13 November 2011

වාසනාවට ඇත්ත කතාවක්........



මේක මගේ පුද්ගලික කතාවක්.ටිකක් දිගයි තමයි.කියවන්න කම්මැලිනං බණින්න එපා.මේක දාන්නෙ මේක මට වැදගත් හින්දා.

ඒ දවස්වල අපේ ඉස්කෝලෙ විතරක් ඇරුනෙ 1.45ට.අනිත් ඉස්කෝල ඇරෙන්නෙ 2ට.මුල කාලේ මමත් පුරුදු වෙලා හිටියෙ 2.20 කෝච්චියේ කට්ටියත් එක්ක සෙට්වෙලා සින්දු කියාගෙන, කෙල්ලො බලාගෙන, ලයින් එකක් දාගෙන ගෙදර එන්න.ඇත්තම කියනවනං මරදානෙ ඉඳං ගම්පහට එනකං හැම ඉස්ටේශන් එකකම වගේ මම ට්‍රයි කරපු කෙල්ලෙක් හිටියා.කරුමෙට සහ මගේ ප්‍රාංශු දේහයට පින්සිද්ද වෙන්න(දන්නෝ දනිති ) ඒ එකක්වත් සෙට් උනේ නෑ.නිකං බොරුවට පෙට්‍රල් පුච්චගත්තා විතරයි.


සා\පෙ කිට්ටු වෙනකොට මොකක් හරි වලි කේස් එකක් හින්දා මට 2.20 එන්න බැරි තත්වයක් උද්ගත වෙලා තිබ්බෙ.මම ඉතිං ලැජ්ජා බයට හැදිච්ච කොල්ලා හින්දා ඔය වලිවලට යන්නෙ නැතුව යංතං ඇඟ බේරගෙන ඉන්න තමයි පුරුදු වෙලා හිටියෙ.ඔය වලි කේස් එක සහ සා\පෙ විභාගය නිසා මම 2.20 යන්නැතුව ඊට කළිං යන 1.55 කෝච්චියේ එන්න පුරුදු උනා.ඔන්න ඔහොම තමයි දෛවය අපිට කෝචොක් කරන්නෙ.මම ඒ කෝච්චියෙ එනකොට මට 2.30 වෙනකොට ගම්පහට ආවහැකි.ඊට පස්සෙ තව බස් එකෙත් ටික දුරක් යන්න තියෙනවා.

ගම්පහ තියෙනවනෙ ඔය කවුරුත් දන්න අර බාලිකාව.අන්න ඒකෙ නැහැදිච්ච කෙල්ලො සෙට් එකක් මම ගම්පහ බස් හෝල්ට් එකට එන වෙලාවටම එතනට එන්න පුරුදු වෙලා හිටියා.ඔන්න වැඩේ!! මම කොළඹ ඉඳන් එන වෙලාවම උන්ට යනවා පයින් අර ටික දුර එන්න.මහ රස්තියාදුකාර කෙල්ලො නේද????

ඔය කෙල්ලො සෙට් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කරපු මගේ මිත්‍රයෙක් හිටියා ගම්පහ ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලෙ.ඌ අර කෙල්ලො ටික අඳුරනවා.කතා බහ කරනවා.මමත් ඉතිං ඔය සෙට් එකට සෙට් වෙලා ටික කාලයක් ගියා.ආ තව එකක් මේ තමයි මගේ ප්‍රථම ප්‍රේමයේ පශ්චාත් විරහා යුගය.ඒ කිව්වෙ මගේ පළමු බූට් එක කාලා මුළු ස්ත්‍රී සංහතියෙංම පළිගන්න බලාගෙන හිටපු කාලෙ.අනේ අම්මපා මට තිබ්බ තරහක්.රෝස මලක් කියලා හිතාගෙන මම මගේ කුළුඳුල් ප්‍රේමය පුද කරලා තිබ්බෙ කලු පාට සපත්තුවක් වගේ චපල හිතක් තිබ්බ කෙල්ලෙක්ට.ඒකි මට එක පාරට කැමති උනා.එක පාරට අකමැති උනා.අපොයි මගේ ප්‍රථම ප්‍රේමේ.අහෝ ඛේදයකි සිදු උනේ ඈ මගේ පිවිතුරු ප්‍රේමය කෙළෙසා මා හදවත තලා පලා ගියා.

ඔන්න ඉතිං අර කෙල්ලො සෙට් එකේ එක කෙල්ලෙක් චුට්ටක් විතර ඇඹරෙනවා කියලා මට තේරුණා.මමත් නාරිවේදයේ කෙළ පැමිණියෙක් ඒ වෙනකොටත්.හරි සරල හැසිරීම් ටිකක් පෙන්නුම් කරන්නෙ.ඔබ විමර්ශනශීලීනං ටක් ගාලා අඳුර ගත්තෑකි.

1.ඔබගේ මුහුණ දෙස සෘජුව නොබැලීම.
2.ඔබ ඈ දෙස බලන විට බිම බලා ගැනීම.(මෙය එතෙක් ඈ ඔබ දෙසම බලා සිටි බව හඟවයි )
3.ඔබ අසල සිටින විට සිය ලේන්සුවෙන් නොයෙකුත් ගැට වර්ග අත් හදා බැලීම හෝ ඉදිරි ආසනයේ ඉරුණු     තැනක් පිළිසකර කිරීමට පූර්ණ ප්‍රයත්නයක් දැරීම.(මෙය සිය අකීකරු සිත කීකරු කර ගැනීමට දරන අසරණ නමුත් අසාර්ථක උත්සාහයක් ලෙස හඳුනා ගත හැක.)
4.ඔබ ඇයගෙන් පැණයක් විමසූ විට ඔබට පිළිතුරු නොදී සිය මිතුරියට පිළිතුරු දීම.
(උදා:- ඔබ: ඊළඟ බස් එක කීයටද දන්නෑ නේද තියෙන්නෙ?
          ඇය: අපිනං ඕවා දන්නෑ නේද ගංගා....


මෙයට අමතරව තව ඒවා තියෙනවා.ඔක්කොම කියලා දෙන්න හොඳ නෑනෙ.තව වැදගත් නිරීක්ෂණයක් තමයි ඇයගේ මිතුරියන්ගේ හැසිරීම.හොරෙන් එකිනෙකා කොනිත්තා ගැනීම්.රහස් කියා මහා හඬින් සිනාසීම්.අපොයි ඔය හොඳටම ඇති.

මගෙත් ඉතිං හැසිරීමේ වෙනසක් තියෙන්න ඇති.මම ඒ ගෑනු දරුවව අනිත් කෙල්ලන්ට වඩා වැඩිපුර බයිට් කෙරුවලු.කවුද ඉතිං ඕවා හිතලා කරන්නෙ.ඔන්න දවසක් මගේ ගම්පහ මිත්‍රයා මට කිව්වා 'මචං උඹ ඉක්මනට අරකිගෙං අහනවානං අහපං අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් ඒකිගෙං අහන්නයි හදන්නෙ' කියලා.මට ඇති උනේ මොන විදිහේ හැඟීමක්ද කියලා මම දන්නෑ.හැබැයි ෂුවර් එකටම ඒ ප්‍රේමයනං නෙමෙයි.මොකද දැං මම ප්‍රේමය ගැන දන්නවා (මම හිතන්නෙ!!!).

මම ඉතිං මගේ මිත්‍රයාගෙං අහගත්තා කෙල්ලෙක්ගෙං යාලුවෙන්න අහන හැටි.මොකද මම එයිට කළිං කෙල්ලෙක්ගෙං කෙළිම්ම අහලා තිබ්බෙ නෑ.ප්‍රථම ප්‍රේමෙදි උනේ පළමු පියවර අනිත් පාර්ශවයෙං තිබ්බ එක.ඔන්න ඉතිං සුභ දවසක් එහෙම බලලා මම බස් එකෙං බහින්න කිට්ටු වෙලා මගේ තිබිච්ච පුරුෂ ධෛර්යයත් එක්කාසු කරගෙන ගියා කෙල්ල ළඟට.

"නංගි මේකයි, මම ඔයාට කැමතියි.ඔයා මට කැමතිද?"

මම හිතපු විදිහට කෙල්ල තුශ්නිම්භූත උනේ නෑ.උං දැනං ඉන්ඩ ඇතිනෙ ගොනා හැරෙන්නෙ කොයිවෙලේ හරි කෙහෙල් පැළේ කන්ඩ තමයි කියලා.ඔන්න පටං ගත්තා යාළුවත් එක්ක එකතු වෙලා හිකි හිකි ගාලා හිනාවෙන්ඩ.

"මේ මගේ මිත්‍රයා ඔහොම තමයි අහන්ඩ කිව්වෙ.මම දැං බහිනවා කල්පනා කරලා බලලා කියන්ඩ හොඳද?" 

ඔන්න පේනවා නේද අපි හරි සාධාරණයි.විභාගෙට විනාඩි දෙකට එම්.සී.කියු ගහනවා වගේ නෙමෙයි අපි කෙල්ලන්ට හොඳට හිතන්ඩ කාලෙ දෙනවා.උං කාලෙ කාලා, හිතන්නැතුව යාලු වෙනවා.ඊට පස්සෙ අපිට බණිනවා.

ඔන්න දවස් දෙකකට විතර පස්සෙ වැඩේ ගොඩ කියලා උත්තරේ ආවා.මම ආයෙත් පවුල් උනා.මගේ ශරීරය හැර තවත් මනුස්ස ශරීරෙක හිමිකාරයෙක් උනා.කොහොමත් අවුරුද්දක් එකහමාරක් විතර යනකං මට ප්‍රේමය කියලා හැඟීමක් තිබ්බෙ නෑ.නිකං කට්ටිය කරන විදිහට මමත් ලව් කියලා එකක් කළා.

පස්සෙ පස්සෙ ප්‍රේමේ දැනෙන්න ගත්තා.රණ්ඩු උනා, තරහා උනා, ආයෙමත් යාළු උනා.බැණ ගත්තා, ගහගත්තෙ නං නෑ.මගේ පැත්තෙං මම චපල උනේ නෑ.ඇත්තටම මට චපල වෙන්න උවමනාවක් ආවෙ නෑ.මොකද කෙල්ලෙක් උඹට පැලෙන්න ආදරෙයිනං තව ගෑනු මොකටද?මම මගේ වැරදි හැසිරීම් හදා ගත්තා.මගේ පෞරුෂත්වය මටත් නොදැනී ටික ටික වෙනස් උනා.අනිත් පාර්ශවයත් එහෙමයි.මගේ විදිහට හැඩ ගැහුනා.මම කියලම ආගම පවා අත ඇරියා.

අදටත් නොගැලපීම් තියෙනවා.රණ්ඩු වෙනවා.ඒ උනාට හරි ආතල්.මිනිස්සුන්ට කටු කන එක කොහොමත් ආතල්නෙ.ඔය කට්ටිය රොක් ක්ලයිම්බින්ග් එහෙම කරන්නෙ ආතල් එකටනෙ.දැං අපේ ගෙවල්වලිං දන්නවා.අපේ ගෙදරින්නං මුළ ඉඳංම දැනං හිටියා.හැමෝගෙම ආශීර්වාදෙත් ලැබිලා තියෙන්නෙ.ඈත් උසස් අධ්‍යාපනේ ලබනවා, මගේ විශය ක්ෂේත්‍රයට සමගාමී ක්ෂේත්‍රයකම.


අපි ඉන්නෙ විශ්වවිද්‍යාල දෙකක.එළියෙ හිච් ටික දවසකිං කැඩිලා ඇතුලෙ එකක් එක්ක ගොඩ යනවා කියන සදාතනික සත්‍යය අපි දැනට බොරු කරලා තියෙන්නෙ.බලමු තව අවුරුදු දෙකයිනෙ.

මගේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහනයක් තමයි මගේ ජීවිතේට මගේ හැටියට ගැලපෙනම කෙල්ල හොයාගත්ත එක.මම තරං කෙල්ලට වද දෙන කොල්ලෙක් තවත් නැතුව ඇති.මට ප්‍රශ්නයක් ආවම මම ඔක්කොම යවන්නෙ ගෑනිගෙ පිටිං තමයි.මගේ අතිං වැරැද්දක් උනත් අන්තිමට තරහ වෙන්නෙ මම ම තමයි.මොනවා උනත් තාම ඒ කෙල්ල මගෙත් එක්ක ඉන්නවා.උඹලට ඉරිසියයි නේද?? හූ හූ උඹලට නෑනේ මෙහෙම කෙල්ලෙක් හූ හූ........

ආ තවත් එකක් මගේ මිත්‍රයාටනං ඌ ට්‍රයි කරපු එක හරි ගියේ නෑ.ඒ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යාලු උනා.දැං මට ඒ මිත්‍රයා හම්බවෙන්නෙත් නෑ.එක දවසක් බස් එකේදිම හම්බ උන වෙලාවක කිව්වා හොටෙල් එකක වැඩ කියලා.ඊට පස්සෙ ආරංචියක් නෑ.පව් අසරණයා!!!!!

මගේ කුළුඳුල් දෙවන ප්‍රේමයට හා ඇයගේ ප්‍රථම ප්‍රේමයට වර්ෂ අටක් පිරීම නිමිත්තෙනි.අපි ඒක මහා චාටර් ලන්ච් එකක් කාලා පහුගියදා සැමරුවා.නොවැම්බර් 11 අපේ ජීවිත වෙනස් වෙච්ච දවස.අපේ ප්‍රේමයට ජය වේවා.අර චිත්‍රපටියක තිබ්බා වගේ අන්තිමට මම කියන්නෙ

මම ආදරෙයි 'අපිට'


17 comments:

  1. සිරාවට ඉරිසියයි!
    ආදරේ කියන්නේ හරි කෙනා හම්බුනොත් උපරිමයෙන් විඳින්න පුලුවන් ඒ වගේම හරි කෙනා නොවුනාම උපරිමයෙන්ම විඳවන්න පුලුවන් දෙයක්!
    උඹ ඒ අතින් වාසනාවන්තයි!
    සුභ පැතුම් මචො!

    ReplyDelete
  2. ජය වේවා ඉදිරියත් ඔය විදියටම සතුටෙන් සමාදානෙන් ඉන්න ලැබේවා!

    ReplyDelete
  3. ඉතින් මම වෙන මොනා කියලා කියන්නද ? ඔය වසර අටක යෝද ලවු එකට බොක්කෙන්ම සුබ පතනවා ඇරෙන්න

    මගේ දිගම ලවු එක තමා පලවෙනි ලවු එක ඒක වසරක් තිබුණා .. අනික් එවා නිකං මාස පහේ හයේ ඒවා ..

    දැන් කරන එකවත් උඹලා වගේ අරගෙන යන්න හිතාගත්තා ඔන්න මමත් .

    සුබ පැතුම්

    ReplyDelete
  4. දෙන්නම හැමදාම කෙලින් ඉන්න ගියොත් ජිවිතේ වහක්. එකෙක් කෙලින් ඉන්න කොට අනිත් එකා නැවුණ නම් හැමදාමත් ජිවිතේ මල්... :D තමන්ගේ කෙල්ල/බිරිද ඉස්සරහ නැවෙනව කියන්නේ මට නම් කවදාවත් ලැජ්ජාවට කාරණයක් නෙමේ. අට වසරක ප්‍රේමයට මගෙන් උණුසුම් සුභපැතුම්!!!!!! ජයවේවා!!!!

    ReplyDelete
  5. godak sathutui sahodarayage prema purane ahala :) dennatama oya awa wage tawa diga gamanak yanna subha pathanawa :)

    ReplyDelete
  6. ඉදිරියටත් ඔහොම සතුටින් ඉදින් !!!
    අර ගම්පහ බාලිකාව කිව්වේ 'වලි' බාලිකාවද ?
    තව ප්‍රශ්නයක්. අර ගම්පහ ප්‍රසිද්ධ පිරිමි ඉස්කෝලේ කිව්වේ නම් අනිවාර්යෙන්ම හොරගොල්ලේ වලවුකාරයන්ගේ ඉස්කෝලේ වෙන්ටෑ. මාත් කාලයක් ඕකේ හිටියා. ඉතින් දිනුක ඉන්නේ වේයන්ගොඩ ද ?

    ReplyDelete
  7. බොක්කෙන්ම සුභ පැතුම් මචං...
    සඳා ජය!!

    ReplyDelete
  8. RATHNAVALI YAYI BANDARANAYAKEI WENATA ATHI NEDA ?

    ReplyDelete
  9. @Sabith : ඉස්තූතියි මචං.අනිවා, මම දැකලා තියෙනවා අර උපරිමේටම විඳවන එවුනුත්.තව පොඩ්ඩෙන් මටත් ඒ සෙතේ ම තමයි.'මිට්ටෙන් චුස්' උනේ.

    @නදී : ඒකනේ ප්‍රශ්නෙ.සාමන්‍යයෙන් බැන්දම සතුටට කෙළ වෙනවලු නේද? අපොයි එහෙමනං වෙන්න එපා.

    @හිස් අහස : ඉස්තූතියි මචං.මමත් සුභ පතනවා බොක්කෙංම.තාම උඹ පරක්කු නෑ.කරගෙන පළයං මචං.

    @Soda ගුනේ : සිරාවට.මටත් අපේ අයියා කෙනෙක් ඉස් ඉස්සෙල්ලම දීපු උපදේශයක් ඒක.ඒත් ගොඩක් වෙලාවට කෙල්ල තමයි සෙකන්ඩ් වෙන්නෙ.මම හැමතිස්සෙම පොර වෙන්නමයි බලන්නෙ.ඒක හදාගන්ඩ ට්‍රයි කළාට අමතක වෙනවනෙ බං

    @Anonymous : සුභ පැතුමට ඉස්තූතියි.

    @මධුරංග : ඒකට වලි බාලිකාවත් කියනවද???මම සිරාවට එහෙම එකක් දන්නෑ.ගම්පහ ඉතිං පිරිමි ඉස්කෝල මහ ගොඩක් තියෙන එකක්යැ.ඒක තමයි.මම අනිත් පැත්තෙ වේයන්ගොඩ පැත්තෙ නෙමෙයි.

    @තාරක Dilsh@n : ඉස්තූතියි බොහොමත්ම මචං

    @Anonymous : අපොයි අපොයි ස්ථාන නාම භාවිතා කරන්ඩ එපෝ........මාව මරයි ඕවයෙ කට්ටිය.

    ReplyDelete
  10. වෙලාවට උඹ වේයන්ගොඩ පැත්තේ නොවුනේ :P

    ReplyDelete
  11. අනිත් පැත්තේ කිව්වේ කොයි පැත්තෙද ???

    ReplyDelete
  12. මොකුත් කිව්වේ නැති උනාට හැමදාම මේව කියවලා යනවා. සතුට හැමදාම රැදෙන්න කියලා පතන්නම් ඔයාලා දෙන්නටම.

    ReplyDelete
  13. වසර අටට මගෙනුත් සුභ පැතුම්....
    වලි දාගෙන හරි ඉන්න එක වටිනවා...
    උඹට කවදාවත් වරදින එකක් නෑ...

    ReplyDelete
  14. හූ..හූ.. අපි දැක්කා ඊයෙ කපල් එක...
    එළ..එළ... ඔහොමම යමන්...

    දන්නවද මචෝ., ඊයෙ නින්නාදේ ඉවර වෙලා මිත්‍රියෙකුගෙ බෝඩිමට එයාව ඇරලවන්න යනව කිව්ව වෙලවෙනේ මට උඹලව හම්බ උනේ. මට මතක් වුණා උඹ කලින් දාපු කවියක කෑල්ලක්... මම දන්නෙ නෑ ඇයි කියලා...

    "මේ හම්පඩ මටත්
    හැන්සම් කියන
    කෙනෙක් ඉන්නෙ
    ඒ නිසානෙ..."

    ජය වේවා...

    ReplyDelete
  15. I wish you all the best for the both of you! Your creativity and writing style is great and please keep writing no matter what.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...