17 July 2013

උං බිව්වා කියලා අපි මැරෙන්ඩ ද?






අරක්කු බිව්වාම සිරෝසිස් නම් රෝගී තත්ත්වයක් වැළඳෙනවා ලු ය.ඒ කියන්නේ අක්මාව හෙවත් පීකුද්දට කෙළ වෙලා යන එකටය.අරක්කු ඇඟ ඇතුලේදී බිඳ වැටී විෂ සහිත සංයෝගයක් හැදෙන අතර අක්මා සෛල මේ විෂ සංයෝගය මරාගෙන මැරෙන්නේ බොන එකා විෂෙන් බේරා ගන්ඩය.අක්මා සෛල මිය ගියාට අක්මාවට අළුතෙන් නැවත සෛල හදා ගැනීමේ හැකියාවක් තියෙනවා ය.නමුත් ගැටළුව තියෙන්නේ බොන උන් මේ අක්මාවේ සෛලවල නැවත ජනනය වීමේ වේගය අභිබවා සෛල මිය යන වේගය වැඩෛවන තරමට බොන්ඩ ගත්තාමය.එතකොට සෛල හැදෙන වේගෙට වඩා මැරෙන වේගය වැඩි වී සරල අනුකළනයට අනුව අක්මාවට කෙළ වෙනවාය.


නමුත් බොන උන් මේ කතාව පිළිගන්නේ නැත.උංට සිරෝසිස් ගැන කිව්වාම සමාජයේ අම්බානට බී අවුරුදු 80-90 ජීවත් වෙච්ච උන් ගැන උදාහරණ දික් කරන්නෝය.මගේ ජීවිත කාලය ඇතුලත මගේ අවට සිටි මා ඇසුරු කළ පුද්ගලයින් 6 දෙනෙක් බීම නිසා අකාලයේ ස්වර්ගස්ත වූහ.මේ මම ඉස්පිරිතාලයේදී මිය යනු දුටු සංඛ්‍යාවට අමතරවය.අර උදාහරණය ඉදිරිපත් කරන්නන්ට දෙන්නට මා ළඟ ද උදාහරණයක් ඇත.

උදා:- පොල් ගසක් යට සිටගෙන සිටින්නෙකුගේ ඔළුවට පොල් ගෙඩියක්, පොල් අත්තක්, ඇට්ටියක්, කළටියක් කුරුම්බැට්ටියක් හෝ හනස්සක් වැටීමේ අවධානමක් ඇත.මෙහිදී අවධාරණය කළ යුත්තේ අවධානමක් ඇත යන්නය.සමහර විට එකෙක් පොල් ගහක් යට අවුරුද්දක් හිටියත් කිසිවක් ඇඟට නොවැටීමටද ඉඩ ඇත.වැටෙන ඒවාත් කණ ගාවින් ඇඟේ නොගෑවී වැටීමට ඉඩ ඇත.එමෙන්ම නිකම් පොල් ගස යටින් යන්නෙකුට ඒ තත්ත්පරයේදී හොඳ සයිස් පොල් ගෙඩියක් හිස මතට වැටී ජන්මාන්තර ගත වීමේ භාග්‍යය ලැබීමට ද ඉඩ ඇත.එනිසා අපට උපදෙස් දිය හැක්කේ පොල් ගස් යට සිටීමෙන් වැළකෙන ලෙසය.එවිට පොල් ගෙඩියක් හිසට වැටීමේ අවධානම ආසන්න වශයෙන් ශුන්‍ය වේ.


මේ කොච්චර කිව්වත් බොන එකා බොනවාමය.උන්ට ජීවිතේ වෙන ආතල් ටික ටික නැති වෙලා යනවාය.ඒක අපිට කමක් නැත.උංගේ චූන් උංට චූන් නිසාය.නමුත් ගැටළුව එන්නේ උං තනියම චූන් එක ගන්නේ නැතුව අපිත් එක්ක බෙදා ගන්නට එන එකය.ඒ කියන්නේ නොබොන උන්ට පොවන එක විතරක් නෙමෙයිය.ගෑනිට වධ දීම, ළමයින්ට වධ දීම ආදිය ගැන අපිට කරන්ඩ දෙයක් නැත.අපේ රටේ ගෑනු මිනිස්සුංව පාලනය කර ගන්ඩ දන්නේ නැත.මිනිහා බොනවා නං ගෑනිත් බොන්ඩ පටං ගන්ඩ ඕනෑය.ළමයින්ටත් ටික ටික බොන්ඩ දෙන්ඩ ඕනෑය.එතකොට මිනිහා බීලා පිස්සු නටද්දී ඒක පිස්සුවක් මෙන් පෙනෙන්නේ නැතුව යනවාය.

එහෙම බොන්ඩ අවුල් වගේනම් ඒ කියන්නේ තමුන්ගේ අක්මාව, වකුගඩු, හෘදය ආදිය ගැන හිතන පතන ගෑනු මනුස්සයෙක් නම් දෙයියනේ කියලා තමුංගේ රස්සාවක් හොයාගෙන මිනිහාගෙන් දික්කසාද වෙන එක හොඳය.ඒ උනාට අපේ රටේ ගෑනු එහෙම කරන්නේ නැත.මිනිහාගෙන් ගුටි කන එක සහ බීපු මී හරකෙක් එක්ක (වමනය ගඳ සහ පාලනය කර ගන්ඩ බැරි ශරීරයක් එක්ක ) රමණයේ යෙදෙන්ඩ අපේ රටේ බොහොමයක් ගෑනු කැමතිය.ඒක නිසා උන් මිනිහාට දෙස් දෙවොල් තියමින් ඒකා එක්කම සිටිති.

උංගේ චූන් එක අපිත් එක්ක බෙදාගන්නවා කිව්වේ උං බීලා බීලා කෙළ උනාම ඒ බර අපිට දරන්ඩ වෙන එකය.මම ඒ දවස්වල මිනිස්සු බොන එක ගණන් ගත්තේ නැත.ඒකා බීලා මැරෙන එක උගේ අයිතියක් නිසා ඒ පිළිබඳව ඇස් කන් පියාගෙන ඉන්නට පුරුදු උනෙමි.නමුත් වාට්ටුවලට යන්ඩ පටන් ගත්තාට පස්සේ වාට්ටු භාර වෛද්‍ය නිළධාරියාට මේ බේබදු හරක්ගෙන් තියෙන කරදරය දැක්කාට පස්සේ මගේ ඒ අදහස් වෙනස් විය.මන්ද නුදුරු අනාගතයේ මාද ඒ කුණු කට්ටට කරගහන්නට සිතාගෙන සිටින නිසාය.බීලා කෙළ වෙලා එන උන්ගේ බොහොමයකගේ සිහි කල්පනාව හොඳ නැත.එක පොරක් සිහි විකලෙන් අතේ ගසා තිබූ සේලයින් කට්ට ගලවන්නට තැත් කළ නිසා ඔහුගේ දෑත් ඇඳට තබා බැඳ දැමීමට සිදු විය.නමුත් කට්ටිය එහෙ මෙහේ වූවාට පසු පොර කකුලෙන් සේලයින් බෝතලය එල්ලා තිබෙන තැනින් වැට්ටීමට උත්සාහ කරනු දුටු විට මට ඇති වූ ප්‍රහර්ෂය කියා ඉම කළ නොහැක.

තව එකෙක් ඇඳට දමා ඇඳෙන් වැටීම වැළැක්වීමට ඇඳේ දෙපස ආරක්ෂක වැට ඉහළට ඔසවා තැබූ විට මේකා එහි යකඩ කූරක් දෙපැත්තෙන් කකුල් දෙක දමාගෙන ඇඳෙන් බසින්නට උත්සාහ කරන්නට වීය.සිහි විකල්ලෙන් ඇඳෙන් බැසීමට දඟලද්දී යකඩ කූරේ වැදී ජුන්ඩා තැලෙනු දැක අනුකම්පාවක් ඇති විය.මෙවන් උන් වාට්ටුවේ ඉන්නා විට අනිත් ලෙඩ්ඩුන්ට අවධානය යොමු කරන්නට ඇති වෙලාව අඩු කරන්නට සිදු වේ.බඩේ වතුර පිරිලා හුස්ම ගන්ඩ අමාරු වෙනකොට ඒවා ඇදලා දාන්ඩ, ප්‍රතිශක්තිය අඩු නිසා ආසාදන ගැන විමසිල්ලෙන් ඉන්ඩ, රුධිරයේ අඩු සංඝටක අනුව පාරවිලයනය කරන්ඩ, අක්මාවේ , වකුගඩුවල ක්‍රියාකාරීත්වය මැනීමට රුධිර පරීක්ෂා කරන්ඩ ආදී එකී නොකී කර්තව්‍ය රැසක් මේ හරක් වාට්ටුවලට ගාල් කිරීම නිසා වෛද්‍යවරයාට පැවරේ.වෛද්‍යවරයාටත් වඩා වෙහෙසක් ඇති වන්නේ හෙදියන්ටය.ඒ නිසා මේ දෙගොල්ලෝම අර යක්කුන්ගේ ඇඟට කඩා පැනීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

අනිත් ආතල් එක ඇත්තේ හදිසි අනතුරු වාට්ටුවේය.වාහන ඇක්සිඩන්ට් බොහොමයක් ඇල්කොහොල් හින්දාය.වලියක් ගිහින් කා කොටාගෙන නම් එතනද මුළිං ඇත්තේ ඇල්කොහොල්ය.මේ යක්කුන්ට වියදම් කරන්නේ මහජනයාගේ සල්ලි මිසක් බාර් කාරයින්ගෙන් ගන්නා හෝ උන්ගෙන් ගන්නා මුදල් නොවේ.බීලා එන උන්ගෙන් සල්ලි ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැරසුනද එය ලත් තැනම ලොප් වූ බව කිව යුතු ය.ඒ නිසා මේ බොන උන්ගේ සෞඛ්‍ය රැක ගන්නට ඔබ අපි හැම දෙනාම උර දෙන්නෙමු.



අරක්කු විස්කි බ්‍රැන්ඩි රම් කසිප්පු හෝ රා යන ඕනෑම මගුලක ඇත්තේ එතනෝල් ය.ඒ නිසා එක එක ජාතිවලින් එක එක විදිහට වෙරි වෙනවා කියන්නේ පට්ට බොරුවක්ය.බීපු උන් සහ බොන උන් මේක පිළිගන්නේ නැති බව මම දන්නවාය.නමුත් ඇල්කොහොල් යනු මොළය නිද්‍රාවට පත් කරන්නා වූ සංයෝගයකි.එනම් ඇල්කොහොල් මඟින් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුකොට පානය කළ තැනැත්තා නින්දට යොමු කරවන සංයෝගයක් වේ.නමුත් මාධ්‍ය මඟින් සහ පූර්වජ බේබද්දන් විසින් වර්තමාන බේබද්දන්ට ඇල්කොහොල්වල වෙනස් මුහුණුවරක් ඇති බව මවා පෙන්වා ඇත.බිවූ පසු ඇතිවන (පෙන්වන ) අමුතු ජවය ඇත්තටම ඇල්කොහොල් මඟින් ඇති කරන්නක් නොවේ.එය පැව්ලොව්ගේ බලු පරීක්ෂාව හා සමාන වූ මොළයේ කෘත්‍රීමව ඇති කරන ලද ප්‍රතිචාරයකි.

ඒ කියන්නේ ජීවිතේට අරක්කු ගැන අසා හෝ දැක නැති එකෙකුට පෙවූ විට ඌ කරන්නේ කාටවත් කරදරයක් නොකර පැත්තකට වී නිදා ගන්නා එකය.එහෙම නැතුව බොරුවට සූර් වී ගෝරිවල පැටලෙන්නට යන්නේවත්, කුණුහරප කියා බෙරිහන් දෙන්නේවත්, ගෑනි සමඟ බලෙන් රමණයේ යෙදෙන්ඩ යන්නේ වත් නැත.

බොන උන් කියන තවත් සිරා කතාවක් ඇත.උන් කියන විදිහට බොන එක හෙණ ආතල් ය.ඒකෙන් ගන්නා ෆන් එක වෙන එකකින්වත් ගන්නට බැරිය.අනිත් උන් බොන එකට බණින්නේ බොන එකේ ආතල් එක විඳගන්ඩ දන්නේ නැති නිසාය. හරි අපි ඒක එහෙම යැයි මොහොතකට හිතමු.නමුත් මේ සුරලොව පෙන්වන අමෘත පානය බොන්නේ උන් විතරය.ඒකෙන් බිඳක් වත් උං උංගේ පෙම්වතියන්ට, බිරින්දෑවරුන්ට හෝ දරුවන්ට දෙන්නේ නැත.අනිත් හැම සැපතක්ම බෙදා හදා ගන්නා මේ බේබද්දන් සිය සහකාරියට සහ දරුවන්ට තමන් විඳින ඒ අමා මහ සැපත විඳින්නට දෙන්නේ නැත.ඒ කියන්නේ උන් මහා ආත්මාර්ථකාමී නරුම හැත්තක් ය.

මේ ගැන ලිව්වේ ළඟදී සිදුවූ නිමිත්තක් හේතු කොට ගෙනය.මගේ දෙවන මාමා ද බීලා මිය ගියේය.ඒ ගැන අපේ අම්මා මැරෙන්ඩ හැදුවාය.ඒකා මැරෙන්ඩ වැටී ඉද්දී බලන්ඩ නොයෑම ගැන මට දොස් කිව්වාය.මළාට පස්සේ මළ ගෙදරවත් යන්ඩ කිව්වාය.ඊට පස්සේ දානේට යන්ඩ කිව්වාය.මේ එක එකා බීලා මැරෙන මැරෙන පාරට මගේ වැඩ පාඩු කරගන්ඩ මම සූදානම් නැත.නමුත් මේ මාමා බිව්ව ආකාරයේ වෙනසක් ඇත.ඌ බැන්දේ ළමයි ලොකු මහත් වෙච්ච ගෑනියෙක්වය.ඌ බඳිද්දීත් ඒ ළමයින් සමාජයේ තැනකට ඇවිත් සිටියෝ ය.මාමාට ළමයි නැත.ඔහුගේ විශ්‍රාම වැටුප ඔහු මිය ගිය පසු නැන්දාට හිමි වේ.ඒ නිසා ඌ බීලා මළාට එච්චර දුකක් නැත.

නමුත් කළින් මිය ගිය එකා ළමයි හතක් හැදුවේය.ඒකා බිව්ව නිසාත් උගේ ගෑනිට ළමයි ගැන වගේ වගක් නැති නිසාත් ළමයි ටික නන්නත්තාර වෙන්ඩ් ගොස් යන්තම් ගොඩ ගියෝය.මේ දවස්වල අන්තිම එකා ගොඩ දාන්ඩ වලි කනවාය.ඌට සා\පෙ පළමුවර සමත් වෙන්ඩ බැරි වූ නිසා දෙවන වර ලියන්ඩ අපේ ගෙදර ගෙනත් නවත්තා ගත්තෙමු.ඌට ගණන් කියා දෙන්ඩ ගොස් මට එපා විය.1250-1000=250 යි කියා ගාණ හදන්ඩ ඌ දන්නේ නැත.ඌ එවරත් සා\පෙ අසමත් වූ බව කියන්ඩත් දෙයක් නොවේ යැයි සිතමි.


මේකේ ආතල්ම සීන් එක මේ දෙන්නාගේම මළ ගෙදරට සෙට් වෙච්ච කට්ටිය පදමට මත් වීම ය.මට කරන්නට ඉතුරුව තියෙන්නේ ඊලඟට ස්වර්ගස්ථ වන එකා අනුමාන කිරීම පමණකි.මේ ගැන අපේ චූටි මාමාට කිවූ විට ඔහු මරු කතාවක් කීවේ ය.

'ඒ දවස්වල ඇමරිකාවේ හොරකම් කළාම මරණ දඬුවම දෙනවලු ප්‍රසිද්දියේ.ඉතිං සෙනඟ මේ මරණ දඬුවම බලන්ඩ පිරිලා ඉන්න වෙලාවේ තවත් සෙට් එකක් බලන්ඩ ආව උංගෙන් පික් පොකට් ගහනවලු.'

ඒකත් එක්ක මට මතක් උනේ 'සොර දෙටුවෙල් කස තැලුම් කකා දං ගෙඩියට ගෙන යන වේලේ වධක බෙරේ දැක සොරා ගන්ඩ එය කදිමයි ලොබ සිතුවාලූ' කියන සීන් එකය.

කවුරුවත් බිව්වාට මට කමක් නැත.නමුත් බීලා අනිත් උන්ට වදයක් වෙන්ඩ එපා යැයි කාරුණිකව ඉල්ලා සිටිමි.මට ඇති අනිත් දුක හරක් වෙනුවෙන් ගිණි තියා ගත්තාට කවුරුවත් අරක්කු වෙනුවෙන් ගිණි තියා ගන්නේ නැති එක ය.ඉන් ගම්‍ය වන්නේ හරක් බේරා ගැනීම බේබද්දන් ගොඩ දැමීමට වඩා උතුම් බවද???

ඉස්තූතියි!!!



37 comments:

  1. කන බොන එකෙක් නෙමෙයි වගේය. ඔය කියපු හැමදෙම නොබොන උනුත් කරනවාය. වෙජිටේරියන් උන්ද කරනවාය. වෙජිටේරියන්ලාට සිරෝසිස් හැදුනුත් බොන එකාටත් වඩා අමාරු වෙනවාය. නොබොන එකා බීමේ ආතල් එක දන්නේ නැතිය. ඒ නිසා වැදගත් විදියට බොන්න එන්න කියා ආරාධනාවක් කොරන්නට කැමතිය. බොන එකාගේ බොක්ක හොඳය. බොන උන් ගැන රසවත් ළිපියක් මෙතනින් බලා ගන්න පුළුවන්ය.

    http://c-u-l-t.blogspot.com/2013/07/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. අලුතෙන් කමෙන්ට් දාන්නට දෙයක් නැතිය. කිව යුත්ත මැනවින්ල මාතලන් කියා ඇත.

      Delete
    2. බීලා ඇත්තෙමි.නමුත් ඉන් මා ලද ප්‍රතිලාභයට වඩා වෙනත් මාර්ගවලින් සතුටක් ලබමි.බොන උංගේ බොක්ක හොඳයි කියා ඔබ කියන්නේ ඔබ බොන උන් ආශ්‍රය කර ඇති නිසාය.මමද බොන උන් ආශ්‍රය කරමි.එයිටත් වඩා බොන උංගේ පවුල්වල උදවිය ආශ්‍රය කරමි.එවිට උංගේ බොක්කේ තරම නියමාකාරයෙන් වටහා ගත හැක.

      ඇත්තමයි මාතලන් අයියේ සහ නලින් අයියේ මට බොන එක ගැන ඇති වෙන්ඩ පුද්ගලික අත්දැකීම් තියෙනවා.ඒ ගැන පස්සේ වෙනම ලිපියක් ලියන්ඩ හිතං ඉන්නේ.

      Delete
    3. බොන උන්ගේ බොක්ක හොඳයි කියන කියමනත් පැව්ලෝ ගේ බල්ලාගේ කතාව වගේ ය.
      අපි බොන්නේ අපි එක්ක හොඳ උන් එක්ක විතරය. ඉතින් උන්ගේ බොක්ක කොහොමත් අපිට හොඳය. අපි හොඳ බොකු බව එකිනෙකාට පෙන්වමු. එම බොකුම අපිට නොකලාට අනික් උන්ට කැරි වැඩ කරන බව අපිද දනිමු. නොබොන එකාද හොඳ බොක්කකි එමෙන්ම නො බොක්කකි. එය එකවිට සිදුවේ. උදාහරණ ලෙස බොන නානසාර සාදු අපිට හොඳ බොක්කකි. හම්බයන්ට දස කැරියෙකි

      Delete
    4. ඉතින් මාතලන් දිනුක කිව්වා වගේ ඔය දන්නා ඔය අතල් එක ඔයාගේ දරුවන්ට් පුරුදු කරන්නකෝ. අපේ රටේ ඉන්න අනිත් මෝඩ දරුවන්ව එයට යොමු නොකර. වෙජිටෙරියන්ලට සිරෝසිස් හැදුනම අමාරු වෙනවා කියන එක ඔයාගේ අලුත් සොයා ගැනීමක් වගේ. කවුරු කොහොම කිව්වත් ලංකාවේ ඉන්න මෝඩයන්ට cirrhois හැදෙන්න ප්‍රදාන හේතුව alcohol.ඔය අටම් සහ සහන් medical ward එකකට දවසක ගිහින් බැලුව නම් තේරෙයි. මේ බේබදු කාලකන්නි නිසා මොලේ උන හරි තවත් බරපතල අසනීපයක් තියෙන දරුවෙකුට වියදම් කරන්න /ඉගෙන ගන්න තියන මුදල් තමයි නාස්ති වෙන්නේ. අර ලේ කඳුලක් වත් නැති අහිංසක ගොවියෙක් පිනට කියල දෙන ලේ ටික අරගෙන ගිහින් අයෙත් බිල ලේ වමනේ දාගෙන එනකොට කොහොමද අතල් එක. ඒ මදිවට් අහිංසක ඩෙංගු හැදුන රෝගීන් වෙනුවෙන් වැය කළහැකි කාලය මේ අය වෙනුවෙන් වැයකරන එක සදරණද? මම අටම් ට කියන්නේ. මාතලන් වගේ නෙමෙයි ඔයාට පොඩි දුවල දෙන්නෙක් නේ ඉන්නේ.කවද හරි එයාල ට ඔය බිම නිසා ඔයා නැතිවුණොත් ඔය අනිත් අය එයාලව බලගනියිද?

      Delete
  2. හ්ම්...............කියෙව්වා කියෙව්වා. අපේ දුවත් කියනවා ..................හ්ම්............

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ උනාට නොබීම බැරිද? මං නං කියන්නේ පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්ඩ කියලා.ඔය කවුරු බොන්ඩ බොන්ඩ කිව්වත් ඔබතුමාට ඇත්තටම ආදරේ කරන ඈයෝ ඒ කියන්නේ ගෙදර ඇත්තෝ කියන්නේ ඕක නවත්තන්ඩ කියලනේ.

      Delete
  3. බීලත් බැහැ.නොබීලනම් කොහොමත් බැහැ.අනේ මන්දා.මම ඒත් තාම බොනවා.

    ReplyDelete
    Replies
    1. බොන්ඩ පටං ගත්තම අනිත් දේවල් පැත්තකට දාලා බොන එකටම යොමු වෙන හින්දා පස්සේ පස්සේ වෙන දේවල්වලින් ආතල් එකක් ගන්ඩ බැරුව යනවා.එතකොට නොබී ඉන්න වෙලාවට මහා පාලුවක් කාන්සියක් කම්මැලිකමක් දැනෙන්ඩ ගන්නවා.ඒවා තේරුම් අරං ජීවිතේ වෙනස් කරගන්ඩ පුළුවන්නං තමයි මරු.

      Delete
  4. දිනුක අනාගත වෛද්‍ය වරයෙක් විදිහට ඔබ දරණ ආකල්ප බොහෝම වැරදියි.එච්චරයි කියන්න තියෙන්නේ. කොලු කමට කිව්වා කියමු , ඒත් මේක නේද ඔබේ සැබෑ ආකල්පය රෝගීන් ගැන ?

    ReplyDelete
    Replies
    1. ලොකු කමෙන්ට් එකක් ලියලත් දැම්මේ නැහැ..මේ ලෝකේ වෙන ප්‍රශ්න නිසා දිනුක සහ සහන් හිත් අමනාපකම් ඇති කරන් වැඩක් නැහැනේ..කොහොම උනත් සානුකම්පාවෙන් බලන්න රෝගීන් දිහා..

      ( මම මත්පැන් බොන කෙනෙක් නොවෙමි )

      Delete
    2. සිරාවටම දිනුක ඔයා කියන කතාව නං ඇත්ත ඒ උනාට ඔයා රෝගින්ට ප්‍රතිචාර දක්වන්න අදහස් කරන විදිහේ අවුලක් තියනවා

      Delete
    3. අටමා මේ ට්ක හොඳට කියවලා තේරුම් ගත්තොත් හොඳයි.. අර බ්ලොග් එකේ ලියලතියෙන එවුවයින් පේනහැටියට ඔය පාර බොහොම කොටයි පු‍තෝ..

      Delete
    4. සහන් අයියේ සහ අටං අයියේ ඔන්න තරහ වෙන්ඩ ඔට්ටු නෑ හරිය.දැං ඔබතුමලා දෙන්නා ස්ත්‍රී දූෂකයෙක් දිහා ඔය කියන විදිහට අනුකම්පාවෙන් බලනවද?මමනං ඒ වගේ උන්ට අනුකම්පා කරන්නේ නෑ.ඒ වගේම තමයි බීලා ලෙඩ වෙලා එන එකාව මම දකින්නේ තමුංගෙම ශරීරය හිතා මතාම දූෂණය කරගෙන ආව එකෙක් විදිහට.එතකොට ඒ මනුස්සයා රෝගියෙක් විදිහට දකින්නේ කොහොමද කියන ප්‍රශ්නේ එනවා.අනික අපි කට්ට කාලා මිනිහව ගොඩ දාලා ගෙදර යැව්වා කියමු.ඒ මනුස්සයා බොන එක නවත්තනවා කියලා ඔයාලා හිතනවද?

      ඔය එක ලෙඩෙක් වෙනුවෙන් දාස් ගාණක් ආණ්ඩුවෙ සල්ලි වියදම් වෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතිං මිනිස්සු නොබී හිටියානං ඇත්තටම ලෙඩ වෙලා එන මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්ඩ පුළුවං නේද?

      අනික බොන එකා බොන්නේ ලෙඩ වෙන බව නොදැන නෙමෙයිනේ.වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට තියා සෘෂිවරයෙක් උනත් මටනං ඇතිවෙන ආකල්පය එච්චරම තමයි.අනිත් ලෙඩෙක් වෙනුවෙන් මගේ අතේ සල්ලි වියදම් කරලා කන්ඩ බොන්ඩ මොනවා හරි ගෙනත් දෙන මට අර මිනිස්සු ගැන එහෙම ආකල්පයක් හදාගන්ඩ බෑම තමයි,

      ඉස්තූතියි සරත් අයියේ හයියක් උනාට.

      Delete
    5. ඒක තමයි දිනුක තමන් ගැනවත් නොහිතන මිනිස්සු නිසා ඔයයි මායි තඹ සතේක හිත් නොහොඳක් ඇති කරන් වැඩක් නැති නිසයි මම අර කමෙන්ට් එක දැම්මෙත් නැත්තේ..

      අනිත් එක දිනුක මේ ලෝකේ වෙන දේවල් බැලුවම මේවා ගණන් ගන්න දේවලුත් නෙවේනේ..අපේ හිතවත් තියාගත්තම ඇති ලෝකෙට මොනවා උනත්..මම මේ සිරාවට කියන්නේ..

      අන්තිමට ලෝකෙත් නැහැ , හිතවතත් නැහැ...ඊට වඩා හොඳයි නේද හිතවත්කම තියන් ඉන්න එක..?

      Delete
    6. ඉස්තූතියි සහන් අයියේ.ඉන්ඩකෝ මේ ගැන අනිත් ලිපියත් දානකං.එතකොට ඔයාට මම හිතන විදිහ ගැන අදහසක් එයි.

      Delete
  5. මමනම් එදා ඉඳන්ම බොනවා ඇල්වතුර . හැක හැක .......

    ReplyDelete
    Replies
    1. එව්වනං අපිත් බොනවා ඈ.ඇයි ඇඟ පොඩ්ඩක් රත් වෙන්ඩ කියලා බොනවා උණු වතුර.

      Delete
  6. මට නං මේ ලිවිල්ලේ කිසිම අවුලක් නෑ... ඉල්ලන් ලෙඩ වෙන උන් සහ ඉල්ලන ලෙඩ ඇඟට දාගන්න උන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමයි මොකාට උනත් හොඳ.... ඔය බීම මාර ආතල් හැබැයි ගානට බොන්න ඕනෙ කියන කට්ටිය තමයි මේවට වැඩිපුරම පෝර දාන්නේ... හැබැයි එයාලත් දන්නේ නෑ “ගාන” මොකද්ද කියලා... ඒකයි අවුල... මොකද බොන උන්ට තියෙන ලොකුම නිදහසට කරුණ ඕකනේ... ඇත්තටම බොන මනුස්සයෙක් ඉන්න ගෑණියෙක් ජීවත් වෙන්නේ අනෙ මේ යකා මැරිලා පලයන් කියල කිය.. ඒත් අර නමට හරි මිනිහෙක් ඉන්න ඕනේ නිසා ( නැත්තං අපේ ඉන්න එවුන්ගේ හටි දන්නවනේ) අර යකාව ජීවත් කරගන්න හදනවා... ඔය බේබද්දන්ගෙන් ඉස්පිරිතාලවලදි සල්ලි ගන්න ලෑස්ති උනත් එතන්දිත් ඒ කරුමෙට කර ගහන්න වෙන්නේ ගෑණුන්ටයි ළමයින්ටයි... අනේ උන් සිරෝසිස් හැදිලා මැරිලම ගියාවේ....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට ඔහොම කිව්වට කිසිම අවුලක් නැහැ තමයි..ඒත් වෛද්‍ය ශිෂයෙක් විදිහට කියන්න බැහැ..

      Delete
    2. ඔය පේනවා නේද බොන එකේ ආතල් එක බොන එකා වින්දට ඒකේ කරුමේ දන්නේ ගෑනු පාර්ශවේ අය තමයි.බොන එකාගෙං කට්ට කන්නේ ඒ උදවිය නොවැ.

      අනේ සහන් අයියේ මම වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලා මක්කැයි කරන්නේ.බොන උංව ඇලජික් නං.ලෙඩ්ඩු කියන කොට්ඨාසෙ ගැන මගේ කිසි අවුලක් නෑ.බීලා කෙළව ගන්න එකෙක්ව ඔයාලා ලෙඩ්ඩු කියන ගොඩට දාන්නේ කොහොමද කියලා මටනං තේරෙන්නෙ නෑ.

      Delete
    3. July 18, 2013 at 1:24 PM

      මගේ මෙන්න මේ කමෙන්ට් එක පරිශීලනය කරන්න... සිරාවටම කොහෙවත් යන උන් නිසා අපි පැටලිලා වැඩක් නැහැනේ..

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. අනේ මංද, කට්ටිය උඩිං ඇති වෙන්න අදහස් දක්වල තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔන්නොහේ ඔයත් මොනවා හරි කියන්ඩ ප්‍රසන්න අයියේ.

      Delete
  9. වැදගත් ලිපියක් දැනුම බෙදා හදා ගත්තාට ස්තුති ඇත්තටම අපි අපෙ වටිනාකම හරියට දන්නවද

    ReplyDelete
    Replies
    1. එළ එළ ජයවේවා.ජීවිතේ වටිනාකම දන්න එකම කොච්චර දෙයක්ද

      Delete
  10. සහතික ඇත්ත සහෝදරයා... මමත් එකඟයි කතාවට, වැඩේ කියන්නේ මේ ඔක්කොම දැන දැනත් බොන උගතුන් සෙට් එකක් අපේ රටේ ඉන්න එකනේ...
    ඉදිරියටත් මේ වගේ වටිනා ලිපි පල කරන්න. අහම්බෙන් මේ පැත්තට අවේ. අයෙමත් එන්නම්. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත මචං.අපේ ෆැකල්ටියෙත් ඉන්නවා නොවැ බොන උන්.

      Delete
  11. Love this post... Keep up bro. Mama comment ekak danne na ban. Nikan mokatada meka kunuharapa walin purawanne.. Hope you can understand...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත බොන එක ගැන කතා කරන්ඩ ගිහිං හිත කුරුවල් කරගන්ඩ එපා බං.

      Delete
  12. //..නමුත් බොන උන් මේ කතාව පිළිගන්නේ නැත.උංට සිරෝසිස් ගැන කිව්වාම සමාජයේ අම්බානට බී අවුරුදු 80-90 ජීවත් වෙච්ච උන් ගැන උදාහරණ දික් කරන්නෝය...//

    මේ කතාවට නම් පට්ට ලයික්. අපේ නෑදෑ වෙන සීයා කෙනෙක් පහුගිය දවසක මැරුණා. වයස අවුරුදු 95 යි වයස. හොඳට බිව්වා විතරක් නෙමේ මස් මාළු එහෙම නියමෙටම කෑවා

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ.ඒ උනාට හසිත මලයානං බොන්නැතුව ඇති කියලයි හිතෙන්නේ.

      Delete
    2. බොහොම හොඳ අමද්‍යප සාමාජිකයෙක්මි :)

      Delete
  13. බොන උන් ගැන වටිනා අදහස් ටිකක්. අපි දන්නෙ නෑනෙ බොන උන් ඉස්පිරිතාලවල චාටර් වෙන හැටි.. මෙහෙම එකක් තියනවා, ඔය ඇඟ මහන්සිවෙලා වැඩ කරන අය හවසට පොඩ්ඩක් ඇඟෙ අමාරු යන්න කියලා දානවා.. ඕක දැන් දියුනු වෙලා වැඩ පටන් ගන්නෙත් දාගෙනමයි.. ලාබ නිසා කසියා ගහනවා.. ඕක වෙනස් කරන්න ලොකු සටනක් කරන්න ඕන.. බොන උන් පැත්තකට කරලා .. මැරියල්ල කියල ඔය තත්වය වෙනස් වෙන්නෙ නෑ. නමුත් බොන එකෙක්ගෙ බොන එක නවත්තවලා ඌ ලව්ව කියෙව්වොත් බොන්න එපා කියලා අඩුගානෙ එකෙක් දෙන්නෙක් වත් අහනවා..

    මම නම් බොනව.. ටිකක් සතියකට සැරයක් විතර.. හිනියට ෆිල්ම් එකක් හරි වෙන වැඩසටහක් බලන අතරේ.. හෝ යාලුවෙක් සෙට් උනාම.. වෙලාවක් ලැබුනාම හොඳ බාර් එකකට හරි ක්ලබ් එකකට හරි ගිහිල්ල බියර් එකක් දෙකක් බොනවා..

    ReplyDelete
  14. අපේ සර් කෙනෙක් ඉන්නවා අම්බානක ගහනවා.ටිකක් වයසයි. තව තරුණ ඩයල් එකක් ඉන්නවා. දවසක් මෑන් කතාවෙන් කතාවෙන් ගියා අර මනුස්සයට උපදෙස් දෙන්න. අර මනුස්සයා කිව්වේ ' මේ අහපං. මං ළමයි හැදුවා. ගෙයක් හැදුවා. ළමයිට හොඳට ඉගැන්නුවා. දැන් මං මැරෙන්න හරි බොනවා... මට බොන්න එපා කියන උඹ මේවයින් මොනවද කරලා තියෙන්නේ?' අනිත් සර්ට කට උත්තර නෑ. මේ මිනිස්සු ටොක් ඉශූ කරන්න ගත්තම උන් අහන ඒවට දෙන්න උත්තර හොයන්න වෙනවා බං.

    ReplyDelete
  15. "ඔය එක ලෙඩෙක් වෙනුවෙන් දාස් ගාණක් ආණ්ඩුවෙ සල්ලි වියදම් වෙනවා කියලා ඔයාලා දන්නවා ඇතිනේ.ඉතිං මිනිස්සු නොබී හිටියානං ඇත්තටම ලෙඩ වෙලා එන මිනිස්සුන්ට ඒ සල්ලි වියදම් කරන්ඩ පුළුවං නේද?"
    මේ කතාව මට මීට කලින් වෙනත් වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ලැබුනා. ඒ අයගෙ අත්දැකීම් ඇතිනේ මේ වගේ අය සම්බන්ධව. ඔහු නම් කිව්වෙ බීමට ඇබ්බැහි වුන කෙනෙක් වෙනුවෙන් කරන වියදම වගේම ප්‍රතිකාරත් අවසානයේ පල රහිත බව. එවැනි අය හා ගැටෙන ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට වඩා පිටතින් බලන අයෙකුට එහි සැබෑ තත්වය තේරුම් ගත නොහැකියි. නොදන්නා අයට දැන ගැනීමට ප්‍රතිකාර සඳහා පැමිණෙන මේ අය සම්බන්ධ සටහන් තව ලියවෙනවා නම් හොඳයි.
    මැණික්

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...