04 August 2012

කේන්දරේ




මම අඳුරන අයියා කෙනෙක් කාලයක් තිස්සේ කෙල්ලෙක්ගේ පස්සේ ගියා.හරි ගියේ නෑ.පොර ට්‍රයි කරලා කරලා ඔන්න වෙන කෑල්ලක් සෙට් කර ගත්තා.ඔන්න ඉතිං ප්‍රේම තටාකේ මේකයි මැණිකේ කියලා ටික දවසක් ලව් කරලා එහෙම වයසට යන හින්දා එකලාසයක් වෙන්ඩ හිතාගෙන මේ සම්බන්දෙ ගැන ගෙවල්වලට කිව්වා.
ගෙවල්වලිනුත් අවුලක් නෑ.හැබැයි ඔන්න කේන්දර බලන්ඩ කියලා ලෑස්ති උනා.

හුටා!!! ගැලපෙන්නෑනෙ කේන්දර දෙක.අයියා කාරයාව බැන්දොත් කෙල්ලට අපලයිලු.පැණි වරකාවට ගහපි හෙණ.හැබැයි වැඩේ කියන්නේ කෙල්ලගේ ගෙදරින් නෙමෙයි අවුල තියෙන්නේ.කොල්ලගෙ ගෙදරිං.හරී අපබ්‍රංස නේද? කෙල්ලට අපල උනාට කෙල්ලගේ ගෙදර ඈයින්ට අවුලක් නෑනෙ.සමහරවිට ගෙදර ඇත්තන්ට මේකිගෙං ගැලවෙන්ඩ විදිහක් නැතුව උන්නද කියන්ඩ දන්නෙත් නෑ.කෙල්ලට මොනා හරි උනොත් කොල්ලා වැන්දඹු වෙයි කියලා වෙන්ඩැති කොල්ලගෙ ගෙදර අයට අවුල.පස්සේ කේන්දරේ ආයෙ තැන් කීපෙකිං බැලෙව්වම සමහරු අවුලක් නෑ කියද්දි කට්ටියක් කිව්වලු කොරන්ඩම එපා කියලා.ටිකක් ප්‍රසිද්ධ ඇත්තෙක් කිව්වලු මේ දෙන්නා බැඳලා අවුරුද්දකට වඩා කසාදෙ තිබ්බොත් පොර එනවා කියලා ඒ අයගේ ගෙදර පොල් ගාන්ඩ.මට කවුරුහරි ඔහොම කිව්වනං මම බැඳලා කොහොම හරි ඇද ගන්නවා අවුරුද්දක්.ඊට පස්සේ අරූට කියලා ගෙදර පොල් ගාවගෙන ෆොටෝ අරගෙන දානවා බ්ලොගේ.

තව කෙල්ලෙක් කැම්පස් ඇවිල්ලත් තමන්ගේ තත්වෙට ගැලපෙන කොල්ලෙක් හොයාගන්ඩ සෑහෙන්ඩ කල් මැරුවා.ඔන්න අන්තිමේදි තත්ත්වෙට හරියන පෙනුම තමංගේ හිතට අල්ලන කොල්ලෙක් සෙට් උනාය කියලුකෝ.ඔන්න දැං කේන්දර බලලා.ගැලපෙන්නෑ කියන්නේ.කොල්ලගෙං අවුලකුත් නෑ.කෙල්ලගෙ ගෙදරිනුත් අවුලක් නෑ.කෙල්ලටයි අවුල.ඉතිං බොලේ ගැලපෙන කේන්දරේකටනං ලව් කරන්නේ පත්තරේ ඇඩ් එකක් දාලා "කේන්දර කොපිය සමඟ ලියන්න.විහිළුවට නොලියන්න" කියලා කිව්වනං ඉවරනේ.කොල්ලෙක් එක්ක යාලුත් වෙලා කල් ගියාට පස්සේ කේන්දරේ ගැලපෙන්නැත්තං ඔක්කොම නවත්තන්ඩයි හදන්නේ.

මගේ තව මිත්‍රයෙක් කෙල්ලෙක් එක්ක යාලුවෙලා කේන්දර බලපුවාම ඇහුවලු "මේක කරන්ඩම ඕනෙද?" කියලා."කරන්ඩ තමයි පටං ගත්තේ" කියලා මුං දෙන්නනං බඳින්ඩයි හදන්නේ.

ඔය මම බොහොම සමීපව දැකපු කේන්දර බලපෑ අවස්ථා තුනක්.මේවාට වෙනස් ප්‍රතික්‍රියා තමයි අදාල ඈයො දක්වලා තියෙන්නේ.


මම පුද්ගලිකව කේන්දර විශ්වාස කරන්නේ නෑ.කේන්දරේ මගේ අනාගතේ ගැන ලියලා තිබුණත් මටනං පුද්ගලිකව ඒකෙං ඇතිවෙන සෙතක් නෑ.කොහොම උනත් රිසර්ච් ගැන අපිට පන්න පන්න උගන්නපු නිසාම මගේ පුංචි මොළේට මේ ගැන රිසර්ච් එකක් එහෙම නැත්තං සමීක්ෂණයක් කරලා බලන්ඩ හිතුනා.

{අතීත ලාංකිකයින් අතර සිටි රාවණාගෙන් සෘජුව පැවතෙන බුද්ධිමතෙක් දිනක් යම් නිරීක්ෂණයක් කරන ලදී.එනම් මිනිසුන් මළපහ කිරීමේ කාර්යය කරන අතර තුර ඔවුන්ගේ කටහඬේ ස්වරය උච්ච වන බවය.මේ ගැන නිශ්චය කර ගැනීමට ඔහු සමීක්ෂණයක් සිදුකළ අතර මළපහ කිරීමේදී ස්වරය උච්ච වීම යන්න හ්‍රස්ව වීමේන් රීසර්ච් යන පදය නිර්මාණය වී ඇත.  (වර්ගපූර්ණිකාවේ මම ආසම කරන්නේ මේ පද නිරුක්ති කරන එකට.ඒක හරි ආතල්ය.මෙවන් හීනි ආතල්වලින් ලැබෙන සතුට අතිමහත්ය.) }

මේකනං ඕං විහිළුවට කාරණාවක් නෙමෙයි ඈ.මේක ඇවිල්ලා හරස්කඩක අධ්‍යයනය (cross sectional studies) කියන ජාතියේ රිසර්ච් එකක්ය.

කොළඹ ජාතික රෝහලේ 72 සහ 73 වාට්ටුවලට ගිහිල්ලා සුෂුම්නාවට හානි වෙච්චි, අක්මාව හිල්වෙන්ඩ තුවාල වෙච්චි වගේ ක්ෂිතිජයට ඉහළිං එහා ලෝකෙ බලන ජාතියේ අසාද්‍ය මට්ටමේ රෝගීන් 200ක් තෝරගෙන ඒ අයගේ කේන්දර හෝ උපන් වෙලාව ඉල්ලගන්නවා.ඊට පස්සේ අද හෙට බඳින්ඩ ඉන්න, ළඟදි සල්ලි ටිකක් අහම්බෙං හම්බුවෙච්චි තවත් 200ක් තෝරගෙන ඒ අයගෙත් කේන්දර හෝ උපන්වෙලාව ඉල්ලගන්නවා.ඊට පස්සේ අපි ගාව මේ අයගේ ලැයිස්තුවක් හදාගෙන කේන්දරවලට හෝ උපං වෙලාවල්වලට අනු අංකයක් දීලා පුද්ගලයින්ගේ අනන්‍යතාව හොයාගන්ඩ බැරිවෙන විදිහට කේන්දරවල නම්ගම් ලියල තියේ නං ඒවා අහක්කරලා රටේ නමගිය කේන්දර බලන්නෝ තුන්දෙනෙකුට මේ කේන්දර ඔක්කොම ටික කළවම් කරලා දීලා එක් එක් කේන්දර බලන්නා ලවා ඔක්කොම කේන්දර බලවනවා.එතකොට කේන්දරයක් තුන්පාරක් බැලෙනවනෙ.

ඔන්න දැං සංඛ්‍යානය.එස් බී ලොක්කා වගේ ජ්‍යාමිතික සූත්‍රයක් දාලා හරි කමක් නෑ මේ ප්‍රථිපලවල සහ අපේ නිරීක්ෂණ අතර සැලකියයුතු සම්බන්ධයක් තියෙනවද කියලා.ඔන්න කේන්දර ඇත්ත කියලා මේකෙං ඔප්පු උනොත් අවුලක් නෑ අපිට පුළුවන් ජාත්‍යන්තරව මේක ප්‍රසිද්ධ කරවලා සුද්දංගේ කේන්දරත් බලවලා සෑහෙන විදේශ විණිමයක් හොයා ගන්ඩ.හැබැයි කේන්දර බොරුයි කියලා ඔප්පු උනොත් අනේ අපේ කොල්ලන්ට කෙල්ලන්ට නිදහසේ ලව් කරලා කැමති කාලෙක කැමති විදිහට බඳින්න ඇහැකි වේවි.

එකම අවුල මේකට යන පිරිවැය.කේන්දර ටික බලවන්නම යයි ලක්ෂ තුනක්වත්.ඛණිජතෙල් අමාත්‍යංශේ ඔය නාස්ති කරන ඒවයිං ජුන්ඩක් දුන්නොත් ඕං වැඩක් ඇති යමක් කරන්ඩ තිබ්බා.නැත්තං ඉතිං මගේ ග්‍රහ පිහිටීම අනුව ධනලාභයක් එනකං ඉන්ඩ වෙනවා.......





12 comments:

  1. ඔය විශ්ව විද්‍යාල ආචාර්ය ප්‍රශ්ණය ගැන කතිකාවකදි මො‍රටුවෙන් පාස් වුණ කොල්ලෙක් ප්‍රශ්ණයක් ඇහුවා. ඌ කරපු ප්‍රොජෙක්ට් එකකට සල්ලි හොයාගන්න වුණ මහන්සිය ගැන. විශ්ව විද්‍යාල වලින් ඕවට සල්ලි දෙන්නෙ නෑ කියල. පුතිපාදන‍කොමිෂන් සභාවෙ ලොක්ක එතකොට කිව්ව ඒවට මුදල් දෙන ව්‍යාපෘත්යක් තියෙනව කියල. ඒ ගැන හොයල බැලුවොත් මොකෝ?

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මචං.අපිත් ඔය රිසර්ච් කළේ.අපිටම අතිං කයිට් තමයි.ඉතිං කට්ටිය කරන්නේ වියදං අඩු ලේසියෙන් කරන්න පුළුවන් ජාතියේ ඒවා විතරයි.

      Delete
  2. අපි කෙල්ලට ආදරේ කරාට ගෙවල් වලින් කෙල්ලගේ කේන්දරේටනේ ආදරේ කරනවා කියන්නේ

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ සමහර කෙල්ලොත් ආදරේ කරන්නේ කේන්දරේටනේ මචං.ඇයි සමහර කොල්ලෝ.අඩුම තරමේ දෑවැද්දට ආදරේ කරපං, මේ කේන්දරේ පස්සෙ යන්නැතුව.

      Delete
  3. කේන්දර කියන්නේ ඇත්ත නමුත් අදවෙන කොට හරියට දන්නා අය අඩුයි ...

    ReplyDelete
    Replies
    1. ඒකත් මචං ඔය ක්ෂේත්‍රය රැකගන්ඩ සමහ උන්දැලා ගොතන කතාවක් නොවැ.වරදින හැම එකක්ම හොර කේන්දර කාරයෝ ඉන්න හින්දා.හැබැයි එකක් හරි හරි ගියොත් 'අන්න පේනවා නේද? ඒවයෙත් ඇත්තක් තියෙනවා.' කියලා හෙන ප්‍රචාරයක් දෙනවා.කාට පවසම් මේවා....

      Delete
  4. හැමදේම හරි ගියත් අන්තිමේදි කේන්දර අවුල් යන එක තමා ප්‍රශ්නේ..
    කේන්දර කියලා ජාතියක් තිබ්බේ නැත්නම්... මරු !

    ReplyDelete
    Replies
    1. මධුරංගයාට ගෙදරිං පවුලක් හොයනවා වගේ....ඈ.....

      Delete
  5. ඔව්වායේ ඇත්තක් තියනවා කියලා හිතෙනවා,

    ReplyDelete
    Replies
    1. ඔහොම හිත හිත ඉන්නැතුව මේකෙ ඇත්ත නැත්ත හොයන්ඩ ඉතිං මට නෑනෙ මූල්‍ය ප්‍රතිපාදන.

      Delete
  6. කේන්දරේ ඇත්තක් ඇත්තෙමත් නැහැ නැත්තෙමත් නැහැ. ඒත් ඒක කරගහ ගන්න ගියාමයි හෙණේ :)

    ReplyDelete
    Replies
    1. කරගහ ගන්ඩත් මේක ඇත්තද බලං ඉන්ඩ විදිහක් නෑනෙ

      Delete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...