19 November 2011

එලාර්ම් එක සහ මම





රෑ වෙනකං ඇහැරගෙන අල බාන එක (පාඩම් කරන එක ) අපිට පුරුදු නෑ තමයි.ඒත් ෆිල්ම් එකක් බලන්න, නවල් එකක් කියවන්න, මලක් කඩන්න, බ්ලොග් කියවන්න වගේ වැදගත් වැඩවලට පුරුදු වෙලා හින්දා නිදා ගන්නකොට කොහොමත් මධ්‍යම රාත්‍රියට ආසන්න වෙනවාම තමයි.අනිත් එක බෝඩිං ජීවිතේ තියෙන එක අවුලක් තමා අනිත් එකෙක් ඇහැරිලා ඉන්නවානං අනිත් උන්ට නිදහසේ නිදාගන්න අමාරු එක.මොකද ඇහැරිලා ඉන්න එකා සැරින් සැරේ කාමරේට එනවා.ලයිට් එක දානවා.මල් කඩන ගමං හෙන සද්දෙට හිනා වෙනවා.ඌටනං මොකද ඇස්වලිං නිදිමත බේරි බේරි ගිහිං ඇඳට වැටෙන එකාටනෙ නිදිමත තියෙන්නෙ.

අනිත් එක ඇඳං කියලත් සනීපෙට තියෙනවා කියලයැ.ඇඳේ තිබිය යුතු ඇඳ පොලු ගාණෙන් තුනෙං එකක් විතරයි තියෙන්නෙ.මෙට්ටෙත් කල්පයක් තිස්සෙ පාවිච්චි කරලා සියළුම භූ විෂමතා ලක්ෂණ දකින්න පුළුවං.කොට්ටවලිං එන පුළුටු ගඳ අමතක කරලා ලෑල්ලක් වෙලා තියෙන කොට්ටෙ මෙලෙක් තැනක් හොයාගෙන මෙට්ටෙ තියෙන උස් තැං මඟ ඇරලා ස්ථායී පහත් බිම් දිගේ ශරීරය දිග ඇරගෙන නිදාගන්න කොටම කණ ගාවිං ඔන්න 'රූං' ගාගෙන යනවා කාළකණ්ණි මදුරුවෙක්.

මදුරුවා කියන්නෙ හරි ආදරේ හිතෙන සතෙක්.මදුරු දැලේ අපිට පේන ඉරිච්ච තැං ඔක්කොම අඹරලා කටු ගහලා තිබ්බත් මදුරුවා කොහෙං හරි හිලක් හොයාගන්නවා රිංගන්න.ඊට පස්සෙ මේ ප්‍රඥාවන්ත සත්වයා බොහොම නිහඬව ඉන්නවා අපි මදුරු දැල වටෙන්ම මෙට්ටෙට යටකරලා ල‍යිට් එකත් නිමලා හොඳට පොරවාගෙන නිදා ගන්නකං.ඔන්න ඊට පස්සෙ පටං ගන්නවා ශබ්ද විකාශනේ වගේ කන ගාවිං රූං ගාගෙන යන්න.ඒ වෙලාවට එන ආවේගය මාර ආතල්.ඕනෙනං මදුරුවා මරාගෙන මැරෙන්න උනත් පුළුවං.ඉතිං මදුරුවා මවපු එකාටයි බීටීඅයි ගෙනල්ලා නොගහ ඉන්න ආණ්ඩුවටයි ඔක්කොගෙම පරම්පරාවල අග මුල දක්වාම සාප කරගෙන නැගිටලා ආයෙ ලයිට් එක දාලා පටං ගන්න ඕනෙ මදුරුවා සොයා මරා දැමීමේ සංග්‍රාමය.

ඔන්න ඉතිං යාංතං නින්ද ගිහිං පාන්දර කිට්ටුවෙනකොට වහින්න ගන්නවා (මේ දවස්වලනං නෑ ).කාමරේ දොර ඇරලා.වැහිවතුර හෝ ගාලා එනවා කාමරේට.කීප දවසක්ම බෝඩිමට ගංවතුර දැම්මා.කාටවත් කිව්වට විශ්වාස කරන්නෙත් නෑ.මොකද අපේ බෝඩිම තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙනෙ.ඉතිං ආයේ අහසට සහ දෙයියන්ට සාප කරගෙන නැගිටලා දොර වහලා ආපහු එනකොට මතක් වෙනවා 'හුටා රෙදි එළියෙ නේද?' කියලා.ඔන්න ආයේ දොර අරිනවා.තියෙන ඔක්කොම රෙදි ටික ගන්නවා ඇතුළට.නැත්තං පහුවදාට සිවිල් පිට තමයි ෆැකල්ටි යන්න වෙන්නෙ.

ආපහු එනවා ඇඳට.වෙලාව කොහොමත් තුන විතර තමයි ඒ වෙනකොට.ආයෙ නිදාගන්න හදනකොට ඔන්න ළඟ ඇඳේ ඉන්න එකා ගොරවනවා මහ හයියෙං.වැස්සෙ සද්දෙත් පරද්දගෙන එනවා සද්දෙ.හරියට මොරටුවෙ ඉන්නවා වගේ.ඉතිං එහෙමම අත දික් කරලා හොල්ලනවා උගේ ඇඳ.ඔන්න ඒ පාර ඌ පටං ගන්නවා හීනෙං කියවන්න.'නෑ නෑ ඔය ෆොන්ට් එක හරියන්නැහැ.වෙන එකක් දාමු.' ඌ දවල් කරපු වැඩක් තාම හීනෙං කරගෙන යනවා.

යාංතං ආයෙත් හිත හදාගෙන නිදාගන්න කොටම එකෙක්ගෙ එලාර්ම් එක වදිනවා.'ඕක ඕෆ් කරපං බූරුවෝ' හිතිං කොච්චර කිව්වත් වැඩක් නෑ.ඌට ඇහැරෙන්නෙම නෑ.උගෙ කන ගාව තියෙන එලාර්ම් එකට ඇහැරෙන්නෙ මම.

'යකෝ  @#%$*&$# තොගේ එලාර්ම් එක වදිනවා.නැගිටපං  #$@%%$*@. "

 ඔන්න එතකොට ඌ ඇහැරෙනවා.ඇහැරිලා එලාර්ම් එක ඕෆ් කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා.යකෝ නැගිටින්නෙත් නැත්තං මොන ඉලව්වකටද එලාර්ම් එක තියන්නෙ.වල් මූසලයා මගෙ නින්ද කෑවා.බඩම පලයං උඹට.ඔන්න ඔහොම යහපත් චේතනාවෙං මිත්‍රයාට හිතිං සුභාශිංසන පිරිනමද්දි ඔන්න ඔළුව උඩ ඇඳේ ඉන්න එකාගේ එලාර්ම් එක වදින්න ගන්නවා.ඌ නං කවදාවත් උගේ එලාර්ම් එකට ඇහැරෙන එකෙක් නෙමෙයි.මොකද එලාර්ම් එක විනාඩියක්ම වැදිලා නිකංම නවතිනවා.ඊට පස්සෙ විනාඩි පහකිං ආයෙ වදිනවා.ඔහොම තුන් පාරක් විතර සිද්ද වෙනකොට මම කෑ ගහලා ඌවත් ඇහැරවනවා.

ඉතිං දැං ආයෙ නිදා ගන්න වෙලාවක් නැති නිසා මම නැගිටලා බාත්රූම් යනවා.ඔන්න ඕක තමයි එලාර්ම් එකේ කතාව.මේක ෆැකල්ටියේ ගිහිං කිව්වම දැනගත්තා මේක හැම බෝඩිමටම පොදු කතාවක් කියලා.මම වගේ අසරණයො සහ අරුං වගේ මූසලයො සමානව සියලු බෝඩිම් අතරේ බෙදිලා ගිහිල්ලා.ඉතිං සුහද ස්ථාන මාරුවක් කරගන්න තියෙනවනං හොඳයි.ඒ කියන්නෙ එලාර්ම් එක තියන ඒත් ඒකට නැගිටින්නෙ නැති උං එක බෝඩිමකට දාලා අනිත් උං වෙන බෝඩිමකට සෙට් වෙන එක.ඒත් ඒකෙත් ප්‍රායෝගික ප්‍රශ්න රැසයි.

මේකට හොඳම විසඳුම දුනනේ මගේ මිත්‍රයෙක්.

"මචං උඹ එලාර්ම් එක තියනවනං ඕක වයිබ්‍රේට් වෙන්න දාලා ගහ ගනිං පු*. එතකොට උඹ විතරනේ ඇහැරෙන්නෙ.අනික සද්දෙ වගේ නෙමෙයි හොඳට දැනෙයි."

හොඳ යෝජනාවක්.ඉදිරියේදී මේක දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කරන්ඩයි ඉන්නෙ.

මීට,
එලාර්ම් නොතියන හා තිබ්බොත් ඒකට නැගිටින්නංගේ සංගමය. (එ.නො.ති.ඒ.නැ.ස )

6 comments:

  1. අපි නම් පාඩම් කරනවට කියන්නෙ බොගනවා එහෙමත් නැත්නම් බොග දානවා කියලා. (ලැට් යනවට කියන්නේ බොක දානවා කියලා. පටල ගන්න එපා.)

    ඔය කියන ඇඳන් කරදරේ ඇරෙන්න මදුරු කරදරේ නම් නාමෙකට නෑ. රෑට මාර සීතලයි. ඒ නිසා ආයේ පැලෙන්න නින්ද යනවා. අනිත් එක ඉතින් ඔය සීතලේ මදුරුවෝ අයිස් කැප් ජර්සි එහෙම දාගෙන එන්න කියලා යෑ.

    උදේට නැගිටින එක තමා අපටත් තියෙන එකම ප්‍රශ්නේ. !!!

    අහෝ කැම්පස් ජීවිතය නම් සුන්දර කාලයක් !!!

    ReplyDelete
  2. ඕක මචන් මෙහෙමයි වෙන්නේ. ඔය එලාම් තියන්නේ නැගිටින්නම නෙවේ. නැගිටින්න ඕන කියල මතක් කර ගන්න. දැන් ඔන්න බලන්න මම. මමත් උදේ 6 ට නැගිටින්න ඕන නම් 5.15 වේ ඉඳලා එලාම් 3 ක් සෙට් කරනව විනාඩි 15 න් වදින්න පලවෙනි එක වැදුනහම ඇහැරෙනවා හැබයි බාගෙට එතකොට මතක් වෙනවා 6 ට නැගිටින්න ඕන කියලා. දෙවැනි එක වැදුනම හිත හදා ගන්නවා. තුන් වෙනි එකට නැගිටලා රෙද්දත් පොරවාගෙන ඇඳේ ඉඳන් කල්පනා කරනවා දවසේ කරන වැඩ.

    ReplyDelete
  3. අඩේ මටත් ඇහැරෙන්නේ නෑ බං මලාට එලාම් එකට!තුනක් තියලා නිදා ගන්නේ!ඒත් එකින් එක නිදිමතේම ඕෆ් වෙනවා...ජරා සීන් එකක් තමා!මොනා කරන්නද ඉතින්...ලබා උපන් හැටිනේ!හික්ස්!

    ReplyDelete
  4. මම එලාර්ම් එක තියල නිදිමත යනකන් ඒක snooze කර කර ඉන්නවා...
    7ට නැගිටින්න ඕනෙනම් 6.15 ඉඳන් තියෙනවා.. එවා snooze කර කර ඉඳල 7.10ට විතර තමයි නැගිටින්නේ. වැරදිලා හරි snooze කියන එකට stop එක එබුනොත් කියල 7.15ටත් තව එකක් තියනවා :D

    ReplyDelete
  5. මටත් නම් සද්ද ඇහුනොත් නින්ද යන්නේ නෑ. කොටින්ම ලංකාවට ආවම මාසයක් හිටියා නම් ඒ මාසේම නින්ද නෑ.
    මෙහෙදි තනියම ගෙදර ඉන්න හින්දා ප්‍රශ්න අඩුයි. ඒත් අල්ලපු ගෙදර ඉන්න ස්ටුඩන්ට්ස් ලා සමහර දවස් වල දෙකට විතර කෑගහනවා මාවත් අහරවගෙනම. බනින්නත් හිතෙන්නේ නෑ මටත් ඒ වගේ කාලයක් තිබ්බ නිසා.
    එලාම් නම් ඉතින් මම එලාම් එක වදියි කියලා භයට කලින් ඇහැරෙනවා. ඒත් හිතුනොත් එලාම් එක ඕෆ් කරලා නිදා ගන්නවා.
    මම සද්ද වලට භය හින්දා මාව කලින් ඇහැරෙන්වා කියලා හිතාගෙන හිටියේ.
    කොට්න් බෝල කන් වලට දාගත්තා නම් ඔය අවුල එන්නේ නෑ නේද?

    ReplyDelete
  6. @මධුරංග : අපිට කොහෙද බං එහෙම ආතල්.ෆැකල්ටි ජීවිතේ කියන්නෙ සාපයක්.මේකෙ කිසි කැම්පස් ගතියක් නෑ.නිකංම නිකං මධ්‍ය මහා විද්‍යාලයක්.අපි පේරා උන්ට ඉරිසියා කර කර ඉන්නවා.

    @itnishantha : ඒ ක්‍රමේ අවුලක් නෑ.ඒත් බං අනිත් උන් නිදි කියලත් හිතන්න එපායැ.එලාර්ම් එක තියන එකා නැගිටින වෙලාවට අනිත් උනුත් නැගිටින එක පව්නෙ බං.

    @Sabith : එහෙනං මගේ මිත්‍රයා යෝජනා කරලා තියෙන එක ට්‍රයි කරපං.වයිබ්‍රෙට් දාලා ..............

    @තාරක Dilsh@n : යකෝ මේක ලෝකෙ පුරාම පැතිරිච්ච වසංගතයක් වගේ එකක්නෙ.මීට පස්සෙ ෆෝන්වල සහ ඔරලෝසුවල එලාර්ම් එන එක තහනං කරන්න ඕනෙ.

    @Il mondo di una povera pazza : අඩෙ අප්ප මට ඒක කියන්න අමතක උනානෙ.මටත් ඕකම වෙනවා.මම එලාර්ම් එක තිබ්බ දවසට ඒක වදින්න කළිං මට ඇහැරෙනවාමයි.කනේ පුළුං ගහන්න හොඳ නෑ.එතකොට ඇහැරෙන්න ඕනෙ වෙලාවට ඇහැරෙන්නෙ නෑ.

    ReplyDelete

දාමුද සලිත වෙලා යන්ඩ කොමෙන්ටුවක්...