25 February 2014

ජනතාව වෙනුවෙන් මාධ්‍යය......... ජනමාධ්‍යය



සියදිවි නසා ගැනිල්ල අපේ රටේ මේ දවස්වල ෆැෂන් එකක් වෙලා ඉවරය.කාට හරි අධෝ වාතයක් ගියත් එකෙක් සියදිවි නසා ගන්නවාය.මේ රැල්ල ජනප්‍රිය වීම ගැන විවිධ මතවාද හැම තැනම කතා බහ වෙනවාය.ගහ මරා ගන්නවාය.කොච්චර සංවාද ඇති උනත් මැරෙන උන් අඩු වෙන්නේ නැත.හැමෝම මේ ගැන කතාබහ කරන නිසා ඒ ගැන නොකියා ඉන්ඩ හැදුවත් මේක දැන් ජාතික ප්‍රශ්නයක් වෙලා ඉවරය.මගේ අදහස් ටිකත් බ්ලොග් සංවාද මණ්ඩපයට එක් කරන්ඩ ඕනේ කියලා හිතුනේ අඩුම ගානේ එක ජීවිතයක්වත් වෙනස් කරන්ඩ පුළුවන් උනොත් ඒකත් ලොකු දෙයක් හින්දා.

දිනුක ජයකොඩි නම් මානව හිතවාදියාගේ අදහස

සියදිවි නසා ගැනීම කියන එක ලංකාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බා.නමුත් සුමිත්‍රයෝ වගේ සංවිධානවල ක්‍රියාකාරීත්වය හින්දා අපි ලොකේ අංක එක වෙලා හිටපු තැනින් පොඩ්ඩක් පහලට එන්ඩ පුළුවන් උනා.සියදිවි නසාගැනීම්වලට හේතු විදිහට විවිධ අය විවිධ මත ඉදිරිපත් කරනවා.මානසික අසහනය, ආර්ථික පීඩනය, දෙමව්පියන්ගේ නොසැලකිල්ල, ගුරුවරුන්ගේ නොසැලකිල්ල, බොළඳ නාට්‍ය, චිත්‍රපට සහ නවකතා, වගේ හේතු ගොඩක් ගැන කතා කළත් මගේ අවධානය වැඩිපුරම යොමු වෙන්නේ ජනමාධ්‍ය කියන කොට්ඨාසය වෙත.සියදිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය මොකක්ද කියන එක ගැන මම හිතන්නේ ගොඩක් අය දන්නේ නෑ.

සියදිවි නසාගැනීම් වාර්ථා කිරීමේ ක්‍රමවේදය අනුව තවත් සියදිවි නසාගැනීම් වැඩි කිරීම හෝ අඩු කිරීම සිද්ද කරන්න මාධ්‍යවේදීන්ට පුළුවන්.ඒක මාධ්‍යවේදීන්යැයි කියාගන්නා කුලකයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ෆේස්බුක්, බ්ලොග් වගේ අවිධිමත් මාධ්‍යකරණයේ යෙදෙන්නන් උනත් මේ ගැන කතා කිරීමේදී අවධානයෙන් කටයුතු කිරීම වැදගත් කියලා මම හිතනවා.

සාරියක් බෙල්ලේ වැල දාගන්ඩ පාවිච්චි කරන්ඩ පුළුවන් කියන එක මේ නිව්ස් එක දකිනකන් මගේ ඔළුවට ඇවිත් නොතිබ්බ දෙයක්.සමහර විට ඒ මම මෝඩ නිසා වෙන්ඩ ඇති.නමුත් මනුස්සයෙක්ට සියදිවි නසාගන්ඩ හිතුනත් ඒකට ක්‍රමවේදය හොඳින් සවිස්තරව දැන ඉන්න එක ඒ දිවිනසාගැනීම ඉක්මන් කරන්ඩ දායක වෙනවා කියන එකටනම් මම හිතන්නේ කවුරුත් එකඟ වේවි.මොකද දෙවැනි කෙල්ලට හිත හිතා ඉන්ඩ උවමනා උනේ නෑනේ.

අපි බලමු දිවි නසාගැනීමක් වාර්ථා කිරීමේදී වාර්ථාකරුවෙක් අනුගමනය කළයුතු රීතීන් මොනවද කියලා.රීතීන් කිව්වේ මේවා නීති විදිහට ලංකාවේ අනුගමනය කළයුතු කරුණුද කියලා මම දන්නේ නැති හින්දා.නමුත් අපිට විධිමත් මාධ්‍යවේදීනුත් බ්ලොග් අවකාශයේ ඉන්න හින්දා ඔවුන්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමු.

දිවිනසාගැනීමක් පුවත්පතක මුල් පිටුවේ පල නොකළ යුතුයි.

"දිවි නසාගැනීම, සියදිවි හානිකර ගැනීම" වැනි සෘජු අර්ථය දැක්වෙන වදන් පුවතේ මාතෘකාව විදිහට නොයෙදිය යුතුයි.

ප්‍රවෘත්තිය හැඟීම් උපදවන ආකාරයට වාර්ථා නොකළ යුතු අතර කරුණු සහ සාධක පමණක් වාර්ථා කළ යුතුයි.

දිවිනසාගැනීමේ ක්‍රියාව වර්ණනා කරමින් වීර ක්‍රියාවක් ලෙස අගය කරමින් වාර්ථා නොකළ යුතුයි.

දිවි නසාගත් ක්‍රමවේදය සවිස්තරව පල නොකළ යුතුයි. (උදා: සාරියක් ආධාරයෙන් බාල්කයේ එල්ලී මිය ගොස් ඇත.)

මියගිය පුද්ගලයාගේ ඡායාරූප හෝ ක්‍රමවේදයේ ඡායාරූප පළ නොකළ යුතුයි.

සියදිවි නසාගැනීම වෙනුවට ගතහැකිව තිබූ විකල්ප ක්‍රමවේදයන් ගැන සවිස්තරව සාකච්ඡා කළ යුතුයි.



ඇත්තටම මේ රීතීන් එහෙම නැත්නම් සදාචාර සීමාවන් මොන මාධ්‍යකරුවාද ආරක්ෂා කරන්නේ? මේ රීති හඳුන්වලා දීලා තියෙන්නේ අපේ රටේ ඉන්න මී හරක් උපදේශකයෝ වගේ ගොබිලෝ නෙමෙයි.අන්තර්ජාතිකව කරන ලද පර්යේෂණ සහ ගවේශන වල ප්‍රතිඵල විදිහට ඉදිරිපත් කරනු ලැබූ සහ අනුගමනය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබූ න්‍යායයන්.බොරුවට උගුර ලේ රහ වෙනකන් මාධ්‍ය නිදහස ගැන, මාධ්‍ය සදාචාරේ ගැන කෑ ගැහුවට ඒකෙන් කාටවත් වෙන සෙතක් නෑ.මාධ්‍ය කරුවෙක්ගේ වගකීම මොකක්ද? රටේ මිනිස්සුන්ට මෝඩ ආතල් එකක් දීලා අනිත් වැදගත් ප්‍රශ්න අමතක කරවන එකද?

අපේ රටේ මිනිස්සු ලේ පිපාසිත ජාතියක්.ඒක හොඳටම එළි දැක්කේ උතුරේ සටනේ අන්තිම දින කීපයේ.මාත් ඇතුළුව රටේ මිනිස්සු ඔක්කොම හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.හමුදා කාරයින්ට වඩා කොටි මැරිලනං අපි හැමෝම සතුටු උනා.උඩ පැන්නා. හුරේ තිබ්බා.ඒ මෘග ලේ පිපාසිත මානසිකත්වය අපේ ඔළුගෙඩි ඇතුලේ වර්ධනය කළේ මාධ්‍යය.යුද්ධේ ඉවර වෙලා කිරිබත් කාලා මිනිස්සුන්ට නිවෙන්ඩ දුන්නේ නෑ.දෙමෙල්ලු පස්සෙ එළවලා හති වැටිලා හිටපු අපිව හම්බයාට විරුද්ධව උසි ගැන්නුවෙත් ඒ කට්ටියම තමයි.හරක් මරන එක පව් කියන ගමං හම්බයා මැරුවට කමක් නෑ කියලා ඔළුවට දැම්මා.අපේ ගෑනුංගේ හෙළුව වහන්ඩ කියන ගමං හම්බ ගෑනුංගේ බුර්කාව ඉරන්ඩ පෙළඹෙව්වා.අපේ මැටි මෝල් ජනතාව ඕනේ දේකට උසිගන්නන්ඩ ලේසියි.අපේ වෘෂභයෝ බහුතරයක් දන්න ලොකුම කලා මාධ්‍ය තමයි ටෙලි නාට්‍ය ටික.මොන්ටිසෝරි යන පොඩි එකාත් දන්නවා ඒ ඒ නාට්‍යවල ඉන්න ගෑනු කොයි එකා එක්කද මේ දවස්වල බුදිය ගන්නේ කියලා.ඉඳලා හිටලා දවසක් දෙකක් දොරමඬලාව බැලුවම උං හිතන්නේ උංගේ අධ්‍යාත්මේ සුපිරිසිඳු වෙනවා කියලා.

ටෙලි නාට්‍යවල වගේම නිව්ස්වලත් කඳුළු මාකට් කරන්ඩ පුළුවන් වෙලා තියෙන්නේ අපේ හිත්වල තියෙන කුහක කම හින්දා.අපිට වඩා අසරණ වෙන උන් ඉන්න එක අපේ හිත්වලට සතුටක්.නැත්තන් වෙන එකෙක් අඬන එකක් දිහා කට ඇරං බලං ඉන්නත්, ඒ වෙලාවට චැනල් එක මාරු කළොත් මරාගෙන කන්ඩ පනින්නත් ඕනේ නෑනේ.අපේ ජාතියේ ලේ පිපාසිත කම තවත් හොඳට පේන තැනක් තමයි ඔය නිව්ස්වල සමහර දාට දාන වගේම ගොඩක් ගොසිප් සයිට්වල තියෙන "සංවේදී අය බලන්ඩ එපා" කියලා ලේබල් කරලා තියෙන ඒවට වැඩිම හිට්ස් ලැබීම.කවුරු හරි මැරිලා ඉන්න දර්ශන, ලේ සහිත දර්ශන ඇයි මෙච්චර ආසාවෙන් බලන්නේ?ඒයිටත් වඩා ලොකු ප්‍රශ්නේ තමයි ඇයි ඒවා පෙන්නන්නේ? කාටවත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

මොනවා හරි අපරාධයක් උනාම ජනතාව ඒ ගැන දැනගන්න ඕනේ.ඇයි එහෙම උනේ සහ කවුද ඒක කළේ කියලා.ඒ නැවත ඒ වගේ සිදුවීමක් සිද්ධ වෙන එක වළක්වගන්ඩ.නමුත් අපරාධයක් සිද්ධ වෙච්ච තැනක ඡායාරූප හරි වීඩියෝ දර්ශන හරි පෙන්නන එකෙන් මිනිස්සුන්ට ඇති වැඩේ මොකක්ද?ඒවා බලලා මිනිස්සු තෘප්තියක් ලබනවද?මම දකින විදිහට එහෙම පෙන්වන එකෙන් වාසි දෙකක් ලැබෙනවා.මිනිස්සුන්ගේ මොළ කුණු උනාම මේ ජඩමාධ්‍ය කාරයින්ට තවත් ඒ වගේ කුණු නිව්ස් විකුණන්ඩ පුළුවන් වෙනවා.ඒ වගේම ලේ පිපාසිත කම උලුප්පලා තිබ්බම පාලකයින්ට ඕනේ ඕනේ වෙලාවට මිනිස්සුන්ව කුලප්පු කරන්ඩ පුළුවන් වෙනවා.ඒ ඇර මිනිස්සුන්ට් වෙන යහපතක් නම් නෑ.

ලොකු අනතුරක් වෙච්ච වෙලාවට අපේ රටේ මාධ්‍ය ආවරණය ඔබ දැක ඇති.තුවාල සහිතව, සිහිවිසඥව රෝහලට ගේන රෝගියාට රෝහල ඇතුලට යාමට පෙර මාධ්‍යකාරයාගේ ඡායාරූපයට පෙනී සිටින්න සිදු වෙනවා.හෙදියන්ගේ, ඇටෙන්ඩන් මහත්වරුන්ගේ, සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් තඩි කැමරා උස්සාගෙන ඔවුන්ගේ මාධ්‍ය මෙහෙවර කරන්ඩ කටයුතු කරන හැටි දැක්කම ලේ කුපිත වෙන එක වළක්වන්ඩ හරි අමාරුයි.රෝගියාගේ ජීවිතය බේරාගැනීමට වඩා ඔවුන්ට වැදගත් වෙන්නේ රටේ ඉන්න අනිත් උංගේ මන දොළ පුරවන එක.

මාධ්‍යකාරයින්ගේ අනිත් කුණු වැඩේ ගැන මම මීට කළින් ලියන්ඩ හිටියේ.ඔන්න ඒ ගැන මොඩර්න් පේට්‍රියට් ලොක්කා ලියලා තිබ්බා.හැම පත්තරේකම, රූපවාහිනී නාලිකාවක්ම මිනිස්සුංගේ ඔළු මේ හඳහන්, අනවින, හූනියම්, වශී, වගේ මළවිකාරවලින් පුරවන්ඩත් පටං අරං.කාලයක් නැගලා ආපු ෆෙංශුයි කියන ප්‍රෝඩාව දැන් ටිකක් විතර යට ගිහිල්ලා.ඒත් නැත්තටම නැති වෙලානං නෑ.පේට්‍රියට් ලොක්කා ඔබාමාට යෝජනා කරළා තිබ්බා වගේ ඇයි මෙහෙම දේවල් තියෙනවනං ඒවා ජාතික මට්ටමෙන් ප්‍රයෝජනයට ගන්නේ නැත්තේ?අනික අපි අනාදිමත් කාලෙක ඉඳං හඳහන් බලලා, නැකැත් බලලා, සුභ වෙලාව සුභ දිශාව බලලා හැම වැඩක්ම පටන් ගන්නේ.ගෙයක් හැදුවත් වාස්තු විද්‍යාවට අනුව දොරවල් උළුවහු තියලා මුදුන් ලීය තියලා නියම සාස්තරේ අනුව කරන එකේ අපි මේ වෙනකොට ලෝකේ දියුණුම ජාතියක් වෙලා ඉන්ඩ ඕනේ නැද්ද? භෞතිකව නැත්තං අධ්‍යාත්මිකව හරි. ඔය මළ විකාර පුහු දේවල් දාලා මැටි මිනිස් රැළක් පාලිතයෝ විදිහට තියාගෙන පාලකයින්ට සැප විඳින්ඩ දෙන්ඩ දායක වෙන ජනමාධ්‍යකාරයින්ට මොනවද කරන්ඩ ඕනේ? මුන්ට ජනමාධ්‍යවේදීන් කියලා කියන්ඩ පුළුවන්ද?ජනමාධ්‍යවේදීන් කියන්නේ ජනතාව වෙනුවෙන් මාධ්‍යකරණයේ යෙදිය යුතු උන් නේද?

දිනුක ජයකොඩි නම් අරාජිකවාදියාගේ අදහස

සියදිවි නසාගැනීම් මේ රටේ එදත් සිද්ධ උනා.අදත් සිද්ධ වෙනවා හෙටත් සිද්ධ වේවී.අනිත් දිවිනසාගැනීම්වලට නොලැබුණු ප්‍රචාරයක් මේ ඡන්දය කට ළඟ තියාගෙන මේ සිද්ධියට පමණක් ලැබුණේ (දුන්නේ) ඇයි? මට හිතෙන්නේ මේක ඔවුන්ගේ යෝධ මැතිවරණ සැලැස්මේ එක් පුංචි ප්‍රයෝගයක් විතරයි කියලා.ෆේස්බුක් වගේ දෙයක් එක්ක පටලවලා ඒ වගේ නවීන සංකල්පයකට එරෙහිව ජන මතයක් ඇති කළාට පස්සේ ලොක්කා ෆේස්බුක් තහනම් කරන්ඩ් ඕනේ කියලා අදහසක් දැම්මම මිනිස්සුංගේ මනස ඇතුලේ පුංචියට හැඟීමක් එනවා අපේ ලොක්කා හරියට අපි ගැන හිතනවා කියලා.මොකද විපක්ෂය කොහෙත්ම ෆේස්බුක් තහනම් කරන්ඩ කතා කරන්නේ නෑ කියන එක මිනිස්සුන්ට ශුවර්.ඒක සනාථ කරමින් විපක්ෂය ප්‍රකාශ කළා එහෙම දෙයක් කළොත් ඒකට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්නවා කියලා.ඒ වගේම ජෙප්පො කියලා තිබ්බේ උංගෙ ආණ්ඩුවක ඉන්ටර්නෙට් නොමිලේ දෙනවා කියලා.ඉතිං මේක හොඳ අවස්ථාවක් තවත් මැටි මෝල් ඡන්ද ටිකක් ලොක්කට කඩා ගන්ඩ.ෆේස්බුක් තියා මළපොතේ අකුරක් බැරි උං හිතන්නේ ලොක්කා රට ලොවෙත් තැනකට ගෙනෙයි කියලා.ඒකත් බාලගිරිදෝසෙ වගේ අද නෙමෙයි හෙට තමයි කියලා උන්ට මතක් වෙන්නේ නෑ.මාධ්‍යකාරයෝ ආණ්ඩුවේ උවමනාවට ෆේස්බුක් එක මාරයෙක් වගේ පෙන්නලා දුන්නම ඔය ඉන්න ආච්චිලා සීයලාට මතක් වෙන්නෙ නෑ උන්දැලාගේ කාලෙත් ෆේස්බුක් තියා මොන මළදානයක්වත් නැතිව උනත් ලව් කෙරිලි, ලියුං ලිවිලි, කොටු පැනිලි වගේ හැම අළුගුත්තේරු වැඩක්ම වෙච්ච බව සහ ඒ පළහිලව් හින්දා දිවිනසා ගත්තු උනුත් හිටපු බව.

මෙහෙම ජනතාව කුලප්පු කිරිල්ල නිසා තව ජීවිත කීයක් නැති උනත් උන්ට ගාණක් නෑ.උංගේ ඡන්ද ව්‍යාපාරෙට තව ඡන්ද කීයක් හරි ලැබෙනවනං.

මේ වගේ අදහසක් බස්සත් ලියලා තිබ්බා අද උදේ දැක්කා...


දිනුක ජයකොඩි නම් මනෝ විද්‍යාඥයාගේ අදහස

මිනිස්සු විවිධාකාරය.සමහරු බුද්ධිමත් වෙද්දී සමහරු බුද්ධි හීනයෝ වෙති.සමහරු උස වෙද්දී සමහරු කොට වෙති.සමහරුන්ගේ පෙනීම දියුණු වෙද්දී සමහරුන්ගේ පෙනීම අඩු වේ.මෙසේ සිදු වන්නේ ඒ ඒ මිනිසාගේ ජානවල එකතුව අනුවය.සමහර මිනිසුන් තුලු ඉතා දියුණු ජාන පවතී.සමහරුන් තුල ඇත්තේ දුර්වල ජාන එකතුවකි.අතීතයේ, එනම් මිනිසා ශිෂ්ඨාචාර ගත වීමට පෙර අපි අද "කැලෑ නීතිය" නමින් හඳුන්වන උචිතතමයාගේ ප්‍රවර්ථනය හෙවත් උචිතෝන්නතිය ක්‍රියාත්මක විය.එනම් ශක්තිමත් බුද්ධිමත් තැනැත්තා පමණක් ප්‍රජනන කාර්යය සඳහා අවකාශ ලබා ගැනීමය.එවිට ඔහුගේ දියුණු ජාන පමණක් ඊළඟ පරම්පරාවට හිමිවූ අතර දුර්වල ජාන සහිත වූවෝ ප්‍රජනන අවකාශ නොලැබී යාම නිසා ඔවුන්ගේ දුර්වල ජානද සමඟ මිය ගියෝය.

නමුත් ශිෂ්ඨාචාරයේ ඇරඹීමත් සමඟ මෙකී ස්වභාවික ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩපණව ගියේය.එයට හේතුව වූයේ සමාජයේ සියළුම වැසියන්ට ප්‍රජනන අවකාශ ලැබීමය.එනිසා මිනිසා ජානමය වශයෙන් දියුණු වුවද, දුර්වල වුවද ඔහුගේ ජාන ඊළඟ පරම්පරාවට දායාද කර දීමට හැකි වීම නිසා සමස්ථ මානව ප්‍රජාවගේ ජාන සියල්ල එක්ව සළකන්නාවූ "ජාන කිටුව" නම් ප්‍රපංඡය දුර්වල ජාන පිරිපහදු වීමකින් තොර වීම නිසා සංශෝධනයකින් තොරව එක තැන පල්වෙමින් පවතී.

පූර්වයේ පැවති කැලෑ නීතිය අදත් ක්‍රියාත්මක වූයේනම් හෝ වෛද්‍ය කර්මය භාවිතයේ නොමැති වී නම් අද අප සමාජයේ හෘදයාබාධ, පිළිකා වැනි බොහොමයක් රෝග තත්ත්ව නොමැති සමාජයක් වන්නට ඉඩ තිබුණි.

සියදිවි නසා ගැනීම යනු දුර්වල මනෝභාවයකි.එවන් දුර්වල මනෝ භාවයන් ඇති වීමට පුද්ගලයෙකුගේ බුද්ධි මට්ටම බොහෝ සෙයින් බලපායි.එනම් දුර්වල ජානයන්ගේ සෘජු හෝ වක්‍ර ක්‍රියාවන් නිසා මිනිසුන් සියදිවි නසාගැනීමට පෙළඹෙතැයි සිතිය හැක.එවන් වූ දුර්වල ජාන සහිතවුන් නව පරම්පරාවට ඔවුන්ගේ දුර්වල ජාන එක් නොකොට මියයන්නේ නම් පරම්පරා කීපයකට පසුව සියදිවි නසාගැනීමට පෙළඹෙන්නවුන්ගෙන් තොර සමාජයක් ඇති වීමේ සම්භාවිතාව ඉතා ඉහලය.


25 comments:

  1. හොඳ අදහස් ටික.. හොද වෙලාවට දිනුක ජයකොඩි දෙමව්පියන්ගේ පැත්තෙන් අදහස් දක්වලා නෑ නේ... :)

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ගෙ පැත්තෙන් නෙමෙයි බං ළමයිංගෙ පැත්තෙන් කියන්ඩ ඕනේ දෙමව්පියෝ ළමයින්ගෙන් ඈත් වෙලා තියෙන එක ගැන

      Delete
  2. දැන් මේක ගැන දිනුක ජයකොඩි ගේ හාමිනේ මොනවද කියන්නේ ...? අපේ රටේ තියෙන්නේ මාතලන් කියනවා වගේ ජඩ මාධ්‍ය කලාවක්. වෙනුෂාව විකුනපු හැටියෙන්ම පේනවානේ මාධ්‍ය සදාචාරය කියන එක මොනතරම් අභියෝගයට ලක්වෙලාද කියන එක . හැමදේම බිස්නස් විතරයි යාලුවා ..වෙන මොනවත් නෑ මේ අති උතුම් සදාචාරවත් ලාංකීය සමාජේ

    ReplyDelete
    Replies
    1. අපේ උන්දෑ පලු යන්ඩ බනිනවා බ්ලොග් ලිය ලිය ඉන්නවා විතරයි පාඩම් කරන්නෑ කියලා හෙඃ හෙඃ

      ඔය අපේ පුහු සදාචාරේ තමයි මට අප්‍රසන්නම මචං

      Delete
  3. ඔක්කොටම කලින් කවුද මේ දිනුක ජයකොඩි කියන්නේ? :D:D

    ReplyDelete
    Replies
    1. ඌ දස්ස, බුද්ධිමත්, කඩවසම්.. නෑ එක්කෝ ඕනේ නෑ.නැත්තං හිතයි මාත් ඡන්දෙ ඉල්ලනවා කියලා

      Delete
  4. කාලෙකට ඉස්සර ඔහොම දහජරාව මාකට් කරල ‍රැකෙන එකට නමක් තිබ්බා කුණුවල ඉහගෙන කෑම කියල,,, මුං ඔක්කොම කරන්නෙ ඒකයි..

    ReplyDelete
    Replies
    1. මුං දැං කුණුවල ඉහින්නේ බැකෝ දාලනේ සරත් අයියේ

      Delete
  5. උදේට ටීවී එකේ පත්තර කියෝනකොට, නිවුස් යනකොට, රේප්, රොබරි, කුඩු ගේම්, බඩු ගේම්, මර්ඩර්, ඇක්සිඩන්ට්, හොර ලව් කේස්, හාමුදුරු ෆයිට්, නැත්තං කිසි ගතියක් නෑ අප්පා. ඒ කාලේ කොටින්නේ මිණී, අපේ මිණී බලලා ගත්ත ආතල් එකත් නැතිවුනානේ.

    කොතනින්ද ආකල්ප වෙනස් කරන්න පටන්ගන්න ඕනේ? ගෙදරින්ද? ඉස්කෝලෙන්ද? පන්සල/පල්ලිය/කෝවිලෙන් ද?

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලාම ගෙදරින්.එක්කෝ ටීවී එක විකුණලා නැත්තං පොළවේ ගහලා.ඊට පස්සෙ ඉස්කෝලෙන්.ප්‍රින්සිපල් ළමයින්ට කුණුහරප කියලා බණිනවානං දෙමව්පියෝ ඉස්කෝලෙට ගිහිල්ලා ඒකට ඒ වෙලාවේ විසඳුමක් ගන්නවා මිසක් එකෙක් මළාට පස්සේ බොරුවට උඩ පැනලා වැඩක් නෑ.
      පන්සල් පල්ලි කෝවිල් ගැනනං මං කතා කරන්නේ නෑ.

      Delete
  6. මල්ලි, මෑත කාලයේ බ්ලොග් අස්සෙන් මම දකින විසේශ ලියන්නෙක් ඔයා. නිතර ඒක නොකීවට මට උඹට ඇත්තටම ආදරෙත් ඒ හින්දා.
    මේ ෆේස්බුක් මරණයි අරවයි මේවයි ගැන බ්ලොග් ලියන ඈයෝයි පත්තර වල ලියන ඈයොයි ගැන වමනෙට එන්න ලංවෙලා හිටියේ. මේ මරණ නිකම් ප්‍රදර්ශණ භාන්ඩයක් වෙලා වගේ කියලා මට නම් හිතුනේ. අදහස් හුවමාරු වීම හොඳ වුනාට ඒකෙන් තවත් එකෙක් දිවිනහගන්න එක වැඩි වෙනවා කියන එකවත් මේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. මේ සමාජය මේ මරණ වලට වගකිව යුතුයි. මේ මිනිස්සු මීට වඩා උපදේශන සේවාවන් වලට යොමු කිරීම මිස කන් පැලෙන පොර ටෝක් කියවලා මිනිස්සු අපහාසයට පත්කරමින් තවත් ඒ අසරණයන්ව අමාරුවේ දානවාට වඩා මේ වගේ පොඩි එවුන් එකෙක් දෙන්නෙක් හරි ඉන්නවා කියලා හිටහ්න එකත් ආඩම්බරයක්. (ඊටත් වඩා ඌ ඉස්සරහට දොස්තර කෙනෙක් කියන එකත් තවත් සතුටක්.)

    ReplyDelete
    Replies
    1. විදුහල්පතිවරුන්ට හමුදා පුහුණුව දෙනවා වෙනුවට මනෝ උපදේශනවලට යොමු කරවන්ඩ ඕනේ..අනේ මන්දා අපේ රටේ දේශපාලන ප්‍රතිපත්ති ඔක්කොම පය බරවායට පිටිකර බෙහෙත් බඳින ඒවා තියෙන්නේ.
      ඇගැයීමට ඉස්තූතියි!!!

      Delete
  7. අදහස් ටික අගය කරනවා.. ඒත් දැන් කාලේ වෙන්නේ සිද්දීයක් වුන ගමන් ඒකට දෙන්න පුළුවන් උපරිම ප්‍රසිද්දීය දීලා ඒක කරළියට ගේන එක.. ඊට පස්සේ වෙන සමාජ බලපෑම් ගැන හිතන්න කවුරුවත් නෑ.. හැමදේම තාවකාලික තමුන්ගේ වාසිය ගැන විතරයි හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේ මාධ්‍යකාරයෝ මෙච්චර රටේ හොරාකන දේසපාලුවෝ ඉද්දි උංගැන කතා නොකර මේවා පුම්බලා පෙන්නන එකනේ මළ පනින්නේ

      Delete
  8. කියන්න නම් පුලුවං කියමුකො දිනුක... ඒත් කව්ද ඇත්තටම ඕ ගැන ක්‍රියා කරන්නෙ... අඩු ගානෙ ඔය පෙන්නල දීල තිබ්බ කාරණා අනුව කොහොමත් වැඩ කටයුතු සිද්ධ වෙන්නෑනෙ... ඇයි කියල හිතල බැලුවොත් සරලම කාරණය...
    මොකද්ද....????
    රේටිංස්.....

    ReplyDelete
    Replies
    1. කවුරු හරි පටං ගන්ඩ ඕනෙනේ බං.ඔන්න නලින් අයියත් වැඩ අල්ලලා තිබ්බා.
      උඹලටත් පුළුවන් ටික ටික මොනවා හරි කරන්ඩ.ගෙදර උං ටීවී එකේ ඔය කුණු බලද්දි මම කරනවා වගේ උංව බයිට් කරපං ලේ පිපාසිතයෝ කියලා.මහා පරිමාණයෙන් ඕනේ නෑ.උඹේ ජීවිත කාලේ ඇතුලත එක ජීවිතයක් වෙනස් කරපං.ඒ ඇති.

      Delete
  9. ඇත්ත, මොකක් හරි සිද්ධියක් වෙච්ච හැටිය ඒකට සෑහෙන ප්‍රසිද්ධියක් දීල ඊට වැඩිය ප්‍රසිද්ධියක් දෙන්න පුලුවං එකක් අහුවෙච්ච හැටිය ඒකට ප්‍රසිද්ධිය දෙනව මුල් එක අමතක කරල දාල. අන්තිමට කලින් සිද්ධියට සම්බන්ධ කෙනාට, පවුලෙ අයට මොකද උනේ කියලවත් හොයන්න එකෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ප්‍රසන්න අයියේ.එක්කෝ පටං ගත්තු සිද්දිය ඉවරම කරලවත් ඉන්ඩ ඕනේ අඩුම තරමේ.

      Delete
  10. මාර්කැටින් මලයෝ මාර්කැටින්..

    ReplyDelete
    Replies
    1. පාරිභෝගිකයෝ එකා එකා හරි අඩු කරමු.එතකොට කුණු වෙළඳාම කවද හරි බංකොලොත් වෙලා යයිනේ

      Delete
  11. ජීවත්වෙන්ඩ මොනවාහරි විකුනාගන කනවා

    ReplyDelete
    Replies
    1. උඹේ ගෙදෙට්ට ගන්ඩ එපා අටං අයියේ.ළමයින්ට පොඩි කාලෙදිම ඕවා ඔළුවට වැටෙන්ඩ නං දෙන්ඩම එපා...

      Delete
  12. බොහොම හොඳ ලිපියක් දිනුක. මේ කාලයේ ලිවිය යුතු වර්ගයේ ලිපියක්. දෙකට කැඩුවා නම් හොඳයි කියලා හිතුණා. බ්ලොග් කියවන්නන්ගේ පහසුව තකා...

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා දිග වැඩියි කියලා නං.ඒත් ඔන්නොහේ දැම්මා..

      Delete
  13. //හවසට ගෙදර ආවේ කොටි කීයක් මැරිලද බලන්ඩ.යුද්ධයේ විනාශය බලන්ඩ.//
    ඔබේ ඒ ප්‍රකාශය සපත කළ හැකි කියමනක්ද මම අසා තිබෙනවා.
    යුද්ධය, මැදිවූවාට හිසරදයකි නමුත් එය බලා සිටින්නාට ක්‍රීඩාවකි.

    දිවි නසා ගැනීමත්, ඒ පරිදිම යි කියා විටෙක සිතේ.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...