අපි තාමත් පාරාදීසයේය.අනික ඉළ ඇටයක්ද වැඩිපුර තියෙනවාය.




ඒ සුන්දර සිහින ලෝකයෙන් මිදී අපි නැවතත් යතාර්ථවාදී ලෝකයේ ලෝක කාන්තා දිනය සමරන්නට එක් වෙමු.කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරමු!!!