01 July 2013

හැමෝටම සාධාරණ විසඳුමක්...


අනිද්දා ආයිත් විභාගයක්ය.ඒක නිසා ඇති වෙන්ඩ පාඩං එහෙම කරලා නිදාගන්ඩ කියලා ඇඳට ගියාට නින්ද ගියේ නැත.මම ඔය විමල් අයියලා ,පාඨලී අයියලා වගේ නෙමෙයිය.හැම තිස්සේම රට ගැනම හිත හිතාමය ඉන්නේ.දැං නින්ද ගියේත් නැත්තේ රට ගැන හිත හිත ඉඳලාය.රටේ ප්‍රශ්නවලට කල්පවත්නා ස්ථිරසාර ධරණිය විසඳුමක් හිත හිතා ඉන්නකොට හෙණ ගහන්නා වගේ පස්ට අයිඩියා එකක් ආවේය.උදේ වෙනකොට අමතක වෙලා තිබ්බොත් අපරාදේ හින්දා දැන්ම ලියලා තියලා නිදාගන්ඩ හිතුවෙමි.

කරන්ඩ තියෙන්නේ මේකය.කට්ටියම ඔය මැනිං මාර්කට් එක පැත්තේ ගිහිල්ලා රාබු,ගෝවා,කොස් ඇට වගේ වායු වඩන එළවලු ටිකක් අරං කැමති විදිහකට උයාගෙන කන්ඩ ඕනෑ.හොඳට රහට උයාගන්ඩ බැරිනං මාරයාට දෙන්ඩ කෝල් එකක්.ඔන්ලයින් කුකරි ක්ලාස් එකක් දාලා හරි උයන හැටි කියලා දෙයි ඕං.දැං මේ වායුබලය උදරයේ ක්‍රමයෙන් වර්ධනය වෙනකොට කට්ටියත් එක්ක යන්ඩ ගිහිල්ලා නගින්ඩ යාපනේ යන බස් එකකට.බස් එකේ සින්දු දාලා තිබ්බේ නැත්තං යාපනේට යනකං හොඳ නින්දක් එහෙම දාලා යාපනෙන් බැහැලා යන්ඩ මුහුදු වෙරළට.ගිහිල්ලා ඉන්දියාවට පසුලා දකුණට මුහුණලා හිටගන්ඩ.දැං ඉණෙන් අංශක 30-45ත් අතර කෝණයකට නැමී උදරයේ දැඩි පීඩනයෙන් එක් රැස්ව ඇති වාතය ඉන්දියාව දෙසට මුදාහරින්ඩ.

ඔන්න එච්චරයි.දැං ඉතිං නාගදීපේ යන කට්ටිය නාගදීපෙ යන්ඩ.ඩෙල්ෆ්ට් යන අය ඩෙල්ෆ්ට් යන්ඩ.නන්දිකඩාල් බලලා, කට්ටපරිච්චාන්, කිළිනොච්චි පැත්තෙ රස්තියාදුවක් එහෙම ගහලා තම තමුංගේ ගෙවල් බලා ගියාට කමක් නෑ.ඔබ තමුන්නාන්සේලා දේශප්‍රේමයෙන් කරන්ඩ යෙදුන ඒ මහා ශබ්ධ හා ගන්ධ පූජාව නිසා අපේ රටේ සියළු ප්‍රශ්න හිරු දුටු පිනි සේ නැතිවෙලා යන්වා නියතය.

ඒක සිද්ධ වෙන්නේ මෙහමය.එක්කෝ ඉන්දියාවේ උන්ට අධෝවාත ශබ්ධය ඇසී ලංකාව උන්ට එරෙහිව යුධ ප්‍රකාශ කළා කියලා කලබල වෙනවාය.සද්දේ ඇහුනේ නැතත් නිරිත දිග මෝසම් සුළං සමඟ ගසාගෙන යන ඔබගේ වීරෝධාර අධෝවාත ඉන්දියාවේ වෙරළබඩ ප්‍රදේශවල ජනතාව අතරේ වසංගත තත්ත්වයක් නිර්මාණය කරනු ඇති අතර විශ වාතය ඇතිවූ ආකාරය සොයා පරීක්ෂණ කරද්දී ඉන්දියාවේ රෝ ඔත්තු සේවයට වැඩේ මාට්ටු වනවා ඇත.මේ ක්‍රම දෙකටම ඉන්දියාවේ උන්ට අපි කළ වැඩේ මාට්ටු උනේ නැතත්, ඔබගේ උදරය තුල සෙල්සියස් අංශක 40ක පමණ වන උෂ්ණත්වයක සම්පීඩිතව පැවති වාතය වායු ගෝලයට මුදා හැරීමත් සමග ප්‍රසාරණය වී බෙංගාල බොක්කේ පහල වායු ස්ථරවල කැළඹීමක් හටගෙන එය සුළි සුළං තත්ත්වයක් දක්වා වර්ධනය වනවා ඇත.ඒ සුළි සුළඟට 'රාමා, හනුමා' වැනි ඉන්දීය නමක් තැබීමට අපේ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති අතර එයින් ඉන්දීය ජනතාව අතර දරුණු කැළඹීමක් හට ගන්නවා ඇත.නම තබා ගැනීමට අපොහොසත් උවත් සුළි සුළඟෙන් දකුණු ඉන්දියාව චකබ්ලාස් වී ගිය විට ඒ ගැන සොයා බැලීමට ඉන්දියාවෙන් පත් කරන ත්‍රිපුද්ගල කමිටුවට අපේ අධෝ වාත ගැන සොයා ගැනීමට මහා කාලයක් යන්නේ නැත.ඉතින් ඔබට පෙනෙන ආකාරයට කෙසේ හෝ ඉන්දියාව අපේ රටත් එක්ක මළ පනින නිසා ඔවුන් අපත් සමඟ යුද්ධයට එනවා ඇත.

ඉන්දියාව මේ පාර පරිප්පු දාන්නේ නැති බව මට හොඳටම ශුවර් ය.පරිප්පු මේ දවස්වල ගණන් ය.අනික ඉන්දියාවේ ගංවතුරෙන් අනාථ වෙච්ච කට්ටියට දෙන්ඩ තියෙන පරිප්පු ලංකාවට ගෙනත් දාන එකක් නැත.දැම්මත් අපේ මහින්ද ලොක්කා ඒකත් පැකට් කරලා ටැන්සානියාවට හෝ ස්වාසිලන්තයට විකුණනවා ය.ඒ නිසා ඉන්දියාව අපේ රටට ගහන් එක ගහනවාය.කොච්චර පම්පෝරි ගැහුවත් අපේ දේශප්‍රේමී ඇත්තංගේ දේශප්‍රේමය ඒ වෙලාවට රෙද්ද පල්ලෙන් බේරෙන්ඩ පටං ගන්නවාය.එතකොට අපි හැමෝම එකාවගේ එකට එක්ව කොළඹ ලිප්ටන් වටරවුම අසළට එක් වී අත් උස්සා ඉන්දියාවට යටත් විය යුතුය.අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්විය යුතුය.ඔන්න සහෝදරවරුනි, මෙතැන් සිට අපේ ප්‍රශ්න එකින් එක විසඳෙන්ඩ ගන්නවාය.

අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් වූ සැනින් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වන්නේය.මොකද ඉන්දියාවට ඉන්දියාව එක්කම ගිවිසුම් ගහන්ඩ බෑනේ.දහතුන ගැන කෙස් පැළෙන තර්ක ගේන්ඩ ඕනෑ නැත.ඉන්දියාවේ ප්‍රාන්තයක් හැටියට ප්‍රාන්තය ඇතුලේ බලය බෙදිල්ලක් ගැන කතා කර පලක් නැත.ඉන්දියාව ඇතුලේ වෙනම රටක් ගහන්ඩ ඉන්දීය මධ්‍යම රජය ඉඩ නොදෙන නිසා ඊළාම් කතාව හීනයක් වෙනවා ඇත.අන්වර් මනතුංග ඇතුළු මුස්ලිම් අන්තවාදීන් ටික 'මෙහෙ ඉන්ඩ බැරිනම් පලයව් පකිස්තානෙට' කියා එළවා දමනවා ඇත.

සේතු සමුද්‍රම් සම්පූර්ණයෙන්ම අමතක කර දමනවා නිසැක අතර න්‍යෂ්ඨික බලාගාරයද අපිට හානියක් නොවන දුරකින් ඉඳි කරනවා ඇතිවක් මෙන්ම අඩු මිලට ඉන් විදුලියද ලබා දෙනු ඇත.එවිට දැනට පවතින විදුලිය මාෆියාවට යන එන මං නැතිවනු ඇත.මෙතැන් පටන් මුහුදු සීමා උල්ලංගනය කළා යැයි ධීවරයින් අත් අඩංගුවට ගැනීම් නතර වනවා ඇත.ඇමරිකාව නෝර්වේ ඇතුළු බටහිර රටවල ඇඟිලි ගැසීම් නැතිවී යන අතර එවැනි දේශපාලන අත පෙවීම්වලදී කෝටි දෙසීයක් පමණවන ජනතාවක් අප සමඟ ඉන්නවා ඇත.අපේ ලොක්කා චීනයෙන් ගත් මහා ණය කන්දරාව මධ්‍යම ආණ්ඩුවෙන් ගෙවා දමනු ඇති අතර අපේ රටේ ඊළඟ ජන වර්ගය ලෙස ක්‍රමයෙන් වර්ධනය වන චීන ජනගහණය ද අඩු වී යනු ඇත.හැම දේම චීනයෙන් ගෙන්වීම නවතා දමා සියල්ල අපේ රටේම (ඉන්දියාවේ) නිපදවීමේ අභිමානය අපට ලැබෙනු ඇත.

ඉන්දියාවට බැණ බැණ හින්දි චිත්‍රපට බැලීමේ කැත පුරුද්ද නතර කොට ජාතිකාභිමානයෙන් යුතුව 'පිර්භී දිල් හේ හින්දුස්ථානී' කියමින් හින්දි චිත්‍රපට බැලීමට හැකිවනු ඇත.කඩාවැටෙන සිනමාවට හැමදාම බැණ අඬගසමින් ඉන්නවා වෙනුවට ජාත්‍යන්තරය හා කරට කර යන සිනමාවක් අපටත් ඇතැයි උදම් ඇනීමට ද හැකිවේ.අපේ කොල්ලන්ට හින්දි කෙල්ලන් හා විවාහ වීමටද අවස්ථාව ලැබෙනු ඇත.අපේ ජාතික ගීතයට දෙමළ කෑල්ලක් දානවාද නැද්ද යනුවෙන් හිත හිතා ඉන්න උවමනා වන්නේද නැත.හැමෝම බෙංගාලි බසින් 'ජන ගන මන' ගයනු ඇත.ලංකාවෙන් ඉන්දියාවට ගොස් සිටින්නන් තව දුරටත් සරණාගතයින් සේ නොසළකනු ඇත.ඔවුන් ඉන්දියාවේ පුරවැසියන් සේ සියළු අයිතිවාසිකම් සඳහා උරුමකම් කියනු ඇත.

තවත් උග්‍ර අර්බුධයක් වන ක්‍රිකට් ක්‍රීඩාවටද මෙයින් වන්නේ යහපතකි.අපේ කණ්ඩායම තව දුරටත් ඉන්දීය කණ්ඩායමට පරදින්නේ නැත.අපේ කණ්ඩායමේ දැනට ඉන්නා දක්ෂයින් ජාතික කණ්ඩායමට එක් කර ගන්නවා ඇත.පහුගියදා පැරදුනු කප් එකද නිකම්ම අපේ වනවා ඇත. අයි.පී.එල්.වලට අපේ කණ්ඩායමක් රංජන් රාමනායකගේ හෝ සංගීතා වීරරත්නගේ සංවිධානයෙන් දැමිය හැකි නිසා අපේ ක්‍රීඩකයින් රට පාවා දී අයි.පී.එල්. ගියා යැයි කියන චෝදනාවෙන්ද ගැලවෙනවා ඇත.

අපේ ප්‍රාන්තයේ මහ ඇමති ලෙස මහින්ද ලොක්කාවම පත් කර ගත යුතුය.ලොක්කාගේ තීක්ෂණ යුධෝපක්‍රම අධාරයෙන් (සරත් ෆොන්සේකා මෙව්වා දැනගෙන හිටියේ නැත ) ඉන්දියාව ද ත්‍රස්තවාදය පරාජය කරනු ඇත.ආරක්ෂක ලේඛම් ධූරයෙන් විශ්‍රාම යන ගෝඨාභය මාමාට නවදිල්ලියේත් මුම්බායේත් අනවසර ඉඳි කිරීම් ඉවත්කොට තණකොළ වවා ගල් අල්ලා අලංකාර කිරීමට බාර දෙනු ඇත.බැසිල් මාමාට ජීවිත කාලය පුරාවටම කාපට් කර කර සිටීමට තරම් පාරවල් ලැබෙනු ඇත.නාමල් සහ යෝෂිත ඉන්දියාවට රගර් ගැන කියා දෙනු ඇත.රෝහිතගේ බුද්ධි මහිමයෙන් ප්‍රභාවත් වන ඉන්දීය අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සක්වල තරණය කොට බ්‍රහස්පති මත ජනාවාස පිහිටවනු ඇත.චීනයෙන් යැවූ සහ ඉන්පසු කිසිඳු තොරතුරක් නොලද ලංකාවේ චන්ද්‍රිකාව මෙන් නොව නිසි ලෙස ක්‍රියාත්මක චන්ද්‍රිකා පද්ධතියක් අපටත් උරුම වනු ඇත.එස් බී දිසානායක මහතාගේ මනදොළ සපුරමින් පුද්ගලික විශ්ව විද්‍යාල රැසක් අපටද හිමිවන නිසා හැමටම (මුදල් ගෙවා ) අධ්‍යාපනය ලැබීමේ සම අයිතිය හිමිවනු ඇත.

මේ ආකාරයට අපේ රටේ දැවෙන අර්බුධ රැසකට සාර්ථක පිළියමක් ලෙස මම මේ යෝජනාව හෙට ජනපතිතුමන්ට පිළිගැන්වීමට සිතාගෙන සිටිමි.මෙයට ප්‍රතිගාමීන් විරුද්ධ විය හැකි උවත් ප්‍රගතිශීලී ජනතාව මාගේ මේ ව්‍යායාමය සාර්ථක කර ගැනීමට සහය දෙන බවට මට දැඩි සේ විශ්වාසය.


10 comments:

  1. හ හා...ඔය තියෙන්නෙ මරු idea එකක්, රජතුමා අනිවාරයෙන්ම උපදේශක තනතුරක් දෙයි.

    සිතුම් සයුර

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තූතියි සහෝදරයා.උපදේශකකම් නං එපා.බැණුං අහලා ඉවරයක් නැතිවෙයි..

      Delete
  2. ITHAMATH LASSANATA LIYALA THIYANAWA. THANK YOU.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ඉස්තූතියි ඇනෝ..

      Delete
  3. මේක ලියලා පිංතූරේ හොයාගත්තද දැක්ක පිංතුරෙට කතාව ලිවුවද?
    Samakaya Wate නලින්

    ReplyDelete
    Replies
    1. අනේ නෑ නලින් අයියේ ලියලා ඉවරවෙලා ගූගල් එකේ හෙව්වම හම්බුවෙච්ච එක තමා ඔය..

      Delete
  4. මේ පින්තූරේ මමත් තියාගෙන හිටිය එකක් පසුව දාන්නම් කියලා. නමුත් ඔබේ වාසනාව. ඔබ ඉස්සර වුනා. ඔන්න මේ දවස්වල අපේ දෝණියැන්දත් නහයෙන් අඬනවා විභාග ගැන කියලා. අද (ජූලි 2) තිබුන විභාගේ කොහොමද? ඔබට ජය පතනවා. අපේ දුව විභාගෙට යන්න සාරි අඳින්න ගිහිල්ලත් නහයෙන් අඬනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මගේ වෙලාව එහෙනං ඈ.අද විභාගෙනං ෂේප් වගේ.විනාඩි පහේ වැඩේනේ.හෙට තමයි කේස් එක.බලමුකෝ....වෙලාවට අපිට සාරි අඳින්ඩ නෑ....

      Delete
  5. oya idea eka nam patta gathi macho...but weradiyi...e unaata ubata kiyana de gembura therenawa..isthuthi liwwata

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඇති යන්තං, කාලෙකිං උඹේ කොමෙන්ට් එකක් දැක්කේ...

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...