03 August 2020

ඉන්ටනෙට්




කාලයක් තිබ්බා 
කිලෝබයිට් විස්ස තිහ
ඩවුන්ලෝඩ් වෙද්දි 
තප්පරේට
ප්‍රීතියෙන් පිනාගිය

ඩවුන්ලෝඩ් උනත් දැං
මෙගාබයිට්වලින්
තප්පරේට
නෑ කිසිම සතුටක්
"මොන රෙද්දක්ද
මේ මගුල
හරිම ස්ලෝ"



16 June 2020

කෙටි සටහනක්








ඇමරිකාව ගිණි අරං. කල්ලො දෙන්නෙක් පොලීසියෙන් මරලා. එංගලන්තෙත් කට්ටියක් ගහගෙන. කලු ජීවිත වැදගත්ලු. එතකොට අනිත් ජීවිත වැදගත් නැද්ද? සුද්දො අපේ රටට ඇවිල්ලා අපිට පෙන්නලා දුන්නා අපි හරි අශිෂ්ටයි, දුෂ්ටයි, මෝඩයි කියලා. අපිත් ඉහ උඩින් ඒක පිළිගත්තා. සුද්දා අපිට උංගේ ඇඳුම් දුන්නා. රෙදි සරං ඇදපු අපි සුද්දගෙ ගවොම් කලිසංවලට බැස්සා. කිහිලිවලින් දාඩිය උතුරද්දි, තට්ටම් දෙක මැද්දෙං පහලට දාඩිය කාන්දු වෙද්දි මේ උෂ්ණාධික නිවර්තන රටේ අපි සුද්දගෙ ඇදුම් ඇදලා ටයි එකත් දානවා. එහෙම නොවුනොත් ගොඩයලු. රටේ ප්‍රධාන බෞද්ධ පාසලේත් අඳින්නේ කලිසං කමිස. උත්සව දවසට ටයි දාලා කෝට් දානවා. ඇහුම කියන්නේ ජාතියේ මුර දේවතාවො කියලා. රෙද්ද තමයි.

නොක්ස්ගේ පොතේ විතරක් නෙමෙයි සීගිරියේත් ඉන්න උඩුකය නිරුවත් ගෑනු අසීලාචාරයි කියලා අපිට කියපු සුද්දියො දැං ටොප්ලස් යනකොට අපේ ගෑනු හූල්ලනවා. අමුඩේ ගොඩේ සීන් එකක් වෙද්දි "තොං ජංගි" පොෂ් ඒවා වෙනවා. ඒවා සෙක්සිනේ මෙයා.

කවුරුත් නැද්ද ඇමරිකාවෙයි එංගලන්තෙයි ප්‍රංශය ඇතුළු අනිත් රටවල්වලයි ඉන්න කලු ඩයස්පෝරාවට නිජභූමියක් ඉල්ලලා සටන් කරන්ඩ කියන්ඩ. ප්‍රංශේ උද්ගෝෂණ තහනං කළාට මැක්‍රේන් විදුලිපුටුවට යයිද? එංගලන්තේ සහ ප්‍රංශයේ ඉන්න දෙමළ ජනතාවට පුළුවන් කල්ලන්ට පන්ති කරන්න. ගරිල්ලා සටන් ක්‍රම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, සයනයිඩ්, ළමා සොල්දාදුවො. පස් අවුරුදු නේවාසික පාඨමාලාවක් කරන්ඩ වෙයි ඔක්කොම කියලා දෙන්ඩ නං. අන්න ඒගොල්ලො පටං ගත්තම අපිටත් පුලුවං මෙහෙ ඉඳං මානව හිමිකම් ගැන කතා කරන්න. 

කල්ලො නිකං හැසිරෙන්නේ උන්ට අසාධාරණයක් උනා වගේ. දැං ලෝකේ ට්‍රේන්ඩ් එක යන්නේ සුළු ජාතීන් මහ ජාතිය යටපත් කරගෙන ඉන්න විදිහේ ක්‍රමයක්. කල්ලො ගාවදි සුද්දො හැසිරෙන්න ඕනේ පරිස්සමෙන්. වචනයක් වැරදුනොත් සොරි තමයි. දෙවෙනි කල්ලට පොලිස්කාරයා වෙඩි තියන්නේ කල්ලා පොලිස්කාරයගේ ටේසර් තුවක්කුව උදුරගන්න නිසා. ඒ වෙලාවට පොලිස්කාරයා මොකද කරන්න ඕනේ. මෛත්‍රිය වඩන්නද? ලංකාවෙත් වෙලා තියෙන්නේ ඕක තමයි. වැරැද්දක් කරපු එකෙක්ට විරුද්ධව කතා කරන්න බයයි. ජාතිවාදී හංවඩු ගැහෙයි කියලා. එක රටක් එක නීතියක් ගැන කතාකරපු රතනට මොකද උනේ?? තුනෙන් දෙක එනකං ඉන්නවද? අන්තිමට තුනෙන් තුනම නැති වෙයිද? ස'ර් කොරයිද? තාමනං කොරේ නෑ. හිටං වගේම දහයට දොයියන සීන් එකක් තියෙන්නේ.

ත්‍රීවීල් සංගමේ ලොක්කා ගහලා මරලා. ඒ ගොනා ප්‍රශ්නේ විසඳගන්න පොලීසියට, උසාවියට යන්නේ නැතුව තනියෙන් මොන ලබ්බක් කරන්නද ගියේ? බීලා නේද හිටියේ? බිව්වම බලු කුක්කොත් පොරවල් වෙන්ඩ බලනවා. බීලා හිටපු එකෙක්ට මොනවා උනත් කාටවත් වගකීමක් ගන්ඩ බෑනේ. ඔය බේබද්දො දෙන පොර ටෝකක් තමයි බීලා හිට්පු වෙලේ කළේ මොකක්ද කියලා මතක නෑ කියන එක. පට්ට බොරුනේ. හොඳට බීලා ඉන්න එකෙක්ගෙං සල්ලි ටිකක් ඉල්ලගෙන බලන්ඩ. ඕකුන්ට හොඳට මතකයි. බේබද්දෝ, කුඩ්ඩෝ, අපචාර කාරයෝ කොච්චරක්නං ඉන්නවද? "බේබදු ජීවිත වැදගත්" කියලා සටන් පාඨයක් ගේමුද?



06 May 2020

කොණ්ඩ රැවුල් සහ මුහුණු සායම්

  
 
ඉස්කෝලේ යන කාලේ අපෙන් වෙලාවට එන එක. වෙලාවට යන එක, වෙලාවට කන එක, "එක්ස්කියුස් මී" කියලා චූ දාන්න යන එක වගේ දේවල් අපේක්ෂා කළා වගේම බොහොම තද බල විදිහට බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි හරි ගානට කොණ්ඩෙ කැපිල්ල. මේක කොහෙත්ම සුළු කොට තකන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි. මහින්ද එන්ඩ කිව්වම යන්ඩ බෑ කියලා කට්ටියක් තීරණේ කළාට රැස්වීමෙදි කොණ්ඩෙ වැරදියට කපලා තිබ්බ එකෙක්ට ශිෂ්‍ය නායකයෙක් හරි ගුරුවරයෙක් හරි ළඟට කතා කළොත් නොගිහින් ඉන්ඩ බෑ. යන්ඩම වෙනවා. නැත්තං ඉතිං "එක්ස්කියුස් මී" කියන්ඩත් කළිං කළිසමේ චූ යන්ඩ පුළුවං. අපිව ඇති දැඩි කළේ අන්න එහෙම එළිමහන් සිර කඳවුරක තත්ත්ව යටතේ.

මෙතන ලොකුම ගැටළුව වෙන්නේ පාසලේ කොණ්ඩය සම්බන්ධයෙන් තියෙන නිර්ණායක කොල්ලන්ගේ මනසේ තියෙන කෑල්ලක් සැට් කරගත හැකි කොණ්ඩා විළාසිතා එක්ක එකට නොයෑම. මස්තිෂ්කයෙන් වෙනුවට ශිෂ්ණ මුණ්ඩයෙන් හිතන පතන ඔය වයසෙදි රැස්වීමෙදි හෝ ඉස්කෝලෙට ඇතුළු වෙන ගේට්ටුව ළඟදි ගුටි කෑමට හෝ අවඥාවට ලක් වීමේ අවධානම අරගන්ඩ කොල්ලො පෙළඹෙනවා. කොච්චර වයසට ගියත් ශිෂ්ණයෙන් විතරක් හිතන පතන උන් ඉන්න රටක අර කොල්ලන්ට වැරැද්දක් පටවන්න බෑනේ. ඉතිං කොල්ලො කාලෙන් කාලෙට එන විලාසිතා අත් හදා බලනවා. පස්සේ ඉස්කෝලෙදි අහු උනාම එක්කො ඉස්කෝලෙ ඉස්සරහා සැලුන් එකේ අයියට සල්ලි දීලා විජයග්‍රාහී දෙවන හිස බෑමත් කරගන්න වෙනවා.එහෙම නැත්තං ඔළුව වටේ වැඩිපුර අඩු වෙලා මුදුනේ විතරක් කොණ්ඩේ වැඩි වෙලානං අඟුරු හරි සපත්තු පොලිෂ් හරි ගාලා වැරැද්ද වහගන්න උනුත් ඉන්නවා. ගෙදර අක්කගේ ඇහිබැම පාට කරන පැන්සල හොරකම් කරලා ඔළුව වටේ උලාගෙන අක්කලාගෙන් ගුටි කාපු උනුත් නැතුවා නොවේ.

අපේ ගුරුවරුන්ට අනුව පුද්ගලයෙක්ගේ ශිෂ්ඨභාවය මැණ බැලෙන ප්‍රධානම සාධකය වන්නේ කොණ්ඩය කපා ඇති ආකාරයයි. ඔබ පොරක් විය හැක. ඉගෙනීමේ අති දක්ෂයෙක් විය හැක. අවංකයෙක් විය හැක. කාර්යක්ෂම විය හැක. ඒ මොනවා උනත් කොණ්ඩය නිසි පරිදි කපා නැත්නම් ඔබ අසික්කිත අවලමෙකි. පාසලට අගෞරවයකි. දෙමව්පියන්ගේ සල්ලි කාබාසිනියා කිරීමට උපන් සල්ලාලයෙකි, කුඩ්ඩෙකි. කොටින්ම ඔබ නවතින්නේ එල්ලුම් ගහේ හෝ ජීවිතාන්තය තෙක් හිරේ වැටීමෙනි. නැතිනම් බල්ලෙක් බළලෙක් මෙන් පාරේ වෙඩි කා මිය යාමට සිදුවේ. (පාරේ වෙඩි කා මැරී වැටී සිටින බල්ලන් හෝ බළලුන් ඔබ දැක නැති බව කීමෙන් හෝ පාරේ බල්ලන්ට සහ බළලුන්ට වෙඩි තැබීමේ අවශ්‍යතාවයක් කිසිවෙකුටවත් නැතැයි පෙන්වා දීමෙන් හෝ ඔබට සහනයක් ලැබෙන්නේ නැත.). කොටින්ම අයින්ස්ටයින් අපේ පාසලට පැමිණියහොත් කොණ්ඩය කපාගෙන ඒමට නැවත හරවා යවනවා ඇත. ඒ ද පිට්ටනිය වටා වට පහක් දුවවා, මැද මිදුලේ තණකොළ ගලවා සුද්ද කිරීමට යෙදවීමෙන් පසුවය.

රැවුල පිළිබඳ අමිහිරි අත්දැකීම් ලැබුවේ වෛද්‍ය පීඨයට ඇතුලත් වීමෙන් පසුවය. පීඨයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලද පළමු උපදෙස වූයේ " මල්ලි උඹලා කොණ්ඩේ පිළිවෙලට කපලා රැවුල කපලා පලයල්ලා ලෙක්චර්ස් යනකොට හරිද? ක්ලිනිකල් යද්දි ගොඩක් පරිස්සම් වෙයල්ලා. කොන්සෝ ඕවා හරියට බලනවා හරිද." කොන්සා යනු කන්සල්ටන්ට් යන්න කෙටි කිරීමෙන් සාදාගන්නා ගෞරවාර්ථ පදයකි.

"අයියේ පොයින්ට් එක පොඩ්ඩක් තිබ්බට අවුලක් නැද්ද?"

"මොකෝ උඹට මේකෙන් පාස් වෙලා යන්ඩ ඕනේ නැද්ද?"

 රැවුලක් වැවීම යනු ජාතික අපරාධයක් බව තේරුම් ගත්තේ එදාය. විටින් විට වාට්ටුවල සායනික පුහුණුව අතරතුරදී මේ බව නැවත නැවතත් මතක් කර දීමට විශේෂඥ වෛද්‍යවරු උත්සුක වූ බව සදහන් කළ යුතුය.

"බලනවා තමුසෙගේ හැටි. ඩොක්ට කෙනෙක් උනාම වැදගත් විදිහට ඉන්ඩ ඕන. වැද්දො වගේ ඉඳලා අපිටත් එක්ක ලැජ්ජ කරවන්ඩද හදන්නේ? " 
කොන්සා ඉංග්‍රීසියෙන් බණින විට හිත රිදෙන්නේ නැත්තේ තේරෙන්නේ නැති නිසාය. පස්සේ පපුව පැළෙන්න එන්නේ රැවුල කපලා නැති එකෙක් නිසා මුළු ශිෂ්‍ය කණ්ඩායමටම උගන්නන්නේ නැතිව එළවා දැමීම නිසා අපේක්ෂාභංගත්වයට පත්වූ කෙල්ලන්ගේ ඇනුම්පද ඇහුවාමය. උන්ට අනුව එක දවසක විශේෂඥ වෛද්‍යවරයාගේ පන්තියක් මග හැරීම නිසා ඔබට වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ ශක්‍යතාව නැති වී ගොස් අනාථ වී යනු ඇත. උපාධිය අසමත් වී නැවත ගමට යෑමට නොහැකි නිසා කෝච්චියට පැනීමට සමහරු යෝජනා කළහ. සමහරු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යෑමට සැළසුම් කළහ. ගමේ කොල්ලාට බූට් එක තියා කැම්පස් එකේ එකෙක් එක්ක සෙට් වුනු කෙල්ලෙක් නැවත ගමට ගොස් අරූව ෂේප් කරගෙන ඌව බැඳගෙන ජීවත් වන හැටි ගැන සිහින මැවූහ.

කාන්තා සැලූන්වල අක්කලාගේ සහ පොඩ්ඩක් විතර අයියලාගේ වික්‍රම ගැන තේරුම් ගත්තේ පසු කලක දීය. නවදැලි හේනේ දා ගිය වැඳිරි මෑල්ලන් පවා ජැකලින් ෆර්නැන්ඩස්ලා වගේ වෙස් ගන්නන්නට හැකි බවත් කච්ඡපුට අතට ගත් තලිය කටුවකින් සූරා බලා රන් තලියක් බව හඳුනා ගත්තේ යම්සේද ගැහැනියක් හඳුනා ගන්නටද මුහුණ සූරා බලන්නට වෙන බවත් පසු කාලීන අත්දැකීම්වලින් අවබෝද විය. එන්ජින් බාස්ට වඩා පේන්ට් බාස්ගේ වැඩවල වටිනාකම තේරුම් ගන්නා විට එන්ජින් බාස් කෝස් එක සෑහෙන දුරට අවසන් කර හමාරය. අඩුවෙන් මහන්සි වී වැඩියෙන් හම්බ කරන්නට තිබ්බ චාන්ස් එක මිස් විය. 

මිනිස් ජීවිතවලට එතරම් වැදගත් වන්නා වූත් මිනිසා මිනිසෙක් ලෙස පැවතීමට උරදෙන්නා වූත් ක්ෂේත්‍රයක පැවැත්ම වෙනුවෙන් සෞඛ්‍ය ඇමතිණිය ගත් කාලෝචිත වූ කඩිනම් තීරණය එනම්, රූපලාවන්‍යාගාර ලෙස මීඩියාවල හඳුන්වා දෙන සැලුන් හෙවත් බාබර් සාප්පු නැවත විවෘත කිරීමට ඇය ගත් තීරණය ඉහළින්ම අගය කරමි. මීටරයේ දුර පවත්වාගැනීමටත් හැමවිටම මුඛ ආවරණ පැළඳීමත් සේවාලාභීන් මෙන්ම ශිල්පීන්ද දැඩිව අනුගමනය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඔය ගමන්ම "දෙවෙනි ඉණිමේ" ඉතුරු ටිකත් රූපගත කිරීමට අවසර දෙන්නේ නම් ජන ජීවිත පරිපූර්ණ වනු ඇත.

ඉස්තූතියි!!!



03 May 2020

ඉස්කෝල කතා



මේ කොරෝනා අස්සේ ඔන්නොහේ ගෙදෙට්ට වෙලා වගාවක් කරං ඉන්න අයට කියවන්ඩ පරණ ඉස්කෝලේ කතාවක් කියන්ඩ හිතුවා. මේවා මට වෙච්ච දේවල් නොවන වග කරුණාවෙන් කියන්ට ඕනෙ. මොකෝ මම ඉස්කෝලේ හිටියේ ජීව විද්‍යා පන්තියේ හෙවත් අනිත් එවුන්ට අනුව කන්‍යාරාමය හෙවත් කොන්වන්ට් එකේ නිසාත්, ඒ කන්‍යාරාමයේ කියන්ඩ තරං වැදගත් දේවල් සිද්ද නොවෙච්ච නිසාත්, මට සිද්ද වෙලා තියෙනවා අනුංගේ කතා හොරාකාලා මගේ වගේ ලියන්ඩ. මගේ වගේ ලියන්ඩ වෙන්නේ වෙන එකෙක්ගෙං අහගත්තු කතා කියද්දි අගට දාන "ලු" කෑල්ල දැම්මම කතාවේ රසය අඩුවෙලා කතාව නිකං කරපිංචා නැති කිරි හොද්ද වගේ වෙන නිසා. (කොරෝනා අවු අස්සේ ගෙදර කරපිංචා ඉවර වෙලා.හදිස්සියේ වවන්ඩයැ.)

ඔන්න මේ සීන් එක සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ වාණිජ අංශයේ එහෙම නැත්තං කොමස් එකේ.

කොමස් එකේ උං ඔය විද්‍යා දිනය, කලා උළෙල වගේ "කොමස් ඩේ" එකක් ලෑස්ති කළේ වෙන දේකට නෙමෙයි කෙල්ලො ටිකක් ඉස්කෝලේ ඇතුළට ගෙන්නගෙන තමුංගේ වැඩ පෙන්නන්න. කෙටියෙන් කිව්වොත් පොරත්වය පෙන්නලා කෑල්ලක් සෙට් කර ගන්න. ඇයි ඔය වැඩේ සංවිධානය කරන අස්සේ හිතුන හිතුන වෙලාවට ඉස්කෝලෙන් පනින්නත් ඇහැකි.

ලොකුම සීන් එක තමයි කෙල්ලන්ගේ ඉස්කෝලවලට රිංගන්න ඇහැක් වීම. ආරාධනා පත්‍ර දෙන්න ඊට පස්සේ ඒ ඉස්කෝලෙන් උත්සවේට මොනවා හරි අංගයක් ඉදිරිපත් කරනව නං අන්න ඒ කෙල්ලෝ සෙට් එකෙං එකක් බා ගන්ඩ චෑන්ස් එකක් වදිනවා. මොකද සම්බන්ධීකරණ කටයුතු කරන්ඩ කෙල්ලෙක් එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්ඩ වෙනවනේ. ගොඩක් වෙලාවට ඉතිං වැඩේ ගොඩ යනවා. අනික ඔය කෙල්ලෝ පාරේ යද්දි ලොකු ලයින් එකෙන් ගියාට උංගේ ඉස්කෝලෙකට ගියාම තමා හැබැ ස්වරූපේ පේන්නේ. කොල්ලො දෙතුන් දෙනෙක් ඉස්කෝලෙ මැද්දෑවෙන් ඇවිදං යද්දි කූඩුවල දාපු මාර දූතිකාවෝ වගේ අර කොට බිත්තිය උඩින් ගහල තියෙන කම්බි දැලේ එල්ලිලා පෙරේත බැල්ම දානවා. "සූ සූ" ගානවා. විසිල් ගහනවා. එක කෙළියයි.

මේ මරඟන රැගුම් බලලා ආපහු කොල්ලො ටික තමුංගේ ඉස්කෝලෙට යන්නේ ස්ටාලින්ග්‍රාඩ්වලිං නාසි හමුදාව එලවලා ගෙදර යන සොල්දාදුවෝ වගේ. ගමනට සෙට් වෙන්ඩ බැරි වෙච්ච උන්ට මුං දැකපු අහපු දේවල් කියන්නේ අතිං පයින් ලුණු ඇඹුල් යහමිං දාලා නිසා ඇත්තටම වෙච්ච දේ අනිත් කාටවත් දැනගන්ඩ විදිහක් නෑ.

"පට්ට කෑල්ලක් හිටියා බං දැලේ එල්ලිලා අපි දිහෑ කන්ඩ වගේ බලාගෙන. එක කෙල්ලෙක් තව කෙල්ලෙක්ගෙ තනේ මිරිකලා දිව්වනේ බං. කෙල්ලෙක් හිටියා බං පඩිපෙලක වාඩි වෙලා. ඔක්කොම එළියේ. ජංගිය රෝස පාට එකක්. කෙල්ලෝ දෙන්නෙක් ආවා ටොයිලට් එකේ ඉඳං එකියෙක්ගේ ඇස් උඩ ගිහිල්ලා, අනිත් එකී මූන පිහදදා ආවේ, ෂුවර් එකටම ආප්පයක්."

මේවා පච කියලා දන්නවා උනත් කවුරුත් මේවා නිවැරදි කරන්ඩ යන්නේ නෑ. ඒවා හිතෙං මවාගෙන රස විඳිනවා. තලු මරනවා. "අනේ පලයං ඩෝ බොරු නොකියා" කියලා අනිත් උංගේ ආතල් කඩන්නෑ.

ඔන්න උත්සවේ දවස ආවා. කට්ටිය උදේ ඉඳං වැඩ. කරන ඇති වැඩකුත් නෑ. නොකරන දෙයකුත් නෑ. පස්ස කැඩිච්ච කඩියෝ වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා. හෙනම සීන් එකෙන් ඉන්නේ එන කෙල්ලොංව හසුරුවන්ඩ බාරදීලා තියෙන උන් ටික. අත් දිගට දාලා ටයි දාලා, කොණ්ඩෙ පීරලා, පොළව මට්ටමට ඩිංගක් විතර ඉහළිං පාවෙනවා. උංගේ හීනේ උත්සවෙං පස්සේ හිස් පන්ති කාමරේකට  ගිහිං කන්‍යාභාවය අහිමි කර ගන්ඩ. පව්. ඒ දවස්වල අපිට තිබ්බ හීන.

බරපතලම වැඩේ බවලත් උදවියට වැසිකිළි පහසුකම් සපයන එක. පිරිමි පාසලක වැසිකිළි කොයිවගේද කියලා අමුතුවෙන් කියන්ඩ උවමනාවක් නෑ මගෙ හිතේ. කවුරුත් දන්නවා.අසහනෙන් ඉන්න උන් අසහනේ පිට කරන්නේ කලාවට යොමු වෙලා. ඒ කලාකෘති හැම කලාකෘතියක් වගේම සමකාලින විචාරකයින් අතින් බරපතල විදිහට විවේචනයට ලක් වෙන ඒවා. ඒවයේ සෞන්දර්යය රසවිඳින්න හැමෝටම බෑ. කෙල්ලන්ගේ කලා රසාඥතාවය ගැන පොඩි අවබෝධයක් තිබිච්ච උන් වෙනම තැනක තිබ්බ වැසිකිළියක් තීන්ත ගාලා සුද්ද කරවලා ලෑස්ති කෙරෙව්වා.

හැමතැනදිම වගේ සවුන්ඩ් සෙට් කරන එක ප්‍රොජෙක්ටර් එක චෙක් කරන එක කොම්පියුටරේ අටවගන්න එක සිද්ද උනේ සෙනඟ ශාලාවේ වාඩි උනාට පස්සේ. එක පාරට "ආ............හ්" කියලා මහා සද්දෙන් ගෑනු කටහඬක් ස්පීකර්වලින් ආවා. කොම්පියුටරේ තිබ්බ වැලක් ප්ලේ වෙලා. වෙලාවට ඒක තප්පරෙන් නවත්ත ගත්තා. ප්‍රේක්ෂකාගාරේ කාටවත් ඒක ගානක් ගියේ නෑ. හැබැයි තිරේ පිටිපස්සේ උන්ට එයින් එහා දෙයක් නෑ. සීන් එක එතනින් ඉවරයි. උත්සවේ ගානට ගියා. උත්සවෙන් පස්සේ ආව කෙල්ලෙක්ට අතට අත දී ගත්ත එක තමයි අර කන්‍යාභාවේ නැතිකරගන්ඩ බලං හිටපු උන්ට යන්ඩ පුළුවන් උන උපරිම දුර. සියල්ලෝ සතුටින් විසිර ගියා.

කතාවේ ඉතුරුටික කියන්ඩ කලිං එක චරිතයක් හදුන්වලා දෙන්ඩ ඕනේ. ඒ දවස්වල කොමස් එකේ අංශ ප්‍රධානියා උනේ "ලොක්කා" කියලා කොල්ලො හදුන්වපු ලොකුලියනගේ සර්. සිරා ඩයල් එකක්. ඉගැන්වීමේ පුදුම හැකියාවකුත් තිබ්බා මගේ හිතේ. (මම ඉගෙනගෙන නෑනේ). කොහොම උනත් කොල්ලෝ යනු මොක්කුද කියන එක ගැන බොහොම ලොකු දැනුමක් තිබ්බ ගුරුවරයෙක්. කතාකරද්දි දත් අතරින් හුළං යෑම නිසා විශේෂ උච්චාරණයකින් කතා කළේ. ලොක්කා බල්ලන්ට බයයි කියලා දැන ගත්ත කොල්ලෝ කොමස් එකේ උඩ තට්ටුවට නගින තැන හොරිකඩ බල්ලෙක්ව කොහු ලණුවකින් ගැට ගහගෙන කන්ඩ දිදී තියාගත්ත කාලෙකුත් තිබ්බා.

කොල්ලො අර තල්ලට දිව තියලා "ටොක්" කියලා සද්දේ දාන එකට ලොක්කා කැමතිම නෑ. කොල්ලො ලොක්කා එනවා දැක්කම "ටොක්" ගාලා හැංගෙනවා. එක දවසක් කොල්ලෙක් ලොක්කට කියනවා මෙහෙම.

" සර් මේ කොල්ලො සර්ට "ටොක්"(කටින් සද්දේ දාන ගමං) ගානවා නේද? අපි දන්නවනේ සර් "ටොක්" ගානවට කැමති නෑ කියලා. එහෙම උං සර්ට "ටොක්" ගාන එක හරි නෑනේ සර්. ඕකුන්ට ආයේ "ටොක්" ගෑවොත් දෙන්ඩ ඕනේ සර් ආයේ "ටොක්" ගාන්නැති වෙන්න. මූත් එක්ක එකඟ වෙන්නද නැත්තං මූටත් ගහන්නද කියලා ලොක්කට හිතාගන්න බැරි උනා.

තව කොමස් එකේ හිටියා ලස්සන ගුරුවරියක්. අපේ වයසේ දුවෙක් හිටියට බොහොම තරුණ පෙනුමට හිටියේ. එතුමියත් කොල්ලො ගැන හොඳ අවබෝදෙකින් හිටියා වගේම අති දක්ෂ ගුරුවරියක්.

හරි දැං ආයෙත් පරණ කතාවට යමු.

ඩේ එකෙන් පස්සේ දවසේ කොමස් එකේ හෙනම සාකච්ඡාව. දොර ගාව එකෙක් මුරට තියලා එක පන්තියක උන් අතිශයෝක්තියෙන් කතාව. "අඩෝ පට්ට වැල ඩෝ. ලොක්කගෙයි ****** මැඩම්ගෙයි. ප්‍රොජෙක්ටරෙන්නෙ පෙනුනේ. ලොක්කගේ ***** මෙන්න මෙච්චර විතර ලොකුවට දැක්කේ...... " එකෙක් දැක්කා වගේ විස්තර විචාරයක් දෙනවා. අනිත් උනුත් අරූට මිස් වෙච්ච අලංකරණ දාලා අතුරු කතා එකතු කරලා වර්ණනාතික්‍රාන්ත ගද්‍ය කාව්‍යක් බවට පත්කරනවා. දොරගාව මුරට තිබ්බ එකා තනියම "හිකි හිකි" ගාන්නේ මොකද කියලා බලන කොට තමයි දන්නේ ලොක්කා සෑහෙන වෙලාවක ඉඳං දොර ගාවට වෙලා තමුං කිසිදා අත් නොවිඳි ලිංගික අත්දැකීමක වීඩියෝ සාක්ෂි එකා එකා දිග අරින හැටි අහං ඉඳලා කියලා. ලොක්කා මුරට හිටපු එකාට කට වහං ඉන්න සංඥා කරලා කතාව රස විඳලා.

පන්තියේ කොල්ලො ටික පන්තියෙන් එළියට ගෙනල්ලා දණ ගස්සවලා ලොක්කා නෙළපු නෙළිල්ල අපේ පන්තිවලටත් පෙනුනා.
"අනේ සර් මේ පාරත් හිටලා."
"පාර හිටින්ඩ නෙමෙයි තොපිට පු* පැලෙන්ඩ දෙන්නෙ අද. යකෝ තොපේ දෙමව්පියෝ වගේ ඉන්න ගුරුවරුන්ට නේද තොපි මේ අවලං කතා හදන්නේ"

කතාව ඉවරයි. දැං පසු කතාව.

ලොක්කා කොල්ලන්ට ගැහුවට අමානුෂික විදිහට ගැහුවේ නෑ. වෛරයක් හිතේ තියාගත්තෙත් නෑ. ඒ පන්තියට වෙනසක් නැතුව ඉගැන්නුවා. කොල්ලොත් ඉගෙනගෙන අද රටේ තැන් තැන්වල වැදගත් විදිහට ජීවත් වෙනවා. කොල්ලො ලොක්කව විහිළුවට ගත්තට ගුරු ගෞරවේ නැති උනේ නෑ. කවදාවත් කොල්ලෙක් ගුරුවරයෙක්ට අතක් උස්සල නෑ. පස්සේ කාලෙක විදුහල්පතිතුමාට දූෂණ චෝදනා ආව වෙලාවක ශිෂ්‍යයින්ව උද්ඝෝෂණ සඳහා යොමු කෙරුනේ විවිධ බලවේග මගින්. විදුහල්පතිට කඩේ නොයන ගුරුවරුන්ට විරුද්ධව ශිෂ්‍යයින්ව උසිගැන්වුනා. ගුරුගෞරවේ නැති උනා. හොඳ ගුරුවරු ඉස්කෝලේ දාලා ගියා. අසූචි ගොඩක් උනා.

සමහරු හිතයි යකෝ මේ කොල්ලෝ මහ නැහැදිච්ච හැත්තක්නේ කියලා. වයසට යනකොට සිද්ද වෙන ලොකුම අවුල තමයි පොඩි කාලේ හිතපු විදිහ අමතක කරන එක. දෙපාර්ශ්වයම අවබෝධයක ඉන්න තාක් කල් සහ සීමාව නොපනින තාක් කල් හැමෝම සතුටින්.


03 April 2020

ආවේග පිටකිරීම






කොරෝනා ඇවිල්ලා වෙන කතා කරන්ඩ මාතෘකා නැති කරලා දාලා. මේ යක්කු හිනා වෙන්නත් බයයි. ඇයි යකෝ රටට එන එක වහ ගන්ඩ බැරි වෙච්චි නායකයෝ කළිං හිටිය උන්ටත් වඩා පඹයොද කියලත් හිතෙනවා. රෙද්ද. හැබැයි කළිං උං හිටියනං මේ වෙද්දි දෙකෙං එකක් වෙලා. ශුවර් එකටම එහෙනං මේ වෙද්දි දියවන්නාවටම කොරෝනා. ඒකේ ඉන්න නාකි හම්පඩ හැත්ත බුරුත්තම හැඳි ගෑවිලා ගිහිල්ලා. එහෙම උනානං හිත හදාගෙන සංතෝසෙන් මැරෙන්ඩවත් තිබ්බා.

කෝ අර වෙනදට ලොරි ටෝක් දෙන උං? එකෙක් නෑ බේතකට හොයා ගන්ඩ. අර තේවරප්පෙරුමයා විතරයි එළියකටවත් බහින්නේ. අනිත් උං දන්නවා කොරෝනත් එක්ක ඩීල් දැමිලි බොරු කියලා. ඒක හින්දා අපෙං හොරකං කරලා උං හදාගත්තු විමානවල ගේට්ටුවලට ඉබ්බො දාලා ඇතුළට වෙලා හැංගිලා. වෙන සීන් එකක් එහෙම උනානං බලන්ඩ තිබ්බා කට්ටියගේ වොයිස් කට්.

ඉස් ඉස්සෙල්ලම රතන සූත්තරේ කිව්ව දවසට පස්සේ දවස වෙනකොට ලෙඩ්ඩු ගාන ඩබල් උනා. ඒ උනත් තාමත් අපේ ගෙදර උන්දලත් පිරිත් දාගෙන නිදාගන්නේ. කොරෝනා එළවන්ඩ හිතාගෙන. වෛරස් එක හදලා එවපු දෙයියෝ තමුන්ගේ ඒජන්ට් ඉන්න ඉතාලියට දුන්නා කොර වෙන්ඩ.

මුස්ලිම් මනුස්සයෙක් මට කියනවා මේ දෙයියෝ අපිට දඬුවං කරනවලු.මට තියෙන ප්‍රශ්නේ සර්වබලධාරී ඩයල් එකකට බැරිද තෝරලා බේරලා දඬුවම් කරන්න. අර ඇමරිකාවේ සති 6ක පොඩි එකී මොන වැරැද්දක් කළාටද කොරෝනා හැදෙව්වේ. ඒකත් කමක් නෑ කියමු. මාස්ක් එකක් දාලා අත්දෙක හොඳට හෝදගෙන අනිත් එවුන්ගෙන් ඈත් වෙලා ඉඳලා කොරෝනාවලින් ගැළවෙන්න පුළුවන්නං සර්වබලධාරී වෛරස් එක අජූත නැද්ද මං අහන්නේ. මට ඔය කතාව කිව්ව මුස්ලිම් මෑන්ට මම කිව්වා " ඉතිං අයිසේ ඔහේ පව් කරලා නෑනේ. ඔන්න ඔය මාස්ක් එක ගලවලා දාලා ඉන්නවකෝ" කියලා. මෑන් කියනවා ඒක එහෙම උනාට පොතේ තියෙන්නේ දෙයියෝ විශ්වාස කළාට කමක් නෑ හැබැයි ඔටුවව ගැටගහලා තියන්න කියලලු. මේවා ඇවිල්ල දෙයියන්ගේ හෙළුව වසාගැනීමේ වචන හරඹ.

මම දන්න කියන හැම එකාම වගේ මාර ආගමික ඩයල්. එක්කෝ අනිත්‍ය තේරුං අරං සංසාරෙන් එතෙර වෙන්ඩ අන්තිම ලෙන්ත් එක පීනන ගමං ඉන්න උං. එහෙම නැත්තං දෙයියොත් එක්ක සමීප ඇසුරක් පවත්වන දෙයියංගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න එවුං. හැබැයි ඔය එකෙක්ටවත් තාම මේකට උත්තරයක් නෑ. එක්කෝ දෙයියෝ එක්ක ඩීල් එකක් දාගෙන ගොඩ පලයව්. ඒ යන්නෙත් නෑ. අනිත් උන්ට ජීවිතේ බේරගන්ඩ තියෙන මාස්ක් එකත් හොරකං කරං පිරිත් අහන්ඩයි යාඤ්ඤා කරන්ඩයි යන උං ඉන්නේ.

බටහිර රටවල් මෙච්චර කල් අපිට පෙන්නගෙන හිටියේ උංගේ ගෙවල්වල ඉස්සරහා පැත්ත විතරයි කියලා තේරුණේ මේ සීන් එකෙන් පස්සේ. උංගේ කුස්සිය පැත්ත අපිටත් වඩා අම්බානට චොරයි කියලා දැක්කට පස්සේ මම හිතන්නේ උං ඉන්නේ අපිට මූණ දී ගන්ඩ බැරුව. ට්‍රම්ප්ට වගේම ට්‍රම්ප්ට කඩේ ගියපු ඇමරිකන් කාරයින්ටත් උං හදපු තාප්පෙං රිංගලා හරි උන්ට උදව් කරන්ඩ එන්ඩ කියලා ලෝකෙට යදින්ඩ වෙච්ච එක විළි ලැජ්ජාවේ උපරිම එක වෙන්ඩ ඇති. ට්‍රම්ප් දැනගනිං මම තියා මගේ බල්ලවත් යන්නෑ ඇමරිකාවට.( කවුරු හරි මෑන්ව හම්බ උනොත් මම මෙහෙම බ්ලොග් එකේ ලියලා තියෙන වග පොරට කියන්ඩ. මොකද මම හිතන්නේ පොර මගේ බ්ලොග් එක බලන්නේ නෑ. ඒ වගේම මගේ බල්ලා ඇමරිකාවට ගියත් කොරෝනා සම්බන්දයෙං මොනවත් කරන්ඩ තරං දැනුමක් ඌට නෑ. )

මේ ලෙඩේ ගැන මෙච්චර කියලා තියෙද්දි විදේශ විණිමය විදිහට වෛරස් එක අරගෙන රට ස්වයංපෝෂිත කරන්ඩ ආපු ඒ රටවිරුවො කීප දෙනාටත්, මෙච්චර පිස්සුවෙන් වගේ මේක ගැනම දවස ගානේ කියවලා කියවලා තියෙද්දිත් ලෙඩේ හංගගෙන ඇවිල්ලා ඉස්පිරිතාල අංශ කීපයක් අඩාල කරපු ගරිල්ලා ඩයල් ටිකටත්, ඇඳිරි නීතිය අස්සෙත් පුදුම වැර වීරියක් යොදලා ලෙඩේ හැමෝත් එක්කම බෙදාහදාගන්ඩ කටයුතු කරපු සහ තවදුරටත් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්න අයටත් ඒ අය පොලීසියට අල්ලලා නොදී වක්‍රව ඔය කටයුතුවලට දායක වෙච්චි ඒ අයගේ නෑදෑ සනුහරේටත් මේ කුණු ලෝකෙන් ඉක්මනින් චුත වෙලා ප්‍රාර්ථනා කරන ලෝකයක කොකු පණුවෙක්, ඌරෙක්, නිල මැස්සෙක් වෙලා ඉපදෙන්ඩ වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

ඉස්තූතියි!!!


12 August 2019

සතුටෙන්ම හිටපු මිනිසා 4






ආදම් හදපු ගෙදරට ඊවා කැමති උනේ නෑ. හදපු තැන්, හදපු විදිහ, කාමර ගාණ (අමුත්තෙක් ආවොත් නවතින්න දෙන්න කාමරයක් ඕනේ කියලා ඊවා ආදම්ගේ ඇඟට කඩං පැන්නා. එහෙම එන්ඩ වෙන කවුරුත් මේ ලෝකේ නෑ කියලා ආදම් කිව්වත් ඒක ඊවාට එක්කො ඇහුනේ නෑ. නැත්තං ඇහුංකං දෙන්ඩ එයැයිට උවමනාවක් තිබ්බේ නෑ.) නාන කාමරය, කුස්සිය, ගාපු පාට, වහලෙට දාපු ඇස්බැස්ටෝස් (ඒවා පිළිකාකාරකයි කියලයි ඊවා කිව්වේ. "තමුසේ හදන්නේ මාව මරාගෙන මෙතන වෙන එකියක් එක්ක නටන්ඩ නේද?" කියලයි ඊවා ආදම්ට බැන්නේ. එහෙම නටන්ඩ වෙන ගෑනු මේ ලෝකේ නෑ කිව්වත් ඒක ඊවා කනකට ගත්තේ නෑ.) , බිත්තිවල පාට, පොළොවේ ටයිල් එක ඇතුළු සම්පූර්ණ ව්‍යාපෘතියම අසාර්ථක, මුදල් නාස්ති කරපු සුදු අලියෙක් කියලයි ඊවා චෝදනා කළේ. අසරණ ආදම් සුදු අලි දැකලා තිබ්බේ නෑ.

කොහොම හරි දෙන්නගේ මංගල වලිය රෑ එළිවෙනකං ඇදිලා යද්දි ස්වර්ගය පැත්තෙං හීං හිනා හඬක් ආදම්ට යාන්තමට වගේ ඇහුනා. ඔය කට්ටිය රෙස්ලිං බලලා හරි නැත්තං ඉන්දියන් මෙගා බලලා හරි ගන්න ආතල් එක එයාලා අපේ දිහා බලං ගන්නවා ඇති කියලා ආදම්ට හිතුනා. ඒත් කරන්ඩ දෙයක් නැති නිසා ආදම් කරබාගෙන හිටියා.

ඊවා හිටියේ පරල වෙලා. උන්දෑ වලිය අවසන් භාගය වෙනකොට අසරණ ආදම්ගෙන් දික්කසාදේ ඉල්ලන ගානටම ආවා. ආදම්ට සිද්ද උනා ඊවාගේ කටහඬට ඉහලින් කතා කරලා තවම නීතිඥයෝ සහ උසාවි මවලා ඉවර නැති බව ඊවාට පැහැදිලි කරළා දෙන්න.

කොහොම උනත් ඒ වෙද්දිත් හති වැටිලම ඊවාටත් වලිය එපා වෙලා තිබ්බ නිසා උන්දෑ නිදාගන්ඩ ගියා. ආදම් ටීවී එක දාගත්තේ හිත පොඩ්ඩක් එකලාසයක් කරගන්ඩ හිතාගෙන මිසක් මොකවත් බලන්ඩ උවමනාවකට නෙමෙයි.
"තමුසෙ ඕක එක්කො අඩු කරනවා නැත්තං මම ඇවිත් ඕක පොළවේ ගහනවා" නිදන කාමරේ පැත්තෙං ආයෙමත් ගෝරනාඩුව ඇහුනම ආදම් ටීවී එකත් නිමලා දාලා ගෙයින් එළියට බැස්සා.

හඳ එළිය වැටිලා පාරාදීසෙම ශාන්ත දිස්නයක ගිලිලා. ආදම්ගේ හිතත් ටික ටික නිමිලා යනකොට ඔන්නොහෙ කොහෙහරි වැටිලා නිදාගන්ඩ හිතුනා. නිල් අහස් වියන තැනින් තැන පසාරු කරගෙන දිලිසෙන තරු දිහා බලාගෙන ආදම් බිම වැතිරුනා. වැළමිටි පාරක්, දණිස් පාරක් වැදෙන්නැතුව කාලෙකට පස්සේ නිදාගන්න ආදම්ට බිම තිබ්බ රළු ගතියවත් දැනුනේ නෑ. නිදාගෙන ඉන්න ආදම්ගෙ නහය තදකරලා අල්ලගෙන හුස්ම හිරකරවලා ඇහැරවන්නෙ අසරණය ආදම් ගොරවන සද්දෙට ඊවා ඇහැරුනාම. හැබැයි ඊවා නින්දෙන් ගොරවන එක ඉවසගෙන ඉන්න ආදම්ට සිද්ද වෙලා තිබ්බේ මොන විදිහකින්වත් ඊවා නින්දෙන් ගොරවනවා කියන එක ඊවාට ඒත්තු ගන්නන්න ආදම්ට බැරි වෙච්ච නිසා.
"අනේ නිකං ඉන්නවා බොරු කියන්නැතුව. මම කොහෙද නින්දෙං ගොරවන්නේ. තමුසේ ගොරවන ගෙරවිල්ලට මට නින්ද යනවයෑ මම නින්දෙන් ගොරවන්න." මේවට තර්ක කරලා පලක් නැති විත්තිය ආදම් තේරුම් අරගෙනයි තිබුනේ.

හිතේ සැනසිල්ලත් එක්කම ආදම්ට නොදැනිම නින්ද ගියා.

උදේ පාන්දර ඇහැරවන්නත් කවුරුත් නැති හින්දා ආදම් නැගිටිනකොට හොදටම දවල් වෙලා. බඩගින්නකුත් එක්ක නැගිට්ට ආදම් පළතුරු ටිකක් කාලා වතුර ටිකක් එහෙම බීලා ගෙදර පැත්තට යන්න පිටත් උනේ දෙගිඩියාවෙන්.ගෙදර ගියොත් ආයෙත් වළියක් යයිද?




ඊවා ඊයේ කෑගහපු විදිහටනං මේ වෙනකොටත් අලවංගුවක් කුළුගෙඩියක් හොයාගෙන ගේ කඩන්ඩ පටං අරං ඇති. සමහරවිට දැනටමත් බිත්ති පෙරළලා ෆවුන්ඩේෂන් එක උගුල්ලන්න ට්‍රයි කරනවා ඇති. දැං ඉතිං ආයේ හොයපල්ලකො බාස්ලා. බාසෙක් අල්ලගෙන වැඩක් කරගන්ඩ යනකොට බාසා කියන්නේ
 "අයියෝ මහත්තයා මේක ලස්ස දෙකෙං දෙකාමාරෙං කරලා දාන්ඩ පුලුවං. දවස් පහේ වැඩේනෙ." බාස් එහෙම කියන්නේ කටේ තියෙන බුලත් කෙළ බිමට වැටෙන්නැති වෙන්න කට උඩට හරව හරවා. කොහොම උනත් අන්තිමට වැඩේ ඉවර වෙනකොට ලක්ෂ විස්සක් තිහක් විතර වටේට ණයත් වෙලා තමයි නවතින්නේ. මේවා මතක් වෙද්දි ආදම්ගේ ඇඟේ හිරිගඩුත් පිපුණා. ආදම් ගේ තියෙන තැනට කිට්ටු වෙනකොට කන දීලා බැලුවේ බිත්ති පෙරළෙන ටයිල් කඩන සද්දයක් එනවද කියලා. ම්ම්හු.. මොන සද්දයක්වත් නෑ. මෙන්න බොලේ ගේ තියෙනවා කිසිම වෙනසක් නැතුව.

යකෝ මේ ගෑනි කොහේ ගිහිල්ලද? අම්මෙක් අප්පෙක් හිටියානං එහෙ ගිහිල්ලා කියලවත් හිතන්ඩ තිබ්බා. මම යනකං ඉඳලා සෞදියේ හවුස් මේඩ් ජොබකටවත් ගියාද? ආදම්ට හිතාගන්න බෑ. එක පාරටම පිටිපස්සෙං ඇවිල්ලා ආදම්ගේ ඉහේ ඉඳං යටිපතුල් වෙනකල් කිටි කිටියේ වෙලා ගත්තම ආදම් හිතුවේ පිඹුරා විහිළුවක් කරනවා කියලා.ඒත් "ඉහි ඉහි....බුහු බුහු....ඈ......" කියලා සද්දයක් ආවේනං පිඹුරගෙන් වෙන්ඩ බෑ.. ආදම් අතපත ගාලා යන්තං දරණුව පොඩ්ඩක් බුරුල් කර ගත්තා.

බොලේ මේ ඊවා නේද? ඊවාගෙන් ආපු නැචුරල් සුවඳින් ඈ දත්මැදලා මූණහෝදලාවත් නෑ කියලා ආදම්ට තේරුණා.

"ඇයි මොකෝ? මොකෝ මේ බය වෙලා? කැරපොත්තෙක් මකුළුවෙක්වත් ආවද?"

"ඔයා කොහෙද මාව දාලා ගියේ? මම කොච්චර බය උනාද? මම කොහොමද උයා නැතුව ඉන්නේ? මං ඔයාට මොනවා කළාටද මට මෙහෙම සළකනෙනේ? කතා කරන්ඩකෝ. කියන්ඩකෝ? ඔයාට මාව එපාද? " ඊවාගේ ප්‍රශ්න අතරේ ආදම්ට උත්තර දෙන්ඩ හිස්තැන් අවකාශ තිබ්බේ නැති නිසා ආදම් ඊවාට හති වැටෙනකං බලං හිටියා.

"එහෙම මොකුත් නෑ. මම ඊයේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. නිකං ගහක් යට නිදාගත්තා. ඇහැරුනේ දවල්වෙලා. ඒකයි එන්න පරක්කු උනේ." ආදම් ඊවගේ කොණ්ඩ බූසිය අස්සෙං යන්තං වචන ටික පිට කරගත්තා.

"බොරු කියන්ඩ එපා.ඔයාට දැං මගෙං වැඩක් නෑනේ. ඔයා වෙන ගෑනියෙක් ගාවට ගියා නේද? ඔව් මම දන්නවා ඔයාට වෙන ගෑනියෙක් ඉන්නවා. ඔය ඒකිගේ සැන්ට් එකේ සුවඳත් එන්නේ. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ? මම මොන වරදක් කළාටද දෙයියනේ?" ඊවා වැළහින්නක් වගේ අඬන්න ගත්තා.

"මේ ලෝකේ වෙන ගෑනු නෑනෙ. ඉන්නේ ඔයා විතරනේ. ඇයි ඉතිං ඔයවගේ අභූත චෝදනා කරන්නේ?"

" නෑ මම දන්නවා ඔයාගේ වෙන සම්බන්ධයක් තියෙනවා. නැත්තං මේ මාවා තනියම ගෙදර දාලා පිට ගිහිල්ලා ඉන්නවද? මට මොනවා හරි උනත් ඔයාට ගාණක් නෑ."

" ඔයාට කාගෙන් මොනවා වෙන්නද? මේ ලෝකෙ ඉන්නේ ඔයයි මමයි විතරයි. අනිත් සත්තු ඔක්කොම අපේ යටතේ ඉන්නේ. ඔයා මොකාටද බය වෙන්නේ. අනික දැං මම  එක පාරකුත් කිව්වා මේ ලෝකේ වෙන ගෑනු නෑ. ඒ නිසා බොරු චෝදනා කරන්න එපා."

"වෙන ගෑනු නෑ......  තමුසෙ තව මට බොරු කියන්ඩත් එනවද? කෝ හැරෙනවා මේ පැත්ත."

"මොන හු......." ආදම් උඩ ගියේ ඊවා ඉළේට ඇඟිල්ලෙන් ඇන්න නිසා.

"ඔන්න බලනවා මේ පැත්තේ දොළහයි අනිත් පැත්තේ දොළහයි." ඊවා ආදම්ගේ ඉළ ඇට ගැන්නා.


" දැං මාව හැදුවේ වම් පැත්තේ ඉළ ඇටෙන් නං, කෝ දකුණු පැත්තේ දහතුං වෙනි ඉළ ඇටේ?"




06 May 2019

සතුටෙන්ම හිටපු මිනිසා 3



දැං ඉතිං මොකද කරන්නේ ආදම් බිම වාඩි උනා. මෙච්චර කල් ආදම් ජීවත් උනේ ඔහු කියපු කරපු දේවල් අනුමත කරපු සත්තු ටිකක් එක්ක.තමුං මාර පොරක් කියන මානසික තත්වේ තමයි ආදම් හිටියේ. දැං මේ ඇවිල්ලා ඉන්න ස්ත්‍රිය කියන සතා තමුංගේ බුද්ධි මට්ටමටම හදලා එවපු එකක් නිසා කොහොම ප්‍රතික්‍රියා කරයිද කියලා ආදම්ට හිතාගන්න බැරි උනා.

ටික වෙලාවකින් ඊවා අවදි උනා. ආදම් ත්‍රස්ත උනා. මොකකිං මොකක් වෙයිද දන්නෑ.කෝකටත් කියලා ආදම් කොණ්ඩේ ගැට එහෙම කඩලා පස්සට දාලා රැවුලේ තිබ්බ කෑම කෑලි ඇඟිලිවලින් පීරලා අයින් කරලා පොඩ්ඩක් පිළිවෙල උනා. කටට ඉස්සරහින් අල්ල තියලා පොඩ්ඩක් පිඹලා බැලුවේ කට ගඳද කියලා. අම්මට හුඩු කටේ ගඳ. කාටත් කියන්න රෑටත් මදින්න කිව්වට කළේ නැති ගොන්කම කියලා ආදම් හිතුවා. ඒත් කවුද හිතුවේ මේ ලෝකෙට මෙහෙම හුචක්කුවක් කඩා පාත් වෙයි කියලා.


ඊවා නැගිටලා හිරි ඇරලා (කියවන උඹලා එක එක කුණුහරුප මවාගෙන කුල්මත් උනාට ආදම්ට එහෙම මොකවත් හිතුනේ නෑ. තාම පාපයට මේ ගොල්ලො යොමු වෙලා තිබ්බේ නෑ.) වටපිට බලද්දි තමයි බිම උක්කුටිකයෙන් ඉඳගෙන උන්නු ආදම්ව දැක්කේ. ආදම්ගේ අංගජාතේ මහපොළොව දිහා බලාගෙන හිටියේ සමහරවිට ස්වර්ගේ ඉන්න කන්‍යාවො ආදම් ගැන හිතන්නේ නැතුව ඇති.

"හායි මම තමයි ඊව්. මම හිතන්නේ ඒගොල්ලො ඔයාට මෙසෙජ් එකක් එවලා ඇති නේද? අද ඉඳං මම තමයි ඔයාගේ පාට්නර්. අපිට පුළුවං කෝම්පිට්ටු හදන්න, එකට ෂොපිං යන්න, නාද්දි පිට අතුල්ලන්න, තුරුල් වෙලා දොයිය ගන්න, ඔලුවෙ කැක්කුම හැදුනම ඔලුව අතගාන්න."

"ම්..... ඇ... හා...." ආදම්ට කියවුනා.

"මොකෝ නිකං බයවෙලා වගේ. මීට කලින් ගෑනියෙක් දැකලා නෑ වගේ. ආ දැකලා නෑ නේන්නං. මටත් පිස්සු. මොනව කියවනවද මන්දා."

"ම්....නෑ....හා...." ආදම් හරියට ඇංජලා මර්කල් එක්ක සම්මුඛ සාකච්ඡාවක් කරන සිරිසේන වගේ ඔලුව වැනුවා.

"මොකෝ අනේ බීරංතට්ටු වෙලා ඉන්නේ. ඔයා ඔහොම ඉද්දි සෝ....ස්වීට්...අනේ." කියලා ඊවා ආදම්ගේ නිකටින් අල්ලලා හුරතලේට දෙපැත්තට වැනුවා.

"දැං ඉතිං ඔයා මාව හොඳට බලාගන්න ඔනේ.මට අනතුරක් වෙන්න නොදී. අව්වෙන් මාව කළු වෙන්නේ නැති වෙන්න අපි ගමනක් යනකොට කුඩේ ඉහලං යන්න ඕනේ.වැස්සට තෙමිලා මට හෙම්බා හැදෙන්න නොදී ඔලුව තෙමෙන්නැති වෙන්න ඔයාගේ අල්ල මගේ ඔලුවට උඩිං අල්ලන්න ඕනේ. පාර පනිද්දි මගේ අත අල්ලගෙන දෙපැත්ත බලලා මාව පාර පන්නන්න ඕනේ. ඉඳලා හිටලා හරි හොඳ රෙස්ටොරන්ට් එකකින් කන්න එක්ක යන්න ඕනේ." ඊවා කියාගෙන යනවා.

"මොන මළ මගුලක්ද යකෝ මේ කඩා පාත් උනේ?" කියලා ආදම් හිත යටින් කල්පනා කළා. " මම ගැන දුකක් කණගාටුවක් තිබ්බනං යකෝ සෙක්ස් ඩෝල් කෙනෙක් එව්වනං ඉවරනේ." මේ ප්‍රොජෙක්ට් එක අනුමත කරලා සල්ලි පාස් කරපු උන්ගේ අම්මා මුත්තට ඉඳං ආදම් පිං දුන්නා හිත යටිං.

"ඔක්කොටම කළිං මෙහෙම ගස් ගල් යට ඉන්ඩ බෑ ඒයි. අපි ලස්සන පොඩි ගෙයක් හදමු. ඔය ලොකු ලොකු දේවල් ඔනේ නෑ. ඇටෑච් බාත් රූම් එකක් ඕනේ බෙඩ් රූම් එකට. කිචන් එකට නං පැන්ට්‍රි ගහලා, ටයිල් කරගත්තේ නැත්තං අමාරුයි. මයික්‍රො වේව් අවන් එකක් නං ඕනෙමයි හොඳේ. ගෑස් නැතුවනං උයන්ඩ බෑ. මට බෑ බිම ඉඳගෙන ලිපට පිඹින්න. කොහෙ කොහෙ අළු යයිද දන්නෑ. ලිවිං රූම් එකට අර පාට පාට කුෂන් තියෙන එල් හැඩේ සෝෆා එකක් ගම්මු නේද? ඒකේ ඇලවෙලා අපි දෙන්නට පුළුවං දෙවෙනි ඉනිම බලන්න."

කියවලා කියවලා මහන්සි උනාට පස්සේ ඊවා ළඟ හිටපු හා පැටියෙක්ව තුරුලට අරගෙන හුරතල් කරන්න ගත්තා.ආදම් හිමින් සීරුවේ සද්දේ ඇහෙන්නැති තරමේ දුරකට පසු බැහැලා ස්වර්ගෙට යාඥා කරා.
"මොන මගුලක්ද දෙයියනේ මේ. මම මොන වැරැද්දක් කළාටද මට මෙහෙම ලෙඩ අදින්නේ?. මේ මල හෝන්තුව කියන කියන දේ කරන්ඩ මට කියලා ජීවිතයක් නැද්ද දෙයියනේ?" ආදම් දණින් වැටිලා අත්දෙක අහසට උස්සගෙන යදින්න පටං ගත්තා.

එක පාරටම අහසෙන් සද්දයක් ආවා.

" තොපට දැන් සගයෙක් ලැබී ඇත. ඇය රැක බලා ගැනීම සතුටු කිරීම තොපගේ වගකීම වන අතර මෙයින් මතු තොපගේ ගුණාගුණ, දක්ෂතාවය ආදිය මැන බැලෙන්නේ ඇයව තෘප්තිමත් කරන ආකාරයට අනුවය. ඇය සතුටෙන් තබා ගැනීමට තොපට හැකිනම් තොප සාර්ථක පුරුෂයෙක් ලෙස සැළකෙනු ඇත. ඇයව තොප වෙත එවීම අපගේ මහා සැළැස්මේ කොටසක් වන අතර ඒවා ප්‍රශ්න කිරීම තොපට තරම් නොවන දෙයක් බව මතක තබා ගනුව. ඔවර් ඇන්ඩ් අවුට්."

ආදම්ට පොළොවේ පස් කන්නට හිතුනේය. දැං කං කෙදිරි ගෑමෙන් පළක් නැත.අලුත් ජීවිත‍යට අනුවර්තනය වීම හෝ පාරාදීසයෙන් පලා යාම හෝ යන දෙකින් එකක් තොරාගත යුතුය. පාරාදීසයෙන් පළා යාමෙන් ඇති වැඩක් නැත. කොහේ ගියත් හොයාගන්නවා නියතය. ඔවුන්ගේ ඔත්තු සේවා එච්චරට බලවත්ය. ආදම් කැලේ එළිකොට ගෙයක් හදන්නට හිත හදාගත්තේය. රක්ෂිතය කපන්නේ නැතුව පරිවාර රක්ෂිතය කැපුවාට අවුලක් නැත. ඒවාට නඩු නැත. කැලේ කපන්න ඉක්මනට කඩු තිහ හතලිහක් හොයා ගත යුතුය. ඒ උනත් මෙච්චර ඝන සැරේට වැවිච්ච කැලේ කපන්නනම් ජෙලග්නයිට් සීෆෝ බයිසිකල් බෝල එහෙමත් උවමනා වියහැක.

ආදම් ඉඳං උන්න තැනිං නැගිටලා පස්සේ ඇනිලා තිබ්බ වැලි බොරළු පිහදාලා ලෑස්ති උනේ ඉක්මනට වැඩ පටං ගන්න.

"තාත්ති ඔයා ඕක පටං ගන්න කළිං පොල් ටිකක් ගාලා දීලා ඉන්නවද? " ඊවාගේ කටහඬ පඳුරු අතරින් පීරගෙන ආදම්ගේ කණට රිංගුවා.

"පොල්?...ගාන්න?... ඒ මොකටද?

"රොටී හදන්නනේ මැට්ටෝ. ආ තව එකක් ඔහොම බඩ තඩි අයටනම් මම කැමති නෑ. ඉක්මනට ජිම් ගිහිල්ලා සික්ස් පැක් හදාගන්න ඕනේ හොඳද?" එහෙම කිව්ව ඊවා අනිත් පැත්ත හැරිලා යද්දි තියන අඩියක් අඩියක් ගානේ නලියන තෙල් තට්ටු දිහා ආදම් උපේක්ෂාවෙන් බලාගෙන හිටියා.

මතු සම්බන්දයි


11 January 2019

සතුටෙන්ම හිටපු මිනිසා 2


ආදම් නැගිටලා ඔපරේෂන් කරපු තැන තුවාලෙත් අතින් තද කරගෙන හෙමිහිට අමුතු සතා වටේ රවුමක් ගියා. තොල් දෙක උඩිං දබර ඇඟිල්ල තියලා වටේ හිටපු සත්තු ටිකට සද්ද කරන්ඩ එපා කියලා සංඥා කළේ නින්ද කැඩෙන එකේ තියෙන කටුක බව ආදම් හොඳට දන්න නිසා.නිදාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක්ව උනත් ඇහැරවන එක පවු කියලා ආදම් දැනගෙන හිටියා.

සද්ද නොකර වටේ ඇවිදින ගමං ආදම් මේ අමුතු සතාව හොඳට අධ්‍යයනය කළා. 'අතපයනං මගේ වගේමයි' ආදම්ට හිතුනා.'හැබැයි මයිල් අඩුයි.සමහර විට "වීට්" ගාලාද නැත්තං වැක්ස් කරලා වෙන්ඩ බැරිද?' ආදම් හිත ඇතුලේ තර්ක කළා. 'පපුව ටිකක් එල්ලා වැටෙනවා නේද? .' ආදම් තමංගේ පපුව අත ගාලා බැලුවා.එච්චරම වෙනසක් නෑ.

කාලා නිදාගන්නවා ඇරෙන්න ආදම්ට වෙන වැඩක් තිබ්බේ නෑ. ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගන්ඩ කිසිම උවමනාවක් කවදාවත් ඇති උනේ නෑ. ඒ ගැන හිතෙන හැම වෙලේම ආදම් කල්පනා කළේ ' සල්ලිත් දීලා මොකටද අනුංගේ යකඩ උස්සන්නේ කියලා.

ඒ හින්දා ආදම්ගෙ සරීරෙයි සරුවට හැදිච්ච දිය ලබ්බකයි අතරේ ලොකු වෙනසක් තිබ්බේ නෑ. ඒ හින්දම ආදම්ට අමුතු සතාගේ සරීරෙයි තමුන්ංගේ සරීරෙයි අතරේ ලොකු වෙනසක් නෑ කියලමයි හිතුනේ. තවත් හොඳට බලද්දි තමයි අමුතු සතාට මුත්‍රා පොල්ලක් නැති බව දැක්කේ. 'හපොයි අසරණ සතා.' ආදම්ට දුක හිතුනා. 'යකෝ කොහොමෙයි දැං මේකා හිටගෙන මූත්‍රා කරන්නේ?'

නිල් අහස යට මද පවනේ මුත්‍රා කරන එකෙන් ආදම් ලැබුවේ ලොවෙත් සතුටක්. සමහර වෙලාවට ආදම් මුත්‍රා පාරෙන් පොළවේ තමුංගේ නම ලියන්ඩත් පුරුදු වෙලා හිටියා. මේ සතාට නම් ඒ කෙළි කරන්ඩ වෙන්නේ නෑ. සමහර විට ප්‍රොඩක්ෂන් එරර් එකක් වෙන්ඩ ඇති කියලා ආදම්ට හිතුනා. ' මොකෝ කවුරුවත් මේ වගේ අසාධාරණයක් කරනවද තමුංගේම නිර්මාණෙකට.

ආදම් වටපිට බැලුවේ බිලක්, වගකීම් සහතිකයක් හරි පාරිභෝගික පැමිණිළි අංශයේ නම්බරයක් හරි තියෙනවද කියලා. එතකොට තමයි ආදම් අමුතු සතාට පොඩ්ඩක් එහායි බිම තිබ්බ උපන්දින සුභපැතුම් පත දැක්කේ.ඒක දිග ඇරියම හැපි බර්ත් ඩේ ගීතයේ අනුවාදනයත් එක්ක ලයිට් කීපයක් පත්තු  උනා. ෆ්‍රොම් ක්‍රියේටර් ටු ක්‍රියේෂන් කියලා ඉංග්‍රරිසියෙන් ලියලා තිබ්බා. ආදම්ට ඒක එච්චර තේරුණේ නෑ. මේ විදිහට ගියොත් සමාජෙන් කොන් වෙලා යන්ඩ ඉඩ තියෙන නිසා ඔය නේවාසික ඉංග්‍රීසි කඳවුරකටවත් ගිහිල්ලා කඩ්ඩ පොඩ්ඩක් හදාගන්ඩ ඕනේ කියලා ආදම් ඒ වෙලාවෙ තමුන්ටම දිවුර ගත්තා.

ආදම් බ්‍රෝ... යුෂ්මතා තනිවම මේ පෘථිවි තලයෙහි ගෙවූ කටුක ජීවිතය දැක අපගේ සිත කම්පා වී ඇත. දෙවෙනි ඉනිම බලා යූටියුභි කොමෙන්ට් කොටනා ගෑනු මෙන්, ඔබේ දුක බලා අපේ ගෑනු දෙව්ලොව අමු අපායක් කරති. එහෙයින් වහාම ඒකාබද්ධ අරමුදලෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන තොපට ජීවන සහකාරියක් ලබා දෙන්නට අප තීරණය කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.

තොපගේ සිතුම් පැතුම් ගති පැවතුම් සහ උවමනා එපාකම්වලට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ ගතිගුණ සහිතව මවා ඇති ඇය ස්ත්‍රිය නොහොත් අඹුව නොහොත් ඊවා යනුවෙන් නම් කොට ඇත. තොපට ප්‍රතිවිරුද්ද ලෙස ඇය නිමවා ඇත්තේ තොප දෙදෙනා අතර තරඟයක් ඇතිවීම වැළැක්වීමටය. ඈ හා සතුටින් වෙසෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ස්තූතියි.

(ඔබ අපගේ නිශ්පාදනය කෙරේ සෑහීමකට පත් නොවන්නේ නම් අඩු රේටිං එකක් දීමට පෙර අප අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ එකම අරමුණ පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමයි.)

ආදම්ගේ පපුව හෝස් ගාලා ගියා.'කවුද යකෝ කිව්වේ මම අප්සට් එකේ ඉන්නවා කියලා? සංතෝසෙන් හිටපු ආදම්ගේ පාත්තරේට ඊවා කඩාගෙන වැටුනා. ඒක හරියට උදේම ජොගිං යන එකෙක් දැක්කම බලෙං වාහනේ දාගෙන ගිහිං බස්සනවා වගේ වැඩක්. දැං ඉතිං මොකෝ කරන්නේ? ආදම් ඔලුව අල්ලගෙන බිම වාඩි උනා.




තව ටිකක් ආයෙ පස්සෙ දවසක ඈ....


07 January 2019

සතුටෙන්ම හිටපු මිනිසා



ආදම් හිටියේ තනියම. අම්මා තාත්තා කවුද කියන්ඩ ආදම් දැනං හිටියේ නෑ. ඒ ගැන අහන්ඩ කවුරුත් හිටියෙත් නෑ. ආදම්ගේ උප්පැන්න සහතිකේ ඉස්කෝලෙට දාන වෙලාවෙවත් ඕනේ උනේ නැත්තේ ආදම් ඉස්කෝලෙ ගියේ නැති හින්දා. කොටිම්ම ආදම්ට ළමා කාලයක් තිබ්බේ නෑ. එහෙමයි කියලා කවුරුත් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කළේ නෑ. ආදම්ට ඒක ගැන ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ.

උන්දෑ උදේ හිතිච්ච වෙලාවට නැගිට්ටා. එලාර්ම් ඔරලෝසුවක් ගන්ඩ ඕනෙ උනත් ආදම් ඒක ගැන එච්චර උනන්දු උනේ නෑ. ෆෝන් එකක් ගත්තනං ඒකෙම එලාර්ම් එක තියන්ඩත් තිබ්බා කියලත් වෙලාවකට ආදම්ට හිතුනා.ඒත් ෆෝන් එකක් අරගෙන කාට කෝල් කරන්ඩද? ආදම් කාගෙවත් ෆෝන් නම්බර් එකක් දැනං හිටියේ නෑනේ.

උදේට නැගිටලා දත් මැද්දේ නැමි දෙකේ මිට සහිත කුරුඳු කෝට්ටෙං. උදේ කෑම රජෙක් වගේ කන්න කියලා කියන්න ක්වුරුත් හිටියේ නැති හින්දා ඔය අහුවෙච්ච දෙයක් කාලා කක්කි දාන්ඩ හිතිච්ච තැනක වාඩි උනා.සුද්දෝ වගේ පස්ස පිහදානවද නැත්තං ආසියාවේ උං වගේ වතුර දාලා හෝදනවද කියලා නියමයක් ආදම්ට තිබ්බේ නෑ. හිතිච්ච දවසට හේදුවා. හිතිච්ච දවසට පිහ දැම්මා. එකම දේ උනේ කලිං දවසේ කක්කි දාපු පැත්තට අනිත් දවසේ නොගිහිං ඉන්න කල්පනාවෙං ඉන්ඩ උන එක විතරයි. උදේ පාන්දරම කක්කි බෙට්ටක් පාග ගන්න එක විතරක් නෙමෙයි ඒක දාපු එකත් තමංම උනාම කාට කියලා බණින්නද? .

කොටිම්ම කිව්වොත් ආදම් සන්තෝසෙං හිටියා. දවස පුරාම රස්තියාදු ගහලා හිතිච්ච තැනක නිදාගත්තා. "තමුසේ දැම්ම එන්නැද්ද?" කියලා කෝල් දෙන්න කවුරුත් හිටියේ නෑ.

වෙන විදිහකට කිව්වොත් ආදම්ට ප්‍රශ්න තිබ්බෙත් නෑ. රුපියල පාවෙන එක, තේවර්ප්පෙරුම ෆොන්සේකා රෙදි ගලවා ගැනිල්ල වගේ දේවල් විතරක් නෙමෙයි වසන්ත සේනානායක දැං ඇත්තටම කොයි පක්ශෙද වගේ අපිට තියෙන ප්‍රශ්න මොකුත් ආදම්ට තිබ්බේ නෑ. රෑ උනාම වට පිටාව පේන්නැති උනාම වැටිච්ච තැනක නිදා ගත්තා. වැස්ස දවසක් නං තෙමෙන්නැති තැනක් හොයා ගන්ඩ ඕනේ. එච්චරයි.

තව පොඩ්ඩෙං අමතක වෙනවා, ආදම්ට රෙදි තිබ්බෙත් නෑනේ අඳින්න.ඒ ගැන අවුලක් තිබ්බෙත් නෑ. මොකෝ ආදම්ගෙ හෙළුව බලලා හූ කියන්ඩ වගේම සංස්කෘතිය සභ්‍යත්වය ගැන කියලා පොර ටෝක් දෙන්න කවුරුවත් හිටියෙත් නෑ. ප්‍රසිද්ධ ස්ථානෙක ඩෙනිම් කලිසමක් ඇඳං ඉද්දි වෘෂණ කෝෂේ යට පැත්තේ කැසිල්ලක් ආවම ඇති වෙන අපහසුවට ආදම් කවදාවත් මුහුණ දුන්නේ නෑ. ඉස්සුවා කැසුවා. සන්තෝසෙන් පහසුවෙන් හිටියා.

ආදම් මෙහෙම තෘප්තිමත් ජීවිතයක් ගෙනියන එක දෙයියන්ට එච්චර ඇල්ලුවේ නෑ. කිසි හැපනිං එකක් නෑ. ඌ ඔහේ ෆන් එකේ ඉන්නවා. චිත්‍රපටියක උනත් ෆයිට් එකක් දෙකක් නැත්තං කිසි රහක් නෑ. දෙයියෝ හිතුවා ආදම්ගේ ආතල් එක කඩන්න.

පහුවදා උදේ ආදම් ඇහැරුනේ ගොරවන සද්දෙකට. සමහර සීතල දවස්වලට සිංහයා ඇවිල්ලා ආදම්ට හේත්තුවක් දාලා නිදාගන්නවා. ඒ නිසා ආදම් හිතුවේ අදත් සිංහයා හේත්තුවක් දාගෙන නිදි කියලා. ඒ උනාට ඌ කවදාවත් ආදම්ගෙ ඇඟ උඩිං කකුල දාන්නේ නෑ. ඒ විතරක් යෑ ආදම් සීතලට පොරවගෙන හිටපු කොළ අතු ටිකත් කවුරු හරි අරගෙන.

ආදම් නිදිමතේම අනිත් පැත්තට හැරෙන්න හැදුවා. බුදු අම්මෝ කියලා කෑගැහෙන්ඩ ගිය එක ආදම් නවත්තගත්තේ අමාරුවෙං. පපුවේ යට හරියට වෙන්ඩ දරුණු වේදනාවක් ආවා.හෙමිහිට අල්ලලා බලද්දි මෙන්න බොලේ මැහුම් පාරක් තියෙනවා. යකෝ කවුරු හරි වකුගඩුවකට වැඩක් දීලද දන්නෑ කියලා ආදම්ට හිතුනා. හිතට පොඩි සහනයක් ආවෙ මේක ඉන්දියාව නෙමෙයි කියලා මතක් උනාම.



අමාරුවෙන් පැත්තට හැරිච්ච ආදම් දැක්කෙ පුදුම සතෙක්ව. ආදම් පොරවගෙන හිටපු කොළ අතු ටිකත් පොරවගෙන ලතාවකට ගොරව ගොරව නිදියන මේ අරුම පුදුම සතා මොකාද කියලා ආදම්ට හිතාගන්න බැරි උනා. පාරාදීසේ ටික කාලයක් ඉන්න කොට එක එකා එක්ක වලි දාගෙන තොපිත් එක්ක ඉන්ඩැ බෑ මං යනවා මුහුදෙ පනින්න කියලා ගිය ඩොල්ෆින් හරි තල්මහෙක් හරි වෙන්ඩ බැරිද? ඒ උනාට උංට දිග කොණ්ඩයක් තිබ්බේ නෑනේ. ආදම් කවදාවත් තමංව කණ්ණාඩියකිං දැකලා තිබ්බේ නෑ. ඒක නිසා මේ අරුම සතා මොන ජාතියේ එකෙක්ද කියලා එක පාරට අඳුන ගන්න බැරි උනා.

ටික ටික වටේ පිටේ අනික් සත්තුත් මේ අමුතු සතා බලන්න වට උනා. අයිස්ක්‍රීම් කාරයෝ, අන්නාසි වෙළෙන්දෝ, කඩල වෙළෙන්දෝ නරඹන්නන් අතරේ රිංගලා බිස්නස් එකක් කරගත්තා. මේ සද්ද බද්ද මැද්දෙත් අමුතු සතා නිදාගෙනම හිටියා.



ඉතුරු කොටස ආයෙ වෙලාවක් හම්බ උනාම ලියන්නං....


17 November 2018

වැරදුනේ කාටද?





"අඩෝ මොනවද බං උඹ කරන්නේ?" සිතුමා ගේ ඇතුලටම ඇවිල්ලා. මුංගේ නෑනේ ඔය මැනර්ස් කියන ජාතිය ගෑවිලාවත්.ගෙවල් ඇතුලටම රිංගනවා නිකමට අහන්නෑ ඇතුලට එන්ඩද කියලා.සමහර විට ඌත් සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරනවද දන්නෑ ගෙවල් ඇතුලේ ඉන්න උන්ට මෝල් අමාරුව තියෙනවද කියලා. මොනවා උනත් ගෙදෙට්ට ආපු එකෙක්ට බණින එක අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ නිසා මම මොකුත් කිව්වේ නෑ.

"අඩෝ උඹ පාඩං කරනවද? මේ වයසට ගිහිල්ලා පිනක් දහමක් කරන් ඉන්නැතුව මොන විභාගද බං."

"විභාග රෙද්දක් නෙමෙයි බං, මම මේ ව්‍යවස්ථාව කියවනවා. සිරාගෙ අසූචි වැඩ හින්දා බලහං අපිට වෙච්ච දේ."

"ඉතිං යකෝ උබ ඕකේ මොනවද බලන්නේ? "
"ඇයි බං, එකෙක් කියනවා 42. ඇ. අනුව ඒක හරිලු.තව එකෙක් කියන්වා 70. ඉ. අනුව ඒක වැරදියිලු. තව එකෙක් කියනවා 58.ඒ. අනුව දැම්ම මතයක් කියන්ඩ බෑලු. අනික බං ඔය ලීගල් පොයින්ට් දෙන උං කරලා තියෙන වැඩ දැක්කම ඔය යක්කු කියන ඒවා සත පහකට විස්වාස කරන්ඩ බෑනේ."

"ඉතිං දැං උබේ නිගමනය මොකක්ද?"

මගේ අවසාන නිගමනය ඇවිල්ලා අපේ රටේ ඉන්න උංගේ සක්ෂරතාව අච්චරයි මෙච්චරයි කියලා පම්පෝරි ගැහුවට එකෙක්ටවත් හරියට ගලපලා වාක්කියක් ලියාගන්ඩ බෑ කියන එක. අපේ උංගේ වැඩ වගේම තමා උඩිං එකක් කියලා යටිං තව එකක් කියලා.මොකක්ද බලහං මේකේ වැඩේ. යකෝ රටේ වැදගත්ම ලියවිල්ල නේද? මොකෝ කෑල්ලටැ ලියන ලව් ලෙටර් එකක් නෙමෙයිනේ. හා නැද්ද? ඕක ටිකක් වෙලාව අරගෙන සෝදුපත් කියවලා එහෙමනේ බං සම්මත කරගන්න ඕනේ."

"මං ඔච්චර ඕවා දන්නෑ මචං පොඩ්ඩක් ඕක දියං අව්වට අල්ලලා බැලුවනං හිල් තියෙනවද කියලා පෙනෙයි. ඔය කට්ටිය කියන්නේ වියවස්ථාවේ හරියට හිල් කියලා. කාවො කාලා වෙන්ඩෑ මං හිතන්නේ."

" මෙන්න මෙහෙ දියං ඕක. කාවෝ කන්ඩ ඕනෑ තොගෙ අහවල් එක."

"මොනවා උනත් මචං මහින්ද මහත්තයා ආයේ අගමැති උනේ මේකේ හිල් තිබ්බ හින්දනේ මොකෝ කියන්නේ?"

"මහින්ද අගමැති උනත් අවුලක් නෑ.පොරට චන්දේ දුන්නත් අවුලක් නෑ. ඒ උනාට පොරට මහින්ද මහත්තයා කියන උං ඉන්නවා නේද? අන්න උං තමා නියම වහල්ලු."

"ඇයි යකෝ අපි වැදගත් විදිහට මනුස්සයෙක්ට කතා කළාම මොකද?"

"පොරට විතරක් මහත්තයා කියන්නේ කියහංකෝ සිරාටත් මහත්තයා කියලා. එහෙම නැත්තං මහින්ද වටේ ඉන්න අනිත් උන්ට මහත්තයා කියලා කියලා බලපං. ප්‍රසන්න රණවීර මහත්තයා, බැසිල් මහත්තයා, නාමල් මහත්තයා, රත්තරං මහත්තයා, මහින්දානන්ද මහත්තයා මරු මහත්තුරු ටික බං."

"ඇයි එතකොට උඹ කියන්නේ අනිත් පැත්තේ ඉන්නේ මහත්තුරුද?"

"මම දැං එහෙම කිව්වද? නෑනේ. රාජිතයා, රනිලා, සජියා, සුජියා ඔය ඔක්කොම හොරු, මංකොල්ලකාරයෝ තමා."

"ඉතිං දැං උඹලා මහලොකුවට සිරාට දීලා ඔය කරගත්තේ. ලැජ්ජ නැද්ද යකෝ. ඌ දිනපු එකෙං වෙච්ච හොඳේ මොකක්ද කියහං."

" ඇයි යකෝ ඒ හිපාටුවා දින්න හින්දනේ මහින්දයා පැරදුනේ. මහින්ද එදා දින්නනං උබ හිතන්නේ අද රට සුඛිත මුදිතයි, ඕස්ට්‍රේලියාවේ උනුත් ලංකාවට බෝට්ටුවෙං හොරෙන් එන සයිස් එකට නග්ගලා ඇමරිකන් ඩොලර් එක සත ගාණට ගිහිල්ලා අපි ඇමරිකාවට ආර්ථික කුළී ඝාතකයො බස්සන ගාණට එන්ඩ තිබ්බා කියලද? නෑනේ බං. රනිලා කෑව විදිහටම උංගෙ සෙට් එකත් මේක කාලා අද අපි අරුන්ට බණිනවා වගේ මුන්ට බැණ බැණ ඉන්න තිබ්බා."

"උඹට එහෙම කියන්ඩ බෑනේ. මහින්ද මහත්තයා රට ගොඩදාගෙනනේ බං ආවේ."

"උඹ මැරිලා ඉපදුනාට මම මැරිලා ඉපදුනේ නෑ බං.මහින්ද අන්තිම කාලේ දාපු ඩිස්ටි ඩිඩිං මටනං මතකයි."

"දැං උඹ කියන්නේ රනිලට ඡන්දේ දෙන්ඩ කියලද? තොප්පිගලයා, සමනළයා"

"ඔය බලහංකෝ ඉතිං, මම දැං එහෙම කිව්වද කියහංකෝ. උං මහ පට්ට හොරුනේ බං. දීපං ස්වාධීන එකෙක්ට. මුං දෙගොල්ලොම හොරු කියලා සීයට සීයක් ෂුවර්නේ බං. අලුතෙන් එන එකෙක් හොරකං නොකරන්ඩ පොඩි හරි චාන්ස් එකක් තියෙනවනේ බං. ඉතිං ඒ චාන්ස් එක ගම්මු."

"අළුත් උන්ට තේරෙනවද බං රටක් පාළනේ කරන්ඩ? දෙනකොට දෙන්ඩ ඔනේ පරිණත කෘතහස්ත ඩෑල් එකකට."

"ඔය පරිණත කෘතහස්ත ඩෑල් එකකින් උගේ අමාත්‍යංශේ ගැන හරි ව්‍යවස්ථාව ගැන හරි රටේ ආර්ථිකේ ගැන හරි අහලා බලපං අන්න එතකොට උඹට තේරෙයි උං රෙද්දේ පරිණත කම. උං දන්නවට වඩා දේවල් අපි දන්නවා බං. උඹ උනත් දන්නවා උංට වඩා."

"උඹ දීලා බලහංකෝ ඔය ආධුනික ඩෑල් රට කරන්ඩ ගිහිල්ලා පිස්සු නටනකොට උඹට තේරෙයි."

"එහෙම වෙන්නෑ බං.මොකා හිටියත් වෙනසක් වෙන්නෑ. මොකෙක්වත් නොහිටියත් මොකුත් වෙන්නෑ. දැං මේ සති දෙකක් තිස්සේ රට දුවන්නේ අගමැතියා මොකාද, ඇමති මණ්ඩලේ මොක්කුද ඉන්නේ කියලා කවුරුවත් දන්නේ නැතුව.එකම වෙනස මොකෙක් හරි පත් උනොත් ඌට අළුතෙන් වාහන ගන්නවා, බිල්ඩිමක් ගන්නවා සබීතාපාය වගේ, ඊට පස්සේ ලේකම්ලා අරුං මුං ඔක්කොම අරගෙන ලෙටර්හෙඩ්, ෆයිල් කවර හිටං වෙනස් කරන්ඩ සල්ලි වියදං කරන එක තමා වෙන්නේ. උඹ ඔය කොහෙද යන්නේ? හිටහං තවම කියලා ඉවර නෑ."

"වැඩක් නෑ බං. උඹලා වගේ හැම එකාටම බණින ගන්ධබ්බයෝ එක්ක කතා කරලා වැඩක් නෑ. ජෙප්පංගේ හැටි ඔහොම තමා."

"ඔන්න බලහංකො ඉතිං. දැං මම කිව්වද මම ජෙප්පෙක් කියලා.උං කරන සමාජවාදයක් නෑ.ශේප් එකේ රනිලගේ ගේම් ටික ගහනවා ඇරෙන්ඩ.හොර යක්කු.පව් උංගේ පෝස්ටර් අලෝන පෙලපාලිවලට යන කොල්ලො."

"වැඩක්ම නෑ බං.වාද කරන්ඩ පුළුවං කාට හරි කඩේ යන එකෙක් එක්ක බං. උඹලා වගේ උං එක්ක මේවා කතා කළාම අපි නිකං බැණුං අහන එක වෙන්නේ."

"ඇත්ත බං.වැඩක් නෑ තමා.මම කොච්චර කිව්වත් මහින්ද කොච්චර හොරකං කළා කිව්වත් උඹලා ඌට ඡන්දෙ දානවා. රනිලට කඩේ යන උං මහබැංකුව ඉස්සරහ ඡන්ද පෙට්ටියක් තිබ්බත් පයින් හරි ඇවිල්ලා රනිලට ඡන්දෙ දානවා. ඕක මචං අන්ධ භක්තියක්. උඹලත් එක්ක මේක ගැන කතා කරන එකයි මුස්ලිම් එකෙක්ට අල්ලා නෑ කියලා කියන එකයි දෙකම එකයි බං.මාත් යනවා ලයිබ්‍රියට දණ්ඩනීති සංග්‍රහයෙ කොපියක් හොයා ගන්ඩ.නඩුව කල් දැම්මට ඒක අහන්ඩ ගත්තම ඒක ගැනත් දැනං ඉන්න එක හොඳයි."


06 November 2018

සිරි ලංකා .....මං ආදරෙයි අහස තරං....




දැං අපිට අගමැතිලා දෙන්නෙක් ඉන්නවාය. ඒ දෙන්නාම අපිට කොරන්න පුදුම විදිහට දත කන නිසා තව ජුන්ඩ දවසකින් රට සුඛිත මුදිත වෙලා ලංකාව ලෝකේ විරාජමාන වෙලා යනවාය. ඇමති මණ්ඩලෙත් දෙන්නා දෙන්නා ඉන්න නිසා අමාත්‍යංශ ඉස්සරටත් වඩා කාර්යක්ෂම වෙලා මිනිස්සුන්ට ගෙදරටම ඇවිල්ලා ඕනේ කරන වැඩ ටික කරලා දෙනවා ඇතිය. ආයේ කන්තෝරු ගානේ රස්තියාදු වෙන්නට කොහෙත්ම අවශ්‍ය නැතිය. සහන මල්ල අරං ගෙදරටම ඇවිල්ලා දීලා යනවා ඇත. හුදී ජනයා වන අපට කරන්න ඇත්තේ කකුල් දෙක උඩ දාගෙන අංගජාතෙට හීල් හුළං පාරක් වදිද්දී ටීවී පෙට්ටිය දිහා බලියං ඉන්න එකය. එක එකාගේ ලංසුව කීයද කියලා අනුමාන කරන එකය.

රනිල් අංකල්ගේ ආර්ථික මෙව්වා එක නිසා ඩොලර් එක පච වෙලා ගියේය. ට්‍රම්ප් මහත්තයා පොළොවේ හැපිලා ඇඬූ වග අල්ජසීරාවේ, බීබීසීයේ, ලක්බිම පත්තරේ මුල්පිටුවේ ගියේය.පුටින්ටත්, ජිං පිංටත් කලිසමේ කක්කි ගිහිල්ලා තිබ්බේය. එච්චරට දියුණු කරගෙන ගිය ආර්ථිකේ මහියා අතට ගත්තේය. දැං මුළු ලෝකෙම දෑස් දල්වා බලාගෙන ඉන්නේ ඊළඟට මොන ගිනි විජ්ජුම්බරයක් කරයිද කියලාය. අපේ රටේ ඒක පුද්ගල ආදායම සිංගප්පූරුවේ දල ජාතික නිශ්පාදනයට දැනටමත් සමාන නිසා මෙතනින් එහාට රට දියුණු කරන්නට ඉඩක් නැති බවත් අඟහරු බ්‍රහස්පති යුරේනස් නැප්චූන් ආදී අනෙකුත් ග්‍රහලෝක දක්වා ලංකාවේ ව්‍යාප්තිය වැඩි කර සෞරග්‍රහ මණ්ඩලයේම බලය අත්පත් කරගනු ඇති බවට ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ මතය වී ඇත.

කිසිවෙකුත් නොදන්නා මෙහෙයුමකට මීට වසර කීපයකට පෙර අභ්‍යාවකාශගත කල චී චී යානය යොදාගෙන දැනටමත් කුයිපර් පටියේ අභ්‍යාවකාශ යානා ධාවන පථයක් නිර්මාණය කර ඇති බව කියැවේ.මේ සඳහා රණවිරු සාමාජිකයින් වැලි කොට්ටා ගෙන යන අයුරු සඳහන් වන සීසීටීවී දර්ශන කිහිපයක් අන්තර්ජාලයට එක්කර ඇත.

අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා තරම් ජාතිමාමක දේශ හිතෛශී ජනහිතකාමි නිර්ලෝභී අල්පේච්ඡ ඈයින් බ්‍රහ්මලෝකේවත් නැති අතර එක රැයින් එකට හිටපු උන්ගේ ගුණදොස් දැක ගැනීමේ විශේෂ හැකියාවකින්ද යුක්තය. එච්චර කල් එකට හිටපු එකා හොරෙක් බව සුටුස් ගා අවබෝධ වීමත් සමග පටස් ගාලා ප්‍රගතශීලී පෙරමුණට එක්ව රට ගොඩනැගීමේ වැඩ පිළිවෙලට අඛණ්ඩව දායකත්වය දැක්වීමට වග බලාගෙන සිටින්නා වූ උත්තම සත්ත්ව කොට්ඨාසයක් වන නිසා අකනිටා බඹ ලෝකයේ ඉන්නා සැට් එක ලැජ්ජාවෙන් මුසපත්වී කිසිවක් කර කියාගත නොහැකිව සැඟවී සිටිති.

අපේ නායකයින්ගේ උදාර ජීවන චර්යාවත් මහත්මා ගතිගුණත් දැක ඒ අනුවම වැඩ කරන කාර්යක්ෂම රාජ්‍ය නිළධාරී සැට් එකද රටට ආබරණයකි.ජනතා සිතුම්පැතුම් වහා හඳුනාගෙන ඒ අනුව ක්ෂණික තීන්දු තීරණ ගෙන වහා ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණයේ යෝධ ශක්තියනම් මේ රාජ්‍ය නිළධාරීන් කණ්ඩායමය. මුදලට නොනැමෙන, නිහතමානී මේ මහත්ම මහත්මීන් ජනතාවට දක්වන ගෞරවාදරය දැක පාප්වහන්සේද කම්පාවට පත් වූ සේක.ජපානයේ පෙළපොත්වලට පවා ඇතුලත් කර ඇති මේ ජනතා සේවකයින් පිළිබඳ වෘතාන්තය කියවා ජපන් ජාතිකයින් විශ්මයෙන් විශ්මයට පත්වැ ලංකාව දෙස බලා උදේ හවස පහන් පත්තු කරති.

විද්‍යාදී විශයන් පරතෙරට අධ්‍යයනය කර ඇති අපේ රටේ ජනතාව තිර්ශ්චීන විද්‍යාවන් හෙලා දකිමින් නව ලොවකට මංපාදාගෙන ඇත්තෝය. යුරෝපා සංගමයට ලංකාවෙන් ආධාර ලබා දීමට නම් ජ්‍යෝතිශ්‍යය වැනි මුග්ධ විද්‍යාවන් පසු පස යෑම නවතා නව මාවතකට යුරෝපා ජනතාව යොමු කරගත යුතු බැව් අපේ ජනපතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පැවසීය.අපේ ජනපතිතුමාගේ තේජස හමුවේ සෙසු රාජ්‍ය නායකයින්ට සුළු දිය පහවන බැවින් සෑම රැස්වීමකටම පසුව ශාලාව පිරිසිඳු කිරීමට සිදුවී ඇති බැව් ශාලාවේ සංවිධායකයින් පවසයි.

නායක කාරකාදීන්ගේ හැකියාවන් සහ පරිකල්පන ශක්තිය කෙසේ වෙතත් වැඩියෙන්ම පැසසිය යුත්තේ ලාංකික හුදී ජනතාවය. එතරම් බුද්ධිමත්, කාර්යක්ෂම්, ජනතාවාදී පාලකයින් සිය ඡන්ද බලයෙන් තෝරා පාර්ලිමේන්තු යවන්නේ එකී දේශපාලනිකව සබුද්ධික, ප්‍රඥාවන්ත ජනතාවම වීම නිසාය.


14 July 2018

ශිංගල්ස් කියන දෙයියංගේ ලෙඩේ



ඔය දෙයියන්ගේ ලෙඩ කියලා කියන ලෙඩ තියෙනවා නේද? ඕවා ඇවිල්ලා දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා ජාතියේ ඒවා. නැතුව මේ කොහෙවත් ඉන්න මිනිස්සුන්ට ලෙඩ හදවන්න දෙයියන්ට අමු කැවිලද? නැත්තං දෙයියංගේ හාල් කැවිලද? මම වැඩ කරන වාට්ටුවේ මාත් එක්ක වැඩ කරන අනිත් එකී ( එකී කියන එක හරි නැති වෙන්න පුළුවං.ඒක කාන්තා විමුක්තියට සබ්බත්තෙට නිගාවක් වෙන්න පුළුවං. ඒ උනත් කරන්න දෙයක් නෑ. මම ඇවිල්ලා මහත්තයෝ නියම ගොඩයෙක්. ඒ කිව්වේ ආයේ ඔය සිරාටත් වඩා හෙන ගොඩයා. ඉතිං ඔය කාන්තා සබ්බත්තේ සදාචාරේ ගැන එහෙමට ගැම්මක් හිතට එන්නේ නෑ.) පුළුවං තරං බලන්නේ වැඩ මග ඇරලා ඉන්න.මේකි ගෙදර ප්‍රශ්න අරවා මේවා කිය කිය ඔක්කොම වැඩ මට දාලා ශේප් වෙන්ඩමයි බලන්නේ. ඉතිං මේකිට ගේමක් අදින්න විදිහක් කල්පනා කර කර හිටියේ මං සෑහෙන දවසක් ඉඳං.

ඉතිං ගොනෝ උඹට තිබ්බනේ ඕකිට හොඳ කුණුහබ්බ දෙක තුනක් කියලා දාන්න කියලා කවුරු හරි වැදගත් මහත්තයෙක් නෝනා කෙනෙක් අහන්න පුළුවං.(ඔය වගේ උපදෙස් වැඩිපුරම දෙන්නේ නෝනලා.මොකද ඔය ෆේස් බුක් එකේ හරි සමාජයක් ඉස්සරහා දොඩවද්දි හරි කාන්තා අභිවුද්දිය, සමානාත්මතාව, කාන්තා විමුක්තිය ගැන දෙඩෙව්වට හිතේ තියෙන කුහක කම එළියට එන්නෙ තනි පංගලමේ කතා කරලා බලද්දි තමයි.) කොහොම උනත් මම කොච්චර ගොඩයා ගැමියා උනත් එහෙම කාගෙ උනත් මූනට කඩං පැනලා ප්‍රශ්න විසඳන්ඩ පුළුවං කියලා මම හිතන්නේ නෑ. බයට කවිද යකෝ කිව්වේ බයට කියලා. බයක් නැත්තෙමත් නෑ තමයි. ඒ උනත් එහෙමයි කියලා බණින්න ඕනේ වෙලාවට නොබැණ ඉන්නෙත් නෑ.

මේකිටත් එක දවසක් ඇද්දා ගේමක්.පස්සේ ඒකිම ඇවිල්ල ශේප් උනා.එක දවසක් මම හවස හතට විතර වාට්ටුවට යනකොට ඇටෙන්ඩන්ලා කවුරුත් නෑ වාට්ටුවේ.උදේ හිටපු එකී කළිං ගිහිල්ලා රෑට එන්ඩ ඉන්න එකා ඇවිල්ලා නෑ. ලෙඩ්ඩුන්ට කෑම ගෙනල්ලා දීලත් නෑ. ඉස්පිරිතාලෙ කෑම කන්න බෑ තමයි. එහෙමයි කියලා ආණ්ඩුව ගානේ නිකන් දෙන එක ලෙඩ්ඩුන්ට නොදී ඉන්න බෑනේ. ගත්තා එවෙලෙම ඉස්පිරිතාලෙ ඕවර්සියර්ට කෝල් එකක්.කිව්වා විස්තරේ. ඇටෙන්ඩන් කෙනෙක් දැම්ම එව්වෙ නැත්තං එවනවා ඔක්කොම ලෙඩ්ඩු ටික ඔතෙන්ට. ටික වෙලාවකින් එනවා වෙන කොහෙද තැනක වැඩ කරන ඇටෙන්ඩන් කෙනෙක්. ඌත් එන්නෙ බැණ බැණ. මොන මගුලක්ද අප්පා අතෙන්ට යන්ඩ කියනවා මෙතෙන්ට යන්ඩ කියනවා (පොර මේවා කිව්වේ දෙමළෙන්. මුනියා දෙමළනේ. ඌ හිතුවේ මට තේරෙන්නෙ නෑ කියලා. ඒවා කොහෙද මාත් එක්ක. කොඤ්ඤ කොඤ්ඤ තමිළ් තෙරියුම් සරියා.) අයියා මේ ඒවා මේවා වානා. කෑම තමයි ඕනා.( දෙමළ තේරුණාට සිංහල තරමට බැරි හින්දා මම ඇදලා අරින්නේ සිංහලෙන්. ඌට මට වගේ නෙමෙයි සිංහල නල්ල තෙරියුම්.) ඊට පස්සේ ගත්තා වාට්ටුවේ පැමිණිළි පොත. ලිව්වා නම් ගම් වෙලාවල් ඔක්කොම දාලා ඩිරෙක්ටර්ට පැමිණිල්ලක්. පහුවදා උදේම වාට්ටුවේ ඇටෙන්ඩන් අතේම යැව්වා ඩිරෙක්ටර්ට පැමිණිලි පොත. ඇටෙන්ඩන් එනවා අඬ අඬා. අනේ ඩොක්ට මාත් එක්ක තරහා වෙන්න එපා. මම අනිත් එක්කෙනා එනකං බලං ඉඳලා ඉඳලා තමයි ගියේ. චී චී මම මොකටද තරහා වෙන්නේ.ඔයාලා ඕනේ ලබ්බක් කරගත්තට මට කමක් නෑ. හැබැයි වාට්ටුවේ ඔයාලගෙ වැඩ ටික කරලා තියෙන්න ඕනේ.නැත්තං මම බණින්නේ නෑ ආයෙමත් කම්ප්ලේන් එකක් ලියලා ඔයාලා අතේම ඩිරෙක්ටර්ට යවනවා. එච්චරයි. ඔන්න ඔහොමයි මහත්තයෝ මම වැඩ කරගන්නේ.

ආයෙමත් එමුකෝ දවසේ කතාවට . ඔන්න මම දැං කල්පනා කර කර කර කර කර කර කර කර ඉන්නවා. ඔන්නොහොම දවසක් දෙකක් යනකොට මගේ වම් අතේ කිහිල්ල ( චීයා අනේ කිහිල්ල කියන්න එපා මෙයා අත් යට කියන්න අර ඩියොඩ්‍රන්ට් ඇඩ් එකේ වගේ.) හරියේ සමේ වේදනාවක් එන්න ගත්තා. වේදනාවක් කිව්වට ඇල්ලුවොත් තමයි වේදනාව එන්නේ. ඒ කියන්නේ අධිසංවේදීතාවක්. (Hyperalgesia කියලා තමයි පාලි සංස්කෘත ලතින්වලින් කියන්නේ.) ඔන්න ඕක දවසක් දෙකක් තිබිලා එනවා උණක්. දැං ඉතිං පලයංකෝ දොස්තර කෙනෙක් හොයාගෙන. දොස්තරලා මහා කුහකයොනෙ. ඉස්පිරිතාලෙට ගියොත් ආයේ ඉතිං වැරදියට හැරුණත් බැණුං තමයි. උංගේ ප්‍රයිවට ප්‍රැක්ටිස් එකට ගියොත් අර ටෙස්ට් මේ ටෙස්ට් එක්ක HIV ගොනෝරියාවලටත් ටෙස්ට් කරවලා, ගෑනිත් එක්ක ෆුඩ්සිටි ගියාම අරං එන බඩු මල්ලටත් වැඩිය ලොකු බේත් මල්ලක් දීලා ගෙදර එවන එක තමයි වෙන්නේ. ( මේවා නිකං උපහාසයටම කියන ඒවා නෙමෙයි මගේ මිත්‍රවරුණි මේවා මම මගේ දෑහින් දැකලා දෙකණින් අහලා තියෙන සිරා සිද්දි. මේ ගොන් පාර්ට් නුදුරු අනාගතයේදීම ලංකාවෙන් තුරන් වේවා කියලා ප්‍රර්ථනා කරගෙනම කතාවේ ඉතුරු ටික කියවමු.)

ඔන්න ඉතිං මම මක්කා කොරම්ද කියලා දහ අතේ උලා උලා කල්පනා කර කර ඉන්නකොට ගෑනි කියපි ඇයි වදේ තමුසෙත් දොස්තර කෙනෙක් නේද ඕක මොකක්ද කියලා බලලා ගන්නවකෝ බේත් ටිකක්. අම්මට සිරි ඇත්ත නේන්නං.මගේ සතුට වාව ගන්න බැරි උනා මිත්‍රවරුනි. බිරිඳ කෙරේ අසීමිත ආදර භක්තියක් අනුරාගයක් ඇති වෙලා සාලේ මැද්දේ රති කෙළියට එන්ටර් වෙන්ඩයි ගියේ. තමුසෙට පිස්සුද ඕයි. මදන විසේ නං තියෙනවා. මොන ලෙඩක්ද කියලා දන්නෙත් නෑ. මටත් බෝ කරවන්ඩද හදන්නේ. උන්දෑ නැගිටලා ගියා. මම ටක් ගාලා කළිසමත් ආයේ ඇඳගෙන වාට්ටුවට ගියා ලේ එකක් චෙක් කරලා බලා ගන්න. උණ තිබ්බට හෙම්බිරිස්සාව කැස්ස, වමනය බඩ එළිය යෑම මුත්‍ර දැවිල්ල වගේ උණට සාමාන්‍යයෙන් හේතුවෙන සාධකයක් හොයා ගන්න නැති හින්දා ඩෙංගුද කියලා බලා ගත්තනං හරි කියලයි මට හිතුනේ.

ලේ චෙක් කරන්ඩ ලේ ගන්ඩ ඕනෙනේ මහත්වරුණි. ලේ ගන්ඩනං කට්ටකිං විදින්ඩ වෙනවා. අන්න ඒක තමයි අවුල. මට කටු ෆෝබියාව. මගේ වෙලාවට අපේ වාට්ටුවට අළුතෙන් ඇවිල්ලා ඉන්නවා හුරුබුහුටි නර්ස් දැරිවියෙක්. කට්ටකිං ඇනලා ඝන සෙන්ටිමීටර් දෙකක් ලේ ගන්ඩ බැරිනං මගේ මුළු රීරි මාංසෙම උරා බිව්වත් කමක් නෑ කියලා මම අත දීගෙන හිටියා. මොකෝ උණ තිබුණත් අපිත් මිනිස්සුනේ දෙයියනේ.රාජිතට පින්සිද්ද වෙන්ඩ පැය කාලක් යද්දි ලේ රිපොර්ට් එක බලා ගන්ඩ පුළුවං උනා. (ඔව් ඔව් මම දන්නවා ඌ හොරා තමා. ඒ උනත් හොඳ දේවල් අගේ කරන්ඩ ඕනේ මහත්වරුණි.) සුදු රුධිරාණු අනුපාතය අනුව වෛරස් ආසාදනයක් තමයි. හැබැයි ඩෙංගුවල භයානක අවස්ථාවට එන්ඩ තරං පට්ටිකා අඩු වෙලා නෑ. හෙටත් බලනවා ආයේ ලේ එකක්. හෙටත් උදේට අර නර්ස් දැරිවි තමා ඩියුටි.



මෙන්න බොලේ පහුවදා වෙනකොට මගේ පිටේ වම් පැත්තේ උර අස්ථිය උඩ සමේ පටියක් වගේ පොඩි පොඩි බිබිලි වගයක් ඇවිල්ලා. හුටා මේ නං ශිංගල්ස් තමයි.(shingles කියන එකට සිංහල වචනයක් මම දන්නේ නෑ. තත්සම පදයක් විදිහට හෙළ බසට අවශෝෂණය කරගන්න කියන්න.) හනික බැස්සා ඇඳෙන්. ඔක්කොම ඇඳ ඇතිරිලි කොට්ට උර පොරෝනා අයින් කරලා වෙනම හෝදලා දාන්න කියලා වාහෙට කියලා දිව්වා ඉස්පිරිතාලේ චර්ම රෝග සායනයට. විශෙෂඥතුමා ඉන්න දවසක් නෙමෙයි එදා. ඒකෙ ඉන්න අනිත් ඩොකටර් කෙනෙක්ට පෙන්නලා (ඈ මුස්ලිම් අක්කා කෙනෙක්. අපෝ නෑ හරි හොඳයි. ලෙඩ්ඩුන්ටත් හරි සුහදයි. ඔය ළඟ තියෙන වැඩිහිටි නිවාසෙකටත් යනවා එහේ ඉන්න අයට මාසෙකට සැරයක් සායනයක් කරන්න. නොමිලේ තමයි බොලව්. මම තමයි ඒක සෙට් කරලා දුන්නේ. ඔව් ඔව් මමත් යනවා අපේ සායනයක් කරන්ඩ. ඔව් බොලව් මමත් නොමිලේ තමයි කරන්නේ අතිං පැට්‍රල් ගහගෙන ගිහිල්ලා. අපිට මොකෝ ඉන්ධන සහනාධාරයක් දෙනවා කියලෑ.) එයාලගෙත් මතේ අහගත්තා. මම ඇවිල්ලා ලිච්ඡවී ක්‍රමේටනේ වැඩ. (ෂර්ට් එක ගැලෙව්වේ ලක්ස පාරක් හිතලා. නෑ පිස්සුද ආයේ මොනවද ඉතිං බොඩි එක නිකං ස්පාර්ටන් බොඩි එකක්.කොටින්ම කිව්වොත් විභාගෙට මාංශ පේශි පාඩං කළේ කණ්ණාඩිය ඉස්සරහ ඉඳං. පච්චේ දැකලා මොකවත් හිතයි කියලා තමා පස්ස ගැහැව්වේ. එයා හිතන්ඩ ඇති සංකීර්ණ උපං ලපයක් කියලා.මොකුත් කිව්වේ නෑ.)



මට කිව්වා එයාට හරියටම ශුවර් නෑ කෝකටත් ඊළඟ දවසේ ආයේ එන්න සර්ට පෙන්න ගන්න කියලා. මම වැඩි පරිස්සමට අනිත් කාමරේ නිදාගත්තා සතුටෙන් හා සාමෙන්. මෙන්න පහුවදා අර බිබිලි වතුර පිරිච්ච දිය පට්ටා (blisters) වගේ වෙලා. දැන්නං බඩු බනිස් තමා. කෝකටත් ගියා චර්මරෝග සායනයට විශේෂඥතුමා මම ෂර්ට් එක ගලවනකොටම කිව්වා "මේ ශිංගල්ස්නේ" කියලා. ඇති යන්තං නියත විවරණ ලැබුවා. සන්තෝසේ බැරුවා මිත්‍රවරුණි. දැං අරකිට තනියම වොර්ඩ් එකයි ක්ලිනික් එකයි බලා ගන්න කියලා මට ගත්තැහැකි සතියක නිවාඩුවක්. දෙන දෙයියෝ දෙනකොට දෙන්නෙ එළවා එළවා මහත්වරුණි.

දැං ශිංගල්ස් ගැන වැඩිය දන්නේ නැති අයට පුංචි කුප්පියක් මගේ ගානේ.

පැපොල හෙවත් පොෂ් අය කියන විදිහට චිකන් පොක්ස් හැදෙන්නේ varicella zoster කියන වෛරස් එකෙන්. ඒක ගොඩක් වෙලාවට පොඩි කාලේ තමයි හැදෙන්නේ. ටික දවසකින් ඉබේම හොඳවෙලා යන බිබිලි මතුවෙන වෛරස් ආසදනයක්. භයානක නෑ. ටිකක් රිදෙනවා. කසනවා. සමහර විට මේ බිබිලි බැක්ටීරියා මගින් ආසදනය වෙන්න පුළුවන්. ගර්භනී අයට හැදුනොත් ඒක කුසේ ඉන්න දරුවාට බලපාන්න පුළුවන්. වයසක අයට හැදුනොත් ගොඩක් අමාරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

ඉතිං හොඳම දේ තමයි පොඩි කාලෙම එක්කො ලෙඩේ බෝ කරගන්න එක. නැත්තං පැපොල එන්නතක් ගහ ගන්න එක. ලෙඩේ බෝ වෙන එක විදි කීපයකට වෙන්න පුළුවං. එකක් තමයි පැපොල රෝගියාගේ බිබිලිවල ඇති වෛරසය අඩංගු ස්‍රාවයන් ප්‍රධාන වශයෙන් ස්වසන මාරගයෙන් හෝ වෙනත් ආකාරයකට ශරීර ගත වීමෙන්. ඒ වගේම රෝගියෙකුගේ ඛේටය ඒ කියන්නේ කෙළ බිඳිති වාතය හරහා ගමන් කරලා වෙනත් කෙනෙක්ගේ ශරීර ගත වීමෙනුත් ලෙඩේ බෝ  වෙන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් පැපොල වෛරසය ඇඟේ තියෙන කෙනෙකුට බිබිලි මතුවෙන්න දින දෙකකට පමණ කළිං ඉඳන් අනික් අයට ලෙඩේ පතුරවන්න පුළුවං.බිබිලි මතු උනාට පස්සේ ඒ බිබිලි ඔක්කොම වේලිලා කබොල් බවට පත් වෙනතුරුම මේ අයට ලෙඩේ පතුරවන්න පුළුවන්. ඔක්කොම සාමාන්‍යයෙන් සතියක් විතර.

හරි බං පැපොල ගැන දන්නවා මොකක්ද ශිංගල්ස් කියන්නේ?

පොඩ්ඩක් හිටාංකෝ කියනකං ඉවසලා. Grand ma's cloth



පැපොල හැදුනට පස්සේ මේ වෛරස් එක ලෙඩාගේ සංවේදී ස්නායු මූලයන්ගේ තියෙන ගැංග්ලියම්වල ගිහිල්ලා හැංගෙනවා. මිනිහා මැරෙනකම්ම මේ වෛරස්වලට එතන ඉන්න පුළුවං.සමහර වාසනාවන්තයින්ගේ වෛරස් එහෙම හැංගිලා නිදාගෙන ඉන්නවා මුළු ජීවිත කාලෙම.කිසි අවුලක් නෑ. ඒ උනත් සමහර අයගේ මොනවා හරි හේතුවකට ප්‍රතිශක්තිය අඩු වෙනකොට අර නිදාගෙන ඉන්න ගෝතයා නැගිටලා සංවේදී ස්නායුවේ පැතිරෙන ප්‍රදේශයේ පැපොල බිබිලිවලට සමාන වෛරස් පිරුණු බිබිලි ඇති කරන්න පුළුවන්. ශෝචනීයයි නේද? ඒ වගේද ඇවැත්නි වේදනාව. හප්පා හදාගෙනම බලන්ඩ ඕනේ. වාසනාවකට වේදනා නාශක කියලා දෙයක් හොයාගෙන තියෙන නිසා ගොඩ.

නමුත් වාසනාවට මේක පැපොල තරම් ආසාදිත නෑ. අර බිබිලිවල තියෙන ස්‍රාවයන් ගෑවුනොත් නම් පැපොල හැදිලා නැති කෙනෙකුට පැපොල හැදෙන්න පුළුවං.හැබැයි තව කෙනෙක්ට ශිංගල්ස් නම් බෝ වෙන්නේ නෑ. ඒ වගේම මේක කෙළ බිඳිති හරහා බෝ වෙන්නෙත් නැහැ. වාත වෙන්නේ මේක කපාල ස්නායු ආශ්‍රිතව ඇති උනාම. 7වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ශිංගල්ස් ඇති උනොත්  ramsay hunt syndrome කියන තත්ත්වය එනවා. එතකොට මූණේ පැත්තක් පණ නැති වෙනවා වගේන කණ ඇහීමත් නැති වෙන්න පුළුවං. 5 වෙනි කපාල ස්නායුව ආශ්‍රිතව ඇති වුනොත් ඇසේ ආසාදනයක් ඇති වෙලා පෙනීම නැති වෙන්නත් පුළුවං. වාසනාවකට වගේ මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ ශරීරයේ බෙල්ලෙන් පහල සහ ඉණෙන් උඩ ප්‍රදේශයේ. කොහොමත් සතියෙන් විතර ලෙඩේ ගොඩ යනවා.
 ramsay hunt syndrome

ප්‍රතිකාරද ඇහැව්වේ. මගුලක් කතා කරන්නැතුව යන්ඩ මෙයා ඉස්පිරිතාලෙට. එතකොට දෙයි ප්‍රතිවෛරස බෙහෙතක්. kaspersky නෙමෙයි බං acyclovir. එතකොට තව ප්‍රතිජීවකයක් ඔය බැක්ටීරියා ආසදනයක් ආවොත් කියලා. අනික ඔය පැරසිටමෝල් වගේ පොඩි වේදනා නාශකයක්. කැසිල්ල තිබේ නම් පිරිටන් ටිකක් (chlorpheniramine). වේදනාව ටිකක් වැඩියි නම් gabapentin වගේ එකකුත් දෙන්ඩ ඉඩ තිබේ.

කියන්ඩ සතුටුයි මටනං මහා වේදනාවක් දැනුනේ නෑ. ලෙඩේ කළිංම අල්ල ගත්ත හින්දා අනිත් අයට බෝ උනෙත් නෑ මම හිතන්නේ. ෂුවර් නෑ සහෝදරවරුණි මොකද වෛරස් එක ශරීර ගත උනාම සාමාන්‍යයෙන් බිබිලි මතුවෙලා රෝගය හැදෙන්න සාමාන්‍යයෙන් සති දෙකක් විතර යනවා. ඒ කියන්නේ බඩු හම්බවෙන්නේ තැපෑලෙන්. කොහොම උනත් නිදහසේ චිත්තරපටි ටීවී සීරීස් ටිකක් බලාගෙන වීඩියෝ ගේම් එකක් ගහගෙන සතියක නිවාඩුවක් ගත්තා. ඔන්න ඕවා තමා මිත්‍රවරුණි දෙයියන්ගේ ලෙඩ කියන්නේ.


04 July 2018

සින්දු පලන මන්තරේ....



ඝෝෂාවට හෙවත් සද්දෙට කැමති උන් සිටිති. තවත් සමහරු තමුන් සද්දයට කැමති බව පෙන්වීමට කැමත්තෙන් සිටිති. ඒ උන් අනුන්ගේ නිදහසට බාධා කරන්නෝය.තමුන්ගේ වෙළඳ සැලේ අලෙවිය වැඩි කර ගැනීමට සද්දෙට සින්දු දැමීමට සමහරු පෙළඹෙති. සමහරු තමුන්ගේ ආගමික භක්තිය පෙන්වීමට සද්දෙට සින්දු, පිරිත් හෝ කවි වාදනය කරති.තවත් සමහරු තමුන් නිවසේ සිටින බව අසල්වැසියන්ට ඇඟවීමට සද්දෙට සින්දු දමති. මේ අතර තවත් පිරිසක් තමුන් සිරා සින්දු අහන බව පෙන්වීමට මහා හඬින් සින්දු අහති.

අතීතයේද මෙබඳු ශබ්ධ දූෂකයෝ සිටින්නට ඇත. අන්දරේ දකුණු පළාතේ එකෙක් බව දැනගත් අයෙක් රබන් පළන මන්තරයක් ඉගෙනගන්නට ආවේලු.අන්දරේද කොළේක යමක් ලියා "මෙන්න මේක උල් පිහියකට මතුරලා රබානේ මැද්දටම ඇනපන්" යැයි උපදෙස් දුන්නේලු. එයින් හැඟෙන්නේ එකලද මෙකල මෙන්ම අන්‍ය නිදහසට බාධා කරන සමාජ පීඩකයින් සිට ඇති බවය. ඊට මෑත අතීතයේ කැසට් රෙකෝඩරය කරේ තබාගෙන ගමටම සින්දු බෙදා දෙමින් ගිය සූරසේන අපි පළිඟු මැණිකේ තුළින් දුටුවෙමු.

මේ ඝෝෂකයින්ගේ අදහස වන්නේ ඔවුන් සමාජ සේවාවක් කරන බවය. ඒ දැඩි ඝෝෂාව මැඩිහත් සිතින් ඉවසා සිටින අනිකුන් දකින් ඔහු සිතන්නේ තමාගේ සමාජ මෙහෙවර නිසා මිනිසුන් විශාල තෘප්තියක් ලබන බවත් එයින් ඔවුන්ගේ කාර්‍ය ශූරත්වය වැඩි වී රටේ නිශ්පාදන ධාරිතාව වැඩි වී උද්ධමනය අඩුව යන බවය. හේනක කුඹුරක සකලයන් හැඹිල්ලට වඩා වැඩි යමක් ඉන් සිදු නොවන බව අවුන්ට නොවැටහේ.

බොහොම නුදුරු අතීතයේ සමාජ කතිකාවතකට ලක්වූ මාතෘකාවක් වන්නේ ත්‍රීරෝද රථවලට  ශබ්ධවාහිනී මෙන් වූ ස්පීකර් සවි කිරීමත් ගමම දෙදරවමින් රිද්මය පමණක් ඇසෙන වචන නෑසෙන ගීත ධාවනය කරමින් විදුලි වේගයෙන් ඒවා ධාවනය කිරීමත්ය. ඩොප්ලර් ආචරණය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට නම් මනා පිටිවහලක් වන මේ ධාවන ශබ්ධ විකාශන යන්ත්‍ර හෙවත් ත්‍රීරෝද රථ තුල බිහිරෙක් මිස වෙන කිසිවෙක් ගමන් කරන්නේ කෙසේදැයි වටහා ගැන්මට අපහසුය. ඊටත් වඩා පුදුමය වන්නේ මේවා ධාවනය කරන්නාවූ රියැදුරන් (රිය ඇදුරන් කී විට රිය පිළිබඳව මෙන්ම රිය පැදවීම පිළිබඳවද මනා පරිචයක් ලැබූ තැනැත්තෙක් සිහියට එන නමුත් මේවා පදවන්නේ එසේ ප්‍රාමාණික දැනුමක් නොලද අයවළුන් නිසා ඔවුන් රිය දක්කන්නන් ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.) දින කිහිපයක් තුල බිහිරි භාවයට පත් නොවන්නේ කෙසේද යන්නය.

මගේ ලොකුම අරියාදුව ඇත්තේ අර්ධසුඛෝපභෝගී යැයි කියා ගන්නා බස් ලඩි සමඟය. කොළඹින් දුර ඈතක සේවයේ යෙදෙන විට නිතර නිතර මෙම අන්තර් පළාත් බස් රථවල ගමන් කරන්නට සිදුවෙන අතර සුඛෝපභෝගී බස් හිඟ වීමත් අතේ මුදල් හිඟ වීමත් මෙන්ම සාමන්‍ය ගාස්තු බස් විරල වීමත් නිසා මෙකී අර්ධසුඛෝපභෝගී මුසාව හා එක්වන්නට සිදුවේ.දුර ගමනක් මුල් වතාවට යන විට ඔබ වටපිට බලමින් සොබා සිරිය විඳිමින් යන්නේය.නමුත් එකම මාර්ගයේ සෑම මසකටම වරක් දෙකක් පැය හය හතක ගමනක යෙදෙන ඔබ නිදහසේ නින්දක් ලබා ගැනීමට සිතනු නොඅනුමානය. නමුත් මෙම බස් රථවල සේවකයෝ ඔබට එකී සුවපහසුව ලබා දීමට මැළිකමක් දක්වති.ඔවුන්ට ඇවැසි ඔබ අවදියෙන් සිටිනු දකින්නටය.සමහර විට අර්ධසුඛෝපභෝගී යනු එය වන්නට ඇත. පූර්ණ සුඛෝපභෝගී බස්වල වැඩිපුර අය කරන්නේ ඔබට නිදාගන්නට, සැනසිල්ලේ ඉන්නට ඉඩ දෙන්නට විය හැක.

බසයේ ගමන්මලු රාක්කවල දැන් ගමන් මලු දමන්නට ඉඩ නැත.ඒවා පිරෙන්නට දෙපසම බෆල් පෙට්ටි සවි කර ඇත.ආසන යටද එසේමය.ගමන් මලු තබා ගැනීමට වඩා වැඩගත් වන්නේ ඝෝෂා කිරීමය.බසය ධාවනය ඇරඹීමත් සමඟ ආරම්බවන ඒකාකාරී රිද්මයකට අනුව ගැයුනු විරහා ගීත නතරවන්නේ ගමනාන්තයේදීය. ඔක්කොම කොල්ලන්ගේ කෙල්ලෝ උන්ව දමා වෙන උන් එක්ක ගොස් ඇත. කොල්ලාට අනුව ඒ කෙල්ල හදිසි වී කලබල වී ගත් වැරදි තීරණයක් ය. නමුත් ඔහු කෙල්ලට බණින්නේ හෝ ගරහන්නේ නැත. ගිය එකා එක්ක සතුටින් ඉන්න ලැබේවායි කියා ප්‍රාර්ථනා කරති.මේ විදිහට ගියොත් කෙල්ල වෙන එකෙක් එක්ක පැනලා ගිය විට අළුත් ජෝඩුවට සතුටින් ඉන්න මුන් මාසික් දීමනාවක් උවද දෙන්න ඉඩ තිබේ. කෙල්ල දාලා ගියානම් එක්කෝ වෙන කෙල්ලෙක් සෙට් කර ගත යුතුය. නැතිනම් මැරිලා යා යුතුය. එහෙම වූවා නම් අපට නිදහසේ බස් එකක යන්නට ඉඩ තිබුණි.

කොන්දොස්තර මහතාට (මහතා යන වචනයට විවිධ අරුත් ඇති බව තේරුම් යන යෙදුමකි.) ශබ්ධ වාහිනියේ ශබ්ධය අඩු කරන ලෙස පැවසූ විට එක්කෝ "ඔය උපරිම අඩු කරලා තියෙන්නේ." ය. නැතිනම් රියදුරු මහතාට නින්ද යන නිසා අඩු කළ නොහැක.රියැදුරාට නින්ද යන්නේ නම් බෆල් පෙට්ටි සවි කළ යුත්තේ ඔහු වටාය. බසයේ පිටුපස ඒවා සවිකර ඔහුගේ නින්ද කැඩෙන තුරු ඒවායේ ශබ්ධය වැඩි කළ විට අපගේ කන් අඩි ද කැඩී යන බව මේ වෘෂභයින්ට නොතේරේ.

මම එනිසා සාමාන්‍යයෙන් කරන්නේ බසය ගමන් කරන්නට පෙර බසයට නැග ළඟම ඇති බෆල් පෙට්ටියට එන වයර් ඇද කඩා දැමීමය.එවිට ඔබට බසය ගමන් කරන විට කණට දැනෙන සුවයට වඩා සුවයක් බසයේ එහේ මෙහේ ඇවිදින කොන්දොස්තර එකී බෆල් පෙට්ටිය ක්‍රියා නොකරන බව දැනගත්විට පෙන්වන සාත්වික අභිනය නිසා ඔබේ මනසට දැනේ.වෙන විකල්ප නැත. අසුවන සේ කිරීමෙන් වළකින්න.අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි නිවාරණයි.


10 June 2018

මතක ගබඩාව



අපිට කළිං පරම්පරාව හැමදේටම බණින්නේ අපටය. එලෙසම ඔවුන්ගේ කළිං පරම්පරාවෙන් ඔවුහු බැණුම් ඇසුවෝය. ඒ ඇරියස් එක දැං ඔවුහු අපෙන් ගනිති. වැඩිහිටියන්ට අනුව ඔවුන්ගේ පරම්පරාව මාරය. නික්ලිෂ්ඨය. බුද්ධිමත්ය. ධාරණ ශක්තිය අපේ මෙන් සිය දාස් ගුණයකි. ඒ කාලේ දැං වගේ අවලං වැඩ කරපු උන් නොසිටියෝය. කොටු පැන්නේ නැතිය. ළමයින් දහයක් පාළෝහක් ඉන්නා පවුල්වල ළමයි එකිනෙකාට හාත්පසින්ම වෙනස් වූයේ කෙසේදැයි පහදන්නට ඔවුන් වෙහෙසෙන්නේ නැත. ඒවා අපිට කිරීමට ඇති හෝම් වර්ක් ය.

ඒ කාලේ ඔවුන් ජීවිතය රස විඳ ඇත.ගහකොළ සතා සීපාවා සමඟ ගෙවූ ජීවිතය දැං කාලේ උන්ට නැති බව පවසන්නේ මහත් සේ ශෝක භරිතවය. ඉඩම් ඔක්කොම කට්ටි කරලා විකුණලා තියෙන ගහකොළ ඔක්කොම කපලා වික්කේ අපිද යකෝ කියලා අහන්ඩ අපට අයිතියක් නැත.එනිසා මුවින් නොබැණ සිටිය යුතුය.

කියන්ඩ ඕනෑ කළේ ඒ කාලේ ඇත්තන්ගේ දැනුම ගැන කියන දේවල් ගැනය.ඒ කාලේ උන්දැලා ඉස්කෝලේ ගියේ නැතුවාට කාව්‍යශේකරය, සුභාශිතය, ගුත්තිලය, සැළලිහිණිය වැනි කවි පොත් කට පාඩමින් දැන සිටියෝය.උදෑසන අහසට ඉව අල්ලා හවසට වහින බව කීවෝය.හරකුන්ට ලේ බඩ යාමට අත් බෙහෙත් දැන සිටියෝය.කුඹුරක් කොටන්නට වී ඉහින්නට දැන සිටියෝය. ආච්චිලා කොණ්ඩ කැවුම් හැදුවෝය.ආස්මී හැදුවෝය.බීරළු ගෙතුවෝය.පොල් අතු මෙන්ම පැදුරු පවා වියන්නට දැන සිටියෝය. දැං කාලේ උන්ට මේවා ගැන දැනුමක් ඇත්තේම නැත.

දැනුම යනු තොරතුරුය. මේවා අපේ මොළයේ ගබඩා කර ගන්නා දත්තයන් ය. රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ මතකයන් වෙන වෙනම මොළයේ තැන් තැන්වල ගබඩා කර ගනී. සාමාන්‍ය මිනිසෙකුගේ මොළයේ දත්ත ගබඩාව පෙටා බයිට් එකක් පමණ වේ යැයි සැළකේ. ඒ කියන්නේ ටෙරා බයිට් දාහක් ය. එය එසේ උවත් මා වැනි බුද්ධි මට්ටමක් ඇත්තෙකුගේ මතක ගබඩාව සාමාන්‍යයෙන් ගිගා බයිට් එකක් දෙකක් පමණ වුවද විය හැක.සමහර වෙලාවට ඒකත් හරියට වැඩ කරන්නේ නැත. සමහර දේවල් මතක් කරන විට මොළය ඇතුලෙන් ඉස්සර තිබූ ෆ්ලොපී තැටියක් මෙන් "බ්‍රම් බ්‍රම් බර බරම් ක්‍රී.....ක් බ්‍රම් බ්‍රම්" හඩක් නැගේ.

මේ පෙටා බයිටයක් පමණවන දත්ත ප්‍රමාණය දින දෙක තුනකින් පිරී යන නිසා මොළය අමතක වීම නැමති අපූර්ව ක්‍රියාව සොයාගෙන ඇත. එසේ නොවූවා නම් මොළයේ දත්ත පිරී ඉතිරී මොළය අකර්මණ්‍ය වී අපට කිසිවක් කරකියාගන්නට බැරිවනවා ඇත. මෙවන් වූ අපහසුවකින් අප මුදවාලනු පිණිස සොබාව ධර්මයා විසින් සොයා ගනු ලැබූ මහාර්ඝ ක්‍රියාවලියක් වන අමතක වීමට කිසි සැළකිල්ලක් නොදක්වන වැඩිහිටි පරපුර අප කුඩා කල චක්කරය අමතක වූ විට ටොකු අනිති. කණෙන් අදිති. දණ ගස්වා තබති. එකපාරක් කියවූ විට මුළු චක්කරේම ඔවුන්ට මතක හිටි හැටි ගැන අපට දේශනා පවත්වති.

සීයලා ආච්චිලාගෙන් ඉතිහාසය හාරාවුස්සන විට දැනගන්නට ලැබෙන්නේ අම්මලා තාත්තලා පවසන ඉතිහාස කතාවට ඉඳුරාම පටහැනි කතාවක් ය.
"ඕකට දෙවරක් චක්කරේ බැරි උනාම මම එක පාරක් අඹ ගහේ ගැට ගහලා දිමි ගොටුවකුත් දාලා තියෙනවා හොහ් හොහ් හෝ......ඕකා මගේ උනාට අමු ගොනා. මෙළෝ දෙයක් ගැන දැනුම් තේරුම් නෑ "  කියා ළොඹු කටින් කියා සිනාසෙන්නේ 1818 කැරැල්ලට සහභාගී වූවෙකුගේ අභිමානයෙන්ය. අන්තිම වාක්‍ය ඇහෙන විට ආච්චිට සියුම් සිනාවක් යන්නේ මොකදැයි කවුරුත් දන්නේ නැත.සීයාගේ පුරාජේරුව ගැන හරියට දැනගන්න සීයාගේ තාත්තා ජීවතුන් අතර නැත.

අපගේ මොළය නම් වූ සීමිත දත්ත ගබඩාව වල් පල්වලින් පුරවාගෙන ඇත්තෙමු.ඒ වල්පල් කොතරම් තදින් කා වැදී ඇත්දැයි කිවහොත් ඒවා ඇවැසි විටක ක්ෂණයකින් මතකයට නගා ගත හැකිවාක් මෙන්ම ඒවා නිසා ඉඩකඩ මදි වීමෙන් වැදගත් කරුණු බොහොමයක් මතකයෙන් මගහැරී යයි.

"වෙහෙර හේන ඩිස්ටි ඩිඩිං
උඩ මළුවට යන්නං කු ඌඌඌ
පේන පේන හැම තැනදිම ඔයාට පින් දෙන්නං
බේර ගන්න බැරි උනි මට ගලනා ගංවතුරෙන් (පසු බිමින් මුහුදු රැල්ලක හඬක් ඇසේ)
පුංචි නංගියේ සැනසෙන් මතු ඔබ නිර්වානෙන් "

මම මේ සින්දු අහන්නේ නැත.ආසාත් නැත. නමුත් මේවා නොමැකෙන සේ මගේ මතකයේ ඇඳී ඇත.සින්දුව පමණක් නොව සින්දුවත් සමඟ බස්වල හිරවෙන තෙරපෙන ගමනත්, දාඩිය ගඳත්, අජිත් මුතුකුමාරණ මහතාගේ තට්ට හිසත්, කේ. සුජීවාත්, ඇගේ දරුවන් ඔහුට අජියා කියා අමතන බවත් ආදී වශයෙන් මගේ ජීවිතයට හෝ සමාජයට හෝ සත පහකට වැඩකට නැති තොරතුරු සමුදායක්ද මගේ මොළයේ විශාල ඉඩ ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත.

රනිල්, අකිල්, මංගල සහ සාගල ගල් කාරයන් බවත්, රන්ජන් බඩු කාරයා බවත්, කෙහෙළිය කොටු පනින්න ගොස් කකුල කඩාගත් බවත් අපි දනිමු.ඒවා දැන ගැනීමෙන් අපට වන සෙතක් නැත. ඉස්සර මිනිස්සු තමුන්ගේ පාලකයා කවුදැයි කියාවත් හරි හැටි දැන නොසිටියෝය. අපිත් අද ඇත්තටම පාලකයා කවුදැයි දන්නේ නැති උනාට ඉන්න උන්ගේ ලිංගික ජීවිතය ගැන පවා දනිමු.

මෙවන් වල්පල් ඔළුවල පුරවා නොගත් පැරැන්නන්ට කවි, කතා, ශිල්පයන් පිළිබඳ දැනුම යනාදී දෑ ඕනෑ තරම් මතක තබා ගැනීමට මොළයේ ඉඩකඩ ඉතුරුව තිබෙන්නට ඇත. ඉස්සර මිනිස්සු තමුන්ගේ ගමේ පවුල් කිහිපය ගැන පමණක් දැන් සිටියෝය. ඈත ඉන්නා නෑදෑයින් ගැන දැන ගත්තේ ලිපියක් ලියලාය. ඒකත් මාසයකට දෙකකට සැරයක්ය. නමුත් දැන් හම්බන්තොට කෙල්ල කොටහළු උනාම ලන්ඩන්වලින් විශ් කරනවාය. නාවන පොටෝ එකට ලයික් කරනවාය. අපේ ජීවිතවල ඉන්නා මිනිසුන් ප්‍රමාණය ඉතා විශාලය. අරයා හැදූ සවු දොදොලුත්, මෙයාට හෙම්බා හැදිච්ච එකත්, අරූ අළුතෙන් ගත්ත ෆෝන් එක ගැනත්, අරකි මේකප් දමා අහවල් එකාගේ වෙඩිමට ගොස් ගත්තු ෆොටෝ එකත් ආදී වශයෙන් දිනකට අපවෙත ගලා එන තොරතුරු ප්‍රමාණය ඒකාලේ මිනිස්සුන්ට සිය ජීවිත කාලයේදීවත් ලැබෙන්නට නැතුව ඇත.

අවසානයේ කියන්නට ඇත්තේ අනවශ්‍ය තොරතුරු නිසා අවශ්‍ය තොරතුරු අමතක වීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස බිරිඳගේ උපන්දිනය අමතක උනාට කොහෙවත් ඉන්න මේකප් ආටිස් කෙනෙකුගේ උපන් දිනයත් ඒකේ පාටියත් ආපු උන් ඇඳපු ඇඳුනුත් මතක තිබීමට ඉඩ තිබේ.හැකිනම් ශර්ලොක් හෝම්ස් මහතා අනුගමනය කොට ඇවැසි දේ පමණක් මතක තබාගෙන අනවශ්‍ය දෑ ඉවත හෙලන්න උත්සාහ කරන්න. (මාත් ට්‍රයි කරනවා....තාම බෑ ඕයි.. දෙළුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්.....කියලාමතක් වෙනකොටම අර බස් සීන් ටික වගේම උඩ රැවුලයි දිග පොකුටු කොණ්ඩෙයි නපුන්සක පාටයි එක්ක කිංස්ලියාවත් මැවිලා පේනවා බං )


04 June 2018

අගය කළ යුතු මිනිස්සු




මිනිසා නිර්මාණශීලී සත්වයෙකි. ගසින් බිමට බැස දෙපාවත් ගමන් ඇරඹීමත් සමඟම නිදහස් වූ දෑත් මිනිසාට අනිකුත් සතුන්ට නොමැති නිර්මාණ කිරීමට හැකියාවක් ලබා දුන්නේය. අතීතයේ සිට විවිධ මිනිසුන් විවිධ නිර්මාණ කිරීම් සහ සොයා ගැනීම් කළ අතර සමහර නිර්මාණ වෙනුවෙන් පැසසුම් ද, සමහර නිර්මාණ වෙනුවෙන් ගැරහුම් ද ලැබුවෝය. සමහරු සිය ජීවිතයෙන් පවා වන්දි ගෙවුවෝය. එහෙමය කියා මිනිස්සු සොයා ගැනීම් නතර කළේ නැත.

මිනිස්සුන්ගේ නවනිර්මාණවලට උදැල්ල දමන්නේ ඔහුගේ බිරිඳය. නැත්නම් පෙම්වතිය ය. උන්ට ලෝකයට සැලසෙන යහපත ගැන තුට්ටුවක හැඟීමක් නැත. උන්ට ඕනෑ කරන්නේ තමන්ගේ සැමියා හෝ පෙම්වතා උංගේ දිහාව බලාගෙන සිටීමය. ඔළුව රිදෙන විට ඔළුව අතගෑමය. උං උයන දේවල් කා රසයි කීමය. මිනිහෙක් යම් නිර්මාණශීලී කටයුත්තක් කිරීමට සිතන විට පවා එය ගැහැනියගේ ඉවට හසු වේ. එනිසා බොහොමයක් නිර්මාණ සහ සොයාගැනීම් උපන්ගෙයිම මියෑදේ. එනම් ගබ්සා වී යයි. මෙසේ බාධා කිරීම් සිදු නොවූයේ නම් ප්ලූටෝවලත් මෙලහකට මාතර බත් කඩයක් දාලාය.

ඒවා ගැන කතා කර පලක් නැත. ද්විකණ්ඩනය, අංකුරණය, ධාවක, බල්බිල වැනි ප්‍රජනක ක්‍රමයක් සොයා ගන්නා තුරු ලෝකය මෙසේ එකතැන පල්වෙනු ඇත.

අතීතයේ මෙසේ ගැහැනු මායාවන්ගෙන් මිදී නව නිර්මාණ සහ සොයාගැනීම් කළවුන් සිටියෝය. ඔවුන් සමහර විට සමලිංගිකයන් වූවා විය හැක. මේවා ගැන සොයා බලා ඔප්පු කර ගත හැකි වුවහොත් රනිල් ලොක්කාට සමලිංගික විවාහ පනත ගෙන ඒම ගැන එස්බී පවා ප්‍රශංසා කරන්නට ඉඩ තිබේ.

මුළින් කී ලෙස සොයා ගැනීම් නිසාවෙන් සමහරු අගය කරනු ලැබූ අතර සමහරු ගැරහීමට බඳුන් විය. මේ අතර ඉතිහාසයේ විශිෂ්ඨ සොයා ගැනීම් කළ සමහරෙක් සළකුණක්වත් නොතියා අතුරුදහන් වූහ. සමාජයේ ඇස නොගැටී සමාජය වෙනුවෙන් සිය ශ්‍රමය දැනුම හා කාලය කැප කළ මේ නිර්නාමික ශ්‍රේෂ්ඨයින් සැමරීම කළ යුතුය. එය මිනිස් ජාතියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ මේ උදාර මිනිසුන් වෙනුවෙන් කළ හැකි ඉතාම සුළු ප්‍රශංසාවක් වේ.

යන්තන් දැනුම් තේරුම් ඇති කාලයේ සිට අම්මා කුස්සියේ උයනු බලා සිටි මට මහත් කුහුලක් ජනිත කරවන්නට සමත් වූයේ ඉඳි ආප්ප සෑදීමය. හුරු පුරුදු අයෙකුට පවා තරමක් වෙලා ගතවෙන ඉඳිආප්ප පිසීම නුහුරු තැනැත්තෙකුට නම් සංකීර්ණ ක්‍රියාවලියකි. ඉඳිආප්ප නැමැති ආහාරය සොයාගත් ඒ අතීත මුතුන් මිත්තා සැමදාමත් මගේ නොමද ගෞරවයට පාත්‍ර වේ. කුඹුරෙන් ලබා ගන්නා වී වලින් සහල් සාදාගෙන ඒවා කොටා පිටි කරගෙන වතුර දමා සාදාගන්නා තලපයෙන් රැල් සෑදීමට සාදා ඇති ඉඳිආප්ප වංගෙඩිය යනු අති විශිෂ්ට වර්ණනාතික්‍රාන්ත මහාර්ඝ නිර්මාණයකි. මගේ වැනි ක්ෂුද්‍ර මොළයක කිසිදා නොපිළිසිඳ ගන්නා අදහසක් අතීත බුද්ධිමතා තුළ පහලවී ඇත.

සහල් පිටි රත් කළ විට එහි ප්‍රෝටීන ව්‍යුහය වෙනස් වී අනුභවයට පහසු හා රසවත් තත්ත්වයකට පත්වන බව ඔහු කෙසේ නම් දැන ගන්නට ඇද්ද? ඉන්පසු වාෂ්පයෙන් තම්බා ගත හැකි බව සොයා ගැනීමට පෙර ඔහු කොතරම් පර්යේෂණ කරන්නට ඇතිද? කී වතාවක් ඔහුට වරදින්නට ඇද්ද?

ආස්මී වැනි ආහාරයක් සොයාගත් තැනැත්තා ගේ බුද්ධි මට්ටම ගැන මට සිතාගන්නටවත් නොහැක. දවුල් කුරුඳු නානු යෙදීමෙන් පිටි මිශ්‍රණයට නව හැඩයක් ලබා දිය හැකි යැයි සිතීමම සාමාන්‍ය මනුශ්‍ය අවබෝධය ඉක්මවා ගිය තත්ත්වයකි.

මිනිස් සංහතිය වෙනුවෙන් ජීවිත අවධානයට ලක් කළ අයෙකි බොම්බිලි කරවල අනුභයට උචිත බව සොයා ගත් තැනැත්තා. ඉතාමත් දැඩි දුගන්ධයකින් යුක්තවන බොම්බිලි කරවලවල ගඳ කොතරම්දැයි කිවහොත් ඒවායේ මැස්සෝ පවා වහන්නේ නැත. එහි ගඳ උන්ටත් දරා ගත නොහැක. බොම්බිලි කරවලවල ගන්ධය විද්‍යුත් ශක්තිය බවට පෙරළිය හැකිනම් කරවල කිලෝ එකකින් නිවාස සියයකට විදුලිය දිය හැකි බවට ගණන් බලා ඇත. තවමත් මේ ගන්ධ ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පෙරළීමේ තාක්ශනය පර්යේෂණ මට්ටමේ පවතින අතර සාර්ථක වුවහොත් ඔපෙක් සංවිධානය බිඳ වැටී මැද පෙරදිග ආර්ථික අර්බුධයක් නිර්මාණය වනු ඇත.

එපමණ වූ ගන්ධයකින් යුක්තවන කරවල අනුභයට සුදුසු බවත් එයින් ආහාර මාර්ගයට හානි සිදු නොවන බවත් දැන ගත හැකි විදිහක් නොවීය.එකම විසඳුම අනුභව කර බැලීමය. මිනිස් ඉතිහාසයේ සැඟවී ගිය ඒ නමක් නොමැති මිනිසා වෙනුවෙන් ඉඳිවූ ස්මාරක නැත. සොහොන් කොත් නැත. මහාවංශයේ පරිච්ඡේද වෙන් වී නැත. නමුත් ඔවුන් අප හදවත් තුල සදා අනුස්මරණීයය.

මෙවන් වූ සමාජ මෙහෙවරයන් සිදු කළ නමුත් නිසි ඇගැයීමකට ලක් නොවූ මිනිස්සු බොහෝමයක් වෙති. නළු නිළියන්ගේ විවාහ උත්සව උපන්දින සාද, ක්‍රීඩකයින්ගේ දික්කසාද, දේශපාලකයින්ගේ හොර මැරකම් ගැන කතා කරන මාධ්‍ය ආයතන මෙවන් උත්කෘෂ්ඨ මිනිසුන් වෙනුවෙන් සිය අවධානය අංශුමාත්‍රයක් හෙලන්නේ නැත. එන්න අපි ඔවුන් ගැන කතා කරමු. අමතක නොකරමු.


27 May 2018

වැල







කොස් ඉදුනාම හයියට හැපෙන එක වරකාය. අනිත් එක එනම් ලිස්සලා යන එක 'වැල' ය. කඳ කෙළිං තියෙන ශාක වර්ග ගස් ය. කඳ කෙළිං නැතිව කොහේ හරි එතිලා වෙලිලා හැදෙන ශාක විශේෂ 'වැල්' ය. මේවාට අමතරව තවත් වැල වර්ගයක් තිබේ. ඒවා නම් ලිංගික දර්ශන ඇතුලත් කාම ප්‍රකාශනයන් ය. ඒ වැල ලංකාවේ තහනම්ය. කරන්න තහනම් නැති උනාට බලන්න තහනම් ය.

මුළින් බැලුවේ වැල පත්තරය. හැමෝටම හොරෙන් පන්තියට ගේන වැල පත්තරය සහජීවනයෙන් පිටු වෙන වෙනම බෙදාගෙන රස වින්දෙමු. මාට්ටු උනොත් සොරි ය.වැල පත්තරය ශිෂ්‍ය නායකයින්ගේ හස්ත කර්මාන්ත සඳහා රාජ සන්තක කර ගනිති. පත්තරවල රූපවලට වඩා ඇත්තේ කතාවය. ඒක කියවන එක වෙනම ලල් එකක්ය. තැනින් තැන ඇති ඡායාරූපද කළුසුදු ඒවාය. පින්තූර තත්ත්වයෙන් බාලය. නමුත් ඒ කාලයේ ඒවාට වඩා දේවල් තිබුණේ ඉතා කළාතුරකින්ය. එහෙම කළාතුරකින් පිටරටවලින් ගෙන්වූ වර්ණ කාම සඟරා ළඟ තිබූ වරප්‍රසාදිත පන්තියේ උන් ද සිටියෝය. උන් අනික් උන් අතර ගෞරව බුහුමානයට පාත්‍ර වූහ. එකම පත්තරය නවලා දිග ඇරලා නැමුම් පාරවල් දිගේ ඉරිලා ගියත් විසි කරන්නේ නැත. එකල සිටියෝ සම්පත් නාස්තියට එරෙහි වූවෝ වූහ.

ඉන්පසු ආවේ වීඩියෝ කැසට් යුගය හෙවත් VHS යුගයයි. ඒවා පත්තර මෙන් සඟවා තබා ගැනීමට අපහසු තරමේ ප්‍රමාණයෙන් විශාල වීය.එමෙන්ම යටිතල පහසුකම්ද ඇවැසි විය. වීඩියෝ කැසට් යන්ත්‍රයක් හෙවත් 'ඩෙක් එකක්' තිබුණේ එහෙමත් කෙනෙක් ළඟය.එනිසා ගෙදර වැඩිහිටියන් නැති වෙලාවක් බලා කොල්ලෝ කල්ලි ගැසී වැල බැලූහ. එය වෙනම සංස්කෘතියක් වීය. සජීවී විචාර, ඇගැයීම් මෙන්ම නැවත විකාශය කිරීම් සමඟ විශයානුබද්ධ දැනුම බෙදාගැනීමේ මහඟු අවස්තාවක් ඔවුන්ට හිමි වූ අතර කැසට් පටවල බැඳුනු දිලීර හෙවත් පුස් ඉවත් කිරීම වෙනමම කලාවක් ලෙස වර්ධනය විය.

ඉනුත් පසු පැමිණියේ VCD සමයයි. වීඩ්යෝ කැසට් මෙන් නොව ප්‍රමාණයෙන් කුඩා වීමත් පොතක් අතර පහසුවෙන් සඟවා ගෙන යා හැකි වීමත් නිසා මේවා යොවුන් පරපුර අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ගියේය. CD මුද්‍රණය කළහැකි එනම් රයිටරයක් සහිත පරිගණකයක හිමිකරුවෙකු එකල සැලකුණේ ජීවමාන දෙවියෙකු වැඩ සිටින දේවාලයක කපු මහතෙකු මෙන්ය. පරිගණක අහිමි මුත් CD යන්ත්‍ර හිමි උන්, එවන් කොල්ලන්ට දොල පිදේනි දෙමින්, පොල් ගසමින්, උන් වටා කැරකුණේ තමන්ට ඇවැසි වැල CD මුද්‍රණය කරවා ගැනීමටය. මෙම CD කාටත් හොරෙන් සඟවා තැබීමත් නැවත නැවත භාවිත කිරීමත් නිසා ඇතිවන් සීරීම් සමඟ රූපවල කොටු වැටීම සහ වීඩියෝව හිරවී නැවතීම වැනි අභාග්‍යසම්පන්න ඉරණම්වලටද මුහුන දීමට සිදු විය. ජීවිතේට දත් මදින්නේ නැති උන් දත් බෙහෙත් භාවිතා කොට CD පිරිසිඳු කිරීම ආරම්භ කිරීමත් සමඟ දත් බෙහෙත් වෙළඳාමද ඉහළ ගියේය.

ඉන්පසු DVD ද පැමිණි අතර ගුණාත්මයෙන් වැඩි වැල වැඩි ප්‍රමාණයක් එක තැටියක අන්තර්ගත කළ හැකි වීම නිසා කොල්ලන්ගේ නින්ද අඩු විය. එළි පහළියට බැසීම මෙන්ම කෑම බීම පවා අඩු විය. ඉස්සර සාලයේ තිබූ පරිගණක කාමර තුළට රිංගවා ගැනිනි.සමාජ ආශ්‍රය අඩු වීම නිසා සමාජයෙන් කොන් වූ කොල්ලන්ගේ පෝෂණයද අඩු වීම නිසා කෘශ වී ගියෝය. නමුත් සතතාභ්‍යාසයේ යෙදුණු සුරත නම් වැඩී වර්ධනය වීය.

අන්තර්ජාල ප්‍රවිශ්ඨය පහසු හා වේගවත් වීම සමඟ පැරණි වැල සංස්කෘතීන් සියල්ල අභාවයට ගොස් ඇති අතර යෞවනයන් තව දුරටත් එකිනෙකාගෙන් ඈත් වෙමින් පවතී.

මිනිසුන් එකිනෙකා ප්‍රේම කළ යුතුය. නිසි වයසේදී විවාහ විය යුතුය. ලිංගිකව එක් වී දරුවන් බිහි කළ යුතුය. මිනිස් ඝාතන නොකළ යුතුය. පහර දීම්, මංකොල්ල කෑම් නොකළ යුතුවාක් මෙන්ම බොරු කීම, මත්ද්‍රව්‍ය භාවිතය හා අනියම් සම්බන්ධතා නොපැවැත්විය යුතුය.
නමුත් නීතියට අනුව වැල බැලීම තහනම්ය. එනම් සැවොම කළ යුතුයැයි සමාජ සම්මත ලිංගික ක්‍රියා නැරඹීම අසම්මතය. නමුත් මිනී මැරීම්,පහර දීම් ආදිය ඇතුලත් චිත්‍රපට පවුලේ සැවොම එකට ඉඳ නරඹති. අත්පොලසන් දෙති. බොරු කීම්, වංචා කිරීම් මෙන්ම අනියම් සබඳතා ටෙලි නාට්‍යයවල සුලභය. කවුරුත් ඒවා තහනම් කිරීමට පෙළඹෙන්නේ නැත.

වැල බැලීමෙන් ඒවායේ තිබෙන දේ කරන්නට පෙළඹෙන බවට සමාජ මතයක් ඇත. වැලවල ගොඩක් ඇත්තේ බොරුවය. ස්පයිඩර් මෑන් චිත්‍රපට බලා කවුරුත් බිත්ති දිගේ නගින්නේ නැත. සුපර් මෑන් චිත්‍රපට නරඹා වාහන උස්සා විසි කරන්නට යන්නේ නැත. වැලවල ඇති අසාමාන්‍ය දෑ අත් හදා බලන්නට යන්නේ මානසික රෝගීන්ය.එහෙම උන් මහා ගොඩක් නැත.

නමුත් සමහර අවස්ථාවලදී අනෙක් පාර්ශ්වය නොදැනුවත් වීම නිසා අකරතැබ්බ සිදු වෙනවාය. කොල්ලෝ වැල බැලුවාට කෙල්ලන්ට බලන්න දෙන්නේ නැත. අඩුම තරමේ උන් තමන් වැල බලන බව කෙල්ලන් ඉදිරියේ පිළි ගන්නේද නැත. ඉතින් බැන්දාට පසු වැල බැලූ කොල්ලාට සාමාන්‍යකරණය වී ඇති ගුද රමණය අත් හදා බලන්නට ගිය විට වැල නොබැලූ කෙල්ලට එය ජුගුප්සාජනක අද්භූත අද්දැකීමක් වනවා නියතය. දික්කසාදයකින් පවා කෙළවර විය හැක.

වැල බලා මානසික පීඩනය මෙන්ම ශුක්‍ර තරළයද මුදා හැරීමෙන් ලැබෙන මානසික සහනය පුද්ගලයෙකුගේ අනෙකුත් කටයුතු සඳහා මහත් පිටිවහලක් වේ. ලිංගික පීඩනය අඩු වීම නිසා බස්වල ජැක් ගැසීම් ආදී සුළු සුළු අතවරයන් යම් තරමකින්හෝ පහළ යා හැක. පුළුල් පරාසයක ලිංගික අත්දැකීම් ලැබෙන බැවින් තමන්ගේ ලිංගික ජීවිතය නැවුම්ව හා ක්‍රියාශීලීව පවත්වා ගැනීමටද වැල දායක කර ගත හැක. ඔසප් දින මෙන්ම ගර්භනී අවධියේ ශාරීරික අපහසුතා නිසා ලිංගිකව එක්වීමට අපහසු දිනවලදී යම් සහනයක් ලබා ගැනීමට වැලවල පිහිට පැතිය හැක.

ලිංගිකත්වය මහා කුණුහරුපයක් සේ සිතීම නවතා ( කුණු හරුප සියල්ලම එක්කෝ ලිංගික අවයව හෝ ක්‍රියාව කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වී ඇත.) එහි සුන්දරත්වය අත් විදිමු. වැලවලට සමාජයේ නිසි තැන දෙමු. ඕනෑම හොඳ දෙයක් මෙන් නරකටද භාවිතා කළ හැකි නිසා මනාව දැනුවත් වී සිහි බුද්ධියෙන් භාවිතා කරමු. සැනසෙමු.

ස්තූතියි!!!

22 May 2018

වාට්ටුවේ ධර්මයුද්ධය




"මාස්ටර් මොකද හිතන්නේ දෙයියෝ මොකටද මේ මානසික ලෙඩ්ඩු මවලා තියෙන්නේ?" මම එහෙම ඇහැව්වේ අපේ වාටුව බාර හෙද නිළධාරීතුමාගෙන්. ඔහු ඉස්ලාම් භක්තිකයෙක්.

" ඒ කිව්වේ ඩොක්ටර් "

" නෑ මං කියන්නේ දැං මේ මානසික ලෙඩ කියන ඒවා ඒ මිනිස්සුන්ගේ වැරැද්දකට හැදෙන එකක් නෙමෙයිනේ. දෙයියොම දීපු ඒවනේ."

" එහෙම ඒවා තියෙන්නේ ඩොක්ටර් අනිත් මිනිස්සුන්ට තමුන්ගේ ජීවිතේ අගේ තේරුම් ගන්න. නැත්තං අපිට අපේ ජීවිතවල වටිනාකමක් තේරෙන්නේ නැතුව යනවනේ."

" ඒ උනාට මාස්ටර් මේ මනුස්සයින්ට අනිත් අය විඳින ජීවිතේ විඳින්න බැරි වෙනවනේ. පවුනේ. අනික දැං ඔය මනුස්සයෙක් මානසික ලෙඩේ හින්දා ආව කේන්තියකින් තව කාට හරි ගහලා මැරුවොත් මේ මනුස්සයා දිව්‍ය ලෝකේ යනවද නැත්තං අපායේ යනවද? "

" ඒ මනුස්සයා අවබෝධයකින් නෙමෙයිනං කළේ දිව්‍යලෝකේ යන්ඩ ඕන."

" ඒක හරි අසාධාරණයිනේ. ඒ මනුස්සයා මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නෙත් දෙවියන්ගේ පරීක්ෂණේට ලක් වෙන්නනේ. එතකොට මේ මනුස්සයා මිනිහෙක් මැරුවත් දිව්‍යලෝකේ යනවනම් අනිත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. දෙවියන් ගන්න සමහර තීරණ අපිට තේරෙන්නේ නෑනේ."

" ඒකත් මහ අසාධාරණ තර්කයක්නේ මාස්ටර්. දැං මාස්ටර්ලා හිතන්නේ අනාගතේ මුළු ලෝකෙම මුස්ලිම් වෙන්න ඕනෙ කියලනේ."

"ඔව්"

" ඉතිං දැං මම වගේ ඉස්ලාම් ආගම විශ්වාස කරන්නැති කෙනෙක්ට විශ්වාසයක් ඇති කරන තර්කයක් නෙමෙයිනේ . දෙවියන්ව විශ්වාස කරන්නනම් එයා අපි ගැන ගන්න තීරණ ගැන අපි දැනං ඉන්න ඕනෙනේ."

"ඒවා එහෙම තමයි ඩොක්ටර්. ඒ උනාට අපි විතරක් නෙමෙයිනේ අනිත් අයත් එහෙම දේවල් විශ්වාස කරනවනේ හැමදේම ගැන දන්නැතුව. ඒකටනේ භක්තිය කියන්නේ."

මේ වෙලාව වෙනකොට වාට්ටුවේ අනිත් කාර්ය මණ්ඩලය වෙච්ච මුස්ලිම් උපස්ථායිකාවක්, මුස්ලිම් සමාජ සේවා නිළධාරී මහත්මයෙක්, හින්දු හෙද නිළධාරී මහතෙක්, බෞද්ධ හෙදියක් අපි වටේට පුටු තියාගෙන අපේ කතාවට හූමිටි දෙනවා.

"ඩොක්ටර් අර සකීර් නයික්ගේ කතා බලලා නැද්ද? ඒවයේ ගොඩක් ප්‍රශ්නවලට උත්තර තියෙනවා නේද?"

"මිනිහා පට්ට බොරු අතාරිනවනේ මාස්ටර්. පොරට සිරා දැනුමක් තියෙනවා. කුරාණෙ සුරාවක් ජූසුවක් ගානේ ඉලක්කමත් එක්ක කියන්ඩ දන්නවා වගේම බයිබලේ ගැන වේද පොත් ගැනත් ඒ වගේම හොඳ මතකයක් තියෙනවා. හැබැයි විද්‍යාව ගැන කියද්දි පොර අලි කෙබර ඇද බානවනේ.විද්‍යාව ගැනයි බුද්ධාගම ගැනයි කියද්දි. පට්ට පච කෙළින්නේ."

"එහෙමද?"

" දැං පොර කියනවනේ නබිතුමා එන්න කළිං මෙසායාවරු ගොඩක් ආවා කියලා. බුදුහාමුදුරුවොත් ඒ එක්කෙනෙක් කියලනෙ කියන්නේ."

"ඔව්"

" ඒ උනාට බුද්ධාගම කියන්නේ එහෙම මැවුම්වාදයට පොඩ්ඩක්වත් සමබන්ධ නැති වෙනම එකක්නේ. ඒ කියන්නේ ඒ කාලේ දෙවියන්ට දෙවියෝ නෑ කියලා ලෝකෙට කියා ගන්න ඕනේ උනාද? අනිත් පැත්තට බලන්ඩකෝ දැං පරණ තෙස්තමේන්තුවෙ කියනවා ඇහැට ඇහැක් දතට දතක් කියලා.ඊට පස්සේ ජේසුතුමා ඇවිල්ල කියනවා නෑ නෑ එහෙම කරන්ඩ එපා එක කම්මුලකට ගැහුවොත් අනිත් කම්මුලටත් ගහන්න දෙන්න කියලා. මෙන්න ආයේ නබිතුමා ඇවිල්ල කියනවා නෑ නෑ ඇහැට ඇහැක් දතට දතක් තමයි හරි එක කියලා. මොකක්ද මාස්ටර් කිසි ප්‍රතිපත්තියක් නෑනේ.හරියට මේ ආණ්ඩුව වගේනේ. මොකද කියන්නේ අපේ වෝඩ් එකට ඇඩ්මිට් කරලා කරන්ට් එක දෙතුන් පාරක් අල්ලමුද?"

(සභාවේ සිනා)

"මෙහෙමනේ ඩොක්ටර්. ඒ ඒ සමාජවලට ගැලපෙන විදිහටනේ දේශනා කරලා තියෙන්නේ. දැං බලන්න ඇල්කොහොල් කළිං ප්‍රශ්නයක් නෑ කිව්වට පස්සෙ එකපාර වෙනස් කළේ නෑ. කිව්වේ බීලා පල්ලි එන්න එපා කියලා. අන්න ඒ වගේ කාලෙන් කාලෙට ගැලපෙන විදිහට තමයි දේශනා කරලා තියෙන්නේ."

"ඔය සමාජක්‍රමෙත් තීරණේ කරන්නේ එයානේ මාස්ටර්. එයාගේ මාස්ටර් ප්ලෑන් එකේ එක කෑල්ලක්නේ සමාජක්‍රමේ. අනික ඇල්කොහොලුත් අපි හදපුවා නෙමෙයිනේ. එයානේ තීරණය කළේ ඒක බිව්වම මිනිස්සුන්ට ලල් එකක් එන්ඩ ඕනේ කියලා. එයානේ ඒකට මිනිස්සු ඇබ්බැහි වෙන්ඩ ඕනේ කියලා තීරණය කළේ. අනික එයාට තිබ්බේ නැද්ද මිනිස්සු ඔක්කොම වැරදි නොකරන හොඳ මිනිස්සු විදිහට මවන්න.එයා අපිට් එක එක ආශාවල් ඇතිවෙන විදිහට මවලා ඒ ආශාවල් ලබාගන්න පුළුවන් කරලා පස්සේ ඒවා ගත්තොත් අපායෙ දානවා කියනවා. ඒක වැරදියිනේ මාස්ටර්"

"එහෙම නැතුව අපිව පරීක්ෂා කරන්නේ කොහොමද ඩොක්ටර්. අපිව මෙහෙට එවලා තියෙන්නේ අපිව පරීක්ෂා කරන්නනේ."

"ඒකත් මහ ගොබ්බ වැඩක්නේ මාස්ටර්. දැං ඔන්න ගුරුවරයෙක් ළමයින්ට ටෙස්ට් එකක් තියන එක සාධාරණයි. ඒ ගුරුවරයා ළමයි ගැන දන්නේ නෑනේ. ඒ උනාට මේක අපිව මැව්වෙත් එයා එයාට ඕනේ විදිහට. අපි හිතන පතන ඔක්කොම විතරක් නෙමෙයි අනාගතේ පවා එයා දන්නවා. එහෙව් එකේ මොන ඉටි ගෙඩියක්ද ටෙස්ට් කරන්නේ. දැං මම කවදාවත් ඉස්ලාම් ආගම පිළිගන්නෑනේ මාස්ටර්. ඉතිං එයාට තිබ්බා මාව මෙහෙ මවන්නැතුව කෙළින්ම අපායෙ මවන්න.අපරාදෙනෙ මේ පුච්චන පෙට්‍රල්."

ඒ වෙලාවේ අපේ සමාජ සේවා නිළධාරීතුමා කතාවට එකතු උනා.
" දැං ඩොක්ටර් අපේ මිනිස්සු වීඩියෝ ගේම් හදන්නේ. එයාලා කැමති චරිත දාලා එයාලා කැමති විදිහට හදලා එයාලා දාන නීති රීති ඇතුලේ තමයි ගේම් එක සෙල්ලම් කරන්නේ. ලෝකෙත් ඒ වගේ තමයි. දෙවියන් හදපු නීති තියෙනවා. ඒවා අපි ප්‍රශ්න කරන්න යන්නේ නෑ."

"වීඩියෝ ගේම් හදන්නේ සෙල්ලම් කරන එකාට ආතල් එකක් ගන්නනේ. දැං එතකොට අපි මේ කාගෙවත් ගේම් එකක චරිත වෙලා කාටද ආතල් දෙන්නේ? එයා එයාගේ දිව්‍යලෝකේ සෙට් එකත් එක්ක අපිව එහෙට මෙහෙට යව යවා ආතල් ගන්නවද?. ඔන්න ඕකත් මට තියෙන දැවෙන ප්‍රශ්නයක්. ඇයි අපිව මැව්වේ? අරමුණ මොකක්ද? "

"ඒකනම් ඉතින් දෙයියොම තමා ඩොක්ටර් දන්නේ."

"මම මාස්ටර් මුස්ලිම් අය එක්ක විතරක් නෙමෙයි කතෝලික බෞද්ධ අයත් එක්කත් මේ වගේ කතා කරනවා. ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට අන්තිමට ඒගොල්ලො - ඒක දෙවියන්ගේ කැමැත්ත.ඒක ප්‍රශ්න කරන්න උඹ කවුද? එහෙම නැත්තං ඒක තේරුම් ගන්න තරම් බුද්ධියක් උඹට නෑ වගේ - උත්තර දෙනවා. ඒකෙන් මගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙන්නේ නෑනේ මාස්ටර්.මගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් දර්ශනයක් තියෙනවානම් මම ඒක පිළිගන්න ලෑස්තියි. ඒවට අමතරව දේවවාදීන්ගෙන් අහන්න තව ප්‍රශ්න කීපයක් තියෙනවා.

1. දෙවියන්වහන්සේ ලෝකය මවලා ඊට පස්සේ තමයි ඉර හඳ තරු මැව්වේ. එහෙමයි පොතේ තියෙන්නේ. එතකොට ඉරවටේ කැරකෙන ලෝකේ මවන්ඩ කළිං ඉර මවන්ඩ ඕනේ නැද්ද?අපේ ලෝකෙට වඩා ගොඩක් පරණ තරු තියෙන්ඩත් බෑ නේද? එහෙමනම් අපි මේ කාලය මනින්න ගන්න ක්‍රමයේ අවුලක් තියෙනවද?

2. අවුරුදු හයදාහකට කළිං ලෝකේ මවලා ආදම් සහ ඒවා දෙන්නා මැව්වනං අවුරුදු මිළියන ගණන් පරන පොසිල හම්බවෙන්නේ කොහොමද? ඩයිනෝසරයන් ගැන පොතේ සඳහන් නොවෙන්නේ ඇයි? ඒවා වැරදුණු පරීක්ෂණද?

3. ආදම් ලෝකේ මුල්ම මිනිසානම් ඔහු හෝමෝ ඉරෙක්ටස් ද? නියැන්ඩතාලෙන්සිස් ද? හැබිලස් ද? නැත්තං එයිටත් කළිං හිටපු ඔස්ත්‍රලෝපිතෙකස් ඇෆරෙන්සිස් ද?

4. පෘථිවියේ ජීවය ගැන පමණක් සඳහන් කරන පොත විශ්වාස කරන්නවුන් ලෙස කවදා හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවීන් සොයා ගත්තොත් එදාට ගන්නා තීරණය කුමක්ද?

ඉහත සාකච්ඡාව වාට්ටුවේදී ලද විවේකයක හුදු පහන් සංවේගය උදෙසා පවත්වන ලද්දක් මිස අක්‍රෝෂ පරිභවයෙන් කා කොටා ගන්නා අරමුණකින් තොරව සුහදවා පවත්වා සුහදව විසිර ගියෙමු. මාධ්‍ය නාළිකාවල දේශපාලන සංවාද වෙනුවට මෙවන් ආගමික වාද විවාද පැවැත්විය යුතු බවට සියල්ලෝම එකඟ වූහ.

අසා සිටි ඔබ සැමට ඉස්තූතියි නැවත එන්න.


16 May 2018

ආරෝග්යා පරම අලාභා... 4





මරදානේ ඉස්කෝලෙකට ගියාට මොකද කොළඹ වෛද්‍ය පීඨය තියෙන්නේ කොහෙද කියලා මම දැනං හිටියේ නෑ.ඒක ඉස්සරහින් කීප වතාවක් එහෙට මෙහෙට ගිහිල්ලා තිබ්බට ඒක වෛද්‍ය පීඨය බවක් මට නිකමටවත් හිතිලා තිබ්බෙත් නෑ. සමහරවිට ඔය කියන වෛද්‍ය පීඨයට යන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නොතිබ්බ හින්දා වෙන්න ඇති. පොඩි කාලේ මගේ ආසාව තිබ්බේ පුස්ථකාලාධිපති කෙනෙක් වෙන්න. ඒ රස්සාව කරන ගමන් පොත් කියවන්න තිබ්බ ආසාව හින්දා. ඒත් ඉතිං පොඩි කාලේ හිතන දේවල් ලොකු උනාම ඒ විදිහටම සිද්ද වෙන්නේ නෑනේ.

කොහොම හරි අත්දිග කලිසමකුත් කමිසෙකුත් ඇඳගෙන සපත්තුත් දෙකක්ම දාගෙන මමත් ගියා කැම්පස්. ටයි නං දැම්මේ නෑ. දාන්න ඕන උනත් ගැටේ දාන්න දන්නෙත් නෑ. ඒක ඉගෙන ගත්තත් ගෙදර ඉස්කෝලේ ටයි එක ඇර වෙන ටයි එකක් ඇත්තෙත් නෑ.

කළිං දවසේ හතර අතේ කෝල් කරලා කොළඹ මෙඩිකල් ෆැකල්ටිය තියෙන තැන අහගෙන මමත් යන්ඩ නියමිත දවසේ උදෙන්ම එතනට ගියා.

කැම්පස් කිව්වම කාගෙ උනත් හිතේ මැවෙන්නේ පේරාදෙණිය. මල් පිරිච්ච, ගස් වැවිච්ච, කඳුවලින් වට වෙච්ච, කොල්ලො කෙල්ලො පෙම් කෙළින පාරිසරික සුන්දරත්වයෙන් සෞන්දර්යයෙන් අග්‍ර වෙච්ච ප්‍රේම පාරාදීසයක් වගේ තැනක්. කොළඹ විශ්ව විද්‍යාලයේ අනිත් පීඨ පිහිටලා තියෙන තැනත් ක්ෂුද්‍ර ප්‍රමාණයකින් හරි මේ සෞන්දර්යය පෙන්වලා දුන්නත් පුංචි බොරැල්ලේ තියෙන වෛද්‍ය පීඨය නම් හරියට ඉස්සර ගෙවල්වල ඈතින් හදපු වල කක්කුස්සියක් වගේ නොසළකා හැරිලා තිබුණා.

අක්කර එක්දාස් පන්සීයක් විතර වෙන පේරාදෙණියත් එක්ක සසඳලා බලද්දි අක්කර බාගයක්වත් නැති කොළඹ වෛද්‍ය පීඨය හරියට දීපිකා පදුකෝන් එක්ක දෙනවක හාමිනේ සංසන්දනය කරනවා වගේ මහා විළි ලැජ්ජා නැති වැඩක් බවට පත්වෙනවා.

කොළඹ වෛද්‍ය පීඨය කියන්නේ පුංචි මැද මිදුලක් වටේට තියෙන ගොඩනැගිලි හතරක් සහ ෆ්‍රැන්සිස් පාරෙන් එහා පැත්තේ තියෙන කායවිච්ඡේද ගොඩනැගිල්ලට. මැද මිදුළ මැද්දෑවේ අර මහා විශ්වවිද්‍යාල සංස්කෘතියේ ශේෂයක් වෙච්ච කණාටු රොබරෝසියා ගහක් තිබ්බා.තැනින් තැන දිරා ගිහිල්ලා තිබ්බත් විශ්වවිද්‍යාලයේ සාමාජිකයෙක් විදිහට මේ රොබරෝසියා ගහ හෙවත් 'පච ගහ' තමුන්ගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කෙරුවා. ඒ කියන්නේ පේරාදෙණියේ සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය පිරෙන්න එහේ රොබරෝසියා මල් පිපිලා වැටෙන කාලෙට මෙහේ පුංචි බොරැල්ලේ කාෂ්ඨක අව්වේ තැම්බෙන පුංචි මැද මිදුලකට තමුන්ට හැකි පමණින් මල් හෙළන්න ගහ උපරිම උත්සාහය දැරුවා.අළුතෙන් ෆැකල්ටි එන ශිෂ්‍ය කණ්ඩායමක් වසරකට ආසන්න කාලයක් රැදෙන්නෙ මේ පච ගහ යට. අළුත් ආදර කතා ගොඩක් හිතේ තියාගෙන හැමෝටම යාන්තමට හරි හෙවනක් වෙන්න පචගහ සෑහෙන වීරියක් දැරුවා. ඒ ඔක්කොම අවසාන උනේ පාලනාධිකාරිය රථවාහන නැවැත්වීමේ ඉඩ වැඩි කරගන්න පච ගහ කපලා දැම්මට පස්සේ. ඒ මම කැම්පස් එකෙන් අයින් උනාටත් පස්සේ.

මම ඉස්සෙල්ලාම ෆැකල්ටියට ගියාම තැන් තැන්වල අළුතෙන් ආව අය හිටියා.පරිසරය නුහුරු බවක් පෙන්නපු මූණුවලින් නවකයි අඳුනගන්න පුළුවන් උනා.සමහරු මම වගේ තනියමත්, සමහරු අම්මා තාත්තා එක්කත් සමහරු නෑදෑ සනුහරේම සහ ගමේ සැට් එකත් එක්කත් ඇවිත් හිටියා.එක ඉස්කෝලවලින් ආපු උන් තැන් තැන්වල සෙට් වෙලා සතුටු සාමීචියේ. කොළඹ ඉස්කෝලවල කෙල්ලෝ බස බස ගාලා ඉංගිරිස් හරඹ කරනවා. සමහරවිට තමුන්ගේ තත්ත්වේ ඇවිත් ඉන්න ගොඩේ උන්ට පෙන්නන්න වෙන්න ඇති.
සරලව කිව්වොත් ලංකාවෙ හතර දික්බාගෙන්ම එක එක උන් ඇවිත් හිටියා.යාපනේ ඉඳං ගාල්ල මාතර ඉඳං මඩකලපුවෙන්, නුවරින්, බදුල්ලෙන්, ඇල්පිටියෙන්, අනුරාධපුරයෙන්, මොණරාගලින් වගේම බහුතරයක් කොළඹ සහ ඒ අවටින්. ඔක්කොම දෙසිය හයක් විතර වෙච්ච අපේ ශිෂ්‍ය කණ්ඩායමේ විසි එකක් අපේ ඉස්කෝලේ උං.  අවුලක් නෑ තනි නොතනියට අඳුරන උං කීප දෙනෙක් ඉන්න හන්දා මමත් බය නැතුව කැම්පස් ජීවිතේ පටං ගන්න ලැස්ති උනා.

හොඳිං නැත්තං ෂේප් න්‍යායෙන් හරිය!!!


01 May 2018

අවුරුදු උත්සවය





සූර්යයා මීන රාසියෙන් මේස රාසියකට නොව මේස කීපයකට යනවා කියා කිව්වේ මහින්ද අයියා ගේම් එකේ ඉන්නා කාලයේ ය. දැං වෙන්නේ සූර්යයා ඒ මේස කීපයෙන් මේ මේස කීපයට මාරු වීම මිස අපේ මේස පැත්තේවත් පැමිණීම නොවේය.සූර්යයාගේ ආදරේද තියෙන්නේ අපට නොව උන්ට බව පසක් වෙන කොට ඩොලර් එක එකසිය හැටටත් කිට්ටු වෙලා ය.සම්බන්ධන්ලා වෙනම රටක් ඉල්ලුවත්, මේ අවු අස්සේ තාමත් විල්පත්තුවට වැඩේ දුන්නත් ලෝකය ඉර වටේ යන එක නවතින්නේ නැතිය. ඒ නිසා අවුරුද්දකට පාරක් අළුත් අවුරුද්දක් එනවාය. සල්ලි සතපහ අතේ නෑ කියන උන් රෙදි කඩ අස්සේ මරා ගනිති.රෙදි තෝරති.හැපෙති.බැණ ගනිති.

ඔය අස්සේ අවුරුදු උත්සවයක් ලක ලෑස්ති කරන්ඩ යෙදුනෝය.කලිං පාර වගේ නැතුව පට්ටෙට අඩු වියදමින් යසට කරනවා කිව්වෝය.හමබන්තොටදි වගේ භාතිය සංතුෂ්ලාට සල්ලි දෙන්නේ නෑ කිව්වෝය.කොරඥ්ඥං කොරඥ්ඥං කිව්වාට සංවිධායක මණ්ඩලේ සංවිධානය කරගන්න බැරුව තාමත් ඒ මේ අත දුවනවාය. ලොකුම ප්‍රශ්නය සංවිධායක මණ්ඩලය හදා ගන්න එකය. සභාපතිට බැරි බව කට්ටියක් කීවෝය.වෙන සභාපති කෙනෙක් ඕනෑ කියලා ගමම ගිනි තියලා පස්සේ සමිති මීටිමේදී "විරුද්ධයි" කියා සභාපතිට එක් වූවෝය.එහෙම කියන්න බැරි අය "ඉල්ලෛ" කීවෝය. ජනයා රැවටුනෝය.

පාරෙං අහුලාගෙන සංවිධායක මණ්ඩලේට රිංගවාගත් දාසයක් "පස්සයි" කියලා අනිත් පැත්තෙන් ඉඳගත් නමුත් ඒ ගේම් එක තවම අපිට හරියට තේරෙන්නේ නැත.තේරුම් ගිය දාට ආයේමත් තරු පෙනෙනු ඇත.

පස්සේ සංවිධායක මණ්ඩලේ උන්ට කන්ඩ බොන්ඩ දෙන ගමන් ගමේ උන්ම එකතු වී අවුරුදු උත්සවය යාන්තං අටවාගෙන කරගෙන ගියෝය.

අලියාට ඇහැ තැබීමේ තරගයට විශේෂ අවධානයක් යොමු වීය.මේ ගමේ එහා ගමේ උන් පමණක් නොව කරණවෑමි වීසා පිට තරගය අස්සට රිංගා සිටි චීනුන් පවා උත්සාහ කළද ආසන්නතම තැන ලෙස ඇස ළකුණු කරනු ලැබුවේ අලියාගේ අධෝ මාර්ගයත් වෘෂණ කෝෂයත් අතරය. රංගේ අයියා අජිත් අයියා ආදීන් කොච්චර උත්සාහ කළත් සජිත් අයියාට තෑග්ග දිනා ගන්නට ලැබුනේ නැත.තරගයට සහභාගී නොවී සිටි සභාපතිතුමාම තෑග්ගද ගෙදර ගෙන ගියේය.

ඒ අසාධාරණකම්ව්ලට කිසිම අවුලක් නැතුව හිටපු ජෝසප් අංකල් රවී කොල්ලා බනිස් කෑමේ තරගයේදී අනුන්ගේ බනිස්ද කාලා කප් එක ගැහුවාම තෑගි දුන්න එකට අමනාප වෙලා ගෙදර ගියේය. ඒ ජෝසප් අංකල් රවියා එක්ක කළිං ඉඳං තියෙන මලකට බව එතන හිටපු උං කිව්වෝය.රවියා ජෝසප් අංකල්ගේ ගෙදරටම ගිහිල්ලා අංකල්ගේ කොල්ලාගේ පස්ස අතගාලා අංකල්ට මාට්ටු වෙලා තිබුණාලුය.

කඹ ඇදිල්ලේ තරගයට කණ්ඩායම් මහා හුඟක් එක්වෙලා හිටියෝය.විස්ස ගේන කණ්ඩායම, මහින්ද අයියාගේ කණ්ඩායම,සිරා අයියගේ කණ්ඩායම, රනිල් සභාපතියාගේ කණ්ඩායම බාසා ප්‍රස්නෙට වෙනම රටක් ඉල්ලන කණ්ඩායම වගේම වෙසක් තියෙන්නේ මැයි මාසේ විතරයි බොල කණ්ඩායමද එක් වීමේන් එකම චොර හොද්දක් වී ගියේය.හැමෝම එකම කඹේට පොර කෑ අතර එක එක කණ්ඩායම්වල ශක්ති මට්ටම් අනුව කඹ කෑල්ල බැගින් කඩාගෙන ගියෝය.ඒ ඒ කණ්ඩායම්වලට හුරේ දැමූ නරඹන්නෝ තම තමුන් හුරේ දැමූ කණ්ඩායම් දිනූ බව තනි තනියම සිතා ගනිමින් ස්වයං වින්දනයක් ලබා ගත්තෝය.

කොට්ටා පොර තරඟය අති උත්කර්ෂවත්ව ළොමුදැහැගැන්වෙන පරිදි අතිශය ත්‍රාසජනක ලෙස පැවැත් වුනු අතර නරඹන්නන් අමන්දානන්දයට පත්ව ස්වප්නමෝචනයෙන් ස්වර්ගප්‍රාප්ත වී සිටියහ. නමුත් කොට්ටා පොරය වීඩියෝ කරලා ස්ලෝ මෝෂන් දාලා බැලුවාම පෙනුනේ උන් දෙන්නේ කොට්ටා එහෙ මෙහෙ වනනවා විනා එකදු පහරක් හෝ ප්‍රතිවාදියාට වැදෙන්නට දුන්නේ නැති බවය.ළඟටම වෙලා කට ඇරගෙන බලා උන් ප්‍රේක්ෂකයින් නම් කීප දෙනෙක්ම කොට්ටා පහරවල් වැදී රෝහල් ගත කරන ලදී.

කණා මුට්ටි තරගය දේශයට උචිත ලෙස සංවිධානය කර තිබූ අතර සියළුම ප්‍රේක්ෂකයන්ගේ ඇස් වැසෙන්නට රෙදි කඩ බැගින් බැඳ තරගකරුවෝ පාළු ගෙයි වළං බිඳින්නා සේ මුට්ටි බින්දෝය.අඳුරේ අත පත ගාමින් මුට්ටි බිඳෙන හඬට කන්දෙමින් ප්‍රේක්ෂකයෝ හුරේ තිබ්බෝය.තරගය අවසානයේ දෑස් විවර කරගත් ප්‍රේක්ෂකයන්ට හරි මුට්ටිය බින්දේ තමන් බව ආඩම්බරයෙන් කීවෝය.

සැඟවුනු අමුත්තා සෙවීම ඉතා අපහසු විය. ලබා දුන් තොරතුරුද නිසි ලෙස නියම සැඟවුනු අමුත්තා සොයා ගැනීමට ප්‍රමාණවත් නොවුනි. කට්ටියක් සැඟවුනු අමුත්තා සෙවීමට ඩුබායි ගොස් තිබූ නමුත් තරග නීති අනුව පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තා ප්‍රකාශ කිරීමට අවකාශ නොලැබුනි. තවත් කණ්ඩායමක් සිංගප්පූරුවේ සිට උදර්පණ නීතිය හරහා පිටට තට්ටු කොට සැඟවුනු අමුත්තෙක් සෙවීමට උත්සාහ කළද සැඟවුනු අමුත්තා තවමත් සැඟවී සිටී.ඒ තරගය සඳහා ඇති තෑග්ගද සභාපතියා ගෙදර ගෙන යා හැක.

විශේෂ පොලිස් ආර්ක්ෂාවක් දී තිබුනේ පොල් ගෑමේ තරගයටය.පොල් බෑය රැගෙන තරගකරුවන් පලා යාමේ අවධානමක් තිබුණි.

ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයද වෙනස්කොට තිබුණි. ඇට නැති ගස්ලබුද දැන් වෙළඳපොලේ බහුල බැවින් තරග කරුවන් බොහොමයක් බින්දුව කියා උත්තරය දීමේ අවධානමක් තිබුණු නිසාවෙන් තරගය ගස්ලබු ගෙඩියේ ඇට වෙනුවට සිරාගේ කොන්දේ ඇට ගණන් කිරීම ලෙස වෙනස් කර තිබුණි.එයටද වැඩි දෙනා උත්තර දී තිබුණේ බින්දුව ලෙසින් වූ මුත් ඒ හැම දෙනාටම තෑගි ලබා දීමට ගමේ අය තීරණය කළෝය.

අවුරුදු කුමාරයා ලෙස චතුර පුතාව තෝරාගත් නමුත් ඔහු එම පදවිය ප්‍රසිද්දියේ ප්‍රතික්ෂේප කළේය.පසුව රාජිත අංකල් අතින්ද ප්‍රතික්ෂේප වූ අවුරුදු කුමාරයා පට්ටම සභාපතිතුමා නැවතත් කරේ දා ගත්තේය.අවුරුදු කුමාරි ලෙස තේරී පත්වුනේ අකිල ය. කලින් පාරකුත් තරගයට ඉදිරිපත් වුවද වයස මදි වීම නිසා කලින් අකිලට අවුරුදු කුමාරි වෙන්නට බැරි විය.මෙවර සභාපතියාගේ වැඩි මනාපයෙන් අකිල අවුරුදු කුමාරි තරගයෙන් දිනුවාය.

දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරගය ජයගත්තේ අනුසාසක සිරාය.තරගය පටන් ගන්නා විටම පය පැකිලී වැටී සරමද කැඩී ගිය අතර හැණ්දත් දෙහි ගෙඩියත් ගිරිය පලාගෙන ආමාශ ගතවීම නිසා එකක්වත් බිම නොවැටුනා සේ සළකන බව සභාපතියා පැවසූවෙන් ඔහු ගේමක් නැතුව ජය ගත්තේය.

ගෝනි රේස් එකේ වැඩිම තරඟයක් තිබ්බේ රාජිත, සුදු බණ්ඩා හා දයාසිරියා අතරය.ගෝනි නැතුව කරේ යාම මෙන්ම ඒ පැත්තට මේ පැත්තට පැන පුරුදු නිසා ගෝනි රේස් එක ප්‍රේක්ෂකයින්ට මනා උත්තේජනයක් ලබා දීමට සමත් විය.එහෙත් අන්තිම මොහොතේ දීර්ඝ පිම්මක් පැන්න සුදු බණ්ඩා තරගයේ ජයග්‍රාහකයා විය.

උදේ ඉඳන් එක එකාට ලිස්සන ගහ නගින්නට උදවු දුන් අනුරලා සැට් එක ලිස්සන ගහ මුදුනේ විස්ස තිබෙනු දැක ලහි ලහියේ තනියම නගින්නට පටං ගත්තෝය. කරන එක කියන එක තරම් ලේසි නැති බව තේරුනු අනුරලාට මහින්දලා උදව් කරන්නට ලෑස්ති වූහ.තත්ත්වය මෙසේ තිබියදී අවුරුදු උත්සවය මොහොතකට අත් හිටවන ලදී.

ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් බලන්නට සැදී පැහැදී පිළිවෙතින් පෙළ ගැහෙමු.