20 May 2014
14 May 2014
නැකතට කිරීම.....
මොනවා උනත් අළුතෙන් වැඩක් පටං ගන්න කොට සුභ වෙලාවක් බලලා ඒක පටං ගන්න එක අපේ රටේ මිනිස්සුංගේ සිරිතක් ය.එහෙම සුභ වෙලාවට දෙයක් පටං ගත්තාම පටං ගත්තු වැඩේ ආයේ කිරිගහට ඇන්නා වගේ හරි යනවාලුය.ඔය මගුලක්, ගෙවල් හැදිල්ලක් වගේ සුළු සුළු කෙළි විතරක් නොව රටේ වැදගත් තීන්දු තීරණ ගැනිල්ලක් වෙන මැතිවරණ පවා තියන්නේ ඒ වෙලාවේ බලේ ඉන්න එකාට සුභ වෙලාවක් බලලාය.ඒ කොච්චර සුභ වෙලාවල්වල තිබ්බත් රටේ ඡන්ද දිනිල්ල තීරණේ වෙන්නේ රටේ ඉන්න එකාලගේ ගොබ්බ කම් මතය.
පොඩි එකෙක් ඉපදිච්ච වෙලාව බලලා උගේ කේන්දරේ හදනවාය.ඒ කියන්නේ ඒකා උපදින වෙලාවේ බලවත් වෙලා ඉන්න ග්රහයෝ ගැන බලලාය.දැං බැරි වෙලාවත් මිනිස්සු අඟහරු ලෝකේ පදිංචි උනොත් එහේ උපදින උන්ට අඟහරු උච්ච වෙනවාද කියා මට ප්රශ්නයක් තිබේ.වෙලාවට සෙනසුරු වායු ග්රහයෙක්ය. ඒක නිසා ඒකේ ජනාවාස පිහිටුවන්ඩ බැරිය.නැත්තං ඒකේ ඉන්න උන්ට හැමදාම සෙනසුරු මහ දශාවම ය.හැබැයි ඒත් සෙනසුරුගේ බැරි උනාට ඒක වටේ තියෙන ඔය යුරෝපා වගේ චන්ද්රයෙකුගේ ජනාවාස පිහිටෙව්වොත් උන්ටත් සෙනසුරු ඒරාශ්ඨකෙන් ගැලවීමක් නැත.ඒ නිසා අභ්යාවකාශ තාක්ෂණය තියෙන ඇමරිකාව, රුසියාව සහ චීනය වගේ රටවල් මේවා ගැන දැනුවත් කරන එක හොඳය.
ළමයෙක් උපදින වෙලාව බලලා උගේ අනාගතේ තීරණය කරන එකේ තියෙන අවුල අමතක කෙරුවත් පොඩි එකාගේ උපන් වෙලාව කියලා ගත යුත්තේ කොයි වෙලාවදැයි කියා මට කිසිම පැහැදිලි අදහසක් නැත.ඒක ඒ පොඩි එකා අම්මාගේ බඩට ආපු වෙලාව නොවිය යුතුද? එහෙම නැත්තං පොඩි එකා ඉස්සෙල්ලාම දඟලනවා අම්මාට දැනුනු වෙලාව ද? පළමු විළිරුදාව දැනුනු වෙලාව ද? හිස එළියට පෙනුනු වෙලාවද නැත්නම් හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාවද? හිස සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව කියන්නේ තට්ටම පළුව එළියට එන (breech presentation) පොඩි එකෙක්ගේ නම් සම්පූර්ණයෙන්ම හිස එළියට ඒමට සෑහෙන වෙලාවක් ගතවන බවද සැළකිය යුතුය. පොඩි එකා සම්පූර්ණයෙන් එළියට ආ වෙලාව මෙන්ම පෙකණිවැල කපා සම්පූර්ණයෙන් ස්වාධීන වූ වෙලාවද සළකා බැලිය යුතුය.වැදෑමහද බිහිවී මවගේ සිරුරෙන් දරුවාට සම්බන්ධ සියළුම පටක ඉවත් වූ වෙලාවද අමතක කරන්ඩ බැරිය.
ඒ කොයි වෙලාව හරි සැළකීමට ලොකයේ සියළුම විද්වත් ජ්යොතිෂවේදීන් එක්ව ඒකමතිකව තීරණයකට ආවත් ප්රසූත කාමරයේ තියෙන ඔරළෝසුව ගැන මට සතපහක විශ්වාසයක් නැත.මොකද මේවා රාජ්ය ආයතන වේ.ඔරළෝසුවේ බැටරි බැස්සොත් අළුතෙන් බැටරියක් දමා ගන්නට ලියුම් ලියා දහ පහළොස් දෙනෙකුගේ අනුමැතිය ගතයුතුයැයි සිතමි.ඒ කියන්නේ බැටරි බැස්සොත් බැස්සාම තමා කියන එකය.ඔරළෝසුව වැඩ කළත් ඒවායේ වෙලාව හරිදැයි විශ්වාස කරන්ඩ බැරිය.ග්රිනිච් වෙලාව ලෝක සම්මත වෙලාව උනාට අපේ රටේ ජ්යෝතිෂවේදීන්ගෙන් ඒ වෙලාව හරිම වෙලාවදැයි අසා බැලුවායැයි මමනම් හිතන්නේ නැත.ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණියත් ළමයා ඉපදෙන වෙලාව බලන්නේ වින්නඹු මාතාව හෙවත් මිඩ්වයිෆ් නෝනා හෝ හෙදිය ය.ඒ වෙලාවේ තියෙන කළබැගෑනිය අස්සේ හිතට එන වෙලාවක් දාලා දෙනවාය.එහෙම වැරදි වෙලාවක් බාවිතා කරලා උනත් අපේ ජ්යෝතිෂ කස්ටිය ගාණට වැඩේ කරගෙන යනවාය.දක්සතාවය කියන්නේ ඒකටය.
ඊට පස්සේ කොණ්ඩේ කපන්ඩ, ඉඳුල් කටගාන්ඩ, අකුරු කියවන්ඩ, ඉස්කෝලෙ යන්ඩ, කොටහළු උනාම නාන්ඩ, කොල්ලන්ට රැවුල කපන්ඩ වගේ ඒවාට සුභ මුහුර්තය බලනවාය.මේවා ලොකයේ අනිත් රටවල කෙරෙන දේවල් නෙමෙයිය.හැබැයි හැම දේම නියම විදිහට සුභවෙලාවට කොරන අපේ රටේ උන්ට වඩා, මේ කිසිම දෙයක් සතපහකට ගණන් නොගෙන ඉන්න වෙන රටවල් අපිට වඩා දියුණුය.භෞතිකව විතරක් නෙමෙයිය, අධ්යාත්මිකවත් උන් දියුණුය.
කසාද බැඳිල්ලට නැකැත් බැලිල්ල හරි ආතල් වැඩක් ය.අපේ රටේ උන් බඳින්ඩ ඕනේ උන්ට බඳින්ඩ හිතුනු දාට , පහසු දාට, නෑයින්ට යාළුවන්ට නිවාඩු එන්ඩ පහසු දවසක නෙමේය.ග්රහයා කියන දවසටය.එදාට එන්ඩ බැරි උන්ට කුද ගහගන්ඩ කියා බඳින උන් දෙන්නා බැඳිය යුතුමය.ජ්යෝතිෂ්ය මහත්මයා කියන විදිහට ඒ අය කියන විදිහට බැන්දේ නැත්තං මඟුල කැඩෙන එක කැඩෙනවාලුය.එක්කෝ ලොකූ අනතුරක් වෙනවාලුය.එහෙමත් නැත්තං බැන්දට ළමයි හම්බ වෙන්නේ නැතිලුය.එහෙම කියා ඔහු මඟුල කළයුතු පියවරෙන් පියවරට නැකැත් හදා දෙනවාය.මනමාලිට ගෙයින් පිට වෙන්ඩ නැකතක් තියෙනවාය.මනමාලයාට ගෙදරින් පිට වෙන්ඩ නැකතක් ද තියෙනවාය.මනමාලි ගෙදරින් පිටවෙන නැකත කියාල කෙහෙල්මලක් ආවේ මඟුල හෝටල්වල ගන්ඩ ගත්තාට පස්සේය.නැත්තං මඟුල ගත්තේ මනමාලිගේ ගෙදර නිසා ඔය කියන නැකත මනමාලිට උදේ නැගිටලා දත කට මැදගන්ඩ හදන නැකත වෙන්ඩ ඕනෑය.
තැල්ල තියන්ඩ, පෝරුවට නගින්ඩ, ඒකෙන් බහින්ඩ, අස්සන් කරන්ඩ ආදී හැම දේටම නැකැත් තියෙනවාය.මිනිස්සු බඳින්නේ මොන හේතුවකට දැයි ඇහුවොත් විවිධ හේතු කට්ටිය කියන්ඩ පුළුවංය.ඒ උනත් ඇත්තම හේතුව වෙන්නේ දෙන්නෙක් බඳින්නේ සංසර්ගයේ යෙදෙන්ඩ ඕනෑ හින්දාය.ඒ නිසා මම නං කියන්නේ මඟුලේ වැදගත්ම දේ වන සංසර්ග කාරියටත් නැකැත් හදන්ඩ ඕනෑ කියලාය.ඇත්තටම බඳින දෙන්නා ඊට කළිඅං ලෝකෙට හොරෙං (ලෝකාපවාදයට බය නිසා) ගස් ගල් අස්සේ හැංගිලා මෛථූනයේ යෙදිලා නැති කන්යා යුවලක් නම්, මඟුල නම් වූ ක්රියාපටිපාටියේ දෙන්නාගේ කුළුඳුල් අත්දැකීම් වන්නේ මේ සංසර්ග ක්රියාවලිය නොවේද? ඒ නිසා මම යෝජනා කරන්නේ මනමාලියගේ ඇඳුම් ගැලවීමට නැකතක්, මනමාලයාගේ ඇඳුම් ගැලවීමට නැකතක්, පළමු සිප ගැනීමට නැකතක්, මීට කළිං මැස්සෙක්වත් වහලා නැති හරිය ස්පර්ශය සඳහා නැකතක්, ආදී වශයෙන් හැම එකටම නැකැත් හැදිය යුතුය.නමුත් සුරාන්තය වගේ දේවල් නැකතට කරන්ඩ බැරි නිසා එවැනි දේවල් ස්වභාවධර්මයට බාරදීම හොඳය.
අපිට අනන්ය වූ අපේ ශාස්ත්ර දියුණු කිරීමේ අරමුණෙන් පුද්ගලික අත්දැකීම් මත කරන්නා වූ යෝජනාවක් පමණි.කිසිවෙකුටවත් පුද්ගලිකව චෝදනා කර නොමැති බව කාරුණිකව සලකන්න.
27 April 2014
මකබෑවියං මදුරුවා....
කූං ගාගෙන
කණ වටේ කැරකුණාට
මරන්ඩනං නෑ වෙලාවක්
ඇසිල්ලක අවසරයෙන්
අත අහකට අරගෙන
එළවනවා විතරයි
ඒත්
දුරස් උනත්
එක නිමේෂයකට
ආයෙත් එන්නේ
'රූං' ගාගෙන
නෝන්ඩියටත් එක්ක
කකුල් දෙකම
වහගෙන සරමෙන්
ඉන්න මුත්
අත් දෙකට නෑ රැකවරණ
දැවිල්ලක් එන්නෙ
කාලා වගෙයි
වැළමිට හරිය
ඇයි බං
දීපල්ලකෝ එක විනාඩියක
සැනසිල්ලක්
හයිස්කෝර් ගහනකං
සබ්වේ සර්ෆර්ස්වල
25 April 2014
දියවැඩියාව නොහොත් මධුමේහය
සීනි අමාරුව කියලා කවුරුත් කියන දියවැඩියාව හෙවත් මධුමේහය හෙවත් ඩයබිටීස් මෙලයිටස් (Diabetes mellitus) කියන ලෙඩේ ගැන පාඩම් කරන කොට කට්ටියට දැනගන්ඩත් එක්ක ලියලා දාන්ඩ හිතුනා.දියවැඩියාව සෑහෙන්ඩ භයානක ලෙඩක් උනත් ඒක සෑහෙන්ඩ සුළබ ලෙඩක් වීම නිසාම කවුරුත් එච්චර ගණන් ගන්නේ නෑ.ලංකාවේ ජනගහනයෙන් 10% විතර දියවැඩියාව හෝ දියවැඩියා අවධානමෙන් පෙළෙනවා.ඒකෙනුත් නාගරික හෝ ඒ ආශ්රිත අයට දියවැඩියාව වැඩිපුර තියෙනවා.ඉස්සර දියවැඩියාව සැළකුනේ වයසක අයට හැදෙන ලෙඩක් හැටියට උනත් දැන් ඒක ඉස්කෝලේ ළමයි අතරත් පැතිරීගෙන යනවා.
දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අහිතකර විදිහට ඉහළ යෑම කියලා කවුරුත් දන්නවනේ.මිනිස් සිරුරේ අභ්යන්තරයේ පරිසරය නියතව තියාගන්ඩ තමයි අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ.මේ අභ්යන්තර පරිසරය නියතව තබා ගැනීම නිරෝගීව ඉන්න සෑහෙන්න වැදගත්.ඉතිං මේ රුධිරයේ සීනි මට්ටම ඒ කියන්නේ ග්ලූකෝස් මට්ටම නියත අගයක ඒ කියන්නේ 70-100 mg/dL වගේ අගයක පවත්වා ගැනීමත් වැදගත්.වාහනයක් වැඩ කරන්ඩ පෙට්රල් ඕනේ වගේ, පරිගණකයක් වැඩ කරන්ඩ කරන්ට් එක ඕනේ වගේ, අපේ ඇඟේ සෛලවලටත් ඒවායේ කාර්යයන් කරගෙන යන්ඩ ශක්තිය ඕනෑ කරනවනේ.මෙන්න මේ ශක්තිය ලබාගන්නේ සෛල ඇතුලේදී ග්ලූකෝස් දහනය කරලයි.ඉතින් සෛලවලට අවශ්ය ග්ලූකෝස් සෛල කරා ගෙනියන්නේ රුධිරය හරහානේ.ඒ නිසා රුධිරයේ හැම තිස්සේම ග්ලූකෝස් තිබිය යුතුයි.හැබැයි මේ ග්ලූකෝස් ඕනේවට වඩා වැඩි උනොත් ප්රශ්න ඇති වෙනවා."ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ" කියනවනේ.
රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි නොවී තියාගන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය කියලත් කට්ටිය අහලා ඇති කියලා හිතනවා.රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනකොට අග්න්යයාශ්යේන් මේ ඉන්සියුලින් ස්රාවය වෙන්ඩ පටන් ගන්නවා.ඉන්සියුලින්වල කාර්යය තමයි අක්මාවේ සහ මාංශ පේශිවල දී මේ ග්ලූකෝස් ග්ලයිකොජන් බවට පත් කරලා ගබඩා කරන එක සහ සෛල මගින් ග්ලූකෝස් භාවිතා කරලා ශක්තිය නිපදවන එක උත්තේජනය කරන එක.ඊට අමතරව මේද පටකවලින් මේදය රුධිරයට එකතු වෙන එකත් පාලනය කරන්ඩත් ඉන්සියුලින් දායක වෙනවා.
හරි දැං අපි දියවැඩියාව ගැන කතාකරන්ඩ ගත්තොත් දියවැඩියාව වර්ග දෙකක් තියෙනවා.
පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 Diabetes Mellitus)
මේක හැදෙන්නේ අග්න්යයාශයේ ඇති ඉන්සියුලින් නිශ්පාදනය කරන සෛල විනාශ වීම නිසා ශරීරයේ ඉන්සියුලින් නිපදවීම අඩු වීම හෝ නැත්තටම නැති වී යාම නිසයි.මේක සිද්ධ වෙන්ඩ හරි නිශ්චිත හේතුවක් තවම හොයාගෙන නෑ.සමහරු කියනවා වෛරස් ආසාධන මේකට බලපානවා ඇති කියලා.සමහරු කියනවා ඇඟේ ප්රතිශක්තිකරණ පද්ධතිය මේ සෛල විනාශ කරලා දානවා කියලා.කොහොම උනත් මේක සාමාන්යයෙන් වැළඳෙන්නේ තරුණ සහ යොවුන් වයසේ අයටයි.මේ අයට ජීවිත කාලයටම ඉන්සියුලින් ලබා දෙනවා ඇරෙන්ඩ වෙන ප්රථිකර්මයක් නෑ.නමුත් නිසි විදිහට ඉන්සියුලින් අරගන්නවා නම් සාමාන්ය විදිහට ජීවිතේ ගෙනියන්ඩ බලපෑමකුත් නෑ.
දෙවන වර්ගයේ දිය්වැඩියාව (Type 2 Diabetes Mellitus)
මේක හැදෙන්නේ අපේ ශරීරයට අනවශ්ය විදිහට සීනි ආහාර ලැබීමෙන් සහ ඒවා ශක්තිය විදිහට වැය කිරීම අඩු වීම නිසා ශරීරයේ සාමාන්ය ක්රියාකාරීත්වය වෙනස් වෙලා යාම නිසා.ඒ කියන්නේ ශරීරයට සෑහෙන්ඩ ග්ලූකෝස් ලැබෙනවා.හැබැයි ඒවා වැය කරන්ඩ තරම් ව්යායාමයක් සිද්ධ වෙන්නේ නැති උනාම ශරීරයේ සෛල ඉන්සියුලින්වලට දක්වන ප්රතික්රියාව අඩාල වෙලා යනවා.ඒ කියන්නේ ඉන්සියුලින් කොච්චර තිබ්බත් සෛල ඒක ගණන් ගන්නේ නෑ (Insulin resistance).එහෙම උනාම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යන එක අහන්ඩත් දෙයක්ද?
මේ දෙවන වර්ගයේ දියවැඩියාව තමයි වැඩි දෙනෙකුට වැළඳෙන්නේ.ඒ වගේම ඒක හැදෙන එක වළක්වගන්ඩත් පුළුවන්.ඒක නිසා ඒක ගැන දැන ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතනවා.
මේ දෙවන වර්ගයේ දියවැඩියාව හැදුනත් ගොඩක් අය දන්නේ නෑ තමුන්ට ලෙඩේ තියෙනවා කියලා.ඒ නිසා ගොඩක් වෙලාවට ලෙඩේ තියෙනවා කියලා දැනගන්නේ අහම්බෙන් රුධිර පරීක්ෂාවක් කළොත් හරි දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතාවයක් ඇති උනොත් හරි තමයි.ඒ නිසා වයස අවුරුදු 35ට වැඩිනම් හරි, පවුලේ ළඟම ඥාතියෙකුට දියවැඩියාව තියෙනවා නම් හරි ඒත් නැත්නම් නිකං හරි සැකයක් තියෙනවානං හරි ගිහිල්ලා රුධිර පරික්ෂාවක් කර ගන්න එක හොඳයි.අඩුම තරමේ අවුරුද්දකට එක පාරක් වත්.
රුධිරයේ සීනි මට්ටම ඉහල ගියාම මුත්ර එක්ක ග්ලූකෝස් පිට වෙන්ඩ පටන් ගන්නවා.මුත්රවල දියවෙලා තියෙන ද්රව්ය ප්රමාණය වැඩි වෙනකොට ඒ ද්රව්යත් එක්ක වැඩි වතුර ප්රමාණයකුත් මුත්ර විදිහට පිට වෙලා යනවා.ඒ කියන්නේ වැඩි මුත්ර පරිමාවක් දවසකට පිට වෙනවා.දවල් දවසේ කී පාරක් මුත්ර කළාද කියලා කෙනෙකුට මතක හිටින්නේ නෑ.නමුත් රෑට දෙපාරකට වඩා නින්දෙන් නැගිටලා මුත්ර කරන්ඩ යන්ඩ වෙනවනං ඔන්න පොඩ්ඩක් සැළකිළිමත් වෙන එක හොඳයි.ඒ වගේම අධික ලෙස මුත්ර පිට වීම නිසා වගේම රුධිරයේ ග්ලූකෝස් අධික වීම නිසා රුධිරයේ ඇති ද්රව්ය ප්රමාණය වැඩි වීම නිසා මේ පුද්ගලයින්ට තිබහ දැනෙනවත් වැඩී.ඒ වගේම ඉන්සියුලින්වලින් මේද පටකයේ මේද තැන්පත් වීම උත්තේජනය කරනවා වගේම මේද පටකයෙන් මේද නැවත රුධිරයට මුදා හැරීම වළක්වන නමුත් මේ අයගේ ශරීරයේ ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නැති හින්දා මේ අය කෙට්ටු වෙන්ඩත් පටන් ගන්නවා.ඒ වගේම රුධිරයේ කොච්චර ග්ලූකෝස් තිබ්බත් ඒවා සෛල ඇතුලට ගන්ඩ නම් ඉන්සියුලින් හරියට වැඩ කරන්ඩ ඕනේ හින්දා සෛල නිතරම ඉන්නේ බඩ ගින්නේ.ඒ නිසා මේ සෛල මොළයට පණිවිඩ යවනවා එයාලට කෑම නෑ කියලා.ඒක හින්දා මොළය පුද්ගලයාට බඩගින්න ඇති කරන්ඩ කටයුතු කරනවා.
ඒ නිසා,
- ඇඟ කෙට්ටු වීම
- අධික පිපාසය ඇති වීම
- අධික ලෙස මුත්ර පිට වීම
- අධික කුසගින්න
- නිතර නිතර ආසාදන ඇති වීම
වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්යවරයෙක් හම්බ වෙලා රුධිරයේ සීනි පරීක්ෂාවක් කර ගන්ඩ.
හැබැයි මේ කියන රෝග ලක්ෂණ දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන්ට ඇති වෙන්නේ කළාතුරකින්.ඒ නිසා මේ රෝග ලක්ෂණ නැති පළියට දියවැඩියාව නෑ කියලා නං හිතන්ඩ එපා.
දියවැඩියාව නිසා ඇතිවන අයහපත් අතුරුපල
දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා,
- විශාල රුධිරවාහිනී ආශ්රිත සංකූලතා
- කුඩා රුධිරවාහිනී ආශ්රිත සංකූලතා
- වෙනත් සංකූලතා
කියලා වර්ග කරන්ඩ පුළුවන්.
විශාල රුධිරවාහිනී ආශ්රිත සංකූලතා
විශාල රුධිර වාහිනීවල බිත්තියේ මේදය තැන්පත් වීමෙන් ඇතිවන ඇතරොස්ක්ලෙරෝසිස් (atherosclerosis) කියන තත්ත්වය වර්ධනය කරන්ඩ දියවැඩියාව දායක වෙනවා.ඒ මගින් රුධිර වාහිනී අවහිර වීම නිසා හෘදයාබාධ (හෘදයේ කිරීටක ධමනි අවහිර වීමෙන්), අංශභාගය( මොළයේ රුධිර වාහිනී අවහොර වීමෙන්), පාදවලට රුධිර සැපයුම අඩාල වීමෙන් පාදවල වේදනාව තුවාල ඇතිවීම ආදිය ඇති වෙන්න පුළුවන්.
කුඩා රුධිරවාහිනී ආශ්රිත සංකූලතා
කුඩා රුධිරවාහිනීවල බිත්තිය හරහා ද්රව්ය ගමන් කිරීමට බාධා සිදුවීම දියවැඩියාව නිසා සිද්ධ වෙනවා.ඒ නිසා ඇසේ දෘෂ්ඨි විතානයට රුධිර සැපයුම අඩාල වීම නිසා පෙනීම අඩු වීම හෝ නැති වීම සිද්ද වෙන්ඩ පුළුවන්(Diabetic retinopathy). වකුගඩුවල ඇතුලේ තියෙන සියුම් රුධිර නාලවලටත් මේ තත්ත්වයම බලපෑම නිසා වකුගඩු අකර්මන්ය වෙලා යන්ඩත් පුළුවන් (Diabetic nephropathy). ඒ වගේම ස්නායුවලට පෝෂණය සපයන එක අඩාල වීමෙන් ස්නායු ක්රියාකාරීත්වය අඩපණ වෙලා යෑම නිසා කකුල් සහ අත් හිරිවැටීම වේදනාව ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්ඩ පුළුවන් (Diabetic neuropathy).
වෙනත් සංකූලතා
වෙනත් සංකූලතා කිව්වම ශරීරයේ ප්රතිශක්තිය දුර්වල වීම නිසා නිතර නිතර විශබීජ ආසාදන ඇතිවීම සිද්ධ වෙන්ඩ පුළුවන්.විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සුදුපාට මුදවපු කිරි වගේ ස්රාවයක් එක්ක තද කැසීමකුත් එක්ක ඇතිවෙන කැන්ඩිඩයසිස් කියන දිලීර ආසාදනය දියවැඩියාව තියෙන කාන්තාවන් අතරේ හරිම සුළබයි.
ප්රධානම ගැටළුවක් වෙන්නේ පාදවල හටගන්නා සුව නොවෙන තුවාල.දියවැඩියා රෝගීන්ගේ පාද හිරිවැටීම සිද්ධ වෙන්ඩ පුළුවන් කියලා කළිං කිව්වනේ.ඒ නිසා මේ අයගේ කකුල කොහේ හරි වැදිලා තුවාල උනත් ඒ අයට දැනෙන්නෙ නෑ.ඒ වගේම රුධිර සැපයුම අඩු වීම නිසා වගේම ස්නායු සැපයුම අඩු වීම නිසාත් තුවාල ඉබේ හට ගන්නත් පුළුවන්.අනිත් කාරනය තමයි මේ අයගේ කකුල් හිරි වැටීම නිසා ඇවිදිද්දි නිසි විදිහට කකුල බිම තියන්නේ නෑ.ඒ නිසා ඇඟේ බර කකුලේ සමව බෙදිලා යනවා වෙනුවට යම් යම් ස්ථානවලට විතරක් මුළු බරම වැටෙනවා.එහෙම උනාම ඒ බර වැටෙන තැන්වල තුවාල හැදෙන්ඩ පුළුවන්.ඒ විතරක් නෙමෙයි කකුලේ ස්නායු සැපයුම අඩාල උනාම කකුලේ දහදිය දැමීම වගේ දේවලුත් සිද්ද වෙන්නේ නෑ.එතකොට කකුලේ හම වේලිලා පුපුරලා යෑම හරහාත් තුවාල ඇති වෙන්ඩ පුළුවන්.
මෙහෙම ඇතිවෙන තුවාල ගැන රෝගියාට දැනෙන්නේ නැති නිසා මේවා නිකම්ම පැසවලා යනකන් කවුරුවත් දන්නේ නෑ.රෝගියාගේ රුධිරයේ ප්රතිශක්තිය අඩු වීම නිසා ඉක්මනට මේ තුවාලවලට විශබීජ ආසාදනය වෙන එකත් සිද්ද වෙනවා.හැබැයි රුධිර සැපයුම මේ හරියට නිසි විදිහට නැති හින්දා සුදු රුධිරාණුවලට ගිහිල්ලා මේ විශබීජ විනාශ කරලා දාන්ඩත් ලේසි වෙන්නේ නෑ.අවසන් ප්රතිඵලය වෙන්නේ කකුල කපලා දාන්ඩ සිද්ද වෙන එක.ලංකාවේ වැඩිපුරම කකුල් කපලා දාන්නේ දියවැඩියාව නිසා ඇතිවෙන සංකූලතා නිසා තමයිලු.

මේක වළක්වගන්නේ / පාලනය කරන්නේ කොහොමද?
- නිසි විදිහට ආහාර ගැනීම
- නිසි පරිදි ව්යායාම කිරීම
- නරක පුරුදු අත් ඇරීම
- දැනටමත් රෝගය තිබේ නම් නිසි පරිදි ඖෂධ ලබාගැනීම
නිසි විදිහට ආහාර ගැනීම
මේක තමයි ලොකුම ප්රශ්නේ.ලෝකේ මිනිස්සු ඇබ්බැහි වෙන දේවල්වලින් ප්රධානම වෙන්නේ කොකේන්, හෙරොයින්, සිගරට් හෝ අරක්කු නෙමෙයි "කෑමවලට" කියලයි කියන්නේ.හැබැයි ඉතින් "ආරෝග්යා පරමා ලාභා" හින්දා කෑම ගන්නකොට පෙරේත කම පැත්තකින් තියලා සෞඛ්ය ගැනත් හිතන්ඩ පුරුදු වෙන එක හොඳයිනේ.බත් කනකොට නාඩු වගේ හාල් කනවනං හොඳයි කියලයි කියන්නේ.ඒක හොඳයි කියලා පිඟන් තුන හතරක් කන්ඩ හොඳ නෑ.එක වේලකට බත් පොල්කටු හැඳි එකක් හෝ එකහමාරක් විතර.පිඟාන පිරෙන්ඩ එළවළු සහ පලාවර්ග.අන්න එහෙම දාගත්තම බඩගින්නේ ඉඳලා ගැස්ට්රයිටිස් හදාගන්ඩ වෙන්නෙත් නෑ.අල වර්ග, තෙල් කෑම, බේකරි නිශ්පාදන අඩුවෙන්.කෙඳි සහිත ආහාර ( ඒ කිව්වේ පොල් ලෙලි, රඹුටන් ලෙලි, නූඩ්ල්ස්, ඉඳි ආප්ප වගේ දේවල් නෙමෙයි ) වැඩිපුර කනවනම් හොඳයි.පළතුරුවලත් ඔය කෙසෙල් වගේ ඒවයේ සීනි වැඩියි කියනවනේ.ඒ හින්දා ඔය වෙන මොනවා හරි පළතුරු ටිකක් කනවනං හොඳයි.ඔය ප්රධාන වේල් අතරමැදදි උදේ දහයට ටී එකක් එක්ක පාං එකහමාරක්, හවසට තේ එක්ක බිස්කට් පනහක් හැටක් කන එකත් අඩු කරන එක හෝ නැත්තටම නැති කරන එකයි හොඳ.
නිසි විදිහට ව්යායාම කරන එකත් වැදගත්
ව්යායාම කියන්නේ ජිම් එකකට ගිහිල්ලා සල්ලි දීලා අනුංගේ යකඩ උස්සන එකටම නෙමෙයි නේ.වැදගත් වෙන්නේ සතියට අඩුම තරමේ දවස් පහක්වත් දවසට පැය භාගයක්වත් හොඳට හති වැටෙන්ඩ, දාඩිය දාන්ඩ එක දිගට මොනවා හරි ව්යායාමයක් කරන එක.හොඳම ඒවා කියන්නේ දුවන එක, බයිසිකල් පදින එක, සහ පිහිනීම කියන තුනලු නේ.ඕකෙන් මම වඩාත් කැමති ඔය පිහිනීම කියන එකට තමා.දාඩිය දාන්නැති සෙල්ලමක් නෙව.හැබැයි ඔය තඩි ඇඟවල් උස්සගෙන දුවන්ඩ ගිහිල්ලා දණිස් අමාරු හදගන්න හින්දා දුවන්නැතුව හයියෙන් ඇවිදින්ඩ කියලා තමයි වෛද්ය උපදේසෙ දෙන්නෙ.ලොක්කා රට පුරා ජොගිං ට්රැක් හදලා තියෙන එකේ හවසට හවසට සන් ග්ලාසුත් දාගෙන අයිපොඩ් එකක් නැත්තං චයිනීස් ෆෝන් එකකට හරි කමක් නෑ හෙඩ් සෙට් එකත් ගහගෙන, කොට ෂෝටක් ඇඳලා පොඩ්ඩක් ඇවිදින්ඩ සෙට් උනානං හෙණ ගහනවද මං කියන්නේ?
ගොඩක් ගෘහණියෝ කියන කතාවක් තමයි අපි මේ ගෙදර කරන සුමේ හොඳ ඇක්සයිස් එකක් තමයි.තව මොනවටද අමුතුවෙන් ඕවා කරන්නේ කියලා.ගෙදර කරන එදිනෙදා කටයුතු ව්යායාම විදිහට ගන්නේ නෑ.ඇයි ඉතිං ඒ උන්දැලා විනාඩි දෙකක් මිදුල අතු ගාලා එහා ගෙදර ඇන්ටිත් එක්ක පැයක් කාට හරි බණිනවා, නැත්තං තමුංගෙ වරුණාව කියවනවා.ආයෙ ටිකක් අතුගානවා.ආයේ කතාව.ගේ ඇතුලේ මොනවා හරි ටිකක් කරනවා.ටීවී එක දාගෙන සුභාසිරි බලනවා.ආයේ පැයකින් විතර ඉතුරු ටික කරනවා.මේ විදිහට කැඩි කැඩී සිද්ද වෙන නිසා ඒක නිසි ව්යායාමයක් වෙන්නේ නෑ.
අනිත් චෝදනාව තමයි වෙලාවක් නෑ කියන එක.අපේ රටේ මිනිස්සු පුදුම විදිහට කාර්යබහුල වෙලා ඉන්නේ.හැබැයි බැලුවාම කරපු ඇති කෙංගෙඩියකුත් නෑ.ඔය ව්යායාමවලට කියලා වෙනම ලෑස්ති වෙන්ඩ ඕනේ නෑ.ළමයා මොන්ටිසෝරියෙන් එක්ක එන්ඩ ත්රීවීල් එකේ යන්නැතුව ටිකක් කළිං ගෙදරින් පිට වෙලා යනවා පයින්.බස් එකේ හවස වැඩ ඇරිලා එද්දි ගේ ගාවින් බහින්නැතුව හෝල්ට් එකක් දෙකක් කළිං බැහැලා ඉතුරු ටික එනවා පයින්.එහෙමයිනේ ව්යායාම එදිනෙදා වැඩවලට එකතු කර ගන්නේ.ත්රී වීල් එකේ නොයා පයින් යනවා කියන්නේ එකසිය පණහේ ඒවම කීයක් ඉතුරුයිද?
නරක පුරුදු අත් ඇරීම
නරක පුරුදු කියන්නේ දුම්බීම සහ අරක්කු, කසිප්පු, විස්කි, ජින්, බියර්, සකේ, වොඩ්කා, රා ඇතුළු සියළුම ඇල්කොහොල් පානයෙන් වැළකීම.මේවායින් හෘදයේ ක්රියාකාරීත්වය අඩපණ කරන නිසා දියවැඩියා රෝගියෙකුගේ නම් මරණය ඉක්මන් කරන්ඩ දායක වෙනවා.සල්ලි වියදම් කරලා මැරෙන්ඩ එපා.ඒ සල්ලි බිරිඳටයි දරුවන්ටයි ඉතුරු කරලා පොඩි ගාණකට කඹයක් අරගෙන එල්ලිලා මැරෙන්ඩ.ලේසියි පහසුයි සහ ඉක්මන්.කාටවත් කරදරේකුත් නෑ.
නිසි විදිහට ඖෂධ ගැනීම
මේක ඉතින් කියන්ඩත් දෙයක් නෙමෙයි.ඒත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ අජරාමර ගුලිය ගිලලා එක පාර ලෙඩ නිට්ටාවට හොඳ කර ගන්ඩනේ.හැබැයි බටහිර වෛද්ය විද්යාව එච්චර දියුණු නෑ.ඒක හින්දා දියවැඩියාව තියෙනවා නම් රුධිරයේ සීනි මට්ට්ම පාලනය කරගන්ඩ නිසි විදිහට දිගටම බෙහෙත් බොන්ඩ ඕනෑ.හැමදාම බෙහෙත් බොන්ඩ පුළුවනෑ.... කියන උන්දැලාට කියන්ඩ තියෙන්නේ මිනිස්සුන්ට හැමදාම අරක්කු සිගරැට් බොන්ඩ පුළුවං, රටේම තියෙන ඕනෑ කුණු ගොඩක් කන්ඩ පුළුවං, බෙහෙත් බොන්ඩ තමයි බැරි...අනේ බොලව්!!!
කොහොම උනත් කියන්ඩ තියෙන්නේ ඖෂධ මඟින් කරන්නේ රෝගය පාලනය කරන්ඩ උදව් වෙන එක විතරයි.රෝගය නියම විදිහට පාලනය කරන්නේ ආහාර පාලනය කිරීමෙන් සහ නිසි පරිදි ව්යායාම කිරීමෙන්.ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්නේ දොස්තරවත් බෙහෙත් පෙත්තවත් නෙමෙයි.ඔබම තමයි!!!
එතකොට කකුල්
දියවැඩියා රෝගීන්ගේ කකුල්වල තුවාල ඇති වීම ගැන කිව්වනේ.ඉතින් කකුල් ප්රවේසම් කර ගැනීමට නම් කරුණු කීපයක් අනුගමනය් කරන එක හොඳයි.
- හැමදාම නින්දට පෙර කවුරුන් හෝ ලවා හෝ තනිවම කණ්ණාඩියක් ආධාරයෙන් කකුලේ උඩ, යටි පතුලේ සහ ඇඟිලි කරු අතර තුවාල තියෙනවද, දිලීර ආසාදන තියෙනවද කියලා පරීක්ෂා කරන්න.
- නින්දට පෙර කකුල් හොඳින් සෝදා තෙත මාත්තු කරගෙන ඉන්න.ඒ සඳහා වෙනම තුවායක් පාවිච්චි කරන්න.
- නින්දට පෙර කකුල්වල සම රැකදෙන ක්රීම් (moisturizing cream) වර්ගයක් ආලේප කරන්න. (ඇඟිලි කරු අතරට නොයන ලෙස )
- සෑම විටම (නිවස තුලදීත් ) පාදයට ගැලපෙන තද නොවූත්, සැහැල්ලු වූත්, ආසාත්මික නොවන පාවහන් පළඳින්න.
- පාවහන් පැළඳීමට පෙර පාවහන් තුල වැලි කැට ආදිය නොමැති බව තහවුරු කර ගන්න.
- නියපොතු නිතිපතා කෙටි කරගෙන තබාගන්න.තියුණු කෙළවරවල් තිබෙන පරිදි නිය කපන්න එපා.
- කුඩා තුවාල ඇති උවහොත් නිවසේදී ප්රථමාධාර දී ආවරණය කර තබන්න.
- විශාල තුවාලයක් නම්, කුඩා උවත් තුවාලය සුව වෙන්නේ නැතිනම් හෝ පැසවා ඇත්නම් වහාම වෛද්යවරයෙකුට පෙන්වන්න.
ඔබේ දෙපා දෑස මෙන් රැක ගන්න.
අදට ඔය මදෑ........
18 April 2014
කාලෙකට පස්සේ...
අන්තිමට බ්ලොග පැත්තට ඇවිල්ලා දැං මාසයකටත් වැඩී.වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ.හරියට බුසී ( busy ) වෙනවනේ.කොහොමිං කොහොම හරි මේ ටික දවසට රටේ ලෝකේ විතරක් නෙමෙයි බ්ලොග් ලෝකෙත් හරි හරි කෙළි නෙව සිද්ද වෙලා තියෙන්නේ.ප්ලේන් එක නැති උනාට පස්සේ නැවක් පෙරලිලා, මෝටර් සයිකල් දවල්ටත් ලයිට් දාං යනවා, ක්රිකට් වර්ල්ඩ් කප් එක දිනලා, ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය ලෝකෙංම හතර වෙනි තැනට ඇවිල්ලා ( බන්දුල ලොක්කා කියයිද දන්නෑ ඒක පුද්ගල ඇල්කොහොල් පරිභෝජනය කියලා සංකල්පයක් නෑ කියලා), බොදු බල සේනා එක ත්රස්තවාදී සංවිධානයක් වෙලා, විපක්ෂේ මන්ත්රීලට කුණු බිත්තර ගහලා, බ්ලොග් ලෝකේ සැට් සැට් ගහ මරාගෙන හනේ අපුච්චියේ හති බොලව්..............
රටේ ලෝකේ මොන පෙරළි තිබ්බත් ආණ්ඩුව ගැන මගේ තිබ්බ මතේ වෙනස් උනා ඔන්න.මේ ආණ්ඩුව පොඩි මිනිස්සුන්ට බඩේ පාර ගහලා ලොකු ලොක්කො එක්ක එක්කාහු වෙලා ජවුසන් නටනවා කියලා නෙව මම හිතං උන්නේ.ඒ උනාට පහුගිය දවස් කීපෙ රටේ මිනිස්සු නටාපු නැටිලි දැක්කම මට හිතුනේ "කවුද බොලව් මේ මිනිස්සු සාදුකිං ඉන්නවා කියන්නේ" කියලා.අවුරුද්දට සතියක විතර ඉඳං රෙදි කඩයක්, සුකුරුත්තං බඩු අරුමෝසම් බඩු තියෙන කඩයක් තියෙන පාරක යන්ඩ ඉඩැක් තිබ්බේ නෑ නෙව. සූ.................. ගාලා සෙනඟ වකාරෙට.හරියට වැල ගෙඩියට වහපු කෝඳුරුවො වගේ.විපක්සේ මොන පච කතා කෙළියත් මිනිස්සුන්ට සල්ලි නෑ කියන්නේ කොහොමද? රටේ සව්බාග්ගෙ සශ්රීකත්වෙ දැකලා කිරි වෙහෙරෙන් කිරිත් ආවනේ.මේ අපේ රජතුමාගේ ආනුභාවයට නිසා මිසක් මොකෝ මීට කළිං මොන රජා යටතේ වත් ඔහොම හාස්කං සිද්ද වෙලා තියෙනවා කියලයැ....හැබැයි කවුරු හරි ඕකෙං පොඩි සාම්පැල් එකක් අරං ටෙස්ට් කරලා බලන්ඩ එහෙම යනවා නෙමෙයි ඕං හරිය!!! මේ පෙරදිග රටවල්.මේවයේ දේවල් හොයා බලන්ඩ ඕනේ පෙරදිග විද්යාවට අනුව.ඒ කෙසේද යත්,
"අඩේ අර චෛත්තෙං සුදු පාටට මොනවද වැක්කෙරෙනවා බොලව්!!!"
"ඇත්තමයි ඒ මොනවද දන්නෑ නේ?"
"සුදුපාට දියර ලෙස වැක්කෙරෙන සොභාවික දේවල් තියෙන්නේ එක්කෝ එළකිරි නැත්තං රබර් කිරි.නමුත් චෛත්යයකින් රබර් කිරි වෑස්සීමේ සම්භාවිතාවක් නැත.ඒ නිසා ඒ එන්නේ සව්භාග්යයේ සංකේතය වන 'කිරි' ය. හා හා ඔන්න පෙරදිග ක්රමේට සනාථ කළා.වැඳ ගනියව් යකුනේ!!!"
එහෙම කිව් සැනින් වැඳ ගැනීම ඔබේ සරීර සවුක්යයට සුභදායකය.එසේ නොමැති උවහොත් හාමුදුරුවන් වහන්සේ සිවුර කැහැපට ගසාගෙන ශ්රද්ධාව සහ භක්තිය මිට මොළවාගෙන ධර්මය ඔබේ දත් වහල්ලත් සමඟ ඔබේ උදරගත කිරීමේ ඉඩක් ඇත.එසේ නැත්නම් "ගන්නවා මගේ අයි පෑඩ් එක" කියලා ඔබට නව තාක්ෂණය ඔස්සේ මුසු කොට ධර්මය බ්ලූටූත් කරනු ඇත.ඔය ආයෙත් කැලේ පැන ඇත.මට කියන්ඩ ඕනේ කළේ ආණ්ඩුව හොඳයි කියන එකය.කියවෙන්නේ වෙන මළ ඉළව්ය.
රටම ලොකු ලොක්කංගේ ආදර්ශ අරං එක සීරුවට රති කෙළියේය.හැමෝටම නාට්ටිවල ප්රධාන නිළිය එක්ක නිදි වදින්ඩ හෝ රුසියානු ගණිකාවන් ලැබෙන්නේ නැති නිසා උං අතට අහු වෙන නාඩි වැටෙන ඕනෑ එකක් එක්ක යහන් ගත වෙති.රටේ මේ නව ප්රවණතාව සිය ආර්ථික වාසියට හරවා ගැනීමට අපේ දිරිය කතුන් දක්සය.ගෙදරට වී නිකං බත් ගිල ගිල ඉන්නා, ටියුෂන් පන්තිවලට, තොල් සායම් නිය සායම් ආදියට මුදල් නාස්ති කරමින් ඉන්නා සිය දියණිවරුන් ශ්රම බලකායට එක් කිරීමට මව්වරු කටයුතු කරති.කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වී 'චංගුමී' බලමින් නාස්ති කරන පැයක දෙකක කාලය කවුරු හෝ ඉදිරියේ කකුල් ඈත් කිරීමෙන් මුදල් බවට පත් කර ගැනීමේ අවකාශය අපේ රටේ ගැහැනු ළමුන්ට ලැබී ඇත.ලෝකයේ දියුණු යැයි සම්මත රටවල රැකියා වියුක්තිය ඉහල යන විට ආශ්චර්යයේ දීපයේ රැකියා වියුක්තිය අවම කිරීමට මෙකී ප්රවණතාව මහත් ලෙස දායක වී ඇත.
පොඩි කොස්සකට තියෙන්නේ චන්ද්රිකාවේ කේස් එකය.පොඩි කුමාරයා කිව්ව විදිහට ඒක යැව්වේ ඔහුය.ඒ උනාට තිස්ස ලොක්කා කියන්නේ එහෙව් එකක් යැව්වේ නෑ කියලාය.ඒ උනාට ඒ චන්ද්රිකාවේ ප්රථිලාභ බුක්ති විඳින ජනතාවක් විදිහට තිස්ස ලොක්කා ඉරිසියාවට කියන දේවල් අපි ගණන් ගන්නේ නැත.චන්ද්රිකාව නිසා අපේ ජීවිත සුඛිත මුදිත උනු හැටි, අස්වනු සරු වී අටුකොටු පිරී රට බතින් බුලතින් සාර වූ හැටි දන්නේ අපිය.ඔය කියන තිස්ස ලොක්කා මෙතුවක් කාලයකට අඩුම ගානේ අහස් ගුණ්ඩුවක්වත් යවා නැති බැව් අපිට බුදු ශුවර් ය.එකී හීනමානයෙන් අපේ රටේ චන්ද්රිකාව කියා එකක් නොමැති බැව් කියන මේ තට්ට නාකියාට කියන්නට ඇත්තේ දුර දක්නයක් ගෙන රෑට අහස නිරීක්ෂණය කරන ලෙසය.එවිට ඕනෑම ගොන් තඩියෙකුට අපේ අභිමානවත් චන්ද්රිකාවත් එහි සිටින වීරෝධාර සිංහයා රැගත් අපේ ජාතික කොඩියත් එයට යටින් නිල් පැහැයෙන් ලියා ඇති "සුභ අනාගතයක්" යන්නත් දැකීමට හැකිවනු ඇත.
08 March 2014
ලෝක කාන්තා දිනය සමරමු..
කාන්තා දිනයට ඊයේ යමක් ලියන්ඩ හිතාගෙන හිටියත් කම්මැලි හිතිච්ච නිසා එය ලෝක කාන්තා දිනයේදීම ලියා පල කිරීමට සිදු විය.ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගේ නිදහස, ආරක්ශාව, ස්වාධීනත්වය, ස්වෛරීත්වය, ප්රජාචංචවාදය, උන්නතිකාමය, උංට වාසි වෙලාවට සමතැනත්, උන්ට කෙළ වෙන විට නිසි තැනත් ඉල්ලා කාන්තාවෝ හඬ නඟති.මේ සියළු අයිතිවාසිකම් ඔවුන් ඉල්ලා සිටින්නේ කපුටන්, අශ්වයන්, ඌරන් සහ එළුවන්ගෙන් නොව ගෑනුංගේ ගර්හාවට, අවඥාවට, නින්දාවට ලක්වන උංගෙන් සෑම විටම බැණුම් අසන සමහර විට ගුටිද කන පිරිමියා කියන අසරණ සත්වයාගෙනි.
අතීත රෝමකයින් ඔවුන්ගේ ජීවිත කුසීතව ඔද්දල්ව නොයනු පිනිස ඔවුන්ගේ නගර මධ්යයේ විශාල 'ඇරීනා' නිර්මාණය කොට සිරකරුවන් වහලුන් ඒවායේ කාකොටා ගන්නට දමා එකී ගහ මරා ගැනීම් බලා සන්තෝස වන්නට පුරුදුව සිටියෝය.දෙවියන් වහන්සේත් ආරම්භයේ පටන් කරන්නට වැඩක් නොමැතිව කම්මැලි කමේ ඉඳ අවසානයේ ලෝකය නම් මහා ඇරීනාව නිර්මාණය කොට එහි පිරිමියාත් ගැහැනියත් මවා උං කාකොටා ගන්නවා බලා කොහේ හෝ ඉඳ ආතල් ගන්නවා වෙන්නට පුලුවන.නැත්තං උන්දෑට පිරිමියා පමණක් මවා නිකා ඉන්නට තිබුණේය.ද්වීඛණ්ඩනයෙන්, අංකුර මඟින්, ධාවක මඟින්, කඩ කඩ වීමෙන් හෝ බල්බිල මඟින් සිය ප්රජාව බෝ කිරීමේ ක්රමයක් හදා දෙන්නට තිබුණි.නමුත් එවන් වූ සාර්ථක සාමකාමී ක්රමවේදයෙන් බැහැරව දෙවියන් වහන්සේ මෙතරම් සංකීර්ණ වූ ක්රමයක් නිර්මාණය කර ඇත්තේ හුදෙක් විනෝදය පිණිසම නොවේද?ගෙදරක ගෑනිත් මිනිහාත් මරාගන්නා විට වටේ ගෙවල්වල උන්ට එය කොච්චර ආතල් එකක් සපයන්නේද?
විවේකී ඉරිදා දව්ස්සේ ක්රිකට් තරගය බැලීමට හෝ චිත්රපටියක් බැලීමට හෝ පත්තරය පොඩ්ඩක් බලමින් නිදහසේ ගෙදරට වී ඉන්නට හදන විට ඔබේ බිරිඳ තේ එකක්ද හදාගෙන ඔබ වෙත එයි.
'ඉක්මනට මේක බීලා ලෑස්ති වෙන්ඩ.දවල් උනොත් මේ ගිනි රස්නේ පිස්සු හැදෙයි'
'කොහේ යන්ඩද?'
'ඔව් ඉතිං ඔයාට කවද්ද මගෙ දෙයක් මතක තිබ්බේ'
විසාල කුණාටුවක පෙර නිමිති හමුවේ ඔබ මේ කියන්නේ මොකක් ගැනදැයි පසුව සොයා ගැනීමේ අභිප්රායෙන් බොරුවක් කියන්නේය.
'ඇයි මට මතක නැත්තේ, මට මේ නිවුස් එක බල බල හිටපු හින්දා මතක් උනේ නැත්තේ.'
'අනේ යන්ඩ නිකං බොරුව නොදා.මං ඔයාට ගිය මාසේ කිව්වේ මට සාරියක් ගන්ඩ ඕනේ කියලා.මම ඊයේ රෑ කිව්වම හා කියපු ඔයාට දැං ඒක මතක නෑ.'
සතියකට පසු නිවාඩු දිනයක් ලැබ ළමයින්ද නින්දට ගොස් සිටි නිශා යාමයේ ඇය කියූ හැම දෙයටම සැළකිල්ලක් නොදක්වා 'හා' කියූ බව ඔබට සිහියට එන්නේ ඒ වෙලාවේය.
'හරි ඉතිං සාරි තෝරන්ඩ මට තේරෙණවද? ඔයා එහා ගෙදර චම්පත් එක්ක ගිහිං එන්ඩකෝ.'
'ඔව් මට ඉතිං එක එකා එක්ක තමයි යන්ඩ වෙලා තියෙන්නේ.මිනිහෙක් බැඳ ගත්තට වැඩක් තියෙනවයෑ.අන්න ඒකට කාන්තිගෙ හස්බන්ඩ්.කාන්තිගේ හැම වැඩකටම යන්නේ එන්නේ එයා.'
කාන්තිගේ සැමියා පිළිබඳ ඔබ තුල මහා ද්වේශයක් ගොඩ නැගෙන්නට පටන් ගනී.ගෑනුන්ට වැරදි පූර්වාදර්ශ දී අසරණ සැමියන් අපහසුතාවට පත් කරන උගේ වෘෂණ දෙක තලා බෙල්ල විකා මරා දැමීමට ඔබට සිතෙයි.සතියකට පෙර කාන්තිගේ සැමියා ගෑනු පෙරේතයෙක් බවත් ගෑනු දිහා කන්ඩ වගේ බලන බවත් බලෙන් කතාවට එන බවත් කියා ඔබත් එක්කම කියමින් බැන්නේ ඇය බව ඔබේ බිරිඳටත් මේ වෙලාවේ මතක නැත.
මේ මළ වදෙන් බේරෙන්නට වෙන කරන්නට දෙයක් නැති තැන ඔබ තේ එක උගුරු දෙකට බී ඉක්මනින් ඇඳ ගන්නට යයි.
සාරි තේරිල්ල ලේසි නැත.පාට හරියන විට රෙද්ද හරි නැත.රෙද්ද හරියන විට බෝඩරය හරි නැත.ඒ ඔක්කොම හරියන විට ඇය එම සාරිය අඳින විට එයට ගැලපෙන්නට ඔබට ඇඳුමක් නැත.ඔක්කෝම හරියන විට ගාන වැඩිය.ඒ කඩෙන් මේ කඩේට ගොස් ඔබට එපා වෙන්නේය.
'මේ සාරිය කොහොමද?' ඔබේ බිරිඳ ඔබේ ඇස් ඉදිරියේ එක්දහස් දෙසිය හත්වන සාරියද දිග ඇර පෙන්වයි.
'අනේ මංදා.' ඔබ අවංක අදහස කියන්නේය.
'ඔයාට මේක ලස්සනද කැතද කියලා කියන්ඩ බැරිද?එහෙම එකක්වත් කරන්ඩ බැරිනං මොකටද ඔයා ආවේ? අපරාදේ මට එන්ඩ තිබ්බේ චම්පත් එක්ක.'
කඩේ සෙනඟ ඉන්න නිසා ඔබ මුවින් නොබැන පසෙකට වී ඉඳී.
'මේක කොහොමද?' එක්දහස් දෙසිය අටවන සාරියද ඔබේ ඇස් ඉදිරියේ දිග ඇරේ.
'කැතයි' ඔබ වඩා සාධාරණ පිළිතුරක් දෙන්නේය.
'ඔයාට ඉතිං මම දෙයක් තේරුවොත් කැතයි නේ.පිරිමිනං අනේ මන්දා ඒ අයට ඉතිං ලස්සන වාහනයි, අනුංගේ ගෑනුයිනේ.'
ඔබ නැවතත් කරබා ගනී.සාරි කඩේ වෙළඳ මහතා ඔබ කෙරේ දයානුකම්පාවෙන් බලා හිඳී.වටපිට බලන ඔබ සුන්දර සාරියක් දකී.එය හැඳ සිටින ඔබේ බිරිඳ ඔබට මැවී පෙනේ.
'මේ සාරිය ලස්සනයි නේද?' ඔබ හිතට එඩිය ගෙන බිරිඳට යෝජනා කරයි.
'අපෝ මහ ගොඩේ ෆැෂන් තමා ඔයාටත් ලස්සන.මේක මහ පරණ පැට්න් එකක්නේ.'
'තමුසේ ගන්න ලබ්බක් අරගෙන බස් එකේ ගෙදර එනවා..' ක්රෙඩිට් කාඩ් එක ඇයට දෙන ඔබ කඩේකින් කෑම එකක්ද රැගෙන ගෙදර එන්නේ ඇය උයන්නේ නැති බව සක් සුදක් සේ දන්නා නිසාය.
ලෝක කාන්තා දිනය සමරන මේ මොහොතේ කාන්තාවන්ගෙන් තොර ලෝකයක් ගැන මදක් සිතා බලමු.
ඔබ කොළඹ ඇවිද ඇත්නම් එහි කොපමණ වෙළඳ සැල් කන්දරාවක් ඇත්දැයි දන්නවා ඇත.ගැහැනුන් නැති ලෝකයක මේ විච්චූරණ, තොරොම්බල් සිළිං බිලිං කඩ සියල්ල වැසී යනු ඇත.මුළු කොළඹම ඇඳුම් කඩ එකක් දෙකක්, බාර් තුන හතරක්,ඉලෙක්ට්රොනික් උපාංග කඩ කිහිපයක් සහ ෆිල්ම් හෝල් දෙක තුනක් ඇරෙන්නට අනිත් සියල්ල වැසී යනු ඇත.බොන උන් බහුතරය බොන්නේ ගෙදර ප්රශ්න ඇතිනිසා යැයි කියන නිසා බොන උන්ට බොන්ඩ හේතුවක්ද නැති වී යනු ඇත.ඒ හේතු කොටගෙන බාර් කීපයද කෙටි කලකින්ම වැසී යනු ඇත.
රෙදි කඩවලද අනං මනං මෝස්තර විකුණන එක නැවතී යනු ඇත.පිරිමින් විලාසිතා කිරීමට පොළඹවන්නේ ගැහැනුන් නිසා සරං, කොට කලිසම්, සහ ටී ෂර්ට් ඇර අනිත් ඇඳුම් අභාවයට යනු ඇත.පිරිමින්ව මුදල් සෙවීමට පොළඹවන්නට කෙනෙක් නොමැති වීම නිසා සමාජය අවශ්ය දෑ පමණක් ලබා ගැනීමට පමණක් වෙහෙස වෙන සාමකාමී, තෘෂ්ණාවෙන් තොර, විනෝදශීලී, සංග්රහශීලී තැනක් වනු ඇත.'අරූ ආශ්රය කරන්ඩ එපා, මූ ආශ්රය කරන්ඩ එපා' යැයි නීති දැමීමට කෙනෙක් නොමැති නිසා ලෝකය මිත්රශීලී, සුහදශීලී තැනක් වනු ඇත.'ඔයා මට කොච්චර ආදරේද?' වගේ ගොන් ප්රශ්න අහන්නට කවුරුත් නොමැති නිසා සමාජය සාරගර්භ මාතෘකා කතිකා කරන දාර්ශනික තැනක් වනු ඇත.
ඒ ඔක්කෝටමත් වඩා ගැහැනිය නොමැති වූවානම් පිරිමියා ගොනාට අන්දවන්ඩ සර්පයාට හැකිවන්නේ නැත.එහෙම උනානම් අපි තාමත් පාරාදීසයේය.අනික ඉළ ඇටයක්ද වැඩිපුර තියෙනවාය.
ඒ සුන්දර සිහින ලෝකයෙන් මිදී අපි නැවතත් යතාර්ථවාදී ලෝකයේ ලෝක කාන්තා දිනය සමරන්නට එක් වෙමු.කාන්තා විමුක්තිය වෙනුවෙන් සටන් කරමු!!!
25 February 2014
ජනතාව වෙනුවෙන් මාධ්යය......... ජනමාධ්යය
සියදිවි නසා ගැනිල්ල අපේ රටේ මේ දවස්වල ෆැෂන් එකක් වෙලා ඉවරය.කාට හරි අධෝ වාතයක් ගියත් එකෙක් සියදිවි නසා ගන්නවාය.මේ රැල්ල ජනප්රිය වීම ගැන විවිධ මතවාද හැම තැනම කතා බහ වෙනවාය.ගහ මරා ගන්නවාය.කොච්චර සංවාද ඇති උනත් මැරෙන උන් අඩු වෙන්නේ නැත.හැමෝම මේ ගැන කතාබහ කරන නිසා ඒ ගැන නොකියා ඉන්ඩ හැදුවත් මේක දැන් ජාතික ප්රශ්නයක් වෙලා ඉවරය.මගේ අදහස් ටිකත් බ්ලොග් සංවාද මණ්ඩපයට එක් කරන්ඩ ඕනේ කියලා හිතුනේ අඩුම ගානේ එක ජීවිතයක්වත් වෙනස් කරන්ඩ පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක් හින්දා.
දිනුක ජයකොඩි නම් මානව හිතවාදියාගේ අදහස
සියදිවි නසා ගැනීම කියන එක ලංකාවට දැනෙන ප්රශ්නයක් වෙලා තිබ්බා.නමුත් සුමිත්රයෝ වගේ සංවිධානවල ක්රියාකාරීත්වය හින්දා අපි ලොකේ අංක එක වෙලා හිටපු තැනින් පොඩ්ඩක් පහලට එන්ඩ පුළුවන් උනා.සියදිවි නසාගැනීම්වලට හේතු විදිහට විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා.මානසික අසහනය, ආර්ථික පීඩනය, දෙමව්පියන්ගේ නොසැලකිල්ල, ගුරුවරුන්ගේ නොසැලකිල්ල, බොළඳ නාට්ය, චිත්රපට සහ නවකතා, වගේ හේතු ගොඩක් ගැන කතා කළත් මගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ ජනමාධ්ය කියන කොට්ඨාසය වෙත.සියදිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ.
සියදිවි නසාගැනීම් වාර්ථා කිරීමේ ක්රමවේදය අනුව තවත් සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම සිද්ද කරන්න මාධ්යවේදීන්ට පුළුවන්.ඒක මාධ්යවේදීන්යැයි කියාගන්නා කුලකයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ෆේස්බුක්, බ්ලොග් වගේ අවිධිමත් මාධ්යකරණයේ යෙදෙන්නන් උනත් මේ ගැන කතා කිරීමේදී අවධානයෙන් කටයුතු කිරීම වැදගත් කියලා මම හිතනවා.
සාරියක් බෙල්ලේ වැල දාගන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන් කියන එක මේ නිව්ස් එක දකිනකන් මගේ ඔළුවට ඇවිත් නොතිබ්බ දෙයක්.සමහර විට ඒ මම මෝඩ නිසා වෙන්ඩ ඇති.නමුත් මනුස්සයෙක්ට සියදිවි නසාගන්ඩ හිතුනත් ඒකට ක්රමවේදය හොඳින් සවිස්තරව දැන ඉන්න එක ඒ දිවිනසාගැනීම ඉක්මන් කරන්ඩ දායක වෙනවා කියන එකටනම් මම හිතන්නේ කවුරුත් එකඟ වේවි.මොකද දෙවැනි කෙල්ලට හිත හිතා ඉන්ඩ උවමනා උනේ නෑනේ.
අපි බලමු දිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී වාර්ථාකරුවෙක් අනුගමනය කළයුතු රීතීන් මොනවද කියලා.රීතීන් කිව්වේ මේවා නීති විදිහට ලංකාවේ අනුගමනය කළයුතු කරුණුද කියලා මම දන්නේ නැති හින්දා.නමුත් අපිට විධිමත් මාධ්යවේදීනුත් බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා ඔවුන්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.
දිවිනසාගැනීමක් පුවත්පතක මුල් පිටුවේ පල නොකළ යුතුයි.
"දිවි නසාගැනීම, සියදිවි හානිකර ගැනීම" වැනි සෘජු අර්ථය දැක්වෙන වදන් පුවතේ මාතෘකාව විදිහට නොයෙදිය යුතුයි.
ප්රවෘත්තිය හැඟීම් උපදවන ආකාරයට වාර්ථා නොකළ යුතු අතර කරුණු සහ සාධක පමණක් වාර්ථා කළ යුතුයි.
දිවිනසාගැනීමේ ක්රියාව වර්ණනා කරමින් වීර ක්රියාවක් ලෙස අගය කරමින් වාර්ථා නොකළ යුතුයි.
දිවි නසාගත් ක්රමවේදය සවිස්තරව පල නොකළ යුතුයි. (උදා: සාරියක් ආධාරයෙන් බාල්කයේ එල්ලී මිය ගොස් ඇත.)
මියගිය පුද්ගලයාගේ ඡායාරූප හෝ ක්රමවේදයේ ඡායාරූප පළ නොකළ යුතුයි.
සියදිවි නසාගැනීම වෙනුවට ගතහැකිව තිබූ විකල්ප ක්රමවේදයන් ගැන සවිස්තරව සාකච්ඡා කළ යුතුයි.
ඇත්තටම මේ රීතීන් එහෙම නැත්නම් සදාචාර සීමාවන් මොන මාධ්යකරුවාද ආරක්ෂා කරන්නේ? මේ රීති හඳුන්වලා දීලා තියෙන්නේ අපේ රටේ ඉන්න මී හරක් උපදේශකයෝ වගේ ගොබිලෝ නෙමෙයි.අන්තර්ජාතිකව කරන ලද පර්යේෂණ සහ ගවේශන වල ප්රතිඵල විදිහට ඉදිරිපත් කරනු ලැබූ සහ අනුගමනය කිරීමෙන් සාර්ථක ප්රතිඵල ලැබූ න්යායයන්.බොරුවට උගුර ලේ රහ වෙනකන් මාධ්ය නිදහස ගැන, මාධ්ය සදාචාරේ ගැන කෑ ගැහුවට ඒකෙන් කාටවත් වෙන සෙතක් නෑ.මාධ්ය කරුවෙක්ගේ වගකීම මොකක්ද? රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් එකක් දීලා අනිත් වැදගත් ප්රශ්න අමතක කරවන එකද?
අපේ රටේ මිනිස්සු ලේ පිපාසිත ජාතියක්.ඒක හොඳටම එළි දැක්කේ උතුරේ සටනේ අන්තිම දින කීපයේ.මාත් ඇතුළුව රටේ මිනිස්සු ඔක්කොම හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.හමුදා කාරයින්ට වඩා කොටි මැරිලනං අපි හැමෝම සතුටු උනා.උඩ පැන්නා. හුරේ තිබ්බා.ඒ මෘග ලේ පිපාසිත මානසිකත්වය අපේ ඔළුගෙඩි ඇතුලේ වර්ධනය කළේ මාධ්යය.යුද්ධේ ඉවර වෙලා කිරිබත් කාලා මිනිස්සුන්ට නිවෙන්ඩ දුන්නේ නෑ.දෙමෙල්ලු පස්සෙ එළවලා හති වැටිලා හිටපු අපිව හම්බයාට විරුද්ධව උසි ගැන්නුවෙත් ඒ කට්ටියම තමයි.හරක් මරන එක පව් කියන ගමං හම්බයා මැරුවට කමක් නෑ කියලා ඔළුවට දැම්මා.අපේ ගෑනුංගේ හෙළුව වහන්ඩ කියන ගමං හම්බ ගෑනුංගේ බුර්කාව ඉරන්ඩ පෙළඹෙව්වා.අපේ මැටි මෝල් ජනතාව ඕනේ දේකට උසිගන්නන්ඩ ලේසියි.අපේ වෘෂභයෝ බහුතරයක් දන්න ලොකුම කලා මාධ්ය තමයි ටෙලි නාට්ය ටික.මොන්ටිසෝරි යන පොඩි එකාත් දන්නවා ඒ ඒ නාට්යවල ඉන්න ගෑනු කොයි එකා එක්කද මේ දවස්වල බුදිය ගන්නේ කියලා.ඉඳලා හිටලා දවසක් දෙකක් දොරමඬලාව බැලුවම උං හිතන්නේ උංගේ අධ්යාත්මේ සුපිරිසිඳු වෙනවා කියලා.
ටෙලි නාට්යවල වගේම නිව්ස්වලත් කඳුළු මාකට් කරන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ අපේ හිත්වල තියෙන කුහක කම හින්දා.අපිට වඩා අසරණ වෙන උන් ඉන්න එක අපේ හිත්වලට සතුටක්.නැත්තන් වෙන එකෙක් අඬන එකක් දිහා කට ඇරං බලං ඉන්නත්, ඒ වෙලාවට චැනල් එක මාරු කළොත් මරාගෙන කන්ඩ පනින්නත් ඕනේ නෑනේ.අපේ ජාතියේ ලේ පිපාසිත කම තවත් හොඳට පේන තැනක් තමයි ඔය නිව්ස්වල සමහර දාට දාන වගේම ගොඩක් ගොසිප් සයිට්වල තියෙන "සංවේදී අය බලන්ඩ එපා" කියලා ලේබල් කරලා තියෙන ඒවට වැඩිම හිට්ස් ලැබීම.කවුරු හරි මැරිලා ඉන්න දර්ශන, ලේ සහිත දර්ශන ඇයි මෙච්චර ආසාවෙන් බලන්නේ?ඒයිටත් වඩා ලොකු ප්රශ්නේ තමයි ඇයි ඒවා පෙන්නන්නේ? කාටවත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?
මොනවා හරි අපරාධයක් උනාම ජනතාව ඒ ගැන දැනගන්න ඕනේ.ඇයි එහෙම උනේ සහ කවුද ඒක කළේ කියලා.ඒ නැවත ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන එක වළක්වගන්ඩ.නමුත් අපරාධයක් සිද්ධ වෙච්ච තැනක ඡායාරූප හරි වීඩියෝ දර්ශන හරි පෙන්නන එකෙන් මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?ඒවා බලලා මිනිස්සු තෘප්තියක් ලබනවද?මම දකින විදිහට එහෙම පෙන්වන එකෙන් වාසි දෙකක් ලැබෙනවා.මිනිස්සුන්ගේ මොළ කුණු උනාම මේ ජඩමාධ්ය කාරයින්ට තවත් ඒ වගේ කුණු නිව්ස් විකුණන්ඩ පුළුවන් වෙනවා.ඒ වගේම ලේ පිපාසිත කම උලුප්පලා තිබ්බම පාලකයින්ට ඕනේ ඕනේ වෙලාවට මිනිස්සුන්ව කුලප්පු කරන්ඩ පුළුවන් වෙනවා.ඒ ඇර මිනිස්සුන්ට් වෙන යහපතක් නම් නෑ.
ලොකු අනතුරක් වෙච්ච වෙලාවට අපේ රටේ මාධ්ය ආවරණය ඔබ දැක ඇති.තුවාල සහිතව, සිහිවිසඥව රෝහලට ගේන රෝගියාට රෝහල ඇතුලට යාමට පෙර මාධ්යකාරයාගේ ඡායාරූපයට පෙනී සිටින්න සිදු වෙනවා.හෙදියන්ගේ, ඇටෙන්ඩන් මහත්වරුන්ගේ, සහ වෛද්යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් තඩි කැමරා උස්සාගෙන ඔවුන්ගේ මාධ්ය මෙහෙවර කරන්ඩ කටයුතු කරන හැටි දැක්කම ලේ කුපිත වෙන එක වළක්වන්ඩ හරි අමාරුයි.රෝගියාගේ ජීවිතය බේරාගැනීමට වඩා ඔවුන්ට වැදගත් වෙන්නේ රටේ ඉන්න අනිත් උංගේ මන දොළ පුරවන එක.
මාධ්යකාරයින්ගේ අනිත් කුණු වැඩේ ගැන මම මීට කළින් ලියන්ඩ හිටියේ.ඔන්න ඒ ගැන මොඩර්න් පේට්රියට් ලොක්කා ලියලා තිබ්බා.හැම පත්තරේකම, රූපවාහිනී නාලිකාවක්ම මිනිස්සුංගේ ඔළු මේ හඳහන්, අනවින, හූනියම්, වශී, වගේ මළවිකාරවලින් පුරවන්ඩත් පටං අරං.කාලයක් නැගලා ආපු ෆෙංශුයි කියන ප්රෝඩාව දැන් ටිකක් විතර යට ගිහිල්ලා.ඒත් නැත්තටම නැති වෙලානං නෑ.පේට්රියට් ලොක්කා ඔබාමාට යෝජනා කරළා තිබ්බා වගේ ඇයි මෙහෙම දේවල් තියෙනවනං ඒවා ජාතික මට්ටමෙන් ප්රයෝජනයට ගන්නේ නැත්තේ?අනික අපි අනාදිමත් කාලෙක ඉඳං හඳහන් බලලා, නැකැත් බලලා, සුභ වෙලාව සුභ දිශාව බලලා හැම වැඩක්ම පටන් ගන්නේ.ගෙයක් හැදුවත් වාස්තු විද්යාවට අනුව දොරවල් උළුවහු තියලා මුදුන් ලීය තියලා නියම සාස්තරේ අනුව කරන එකේ අපි මේ වෙනකොට ලෝකේ දියුණුම ජාතියක් වෙලා ඉන්ඩ ඕනේ නැද්ද? භෞතිකව නැත්තං අධ්යාත්මිකව හරි. ඔය මළ විකාර පුහු දේවල් දාලා මැටි මිනිස් රැළක් පාලිතයෝ විදිහට තියාගෙන පාලකයින්ට සැප විඳින්ඩ දෙන්ඩ දායක වෙන ජනමාධ්යකාරයින්ට මොනවද කරන්ඩ ඕනේ? මුන්ට ජනමාධ්යවේදීන් කියලා කියන්ඩ පුළුවන්ද?ජනමාධ්යවේදීන් කියන්නේ ජනතාව වෙනුවෙන් මාධ්යකරණයේ යෙදිය යුතු උන් නේද?
දිනුක ජයකොඩි නම් අරාජිකවාදියාගේ අදහස
සියදිවි නසාගැනීම් මේ රටේ එදත් සිද්ධ උනා.අදත් සිද්ධ වෙනවා හෙටත් සිද්ධ වේවී.අනිත් දිවිනසාගැනීම්වලට නොලැබුණු ප්රචාරයක් මේ ඡන්දය කට ළඟ තියාගෙන මේ සිද්ධියට පමණක් ලැබුණේ (දුන්නේ) ඇයි? මට හිතෙන්නේ මේක ඔවුන්ගේ යෝධ මැතිවරණ සැලැස්මේ එක් පුංචි ප්රයෝගයක් විතරයි කියලා.ෆේස්බුක් වගේ දෙයක් එක්ක පටලවලා ඒ වගේ නවීන සංකල්පයකට එරෙහිව ජන මතයක් ඇති කළාට පස්සේ ලොක්කා ෆේස්බුක් තහනම් කරන්ඩ් ඕනේ කියලා අදහසක් දැම්මම මිනිස්සුංගේ මනස ඇතුලේ පුංචියට හැඟීමක් එනවා අපේ ලොක්කා හරියට අපි ගැන හිතනවා කියලා.මොකද විපක්ෂය කොහෙත්ම ෆේස්බුක් තහනම් කරන්ඩ කතා කරන්නේ නෑ කියන එක මිනිස්සුන්ට ශුවර්.ඒක සනාථ කරමින් විපක්ෂය ප්රකාශ කළා එහෙම දෙයක් කළොත් ඒකට විරුද්ධව ක්රියා මාර්ග ගන්නවා කියලා.ඒ වගේම ජෙප්පො කියලා තිබ්බේ උංගෙ ආණ්ඩුවක ඉන්ටර්නෙට් නොමිලේ දෙනවා කියලා.ඉතිං මේක හොඳ අවස්ථාවක් තවත් මැටි මෝල් ඡන්ද ටිකක් ලොක්කට කඩා ගන්ඩ.ෆේස්බුක් තියා මළපොතේ අකුරක් බැරි උං හිතන්නේ ලොක්කා රට ලොවෙත් තැනකට ගෙනෙයි කියලා.ඒකත් බාලගිරිදෝසෙ වගේ අද නෙමෙයි හෙට තමයි කියලා උන්ට මතක් වෙන්නේ නෑ.මාධ්යකාරයෝ ආණ්ඩුවේ උවමනාවට ෆේස්බුක් එක මාරයෙක් වගේ පෙන්නලා දුන්නම ඔය ඉන්න ආච්චිලා සීයලාට මතක් වෙන්නෙ නෑ උන්දැලාගේ කාලෙත් ෆේස්බුක් තියා මොන මළදානයක්වත් නැතිව උනත් ලව් කෙරිලි, ලියුං ලිවිලි, කොටු පැනිලි වගේ හැම අළුගුත්තේරු වැඩක්ම වෙච්ච බව සහ ඒ පළහිලව් හින්දා දිවිනසා ගත්තු උනුත් හිටපු බව.
මෙහෙම ජනතාව කුලප්පු කිරිල්ල නිසා තව ජීවිත කීයක් නැති උනත් උන්ට ගාණක් නෑ.උංගේ ඡන්ද ව්යාපාරෙට තව ඡන්ද කීයක් හරි ලැබෙනවනං.
මේ වගේ අදහසක් බස්සත් ලියලා තිබ්බා අද උදේ දැක්කා...
දිනුක ජයකොඩි නම් මනෝ විද්යාඥයාගේ අදහස
මිනිස්සු විවිධාකාරය.සමහරු බුද්ධිමත් වෙද්දී සමහරු බුද්ධි හීනයෝ වෙති.සමහරු උස වෙද්දී සමහරු කොට වෙති.සමහරුන්ගේ පෙනීම දියුණු වෙද්දී සමහරුන්ගේ පෙනීම අඩු වේ.මෙසේ සිදු වන්නේ ඒ ඒ මිනිසාගේ ජානවල එකතුව අනුවය.සමහර මිනිසුන් තුලු ඉතා දියුණු ජාන පවතී.සමහරුන් තුල ඇත්තේ දුර්වල ජාන එකතුවකි.අතීතයේ, එනම් මිනිසා ශිෂ්ඨාචාර ගත වීමට පෙර අපි අද "කැලෑ නීතිය" නමින් හඳුන්වන උචිතතමයාගේ ප්රවර්ථනය හෙවත් උචිතෝන්නතිය ක්රියාත්මක විය.එනම් ශක්තිමත් බුද්ධිමත් තැනැත්තා පමණක් ප්රජනන කාර්යය සඳහා අවකාශ ලබා ගැනීමය.එවිට ඔහුගේ දියුණු ජාන පමණක් ඊළඟ පරම්පරාවට හිමිවූ අතර දුර්වල ජාන සහිත වූවෝ ප්රජනන අවකාශ නොලැබී යාම නිසා ඔවුන්ගේ දුර්වල ජානද සමඟ මිය ගියෝය.
නමුත් ශිෂ්ඨාචාරයේ ඇරඹීමත් සමඟ මෙකී ස්වභාවික ක්රියාවලිය ක්රමයෙන් අඩපණව ගියේය.එයට හේතුව වූයේ සමාජයේ සියළුම වැසියන්ට ප්රජනන අවකාශ ලැබීමය.එනිසා මිනිසා ජානමය වශයෙන් දියුණු වුවද, දුර්වල වුවද ඔහුගේ ජාන ඊළඟ පරම්පරාවට දායාද කර දීමට හැකි වීම නිසා සමස්ථ මානව ප්රජාවගේ ජාන සියල්ල එක්ව සළකන්නාවූ "ජාන කිටුව" නම් ප්රපංඡය දුර්වල ජාන පිරිපහදු වීමකින් තොර වීම නිසා සංශෝධනයකින් තොරව එක තැන පල්වෙමින් පවතී.
පූර්වයේ පැවති කැලෑ නීතිය අදත් ක්රියාත්මක වූයේනම් හෝ වෛද්ය කර්මය භාවිතයේ නොමැති වී නම් අද අප සමාජයේ හෘදයාබාධ, පිළිකා වැනි බොහොමයක් රෝග තත්ත්ව නොමැති සමාජයක් වන්නට ඉඩ තිබුණි.
සියදිවි නසා ගැනීම යනු දුර්වල මනෝභාවයකි.එවන් දුර්වල මනෝ භාවයන් ඇති වීමට පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම බොහෝ සෙයින් බලපායි.එනම් දුර්වල ජානයන්ගේ සෘජු හෝ වක්ර ක්රියාවන් නිසා මිනිසුන් සියදිවි නසාගැනීමට පෙළඹෙතැයි සිතිය හැක.එවන් වූ දුර්වල ජාන සහිතවුන් නව පරම්පරාවට ඔවුන්ගේ දුර්වල ජාන එක් නොකොට මියයන්නේ නම් පරම්පරා කීපයකට පසුව සියදිවි නසාගැනීමට පෙළඹෙන්නවුන්ගෙන් තොර සමාජයක් ඇති වීමේ සම්භාවිතාව ඉතා ඉහලය.
Subscribe to:
Posts (Atom)




















