28 August 2012

ක්‍රිකට්




මට ක්‍රිකට් ගැන දැනුමක් ඇත්තේම නැත.ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් ද නැත.ඒත් ඉඳ හිට වෙන වැඩ ඇත්තේම නැති වෙලාවල ක්‍රිකට් ක්‍රීඩා කර ඇත්තෙමි.පන්දුවට පහර දීමට ලැබෙන්නේ අනිත් උන් ඔක්කොම දැවී ගිය පසුවය.



අපේ රටේද ඉන්දියාවේ මෙන් ක්‍රිකට් සංස්කෘතියක් ඇත.ක්‍රිකට් තරගයකට පසු දාට දුම්රියේදී බස්රියේදී අඳුනන ඇයෙක් දුටු විට අසන්නේ 'ඉතිං කොහොමද?' කියා නොව, 'මැච් එකට මොකද උනේ?' කියලාය.ක්‍රිකට් නරඹන්නේ නැතැයි කී විට 'මොකක්ද බං ඔය ජීවිතේ?' කියා අසති.ගම්පහ සිට කොළඹට ළඟාවන තුරුම විවිධ විචාරකයින් හා ක්‍රිකට් පුහුණුකරුවන් පෙරදින තරගයේදී එක් එක් ක්‍රීඩකයන් ක්‍රීඩා කළයුතුව තිබූ අයුරු විස්තර කරති.'අරූට කළිං මූව බැට් කරන්ඩ දැම්මනං ඊයෙ මැච් එක දිනන්ඩ තිබ්බා' ආදී දෑ කියා අදහස් දක්වති.ක්‍රිකට් මණ්ඩලයේ පමණක් නොව ක්‍රීඩා අමාත්‍යංශයේද මුල් පුටු වෙනස් කිරීමට පිඹුරුපත් සකසති.ඉන්පසු දෙමටගොඩින්, මරදානෙන් හෝ කොටුවෙන් බැස වැඩට යති.

ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු සිටින බවත්, පිතිකරුවන් වරකට පිටියට පිවිසෙන්නේ දෙදෙනෙකු පමණක් බවත්, පන්දුවට මුළින් පහර දෙන කණ්ඩායම තෝරා ගන්නේ කාසියක් උඩ දමා 'නෝනා පොල්ල' බැලීමෙන් බවත් මෙන්ම පන්දුවේ එක් පැත්තක පමණක් කෙළ ගා හොඳින් පිස දමා බ'නූලි නියමය අනුසාරයෙන් පන්දුව දඟ කවන බවත් දනිමි.ලසිත් මාලිංග (අර තැනින් තැන කහ පාට කරලා තියෙන පොකුටු කොණ්ඩයක් තියෙන හාදයා ) පන්දුව යැවීමට පෙර එය ඉඹ එයට යම් රහසක් කියනු මම දැක ඇත්තෙමි.මේකාට කිහිප දෙනෙක් කෙළ ගෑ පන්දුවේ ගඳ දැනෙන්නේ නැද්දැයි යන්න නම් මට නොතේරේ.

සුද්දෝ පෙර කල යටත් විජිත තැනූ යුගයේ ආදායම ඇති පමණ තිබූ නිසාත් අතට පයට අපේ වැනි ප්‍රෞඪ ජාතීන්ගෙන් දැසි දස්සන් අපමණව සොයා ගැනීමට සිටි නිසාත් ජීවිතයේ ඉතුරුවන කාලයෙන් කිරීමට වෙනත් දෙයක් නැති නිසාත් බිලියඩ්, ස්නූකර්, ගොල්ෆ් හා ක්‍රිකට් වැනි ක්‍රීඩා නිපදවූහ.සුද්දා කරන හැම දේම ඉස් මුදුනින් අගය කර අනුකරණය කිරීම අප වැනි ප්‍රෞඪ ජාතියකට අභිමානයක් වන නිසා අපේ කොල්ලෝ කුරුට්ටෝද සුද්දා කෙළින කෙළි බලා කදුරු බෝල පොල්පිති ගෙන වෙල් ඉපනැල්ලේ ක්‍රිකට් කෙළියෝය.

වසර දෙදහස් පන්සීයයකටත් වඩා පැරණි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති අප වැනි රටවල සුද්දන්ටත් වඩා මේ ක්‍රීඩාව ප්‍රචලිත වන්නට විය.එවිට සුද්දාට හදිස්සියට කඩේ යවා ගන්නවත් කොලු ගැටයෙක් සොයා ගැනීම අපහසු විය.මන්ද මුන් දින ගනන් ක්‍රීඩාවේ නිරත වන්නට වූ බැවිනි.එනිසා සුද්දෝ ක්‍රීඩාවට කාල සීමා පැනවූවෝය.අපේ උන් ද වග විභාගයකින් තොරව පිළිගත්තෝය.දැන් ක්‍රීඩාව පන්දු වාර විස්ස දක්වා පහල බැස ඇත.මෙයින් වූයේ අපට සුද්දාට කඩේ යන්නට සෑහෙන කාලයක් ඉතුරු වීමය.

දිනක් අප රටේ පියා අප කෙරේ කරුණාවෙන් ලොව බලන කල්හි මෙකී ක්‍රිකට් ක්‍රීඩාවෙ ඇති පර ගැති භාවය දකින්නේ එය පිටු දැකීමට ක්‍රමයක් සිතන්නට වන.මෙයට දිය හැකි හොඳම විසඳුම නම් වෙනත් ක්‍රීඩාවක් ක්‍රිකට් වෙනුවට ආදේශ කිරීම බව උන්වහන්සේගේ දේශ හිතෛශී බුද්ධියට පහල වූ සේක.

කැකිරි ගෙඩියක් මෙන් ඇද වූ බෝලයක් රැගෙන එහෙට මෙහෙට දුවමින්, එකිනෙකා හප්පා ගනිමින්, වැටෙමින්, පෙරළෙමින්, ගහ බැණ ගනිමින්, පොරකමින්, මඩ නාමින්, පස් කමින් කරන්නා වූ එක් පන්දු කෙළියක් නියම හෙළ ලේ දුවන්නා වූ නහර බහනින් සැදි තරුණයින්ට උචිත ක්‍රීඩාවක් බව එතුමෝ විශ්වාස කළහ.එසේ හෙයින් සිය ප්‍රාණ සමාන පුත්‍රයින් තිදෙනාම එකී ක්‍රීඩාවට යොමු කිරීමට එතුමෝ පියවර ගත් හ.

ඉනුදු නොනැවැතී ඇද බෝල කෙළි මහෝත්සවයක් සංවිධානය කිරීමට කටයුතු සංවිධානය කළ එතුමෝ ඊට කෝටි ගණනක් වැය කොටැ අසල්වැසි රාජ්‍යයෙන් කුළියට නළු නිළියෝද ගෙන්වූහ.එතුමාගේ කිරුළ හිමි වැඩිමහල් පුත්කුමරු එලෙස ගෙන්වූ ප්‍රීති සින්ටා හට යමක් පෙන්වන අයුරු එදින දිණමින පුවත්පතේ මුල්පිටේ පළ වීමෙන්ම එකී සංසිද්ධියේ වැදගත්කම අපට පසක් විය යුතුය.

ක්‍රමයෙන් ඇදබෝල ක්‍රීඩාව ජනප්‍රිය කරවාගෙන එන අතරතුර ක්‍රිකට් ක්‍රීඩාව උපහාසයට ලක්කොට ජනතාව අතර විසුළුවට ලක්කළ යුතු නිසා ඉන්දීය අයිපීඑල් ඇසුරින් ලාංකීය ඇස් ඇල් පී ඇල් එකක් සංවිධානය කරන්නට යෙදුනි.එයට අර තරම් ප්‍රචාරයක් දුන්නේද නැත.කුළියට ඉන්දීය නළු නිළියෝ ගෙන්නුවේද නැත.බොහෝ විදෙස් ක්‍රීඩකයෝ නාවෝය.ආ සමහරු ආපසු ගියෝය.නරඹන්නන්ද එතරම් නොපැමිණි බව පැවසේ.මේ ආදී ලෙසට කටකතා පැතිරී යාම නිසා අභිමානවත් ජාතියක අභිමානවත් ක්‍රීඩා උනන්දුව ක්‍රමයෙන් මොට වී යන අයුරු දැකගත හැක.ඇස් ඇල් පී ඇල් ගැන බස් එකේ දුම් රියේ කතා වෙන්නේ නැත.කාගෙන්වත් ඇහුවාට ලකුණු හෝ විකට් ගාන දන්නේ නැත.පෙර ක්‍රිකට්වලට හද මඬලේ මුලසුන දුන්නෝ තැන් තැන්වල එයට බණිනු ඇසේ.

දැන් පැමිණ ඇත්තේ ඇද බෝල යුගයයි.එම ක්‍රීඩාවට කාළගුණය එතරම් බලපාන්නේ නැත.වැස්සා කියලා ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ගණන් හදමින් ඔළුව වෙහෙසා ගත යුතු නැත.අවශ්‍යවන්නේ බිහිසුණූ කෲර මෘග දර්ශන නැරඹීමට හැකි දැඩි හිතක් පමණය.ජාතියක් වශයෙන් අපි එවන් හදවතක් උපතින්ම රැගෙන එමු.යුද්ධයේ විනාශයන් නැරඹීමට යාපනේ දුවන්නේ ඒ නිසාය.'ඉක්මනට යං.නැත්තං ඕවා ආපහු හදලා ඉවර වෙයි' කියා සියුමැළි බොළඳ ධාර්මික කතුන් යාපනේ යාමට චාරිකා සංවිධානය කරති.

එහෙව් ජාතියකට ඇද බෝල තරඟ පමණක් නොව ගොන්පොර මෙන්ම ග්ලැඩියේටර්වරුන්ගේ මාරාන්තික ද්වන්ධ සටන් උවද නැරඹීමට හැකිය.කුකුළන්ට, හාල් මැස්සන්ට මෙන්ම එළුවන්ටද නොදෙන තැනක් හරකාට දෙන නිසා ගොන්පොර නැරඹීමේදී නම් ගැටළු මතුවීමට ඉඩ ඇත.



10 comments:

  1. //දිනක් අප රටේ පියා අප කෙරේ කරුණාවෙන් ලොව බලන කල්හි මෙකී ක්‍රිකට් ක්‍රීඩාවෙ ඇති පර ගැති භාවය දකින්නේ එය පිටු දැකීමට ක්‍රමයක් සිතන්නට වන.මෙයට දිය හැකි හොඳම විසඳුම නම් වෙනත් ක්‍රීඩාවක් ක්‍රිකට් වෙනුවට ආදේශ කිරීම බව උන්වහන්සේගේ දේශ හිතෛශී බුද්ධියට පහල වූ සේක.

    කැකිරි ගෙඩියක් මෙන් ඇද වූ බෝලයක් රැගෙන එහෙට මෙහෙට දුවමින්, එකිනෙකා හප්පා ගනිමින්, වැටෙමින්, පෙරළෙමින්, ගහ බැණ ගනිමින්, පොරකමින්, මඩ නාමින්, පස් කමින් කරන්නා වූ එක් පන්දු කෙළියක් නියම හෙළ ලේ දුවන්නා වූ නහර බහනින් සැදි තරුණයින්ට උචිත ක්‍රීඩාවක් බව එතුමෝ විශ්වාස කළහ.//

    මෙහෙම වෙච්ච එක නම් ලොකු දෙයක් නැත්නම් අපිට චියර් කරන්න වෙන්නේ වෙනත් රටක ටීම් එකකට , එස් එල් පී එල් මම නම් බලන්නේ වයඹ ගහන ඒවා විතරයි සමාන්‍යයෙන් , සමහර ටීම් වලින් සෙනග අදීන්න බස් හිට්න් දාලය කියලත් ආරංචි තියනවා

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙලාද?බොලේ බත් පැකට් එකයි අරක්කු කාලයි දීලා එහෙනං මේවටත් සෙනඟ අදිනවා ඈ....

      Delete
  2. රජාගේ පුතාලා 3දෙනාම ඉස්කෝලේ කාලේ ඉදන්ම ඔය ක්‍රීඩාව නානවා ...

    ReplyDelete
    Replies
    1. දැන්නං ඔය හොඳට කොරගෙන යන්නේ.උන්දැලගෙ අතට බෝලෙ ආවම අනිත් උන් දිහා රවලා බලනවා ඇති.ඉතිං අනිත් පිළේ උනුත් ධවල යානා භීතිකාව නිසා ඉඩ දීලා පැත්තකට වෙනවනේ.

      Delete
  3. මාත් ක්‍රිකට් ගහලා තිබ්බට ක්‍රිකට් ගැන කියවන්ඩ, ක්‍රිකට් මැච් බලන්ඩ එච්චර මනාප නෑ...
    අනිත් එක අපි ක්‍රිකට් ගහනවා කියලා කියන්නෙත් නෑ. අපි කියන්නේ බෝල ගහනවා කියලා. හික්ස් :)

    ReplyDelete
    Replies
    1. එතකොට අර සෙල්ලමට මොකක්ද කියන්නේ?? බෝලෙට මරා ගැනීම කියලද??

      Delete
  4. ක්‍රිකට් ගැහිල්ල වගේම බැලිල්ලටත් මනාපයක් නම් නැත. ඇද බෝල සෙල්ලම නම් ඒ අතින් බලද්දී හොඳයි වගේ. ටීම් දෙකේ ඔක්කොම එකට සෙල්ලම් කරනවා නොවැ :D

    ReplyDelete
    Replies
    1. ඇද බෝල සෙල්ලමනං අපිට හොඳයි.ඔය පිට්ටනියක් ළඟිං දොස්තර කඩයක් දාගත්තොත් මැහුං දාලම කීයක් හරි හොයා ගත්තෑකි.මොකෝ මුං තරඟෙ පැරදුනාමත් ගහගන්නවනේ.

      Delete
  5. රවුම් බෝල සෙල්ලමට වඩා ඇද බෝල සෙල්ලමට මමත් මනාපයි. මිනිත්තු 90 න් match එකත් ඉවරයි නෙ. රවුම් බෝල සෙල්ලම බැලුව කාලයක් මතක නෑ. ඇස්. ඇල්. පී. ඇල්. පටන් ගෙන match කීපයක් ගියාට පස්සෙ තමයි දන්නේ ඒක පටන් අරන් කියලා.

    Post එක කියවන්න පටන් ගද්දි මම බලාපොරොත්තු උනා සුද්දන්ට කඩේ යන්න අකමැති, ප්‍රෞඩ කොළු ගැටයෙක් උඹට යුද්ධ ප්‍රකාශ කරලා ඇති කියලා. කෝ නෑනේ එහෙම එකක්...!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මචං මම කැරම්වලට කැමති.දක්ශයො ඉන්නවනං විනාඩි ගාණෙන් ගේම ඉවරයි.පිහිණුම් තරග උනත් එහෙමනේ.

      දේශ හිතෛශී ඈයො කියලා ජාතියක් ඉන්නවද ඈ...?

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...