25 August 2012

පශ්චාත් නන්දිකඩාල් දේශය III






'සාක්සරතාව සාක්සරතාව සාක්සරතාව......'

ලොක්කා මුමුණ මුමුණා එහාටයි මෙහාටයි යනවාය.බිම තියෙන කාපට් එකත් උන්නාන්සේගේ කකුල්වලටම ගෙවිලාය.අත්දෙක පස්සට බැඳගෙන සරම පිටිපස්සෙන් උස්සා අල්ලාගෙන ඇවිදිද්දී පුරාණ ආරච්චි කෙනෙක්ගේ තේජස දිස්වෙන නිසා ඉස්සුනු සරමට යටින් පස්සා පැත්ත පෙනීම එච්චර ජුගුප්සාජනක වෙන්නේ නැත.මම අවසර නොගෙනම ළඟ තිබූ පුටුවක ඉඳ ගත්තෙමි.අරලිය ගහ මෙව්වා එකේ එහෙම නැත්තං පොස් විදිහට 'ටැම්පල් ට්‍රීස්' එකේ පුටුවක ඉඳගන්ඩ ලැබෙන්නේත් පෙර පිනකටය.
මමනං එච්චර පිං කරලා ඇතැයි මමවත් හිතන්නේ නැති උවත් මටද එකල සිටම විවිධ රාජකීය පශ්චාත්භාගවල උෂ්ණයෙන් පදම් වූ මේ පුටුවල මගේ කැහැටු පස්ස තැබීමේ අවකාශය ලොක්කාගේ රාජකීය අණකින් ලැබී ඇත.

ඒ මට මෙහි ඇතුළු වී පැය භාගයක් පමණ යනතුරු සිටගෙන සිටීම අපහසු බව රජතුමාද දැන සිටීම නිසාය.සතියකට දින දෙකතුනක් උන්නාන්සේව බැහැදැක උපදෙස් දීමට සිදුවී ඇති නිසා සතියකට කිහිපවරක්ම ඇතුළුවන දොරටුව අසලදී රාජපුරුසයින්ගේ ගොරහැඩි ඇඟිලිවලින් මගේ මුළු සර්වාංගයම පරීක්ෂාවට ලක්වේ.තද යමක් හසුවුනු විට මිරිකා බැලීමේ ඔවුන්ගේ පුරුද්ද නිසා මට පැය භාගයක් පමණ සිටගෙන සිටීම අපහසුවන සේ යටිබඩ කොර වී යයි.උන්නාන්සේගේ ආරස්සාවට මම මගේ පරම්පරාවද කැප කර ඇති නිසාය මේ ඉහළ වරප්‍රසාදය මට හිමිව ඇත්තේ.

'සාක්සරතාව සාක්සරතාව සාක්සරතාව......'

ලොක්කා තාමත් එහෙට සහ මෙහෙට යමින් මුමුණන්නේය.සාක්සරතාව නෙමෙයි ලොක්කා සාක්ෂරතාව යැයි කියා ලොක්කා නිවැරදි කරන්නට සිතුනත් 'ප්‍රජාතන්ත්‍රවාදය' නිවැරදි ලෙස උච්ඡාරණය කරන්නට කියාදෙන්න ගොස් කෑ කට්ට මතක් වී මම වහා එම වචන ගිල ගතිමි.

'මොකක්ද උතුමාණෙනි අවුල?සාක්ෂරතාව අපේ රටේ හරි ඉහලයි නෙව.දුක්වෙන්නේ මොකටද?'

'ඒක තමයි බං අවුල.දැං බලපං අපේ රටේ උංගේ සාක්සරතාව ඉහලයි කියලා කවුරුහරි කිව්වා.අපිත් ඉතිං ඕක අල්ලගෙන පුරුදු විදිහට පම්පෝරිය ගැහුවා.ඊට පස්සේ ක්ෂිතිජයෙං එහාට ලෝකෙ පෙන්නන්ඩ කියලා ඔන්න කොම්පීතර සාක්සරතවත් වැඩි කරන්ඩ කියලා අපි ජුන්ඩියට වගේ වැඩක් පටංගත්තා.උඹත් හිටියනේ උපදේශක මණ්ඩලේ.'

'ඉතිං බොලේ හොඳයිනේ.නැණසලම කීයක් දැම්මද?දැං ඒවා එකක් දෙකක් ඇරෙන්ඩ අනිත් ටික වැහිලා ගියාට අපි පටංගත්තනේ.ගංවල කොල්ලො කුරුට්ටෝ මුළිං කොච්චර සතුටු උනාද දැං ඉතිං අයිඩෙන්ටි එක තියන්නැතුව ජාලෙංම එව්වා මෙව්වා බලන්ඩ ඇහැකි කියලා.පස්සේ උන්ට මළ පැන්න එක වෙනම කතාවක් අර සයිට් ටික තහනං කරලා  දැම්මම.'


ලොකකාගේ සිහිය විපරීත වෙලා හන්දා මම කියපු දේවල් ඒ ශ්‍රී කර්ණවල ගැටුනද මොළය කරා ගමන් කළේ නැත.

'දැං බලපං තියෙන අවුල.මේ යක්කු ඉගෙන ගත්තම හරි වදේ බං.ඉස්සර සුද්දංගේ කාලේ වගේ කරබාගෙන කියන දෙයක් අහගෙන ඉන්නෙ නෑ.මුං එනවා අපෙං ප්‍රශ්න කොරන්ඩ.කොරවලා ගන්නංකෝ මං.' ලොක්කාගේ මළ තද වෙන්ඩ වෙන්ඩ උස්සාගෙන සිටින සරම තව තවත් ඉහළට ඔසවන නිසා ඔහු කේන්ති ගන්නවාට මම එච්චර කැමති නැත.

'ඉතිං ඔය සුදු බණ්ඩා උන්නාන්සේ හීං නූලෙං වැඩේ දීගෙන යන්නේ.තව මොනවද? දැං කැම්පස් ගිය උන්ටත් ශුවර් නෑ ඇත්තටම උං පාස් වෙලාද ආවේ නැත්තං ලකුණු වැරදිලාද කියලා.ගෙවල්වල උනුත් දැං දරුවෙක් විභාගයක් පාස් උනා කිව්වට හිනාවෙලා ඔළුව අත ගාලා තෑග්ගක් අරන් දෙන්නෑ.ලකුණු ආයෙ වෙනස් කරයිද කියලා විමසිල්ලෙං ඉන්නවා.ළමයෙක් කැම්පස් පාස් කිව්වට නෑයො ගණං ගන්නෑ.ටියුෂන් කාරයෝ පාස් වෙච්ච උං ගාන දාලා හෑන්ඩ් බිල් ගහන්නෑ.කැම්පස් ඩිග්‍රිය වැඩක් නෑ කියලා ඇමති උන්නාන්සේ දහ අතේ දිවුරලා කියද්දී දෙමවුපියො ළමයින්ට උගන්නන්ඩ දත කන්නෑ.කෙල්ලංව කාට හරි ඉක්මනට බන්දලා දෙනවා.නැත්තං මැද පෙරදිග අරිනවා එහෙ උන්ට පොඩි බඩගින්නට ගන්ඩ.කොල්ලංව කොරියා අරිනවා.'

'ඉතිං ඒකනේ බං ප්‍රස්නේ.දැං බලපං තව කාලයක් ගිහිල්ලා මහාවංසේ ලියවුනෝතිං එහෙම ලංකාවේ හොඳට තිබ්බ සාක්සරතාව කෑ රජතුමා මමයි කියලා.හරි කැතයිනේ බං.මං කොරපු මෙව්වා අස්සේ ඔය වගේ එකක් වැටුනොත්.  චිඃ'

'අපි ප්‍රසිද්ධ කරමු මේක විදේශ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක්ය කියලා.ඉවරයිනේ වැඩේ.අපේ රටේ සීග්‍ර සංවර්ධනය ඉවසා දරාගත නොහැකි වූ කුප්‍රකට ඇමරිකාවේ සී අයි ඒ එකේ කූටෝපක්‍රමයක් ලෙස අපේ රටේ සාක්ෂරතාව පහල ගොස් ඇත.මේ ගැන ජනතාව කළබල වීම නුවමනාය.මන්ද රජතුමා මේ ගැන සොයාබලා වහාම වාර්ථාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය කියලා පවුලේ නාලිකාවේ දාමු.දවසට තිස් පාර ගානේ සතියක් දැම්මම ඕක සමාජගත වෙනවනේ.'


'ඉතිං බං ඕක කී පාරක් දැං කළාද? අපි විමල් මලයගේ සෙට් එක දම්මලා තාප්පවල එව්වා මෙව්වා ලියෙව්වා.හැබැයි සිංහලෙං.ඕවා උං කියෙව්වොත් එහෙම බබිත් ඉවරයි, බබිගේ අම්මිත් ඉවරයි.ඒක අපි මේ ශේප් එකේ යට යන්ඩ දීලා තියෙන්නේ.ආයෙ ඔය වගේ කේස් එකක් ඇදලා ගත්තොත් ශුවර් ඇමරිකන්කාරයට මළ පැනලා අපිට දෙනවා සොට් එක.ඔය අපේ අයියලා මල්ලිලා සෙට් එකම එහෙ කකුලක් තියාගෙන නෙව ඉන්නේ.ඉතිං එහෙව් එකේ උන්ට සිංහලෙං බැණලා ඉංග්‍රීසියෙං වැඳලා තමයි අපි ඉන්නේ.බණින එකත් තිරිත්තුවක් තියාගෙන ඕනෙ කරන්ඩ.'

'එහෙනං ඉතිං එක වැඩයි කරන්ඩ තියෙන්නේ.යුව රජතුමා රැකෝඩ් තියලා විභාගෙ පාස් වෙච්චි කොරමේ සමාජගත කරන එක.අපි අපේ උපදේශක මණ්ඩලේ කීප දෙනෙක්ට කියමු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා කියන්ඩයි කියලා මෙහෙම,

වර්ථමානයේ ඇත්තේ තොරතුරු තාක්ෂණ යුගයයි.අන්තර්ජාලයේ අසීමිත ලෙස අපට එදිනෙදා අවශ්‍යවන මෙන්ම කළාතුරකින් අවශ්‍යවන තොරතුරුද ඇතුලත් වේ.එනිසා අපේ රටේ තරුණ ප්‍රජාවගෙන් කරුණු කටපාඩම් කරගෙන සිටීම හෝ තර්ක දැනගෙන සිටීම බලාපොරොත්තු වීම නිශ්පලය.අපට දැන් අවැසි වන්නේ පරිගණකයේ ඇති තොරතුරු කොපි කර අවශ්‍ය තැන පේස්ට් කිරීමට හැකි දරුවන් පමණය.ඒ නිසා අපි රජයට යෝජනා කර සිටිනවා මින් පසු සියළු විභාග සඳහා සියළු ශිෂ්‍යයින්ට අන්තර්ජාල පහසුකම් ලබා දෙන ලෙස.'

යුවරජ ධාතුසේන කුමාරයා එනවා පෙනුන නිසා මම හීං සීරුවේ මන්දිරයේ මුළුතැන්ගෙට පල්ලම් බැස්සෙමි.



7 comments:

  1. හිනාවෙන්නද අඬන්නද ??? ඔන්න ඔහේ ඉන්න ටික දවසේ හිනාවෙලා ඉමු :D

    ReplyDelete
    Replies
    1. එතකොට අනාගත පරපුර????

      Delete
    2. @ දිනුක

      මග ගොහොරුවෙනුත් තවත් ගොහොරුවට ඇවිල්ලා නොවැ, ඒත් යමක් කළ යුතු බව නම් සැබැයි

      Delete
    3. ශිෂ්‍යත්වෙත් අනාගෙනලුනේ.අනේ මන්දා.ළඟදිම ඔය විභාග නිසා කෙළවෙච්චි එකෙක් ඕකුන්වත් මරාගෙන මැරේවි!

      Delete
    4. @ දිනුක

      ශිෂ්‍යත්වය විභාගය ආයි පාරක් තියෙන කතාවක් මටත් අහන්න ලැබුණා.... රටකට ගිය කලක් :(

      Delete
  2. අනේ මන්දා මුන් රටේ මොනවා ඉතිරි කරයිද කියලා .....

    ReplyDelete
    Replies
    1. ඉතුරු කරයි ලක්ෂ 65ක ඩිග්‍රි විතරක්

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...